පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – ඒකෝන් තහනම, සිරස ප්‍රහාරය සහ දේශපාලන බුද්ධාගම

සුනන්ද දේශප්‍රිය
ඒකෝන් නම් සෙනගාල් ජාතික ගායකයාට ශ්‍රී ලංකාවට පැමිණිම ශ්‍රී ලංකාණ්ඩුව විසින් තහනම් කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් මෙම තහනම ශ්‍රී ලංකාවේ අද පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයේ පිළිඹිබුවකි. මෙම තහනම බුදුදහම රැක ගැනීමට ගත් පියවරක් නොව දේශපාලන පියවරකි. මූලධර්මවාදී බලවේගයන්ට හිස නැමීමකි. මූලධර්මවාදය යනු අන්තවාදය සඳහා ආගම දේශපාලනීයකරනය කිරීම යි. ආගමට මුවා වී නිදහස්මතධාරීන් විනාශ කිරීම යි. මෙම තහනමට කලින් ඒකෝන් ප්‍රසංගයට පිටුපස සිටින්නේ යැයි ගෙතූ කතාවක් මත සිරස මාධ්‍ය ජාලයට මූලධර්මවාදී ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.

මා ඒකෝන් රසිකයකු නොවේ. මට රැප් නමින් හැදින්වෙන ඉංග්‍රිසි සිංදු තේරෙන්නේ ද නැත. මා ඒකොන්ට ශ්‍රී ලංකාව තහනම් කිරීම ගැන ලියන්නේ ඔහුගේ ගීත අගය කරන නිසා හෝ විවාදයට භාජනය වී ඇති ඔහුගේ ගී පසුතල දර්ශන අගය කරන නිසා හෝ නොවේ. මා ලියන්නේ ඒකොන් තහනම නම් සුවිශේෂ සිදුවීම ගැන නොව එමගින් ඇති කරන දේශපාලන සංඥා ගැන ය.

අප ජීවත්වන ලෝකය කිසිදු එක් මතවාදයකට, දර්ශනවාදයකට හෝ ආගමකට අයත් එකක් නොවේ. මානව සංවර්ධනයේ අප ජිවත්වන යුගය පුරවැසියාගේ අයිතිය සහ නිදහස මූලික කරගත් ප්‍රජාතන්ත්‍රවාදී යුගය යි. ආගමික විශ්වාසයන් නිසා හෝ ආගමික නොවන විශ්වාසයන් නිසා මිනිසුන් පිටුවාහල් කළ, සිර ගත කළ සහ මරා දැමූ යුගයන් ඇත්තේ අපට පිටු පසිනි. දේශපාලනඥයින් සහ දේශපාලන මතවාද, දර්ශනවාදීන් සහ දර්ශනවාද, මතවාදීන් සහ මතවාද උග්‍ර විවේචනයන්ට භාජනය කිරීමටත් හාස්‍යට ලක් කිරීමටත් තහනමක් අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි නැත. එසේ තිබියදී කවර හෝ ආගමක් විවේචනය කිරීම හෝ හාස්‍යට ලක් කිරීම පමණක් තහනම් කළ යුත්තේ ඇයි දැයි මට තේරෙන්නේ නැත.

ඒකෝන්ට ශ්‍රී ලංකාව තහනම් කරන ලද්දේ ඔහුගේ සරාගී කෙල්ල නම් ගීතයේ පසුතල දර්ශනයන්හි බුදුරුවක් ඉදිරියේ යට ඇදුම් පමණක් හැඳ නටන කෙල්ලන් නිසා යැයි කියනු ලැබේ. මෙම පසුතල දර්ශන යෝග්‍යයැයි නොසිතන බොහෝ පිරිස් අප සමාජයේ සිටය හැක. එනමුත් එම දර්ශන නිසා ඒකෝන් නම් කලාකරුවාට ශ්‍රී ලංකාව තහනම් කිරීමට මා එකඟ වන්නේ නැත. මෙම දර්ශන නිසා බුදුදහමට වන අගතියක් නැත. ඕනෑම දර්ශනවාදයක ශක්තිය රඳාපවතින්නේ විවේචන සහ විරුද්ධවාදීකම් හමූයේ නැගී සිටීමට ඇති හැකියාව මතය. මෙම පසුතල දර්ශන බුදු දහමට එරෙහිව කරන ලද විරුද්ධවාදී කමක් නොව සෑම දෙයක් ම වෙළද භාණ්ඩ බවට පත් වත්මනෙහි දුර්-විපාකයකි. මෙවැනි හේතුවක් මත ඒකෝන් නම් ජනප්‍රිය කලාකරුවාට ශ්‍රී ලංකාව තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාණ්ඩුව පෙන්වන්නේ බුදුදහමේ නියම ශක්තිය වන ඉවසීම සහ මෛත්‍රිය නොවේ. එමගින් ශ්‍රී ලංකාණ්ඩුව ලෝකයට කියා සිටින්නේ ශ්‍රී ලංකාව ද ලේඛකයින් සහ කලාකරුවන් දඬුකඳේ ගසන මූලධර්මවාදී රටක් බවට පත්ව ඇති බව යි.

ශ්‍රී ලංකාව තුළ අද බලපවත්නා මෙම මූලධර්මවාදී බලවේග දෙස බලන විට සිතෙන්නේ ආගම් හි ඉගැන්වෙන බොහෝ දේ බොරු යැයි කියා ප්‍රසිද්ධියේ අභියෝග කළ යුග නිර්මානික ශ්‍රී ලාංකිකයකු වූ ඒබ්‍රහම් ටී කොවූර් අද ජීවත්ව සිටියා නම් මිත්‍යදෘෂ්ඨිකයකු යැයි කියා ඔහුට ගල් ගසා මරා දැමීමට හෝ රටින් පන්නා දමන්නට වුව ඉඩ තිබු බව යි.

අප ඉගෙන ගත් බුද්ධචරිතයට අනුව බුද්ධත්වය ලැබීමට පෙරදා රාත්‍රියෙහි මර දූවරුන් පැමිණ ගෞතම සිද්ධාර්ථ ඉදිරියෙහි සරාගී රංගනයක් දැක්වුහ. කවරකු හෝ එම රාත්‍රිය චිත්‍රයට නැගුව හොත් එම කලාකරුවාට ද දැන් ශ්‍රී ලංකාව තහනම් වනු ඇත. වරක් මෙම මර දූවරුන්ගේ රංගනය පිලිඹිබු කැරෙන නේපාලයේ බෙෘද්ධ පිළිරූවක ජායාරුපයක් පළකළ සතිඅන්ත සිංහළ පුවත්පතක් එය බෞද්ධ විරෝධී විජාතික ව්‍යාපාරයක දුෂ්ඨකමක් යැයි ලියුවා ය. මෙම පිළිරුවෙහි අඩනිරුවත් මර දූවරු ගෞතම සිද්ධාර්ථගේ ගෙලෙහි එල්ලී සිටින්නේ රමණයක අවස්ථා සිහිපත් කැරෙන පරිදි ය. අද වුව නේපාලයට යන ඹ්නෑම අයෙකුට මෙම පිළිරුවෙහි අනුරූ රුපියල් දෙතුන් සියයකට මිලදී ගත හැකි ය.

වරක් ක්‍රිස්තියානි ලබ්දිකයකු වූ මිතුරකු සමඟ ඇම්ස්ටර්ඩෑම් නුවර දී ඒකාංග නාටකයක් බැලීමට ගියෙමි. ඉඟි නළුවක් වූ එහි යේසුතුමා පිළිබද කොටසක් ද විය. එම කොටස රඟ දැක්වූයේ සහමුලින්ම නිරුවතින් අතිශය උපහාසාත්මක ලෙස ය. එය ඉවසා දරා ගැනීමට දුෂ්කර වූ කිහිප දෙනෙක් මුණු මුණූ ගාමින් නැගිට ගියහ. සිය ගණනාවක් වූ අනෙක් සියල්ලෝ ඉළ කැඩෙනතුරු සිනහවෙමින් එය නැරඹුහ. එය නැරඹිම නිසා මගේ මිතුරාගේ ආගමික භක්තියට හානියක් වූයේ නැත.

දැන් අපි ඒකෝන් තහනම දෙසට හැරෙමු. ශ්‍රී ලංකාණ්ඩුව දියත් කර ඇති සංචාරකයින් අද්දවා ගැනීමේ මහා ව්‍යාපෘතියේ කොටසක් ලෙස සංචාරක අමාත්‍යංශය ද ආණ්ඩුවේ එයාර් ලංකා ගුවන් සේවය ද ඒකෝන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වූ බව රහසක් නොවේ. සිරස මාධ්‍ය ජාලයෙන් එයට සම්බන්ධ වුයේ යර්ස් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව ය. එසේ තිබියදීත් මූලධර්මවාදීන්ගේ ඒකෝන් විරෝධී ව්‍යාපාරය ආණ්ඩුව ප්‍රයෝජනයට ගත්තේ තම අණසකට ටිකක් හෝ අභියෝග කරන ජනප්‍රිය රූපවාහිනි ජාලය වන සිරසට පහර දීමේ අවස්ථාවක් බවට පත් කර ගැනීමට ය. බෞද්ධාගම බේරා ගැනීමේ නාමයෙන් කුලී දාමරිකයින් කැළනියෙන් ගෙනැවිත් සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්‍යාලයට ගල්මුල් ප්‍රහාරයක් දියත් කලේ ඒ නිසා ය. එම මැරවර පිරිස් පොලීසිය උසාවියට ඉදිරිපත් නොකරම පොලිස් ඇප මත නිදහස් කර යැවූහ. (සිංහල බෞද්ධ ජනයාගේ යුද්ධ වීරයා වූ ජෙනරල් සරත් පොන්සේකා නිදහස් කරන සේ සාමකාමී උද්ඝෝෂනයේ යෙදුණු පිරිස් අවස්ථා ගණනාවකදීම උසාවියට ඉදිරිපත් කළ පොලීසිය ඔවුන්ට ඇප නොදෙන ලෙස ඉල්ලා සිටි බව ද මේ සමඟ සදහන් කළ යුතු ය. )

ඒකෝන් තහනම පිළිබඳ ඇත්ත කතාව තේරුම් ගැනීමට මෙම දේශපාලනීයකරණය වූ පොලීසියේ අවනීතිය අපට අවස්ථාවක් ලබා දෙයි. පොලීසියේ මෙම හැසිරීම අපට පෙන්වන්නේ මෙම ප්‍රහාරය දාමරිකයිනගේ් නොව දේශපාලන බලවතුන්ගේ කාර්යක් බව යි. ගල් ගැසූ පිරිස් කොස් ඇට බෑ බළල්ලු ය. ඒකෝන් තහනම මෙන්ම ඒ පිටින් සිරස මාධ්‍ය ජාලයට කළ ප්‍රහාරය බුදුදහම රැක ගැනීමට කළ දෙයක් නොව දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන ලද දෙයකි. බුදු දහම අවිහිංසාවාදී දර්ශනයකි. මහ දවාලේ ගල් – මුල් වලින් මාධ්‍ය ආයතනයකට පහර දීම බුදු දහම රැක ගැනීමක් නොව එය අපහාසයට පත් කිරිමකි.

ඒකෝන් තහනම හුදෙක් මහා මැතිවරණ අවස්ථාවෙහි ඡන්ද ගරා ගැනීමට කරන ලද උප්පර වැට්ටියකට වඩා වැඩි දෙයකි. එය අපට පෙන්වන්නේ යුද්ධ කාලය තුළ වර්ධනය වූ ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගමේ බලය යි. සෑම හන්දියක් ගානේ බුදු පිළිම පිහිටුවන ලද්දේ බොහෝ විට ත්‍රී රෝද සමාජ සහ පොලිස් සමාජ හවුලේ ය. ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් උදේ සවස බණ දේශනා ආරම්භ කරන ලදී. රෝහල් පාසැල් යනාදී සෑම පොදු ස්ථානයකම ජනාධිපති, ඇමැති පින්තූර සමඟ බුද්ධ පින්තූර ප්‍රදර්ශණය ආරම්භ විය. බුදුදහම පුද්ගලික පරිමණ්ඩලයේ වූ චින්තනක සිට දේශපාලඥයින් විසින් හැසිරවිය හැකි බලවේගයක් බවට පත් කෙරුණි. මේ සියළු දේ මැද අද ශ්‍රී ලංකාවේ දුර බැහැර පන්සල් වසා දැමෙන තත්වයක් ඇතිවී තිබෙන්නේ අවශ්‍ය තරම් සංඝයා සාසනයෙහි නැති නිසා ය. මෙම දේශපාලන බුද්ධාගම විසින් අපේ සමාජයේ කිසිදු ගුණාත්මක වෙනසක් ඇති නොකළ බව අපි හැම දනිමු. ඒ විසින් ඇති කළ එකම වර්ධනය නම් දේශපාලන උවමනාවන් සඳහා, එනම් සමාජය පාලනය කිරීමේ උපායක් බවට දේශපාලන බුදුදහම පත් වීම යි. යහ පාලනය උදෙසා පැවැත්වීමට නියමිත වූ සංඝ සංගායනාවට බෝම්බ ගැසීමට සිටියේත් ඒකෝන් සංදර්ශනයට බෝම්බ ගසන්නට ඉඩ තිබුනේත් මෙම දේශපාලන බුද්ධාගමේ අනුහසිනි. එහි එකම අරමුණ සමාජය මත ස්වකීය පාලනය නොසෙල්වෙන සේ පිහිටුවීමයි. ඒකෝන් තහනම මා දකින්නේ එම අත්තනෝමතික දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ය.

0 comments:

‛සිරසට’ පහර දුන් මැරයින් මුදා හරියි..

ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට පහර දීමට බස්රථ දෙකකින් පැමිණි මැරපිරිස සිරස කාර්යාලයට හා එහි සේවකියන්ට බරපතල හානි සිදුකරමින් පහර දී ඇති බව විකල්ප වාර්තා කලේ ය. එම සිද්ධියට අදාල සැකරුවන් 16 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේය.

නමුත් අද පෙරවරුවේ එම සැකකරුවන් 16 දෙනා පොළිස් ඇප මත මුදා හැරිය බව වාර්තා වූ අතර පොළිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුව ඒ පිළිබද අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව ය.

කෙසේ වෙතත් සිරස මාධ්‍ය ආයතනයට පහර දුන් පළමු අවස්ථාව මෙය නොවේ. 2009 ජනවාරි 6 වනදා සිරස මාධ්‍ය ආයතනයට ඇතුලු වු මැරයින් එයට බෝම්බ ප්‍රහාරයන් ද එල්ල කරමින් විශාල අලාභානි සිදු කලේ ය.

0 comments:

ලසන්ත වික්‍රමතුංග - බාල්දිය සහ වාල්දිය

බාල්දිය සහ වාල්දිය

ලසන්ත වික්‍රමතුංග අපේ කටට හුරු බාසාවෙන් කියනවා නම් නොම්මර එකේ බාල්දි කාරයෙකි. ලසන්ත බාල්දි දැම්මේ පුංචි අප්පුහාමිලාට නොව මහජනතාවටය. මෙතැන්දී මහජනතාව කියා අදහස් වන්නේ මහාම මහා ජනතාව මිස, පාරතොටේ පයින් යන සිල්ලර මිනිස්සු නොවෙති.

කෙසේ නමුත් මේ බාල්දි දැමිල්ල එක්තරා අන්දමක වාල්දි දැමිල්ලක් ලෙස දැක අඳුනාගත් කට්ටියක් පහුගිය දවසක ලසන්තට වැඩක් දුන්හ. කරත්ත රෝදය ගොනා පස්සේ එන්නේ ගොනා කරත්තයට බැඳ තියේනම් පමණකි. අත් කරත්ත වලනම් ගොනා යන්නේ බොහෝවිට රෝදයට පසුපසිනි. ධර්මයේ එන කර්මයට අනුකූලවම මේ වැඩේ සිද්ධ උනාද නැද්ද කියා ‍බොහෝමයක් පොදු ජනතා හිත්වල මේ නිසා යම් යම් කහටවල් තිබේ.

ටිකක් ඈත හිඳ බැළුවාම, ලසන්ත යනුත් ‘මහ’ජනතා පුත්‍රයෙක් හෝ උන්ගේම නෑදෑයෙක් මිස, පොදු ජනතාව හෝ සිල්ලර මිනිසුන් අතරම ගැවසුණු කෙනෙක් කියා හිතන්නට සාධක අඩුයැයි හිතේ. එහෙම හිතුවාම මේකත් එක්තරා විදිහක මණ්ඩලේ කචල් එකක් කියා නොහිතන අයත් නැත්තේම නැති වග දහ අතේ මොරදෙන ලවුස් ස්පීකර් වලට කන් දෙන‍ විට හැ‍‍‍ඟෙයි.

රබර් බට වාගේ නැවෙන ලපටි උඩ අතුවල සෙල්ලං කරන්නේ රිලව් මිස ඔරං ඔටන් ලා නොවෙන බව කාටවත් ඉලේට ඇඟිල්ලෙන් ඇන කියා දෙන්නට ඕනෑ කමක් නැත. මෙවන් පිරිස් බොහොමයක් ලසන්තගේ මලගමේ දීත් සෙල්ලම් පෙන්නූ හැටි පෙණුනි. සමහර බෑන් චූන් කාරයින් නම් මේ මල ගෙදරත් පිම්බේ මඟුල් අවමඟුල් නොබලා ඒ අය කවදත් පිඹින පපර නලා හා පපර චූන් ම පමණකි. නොදන්නා දේ කරන්න යනවාට වඩා තමුන්ට පුළුවන් දේ කර කර බාගෙන ඉන්නා එකත් අගේ නොකල යුතුම දෙයක් නොවේ. එසේ වුණත් සියළු කාරණා එකතු කර සලකා බලන විට මේ කිසි දෙයක්, අත්තඩියේ මහ පාරක් මැද මහ දවාලේ සිදුවූ ලසන්තගේ ඝාතනයත් ඇතුළු‍ව, අපේ රටේ සිදුවෙන්නට බැරි අමුතු දේවල් ය කියාත් හිතෙන්නේ නැත.

අපේ බොහෝ දෙනෙකුට සදාචාරයත් ශිෂ්ඨාචාරයත් සාධාරණයත් අසාධාරණයත් මතක් වෙන්නේ තමුන්ගේම ඔළුවලට කපුටු වර්චස් ටිකක් හෝ වැටුණාට පසුවයි. තමුන්ගේ ජනේලයෙන් වීසි කරන ඉඳුල් වතුර ටික ඇඟට වැදුන එකා ගේ ගෝරනාඩුවට උඩින්, ඉඳුල් විතරක් නොව පැහැරූ මලපහත් තමුන්ට ඕනෑ විදිහට විසි කිරීමට තමුන්ට ඇති අයිතිය ගැන කතා කරන්නට තරම් උගුරු දඬු හයිය හත්තිය ඇති කම අපේ ජන්මයෙන් ම අපට උරුම වී ඇත.

මේ සිද්ධිය, පුංචි පන්තිවල හිට වාද විවාද මාතෘකාවක් වන “පෑනද කඩුවද” කතාවේම කොටහක් ලෙසත් අපට පෙන්වන නාටක කාරයෝත් සිටිති. කඩු ගත්තෝත්, පෑන් ගත්තෝත්, කඩු‍ව ‍ ‍එක අතකිනුත් පෑන අනෙක් අතිනුත් ගත්තෝත් ආදි නානා විධ නළු නිළියෝ මේ විවාදයෙන් දිනුවේ කවුද කියාත් විවාද කරති.

මිනිහෙක් මරා දැමීම, අමු අමුවේ, මහ දවාලේ, වෙඩි තියා පමණක් නොව, කෑලි කෑලි කර, කපා කොටා මරා දැමීම, හිස ගසා පැල ඉනි වැටේ රඳවා මරා දැමීම, ලයිට් කණුවේ එල්ලා වෙඩි තියා මරා දැමීම, අත පය බැඳ නොමරා මරා ග‍ඟේ පාකර යැවීම මෙන්ම, ටයර් සෑයක ආදාහනය කොට මරා දැමීම ආදි මෙකී නොකී අනේක විධ මරා දැමිලි අපේ රටේ මෑත ඉතිහාසය තුල ඇති පදම් ඇත. ‍මිනිහෙක් කීවාට, මෙහෙම මැරුණ උන්ට ස්ත්‍රී පුරුෂ ලමා ලපටි බාල මහළු ආදී කිසිම බේදයක් බලපෑවේ නැත. රොබට් නොක්ස් ගේ ‘අයිලන්ඩ් සිලෝන්’ හි විස්තර වෙන රාජ දඬුවම් වල කෘරත්වය ගැනත්, ඇහැලේපොල පවුලට ලැබුණු වද හිංසා ගැනත් කියවා ඇඟ කිලිපොලවා ගත් යුගයකින් පසු ඒ අත්දැකීම් ඇස් පනා පිට විඳින්නට අපේ රටේ පරම්පරා දෙක තුනකටම වාසනාව ලැබී ති‍බේ. කවුරු කොහොම හිතන්නට උත්සාහ කලත්, කවුරු කොහොම අඟවන්නට උත්සාහ කලත් හිතා බැළුවාම හිතෙන්නේ “මෙවන් තැනක් නම් නැත්තේය වෙන කොහේවත් ” කියලාමය.

ලසන්ත මිනී මරුවෙක් නොවේ. ලසන්ත, හරි වැරදි කෙසේ වෙතත්, යමක් කල එකෙකි. එමෙන්ම කරපු වැඩේ රිදෙන තැන්වලට රිදෙන්නම කල එකෙක් කියා වෙච්චි දේ වලින් පෙනෙයි. ප්‍රශ්න කිරීම වනාහි අපේ සංස්කෘතියට නොගැලපෙනම ගතිගුණයකි. සාධාරණය අසාධාරණය, විශේෂයෙන්ම තමුන්ට කිසිම පල ප්‍රයෝජනයක් ලාබයක් අලාබයක් නැති දෙයක සාධාරණය අසාධාරණය කතා කිරීම නම් කල නොයුතුම දෙයකි. ඒකත් එක එල්ලේ උණු උණුවේ පදමට පැණිකර කීම නම් කවදාහෝ පසුපස්සේ එන පාපකර්මයක්මය.

මේ තරම් දේවල් ලියන්නට හිතුනේ ලසන්ත අවසන් වතාවට ලිව්වාය කියන කතුවැකියේ කොටස් කීපයක් තේරුම් ගන්නට උත්සාහ කල පසුවයි.


“Every newspaper has its angle, and we do not hide the fact that we have ours. Our commitment is to see Sri Lanka as a transparent, secular, liberal democracy. Think about those words, for they each has profound meaning.

Transparent because government must be openly accountable to the people and never abuse their trust. Secular because in a multi-ethnic and multi-cultural society such as ours, secularism offers the only common ground by which we might all be united. Liberal because we recognise that all human beings are created different, and we need to accept others for what they are and not what we would like them to be. And democratic... well, if you need me to explain why that is important, you’d best stop buying this paper.”

(2009 ජනවාරි 11දා සන්ඩේ ලීඩර් කතුවැකියෙන්)

“සෑම පුවත් පතකටම ස්වකීය වූ අරමුණක් ඇත. අපටත් එසේම බව අපි නොසඟවා කියමු. අපේ කැපවීම අපේ රට විවෘත, ඓහික, මධ්‍යස්ථ හා ප්‍රජාතන්ත්‍රවාදී මගකට එළඹෙනු දැකීමයි. මේ වදන් එක එක ගැන සිතන්න. ඒ එක එකක් තුල පෘතුල අර්ථයන් ගැබ්ව තිබේ.

රජය රටේ ජනතාවට අවංකව වගකිවයුතු නිසාත් හා ජනතාව රජය කෙරෙහි තබන විශ්වාස‍යෙන් රජය අයුතු ඵල නොගතයුතුත් නිසා, විවෘතකම හෝ පාරද්‍රශ‍්‍යත්වය අත්‍යවශ්‍යය. අපේ රට වැනි, බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයක ඒකීය බව රැකගත හැකි එකම පොදු ස්ථාවරය වන්නේ ඓහිකත්වය බැවින් අපි ඓහිකවාදී විය යුතුද වෙමු. අපේ ඕනෑ එපාකම් අනුව අනෙකා හැඩගැසීම පසෙකලා එකිනෙකාගේ අනන්‍යතාවයන් ඒ ලෙසින්ම පිළිගන්නා බැවින් අපි මධ්‍යස්ථ විය යුතුද වෙමු. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීත්වයත් අත්‍යවශ්‍යය. ඒ මන්දැයි මමම ඔබට පහදා දිය යුතුයැයි ඔබට සිතේ නම්, ඔබ මේ පුවත් පත මිලදී නොගැනීම වඩාත් හොඳය.”

කුමන හෝ පද්ධතියක් යම් අවස්ථාවක හෝ තලයක සිට තවත් තලයකට සංක්‍රමණය වීම අප්‍රමාණවූ මංපෙත් ඔස්සේ සිදුවිය හැකිය. අවසානයේ වැදගත් වන්නේ අවසාන ඵලය මිස මාර්ගය නොවේ. එනමුදු, ‍ඒ වෙනස සඳහා වැයවන්නාවු කාලයත් පිරිවැයත් දෙකම, මාර්ගය මත රඳා පවත්නේය.



රන්සිරිමල් ප්‍රනාන්දු

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු