ස්වාධීන මාධ්‍ය පෙළහරේ ත්‍රස්ත රසය


[මාධ්‍ය සංවිධාන එකතුව සංවිධානය කළ, ආණ්ඩුව බිය වූ ‘කලු ජනවාරි‘ විරෝධතාවය – ලිප්ටන් වටරවුම – ජනවාරි 25]
හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය හා පෞද්ගලික ලේබලයට මුවා වී ආණ්ඩුවට බැලමෙහෙ කරන මාධ්‍ය පසුගිය සතිය පුරා නැවත වතාවක් වෛරී මුරගෑමක යෙදුණහ. මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනලද කළු ජනවාරිය විරෝධතාවට ආණ්ඩුව හොඳටම බියවීම ඊට හේතුවිය.
නාඳුනනා ඝාතකයාට මුවාවී පැමිණෙන, කවුරුත් දන්නා, එහෙත් නීතිය ඉදිරියේ දඬුවම් නොලබා සිටීමේ නිර්ප්‍රජාතන්ත්‍රීය වරප්‍රසාදය හිමි ඝාතකයන්ගෙන් සිය පණකෙන්ද බේරාගැනීම උදෙසා රටින් පලාගිය මේ ලියුම්කරුද ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනාට වසර තුනකට පසුත් ඇඟිල්ල දිගුකරමින්, ‛ආශ්චර්යයක් කරා තමන් රැගෙනයමින් සිටින රටේ නම කැතකරන්නේය’ වැනි වල්බූත චෝදනා නඟන්නට, රට එවැනි ආශ්චර්යයක් කරා වඩම්මාගෙන යන්නට තරම් බලවත් ආණ්ඩුවකට සිදුවන පසුබිම ගැන කල්පනාකර බැලීම සැබෑවටම ආශ්චර්යයට යන පාරදිගේ ඇති ආශ්චර්යමත් මඟසලකුණු හඳුනාගන්නට පිටිවහලකි.
ජීවිතයට ඇති අයිතිය
මාධ්‍යවේදියකුට පමණක් නොව හැම මිනිසකුටම ජීවත් වීමේ අයිතියක් ඇත. තමන් ඉපදුණු රටතුළ ජීවත්වීමේ අයිතිය අහිමිවන අයෙකුට සිය ජීවිත හිමිකම සොයා එය ආරක්ෂාවන තැනකට පලායන්නට සිදුවේ. එදා අප රට අතැර නොආවේනම් මේ වනවිට මේ අවලාදවලින් දමාගසන්නට අප ජීවතුන් අතර නැත. එපමණක් නොව අපේ ජීවිත්වීමේ අයිතිය අහිමිකළ ඝාතකයකු ද සොයාගන්නට නැත. දැන් මේ කෑගහන ආණ්ඩුවේ මහත්තුරුන් හා පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමේ වගකීම නොතකා හැරි ආණ්ඩුවක් වෙනුවෙන් උඩුබුරලන මහත්තුරුන් අපගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කියන්නේ කුමක්දැයි අසන්නට ලියුම්කරු උත්සුක නොවන්නේ, වැදගැම්මකට ඇති පිළිතුරක් දෙන්නට තබා ඒ ගැන උනන්දු වන්නට හෝ මේ දෙකොට්ඨාසයටම සදාචාරයක් නැති බැවිනි.
පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ නීත්‍යානුකූල කාර්යභාරය පැවරුණු කිසියම් රටක ආණ්ඩුවක් එය ඉටුකරලීමට අසමත් වනවිට, ඒ අයිතිය උල්ලංඝනය කළවුන් නීතිය හමුවට පමුණුවනු වෙනුවට ඔවුන් ආරක්ෂා කරනවිට පමණක් නොව තමන් විසින් ම පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරනවිට, ජීවිත අයිතිය උල්ලංඝනයට ලක්වූවන් අරබයා සරදම් කරනවිට, එය සාධාරණීකරණය කරනවිට, අල්ලේ පැලවෙන බොරු ගොතා ජාත්‍යන්තරයට පවා විලිලැජ්ජා නැතිව කියනවිට, එවැනි රටක තවදුරටත් අමුතුවෙන් අපකීර්තියට පත්කරන්නට දෙයක් ඇතැයි යන සිතිවිල්ලම උන්මත්තකය.
කෙසේ වෙතත් මේ ලියමනෙහි මුඛ්‍ය අභිලාසය ඒගැන කියා කාලය කාදැමීම නොවේ. වෛරී ප්‍රචාරක ව්‍යාපාරය විසින් සැපයෙන ඉඩ ඔස්සේ, ඒ පසුබිමේ ඇති වැදගත් කාරණා කිහිපයක් වෙත කෙටියෙන් අවධානය යොමුකිරීමයි.
පෞද්ගලික මාධ්‍ය ඇත්තටම ස්වාධීනද?
‛කළු ජනවාරියට’ එරෙහි වෛරී ප්‍රචාරයට, හැමදාමත් එවැනි සදාචාර විරෝධී මඩගැසීම්වලට සැදී පැහැදී සිටින රාජ්‍ය මාධ්‍ය නඩයට අමතරව පෞද්ගලික නැතිනම් ‛ස්වාධීන’ මාධ්‍ය ආයතන නියෝජිතයින් වශයෙන් වර්ණ ගැන්වූ පුද්ගලයන් කිහිපදෙනකුද යොදාගන්නා ලදී. රටතුළ පවතින මාධ්‍ය හිමිකාරත්වයේ දළ පැතිකඩක් අදාළ ප්‍රමාණයට චිත්‍රණය කරගැනීමට මේ තත්ත්වය බලකරයි.
ආණ්ඩුව විසින් තමන් යටතේ තිබෙන හොරණෑ මාධ්‍යයන්ට මෙසේ වඩම්මාගෙන එන ලද පුද්ගලයන් රැකියා කරන පෞද්ගලික හෝ ‛ස්වාධීන’ මාධ්‍ය ආයතනවල හිමිකාරත්වයේ සැබෑ ස්වරූපය කුමක්ද? එක්කෝ ඒවායේ හිමිකරුවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. දේශපාලන හිනිපෙතේ ඉහළ යාමේ අබිලාශයෙන් පසුවන්නෙකි. තවෙකෙක් ජනාධිපතිවරයා විසින් ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයකට පත්කළ සභාපතිවරයෙකි. එවැන්නකුගේ සොහොයුරකු ආණ්ඩුවේ අමාත්‍යවරයකු වීමේ කාරණාවට අමතරවය ඒ. තවත් ආයතනයක හිමිකාරත්වය මිලදීගෙන ඇත්තේ පාලක පවුල් රෙජීමයේ සමීපතම ඥාතියෙකි. ඒ ගනුදෙනුව කෙරෙහි පාලක රෙජීමය කළ මැදිහත්වීම බරපතල වූබව තතු දන්නවුන්ට රහසක් නොවේ. සිය මාධ්‍යවේදීන් කියන පුද්ගලයන් ආණ්ඩුව වෙනුවෙන් කඩේයැවූ තවත් විද්‍යුත් මාධ්‍ය ආයතනයක හිමිකරුවා මිනීමැරුමක ප්‍රධාන සැකකරුවා වියයුතු තත්ත්වයක් හමුවේ පාලක රෙජීමයේ පෞද්ගලික මැදිහත්වීමෙන් නීතියට ඉහළින් රටින් පිටතට පියාසර කරනුලැබූ කුප්‍රකට ජාවාරම්කාර මන්ත්‍රීවරයාගේ සොහොයුරාය.
එවිට මෙවැනි පෞද්ගලික හිමිකරුවන්ගේ මාධ්‍ය ආයතනයක් හුදෙක් පෞද්ගලික ආයතනයක්ද? හිමිකාරත්වය වශයෙන් එය පෞද්ගලික බව සැබෑය. එහෙත් ඔවුන්ගේ ලැදියාවන් හා බැඳීම් ඇත්තේ කා සමඟද? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට, සිය දේශපාලන හිනිපෙතේ තව තව ඉහළ යාමේ අභිලාෂයෙන් පසුවන්නකුට අයත් මාධ්‍ය ආයතනයක මාධ්‍ය ප්‍රතිපත්තිය, ඒ දේශපාලකයාගේ උක්ත අභිලාෂයට එරෙහිව යන්නේද? එසේත් නැතිනම් ඒ අභිලාෂය වෙනුවෙන් මෙහෙවර කරන්නේද? අපගේ ප්‍රශ්න කිරීම දේශපාලකයකු සතු එවැනි අභිලාෂයන් පිළිබඳව නොවේ. ඔහු මාධ්‍ය හිමිකරුවකු වී, ආණ්ඩුවට කඩේයන්නට වුවමනා වූවිට ඔහු යටතේ සේවය කරන මාධ්‍යවේදීන් ‛පෞද්ගලික හා ස්වාධීන මාධ්‍යවේදීන්’ බවට රූපාන්තරණය කර තමන් වෙනුවෙන් කඩේ යැවීම ගැනය.

ලැදියාවන් උදෙසා මාධ්‍ය ප්‍රතිපත්තිය

ඊළඟට කිසියම් මාධ්‍ය ආයතනයක හිමිකරුවා ජනාධිපතිවරයා විසින් ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක සභාපති තනතුරකට පත්කර ඇත්නම්, එය සිදුව ඇත්තේ ලංකාවේනම්, ඔහුගේ ලැදියාවන් පවතිනුයේ කා සමඟද? (ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ සොහොයුරකු වීමේ කාරණාවට අමතර වශයෙනි) ඔහු ඒ තනතුරට පත්කරන්නේ ඔහු තුළ රෙජීමයට ඇති පක්ෂපාතීත්වය නිසාවෙන් මිස ඔහු අදාළ තනතුර සඳහා එම ක්ෂේත්‍රයේ සිටින ඉහළම විශාරදයා වන නිසා නොවේ. එසේනම් ඔහුගේ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය ප්‍රතිපත්තිය තීරණය වන සාධකය කුමක්ද? තමන් එවැනි තනතුරකට පත්කරන ලද රාජ්‍ය නායකයාට කෘතගුණ සැලකීමේ ඔහුගේ ලැදියාව එසේම පවත්වාගත හැකි හා වර්ධනය කරගතහැකි එකකි.
ජනාධිපති උපදේශකයකු ඝාතනය කළ මිනීමැරුම් නඩුවකට ඇසින් දුටු සාක්ෂි නිසා පැටලී සිටි සිය සොයුරා නීතියේ ඇස වසා රට පැටවූ රෙජීමයකට කළගුණ සැලකීමේ අවශ්‍යතාව සිය මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිය බවට විද්‍යුත් මාධ්‍ය හිමිකරුවකු පත්කරගැනීම ඛේදජනක නමුදු විස්මයජනක වේද? (පාලක රෙජීමය හා මේ මාධ්‍ය ආයතනය අතර අඳුරු සබඳතා මීට බොහෝ ඈතට දිවෙයි) ජනාධිපතිවරයාගේ ඥාතියකු විසින් මිලදී ගත්, ඒ මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම ඒ දේශපාලන බලයෙන් ආඪ්‍ය ඥාතීත්වය මත සැකසුණු මාධ්‍ය ආයතනයක මාධ්‍ය ප්‍රතිපත්තිය, හිමිකාරත්වයේ ඊනියා පෞද්ගලිකත්වයට ඔබ්බෙන් ගොස් රාජපාක්ෂික වීම යථාර්ථය නොවන්නේද?
ඉතින් මෙ වැනි මාධ්‍ය ආයතන හුදෙක් පෞද්ගලික හිමිකාරත්වය සහිත, රාජ්‍යයෙන් පරිපූර්ණ ලෙස ස්වායත්ත මාධ්‍ය ආයතන හෙවත් ‛ස්වාධීන මාධ්‍ය ආයතන’ ලෙස හැඳින්වීමට තරම් අප උන්මත්තකයන් විය යුතුද?

පෞද්ගලික මාධ්‍යවේදියාගේ දුර්දසාව

එහෙත් මේ සන්දර්භයේ වඩාත් ඛේදජනක පැත්ත අනෙකකි. සිය හාම්පුතා වෙනුවෙන් ඔහුගේ ලැදියාව ගැටගැසී පවතින රෙජීමය වෙනුවෙන් රෙදි නැතිව කඩේ යන්නට සිදුවන දුර්දසාවට මේ ආයතනවල රැකියාකරන ඉලක්කගත මාධ්‍යවේදීන් බිලිවීම ඒ ඛේදයයි. ඒ අනුව සිය හාම්පුතාගේ අවශ්‍යතාව පිරිමැසීම සඳහා තමන්ගේම සහෝදර මාධ්‍යවේදීන්ට, මාධ්‍ය සංවිධානවලට, ඒවායේ ප්‍රජාතන්ත්‍රීය උද්ඝෝෂණයන්ට එරෙහිව, මාධ්‍ය සදාචාරය බල්ලන්ට දැමූ රාජ්‍ය මාධ්‍ය නම් මඩ ගොහොරුවට වැද උඩුබුරන්නට මේ තෝරාගත් පිරිසට සිදුවේ. නැතිනම් රස්සාව අහිමිව ගෙදර යන්නට සිදුවේ.
සිය අශීලාචාර මාධ්‍ය භාවිතය ගැන රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවකයන් බහුතරයක් කියන්නේ රැකියාව බේරාගැනීම උදෙසා තමන්ට හිතට එකඟව නොවුණත් එවැනි දෑ කරන්නට සිදුවන බවය. ඉදින් මේ වනවිට පෞද්ගලික මාධ්‍ය ලෙස හැඳින්වෙන මෙම ආයතනවල උක්ත සේවකයන්ද මුහුණපා සිටින්නේ සිය රැකියාව බේරාගැනීම වෙනුවෙන් හාම්පුතාට අවශ්‍ය පරිදි තමන්ගේම සගයන්ට අවලාද නඟමින් ආණ්ඩුවට කඩේයන්නට සිදුවන ඛේදජනක ඉරණමටය. මේ ඉරණම මීට වඩා ද දරුණු එකකි. කවුරුන් වෙනුවෙන් වුවත් රාජ්‍ය බලය දරන්නන්ගේ හොරි කසන්නට ගොස් සන්තෝෂම් වශයෙන් මස් නැතත් කටුකෑලි හෝ ලැබෙන විට ඒවාට ගිජුකම ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයයි. එවිට මේ හොරිකැසීමට විරුද්ධවන්නන් ඔවුන්ට පෙනෙන්නේ සිය ජම්මාන්තර වෛරක්කාරයන් සේය. මෙය මාධ්‍යවේදීන් නමින් පෙනීසිටින අනුන් වෙනුවෙන් උඩුබුරලන්නන්ට වැළඳෙන දරුණු ව්‍යාධියකි. මේ ඉරණමින් මේ පුද්ගලයන් බේරාගැනීමේ වගකීමද මේ මොහොතේ තමන්වෙත පැවරී ඇතිබව ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධානවල අවධානයට ලක්විය යුතුයයි ලියුම්කරු විශ්වාස කරයි. ඔය ආයතනවලින් එළියට වැටුණු දාකට ඔවුන් අඬාගෙන එන්නේද මේ සංවිධාන වෙතය. ඉතිහාසයේ එසේ සිදුවූ අවස්ථා ගැන අපට ඇතිපදම් අත්දැකීම් ඇත.

මස්කට්ටට පාවාදුන් ප්‍රතිපත්ති

පෞද්ගලික මාධ්‍ය ආයතන සිය හොරිකසන තැන් කරගැනීමේ රෙජීමයේ සූක්ෂම පිළිවෙත, ඒවායේ හිමිකාරත්වය හීලෑකරගැනීමෙන් ද ඔබ්බට යන්නකි. ඇතැම් කර්තෘ මට්ටමේ මාධ්‍ය යෝධයෝ ආණ්ඩුව යටතේ වන විවිධ මණ්ඩලවල ඉහළ තනතුරුවලට ජනාධිපතිවරයා අතින්ම පත්වීම් ලබා සිටිති. ඇතැමකුගේ පත්වීම් ලැබී ඇත්තේ තමන් කාලයක් ප්‍රසිද්ධියේ දැරූ ප්‍රතිපත්තිවලට පවා පටහැනි ආයතනවලටය. එනම් එවැන්නන් ඒ පත්වීම් භාරගෙන ඇත්තේ තමන් කාලාන්තරයක් ගරුකළ හා පෙනීසිටි පුරුෂාර්ථ පවා බල්ලාට දමමිනි. තමන්ගේ ප්‍රතිපත්ති රැකගැනීමට වඩා රාජ්‍ය නායකයා අතින් ලැබෙන මස්කට්ටක් තමන්ට වටින බව පෙන්වමිනි. මෙය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අද වැටී ඇති අගාධයේ අපූරු පැතිමානයක් විදහා පෙන්වන්නේ, ඊට අභිමුඛව තැබූ කැඩපතක් පරිද්දෙනි.
රට අපකීර්තියට පත්කිරීම නම් ප්‍රබන්ධයේ ව්‍යාජය ගැන ලුහුඬින් හෝ කීමට කැමැත්තේ, එය කොතරම් විසුළු සහගත එකක් වුව, දෙමළා තලාදැමීමේ උන්මාදයෙන් මත්වුණු සමාජයක එවැනි මුග්ධ ප්‍රබන්ධවලට පවා හුරේ දැමීම නිතර සිදුවන බැවිනි.
ආණ්ඩුවම කියන අන්දමට මෙය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට තරම් දක්ෂ වූ ආණ්ඩුවකි. යුද්ධයෙන් බේරාගත් රට ආශ්චර්යය කරා ගෙනයන යෝධ සංවර්ධන ක්‍රියාදාමයකට අතගසා සිටින කාර්යක්ෂම ආණ්ඩුවකි. එහි රාජ්‍ය නායකයා යන යන තැන මහ ඉහළින් පිළිගැනීම් ලබයි. ලෝකයේ දැවැන්ත රාජ්‍යවල නායකයෝ පවා ඔහුට සිරස නමා ගරුකරති.
ඉතින් එතරම් අති දක්ෂ ආණ්ඩුවක්, එතරම් ජනප්‍රිය, දක්ෂ, ලෝකයේම බුහුමනට පාත්‍රවූ නායකයෙක්, කරවන රටක් ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්කිරීමට ජීවිතය බේරාගැනීම සඳහා රටින් බැහැරවූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් සමත් වන්නේ කෙසේද? එහි තේරුම මේ කියන අති දක්ෂ ආණ්ඩුවට හා ලෝකයේම බුහුමනට පාත්‍රවූ රාජ්‍ය නායකයාටත් වඩා පණබේරාගන්නට රටින් පිටවූ මේ මාධ්‍යවේදීන් කිහිපදෙනා දක්ෂ හා ලොව පිළිගත්තවුන් බවද?
කීර්තිමත් නායකත්වයක අපකීර්තිය
මේ රට අපකීර්තියට පත්කිරීමට යමකුට අවශ්‍ය වීයයි සිතමු. ඒ කිසිවකුටත් ඒ සඳහා ඉඩක් රට කරවන්නන් විසින් ඉතිරිකර නැත. රට අපකීර්තියට පත්වන්නේ ජීවිත බේරාගැනීමට රටින් පලාගිය මිනිසුන් නිසා නොව, රට කරවන්නන්ගේම කියුම් කෙරුම් හේතුවෙනි. රටේ ප්‍රධානියාගේ උපදේශකයකුට හෝ ජීවිතයට ඇති අයිතිය රැකගන්නට බැරි තරම් දරුණු ඝාතන සංස්කෘතියක් රටතුළ පවත්වාගෙන යෑමෙනි. ජනාධිපති උපදේශකයකු මරාදැමූ දේශපාලන සුරතලා රටේ නායකයන්ම මැදිහත් වී නීතියේ ඇස වසා රටින් පිටකිරීමෙනි. විදේශීය සංචාරකයන් පාලක රෙජීමයේ ප්‍රාදේශීය සුරතලුන් අතින් පවා ඝාතනය වීමෙනි. දූෂණය වීමෙනි. ඒවා පිළිබඳව පවා හරිහමන් පරීක්ෂණයක් නොවීමෙනි. ජාත්‍යන්තරව පවා ආන්දෝලනයක් ඇතිකළ මාධ්‍යවේදී අතුරුදන්කරවීම් හා පැහැරගෙන යාම් ගැන දේශපාලනීකරණය වූ නීතියේ, දේශපාලනීකරණය වූ ප්‍රධානීන් ලවා අල්ලේ පැලවෙන බොරුගොතා ජාත්‍යන්තරය හමුවේ කියවීමෙනි. හැම සදාචාර ප්‍රමිතියක්ම විලිවද්දන සාහසික මඩ ප්‍රහාර තමන් යටතේ වන රාජ්‍ය මාධ්‍යවලින් සිදුකරමින්, ‛වෙබ්අඩවි සදාචාර සම්පන්න කිරීම’ නම් සටන් පාඨයට මුවාවී ඒවා තහනම් කිරීමෙනි. රාජ්‍ය ආයතනයක යකඩ හොරකම් කිරීමේ චෝදනාව ලබා අධිකරණයෙන් වරෙන්තු කර සිටින යකඩ සුදර්මන් වැනි තක්කඩි සුරතලුන් රාජ්‍ය මාධ්‍ය රූපපෙට්ටිවල, ඒ අධිකරණ නියෝග තුට්ටුවකට නොසලකා සිය රෙදි ඇපිල්ලීම වෙනුවෙන් යෙදවීමෙනි. උසස් අධ්‍යාපනයට දොර විවෘත කැරෙන උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ටික හරියට දීගන්නට බැරිව සිසුන් අනාථ කිරීමෙනි. මේ ලයිස්තුව තවත් කොතෙකුත් දික්කළ හැකි වෙතත් දැනට ඊට තිත තබමි.
තවමත් ආණ්ඩුව උත්සාහ කරන්නේ බිල්ලන් මවා රටවැසියන් බය කිරීමෙන් තමන්ගේ අසමත්කම, වැඩ අනාගැනීම වසාගන්නටය. මේ බිල්ලන් පෙරහර විසින් දෙමළ ජනයාගේ දැවෙන ප්‍රශ්න, ජනාධිපති උපදේශක ඝාතනය, හොර විභාග ප්‍රතිඵල, කම්කරු සටන්, විශ්ව විද්‍යාල සටන් කප්පම් ඇමතියන්ගේ කතා ඇතුළු මෙකී නොකී සැබෑ භූමියේ ප්‍රශ්න අමතක කරවා රටවැසියා ත්‍රස්ත රසයෙන් පිනවනු ඇත. නවනලු රසය නොහඳුනන බහුතර රටවැසියාද ඒ තරමටම ත්‍රස්ත රසයට ඇබ්බැහිවී සිටිති.
වසර තුනකට පෙර රාජ්‍ය ත්‍රස්තවාදයේ ඝාතක හස්තයෙන් පණබේරාගෙන ආ අපේ කොණ්ඩ රැවුල් ගැන වසර තුනක් තිස්සේත් කතාකරන්නට සිදු වී ඇති බංකොලොත් රාජ්‍ය මාධ්‍යවලට මහින්ද සරණ පතමු.

සනත් බාලසූරිය[Sanath Balasooriya]


0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු