sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » ව.අයි.ස. ජෙයපාලන් පිටමං කිරීමට මොහොතකට පෙර

නිලාර් එන්. කාසිම් 

පසුගිය දිනෙක එක්තරා වෙබ් අඩවියක මාධ්‍යවේදියකු මා අමතා ‘‘ජෙයපාලන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මගේ මතය කුමක්දැ’’යි විමසීය. ඒ මොහොත වනතුරුත් මම ඒ ගැන නොදැන සිටියෙමි. එක්වරම කම්පනයකුත් ආහ්ලාදයකුත් දැනිණ. කම්පනය ඔහු අත්අඩංගුවට පත්වීම පිළිබඳවය. ආහ්ලාදය දශකයකටත් වැඩි කාලයකට පසු ඔහු සිය මව්බිමට පැමිණීම පිළිබඳවය.

‘දමිළ කවියෙහි ශ‍්‍රී ලාංකික සලකුණ, ජෙයපාලන්’ නම් කෘතිය මා රචනා කළේ වසර 2000දීය. එහි ‘ජෙයපාලන් භූමිකාව’ නම් වූ දෙවන පරිච්ෙඡ්දය අවසන් කළේ මෙලෙසිනි.

‘‘90 දශකය අගභාගය වන විටත් කවියකු ලෙස පමණක් නොව, ඔහු දේශපාලන විචාරකයකු ලෙසද මෙරට ප‍්‍රකාශනයක් වූ ‘සරිනිහර්’ පුවත්පත තුළින් ලාංකීය පාඨකයන් මුණගැසුණේය. එවකට ඔහුගේ බිරිඳ හා දෙපුතුන් යළිත් නෝර්වේහි පදිංචියට පිටත් කළ හෙතෙම ස්ථිර පදිංචියක් නොමැතිව කොළඹ විසීය. වසර ගණනක ඇවෑමෙන් අනතුරුව මේ වනවිට ඔහුද නෝර්වේ බලා ගොස් ඇති අතර ඉදිරි කාලය කොහි ගතකරන්නේදැ’යි නිශ්චිත තීරණයකට එළඹ නැත. ජනවාර්ගික ගැටලූවේ හෙට දවස ක‍්‍රියාකරන ආකාරය මත ඔහුගේ ස්ථිර පදිංචිය තීරණය වනු ඇත.’’

ඊට පසු කාලයේ ශ‍්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම්, මනුෂ්‍ය ඝාතන මෙන්ම යුද්ධයද උත්සන්න විය. එහෙයින්, ජෙයපාලන් යළි සිය රට නොආවේය. පසුගියදා ඔහු සිය රට ආවේ රටේ තත්ත්වය යහපත්යැ’යි හැඟුණු නිසාය. මාන්කුලම් වට්ටකාඩුහි ඇති සිය ආදරණීය මෑණියන්ගේ සොහොන වෙත ගොස් අවසන් ගෞරව දැක්වීම ඔහුගේ මූලික අභිප‍්‍රාය විය.

ඉකුත් සති අන්තයේ ඔහු අත්අඩංගුවට ගත් පුවත සඳුදා දිනපතා පුවත්පත්වල වාර්තා කර තිබිණ. එක් පුවත්පතකට අනුව ඔහු ඉන්දීය නළුවෙකි. තවත් පුවත්පතකට අනුව නෝර්වේ කවියෙකි. තවත් පුවත්පතකට අනුව ඔහු මෙරට සන්නද්ධ ව්‍යාපාරය පණගැන්වීමට දෙමළ ඩයස්පෝරාවෙන් එවන ලද පිල්ලියකි. ඔහු රඳවා ඇත්තේ කොහිදැ’යි විමසමින් ආරක්ෂක අංශ සම්බන්ධීකරණය කරගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමි. අවසානයේ ජෙයපාලන් මිරිහානට රැුගෙනවිත් ඇති බැව් දැනගන්නට ලැබිණි. දරන ලද පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස මට දුරකතන ඇමතුමක් ආවේ ඔය අතරතුරය. දුරකතන සබඳතාවේ එහා කෙළවරේ සිටියේ ජෙයපාලන්ය.

තමා ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන බවත් එදිනම සවස යළිත් නෝර්වේ බලා යෑමට සිදුවී ඇති බවත් තමා හමුවිය හැකි ආකාරයත් අදාළ නිලධාරීන් මාර්ගයෙන් ඔහු දැනුම් දුන්නේය. එසැණින්ම ඔහු සොයා මිරිහාන පොලිස් පරිශ‍්‍රයේ ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශිකයන් රඳවා සිටින රැුඳවුම් කඳවුර වෙත ගියෙමි. එය උණුසුම් හමුවීමක් විය.

තමා සිංහල පාඨකයන්ට හඳුන්වාදීමට කළ මෙහෙයට ඔහු ණයගැති බව පළමුව මට පැවසීය. සියල්ල අවසන මවුබිම හැරයෑමට සූදානමින් සිටින ඔහු තුළ කිසිදු ඉච්ඡුාභංගත්වයක් හෝ ධෛර්යය සිඳුණු බවක් පෙනෙන්නට නොතිබිණි. ජෙයපාලන් පිළිබඳව මා ලියූ කෘතිය ආගමන විගමන නිලධාරීන් වෙත පිරිනැමුවෙමි. ඔහු කවුදැ’යි එයින් තිර ලෙස දැනකියා ගන්නට ඔවුන්ට එය අවස්ථාවක් විය. ඒ වනවිටත් ඔහු පිටුවහල් කිරීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබිණ. එහෙත් හේ රඳවනු ලැබ සිටියේ සෙසු විදේශික චූදිතයන්ගෙන් වෙන් කොට ගෞරවනීය පරිද්දෙනි. එහි සිටි නිලධාරීන්ගේ මහත්මා ගුණය පිළිබඳව ජෙයපාලන් වෙනුවෙන් අපගේ ප‍්‍රශංසාව පළකළ යුතුය. විශේෂයෙන්ම ස්ථාන භාර නිලධාරී සුනිල් ජයරත්න මහතා සිය රාජකාරිය ඉටුකර තිබුණේ මනුෂ්‍යත්වය පෙරදැරිවය. සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් පිළිබඳ වූ ඔහුගේ සංවේදීතාව ඊට හේතුවිය. අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට විවිධ අය තමා ගැන සොයා බැලූ බව ජෙයපාලන් කීවේය. ඔහුගේ සැහැල්ලූ සිනහව යට තමා මුහුණ දී සිටි ඉරණමේ කම්පනය සැඟව තිබෙන්නට ඇත. අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, බසීර් සේගු දාවුද් වැන්නන් සිය දුක සැප විමසා බැලූ බව ජෙයපාලන් කීවේ කෘතගුණ පූර්වකවය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රභා ගනේෂන් මහතා ඔහුගේ ආහාරපාන අවශ්‍යතා සොයා බලා තිබිණ.

ජෙයපාලන් පසුගිය දශක කීපය තුළ ඉන්දියාවේත්, නෝර්වේ දේශයේත් තාවකාලිකව රැුඳුණේය. 1983 කළු ජූලියෙන් පසු ඔහු කෙටි කලකට ඉන්දියාවට ගොස් සිටියේය. එහෙත් ශ‍්‍රී ලංකාව පිළිබඳව වූ දේශවාත්සල්‍යය ඔහුගේ හිතින් පහ නොවීය. එම කාලපරිච්ෙඡ්දය තුළත් සිය මවුබිමට පැමිණිය යුතුය යන නොඉවසිලිමත් සිතුවිල්ල ඔහු පෙළීය. ඒ හැඟීම ඔහු හිරු සමග බෙදාගත්තේ මෙලෙසයි.

‘‘අනේ අද අලූයමෙන්
තමිල්නාඩුවේ එක මං පෙතක
ඇදී යන බස්රියේ කවුළුවෙන් ඇතුළු වී
තුරුලූ වී
හෙමින් මට හාදු දී
අවදි වූ මගේ අතැඟිලි තුළට
නැවුම් නෑඹුල් දවස
තෑගි ලෙස පිදුවේද ඔබ තමයි...

බුර බුරා පැන නැගෙන ගින්න මැද
මලක් මෙන්
රණබිමේ ජීවයෙන් අවදි වන
අපගේම ජීවිතය උදෙසාම
අද දවස මම ඔබට තෑගි දෙමි...

ආයෙ කවදාක හෝ
මගේ මවුබිමේ එක වෙරළතක
මගේ දෙපයින්ම මං නැගෙන’යුරු
ඔබ දකින දවසකදි
මට යළිත් අරගන්න
අද දවස මම ඔබට තෑගි දෙමි....’’

එබඳු දේශවාත්සල්‍යයකින් ඔහු මෙවර දිවයිනට පැමිණ ඇත්තේ සිය ආදරණීය මෑණියන්ගේ සොහොන වෙත ගොස් අවසන් ගෞරව දැක්වීමටය. ඔහුගේ මව මියගියේ 1996 වසරේදීය. ඒ වන විට පැවති යුදමය වාතාවරණය තුළ සිය පුතු යළි මවුරටට එනු දකින්නට ජෙයපාලන්ගේ මව බිය වූවාය. ඇය සිය මරණයට දින කීපයකට පෙර ජෙයපාලන් ඇමතීය. ‘‘පුතා මම තව වැඩි දවසක් ජීවත් වෙන එකක් නැහැ. දැන් මෙහේ තත්ත්වය හරිම දරුණුයි. මගේ මරණෙටවත් පුතා එන්න උත්සාහ කරන්නෙපා. එහෙට වෙලා පරිස්සමින් ඉන්න...’’

ජෙයපාලන් නිරුත්තර විය. ආදරණීය වුවත් වේදනාකාරී ඉල්ලීමකි. ජෙයපාලන්ට සිය මවට අවනත නොවී සිටින්නට නොහැකි විය. මවගේ ඉල්ලීමට ප‍්‍රතිඥා දුන්නා පමණක් නොව එය එලෙසින්ම ඉටුකරන්නටද ඔහුට සිදුවිය.

රැුඳවුම් භාරයේදී ජෙයපාලන් තමන් සතුව තිබූ සිය අලූත්ම කවි පොත මට පරිත්‍යාග කළේය. එහි ආදරණීය මෑණියන් පිළිබඳව වූ කව දෙමළෙන් කියවා පෙන්වීය. එහි මාතෘකාව ‘‘මට එන්න බැරිවුණා අම්මේ’’ යන්නයි. මම එය මෙසේ සිංහලට නැගුවෙමි.

‘‘මට එන්න බැරිවුණා අම්මේ
ගින්දර
ඔබේ මළ සිරුරට
හාදුවක් දෙන්න පෙර
හාදුවක් දෙන්න මට ඊට...’’

අවුරුදු 17කට පසු ඔහු සිය රට පැමිණියේ එම වේදනාබර අත්දැකීමත් සමගය.

‘‘ඉතිං, මොකද වුණේ?’’ මම විමසීමි.

‘‘මං අම්මගේ සොහොනට යද්දි තමයි මාන්කුලම්වලදි ටීඅයිඞී එකෙන් මාව ඇරෙස්ට් කරන්න ආවේ. එයාලා මාව ඇරෙස්ට් කරන්න වෙන බව කිව්වා. මං පහදලා දුන්නා මට අම්මගේ සොහොන බලන්න ඕනෑ. එතෙන්ට යන්න කලින් එයාලාට අවනත වෙන්න බෑ කිව්වා. මං ආවේගයෙන් කෑගැහුවා. මං ආපු අරමුණට මුලින් ඉඩ දෙන්න. එහෙම නැත්නම් ඔයාලගේ වැඬේට මං අනුග‍්‍රහය දෙන්නේ නැහැ කියලා. ඕනෑ නම් මට මාංචු දාලා පහරදීලා බලහත්කාරෙන් ගෙනියන්න කියලා. ඒත් එයාලා එහෙම කළේ නැහැ. ඒ නිලධාරියා මගේ සිතැඟි තේරුම් ගත්තා. මට කරදරයක් කළේ නැහැ.’’

එහෙත් ජෙයපාලන් පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තාවල පළවූ තොරතුරු සුළු පටු ඒවා නොවීය. ඔහු සන්නද්ධ අරගලයකින් දෙමළ ඊලාමයක් පිහිටුවීමට දේශනා පැවැත්වූ බවත්, බෙදුම්වාදයට උඩගෙඩි දෙන බවත් ප‍්‍රකාශ කෙරිණ. එම මතවාදය ගැනද ඔහුගෙන් විමසීමි.

‘‘මම බෙදුම්වාදයවත්, සන්නද්ධ අරගලය ගැනවත් කතා කළේ නැහැ. ඒක මගේ දර්ශනය නෙවෙයි. මගේ දර්ශනය තමයි දුබලයා වෙනුවෙන් ප‍්‍රබලයා පෙනී හිටින්න ඕනෑය කියන එක. සිංහල ජනතාව දෙමළ ජනතාවගේත්, දෙමළ ජනතාව මුස්ලිම් ජනයාගේත් උරුමයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන එක. ඒකයි මගේ දර්ශනය. ඒ වගේම උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයා අතහැරලා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වත්, දෙමළ ජනයා අතහැරලා මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම්වත් දිනාගන්න බැහැ.’’

මීට දශකයකට එකහමාරකට පෙර දේශපාලන විචාරකයකු ලෙසද ඔහු මේ මතයම ඉදිරිපත් කර තිබිණ. වසර 2000දී මවිසින් පළ කෙරුණු ‘‘දමිළ කවියෙහි ශ‍්‍රී ලාංකික සලකුණ, ජෙයපාලන්’’ කෘතියේ අවසන් පරිච්ෙඡ්දය අවසන් කර තිබුණේ ඔහුගේම ලේඛනයක මේ උද්ධෘතයෙනි.

‘‘දැවුණු නිවෙස්වල තැනුණු අලූත් වහළවල හිඳ ගයන කුරුල්ලන්ගේ ගී ඇසීමටත්, ඝාතනයට ලක්වූවන්ගේ සොහොන් බිම් මතින් අලූත් මල් පිපෙන තුරුත් මම බලා සිටිමි. අලූත් කුරුල්ලන්ගේ ගීත සහ අලූත් මල්වල සුවඳ එක්ව දැවුණු නිවෙස්වල ඉපිද දිවි ගෙවූ තරුණ මුස්ලිම්වරුන් සහ දමිළයන් එකතු කර තබාවි. සොහොන් බිම් අසල කඳුළු සලන දමිළ මුස්ලිම් ගැහැනුන්ගේ සිත පුරවාවි.’’

මෙසේ දෙමළ-මුස්ලිම් සමගියක් අපේක්ෂා කළ ජෙයපාලන් එල්ටීටීඊය උතුරෙන් මුස්ලිම්වරුන් පලවා හැරීම පිළිබඳ ප‍්‍රසිද්ධියේ සිය විරෝධය පළ කළේය. උතුරේ මුස්ලිම්වරුන්ගේ අයිතීන් සඳහා වූ සංවිධානය විසින් එකී ජනතාව උතුරෙන් පලවා හැර පස්වසක් සපිරෙනදා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී ගායනා කළ මේ කවිය එල්ටීටීඊයට එරෙහිව අවි අමෝරා ගැනීමක් බඳු විය.

අයියලා වන අපි
හතුරුකම් කළෙමු
ඔබේ නිජබිම උදුරා ගතිමු
මහා ජඩයන්ව
පෙකණි වැල සිඳ
නිජබිමේ මවුකුසින්
නුඹව වෙන්කොට වීසි කළෙමු
ඔහු මුස්ලිම්වරුන් ඉදිරියේ සමස්ත දෙමළ ජනතාව වෙනුවෙන් පාපෝච්චාරණයක් කළේය. උතුරුකර මුස්ලිමුනි
මගේ ජීවිතය තුළ
ඔබ තරම් ශ්‍රේෂ්ඨ වූ ජාතියක් නොදිටිමි
මේ තරම් උත්තුංග සෙනෙහසක් නොදිටිමි මේ සියල්ලට පසුත්
දමිළ කොවුලකු වූ මා
ළඟට ගෙන ගීතයක් ගයන්නැ’යි මට කියයි
සහෝදරවරුනි මා කුමක් නම් ගයන්නද?’’

ඔහු සිය දෙමළ සමාජය පිළිබඳව මෙන්ම සහෝදර සිංහල හා මුස්ලිම් සමාජය පිළිබඳව සංවේදීව කවි ලීවේය. 1980 ජූලි වැඩ වර්ජනයේදී මියගිය සෝමපාල සහෝදරයා පිළිබඳව මෙන්ම වතුකරය පිළිබඳව කවි ලීවේය.

වන්නියනාදර් අයියම්පිල්ලෙයි ෂන්මුගම් පිල්ලෙයි ජෙයපාලන් උපත ලැබුවේ යාපනය චුන්නාකම් ආශ‍්‍රිතව ඇති උඩුවිල් ප‍්‍රදේශයේය. දමිළ කවියේ දැවැන්තයකු වූ ඔහු පිටුවහල් දමිළ සාහිත්‍ය ලෝකයේද අසමසම චරිතයකි. ඉන්දියාවේද ස්කැන්ඩිනේවියානු හා යුරෝපා රටවලද ඔහුගේ සාහිත්‍ය නිර්මාණවලට හිමිවන්නේ ප‍්‍රශස්ත ස්ථානයකි.

ඔහුගේ ඇතැම් කෘති තමිල්නාඩු විශ්වවිද්‍යාලවල නිර්දිෂ්ට කෘතිය. රංගනය වෙනුවෙන් ඔහුට ඉන්දීය ජාතික සම්මානය හිමිවිය. අනතුරුව කන්නඩ චිත‍්‍රපටයකද ඔහු චරිතයක් නිරූපණය කළේය. මේ දිනවල අලූත් චිත‍්‍රපටයක් සඳහා තිර නාටකයක් ලියමින් සිටින බව ජෙයපාලන් මා සමග පැවසීය.

මෙවන් නිර්මාණවේදියකු පිළිබඳව ශ‍්‍රී ලාංකේය පුවත්පත්වල පළකර තිබූ ප‍්‍රවෘත්තිමය සටහන්වල ඔහු ‘ආගන්තුකයකු’ කර තිබුණේ ඒ පුවත්පත්වල වරද නිසාම නොවේ. ඒ අපේ සංස්කෘතික දුප්පත්කමය. පශ්චාත් යුද සමයේ භෞතික සංවර්ධනය ගැන මිස ආධ්‍යාත්මික සංවර්ධනය නොතකන නිසාය. මේ තත්ත්වයට කවුරු කවුරුත් වගකිව යුතුය. ජෙයපාලන් ‘ද්‍රෝහියකු’ වීමේ සංසිද්ධිය පිළිබඳව ඇතැම් විකල්ප වෙබ් අඩවිවල සහ තරුණ නිර්මාණකරුවන්ගේ ෆේස් බුක් හරහා සංසරණය වූ ප‍්‍රතිචාරවල පමණක් තුලනාත්මක තොරතුරු පළවී තිබිණ.

ඔහු පිටුවහල් කරනු ලැබීමට මොහොතකට පෙරද මා සමග කතා කළේ දෙමළ කවිය පිළිබඳවය. ඇතැම් සිංහල මාධ්‍ය තමන් පිළිබඳව තතු විකෘති කොට පළකර ඇති බව කියා සිටියේය. මවුබිමෙන් නික්ම යෑමට හිත හදාගෙන සිටි ඔහු මගේ ඇස් දිහා බලා සිටියේය.

‘‘ඔබේ ඇස්වල
දිළිසෙයි-මගේ පිළිබිඹුව...’’ ඔහුගේම කවි දෙපදයක් මුමුණා සිනාසුණේය. එම දෙපදය තිබුණේ ඔහුගේ නවතම පද්‍ය සංග‍්‍රහයේ එන පද්‍යයකය. ජෙයපාලන් පිටුවහල් කිරීමට මොහොතකට පෙර අවසන්වරට මගෙන් ඉල්ලීමක් කළේය. අර කවි දෙපදය ඇතුළත් ‘නිල් පැහැය’ නම් වූ පද්‍යය පරිවර්තනය කොට සිංහල පාඨකයා හමුවට පමුණුවන ලෙසය.

ඔහු ‘‘නිල් පැහැය’’ මගින් එහි සංකේතවත් කර තිබුණේ රොමාන්තික සිතිවිලි මාත‍්‍රයන්හි හැඩරුවය. තමා හමුවට බරපතළ චෝදනාංගුලියක් එල්ල වී ඇති විට පවා ඔහු පරිවර්තනය කරන්නැ’යි කීවේ රොමාන්තික සිතිවිල්ලකි. කවි හිත එහෙමය.

මේ එම කවියයි.

සොඳුරිය
කාලය වියැකී යන ලෙසින්
පෙණ පිඬු බිඳී විසිරෙන වෙරළේ
පිය සටහන් මැකී යන විට
අප දෙදෙන
සිප්පි කටු අහුලමින් ඇවිද ගිය හැටි
ඔබට මතකද?

පහුරු එතෙමින්
දිවයන වැලක් මෙන්
මහ මුහුදෙන් අහසට ගලන
නිල් පැහැය බඳු
සබඳතාවක්
විහිද යනු දුටුවාද
අප අතර?
දිගු කොට හොට
මසුන් සොයමින් සිට
හිස එසවූ කොකෙකු මෙන් ඔබ
බලා සිටී මා දෙස...

ඔබේ ඇස්වල
දිළිසෙයි
මගේ පිළිබිඹුව

ගෙවී ගිය මුත්
දිගුම දිගු කාලයක්
වියපත් නොවෙන
හිතක් ඇත ඔබට...
සොඳුරිය
තරුණකම කියන්නේ
දිවි මගට පෙම් බඳින කැමැත්තයි
තරුණකම කියන්නේ
හදාරන්නට ලැබෙන හිතක්මයි
තරුණකම කියන්නේ
නිමක් නැති හෙවීමයි
තරුණකම කියන්නේ
ඇසෙන දේ ඇගයුමයි
තරුණකම කියන්නේ
නොසිඳෙන විඳීමයි
තරුණකම කියන්නේ නොබිඳෙනා පේ‍්‍රමයයි
තරුණකම කියන්නේ
සත්සරයි නර්තනයි මුහුව එන
දිව්‍යමය එකතුවයි
ප‍්‍රිය සබඳ
ඇත්තටම
කීයත් විතර ඇතිද ඔබෙ වයස?’’
‘‘සොඳුරිය
මගෙ වයස
මැරෙන තෙක් දිවි ගෙවන කාලයයි.’’

ravaya -

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..