sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » media freedom in sri lanka ලංකාවේ ජනමාධ්‍ය මර්දනයක් අබියස? 2

 ආණ්ඩුව දැන් කරන කියන දේ අනුව පෙනෙන්නේ මාධ්‍යයට එතරම් යහපත් තත්ත්වයක් නැති බවයි. වරෙක ආණ්ඩුව කීවේ මාධ්‍යයට ආචාර ධර්ම මාලාවක් ගෙනෙන බවකි. දැන් දැන් කතා කරන්නට පටන්ගෙන තිබෙන්නේ සාපරාධී අපහාස නීතියද යළි හඳුන්වා දෙන්නටය. එනම් මාධ්‍යය භාවිතයට දඬුවම් දෙන්නට ක‍්‍රම සකස් කර
ගන්න බවකි.
 සාපරාධී අපහාස නීතිය යනු මාධ්‍යයට එරෙහිව ක‍්‍රියාත්මක වූ අතිශය භයානක නීතියකි. එමගින් රජයේ නිලධාරියකු සම්බන්ධයෙන් පළකරන පුවතක් අපරාධයක් ලෙස සලකන්නට ඉඩකඩ සලසා තිබිණි. යටත් විජිත යුගයෙන් උරුම වූ එම නීති අපගේ නීති පොතේ බොහෝ කාලයක් තිබිණි. ඒවා යොදාගන්නා ලද්දේ රජය කෙරෙහි විවේචනාත්මක වන මාධ්‍යය ආයතන දඩයම් කිරීම සඳහාය. රාජ්‍යයේ නැතහොත් එහි නිලධාරීන්ගේ වැරදි හෙළිදරව් කළ මාධ්‍යය මර්දනය කිරීම සඳහාය. එම ආයතනවලට හිරිහැර කිරීම සඳහාය.
මාධ්‍යයට හිරිහැර කිරීමේ තවත් ක‍්‍රමයක් බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ වූ ඇතැම් විධි විධානයි. එමගින් මාධ්‍යය ආයතනවලට එරෙහිව නඩු විභාග කොට දඬුවම් නියම කිරීමේ බලය පාර්ලිමේන්තු කාරක සභාවට ලබාදී තිබිණි. එයද බොහෝවිට යොදා ගන්නා ලද්දේ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන හා ආණ්ඩුවේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා හෙළි කරන මාධ්‍යයට හිරිහැර කිරීම සඳහාය.
මෙම නීති රීති යොදාගෙන ජනමාධය මර්දනය කිරීම කලක් තිස්සේ සිදුවූ විට එයට එරෙහිව මාධ්‍ය හා මාධ්‍ය සංවිධාන නැගී සිටියේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සාපරාධී අපහාස නීතිය මෙන්ම ජනමාධ්‍යයට එරෙහිව නඩු විභාග කිරීමට පාර්ලිමේන්තුවට තිබූ බලයද අහෝසි කරගන්නට හැකි විය.
දැන් සාපරාධී අපහාස නීතියක් නැත. මාධ්‍යයෙන් යම් වරදක් සිදුවී රජයේ නිලධාරියෙකුට අපහාසයක් සිදුවුයේ යැයි හැඟුණහොත් ඒ සඳහා සිවිල් අපහාස නීතිය මගින් ක‍්‍රියා කළ හැකිය. එම නීතිමය හැකියාව ඉවත් කොට නැත. ඉවත් කොට තිබෙන්නේ මාධ්‍යය භාවිතය අපරාධයක් ලෙස සැලකීමය. එමගින් මාධ්‍ය මර්දනයට තිබූ ඉඩකඩ අසුරා ඇත.
පාර්ලිමේන්තු වරප‍්‍රසාද නඩු දැන් එහි මන්ත‍්‍රීවරුන්ටම විමසිය නොහැකිය. ඒ කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වය දැන් නැත. දැන් එම ප‍්‍රශ්න යොමු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එහි කිසිදු වරදක් ඇතැයි කිව නොහැකිය. තමන්ගේ නඩුව තමන් අසා දඬුවම් කිරීම සදාචාරය අගයන කිසිදු සමාජයක් අනුමත කරන්නේ නැත.

මාධ්‍යයට එරෙහි මෙම නීති කාලෙකට පෙර ඉවත් කරන ලද්දේ ඒවා අසාධාරණ බව මෙන්ම අයුතු ලෙස යොදා ගන්නා බවද තහවුරු වී තිබු නිසාය. එනම් නිදහස් මාධ්‍යය මර්දනයට එම නීති යොදාගත් නිසාය. එමගින් යම් ප‍්‍රමාණයකට මාධ්‍ය නිදහස තහවුරු වීය.
සැබැවින්ම මාධ්‍ය නිදහස තහවුරුවීමට මෙම නීති ඉවත් කිරීම පවා ප‍්‍රමාණවත් නැත. තවත් බොහෝ දේ කළ යුතුව පවතී. රාජ්‍ය රහස් පිළිබඳ ඉපැරැුණි නීති ඉවත් කළ යුතුව ඇත. තොරතුරු දැනගැනීමට අයිතිය තහවුරු කළ යුතුව ඇත. එමෙන්ම මාධ්‍යවේදියකුට තම ප‍්‍රවෘත්ති මුලාශ‍්‍ර කිසිවිටෙක හෙළිදරව් නොකිරීමේ අයිතියද නීතියෙන් තහවුරු කිරීම වැදගත්ය.
එසේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට බොහෝ දේ කළ යුතුව තිබියදී ආණ්ඩුව දැන් උත්සාහ දරන්නේ මාධ්‍ය මර්දනයට තිබූ භයානක නීති නැවත ගෙන එන්නටය. ඔවුන් මේ කියන කරන දේවල තේරුම එයයි.
මාධ්‍ය නිදහස තිබිය යුතු වන්නේ මාධ්‍ය ආයතනවල හෝ මාධ්‍යවේදීන්ගේ හෝ වරප‍්‍රසාදයක් ලෙස නොවේ. එය තිබිය යුත්තේ රටේ සිදුවන අයථා ක‍්‍රියා නොබියව හෙළිදරව් කිරීමේ අවස්ථාවක් වශයෙන්. මාධ්‍යයට නිදහස තිබෙන විට රාජ්‍ය තන්ත‍්‍රයේ තිබෙන වැරදි හෙළිදරව් කිරිමට හැකියාව ලැබේ. හොරකම්, දුෂණ, වංචා හා වෙනත් ජාවාරම් එළියට එනු ඇත. ඒවා හෙළිදරව් කිරීමට මාධ්‍යයට නිදහස ලැබෙනු ඇත. ඒවා හෙළි කළ මාධ්‍යයට එරෙහිව පියවර ගැනීමට කිසිවකුට ඉඩ නොදීම ඒ සඳහා වැදගත්ය.
කෙසේ වෙතත් ඇතැම් රටවල ආණ්ඩු හිතතිත් මාධ්‍ය පෙන්වා දෙන වැරදි නිවැරදි කර ගන්නවා වෙනුවට එම වැරදි පෙන්වන මාධ්‍යය නිහඬ කළ යුතු බවයි. නොයෙකුත් නීතිරීත අවශ්‍ය වන්නේ ඒ සඳහාය.
ලෝකයේ බොහෝ රටවල වංචා දුෂණ හෙළිදරව් කිරීමට පෙරමුණ ගත්තේ ජනමාධ්‍යයයි. ඒ ගැන වාර්තා ලියන්නේ නම් එය දිගු එකකි. මාධ්‍යයෙන් හෙළිදරව් කිරීම් නිසා රාජ්‍ය නායකයන්ට තනතුරු හැරදා ගෙදර යාමට සිදුවූ අවස්ථා එමටය. අදටත් එබඳු දෑ ලොව පුරා සිදුවෙමින් පවතියි.ඉන්දියාවේ මැතකදී හෙළිදරව් වූ වංචාවක් නම් ජී තුන  (3ඝ්)  සිදුවීමයි. එහිදී ගනුදෙනුව සිදුවුයේ ගුවන් විදුලි තරංග සම්බන්ධයෙනි. මැති අමැතිවරු හා බලගතු පුද්ගලයෝ එයට වගකිව යුත්තෝ ලෙස හෙළිදරව් වූහ. එහි පෙරමුණ ගත්තේ ජනමාධ්‍යයයි. එසේ වුවද එරට ආණ්ඩුව ක‍්‍රියා කළේ වැරදිකරුවන් සොයන්නට මිස මාධ්‍යයේ කට වසන්නට නොවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් මාධ්‍ය නිදහස ගැන සිතන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වා එය නිවැරදි කිරීමේ මාධ්‍යයක් වශයෙනි. රාජ්‍යය පිරිසිදු කිරීමේ ක‍්‍රමයක් වශයෙනි. නිදහස් මාධ්‍ය භාවිතයක් අවශ්‍ය යැයි සිතන්නේ ඒ නිසාය.
කනගාටුවකට මෙන් අප රටේ තත්ත්වය ඊට වෙනස්ය. මෙරටෙහි සිදුවන්නේ වරදට දඬුවම් දීම වෙනුවට වරද පෙන්වා දුන් අයට දඬුවම දීමට උත්සාහ දැරීමයි. මාධ්‍යය මර්දන නීති රීති ගැන කතා කිරීම පිටුපස තිබෙන්නේ එම වුවමනාව බව සිතාගැනීම අපහසු නැත. එයට ඉඩ දුනහොත් වන්නේ දුෂිතයන් දිගින් දිගට ආරක්ෂාවීමයි. එමෙන්ම අපේ සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය තව තවත් ජරාජීර්ණ තත්ත්වයට පත්වීමයි. එය පිරිසිදු තත්ත්වයකට පත් කිරීමේ සියලූ මාර්ග වැහී යාමයි.
එබැවින් මාධ්‍යයට මර්දන නීති ගෙන ඒමේ උත්සාහය රටට ඉතාමත් භයානක ප‍්‍රතිඵල අත්කර දෙන්නට බව කවුරු කවුරුත් තේරුම්ගත යුත්තෝය. එයින් පාලකයින්ට තාවකාලික සහනයක් ලැබෙන්නේ රට විනාශය කරා ගෙන යන්නටය. අන්තිමේ විනාශය අත්වන්නේ සමස්ත ජනතාවටය. එයට ඉඩ තැබිය යුතු නැත. මාධ්‍යයට මර්දන නීති ගෙන ඒමේ උත්සාහය ලත්තැනම ලොප් කළ යුත්තේ ඒ නිසාය.
සී. ජේ. අමරතුංග

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..