ආඥාදායකයෙක් සුන්දර මතකයක්

0 comments
හේ මෙරට වේදිකා නාට්‍ය කලාව දෙපයින් සිටවූ විප්ලවීය නිර්මාණ කරුවාය, එනම් ශෛලිගත නාට්‍ය රංග රීතිය තුළ සිරවී එහිම ගොදුරක් බවට පත්ව සිටි නාට්‍යකරුවා හා ප්‍රේක්ෂකයා ස්වාභාවික රංග රීතිය හඳුන්වා දෙමින්, යථාර්ථයට වඩාත් සමීප කළ නාට්‍යකරුවා ඔහුය.කෘතහස්ත ලේඛකයකු හා විශිෂ්ට පරිවර්ථකයකු වූ හෙතෙම, ගුවන්විදුලි නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිරකතා රචකයකුද විය. ඒ මතු නොව හේ දක්ෂ කවියෙකි. නමින් ඔහු අවලික්කාර ගලප්පතිගේ සුගතපාල ද සිල්වා ය. 1928 අගෝස්තු 4 වැනිදා මිදිගම දේනුවල දී (වැලිගම) උපත ලැබූ මේ විශිෂ්ට කලා කරුවා දර්ශන විෂයෙහිද ප්‍රාමාණික බුද්ධිමතෙකි. ඔහු ගේ 88වන ජන්ම දිනය මේ මස 04 වැනිදාට යෙදී ඇත. භෞතික කාය අපව හැරගිය ද ඔහුගේ නිර්මාණ කාය තවමත් අපේ හදමනස පෝෂණය කරයි. මේ ඉඩ ඒ සොඳුරු ආඥාදායකයාගේ මතකය වෙනුවෙනි.



මට සුගතපාල ද සිල්වා හමුවන්නේ දහම් පාසලේ කලා උළෙල සඳහා ඔහුගේ උපදෙස් පැතීමට ගිය අවස්ථාවේදීය. ඒ සඳහා අප පොළඹවන ලද්දේ සයිමන් නවගත්තේගම කලා කරුවාය. සුරනිමල අපේ පන්තියේ සිටි බැවින් ඔහුගේ පියාණන් වන සයිමන් නවගත්තේගමගේ සහය පැතීමට අප කාලයක පටන් පුරුදුව සිටියෙමු. එලෙස ඇති වූ සබඳතාව ඔහු මියයන තුරුම පැවතින. දිනක් සුගතපාල ද සිල්වා හමුවීමට පැමිණෙන ලෙස මටත් සහෝදරයාටත් පණිවිඩයක් ලැබිණ. අප ගොස් ඔහු හමුවිය. අප කෙළින්ම ගොස් නතරවන්නේ ඔහුගේ කාමරයේය. ඉස්තෝප්පුවේ රැඳීසිටින පුරුද්දක් අපට නොවුනි. එයට ඇතුල් වූ වේලාවේ පටන් ඇස් කරකවමින් බලන්නේ පොත් රාක්කය දෙසය. “පොත් බැලුවට කමක් නෑ. ගෙනියන්න දෙන්න බැහැ. ඕන වෙලාවක් ඉඳලා කියවලා යන්න. ”ඒ ශීලා ඇන්ටිගේ හඬය. “පොත් අරංගියාම කවුරුවත් ගෙනත් දෙන්නෙ නැහැ. මෙයාට ඕන වුණාම අලුතින් ගන්න ඕන.” එකින් එක පොත් කියවමින් නැවත තැබීමට අපි පුරුදුව සිටියෙමු. “මට බෞද්ධ පොත්වගයක් ඕන කරලා තියෙනවා. මං ලියමින් ඉන්න පොතකට තොරතුරු වගයක් දැනගන්න. මේ ළමයි නිතරම පන්සලේ ඉන්න හින්දයි එන්න කිව්වේ. ලොකු හාමුදුරුවන්ට කියලා පුස්තකාලයෙන් මට ඒටික ගෙනත්දෙන්න පුළුවන්ද?” එම ඉල්ලීම අපට මහත් සතුටක් ගෙනදුන්නේය. කවදා හරි පාඨකයා අතට පත්වන පොතකට මෙලෙස දායක වීමට ලැබීම කෙතරම් භාග්‍යයක්ද. “මොකක්ද ඒ පොතේ නම” ‘දළදා වතුර’. දළදා ඉතිහාසය සම්බන්ධ කරගනිමින් ලිවීමට යන මෙම කෘතිය කාවිසිනුත් පිළිගනු ඇත. අප ඒ සඳහා යුහුසුලු විය. දහම් පාසල් පුස්තකාලයේද, පාසල් පුස්තකාලයේද, සොයිසාපුර පුස්තකාලයේද, මොරටුව පුස්තකාලයේද ...සෙවූ මුත් එය ව්‍යර්ථ විය. අවසානයේ සොයාගත හැකි වූයේ ධාතුවංශයත්, මහවංශයත්, වංසත්ථප්පකාසිනියත් පමණි. එහෙත් ඒවනවිටත් එම කෘති ඔහු සතුව තිබුණි. එය ව්‍යර්ථවුවත් අපට එමගින් මනා පාඩමක් කියාදුන්නේය. යමක් ලියන්නට ප්‍රථම, සිතට නැගෙන සිතුවිලි නොලියා යම් අධ්‍යනයකට අප යා යුතු බවයි. (අද ඇතැම් බොහීමියානුවන් ලෙස පෙනීසිටීමට උත්සහ දරන්නන්, පෙළපොත් හැදෑරීම අවැසි නොවන බවට සමාජ මත වපුරවති). ඒ අතර තුරදී සුගතපාල ද සිල්වා රෝගාතුරවිය. රෝගය සුවපත් කරගැනීමට මුදල් අවශ්‍යවිය. පොතක පතක ඉතුරුකරගත් මුදලක් ඔහු සතු නොවීය. ශීලා ඇන්ටී සතුව තිබූ කණකරද ඔහුගේ කලාදිවියටම සින්නව තිබිණි.

එවක පළ වූ යොවුන් පත්තරයක් වන ‘පරාදීසය’ පත්‍රයට ලිවීමේ අදහසින්, දිනක් මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි.

“ඇයි ශෛලිගත නාට්‍ය කරන්න කැමති නැත්තේ”

“මට ඕනදේ ඒ ශෛලියෙන් කියන්න බෑ. ඒ නාට්‍යවල දෙබස් හසුරවන විදියට ඇඳුම් ආයිත්තම් වලට මං ආස නෑ. ඒවා මිනිස්සුන්ගෙන් දුරයි. මට ඕන වුණේ ඒවගේ ඇඳුම් නැතිව, මිනිස්සු සාමාන්‍යෙයන් අඳින පළඳින ඇඳුම් වලින් නාට්‍ය පෙන්නන්න. එතකොට ඒ නාට්‍ය මිනිස්සුන්ට හුඟක් ළඟයි. කියනදේ වැටහෙනවා.”

“ඒත්, ඒ නාට්‍ය බලන්න මිනිස්සු ආශාවෙන් යනවනේ. ඔවුන් ඒකෙන් සතුටකුත් ලබනවා”

“ඔව්, ඒවා මිනිස්සු බලනව තමයි. විෂය නිර්දේශයටත් ඇතුළත් කරලනේ තියෙන්නේ. ඒත් ඒකෙන්, ඒඅය ගෙවන ජීවිතය පිළිබඳව අවබෝධයක් ඒ අයට ලැබෙනවද? ඒකයි තියෙන ගැටලුව ”

“ඇයි ඔබ ආත්ම ප්‍රකාශනයක් විදියට නාට්‍යම තෝරගත්තේ”

“හැම කෙනෙක්ටම තමන්ගෙ කියලා ආත්ම ප්‍රකාශනයක් තියෙනවා. මට වේදිකාව හමුනොවී මෝටර් බයික් එකක් ලැබුණ නම්, සමහරවිට මං මගේ ආත්ම ප්‍රකාශනය ඒ හරහා සිද්ධ වෙන්න ඉඩ තිබුණා.”...

සුගතපාල ද සිල්වා ඇසුරේම ඇතිදැඩි වූ සිරිමල් විජේසිංහ ගෙන් ඔහු පිළිබඳව විමසූ විට කියා සිටියේ

“උඹ මෙහෙම ලියපන්”

“කාට හරි කලා කාරයෙක් වෙන්න ඕන නම්, සුගත් අයියා වගේ වෙන්න එපා. මං එහෙම කියන්නෙ, ලංකාව වගේ රටක කලාවට කරන්න පුළුවන් දෙයක් නෑ. කලාවෙන් ටොෆි චොකලට් කනවා වගේ වින්දනයක් ලැබිය හැකියි. ඒත් සමාජය වෙනස් කරන්න බැහැ. කලාවෙන් ලංකාවේ මිනිස්සුන්ගෙ සංස්කෘතික ලක්ෂණ අපි හිතනතරම් දියුණු වෙලා නැහැ. ඉතිං මොකටද ඒකට දුක් විඳින්නේ. ටොෆි චොකලට් හදන එකා ලාභයක් ලබනවා. කලාකාරයො විතරක් කිසි ලාභයක් නැතිව, තියනදේත් නැතිකරගෙන මොලේ කචල් කරන් ඉන්නවා. ඒ නිසා අලුත් පරම්පරාවට කියන්නේ සුගත් අයියා වගේ වෙන්න එපා. එයාගෙ මරාසාද් නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාපු අය දැන් ජීවත් වෙන්නෙ කොහොමද? අන්න ඒවගේ ජීවත් වෙන්න කියලා”

ඔහුගේ වාක්‍ය තුළ බොහෝ දේ නිධන්ගතව ඇතැයි මට සිතේ.

සුගතපාල ද සිල්වා ‘කරනදේ කියන - කියනදේ කරන’(ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට) අවංක පුද්ගලයෙකි. අහිංසක මනුෂ්‍යයෙකි. වී කරල පැසී බිමට නැමී බරවන්නාක් මෙන්, ඔහු දැනුමෙන් මුහුකුරා යන්න යන්න නිහතමානී විය. ස්ට්‍රයික්වලට සම්බන්ධවී රස්සාවෙන් දොට්ට දැමූවිට, ඔහු කාගෙවත් ඇට ලෙවකන්න නොගියේය. හේ අනන්තවත් දුක් කම්කටොලු ඉවසා දරාගත්තේය. මේ සියලු දුක් ගැහැට සමව විඳදරාගැනිමට ශක්තියක් වූයේ බිරිඳ ශීලාය. ඔහු ලෙඩ ඇඳට වැටී සිටියදී ඔහු බලාගන්නට අවස්ථාව මාහටද උදාවිය. එය ඉතාමත් වගකීමෙන් සිදුකිරීමට මමත් සහෝදරයාත් උනන්දුවිය. ඒ කාලයෙදී දිමුතු, ප්‍රබුද්ධ, ප්‍රගති(පුතුන්), රොජර් සෙනෙවිරත්න, මාලක, විශේෂයෙන්ම පාලිත තේනුවර අමතක කළ නොහැකි කාර්යක් ඉටුකළේය. ඔහු මිය යනතෙක්ම මඟහැරසිටි ඔහුගේ නාට්‍ය පුත්‍රයා පැමිණ අවසන් කටයුතුවලට දායක වූයේ මිනියේ කටයුතු භාරගත් මල්ශාලා භාරකරුමෙන්ය. කෙසේ වෙතත් ඔහුගේ භෞතිකකාය දැන් අප හැරගොස්ය.

දියුණු කලා සංස්කෘතියක් ඇති කර ජනතා හදමනස පෝෂණය කිරීමට රාජ්‍යට හෝ පෞද්ගලික අංශයට හෝ මැදිහත් විය නොහැකිනම්. දිනෙන් දිනම ඒ ජනසමාජය මිථ්‍යාව හා වැඩවසම් ආකල්පතුළ ගිලීයයි. එවිට එය පවත්නා ආණ්ඩුවට හෝ පෞද්ගලික ව්‍යවසායකයින්ටද යහපත් නොවේ.මන්ද ඔවුන් පිළිගන්නා වැඩවසම් නියෝජිතයෙකු ඔවුන් පාලනය කිරීමට ඉඩ ඇති බැවිනි. එනිසා සුගතපාල ද සිල්වාගේ මේ වැකියෙන්ම මේ ලියමන අවසන් කරමි.

“ආශ්වාස ප්‍රාශ්වාස කරන තරමටම දේශපාලනයත් මිනිස් දිවිය හා දැඩි ලෙස බැඳී පවතී. තමාගේ කෘතියකින් මිනිසුන්ගේ මිනිස්කම ගැන පමණක් කතා කරන්නේ යයි කිසිවකු අභිමානයෙන් පවසන විට එතැන ඇත්තේ ද දේශපාලනයකි. එය වූ කලී සාහිත්‍ය ලෝකයේ දේශපාලනයයි. දිව්‍ය ලෝකයත් නරකාදියත් මිහි පිට දිස් වන තාක් කල් දේශපාලනයෙන් තොර ව මිනිසා ගැන කතා කළ නොහේ. අද වැනි කලබැගෑනියකට පත් සමාජයක මේ සත්‍ය වඩාත් ඉස්මතුව පෙනේ.” (ඇට මැස්සා)

සටහන

කේ.ඩී රසික

Read More »

ජනතා මුදලින් සැප වාහන ගෙන්වා බදු වංචා කළ මන්ත්‍රී නම් ලයිස්තුව.....

0 comments
 https://www.youtube.com/watch?v=eT4bFtgnUlY



අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු  රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වාදෙයි.
එම ලේඛණයේ එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හා මහින්ද පිලේ, මුස්ලිම්කොන්ග්‍රසයේ සහ දේමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිටිති.
මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවල චැසි අංක සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඒ මහතා කියයි.
රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයට රුපියල් බිලියන 40ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නොවැම්බර් 20දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇති බවත්, ඒ මහතා පෙන්වාදෙයි.
තීරු බදු නොගෙවා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මෙලෙස ගෙන්වන එක් වාහනයකින් රුපියල් මිලියන 33 හමාරක මුදලක් රජයට අහිමි වන බවත්, එම වාහන බලපත්‍රය මන්ත්‍රීවරයෙකුගෙන් ලබාගන්නා වෙළෙන්ඳෙකු එය විකුණා මන්ත්‍රීවරයාට මිලියන 25ක්ද, ඉතිරි මිලියන 8 හමාර ඔහුද ගන්නා බවත්, මේ නිසා රජයට ශත 5කවත් බද්දක් නොලැබෙන බවත්, ඒ මහතා කියයි.
තීරුබදු රහිතව වාහන ගෙන්වීමට අවසරදීමෙන් සිදුවන මෙම බදු වංචාවට එරෙහිව පරීක්ෂණ කරන්නැයි ඉල්ලා තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පැමිණිලි කළ බවත්, එසේ වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයට වන පාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මැදිහත්විය නොහැකි බවට එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් තමන්ට ලිපියකින් දැනුම්දුන් බවත්, ඒ මහතා සඳහන් කරයි.
කෙසේ වුවද අල්ලස්  පනතේ 4 වැනි වගන්තිය යටතේ විශ්වාසදායි හා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට වගකීමක් ඇති බවද ඒ මහතා පෙන්වාදෙයි.
එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජයේ බදු ප්‍රතිපත්තිය වූ කලී නීත්‍යානූකූල එකක් බැවින් ඊට වංචා කිරීමේ හැකියාවක් කිසිදු මහජන නියෝජිතයෙකුට නැති බැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතිය හැකි බවද ඔහු කියයි.
ඒ අනූව මන්ත්‍රීවරප්‍රසාද භාවිතා කර තමන් නමින් ආනයනය කරන වාහනයක් විකිණීම අල්ලස් පනතේ 70 වැනි වගන්තියට යටතේ අපරාධ වරදක් බවත්, වාහනය විකුණිය හැක්කේ  සම්පූර්ණ බදු ගෙවිය යුතු බවට  අතුරු වගන්තියකින් සඳහන් කර ඇති බවත්, ඒ මහතා සඳහන් කරයි.
කෙසේ වුවද මන්ත්‍රීවරුන් අයථා ලෙස මෙම බලපත්‍රය විකුණමින් විශාල මුදලක් තමන් සතු කරගන්නා අතරම වෙළෙන්දාට ද මිලියන ගණනක වාසියක් සිදුවන බවත්, ඉන් බදු වශයෙන් රජයට ලැබිය යුතුව තිබූ කෝටි ගණනක මුදලක් අහිමි වී යන බවත්, ඒ මහතා පෙන්වාදෙයි.
ඒ අනූව මෙම ක්‍රියාදාමය තුළ  විධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය කර ඇති බවත්, ජනතාවගේ විශ්වාසය කඩකරන ආයතනවලට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත්, ඒ මහතා අවධාරණය කරයි.
තමන් මේ ආකාරයෙන් හෙළිදරව් කිරීම් සිදුකරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග හෝ මහජන නියෝජිතයෙකු සමග අමනාපයකට නොව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.
එම මන්ත්‍රීන් 70 දෙනාගෙන් 66 දෙනෙකු විසින් ගෙන්වන ලද වාහනවල  විස්තර පහත පරිදිය.
http://www.lankajournalist.com/
 අධිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

Read More »

මාමා ළි`ද කපා බෑණා නාගත්....... මහ දවාලේ රටක්‌ කොල්ල කෑ .. බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට

0 comments
වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රටේ වඩාත්ම කතාබහට ලක්‌ වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. වත්මන් මෛත්‍රී - රනිල් පාලනයට මුලපිරුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලද ජයග්‍රහණයයි. ඉන්පසු පත්වූ මෛත්‍රී - රනිල් ආණ්‌ඩුවේ ප්‍රථම දින 100 තුළම ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදුවූ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල විය. එනම් 2015 පෙබරවාර 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ භාණ්‌ඩාගාර බැඳුම්කාර නිකුතුවේදී සිදුවූ වට චෝදනා එල්ල වූ බැඳුම්කර වංචාවයි. මහ බැංකුව මෙසේ වඩාත්ම කතාබහට ලක්‌ වූයේ මේ නිසාය. ඉන්පසු 2016 මාර්තු 29 දින තවත් බැඳුම්කර වංචාවක්‌ සිදු වූ බවටද චෝදනා එල්ල වී ඇත. මේ බැඳුම්කර මගඩිය නිසා මහ බැංකුවට අමතරව තවත් කතා බහට ලක්‌වූ ආයතනයක්‌ වූයේ බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ වන පර්පෙචුqවල් ට්‍රෙෂරීස්‌ ආයතනයයි. මේ ආයතනය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑණා ට හිමිකමක්‌ ඇති ආයතනයක්‌ බවත් දැන් කාටත් රහසක්‌ නොවේ. මේ මාමා සහ බෑණාට චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන ප්‍රධාන අනාවරණයන් දෙකක්‌ පසුගියදා සිදු වූ අතර ඒa පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක්‌ ද යොමුව තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

මින් පළමු අනාවරණය සිදුවූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය පසුගියදා සිය මූල්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ය. දෙවැනි අනාවරණය සිදුවූයේ එම සමාගමට අදාළව මහ බැංකුව සිදු කළ පරීක්‍ෂණයක වාර්තාවක්‌ (අනවසරයෙන්) පිටවීමත් සමඟය. මුලින්ම එම සමාගම ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය අනුව ඉතා අසාමාන්‍ය අධිප්‍රාමාණික ලාභ එම සමාගම උපයාගෙන ඇති බව රටට හෙළිදරව් වූ අතර චෝදනා එල්ල වූ "බැඳුම්කර මගඩිය" තහවුරු වන ආකාරයේ වූ මේ පුවත ගැන රටේ ආර්ථික හා මූල්‍ය අංශවල පමණක්‌ නොව දේශපාලන අංශවල ද දැඩි අවධානය යොමු විය. මහ බැංකු රෙගුලාසි අනුව ඔවුන්ට සිය මූල්‍ය තත්ත්වය පුවත්පත් දැන්වීමක්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමට සිදුව තිබිණි. ඒ නිසා ඔවුන් ලැබූ එම අධි සුපිරි ලාභය සැඟවිය නොහැකි විය. මේ අනුව එම සමාගම 2014/15 මූල්‍ය වසරේදී රු. මිලියන 960 ක්‌ සහ 2015/16 මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 5124 ක (රු. කෝටි 512.4 ක) ලාභයක්‌ උපයා තිබිණි. මේ අනුව 2014/ 15 මූල්‍ය වර්ෂයේදී ලද ලාභය ඉක්‌මවා රු. මිලියන 4164 ක ලාභයේ දැවැන්ත වර්ධනයක්‌ මෙම සමාගම 2015/ 16 මූල්‍ය වර්ෂයේදී ලබා ඇති අතර එය සියයට 433.75% ක අති විශාල ප්‍රතිශතයකින් ලාභය වර්ධනය කර ගැනීමකි.

දැනට ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභය එම සමගම විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය තත්ත්වය දක්‌වන වාර්තාවලට අනුව මෙසේ රුපියල් බිලියන 5 ක්‌ ලෙස සඳහන් වුව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ම සකස්‌ කරන ලදුව මේ වන විට පිට වී ඇති පරීක්‌ෂණ වාර්තාවට අනුව එම සමාගම මාස 14ක්‌ වැනි ඉතා සුළු කලක්‌ තුළ උපයා ගන්නා ලද ලාභය කලින් හෙළි වූවාට වඩා දෙගුණයක්‌ හෙවත් රුපියල් බිලියන 10.1ක්‌, (රු .කෝටි දහසක්‌) බව තහවුරු වී ඇත.මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට හිමිකම් ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලාභය මෙතරම් ඉහල අගයක්‌ ගනිද්දී එම සමාගම වැනිම අනෙකුත් ප්‍රාථමික සමාගම් එම කාලය තුළ උපයන ලද සමස්‌ත ලාභය රුපියල් මිලියන 533 ක්‌ වැනි සාපේක්‌ෂව ඉතා අඩු අගයක්‌ ගැනීමද විශේෂත්වයකි. ඉහත පරීක්‌ෂණ වාර්තාව මහ බැංකුවේ ම වෘත්තිකයින් කණ්‌ඩායමක්‌ විසින් සකස්‌ කොට තිබේ .මුල්‍ය වෙළඳපොල නියෝජිතයන් පෙන්වා දෙන පරිදි වඩාත්ම හාස්‍යයට කරුණ වන්නේ වාර්තාවේ අඩංගු දැවැන්ත වංචාව ගැන සොයනු වෙනුවට එකී වාර්තාව පිටට ගියේ කෙසේ ද යන්න ගැන දැන් පරීක්‌ෂණයක්‌ ආරම්භ වී තිබීමය. මෙය ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදු වූ විශාලතම මුල්‍ය වංචාව බවට චෝදනා එල්ල වී ඇති අතර කෝප් වාර්තාවල නිර්දේශ සහ මුදල් මණ්‌ඩලය මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිsසේන මහතා මේ වංචාවේ වගකිවයුත්තන්ට එරෙහිව පැහැදිලි පියවරක්‌ ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එහෙත් පෙරේදා (14) පැවැති මුදල් මන්ඩල රැස්‌වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ එම සමාගමට අදාළ අතුරු වාර්තාවක්‌ ගැනය. මීට අදාලව මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කිරීමට තීරණය වී තිබේ. මේ සම්බන්aධයෙන් අවසන් වාර්තාව මේ මස අගදී පැවත්වෙන මීළඟ මුදල් මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිත එහෙත් ඇමැති ලක්‍ෂ්මන් යාපා කිවූ ආකාරයේ තීරණය ගැනීමක්‌ නම් එහිදී සිදුව නැත.

යම් සමාගමක්‌ සාධාරණව ව්‍යාපාර කටයුත්තක නිරත වී ලාභ ලැබීමේ කිසිදු ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ තුළ අනෙකුත් ප්‍රාථමික නියෝජිත ආයතන සමඟ සාධාරණ තරඟයක්‌ තුළින් මේ ලාභ උපයා ගත්තේද යන්නයි. 'බැඳුම්කර මගඩිය' ගැන අපට මහ බැංකුවෙන් මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන්ගෙන් ද මුලසිටම දැන ගන්නට ලැබුණ කාරණාවක්‌ වූයේ මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු (ෂබිසාe සබදෙරප්එසදබ) පිටවන බවයි. හිටපු මහබැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි ගැන මෙසේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන බවට චෝදනාවක්‌ එල්ලවූ අතර එම වාසනාව මූල්‍ය වෙළෙඳපොළේ අනෙකුත් ප්‍රාථමික නියෝජිතයන්ට නොතිබීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ට මෙම බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව අසාධාරණ තරඟයකටය. එසේම මේ සුවිශේෂී ප්‍රාථමික නියෝජිතයාට අදාළ බැඳුම්කර වෙන්දේසිවලට ඉදිරිපත්ව ලබාගත් බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා මහ බැංකුවෙන්ම විශේෂ වරප්‍රසාද සහිතව මූල්‍ය පහසුකම් ද හිමිකරදී ඇති බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. මේ නිසා අනෙකුත් ප්‍රාථමික නියෝජිත ආයතනවලට මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිවලට මුහුණ දීමට සිදුව තිබුණේ සාධාරණ තරඟයකට නොව ඉතා අසාධාරණ තරඟයකට ය. මෙය තවදුරටත් ඉතා සරල උදාහරණයක්‌ මගින්ද පැහැදිලි කළ හැකිය. එනම් අලියාට ඇහැ තැබීමේ තරඟයකට තරඟකරුවන් අට දෙනෙක්‌ ඉදිරිපත්ව ඇතැයි සිතන්න. තරඟ සංවිධායකයන් විසින්ම මින් හත්දෙනෙක්‌ගේ ඇස්‌ කිසිවක්‌ නොපෙනෙන සේ රෙදි කඩකින් වසා ඇත්නම් සහ එක්‌ තරඟකරුවකුගේ ඇස්‌ පමණක්‌ දුහුල් රෙදි කඩකින් බාහිර හොඳට පෙනෙන සේ වසා ඇත්නම් ඇතිවන තත්ත්වය කුමක්‌ ද? මෙහිදී, බාහිර පෙනෙන පරිදි රෙදි කඩකින් ඇස්‌a වැසූ තරඟකරුට අලියාට නිවැරැදිව ඇහැ තැබීමට කිනම් අපහසුවක්‌ද? එහෙත් එය එම තරඟකරුගේ දක්‍ෂතාවක්‌ද? මෙවැනි වූ තත්ත්වයක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්aදේසිවලදී ඇතිව තිබුණු බැවින් තමන්ට මුහුණදීමට සිදුව තිබුණේ වෙළෙඳපොළ තුළ ඉතා අසාධාරණ තත්ත්වයකට බව මේ මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ චෝදනා කරති. මේ නිසා මෙම ලාභය වූ කලී අසාධාරණ තරඟයක්‌ තුළින් උපයාගත් අයුතු ලාභයක්‌ බවට නැඟී ඇති චෝදනාව නිසා මේ සමාගම ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට ආර්ථික හා මූල්‍ය අංශවල මෙන්ම දේශපාලන ලෝකය තුළ ද ප්‍රබල මතයක්‌ ඇතිවී තිබේ. එසේම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ්a ගුණවර්ධන මහතා පවසා තිබුණේ මෙම සමාගම සීල් කළ යුතු බවය. කවර පරීක්‍ෂණයන් කළත් අතීත අත්දැකීම් අනුව අගමැතිවරයා කමිටු පත් කර සිදු කරන පරීක්‍ෂණ ගැන කිසිදු විශ්වාසයක්‌ තැබීමට නොහැකි බව ආර්ථික හා මූල්‍ය අංශවල බොහෝ දෙනෙක්‌ කියන කතාවකි. 2015 පෙබරවාරි 07 සිදු වූ බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂා කිරීමට අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති ගාමිණී පිටිපනට එම වාර්තාව ලබා දීමෙන් තරමක කාලයකින් පසු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා ලෙස ඉතා ඉහළ පඩියකට පත්වීමක්‌ ලබාදී තිබුණි ඒ නිසා හොරාගේ අම්මාගෙන් පේන අහන ආකාරයේ එවැනි ජනතාව රවටන කමිටු පත් කර තවදුරටත් මාධ්‍ය සංදර්ශන කිරීම නම් විහිළුවකි.

පසුගිය ඔක්‌තෝබර් 13 වැනිදා 'දිවයින' මුල් පිටුවේ 'මහ බැංකු රහස්‌ පිටවීම සොයන්න අගමැතිගෙන් කමිටුවක්‌, අධිපති සී. අයි ඩී. යයි' යනුවෙන් පුවතක්‌ පළ වී තිබිණි. බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවූ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්‌ වංචා හා දූෂණ හෙළි කළ අයට එරෙහිව තිබීම නම් හාස්‍යයට කරුණකි. "බැඳුම්කර මගඩිය" සිදු කිරීමට මහ බැංකුවෙන් 'අභ්‍යන්තර තොරතුරු' පිටවන බවට එල්ල වී ඇති චෝදනාවලට සීඅයිඩී නොගිය, මුනිවත රැක්‌ක මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්‌වාමි දැන් බැඳුම්කර වංචාව පිළිබඳ තොරතුරු මහජනයාට හෙළි කරන නිලධාරීන්ට එරෙහිව සීඅයිඩී යට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. ඒ නිසා ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි තමන් විසින්ම තම සුදු පිරුවටයේ මඩ තවරා ගන්නට පටන් ගෙන තිබෙන බවක්‌ හැඟේ. අර්ජුන මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපති ධුර කාලය දික්‌ නොකර මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි පත් කළ විට සමාජය තුළ ඔහුගේ උගත්කම සහ අවංකභාවය කෙරෙහි ඉමහත් ගෞරවයක්‌ සහ විශ්වාසයක්‌ තිබිණි. එහෙත් අද වනවිට මේ බැඳුම්කර මගඩිය ගැන ඔහු අනුගමනය කරන සැකසහිත ක්‍රියා කලාපය නිසාම ඔහුගේ උගත්කම හෑල්ලු වී අවංකභාවය ගැන සමාජය තුළ තිබූ විශ්වාසය ද පළුදු වන්නට පටන් ගෙන තිබේ.

මාධ්‍යවේදීන් වශයෙන් අප බැඳුම්කර මගඩිය සහ ඒ සඳහා මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම වැනි චෝදනා ගැන මහ බැංකුවේ පැවැති පසුගිය ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රශ්න කළ හැමවිටම ඔහු කෝප් පරීක්‍ෂණය ගැන කිsයා හෙමිහිට ලිස්‌සා ගියේය. මෙසේ බැඳුම්කර වංචා චෝදනා ගැන එවැනි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ මහ බැංකු අධිපතිවරයා, ඒවාට උදව් කරන බවට චෝදනා එල්ලවී ඇති මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිවක්‌ නොකර, දැන් එම වංචා දූෂණ හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසි යන්නට තීරණය කර තිබේ. ආචාර්ය කුමාරස්‌වාමි මේ තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව ද එම 'දිවයින' පුවතේ සඳහන් විය. අගමැතිවරයාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය වූයේ ආචාර්ය කුමාරස්‌වාමි නොව බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්මය. එහෙත් සමාජයෙන්, මාධ්‍යයෙන් සහ සිවිල් සංවිධානවලින් aඑල්ල වූ බලවත් විරෝධය නිසා ජනාධිපතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් නොකර, ඒ වෙනුවට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ව පත් කළේය. එලෙස බැඳුම්කර මගඩියට එරෙහි බලවත් මෙහෙයුමක්‌ නොවන්නට අද ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි කියා මහ බැංකු අධිපතිවරයකු ද නැත. එහෙත් අද ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි අගමැතිවරයා සමග සාකච්ඡා කරමින් බැඳුම්කර මගඩිය තහවුරු වීමට තුඩුදෙන තොරතුරු මහජනයාට හෙළි කළ නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර තිබේ. ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගේ මේ ක්‍රියාකලාපය තුළ ඔහු සිටින්නේ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචනිකයන්ගේ පැත්තේද, එසෙත්a නැතහොත් බැඳුම්කර වංචාවට එරෙහි අයගේ පැත්තේද යන ප්‍රශ්නය අද ජන සමාජයට ප්‍රබල ලෙස මතුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, අගමැතිවරයාට පත්කිරීමට අවශ්‍ය වූ අර්ජුන මහේන්ද්‍රන් පත් නොකර, ආචාර්ය කුමාරස්‌වාමිව පත් කළේ, බැඳුම්කර මගඩිය වසන් කිරීමට හෝ එම හොරු රැකීමේ පිළිවෙතක්‌ අනුගමනය කිරීමට විය නොහැකිය. එහෙත් මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයාගේ මෙන්ම මහජනතාවගේ එම අපේක්‍ෂාවන්ට පටහැනිව මේ කරමින් සිsටින්නේ මොනවාද? ඔහුගේ රාජකාරිය අවංකව සහ සෘජුව කිරීමට නොහැකි ආකාරයේ, කිසියම් බලපෑම් ඔහුට එල්ල වී තිබේද යන සැකයද මෙහිදී මතුවන්නකි. කෙසේ වෙතත් බැඳුම්කර හොරු රකින ප්‍රතිපත්තියක්‌ වත්මන් මහ බැංකු අධිපතිවරයා අනුගමනය කරන බව කීමට අප නම් තවමත් සූදානම් නැත. තවදුරටත් මහ බැංකු අධිපතිවරයා මේ ගැන ක්‍රියා කරන ආකාරය ගැන අපි බලා සිටිමු.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ගැන මහ බැංකුවේ බැංකු නොවන මූල්‍යායතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්‍ෂණ වාර්තාවක්‌ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමටත් පෙර පිටවී තිබුණි. එම වාර්තාව මගින් බැඳුම්කර මගඩිය" තහවුරු වීමට තුඩු දෙන ආකාරයේ කරුණු රැසක්‌ හෙළිදරව් වී තිබිණි. ඇතැම් විට අනවසරයෙන් හෝ එම වාර්තාව මහ බැංකුවෙන් පිට නොවූවා නම් මේවා කිසිදිනක මහජනතාවට හෙළිදරව් නොවන්නටද ඉඩ තිබිණි. මේවා මහජනතාව දැනගත යුතු බව අපගේ විශ්වාසයයි. බැඳුම්කර මගඩිය නිසා වූයේ රජයේ පොලී වියදම් ඉහළ යැමයි. එහි බර දරන්නේ මහජනතාවය. ඒ නිසා බැඳුම්කර මගඩියේ බර මුළුමනින්ම දරන්නේ අතිමහත් බහුතර ජනතාව බැවින් තමන්ට ඒ හානිය කිරීමට වගකිවයුත්තන් කවුදැයි මහජනතාව දැනගත යුතුය. මහ බැංකුවේ ඇතැම් ඉහළ නිලධාරීන්ම මේ සියල්ල වසං කිරීමට උත්සාහ කරමින් 'බැඳුම්කර හොරු' රැකීමට ක්‍රියා කරන පසුබිමක, මේ වාර්තාව පිටවීම නිසා ඔවුන්ගේ එම ජනතාෙද්‍රdaහී උත්සාහයට විශාල බාධාවක්‌ සිදුව ඇති බව නම් පැහැදිලිය. මෙවැනි වංචා හා දූෂණවලට අදාළ තොරතුරු හෙළි කිරීම කලින් අවසර ගෙන නිල වශයෙන් කළ හැකි දෙයක්‌ නොවන බව කාටත් තේරුම් ගැනීමට අපහසු නැත. ඒ නිසා මුදල් මණ්‌ඩල ලේකම්වරයා කියන පරිදි අදාළ පරීක්‍ෂණ වාර්තාව අනවසරයෙන් පිටවී ඇති බව ඇත්තය. එහෙම නැතුව මුදල් මණ්‌ඩල ලේකම්වරයා කියන්නේ එම වාර්තාව මහජනතාවට හෙළිදරව් කිරීම මහ බැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමිගෙන් කලින් අවසර ගෙන නිල වශයෙන් පිට කරන්න කියාද? මේ නියෝජ්‍ය අධිපතිවරයා නොයෙකුත් හේතු කියමින් රජයේ විගණකාධිපතිවරයාට පවා බැඳුම්කර ගනුදෙනු තොරතුරු නොදී සිටීමට උත්සාහ කළ බව ද ප්‍රසිද්ධ කරුණකි.

"බැඳුම්කර මගඩියට" ට උදව් කළ තවත් බොහෝ දෙනෙක්‌ මහ බැංකුව තුළම සිටී. චෝදනා එල්ල වූ ඇතැම් ඉහළම මහ බැංකු නිලධාරීන් එම තනතුරුවල එම වගකීම් එලෙසම උසුලමින් සිටී. වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේත් තත්ත්වය එලෙසමය. මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම ගැන අප ප්‍රශ්න කළත් මහ බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්‌තිමත් කිරීම ගැන කිසිවක්‌ නොකියා "කෝප් පරීක්‍ෂණ" මන්ත්‍රයම ජප කළ මහ බැංකු අධිපතිවරයා, බැඳුම්කර වංචාව හෙළිදරව් වන පරීක්‍ෂණ වාර්තාව නිකුත් වූ වහාම විශාල ලෙස කළබල වී අගමැතිවරයා සමග සාකච්ඡා කර සීඅයිඩී යන්නට තීරණය කර තිබේ. එසේම වහාම මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් ශක්‌තිමත් කළ බව ද කියයි. බැඳුම්කර වංචාවට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නැති අති විශාල උනන්දුවක්‌, මේ වංචාව පිළිබඳ තොරතුරු හෙළි කළ මහ බැංකු නිලධාරීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි ට හෝ මුදල් මණ්‌ඩලයට ඇතිවී තිබීම ගැන මහජනතාව ගැඹුරින් සිතිය යුතු කරුණකි. මහ බැංකු අධිපතිවරයා පමණක්‌ නොව මුදල් මණ්‌ඩලයේ සාමාජිකත්වය දරන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා ඇතුළු සෙසු මුදල් මණ්‌ඩල සාමාජිකයන් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස අපි බලා සිටිමු. තමන් දරන ඔය 'ආචාර්ය' පට්‌ටම්වල හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම්වල ගෞරවය රකිමින් අභීතව සහ බලපෑම්වලට යට නොවී හරි තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට ශක්‌තිය හා සිත් පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Read More »

බිය ගන්වා වීරයන් වීමේ කලාව - වික්ටර් අයිවන්

0 comments
වික්ටර් අයිවන්
අතුරලියේ රතන හිමියන්ගේ ‘වස විස නැති රටක්’ යන තේමා පාඨය යටතේ කරළියට ගෙනා කෘෂිකර්ම වැඩසටහන දැන් බලවත් විවාදයට හේතුවී තිබෙන වැඩසටහනක් බවට පත්වී තිබේ. මුලදී මෙම වැඩසටහන ගැන ප්‍රශංසා හැර විවේචන නොතිබුණි.

විජේවීරගේ ආදර්ශය
එය මහජන මනසේ ලොකු භීතිකාවක් ඇති කොට ඉන්පසු මහජන අනුකූලතාව දිනාගැනීමට හැකිවන ආකාරයට සැලසුම් කළ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් එය 71 කැරැල්ල සඳහා විජේවීර කරළියට ගෙනා වැඩසටහනට සමාන කළ හැකිය. විජේවීරද සන්නද්ධ නැගිටීමක අවශ්‍යතාව සිය අනු ගාමිකයන්ට යුක්ති සහගත කරන ලද්දේ ඇමරිකන් සැලැස්මක් අනුව ඇතිවන්නට යන හමුදා ආණ්ඩුවක් පිළිබඳ භීතියක් ඇති කිරීමෙනි. ඒ අදහස ඒත්තු ගැන්වීම සඳහා ඔහු ඉදිරිපත් කරන ලද සාක්ෂි අතර අසන්නන් කෙරෙහි වඩාත්ම බලපෑ සාක්ෂිය වූයේ බෙන්තර සංචාරක හෝටලය පිළිබඳ කතාවය. විජේවීර කීවේ එය සංචාරක හෝටලයක් නොව සංචාරක හෝටලයකට මුවාවී ඉදිකෙරෙමින් තිබෙන ඇමරිකන් යුද්ධ බලකොටුවක් බවය. එහි ඉදිකෙරෙමින් තිබූ දැවැන්ත ගල් තාප්පය වැනි තාප්පයක් බලකොටුවකට මිස සංචාරක හෝටලයකට අවශ්‍ය නොවන බව ඔහු කීවේය.

ඇමරිකන් අවශ්‍යතා මත හමුදා ආණ්ඩුවක් ඇතිවුවහොත් ලංකාවේ ඇතිවිය හැකි විනාශය ඔහු විස්තර කරන ලද්දේ ඉන්දුනීසියාව නිදර්ශනයට ගනිමිනි. සුහර්තෝගේ හමුදා ආණ්ඩුව සුකර්නෝ ගේ ආධාරකරුවන් හා වාමාංශිකයන් ලක්ෂ ගණනක් මරා දැම්මේය. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තේය. ලංකාවේදී හමුදා ආණ්ඩුවක් ඇතිවුවහොත් ඉන්දු නීසියාවේ ඇතිවූ විනාශයට සමාන විනාශයක් ලංකාවේද සිදුවනු ඇති බව ඔහු කීවේය. ඔහුගේ එම විග්‍රහය මා ඇතුළු ඔහුගේ සියලු අනුගාමිකයන් තුළ උමතුවක් වැනි භීතිකාවක් ඇති කිරීමට හේතුවිය. අප සියලුදෙනාට අවශ්‍ය වූයේ එවැනි බිහිසුණු තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීමය.

අප සියලුදෙනා උපරිම මට්ටමින් භීතියට පත් කොට එක් අරමුණක් සඳහා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගනිමින් තමන්ගේ බලය අල්ලා ගැනීමේ වැඩසටහන ජයගැනීම විජේවීරගේ උපාය මාර්ගික අරමුණ වීයැයි කිව හැකිය. වෙන්න යන මහා නපුරු දෙයක් පෙන්වා ජනයා බියගැන්වූ විට එම නපුරු දේ ඇතිවීම වළකා ගැනීම සඳහා භීතියට පත් කළ නායකයා වටා ජනතාව පෙළගැසීම ස්වාභාවිකය. බර්ට්‍රන්ඞ් රසල් කියා ඇත්තේද අවනත වීමේ මූලික හේතුව බය වන බවය. විජේවීරගේ දෙවැනි කැරැල්ල තුළ සේ ම ප්‍රභාකරන්ගේ කැරැල්ල තුළද එම ධර්මතාව අඩංගු වී තිබුණි. ඒ අවස්ථා දෙක ගැන මෙහි කතා නොකරන්නේ මේ ලිපිය දීර්ඝවීම වළකා ගැනීම සඳහාය.

ගංගොඩවිල සෝම හිමි
ඉන්පසු ගංගොඩවිල සෝම හිමි අපවත් වූ අවස්ථාවේදීද ජාතික හෙළ උරුමය ව්‍යාපාරය එම ධර්මතාව ක්‍රියාවට නගා ලොකු දේශපාලන අස්වැන්නක් නෙළා ගැනීමට සමත් විය. රුසියාවේදී අපවත් වන අවස්ථාව වන විට ගංගොඩවිල සෝම හිමියන් දක්ෂ ධර්ම දේශකයකු වශයෙන් බෞද්ධ ජනතාව අතර ලොකු පිළිගැනීමක් හිමිකරගෙන තිබුණේය.

එය ස්වාභාවික මරණයක් නොව බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවී තිබෙන සියුම් මනුෂ්‍ය ඝාතනයක් යන අදහස සමාජ ගතකිරීම සඳහා සැලසුම් කළ සියුම් වැඩසටහනක් එම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපාරය සමත් විය. සියලු ජනමාධ්‍යද දැන හෝ නොදැන එම වැඩසටහන සමාජගත කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. සෝම හිමි අපවත්වීමේ පුවත බෞද්ධ ජනයා අතර ලොකු දුකක් හා කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණි. එය කුමන්ත්‍රණයක් නිසා සිදුවූ ඝාතනයක් බව මහජනයාට ඒත්තු ගැන්වීම මගින් ඒ සියලුදෙනා මහත් සැකයෙන් කෝපයෙන් හා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගැනීම ඔවුන් දියත් කළ වැඩසටහනේ අරමුණ විය. ඒ මගින් ඔවුන් අපේක්ෂා කළේ 2004 පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැති වරණයෙන් උපරිම දේශපාලන අස්වැන්නක් නෙළා ගැනීමය. ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාවට නගන ලද වැඩසටහන කොතරම් සාර්ථක වීද කියතොත් හොඳ සිහියෙන් ක්‍රියාකරන තත්ත්වය නැති කොට බෞද්ධ ජනයා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගැනීමට සමත් විය. ඒ මගින් අපේක්ෂා කළ දේශපාලන අරමුණද ඔවුහු ඉටුකර ගත්තෝය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ සෝම හිමියන්ගේ අභාවයේ උණුසුම මැකීයන්නට පෙරය. 2004 අප්‍රේල්වලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 552724ක් ලබාගනිමින් පාර්ලිමේන්තු ආසන 9ක් දිනාගැනීමට එම ව්‍යාපාරය සමත් විය. එම ව්‍යාපාරය විසින් එහිදී දියත් කරන ලද ත්‍රාසජනක වැඩසටහන පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් මාගේ ‘පන්සලේ විප්ලවය’ නමැති පොතට ඇතුළත්ය.

ග්‍රීස් යකා
උතුරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු 2011 වසරේදී තෝරාගත් දෙමළ, මුස්ලිම්, සිංහල හා උඩරට දෙමළ යන ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කළ ‘ග්‍රීස් යකා’ සංදර්ශනයද ඒ ආකාරයෙන් ලංකාවේ ක්‍රියාත්මක වූ තවත් බිහිසුණු අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකිය. එය හොඳින් ප්‍රගුණ කළ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකු යොදා ගනිමින් කිසියම් ආරක්ෂක බලධාරියකු විසින් ක්‍රියාවට නගන ලද සංදර්ශනයක් ලෙස සැලකිය හැකිය. මෙම සංදර්ශනය පැවති ප්‍රදේශවල ජනයා කොතරම් භීතියට පත්වීද කියතොත් භීතියට පත් සමහර ප්‍රදේශවල පාරේ යන නන්නාඳුනන මිනිසුන්ට පවා පහර දෙන තත්ත්වයක් ඇතිවීම නිසා පුද්ගලයෝ කිහිපදෙනෙක් මරණයට පත්වූහ. එහෙත් එම ව්‍යාපෘතියේදී කුමන හේතුවක් නිසා හෝ එම සංදර්ශනය පිටුපස සිටි වීරයා කරළියට එන්න පෙර සංදර්ශනය අත්හිටුවන්නට සිදුවීම නිසා වීරයා කරළියට ඒමක් සිදුනොවීය.

ඉන්පසු අතුරලියේ රතන හිමියන් වස විස නැති රටක් යන තේමා පාඨය ඇතිව ඉදිරියට ගෙනැවිත් තිබෙන වැඩසටහනටද මහජනයා බියගැන්වීමේ වැඩසටහනක් සමඟ මහජනයා මුදාගැනීමේ වැඩසටහනක්ද ඇතුළත්ය. රජරට කලාපයේ පැතිර යමින් තිබුණු හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය මහජන හදවත් සසල කරන සාධකයක් බවට පත්ව තිබුණි. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මහජනයා බිය ගන්වා මහජන අවනතභාවය දිනාගන්නා වැඩසටහනක් බවට පත්කර ගැනීම සඳහා එම රෝගයට බලපෑ හේතු අර්ථකථනයකට ලක්කිරීමක් අවශ්‍ය විය. ඒ සඳහා බලපා තිබෙන හේතුව ලෙස අර්ථකථනය කෙරුණේ රසායන පොහොර හා කෘමි, වල් හා දිලීර නාශක නිසා පරිසරයට එකතු වී තිබෙන ආසනික්ය. ඒ අදහස සමාජ ගතකිරීමේ අරමුණින්ම අපූරු ගණයෙහිලා සැලකිය හැකි විද්‍යාත්මක පරීක්ෂණයක්ද සිදු කළේය. එම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් එක් විද්‍යාඥයකු ප්‍රකාශ කළේ ආසනික් පිළිබඳ ඉඟිය පේනයක් බලන විට අයියනායක දෙවියන් විසින් දෙන ලද ඉඟියක් වන බවය. එම පේන බැලූ පේනකාරියද එම පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ක්‍රියා කළාය. එම පරීක්ෂණය විද්‍යාඥයන්ගේ හාස්‍යයට හා විරෝධයට හේතු වුවද පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණය සමාජගත කිරීමෙහිලා ජනමාධ්‍යද පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය. ඒ අනුව හේතු හඳුනාගත් වකුගඩු රෝගයට හේතුව පොහොර හා කෘෂි රසායන බව මහජනයා ප්‍රබල ලෙස පිළිගන්නා දෙයක් බවට පත්විය.

රතන හිමිගේ මාවත
රතන හිමියන් තමන් වහන්සේගේ ගැලවුම්කාර වැඩසටහන ඉදිරියට ගත්තේ ඉන්පසුවය. වස විස නැති රටක් යන තේමාව යටතේ කරළියට ගන්නා එම ගැලවුම්කාර වැඩසටහනට අනුව තුන් අවුරුදු කාලයක් තුළ රසායන පොහොර භාවිතය හා කෘෂි රසායන භාවිතය මුළුමනින් අහෝසි කොට ඓන්ද්‍රීය පොහොර මත පදනම් වූ වස විසෙන් තොර සරුසාර කෘෂිකර්මයක් ඇති කිරීමට සමත් වේ. ඒ අරමුණ සඳහා ලංකාවේ භාවිත වූ වල්නාශකය ලෙස සැලකිය හැකි ග්ලයිෆොසෙට් තහනම් කරවා ගැනීමටද ඒ හිමියෝ සමත් වූහ. කෘෂි විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට මෙම වැඩසටහන නිසා කෘෂිකර්මයට විය හැකි විනාශය අතිවිශාලය. මෙම වැඩසටහන ගැන කෘෂිකර්ම විද්‍යාඥයකු වූද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූද ආචාර්ය සරත් අමරසිරි රාවයට ලියා තිබුණේ මෙම වැඩසටහන නිසා කෘෂි නිෂ්පාදනවල විශාල පහත වැටීමක්ද, ආහාර මිල අධික ලෙස ඉහළ යෑමක්ද, කෘෂිකර්මයෙන් ජීවත් වන ගොවි ජනතාවගේ ආදායම් පහළ වැටීමක්ද ඇතිවනු නොවැළැක්විය හැකි බවය. ඔහු එම ලිපියෙන් තවදුරටත් කියන්නේ රසායන පොහොරවල ගුණාත්මක භාවය නිශ්චිත ප්‍රමිතීන්ට අනුකූල නම් හා පොහොර භාවිතය නියමිත ප්‍රමාණයන්ට අනුව සිදුකරන්නේ නම් රසායන පොහොර මිනිසුන්ගේ හෝ අනෙකුත් ජීවීන්ගේ සෞඛ්‍යයට අහිතකර නොවන බවය.
ග්ලයිෆොසෙට් තහනම ගැන මහාචාර්ය ඕ.ඒ. ඉල්ලේපෙරුම ලියා තිබුණේ එම තහනම කෙරෙහි දේශපාලන කණ්ඩායමකගේ දේශපාලන අරමුණු බලපා තිබෙන බව බොහෝ නිදහස් මතධාරී විද්‍යාඥයන්ගේ මතය වන බවය. එම මහාචාර්යවරයා වැඩිදුරටත් කියා තිබුණේ එම තීරණය ගැනීමට පෙර කෘෂිකර්ම නිලධාරීන්ගෙන් හෝ වසර ගණනාවක් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ විද්‍යාඥයන්ගෙන්ද කිසිදු අදහස් විමසීමක් නොකළ බවය.

ඉතිහාසය අමතක කිරීම
මහාචාර්ය බුද්ධි මාරඹේ ඉදිරිපත් කර තිබෙන තර්ක අතර ඉතාම වැදගත් තර්කයක් මෙසේය. කෘෂි රසායන පොහොර හෝ කෘමිනාශක පාවිච්චි නොකර කුඹුරු වගා කළ යුගයක් පූර්ව නූතන යුගයේදී පමණක් නොව නූතන යුගයේදීද තිබුණි. පනහේ දශකයේ අවසානය දක්වා ලංකාව කුඹුරු වගා කළේ රසායනික පොහොර හෝ රසායනික නාශක නැතිව තනිකර ඓන්ද්‍රීය පොහොරවලිනි. ඒ කාලයේ රටේ ජනගහනය මිලියන හයකි. ඓන්ද්‍රීය පොහොරවලින් ඒ කාලයේදී අපට නිපදවා ගත හැකිවූයේ රටේ සහල් අවශ්‍යතාවන්ගෙන් සියයට 40ක් පමණය.

1951-52 වසරේදී ලංකාවේ කුඹුරු අක්කරයකින් නිමවුණු ජාතික සාමාන්‍යය බුසල් 31.27කි. කිලෝවලින් නම් කිලෝ 652.60කි. ඓන්ද්‍රීය පොහොර හා පාරම්පරික පළිබෝධනාශක පාවිච්චි කළ එම යුගයේ රට නිපදවූයේ සහල් අවශ්‍යතාවන්ගෙන් සියයට 50කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉතිරිය ලබාගත්තේ සහල් ආනයනයෙනි.

ලංකාවේ වර්තමාන ජනගහනය මිලියන 21කි. වර්තමානයේ කුඹුරු අක්කරයක නිමවුණු ජාතික සාමාන්‍යය අක්කරයක් සඳහා කිලෝ 2154කි. ජනගහනය තුන් ගුණයකින් වැඩිවන විට වී අක්කරයක නිෂ්පාදනයද තුන් ගුණයකින් පමණ ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට හැකිවී තිබේ. රටක් වශයෙන් දැන් අප සිටින්නේ අපේ අවශ්‍යතාවන්ටත් වැඩියෙන් සහල් නිපදවන තත්ත්වයකය. එවැනි තත්ත්වයක් දිනාගැනීමට හැකිවූයේ පාරම්පරික සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් ඉවත් වී නවීන ගොවිතැන් ක්‍රමවලට මාරුවීම නිසාය. ඓන්ද්‍රීය පොහොරවලට හා පාරම්පරික කෘමිනාශක ක්‍රමවලට හා පාරම්පරික බීජ වර්ගවලට සීමා නොවී වැඩි දියුණු කළ බීජ වර්ග, රසායන පොහොර, රසායන වල් දිලීර හා කෘමිනාශක යොදා ගැනීම නිසාය. නවීන ගොවිතැන් ක්‍රම අත්හැර පාරම්පරික බීජ වර්ග හා ඓන්ද්‍රීය පොහොර මත පදනම් වූ පාරම්පරික ගොවිතැනට ආපසු යතොත් නැවත අපට සිදුවනු ඇත්තේ රටට අවශ්‍ය සහල්වලින් කිසියම් කොටසක් ආනයනය කිරීමටය.
ග්ලයිෆොසෙට් තහනම ස්වයංපෝෂිත තත්ත්වයක තිබූ බඩ ඉරිඟු වගාව නැතිභංග කළේය. ඒ තත්ත්වය කුකුල් ගොවිපොළ කර්මාන්තයද දුර්වල කළේය. දැන් ලංකාව නැවත බඩ ඉරිඟු ආනයනය කරන රටක් බවට පත්ව සිටී. ග්ලයිෆොසෙට් තහනම තේ වගාව කෙරෙහි පමණක් නොව වෙනත් භෝග වගාවන් කෙරෙහිද විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය.

විසඳුම ඇත්තේ කොතැනද?
පොහොර භාවිතයේදී ඓන්ද්‍රීය පොහොරවලටද ලොකු වැදගත්කමක් ලැබෙන්නේය. එහෙත් රසායන පොහොරවලින් හා කෘෂිරසායනවලින් මුළුමනින් බැහැර වී ඓන්ද්‍රීය පොහොරවලට පමණක් සීමාවූ කෘෂිකර්මයක් රටට යහපත් වන්නේ නැත. එය ප්‍රායෝගික නොවන මනෝරාජික සිතිවිල්ලකි. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට දරන උත්සාහයක් රටට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. රසායන පොහොර හා කෘෂි රසායන අහිංසක නැත. වැරදි ලෙස භාවිත කළහොත් ඒවා ඇති කරන ප්‍රතිඵල අයහපත්ය. ඒවා වෛද්‍ය විද්‍යාවේ පරිහරණය කරන ඖෂධ වැනිය. පාවිච්චියේදී මාත්‍රාව වැදගත්ය. මාත්‍රාව නොසලකා වැඩිපුර පාවිච්චි කළහොත් ඇතිවන ප්‍රතිඵල විනාශකාරීය. ඒ නිසා අපි නවීන ඖෂධ අත්හැර පාරම්පරික ඖෂධවලට යන්නේ නැත. රසායන පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප අනුගමනය කළ යුත්තේද එවැනි ප්‍රතිපත්තියකි.

රසායන පොහොරවල පමණක් නොව ඓන්ද්‍රීය පොහොරවලද වස විස ඇත්තේය. රසායන පොහොරවල තිබෙන වස විස අවම කිරීමේ හැකියාවක් ඇතත් ඓන්ද්‍රීය පොහොරවල තිබෙන වස විස අවම කිරීමේ හැකියාවක් නැත. ගොම පවා අහිංසක නැත. රසායන පොහොර භාවිතය මුළුමනින් නවතා ගොම පදනම් කරගත් ඓන්ද්‍රීය පොහොර මහා පරිමාණයෙන් නිපදවන තත්ත්වයකට ගියහොත් (එය කළ හැකි දෙයක් නොවේ) එය පරිසරය දුගඳ කිරීමට හේතුවනවා පමණක් නොව, රසායන පොහොරවලට වඩා ලොකු පරිසර දූෂණයක්ද ඇති කිරීමට හේතුවනු ඇත.

ඓන්ද්‍රීය පොහොර භාවිතය මුළුමනින් ප්‍රතික්ෂේප කිරීම අන්තවාදයක් වනවා සේ ම රසායන පොහොර හා කෘෂි රසායන මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමද අන්තවාදයකි. රටේ යහපතට හේතුවනු ඇත්තේ සමබර ප්‍රතිපත්තියකි.

රසායන පොහොර හා කෘෂි රසායනවලින් තොරව ඓන්ද්‍රීය පොහොරවලට පමණක් සීමාවූ සාර්ථක ගොවිතැන් ක්‍රමයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් ආණ්ඩුවට කළ හැකි හොඳම දේ අත්හදා බැලීම අසාර්ථක වුවහොත් ගොවීන්ට වන්දි ගෙවීමේ පදනමක් මත ඒ අත්හදා බැලීම සඳහා රතන හිමියන්ට තෝරාගත් දිස්ත්‍රික්කයක් භාරදීමය. ඒ හිමියන් එම දිස්ත්‍රික්කයේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත් වෙතොත් අන් සියලු දිස්ත්‍රික්කවල ගොවි ජනයාද රතන හිමියන්ගේ ක්‍රමය වැළඳ ගනු ඇත.

එසේ නොකොට මේ ආණ්ඩුව ගොඩනැගීමට දායක විය යන පදනම මත රතන හිමියන්ගේ මනෝරාජික වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාකරන තැනකට ගියහොත් විය හැක්කේ ලංකාවේ කෘෂිකර්මය නැත්තට නැතිවීමය.

Read More »

ප්‍රසන්නගේ ‘උසාවිය නිහඬයි‘ උසාවියෙන් 19 දක්වා නිහඬ කරවයි

0 comments
අද සිට තිරගත වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ (Silence in the court)  නමැති නවතම සිංහල චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

‘උසාවිය නිහඬයි‘ සිනමා පටය පාදක වූයේ කලකට පෙර මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සේවය කළ ලෙනින් රත්නායක නම් පාහර හඩුකාරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැමියා නිදහස් කරනවා කියා ඔහුගේ බිරිඳ සිව් වතාවක්ම දූෂණය කිරීමේ සත්‍ය සිද්ධියයි. මෙම පාහර ක්‍රියාව සම්බන්ධයෙන් එවක වික්ටර් අයිවන් මහතා විසින් දිගින් දිගටම හෙලිදරව් කිරීමෙන් පසුව ලෙනින් රත්නායකට තනතුර අහිමි විය.

එකී ලෙනින් රත්නායක විසින් තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම විභාගයට ගන්නා තුරු චිත්‍රපටය ප්‍රදර්ශනය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව ලබන 19 වෙනිදා දක්වා ප්‍රදර්ශනය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ. 19 වෙනි දිනට දෙපාර්ශවට අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය යුතුය.

උසාවිය නිහඬයි සිනමා පටය සම්බන්ධයෙන් උපේක්ෂා නුවන්ශ්‍රිනි  මාධ්‍යවේදිනිය තැබූ සටහනක් මෙහි උපුටා දක්වමු..

උසාවිය නිහඩවෙද්දී කාන්තාවගේ භූමිකාව
ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඩයි සිනමා පටය විඳින ලද හැම වාරයකම මම ඇතුලාන්තයෙන්ම් කම්පා වූයෙමි.අද සිදුවූයේත් එයමය. Silence in the Court සත්‍ය සිදුළුීමක් පාදක කරගත් වාර්තා ස්වරූපයේ චිත්‍රපටයකි.කුමන ක්ෂේත්‍රයක හෝ ඉහළම නිළ ධූරාවලිය හිමි නිළධාරීන් විසින් තම ආධිපත්‍යය මත සාමාන්‍ය මිනිසාගේ ඉරණම තීරණය කරන අන්දම අතිශය දුක්ඛදායකය.සුළු වරදකට රිමාන්ඩ් භාරයට ගන්නා තරුණයකු රඳවා තබා ගනිමින් ඔහුගේ විමුක්තිය ඉත්තා කරගෙන බිරිඳ අතවරයට ලක් කළ විනිසුරුවරයකු සම්බන්ධ මෙම අප්‍රසන්න ප්‍රවෘතියේ අග කොටස මම දෑසින් දැක ගත්තෙමි. ගම්මුන් එකතු වී බද්දේගම උසාවියට ගල් ගහන දවස වන විට මම ශීෂ්‍යත්ව පන්තියේ දැරියකව හිඳ සිදුවීම බලා උන්නෙමි. නමුත් මට එහි අග මුල තේරුනේ නැත.එදින සවස රාවය පුවත්පත ගෙනා තාත්තා අම්මා සමග මට නෑසෙන්නට මොනවාදෝ කියනවා මතකය. ලෙනින් රත්නායක නම ඔහු ඉතා පැහැදිලිව කියා ඉතිරි සියල්ල කීවේ රහසේය. කුඩා දැරියකට බලන්නට නුසුදුසු පිටුවුක් පත්තරයේ ඇති බව තාත්තාට කී අම්මා රාවයේ පිටුවක් ගලවාගෙන ගොස් විශාල ලී අල්මාරියේ වහලේ තැන්පත් කරනු මම බලාසිටියෙමි. මට එය කියවන්නට හැකි වූයේ ඔවුන් නින්දට ගිය පසුය. සිදු වූ සියල්ල ඒ සැටියෙන්ම වටහා ගන්නට හැකියාවක් එකල නොතිබුණු නමුදු කිසියම් අකටයුත්තක් සිදුව ඇතිබව වටහා ගන්නට හැකියාවක් මා තුළ තිබිණි. ඉන් පසු කාලයත් සමග ලෙනින් රත්නායකව මට අමතක වී ගියේය.

මීට වසරකට පමණ පෙර සිනමා උළෙලකදී ප්‍රසන්න විතානගේ ගේ මේ සිනමා පටය මා නැරඹුවේ ඒ ගැන පූර්ව කතිකාවක් නොදැනමය.ලෙනින් රත්නායකගේ නම අැසෙත්ම පෙර ව්‍යුත්පත්තීන් හා බැඳී මම තිගැස්මකට පත්වීමි. නමුත් ඒ වන විට මගේ ලෝකය වෙනස් එකක් බවට පත් ව තිබිණි. උසාවිය පමණක් නොව කලාවද දූෂිතය. උසාවියේ දී පමණක් නොව කවියන් අතින්ද දූෂනය වූ , මේකප් දමන්න ගියා ගෙට ගෙන්නා දුෂණය කළ ජාත්‍යන්තර පාසල් ළමයින් විශ්වවිදයාල සිසුවියන් කෙතෙක් වෙද්ද? එවන් උම්මත්තකයකු ට එරෙහිව නැගුණු කාන්තාවකගේ කතාවක් පාදක කරගත් සටනක් නිසා මම ද වසර ගණනාවක් දුක්වීමි. මා පත් වූ දුෂ්කරතාව වූයේ මේ කවියාගෙන් අතවරයට ලක් වූ කාන්තා චරිත දෙකම සිදුවීම හෙලිකිරීමට වැනෙන ස්වභාවයක් දැක්වීමත් මේ කවියා පැවති දේශපාලන බලාධිකාරීයේ හයිය මත තමන්ට හානියක් සිදු කරනු ඇතැයි සිතීම නිසා මේ ගැහැනුන් දෙදෙනා අවසානයේ මට ද තේරුම් ගත නොහැකි වීමත්ය. ඒ නිසා ගැහැණියකගේ දුකක් අහන්නට යෑමද එක්තරා අන්දමකට අවධානමකි. ඒ අවධානම ඉසිලීම ගැන ප්‍රසන්න විතානගේට සහ වික්ටර් අයිවන්ට පළමුව තුති පුදමි.

මහව උසාවියේදී ලෙනින් රත්නායක අතින් අතවරයට පත් වූ ගැහැණිය බබෙකු ලෙස සිනමා පටය තුළ ඉදිරිපත් වී නැත. එම තරුණ මව සිවුවරක් විනිසුරුවරයා අතින් අතවරයට පත්වෙයි. නමුත් කටඋත්තරයක් දෙන්නට ලැගුම් හලක කාමරයකට යෑමත්, විනිසුරැවරයා ඇග පත සෝදා එන තුරු ඇය කිසිදු ප්‍රත්‍රිියාවක් නොදැක්ළුීමත් ස්ත්‍රියගේ ඥානය පිළිබඳ ගැටලුවකැයි එක්වරම හැඟෙයි.සැබැවින්ම පිරිමියකු දුටු සැණෙන් ඔහුව කියවීමට හැකි ගුණයක් ගැහැණිය සතුය.. ඇයට ද අනතුරක සේයාව නොදැනුනායයි කිව නොහැකිය. පළමු අවස්ථාවේදීම විනිසුරුවරයාගේ නඩුව එතැනම විසදන්නට ඇයට හැකියාව තිබිනි. නමුත් ඈ ඔහුට ගොදුරු වූයේ ඇයි? ඈ නැහැදුණු ගැහැනියක නිසාද? නැතිනම් ස්වකීය ස්වාමියා බේරා ගැනීමට දුන් ලිංගික අල්ලසක්ද? මනුෂ්‍ය ජීවිතයේ අවිනිශ්චිත අවස්ථා කිසිදාක නියත ලෙස විග්‍රහ කළ නොහැකිය. මනමේ කුමරිය වැද්දාට කඩුව දීමත්, සුනාමි ව්‍යසනය වෙලාවේ නිරුවතින් පාරේ දිව ගිය මිනිසුනුත් මේ කාන්තාවත් මට දැනෙන්නේ එකම ආකාරයකිනි. ඇය මානසික සංකීර්ණත්වය නිසාම ශාරීරිකව ගොලු වූවා විය හැකිය. කෙසේ වුවත් පවතින සියල්ල ඒ ආකාරයෙන්ම ඉදිරිපත් නොකර මනුෂ්‍යයාගේ සංකීර්ණ ස්වභාවයද සිය ප්‍රකාශනය තුළට කැටි කරන්නට නිර්මාණ කරුවා දැරූ වෑයම සුන්දරය.

මාධ්‍යෙව්දියකුගේ වගිකීම උදෙසා වික්ටර් අයිවන්ගේ භූමිකාව ගැන නොකියාම බැරිය. කිසියම් වේදනාවකදී හෝ දුකකදී ගැහැනිය මුලුමනින්ම අසරණ භාවයට පත්වෙයි.වෙසෙසින්ම සමාජයේ ඉහළ ප්‍රතිරූපිත පිරිමියෙක් චූදිතයකු වූ විට සෙසු සගයන් ගන්නේද තම මිතුරාගේ පාර්ශ්වයයි. එබඳු අවස්ථාවකදී ගස්ගල් අදහමින් නිහඩ වනවා මිස කරන්නට දෙයක් ද නැත. මා මුිලින් කී ගැහැනිය ගොදුරු වන අවස්ථාවෙ නිහඩව සිටින්නේ කිසියම් ආර්ථීක වාසියක් සඳහා දැයි පැහැදිලිව කිව නොහැකිය. ඇයව ලැගුම් හලේදී දූෂණය කරන විනිසුරුවරයා සමුගන්නා අවස්ථාවේදී දිගු කරන රුපියල් දෙසීයද ඇය බාරගනී.එය ඇගේ අසරණ කමද? අවිනිශ්චිත අවස්ථාවක ස්වයංක්‍රියව නොදැන සිදු කළ ක්‍රියාවක්ද? නමුත් ස්වකීය ජීවිතය දිනෙන් දිනම අගාධයට ඇද වැටෙද්දී ඇය ස්වකීය අරගලය අරඹයි.

අවනීතිය සමනය කරනු උදෙසා පිහිට වූ ඒකකයම දුෂණය වූ තැන ඇය පත්තර කන්තෝරු ගානේ ඇවිද යයි. රාවය පුවත්පතට ඇය ගොඩවන්නේ එපරිදිය. සමාජ විසමෘද්ධීන් සහ දැඩි අස්ථාවරතා මධ්‍යයේ මාධ්‍යෙව්දියාගේ වගකීම තීරු ලිපියක් ලියා කපුටු පිහාට්ටේ වමනය කපුටු මරණය දක්වා ගෙන යෑමත් ,සිනමාකරුවාගේ වගකීම මල් ගහක් වටේ සූකිරි බටිල්ලන් නටවා හොටු පිසදෑමත් ඉක්මවා සමාජ විශෝධනයකට දායක වීම දක්වා වෙනස් වී තිබේ. නමුත් මේ කාන්තාව වික්ටර් අයිවන් සහ ප්‍රසන්න විතානගේ වෙනුවට වෙනත් මාධ්‍ය වේදියකු හෝ සිනමාකරුවකු ‍සොයා ගියේ නම් තත්වය මීටත් වඩා ඛේදාන්තයක් වනු ඇත. සියළුම සම්බන්ධතා උඩු යටිකුරු වී ඇති අවස්තාවක කාන්තාවක් සතුව සිය ජීවිතය වෙනුවෙන් පැවරුණු වගකිමක් තිබේ. සමූහ දූෂණ හැරුණු විට අනෙකුත් බොහෝ අපහරණයන්ට හේතුව ස්ත්‍රියගේ ව්‍යාකූල ස්වභාවයයි. සත්‍ය වශයෙන්ම ලෙනින් රත්නායකට මා මුණ ගැසුණානම් මේ නඩුව වැටෙන්නේ මටය. ඒ ලෝක ඉතිහාසයේ දරුණුම ආකාරයකට විනිසුරුවරයකු ඝාතනය කිරීම වෙනුවෙනි. මගේ පෞද්ගලික මතය නම් තමාගේ අස්ථාවරත්වය උපරිම දැනෙන මොහොතක සියළු සබදතා අමතක කර අනතුර වෙනුවෙන් සෘජුව මුහුණ දී සටන් කළ යුතු බවයි. උසාවිය නිහඩ වීම තුළ ලංකාවාසි සියලු දෙනා තමා ගැනම විලිලැජ්ජා වෙමින් , තමන් විසින් පත් කළ නායකයෝද ප්‍රතිරූප වන්දනාවේ භයානකත්වය ද අවබෝධ කරගනිමින් තමාගේ විමුක්තිය උදෙසා නවමානයන් සෙවිමට අධිටන් කර ගත යුත්තෝය.

- උපේක්ෂා නුවන්ශ්‍රිනි -

Read More »

1947 බිහි වූ ආණ්‌ඩුව හා ප්‍රථම මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීම

0 comments
1947 ජුලි 23 සිට අගෝස්‌තු 20 දක්‌වා දින දහනවයක්‌ පුරා පැවැති සෝල්බරි ආණ්‌ඩුක්‍රමයේ ප්‍රථම මැතිවරණ ප්‍රතිඵල අනුව එක්‌සත් ජාතික පක්‍ෂය වැඩිම ආසන සංඛ්‍යාවක්‌ දිනා ගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1947 සැප්තැම්බර් 26 දින එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක ඩී. එස්‌. සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ආණ්‌ඩුකාර සර් හෙන්රි මොන්ක්‌ මැසොන් මුවර් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගමැති ධුරයට අමතරව රාජ්‍යාරක්‍ෂක හා විදේශ කටයුතු ඇමැති ධුරය ඔහුට හිමිවිය. ඔහු හැර අමාත්‍ය මණ්‌ඩලය 13 දෙනකුගෙන් සමන්විත විය.

1. සෞඛ්‍ය, පළාත් පාලන හා පාර්ලිමේන්තුවේ සභානායක - එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මයා

2. කර්මාන්ත කර්මාන්ත පර්යේෂණ හා ධීවර - ජෝර්ඡ් ඊ. ද සිල්වා මයා

3. ප්‍රවාහන හා රජයේ වැඩ - ඡේ. ඇල්. කොතලාවල මයා

4. මුදල් - ඡේ. ආර්. ජයවර්ධන මයා

5. ස්‌වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන - සර් ඔලිවර් ගුණතිලක මයා

6. කම්කරු හා සමාජ සේවා - ටී. බී. ජයා මයා

7. අධ්‍යාපන - ඊ. ඒ. නුගවෙල මයා

8. අධිකරණ - සර් ලලිත් රාජපක්‍ෂ මයා

9. ආහාර හා සමුපකාර - ඒ. රත්නායක මයා

10. කෘෂිකර්ම හා ඉඩම් - ඩඩ්ලි සේනානායක මයා

11. තැපැල් හා විදුලි සංදේශ - සී. සිත්තප්පලම් මයා

12. වාණිජ හා වෙළෙඳ - සී. සුන්දරලිංගම් මයා

13. කාර්ය නියමයක්‌ නැති - ආර්. එස්‌. එස්‌. ගුණවර්ධන මයා

එදා පත්කළ මෙම අමාත්‍ය මණ්‌ඩලය අදට වඩා විද්‍යානුකූල විෂය බෙදීමකට අනුව සිදුව ඇති බව ඉහත අමාත්‍යාංශ ලේඛනය බැලූ විට පැහැදිලි වේ.

එම සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය අනුව අමාත්‍යවරයාගේ කටයුතුවලට පහසුවනු පිණිස එදා පාර්ලිමේන්තු ලේකම්වරුන් ලෙස හැඳින්වූ අද නියෝජ්‍ය ඇමැතීන් ලෙස දැක්‌වෙන 09 දෙනෙකු ද පත් කරන ලදහ.

1. අධිකරණ - ජෝර්ඡ් ආර්. ද සිල්වා මයා

2. ආහාර හා සමුපකාර - එච්. ඇස්‌. ස්‌මයිල් මයා

3. ස්‌වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන - ඇම්. ඇස්‌. කාරියප්පර් මයා.

4. කම්කරු හා සමාජ සේවා - ඒ. ඊ. ගුණසිංහ මයා

5. කෘෂිකර්ම හා ඉඩම් - පී. බී. බුලන්කුලම මයා.

6. කර්මාන්ත කර්මාන්ත සංවර්ධන හා ධීවර - එච්. ද ඉසෙඩ් සිරිවර්ධන මයා

7. ප්‍රවාහන හා මහාමාර්ග - සයිමන් අබේවික්‍රම මයා

8. තැපැල් හා විදුලි සංදේශ - ඒ. පී. ජයසූරිය මයා

9. සෞඛ්‍ය හා පළාත් පාලන - වී. නල්ලයියා මයා

සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය යටතේ පැවැති ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීම 1947 ඔක්‌. 14 වන දින පවත්වන ලද්දේ අද ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස යොදා ගන්නා ලද ගාලු මුවදොර එවක පාර්ලිමේන්තුව රැස්‌ වූ රැස්‌වීම් ශාලාවේදී ය.

නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ ලේකම් දැරණියගල මහතා විසින් ආණ්‌ඩුකාර හෙන්රි මොන්ක්‌ මෝසන් මුවර්Êවිසින් නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය කැඳවන නිවේදනය ප්‍රකාශ කරන ලදී. ප්‍රථමයෙන් ම කථානායකවරයකු පත් කර ගැනීමේ අවස්‌ථාව නිවේදනය වූ විට තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය සී. සිත්තම්පලම් මහතා බලංගොඩ ප්‍රථම මන්ත්‍රී ඇලෙක්‌සැන්ඩර් ප්‍රැන්සිස්‌ මොලමුරේ මහතාගේ නම යෝජනා කළ අතර පදිරිප්පු මන්තීS්‍ර එස්‌. යූ. එදිරිමානසිංහම් මහතා එම යෝජනාව ස්‌ථිර කරන ලදී. ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් වූ බව පෙනී ගිය අතර මතුගම මන්ත්‍රී විල්මට්‌ ඒ. පෙරේරා මහතා කුරුණෑගල මන්ත්‍රී රාජ නීතිඥ හර්බට්‌ ශ්‍රී නිශ්ශංක මහතාගේ නම යෝජනා කළේය. කයිට්‌ස්‌ මන්ත්‍රී ඒ. ඇල්. තම්බයියා මහතා එම යෝජනාව ස්‌ථිර කළෙන් ඡන්ද විමසීමක්‌ කිරීමට මන්ත්‍රී මණ්‌ඩලයේ කාර්ය මණ්‌ඩලයට සිදුවිය. ඒ අනුව සියලු මන්ත්‍රීන් වෙත ඡන්ද පත්‍රිකා බෙදා දී ඡන්ද විමසීම පැවැත්වීමට ලේකම්වරයාට සිදුවිය. ලේකම් දැරණියගල මහතා ප්‍රකාශයට පත් කළ ප්‍රතිඵල මෙසේ විය. ඒ. එµa. මොලමුරේ මහතා ඡන්ද 58, එච්. ශ්‍රී නිශ්ශංක මහතා ඡන්ද 41. දෙදෙනෙක්‌ ඡන්ද දීමෙන් වැළකී සිටියහ. අනතුරුව සී. සිත්තම්පලම් මහතා සහ එස්‌. යූ. එදිරිමානසිsංහම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඒ. එµa. මොලමුරේÊමහතා කථානායක අසුන වෙත කැඳවාගෙන ගියේය.

කථානායක අසුනේ අසුන් ගත් මොලමුරේ මහතා විනාඩි 05 පමණ කතාවක්‌ කරමින් සියලුම මන්ත්‍රීවරුනට ස්‌තුති කරමින් තමන් වෙත පැවරුණු වගකීම අපක්‍ෂපාතව නොපිරිහෙළා ඉටු කරන බවට සභාවට පොරොන්දු විය. ඔහු 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රථම සභාපති ලෙස තේරී පත් වී සේවය කළ අයෙකු වීම විශේෂ ලක්‍ෂණයකි. මෙසේ කථානායක ධුරයට පත්වීමෙන් පසු මොලමුරේ මහතා සභාව පැය 1/2 කට කල් දමා ආණ්‌ඩුකාරයා හමුවීමට ගියේය. නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය යළි පෙරවරු 11.00 ට රැස්‌වූ විට "මම බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයා ලෙස පෙනී සිටින ආණ්‌ඩුකාරයා හමුවුණා. ඔහු මගේ පත්වීම අනුමත කළා." යන්න සභාවට දැනුම් දුන්නේය. අනතුරුව උප කථානායක ධුරයට චාවාකච්ෙච්රි මන්ත්‍රී වී. කුමාරස්‌වාමි මහතා මතුගම මන්ත්‍රී විල්මට්‌ ඒ. පෙරේරා මහතාගේ නම යෝජනා කළ අතර මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධන මහතා එය ස්‌ථිර කළේය. දකුණු කොළඹ මන්ත්‍රී ආර්. ඒ. ද මැල් මහතාගේ නම උප කථානායක ලෙසට එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා යෝජනා කළ අතර මඩකලපුව මන්ත්‍රී ඒ . සින්නලෙබ්බේ මහතා එය ස්‌ථිර කළේය. ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 05 කින් ද මෙල් මහතා උප කථානායක ලෙස තේරී පත්විය. කාරක සභා උප සභාපති ලෙස ඡේ. ඒ. මාර්ටිනස්‌ මහතා පත් වූයේ නිතරගයෙනි.

අනතුරුව ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් සෞඛ්‍ය, පළාත්පාලන හා ආණ්‌ඩුවේ සභානායක එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා නව කථානායකවරයාට සුබ පතමින් කථා කළ අතර රුවන්වැල්ල මන්ත්‍රී ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා දිර්ඝ සුබ පැතුම් කථාවක්‌ විපක්‍ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී. යාපනය මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම්, නුවරඑළිය මන්ත්‍රී එස්‌. තොණ්‌ඩමන්, වැල්ලවත්ත ගල්කිස්‌ස මන්ත්‍රී කොල්වින් ආර්. ද සිල්වා, මැද කොළඹ තුන්වැනි මන්ත්‍රී පීටර් කේනමන්, මතුගම මන්ත්‍රී විල්මට්‌ ඒ. පෙරේරා, පත්කළ මන්ත්‍රී ඡේ. ඩබ්. ඕල්µSල්ඩ් යන මහත්වරු කථානායක වරයාට සුබ පැතීය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීම මෙසේ අවසන් වුවද, ඉන් දින දෙකකට පසු 1947 ඔක්‌තෝබර් 16 වැනිදා සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය යටතේ පිහිටුවන ලද උත්තර මන්ත්‍රී මණ්‌ඩලය හෙවත් සෙනට්‌ සභාවට පත් කෙරෙන මන්ත්‍රී 30 දෙනාගෙන් මහජන නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයෙන් තෝරා පත් කෙරෙන මන්ත්‍රීවරු 15 තෝරා ගැනීමේ අවස්‌ථාව යෙදී තිබිණි. ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රීවරුන්ගේ අභිමතය පරිදි පහත මන්ත්‍රීවරු 15 දෙනා තෝරා පත්කෙරිණ.

1. ආර්. ඇµa. ඇස්‌. ද මෙල් මයා, 2. සිරිල් ද සොයිසා මයා, 3. එල්. බී. ජයසේන මයා, 4. ඩබ්. කේ. ජිනදාස මයා, 5. ජස්‌ටින් කොතලාවල මයා, 6. ඇස්‌. නඩේසන් මයා, 7. දොස්‌තර ඊ. ඇම්. වී. නාගනාදන් මයා, 8. ඩී. ඩබ්. ඡේ. පෙරේරා මයා, 9. දොස්‌තර එම්. ජී. පෙරේරා මයා, 10 බාන්ස්‌ රත්වත්ත දිසාව, 11. ඒ. ආර්. ඒ. රාසික්‌ මයා, 12. ඩබ්. ඒ. බී. සොයිසා මයා, 13. පෙරී සුන්දරම් මයා, 14. සරත් විඡේසිංහ මයා, 15. ඇඩ්ලින් මොලමුරේ මහත්මිය

උත්තර මන්ත්‍රී මණ්‌ඩලය සමන්විත වන තිස්‌දෙනාගෙන් ඉතිරි 15 දෙනා ආණ්‌ඩුකාරයා විසින් පත් කෙරෙන අයගෙන් සමන්විත විය.

සමරසේන මුදලිගේ

Read More »

වත්කම් බැරකම් නීතිය ගැන වැඩිදුරටත් - වික්ටර් අයිවන්

0 comments
අන්නා හසාරේගේ ජයග‍්‍රාහී සත්‍යග‍්‍රහ ව්‍යාපාරය අවසන්වීමෙන් පසුව ඉන්දියානු ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ මහජනයාගේ දැනගැනීම පිණිස ප‍්‍රසිද්ධියට පත් කළෝය. එය මෙම විෂයයේදී මහජනයා තුළ ආණ්ඩුවේ නායකයන් කෙරෙහි වර්ධනය වෙමින් තිබූ කලකිරීම පාලනය කිරීම සඳහා ගනු ලැබූ පියවරක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය අන්නා හසාරේ ප‍්‍රමුඛ ඉන්දියාවේ දුෂණ විරෝධී මහජන ව්‍යාපාරය, දුෂණයට එරෙහිව පවත්වාගෙන ගිය මහජන අරගලයේ ඉතා වැදගත් අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. දුෂණයට අදාළව ඊළඟට ඇරඹෙන මහජන විවාදයේ ප‍්‍රධාන තේමාව බවට පත්වනු ඇත්තේ එසේ ප‍්‍රකාශිත වත්කම් බැරකම් ප‍්‍රකාශනවලට ඇතුළත් තොරතුරුය.

වත්කම් බැරකම් නීතිය අනුව වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේදී තොරතුරු සැඟවීම හෝ විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ප‍්‍රකාශ කොට තිබෙන සියලූ තොරතුරු සත්‍ය වන අවස්ථාවලදී පවා උපයාගෙන තිබෙන වත්කම් නීත්‍යනුකූලව උපයා ගත් වත්කම් බව සනාථ කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ප‍්‍රකාශකයාට දඬුවම් විඳීමට සිදුවන්නේය. කරන හැම වත්කම් බැරකම් ප‍්‍රකාශනයක්මත් මීට පෙර කර තිබෙන ප‍්‍රකාශන කෙරෙහි සේ ම අනාගතයේ සිදු කැරෙන ප‍්‍රකාශන කෙරෙහි ද බලපායි.

මහජනයාට ලැබෙන බලය

වත්කම් බැරකම් නීතිය ක‍්‍රියාත්මක වන හැම රටකම පාහේ, ප‍්‍රකාශකයා ලබාදෙන තොරතුරු පරීක්ෂාවට ලක් කිරීමේ විශාල බලයක් මහජනයාටද ලබාදී ඇත්තේය. වත්කම් බැරකම්වලට අදාළ කිසියම් තොරතුරක් වසන් කොට හෝ විකෘති කර තිබෙන අවස්ථාවකදී ඒ පිළිබඳ විස්තර දන්නා කිසියම් පුද්ගලයකු ඒ බව අදාළ බලධාරියා වෙත දැනුම්දීමක් කළහොත් එය ප‍්‍රකාශකයා කෙරෙහි ඉතාමත් විනාශකාරී ලෙස බලපෑ හැකිය. බලවත් පුද්ගලයන් විසින් කරනු ලබන දුෂණ ක‍්‍රියා අල්ලා ගන්නවාට වඩා ඔවුන් අයථා ලෙස රැුස් කරගෙන තිබෙන වත්කම් අල්ලා ගැනීම පහසුය. වත්කම් බැරකම් නීතියෙන් කැරෙන්නේ එම නීතිය අදාළ පුද්ගලයන්ට තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කරන ලෙස නීතියෙන් බලකොට ඔවුන් එසේ ලබාදෙන තොරතුරු පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට ලබාදීමය. කිසියම් පුද්ගලයකු උපයාගෙන තිබෙන ධනය නීත්‍යනුකූල මාර්ගවලින් උපයාගත් ධනය ලෙස සනාථ කිරීමට අසමත් වෙතොත් ඔහු වරදකරුවකු ලෙස සලකා ඔහුට දඬුවම් කිරීමට එම සාධකය පමණක් වුවත් ප‍්‍රමාණවත්ය.

ශ‍්‍රී ලංකාවේ දුෂණයට එරෙහිව සටන් කරන අය දුෂණ මර්දනයේදී වත්කම් බැරකම් නීතියට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට අසමත්ව තිබෙන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය. අනවබෝධය නිසාද? නැතිනම් ඇත්ත දුෂණ විරෝධී අරගලයකට ඇති අකමැත්ත නිසාද? 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් පනත එම විෂයෙහි රටේ තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. මෙම නීිතිය ක‍්‍රියාත්මකවීම අර්ධ වශයෙන් මිස මුළුමනින් මරා දැමීමට හැකිවී නැති බවද කිව යුතුය. මරා දමා තිබෙන අර්ධය පවා තිබෙන්නේ පණ දිය හැකි තත්ත්වයකය. බොහෝ දුරකට අක‍්‍රිය තත්ත්වයක පවතින මෙම නීතිය සක‍්‍රිය තත්ත්වයකට ගත හැකිවනු ඇත්තේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශවල සහතික පිටපත් අදාළ බලධාරියාගෙන් ඉල්ලා සිටින තැනකට මහජනයා යොමු කිරීමෙනි.

මැතිවරණවලට තරග කරන හෝ කර තිබෙන අපේක්ෂකයන්ගේ ප‍්‍රකාශන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන, පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප‍්‍රකාශන, ජනාධිපති ලේකම්වරයාගෙන් ද විනිශ්චයකාරවරුන්ගේ ප‍්‍රකාශන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද, විවිධ අමාත්‍යාංශ යටතට වැටෙන නිලධාරීන්ගේ ප‍්‍රකාශන ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් ද, පළාත් පාලන හා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප‍්‍රකාශන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද ඉල්ලූම් කළ හැකිය. ඉල්ලූම්කරුවන් මෙම ප‍්‍රකාශන ඉල්ලා සිටින විට 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප‍්‍රකාශ කිරීම් පනතේ 5 වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ ඉල්ලූම් කරන බව සඳහන් කිරීම වැදගත්ය. ඒ විෂය භාර බලධාරියාට, වත්කම් බැරකම් ප‍්‍රකාශවල සහතික පිටපතක් ලබාදීමට තිබෙන නෛතික බැඳීම ඒ මගින් පැහැදිලි කැරෙන නිසාය. සහතික පිටපතක් සඳහා රුපියල් 450ක හෝ ඊට ආසන්න මුදලක් අය කරගනු ලැබේ. බලධාරියකු ඉල්ලූම්කරුවකුට සහතික පිටපතක් ලබා නොදෙන අවස්ථාවකදී එම ඉල්ලූම්කරුට අවශ්‍ය නම් එම බලධාරියාට එරෙහිව උසාවියට පැමිණිලි කළ හැකිය. ඒ මගින් අදාළ ප‍්‍රකාශනවල සහතික පිටපත ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගත හැකිය.

එහෙත් මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී විෂය භාර බලධාරීන් බොහෝ දෙනකු සිටින්නේ නීතියට අනුකූලව මටසිලූටුව ක‍්‍රියාකරන තැනක නොව නීතියට පටහැනිව ආදානග‍්‍රාහීව ක‍්‍රියාකරන තැනකය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන අවධියේදී ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීමට මා ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලියුම් සංඛ්‍යාව විශාලය. එහෙත් ඒ එකකටවත් ඔහු පිළිතුරු දුන්නේ නැත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇති කරගත් අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට එකතු වනු ඇතැ‘යි ජනාධිපතිනියගේ සැකයට හේතුවී සිටි හිටපු බලවත් ඇමතිවරයකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශයක් ලබාගැනීමට කිසියම් පුද්ගලයකු දරන ලද උත්සාහයකදී ජනාධිපති ලේකම්වරයා වහාම ක‍්‍රියාත්මක වී අයදුම්කරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන දොඩම් වීදුරුවකින් ද සංග‍්‍රහ කොට කිසිදු ගෙවීමක් ලබාගැනීමෙන් තොරව එම පුද්ගලයාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් අයදුම්කරුට ලබා දුන්නේය. මම එම සිද්ධිය දෙස ආරම්භයේ සිට අවසානය දක්වා උනන්දුවෙන් බලා සිටි නිරීක්ෂකයෙක් වීමි. අයදුම්කරු ද ඒ සඳහා ගනු ලැබූ හැම වැදගත් ක‍්‍රියාමාර්ගයකදීම මා දැනුවත් කළේය. ලැබුණු වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ ඡුායා පිටපතක් පමණක් නොව, ඉල්ලූම් කළ ලිපියේ පිටපතක් හා ජනාධිපති ලේකම් බාලපටබැඳි විසින් එවන ලද පිළිතුරු ලිපියේ පිිටපතක්ද ඔහු මට දුන්නේය.

1999 ජනාධිපතිවරණයෙන් පසුව මා එම ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස පොදු පෙරමුණෙන් තරග කළ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ද එජාපයෙන් තරග කළ රනිල් වික‍්‍රමසිංහගේ ද වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි විට ඔහු ඡුායා පිටපත් සඳහා අය කැරෙන ගාස්තුව ලබාගෙන ඔවුන්ගේ ප‍්‍රකාශනවල සහතික පිටපත් මට ලබා දුන්නේය. ඒ දෙදෙනා නාම යෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශවල පිටපත් ලබාදී තිබුණේ මගේ මැදිහත්වීම නිසාය. එහෙත් 2005 ජනාධිපතිවරණයේදී ඊට තරග කළ අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ රාවය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි විට ඒවා ලබාදීම මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රතික්ෂේප කර තිබුණේය. එහෙත් එවර ඒවා ඉල්ලා තිබුණේ මා විසින් නොව කර්තෘ මණ්ඩලයේ වෙනත් සාමාජිකයකු විසිනි. මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇති බව මට දැනගන්නට ලැබුණේද වහාම නොව ටික දිනකට පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති අයහපත් වාතාවරණය නිසා මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ උනන්දුවක් ද ඇති නොවීය. ඒ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා ක‍්‍රියාකර තිබුණු ආකාරය නීතියට පටහැනි විය.

අදහස් පළකිරීමේ අයිතිය හා ඡුන්දය දීම

ඉන්දියානු මැතිවරණ නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදීම අත්‍යවශ්‍ය නොවීය. එහෙත් ඉන්දියානු මැතිවරණ කොමිසම කිසියම් මැතිවරණයකදී නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශන භාරදිය යුතු බවට එම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට නියම කළේය. ඊට එරෙහිව ප‍්‍රාන්ත ආණ්ඩුවක් මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පවරන ලදුව එම නඩුවෙන් මැතිවරණ කොමිසම පරාජයට පත්වූ අතර මැතිවරණ කොමිසම එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඡුන්දය පාවිච්චි කිරීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේම කොටසක් ලෙස නිර්වචනය කරනු ලැබුවේ එම නඩුවේදීය. ඡුන්දදායකයන් අදහස් පළ කරනු ලබන්නේ ඡුන්දය පාවිච්චි කිරීම ඔස්සේය. ඡුන්දය පාවිච්චි කරන්නන්ට තරග කරන සියලූ අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇති බව ප‍්‍රකාශ කරමින් ඡුන්ද අපේක්ෂකයන් නාමයෝජනා දෙන අවස්ථාවේදී වත්කම් බැරකම් පමණක් නොව, ඡුන්ද අපේක්ෂකයන්ගේ වෙනත් විස්තර ද දැනගැනීමේ අයිතියක් තිබෙන බව ප‍්‍රකාශ කරමින් විශේෂයෙන්ම අපරාධ නඩු ඇති අපේක්ෂකයන් තමන්ට තිබෙන නඩු පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප‍්‍රකාශනයකින්ද වත්කම් බැරකම් ප‍්‍රකාශ සමග නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමට භාරදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු විභාගයේදී තීන්දු කළේය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද එම තීන්දුව ආදර්ශයට ගනිමින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ අභාවප‍්‍රාප්ත ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු ද ඡුන්දදායකයන්ට ඡුන්දය දීමට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේම කොටසක් බව නිර්වචනය කළේය. එහෙත් අර්ථ නිරූපණය ඉන්දියානු අර්ථ නිරූපණය තරම් පුළුල් අර්ථ නිරූපණයක් ලෙස සැලකිය නොහැක්කේ ඡුන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය ඒ තුළ විග‍්‍රහ කර නැති නිසාය. එම අර්ථ නිරූපණය තව එක අඟලක් ඉදිරියට ගෙනගියේ නම් ඡුන්ද අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමද අනිවාර්ය දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

නීතිය පරිපූර්ණ කරගැනීම

අල්ලසට හා දුෂණයට එරෙහිව සටන් කරන ලද පුද්ගලයන්ට හා සංවිධානවලට ඒ අඩුව සම්පූර්ණ කැරෙන ආකාරයේ අර්ථ නිරූපණයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා සේ ම එසේ ලබාගන්නා අර්ථ නිරූපණයකින් තොරව වුවත් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ඇත්තේය. මැතිවරණ කොමසාරිස්වරයා එහිදී කරුණු සලකා බැලිය යුතුව තිබෙන්නේ නීතියට අනුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටි කෝණයකිනි. නීතියේ පවතින අක‍්‍රමවත් බව නිසා සමහර අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාර දෙන විට තවත් සමහර අපේක්ෂකයන් ඒවා භාර දෙන්නේ මැතිවරණයෙන් පසුවය. වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදීමෙන් වැළකී සිටින පිරිසක් ද ඒ අතර සිටින්නේය. වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කිරීම මගින් මෙම විෂයයේදී දැන් පවතින අක‍්‍රමවත් තත්ත්වය නැති කළ හැකිය. අනෙක් අතට උසාවි අර්ථ නිරූපණයක් නැතත් මැතිවරණවලදී තමන් කැමති අපේක්ෂකයකුට ඡුන්දය පාවිච්චි කිරීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතියේම කොටසක් බවට දැනටමත් අධිකරණය අර්ථ නිරූපණය කර තිබෙන නිසා තරග කරන ඡුන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මාර්ගයක් වශයෙන් සියලූ ඡුන්ද අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කැරෙන නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයාට පැනවිය හැකිය. අනෙක් අතට දුෂණය පිටු දැකීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට හා සංවිධානවලටද මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ද ලබාදීමට අනිවාර්ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට බල කැරෙන ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. ඡුන්ද කොමසාරිස්වරයා ඡුන්දදායකයන්ගේ අයිතිවාසිකම් ගැන සංවේදී පුද්ගලයකු නම් ඔහු නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ එම වත්කම් බැරකම් ප‍්‍රකාශ වහාම මහජනයාට දැනගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන වෙබ් අඩවියෙන් එම තොරතුරු මහජනයාට ප‍්‍රදර්ශනය කරන තැනකට යා යුතුය.

ඡුන්ද අපේක්ෂකයන් ලබාදෙන වත්කම් බැරකම් ප‍්‍රකාශ ටයිප් කොට පරිගණක ගතකිරීම සරල හෝ පහසු දෙයක් නොවේයැ’යි මැතිවරණ කොමසාරිස්වරයාට තර්ක කළ හැකිය. එහෙත් අවශ්‍ය නම් අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදෙන විට මුද්‍රිත පිටපතත් සමග විද්‍යුත් පිටපතක් ද භාරදිය යුතු බවට නියෝග කළ හැකිය. මේ හා සමාන ක‍්‍රමයක් ඉහළ උසාවිවලට ද ක‍්‍රියාත්මක වේ. දැන් එය අමාරු හෝ මිල අධික දෙයක් නොවන අතර එවැනි පිළිවෙත් මගින් වත්කම් බැරකම් ප‍්‍රකාශ ටයිප් කරවාගැනීම පිළිබඳ ප‍්‍රශ්නය පහසුවෙන් ජයගත හැකිය.

සාමාන්‍ය වශයෙන් ගත් කල වත්කම් බැරකම් නීතියට අදාළව හැම රාජ්‍ය ආයතනයකම පාහේ ආදානග‍්‍රාහීව ක‍්‍රියාකරන තත්ත්වයක් පැවතියද හැම තැනකම තිබෙන තත්ත්වය ඉතාමත් දඩබ්බර වේයැ’යි ද කිව නොහැකිය. රාවය පාඨකයකුට ජාතික පාසලක විදුහල්පතිවරයකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයක් ලබාගැනීමට අවශ්‍ය වී ඔහු ඒ ගැන මා හා සාකච්ඡුා කළේය. එම විදුහල්පතිවරයාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලෙස මම ඔහුට උපදෙස් දුන්නෙමි. ඊළඟට ඔහු මා වෙත ආවේ අධ්‍යාපන ලේකම්වරයා ඔහුගේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එවන ලද ලියුමක පිටපතක් ද අත ඇතිවය. මෙය සිදුවූයේ 2002 හෝ 2003 වසරේදීය. අමාත්‍යාංශ ලේකම්වරයා අමතා දුරකතනයෙන් කතා කොට මෙම වත්කම් බැරකම් ප‍්‍රකාශනය ඉල්ලා සිටින පුද්ගලයා රාවය පාඨකයකු බවත්, ඔහුට අමාත්‍යාංශ ලේකම්වරයා මගින් සහතික පිටපතක් ඉල්ලා සිටීමට උපදෙස් දෙනු ලැබුවේ මා බවත්, වත්කම් බැරකම් නීතියට අනුව ඔහු ඉල්ලා සිටින වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් ලබාදීමට අධ්‍යාපන ලේකම්වරයා බැඳී සිටින බවත් මම කීවෙමි. ඔහු තමන්ට ඒ ගැන හරි වැටහීමක් නොතිබුණු බව ප‍්‍රකාශ කරමින් ඉල්ලූම්කරුට දුරකතන පණිවුඩයක් දී තමන් හමුවන්නට එන ලෙස කියන ලෙසත්, එවිට අදාළ ප‍්‍රකාශයේ සහතික පිටපතක් ලබාදෙන බවත් කියා සිටියේය. මීට පෙර ලිපියක අභාවප‍්‍රාප්ත කතානායක රත්නායක මහතා ඒ ගැන මට ලියා එවන ලද ලිපියක් ගැන සඳහන් කළෙමි. ඒ හැම නිදර්ශනයකින්ම පෙනෙන්නේ හිතාමතාම ඉල්ලූම්කරුවන්ට වත්කම් බැරකම් ප‍්‍රකාශනවල පිටපත් ලබා නොදෙන ආයතන තිබිය හැකි වුවත්, බොහෝ තැන්වල එසේ සිදුවන්නේ බලධාරීන්ට වත්කම් බැරකම් නීතිය ගැන හරි වැටහීමක් නැති නිසා බවය. ඔවුන් දැනුවත් කිරීම මගින් තත්ත්වය වෙනස් කළ හැකිය. මා මගේ ‘චෞර රාජ්‍යය’ නමැති කෘතියෙන් රාජ්‍ය හා රාජ්‍ය ආයතන මට්ටමෙන් රටේ පවතින දුෂණයේ පරිමාව හා දුෂණය ක‍්‍රියාත්මක වන විවිධ ස්වරූප පිළිබඳව විස්තරාත්මකව විග‍්‍රහ කර ඇත්තෙමි. මාගේ තක්සේරුව අනුව රජයට ලැබිය යුතු වාර්ෂික ආදායම්වලින් භාණ්ඩාගාරයට ලැබෙන්නේ 20%ක් තරම් ප‍්‍රමාණයක් පමණය. ඉතිරි 80%ම යන්නේ දුෂිතයන්ගේ සාක්කුවලටය. මා දුෂිතයන් ලෙස දකින්නේ දේශපාලකයන් පමණක් නොවේ. ඒ එකතුවට රාජ්‍ය නිලධාරීන් ද, ව්‍යාපාරිකයන් හා වෙනත් අය ද ඇතුළත්ය. රාජ්‍යයේ හා රාජ්‍ය ආයතනවල දුෂණය මර්දනය කිරීමෙන් පමණක් රාජ්‍ය ආදායම කිහිප ගුණයකින් වැඩිකළ හැකිය.

රටේ පවතින දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේ දුෂණයට බර තැබෙන ආකාරයටය. මේ දේශපාලන ක‍්‍රමය තුළ දුෂණය මර්දනය කිරීම පහසු නැතත් වත්කම් බැරකම් නීතිය දුෂණයට එරෙහිව පාවිච්චි කළ හැකි නීති අතර තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. පවතින දුෂිත දේශපාලන ක‍්‍රමය තුළ පවා වත්කම් බැරකම් නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිකරගත හැකි නම් දුෂණයට තිබෙන ඉඩ කිසියම් විශාල ප‍්‍රමාණයකට සීමා කළ හැකිය. දුෂිත ලෙස වත්කම් රැුස් කරගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය හා ජනමාධ්‍ය

වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන හා ක‍්‍රමවත් කරගත යුතුය. ඒ දේ අධිකරණ අර්ථ නිරූපණයකින් වුවද ඉටු කරගත හැකිය. ප‍්‍රකාශකයන්ට සිය තොරතුරු පිරවීමට ලබාදෙන පෝරමයද නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන්නේ නැත. අඩුම වශයෙන් ඊට ප‍්‍රකාශකයාගේ හැඳුනුම්පත් අංකයවත් ඇතුළත් වන්නේ නැත. තොරතුරු සැඟවීම වඩා දුෂ්කර කැරෙන නව පෝරමයක් සකස් කළ හැකිය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අය එසේ කිරීමෙන් වැළකී සිටින තත්ත්වය නැතිකළ යුතුය. ඒ සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලූදෙනාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ජනතාවට පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක් ඇති කරගත යුතුය. ඒ සඳහා යොදාගත හැකි හොඳම ක‍්‍රමය සියලූ වත්කම් බැරකම් ප‍්‍රකාශ ඒ සඳහා පවත්වාගෙන යන වෙබ් අඩවියකට යොමු කිරීමය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අය සිය ප‍්‍රකාශයේ මුද්‍රිත පිටපතට අතිරේකව විද්‍යුත් පිටපතක් ලබාදීම අනිවාර්ය කරන නියෝගයකින් විශාල වියදමකින් තොරව සියලූ ප‍්‍රකාශන වෙබ් අඩවියකට යොමුකළ හැකි තත්ත්වයක් ඇති කරගත හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවූ විට දුෂිතයන් සොයාදීමේ වගකීම මහජනයා බාරගනු ඇත්තේය. වත්කම් බැරකම් ප‍්‍රකාශන කෙරෙහි මහජන අවධානය උපරිම මට්ටමකට යොමුවේ නම් ඒ මගින් පමණක් අයථා ලෙස වස්තුව රැුස්කිරීමට දැන් පවත්නා බය නැතිකම කිසියම් විශාල ප‍්‍රමාණයකට නැති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය ජනමාධ්‍ය ලෝකයට අදාළය. මෙම නීතිය අනුව ජනමාධ්‍යවේදීන් පමණක් නොව, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් ද වත්කම් බැරකම් ප‍්‍රකාශ කළ යුතුය. එහෙත් පුදුමයකට මෙන් මෙම නීතිය අඩුවෙන්ම පිළිපදින්නන් බවට පත්ව සිටින්නෝ ද වැඩියෙන්ම දුෂණය ගැන කතා කරන ජනමාධ්‍යවේදීහුය. ජනමාධ්‍යවේදීන් මෙම නීතිය පිළිනොපදින්නේ නොදන්නාකම නිසාද? නැතිනම් තමන් වැනි පිරිසකට එවැනි නීතියක් තිබිය යුතු නැතැ’යි සිතන නිසාද? ඒත් නැතිනම් ජනමාධ්‍ය ලෝකය අන් ලෝක මෙන් මුළුමනින් දුෂණයෙන් තොරවේයැ’යි ඔවුන් කල්පනා කරන නිසාද? ජනමාධ්‍ය ආයතනවලට හා ජනමාධ්‍යවේදීන්ට දුෂණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් වත්කම් බැරකම් නීතිය පිළිපදින තැනකට ආ යුතුය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඇති කරන්නට පෙර වත්කම් බැරකම් නීතිය යටතට ගැනෙන වැරදි පරීක්ෂා කිරීමේ බලය ප‍්‍රධාන කොට ලැබී තිබුණේ 1958 අංක 40 දරන පනතින් සංස්ථාපිත අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවටය. 1994 අංක 19 දරන පනතින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඇති කිරීමෙන් පසු අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසි වී වත්කම් බැරකම් නීතිය යටතට ගැනෙන චෝදනා විමර්ශනය කිරීමේ ප‍්‍රධාන බලය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතට පත්විය. එම කොමිසම යටතේ එම කාර්යය සිදුවෙමින් තිබෙන ආකාරය සලකා බැලීම ද වැදගත්ය. ඒ ගැන මට කියන්නට තිබෙන අත්දැකීම් වෙනත් ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

 Sunday,18 Sep 2011  / ravaya/වික්ටර් අයිවන්

Read More »

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ බත් කන හරකෙක්ද......?

0 comments
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් අචාර්ය රංග කලන්සූරිය මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාසංඝරත්නය සහ ජනතාව අප්‍රසාදය පල කළේය.


Read More »

උසාවියද සුද්ද විය යුතුය

0 comments

 ප්‍රසාද් දේවගේ - රාවය

ලබන මාසයේදී ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ වාර්තාමය විත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත කිරීමට සූදානම් කර ඇත. මෙම විත්‍රපටයෙන් ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කළ ලෙනින් රත්නායකගේ සාපරාධී හැසිරීම සහ ඔහු ආරක්‍ෂා කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වාගේ හැසිරීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අදහසක් රටේ ජනතාවට ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එසේම සරත් නන්ද සිල්වා අග්‍රවිනිශ්චයකාරවරයාගේ දික්කසාද නඩුවේ විනිශ්චයකාරවරයා වශයෙන් කටයුතු කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කරන උපාලි අබේරත්න විනිශ්චයකාරවරයාගේද පරණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගැනීමට අවකාශය ප්‍රේක්‍ෂකයන්ට ඇතිවනු ඇත.

ප්‍රසන්න විතානගේ තම වාර්තා විත්‍රපටයෙන්, විනිශ්චයකාරවරයෙකු තම බලය අවභාවිත කොට සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව්වකින් ප්‍රකාශ කරන්නට අදහස් කරන්නේ රටේ අධිකරණය සහ අධිකරණ නිලධාරීන් කුණු වී ඇති ප්‍රමාණයයි. ලෙනින් රත්නායක විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කරද්දී තමන් ඉදිරියේ විභාග වන නඩුවක සැකකරුවකුගේ භාර්යාව දූෂණය කිරීමේ සිද්ධියක් මේ විත්‍රපටයේ එළිදැක්වේ. තමන් මුහුණ දුන් අත්දැකීම් භාර්යාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාගේම කෝණ හරහා විත්‍රපටය තුළින් ප්‍රේක්‍ෂකයාට විස්තර කෙරෙනු ඇත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ස්ත්‍රී දූෂණය නම් වරදට මහාධිකරණයේ අධිචෝදනාවක් ගොනු කොට අවුරුදු විස්සක් දක්වා සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වරදකට චෝදනා ලැබිය යුතුව තිබූ පුද්ගලයෙකු සරත් සිල්වා නම් අග්‍රවිනිශ්චයකාරවරයාගේ බලමහිමයෙන් නීතියෙන් බේරී නිදහස් පුරවැසියෙකු ලෙස ජීවත් වන අකාරය ප්‍රේක්‍ෂකයාට දැකගත හැකි වනු ඇත.

පසුගිය කාලය පුරාවටම ලංකාවේ අධිකරණ භාවිතය සහ අධිකරණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අනේකවිධ විවේචන සහ චෝදනා නිතිපතා එල්ල වුණේය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපකීර්තිමත් සරත් නන්ද සිල්වාගේ ආගමනයේ සිට ඇරඹි නීතිය අවනීතිය කිරිමේ කලාව නොනැවතී අද දක්වාම විවිධ තැන්වලදී අසන්නට දකින්නට ලැබේ. සරත් නන්ද සිල්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේදී අධිකරණය තුළින් ඇයට අවශ්‍ය දේශපාලන සහයෝගය ඕනෑවටත් වඩා ලබා දුන්නේය. ඉන් අනතුරුව මහින්ද රාජපක්‍ෂගේ පාලනයේ යම් කාලයකටද මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය දේශපාලන සහයෝගයද සරත් සිල්වා ඒ ආකාරයෙන්ම ලබා දුන්නේය.

මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් පසුව මහින්ද රාජපක්‍ෂ රාජාභිෂේක කිරීමට හැකියාව ලබා දෙමින් දහ අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යනුකූල බවට තීන්දුවක් එවකට පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේය. එවකට සිටි අග්‍රවිනිශ්චයකාරවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් එමගින් සදාකාලික ජනාධිපතිවරයෙකු නිර්මාණය කිරිමේ අවස්ථාව සහ රටේ පූර්ණ විධායක බලතල සියල්ල ඒ ජනාධිපතිවරයාට හැසිරවීමට හැකියාව ඇති කරමින් එම තීන්දුව ලබා දුන්නේය. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ කෙරෙහි බණ්ඩාරනායක මහත්මියගේ ඇති අවනතභාවය අඩුවත්ම මහින්ද රාජපක්‍ෂ විසින් ඇය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවාය. එසේ ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය සමඟ දේශපාලන ගනුදෙනුවක නිරත වෙමින් සිටි මහින්ද රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවයා වශයෙන් පත් කර ගත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන ආප්තෝපදේශයට සජීවී නිදර්ශනයක් සපයමිනි. මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කිරීමට පෙරාතුවම සිට මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීමේ මෙහෙයුමක ඔහු නිරත වී සිටියේය.

දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් එතෙක් පැවැති ක්‍රමවේදය තමන් අතට ගත් රාජපක්‍ෂ තමාට හිතවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ ප්‍රියන්ත ජයවර්ධන, රාජපක්‍ෂගේ ඉල්ලීම පරිදිම ඊවා වනසුන්දර, සරත් ෆොන්සේකා සම්බන්ධ නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ බුවෙනෙක අලුවිහාරේ වැනි මහත්ම මහත්මීහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ගනු ලැබුවෝය. එයට අමතරව එවකට අභියාචනා අධිකරණයේ සභාපති විනිශ්චයකාරවරයා ලෙස කටයුතු කරනු ලැබූ එස්. ශ්‍රී ස්කන්දරාජා මහතාත්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වූ අනිල් ගුණරත්න මහතාත් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරිමෙන් වැළකී ඊට පහළින් සිටි ඔහුට හිතවත් විනිශ්චයකාරවරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවෝය. මහින්ද රාජපක්‍ෂ විසින් ඉහළ ප්‍රධාන අධිකරණ දෙකේ විනිසුරු පත් කිරීම් තමාගේ හිතුමනාපයට මේ අකාරයට සිදුකරද්දී සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට, ඔහුට අවශ්‍ය අකාරයට හැසිරවිය හැකි සමාජිකයන් පත් කර ගනිද්දී පහළ අධිකරණවල විනිශ්චයකාරවරුද මේ දේශපාලන ග්‍රහණයට නොදැනීම හසු වුණෝය. මේ සඳහා ලබා දිය හැකි හොඳම නිදර්ශනය නම්, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේදී අධිකරණය තුළ වූ බෙදීමය.

මෙසේ අධිකරණය තුළ ඇති වූ බෙදීම සම්බන්ධයෙන් ප්‍රධානතම සාක්‍ෂිය වශයෙන් ඉදිරිපත් වන්නේ දෝෂාභියෝග ක්‍රියාවලියෙන් පසුව එයට විරෝධය පෑ විනිශ්චයකාරවරුන් ලෙස නීතිඥ සමාජය හඳුනාගෙන සිටි පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් කෙළවරක් නැතිව ස්ථාන මාරුවලට ලක් කිරීමයි. දෝෂාභියෝගයෙන් පසු පත් වූ මොහාන් පිරිස් අග්‍රවිනිශ්චයකාරවරයා සහ එවකට කටයුතු කළ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම මාරුවීම් ක්‍රියාත්මක කරනු ලැබුවේය. ඒ සමඟම අධිකරණ ක්‍ෂේත්‍රයෙන් නැගෙන චෝදනාව වූයේ තමාට හිතවත් වූ විනිශ්චයකාරවරුන් අධිකරණමය වැදගත්කමක් තිබෙන මර්මස්ථානයන්හි ස්ථානගත කිරීමද මොහාන් පීරිස් සහ එවකට පැවැති අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ බවයි. අධිකරණ සේවා කොමිෂන් සභා නිලධාරීන් පිළිගත්තද නොගත්තද එවකට අධිකරණ ක්‍ෂේත්‍රය තුළ ඔවුනට එරෙහිව පැවැති ප්‍රධාන චෝදනාව වූයේ එම නිලධාරීන්, රාජපක්‍ෂ රෙජිමයේ දේශපාලන අවශ්‍යතාවන් ප්‍රකාරව කටයුතු කළ බවයි. විශේෂයෙන්ම ස්ථාන මාරු, උසස් කිරිම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයෙන් ලැබුණු උපදෙස් සහ නිර්දේශයන් ක්‍රියාවන්ට නැගුණ බවට බරපතළ චෝදනාවක් ඔවුන්ට එරෙහිව නැගුණේය.

රාවය පුවත්පත විසින් එවකට දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අරවින්ද පෙරේරා මහතා සම්බන්ධයෙන් අනාවරණ කිහිපයක් සිදු කරනු ලැබුවේය. ඔහු විසින් බැංකුවලින් ලබා ගත් ණය නොගෙවීම නිසා බැංකු පත්ව තිබූ තත්ත්වයන්, සමහර බැංකු සම්බන්ධයෙන් විනිසුරුවරයා වශයෙන් ඔහුගේ හැසිරිමෙහි තිබූ පීඩාකාරි තත්ත්වය රාවය පුවත්පත මගින් වරින්වර අනාවරණය කරනු ලැබුණි. එහි ප්‍රතිපලයක් වශයෙන් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සහාපතිත්වය දැරූ එවකට පැවැති අධිකරණ සේවා කොමිෂන් සභාව අරවින්ද පෙරේරා මහතාගේ සේවය අත්හිටුවනු ලැබුවේය. කෙසේ වෙතත් දෝෂාභියෝගය හරහා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ පසු නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පත් වූ අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු නැවත සේවයේ පිහිටුවනු ලැබූ අතර ඔහුට එදිරිව නැගී තිබුණු චෝදනා සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවේ නැත. අද වන විට ලැබෙන තොරතුරු අනුව, වර්තමාන අග්‍රවිනිශ්චයකාරවරයා, වර්තමානයේ මොරටුව දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරන අරවින්ද පෙරේරා මහතා මහාධිකරණ විනිසුරු ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යෝජනා කොට තිබේ.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වන දිනෙන් පසුව බිහිවූ නව රජය මගින් අධිකරණයට දේශපාලන බලපෑමක් කරන බවට කිසිදු චෝදනාවක් තවමත් එල්ල වී නොමැත. නව රජය පත් වීමෙන් පසු රජයට අවාසිදායක සහ රජයට දේශපාලනිකව නරක ලෙස බලපානු ලැබිය හැකි තීන්දු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය සහ වෙනත් අධිකරණ විසින් ලබා දී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට මේ රජය බලපෑමක් ඇති කළ බවට චෝදනාවක් නැත.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වැනි දිනෙන් පසුව ඇති වූ දේශපාලන පරිවර්තනය සහ අලුතින් පත් වූ රජය ඇති කිරීමට බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය කුමක්ද යන්න රජය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් අවබෝධයෙන් සිටීම වැදගත් වනු ඇත. රජය ගෙන යන වැඩපිළිවෙළ යම් අකාරයකින් සාර්ථක වුව හොත් එය රටෙහි ක්‍රම පද්ධතීන් ස්ථාපිත කිරීමට ඉවහල් වනු ඇත. මේ සඳහා සෘජු, පාරදෘශ්‍ය සහ නොකිළිටි අධිකරණයක පැවැත්ම ඉතාමත් වැදගත් සාධකයක් වේ.

අද වන විටත් මෙරටෙහි අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන සමහර අධිකරණ නිලධාරින් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතියි. මෑතකදී වැඩ තහනමට ලක් කරනු ලැබූ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන ධම්මිකා ඉලංගසිංහ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. ඇය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදීද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ගත යුතුව තිබූ ක්‍රියා මාර්ගයන් කිසිවක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබුවේ නැත. දැනට වැඩ තහනමට ලක්ව තිබෙන තිළිණ ගමගේ විනිසුරුවරයා සම්බන්ධයෙන් මීට බොහෝ කාලයකට පෙර සිට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ, විශේෂයෙන් රාවය පුවත්පත ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද මැදිහත්වීම හේතුවෙන්, නොකර බැරි තැන මෙන්, ඉතා මෑතකදීය.

අද වන විට නීති ක්‍ෂේත්‍රයේ සහ අධිකරණ ක්‍ෂේත්‍රයේ කතාබහ වන සමහර විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් එම ක්‍ෂේත්‍රය තුළින්ම පළවන අදහස් වන්නේ, සමහර විනිශ්චයකාරවරුන්ට දූෂණ චෝදනා ඇති බැවින් ඔවුන්ගේ උසස් වීම් ලැබීමට අවකාශ අඩු බවයි. ඔවුන් දැනට දරන ධුරයේ තවත් කාලයක් කටයුතු කිරීමට සිදුවන බවයි.

මෙතැනදී ඇතිවන ප්‍රශ්නය වන්නේ දූෂණ චෝදනාවන්ට ලක් වූ විනිශ්චයකාරවරයෙකුගේ උසස් වීම ප්‍රමාද කිරීම හෝ උසස්වීම ලබා නොදීම වැනි ක්‍රියාමාර්ගවලින් කරනු ලබන රිදවීම්වලින් අධිකරණයේ පිරිසිදුභාවය ඇති කළ හැකිද යන්නයි. අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අග්‍රවිනිශ්චයකාරවරයා හෝ දූෂණ චෝදනාවන් ඇති විනිශ්චයකාරවරයෙකු ඉහළ අධිකරණයන්ට පත් කිරීමට යෝජනා නොකරන්නේ විධිමත් චෝදනාවක් නොතිබුණද මේ අය සම්බන්ධයෙන් ඔවුන් කරුණු දන්නා බැවිනි. එසේ නම් එවැනි දූෂිතයන් ඔවුන් දරන ධුරයන්හි සිට තවත් දූෂණයන් කරමින් සිටින්නට ඉඩ හරිනවාද එසේ නැතිනම් ධුරයෙකන් නෙරපා ගෙදර යවනවාද යන තීරණය අධිකරණ විනය බලධාරීන් විසින් ගනු ලැබිය යුතුව ඇත. පසුගිය කාලයේදී දැනට අභියාචනා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන ගෆූර් විනිශ්චයකාරවරයා මීගමුව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කරද්දී ඇප අයැදුම්පතක් සම්බන්ධයෙන් අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූයේය. ඒ සම්බන්ධයෙන් රාවය පුවත්පතින්ද අනාවරණය කරනු ලැබුවේය.

මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී අධිකරණ ක්‍ෂේත්‍රය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරන ලදි. සමහර නිලධාරීන් විසින් තමන්ගේ ධුරවල සිට සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම්ද ඔහු එහිදී පැහැදිලි කළේය. එසේම අධිකරණ ක්‍ෂේත්‍රය තුළ සිදුකෙරෙන මාරුවීම් දේශපාලන අවශ්‍යතාවන් මත සිදු වී ඇති බවට ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. මේවා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සහ වෙනත් වග කිවයුතු ආයතනයන් අද වන තෙක් කිසිදු පැහැදිලි කිරීමක් හෝ මැදිහත්වීමක් හෝ සිදු කොට නැත.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වන දිනෙන් පසුව රටෙහි ඇති කරන්නට බලාපොරෙත්තු වූ සමාජ පරිවර්තනය සිදු කිරීම සඳහා රටෙහි සියලුම කොටස්වල එකඟතාවන් කැපකිරීම් අවශ්‍ය වන්නේය. රාජ්‍ය යාන්ත්‍රණයෙහිද නව රජය පත් වූ දා සිට දක්නට ලැබුණු ප්‍රධානතම ව්‍යසනය වූයේ මහින්ද රාජපක්‍ෂ රෙජිමය විසින් රාජ්‍ය සේවයෙහි නිලධාරීන් තම දේශපාලන නියෝජිතයන් බවට කර තිබූ පත්වීම්වලින් මිදෙන්නට ඔවුන් අපොහොසත් වීමයි. මේ නිසා රජය පත් වී සෑහෙන කාලයක් යන තෙක් රජය මගින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීම අපහසු වූ බව රටම දන්නා කාරණයකි.

සරත් නන්ද සිල්වා, මොහාන් පීරිස් වැනි අග්‍රවිනිශ්චයකාරවරුන් මහින්ද රාජපක්‍ෂ රෙජිමයේ දේශපාලන නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම සහ ඔවුන්ගේ දේශපාලන බලපෑම් අධිකරණ ක්‍ෂේත්‍රය පුරා විහිදු වීම යන කාරණාවලින් අද වන විට අධිකරණයට අවශ්‍ය නිදහස පැවතුණද, අධිකරණය පැරණි දේශපාලන බලපෑමෙන් ස්වාධීන වී ඇද්ද යන්න තවමත් ප්‍රශ්නයක්ව පවතී. අධිකරණය විසින් උත්තර සොයා ගත යුතුව ඇත්තේ එම ප්‍රශ්නයටමය. එසේ නොමැති නම් ‘උසාවිය නිහඬය’ යන චිත්‍රපටයෙන් පසුව කර්මාන්තමය වශයෙන් ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන චිත්‍රපට බිහිවීම නැවැත්විය හැකි නොවෙනු ඇත.

Read More »

කරදර පටන් ගත්තා පමණි...

0 comments
පුවත්පත් කොමිසමක්‌ මග එයි. මෙය පුවත්පත් කොමිසමක්‌ යයි කීවද පත්තරවලට පමණක්‌ සීමා නොවී රූපවාහිනි, ගුවන්විදුලි යන ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍යවලට ද බලපාන සේ තහවුරු කෙරෙයි.

ඉහත සඳහන් කොමිසම පිළිබඳව තොරතුරු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන විසින් පසුගිය දා හෙළි කරනු ලැබ ඇත. ඔහු කියන පරිදි කොමිසම පිහිටුවීමේ අරමුණ වන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි සහ වෙබ් සයිට්‌ මගින් ප්‍රවෘත්ති විකෘති කිරීම නැවැත්වීමය. පත්තර සහ ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍ය නම් මේ ක්‍රමයට අල්ලා ගත හැකිය. එහෙත් වෙබ් සයිට්‌වල වලිගයවත් අල්ලන්නට ආණ්‌ඩුවට හැකි වන්නේ නැත. මේ රටේ රාජ්‍ය නායකයන්ගේ පමණක්‌ නොව කරුණාරත්න පරණවිතානගේ පවා හම අරින වෙබ් සයිට්‌ ගණනාවක්‌ අන්තර් ජාලයේ තිබේ. ගිය ආණ්‌ඩුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව හරහා මෙවැනි වෙබ් සයිට්‌ අවහිර කළේය. එහෙත් වැඩ දන්නා එකා ඡරදංහ නමැති සැකිලි වෙබ් අඩවි හරහා, පෙර කී අවහිර කළ වෙබ් අඩවි බැලුවේය.

අලුත් පුවත්පත් කොමිසම නිර්මාණය වන්නේ පුවත්පත් කලාවේදීන්, මාධ්‍ය ආයතන, උගතුන් සහ පොදු මහජනතාව යන පාර්ශ්වවල අදහස්‌ ලබා ගැනීමෙන් පසුවය. මේ කාගේ අදහස්‌ ගත්තත් අන්තිමට බිහිවන්නේ ආණ්‌ඩුවට උවමනා ආකාරයේ ආයතනයකි. ක්‍රමවේදයකි. හැම ආණ්‌ඩුවක්‌ම විරුද්ධ පක්‍ෂයේ සිටින කාලයේ මාධ්‍ය මිතුරෙකි. බලයට පැමිණි පසු මාධ්‍ය හතුරෙකි. 1994 දී චJද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ගෙන ඒම සඳහා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ලොකු සේවයක්‌ කළේය. එම මෙහෙයුමේ ප්‍රමුඛ කොන්ත්‍රාත්කරුවන් වූයේ එම ව්‍යාපාරය ය. ඔවුන් යටතේ උප කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්‌ම සිටිය ද වඩාත්ම කැපී පෙනුනේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ය. බලයට පත් වී ස්‌වල්ප කලක්‌ තුළ ප්‍රගතිශීලී චJද්‍රිකා සමග ප්‍රගතිශීලී නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ගැටෙන්නට පටන් ගත්තේය. ඉන්පසු ඇගේ ආණ්‌ඩුව විසින් නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය සළකන ලද්දේ සතුරකු ලෙසය. මෙය හැම ආණ්‌ඩුවක්‌ යටතේම සිදු වෙයි. නිදහස්‌ මාධ්‍යයය ආණ්‌ඩුවේ සතුරකු වී පැය 24 ක්‌ යන්නටත් පළමු "කට්‌ටිය" සෙට්‌ වී නිදහස්‌ මාධ්‍යය ව්‍යාපාරය පස්‌සේ පමණක්‌ නොව ඒ සමඟ හාදකම් පැවැත්වූ අය පස්‌සෙන්ද පන්නන්ට වූහ. මැර කණ්‌ඩායමක්‌ පැමිණ ලසන්ත වික්‍රමතුංගගේ ගෙදරට වෙඩි තබන්නේ මේ කාලයේය. (මෙය අද සිටින වැඩි දෙනාට මතක නැත) රූකාන්ත සහ චJද්‍රලේඛාගේ කොණ්‌ඩය නොමිලයේම කපා දීම සිදු වන්නේ ද මේ කාලයේදීමය.

ඉන්පසු බලයට පැමිණි රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේද මේ තත්ත්වය ප්‍රවර්ධනය විය. ප්‍රේමදාසගේ කාලයේදී රිචඩ් සොයිසා මැරුවාක්‌ මෙන් රාජපක්‍ෂ යුගයේදී ගත් පළමු බිල්ල ලසන්ත වික්‍රමතුංගය. ඊළඟට ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් විය. රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් ගුටිකා, එහෙත් මැරුම් නොකා බේරුනාක්‌ පමණක්‌ නොව රටින් ද පැන ගියේය. කීත් නොයාටද එයම සිදු විය.

මිනිසුන් ඒ ආණ්‌ඩුවට වෛර කරන ලද්දේ තවදුරටත් එම පීඩනය ඉවසා සිටීමට බැරි තැනයි. ඉන්පසු සරත් විෙ-සූරිය සහ සමන් රත්නප්‍රිය දෙශූරීහු එක්‌ව ඒ ආණ්‌ඩුව පෙරළා මේ ආණ්‌ඩුව ගෙනාහ. එසේ කියා කරදර අවසන්වීද? නැත. කරදර පටන් ගත්තා පමණි.

මෙවර මාධ්‍ය මර්දනය ඉතා නීත්‍යනුකූලව එයි. සී. අයි. ඩී. ය විසින් නිරන්තරයෙන් මාධ්‍යකරුවන්ගෙන් කටඋත්තර ගනු ලැබේ. මාධ්‍යකරුවන් කූඩු කිරීමට උසාවි නියෝග ද ඉල්ලනු ලැබේ. වැරැදි ලෙස නඩු ගොනු කළැයි විනිසුරුගෙන් බැණුම් ද අසනු ලැබේ. දිවයිනේ මාධ්‍යවේදී සමන් ගමගේ, ප්‍රේම් ආනන්ද උදලාගම නමැති බුද්ධි අංශ නිලධාරියා ගැන ප්‍රවෘත්ති කිහිපයක්‌ ලියා මේ දිනවල විශාල අර්බුදයකට පත්ව සිටියි. සී.අයි.ඩී.යේ පැමිණිල්ලක්‌ මත සිකුරාදා ගම්පහ උසාවි ගිය ඔහු ඇප ලබා පැමිණ සිටී. යළි ලබන බදාදා කටඋත්තර දීම සඳහා ඔහු සී. අයි. ඩී. යා යුතුය.

මේ කතාව මෙතැනින් අවසන් වනු ඇද්ද? නැත. කරදර පටන් ගත්තා පමණි.

Read More »

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු