මාධ්‍ය සදාචාරය තුළ ලිංගිකත්වය


පසු ගිය සති අන්තයේ ‛සන්ඩේ ලීඩර්’ පුවත්පතේ අමුතු විශේෂාංගයක් පළවිය. ඒ, රනිල් වික්‍රමසිංහගේ ලිංගික ආශාවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකි. දේශපාලඥයන්ගේ ලිංගික වරණයන් පිළිබඳ වාර්තා බොහෝ විට ටැබ්ලොයිඩ් පුවත්පත් තලු මරමින් විස්තර කරයි. දේශපාලඥයන්ගේ පමණක් නොව, රටේ තරු වශයෙන් වැජඹෙන කාගේ වුව ද ලිංගික ජීවිත තුළ ඇති ශෘංගාර රසය, පත්තරකාරයන්ට විටින් විට ඉල්ලම් සපයන බව අපි දනිමු. එය වෙනම මාධ්‍ය ‛කලාවකි.’
කෙසේ වෙතත්, දේශපාලඥයෙකුගේ ලිංගිකත්වය රටේ පාලනයට බලපෑම් කරන විට ඒ ගැන විමසීමට අයිතියක් පුරවැසියන්ට නැති බවක් මෙයින් අදහස් නොවේ. ඉතාලියේ හිටපු අගමැති බුර්ලොස්කොනී පසුගිය සතිය දක්වාම මේ අංශයෙන් අගනා පාඩම් ලෝකයාට කියාදුන්නේය.
අනිත් අතට, රටක නායකයෙකු විය යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීමේ දී ඔහුගේ ආගම කුමක් ද, ඔහුගේ ජාතිය කුමක් ද, ඔහුගේ කුලය කුමක් ද යන කාරණා තීරණාත්මක සාධක වශයෙන් ගැනීම බහු=ආගමික, බහු=ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට හිතකර නොවන බවත් අපි දනිමු. ඒ ආකාරයෙන්ම, කෙනෙකුගේ ලිංගික වරණයන් සැලකිල්ලට ගැනීමත් මෝස්තරයක් වූ යුගය දැන් අවසන් වෙමින් තිබේ. කෙසේ වෙතත්, රටේ නායකයන් විය යුත්තේ කවුරුන් දැ යි තීරණය කිරීමේ ප්‍රාරම්භක බලය තමන් අතේ ඇතැ යි සිතන මාධ්‍ය හැසිරීමක් ඇති ලංකාව වැනි රටක, නැවත නැවතත් ඉස්මත්තට ගැනෙන්නේ මේ කාරණාම යි. පසුගිය දා රනිල් වික්‍රමසිංහ විදේශගත වීමේ දී ජෝන් අමරතුංගව වැඩබලන විපක්ෂ නායක සේ නම් කිරීමේ ප්‍රශ්නයේ දී මතු වූ සැබෑ ව්‍යවහාරික සහ සම්ප්‍රදායික ගැටළුවලට අමතරව, ජෝන් අමරතුංගගේ ආගමත් ඔහුට එරෙහිව ඇති සාධකයක් වශයෙන් මාධ්‍ය හරහා හුවාදැක්වුණි.
‛‛සිරස’’ නාලිකාව පුන පුනා දවස තිස්සේ කියන කාරණාවක් තිබේ. එනම්, ‛‛වී රිපෝට්, යූ ඩිසයිඩ්’’ යන්නයි. ‛‛අපි වාර්තා කරමු, ඔබ තීරණය කරන්න’’ යන්න එහි අදහසයි. එහෙත්, ඔවුන්ගේ ප්‍රවෘත්ති සහ වෙනත් විශේෂාංග දෙස බලන විට නරඹන්නන් සහ අසන්නන් වන අපට තීරණය කිරීමට කිසිවක් ඔවුන් ඉතිරි නොකරන බව එක විටම කෙනෙකුට පෙනී යයි. සියල්ල ඔවුන් තීරණය කොට හමාරයි. අපට ඇත්තේ එය පිළිගැනීමටයි. උදාහරණයක් වශයෙන්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බව මේ මාධ්‍ය හිමියා දැනටමත් තීරණය කොට තිබේ. එහෙත් ඒ කිසි මාධ්‍යයක්, සජිත් ප්‍රේමදාසව අප පිළිගත යුත්තේ ඇයි ද යන්න අපට සංයුක්තව පෙන්වා දෙන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ විසඳුම කුමක් ද? විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ඔහු ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද? මැතිවරණ ක්‍රමය ඔහු වෙනස් කරන්නේ ද? යුද්ධයේ අවසාන කාලයේ දී ‛‛යුද අපරාධ’’ සිදු වී ඇත් ද? එසේ වී නම් ඒවා ගැන අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්විය යුතු ද නැද්ද ආදී වශයෙන් වන, මේ පොළොවේ පයගසා සිටින ඡන්දදායකයන්ගේ සංයුක්ත ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහුගේ ආකල්පය කවරාකාර දැයි අප දන්නේ නැත. කොටින්ම, අප දන්නා සහ අප අනුයන දේශපාලනය අනුව, සජිත් ප්‍රේමදාසව ජනතාව විසින් පිළිගත යුත්තේ රනිල් වික්‍රමසිංහට විකල්පයක් වශයෙන් පමණක්ම නොවේ. ඔහු මහින්ද රාජපක්ෂට ද විකල්පයක් විය යුතුය. එසේ නොවන කිසිවෙකු, රනිල් වික්‍රමසිංහ වෙනුවට සුදුස්සෙකු වශයෙන් ගැනීමට, ඡන්දදායකයන් වන අපට විශේෂ හේතුවක් නැත.
රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයෙකු වශයෙන් පමණක් නොව ලංකාව වැනි රටක දේශපාලඥයෙකු වශයෙන් පවා දුර්වල පුද්ගලයෙකු බව පිළිගැනීමට බොහෝ දෙනා මැලි නොවන්නට පිළිවන. එහෙත් ඔහුගේ ඒ දුර්වලතා ඔහුව අනිවාර්ය නුසුදුස්සෙකු බවට පත්කරන්නේ නැත. ඔහු තුළ ඇතැ යි සිතිය හැකි දුර්වලකම් වූ කලී ඇතැම් විට ඔහු කෙරෙහි යම් ප්‍රසාදයක් ඇති කරවන කරුණු වීමටත් ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන්, දකින දකින මිනිසාගේ කරට අතදාගන්නේ නැති කම, කුඩා දරුවෙකු දුටු විට කැමරාව ඉදිරියේ දී එම දරුවාව වඩාගෙන සිපගන්නේ නැති කම, ප්‍රසිද්ධ කතාවක් පටන් ගනිද්දීම ගිරිය පුප්පන්නේ නැතිකම ආදී දේශපාලනික රංගනයන් සම්බන්ධයෙන් ඔහු අපේ රටේ දේශපාලඥයෙකු වීමට අවශ්‍ය කරන සම්මත සුදුසුකම් නොලබන බව ඇත්තයි. අනිත් අතට, ආගම සහ ජාතිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුත පක්ෂ ප්‍රතිපත්තිය කුමනාකාර විය යුතු ද වැනි කරුණක් ආශ්‍රයෙන් ඔහු දරණ ආකල්ප ඡන්දදායකයන් වශයෙන් අපට වැදගත් වෙයි. පසු ගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අසාර්ථක ව්‍යාපාර පවරා ගැනීමේ පනතට එරෙහිව ඔහු රටට කී මතවාදය, හුදෙක් ඔහුගේ විවේචකයන්ගේ ඊනියා විවේචනයන්ට යට වීමකැ කෙනෙකුට පෙනේ. එම පනත මගින් රජය බලාපොරොත්තු වන්නේ මේ රටේ සිංහලයාගේ සහ බෞද්ධයාගේ ව්‍යාපාර කොල්ලකෑමක් බව ඔහු ඇතුළු විරුද්ධ පක්ෂ නායකයන් කියන විට, ජාතිවාදයේ සහ ආගම්වාදයේ මඩගොහොරුව අහේතුකව කලතන්නට ඔහු වැන්නන් පවා පෙළැඹුණු හැටි අපි දුටුවෙමු. තවත් යුද්ධයක් නැති හෙට දවසක් ගැන අපේක්ෂා දල්වන ඡන්දදායකයෙකු ඔහු වැනි නායකයන්ව නිර්දය විවේචනයට හසුකරගත යුත්තේ එවැනි කරුණු පදනම් කරගෙන යැයි අපි විශ්වාස කරමු.
දැන් ‛සන්ඩේ ලීඩර්’ පුවත්පත හැරෙන්නේ වෙනත් පැත්තකට යි. එක් ප්‍රාදේශීය දේශපාලඥයෙකු වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් කරන ලද කරුණු 16 ක් ඇතුළත් චෝදනා පත්‍රයකින් එක චෝදනාවක් අහුලාගන්නා මේ පත්තරය ඒ මත විශේෂාංගයක් පාඨකයාට ඉදිරිපත් කරයි. මේ විශේෂාංගය තුළ ඇත්තේ දේශපාලනයට වඩා කුණු රසයක් බව දැනුවත් පාඨකයාට වැටහෙයි.
සදාචාරය මැනෙන ප්‍රධාන මූලාශ්‍රය ලිංගිකත්වය වශයෙන් ගැනීම ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති කතාවකි. එක පැත්තකින්, මිනිසා ශිෂ්ටාචාරගත වීම තුළ ලිංගිකත්වය වෙත පැවරුණු ගූඪත්වය ඊට බලපෑවේය. අනිත් පැත්තෙන් සියලු ආගම් ඒ ගූඪත්වය මත තමන්ගේ ආගමික සදාචාරය පදනම් කිරීම එම දීගය ශක්තිමත් කෙළේය. කොටින්ම, විළි වසා ගැනීම සඳහා ඇඳුම් හැඳීමට මිනිසා පටන්ගත් දා සිට ලිංගිකත්වයේ මේ ගූඪත්වය උත්කර්ෂවත් කෙරුණි. මේ තත්ත්වය නූතන ලෝකයා දැන් සෑහෙන කලක සිට ප්‍රශ්න කරමින් සිටිති. පොදුවේ ස්වාභාවික විද්‍යාවනුත්, විශේෂයෙන් මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාවේ දියුණුවත් සමග එතෙක් කල් ලිංගිකත්වය මත ආරෝපණය කළ ඊනියා සදාචාරයේ කඩතුරා ටිකෙන් ටික විවර වන්නට පටන්ගෙන තිබේ. අඩු වශයෙන් ශිෂ්ට සම්පන්න රටක නම්, පුද්ගලයෙකුගේ ලිංගික ආශාවන් කවරාකාර වේ දැයි දැන ගැනීම තමන්ගේ ප්‍රජා අයිතියක් වශයෙන් නොගැනීමට තරම් පුරවැසියා අද ඉදිරියෙන් සිටී. දක්ෂිණාංශික බලකොටුවක් වශයෙන් දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ පැවති පැරිසියේ නගර සභාව තුළ වමේ බලය ගොඩනැගු වාමාංශික දේශපාලඥයා තමා සමලිංගික වන බවත්, දියුණු මනුෂ්‍යයෙකු වශයෙන් තමාට ඒ අයිතිය ඇති බවත් ඡන්දදායකයන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටියේය. ඒ ඡන්දදායකයෝ දශක තුනක් තිස්සේ පැවති බලය පෙරලා ඔහුව එම නගරයේ පුරපති කමට පත්කර ගත්හ. එක වරක් නොව පිට පිට දෙවරක්ම පත්කර ගත්හ. අදටත් පැරිසියේ පුරපති ඔහු ය.
මේ නිසා, කෙනෙකු සමලිංගික ද විසම ලිංගික ද යන්න රටක කිසි පුරවැසියෙකු සම්බන්ධයෙන් සදාචාරය පිළිබඳ ප්‍රතිපත්තිමය කාරණයක් වශයෙන් තව දුරටත් අදාළත්වයක් දැරිය යුතු නැත. විසම ලිංගිකයන්ට සේම සමලිංගිකයන්ටත් විවාහ අයිතිය පවරන තරමට අද ලෝකයේ බොහෝ රටවල් ඉදිරියට ගොස් සිටී. ලිංගික වරණය පිළිබඳ අයිතියත් මූලික මානව හිමිකමක් වශයෙන් ගැනෙන කාලය වැඩි ඈතක නොවන බවත් පෙනේ.
ඉතිං, ‛සන්ඩේ ලීඩර්’ පත්තරයට රනිල් වික්‍රමසිංහගේ ලිංගික නැමියාවන් ගැන ඇති ප්‍රශ්නය කුමක් ද? මේ විශේෂාංගය සඳහා අදාළ ලේඛකයා හෝ ලේඛිකාව ලියන උද්ධෘතය තුළම ඔහු/ඇය උසුලන කුණු අභිප්‍රාය ගැන කල්පනා මාත්‍රයක් ඇති කරගත හැකිය. ඒ මෙසේ ය: ‛‛රනිල්ගේ ලිංගික ආශාවන් ප්‍රශ්නයකි= මෛත්‍රී’’
දැන්, රනිල් වික්‍රමසිංහගේ බිරිඳගේ නම මෛත්‍රී වික්‍රමසිංහ බව අපි දනිමු. මේ ලිපිය කෙනෙකු කියවන්ට පෙළඹෙන ක්ෂණික තල්ලුව එන්නේ එතැනිනි. රනිල්ට අදාළව රට හඳුනන වෙනත් ‛‛මෛත්‍රී’’ කෙනෙකු නැත. එහෙත් පුවත්පත මේ කියන්නේ, මෑතක සිට කරලියට එන ප්‍රාදේශීය දේශපාලඥයෙකු වන මෛත්‍රී ගුණරත්න කෙනෙකු ගැනයි. කෙසේ වෙතත් මේ දේශපාලඥයා පුවත්පත තරම් කුණු රසය පස්සේ දිවීමට කැමැත්තක් ඇත්තෙකු නොවන බව බැලූ බැල්මට පෙනේ. ‛‛පක්ෂ නායකයාගේ ලිංගික වරණයන් පිළිබඳ මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හේතුවෙන් විශේෂ පිරිසකට අනිසි වරප්‍රසාද නොලැබෙන්නේ නම් සහ පක්ෂ දේශපාලන ක්‍රියාවලිය තුළ එම ලිංගික චර්යා මැදිහත් නොවන්නේ නම් මගේ කිසි ප්‍රශ්නයක් නැහැ.’’ සත්තකින්ම ඔහු කියන්නේ ඇත්තකි. සමලිංගික නොව, විසම ලිංගික කාරණයක දී වුව දේශපාලඥයෙකු සම්බන්ධයෙන් කෙනෙකු සැළකිලිමත් විය යුත්තේ, ප්‍රශ්නයේ ඒ ප්‍රායෝගික පැත්ත කෙරෙහිම පමණි. සමාජය පිළිගත් පරිදි පතිකුල විවාහකයකට පත් දේශපාලඥයෙකුගේ බිරිඳක් වුව, සැමියාගේ බලය හරහා අනවශ්‍ය ඇඟිලිගැසීම් කරයි නම් එය සමාජයක් ඉවසන්නේ නැත. එසේ තිබිය දී, මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කළ චෝදනා 16 අතරින් ‛සන්ඩේ ලීඩර්’ පුවත්පත මේ ලිංගිකත්වය පිළිබඳ කාරණය පමණක් පාඨකයාට ඉදිරිපත් කිරීමට විශේෂාංගයක් කරන්නේ ඇයි? සමහරවිට මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කරන අනිත් චෝදනා ඡන්දදායකයන් වන අපට වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය. එහෙත්, ඒ කිසිවක් තුළ කුණු රසය නැත. ඉතිං, එවැනි කරුණුවලින් පාඨකයන්ව කුමට වෙහෙසට පත්කරන්න ද’

ගාමිණී වියන්ගොඩ[Gamine Viyangoda]


0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු