දකුණු අප‍්‍රිකානු මාධ්‍යවේදියකුගේ මතකය

බෙන්ජමින් පෝග‍්‍රන්ඩි දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදය ඉතා දරුණු ලෙස ක‍්‍රියාත්මක වූ අවධියේදී, එරට ප‍්‍රධානතම පුවත්පත වූ රැන්ඞ් ඬේලි මේල් පුවත්පතේ වාර්තාකරුවකු ලෙස කටයුතු කළේය. වර්ණභේදවාදයට එරෙහිව පුවත් හා ලිපි සැපයීම නිසා 1985 දී පුවත්පත වසා දැමිණි. ඉන්පසු බි‍්‍රතාන්‍යයට ගිය ඔහු එහි, ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ විදේශ කටයුතු භාර උපකතෘවරයා විය. දැන් ඔහු ලන්ඩන් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ දකුණු අප‍්‍රිකාව භාර වාර්තාකරු ලෙස කටයුතු කරයි.

දකුණු අප‍්‍රිකාව තුළ තමා ගෙවූ මාධ්‍ය ජීවිතය පිළිබඳව War of Words නමින් ඔහු පොතක් ලියුවේය. පුවත්පත් වාර්තාකරුවකු ලෙස නෙල්සන් මැන්ඩෙලා ඇතුළු අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් පක්‍ෂයේ නායකයන් ඇසුරු කළ ඔහු මෙම පොතෙහි, වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාවේ පැවති ම්ලේච්ඡු දේශපාලනය පිළිබඳවද, මාධ්‍ය මර්දනය පිළිබඳවද දීර්ඝ ලෙස විස්තර කරයි.

War of Words කෘතියේ ඇතැම් කරුණු මේ ලිපිය ලිවීමේදී උපයෝගී කරගන්නා ලදි.

රෑන්ඞ් ඬේලි කළු මිනිසුන් අතර ජනපි‍්‍රය වූ පුවත්පතක් බවට පත්ව තිබිණි. ඊට ප‍්‍රධාන වශයෙන්ම බලපෑවේ 1958 පුවත්පතේ කතෘ පදවියට පත් වූ ඔවෙන් වයින් ගන්දාර් ගවේෂණ පුවත්පත් කලාව පුවත්පතට හඳුන්වා දීමයි. ඒ දක්වා පුත්පතේ පළවුයේ සොරකම්, මිනීමැරුම්, අපරාධ පිළිබඳ පොලිස් වාර්තා පමණි. ඒවා ගැන සොයා බලා වාර්තා කිරීමක් සිදු නොවීය. ගන්දාර් මේ තත්වය වෙනස් කළේය. ස්වදේශී යන අරුත් දෙන භ්එසඩැි වචනය වෙනුවට ්රෙසජ්බි (අප‍්‍රිකානු) වචනය පුවත්පත් වාර්තාකරණයේදී භාවිතය අරඹන ලද්දේ ගන්දාර් විසිනි.

මැන්ඩෙලාගේ ජීවිතයෙහි, විශාල ප‍්‍රදේශයක ඔහුගේ දෙවන බිරිඳ විනී සිටින බව පෝග‍්‍රන්ඞ් පවසයි. එමෙන්ම යම්කිසි දිනෙක මේ දෙදෙනාගේ ජීවිතය ඇසුරෙන් ඔපෙරාවක් ලියවෙනු ඇතැ’යි ඔහු සඳහන් කරන්නේ, ඔවුන්ගේ කතාව තුළ මනුෂ්‍යයාගේ සද්චර්යාවෙහි සිට අපචර්යාව දක්වා සියලූ හැසිරීම් අතිශය පැහැදිලිව අඩංගු වීමයි. ආදරය, අචලත්වය, කැපකිරීම, ධෛර්ය මෙන්ම චපලත්වයද අධික ගිජු බව නින්දා අපහාස මනුෂ්‍ය ඝාතන යන මේ සියලූ දෑ ඇතුළත් එය දුක්ඛාන්තයක්යැ’යි ඔහු කියයි.

එක්දහස් නවසිය හැට හා හැත්තෑව දශකවලදී නෙල්සන් මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාව තුළ හෝ ලෝකයේ වෙනත් දේශයක, විශාල කතාබහකට ලක්වූ පුද්ගලයෙක් නොවීය. ඔහු සිරගෙදර හුදෙකලාව ජීවිතය ගෙවන අතර විනී මැන්ඩෙලා වර්ණභේදවාදයට එරෙහි සටන අතනෑරියාය. සිය සැමියා මෙන්ම සැමියාගේ නම නොනැසී තබා ගැනීම සඳහා ඇය කළේ ජීවිතයත් මරණයත් අතර අරගලයකි. දශක කිහිපයක් තිස්සේම වර්ණභේදවාදී පොලිසියෙන් වැඩි වෛරයකට ලක්වූ චරිතයක් වූවා නම් ඕ විනී මැන්ඩෙලාය.

පොලිිසිය ඇයට එරෙහිව නිරතුරුවම තහනම් නියෝග නිකුත් කළේය. ඇය ඇගේ නිවෙසින් ඉතා දුර බ‍්‍රැන්ඞ්ෆෝට් නම් පාළු ශුෂ්ක ගම්මානයට පිටුවහල් කරන ලදි. නඩුවක් නොමැතිව වරින්වර සිරභාරයට ගෙන, හුදෙකලා කුටිවල ඇය සිරකොට තබන ලදි. ත‍්‍රස්තවාදී පනත යටතේ ඉතා සුළු දෙයකට පවා ඇය අත් අඩංගුවට ගැනීමට පොලිසිය පසුබට නොවීය. වරක් ඇයට චෝදනා එල්ල වූයේ පොලිස් නිලධාරියෙකුට පහරදීම නිසාය. ඇගේ නිදන කාමරය තුළට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරියාට තුවාල සිදුවන තුරු ඇය පහර දුන්නාය. විනී කිසිදු රැුකියාවක් සඳහා බඳවා නොගන්නා ලෙස දකුණු අප‍්‍රිකානු ව්‍යාපාරික හාම්පුතුන්ට පොලිසිය විසින් අවවාද කොට තිබිණි. පිටුවහල් කරනු ලැබ සිටියදී ඇයගේ දුක සැප බලන්නට ගිය ඇගේ මිතුරියන් විනී සමග සාකච්ඡා කළේ මොනවාදැයි පොලිසියට හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කළ විට ඔවුහු සිරගත කරන ලදහ.

විනී මැන්ඩෙලා බ‍්‍ර‍්‍රෑන්ඞ්ෆෝට් වෙත පිටුවහල් කරනු ලැබූ විට, ජොහැන්නස්බර්ග් නුවර සිට ඉඳහිට ඇය දකින්නට ගිය කිහිපදෙනා අතර පෝග‍්‍රන්ඞ් ද සිටියේය. බ‍්‍රැන්ඞ්ෆෝට් පිහිටියේ සුදු ජාතිකයන්ගේ ජනාවාසයකට සැතපුමක් පමණ ඈතින්ය. එහි වූ කාමර දෙකක පුංචිම නිවෙසක ඕ විසුවාය. එය සොවෙටෝ පළාතේ කළු මිනිසුන් විසූ පැල්පත්වලටත් වඩා කුඩා ය. නිවසේ මුල්ලක කුඩා පොත් රාක්කයකි. අවට ළමයින් සඳහා ඇය පුස්තකාලයක් ආරම්භ කොට තිබුණේ එසේය. කතුවරයන්ට අනුව පොත් හඳුනාගැනීම පහසුවනු පිණිස ඉංග‍්‍රීසි හෝඩියේ අකුරු ලියූ කුඩා කොළ කැබලිවලින් රාක්කයේ පොත් වෙන් කොට තිබුණේය. නිවසට යාවූ තවත් කුඩා කාමරයක පළාත භාර පොලිස් නිලධාරියා වාසය කළ අතර නිවෙස ඉදිරිපිට පිහිටියේ ආරක්‍ෂක භටයන්ගේ කුටියයි. නිවෙස වටා කුඩා ඉඩකඩෙහි ඇය මල් සහ බෙහෙත් පැල වැව්වාය. සති කිහිපයක් යන විට ඈ උදාහරණයට ගත් අසල්වැසි නිවැසියෝද සිය ගෙවතු වවන්නට පටන්ගෙන තිබුණු බව පෝග‍්‍රන්ඞ් සඳහන් කරයි. බන්ධානාගාරගතව සිටි සිය සැමියා බැලීම සඳහා ඇය පොලිසියේ අවසර ගත යුතුවිය. මහ මඟ වාහනවල (මෝටර් රථයෙන්) හෝ දුම්රියෙන් ගමන් කිරීම ඇයට තහනම් විය. යා යුතු වූයේ ගමන් ගාස්තුව සඳහා විශාල මුදලක් වැය වූ අහස් යානයෙනි. ඇය පිටත්ව යන කලද, ආපසු පැමිණිවිට ද පොලිසියට වාර්තා කිරීම අනිවාර්ය නියමයක් විය.

මෙම පීඩනයන්ද, මැන්ඩෙලා නොමැති පාලූවද ඇය අසහනයට පත් කළේය. ‘‘මේ මිනිහා හිරේ ඉඳලා ආවාම මම මොනවද කරන්නේ.... දැන් ඔහු නොවෙයි පක්ෂේ ගෙන යන්නේ මම’’ ඇය පැවසුවේ දකුණු අප‍්‍රිකාවට හා බාහිර ලෝකයට මැන්ඩෙලා අමතක නොවී තබා ගැනීමට ඇය දරමින් සිටි උත්සාහය ඇය පෙළමින් සිටි බැවිනි.

පෝග‍්‍රන්ඞ් ඉඳහිට නෙල්සන් මැන්ඩෙලාට ලිපි ලීවේය. ඔහු දකින්නට සුදු බලධාරීන්ගෙන් අවසර ඉල්ලූවද නොලැබිණි. මේ අතර එක්දහස් නවසිය අසුපහේ දිනෙක ඔහුට සුදු ආණ්ඩුවේ අධිකරණ ඇමති කොබී කොඑට්සි මුණ ගැසුණේය.

‘‘අපි කිසිම මාධ්‍යවේදියෙකුට ඔහු බලන්න අවසර දෙන්නෙ නෑ’’ පෝග‍්‍රන්ඞ් ඇමතිවරයාට සිය ඉල්ලීම ඉදිරිපත් කළ විට ඔහුට ලැබුණේ එම පිළිතුරය. ‘‘මාධ්‍යවේදියෙකු විදියට නොවෙයි ඔහුගේ හිතවතෙක් විදියට මට ඔහු බලන්න යන්න අවසර දෙන්න. මට ඒ ගැන ලියන්න උවමනා නෑ.’’ අවසානයේ පෝග‍්‍රන්ඞ් මැන්ඩෙලා මුණ ගැසුණේය. පවුලේ සමීප සාමාජිකයකු නොවන්නෙකුට මැන්ඩෙලා බැලීමට ඉඩ ලැබුණු ප‍්‍රථම අවස්ථාව එයයි. ඔහු එම සිද්ධිය ගැන මෙසේ සටහන් තබයි.

‘‘සම්මුඛ සාකච්ඡා සඳහාම වෙන්වුණ ලොකු කාමරයක මම වාඩිවෙලා සිටියා. ඉතා ඝනකම් වීදුරුවකට එහා පැත්තෙන් මැන්ඩෙලා ඇවිදගෙන ආවා. දෑත් ඉහළට ඔසවලා මට හලෝ කියලා ආචාර කරද්දී ඔහුගේ හඬ ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් පිටවුණා. පුරා දශක දෙකක් පමණ තිස්සේ, ප‍්‍රසිද්ධියේ දකින්නට නොලැබුණු මේ උස සෘජු මිනිසා මා ඉදිරියේ සිටගෙන සිටියා. ඔහුගේ රැුලි කොණ්ඩය සුදු සහ අළු පාටට හැරිලා. මා අසාමාන්‍ය, අමතක නොවන අත්දැකීමක් ලබමින් සිටින බව මට හැඟුණා. ඒත් සැබැවින්ම මා ඔහු දකිමින් සිටින්නේද යන්න හරියටම විශ්වාස කළ නොහැකිවයි මා සිටියේ. ඔහු සුදු ටී ෂර්ට් එකකුයි අත් නැති කොළපාට කොට කබායකුයි ඇඳලා හිටියා. එවිට ඔහුගේ වයස අවුරුදු හැට හයක්. ඔහු කෙට්ටු වී හිටියාට කලින් මට මතක තිබුණාට වඩා හොඳ ශක්ති සම්පන්න පෙනුමකින් හිටියේ. මාත් එක්ක සාකච්ඡුා කරන්න උවමනා දේවල් ලැයිස්තුවක් ඔහුු ලියාගෙන තිබුණා. ඔහුගේ දුවණිය සින්සිට කේප් ටවුන්වල ඉගෙන ගන්න කටයුතු සූදානම් කිරීම, ඔහුගේ මුල් විවාහයේ දියණියක වූ මකාසිවේට ඇමරිකාවේ ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලබාගන්න කටයුතු කිරීම ගැන ඔහු කතා කළා. සරසවියේ ඉගෙන ගන්න කාලේ හිටි ඔහුගේ මිතුරන් ගැන ඔහු විමසුවා.

නැවතත් තමා අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින බවත් ඔහු හෙළි කළා. ඒ වන විට තවත් දේශපාලන සිරකරුවන් පස්දෙනෙකු ඔහුගේ සිර කුටියේ සිටියා. පාන්දර තුන වන විට අවදි වන ඔහු සිරකුටිය වටේ පැයක් පමණ දිව්වා. මෙය විටෙක ඔහුගේ සගයන්ට බාධාවක් වී තිබුණ බව ඔහුට හැඟුණේ ඔවුන්ට නිදාගන්නට ඉඩදෙන්නැයි ඔහුගෙන් ඔවුන් ඉල්ලා සිටි විටයි. ඉන්පසු ඔහු වෙනත් ශාරීරික අභ්‍යාස; push-ups (පුෂ්-අප්ස්) aerobics (එරොබික්ස්) බර ඉසිලීම් වැනි ශාරීරික අභ්‍යාසවලට යොමු වුණා. ලැබුණු ආහාර හොඳ තත්ත්වයක තිබුණත් ඔහු තමාගේ කෑම පිළිබඳව ඉතාමත් සැලකිලිමත් වුණා. රාත‍්‍රී ආහාරයේ ලැබෙන කුකුල් මස් කොටස, ඉතිිරි කරගෙන එය පසුව උදේ සැන්විච් එකට තබාගත්තා. ඔවුනට ලැබුණු සියලූ පුවත්පත්වලින් ලෝකය ගැන තොරතුරු ලබාගත්තත් පොත් ලබාගත හැකිවූයේ බන්ධනාගාර පාලකයන් මාර්ගයෙන්. ඔහු කියවිය යුතු පතපොත මොනවාදැයි තීරණය කරන ලද්දේ බන්ධනාගාර බලධාරීන් විසින්.’’

පෝග‍්‍රන්ඞ්ට, විනාඩි හතළිහක් මැන්ඩෙලා සමග කතාබහෙන් ගත කළ හැකි විය. ‘‘අපි නැගී සිටියෙමු. එකිනෙකට සුබ පතා ගත්තෙමු. සාර්ථකත්වය ප‍්‍රකාශ කිරීමට අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ සාමාජිකයන් යොදාගන්නා Thumb upසංඥාව දුන්නෙමි. (ජය හෝ සාර්ථකත්වය ප‍්‍රකාශ කිරීමට අප‍්‍රිකා ජාතික කොන්ග‍්‍රසය යොදාගත් සංඥාව) ඔහුද ඒ සංඥාවෙන් මට සුබ පැතුවා.

මේ වන විට මැන්ඩෙලා වෙත ජගත් අවධානය ලැබෙමින් තිබුණේය. මැන්ඩෙලා හා තමා අතර වූ හමුව ගැන ලිවීමට නොහැකි වීම ගැන පෝග‍්‍රන්ඞ් දුක් විය. ඒ වෙලාවේ මැන්ඩෙලා සිටි ස්වරූපය ගැන, ඔහුගේ අවදි මනස ගැන, ලෝකය පිළිබඳව ඔහු දැන සිටි දේ ගැන ලිවීමට තිබුණා නම් එය ඉතාමත් සංවේදනාත්මක වන්නට තිබිණි. (පුවත්පත් වාර්තාකරුවෙකුට මෙවැනි අවස්ථාවක් මග හරින්නට සිදුවීම කොතරම් ඉච්ඡුාභංගයක්ද?)

ඉන් මාස කිහිපයකට පසුව බි‍්‍රතාන්‍ය වාර්තාකරුවෙකු මෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වූ බෙත් නෙල් සාමිවරයාට මැන්ඩෙලා මුණගැසෙන්නට අවසර ලැබුණි. ඔහු සිය වාර්තාව පවුම් 12,000 කට ?න් ඬේලි මේල් පුවත්පතට විකුණන්නට සූදානම් වුවද ?න්ඞ් ඬේලි මේල් එය බාර නොගත්තේය.

මැන්ඩෙලා නිදහස් කිරීම පිණිස ඔහු වෙත නොයෙක් කොන්දේසි වර්ණභේදවාදී රජය විසින් ඉදිරිපත් කෙරෙමින් පැවැති බව පෝග‍්‍රන්ඞ් දැනගත්තේ විනී මැන්ඩෙලාගෙනි. ට‍්‍රාන්ස්කෙයි පළාතට ගොස් පාඩුවේ ජීවත්වීමේ කොන්දේසිය පිළිගනු ලැබුවහොත් වහා නිදහස් විය හැකි යැයි මැන්ඩෙලාට දැනුම් දී තිබුණේ ඔහුගේ බෑණනුවකු වූ ට‍්‍රාන්ස්කෙයි පළාතේ ගෝත‍්‍ර නායක කයිසර් මතන්සිමා විසිනි. මැන්ඩෙලා එය ප‍්‍රතික්ෂේප කළේය. එවකට පොලිස් කොමසාරිස් තනතුර දැරූ ජොහාන් කොඑට්සි ගෙන ආ තවත් එවැනිම යෝජනාවක්ද ඔහු ප‍්‍රතික්ෂේප කළේය. ප‍්‍රචණ්ඩත්වය අත්හරින්නේ නම් මැන්ඩෙලා නිදහස් කරන බව 1985 පෙබරවාරියේදී ජනාධිපතිි පී.ඩබ්ලිව්. බෝතා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළද මැන්ඩෙලා එයද පිළිනොගත්තේය. ‘‘සාකච්ඡුා කොට තීරණයකට එළඹිය හැක්කේ නිදහස් මනුෂ්‍යයන්ට පමණයි. සිරකරුවන්ට ගිවිසුම්වලට එක්විය නොහැකිය.’’ ඔහු බෝතාට දැන්වූයේය.

පෝග‍්‍රන්ඞ්ට නැවත මැන්ඩෙලා දැක ගන්නට ලැබෙන්නේ 1986 ජනවාරියේදීය. සිය හමුවීම පුවත්පතේ ප‍්‍රචාරය නොකරන බවට ලිඛිත පොරොන්දුවක් දීමට පෝග‍්‍රන්ඞ්ට සිදු විය. එය අතිශයින් කළකිරවන සුලූවිය.

කළු විරෝධය බුර බුරා ඇවිලෙමින් තිබුණේය. මැන්ඩෙලා පිළිබඳව ලෝක අවධානය වඩ වඩා යොමු වෙමින් පැවති අතර මාධ්‍යයට වඩ වඩා වාරණ වැටුණේය. දකුණු අප‍්‍රිකාව ඇමරිකානු බැංකුවලින් ලබාගෙන තිබුණු ණය ආපසු ගෙවීමට තවදුරටත් කල්දීම බැංකු ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටෙමින් තිබිණි. මෙවර පෝග‍්‍රන්ඞ්ට අතරමැදි බාධකයක් නොමැතිව මැන්ඩෙලා හමුවීමට හැකි විය.

මැන්ඩෙලා හා පෝග‍්‍රන්ඞ් වාඩිවී සිටි තැනට පිටුපසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ඔවුන්ගේ කතාබහ සටහන් කර ගත්තේය. ‘‘මැඞීබා විනාඩි හතළිස් පහේ හමුවීම් දෙකක් ලබාගෙන තිබුණ නිසා අපිට පැය එකහමාරක් කතා බහ කරන්නට ලැබුණා. ටික වේලාවකට පසු ඔහු බන්ධනාගාර නිලධාරියාගෙන් වේලාව ඇසුවා. බන්ධනාගාර නිලධාරියා තමාට ඔරලෝසුවක් නැති බව සඳහන් කළේ ඒ ගැන ලැජ්ජාවට පත් වන බව අඟවමිනුයි.’’ පෝග‍්‍රන්ඞ් ඔහුගේ ඩිජිටල් ඔරලෝසුව පෙන්වමින් තවත් වැඩිපුර විනාඩි දහයක් සොරකම් කරගන්නට සමත් විය. ‘‘ඒක කැල්කියුලේටරයක් සහිත ඩිජිටල් ඔරලෝසුවක්. මැන්ඩෙලා ඒක දැකලා කුඩා දරුවෙකු වගේ විස්මයට පත් වුණා.’’

‘‘මෑතකදී ඔහුට බන්ධනාගර පරිශ‍්‍රය වටා මෝටර් රථයකින් ගමන් කරන්නටත්, තණකොළ මත ඇවිද යන්නට ලැබුුණු බවත් ඔහු පැවසුවා. 1964 දී රොබ්බන් දූපතට ගියදා සිට ඒ දක්වා ඔහු තණකොළ පතක් මත පා තබා තිබුණේ නෑ.’’ පුරඃස්ථික ග‍්‍රන්ථයේ සැත්කමකින් පසුව රෝහල්ගතව සිටින අතර ඔහු දකින්නට විනී පැමිණි බව ඔහු සඳහන් කළේය. ‘‘කාමරේට ඉර ආවා’’ ඔහු කීවේය.

‘‘ඉන්පසු ඔහු සිරෙන් නිදහස් වීම ගැන කතා කළා....’’ ඒ ගැන සාකච්ඡුා කර තීරණයකට එන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රජයට පවතින ගැටලූ පිළිබඳව තමා අවබෝධයෙන් සිටින බවත්, තමා නිදහස් කිරීමෙන් රටේ පවතින අර්බුදකාරී තත්වයේ ආතතිය අඩුවිය හැකි බවත් ඔහු ප‍්‍රකාශ කළේය. අහිංසාව පිළිබඳව සිය විශ්වාසය අවධාරණය කළ ඔහු තමා ප‍්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු නොවන බවද කියා සිටියේය. තමා සමග සියලූ දේශපාලන සිරකරුවන්ගේ නිදහස් කිරීමක් ඔහු බලාපොරොත්තු නොවූවද, එයද සාකච්ඡුාවට ලක්කළ හැකි බව ඔහු අවධාරණය කළේය.

සම්මුඛ සාකච්ඡුාව අවසානයේ අසලක ආරක්‍ෂක නිලධාරියෙකු නැතිව ශාලාව තුළ විනාඩියක් දෙකක් ගත කරන්නට මැන්ඩෙලාට හා පෝග‍්‍රන්ඞ්ට අවස්ථාව ලැබුණි. ‘‘මම මේ කාරණය රජයට දැන්වූවාට කමක් නැද්ද?’’ පෝග‍්‍රන්ඞ් මැන්ඩෙලාගෙන් විමසුවේ එවිටය. ඔහු එකඟ විය. ජොහැන්නස්බර්ගයට ගිය පෝග‍්‍රන්ඞ් ජනාධිපති එෆ්.ඩබ්ලිව්. ක්ලර්ක්ට දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු එවකට ජාතික අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය තනතුර දැරූ බැවින් මැන්ඩෙලා පිළිබඳ ප‍්‍රශ්නයට තමා සම්බන්ධ නැතැයි පැවසුවද, විනාඩි දහයකින් නැවත පෝග‍්‍රන්ඞ්ට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ අධිකරණ ඇමති කොඑට්සිගෙනි. ක්ලර්ක් තමාට දුරකථයෙන් කතා කළ බව ඔහු කීවේය. ‘‘ඇයි ඔබ ක්ලර්ක්ට කථා කළේ.’’ ඔහු චෝදනා මුඛයෙන් පෝග‍්‍රන්ඞ් විමසුවේය. ‘‘ඔබ මට කතාකරන්න තිබුණා, මැන්ඩෙලා ගැන කටයුතු බාර මට’’ ඔහු මෙසේද සඳහන් කළේය. ‘‘ඔබ දන්නේ නෑ. පසුගිය අවුරුද්ද පුරාම මම ඔහු රහසේ මුණ ගැසුණා.’’ මැන්ඩෙලාගේ පණිවුඩය වැදගත් බවත්, ඔහු ඒ ඔස්සේ කටයුතු කරන බවත් කොඑට්සි කීවේය. එහෙත් මැන්ඩෙලා නිදහස ලබන්නේ තවත් සිව් වසරකට පසුවය.

1994 අපේ‍්‍රල් මාසයේදී දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම වර්ගවාදී නොවූ ප‍්‍රජාතන්ත‍්‍රීය මැතිවරණය පවත්වන ලදි. අප‍්‍රිකානු කොංග‍්‍රසය රටේ ඡුන්දායකයන්ගෙන් 62.6ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබමින් ජයග‍්‍රහණය කළේය. නිදහස සඳහා කළ අරගලයේදී මෙන්ම සතුරන් සමඟ සංහිඳියාව ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ද විසිවන සියවසේ විශ්වීය උදාහරණය ඔහුය යන මතය තහවුරු කරමින් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති තනතුරට පත්විය.

මැන්ඩෙලා නිදහස් කිරීම පිළිබඳ කටයුතු ගාටමින් ඉදිරියට ඇදෙද්දී විනී මැන්ඩෙලා විශාල අවුල්සහගත තත්වයකට පත්ව සිටියාය. ඇගේ ශක්තියද ආත්ම විශ්වාසයද ඒ වන විට ඇගේ දුර්වලකම බවට පත්ව තිබිණි. ඇය රජයේ අණ නොතකමින් බ‍්‍රැන්ඞ්හෝටිහි සිය නිවෙස අතහැර සොවෙටෝහි මැන්ඩෙලාගේ නිවෙස වෙත පැමිණියාය. එහි හිඳිමින්, විශාල මන්දිරයක් තැනීම ඇරඹුවාය. අවට ජනයා එයට ‘‘විනීගේ මාලිගාව’’යැයි නම් පටබැන්දාහ. කලක් ඇගේ ආරක්‍ෂාවට රජයේ ආරක්‍ෂක නිලධාරීන් ගෙන්ම විවිධ තර්ජන එල්ල වෙමින් තිබිණි. ඇය තම ආරක්‍ෂාව සඳහා ‘මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය’ නම් ක‍්‍රීඩා සමාජයෙන් තරුණයන් සිය ආරක්‍ෂකයන් ලෙස යොදා ගත්තාය.

මේ තරුණයෝ අසල්වැසි නිවැසියන් කොල්ලකමින්, ඔවුනට නොයෙක් වධහිංසා කළහ. කලක් පුවත්පත්වල ජාතියේ අම්මා යන විරුදාවලියෙන් පුද ලද ඇය ගැන සොවෙටෝ නගරයේ බිත්ති පුරා කැළෑ පත්තර ගැසුණේය. මෙම කැළෑ පත්තරවල ඇය ‘‘ජාතියේ කොල්ලකාරිය’’යැයි ලියැවුණේය. ස්ටොම්පි හෙවත් සෙයිපෙයි මොඑකෙට්සි නම් කළු ගැටවරයාගේ ඝාතනය සිදුවූයේ මේ අතරය. ඔහු පාපන්දු සමාජයේ සාමාජිකයෙකි.

විනී මැන්ඩෙලාට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල විය. බිරිඳගේ ගර්හිත ජීවිතය පිළිබඳව නොයෙක් තොරතුරු විටින්විට මැන්ඩෙලාට අසන්නට ලැබුණද එවැනි දේ තමා සමග දොඩන්නට පැමිණි කෙනෙක් වීද, ඔහු ඔවුන් හරවා යැව්වේය. එහෙත් මැන්ඩෙලා සිරෙන් නිදහස් වීමත් සහ ඇගේ නාස්තිකාර ලෙස මුදල් වියදම් කිරීම තවත් වැඩි විය. ඇය අවිචාරවත් ලෙස පෙම් සබඳතාවලට පැටලී සිටියාය. ජනප‍්‍රිය වීමට හැකි සෑම කුප‍්‍රකට ක‍්‍රියාවකටම ඇය නැඹුරු වී සිටියාය. අවසානයේ ඔහු ඇගෙන් වෙන් වී 1996 දී ඇය දික්කසාද කළේය.

නිදහස් දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද, බිෂොප් ඩෙස්මන්ට් ටුටුගේ සභාපතිත්වයෙන් හා සාමාජියකන් අටදෙනෙකුගෙන් සමන්විත වූ සත්‍ය කොමිසමේදී (1995 - 2002) මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය විසින් කරන ලද මිනීමැරුම්, වධ හිංසා, පැහැරගෙන යෑම් හා පහරදීම් සම්බන්ධයෙන් විනී මැන්ඩෙලා වගකිව යුතු යැයි තීරණය කරන ලදි. ඇයට පස්වසරක සිර දඬුවම් නියම කෙරිණි.

මාලිනී ගෝවින්නගේ

0 comments:

'බොන්න වතුර වෙනුවට පෙට්‍රෝල් දුන්නා'

පසුගිය බදාදා කිලිනොච්චියේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දීය මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති අතර ඔහු චෙන්නායි ගුවන් තොටුපලින් ඉන්දියාවට පැමිණ තිබේ.

තමිල් මහා ප්‍රභාකරන් නම් වූ මෙම මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන ඡායාරූප ගත කර ඇති නිසා අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ.

රැඳවුම් භාරයේ සිටිය දී බලධාරීන් තමාට මානසික වද හිංසා කළ බවත් නිදා ගැනීමට ඉඩ නොදුන් බවත් තමිල්නාඩුවේ මාධ්‍යවේදීන් හමුවේ තමිල් මහා ප්‍රභාකරන් කියා සිටියේය.

'වතුර වෙනුවට පෙට්‍රෝල්'
‘මාව අල්ල ගත්ත දවසේ උදේ ඉඳල හවස හත වෙනකල් මට කන්න ලැබුනේ නැහැ. ඊට පස්සේ මට කෑම දෙන කොට බොන්න වතුර දුන්න. ඒත් ඒ වතුර නෙමෙයි, පෙට්‍රෝල්. ඒක වැරදීමක් වෙන්න පුළුවන්. හිතා මතා කරපු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් මට සැකයි.’ මහා ප්‍රභාකරන් තවදුරටත් කියා සිටියේය.

සංචාරක වීසා ලබා ගෙන රටට ඇතුළු වී සිටිය දී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල විය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ තමිල් මහා ප්‍රභාකරන් ‘මාධ්‍යවේදීන් ලෙස ලංකාවට ගිය විට චැනල් 4 මාධ්‍යවේදීන්ට සලකපු හැටි ඔබ දැක්කේ නැද්ද? ඔවුන් ගිය දුම්රිය වව්නියාවෙදි අවහිර කළා, ඒක කළේ ආණ්ඩුවෙන්.’යැයි පැවසීය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳ ව වැරදි තොරතුරු ලොවට ලබා දීමට දැරූ වෑයමක් වළක්වා ගැනීමට හැකි වූ බවයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ.

0 comments:

ලින්ටන්ගේ ”නිල්” චිත‍්‍රපටය

චිත‍්‍රපට නළුවෙක් වන ලින්ටන් සේමගේ විසින් ”නිල්” නමින් නවතම චිත‍්‍රපටයක් නිර්මාණය කර තිබෙන අතර මේ වන විට එය ආන්දෝලනාත්මක කතාබහකට තුඩු දී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එම නිර්මාණයෙන් ලංකාවේ කීර්ති නාමය, භික්ෂූන් වහන්සේලා මෙන්ම ජාතික කොඩිය අගෞරවයට පත් වන ආකාරයට
නිර්මාණය කර තිබීම හේතුවෙන් බව පැවසේ.
    මෙහි තිර රචනය හා අධ්‍යක්ෂණය ලින්ටන් සේමගේ ගේ වන අතර අනුර කිරිබත්ගල නම් පුද්ගලයෙක් විසින් නිෂ්පාදනය කර තිබේ.

             චිත‍්‍රපටයේ නම  ”නිල්” ය. ”කිසිම දෙයක් නැත” යන අර්ථයෙන් මීට නම යොදා ඇති බවත් මාධ්‍යට ඇති තර්ජන පිළිබඳව තේමා කර ගනිමින් මෙම චිත‍්‍රපටය නිර්මාණය කර ඇති බවත් සේමගේ පවසයි. ඔහු මේ අදහස් පවසා සිටියේ බොස්ටන් ලංකා නැමැති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මාධ්‍යවේදීන් පිළිබඳව චිත‍්‍රපටයක් නොකළේ නම් එය පාපකර්මයක් වන බවයි.
            මම ”නිල්” කියලා නම් කළේ කිසිම දෙයක් නෑ යන අර්ථයෙන්. මෙහි කතා තේමාව වුණේ මාධ්‍යට තියෙන තර්ජන. ඒක හේතු කරගෙන තමයි මම චිත‍්‍රපටය නිර්මාණය කළේ. අතුරුදහන් වූ මාධ්‍යවේදියෙක් ගැන තියෙන කතාවක් මේක... අපි වැනි නිර්මාණකරුවෙක් ඔවුන් වෙනුවෙන් යම් දෙයක් කරන්න බැරි නම් මම හිතන විදියට කලාකරුවෙක් විදියට ඒක පාපකර්මයක් කරන්නේ....
මේ සම්බන්ධ ඔහුගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්

0 comments:

මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූ මංගල විවේචන ඉවසන්න බැරිව උසාවි ගියා --- මනුෂ නානායක්කාර

2013/12/12

මාධ්‍ය මන් තම පක්ෂය විවේචනය කරන විට ඊට එරෙහිව උසාවි යන්නේ මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූ මංගල සමරවීර මහතා යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

දිවා විවේකයෙන් පසු නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00ට යළි රැස්විය.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැණින.

විවාදය ආරම්භ කරමින් කතා කළ, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි කරු ජයසූරිය මහතා (එජාප)- මාධ්‍ය නිදහස වෙනුවෙන් අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂය විශාල කාර්ය භාරයක් සිදු කර තිබෙනවා. මාධ්‍යවේදීයාගේ අයිතීන් වෙනුවෙන් අප කැපවී සිටිනවා.

මාධ්‍ය සතු වගකීමක් තිබෙනවා. මාධ්‍ය සමබර විය යුතුයි. මාධ්‍ය තිබිය යුත්තේ ජනතාව වෙනුවෙනුයි. නමුත් සමහර මාධ්‍ය තම මතයට විරුද්ධ සියලු දෙනා විවේචනය කරමින් වෛරී මාධ්‍ය භාවිතයක නිරත වෙනවා. ඒ නිසා ජනසංවේදී ප්‍රශ්න යට ගැසෙනවා. සමහර මාධ්‍ය නිර්ලජ්ජිත ආකාරයට දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරමින් ඉන්නවා. ජනමාධ්‍යවේදීයාගේ ගුණාත්මකභාවය නංවාලීමට කටයුතු කළ යුතුයි.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා - මාධ්‍ය නිදහස ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පාලන කාලයේ පැවතියේ අපකීර්තිමත් ඉතිහාසයක්. පුවත්පත් කලාවේ විවේචන නතර කළ නොහැකියි. මේ රටේ පුවත්පත් කලාව මීට වඩා විවේචනය කළ යුගයක් තිබුණා. අතීතයේත් වර්තමානයේත් අනාගතයේදීත් පුවත්පත්වල විවේචන නතර කළ නොහැකියි. ඒ තමයි මාධ්‍ය නිදහස.

විවේචන නිසා කොතරම් රිදුනත් දුක් වුණත් කලබල විය යුතු නැහැ හොඳ දේ අරන් දර්ශනයක් ඇතිව කටයුතු කිරීම අවශ්‍යයි. අද අප ජීවත්වන්නේ අලුත් ලොවකයි. ඒක විවිධ අදහස්වලින් පරිපූර්ණයි. එක් කාලයක පුවත්පත්, ගුවන්විදුලි, ටෙලිවිෂනයට යොමු වී සිටි අප දැන් වෙබ් අඩවියට යොමු වෙලා. අද ප්‍රවෘත්ති ගලා ගෙන යාම ශීඝ්‍රයන් සිදු වෙනවා. සැටලයිට් භාවිතය නිසා අපට කිසිම දෙයක් සැඟවිය නොහැකියි. එදාට වඩා ප්‍රවෘත්ති සංඛ්‍යාව වැඩියි. එල්.ටී.ටී.ඊ. මතවාද බෙදාහරින වෙබ් අඩවි කොතරම් තිබෙනවාද? එල්.ටී.ටී.ඊය විනාශ කළේ අපට වඩා දෙමළ ජනතාවයි.

මාගේ කාලයේ දී කිසිම කෙනකුගේ යම් ප්‍රවෘත්තියක් වැළැක්වීමට රජයේ කවුරුවත් බලපෑම් කළේ නැහැ. සමහර ඒවා සියයට සියයක් ආණ්ඩුවට පක්ෂපාතී නැහැ. තාක්ෂණයේ දියුණුව නිසා රූපවාහිනී මාධ්‍ය ඉවත් වී සැටලයිට් කරා යා යුතුයි. ඒ සඳහා විශාල වැඩ කොටසක් කරන්න අමාත්‍යාංශයට සිදු වෙනවා.

තාක්ෂණය භාවිතය ජනමාධ්‍යයට අවශ්‍යයි. මාධ්‍යවේදීන් සඳහා ලැප්ටොප් පරිගණක දෙන්න ජනාධිපතිතුමා විශාල මුදලක් ලබා දුන්නා. ඇතැම් මාධ්‍යවල අද ඊ- රිපෝටර්ස්ලා ඉන්නවා. ඔවුන් හදන්න පුළුවන් වුණේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා තාක්ෂණික මෙවලම් ලබා දුන් නිසයි. මාධ්‍යවේදීන් පුහුණු කරන්නේ මේ අමාත්‍යාංශය විසිනුයි. මාධ්‍යයේ නවීන තාක්ෂණය වැඩියෙන්ම භාවිත කරන ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාවයි.

අප ජනමාධ්‍ය නිදහස ප්‍රියකරන ආණ්ඩුවක්. මාධ්‍යවේදීන්ට පුහුණුව ලබා දුන් තාක්ෂණික මෙවලම් ලබා දීපු ආණ්ඩුවක්. ජනමාධ්‍ය ගෞරවයත් වෘත්තීය තත්ත්වයත් ආරක්ෂා කරමින් කටයුතු කරනවා. රටවල් සමඟ තිබෙන සබඳතා තර කරන්න ජනමාධ්‍ය භාවිතය ඉතා වැදගත්. අමෙරිකා එක්සත් ජනපදය, චීනය, සාර්ක් කලාපයේ රටවල් සමඟ සබඳතා ඇති කරන්න ජනමාධ්‍යකරුවන්ට ඒ ඒ රටවල පුහුණුව ලබා දිය යුතුයි. වෙනත් රටවල ජනමාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා පුහුණුව දීමටත් යෝජනා කරනවා.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී පී අරියනේත්‍රන් මහතා (දෙජාස)- උතුරු නැගෙනහිර දෙමළ මාධ්‍යවේදීන් විශාල ගණන් ඝාතනය වී තිබෙනවා. ඒ පිළිබඳ තවමත් සොයා බැලීමට කටයුතු කර නැහැ. ලෝකයේ අධිකරණවල තිබෙන බලයට සමාන බලයක් ජනමාධ්‍යයට තිබෙනවා. චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට නිදහස දුන්නද?

ඒ එච් එම් අස්වර් මහතා- රටට විරුද්ධව කතා කරන අය ගැන මේ සභාවේ කියන්න එපා.

අරියනේත්‍රන් මහතා- කිසිදු දෙමළ මාධ්‍යවේදියකුට රජයෙන් ලබාදී නැහැ. ඒ සියල්ල නාගරිකව ඉන්න මාධ්‍යවේදීන්ට පමණක් ලබාදී තිබෙනවා. කිසිදු පුහුණුවක් ලබාදීමට කටයුතු කර නැහැ.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එජනිස)- ආරක්ෂක, ආර්ථික, විදේශ කටයුතු අමාත්‍යාංශ සමාන අමාත්‍යාංශයක් ලෙස මාධ්‍ය අමාත්‍යාංශය හඳුන්වන්න පුළුවන්. ජනමාධ්‍ය ජනතාවගේ ජීවිතයට බද්ධවෙලා. ලෝකයේ 21 වැනි සියවසේ තාක්ෂණය යොදා ගෙන මාධ්‍ය භාවිතාව නිසි කළමනාකරණයකින් සිදු වෙනවා. ජන විඥානය වෙනස් කිරීමට ජනමාධ්‍යයට හැකියාව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ප්‍රජාස)- රජයේ මාධ්‍ය සියල්ලම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කර තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය උදේ හතේ සිට රෑ 12 වෙන තුරු සිදු කරන්නේ ජනමතය විකෘති කරන ආකාරයට තොරතුරු මෙහෙයවීමයි. ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් විය යුතුයි. තම මාධ්‍ය ආයතන ටික මඟින් ආදර්ශයක් ලබා නොදී පෞද්ගලික මාධ්‍යයට අත දිගු කරන්නේ කොහොමද? මාධ්‍ය කඩා වැටීමක් තිබෙනවා නම් එයට මූලික හේතුව රාජ්‍ය මාධ්‍යයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් ආදර්ශයක් ලබාදිය යුතුයි. තොරතුරු දැනගැනීමේ මූලික නීතියක් බවට පත්විය යුතුයි. පනතක් ලෙස ගෙන ඒමට ආණ්ඩුවට පුළුවන් විය යුතුයි. රජයේ ගුවන් විදුලියෙන් උදේ ඉඳන් ප්‍රචාරය වෙන්නේ මොනවාද? මාධ්‍යවේදීයාගේ වගේම පුරවැසියාගේ අයිතිය තහවුරු විය යුතුයි. චැනල් ෆෝ නාලිකාවට මේ ආණ්ඩුව නැති ගෞරවයක් ලබා දුන්නා. එව බලව කියා ඔවුන් ගෙන්නුවා. අනුරාධපුරෙන් එහාට ඔවුන්ට යන්න දුන්නේ නැහැ. ඔවුන් අහක යන නයි. තෝරාගත් පිරිසකට ලැප්ටොප් දුන්නාද?

කෙහෙළිය රඹුක්වැල්ල මහතා- ඒක වැරැදියි. සභාව නොමඟ යවන්න එපා.

හේරත් මහතා- තම විරුද්ධවාදීන්ට රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් පහර ගැසීම නෙවෙයි මාධ්‍ය සදාචාරය කියන්නේ.

සංස්කෘතික කටයුතු ඇමැති ටී බී ඒකානායක මහතා:-

පසුගිය කාලයේ ජනාධිපතිතුමා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මාස්පතා කැඳවා ප්‍රශ්න කතාකරමින්, සාකච්ඡා කරමින් කටයුතු කළ බවත් රට පිළිබඳ හැඟීමක් නැති පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය අන්තර්ජාතික, එල්.ටී.ටී.ඊයට හැමදාම කඩේ ගිය, කාම්බෝජයේ වියට්නාමයේ යුදමය දර්ශන අපේ රටේ ජවනිකා ලෙස ඇතුළත් කර චිත්‍රපට තැනූ චැනල්4 අය පක්ෂ කාර්යාලයක් තුළට ගෙන ඒම කනගාටුදායකයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලිය තියෙන කොට කතාකරන වචනවල අර්ථය, ගැඹුරු බව ඉතා හොඳින් දන්නවා.

වර්තමාන ගුවන්විදුලි නාලිකාවල එසේ නැහැ. මේ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික රූපවාහිනය විතරක් නොවේ අනෙකුත් නාලිකාවල විකාශය වන ටෙලිනාට්‍යවල පිටපත් කලින් කියැවීම අවශ්‍යයි. පවුලේ අයට එකට නැරඹිය හැකි ටෙලිනාට්‍ය විකාශය කිරීම අවශ්‍ය නිසා මේ සම්බන්ධයෙන් නීතිපතිගේද අවසරය ගෙන වැඩපිළිවෙළක් සකස් කරනවා. නාලිකා වැඩිවන විට නිර්මාණ වැඩිවන විට මෙගා ටෙලිනාට්‍ය හැදෙන විට බලන දරුවට දෙන පණිවිඩය කුමක්ද යන්න නීතිරීති ක්‍රියාත්මක කරන්න.

ප්‍රමිතියෙන් යුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයත් සංස්කෘතික අමාත්‍යාංශයත් එක්ව සැලැස්මක් සකස් කරනවා. මේ පිළිබඳ විද්වතුන්ගේ අදහස්ද ප්‍රකාශ වී තිබෙනවා. මාධ්‍යවල ඇති සදාචාරාත්මක, ගුණාත්මක පැත්ත යම් නිර්මාණයක දී හෝ ප්‍රවෘත්තියක දී පෙන්වාදිය යුතුයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (එජාප)- ජනමාධ්‍යයෙන් ව්‍යුක්ත වීමට ජනසමාජයට බැහැ. ජනමාධ්‍ය හා මාධ්‍යවේදීන්ගේ සුරක්ෂිත භාවය සම්බන්ධව රටතුළ පවතින්නේ ගැටලුවක්. මාධ්‍යවේදීන් ඝාතනය කළත් විවිධ ක්‍රමවේද ඔස්සේ මාධ්‍යවේදීන් බිලී බා ගැනීමට උත්සාහ කරනවා. මේ රජයට අද මාධ්‍යවේදීන් අමතක වෙලා. මෙවර අය වැයේදී මාධ්‍යවේදීන් වෙනුවෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ.

ලක්ෂ 12 ගණනේ වාහන මිලදී ගැනීමට මාධ්‍යවේදීන්ට ලබා දෙන ණය යටතේ මාධ්‍යවේදීන් කීදෙනකුට ණය ලබා දී තිබෙනවාද? ඒ බව හෙළි කරන්න. මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීම සඳහා තීරු බදු රහිත බලපත්‍රයක් ලබා දෙන්න. මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඉන්නේ කුලී ගෙවල්වල ඔවුන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ඇති කරන්න. මාධ්‍යවේදීන්ට ලැප්ටොප් ලබාදීමේ වැඩපිළිවෙළ හොඳයි. නමුත් ලබාදීමේ ක්‍රමවේදය, තොරාගත් පදනම මොකක්ද? මාධ්‍යවේදීන්ට හොඳ පුහුණුවක්, විදේශ ශිෂ්‍යත්ව ලබා දෙන්න. පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කරන මාධ්‍යවේදීන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අඩුම තරමේ ඔවුන්ට විදේස් සංචාරයක් ලබා දෙන්න.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පී රාජදොරෙයි මහතා (එජනිස)- ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ජාත්‍යන්තර මට්ටමකට පුහුණු කළ යුතුයි. කඳුකරයේ ජනතාව බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා (එජාප)- ජනමාධ්‍ය ජනජීවිතයට විශාල ලෙස සම්බන්ධ වී තිබෙනව.

(නුවර එළිය දිස්ත්‍රික් මන්ත්‍රි පී රාජදොරෙයි මහතා මුලසුනට පැමිණියේය)

රාජපක්ෂ මහතා-රටක මාධ්‍ය නිදහස ඉතා වැදගත්. මාධ්‍යකරුවන්ට අද නිදහස අහිමි වෙලා. පීඩාවට පත්වන වෘත්තියකයි ඔවුන් නිරත වන්නෙ. අද මාධ්‍යවල ඇමැතිවරු ඒකපාක්ෂික ලෙස කටයුතු කරනව. මාධ්‍යකරුවන් අද මර්දනයට ලක්වෙලා. මේ රටේ ජාතික ජනමාධ්‍යවල විශ්වාසය නැති වෙලා. මේ නිසා අන්තර්ජාලය කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා.

ඒකාධිපති පාලකයෙක් ස්වාධීන අධිකරණයට සහ ජනමාධ්‍යයට භයයි. සමුළුවේ සභාපතිකම ලැබීම සතුටක්. අද මම පුද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙනාවා. ඒත් එය වැළැක්වූවා. ඕනෑම මන්ත්‍රිවරයකුට පනතක් ගෙන ආ හැකියි. එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැකියි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා - මේ රජයට ජනතාව සමඟ ගැටුමක් නැහැ. රජය කරන සාධනීය වැඩපිළිවෙළ අගය කරනවා නම් ගැටලුවක් නැහැ. ඉතාමත්ම නින්දිත ලෙස පත්තර, වෙබ්අඩවි මඟින් පහර එල්ල කරන අවස්ථා තිබෙනවා.

ඒ විවේචන ඉවසන්න පුරුදු විය යුතුයි. ජනාධිපතිතුමා තරම් විවේචනයට ලක්වූ රාජ්‍ය නායකයෙක් මෙරට ඉතිහාසයේ සිටියේ නැහැ. මාධ්‍ය මඟින් තම පක්ෂය පිළිබඳ විවෙචන කරන විට ඊට එරෙහිව උසාවි යන්නේ මේ මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූ මංගල සමරවීර මහත්තයලායි. මාධ්‍යයට බලපෑම් කර ඇත්තේ ආණ්ඩුව නොවේ. විපක්ෂය තමන්ගේ ඉතිහාසයේ පුරුද්දට එසේ කරනවා.

එල්.ටී.ටී.ඊයට ඕනෑ ලෙස මේ රටේ කටයුතු ගෙනියන්න බැහැ. ඒක මාධ්‍ය නිදහස නොවේ.

මැරුණු දෙමළ මිනිස්සු ගැන කථා නොකර නිදහස් සටන්කාමියා යැයි මිනිස්සු මරපු පුද්ගලයාට පක්ෂව දෙමළ සන්ධානය කතා කරනවා. මාධ්‍යවේදියාට මාධ්‍ය ආයතන ප්‍රධානියාගේ දේශපාලන න්‍යායට අනුව හැසිරෙන්න සිදු වෙනවා. එදා යුද්ධයේ තොරතුරු චැනල්4 වෙත දුන්නු මාධ්‍යවේදීන්ට අද ලංකාවට එන්න බැරුව වෙනත් රටවල සිටිනවා. අද ඇමරිකාවේ ඉදන් වෙබ් අඩවි හදාගෙන මෙරට දේශපාලන පක්ෂවලට ඔවුන් පන්දම් අල්ලනවා.

ඉතිහාසයේ තිබුණාට වඩා Sළ්ර්‍C, ඓඨ්ණ් ලාභ ලබන තත්ත්වයට පත්ව ඇත. පෞද්ගලික මාධය රටේ 70%ක් පවත්වාගෙන යන විට රාජ්‍ය මාධ්‍ය රටේ සංවර්ධන කටයුතු පිළිබඳ පෙන්වීම අවශ්‍යයි. හිරු, ස්වර්ණවාහිනී මාධ්‍යයේ වගකීම තේරුම් ගෙන රටේ අඩුලුහුඩුකම් පෙන්වමින් කටයුතු කරනවා.

මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සාධනීය ලෙස ලාභ ලබමින් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගොස් ඇත. මාධ්‍ය නිදහස පැත්තෙන් අපි 10 තැනට වැටී ඇතැයි විජේදාස රාජපක්ෂ මහතා කිව්වා. මානව හිමිකම්, මාධ්‍ය නිදහස පැත්තෙන් අපව පහළට දාන්න ලියකියවිලි හදන්නේ ඔබලා විසිනුයි. ඕනෑම දෙයක් බලය ලබාගන්න නොකර රට ගැන හිතලා අපි හැමෝම ශ්‍රී ලාංකික ජාතිය ගැන හිතලා කටයුතු කරන්න.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි පී සරවනබවන් මහතා (දෙජාස)- විවිධ රැකියාවල යෙදෙන අය වගේ ජනමාධ්‍යවේදීන් රටට සේවයක් කරනවා. මේ අයටත් පවුල් බර, නිවාස ප්‍රශ්න අතුළු ප්‍රශ්න තිබෙනවා. පලකරන පුවත් නිසා ගැටලුවලට මුහුණ දෙනවා. ජීවිත තර්ජනවලටත් මුහුණ දෙනවා. මේ අයට ලක්ෂ 12 ණය ලබා දීම හොඳයි. කොළඹ අයට නිවාස දුන්නා. අනෙක් ප්‍රදේශවල අයටත් නිවාස ලබා දෙන්න. ලැප්ටෝප් තීරුබදු රහිත වාහන ලබා දිය යුතුයි. අනතුරකට පත් වූ විට රක්ෂණයක් ලබා දිය යුතුයි කියා මා යෝජනා කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ආර් දුමින්ද සිල්වා මහතා (එජනිස)- ජනමාධ්‍ය කියන්නේ කිසිසේත් ඉවත දැමිය නොහැකි දෙයක්. අති විශාල වැදගත්කමක් මෙයට තිබෙනවා. නීති රීති දමා මෙය පාලනය කරන්නට බැහැ. තමන්ගේ මතයේ නොසිට නිවරදි කරුණු මත සිට වාර්තා කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඇතැම් මාධ්‍යවේදීන් කරුණු විකෘති කර පළකරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි රුවන් විජේවර්ධන මහතා (එජාප)- චැනල් 4 නාලිකාව සිරිකොතට ගෙනාවා කියනවා. කවුද මේ නාලිකාවට ලංකාවට එන්න අවසරය දුන්නේ. ජනමාධ්‍ය ඇමැතිතුමාට හිතවත් අයටලු ලැප්ටෝප් දෙන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා:- ඔබතුමාගේ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ටත් ලැප්ටොප් ලබා දුන්නා.

විජේවර්ධන මහතා :- මහනුවර මාධ්‍යවේදීන්ට ලැප්ටොප් දුන්නලු. නුවරඑළිය සහ මාතලේ අයට එකක් වත් දුන්නේ නැතිලු. මේවා කියන්නේ මාධ්‍යවේදීන්මයි. මා නොවෙයි. මේ අයට ලක්ෂ 12 ණයක් දෙනවා. මේ මුදලට ගන්න වාහන නැහැ. මුදල වැඩි කරන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය මේ රටේ තහවරු කර නැහැ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එජනිස):- අපේ ජනාධිපතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සභාපති වුණා කියලා ඒ ඒ රටවල්වල සිදු කරන දේ අපේ රටේත් සිදු කරන්න කියලා විපක්ෂය කියනවා. මාධ්‍ය විසින් නිවැරැදි තොරතුරු ලබා දෙන විට ඒවා දරා ගන්න දේශපාලනඥයන් හැටියට අපට කොන්දක් තිබිය යුතුයි. මේ රටේ සමහර නායකයන්ට විවේචනයක් දරා ගන්න බැරිව මාධ්‍යවේදීන් ඝාතයන කළා. ඉතිහාසයේ ජනමාධ්‍යවේදීන් සමඟ ළඟින්ම ඇසුරු කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතායි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජන් රාමනායක මහතා (එජාප):- මාධ්‍යවේදීන්ට ජීවත්වීමට භායානකම රට හැටියට ශ්‍රි ලංකාව පත්වෙලා. සමහර මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් වරෙන්තුකරුවන් වෙලත් නිදැල්ලේ ඉන්නවා. මාධ්‍ය මඟින් සියයට 99ක් කියන්නේ බොරුයි.

පත්කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා (එජනිස):- ශ්‍රී ලංකාවේ ඉහළම මාධ්‍යවේදී වැටුප ලබා දෙන්නේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමයි. ලේක්හවුස් සේවකයන් 1908 දෙනකුට මසකට වැටුප් සඳහා රුපියල් මිලියන 30ක් වෙන් කර තිබෙනවා. බෝනස් දීමනා සඳහා රුපියල් මිලියන 135ක් වැයකරනවා. ඊට අමතරව ජිවන වියදම සඳහා මසකට එක් සේවකයකුට රුපියල් 13,500ක මුදලක් ගෙවනවා. වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හා පාසල් දරුවන්ට නොමිලේ පොත් ලබාදීම් ද සිදුකරනවා.

මාධ්‍යවේදීන්ට පරිගණක පුහුණුව හා භාෂා පුහුණුව ලබාදී තිබෙනවා. රජයක් විසින් සිදු කළයුතු සෑම දෙයක්ම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සේවකයන්ට ලබාදී තිබෙනවා. නව පත්තර විශාල සංඛ්‍යාවක් හඳුන්වා දී තිබෙනවා. ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින සීලරත්න සෙනරත්, උපුල් දිසානායක, රසාංග හරිස්චන්ද්‍ර වැනි මහත්වරු මේ අයතනය ඉතා හොඳ මට්ටමක පවත්වා ගෙන යනවා. ලේක්හවුස් ආයතනය පත්තර මහ ගෙදරයි.

පත්කළ මන්ත්‍රී ආර් යෝගරාජා මහතා (එජාප):- අපේ රටේ සංහිඳියාවක් ඇතිකිරීමට මාධ්‍යයට විශාල කාර්යක් තිබෙනවා. මා මිට පෙර යුද්දයේදි මියගිය අය සිහි කිරීමට දිනයක් ඉල්ලා සිටියා. එය එක් එක් මාධ්‍යවල පළ වුණේ වැරැදි අර්ථකතන දෙමිනුයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා:- මුළු මහත් ජාතියම විනාශ කළ ත්‍රස්තවාදීන් සැමරීමට දිනයක් අවශ්‍යද?

යෝගරාජා මහතා:- නව මාධ්‍ය සංස්කෘතියක් ඇති කළ යුතුයි.

සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා :- ජනමාධ්‍යයට සිවිශේෂි බලයක් තිබෙනවා. විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකියි. කොටි සංවිධානයට කොටි හඬ නමින් මාධ්‍යයක් තිබුණා. පළමු බිහිරි පාසල ඉදි වුණෙත් මාධ්‍ය මඟින් සිදු කළ හෙළිදරව්වක් නිසයි. අපගේ අමාත්‍යාංශය පවත්වා ගෙන යාමටත් මාධ්‍ය විශාල සහායක් ලබා දෙනවා. තොරතුරු ඉතා වැදගත්. මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය ගම්මානයක් ඇති කළ යුතුයි.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

කබීර් හසීම් මහතා:- පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ හිටයත් ඔවුන් සිටින්නේ ඔබ යටතේයි. එහිදී පරිගණක බෙදා දීම සඳහා මාධ්‍යව්දීන් තෝරා ගැනීම කතානායකවරයාට භාරදී අවසන් කළ හැකිද?

රඹුක්වැල්ල මහතා:- මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් වේවා එහි ක්‍රියාවලිය සිදු විය යුත්තේ කතානායතුමා හරහා බවයි අපේ විශ්වාසය. චෝගම් හරහා දැවැන්ත කාර්ය භාරයක් අප සිදු කළා. එහිදී ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය රටේ අභිමානය ආරක්ෂා වන ආකාරයට එය සිදු කළා. එහි ගෞරවය කාර්ය මණ්ඩලයට හිමි විය යුතුයි.

වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.

0 comments:

ලංකාවේ මාධ්‍යවේදින්ට සිදු වි ඇති දේ රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදි කියයි

ලංකාවේ මාධ්‍යවේදින්ට සිදු වි ඇති දේ රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදි කියයි                                                         ලකාවේ මාධ්‍යවේදින්ට සිදු වි ඇති දේ රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදි කියයි

0 comments:

කලුතර පුද්ගලයකුගේ ගමන් බලපත්‍රයෙන් එක්නැලිගොඩ ප්‍රංශයට ගිහින් අරුන්දික ප්‍රනාන්දු මැතිසබේදි යළි කියයි

කලුතර පුද්ගලයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයකින් මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයට ගොස් ඇතැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි බදාදා (11) ප්‍රකාශ කළේය. මුලින්ම ඔහු සිංගප්පූරුවට ගොස් එහිදි විසා ලබා ගෙන ප්‍රංශයට පැමිණ ඇතැයිද අරුන්දික ප්‍රනාන්දු මහතා කීවේය. තවමත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජිවත් වෙන බව නැවත වරක් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විදේශ ගමන් බලපත්‍රය හිමි අයගේ නම් තමා හෙළි නොකරන්නේ එක්නැලිගොඩ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන බැවින් යැයිද ඔහු සඳහන් කළේය.

එක්නැලිගොඩ සම්බන්ධයෙන් තමාට පුද්ගලික ප්‍රශ්නයක් නොමැති බව කී මන්ත්‍රීවරයා ආණ්ඩුව විසින් එක්නැලිගොඩ පැහැර ගෙන ඇති බවට විපක්ෂය විදේශ රටවලට බොරු ප්‍රචාර ගෙන යන නිසා මෙසේ ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

බෙල්ජියමේ සංචාරයකට ශාන්ත බණ්ඩාර හා සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් ගිය අවස්ථාවේ එක්නැලිගොඩ ප්‍රංශයේ සිටින බවට ඔවුන්ටද ආරංචි වි ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

0 comments:

‘සිරස’ට එරෙහි මංගලගේ නඩුව නිශ්ප්‍රභා කරයි

සිරස මාධ්‍ය ජාලයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතාට එරෙහිව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවරා තිබූ නඩුව බදාදා (11) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු මංජුල සම්පත් කරුණාරත්න මහතා විසින් නිශ්ප්‍රභා කළේය.  මංගල සමරවීර මහතා මෙම නඩුව රාජා මහේන්ද්‍රන් මහතාට එරෙහිව පවරා තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 81 වැනි වගන්තිය යටතේ ය. මහේස්ත්‍රාත්වරයා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති විග්‍රහ කරමින් මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි බව පෙන්වා දෙමින් එය නිශ්ප්‍රභා කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

දෙවුන්දර සිට කොළඹ දක්වා පැමිණි පා ගමනකට මාතර දී කිසියම් පාර්ශවයක් විසින් කුරුඳු පොලුවලින් පහර දෙන ලදී. මෙම දර්ශන සිරස මාධ්‍ය ජාලය මගින් විසුරුවා හරිනු ලැබීය. එසේ එම දර්ශන විසුරුවා හැරීමට එරෙහිව මංගල සමරවීර මහතා විසින් මෙම නඩුව පවරා තිබිණ.

සිරස සභාපති රාජා මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නම් මහතා අද (11) දින අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීය.

කුරුඳු පොලු ප්‍රහාරයට ලක් වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හා දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා ජනමාධ්‍යවේදියාට පෑන, කැමරාව හැසිරවීමට නිදහස තිබිය යුතු බවත්, ඊට තහංචි දමන්නට උසාවියට නොහැකි බවත් පවසා සිටියේය.

මංගල සමරවීර මහතා වෙනුවෙන් නීතිඥ නිශ්සංක නානායක්කාර මහතා පෙනී සිටියේය.

මංගල සමරවීර මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් උසාවිය වෙත පැමිණ සිටියහ.

0 comments:

ව.අයි.ස. ජෙයපාලන් පිටමං කිරීමට මොහොතකට පෙර

නිලාර් එන්. කාසිම් 

පසුගිය දිනෙක එක්තරා වෙබ් අඩවියක මාධ්‍යවේදියකු මා අමතා ‘‘ජෙයපාලන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මගේ මතය කුමක්දැ’’යි විමසීය. ඒ මොහොත වනතුරුත් මම ඒ ගැන නොදැන සිටියෙමි. එක්වරම කම්පනයකුත් ආහ්ලාදයකුත් දැනිණ. කම්පනය ඔහු අත්අඩංගුවට පත්වීම පිළිබඳවය. ආහ්ලාදය දශකයකටත් වැඩි කාලයකට පසු ඔහු සිය මව්බිමට පැමිණීම පිළිබඳවය.

‘දමිළ කවියෙහි ශ‍්‍රී ලාංකික සලකුණ, ජෙයපාලන්’ නම් කෘතිය මා රචනා කළේ වසර 2000දීය. එහි ‘ජෙයපාලන් භූමිකාව’ නම් වූ දෙවන පරිච්ෙඡ්දය අවසන් කළේ මෙලෙසිනි.

‘‘90 දශකය අගභාගය වන විටත් කවියකු ලෙස පමණක් නොව, ඔහු දේශපාලන විචාරකයකු ලෙසද මෙරට ප‍්‍රකාශනයක් වූ ‘සරිනිහර්’ පුවත්පත තුළින් ලාංකීය පාඨකයන් මුණගැසුණේය. එවකට ඔහුගේ බිරිඳ හා දෙපුතුන් යළිත් නෝර්වේහි පදිංචියට පිටත් කළ හෙතෙම ස්ථිර පදිංචියක් නොමැතිව කොළඹ විසීය. වසර ගණනක ඇවෑමෙන් අනතුරුව මේ වනවිට ඔහුද නෝර්වේ බලා ගොස් ඇති අතර ඉදිරි කාලය කොහි ගතකරන්නේදැ’යි නිශ්චිත තීරණයකට එළඹ නැත. ජනවාර්ගික ගැටලූවේ හෙට දවස ක‍්‍රියාකරන ආකාරය මත ඔහුගේ ස්ථිර පදිංචිය තීරණය වනු ඇත.’’

ඊට පසු කාලයේ ශ‍්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම්, මනුෂ්‍ය ඝාතන මෙන්ම යුද්ධයද උත්සන්න විය. එහෙයින්, ජෙයපාලන් යළි සිය රට නොආවේය. පසුගියදා ඔහු සිය රට ආවේ රටේ තත්ත්වය යහපත්යැ’යි හැඟුණු නිසාය. මාන්කුලම් වට්ටකාඩුහි ඇති සිය ආදරණීය මෑණියන්ගේ සොහොන වෙත ගොස් අවසන් ගෞරව දැක්වීම ඔහුගේ මූලික අභිප‍්‍රාය විය.

ඉකුත් සති අන්තයේ ඔහු අත්අඩංගුවට ගත් පුවත සඳුදා දිනපතා පුවත්පත්වල වාර්තා කර තිබිණ. එක් පුවත්පතකට අනුව ඔහු ඉන්දීය නළුවෙකි. තවත් පුවත්පතකට අනුව නෝර්වේ කවියෙකි. තවත් පුවත්පතකට අනුව ඔහු මෙරට සන්නද්ධ ව්‍යාපාරය පණගැන්වීමට දෙමළ ඩයස්පෝරාවෙන් එවන ලද පිල්ලියකි. ඔහු රඳවා ඇත්තේ කොහිදැ’යි විමසමින් ආරක්ෂක අංශ සම්බන්ධීකරණය කරගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමි. අවසානයේ ජෙයපාලන් මිරිහානට රැුගෙනවිත් ඇති බැව් දැනගන්නට ලැබිණි. දරන ලද පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස මට දුරකතන ඇමතුමක් ආවේ ඔය අතරතුරය. දුරකතන සබඳතාවේ එහා කෙළවරේ සිටියේ ජෙයපාලන්ය.

තමා ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන බවත් එදිනම සවස යළිත් නෝර්වේ බලා යෑමට සිදුවී ඇති බවත් තමා හමුවිය හැකි ආකාරයත් අදාළ නිලධාරීන් මාර්ගයෙන් ඔහු දැනුම් දුන්නේය. එසැණින්ම ඔහු සොයා මිරිහාන පොලිස් පරිශ‍්‍රයේ ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශිකයන් රඳවා සිටින රැුඳවුම් කඳවුර වෙත ගියෙමි. එය උණුසුම් හමුවීමක් විය.

තමා සිංහල පාඨකයන්ට හඳුන්වාදීමට කළ මෙහෙයට ඔහු ණයගැති බව පළමුව මට පැවසීය. සියල්ල අවසන මවුබිම හැරයෑමට සූදානමින් සිටින ඔහු තුළ කිසිදු ඉච්ඡුාභංගත්වයක් හෝ ධෛර්යය සිඳුණු බවක් පෙනෙන්නට නොතිබිණි. ජෙයපාලන් පිළිබඳව මා ලියූ කෘතිය ආගමන විගමන නිලධාරීන් වෙත පිරිනැමුවෙමි. ඔහු කවුදැ’යි එයින් තිර ලෙස දැනකියා ගන්නට ඔවුන්ට එය අවස්ථාවක් විය. ඒ වනවිටත් ඔහු පිටුවහල් කිරීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබිණ. එහෙත් හේ රඳවනු ලැබ සිටියේ සෙසු විදේශික චූදිතයන්ගෙන් වෙන් කොට ගෞරවනීය පරිද්දෙනි. එහි සිටි නිලධාරීන්ගේ මහත්මා ගුණය පිළිබඳව ජෙයපාලන් වෙනුවෙන් අපගේ ප‍්‍රශංසාව පළකළ යුතුය. විශේෂයෙන්ම ස්ථාන භාර නිලධාරී සුනිල් ජයරත්න මහතා සිය රාජකාරිය ඉටුකර තිබුණේ මනුෂ්‍යත්වය පෙරදැරිවය. සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් පිළිබඳ වූ ඔහුගේ සංවේදීතාව ඊට හේතුවිය. අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට විවිධ අය තමා ගැන සොයා බැලූ බව ජෙයපාලන් කීවේය. ඔහුගේ සැහැල්ලූ සිනහව යට තමා මුහුණ දී සිටි ඉරණමේ කම්පනය සැඟව තිබෙන්නට ඇත. අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, බසීර් සේගු දාවුද් වැන්නන් සිය දුක සැප විමසා බැලූ බව ජෙයපාලන් කීවේ කෘතගුණ පූර්වකවය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රභා ගනේෂන් මහතා ඔහුගේ ආහාරපාන අවශ්‍යතා සොයා බලා තිබිණ.

ජෙයපාලන් පසුගිය දශක කීපය තුළ ඉන්දියාවේත්, නෝර්වේ දේශයේත් තාවකාලිකව රැුඳුණේය. 1983 කළු ජූලියෙන් පසු ඔහු කෙටි කලකට ඉන්දියාවට ගොස් සිටියේය. එහෙත් ශ‍්‍රී ලංකාව පිළිබඳව වූ දේශවාත්සල්‍යය ඔහුගේ හිතින් පහ නොවීය. එම කාලපරිච්ෙඡ්දය තුළත් සිය මවුබිමට පැමිණිය යුතුය යන නොඉවසිලිමත් සිතුවිල්ල ඔහු පෙළීය. ඒ හැඟීම ඔහු හිරු සමග බෙදාගත්තේ මෙලෙසයි.

‘‘අනේ අද අලූයමෙන්
තමිල්නාඩුවේ එක මං පෙතක
ඇදී යන බස්රියේ කවුළුවෙන් ඇතුළු වී
තුරුලූ වී
හෙමින් මට හාදු දී
අවදි වූ මගේ අතැඟිලි තුළට
නැවුම් නෑඹුල් දවස
තෑගි ලෙස පිදුවේද ඔබ තමයි...

බුර බුරා පැන නැගෙන ගින්න මැද
මලක් මෙන්
රණබිමේ ජීවයෙන් අවදි වන
අපගේම ජීවිතය උදෙසාම
අද දවස මම ඔබට තෑගි දෙමි...

ආයෙ කවදාක හෝ
මගේ මවුබිමේ එක වෙරළතක
මගේ දෙපයින්ම මං නැගෙන’යුරු
ඔබ දකින දවසකදි
මට යළිත් අරගන්න
අද දවස මම ඔබට තෑගි දෙමි....’’

එබඳු දේශවාත්සල්‍යයකින් ඔහු මෙවර දිවයිනට පැමිණ ඇත්තේ සිය ආදරණීය මෑණියන්ගේ සොහොන වෙත ගොස් අවසන් ගෞරව දැක්වීමටය. ඔහුගේ මව මියගියේ 1996 වසරේදීය. ඒ වන විට පැවති යුදමය වාතාවරණය තුළ සිය පුතු යළි මවුරටට එනු දකින්නට ජෙයපාලන්ගේ මව බිය වූවාය. ඇය සිය මරණයට දින කීපයකට පෙර ජෙයපාලන් ඇමතීය. ‘‘පුතා මම තව වැඩි දවසක් ජීවත් වෙන එකක් නැහැ. දැන් මෙහේ තත්ත්වය හරිම දරුණුයි. මගේ මරණෙටවත් පුතා එන්න උත්සාහ කරන්නෙපා. එහෙට වෙලා පරිස්සමින් ඉන්න...’’

ජෙයපාලන් නිරුත්තර විය. ආදරණීය වුවත් වේදනාකාරී ඉල්ලීමකි. ජෙයපාලන්ට සිය මවට අවනත නොවී සිටින්නට නොහැකි විය. මවගේ ඉල්ලීමට ප‍්‍රතිඥා දුන්නා පමණක් නොව එය එලෙසින්ම ඉටුකරන්නටද ඔහුට සිදුවිය.

රැුඳවුම් භාරයේදී ජෙයපාලන් තමන් සතුව තිබූ සිය අලූත්ම කවි පොත මට පරිත්‍යාග කළේය. එහි ආදරණීය මෑණියන් පිළිබඳව වූ කව දෙමළෙන් කියවා පෙන්වීය. එහි මාතෘකාව ‘‘මට එන්න බැරිවුණා අම්මේ’’ යන්නයි. මම එය මෙසේ සිංහලට නැගුවෙමි.

‘‘මට එන්න බැරිවුණා අම්මේ
ගින්දර
ඔබේ මළ සිරුරට
හාදුවක් දෙන්න පෙර
හාදුවක් දෙන්න මට ඊට...’’

අවුරුදු 17කට පසු ඔහු සිය රට පැමිණියේ එම වේදනාබර අත්දැකීමත් සමගය.

‘‘ඉතිං, මොකද වුණේ?’’ මම විමසීමි.

‘‘මං අම්මගේ සොහොනට යද්දි තමයි මාන්කුලම්වලදි ටීඅයිඞී එකෙන් මාව ඇරෙස්ට් කරන්න ආවේ. එයාලා මාව ඇරෙස්ට් කරන්න වෙන බව කිව්වා. මං පහදලා දුන්නා මට අම්මගේ සොහොන බලන්න ඕනෑ. එතෙන්ට යන්න කලින් එයාලාට අවනත වෙන්න බෑ කිව්වා. මං ආවේගයෙන් කෑගැහුවා. මං ආපු අරමුණට මුලින් ඉඩ දෙන්න. එහෙම නැත්නම් ඔයාලගේ වැඬේට මං අනුග‍්‍රහය දෙන්නේ නැහැ කියලා. ඕනෑ නම් මට මාංචු දාලා පහරදීලා බලහත්කාරෙන් ගෙනියන්න කියලා. ඒත් එයාලා එහෙම කළේ නැහැ. ඒ නිලධාරියා මගේ සිතැඟි තේරුම් ගත්තා. මට කරදරයක් කළේ නැහැ.’’

එහෙත් ජෙයපාලන් පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තාවල පළවූ තොරතුරු සුළු පටු ඒවා නොවීය. ඔහු සන්නද්ධ අරගලයකින් දෙමළ ඊලාමයක් පිහිටුවීමට දේශනා පැවැත්වූ බවත්, බෙදුම්වාදයට උඩගෙඩි දෙන බවත් ප‍්‍රකාශ කෙරිණ. එම මතවාදය ගැනද ඔහුගෙන් විමසීමි.

‘‘මම බෙදුම්වාදයවත්, සන්නද්ධ අරගලය ගැනවත් කතා කළේ නැහැ. ඒක මගේ දර්ශනය නෙවෙයි. මගේ දර්ශනය තමයි දුබලයා වෙනුවෙන් ප‍්‍රබලයා පෙනී හිටින්න ඕනෑය කියන එක. සිංහල ජනතාව දෙමළ ජනතාවගේත්, දෙමළ ජනතාව මුස්ලිම් ජනයාගේත් උරුමයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන එක. ඒකයි මගේ දර්ශනය. ඒ වගේම උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයා අතහැරලා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වත්, දෙමළ ජනයා අතහැරලා මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම්වත් දිනාගන්න බැහැ.’’

මීට දශකයකට එකහමාරකට පෙර දේශපාලන විචාරකයකු ලෙසද ඔහු මේ මතයම ඉදිරිපත් කර තිබිණ. වසර 2000දී මවිසින් පළ කෙරුණු ‘‘දමිළ කවියෙහි ශ‍්‍රී ලාංකික සලකුණ, ජෙයපාලන්’’ කෘතියේ අවසන් පරිච්ෙඡ්දය අවසන් කර තිබුණේ ඔහුගේම ලේඛනයක මේ උද්ධෘතයෙනි.

‘‘දැවුණු නිවෙස්වල තැනුණු අලූත් වහළවල හිඳ ගයන කුරුල්ලන්ගේ ගී ඇසීමටත්, ඝාතනයට ලක්වූවන්ගේ සොහොන් බිම් මතින් අලූත් මල් පිපෙන තුරුත් මම බලා සිටිමි. අලූත් කුරුල්ලන්ගේ ගීත සහ අලූත් මල්වල සුවඳ එක්ව දැවුණු නිවෙස්වල ඉපිද දිවි ගෙවූ තරුණ මුස්ලිම්වරුන් සහ දමිළයන් එකතු කර තබාවි. සොහොන් බිම් අසල කඳුළු සලන දමිළ මුස්ලිම් ගැහැනුන්ගේ සිත පුරවාවි.’’

මෙසේ දෙමළ-මුස්ලිම් සමගියක් අපේක්ෂා කළ ජෙයපාලන් එල්ටීටීඊය උතුරෙන් මුස්ලිම්වරුන් පලවා හැරීම පිළිබඳ ප‍්‍රසිද්ධියේ සිය විරෝධය පළ කළේය. උතුරේ මුස්ලිම්වරුන්ගේ අයිතීන් සඳහා වූ සංවිධානය විසින් එකී ජනතාව උතුරෙන් පලවා හැර පස්වසක් සපිරෙනදා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ගායනා කළ මේ කවිය එල්ටීටීඊයට එරෙහිව අවි අමෝරා ගැනීමක් බඳු විය.

අයියලා වන අපි
හතුරුකම් කළෙමු
ඔබේ නිජබිම උදුරා ගතිමු
මහා ජඩයන්ව
පෙකණි වැල සිඳ
නිජබිමේ මවුකුසින්
නුඹව වෙන්කොට වීසි කළෙමු
ඔහු මුස්ලිම්වරුන් ඉදිරියේ සමස්ත දෙමළ ජනතාව වෙනුවෙන් පාපෝච්චාරණයක් කළේය. උතුරුකර මුස්ලිමුනි
මගේ ජීවිතය තුළ
ඔබ තරම් ශ්‍රේෂ්ඨ වූ ජාතියක් නොදිටිමි
මේ තරම් උත්තුංග සෙනෙහසක් නොදිටිමි මේ සියල්ලට පසුත්
දමිළ කොවුලකු වූ මා
ළඟට ගෙන ගීතයක් ගයන්නැ’යි මට කියයි
සහෝදරවරුනි මා කුමක් නම් ගයන්නද?’’

ඔහු සිය දෙමළ සමාජය පිළිබඳව මෙන්ම සහෝදර සිංහල හා මුස්ලිම් සමාජය පිළිබඳව සංවේදීව කවි ලීවේය. 1980 ජූලි වැඩ වර්ජනයේදී මියගිය සෝමපාල සහෝදරයා පිළිබඳව මෙන්ම වතුකරය පිළිබඳව කවි ලීවේය.

වන්නියනාදර් අයියම්පිල්ලෙයි ෂන්මුගම් පිල්ලෙයි ජෙයපාලන් උපත ලැබුවේ යාපනය චුන්නාකම් ආශ‍්‍රිතව ඇති උඩුවිල් ප‍්‍රදේශයේය. දමිළ කවියේ දැවැන්තයකු වූ ඔහු පිටුවහල් දමිළ සාහිත්‍ය ලෝකයේද අසමසම චරිතයකි. ඉන්දියාවේද ස්කැන්ඩිනේවියානු හා යුරෝපා රටවලද ඔහුගේ සාහිත්‍ය නිර්මාණවලට හිමිවන්නේ ප‍්‍රශස්ත ස්ථානයකි.

ඔහුගේ ඇතැම් කෘති තමිල්නාඩු විශ්වවිද්‍යාලවල නිර්දිෂ්ට කෘතිය. රංගනය වෙනුවෙන් ඔහුට ඉන්දීය ජාතික සම්මානය හිමිවිය. අනතුරුව කන්නඩ චිත‍්‍රපටයකද ඔහු චරිතයක් නිරූපණය කළේය. මේ දිනවල අලූත් චිත‍්‍රපටයක් සඳහා තිර නාටකයක් ලියමින් සිටින බව ජෙයපාලන් මා සමග පැවසීය.

මෙවන් නිර්මාණවේදියකු පිළිබඳව ශ‍්‍රී ලාංකේය පුවත්පත්වල පළකර තිබූ ප‍්‍රවෘත්තිමය සටහන්වල ඔහු ‘ආගන්තුකයකු’ කර තිබුණේ ඒ පුවත්පත්වල වරද නිසාම නොවේ. ඒ අපේ සංස්කෘතික දුප්පත්කමය. පශ්චාත් යුද සමයේ භෞතික සංවර්ධනය ගැන මිස ආධ්‍යාත්මික සංවර්ධනය නොතකන නිසාය. මේ තත්ත්වයට කවුරු කවුරුත් වගකිව යුතුය. ජෙයපාලන් ‘ද්‍රෝහියකු’ වීමේ සංසිද්ධිය පිළිබඳව ඇතැම් විකල්ප වෙබ් අඩවිවල සහ තරුණ නිර්මාණකරුවන්ගේ ෆේස් බුක් හරහා සංසරණය වූ ප‍්‍රතිචාරවල පමණක් තුලනාත්මක තොරතුරු පළවී තිබිණ.

ඔහු පිටුවහල් කරනු ලැබීමට මොහොතකට පෙරද මා සමග කතා කළේ දෙමළ කවිය පිළිබඳවය. ඇතැම් සිංහල මාධ්‍ය තමන් පිළිබඳව තතු විකෘති කොට පළකර ඇති බව කියා සිටියේය. මවුබිමෙන් නික්ම යෑමට හිත හදාගෙන සිටි ඔහු මගේ ඇස් දිහා බලා සිටියේය.

‘‘ඔබේ ඇස්වල
දිළිසෙයි-මගේ පිළිබිඹුව...’’ ඔහුගේම කවි දෙපදයක් මුමුණා සිනාසුණේය. එම දෙපදය තිබුණේ ඔහුගේ නවතම පද්‍ය සංග‍්‍රහයේ එන පද්‍යයකය. ජෙයපාලන් පිටුවහල් කිරීමට මොහොතකට පෙර අවසන්වරට මගෙන් ඉල්ලීමක් කළේය. අර කවි දෙපදය ඇතුළත් ‘නිල් පැහැය’ නම් වූ පද්‍යය පරිවර්තනය කොට සිංහල පාඨකයා හමුවට පමුණුවන ලෙසය.

ඔහු ‘‘නිල් පැහැය’’ මගින් එහි සංකේතවත් කර තිබුණේ රොමාන්තික සිතිවිලි මාත‍්‍රයන්හි හැඩරුවය. තමා හමුවට බරපතළ චෝදනාංගුලියක් එල්ල වී ඇති විට පවා ඔහු පරිවර්තනය කරන්නැ’යි කීවේ රොමාන්තික සිතිවිල්ලකි. කවි හිත එහෙමය.

මේ එම කවියයි.

සොඳුරිය
කාලය වියැකී යන ලෙසින්
පෙණ පිඬු බිඳී විසිරෙන වෙරළේ
පිය සටහන් මැකී යන විට
අප දෙදෙන
සිප්පි කටු අහුලමින් ඇවිද ගිය හැටි
ඔබට මතකද?

පහුරු එතෙමින්
දිවයන වැලක් මෙන්
මහ මුහුදෙන් අහසට ගලන
නිල් පැහැය බඳු
සබඳතාවක්
විහිද යනු දුටුවාද
අප අතර?
දිගු කොට හොට
මසුන් සොයමින් සිට
හිස එසවූ කොකෙකු මෙන් ඔබ
බලා සිටී මා දෙස...

ඔබේ ඇස්වල
දිළිසෙයි
මගේ පිළිබිඹුව

ගෙවී ගිය මුත්
දිගුම දිගු කාලයක්
වියපත් නොවෙන
හිතක් ඇත ඔබට...
සොඳුරිය
තරුණකම කියන්නේ
දිවි මගට පෙම් බඳින කැමැත්තයි
තරුණකම කියන්නේ
හදාරන්නට ලැබෙන හිතක්මයි
තරුණකම කියන්නේ
නිමක් නැති හෙවීමයි
තරුණකම කියන්නේ
ඇසෙන දේ ඇගයුමයි
තරුණකම කියන්නේ
නොසිඳෙන විඳීමයි
තරුණකම කියන්නේ නොබිඳෙනා පේ‍්‍රමයයි
තරුණකම කියන්නේ
සත්සරයි නර්තනයි මුහුව එන
දිව්‍යමය එකතුවයි
ප‍්‍රිය සබඳ
ඇත්තටම
කීයත් විතර ඇතිද ඔබෙ වයස?’’
‘‘සොඳුරිය
මගෙ වයස
මැරෙන තෙක් දිවි ගෙවන කාලයයි.’’

ravaya -

0 comments:

ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වෙත පිවිසීම අවහිර කරයි

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම පුවත් වෙබ් අඩවියක් වන ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් බාධා කර ඇතැයි වාර්තාවේ.
එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ නියොගයක් මත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රි ලංකාවේ ග්‍රාහකයන්ට මෙම වෙබ් අඩ්විය වෙත පිවිසීම අවහිර කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ඉහළ නිළධාරියෙකු පැවැසූවේ මේ සඳහා තම අමාත්‍යංශයේ සම්බන්ධයක් නැති බවය.

ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය ජනමාධය අමාත්‍යංශයේ ප්‍රථමයෙන්ම ලියාපදිංචි වූ වෙබ් අඩවියක් වන අතර මෙම අවහිර කිරීම සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් හෝ කරුණු විමසීමක් හෝ විදුලි සංදේශ නියාමන කොමිසම සිදු කර නොමැත.


මිරර් වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

පුවත් වෙබ් අඩවිවලට බාධා පමුණුවීම මගින් ප්‍රකාශන හා සමාජීය සංවාදය සඳහා වූ මහජන අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නිවේදනයයි.

මහජන අයිතියක් වන ප්‍රකාශන හා සමාජීය සංවාදය තහවුරු කෙරෙන එකම ක්‍රමය වන්නේ අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවි දක්වා පැතිරී ගිය නිදහස් හා ස්වාධීන මාධ්‍ය ක්‍රියාකාරිත්වයයි.

එම ක්‍රියාකාරිත්වයට මේ වන විට ප්‍රකාශන අයිතිය, මාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පවසන රාජපක්ෂ රෙජීමය විසින් බරපතල ලෙස බාධා පමුණුවා තිබෙන බව මෙමගින් දැනුම් දෙමු.

ශ්‍රී ලංකාව පිළිබඳ පුවත් හා තොරතුරු වාර්තා කරන, මෙරට වැසියන් සංවාදශීලිවන වෙබ් අඩවි අතුරින්ටැමිල්නෙට්, ශ්‍රී ලංකා ගාඩියන්, ලංකාඊනිවුස් ඇතුළු වෙබ් අඩවි 6කට අධික සංඛ්‍යාවකට පිවිසීමට මේ වන විට මෙරට වෙසෙන ලක්වැසියන් ට බාධා පමුණුවා ඇත.

අන්තර්ජාල පුවත් වෙත පිවිසීමට පමුණුවා ඇති මෙම තෝරාගත් බාධා කිරීම් වල අළුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියයි.

ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන හා මෙරට සම්බන්ධ පුවත් හා තොරතුරු වාර්තා කරන වෙබ් අඩවි මෙරට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බව එම අමාත්‍යංශය ප්‍රකාශයට පත්කර තිබුණද, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලට මෙන් නොව, වෙබ් පුවත් වලට එවැනි නීතිමය බැඳීමක් නොපවතියි.

ශ්‍රී ලංකා මිරර් යනු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ඉහත ඉල්ලීමට අවනත වූ මුල්ම අඩවි අතුරින් එකක් වුවද, සාපේක්ෂ වශයෙන් පවතින ඔවුන්ගේ ස්වාධීන පුවත් වාර්තාකරණ ස්ථාවරය හේතුවෙන් අපරාධ විමර්ශන අංශයේ වැටළීම් හා අධිචෝදනා වලට මුහුණදීමට ඔවුන්ට පසුගිය කාලයේදී සිදුවිය. මේ වන විට ශ්‍රී ලංකා මිරර් වෙත පිවිසීමට සම්පූර්ණයෙන් බාධා පමුණුවා තිබේ.

සාම්ප්‍රදායික මාධ්‍ය නාලිකා හා මුද්‍රණකරුවන් විසින් මගහරින ලද පුවත් හා තොරතුරු දැනගැනීමට වෙබ්අඩවි කරා යාමට නාගරික මාධ්‍යම පාන්තිකයන් දක්වන ප්‍රවණතාවය වර්ධනය වීම මෙයට හේතුවක් විය හැක.

නායකයා අනුගමනය කිරීමට බලකෙරෙන මාධ්‍ය සංස්කෘතියක් තුළ, ඇතැම් අවස්ථා වලදී හා ආචාර්ය ධර්මවලට අනුව රෙජීමය හා ගමන්කිරීමට ඇතැම් කර්තෘවරුන් හා මාධ්‍යවේදීන් එකඟ නොවන විටදී, අධික දූෂණ, වංචා, කළු සල්ලි සේදීම හා ඥාතිවාදය සමග සිදුවන පවතින පාලනයට මෙලෙස වර්ධනය වන අන්තර්ජාල සංස්කෘතිය නව තර්ජනයක් සේ දිස්වේ.

පාලන රෙජීමය විසින් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟතාවය පළ කළ හා ඊට සමගාමීව පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සංසද සමුළුවේදී මාධ්‍ය නිදහස, සමාජ ජාල හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සමාප්ති එකඟතාවයට එක් කළ දෑ ඔවුන් ගරු නොකරන ප්‍රතිඥාවන් ය. සමාජයට පිටස්තර අධිකාරවාදී රෙජීමයක් ලෙස ඔවුන්ට ගරුකිරීමට නොහැකි ප්‍රතිඥාවන් ය. කෙසේ වෙතත්, ඉදිරි දෙවසරක කාලයක පොදුරාජ්‍ය මණ්ඩලීය එකතුවේ සභාපති ලෙස කටයුතු කරන මෙරට රාජ්‍ය නායකයාගෙන් මෙලෙස එකඟ වූ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිඥාවලට ගරු කරන මෙන් ඉල්ලා සිටීම, පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වැසියන් ලෙස ශ්‍රී ලංකාවේ වැසියන්ගේ අයිතිය හා වගකීම වේ.

සාමකාමී, විවෘත සංවාද හා නිදහස්, වගකිව යුතු මාධ්‍ය ඇතුළු නිදහස්ව තොරතුරු ගලායමටත්, ප්‍රජාතාන්ත්‍රික සංස්කෘතීන් හා ක්‍රියාවලීන් ශක්තිමති කිරීමටත් කටයුතු කරන බවට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 40ක රාජ්‍ය නායකයන් යළි ප්‍රතිඥා දී තිබේ.

සාමය හා සංවර්ධනය සඳහා දායකවීමට මාධ්‍ය හි භූමිකාවේ වැදගත්කම ඉස්මතු කර ඇති ගෞරවය හා අවබෝධය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය කොමිසම විසින් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජීය එකමුතුව හා සමස්ථ සහභාගීත්වය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කරුණක් වන ජනතාව අතර සංවාද ඇති කිරීමෙ හි ලා මාධ්‍ය හි භූමිකාව ද හඳුනාගෙන තිබේ.

සමාජ ජාල මාධ්‍ය විසින් නව පරිමාණයක් හඳුන්වාදී ඇති බවට එකඟ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්, ප්‍රථිඵල ලෙස උදාවිය හැකි ඉඩප්‍රස්ථා හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට පොදුරාජ්‍ය මණ්ඩලීය එකතුව තුළ ඇති සුදුසුම ප්‍රයෝග කරා යාමට එකඟ විය.

මේ අතර, අන්තර්ජාලයෙන් පිටත පවතින මහජන අයිතීන් අන්තර්ජාලය තුළද සුරැකිය යුතු බවත්, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 19 වැනි වගන්තිය හා සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ප්‍රකාශන අයිතීන්ට සම්බන්ධයෙන් අයිතීන් අන්තර්ජාලය තුළද සුරැකිය යුතු බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් එකඟතාවය පළකර තිබුණි.

independent -

0 comments:

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියෙක්ව සිටීම කොතරම් අපහසුද...........? ----- ජොනතන් මිලර්

බ්‍රිතාන්‍ය ජාතික සම්මානලාභී මාධ්‍යවේදියෙකු මෙන්ම චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ජොනතන් මිලර් විසින් ලංකාවෙන් පිටත් වීමෙන් අනතුරුව ලාංකීය මාධ්‍යවේදීන් වෙත ලියූ ලිපියේ සිංහල පරිවර්තනය හුදී ජන පහන් සංවේගය උදෙසා පහත දැක්වේ.
අපගේ ආරක්ෂාවට ශ‍්‍රී ලංකාවේදී දිගින් දිගටම එල්ල වූ තර්ජන හමුවේ මුලින් සැලසුම් කළ දිනට පෙර රටින් බැහැරවීමට අප තීරණය කළ අතර බි‍්‍රතාන්‍ය බලා යන ගුවන් යානයේ සිට මෙය ලියමි.

මා ශ‍්‍රී ලංකාවේ ගත කළ කාලය තුල මා සහ අනෙක් චැනල්-4 හි මාගේ සගයින් හට ශ‍්‍රී ලංකාවේ පොලීසියෙන්, ආගමන විගමන නිලධාරීන්ගෙන් හා රාජ්‍ය බුද්ධි අංශ වලින් දිගින් දිගටම සිදුවූ බාධාකිරීම් නිර්භීත ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් වන ඔබ සැම තුල උපහාසය මිශ‍්‍ර කණගාටුවක් ඇතිකල බැව් මට හොඳාකාරවම දැණින.

මා මෙහි සඳහන් කරන්නේ රෙජීමයේ එවැනි තර්ජන ගර්ජන දිනපතාම අත්විඳින, එහෙත් පැමිණිලි කිරීමට හැකියාවක් හෝ තැනක් නොමැති, ඔබලා කරන්නා වූ කර්තව්‍යය කොතරම් අපහසු එකක්දැයි මට පසක්කර දුන් සැබෑ ජනමාධ්‍යවේදීන් ගැන මිස රෙජීමයේ බාධාකිරීම් බලා ආස්වාදයක් ලබන රෙජීමයට කරන වන්දිභට්ට කම් ශබ්ද නගා වර්ණනා කරන ‘වාර්තාකරුවන්’ ගැන නොවේ.

උණුසුම් සමකාසන්න පාරාදීසයක් වන ඔබලාගේ දිවයිනට පැමිනි බි‍්‍රතාන්‍යයේ අපටද රජයේ මාධ්‍ය මර්දනය නම් අධිශීත සුලඟ සජීවී ව අත්විදින්නට ලැබිණ.

අප රැගෙන උතුර බලා ගමන් කළ දුම්රිය නතර කෙළේ අපත් සමග ආ රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයින්ගේ ඔත්තුවට අනුව රෙජීමයට පක්ෂපාතී උද්ඝෝෂණකරුවන් බැව් අප දනිමු. එසේම අප ලංකාවේ සිටි අවසාන දින කිහිපයේ අප යන යන තැන රජයේ බුද්ධි අංශ වාහන 5 කට වඩා අප පසුපස ආ බවත් සෙනසුරාදා දිනයේ (16* අප සම්මුඛ සාකච්ඡාවක් අවසන් කොට පිටතට එද්දී මොවුන් විසින් ගෙන්වූ මැරයන් පිරිසක් අපට ගල්ගැසූ බවත් අසන ජනමාධ්‍යකරුවන් වන ඔබ කණගාටුවන බව අපට ඒකාන්තයෙන්ම විශ්වාසය.

රජයේ මාධ්‍ය දිගින් දිගටම මා සහ ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කල මා මිත‍්‍ර ‘කැලම් මැක්රේ’ ව කොටි සංවිධානයට සහය දෙන්නන් යැයි දරුණු ලෙස ලෙස හුවා දක්වද්දී අප මෙන්ම ඔබ සැමත් එය පිළිකුලට ලක් කළා යැයි සැක නැත.

එසේම ඔබලාගේ ජනාධිපතිවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ‘අවසරලත් මාධ්‍ය වේදීන්ගේ’ නම් ලැයිස්තුවෙන් අපව ඉවත් කොට තිබූ බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය ප‍්‍රකාශකයා වන ‘රිචඞ් ඌකු’ සහ මාගේ ප‍්‍රවෘත්ති කර්තෘ බෙන් ඩි පියර් විසින් වෙහෙස නොවලා ඔබලාගේ මාධ්‍ය අමාත්‍යවරයාට දිගින් දිගටම කළ පෙරැත්ත කිරීම් නොවන්නට අපට ඒ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොලැබෙන බවද අසන ඔබට, එවෙලේ අපට ඇතිවූ පිළිකුලම දැනේදැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් පළමු දිනයකදී අතර මගදී හමුවූ අවස්ථාවේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ තේ පැන් සංග‍්‍රහය හා සම්මුඛ සාකච්ඡාව නම් මට ලැබුනේ නැත.

අප පත්වූ කරදරකාරී තත්ත්වයන් ගැන ඔබලාට දුකක් සිතුනා නම් ඒ ගැන නොසිතන්න. අප කාර්ය භාරයේදී එවැනි කණගාටු දායක සිදුවීම් තිබුනද, ප‍්‍රීතිමත් සිදුවීම්ද නොතිබුනා නොවේ. සැබවින්ම අප ඔබලාගේ රටට දැඩිව ආදරය කරමු. මාධ්‍ය මගින් කුමක් වාර්තා කළද අපට ලංකාව තුල බොහෝ මිතුරන් සිටී.

බොහෝ සිංහල, දමිළ හා මුස්ලිම් ජනයා අප ගිය ස්ථාන වලදී රහසින් හෝ අපට සහයෝගය දැක්වූයේ අපද පුදුමයට පත්කරමිනි. නොයෙක් විට එය සිනහවක්, හස්ත මුද්‍රාවක් හෝ ඇස වසා කල ඉඟියක් විය.

මර්දනයෙන් යුක්ත ඒකාධිපති රාජ්‍යකදී අප පසුපස එන බුද්ධි අංශ සාමාජිකයින් කැමරාගත කිරීමට වඩා ජනමාධ්‍ය වෘත්තියේදී මා ඉමහත් සතුටට පත්වෙන දේවල් අල්පය. අපට කොළඹ යෝක් වීදියේ සී.අයි.ඩී මූලස්ථානය අසලදී ඒ අවස්ථාවද ලැබිණ.

එය මට ගඩාෆිගේ ලිබියාවේදී, සිම්බාබ්වේ හි දී, මියන්මාරයේදී, චීනයේදී, සිරියාවේදී හා සුඩානයේදී මා ලැබූ අත්දැකීම් සිහිගන්වන්නක් විය.

කෙසේවෙතත් රාජ්‍ය මර්දනයේ ඒජන්තවරුන් වන රාජයේ බුද්ධි අංශ සාමාජිකයින්ට කළ හැකි දේ සුළුවෙන් නොතකන ලෙස මම ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ට අවවාද කර සිටිමි.

බි‍්‍රතාන්‍ය අගමැති හා රාජ්‍ය ලේකම් සහභාගීවන ප‍්‍රධාන ජාත්‍යන්තර සමුළුවක් අතරතුරදී බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදීන් වන අපට ඔබට නැති ආරක්ෂාවක් ලැබෙන බැව් අපි දනිමු. මට සහ කැලම් මැක්රේට ලංකාවට පැමිණීමට පෙර මරණ තර්ජන ලැබුනද මේ මොහොතේ අප අත් අඩංගුවට ගැනීම, වධ බන්ධනයට ලක්කිරීම හෝ මරා දැමීම නුවණට හුරු නැති බැව් රෙජීමය තේරුම්ගන්නට ඇත. ඔබලාගේ ජනාධිපතිවරයා විසින් ‘නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ යැයි හඳුන්වනු ලබන ශ‍්‍රී ලංකාවේදී, ‘නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ රටක කළ හැකි පරිදි, රෙජීමය අපට පනවා තිබූ සීමාවන් ඉක්මවා යෑම වැදගත් යැයි අප සිතන්නේ එබැවිනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් සුරැකීමට බැඳී සිටිනවා යැයි නැවත නැවත කියයි. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසද එයට ඇතුලත්ය. ඔහු එසේ ‘ඇඟට නොදැනී’ බොරු කියන්නේ කෙසේදැයි මට අදහාගැනීමට අපහසුය.

ඔබලාගේ සමහර පුවත්පත් කර්තෘවරුන් හැසිරෙන්නේ දිගේලි කරන ලද එළුවන් මෙනි. පසුගිය වසර 10 තුල ඔබලාගේ රටේ මාධ්‍යවේදීන් 9 දෙනෙකු වත් ඝාතනයට ලක් වී ඇති බව මම දනිමි. ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය ගැන කලින් අනාවැකි පලවූ බව ඇසීම තරම් මට බිය ගෙන දුන් වෙනත් දෙයක් ඇත්නම් ඒ කිහිපයක් පමණි.

ප‍්‍රගීත්ගේ බිරිඳ පැහැරණීමට ලක්වූ ඇගේ සැමියා ඉන්නා තැනක් සොයා ගැනීමට තවමත් උත්සාහ කරනු ඇසීම මට දැඩි වේදනාවක් ගෙන එයි. ඔබ සැවොම ප‍්‍රගීත් ගැන අසා ඇති දේ මම ද විශ්වාස කරමි. එනම් ඔහු තවදුරටත් ජීවතුන් අතර නැති බවයි.

නිව්යෝක් නගරය මූලස්ථානය කරගත් ‘මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ සම්මේලනය’ විසින් (අයිඑෆ්ජේ ශ‍්‍රී ලංකාව මාධ්‍ය නිදහස අතින් රටවල් 179 අතුරින් 162 වෙනි ස්ථානයේ තබා ඇති බවද මම දනිමි.

රාජපක්ෂ සහෝදරයින් පිලිබඳ විවේචනාත්මකව ලිවීම ඔබලාගේ ජීවිතයට තර්ජනයක් වියහැකි බවත් අපට මෙන් නොව ඔබලාට හමුදාව ගැන නිදහසේ ලිවීමට ඉඩ නැති බවත් ‘යුද්ධය’ යනු ශ‍්‍රී ලංකාවේ විවේචනය කිරීමට තහනම් මාතෘකාවක් බවත් මම දනිමි.

‘දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ’ (රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්) සංවිධානයේ වර්ග කිරීමට අනුව පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මකවන රාජ්‍ය අතුරින් පහලම මාධ්‍ය නිදහසක් පවතින්නේ ශ‍්‍රී ලංකාවේය. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යක් යැයි කීමම මහත් උත්ප‍්‍රාසයකි.

නමුත් මේ සියළු බාධා මැද්දේ තම රැකියාව නිවැරදිව කරන්නට සැබෑ ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් ගන්නා නිර්මාණාත්මක උත්සාහය මා ඉතා සතුටට පත්කරයි.

එදා රාජපක්ෂ සමග පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී සිංහල ජනමාධ්‍යවේදියෙක් නැගිට යුද අපරාධ චෝදනා පිලිබඳ ප‍්‍රශ්න කිරීම දැක මා ඉමහත් විශ්මයට පත්විය. අපි සියල්ලෝම ඔහු කළ දෙය දුටිමු. ශ‍්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර අවධානය ඈත්වූ පසු ඔහුට කිසිදු කරදරයක් සිදු නොවේවායි මම ප‍්‍රාර්ථනා කරමි.

මම ඔබලාගේ රටේ ඉරිදා පුවත්පත් කියවමි. ලාංකික ජනමාධ්‍යවේදීන් කොතරම් දක්ෂව, නිර්මානාත්මකව වැඩ කරනවාදැයි මට පසක් වේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියෙක්ව සිටීම කොතරම් අපහසුදැයි මට සැබෑවටම වැටහේ. ඔබ යමකුගේ අදහස් උපුටා ලිවීම සමහරවිට ඔබේත් ඔහුගේත් ජීවිත අනතුරේ දැමීමක් විය හැක. එය සත්‍ය වශයෙන්ම අපහසු කටයුත්තකි. ජනමාධ්‍යවේදියෙක් ලෙස මට ඔබලා පත්වන තත්වය සිතා ගත හැකිය.

අවසානයේ ඔබ වැනි ජනමාධ්‍යවේදීන් හමුවීම මට යහපත් ආදර්ශයක්ම වූ බව කිවයුතුය. මෙවැනි මර්දනයක් මධ්‍යයේ ඔබලා කටයුතු කරන ආකාරයට මම ගරු කරමි.

-ජොනතන් මිලර් විසිනි- (සිංහල පරිවර්තනය -ලංකා ඊ නිව්ස්)

0 comments:

ශ‍්‍රී ලංකාවේ වඩාත් වෛරයට පාත්‍ර​ මිනිසා මා වුණේ කෙසේද යත් --- කැලම් මැක්රේ -

හැම මොහොතකම ඔවුහූ අපේ පස්සෙන් එති. මෝටර් බයිසිකල්වල, වහල ඇරිය වාහනවල නැගී අපේ පස්සෙන් පන්නති. ශ‍්‍රී ලංකාවේ බුද්ධි නිලධාරීන් වනාහී ලෙහෙසියෙන් අතනාරින වර්ගයකි. ඊටත් වඩා ඇලීමෙන් අපව හඹා එන තවත් පිරිසක් වෙත්. එනම්, ආණ්ඩුවට පක්ෂපාත, ‘ස්වයංජාත’ විරෝධතාකරුවන් ය.
‘චැනල් 4’ කණ්ඩායම සහ මා ගුවන් තොටුපළට එන විට එම පිරිස් එහි සිටියහ. එදා ? අපේ හෝටලය ඉදිරියේ ද සිටියහ. උතුර බලා අප දුම්රියෙන් යන විට ද ඔවුහූ සිටියහ. හදිසියේ ලියාගත් බව පෙනෙන විරෝධතා සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටි සීයක් දෙසීයක් පමණ පිරිසක් අප දෙමළ කොටි හිතවාදීන් යැයි චෝදනා කළහ. අපේ දුම්රිය මාර්ගය අවුරා සිටි ඔවුහූ අප උතුරට යමින් සිටි ගමන නතර කොට අපට ආපසු කොළඹ බලා ඒමට සිද්ධ කළහ.

ප‍්‍රශ්නය මෙයයි: සියවස් කාලකට ආසන්න කාලයක් පැවති ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන මාස කිහිපයේ දී, සමහර විට 40,000 ක් හෝ ඊටත් වැඩි අහිංසක සිවිල් දෙමළ වැසියන් ප‍්‍රමාණයක් මියයන්නට ඇතැ යි සිතන, මහා විනාශයකට සහ ක්ෂතියට පත් උතුරු නැගෙනහිර පළාත ගැන අර්ථකථන දෙකක් තිබේ.

ආණ්ඩුව සහ එහි ආධාරකරුවන් කියන්නේ එම ප‍්‍රදේශ දියුණු කොට ඇති බවයි: අළුත් පාරවල් එහි තිබෙන බව, අළුත් පාසල් එහි තිබෙන බව කියති. හිටපු සටන්කරුවන් ‘පුනරුත්ථාපනය’ කොට ඇති බව, මැතිවරණ පවත්වා ඇති බව සහ නව හෝටල් ගොඩනැගෙමින් තිබෙන බව කියති.

එහෙත් එම පළාතේ වෙසෙන දෙමළ ජනයා කියන්නේ වෙනම කතාවකි: එක දිගට විඳවන දුක්ඛිත භාවය, හමුදාව හතර වටින් අරක් ගැනීම සහ භීතිය රජයන වාතාවරණය ගැන ඔවුහූ කතා කරති. ඒ පළාතේ දහස් ගණනකට උන්හිටි තැන් අහිමිව ගොසිනි. ඔවුන්ගේ ඉඩකඩම් හමුදාව එක දිගටම බලෙන් අත්පත් කර ගනිති. ආගිය තොරතුරක් තවම නැති, අතුරුදහන් වූ තරුණයෝ දහස් ගණනකි. ඉතිරිව සිටින බොහෝ ගැහැනුන්, මර්දනයේ අවියක් වශයෙන් ක‍්‍රමානුකූල ලිංගික අපයෝජනයකට ලක්කෙරේ.

මාධ්‍යවේදීන්ට සත්‍යය දැනගත හැක්කේ, තමන්ම එහි ගොස් මේ කියන දේවල් ඇත්ත දැ යි සොයා බැලීමෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අපට රිසි පරිදි රටේ ඕනෑම තැනක යාමට ඒමට නිදහස ඇතැ යි ජනාධිපතිවරයාම සහතික කොට කියා ඇතත්, මෙවර ඇත්තෙන්ම සිදුවුණේ එහි අනිත් පැත්තයි. කලහකාරී දෙතුන් සීයක් ආණ්ඩුවේ ආධාරකරුවන් ලවා එම නිදහස අපෙන් උදුරා ගැනුණි.

සත්‍යය වසං කිරීමට වළිකන කාටත් වන ඇබැද්දිය එයයි. ගල් පැලෙන බොරු කියන්නේ කවුරුන් දැ යි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, එය පසක් කරගත හැකි එක ක‍්‍රමයක් තිබේ. එනම්, ඔබේම දෑසින් දේවල් දැකබලා ගැනීම වළක්වන්නේ කවුරුන් දැ යි සොයා බැලීමෙනි. ඒ සඳහා මෙන්න ඔබට ඉඟියක්: අපව වැළැකුවේ දෙමළ ජනයා නොවේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය මේ නායක සමුළුව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට මෙන්ම පොදුරාජ්‍ය මණඩලයටත්, මහජන සම්බන්ධතා අංශයෙන් ගත් කල, රුදුරු ප‍්‍රයෝගයක තත්වයට ඉතා සීග‍්‍රයෙන් පත්වෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ප‍්‍රකාශනයේ නිදහස වැනි සාරධර්මවලට කැපවුණු අතිවිශේෂ අපේක්ෂාවේ නායක හමුව, ඒවා නිතිපතා උල්ලංඝනය කරන රටක් විසින් හොබවනු ලැබීමම විහිළුවකි. ඊටත් වඩා එය, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනාවන්ට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින විත්තිකාර රටක් වීම, පොදුරාජ්‍ය මණඩලයේ විශ්වසනීයත්වයට දිරවා ගත හැක්කක් වන්නේ ද නැත.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව අනුව ඔහුට ස්වර්ණමය කුසලානයක් විය යුතුව තිබූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉතා සීග‍්‍රයෙන් හලාහල විසක් වෙමින් තිබේ. එහි වගකීම ආණ්ඩුවේ ආධාරකරුවන් විසින් ‘චැනල් 4’ නාලිකාව මත පැටවීම විකාරයකි. විශේෂයෙන්, ‘චැනල් 4’ ප‍්‍රවෘත්ති නාලිකාව සහ, කැකෑරෙන වෛරයකින් දැවෙමින්, එම ක්‍රෝධය මා වෙත පැටවීම විකාරයකි.

මෑතක දී මා විසින් නිෂ්පාදනය කොට මීට සති දෙකකට කලින් විකාශය කළ ‘නෝ ෆයර් සෝන්’ චිත‍්‍රපටය තමා නැරැුඹූ බවත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ලංකාවේ ජනාධිපතිවරයාගෙන් ඇසීමට තමාට බරපතල ප‍්‍රශ්න ගණනාවක් ඇති බවත්, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රකාශ කොට සිටීම, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රික සම්ප‍්‍රදාය තුළ අපූර්වත්වයක් දරණ කාරණයක් වන අතර, එය අපේ සතුටට ද හේතුවන්නකි. එය ඉතා වැදගත්, එසේම විස්මය දනවන ප‍්‍රකාශයකි. එහි අවාසනාවන්ත පැත්ත වන්නේ, ඒ හේතුවෙන් අපව ලංකාවේ දී තව තවත් අප‍්‍රසාදයට සහ වෛරයට පාත‍්‍ර වීමයි.

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනිය මා කොටි හිතවාදියෙකි යි හැම ?කම දිව්රා කියයි. රජයේ ප‍්‍රකාශකයෝ ද එම අදහසම ප‍්‍රතිරාව කරති. මා ඇතුළු ‘චැනල් 4’ නාලිකාව, විනාශයට පත් කොටි සංවිධානයෙන් නඩත්තු කෙරෙති යි කියති. යුද අපරාධ සම්බන්ධයෙන්, මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගැනීම සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අප විසින් නිරතුරුව කොටි සංවිධානයටත් චෝදනා කොට තිබීම ඔවුන්ගේ අවධානයට ලක් නොවේ. මේ අභූත චෝදනා ඉතා අප‍්‍රසන්න ය. ඒ මගින් අප වෙත එල්ල කෙරෙන මරණ තර්ජනවලට ද අනුබල සපයා තිබේ. මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ සිටින වඩාත් වෛරයට ලක්වන මිනිසා මා විය හැකිය. මා දැන් කීර්තිමතෙකි. ඔවුන්ට අවශ්‍ය කරන්නේ මාව රටින් පන්නා ගැනීමටයි.

එහෙත් මේ තර්ජන ගර්ජන සහ පිස්සුවට පස්සෙන් ඇති, ‘කැලම් මැක්රේගේ ගමනක අවසානය’ වැනි පුවත්පත් සිරස්තල පස්සෙන් ඇති, වෙනස් තත්වයක් ද පෙනෙන්ට තිබේ. එය මුලින්ම දුටුවේ ‘චැනල් 4’ ප‍්‍රවෘත්ති අංශයේ ජොනතන් මිලර් ය. අප පසු කර යමින් සිටි වාහනයක ගමන් ගත් කෙනෙක් අපව හඳුනාගෙන සෙස්සන්ට හොරෙන් අපට ප‍්‍රශංසාත්මක සංඥාවක් කෙළේය. එය නැවත වතාවක් සිදු විය. තවත් අවස්ථාවල, සැක කටයුතු පිටස්තර අය නැති තැන්වල අපව දකින අය අප වෙත පැමිණ තමන් සමග ඡයාරූපයක් ගැනීමට ආරාධනා කළහ. දිනෙන් දින අත්තනෝමතිකත්වයට යමින් සිටින පාලක පවුලක් පිටස්තර වශයෙන් හෝ මට්ටු කිරීම දැකීමෙන් සතුටට පත්වන විශාල ජනකායක් රටේ වෙසෙන බව ඉතා පැහැදිළි ය.

*2013 නොවැම්බර් 16 වැනි දා ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ A Film of Alleged War Crimes.. How I became Sri Lanka’s Most Hated Man ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

0 comments:

දේශපාලනය සහ මාධ්‍ය

ලංකාව මේ තරම් අන්ධකාරයක් සහිත රටක් බවට පත්වීමට එක් හේතුකාරකයක් ලෙස මේ රටේ මාධ්‍ය සමාජයද විශාල කාර්යභාරයක් ඉටුකොට ඇති බව තිත්ත නමුත් ඇත්තය. මිනිසුන් අතර සංහිඳියාව, සහජීවනය හා ප‍්‍රඥාලෝකය වර්ධනය කරනවා වෙනුවට, ඔවුන් අතර පරතරය හා ගැටුම් වැඩිකිරීමටද, මුලාවේ හා අවිද්‍යාවේ අන්ධකාරය වෙත ඔවුන් ඇදගෙන යෑමටද අපද සාමාජිකයන් වන මේ මාධ්‍ය සමාජය අඩුවක් නැතිව දායක වී තිබේ.

මේ කනගාටුදායක සත්‍යය නැවත වතාවක් තේරුම් ගන්නට මේ දිනවල එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සමහර විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කටයුතු කරන විවාදාපන්න ආකාරය හොඳ නිදර්ශනයක් සපයාදී තිබේ.

තමන් එකම මාධ්‍ය සමාජයක ජීවත්වන්නේයැ’යි කියන අදහසක ගැලීසිටින නිසා එකිනෙකා කෙරෙහි ප‍්‍රමාණවත් තරම් විචාරශීලී හා විවේචනාත්මක නොවීමේත්, අප ගැනම සංවාදයක් ඇතිකර නොගැනීමේත් කනගාටුදායක සම්ප‍්‍රදායයක් අපි පවත්වාගෙන යමින් සිටිමු. ඒ නිහඬතාවට වන්දියක් වශයෙන් මේ වනතෙක් රට ගෙවා ඇති වන්දිය සුළුපටු නැත. එහෙත්, මාධ්‍ය සදාචාරය ගැන හා වෘත්තීය ගරුත්වය ගැන මෙන්ම මාධ්‍යවල සීමා ගැනද විවේචනාත්මක විග‍්‍රහයකට අප දැන්වත් නොයන්නේ නම්, මුළු මහත් මාධ්‍ය සමාජයේම සමාජ පිළිගැනීම අප විහින් නැතිකරගන්නවාට අමතරව ලාංකික සමාජයද විනාශයට පත්කිරීමේ වරදෙහි කොටස්කරුවන් වීමේ රුදුරු පාපකාරී හැඟීමෙන් අපටම ගැලවෙන්නට නොහැකි වනවා ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය මේ තරම් නරක තත්ත්වයට පත්වීමට රටේ ප‍්‍රධාන විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ඍජුව හෝ වක‍්‍රව හෝ වගකිව යුතු බව සටහන් කර තැබිය යුතුය.

මාධ්‍යයකට දේශපාලනය කරන්නට ශුද්ධවූ අයිතියක් තිබේ. තමන් කැමති දේශපාලන මතයක් දැරීමටද, පැත්තක් ගැනීමටද, කැමති පක්‍ෂයකට හෝ ව්‍යාපාරයකට උදව් කිරීමටද, තමන් කැමති දේශපාලන නායකත්වයක් වෙනුවෙන් පෙනී සිටීමටද මාධ්‍යයකට අයිතියක් තිබේ. ඒ ගැන විවාදයක් නැත. එහෙත්, ඒ අයිතිවාසිකම් භාවිත කළ යුත්තේ මාධ්‍ය පිළිබඳ වෘත්තිකභාවයේ බැ?රුම් සීමාවන් තුළ බවට සැකයක් තිබිය නොහැකිය. දේශපාලන පැත්තක් ගැනීමේ නාමයෙන් තමන්ගේ මාධ්‍යවල මූලික මහජන යහපත සඳහාවූ මූලධර්ම විනාශ වනවාද, තම වෘත්තීය ජීවිතයේ ප‍්‍රමිතීන් පරදුවට තැබෙනවාදැ’යි සිහිකල්පනාවෙන් කටයුතු කිරීම මාධ්‍ය අයිතිකරුවන්ගේ වගකීම නොවේ. ඒ වගකීම ඇත්තේ මාධ්‍යකරුවන් වෙතය. කනගාටුදායක ඇත්ත නම්, මේ සමහර ආයතනවල මාධ්‍යවේදීන් සිය වෘත්තීය ගරුත්වය අයිතිකරුවන්ගේ පහළ කැලෑසියේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් උගස් කර ඇති බවය. එය මාධ්‍යකරුවන්ගේ කශේරුව පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන්නේද?

වාර්තා කිරීම තම වගකීමයැ’යිද තීරණය කිරීම ග‍්‍රාහකයාගේ වගකීමයැ’යිද තමන්ම කියන යම් මාධ්‍යයක් වේ නම්, තමන් විසින්ම තම වාර්තා කිරීම කෙරෙහි බලවත් වගකීමක් පටවාගන්නා බව තේරුම් ගත යුතුය. එනම් සිද්ධියක සියලූ පැති වාර්තා කිරීමයි. තමන් වාර්තා කරන්නේ ග‍්‍රාහකයාට තීරණය කරන්නට නම්, සියලූ පාර්ශ්වයන් ග‍්‍රාහකයා වෙත ගෙනඒමට ඒ මාධ්‍යය අවංක විය යුතුය. එසේ නොමැතිව ග‍්‍රාහකයා වෙත නොනවත්වාම, මාධ්‍යයේ සියලූ ආචාර ධර්ම හෝදාපාලූ කරමින්, කරදරයක් වන තරමට ඉදිරිපත් කරන්නේ එක් පාර්ශ්වයක් ගැන හා ප‍්‍රතිපක්‍ෂ පාර්ශ්වයකට එරෙහිව නම් ග‍්‍රාහකයා නිවැරදි තීරණයක් ගන්නේ කෙසේද? මේ තමන් විසින්ම නිර්මාණය කරගත් උද්‍‍ේයා ්ග පාඨ තුළ තමන්ම අසමත්වන හැටිය.

මාධ්‍ය සමාජය මේ පසුබිම මත තමන් දෙසම, නැවත හැරී බැලීමේ බැරෑරුම් ව්‍යායාමයකට දැන්වත් යා යුතුය. නොඑසේ නම් මාධ්‍ය ආයතන ඇත්ත මහජනයාගේ ප‍්‍රකෝපයට එල්ලය වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

රවය -

0 comments:

'මියගිය අම්මාට ගෞරව දැක්වීමට යද්දී' ජෙයපාලන් අත් අඩංගුවට

සම්මාන ලාභී දෙමළ කිවි ජෙයපාලන් වන්නියේ දී අත් අඩංගුවට ගන්නා ලද්දේ සිය පරම්පරා ගත ඉඩමේ පිහිටි මෑණියන්ගේ සුසානය ට ගෞරව දැක්වීමට ගිය අවස්ථාවේ දී යයි බිරිඳ පවසයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ කවියා සිකුරාදා අත් අඩංගුවට ගන්නා ලද්දේ වීසා කොන්දේසි උල්ලංඝනය කොට ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා ඇති හෙයින් බවයි.

රජයේ කරුණු දැක්වීමට තමන්ට එකඟ විය නො හැකි බවයි වාසුකී ජෙයපාලන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

නෝර්වේ සිට බීබීසීයේ දෙමළ සේවයේ සීවගන් පූපාලරත්නම් හා කතා කළ ඇය ප්‍රකාශ කළේ 2006 දී මව මිය යාමෙන් අනතුරුව ව අයි ස ජෙයපාලන් කවියා ශ්‍රී ලංකාවට ගිය පළමු වතාව මෙය බවයි.

රවුෆ් හකීම්
ඔහු කිසි වැරදි දෙයක් පවසා ඇතැයි තමන් විශ්වාස නො කරන බව අධිකරණ අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ යයිද වාසුකී පවසන්නීය.

‘රවුෆ් හකීම් ඇමතිතුමාත් කියල තියෙනවා යාපනයේ එයා කරපු කතාවේ ජාතික සමගියට විරුද්ධව මුකුත් කියල නැහැ කියලා,’ ඇය කියා සිටියාය.

රවුෆ් හකීම් සහ බෂීර් සේගු දාවුද් අමාත්‍යවරුන් මෙන්ම කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයත් කවියාගේ නිදහස වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව වාසුකී බීබීසී යට කීවාය.

ජෙයපාලන් මාතාව මිහිදන් කොට ඇති වන්නියේ මාන්කුලම්හි වඩකාඩු වෙත යද්දී වන්නිවිලාන්කුලම් හි දීයි ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

රැඳවුම් භාරයේ සිටිය දී රෝගාතුර වීම හේතුවෙන් හැත්තෑ හැවිරිදි ජෙයපාලන් කවියා සෙනසුරාදා රාත්‍රියේ රෝහල් ගත කැරුණු බවත් ඔහුගේ බිරිඳ කියා සිටී.

ලේඛකයෙක් සහ නළුවෙක්
1986 සිය මුල්ම කාව්‍ය සංග්‍රහය එලි දැක්වූ ෂන්මුගපිල්ලේ ජෙයපාලන් මේ වන විට ලියා පළ කළ කවි සහ කෙටිකතා පොත් ගණන දොළහක්.

යුද්ධය ඇවිලී යත් ම 1988 දී නෝර්වේ බලා පළා ගොස් එහි ජීවත් වූ ජෙයපාලන් පසු කලෙක රංගනයට ද පිවිසුණේ ය.

නෝර්වීජියානු ලේඛක සංවිධානය විසින් 1995 දී හොඳම සංක්‍රමණික කවියා ලෙසින් සම්මානයට පාත්‍ර වුයේත් ජෙයපාලන්.

‘ආඩු කලම්’ දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටයේ රඟපෑමට ජෙයපාලන් 2011දී පනස් අට වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ විශේෂ ජුරි සම්මානයකින් පුද ලැබී.

1971 අප්‍රේල් කැරැල්ල සහ 1980 වැඩ වර්ජනය ඇතුළු වස්තු ද විෂය කොට ඔහු ලියූ කවි, සිංහල ඇතුළු විවිධ භාෂා වලට පරිවර්තනය වී තිබෙන අතර ඔහුගේ ලේඛන සමහරක් දකුණු ඉන්දීය විශ්ව විද්‍යාල කිහිපයක පාඨ ග්‍රන්ථ අතර වෙයි.

0 comments:

මන්දනාගේ නිවසට මැරයන් කඩාවැදුණේ කාගේ උවමනාවටද?

චන්දන සිරිමල්වත්ත
සිදුවීම් සිය ගණනක් වූ පසුවත් විරෝධයක් නැති අපේ රටේ මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම හා රොමේෂ්ගේ නිවහනට සන්නද්ධ මැරයන් කඩාවැදීම සාමාන්‍යකරණය වී තිබේ. යුද හමුදා සොල්දාදුවන් ලෙස සිටි පිරිසක් විසින් සිදු කළ මේ ‘වික‍්‍රමය’ ගැන පුවත්පත් සාකච්ඡාවකින් හෝ ජනමාධ්‍ය නිවේදනයකින් සෑහීමකට පත් වන්නට බොහෝ දේශපාලන පක්ෂවලටත් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සියලූ දෙනාටම පෙර නිවේදනය කළේ මෙය කොල්ලකෑමක් මිස අන්යමක් නොවන බවයි. කිසිවකු ඒ ගැන අදහස් පළ කරන්නට පෙර නියෝග අනුව පොලිසියේ අදහස මෙසේ කියන්නට ඔහුට සිදුව තිබුණා විය හැකිය.

සිදුවීමට සම්බන්ධ හමුදා භටයන් ගැන වෙබ් අඩවිවලින් කල්තියාම ඒ තොරතුරු මුදා හරින ලදී. ඉන්පසුව ඒ තොරතුරු සත්‍ය බව බලධාරීන්ට පිළිගන්නට සිදු විය. අපරාධයක් සිදුව තිබිය දී ඊට සම්බන්ධ චූදිතයන් හසුවී සිටිය දී එකී පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කරන්නට ඔවුන් අකැමැති වූයේ ඇයිදැයි සැකයකි. හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා බොහෝ ප‍්‍රමාද වී කියා සිටියේ මේ සිදුවීමට සම්බන්ධ සොල්දාදුවන් හමුදාව හැරගොස් බොහෝ කල් බවයි. එයින් අතපිසදා ගන්නට ආරක්ෂක අමාත්‍යාංශයට හැකි යයි කිසිවකු කල්පනා කරනවා විය හැකිය.

දැන් මේ පුවත ගැන මෙරට ජනමාධ්‍යවල ප‍්‍රමාණවත් තොරතුරු පළ වූවාදැයි ගැටලූවක් ඉතිරිව තිබේ. සතිඅන්ත බොහෝ පුවත්පත්වලට එය ආවරණය කරන්නට නොහැකි වූයේ ඒ වන විටත් පුවත්පත් මුද්‍රණය කර අවසන්ව තිබුණු බැවිනි. එහෙත් ඉරිදා බෙදාහරින පුවත්පත්වල ද මේ සිදුවීම ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු වූයේ නැත. ඒ නිසාම මෙය තිරය පිටුපස සාකච්ඡුාවකින් යට ගසන්නට නියමිත බව නම් පැහැදිලිය. මින් පෙර ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය වෙත එල්ල වූ ප‍්‍රහාරවල දී සැකකරුවන් කිසිවකු හසුකර ගන්නට අසමත් වූ අවස්ථා සිය ගණනකි. එහෙත් මන්දනාගේ සිදුවීමේ දී කතාව බොහෝ වෙනස්ය. ඒ නිසාම අපි ඒ කතාව කෙටියෙන් ලියා තබන්නෙමු.

බම්බලපිටිය සාන්ත පාවුලූ බාලිකා විදුහලට ආසන්නයේ ඩික්මන් පාරේ පිහිටි නිවස දෙසින් වෙඩි හඬ ඇසුණි. ගැහැනුන් පිරිමින් බියපත්ව විලාප දෙන හඬ නිසා සිය ප‍්‍රදේශයේ සෙසු නිවෙස්වල ජීවත් වූ නාගරිකයෝ බියපත් වූහ. සිදු වන්නේ කුමක්දැයි කුතුහලයට පත් වූහ.

වෙඩිහඬ ඇසුණු නිවසේ ගේට්ටු කණුවේ M.M.ඓස්මඉල්  යනුවෙන් නිවෙස් හිමියාගේ නම සලකුණු කර තිබේ. සන්ඬේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන මන්දනාගේ නිවස එයයි. ඇය සිය ජීවන සහකරු රොමේෂ් සමඟ එම නිවසේ ජීවත් වූවාය.

හරියටම වේලාව කිව නොහැකි නමුත් පසුගිය දා අලූයම 2.00ට පමණ තම කාමරයේ ආගන්තුක කිසිවකු සිටින බවට මන්දනාට දැනුණි. සිය සහකරුවා එවෙලේ නිවසේ නොසිටි නිසා ඇය බියපත් වූවාය. ‘‘කවුද ඔතන?’’ යනුවෙන් ප‍්‍රශ්න කිරීමට ඇය ධෛර්යය උපදවා ගත්තාය.

පිහියක් හා මන්නයක් ගත් දෙදෙනකු ඇය යටත් කරගත්හ. මුහුණුවල ඇස් පමණක් ඉතිරි වන ලෙස ආවරණය කරගෙන සිටි ආගන්තුකයෝ තර්ජනාත්මකව දන්වා සිටියේ කෑ ගැසීමෙන් ඵලක් නොවන බවය. කපා කොටා මරාදමන්නට තරම් වරදක් තමන් කිසිවකුට කර නැති බව විශ්වාස කළ ඇය ඔවුන්ට කීවේ මුදල්, රත්තරන් බඩු වැනි වටිනා සියල්ල ගන්නා ලෙසත් නිවැසියන්ට හිරිහැර නොකරන ලෙසත්ය.

තමන් පැමිණියේ ඇයට සතුරු කෙනෙකුගේ කොන්ත‍්‍රාත්තුවකට බව පවසමින් එවර ආගන්තුකයෝ සුහදව කතා කරන්නට වූහ. ඒ වන විට ඇගේ පියා සහ මව අවදිව සිදු වෙමින් තිබෙන දෙයින් භීතියට පත්ව නිහඬව සිටියහ. ආගන්තුකයන්ගේ නියෝග අනුව මන්දනාට ඇගේ පෞද්ගලික ලිපිගොනු පෙන්වන්නට සිදු විය. මුදල් හා රත්තරන් බඩුවලින් සෑහීමකට පත් නොවී වෙනත් යමක් ඔවුන් සොයන බව ඇය තේරුම් ගෙන තිබිණි. පැය තුනකට ආසන්න කාලයක් ගෙවී ගියේය.

පෙරදින සවස නිවසෙන් බැහැරව ගිය රොමේෂ් නිවෙසට ළඟා වූයේ පාන්දර 5.00ට පමණය. පවුලේ සෙසු සාමාජිකයන් අවදි නොකරනු පිණිස මන්දනාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් ඔහුට දැනගන්නට ලැබුණේ එය ක‍්‍රියාවිරහිත බවය. නිවසේ ගේට්ටුව විවෘතව තිබීමත් මේ තරම් උදයේ විදුලි පහන් සියල්ල දල්වා තිබීමත් නිසා ඔහුට වැටහුණේ අසාමාන්‍ය යමක් සිදු වෙමින් තිබෙන බවය. දින කිහිපයකට පෙර නිවස ඉදිරියේ බළලකුගේ මළකුණක් දමා ගොස් තිබීමත් පෙර දිනයේ තම මෝටර් රථයේ ටයරය කපාදමා තිබීමත් නිසා ඔහුට යම් අනතුරක සේයාවක් දැනුණි. දොරට තට්ටු කිරීමෙන් ද ප‍්‍රතිචාර නොලැබුණු නමුත් නිවස තුළ ආගන්තුකයන්ගේ කටහඬ ඔහුට ඇසුණි. වහාම තම ජංගම දුරකථනයෙන් 119 අංකය ඇමතූ ඔහු තම නිවසේ කිසියම් අනතුරක් බවට පැමිණිලි කළේය.

පොලිස් කණ්ඩායම නිවෙස වට කළ අතර තමන් කොටු වී ඇති බව වටහා ගන්නා විට ආගන්තුකයෝ වියරු වැටුණාහ. නිවස තුළට ඇතුළු වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකුගේ හිසට මන්නා පහරක් එල්ල කර පලා යාමට ඔවුන් ගත් උත්සාහය ව්‍යර්ථ විය. පොලිස් වෙඩි පහරින් තුවාල ලැබ පලා ගිය අයකු අසල මාවතක දී පොලිසියට හසු විය. අනෙක් සිව් දෙනෙක් නිවස තුළදී ම අත්අඩංගුවට පත් වූහ.

මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම ජනමාධ්‍ය වෘත්තිය තුළ කැපී පෙනුණු කාන්තාවකි. සන්ඬේ ලීඩර් පුවත්පතේ ඇය කළ කාර්ය භාරය වෙනුවෙන් කිහිප වරක්ම ජනමාධ්‍ය සම්මාන ලැබූ ඇයට සතුරන් සිටියේ නම් ඒ ඇය කළ හෙළිදරව් කිරීම් නිසා කුපිත වූවන් බව පැහැදිලිය. ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ඇය කළ හෙළිදරව් කිරීම් අතුරින් කවුරුන් විසින් ඇය ඉලක්ක කළාද යන්න විසඳිය යුත්තේ අපරාධ පරික්ෂණයකිනි.

එහෙත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ ඉතිහාසයේ අලූත් තත්වයක් ඇතිව තිබේ. දැන් අපරාධකරුවන් සිව් දෙනකු අත්අඩංගුවේ සිටී. තමන් පැමිණියේ කොන්ත‍්‍රාත්තුවකට යැයි කී ඔවුන්ගෙන් මේ අපරාධය පසුපස සිටියේ කවුදැයි හෙළිදරව් කරගැනීම අපහසු නොවනු ඇත. ලංකාවේ පොලිසිය මේ දක්වාම එවැනි අපරාධ දින කිහිපයකින් හෙළිදරව් කළ අවස්ථා තිබේ. එහෙත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ කිසිවකට අදාළ පසුබිම හෙළිදරව් කෙරුණේ නැත. මේ දක්වාම එබඳු අපරාධකරුවන් නිදැල්ලේ සිටී. මන්දනාගේ නිවසේ සිදුවීමෙන් දින ගණනාවක් ඉක්ම ගොස් ඇත. එදා පැමිණි පිරිසගේ නම් හා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු මේ වන විටත් අනාවරණය වී හමාරය. එහෙත් පොලිසිය කියන්නේ මෙය කොල්ලකෑමක් බව පමණි. අපරාධය හෙළි වූ මුල් පැය කිහිපය තුළම එය කොල්ලකෑමක් බව කියන්නට තරම් පොලිසිය ‘දක්ෂ’ වූයේ කෙසේද? අපරාධය පිළිබඳ නිසි ගවේෂණයක්, අපරාධ පරීක්ෂණයක් සිදු නොකොට එවැනි නිගමන ප‍්‍රකාශ වීමෙන් පෙනී යන්නේ පොලිසියට මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවය. කිසියම් බලවේගයක් නිසා පොලිසියට අතපය හකුළා ගෙන සිටින්නට සිදුව ඇත.

මන්දනාගේ නිවසට කඩාපැන ඇගේ ලිපිගොනුවලින් කුප‍්‍රකට ‘ක‍්‍රිෂ් ගනුදෙනුව’ ගැන යමක් සොයා ගැනීමට සන්නද්ධ කණ්ඩායමක් යෙදවූ ‘කොන්ත‍්‍රාත්කරු’ පොලීසියට ද කොන්ත‍්‍රාත්තුවක් දී ඇති බව නම් අනුමාන කළ හැකිය.

- ජනරළ

0 comments:

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා එක්ව සිටිති. මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ ආරාධිතයින් සඳහා පමණකි.

හදිසියේම එතැනට ආගමන විගමන නිලධාරීහු සහ තවත් නිලධාරීහු පිරිසක් කඩා පනිති. ඉන් එක් අයකු වැඩ මුළුවට සහභාගි වන ජනමාධ්‍යවේදීන්ගේ ජායාරූප ගැනීමට පටන් ගනී. එවිට ජනමාධ්‍යවේදීහු විරුද්ධත්වය පළ කරති. ‘අපි පොලීසියෙන්‘ යැයි එම නිලධාරියා කියන්නේ එවිට ය. මෙම නිලධාරීන් අයත් වන්නේ පොලීසියේ බුද්ධි අංශයට බව ජනමාධ්‍යවේදීන් තේරුම් ගන්නේ එවිට ය.

මෙම සිදුවන්නේ කුප්‍රකට අඥාදායකයකු රට පාලනය කරන සිම්බාබ්වේහිදී හෝ යුද්ධ අග්නි ජාලාවෙන් වැසී ගිය සිරියාවේ දී නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රට පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත ගොඩ නැගුණු පොදු රාජ්‍ය මන්ඩලයේ නායකත්වය ගැනීමට සැදී පැහැදී සිටින මාධ්‍ය නිදහස සකලාකාරයෙන්ම තහවුරු කර ඇතැයි කියන ශ්‍රී ලංකාවේදී ය.

එළෙස කඩා වැදුණූ ආගමන විගමන නිලධාරීහු විදේශිකයින්ගේ ගමන් හැඳුනුම් පත් සිය බාරයට ගෙන ජාත්‍යන්තර ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමයේ ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකොලීන් පාර්ක් සහ ජේන් වතර්ටන් නොනිල අත් අඩංඟුවට ගනිති. ඔවුන්ට විරුද්ධ චෝදනාව වන්නේ සංචාරක වීසා ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණ ජනමාධ්‍යවේදී වැඩ මුළුවකට සහභාගි වූයේ ය යන්නයි.

නමුත් අවසානයේ දී ආගමන විගමන නිලධාරීන් ඇයට කියා සිටිනනේ ඔවුන්ට මහත් අත් වැරදීමක් සිදු වූ බවයි. පොලිස් බුද්ධී අංශ කිසිවක් නොකියාම ඔවුන්ට යන්නට හැරියේ ය.

එනමුත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යළි යළි සිය කකුළ කටේ ඔබා ගැනීම පුරුද්දක් කර ගෙන සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මෙම ජනමාධ්‍යවේදීන් දෙදෙනා ශ්‍රී ලංකාවට හතුරැකම් කරන බැවින් අත් අඩංඟුවට ගත් බවය. නමුත් මේ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලම ලබා ගෙන ඇත්තේ සංචාරක වීසා ද නැත් ද යන්න නොවිමසා මේ ජැකොලින් පාර්ක් සමඟම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධ සාකච්ජාවකට 2007 වසරේදී සහභාගි විය.

ජනමාධ්‍ය වැඩමුළුවට කඩා පැන ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ නියෝජිතයින් අත් අඩංඟුවට ගන්නා ලද්දේ සංචාරක වීසා පිළිබඳ ප්‍රශ්ණයක් උඩය යන බොරුව කෙහෙළිය රඹුක්වැල්ලගේ එම ප්‍රකාශයෙන් පැහැදිළි විය. මෙම කඩා පැනීමෙන් සහ පසුව කෙරුණූ දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් පැහැදිළි වූයේ මේ වනාහී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස මර්දනයට ලක් කිරීමේ තවත් එක් පියවරක් බවයි. අනෙක් අතට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවට පැමිණ සම්මන්ත්‍රණ යනාදිය පවත්වන්නේ ද සංචාරක වීසා ලබා ගනිමින් බවට කළ මෙරට ප්‍රධාන දේශපාලන විපක්ෂය කළ චෝදනාවට කෙහෙළිය රඹුක්වැල්ල තවම උත්තර බැඳ නැත.

පසුව අත් අඩංඟුවට ගැනීම අත් වැරදීමක් යැයි කියා සිටි ආගමන විගමන නිළධාරීහු සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සමඟ එක්ව දින දෙකක් පුරා පැය 15ක් ජැකොලීන් පාර්ක්ගෙන් ප්‍රශ්ණ කළහ. මෙම ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීහු ජැකොලයින් පාර්ක් පසුගිය පසලොස් වසර තුල ශ්‍රී ලංකාවට පැමිණි දහහත්වතාවක තොරතුරු අඩංඟු ලිපි ගොනු රැගෙන ආහ. ජනමාධ්‍ය ක්‍රියාධරයන් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය කොතෙක් බිය ජනක විස්තීර්ණ විමසිල්ලක් පවත්වා ගන්නේ ද යන්න එමගින් පැහැදිළි වී යැයි පසුව ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය කියා සිටියේ ය. මෙයට අමතරව පොලිස් නිලධාරීහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ සහ ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන සුනිල් ජයසේකරගෙන් ද පැය හයක් පුරා ප්‍රශ්ණ කළහ.

ප්‍රශ්ණ කිරීම් අතරතුර ජැකොලින් පාර්ක්ගේ පරිඝණකයට සම්බන්ධ කරන ලද උපකරණයක් මගින් එහි වූ සියළු දත්ත ලබා ගත් පොලිස් බුද්ධි අංශය යළි පාවිච්චියට ගැනීමට බැරි වන සේ පරිගණකයේ වූ සියළු දත්ත විනාශ කර දැමූහ.

කවරකුගේ පරිගණකයක ඇති දත්ත පරීක්ෂා කිරීමට නම් පොලීසිය උසාවියෙන් අවසරයක් ලබා ගත් යුතුය. මන්ද යත් එය නිවෙසකට පැමිණ නිවසෙහි ඇති ලිපි ගොනු පරීක්ෂා කිරීම හා සමාන කරුණක් නිසා ය. වැඩ මුළුවකට කඩා පැන එහි සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජායාරූප බලයෙන් ගැනීමට ද පොලීසියට නීතියෙන් අවසරයක් නැත.

මේ වනාහී ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. මෙරට ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂවරුන්ගේ කැලෑ නීතිය බව අපි හැම අත් දැකීමෙන්ම දනිමු. එසේ නමුත් රාජපක්ෂවරු ලෝකයට කියන්නේ වෙනත් කතාවකි. එනම් ශ්‍රී ලංකාව වනාහී නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පරාදීසය කියා ය.

මෙම අත්අඩංඟුවට ගැනීම ද දීර්ඝ ප්‍රශ්ණ කිරීම් ද විසින් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුව අභියස යලිත් වරක් හෙළිදරව් විය.

ජනමාධ්‍ය වැඩමුළුව කඩා කප්පල් කර නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් බිය ගන්වනු පිණිස පොලිස් බුද්ධි අංශ සමඟ ආගමන විගමන නිලධාරීන් වැඩමුළුවට කඩා වැඳුණු දිනයේ ම පැරිසිය මූලස්ථානය කර ගත් දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට විවෘත ආයාචරනයක් කරමින් මර්දනයට මුහුණ දී සිටින දේශීය සහ විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන සේ ඉල්ලා සිටියේ ය.
අන්තර් ජාතික ජනමාධ්‍ය වාර්තා කළේ මෙම සමස්ත සිදුවීම පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුව ආසන්නයෙහි ශ්‍රී ලංකාන්ඩුව විසින් කරන ලද අනතුරු ඇඟවීමේ සංඥාවක් බවයි. ප්‍රශ්ණ කරන ලද ආකාරය බිය ගන්වන සුළු වූ බවත් තමන් එළඹෙන පොදු රාජ්‍ය මන්ඩල සමුළුවට හමුවෙහි අනවශ්‍ය පශ්න ඇති කරන බවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් චෝදනා කළ බවත් එම ජනමාධ්‍යවේදීන් දෙදෙනා කීවේ යැයි ද අන්තර් ජාතික ජනමාධ්‍ය වාර්තා කළේ ය. එකී ප්‍රශ්ණ කිරීම් සිදු කෙරුනු ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය නිදහස සඳහා ක්‍රියා කරන පිරිස් වෙත එළඹිය හැකි අනතුරු ද ඔවුන් පසු පස මර්ධන යන්ත්‍රය හඹා යන අන්දම ද දක්නට ලැබුණේ යැයි ඔවුන් දෙදෙනා සඳහන් කළ බව ද එම වාර්තාවන් ලොව පුරා රැගෙන ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම ජනමාධ්‍ය සංවිධානය වන ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිදුවීම විසින් පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුව අභියස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීන් මුහුණ දී සිටින අනතුරු දායක තත්ත්වය පෙන්නුම් කරන බවයි. මෙම මර්ධනයට මුහුණ දී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිර්භීත කැපවීම ද එම ප්‍රකාශයෙහි අගය කෙරුණි. එය කියා සිටියේ මෙවැනි බිය ගැන්වීම් මැද පවා පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව ප්‍රසිද්ධ ආයාචනයක් කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමත්ව ඇති බවයි.

රටවල් 106ක දශ ලක්ෂයකට ආසන්න සාමාජිකත්වයක් ඇති බ්‍රසල්හි මූලස්ථානය කර ගත් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශයක් කරමින් මෙම මර්දනකාරී පියවරයන් හෙළා දකිමින් සිය නියෝජිතයින් කිසිදු වීසා නීති කෙළෙසීමක් කර නැතැයි ශ්‍රී ලංකාන්ඩුවට අභියෝග කළා ය. එය තවදුරටත් කියා සිටියේ පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසන් වීමෙන් පසු විසංවාදී අදහස් මර්දනය කරමින් නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින්ට තර්ජනකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

නිමල්කා ප්‍රනාන්දු සහෝදරිය මරා දැමිය යුතු බවට රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන ක්‍රෝධ ව්‍යාපාරය ද මෙම මර්දනකාරී තත්ත්වයේම දිගුවකි. මෙම දේශපාලන ඝාතකයින් විසින් මැඩළීමට තැත් දරන්නේ ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියයි.

මෙම සමස්ත සිදුවීම විසින් පෙන්නුම් කැරෙන සත්‍ය නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සඳහා සැබැවින්ම ක්‍රියා කරන පිරිස් මුහුණ දී සිටින මර්නකාරී සහ අනතුරුදායක තත්ත්වය යි. මෙවැනි තත්ත්වයක් යටතේ අප සතු පරම යුතුකම වන්නේ දේශීය සහ අන්තර් ජාතික සහයෝගිතාවය ගොඩ නැගීම මිස එක්නෙකාට පහර ගසා ගැනීම නොවේ.

නිවැරදි කිරීමයි

පසුගිය සතියේ මෙම තිරෑව කියවූ ස්වයං – පිටුවහලේ ජීවත් වන සහෝදරයකු වහාම ඊමේලයක් එවමින් කියා සිටියේ මගේ ලිපියේ මහත් වරදක් ඇති බවයි. ලක්ෂ 500ක් විය යුතු තැන ලක්ෂ පහක් සේ දක්වා ඇතැයි ඔහු ලියා එවීය. එය සම්පූර්ණ ඇත්ත ය. මා අතින් සිදුව ඇති එම වරද මහත් ය. සුචරිත ගම්ලත් ශබ්ද කෝශයේ අත් පිටපත පුස්කමින් තිබුණේ එය ලක්ෂ පහකින් මුද්‍රණය කළ නොහැකි දැවැන්ත කාරියක් වූ නිසාම ය. උපුල් ශාන්ත සන්නස්ගල ඒ සඳහා ලබා ගත් බැංකු ණය ලක්ෂ 500ක් වන අතර එය දැන් ලක්ෂ 700ක් දක්වා ඉහළ නැග ඇති බව මගේ මුලාශ්‍රය වූ ජයසිරි අලවත්ත කළ සම්මුඛ සාකච්ජාවේදී සදහන්ව තිබුණි. මේ වරද පෙන්වා දුන් සැමට ස්තුතිවන්ත වෙමි. වරද පිළිගනිමි.

තවද පොතෙහි මිල රුපියල් දහ දහසක් නොව රුපියල් හත් දහසක් බව ද මට දැන ගන්නට ලැබුණි.

- රාවය -

0 comments:

සන්නස්ගලගෙන් හා ගෝඨාගෙන් ගොන් ප‍්‍රශ්න ඇසීම: “නිදහස් – ස්වාධීන මාධ්‍ය’’ යනු කුමක් ද ?

කුසල් පෙරේරා-
‘‘රාවය’’ පුවත් පතේ මෙතෙක් පැවති ස්වාධීනත්වය තව දුරටත් පවත්වා ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් අප හා එක් වන්න යැයි අපි කණ්ඩායමක් රාවය පාඨකයින්ගෙන් සහ රාවය පුවත් පතේ හිතවතුන්ගෙන් ද, මාධ්‍ය ස්වාධීනත්වය සහ නිදහස අගයන පුරවැසියන්ගෙන් ද පසු ගිය ජූලි මාසයේ සිට ඉල්ලීම් කරන්නෙමු. දැනට නිදහස් සහ ස්වාධීන පුවත් පතකට ඉතිරිව ඇත්තේ එපමණ යැයි ද අපි කීවෙමු.

Read More »

0 comments:

බීබීසී මාධ්‍යවේදියා ත්‍රස්ත විමර්ශන ඒකකයට

බීබීසී තමිල්ඕසේ වවුනියා වාර්තාකරු පී මානික්කවාසගම් කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා අද උදැසන ප්‍රශ්න කොට තිබේ.
ඔහු කොළඹට කැඳවා තිබුනත්, ප්‍රශ්න කිරීම සඳහා හේතු හෝ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව කලින් දැනුම්දීමක් නොකෙරුණු අතර ප්‍රශ්න කෙරුණු අවස්ථාව සඳහා නීතීඥ වරයකු කැටුව යෑමට ඔහු කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි.

Read More »

0 comments:

‘පට්ට බැල්ලි බැහැපිය‘...........මාධ්‍යවේදිනියට වැලිවේරියේදී නම්බු දී කතා කරලා

 ‘වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් ‘පට්ට බැල්ලි බැහැපිය‘ කියා කියනවා මට ඇහුණා.  හමුදාව පන්න පන්නා උද්ඝෝෂණය කළ පිරිසට ගැසුවා. වෙඩි තිබ්බා. අපේ දේවස්ථානයේ සිදුවූ ම්ලේච්ඡ සිදුවීම ඇස් දෙකෙන් දැක්ක අය බය

Read More »

0 comments:

මිනිසුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන අය අද ත‍්‍රස්තවාදීන් වෙලා – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී

යුක්තිය පුවත්පතෙන් ක‍්‍රියාකාරී ජනමාධ්‍ය ජීවිතය ඇරඹූ ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිනියක් ලෙසින් පසුගිය කාලයේ විශාල ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයකට දායක වූවාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී සාමාජිකා, පුවත්පත් පැමිණිලි කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වන ඇයට 2012 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මාධ්‍ය නිදහස වෙනුවෙන් කළ කැප කිරීම වෙනුවෙන් ‘සේපාල ගුණසේන සම්මානය හිමි විය. මේ ‘ජනරළ’ ඇය සමඟ කළ සංවාදයක ප‍්‍රතිඵලයයි.
———————————–

 ඔබ මාධ්‍ය වෘත්තිකයකු බවට පත් වීම කියන තැනින් මේ කතා බහට ප‍්‍රවේශයක් ගත්තොත් ඔබ කොහොමද මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත් වෙන්නෙ?
මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත් වෙන්නෙ ගුවන් විදුලියේ රජරට සේවයෙන්. ඒ 1979 දී. මම පාසල් යන කාලෙ දි ඉඳන්ම ලේඛනයෙ යෙදුණ කෙනෙක්. මේ අතරතුර තමයි ගුවන් විදුලියෙන් රජරට සේවය පටන් ගන්න බව දැන ගත්තේ. මම මේකට මගේ පළමු වැනි කෙටිකතාව යොමු කළා. පළමු සතිය තුළදීම මට විදුලි පණිවිඩයක් ආවා. මගේ කෙටිකතාව අගය කරල මට ඒක ගුවන් විදුලියෙ ඉදිරිපත් කරන්න කිව්වා. එදා කෙටිකතාවටයි, ඉදිරිපත් කළාටයි දෙකටම මට මුදලක් ලැබුණා. මම ලියපු දේවල්වලට මුදලක් ලැබුණ දවසෙ තමයි මගේ මාධ්‍ය ජීවිතය පටන් ගන්නෙ. එදා සිට අවුරුදු 6ක් රජරට සේවයේ වැඩ කළා. ගුවන් විදුලි නාට්‍ය, ළමා නාට්‍ය, විචිත‍්‍රාංග, වැඩසටහන් පිටපත්, පැය බාගේ පිටපත්, කාන්තා වැඩසටහන් පිටපත් ලියන ඒවා අතරේ ශිල්පිනියක් විදිහටත් කටයුතු කළා.

 ඔබේ වැඩ කිරීමේ ස්වභාවය සහ ක‍්‍රමවේදය වුණේ මොකක්ද?
රජයේ ගුවන් විදුලි මාධ්‍යයක සීමාවක් තුළ ඉඳගෙන සමාජ ප‍්‍රශ්න, දේශපාලනික ප‍්‍රශ්න, කතා කරන්න යම් උත්සාහයක් දරල තිබුණා. විශේෂයෙන්ම රජරට සේවයට ගොඩක් ගීත නිර්මාණය කළා. නිර්මාණ හරහා තමයි මම මගේ කාර්යය ඉටු කළේ.

 ඔබ කොළඹට පැමිණෙන්නෙ කොහොමද?
මම කොළඹට එන්නෙ 1986. ඒ විවරණ සඟරාවත් සමඟ සම්බන්ධ වෙමින්. මේක විකල්ප සඟරාවක් විදිහට සැලකුවේ. විවරණ සංස්කාරක මණ්ඩලයටයි ආවේ. ශක්ති, ධරණී වගේ කාන්තා සඟරාවලත් මම ෑාසඑදර විදිහට වැඩ කළා. ඊට අමතරව සංකලන කියල සංස්කෘතික සඟරාවක් මම කළා. ‘යුක්තිය’ට සම්බන්ධ වෙන්නෙ ඊට පස්සෙ. ‘සංකලන’ සංස්කෘතික සඟරාවත් ‘යුක්තිය’ට එකතු කරගන්නවා. ජනවාර්ගික ප‍්‍රශ්නය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, මානව හිමිකම් ක්ෂේත‍්‍රය වගේ පැති ගණනාවකින් ‘යුක්තිය’ සමන්විත වුණා. ‘පත්තරේකට වඩා වැඩි යමක්’ කීම තමයි අපේ සටන් පාඨය වුණේ.

 මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ කටයුතු කිරීමේ දී ඔබ විශේෂිත තත්වයන්ට මුහුණ දෙන්න ඇති. විශේෂයෙන් කාන්තාවක් වීම නිසාම මුහුණ දෙන්න වෙන ගැටලූසහගත තැන්, අභියෝග තියෙන්න ඇති?
ගමේ ඉඳලම මට නායකත්ව භූමිකාවක් තිබුණා. ඒ හැකියාව නිසා තමයි මට කොළඹට එන්න හැකියාව ලැබෙන්නෙ. මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ ඉදිරියට යන්න හරි, අවස්ථාව ලබා ගන්න හරි ගැටලූවක් වුණේ නැහැ. මොකද මම සාම්ප‍්‍රදායික සමාජයෙන් එහාට ගියපු වෙනස් හරයන් සහිත වෙනත් ධාරාවක් එක්ක ගමන් කරමින් හිටියේ. මාධ්‍ය ක්ෂේත‍්‍රය කියන්නෙ පිරිමින්ගෙ රජදහනක්. කාන්තාවන් ඉන්නෙත් ඉතාම අතළොස්සයි. යුක්තිය පත්තරෙත් මාධ්‍ය කටයුතුවල හිටපු එකම කාන්තාව මම. කාන්තාවක් විදිහට විශාල කැප කිරීමක් මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කරල තියෙනවා. සමහර අවස්ථාවල එය නොසලකා හැරීම් තිබ්බා. ඒ වගේ අවස්ථාවල හිත් රිදීම් වෙලා තියෙනවා. නමුත් මම ඒවා ගැන හිතන්න ගියේ නැහැ. මොකද මම දන්නවා එක් එක් පුද්ගල ස්වභාවයන් ගැන.

 විකල්ප පුවත්පතක වැඩ කරනවා කියන්නෙ තර්ජන, ගර්ජන, මර්දන සාමාන්‍ය දෙයක්. මර්දනය සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් ඇති?
ඒවා ඉතින් ඕන තරං තියෙනවා. යුක්තිය පත්තරේ මුද්‍රණාලයට සීල් තිබ්බා. කඩල බිඳල දැම්මා. නඩු වැටෙනවා. මඩ ප‍්‍රහාර එල්ල වුණා. 94න් පස්සෙත් අපට විවිධ බාධාවන් එල්ල වුණා. වෙළෙඳ දැන්වීම් පවා නැති වුණා. හැබැයි අද ඒක තවදුරටත් වැඩි වෙලා තියෙනවා. එදාට වඩා ලොකු ආතතියකින් තමයි වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ඒ කාලේ අපි යුක්තියෙන් කරගෙන ගියා ‘බියෙන් අත්මිදෙමු’ කියල වැඩසටහන් මාලාවක්. මිනිස්සුන්ගෙ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන භීෂණයට, මර්දනයට එරෙහිව
අපි රැුස්වීමක් පැවැත්වුවා. අද මෙහෙම දේවල් කරන්න පුළුවන්කමක් නැහැ. උසාවි නියෝගවලින් හරි වළක්වනවනෙ. අද එදාට වඩා සියගුණයකින් මර්දනය බරපතළයි.

 මේ මර්දනය හමුවේ ක‍්‍රියාකාරීත්වය අඩපණ නොකර ගනිමින් වැඩ කරන අයත් ඉන්නවා. ඒ වගේම යම් යම් සීමා පනවාගෙන කටයුතු කරන අයත් ඉන්නවා. මේ තත්වයන් ගැන ඔබේ ස්ථාවරය මොකක්ද?
1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පටන් ගන්නෙත් එවකට තිබුණ මර්දනයට එරෙහිව. විපක්ෂය පවා සම්බන්ධ වුණා. මාධ්‍ය නිදහස දේශපාලන සටන් පාඨයක් බවට පවා පත් වුණා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තමා ප‍්‍රථම වරට ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය නිදහස සඳහා අරගල කරන සංවිධානය බවට පත් වුණේ. සමහර අය ඉතින් මූලික කාරණාවලින් පස්සෙ නිහඬ වුණා. සමහර අයට රට දාලත් යන්න වුණා. මොකද දැන් කතා කරන්න බෑ. ගුටිකන්න වෙනවා. ලසන්ත වික‍්‍රමතුංග වගේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් ඝාතනය වෙනවා. උතුරේ පවා මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක් ඝාතනය වුණා. පෝද්දලට, නාමල්ට, උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා. සමහරු මොකද වුණේ කියල කියන්නත් බය වුණා. මේ මර්දනය නිසාම එදාට වඩා අද මාධ්‍ය ක‍්‍රියාකාරිකයන්ට තියෙන ශක්තියත් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ට මුහුණ දෙන්න වුණ සිදුවීම කියන්නත් බයයි. එවැනි බයකින්නෙ අද වැඩ කරන්න වෙලා තියෙන්නෙ.

 මේ මර්දනය ඉදිරියේ මාධ්‍ය නිදහස හොඳ සටන් පාඨයක් වෙලා තියෙනවා නේද?
මෙහෙමයි. යම් යම් සිදුවීම්වලට ක‍්‍රියා කරන එක, එක් පැත්තක්. නිදහස් මාධ්‍ය සංස්කෘතියක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් වෙනුවෙන් තවත් කළ යුතු බොහොමයක් තියෙනවා. රජය එක්කත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ප‍්‍රකාශනයේ අයිතිය පිළිගන්න, මානව හිමිකම් ගරු කරන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රටක් බවට පත් වෙන්න ඕනෙ. ඒක නොවෙන නිසා තමයි සටන් කරන්න වෙලා තියෙන්නෙ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගේම කර්තෘ සංසදය, ප‍්‍රකාශකයන්ගෙ සංසදය වගේ ඒවා තියෙනවා. මේ සංවිධාන තුන එකතු වෙලා 1998 පවත්වපු ‘මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම’ සම්මන්ත‍්‍රණයේ දී ‘කොළඹ ප‍්‍රකාශනය’ කියල එකක් මාධ්‍ය ප‍්‍රගතිය සඳහා ඇති කරගත්තා. ඒ හරහා ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය ඇති වෙලා තියෙනවා. කර්තෘ සංසදයෙ මූලිකත්වයෙන් මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වල දීල තියෙනවා. මේ ක‍්‍රියාවලි හරහා ස්වයං නියාමනයක් ඇති කරගෙන තියෙනවා. මේ ස්වයංනියාමනය කාරණය සඳහා තමයි පුවත්පත් පැමිණිලි කොමිසම ඇති වෙලා තියෙන්නෙ. ඒවා ලොකුවට පෙනෙන්නෙ නැති වුණාට එහෙම දේවලූත් වෙනවා. අපිට ගොඩක් වෙලාවට පේන්නෙ සිද්ධි මුල් කරගෙන එළියට බැහැල කරන සටන්. නමුත් දැන් මේවා ඇති වෙන මට්ටමට බරපතළ දේවල් වෙලා තියෙනවනෙ. මේවයෙන් රට තුළ ලොකු බලපෑමක් නොවුණට ඒ හඬ ජාත්‍යන්තරයට යනවා. මොකද මේ සංවිධාන ජාත්‍යන්තරවත් සම්බන්ධයි. අද පුළුවන් තරම් බය කරල නිහඬ කරවන්නනෙ හදන්නෙ.

 මාධ්‍ය මර්දනය කියන කාරණයෙ දි තවදුරටත් ජනතාවගෙ ඇත්ත දැන ගැනීමේ අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් මාධ්‍ය සංවිධාන හා එම වෘත්තිකයන්ගෙ වර්තමාන කි‍්‍රයාවලිය ගැන ඔබට තියෙන්නෙ මොන වගේ අදහසක්ද?
අද මාධ්‍ය ගත්ත වුණත් එක එක න්‍යාය පත‍්‍රවලට යට වෙලානෙ. සමහරු ඉන්නවා තමන් දන්න සීමාව තුළ යමක් කරන්න උත්සාහ කරන. අවසාන සිදුවීම විදිහට වැලිවේරිය සිද්ධිය ගත්තොත් දැන් ඇත්ත මොකක්ද කියන්නත් අමාරුයිනෙ. මාධ්‍යයටත් ගහල මිනිස්සුන්ටත් ගැහුවා. ඒත් රජයේ මාධ්‍ය කියන්නෙ මිනිස්සු හමුදාවට ගැහුවා, ඊට පස්සෙ අවම බලය පාවිච්චි කරල විසුරුවා හැරියා කියලා. බොහොම සරලයිනෙ. ඊට පස්සෙ එක එක දේශපාලන පක්ෂ මතට දානවා. නැත්නම් භඨධ වල වැඩක් කියනවා. අන්තිමට මේක ඇතුළේ යක්කු ටිකක් මවල ඇත්ත වසං කරනවා.
ගොඩක් ඈත ගම්දනව්වලට යද්දි පත්තරවලට වඩා රූපවාහිනී මාධ්‍ය ප‍්‍රබලයි. හැබැයි ඈත ගම්දනව්වල ජනතාවට පෙනෙන රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙනුත් ගැටලූවක් තියෙනවනෙ. ඒ වගේම තමයි ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙන තත්වය. වැලිවේරිය වගේ සිදුවීමකින් පස්සෙ ඔවුන් ඇත්ත හෙළිදරව් කරන්න බයයි. මොකද කොළඹට කේන්ද්‍රගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් වගේ නෙවෙයි ඔවුන් තනි වෙන ස්වභාවයක්නෙ තියෙන්නෙ. නමුත් ඉතින් රජයේ මාධ්‍යයන්ට වඩා පෞද්ගලික මාධ්‍ය යම් ස්වාධීනතාවකින් වැඩ කරන බවක් පේන්න තියෙනවා. එක එක න්‍යාය පත‍්‍ර තිබුණ වුණත් ජනතාවට ඇත්ත ලබා දීම වෙනුවෙන් යම් ක‍්‍රියාකාරී බවක් තියෙනවා.
මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමේ නීතිමය ආවරණයක් නැහැ. දූෂණ වංචා, අකටයුතුකම් ගැන මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගන්නෙ තමන්ට තියෙන හිතවත්කම්, සබඳතා මඟින්. තොරතුරු ලබා ගැනීමේ නිල අයිතියක් නැහැ. මේ අයිතිය ජනතාවටත් තියෙනවා. නමුත් ජනතාවටත් මේ ගැන හරි අවබෝධයක් නැහැ.

 නමුත් යම් යම් සිදුවීම්වල දී මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් හමුවේ නෛතික ක‍්‍රියාමාර්ග හෝ ගැනීමට සමහර මාධ්‍ය ආයතන වුුණත් මැදිහත් නොවෙන අවස්ථා තියෙනවා. මාධ්‍ය ආයතනවල ස්වාධීනතාව සම්බන්ධයෙන් නැවත ප‍්‍රශ්නයක් නැෙඟනව නේද?

එහෙම නීතිමය ක‍්‍රියාමාර්ග ගත්තද, නැද්ද කියල මම හරියටම දන්නෙ නැහැ. කැමරා කුඩු වෙන අවස්ථා තියෙනවා. නමුත් ඉතින් වන්දියක්වත් ගන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා.

 රාජ්‍ය නොවන සංවිධානවල ආධාර, උපකාර වෙනුවෙන් සටන් ක‍්‍රියාමාර්ග තෝරනවා කියලත් මාධ්‍ය සංවිධානවලට චෝදනාවක් තියෙනවා?
රජයේ පාර්ශ්වයෙන් තමයි භඨධ කියල ගෝනි බිල්ලෙක් මවල තියෙන්නෙ. භඨධ එක්ක ඉන්නෙ ත‍්‍රස්තවාදයට උදව් කරන අය, රට පාවා දෙන අය කියලනෙ මවල තියෙන්නෙ. රජයේ නොවන අනෙක් සංවිධාන හැම එකක්ම රාජ්‍ය නොවන ඒවා තමයි.

 උතුරට අදාළව මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අද බරපතළ ප‍්‍රශ්නයක් තියෙනවා. දකුණට සාපේක්ෂව ගත්තොත් එහි විශාල මර්දනයක් දියත් වෙනවා. නමුත් මාධ්‍ය සංවිධාන ඇතුළු ක‍්‍රියාකාරිකයන් ඊට මැදිහත් වීම ප‍්‍රමාණවත්ද කියන ප‍්‍රශ්නය අද තියෙනවා?
උතුරට සාපේක්ෂව බැලූවොත් අපිට පොඩි හරි ආවරණයක් තියෙනවා. උතුරේ අය හුදෙකලා වෙලා ඉන්නෙ. හමුදාකරණය වුණ සමාජයක් තියෙන්නෙ. යුද කාලයේ ඉඳලම තමා ඒ මාධ්‍ය මර්දනය පටන් ගත්තෙ. දැන් පශ්චාත් යුද වාතාවරණය හෙළිදරව් නොවීම සඳහා ඒ මර්දනය යොදා ගන්නවා. උතුරේ තමයි විශාල ප‍්‍රමාණයක් මාධ්‍යවේදීන්, මාධ්‍ය හිමිකරුවන්, බෙදා හරින අය පවා ඝාතනය වුණේ, මර්දනයට ලක් වුණේ. මිනිස්සුන්ගේ ඇත්ත ප‍්‍රශ්න ලියන, කතා කරන අය තමා අද ත‍්‍රස්තවාදියො වෙලා තියෙන්නෙ. අද උතුරේ මොනවත් කරන්න බැහැ. මානව හිමිකම් ප‍්‍රඥප්ති, අයිතිවාසිකම්, නිදහස කියන දේවල් අවලංගු වෙලා. සීමා මායිම්වලට යටත් වෙලා තමයි ඔවුන් වැඩ කරන්නෙ.

 මාධ්‍ය නිදහස වෙනුවෙන් ක‍්‍රියාකාරී වීම වෙනුවෙන් ඔබට මෙවර සේපාල ගුණසේන සම්මානය හිමි වුණා. ඔබේ මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය සහ සම්මානය ලැබීම ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද?
මට මේ සම්මානය ගැන කවදාවත්ම අදහසක් තිබුණෙ නැහැ. නමුත් මගේ නම යෝජනා වුණාට පස්සෙ මම හිතුවා මගේ ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ මාධ්‍ය නිදහස සහ ඒ අරගලය වෙනුවෙන් කියල. අපි ජාලයක් විදිහට තමයි මේ කාර්යභාරය කළේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක රැුස්වීමේ ඉඳල අඛණ්ඩව කි‍්‍රයාකාරී වුණු එකම කාන්තාවත් මම. ඉතින් මේ කැප කිරීම් සහිතව වැඩ කරල තියෙන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. කොහොමත් මම එදා වගේම හෙටත් මගේ වැඩ කොටස කරනවා. එක පැත්තකින් මේ පුරුෂ මාධ්‍ය අධිකාරිය තුළ කාන්තාවන් විදිහට මගේ කාර්ය භාරයට ඉතිහාසය තුළ යම් ලියවීමක් හිමිව තිබීම ගැන මම සතුටු වෙනවා.

janarala -

0 comments:

'කෑ ගැහැව්වොත් උගුරු දණ්ඩ පළනවා!'

 ප්‍රකට ඉංගී්‍රසි ජනමාධ්‍යවේදිනියක වන මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට සාමාන්‍යයෙන් සිකුරාදා දිනයේදී අලුයම 2 යනු සිය වෘත්තීය වැඩකටයුතු නිමා වී රාත්‍රි නිදිසුව පතන හෝරාව වේ. එහෙත් ඇයගේ සිත තුළ කිසියම් නොසන්සුන්තාවක් රජ කරන්නට විය. ඊට හේතුව ඇය සිය පවුල සමඟ පදිංචිව සිටින කොළඹ බම්බලපිටියේ නිවෙස ඉදිරිපස ඉස්තෝප්පුවේ බළලකුගේ මළ සිරුරක් ඊට කලින් දින කිසිවකු විසින් දමාගොස් තිබීමයි.
මන්දනා සිය මවුපියන්, සැමියා හා එකම දියණිය සමඟ පදිංචිව සිටින්නේ ඒ නිවෙසේය. එහෙත් මැරවරයන් පිරිසක් ඇගේ නිවෙසට ඇතුළු වන විට මුළු පවුලම දැඩි නින්දේ පසුවූහ.

බළලකුගේ මළ සිරුරක් දමා ගොස් තිබීමේ හා නිවෙසේ වාහන ටයරයක පතුල පැළෙන පරිදි පිහි පාරක් එල්ලකොට තිබීමේ සිද්ධියෙන් පසුව මහත් නොසන්සුන්තාවට පත්ව සිටි මන්දනා හා ඇගේ සැමියා පසුගිය සිකුරාදා සිය මාධ්‍යවේදී කටයුතුවල නිරත වූයේ නිවෙස තුළ සිටමය. එදින රාත්‍රි 9.30ට පමණ රොමේෂ් නිවෙසින් බැහැරව ගියේ සතියේ තමනට නියමිත වැඩ කොටස ඉටුකොට හමාර කිරීමෙන් පසුවය.


මුළු පවුලම දැඩි නින්දේ පසුවෙද්දී මන්දනාට කිසියම් ශබ්ද කීපයක් ඇසෙන්නට විය. එවිට වේලාව අලුයම 2.30ට පමණ විය. ඒ හඬවල් ඇසී භීතියෙන් මර හඬ දුන් ඕ නිදි සයනෙන් බිමට බසින්නට තැත් කළේ 'කවුද ඒ' යැයි සිංහලෙන් ප්‍රශ්න කරමිනි. එවිට ඇගේ නිදන කාමරය තුළ නිදැල්ලේ හැසිරෙමින් සිටි මැරයෝ දෙදෙනෙක් ඇය වෙත කඩා පැන්නාහ. එකෙක් ඇගේ බෙල්ලට පිහියක් තබා 'කෑ ගැහුවොත් මරා දමනවා' යැයි ඇයට තර්ජනය කළේය.

'අපිට උඹ ළඟ තියෙන වටිනා කනකර බඩු මුට්ටු සේරම ඕනෑ. අපි උඹව ඉවර කරනවා!' යැයි ඔවුහු ඇයට තර්ජනය කළහ.

එවිට මන්දනා ඔවුන්ට කියා සිටියේ තමාට අවශ්‍ය තම පවුලේ සියලු දෙනාගේම ජීවිත රැක ගැනීමට පමණක් බවයි. මැරයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන ගියාට කමක් නැතැයිද ඇය ඔවුන්ට බැගෑපත් වෙමින් කීවාය.


එවිට මැරයෝ කාමරයේ විදුලි ආලෝකය ප්‍රතිෂ්ඨාපනය කරමින් එහි විද්‍යුත් හනුව ක්‍රියාත්මක කළහ. එතැන මැරයෝ හතර දෙනකු සිටිනු පෙනිණි. මුල් මැරයෝ දෙදෙනා ඇය ඇඳට තබා තවදුරටත් සිරකොට අල්ලාගෙන සිටියහ. දෙදෙනකු අතේ පිහිත් තවකකු අත අත් බෝම්බයකුත් (මෙය පසුව ඇගේ ගෙමිදුල වැටී තිබී සොයාගන්නා ලදී) විය. මැරයන් සිය මුහුණු මන්දනාගේ නිවෙසේ තිබූ ඇඳුම් ඉරා ඒවායේ කැබැලිවලින් මුහුණු වැසෙන සේ ආවරණය කොටගෙන තිබිණි.


ඔවුහු මන්දනාගේ ජංගම දුරකතනයද උදුරාගෙන විගස එහි බැටරියද ඉවත්කොට දැමූහ. ඉන්පසුව ඇගේ මුදල් පසුම්බියට අත පෙවූ සොර මුළ එහි වූ මුදල් සියල්ල අතට ගත්හ. ඇගේ රන්, රිදී කනකර ආදී වටිනා බඩුමුට්ටු ඇතේතේ කොතැනකදැයි ඔවුහු ඊළඟට ඇගෙන් විමසූහ. භීතියෙන් ඇලළී ගොස් සිටි මන්දනා ඔවුන්ට ඕනෑ දෙයක් රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. එමෙන්ම තම පවුලේ කිසිවකුට හානි නොකරන ලෙසත් ඇය මැරයන්ගෙන් ඉල්ලා සිටියාය.

තම නිදන කාමරය තුළ අමුතු ශබ්ද හා කටහඬවල් ඇසී එසේ අවදි වූ මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට එය අතිශයින් බිහිසුණු අත්දැකීමක් විය. ඇය මීට කලින් ත්‍රාසජනක හා කම්පනාත්මක සිද්ධිවලට මුහුණ දී නොතිබුණාම නොවේ. එහෙත් මෙම සිද්ධිය ඒ සියල්ල අභිභවා ගියේය. මරණය ඇගේ ‍ෙදාර එළිපත්ත සමීපයේ විය. වඩාත් නිවැරැදිව කිවහොත් මරණය මන්දනාගේ නිදන කාමරය තුළටම පැමිණ සිටියේය.




'කෑ ගැහැව්වොත් උගුරු දණ්ඩ පළනවා!' යැයි එක් මැරයෙක් පිහියක් ආමෝරා ඇයට තර්ජනය කළේය. අවසානයේදී තම පවුලේ කිසිවකුටවත් හානියක් සිදුනොවී තමන්ගේද දිවි සුරැකීම වාසනාවක් යැයි ඕ පසුව කීවාය.

'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ සම කතෘවරිය වන මන්දනාගේ විවේචනාත්මක මත හා අදහස් දැක්වෙන ලිපි රචනා නිසා ඇය ඉංගී්‍රසි පාඨකයන් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලයි. ඊට අමතරව ඇගේ අලුත් කාර්යභාරයද ඇගේ ප්‍රසිද්ධිය තවදුරටත් නංවාලීමට ඉවහල් වී ඇත. ඇගේ නව කාර්යභාරය වනුයේ වෘත්තීය සමිති නායකත්වයයි. දැනට මාස දෙකකට උඩදී ප්‍රථම වරට හා එම ක්‍ෂේත්‍රයේ මුල්වරට ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සමිතිය පිහිටුවා එහි සමාරම්භක සභාපතිනිය ලෙස ඇය පත්වූවාය. ඇගේ සැමියා රොමේෂ්ද ඒ පුවත්පතේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් කටයුතු කරයි.


සොර මුළ පුරා පැයකටත් අධික කාලයක් තිස්සේ මන්දනා නිවෙසේ අස්සක් මුල්ලක් නොහැර පරීක්‍ෂා කරමින් එහි වූ අල්මාරි, පෙට්ටගම් හා කබඩ් අවුස්සා බලන්නට වූහ. අල්මාරි, පෙට්ටගම් හා කබඩ්වල තිබූ පොත්පත්, ඇඳුම් පැලඳුම්, ලිපිගොනු හා ලියකියැවිලි සියල්ල ඉවක් බවක් නොමැතිව බිම දමමින් ඔවුන් වෙනත් යමක් හෝ යම් යම් දේවල් හෝ සොයන බව මන්දනාට වැටහිණි. පස්දෙනකුගෙන් සැදි සොර මුළ පැමිණ ඇත්තේ හුදෙක් මිල මුදල් හෝ රත්රන් කොල්ලකෑමට පමණක් නොවන බව ඇයට ප්‍රත්‍යක්‍ෂ වූයේ ඔවුන් ඇගේ ගේ තුළ නිදැල්ලේ ඇවිදිමින් එහි වූ විවිධ ලියැකියවිලි, ලිපිගොනු හා පොත්පත් අවුස්සමින් ඒවා කියවා බලන්නට වූ බැවිනි.


මැරයන් ඉක්මනින් ආපසු යෑමට පැමිණි පිරිසක් නොවන බව මන්දනාත්, පවුලේ සෙසු අයත් තේරුම් ගත්හ. ඔවුන් කනකර ආභරණ ආදිය එකතු කරමින් සහ පොත් අල්මාරි අවුස්සා බලමින් එහි වූ ලිපිගොනු හා ලියකියැවිලිද පරීක්‍ෂා කරමින් නොනැවතුණු ඔවුහු ඒ මොහොතේ නිවෙසේ නොසිටි මන්දනාගේ සැමියා ගැනද විපරම් කරන්නට වූහ.


ඒ අතරතුර ඔවුන් පැමිණි 'කාර්යය' හමාර කොට විගස පිටව යා යුතු බවත්, සොර මුළ එකිනෙකා සමඟ සාකච්ඡා කරන්නට වූහ. ඒ අතරතුර මන්දනා නිවෙසේ ඔවුන් අත නොතැබූ හෝ පිරික්සා නොබැලූ හෝ කිසිවක් පාහේ ඉතිරිවී නොතිබිණි. එක් මැරයෙක් හිටිහැටියේ මන්දනා දෙස හැරී ඇගේ සැමියා ආපසු නිවෙසට එනු ඇත්තේ කීයට දැයි තර්ජනාත්මක ස්වරයෙන් විමසීය.

මඳ වේලාවකට පසුව ඔවුන් නිවෙසේ සෙසු කාමරද පරීක්‍ෂා කිරීමට උනන්දුවක් දක්වන බව පෙනිණි. එකෙක් විගස තුවායක් ගෙන මන්දනාගේ මුහුණ වැසීමට තැත් කළේය. ඇය ඒ මැරයා අමතා ඇගේ මුහුණ නොවසන ලෙසත් ඊට හේතුව ඇය ශ්වසන ආබාධයකින් පෙළීම නිසා බවත් බැගෑපත්ව කියා සිටියාය. එවිට තුවාය පසෙකට ගනු ලැබුණු නමුත් තවත් මැරයෙක් ඇය ඉදිරියට පැමිණ ඔහු අත වූ පිහිය ඇගේ දෑස් හමුවේ වනමින්' කෑ ගැහැව්වොත් අපි උඹව කෑලිවලට පෙති ගහනවා' යැයි තර්ජනය කළේය.



මැරයන් පිරිසට අයත් වූ පස්වැනි මැරයා ඇය දුටුවේ මැරයන් පිරිස ඇගේ කාමරයෙන් පිටවී යද්දීය. පස්වැනි මැරයා සිටියේ මන්දනාගේ මවුපියන්ගේ නිදන කාමරය පිටතය. නිවෙසේ වූ කලබගෑනියෙන් ඒ වන විට අවදි වී සිටි ඇගේ පියා කාමරයෙන් එළියට බසිත්ම ඔහු අල්ලාගත් ඒ මැරයා ඔහුට මරණ තර්ජන එල්ල කළේය. මන්දනා යළිත් බැගෑපත් වෙමින් තම පියාට හානියක් නොකරන ලෙස මැරයාගෙන් ඉල්ලා සිටියාය.

ඉක්බිතිව මැරයෝ පිරිස මන්දනාගේ දියණිය නිදා සිටි කාමරය වෙත පියනැඟූහ. මන්දනාගේ ඇවිටිලි කිරීම්වලට කන් නුදුන් සන්නද්ධ මැරයෝ දෙදෙනෙක් මන්දනාගේ දියණියගේ කාමරයට කඩා වැදී එකෙක් ඇගේ ගෙලට කිණිස්සක් තැබීය. මැරයා ඇගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන්නට වූ විට බාලිකාව අතොරක් නොමැතිව හඬන්නට පටන් ගත්තාය.


මන්දනා යළිත් මැරයන් වෙත ගොස් තම සිඟිති දියණියට කරදර නොකොට නිවෙසේ ඇති ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන පිටව යන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියාය. එවිට මැරයෝ දෙදෙනෙක් දැනටමත් තමන් පිරිස ප්‍රමාද බවත් එසේ වුවත් තමන් පිරිස පැමිණි මෙහෙය එතෙක් අවසන් වී නොමැති බවත් කියමින් අනිත් මැරයන් දෙදෙනා සමඟ කලහ කරන්නට වූහ.


මේ අතරතුර මන්දනා භීතියෙන් ත්‍රස්තව ඔවුන් දෙස බලා සිටියදී එකෙක් ඇය වෙත හැරී තමන් පිරිස තුළ ඇය කෙරෙහි කිසිදු වෛරයක් හෝ කෝන්තරයක් නැති බවත්, එහෙත් ඇය දැඩිව නුරුස්සන කිසියම් පුද්ගලයෙක් ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවත් පැහැදිලි හඩින් කියා දුන්නේය.


'ඔයා දැන් අපිත් එක්ක යන්න එන්න. අපිට මේ කොන්ත්‍රාත් එක ඉවර කරන්න තියෙනවා!' යැයි මැරයා කීය.

වාසනාවකට මෙන් අන්තිම මොහොතේ ඇගේ සැමියා රොමේෂ් පෙරළා නිවෙසට පැමිණියේය. බැලූ බැලූ සෑම තැනම අමුත්තක් ඔහුට දක්නට ලැබිණි. සෑම විටම වසා තිබූ නිවෙසට ඇතුළුවන පැති ගේට්ටුවත්, නිවෙසේ ඉදිරිපස ‍ෙදාරත් විවෘතව පැවැතිණි. බරපතළ දෙයක් සිදුවී හෝ සිදුවෙමින් පවතින බවට ඉඟියකින් කියාපාන්නක් මෙන් බිඳුණු වීදුරු කැබැලිද බිම පුරා වැටී තිබිණි.


ඔහු විගස මන්දනාගේ ජංගම දුරකතනයත්, ස්ථාවර දුරකතනයත් ඔස්සේ ඇය ඇමතීමට තැත් කළේය. එහෙත් ඒ දුරකතන දෙක සම්බන්ධ කරගත නොහැකි විය. මේ වන විට රොමේෂ්ගේ සැකය දැඩි ලෙස ඇවිස්සී තිබිණි. ඔහු ගෙමිදුලට ඇතුළු වී පැත්තකින් නිවෙස තුළට එබිකම් කළේය. නිවෙස තුළ පැවැති ගාලගෝට්ටියෙන් බිඳක් කන වැටුණු රොමේෂ් නිසොල්මන්ව '119' ඇමතීය. ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයයි. ඉන් පසුව ඔහු නිවෙසට පා නැඟීය.
රොමේෂ් ගේ ‍ෙදාරකඩ සිටගෙන සිටිනු දුටු මැර පිරිස ඒ වන විට භීතියෙන් වියරු වැටී සිටි මන්දනා දෙස බලා 'අපි ආපු වැඩේ ඉවරයක් කරලා දාමු!' යැයි කීය. කම්පනයට හා බලාපොරොත්තු ශූන්‍යතාවට පත්ව සිටි මන්දනා කිසිත් කරකියා ගත නොහැකිව බලා සිටියදී එක් මැරයෙක් හැරී බලා 'අන්න පොලිසිය ඇවිල්ලා!' යැයි මොර දුන්නේය.


මන්දනා පවුලේ සාමාජිකයන් පැවැසූ අන්දමට භීතියට පත් මැරයන් පිරිස කලබල වී හිස් ලූ ලූ අත දුවමින් එතැනින් ගැලවී යෑමට මඟක් සොයන්න වූහ. ‍ෙදාරවල් අරින හඬත්, වසන හඬත්, ජනේල පියන් කඩන හඬත්, ත්‍රාසජනක රාත්‍රියක නිහඬතාව බිඳිමින් ජනේල පියන්වල වීදුරු බිඳිද්දී ඒවා කැඩී බිම හැලෙන හඬත් හතර වටා පැතිරී ගියේය.

පොලිසිය නිවෙස තුළට කඩා වැදෙද්දී මැරයෝ දෙදෙනෙක් පොලිසිය පිළිගැනීමට සූදානමින් ‍ෙදාරක් අයිනේ සැඟවී බලා සිටියහ. මැරයන් පොලිස් නිලධාරීන් වෙත කඩා පනිද්දී මන්දනා තම දියණියත් රැගෙන ඇගේ මවුපියන්ගේ කාමරයට දිවගොස් එහි ‍ෙදාර වැරෙන් වසා ගත්තාය. දෙපාර්ශ්වය වෙඩි හුවමාරු කරගන්නා හඬ ඔවුන්ට ඇසිණි. අවසානයේදී වෙඩි හඬ හමාර වී නිශ්ශබ්දතාව රජ කරන්නට වූ පසුව මන්දනා ඇතුළු පිරිස සිය ආරක්‍ෂාකාරී ස්ථානයෙන් එළියට පැමිණියහ.


නිවෙස පුරා දක්නට ලැබුණේ බඩු මුට්ටු, පොත්පත්, ලිපිගොනු හා ඇඳුම් පැලඳුම් ආදිය ඒ මේ අත විසිකොට දමා තිබූ අයුරුය. කිසිවක අගක් මුලක් තේරුම්ගත නොහැකි තත්ත්වයක් පැවැති බවත් මන්දනා කීවාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පවසන අන්දමට පොලිසිය වෙඩි තැබුවේ නිවැසියන් බේරා ගැනීමට ගිය පොලිසියට මැරයන් පිරිස ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පමණක් බවයි. ප්‍රහාරයේදී එක් පුද්ගලයෙක් එතැනම මිය ගියේය. නිවෙස තුළ සැඟවී සිටියදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ.


තුවාල ලැබූ මැරයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ දැන් පොලිස් රැකවරණ මධ්‍යයේ පසුවෙති. නිවෙස තුළට ගෙන එනු ලැබූ අත් බෝම්බය පසුව ගෙමිදුල තිබී සොයාගනු ලැබ පෙරේදා උදේ පැවැති මහෙස්ත්‍රාත් මරණ පරීක්‍ෂණයට පෙරාතුව නිෂ්ක්‍රිය කරන ලදී.

සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මාධ්‍ය හිමිකම් සංවිධාන විසින් නිවේදන නිකුත් කරනු ලැබූ අතර ප්‍රකට මාධ්‍යවේදීන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුලේ උදවියට සාධාරණය ඉටුකරන ලෙසත් එම සංවිධාන විසින් ඉල්ලා ඇත. මෙම කොල්ලය සිදුකරනු ලැබූ වටපිටාව දෙස බලද්දී ගෙවල් බිඳුමකට වඩා වෙනත් චේතනාවක් මේ සිද්ධිය පිටුපස පැවැති බවට සැකසංකා මතුවන බවත් එම සංවිධාන විසින් හුවාදක්වා තිබේ.


මහ රෑ සිදුකරනු ලැබූ මෙම ප්‍රහාරය සම්මානලාභී ජනමාධ්‍යවේදිනියක හා වෘත්තීය සමිති නායිකාවක බියවැද්දීමේ අරමුණින් සිදුකළ එකක්දැයි මාධ්‍ය සංවිධාන මේ වන විටත් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත. ඇගේ නිවෙස කොල්ලකනු ලැබුවේ ප්‍රහාරයේ සැබෑ චේතනාවන් වසන් කිරීමේ අරමුණින් දැයිද ඔවුහු සැක පහළ කරති.

මෙම ප්‍රහාරය පසුගිය වසර කීපය තිස්සේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාවක අලුත්ම සිද්ධිය බවත් 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ නිර්මාපක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 ජනවාරි මසදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ බිහිසුණු යටගියාවද මෙම කොල්ලයෙන් මතක් වන බවත් ඔවුහු පෙන්වා දෙති.


එහෙත් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවැසුවේ මෙය පැහැදිලිවම සන්නද්ධ කොල්ලයක් බවත්, ඊට වෙනත් චේතනාවන් තුඩු දීමට ඉඩ තිබෙන්නට ඇතැයි සැක කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය. මේ සිද්ධිය පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණ පැවැත්වීමටත් අපරාධය සිදුකරනු ලැබූ ස්ථානයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමටත් පියවර ගෙන ඇතැයිද සිරිවර්ධන මහතා පැවැසීය.

දිල්රුක්‍ෂි හඳුන්නෙත්ති
(මව්බිම)

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු