සන්නස්ගලගෙන් හා ගෝඨාගෙන් ගොන් ප‍්‍රශ්න ඇසීම: “නිදහස් – ස්වාධීන මාධ්‍ය’’ යනු කුමක් ද ?

කුසල් පෙරේරා-
‘‘රාවය’’ පුවත් පතේ මෙතෙක් පැවති ස්වාධීනත්වය තව දුරටත් පවත්වා ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් අප හා එක් වන්න යැයි අපි කණ්ඩායමක් රාවය පාඨකයින්ගෙන් සහ රාවය පුවත් පතේ හිතවතුන්ගෙන් ද, මාධ්‍ය ස්වාධීනත්වය සහ නිදහස අගයන පුරවැසියන්ගෙන් ද පසු ගිය ජූලි මාසයේ සිට ඉල්ලීම් කරන්නෙමු. දැනට නිදහස් සහ ස්වාධීන පුවත් පතකට ඉතිරිව ඇත්තේ එපමණ යැයි ද අපි කීවෙමු.
එහෙත් එපමණින් කතාව සම්පූර්ණ වේදැයි මම මගෙන්ම අසන්නට පටන් ගත්තෙමු.

මීට අවුරුද්දකට ටිකක් වැඩි අතීතයේ රැයක, උපුල් ශාන්ත සන්නස්ගල ‘‘මාධ්‍ය අහන්නේ ගොන්ම, ගොන් ප‍්‍රශ්න’’ යැයි කිසිදු පැකිලීමකින් තොරව, ප‍්‍රසිද්ධියේ කීවේ ය. ඔහු එසේ කීවේත් ප‍්‍රධාන රූපවාහිනි නාලිකාවක් වන ‘‘දෙරණ’’ නාලිකාවේ ඔහු සමගින් කෙරුනු සාකච්ඡාමය වැඩ සටහනකදී ය. ‘‘අංශක 360’’ යැයි නම් කර ඇති එම වැඩ සටහනෙහි සාකච්ඡා මෙහෙය වන්නී, ඩිල්කා සමන්මලී ය. ඇය අනතුරුව ඇසූ ප‍්‍රශ්නයකට ද, සන්නස්ගල ‘‘ ඕකනෙ මාධ්‍යයෙන් අහන්නෙ ගොන් ප‍්‍රශ්න කියලා….මම කිව්වේ’’ යැයි නැවත කීවේ ය.

ඔහු ඊළගට කීවේ, ‘‘පොතකට දෙන්නේ සියයට 10 ක කර්තෘ භාගෙනෙ දරුවා’’ කියා ය. ‘‘එතකොට ඔබ තුමා ලක්ෂ එකහමාර දුන්නේ ඒකටයි’’ ඩිල්කා වහා ඇසුවා ය. ‘‘ලක්ෂ එකහමාරක් කර්තෘ භාගය දෙන්න මේ පොත කීයක් වෙන්න ඕනෙ ද?’’ සන්නස්ගල ඇගෙන් ඇසුවේ ය. ඇය එවැනි සාමාන්‍ය කාරණවක් හෝ නොදැන සිටි බැව් ඒ වූ සියලූ කතා බහෙන් පැහැදිලි විය. එහෙත් ‘‘දෙරණ’’ නාලිකාව ඇය සමගින් මේ වැඩ සටහන ඉදිරිපත් කරන්නේ, කිසිවකුට පක්ෂපාති නොවන, ඉතා ස්වාධීනව වැඩ සටහන් මෙහෙයවන මාධ්‍ය සදාචාරයක් ගැන දක්වන ආඩම්බරයක් ඇතිව ය.

කෙටි පූර්විකාවක් ලෙස එය මෙහි සටහන් කෙරුවේ, ‘‘නිදහස් සහ ස්වාධීන’’ මාධ්‍යයක් ගැන කෙරෙන ඉල්ලීම, වෙනත් මානයකින් සංවාදයට ගැනීමට ප‍්‍රවේශයක් ලෙස එය ඉතා උචිත යැයි සිතුණෙනි. පොදු කතාවක් ලෙස කියන්නේ නම්, ආණ්ඩුවකින් ස්වාධීන-නිදහස් මාධ්‍යයක් ඉල්ලා සිටීම විහි`ඵවකි. ස්වාධීනව හා නිදහස්ව සිය කාර්ය කිරීමේ වගකීම ඇත්තේ මාධ්‍යවේදීන්ට ය. ආණ්ඩු හෝ අයිතිකරුවන් නිදහසට සහ ස්වාධීනත්වයට බාධා පමුණුවන්නේ නම්, ඒ බාධා කිරීම් වලට විරුද්ධ වන්නට මාධ්‍යවේදීන් ඉදිරිපත් විය යුතු ය. එය තමන්ගේ මාධ්‍ය ආයතනයෙහි පමණක් නොව. ජන මාධ්‍යයේ කොතැනක සිදු වූවත් විරුද්ධ විය යුතු ය. නිදසුනක් ලෙස, නූතන ලෝකයේ අන්තර්ජාල සන්නිවේදනයට ආණ්ඩුව බාධා පමුණුවන්නේ නම්, මාධ්‍යවේදීන් වහා ඊට විරුද්ධ විය යුතු ය. එසේ නොවන්නේ නම්, ඉල්ලා සිටින නිදහස් සහ ස්වාධීන මාධ්‍ය ගැන මාධ්‍යවේදීන් ගේ ඇති අවංක උනන්දුව බරපතල ලෙස ප‍්‍රශ්න කෙරෙන්නෙකි.

ඇත්ත ප‍්‍රශ්නය වන්නේ, මේ නිදහස් සහ ස්වාධීන මාධ්‍ය කුමක් සඳහා දැයි පැහැදිලි තේරුම් ගැනීමක් නැති විට ය. අද මේ සමාජයට නිදහස් සහ ස්වාධීන මාධ්‍යයක් අවශ්‍ය වන්නේ හුදෙක් පවතින ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය විවේචනය කිරීමට පමණක් නම්, එය අබ්බාගාත නිදහසක්, ස්වාධීනත්වයක් පමණකි. මාධ්‍ය පැවතිය යුත්තේ ආණ්ඩු විවේචනය කිරීමට පමණක් දැයි මම මගෙන්ම අසමි. එනමුත් අද නිදහස් සහ ස්වාධීන යනු එපමණකට සීමා වූවකි. අද මාධ්‍යයේ ‘‘හෙළිදරව් කිරීම්’’ යනු ප‍්‍රාදේශීය හෝ බලවතෙකුගේ අහු මුලූවල ඇති කුණු පොඞ්ඩක් ඇදීමට සීමා වූවකි. විද්‍යුත් මාධ්‍යයේ සාකච්ඡාවක දී නම්, විශේෂයෙන් විපක්ෂයේ දේශපාලනඥයකුගෙන් යම් ප‍්‍රශ්නයක් තරමක ගාම්භීරත්වයකින් ඇසීම, වීර කමෙකි. මාධ්‍යවේදියාගේ හෝ මාධ්‍යවේදිනියගේ ස්වාධීනත්වයයි. ආණ්ඩු පක්ෂයේ නම් ප‍්‍රශ්නය ප්‍රෞඩ හ`ඩකින් අසන්නේ ඇත්තටම රෙදි අපුල්ලා ගැනීමට අවස්ථාවක් දීමට වූවත් මවා ගන්නේ වීරත්වයකි. ස්වාධීන්තවයකි. අද මේ සමාජයේ මාධ්‍ය කියවන්නාත් අසා බලනවුනුත් ඉල්ලා සිටින්නේ ද එපමණ ය. එනිසා නිදහස් සහ ස්වාධීන මාධ්‍ය යැයි අර්ථ ගැන්වෙන්නේ එවැනි ඉඩ කඩක් ලබා ගැනීමය.

විශේෂයෙන් පෞද්ගලික මුද්‍රිත මාධ්‍යයෙහි ඊට වැඩි යමක් ලෙස නිදහස් සහ ස්වාධීන යැයි අර්ථ ගැන්වෙන්නේ, විපක්ෂයේ දෛනික කටයුතු ද යම් ඉඩ කඩක, පින්තූරයක් දෙකක් සමගින් පල කිරීමෙනි. එයට දැන් සම්මත යෙදුමක් ද ඇත. ‘‘පත්තරේ බැලන්ස් කිරීම’’ සඳහා විපක්ෂයට ද එළෙසින් ඉඩ දීම යැයි එය දැන් හැඳින්වේ. එපමණකින් විපක්ෂයේ කට්ටිය ද සතුටු වන්නාහ. එහෙත් එවැනි මාධ්‍ය පැවැත්මක් කෙතරම් නිදහස් හා ස්වාධීන වූවත් මේ සමාජයට කිසිදු ප‍්‍රයෝජනයක් නැති වග, ඩිල්කා සමන්මලී ගේ මාධ්‍ය භාවිතය ප‍්‍රශ්න කිරීමෙන් සන්නස්ගල තේරුම් කෙරුවකි. එනිසා ඊළග ප‍්‍රශ්නය වන්නේ, සන්නස්ගල කියූ ආකාරයේ, ‘‘ගොන් ප‍්‍රශ්න’’ නොඅසන නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් යනු කුමක් ද යන්නයි.

ඇත්තෙන්ම නම්, ගොන් ප‍්‍රශ්න නොඅසන මාධ්‍ය යනු පටන් ගැනීමක් පමණි. අද මාධ්‍ය සතු වගකීම ඉන් බොහෝ දුර යන්නකි. අද මාධ්‍ය සතු වගකීම එවගේම, පු`ඵල් හා ගැඹුරු වගකීමකි. අපේ රටේ, අනෙක් අප වැනි රටවල වාගේම, ආණ්ඩු පාලනයේ දුරාචාර, දූෂණ වංචා හෙළිදරව් කිරීම අවශ්‍යයෙන්ම විය යුත්තකි. එහෙත් ඒ අතරම, අපගේ වැනි රටවල වඩාත් භාර ධුර වගකීම වන්නේ මාධ්‍යයක් සමාජ විඥාණය, විද්‍යා-තාක්ෂණ, කලාව-සාහිත්‍ය, පරිසරය සහ කි‍්‍රඩාව වැනි මනුස්ස භාවිතයේ හැම පැතිකඩකම තාර්කික බුද්ධිය දියුණු කිරීමට හවුල් වීම ය. ඒ සමග, රටේ මූලික ප‍්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට අවශ්‍ය සාකච්ඡාවට මුල පිරීමත් එය දැනුවත්ව ගොඩ නැගීමත් ය. නිදහස සහ ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. එබැවින් මාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ගණන් බැලිය යුත්තේ මේ වගකීමත් සමග ය.

එවැන්නක් තීන්දු වන්නේ කර්තෘ මණ්ඩලය ඒ වෙනුවෙන් කෙතරම් දැනුවත් වෙහෙසක් ගන්නේ ද යන්න මත ය. රටේ එවැනි වදගත් හා මූලික කාරණා සහ ප‍්‍රශ්න වෙනුවෙන් තම මාධ්‍යයේ ස්ථාවරය කුමක්දැයි තීන්දු කිරීමත් සමග ය. ඒ වෙනුවෙන් ඊට ගැලපෙන තම මාධ්‍ය අනන්‍යතාවය ගොඩ නගා ගැනීම සිදු වන්නේ ඒ වෙහෙස සහ ඒ තීන්දු වලට අනුව ය. එය කර්තෘ මණ්ඩලය ඒ වෙනුවෙන් කෙතරම් තියුණු දැක්මක් දැනුමක් උකහා ගන්නේ ද යන්න සමග ඈඳෙන්නකි. බුද්ධිමය සම්පත් දායක කර ගන්නේ කෙසේ ද යන්න හා සැසඳෙන්නකි.

එවැනි මාතෘකාවක් වෙනත් මාධ්‍යයක් පටලවා නොගෙන ‘‘රාවය’’ ඇසුරෙන්ම කතා කළහොත්, කොළඹ නගරාලංකාරය ගැන කතා කළ යුත්තේ කෙසේ ද ? එය, ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග එක දිනෙක කරන සරළ ප‍්‍රශ්න ඇසීමකින් නතර විය හැකි ද ? කොළඹ ඉහළ මැද පංතියට ඔබින පිළිතුරු ඔහුගෙන් ලබා ගෙන, ඒ මාතෘකාව අවසන් කළ හැකි ද ? එය අද අනෙක් හැම මාධ්‍යයක්ම, ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍ය ලේකම් සමගින් කරන සම්මත සම්මුඛ සාකච්ඡාවට වඩා දියුණු ගැඹුරු සාකච්ඡාවක් නොවිය යුතු ද ? අද මේ රටේ මාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ ප‍්‍රශ්න ඇසීමෙන් ලබා ගත් උත්තර වලින් ඔබ්බට ඒ සාකච්ඡාව රැගෙන යන්නට ය.

අපේ රටේ අද නගරාලංකාරය සහ හමුදාව අතර සෘජු සම්බන්ධයක් ඇත. හමුදාව සම්බන්ධයෙන් උගත් මධ්‍යම පංතික වෘත්තිකයින් පවා කියන්නේ, යුද්ධය නිමාවෙන් පසු සොල්දාදුවන් නිකම් බැරැක්කවල තබා නොගෙන, ඔවුන් එවැනි පලදායි කාර්යන් හී යෙදවීම ඉතා කාලෝචිත බව ය. එය එසේ දැයි ඇසිය යුතු මාධ්‍ය නිදහසක් හා ස්වාධීනත්වයක් අපට අවශ්‍යව ඇත. එයට හේතුව, මෙවැනි යුද්ධයක් අවසන් වූ පසු, මෙතරම් විශාල හමුදාවක් නඩත්තු කරමින් ඔවුන් වෙනත් වැඩ වල යෙදවීම මගින් සිදු වන්නේ කුමක්දැයි ඇසීමට පමණක් නොව, ඒ ගැන දිග පළලින් කතා කිරීම අවශ්‍ය වීමය. මේ යුධ මානසිකත්වයෙන් හිරි වැටී නතරව ඉන්නා සොල්දාදුවන් යළි ජන සමාජගත කිරීමේ දියුණු වැඩ සටහනක් මිස, ඔවුන් මෙලෙසින් නඩත්තු කිරීම ගැට`ඵවක් නොවන්නේ දැයි වැදගත් ලෙස කතා කළ යුතුව ඇත.

එවගේම, සොල්දාදුවන් මෙලෙස යොදා ගැනීම මේ ආර්ථිකයේ එක් වැදගත් අංශයක් අඩාල නොවන්නේ දැයි ඇසිය යුතු ය. අද කොළඹ නගරාලංකාරය සඳහා දියවන්නාවේ සිට නිදහස් චතුරශ‍්‍රය පුරාත් නුගේගොඩ තෙත් බිම් උඉානය දක්වාත් බෙල්ලන්විල-අත්තිඩිය සංරක්ෂිතය හාරා බුල්ඩෝසර කිරීම දක්වාත් හමුදා සොල්දාදුවන් යෙදීමෙන්, පෞද්ගලික ඉදිකිරීම් අංශය වෙළඳ පලින් ඉවතට තල්ලූ කර දමා ඇත. සාමාන්‍ය දෛනික වැටුපෙන් ජීවත් වූ ශ‍්‍රමිකයින්ට ඒ හේතුවෙන් ජීවනෝපායක් අහිමි කර ඇත. පරිසරයට සිදු වන බලපෑම ගැන කතාව තවකකි. ඒවා පිළිබඳ තත්ත්ව ඇගයුම් කර ඇතිදැයි ප‍්‍රශ්න කිරීම නොකෙරුණත් එය මාධ්‍ය විසින් කළ යුතු කාර්යයකි.

එහෙත් ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග එවැනි වූ පු`ඵල් සාකච්ඡාවක් නොකෙරුනු අතර, අවම තරමින් ඉන් පසුව හෝ ඉතිරිය ගැන වෙනත් විද්වත් සාකච්ඡාවක් නොවුනි. මේ රාජ්‍ය ඔස්සේ ගොඩ නගා ඇති පවතින සමාජ මත රෝගාතුර, අසාධ්‍ය වූ මත යැයි අප තීන්දු කරන්නේ නම්, අපගේ පූර්ව තීන්දුව වෙනුවෙන් එවැනි කරුණු කාරණා සමාජය හමුවේ තැබීමකින් තොරව ඒවායේ ආධිපත්‍ය බිඳිය නොහැක. එවැනි කරුනු කාරණා තාර්කිකව සමාජය හමුවේ නොතබා, මේ ආණ්ඩුව පැවතීම වෙනුවෙන් ජනතාව වගකිව යුතු යැයි කීම, අනෙක් අතට ජනතාවට කෙරෙන අසාධාරණ චෝදනාවකි. එබැවින් එවැනි දියුණු බුද්ධිමය සංවාද සඳහා මාධ්‍ය යොදා නොගන්නේ නම්, මාධ්‍ය නිදහස සහ මාධ්‍යයේ ස්වාධීනත්වය අවශ්‍ය වන්නේ කුමක් සඳහා ද යන්න ඇත්ත ප‍්‍රශ්නයකි.

පසුගිය සතියේ නාලක ගුණවර්ධන විසින් ‘‘කපුවා කපෝති’’ කියමින් රැජින පුවත් පතේ කර්තෘ තිලක් සේනසිංහ පානදුර අලූබෝමුල්ලේ කපු මහතෙකුගේ හාස්කම් බොරු බවට ඔප්පු කර ඇතැයි කෙටි ‘‘ට්විට’’ ප‍්‍රකාශයක් කර තිබිණ. අනතුරුව මම ඒ පුවත කියැවීමි. තිලක් කර තිබූ කාර්ය ඉතා වැදගත් ය. ඔහු ඒ කාර්යයට අත ගසා තිබුණේ ඔහුගේ මාධ්‍ය සගයෙකු ඒ කපුවා ගැන ලියා තැබූ පම්පෝරිය කියැවීමෙනි. අද කපුවන්ගේ, කට්ටඞීන්ගේ, ජ්‍යොතිශාස්ත‍්‍රඥයින්ගේ එවැනි මන්ද බුද්ධික කියුම් කෙරුම් මාධ්‍ය පුරා විශාල ලෙස පල වන්නේ ය. ප‍්‍රකාශ වන්නේ ය. විකාශනය කෙරන්නේ ය. එමගින් මේ සමාජයේ ගොඩ නගන දුර්මත සහ යැපුම් මානසිකත්වය කෙතරම් දැයි කිවහොත් 05 ශිෂ්‍යත්ව විභාගයට උගන්වන ගුරුවරියම, ශිෂ්‍යත්වය සමත් වීම සඳහා බෝධි පුජා පැවැත් වීමට ළමුන් බස් රථයක නංවා ගෙන අනුහස් ඇති පන්සල් සොයා යන්නීය. දෙමාපියෝ එනිසා ඒ ගුරුවරිය ඉතා අවංක යැයිද කැප වීමෙන් වැඩ කරන්නේ යැයිද කියති.

ආණ්ඩු විවේචනය කිරීමට, දූෂණ හෙළිදරව් කිරීමට වාගේම මෙවැනි අතිශය පෞරාණික, අන්ධ සමාජ විශ්වාසයන් ප‍්‍රශ්න කිරීමට ද මාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය යොදා ගත යුතුව ඇත. සමාජයක මෙවැනි අන්ධ භක්තිකයින් බහුතරයක් හැදීම සහ මෙවැනි ආණ්ඩු වල පැවතීමට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. තර්කානුකූලව නොසිතන කරුමයත් වාසනාවත් මත ඉරණමට ඉඩ දෙන සමාජයකට අනාගතය වෙනුවෙන් ඉදිරි දැක්මක් හදා ගැනීමට නොහැකි හෙයිනි.

එබැවින් මාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳ සාකච්ඡුාව, හුදු ආණ්ඩු විරෝධයෙන් එහා ගෙන යා යුතු වන්නකි. කර්තෘ මණ්ඩලයක තිබිය යුතු පරිණත බවත් දැනුමත් අහම්බෙන් පහත් නොවන බව ද ඔවුන්ගේ වාර්තාකරණයේ වෘත්තීය තත්ත්වය හා ගුණාත්මක බව ඒ අනුව තීන්දු වන බවද තේරුම් ගත යුතු ය. මා ඒ ගැන කළ විමසුමකට රේඩියෝ සිලෝන් යුගයේ සිය මාධ්‍ය වෘත්තීය ආරම්භ කළ, පසුව යුනෙස්කෝ සංවිධානයේ සන්නිවේදන විශේෂඥයෙකු ලෙස එහි මාධ්‍ය සංවර්ධන ජාත්‍යන්තර වැඩ සටහනෙහි විධායක අධ්‍යක්ෂ වරයා ලෙස කලක් සේවය කළ විජයනාන්ද ජයවීර පිළිතුරු ලියුවේ, එය කර්තෘ මණ්ඩලයට ආණ්ඩුවෙන්, නියාමන ආයතන හෝ වාණිජ වුවමනාවන්ගෙන් බැහැරව තීන්දු ගැනීමට ඇති අයිතිය යනුවෙනි. ‘‘පුවත් වාර්තා පල කළ යුත්තේ සහ නොකළ යුත්තේ කෙසේදැයි මාධ්‍ය හිමිකරුවන් විසින් කර්තෘවරුන්ට කියා දීමට යෑම අප වළකා ලිය යුතුයි. එය මු`ඵමනින්ම කර්තෘ මණ්ඩලය විසින් තීන්දු කළ යුත්තකි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක වෘත්තීමය තත්ත්වයක් නොමැති නම්, එය ඔවුන්ගේ කුසලතා වර්ධනය පිළිබඳ වෙනම කතාවකි.’’ යනුවෙන් ඔහු විස්තර කර තිබුණි.

එබැවින් අද මාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ගැන කතිකාවෙහි, ආණ්ඩු සමග කෙරෙන ගනු දෙනුවකට අමතරව, මාධ්‍යයන්හි පලවන, විකාශනය වන පුවත් වාර්තා, විශේෂාංග සහ සංවාද වල අන්තර්ගතය ගැන කතාවක් ද තිබිය යුතු යැයි සිතමි.

colombotelegraph -

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු