රාවයේ මූලධර්ම පත්‍ර කලාවේ මූලධර්ම සහ සී.අයි.ඩි.යේ (අ) මූලධර්ම

'රාවය' පත්තරයේ පළ වූ ප්‍රවෘත්තියක්‌ සම්බන්ධයෙන් කට උත්තරයක්‌ ලබා ගැනීම සඳහා එම පත්තරයේ කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන සී. අයි. ඩි. යට කැඳවන ලද බවත්, ඔහු සිය නීතිඥයා සමඟ එහි ගිය විට සී. අයි. ඩියේ නිලධාරීන් විසින් නීතිඥයා පලවා හරින ලද බවත්, දැන ගන්නට තිබේ. මෙහිදී පලවා හරිනවා යනුවෙන් අප යොදන්නේ "ඒයි
නීතිඥයා..... පලයන් යන්න....." යනුවෙන් එලවා දැමූ නිසා නොවේ. මතු කියෑවෙන කාරණය නිසා ය කටඋත්තරයක්‌ දීමට පොලිසියට යන කෙනෙකුට සිය නීතිඥයා කැටිව යැමට හැකි බවටත් කටඋත්තරය දෙන අවස්‌ථාවේදී එයට බාධාවක්‌ හෝ බලපෑමක්‌ නො කර නීතිඥයාට තම සේවාදායකයා හෙවත් කටඋත්තරය දෙන තැනැත්තා අසල රැඳී සිටීමට හැකි බවටත් චක්‍රලේඛයක්‌ තිබේ. සී. අයි. ඩිය ද පොලිසියක්‌ වන බැවින් මේ චක්‍ර ලේඛය එතැනට ද වලංගු ය. ඒ අනුව සී.අයි.ඩියේ නිලධාරීන් ජනරංජනගේ නීතිඥයා අමතා "පිං කරන හාමුදුරුවනේ..... මෙතැනින් එළියට යහපත් වන්න" යෑයි කීවද, එය ද පලවා හැරීමකි. එසේම ජනමාධ්‍යවේදියකුගෙන් කටඋත්තරයක්‌ ගැනීමට අවශ්‍ය අවස්‌ථාවලදී පොලිසිය හෝ සී. අයි. ඩි. ය අදාළ මාධ්‍යකරුවා වැඩ කරන ආයතනයට පැමිණිය යුතු බවට එකඟත්වයක්‌ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ සිට තිබේ. ජනරංජනට සී.අයි.ඩි. යට එන ලෙස දන්වන ලද්දේ දුරකථනයෙන් ඔහු අමතා කතා කළ වික්‍රමසේකර නමැති සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකි. චන්ද්‍රිකාගේ කාලයේ දී ඇති කර ගත් එකඟත්වය ජනරංජන විසින් වික්‍රමසේකරට දැනුම් දුන්න ද ඔහු එය ගණන් ගෙන නැත. එක අතකට වික්‍රමසේකර වැරදි නැත. හේතුව පොතේ ලියූ නීතිය මිස හිතේ තිබෙන එකඟතාවන්ගෙන් පොලිසියට වැඩක්‌ නැති වීම ය. සමහර විට චන්ද්‍රිකා මැඩම් ද මතු යම් දවසක මාධ්‍යයට කෙළවෙලාම පලච්චාවේ යන අදහසින් පෙර කී එකඟතාව නීති පොත්වලට නො යවන්නට වගබලා ගන්නට ඇත. (මෙය සැකයක්‌ පමණි. අප වැරදි නම් එතුමිය අප කමත්වා·) අනෙක්‌ අතට වික්‍රමසේකර වැරදි ය. හේතුව ඔහු චක්‍රලේඛයේ එන නීතිඥ රැකවරණය වගඋත්තරකාරයාට ලබා දීමේ අයිතිය උල්ලංඝනය කර ඇත. මෙය ඡේ. ආර්. ගේ කාලයේදී සිදු වූයේ නම් වික්‍රමසේකර ගොඩ ය. මන්ද, සමසමාජ පක්‍ෂයේ විවියන් ගුණවර්ධනට බිම දමාගෙන පහර දුන් පොලිස්‌ නිලධාරියකුට උසාවිය දඩ ගැසූ විට ඡේ. ආර්. ඔහුට උසස්‌වීමක්‌ දුන්නේ ය. ඡේ. ආර්. තියරියට අනුව සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පැය 24 ක්‌ තුළ නියෝජ්‍ය පොලිස්‌පති කෙනෙකු වීමට නම් ජනරංජනගේ නීතිඥයාට සැලකූ ආකාරය හොඳටම ප්‍රමාණවත් ය.

සී.අයි.ඩි. ය ජනරංජන කැඳවූයේ ඇයි? මෙයට සතියකට පමණ පෙර 'රාවයෙහි' පුවතක්‌ පළ විය. රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍රා වාකිෂ්ඨ විසින් මීළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සාදන ලද වාර්තාවක්‌ නිසා කෝප ගත් ආණ්‌ඩුව ඔහු රස්‌සාවෙන් අස්‌ කළ බව පුවතෙහි සඳහන් විය. මේ පුවතට ලැබුණු ඉහළ ප්‍රචාරය නිසා චන්ද්‍රා වාකිෂ්ඨට පාරට බහින්නට බැරි තත්ත්වයක්‌ මතු විය. "රස්‌සාව නැති වුණා නේද?" යනුවෙන් හැමදෙනාම පාහේ ඔහුගෙන් විමසන්නට වූහ. අවසානයේදී එම පුවත ඉතා නරක කටකතාවක්‌ බවට පත් විය. ශ්‍රී ලාංකිකයා නිකමට කල්පනා කරමින් සිටින අවස්‌ථාවලදී ඉතාම නිර්මාණාත්මක බොරු ගොතා ඉතාම සත්‍ය පුවත් ලෙස ප්‍රචාරය කරන්නේ ය. වාකිෂ්ඨගේ වාර්තාව හෝ රැකියාව පිළිබඳව අපට දැනුමක්‌ නැති අතර ඒ පුවත බොරුවක්‌ නම් එසේ පළ කිරීම ගැන අප තුළ ද එකඟත්වයක්‌ නැත. එහෙත්, නීතියේ ආවරණය හෝ ආරක්‍ෂාව සිවිල් වැසියාට අයිති දෙයක්‌ වන අතර එය වළක්‌වාලීම මඟින් මූලික අයිතියක්‌ උල්ලංඝනය වන්නේ ය. 'රාවයේ' මතය සහ 'දිවයිනේ'මතය අතර කොතරම් වෙනසක්‌ තිබුණත් ජනරංජනට වූ හදිය, ඉහත සඳහන් පදනම මත අප විසින් හෙළා දකිනු ලබන්නේ ය

divaina 

0 comments:

රාවය කර්තෘ CIDයට කැඳවයි

රාජ්‍ය බුද්ධි අංශවල තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට 59%ක ඡන්ද ප්‍රතිශතක් සහ මහින්ද රාජපක්ෂ මහතාට 41% ප්‍රතිශතයක් ලැබෙන බව රාවය පුවත්පතේ පළ කිරීමෙන් පොලිස් බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී චන්ද්‍රා වාක්ශ්ඨ මහතාට පෞද්ගලික අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
එම ප්‍රවෘත්තියෙන් චන්ද්‍රාවාකිෂ්ඨ මහතාට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට කිසිඳු අපහාසයක් කර නොමැති අතර තොරතුරු වාර්තා කිරීම පමණක් සිදු කර ඇත. කිසිදු වගකිවයුතු ආයතනයකින් එය ප්‍රතික්ෂේප නොකර මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සමයේ එළෙඹි තීරණයක් අනුව යම් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු නම් ඔවුන් එම දෙපාර්තමේන්තුවට නොකැඳවා පුවත්පත් කාර්යාලවලට පැමිණ ප්‍රකාශ සටහන් කරගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබිණ. එහෙත් එයට උල්ලංගනය කරමින් රාවය කර්තෘවරයා එම දේපාර්තමේන්තුවට කැඳවා තිබේ.

0 comments:

මැර බලයට මුහුණදීමට 'මාධ්‍ය ජාලයක්

අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' නමින් සංවිධානයක් ස්ථාපිත කර තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් පිරිසකට සහතිකපත් ඛෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් 15 වැනිදා උදේ 10.00ට කොළඹදී සංවිධානය කර තිබියදී ඊට එල්ලවූ තර්ජන සැලකිල්ලට ගෙන, අනාගතයේ එවැනි අභියෝගයන්ට මුහුණදීම සඳහා  මෙම සංවිධානය පිහිටුවාගත් බව ගවේෂණාත්මක මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්, ජනූර් කිචිලාන්  හා මංගලනාත් ලියනාරචිචි යන    මාධ්‍යවේදීන් දෙදෙනාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ.

එම නිවේදනය පහත පළවේ.                                        


'' ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනකට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් පිරිසකට සහතිකපත් ඛෙදාදීමේ උත්සවයක් සහ සුහද හමුවක් 15 වැනිදා උදේ 10.00ට කොළඹදී පැවැත්වීමට නියමිතව තිබියදී, එය නොපවත්වන ලෙසත්, ඊට සහභාගී වන්නන්ට පහරදෙන බවට හා මරාදමන බවටත් සංවිධානාත්මක පිරිසකගෙන් එල්ල වූ තර්ජන පිළිබදව ඊට ඇරයුම් ලැබූ හා එම තර්ජනවලට ලක් වූ මාධ්‍යවේදීන් වන අපි බලවත් කම්පනයට පත්ව සිටිමු.


ජනතාවට තොරතුරු ලබාදීමේ සුවිශේෂ ජාතික මෙහෙවරක නිරත මාධ්‍යවේදින් වන අපට මරණ තර්ජනවලින් තොරව අපගේ වෘත්තියට අදාළ පුහුණු වැඩසටහනක සහතික ප්‍රදානෝත්සවයකට සහභාගී වීමට හෝ නොහැකි තරම් දරුණු මර්දනකාරී හා භීෂණකාරී වාතාවරණයක් රට තුළ ඇති වී තිබීම ගැන අප තුළ ඇති කරන්නේ තියුණු කණස්සල්ලකි.


'රට රැකගත් දේශප්‍රේමී බලකාය' නම් ඊනියා සංවිධානයක මුවාවෙන් මේ තර්ජන එල්ල කළද, මෙම වැඩසටහනට දින නියම වූ තැන් පටන් සිදුවූ ක්‍රියාදාමය නිරීක්ෂණය කරන විට, අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ, එයට රාජ්‍ය තන්ත්‍රයේ සහාය හිමිව ඇති බවයි.


ආරක්ෂක බුද්ධි අංශවලට සම්බන්ධ අය විසින් පසුගිය 13වැනිදා සිට මෙම වැඩසටහනට සම්බන්ධ  මාධ්‍යවේදීන්ගෙන් ඒ පිළිබඳව විවිධාකාරයෙන් විමසා තිබූ අතර, 14 වැනිදා සවස්වරුවේ සිට උත්සවය නොපවත්වන ලෙස හා ඊට සහභාගී නොවන ලෙස දුරකථන ඔස්සේ තර්ජනය කිරීම ආරම්භ විය.


ඔක්තෝබර් 14 වැනිදා සවස 0756245489 දුරකථන අංකය ඔස්සේ මෙම වැඩසටහනට පහසුකම් සැපයූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ නිලධාරීන්ටත්, මෙම පුහුණු වැඩසටහනේ පුහුණුකරුවකු වූ ජයසිරි ජයසේකර මහතාටත් සහභාගිකයන් වන ජනූර් කිචිලාන්, අමදෝරු අමරජීව යන මාධ්‍යවේදීන්ටත් මරණ තර්ජන එල්ල කෙරුණු අතර එදින රාත්‍රියේ 0725436266 දුරකථන අංකය ඔස්සේ එම පිරිසට හා සහභාගී වීමට නියමිතව සිටි මාධ්‍යවේදීන්ට 'රට බේරාගත් දේශප්‍රේමී බලකාය' නමින් තර්ජනාත්මක එස්එම්එස් පණිවුයක් එවනු ලැබිණි. අදාළ උත්සවය අවලංගු බවත්, එය එල්ටීටීඊ රැස්වීමක් බවත්, ඊට සහභාගී වන්නන්ට පහර දෙන බවත් එහි සඳහන් විය.


එදිනම (14) වැනිදා රාත්‍රියේ සහ පසුදා උදෑසන උත්සවය සඳහා කොළඹට පැමිණෙමින් සිටි මාධ්‍යවේදීන්ට දුරකථන ඔස්සේ දිගින් දිගටම තර්ජන එල්ල විය.


ඔක්තෝබර් 15වැනිදා උදෑසන 10.00ට පමණ උත්සවය පැවැත්වීමට නියමිත හෝටලයට අංක තහඩු නැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ''අවසන් නිවේදනය'' යැයි තර්ජනාත්මක පණිවුඩයක් සහිත පාර්සලයක් විසි කර ගියේ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් බලා සිටියදීය.


මෙම වාතාවරණය මත අදාළ උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට සංවිධායකයන්ට සිදු වූ අතර, උත්සවය පැවැත්වෙමින් තිබියදී එහි සංවිධායකයන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන අංකවලට 0112 438359 දරන ස්ථාපිත දුරකථන අංකය ඔස්සේ කතාකළ පුද්ගලයකු උත්සවය පැවැත්වෙන ස්ථානය පවසන ලෙස බල කරමින් 'කී දේ නෑසූ බැවින් ඔවුන් මරා දමන බවට'තර්ජනය කළේය.


මේ අන්දමින් කටයුතු කිරීමට සාමාන්‍ය පුද්ගලයන්ට හෝ කණ්ඩායමකට හැකි වෙතැයි සිතීමට තරම් අපි බොළඳ නොවෙමු.


මෙය ආණ්ඩුවේ අනුදැනුම මත, ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයින් විසින් දියත්කරන ලද නීති විරෝධී ක්‍රියාදාමයක් බව අපගේ විශ්වාසයයි.


රට තුළ දරුණු යුද්ධයක් පැවැති වකවානුවේදී වත්, ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන් පසුපස මේ අන්දමින් හඹා යාමක් හෝ ඔවුන්ගේ කටයුතුවලට මේ අන්දමින් බාධා කිරීමක් නොවූ බව දිගු කාලීන වෘත්තීය අත්දැකීම් ඇති අපි හොඳාකාරවම දනිමු.


ජනමාධ්‍යවේදීන් ලෙසත් පුරවැසියන් ලෙසත් රටේ නීතියට හා මාධ්‍ය ආචාරධර්මවලට ඉහළින්ම ගරු කරන අපි, තරයේම කියා සිටින්නේ, මෙබඳු අවනීතියක්, එය කෙතරම් බලවත් පාර්ශ්වයක් විසින් මෙහෙයවනු ලැබූවද පිළිගැනීමට සූදානම් නැති බවයි.


මේ රටේ සිදුවන සියලූ ආකාරවල නීති විරෝධී ක්‍රියා හෙළිදරව් කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන්ද ඉමහත් සේවයක් ඉටු කර ඇති අපට එල්ටීටීඊ ලේබලය ඇළවීම බලවත් අපහාසයකි.


හැකි නම් එළිපිට ඒ චෝදනාව අප වෙත එල්ල කරන්නැයි මේ බියගුළු පාර්ශ්වවලට අපි අභියෝග කරමු.


මෙම තත්ත්වය ජනමාධ්‍යවේදීන් ලෙස අපට එල්ල වූ තර්ජනයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසටත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලටත් එල්ල වූ බරපතළ තර්ජනයක් බව අවධාරණය කරන අපි, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කොට මෙම තර්ජන සිදු කළ පුද්ගලයන් හා ඔවුන් පිටුපස සිටින බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් සහ ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනය, ගවේෂණාත්මක මාධ්‍යවේදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉකුත් සමය තුළ ඵලදායී වැඩ කොටසක් ඉටු කළ අතර, දිගින් දිගටම එල්ලවන තර්ජන හා බාධාකිරීම් හමුවේ එම ආයතනය මාධ්‍යවේදීන්ගේ පුහුණු වැඩසටහන්වලින් ඉවත් වන තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙය අපගේ වෘත්තිය තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට තිබූ අවස්ථා අහිමි කිරීමකි.


මෙම වාතාවරණය හමුවේ, එල්ල වී ඇති අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා සංවිධානයක් පිහිටුවාගත යුතු බව, තර්ජන මධ්‍යයේ පැවැති රැස්වීමට සහභාගී වූ සියලූම මාධ්‍යවේදීන්ගේ ඒකමතික අදහස විය.


ඒ අනුව 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' බිහිකර ගැනීමට අප ඊයේ සමත් වූ අතර, අප එය දකින්නේ මෙම අඳුරු වළාව තුළින් මතු වූ රිදී රේඛාවක් ලෙසය.

ජනමාධ්‍යයටත්, ජනතාවගේ අදහස් පළකිරීමේ නිදහස, තොරතුරු දැනගැනීමේ නිදහස, රැස්වීමේ හා සංවිධානය වීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් තරයේ පෙනී සිටීමට අප තුළ ඇති අධිෂ්ඨානය මේ භීෂණකාරී හා නින්දාසහගත බාධාකිරීම නිසා වඩාත් කුළුගැන්වුණු බව අප ප්‍රකාශ කරන්නේ දැඩි ආත්ම විශ්වාසයෙනි.


ජනමාධ්‍ය නිදහස ඇහිරීම යනු, සමාජය අන්ධකාරයේ තැබීමක් බව අවධාරණය කරන අපි, ජනමාධ්‍යයට එරෙහිව සිදුකරන සියලූ ආකාරයේ බාධාකිරීම්වලට එරෙහිව හඬ නගන ලෙස මේ රටේ යුක්තිගරුක සියලූ පුරවැසියන්ගෙන් ඉතා සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

0 comments:

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ජනමාධ්‍යවේදීන්ට වෙඩි තැබීම්, මැර ප්‍රහාර, සිරස රූපවාහිනියට පහර දීම

 පිරිසිදු නායකයන්ට මඩ ගැසීමට චිත්‍රපට නොහදා ලසන්ත ඝාතනය ගැන චිත්‍රපට හදන්න
වසර 25 කට පෙර වූ සිදුවීමක් අලලා එජාප නායකයෙකුට මඩ ගසන චිත්‍රපටයක් හැදීමට ලක්ෂ 250 ක් දී ඇතැයිද, පිරිසිදු නායකයන්ට මඩ ගැසීම නවතා ලසන්ත ඝාතනය මාධ්‍ය ආයතනය වලට පහරදීම ආදිය ඇතුලත් චිත්‍රපටයක් හදන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ කටයුතු පිළිබඳ ලේකම් සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ තලතා අතුකෝරාළ අද පැවසුවාය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේද කීවාය.
මේ රටටත් - සමාජයටත් ව්‍යවසනයක් ගෙන දෙමින් පොලිසිය දේශපාලනීකරණය වෙලා. ඊළඟ මැතිවරණයේ දී එම පොලිස් නිලධාරීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයින් ලෙස තරග කිරීමට නියමිතයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ජනතාව පැමිණිලි කරන අතර ඒ සම්බන්ධව චෝදනා ලැබූවන් අත්අඩංගුවට ගන්නා බවටත් මතයක් ගොඩනගා තිබෙනවා. එහෙත් හාල්මැස්සන් ඇල්ලූවත් මෝරුන් වැනි විශාල ප්‍රමාණයේ අල්ලස් දූෂණ සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන්නේ නැහැ. ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් පැවතියා නම් එවැනි කණගාටුදායක තත්ත්වයක් ඇති වන්නේත් නැහැ.
පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ සභාපති ඩිව් ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කෝප් වාර්තා දෙකක් එළිදක්වනු ලැබුවා. නමුත් වරදකරුවන් වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් නැහැ. මේ නිසා දූෂණ සහ වංචා කිරීමට තවදුරටත් ඔවුන් කටයුතු කරනවා.
මේ ආණ්ඩුව ඉදිකරන මහා මාර්ගවලින් 35% ක් වත් විවිධ පුද්ගලයින්ගේ අතට කොමිස් මුදල් ලෙස යනවා. එමෙන්ම ඉඩම් පවරා ගැනීම් ආදිය මගින් අල්ලස් සහ දූෂණ මහා පරිමාණයෙන් සිදු වනවා. ඒ සියල්ල හමුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම නිහඬව සිටීම ගැන කණගාටුවට පත් වනවා.
මැතිවරණවලදී සිදුවන දූෂණ සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසම මැදිහත් විය යුතුයි. කිසිඳු දේපොලක් නොමැති පුද්ගලයින් මැතිවරණ වෙනුවෙන් රුපියල් මිලියන ගණන් වැය කරනවා. එම මුදල් වැය කිරීම් මැතිවරණවලට බලපෑමක් සිදු කරන නිසා ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන මීට වසර 25 කට පෙර සිදුවීමක් සම්බන්ධව චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට ආණ්ඩුව ප්‍රවීණ යැයි කියා ගන්නා කලාකරුවෙකුට රුපියල් ලක්‍ෂ 250 ක් ලබා දී තිබෙනවා. එම චිත්‍රපටිය රන්මිණිතැන්න සිනමා ගම්මානයේ දී නිෂ්පාදනය වෙමින් පවතිනවා. අල්ලස, දූෂණය නොමැති නායකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ආණ්ඩුවට අති විශාල බයක් තිබෙන නිසා මඩ ව්‍යාපාර වෙනුවෙන් එලෙස චිත්‍රපටි නිෂ්පාදනය කරනවා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ජනමාධ්‍යවේදීන්ට වෙඩි තැබීම්, මැර ප්‍රහාර, සිරස රූපවාහිනියට පහර දීම, ජාතික රූපවාහිනියට අමාත්‍යවරයෙකු කඩා පැනීම ආදී සිදුවීම් ද එම චිත්‍රපටියට ඇතුළත් කරන ලෙස අපි එම නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මොන විදියේ චිත්‍රපට නිෂ්පාදනය කළත් 2015 දී එක්සත් ජාතික පක්‍ෂ ජයග්‍රහණය කිරීම වළක්වන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. දූෂිත නායකයෝ මේ රටේ සියලූ දෙනාම දූෂිත බව සිතනවා. එම නිසා දූෂණයෙන් තොර නායකයින්ට මඩ ගැසීමට ගැසීමට ඔවුන් ක්‍රියා කරනවා.
අද සාමාන්‍ය ජනතාවගේත්, පුංචි දරුවන්ගේත් ජීවිත අනාරක්‍ෂිත වෙලා. ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කිරීම නිසා එමගින් ලබා දෙන නිර්දේශ පිලිබඳ සැකයක් තිබෙනවා.
ජයලලිතාට ලබාදුන් තීන්දුව ගැන සැලකිලිමත් වෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ රටේ ජනතාවගේ මහජන මුදල් නාස්තිය නැති කිරීමට ක්‍රියා කළ යුතුව ඇතැයි ද තලතා අතුකෝරල මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

0 comments:

‘මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර, නීතිඥයින්ට මැර තර්ජන‘

සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට සහ නීතිඥ මංජුල පතිරාජ, නීතිඥ නාමල් රාජපක්ෂ ට එල්ල කළ මැර තර්ජනවලට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අද(02) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

දේශපාලන නායකයින්, සිවිල් සංවිධාන නායකයින්, මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම් අගයන විශාල පුරවැසියන් පිරිසක් සහභාගී වී සිටි එම විරෝධතාවය ට සහභාගී වී සිටියේ ය.

එම විරෝධතාවයේ දී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පසුගිය කාලයේ ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍යවේදීන්ට, එල්ල කළ තර්ජන, මේවන විට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ටත් එල්ල වී ඇති බවත්, එපමණක් නොවේ, ලංකාවේ නීතිඥ ප්‍රජාවටත් එම තර්ජනයන් එල්ල වී තිබීම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, මාධ්‍ය නිදහසටත් බරපතල තර්ජනයක් බවයි.

පහත දැක්වෙන්නේ එම විරෝධතාවයේ ඡායාරෑප සටහනයි.












0 comments:

නිදහස ඉල්ලා මාධ්‍යවේදීහු අදත් වීදි බසිති

ඌව ඡන්දයට දින තුනකට පසුව හාලිඇළ පොලිස් මුරපොල ළඟදී ලංකාදීප ඇටැම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට පහර දීමට විරෝධය පා අද දහවල් 12ට කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මාධ්‍යවේදීහු 250ක් පමණ ඊට සහභාගී වී සිටිති.
වෘත්තීය සමිති හා එජාප ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද මාධ්‍යවේදීන් හා එක්වූහ.
මැර ප්‍රහාරයෙන් ඔහුගේ හකු ඇටය කැඩී ඇති බවත්, සැත්කමකින් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පවුලේ සාමාජිකයෝ කියති.
ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.









0 comments:

රජුන් තැනීමේ රාජකාරිය මාධ්‍ය මුදලාලිලා අතට ගැනීම

නොවැදගත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පමණට වැඩි ආකාරයකින් පත්තරවල හෝ විද්‍යුත් නාලිකාවල පෙනී සිටින්නේ නම්, ඒ පසුපස මාධ්‍ය මුදලාලිලාගේ හොර න්‍යාය පත‍්‍රයක් අනිවාර්යෙන් ඇති බව දැන් අපට නිසැකවම කිව හැක. ‘සිරස’ නාලිකාවේ දිනපතා ප‍්‍රවෘත්ති විකාශය තුළ මෛත‍්‍රී ගුණරත්න සහ බුද්ධික පතිරණ වැනි ප‍්‍රාදේශීය දේශපාලඥයන් දෙස තොරතෝංචියක් නැතිව උදේ හවා බලා සිටීමට කාලයක් අපට බල කෙරුණි. මුලදී එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් වාර්තා කිරීමෙන් පටන්ගත් මේ ලූම්පන් මාධ්‍ය ව්‍යාපාරය අඛණ්ඩව දියත් වූ ආකාරයෙන් පැහැදිළිව පෙනී ගියේ, කෙලින්ම රාජ්‍ය නායකයන් තනන ‘රාජකීය’ වැඩපිලිවෙලකට මාධ්‍ය මුදලාලිලා අතගසා ඇති බවයි. ඉහත කී ප‍්‍රාදේශීය දේශපාලඥයන් මේ අනුහසින් ඉතා කෙටි කාලයක් තුළ ජාතික තලයේ ‘මුහුණු’ බවට පත්වන අතර, ලේ උරුමය ප‍්‍රධාන දේශපාලනික සුදුසුකම වශයෙන් සළකන සජිත් පේ‍්‍රමදාස වැන්නන්, අනාගත රාජ්‍ය නායකත්වයට ‘නිල’ සුදුසුකම් ලබති.

රටේ දේශපාලනය තීන්දු කරන, පරදු දරන්නාගේ ප‍්‍රධාන භූමිකාව මාධ්‍ය අයිතිකරුවන්ගේ අයිතියට පත්ව දැන් කලක් ගතවෙයි. 60 දශකයේ දී මාධ්‍ය අනවශ්‍ය අන්දමින් රටේ දේශපාලනයට ඇඟිලි ගසති ය යන චෝදනාව යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රටේ ප‍්‍රධාන මාධ්‍ය ආයතනය රාජසන්තක කළාය. ඊළඟට ‘දවස’ පුවත්පත් ආයතනයටත් ඈ සීල් තිබ්බාය.

බණ්ඩාරනායක මැතිණිය එදා එසේ හැසිරුණ ද, අද තත්වය ගැන සළකන විට එදා මාධ්‍ය අපේ දේශපාලනයේ තැරැව්කාරකම් කළ ආකාරය, සාපේක්ෂ වශයෙන් ගත් විට, ඉතා මෘදු ය. එසේම, යම් තරමකට සංස්කෘතික ය. උදාහරණයක් විදිහට, ඒ ඒ ප‍්‍රවෘත්ති ආයතන පෙනී සිටියේ මොන පක්ෂයක් වෙනුවෙන් දැ යි එදා කිව හැකි විය. ඔවුන් කෙළේ තමන්ගේ වාර්තාකරණය හරහා ජනතා මතයක් ගොඩනැගීමෙන්, පවතින ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට හෝ ගෙදර යැවීමට කටයුතු කිරීමයි. එය, ඕනෑම රටක මාධ්‍ය හරහා අඩු වැඩි වශයෙන් කෙරෙන්නකි. එහි හරි වැරැද්ද කෙසේ වෙතත්, ඒ ගැන බරපතල විවේචනයකට යාම තරමක් සංකීර්ණ කටයුත්තකි. මන්ද යත්, නූතන ලෝකයේ මාධ්‍ය තුළ, දේශපාලනය සහ ව්‍යාපාරික අවශ්‍යතා ගැට ගැසී ඇති පෙකෙණිවැල ඉස්සරට වඩා දැන් ශක්තිමත් වන බැවිනි.

අද අපට දකින්ට ලැබෙන්නේ, විජේවර්ධනලාට වඩා සැඟවුණු න්‍යාය පත‍්‍රයක් යටතේ කටයුතු කරන තැරැව්කාර මාධ්‍යයකි. තමන් ප‍්‍රධාන වශයෙන් වගකීමට බැඳී සිටින්නේ, රටට සහ ජනතාවට යැයි විශ්වාස කරන මාධ්‍යයකට වඩා එය, තමන්ගේ ව්‍යාපාරික සහ දේශපාලනික අවශ්‍යතාවන්ට ප‍්‍රමුඛත්වය දිය යුතු යැයි අදහන, ඒ වෙනුවෙන් ඕනෑම මට්ටමකින් ජනතාව ඇන්දවීමට සහ පක්ෂ නායකයන්ව ප‍්‍රාණඇපකරුවන් වශයෙන් ගැනීමට අයිතියක් තමන්ට ඇතැ යි සිතත ගොඩපෙරකදෝරු මාධ්‍යයකි. ආණ්ඩුව මෙන්ම විපක්ෂයත්, ජනතා අවශ්‍යතාවන් අනුව පෙළගස්වනවා සහ හැඩගස්වනවා වෙනුවට මේ මාධ්‍ය ආයතන කරන්නේ, තමන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට ගැලපෙන පරිදි එම පක්ෂ සහ ජනතාව ගැටගස්වා ගැනීමට බැලීමයි. මේ මජර මාධ්‍ය භාවිතය මොන තරම් දුරදිග ගොස් ඇත්ද යත්, තම පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය හරහා රනිල් වික‍්‍රමසිංහට පහර දීම නතර කිරීමට නම්, සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය දිය යුතු යැයි ඉල්ලීමට තරම් සාහසික වන සහ අසංස්කෘතික වන මාධ්‍ය මුදලාලිලා සිටින සමාජයක අද අපි ජීවත් වෙමු.

ජනතාව වෙනුවෙන් සිතා, රට ගැන සිතා රනිල් වික‍්‍රමසිංහ ගෙදර යා යුතු යැයි මෙතෙක් කල් කී එකී මාධ්‍ය මුදලාලිලා, සජිත් පේ‍්‍රමදාසට නියෝජ්‍ය නායකත්වය දෙන්නේ නම්, රනිල් වික‍්‍රමසිංහගේ තිබෙතැ යි එතෙක් ඔවුන් කී අර සියළු වැරදි දැන් නිවැරදි විය හැක්කේ කෙසේදැ යි ජනතාවට පහදා දෙන්නේද? එසේම, කට්ටිවාදී සහ කල්ලිවාදී වෙතැ යි මෙතෙක් කල් සජිත් පේ‍්‍රමදාසට බැනපු එක්සත් ජාතික පාක්ෂිකයන්, එදා ඔහුව ඔසවා තබමින් තම නායකයාට බැනපු මාධ්‍ය දැන්වත් එයින් වැළකෙන්නේ නම්, සජිත් පේ‍්‍රමදාගේ නුගුණ කීමෙන් තමනුත් දැන් වැළකී සිටින්නේ කෙසේදැ යි ජනතාවට පහදා දෙන්නේද? කොටින්ම, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සජිත් පේ‍්‍රමදාසට පිරිනැමීමකින්, මේ දේශපාලන චරිත දෙකේම ඇතැ යි කී අප‍්‍රමාණ බාලගිරි දෝෂ සමනය වන්නේද? එවිට රනිල් වික‍්‍රමසිංහ ‘සැබෑ’ නායකයෙකු වී, සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන ‘අනාගත නායකයා’ බවට පත්වන්නේද?

මේ ක‍්‍රියාන්විතය පසුපස මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙකු සිටින බව දැන් මුළු රටම දනී. දේශපාලන තලයේ හඳහන් ලිවීම මාධ්‍ය මුදලාලිලා නැමැති ජ්‍යොතිෂඥයන් අතට මෙසේ ගනු ලැබීම, කොරේ පිටට මරේ වැනි අබග්ගයකට ජනතාව ඇද දැමීමකි. මෙතෙක් කල් ජනතාව බැටකෑවේ දේශපාලඥයන්ගේ අවස්ථාවාදී පටු අරමුණුවලිනි. දැන්, ඊට අමතරව, මාධ්‍ය මුදලාලිලාගේ පටු අරමුණු විසිනුත් ජනතාව මෙහෙවනු ලබන සහ ජනතාව අන්දවනු ලබන අවදියකට අපි පිවිසෙමින් සිටිමු.

විශේෂයෙන් 1994 සිට විපක්ෂයේ ‘යාවජීව’ ආසනයට වැටුණු එක්සත් ජාතික පක්ෂය, ජනතාව සමග කළ යුතුව පැවති දේශපාලනය, මාධ්‍ය හරහා කිරීමට යොමු වීම මේ තත්වය ඇති කිරීමට එක හේතුවක් විය. පසුගිය කාලයේ රටේ ප‍්‍රධාන විපක්ෂය දේශපාලනය කෙළේ මාධ්‍ය සාකච්ඡුා, පුවත්පත් සම්මුඛ සාකච්ඡුා සහ ලිපි ලේඛන තුළිනි. ආණ්ඩු පක්ෂය ඊට වෙනස් ආකාරයකින් දේශපාලනය කළ බවක් මෙයින් නොකියැවෙයි. එහෙත්, ඔවුන් ආණ්ඩු පක්ෂය වීම නිසාම, ‘නීතියෙන්’ සහ අවනීතියෙන් ඔවුන් සන්තකයේ පවතින සම්පත් ජාලයකත් අයිතිකරුවන් වීම නිසා, ඔවුන්ට ජනතාව වෙත ‘භෞතික’ ආකාරයකින් ආකර්ශනය වීමේ ‘ස්වාභාවික’ හැකියාවක් තිබේ. එහෙත් එවැනි හයියක් විපක්ෂයකට ඇත්තේ නැත. විශේෂයෙන්, අනවශ්‍ය තරමේ දීර්ඝ කාලයකට විපක්ෂයේ අසුන් ගෙන සිටින විට, පුද්ගල මට්ටමෙන් එතෙක් ඔවුන්ව නඩත්තු කළ ව්‍යාපාරිකයන් පවා ටිකෙන් ටික හැලෙන්නේය. ඒ නිසා, ජනතාව සමග සෘජුව බද්ධ වීමේ සහ පොදු ජනතා ව්‍යාපාර තුළ ස්ථානගත වීමේ කොන්දේසිය, ආණ්ඩුවට වඩා විපක්ෂයකට වැදගත් වෙයි.

එක්සත් ජාතික පක්ෂය නොව, ඕනෑම විපක්ෂයක් එක දිගටම පරාජය වන්නේ, විශේෂ නායකයෙකුගේ අදක්ෂතාවකට වඩා, පවතින ක‍්‍රමයේ ස්වභාවය නිසා බව නැවත නැවතත් මේ කොලමේ විස්තරාත්මකව පෙන්වා දී තිබේ. එම තත්වය, අද එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් 1994 සිට බලපවත්වන ආකාරයටම, 1977-1994 දක්වා තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ විපක්ෂයටත් එදා එක සේ බලපෑවේය. මේ නරක කලදසාව, විශේෂ කරුණු යටතේ, අඩු වැඩි වීමට පිළිවන. උදාහරණයක් වශයෙන්, ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියට තීරණාත්මක වාසියක් ගෙන දුනි. අනිත් අතට, චන්ද්‍රිකා මැතිණිය වටා රොක් වූ බලවේග සහ සමස්ත සමාජ පෙළගැස්ම රනිල් වික‍්‍රමසිංහ වටා අද දකින්ට නැත්තේ, නායකයෙකු වශයෙන් ඔහුගේ කේඩෑරි දේශපාලනයට (උදාහරණ: අගවිනිසුරු දෝෂාභියෝගය ඉදිරියේ ඔහු ගත් ඔතෑනි ස්ථාවරය වැනි අවස්ථාවන්ට) අමතරව, රාජපක්ෂ රාජ්‍ය තන්ත‍්‍රයේ ආකර්ශණීය යුද ජයග‍්‍රහණය ඉදිරියේ සජිත් පේ‍්‍රමදාස වැන්නන් එක දිගටමත්, කරූ ජයසූරිය ඇතුළු තවත් පිරිස් විටින් විටත්, එක්සත් ජාතික පක්ෂයේ කකුල් දෙකෙන්ම ඇදීම නිසා ය. එහි දී, රනිල් වික‍්‍රමසිංහ සාතන් වී, සජිත් පේ‍්‍රමදාස මෝසස් වන්නේ නැත.

ඒ නිසා, අලියා ලකුණ යටතේ රනිල් වික‍්‍රමසිංහ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කරමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සජිත් පේ‍්‍රමදාසට පැවරීම පසුපස ඇති මාධ්‍ය මුදලාලිලාගේ සැලැස්ම, බොහෝ විට පහත සඳහන් දිශානතිය කෙරෙහි යොමු විය හැකි බවට සාධාරණ සැකයක් කෙනෙකු තුළ ඇති වුණොත් එය පුදුමයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් ප‍්‍රජාව ප‍්‍රමුඛ විපක්ෂයේ සියලූ බලවේගවල පොදු නියෝජනයකින් තොරව මහින්ද රාජපක්ෂව මේ මොහොතේ පැරදවිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. පොදු අපේක්ෂකයෙකු නොවී, හුදෙක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහව ඉදිරිපත් කොට ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔහුව පරාජය ‘කැරැුවීම’, සජිත් පේ‍්‍රමදාසගේ අනාගත ජනාධිපති අපේක්ෂාවට තීරණාත්මක තල්ලූවකැ යි මාධ්‍ය මුදලාලිලා ගණන් හදනවා විය හැකිය. තව අවුරුදු හයකට මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා වීමෙන් ඇති විය හැකි ප‍්‍රතිවිපාක වැල, සරළ සමීකරණයක් වශයෙන් ගත් විට, එවැනි අඳබාල හඳහන් ටක්කෙටම හරි යනු ඇතැ යි එවැන්නෝ සිතති.

ගාමිණී වියන්ගොඩ

0 comments:

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් වන තරමටම, එම ජනතාව තොරතුරුවලින් දැනුවත්ව තබා ගැනීම මාධ්‍යයට, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයට පැවරෙන මූලික වගකීමකි. ලෝකයේ සතර දිග් භාගයෙන් එන උණුසුම් පුවත් සැළ කිරීම පමණක් නොව, විශේෂඥයන්, විද්‍යාර්ථීන්, බුද්ධිමතුන්, පුරවැසි කණ්ඩායම්, විමර්ශනාත්මක මාධ්‍යවේදීන් පමණක් නොව, උනන්දුවක් දක්වන පාඨකයන්ගේ ද අදහස් උදහස් පිළිබඳ වැදගත් තීරු ලිපි සහ විශේෂාංග ලිපි සම්පාදනය කරමින්, ඒවා සාකච්ඡාවට සහ සංවාදයට පමණක් නොව, විවේචනයට සහ උපහාසයට ලක්කිරීමටත් ඉඩහසර පාදා දීමේ විශේෂ හැකියාවක් මුද්‍රිත මාධ්‍යයට තිබේ.

අදහස් සම්පාදනයේ සහ සිතීමට කෙනෙකු පොළඹවන අපක්ෂපාති මත ඇතුළත් කතුවැකි ආදිය හරහා ඉතා විශිෂ්ට ප‍්‍රබෝධකයක් වශයෙන් පුවත්පත් කර්මාන්තය නමක් දිනාගෙන ඇත්තේ, වැදගත් ප‍්‍රවෘත්ති එයාකාරයෙන් තවදුරටත් සංවාදගත කිරීමෙනි. එවැනි පුළුල් සන්දර්භයක් තුළ, පාඨක කියැවීම ප‍්‍රසන්න අත්දැකීමක් බවට පත්කළ හැකි වන්නේය. එයම, පුවත්පතක දීප්තියට ද හේතුවක් වෙයි.

ඉතා ආශාවෙන් ලංකාවේ පුවත්පත් කියවන පාඨකයෙකු වශයෙන් එක් ඌනතාවක් මට පෙනේ. එය එක දිගටම එසේ පැවතිය හැක්කේ කෙසේදැ යි බොහෝ වර මට සිතී ඇත. එනම්, වාර්තාකරුවන් හෝ නිල ‘ප‍්‍රකාශකයන්’ ඉදිරිපත් කරන ප‍්‍රවෘත්ති වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා ඉන් එහාට යාමට පුවත්පත් මැලිකමක් දක්වන්නේ හෝ මගහරින්නේ මන්ද යන්නයි. පුවත්පත් සිරස්තල ‘උණුසුම් පුවත්වලින්’ සැරසෙයි. එහෙත් විචාරශීලී පාඨකයාට ඉන් එහාට ඒ පිළිබඳ විස්තර අවශ්‍ය කරන්නේය.

යම් කිසි ව්‍යසනයක් සිදුව ඇත්නම්, ප‍්‍රධාන පෙළේ අපරාධයක් හෝ වංචාවක් සිදුව ඇත්නම්, දේශපාලඥයෙකුට සම්බන්ධ යම් ලෝකාපවාදයක් හෝ නොමනා හැසිරීමක් සිදුව ඇත්නම්, අසාමාන්‍ය සොරකමක් සිදුව ඇත්නම්, ඒවායින් පසුව ඊට අදාළ කරුණු වර්ධනය වි ඇති ආකාරය දැන ගැනීමට මිනිස්සු කැමැත්තක් දක්වති. එහෙත් අවාසනාවකට එවැන්නක් පත්තර මාර්ගයෙන් සිදුවන්නේ නැත. දැනට මතකයට එන එවැනි අවස්ථා කිහිපයක් මෙහි සඳහන් කිරීමට පුලූවන.

1. රහසින් ගබඩා කොට තිබූ ඖෂධ වර්ග විශාල තොග වශයෙන් සොයා ගැනීම

2. හෙරොයින් විශාල ප‍්‍රමාණයක් අඩංගු කන්ටේනරයක් වහා නිදහස් කරන්නැ යි අගමැතිවරයාගේ කාර්යාලයෙන් ලිපියක් නිකුත් කර තිබීම ගැන ඉන් පසුව සිදුව ඇත්තේ කුමක්ද? අදාළ පුද්ගලයන්ව පොලීසියෙන් ප‍්‍රශ්න කොට තිබේද? එම පුද්ගලයා දැනට දරණ තනතුර කුමක් ද?

3. රජයේ ඉහළ තනතුරක දේශපාලන පත්වීමක් ලැබ සිටි අයෙක් සිය බලය හිතුමතේ පාවිච්චි කරමින් සිටියදී බලයෙන් වීසි විය. ඉන් පසුව ඔහු දෙවරක්ම සියදිවි නසා ගැනීමට තැත් කළ අතර ඉන් පසුව රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරකට උසස් වීමක් ලැබුවේය. එසේ වුණේ කෙසේද? එම තනතුර ලබා ගැනීම සඳහා එකී පුද්ගලයා, පාර්ලිමේන්තුවේ උසස් පත්වීම් කිරීම සම්බන්ධ අනුකාරක සභාව ඉදිරියේ පෙනී සිටියේද?

4. පසුගිය මාස 12-18 ක කාලයේදී තරම්, ඇතුන් සොරකම් කිරීමක් මේ රටේ ඉතිහාසයේ සිදුව නැත. මෙසේ සොරා ගත් ඇත් පැටවුන් ලොරිවලින් සහ ට‍්‍රැක්ටර්වලින් ප‍්‍රවාහණය කිරීමේදී පොලීසිය විසින් විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගැනුණි. සොරා ගත් ඇත් පැටවුන් ද, උන්ව ප‍්‍රවාහණය කළ ලොරි සහ ට‍්‍රැක්ටර් ද, එසේ ප‍්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනුණි. ඒ ගැන ලොකු සිරස්තල යටතේ ප‍්‍රවෘත්ති පළවුණි. ඉන් පසු, එසේ අත්අඩංගුවට ගත් අයවළුන්ට සිදුවුණේ කුමක්ද? මේ අලි අපරාධ කළ ලොකු මොළකාරයන් කවුරුන්ද? ඔවුන්ට විරුද්ධව නඩු පවරා තිබේද? නීති මාර්ගයෙන් ඔවුන්ට පමුණුවා ඇති දඬුවම් කවරේද?

වන සංරක්ෂණ අමාත්‍යාංශයක් රටේ තිබේ. එහෙත් එක දිගටම කැලෑ විනාශ කෙරේ. ඒ කැලෑ සිය වාසය කරගත් අලි ඇත්තු ඉන් පසු ගම්බිම් වනසති. මේ වල් අලින් ගැන වනජීවී නිලධාරීන්ට දිය හැකි පිළිතුරක් නැත. වල්ලපට්ට සොරුන් සහ වෙනිවැල් එකතු කරන්නන්ව සොයාගැනේ. විශේෂ හූනු වර්ග, සර්පයන්, කටුස්සන්, සමනලයින් සහ ගෙම්බන් සොරකම් කරන්නන් අත්අඩංගුවට ගැනීමට මේ නිලධාරීහූ සමත් වෙති. එහෙත්, අලි හොරුන් සම්බන්ධයෙන් ඔවුන් සාර්ථක වන්නේ නැත. අලි ඇතුන් විශාල ය. උන්ව සොරකම් කරන්නන් ද විශාල ය. බලවත් ය.

5. ඇමතිවරුන් ඇතුළු බලගතු දේශපාලඥයන්ව විවේචනයට ලක්වන විට, සමහර විට, අල්ලස් දූෂණ හෝ අපචාරයන් සම්බන්ධයෙන් ඔවුන්ව විවේචනයට ලක්වන විට, විවේචකයන්ට එරෙහිව නීති මගින් ක‍්‍රියාකරන බවට ඔවුන්ට තර්ජනය කෙරේ. දස ලක්ෂ ගණන්, සමහර විට ප‍්‍රකෝටි ගණන් වන්දි ඉල්ලා ඔවුන්ට එන්තරවාසි යවනු ලැබේ.

එහෙත් ඉන් පසුව සිදු වූ දෙයක් ගැන අසන්නට නොලැබේ. එන්තරවාසියට අනුව වන්දි ගෙවන ලද්දේද? එසේ නොවුණි නම්, ඒ ගැන නීතිමය පියවර ගැනුණිද? ඒ ගැන නඩු විභාගයක් පැවැත්වුණි ද? එයින් ලැබුණු තීන්දුව කුමක්ද?

දූෂිත දේශපාලඥයන් තමන්ගේ විවේචකයන්ට එරෙහිව ලොකුවට කෑගැසුවද, උසාවියට ගිය විට හරස් ප‍්‍රශ්න කිරීම් මගහරින බව ජනතාව දනිති. නඩු පැවරීම් පිළිබඳ ඔවුන්ගේ තර්ජන ගර්ජන හුදෙක් මවාපෑම් පමණි.

මෙවැනි සියලූ තොරතුරු ජනතාවට නොලැබෙන්නේ නම්, තොරතුරු දැන ගැනීමේ අයිතියකින් පලක් නැත. අඩු වශයෙන් ඉහත සඳහන් ආකාරයේ ප‍්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන්වත් සත්‍යය දැන ගැනීමට ජනතාවට අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයකට, දිරිමත්, අපක්ෂපාතී, සත්‍යවාදී සහ අවදියෙන් සිටින මාධ්‍යයක් අවශ්‍ය කරන්නේ එබැවිනි. එම කාර්යභාරය මොන තරම් වැදගත් ද යත්, බි‍්‍රතාන්‍ය දේශපාලඥයෙකු සහ ඉතිහාසඥයෙකු වන තෝමස් මැකෝලි, 1843 දී ලියූ එක් රචනාවකදී මෙසේ කීය: ‘‘වාර්තාකරුවන් වාඩි වී සිටින ගැලරිය (පාර්ලිමේන්තුවේ) රාජ්‍යයේ සිව්වැනි පර්ෂදය බවට පත්ව ඇත.’’

එඞ්වඞ් ගුණවර්ධන

*2014 සැප්තැම්බර් 07 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Right To Information නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහෙයෙනි

0 comments:

මරණ බවට තර්ජනය කළා - මාධ්‍යවේදී කපිල්නාත්

දුරකතන පණිවුඩ ඔස්සේ තමාට මරණ තර්ජන එල්ල වන බව වන්නි මාධ්‍යවේදීන්ගේ සංගමයේ උපසභාපති නවරත්නම් කපිල්නාත් පවසයි.

ඔහු ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලිසියට පැමිණිලි කර තිබේ.

මාධ්‍ය පුහුණු වැඩමුළුවකට සහභාගී වීම සඳහා යාපනයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් ඕමන්තේදී පොලිස් රැඳවුම් භාරයට පත් වූ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වීම මරණ තර්ජන එල්ල වීමට ප්‍රධාන හේතුව බව තමා විශ්වාස කරන බවයි නවරත්නම් කපිල්නාත් වැඩි දුරටත් පවසන්නේ.

අවස්ථා කිහිපයකදී යම් කිසි පිරිසක් විසින් දුරකතන අංක දෙකකින් තර්ජනය කළ බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

තර්ජනය
මාධ්‍යවේදියකු වශයෙන් රැකියාව කිරීමට අමතරව වෙනත් මැදිහත් වීම් වලට නොයන ලෙසත් නැතහොත් ජීවිතයට විශාල අනතුරක් සිදු විය හැකි බවට තර්ජනය කළ පිරිස දිගින් දිගටම කියා සිටි බවයි කපිල්නාත් බීබීසීයට ප්‍රකාශ කළේ.

මෙම තර්ජන හේතුවෙන් ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් දැඩි කම්පනයකට පත්ව සිටින බව කපිල්නාත් පවසයි.

මේ පිළිබඳ සංදේශය කළ විමසීමකදී පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ තර්ජනය කලේ යැයි කියන දුරකතන අංක අධිකරණය වෙත ඉදිරිපත් කර එම දුරකතන අංක හිමි පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

යාපනයේ මාධ්‍යවේදීන්ගේ නිදහස සම්බන්ධයෙන් කටයුතු කිරීම මත කපිල්නාත්ට මරණ තර්ජන එල්ල වූ බවට පොලිසියට තොරතුරු ලැබී නැති බව පැවසූ පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කපිල්නාත්ට දුරකතනයෙන් ඇමතූ පිරිස තර්ජනය කර ඇත්තේ දෙමළ භාෂාවෙන් බවත් ප්‍රකාශ කළේය.

0 comments:

දෙමළ මාධ්‍ය නිදහස ඉල්ලා උද්ඝෝෂණ

 උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංගම් කීපයක් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක් එකතුව යාපනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.

කොළඹ පැවති ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩමුළුවකට යාපනයේ සිට යමින් සිටි දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට වවුනියාව ඕමන්තෙයි මුරපොලේ දී යුද හමුදාවෙන් සහ පොලිසියෙන් එල්ල කෙරුණ බාධා කිරීම් සහ කොළඹ දී සංවිධානාත්මක පිරිසක් ඔවුන්ට හිරිහැර කිරීමට සූදානම් වීමට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත් කළ බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර ප්‍රකාශ කළේ .

දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයක් රජයට ඇති බව කී ඔහු යුද්ධයෙන් පසුව එවැනි තත්ත්වයක් කිසිවෙකුත් අපේක්ෂා නො කළ බවත් කියා සිටියේය.

මෙම උද්ඝෝෂණයේ අරමුණ රටේ ගොඩනැගී ඇති ඉහත කී තත්ත්වය සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කිරීම බවයි සුනිල් ජයසේකර තවදුරටත් කියා සිටියේ.

දකුණේ සහයෝගය
දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ටී. විනෝත් පවසන්නේ එදා සිටම මේ රටේ සෑම රජයක් ම දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය සියලු දෙමළ ජනතාව සමග එකතු වී පළ කරණ බවයි.

දෙමළ මාධ්‍යවේදීන්ටද මේ රටේ සමාන අයිතිවාසිකමක් ඇති හෙයින් ඔවුන්ට එම අවස්ථාව ලබා දීම පිණිස තම සංවිධානය කටයුතු කරණ බවයි, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ලක්ෂ්මන් ගුණසේකර කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් ඇතුළු තවත් දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකු ද මේ උද්ඝෝෂණයට එක් වූහ.

0 comments:

‘මාධ්‍ය දඩයමේ තවත් පැත්තක්’- නි.මා.ව්‍යා.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩ මුළුවකට සහභාගී වීමට යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී තමන් සිටි වාහනයට ගංජා ස්වල්පයක් සහිත සිගරට් පැකට්ටුවක් දමන ලද්දේ රැවුල වවා ගත් පුද්ගලයකු බවත් ඔහු හමුදා භටයකු බවත් එම වාහනයේ සිටි මාධ්‍යවේදියෙක් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

එහෙත් ඒ ගැන විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම ප්‍රකාශය බැහැර කරමින් කියා සිටියේ, යුද හමුදා භටයන් මත්ද්‍රව්‍ය දැමූ බවට කරන ප්‍රකාශයේ කිසිම පදනමක් නොමැති අතර ඒවා සොයා ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් වන බවයි.

සංවිධානාත්මක වැඩ පිළිවෙලක්
මාධ්‍යවේදී වැඩ මුළුව කැඳවනු ලැබ තිබුණ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය ඉදිරිපිට අද සෙනසුරාදා එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් විරෝධතා ව්‍යාපාරයක් ගෙන යමින් සිටි අතර මේ සියලු ක්‍රියාදාමය යම්කිසි සැලැස්මකට අනුව සිදු කරනු ලැබ ඇති බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

විරෝධතා ව්‍යාපාරය නිසා යාපනයෙන් පැමිණි මාධ්‍යවේදීන් හත් දෙනා ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයෙන් ඉවත් කොට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සංවිධායකයන් පියවර ගත් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර ප්‍රකාශ කරයි.


0 comments:

මාධ්‍ය යනු.. මාධ්‍යවේදියා යනු..

ලොකු ප‍්‍රශ්නාර්ථයක් සහිතව කොළඹ පුවරු හා තාප්පවල සති අන්තයේ අලවා තිබූ පෝස්ටරයකින් කියා තිබූයේ ශී‍්‍ර ලංකාවට අල්-ඛිඩා තර්ජනයක් ඇති බව ය. එය ඒ සති අන්තයේ ඉංගී‍්‍රසි පුවත්පතක ප‍්‍රධාන වාර්තාකරණය බැව් තේරුම් යන්නේ පසුව ය. ඒ ගැන සිය විරෝධය පළ කරමින්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරියට ජුලි 07 දාතමින් ලිපියක් ලියා දන්වා ඇත්තේ, ‘…. ඔබේ පුවත් පත අලෙවි කිරීමට ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයකට අදාළ සිරස්තල හා ඡුායාරූප යොදා ගැනීමෙන් එවැනි සන්නද්ධ සංවිධාන සැබැවින්ම මෙරට ඇතැ’යි සාමාන්‍ය පොදු මතයක් හැදෙන්නට ඉඩ ඇත…. ඔබගේ ව්‍යාපාරික භාවිතාවේදී වගකීමෙන් හා ආචාරධර්මීයව කටයුතු කරන මෙන් සහ ඉතා අසීරුවෙන් රැුකගන්නා සිංහල හා මුස්ලිම් සහසම්බන්ධතාවට හානි නොකරන මෙන් අපි ඔබගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමු.’ යනුවෙනි.

කොළඹ මාධ්‍ය වගකීමකින් තොරව හැසිරීම පිළිබඳ ආසන්නම සාක්ෂිය එවැනි ය. කර්තෘවරුන්ට ඇත්තේ පුවත්පතේ අලෙවිය සඳහා වගකීමකට අමතරව, හාම්පුතාට නොඅඩුව වගකීම ය. එනිසා ගෝඨාභය රාජපක්ෂට, ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය අපුල්ලා ගැනීමට සම්පූර්ණ පිටු වෙන් කෙරේ. බොදු බල සේනාවට ඔවුන්ගේ අතේ රෝල් සඳහා නොකඩවා කාලයත් පිටුත් වෙන් කෙරේ. වල් වැදුණු ඇමති පුත‍්‍රයන්ගේ පව් සේදීමට සම්මුඛ සාකච්ඡුා පළකෙරේ. ඒවාට විරුද්ධ අයට මඩ ගැසීමට තවත් කාලය හා පිටු වෙන් කෙරේ. කිසිදු තර්කානුකූල බවක් නැති යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්, භූතයන් හා යක්ෂ පේ‍්‍රතයන්ගේ හාස්කම්, බලි තොවිල් වැනි අන්ධ හා මිථ්‍යා විශ්වාස ගැන විශාල වාර්තා දෛනිකව මෙන් පළකෙරේ. විකාශනය කෙරේ. ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නා වැඩසටහන් අධ්‍යක්ෂවරුන්, කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ද අඩු නැත. දැන් ඇත්තේ නිදහසේ අයාලේ යන කසළ මාධ්‍යය(Junk Media)කි.

මේ කසළ මාධ්‍ය සංස්කෘතිය ගැන කිසිදු විවරණයක් විශ්ලේෂණයක් නොකරන මාධ්‍ය සංවිධාන, ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය ඉල්ලති. ඒ සඳහා විරෝධතා සංවිධානය කරති. මේ තියෙන්නාවූ මාධ්‍ය භාවිතය සඳහා එවැනි අලූත් නිදහසක් ස්වාධීනත්වයක් ඉල්ලන්නේ ඇයිදැ’යි තේරුම් නොකරති. මේ කසළ මාධ්‍ය නිදහස් පවිත‍්‍ර මාධ්‍යයක් කර ගැනීමට අලූතින් නිදහසක් හා ස්වාධීනත්වයක් ඇත්තෙන්ම අවශ්‍යද?

මේ රටේ මුල් යුගයේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයෙහි වූ අතිශය පටු හිමිකාරිත්වය එහි නිදහස් භාවිතාවට ගැටලූවක් නොවිණ. එනිසාදෝ මාධ්‍යවේදීන් වෘත්තීය සමිති තුළ සංවිධානයවීමට උනන්දු වූයේ නැත. ගුවන් විදුලිය රජයේ දෙපාර්තමේන්තුවක් වූ අතර මුද්‍රිත මාධ්‍ය නැතිනම් පුවත්පත් කිහිපය පවුලක දෙකක බූදලයක් විය. 60 දශකය ලැබූ පසු මේ තත්ත්වය තරමක වෙනසකට බඳුන් විය. ගුවන් විදුලිය රාජ්‍ය සංස්ථාවක් බවට පත් කෙරුණු පසු එහි වැඩ සටහන් සහ විකාශනයේ ව්‍යාප්තියක් සහ සේවක සංඛ්‍යාවෙහි ශීඝ‍්‍ර ඉහළ යාමක් වූ අතර, ඒ පිරිස් වෘත්තීය සේවකයන් ලෙස සංවිධානය වූහ. ඒ අනුව 1967 දී පමණ ලංකා වෙළඳ සේවක සංගමයේ (සී.එම්.යූ) මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පළමු වැඩ වර්ජනය දියත් විය.

1972 න් පසු ලේක්හවුස් ආයතනය රාජ්‍යගත කෙරුණු පසුවත් රූපවාහිනිය ආරම්භ වූ පසුවත් මේ ආයතනවල වෘත්තීය සමිති පිහිටුවා ගනු ලැබූයේ ආණ්ඩු බලයේ ඉන්නා ප‍්‍රධාන දේශපාලන පක්ෂයේ පසුගාමී පිරිස් විසිනි.

නව තාක්ෂණයේ නව මාධ්‍ය

එතෙක් පැවති සියලූ සීමා තහංචි ඉවත් කෙරුණු ආර්ථිකයක් 1978 න් පසු තහවුරු වන්නේ ය. ඉන්පසු, එතෙක් ගනුදෙනු නොවුණු ගෝලීය සමාජය සමග ගනුදෙනු කිරීමේ නිදහස සහ අයිතිය මෙරට සමස්ත සමාජයට ලැබිණ. එතෙක් මේ රටට ලබා ගත නොහැකි වූ නව තාක්ෂණයක්, දියුණු කළමනාකාරිත්ව දැනුමක් හා තරගකාරී වෙළෙඳපලක්ද ලබා ගත හැකි විය.
අලූත් තාක්ෂණයත් අලූත් ප‍්‍රකාශන පහසුවත් අලූත් අලංකාර පෙනුමත් සමග අලූත් තරුණ පරපුරක් මාධ්‍යයට ඇතුළු වන්නේ මේ යුගයේ ය. 90 දශකයට අප පය ගසන්නේ පරිගණක තාක්ෂණයේ විශාල නව ඉදිරියක් ඇතිව ය. විවෘත වෙළෙඳපල ආර්ථිකයෙන් ඉඩ ලද පෞද්ගලික අයිතිය ද මාධ්‍ය බහුවිධකරණයේ දී වැදගත් සාධකයක් විය. නව පෞද්ගලික රූපවාහිනි සහ අද ඉතා ජනපි‍්‍රය එෆ්එම් ගුවන් විදුලි නාලිකා බිහි වන්නේ ඒ අනුව ය.

ආණ්ඩු විසින් ඒවා පාලනය කිරීමට ගුවන් තරංග වෙන් කිරීමේ සහ විකාශනය කිරීමේ අවසරය ලබා දීමේ බලය තමන් අත රඳවා ගත්තේ ය. එනිසා තාක්ෂණික මෙවලම් සහ විකාශනය කිරීමේ හැකියාව අඩු ආයෝජනයකින් ලබා ගත හැකි වූවත් මාධ්‍ය ආයතන ලෙස කි‍්‍රයාත්මක වන්නට ආණ්ඩුවේ බල සම්පන්නයන් හා ගනුදෙනු කිරීමේ දේශපාලන හෝ වෙනත් සම්බන්ධයක් තිබිය යුතු විය. මාධ්‍ය නිදහසත් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් සමාජ කතිකාවට පැමිණෙන්නේ මානව හිමිකම් වෙනුවෙන් කතා කළ, සමාජීය මත හසුරුවන නාගරික කි‍්‍රයාකාරීන්ගේ ඉල්ලීමක් ලෙස ය.

මේ සමග නිදහස් ආර්ථිකයේ වෙළෙඳ ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක කර්මාන්තය ද බලසම්පන්න සාධකයක් බවට පත් වී, මේ අලූත් විද්‍යුත් සන්නිවේදනය තරගකාරී ක්ෂේත‍්‍රයක් බවට පරිවර්තනය කළේ ය. අද මාධ්‍ය පවතින්නේ මාධ්‍යවේදීන්ගේ හැකියාව මත නොව, මාධ්‍ය ආයතනයේ දැන්වීම් හා වෙළෙඳ කළමනාකරුගේ දක්ෂකම් මත ය. ආයතනයේ ලාභය සඳහා ඔවුන්ට ද දැන් මාධ්‍යයේ අන්තර්ගතයට බලපෑම් කළ හැක. මාධ්‍යයෙහි ප‍්‍රවෘත්ති වැදගත් වන්නේ ඒ සන්දර්භය ඇතුළෙහි ය. මෙය විෂම චක‍්‍රයකි. ජනපි‍්‍රය මාධ්‍ය හා වැඩසටහන් තීන්දු කිරීම් හා තේරීම් අතර අද විද්‍යුත්  මාධ්‍යයන්හි ‘ඞී.ජේ. තරු’ හැදීමක් ද ඔවුන් වෙළඳ ප‍්‍රචාරණය සඳහා කැමැත්තෙන් අලෙවි වීමක් ද සිදු වේ. මේ ඞී.ජේ. තරු සඳහා ස්වාධීන නිදහස් මාධ්‍යයක් අවශ්‍ය නැත.

අලූත් සදාචාරයේ අලූත් මාධ්‍යවේදීන්

මේ අයුරු පරිවර්තනය වී ඇති මාධ්‍ය දැන් පවතින්නේ වඩ වඩාත් දූෂිත වූ ආර්ථිකයක, එලෙසින්ම දූෂිත වූ දේශපාලන බලහත්කාරයක් සමගින් බව අමතක නොකළ යුත්තකි. එබැවින් මේ මාධ්‍ය ක්ෂේත‍්‍රය අද කළු සල්ලි අපුල්ලන ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් බවට ශීඝ‍්‍රයෙන් පත්ව ඇත. මාධ්‍ය වැඩිමනත් නඩත්තු වන්නේ පිටතින් ලබා ගන්නා ආදායම් පොම්ප කිරීමෙනි. මාධ්‍යවේදීන්ට ලබා දිය හැකි වාසි හා වරප‍්‍රසාද ගණන් හැදෙන්නේ පිටස්තර ගනුදෙනු සඳහා මාධ්‍ය ආයතන පවත්වා ගැනීමට ව්‍යාපාරිකයන්ට අවශ්‍ය හෙයිනි.

එවැනි වාසි සමගින් මාධ්‍යවේදීන් වීමේ දී ඒවා භුක්ති විඳීම හැර වෘත්තීය අභිමානයක් ගැන කතාවක් ඉතිරි වන්නේ නැත. සංවිධානය වීමේ හා වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් වැදීමේ ඉතිහාසයක් නැති සම්ප‍්‍රදායක් නැති, තරගකාරි පාරිභෝගික සමාජයක මාධ්‍යයට ඇතුළුව ඉන්නා අතිබහුතර පිරිස් දන්නේ මේ සරුවපිත්තල මාධ්‍ය පමණි. ඔවුන්ද ඔවුන් එකිනෙකා අතර, ජනපි‍්‍රය තරු වීමේ පුදුමාකාර තරගයක නිරතව ඉන්නවුන් ය. ඔවුන්ට මාධ්‍ය සදාචාරයක් ගැන සමාජ වගකීමක් ගැන කතා අදාළ නැත.

නව මාධ්‍යයක නව මාධ්‍යවේදියෙකු වීම

දැනට මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සක‍්‍රිය පැවැත්මක් ඇති වෘත්තීය සමිති නැත. යම් ස්වාධීන පෙනුමක් සමගින් වූ ශී‍්‍ර ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ පැවැත්ම, රාජ්‍ය නීතිගත ආයතනයක තත්ත්වයට පත් කිරීමේ තීන්දුව 1987 දී ගැනිණ. එකල බලයේ සිටි සංගම් නායකයන් ද වගකිව යුතු වන එම තීන්දුව සමග 1987 අංක 46 දරන පනතින් මේ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය සංස්ථාපිත ආයතනයක් බවට පත් කෙරෙන්නේ ය. එය වෘත්තීය සමිතියක්යැයි මාධ්‍යවේදීන් සිතා සිටියත් 1987 නොවැම්බර 30 වන දින සිට අංක 46 දරන එකී පනත බලාත්මක වන්නේයැ’යි පනත සම්මත කිරීමේ දී තීන්දු කර ඇති හෙයින්, එතැන් සිට එය වෘත්තීය සමිතියක් නොවේ. පසුකාලීනව කිහිප වර සංශෝධනය කරනු ලැබූ 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනතින් වෘත්තීය සමිතියක් ලබන්නා වූ ලියාපදිංචියත් නීතිමය බලය හා ආවරණයත් වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයට හිමි වන්නේ නැත. එනිසා එහි කි‍්‍රයාකාරිත්වය බලයේ සිටින ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට ඔබ්බෙන් නොයන්නේ ය. අනෙක්වා කිසිවක් ද පිළිගත හැකි කි‍්‍රයාශීලි සාමාජිකත්වයක් ඇත්තේ නොවේ. නව නිදහස් හා වෘත්තීය මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව එනිසාම අද ඉස්මත්තට ගැනෙන්නේ නැත.

අද පළමුව මතු කළ යුතුව ඇත්තේ මාධ්‍යවේදීන්ගේ විමුක්තිය සම්බන්ධ කතාව ය. වෘත්තීය අභිමානය තහවුරු කර ගැනීම පිළිබඳ කතාවය. තමන්ගේ අයිතිවාසිකම් ගැන පැහැදිලි අවබෝධයක් නොමැති සහ තම මූලික සේවා අයිතීන් දිනා ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් අනුන්ගේ අයිතිවාසිකම් ගැන සමාජයට තොරතුරු විස්තර ඉදිරිපත් කිරීම, වාර්තා කිරීම හා තර්ක කිරීම එක්තරා ආකාරයක විහිළුවක් වන බැවිනි. වැටුප්ලාභී වෘත්තිකයන් ලෙස මාධ්‍යවේදීන්ටද මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, මේ රටේ කම්කරු නීතිවලට අනුව, වැටුප් ලබන අනෙක් සියලූ සේවකයන්ට හිමි සේවක අයිතිවාසිකම් තිබිය යුතුය. ඒ සඳහා, මාධ්‍යවේදීන් අතර මතු කළ යුතු වැදගත්ම ප‍්‍රශ්න කිහිපයකි.

01. මේ රටේ සියලූ පුරවැසියනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර දී ඇති මූලික අයිතියක් වන සංවිධානය වීමේ අයිතිය මාධ්‍යවේදීන්ට තිබේද? නැතිනම් කුමක් කළ හැකිද?

02. ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් පිළිගන්නා ලදුව, අත්සන් තබා ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 වන සහ 98 වන ප‍්‍රඥප්ති යටතේ වැටුප් ලබන සියලූ සේවකයන්ට තමන්ගේ අභිමතය මත වෘත්තීය සමිතියකට බැඳීමට ඇති අයිතියත් සේවකයන්ට සාමූහිකව කේවල් කිරීමට ඇති අයිතියත් මාධ්‍යවේදීන්ටත් කිසිදු අඩුවක් නැතිව අදාල බැව් දන්නේද? දන්නේ නම්, එම අයිතීන් සම්බන්ධයෙන් කුමක් කරන්නේද?

මේ කාරණා පිළිබඳව තවමත් කිසිදු මාධ්‍ය සංවිධානයක් කතා කරනු අසා නැත. ඒ කිසිත් නැතිව, මාධ්‍ය නිදහස ආණ්ඩුවෙන් ඉල්ලන, මාධ්‍ය මර්දනය ගැන කතා කිරීම, ඇත්ත ප‍්‍රශ්නය අත හැර පරණ පහසු කතාවෙහි එල්බ සිටීමක් පමණි. පරණ කතා සමග නතර වීමෙන් මාධ්‍ය නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් වන්නේ ද නැත.

කුසල් පෙරේරා

0 comments:

මන්නාරම මාධ්‍යවේදියෙක් ජනපතිට ලියයි

තමන්ට නිදහසේ ජනමාධ්‍ය කටයුතුවල නිරතවීමට සුදුසු පරිසරයක් සකස් කොට දෙනමෙන් මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

අද, බදාදා, ජනාධිපතිවරයා වෙත, එම ලිපිය යවන ලද්දේ 'ඩේලිමිරර්' සහ 'උදයන්' යන පුවත්පත්වල මන්නාරම වාර්තාකරු රොසේරියන් ලැම්බ්ට් විසින්.

විශාල තර්ජනයක්
මේ අන්දමට ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට හේතුව වී ඇත්තේ තමන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අවස්ථා කීපයකදීම කොළඹට කැඳවා අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීමත් තමන්ගේ ආරක්ෂාවට දැන් විශාල තර්ජනයක් එල්ල වී තිබීමත් නිසා බව ඔහු මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී අවස්ථා තුනක්ම තමන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැදවා දිගින් දිගටම ප්‍රශ්න කළ බව කියන ලැම්බට් පසුගිය 13 වෙනිදා යලිත් කැඳවා කළ ප්‍රශ්න කිරීමෙදී එහි නිලධාරීන් තර්ජනාත්මක ස්වරූපයෙන් තමන්ට කතා කළ බවද ලැම්බට් පැවසුවේය.

මේ අවස්ථාවේදී මින් ඉදිරියට තමන් කලින් ලියන ලද ආකාරයේ වාර්තා මාධ්‍ය ඔස්සේ පළ නොකරන මෙන් තමාගෙන් ඉල්ලීමක් කළේ අනතුරු ඇඟවීමක් වශයෙන් බවද ඔහු කියා සිටියේය.

තමන් කිසිවිටකත් ප්‍රජාතන්ත්‍ර විරෝධීව හෝ මාධ්‍ය සදාචාරයකින් තොරව කටයුතු කොට නොමැති බව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ට පැවසූ බව කියා සිටි ලැම්බට් පළාතේ වැසියන්ගේ දුක පිළිබදව දිගින් දිගටම වාර්තා ලිවීම මේ තත්ත්වයට හේතුව විය හැකි යැයි කියා සිටියේය.

නිර්නාමික දුරකථන ඇමතුම්
මෙම ප්‍රශ්න කිරීමෙන් පසුව දැන් තමන්ට නිර්නාමික දුරකථන ඇමතුම් වලින් විවිධ අන්දමේ තර්ජන එල්ල වන බව කී ලැම්බට් ජීවිතය ගැන ඇති බිය නිසා තමන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම සියලු කරුණු ජනාධිපතිවරයාට දැණුම් දුන් බවද ප්‍රකාශ කළේය.

තමන්ගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ලවී ඇති බැවින් මේ දිනවල තමන් නිවසින් පිට ස්ථානයක ජීවත් වන බවද ලැම්බට් මාධ්‍යවේදීන් අමතා පැවසුවේය.

මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ එක්තරා වෙබ් අඩවියක මරාගෙන මැරෙන පුද්ගලයන් නිර්මාණය කරණ අන්දම ගැන ලියන ලද ලිපියක් මේ තැනැත්තාගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා යවා ඇති බවට නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු විසින් මෙය ලියන ලද්දේ දැයි විමසීමට ලැම්බට් නැමැත්තාව ත්‍රස්තමර්දන ඒකකයට කැදවු නමුත් තවමත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බැවින් වාර්තාකරු පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට පැවසූ දේ තමන්ට කියා සිටීමට හැකිවන්නේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව බවද කියා සිටියේය

0 comments:

බුරුම මාධ්‍යවේදීන් පස් දෙනෙක් සිර ගෙට

රහසිගත හමුදා රසායනික අවි කම්හලක් සම්බන්ධයෙන් පළ කළ ලිපියක් හේතුවෙන් බුරුම අධිකරණයක් විසින් මාධ්‍යවේදීන් පස් දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දහයක සිර දඬුවමක් නියම කෙරිණ.

බලධාරීන් මෙවැනි කම්හලක් පවතින බව පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් මාධ්‍යවේදීන්ට චෝදනා එල්ල කර ඇත්තේ රාජ්‍ය රහස්‍ය බව සුරැකීමේ පනත කඩ කර ඇති බවටයි.

‘යුනිටි වීක්ලි’ පුවත් සඟරාවේ සේවය කළ සිර දඬුවමට නියම වූ මාධ්‍යවේදීන් අතර සඟරාවේ ප්‍රධාන විධායක වරයාද වෙයි.

2011 සිට බුරුම රජය පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති නමුත් සමහරුන්ගේ අදහස මෑතක සිට රජය නිදහස් මාධ්‍යය යටපත් කිරෙමට උත්සාහ දරණ බවයි.

0 comments:

ඊජිප්තුවේදී අල් – ජසීරා මාධ්‍යවේදීන්ට සිර දඬුවම් නියම කිරීමට එරෙහිව ලොව පුරා විරෝධය

 ඊජිප්තු අධිකරණයකින් වසර 10ක සිර දඬුවමකට ලක් වූ අල් – ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ගෞරවය දැක්වීම සඳහා බීබීසී සේවයේ හොංකොං කාර්යංශය මිනිත්තුවක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂයට පක්ෂපාතීව අසත්‍ය පුවත් පළ කළ බවට ඔවුන්ට චෝදනා කර තිබූ බව ය.

එහිදී, Mohamed Fahmy නමැති ඊජිප්තු ජාතික මාධ්‍යවේදියෙකුට, Peter Greste නමැති ඔස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකුට වසර 7ක සිර දඬුවම් නියම විය.

ඊට අමතරව,  Baher Mohamed නමැති ඊජිප්තු ජාතික ප්‍රවෘත්ති නිෂ්පාදකවරයාට වසර 10ක සිර දඬුවම් නියම කෙරිණි.

මෙම තීන්දුවට විරෝධය පළ කරමින් නොයෙක් ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක වේ.

0 comments:

ජනාධිපතිතුමනි කරුණාකර රන්ජන් සිල්වා බැද දමන්න

දිවයින මාධ්‍යවේදියාට සාධාරණය ඉටුකරන්න
මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව ජනපතිට ලියයි

මැදිරිගිරිය ජාතික පාසලේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය වාර්තා කිරීමට ගිය "දිවයින" මාධ්‍යවේදී කරුණාරත්න ගමගේ මහතාගේ කමීස කොලරයෙන් අල්ලා ඉවතට ඇද දමා ඔහුගේ රාජකාරියට බාධා කළ ජනාධිපති විද්යුත් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා එම මාධ්‍යවේදියාට සිදුවූ අවමානයට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ඉල්ලා මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

2014.06.10 වැනිදා පස්‌වරුවේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මැදිරිගිරිය ජාතික පාසලේ ඔබතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය ආවරණය කිරීම සඳහා "දිවයින" පුවත්පතේ නිල වාර්තාකරු ලෙස සහභාගි වූයේ මාධ්‍යවේදී කරුණාරත්න ගමගේ මහතාය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කරන ලද විධිමත් ආරාධනාවකට අනුවය.

ගමගේ මහතා සිය රාජකාරිය ඉටුකරමින් සිටියදී ඔහු අසලට පැමිණි ජනාධිපති විද්යුත් මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂවරයකු යෑයි කියනු ලබන රන්ජන් සිල්වා නමැති පුද්ගලයකු විසින් "මූ මොකෙක්‌ද" කියා ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා ඉවතට ඇද දමා ඇත. තමන් උපන් දිස්‌ත්‍රික්‌කයේ ජනතාව හොඳින් හඳුනන මෙම මාධ්‍යවේදියා එම ජනතාව ඉදිරියේම මෙලෙස මෙම නිලධාරියා විසින් ගර්භාවට ලක්‌කොට අවමානයට පත්කොට ඇත.

කරුණාරත්න ගමගේ මහතා 2010 වසරේ ශ්‍රී ලංකා කර්තෘ සංසද සම්මාන උළෙලේදී හොඳම පරිසරවේදී වාර්තාකරණය වෙනුවෙන් වන ජාතික සම්මානයෙන් පිදුම් ලද මාධ්‍යවේදියකු වන අතර පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. එවැනි සම්මානනීය ජනමාධ්‍යවේදියකු පවා සිය වෘත්තීය භාවිතාවේදී මෙලෙස හිරිහැරයට භාජන වීම කනගාටුවට කරුණකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා කරුණාරත්න මහතාට විඳින්නට සිදු වූ අවමානයට සාධාරණය ඉටුකරන ලෙසත් එවැනි අමනෝඥ නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීනට හා මාධ්‍ය නිදහසට එල්ලවෙන මෙවැනි තර්ජනය වළක්‌වාලීමට මැදිහත් වන ලෙසත් මාධ්‍ය සංවිධාන දහයක එකතුවක්‌ වූ "මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව" ඔබතුමාගෙන් දැඩිව ඉල්ලා සිටී.

0 comments:

කෙහෙළිය නොදන්නා මාධ්‍යවේදින් වෙනුවෙන් කිසිවක් කළ නොහැකිලු

තමන් දැනුවත් නොකර වැඩමුළු සදහා සහභාගී වූ මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කළ නොහැකි බව කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමතිවරයා පවසා සිටී.

ඔහු මේ බව සදහන් කර සිටියේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් මීගමුවේ පැවැත්වූ ගවේෂණශීලී මාධ්‍ය කලාව නම් මාධ්‍ය වැඩමුළුවට සංවිධානාත්මක කණ්ඩායමක බලපෑමක් සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

ප්‍රහාරයක් එල්ල වූයේ නම් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරයක් ගෙන යාම පිණිස එය යොදා ගත හැකිව තිබුණු බව පොලීසිය මැදිහත්වී ඇත්තේ එය වැලැක්වීමට බවත් සදහන් කළේය.
අනතුරුව එම මෙම මාධ්‍යෙව්දීන් පිරිස ගලදාරී හෝටලයට පැමිණ එහි රාත්‍රී ලැගුම්ගෙන සිටියදී මාධ්‍ය රාත්‍රීයේදී ඔවුන්ට හෝටලයෙන් එළියට බසින මෙන් හෝටල් පරිපාලනය දැනුම් දී ඇත. ඒ කුමන හේතුවක් මතද යන්න ප්‍රශ්න කර සිටි මෙම ජනමාධ්‍යවේදීන්ට හෝටල් බලධාරීන් පවසා ඇත්තේ ඉහලින් ලැබුනු බලපෑමක් මෙයට හේතුව බවයි.

එම බලපෑම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමත්‍යවරයා පවසා සිටියේ උතුරේ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධ වූ බැවින් එසේ වන්නට හැකියාව පවතින බවත් කෙසේ නමුත් එම බලපෑමක් කවරෙකු විසින් සිදුකළාද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

කෙසේ නමුත් ගවේෂණශීලී මාධ්‍ය කලාව සම්බන්ධයෙන් මීට ඉහතදී ද වැඩමුළු පැවැත්වීමට ට්‍රාන්ස්පේරන්සි ආයතනය කටයුතු කර තිබූ අතර එවැනි අවස්ථා දෙකකදීම මෙකී බලපෑම් හේතුවෙන් එය නතර කර දැමීමට සිදුවූ බව වැඩමුළුවේ දේශකයෙකු වූ ලංකාහැරල්ඩ් වෙබ් අඩවියෙහි කර්තෘ ජයසිරි ජයසේකර සදහන් කර සිටියේය.

ජයසිරි ජයසේකර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ එදින රාත්‍රියෙහි සිදුවූ සිදුවීමේදී මේ රටේ පවතින මාධ්‍ය නිදහස් සම්බන්ධයෙන් සැකයන් හා භයානක බවත් දැනුනු බවයි. මෙවැනි වටපිටාවක ලිවීම හා කතා කිරීමේ සීමාවන් නිර්ණය වන බවත් එය රටක මාධ්‍ය නිදහස් නොවන බවත් පැවසීය.

කෙසේ නමුත්  මෙහිදී ඇමැතිවරයා මෙම මාධ්‍ය වැඩමුළුව පැවැත්වීම සඳහා බාධාකළ  බලධරයා ගැන  කතා කිරීම මඟ හැර ඇත. පසුගියද වෙබ් අඩවි අවහිර කීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදීද  ඒ අවහිර කළ බලවතා ගැන කතා කිරීම ඇමැතිවරයා මඟ හැරියේය.මේ අනුව පෙනී යන්නේ ජනමාධය ඇමැතිවරයා තමන්ගේ විෂය පථයට වඩා තම ඔළුව බේරා ගැනීමේ උත්සාහයක නියැලී සිටින වගය.

 theindependent \

0 comments:

ඉතාම බිහිසුණු රාත්‍රියක්'.............වැඩමුළුව නැවැත්වුවේ 'මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට'....

 ඉතාම බිහිසුණු රාත්‍රියක්'
"ඒක ඉතාම බිහිසුණු රාත්‍රියක් කියල කියාන්න පුළුවන් ඇත්තටම. කියන්නේ සිංහල, දෙමළ කියල භේදයක් නැතුව ලංකාව තරු හොටලේකවත් ආරක්ෂාවට ඉන්න බැරි තරම් ඉතාම අනාරක්ෂිත ස්ථානයක් බව. ඇත්තටම ඉතින් තරු හෝටලේකින් එහෙම තමන්ගේ අමුත්තෙක්ව එලියට දානේ නැහැ නිකම් පුද්ගලයෙක් තර්ජනය කළාට. ඉතින් අපිට තේරුනා මේක ඉතාම බලවත් තැනකින් ආපු තර්ජනයක් කියල"
ජයසිරි ජයසේකර, කර්තෘ, ලංකාහෙරල්ඩ්
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මාධ්‍ය වැඩමුළුවට ප්‍රහාරයක් එල්ල වූයේ නම් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරයක් ගෙන යාම පිණිස එය යොදා ගත හැකිව තිබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව කියා සිටියේ මීගමුවේ පැවැත්වූ ගවේෂණශීලී මාධ්‍ය කලාව සම්බන්ධ වැඩමුළුව නවත්වන මෙන් පොලිසිය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර සහ තර්ජන පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රබල විවේචන එල්ල වෙමින් තිබෙන සමයක මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව උදෙසා එය නැවැත්වීමට පොලිසිය පියවර ගන්නට ඇති බවද ඇමතිවරයා පැවසීය.

උතුරේ දෙමළ මාධ්‍යවේදීන් 14 දෙනකු සහභාගි වූ වැඩමුළුවට එරෙහිව විරෝධතා දියත් වී තිබෙන බැවින් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව සංවිධායකයන්ට පැවසූ පොලිසිය, එබැවින් වහාම එය නවත්වා හෝටලයෙන් ඉවත්ව යන මෙන් ඔවුන්ට දැනුම් දී තිබේ.

'බිහිසුණු රාත්‍රියක්'
පොලිසියේ ඉල්ලීම මත වැඩමුළුව අතරමග නවතා දමා කොළඹ ගලධාරිමෙතැන ඔබන්න​ හෝටලයේ නවාතැන් ගත් නමුත් හෝටලයෙන් ඉවත්ව යන මෙන් මධ්‍යම රාත්‍රියේ හෝටල් පාලකයන් තමන්ගෙන් ඉල්ලා සිටි බව එහි දේශකයකු වූ ලංකාහෙරල්ඩ් වෙබ් අඩවියේ කර්තෘ ජයසිරි ජයසේකර සංදේශයට පැවසීය.

"ඇතිවෙච්ච කම්පනයත් එක්ක බොහෝ දෙනා නින්දට ගියා. මං හිතන්නේ ඇත්තටම පැයකට වඩා අඩු කාලයක් තමයි ඉන්න හම්බ වුනේ, රෑ දොළහමාරට විතර ඒගොල්ල දැනුම් දුන්න හෝටලෙන් වහාම පිටවෙන්න කියල මොකද ඒගොල්ලන්ට තර්ජනයක් එල්ල වෙලා තියෙනව මේ පිරිසට නවාතැන් දෙන්න එපා කියල," යනුවෙන්ද ජයසිරි ජයසේකර පැවසීය.

දෙමළ මාධ්‍යවේදීන් පිරිස යලි ගමට යාම පිණිස උදෑසන බස් රථවලට ගොඩ වන තුරු සියලු දෙනාට නිදිවර්ජිතව ගත කිරීමට සිදු වුනු බවත් ඔහු පවසයි.

"අපි එතකල් කාලේ ඉතාම අනාරක්ෂිතව යම් තැනක රැඳිල හිටියා. ඒක ඉතාම බිහිසුණු රාත්‍රියක් කියල කියන්න පුළුවන්," යනුවෙන්ද ජයසිරි ජයසේකර සඳහන් කළේය.

"ඉතාම බලවත් තැනකින්" එල්ල වූ අනතුරු ඇඟවීමක් නොවූයේ නම් තරු පහේ හෝටලයකින් එසේ කිසිවෙකුත් පිටමං නොකරන බව පවසන ඔහු, දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව උතුරේ මාධ්‍යවේදීන් යලිත් ගවේෂණශීලී මාධ්‍යකරණයට යොමු වීම පිළිබඳව ආණ්ඩුව දැඩි බියකින් පසු වීම වැඩමුළුවට මෙසේ අවහිර කිරීමට හේතුව ලෙස පෙනී යන බවත් සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ගලධාරි හෝටලයෙන් ඔවුන් ඉවත් කිරීමට බලවතෙකු නියෝග දුන්නේය යන්න සනාථ නොවූ චෝදනාවක් පමණක් බවයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.

මෙවැනි වැඩමුළුවක් පවත්වද්දී එයට ආරක්ෂාව ඉල්ලා සිටියේ නම් ආරක්ෂාව සැලසීම පොලිසියේ වගකීමක් බව පිළි ගන්නා අමාත්‍යවරයා, එහෙත් පොලිසියට පාලනය කළ නොහැකි වාතාවරණයක් මතු වන්නේ නම් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එය නැවැත්වීම "ඉතා යෝග්‍ය පියවරක්" බවද පැවසීය.
























0 comments:

ද ඉන්ඩිපෙන්ඩන්ට්, වාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට

'ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩොට් එල් කේ' වෙබ් අඩවිය වෙත පිවිසීම, මෙරට ක්‍රියාත්මක දේශපාලන හා වෙළද අධිකාරියේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අවහිර කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම් සභාව වෙත අද (29) පෙත්සමත් භාර දෙන ලදී.



වෙබ් අඩවියෙහි ප්‍රධාන සංස්කාරක වන සුභාෂ් ජයවර්ධනගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ මෙම පෙත්සමින් පවසා සිටියේ තම සංස්කාරකත්වය යටතේ පවතින www.theindependent.lk වෙබ් අඩවියට මෙරට ග්‍රාහකයන්ට පිවිසීමට ලංකාවේ අන්තර් ජාල සංනිවේදන සේවාවන් සපයන ආයතන විසින් 20 මැයි 2014 සිට අවහිර කර ඇති බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් මෙරට පුරවැසියන් වෙත ලබා දී තිබෙන හාෂණයේ හා ප්‍රකාශනයේ මූලික මිනිස් අයිතිවාසිකම, තමන්ට කැමැති ‍රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම මෙරට පුර වැසියාට තොරතුරු දැන ගැනීම සඳහා බාධාකිරීම සිදුව ඇති බවත් එහි සඳහන් කර තිබේ. මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ජනතාවගේ මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම සදහා අදාළ අවහිර කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

පැමිණිල්ල භාරදීමේ අවස්ථාවට දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නායකත්ව මණ්ඩලයේ සභාපති කරූ ජයසූරිය, එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහභාගී වූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ද, එක්සත් සමාජවාදී පෙරමුණ නියෝජනය කරමින් එහි නායක සිරිතුංග ජයසූරිය ද සහභාගී වී සිටියහ. ඊට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් හා මාධ්‍ය සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්පූර්ණ පැමිණිල්ල


පැමිණිලිකරු

නම - සුභාෂ් වීරතුංග ජයවර්ධන - ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඩොට් එල්කේ වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක

ලිපිනය - අංක 820, කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ, කෝට්ටේ

විත්තිතරුවන් -

01.
නම - ලලිත් වීරතුංග
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති

ලිපිනය - නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

02.
නම - අනූෂ පැල්පිට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධක්ෂ ජනරාල්

ලිපිනය - නො: 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.

03.
නම - කෙහෙළිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

ලිපිනය - නො: 163, කිරුලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

04.
නම - චරිත හේරත්
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්

ලිපිනය - නො: 163, කිරිලපන ඇවනිව්, පොල්හේන්ගොඩ, කොළඹ 05.

05.
නම - නිමල් වෙල්ගම
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති

ලිපිනය - ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

06.
නම - ලලිත් ද සිල්වා
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - ලෝටස් පාර, තැ.පෙ. 503, කොළඹ 01.

07.
නම - කපිල චන්ද්‍රෙස්න
මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක

ලිපිනය - නො: 108, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 02.

08.
නම - ආචාර්ය හාන්ස් විජේසූරිය
ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී හා අධ්‍යක්ෂ

ලිපිනය - නො: 475, යූනියන් පෙදෙස, කොළඹ 02.

09.
නම - වේල් සලමන්
එටිසෙලාර්ට් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - නො: 109, ගාලු පාර, කොළඹ.

10.
නම - තිරුකුමාර් නඩේසන්
හචිසන් ටෙලිකොමිනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - නො: 234, ගාලු පාර, කොළඹ 04.

11.
නම - සුරේන් ගුණවර්ධන
භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

ලිපිනය - 10 හා 11, බස්නාහිර කුළුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 01.

පැමිණිල්ල

සුභාෂ් වීරතුංග ජයවර්ධන (ජා.හැ.අංක 731500150 V) වන මා ප්‍රධාන සංස්කාරකවරයා ලෙස කටයුතු කරන ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් ඩොට් එල්කේ'' (www.theindependent.lk) වෙබ් අඩවියට මෙරට ග්‍රාහකයන්ට පිවිසීමට මෙරට අන්තර් ජාල සංනිවේදන සේවාවන් සපයන සියළු ආයතන විසින් 20 මැයි 2014 සිට අවහිර කර තිබේ.

සිංහල දෙමළ හා ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන්ම නිතිපතා යාවත්කාලීන කරන අප වෙබ් අඩවිය 'ඉන්ඩෙපෙන්ඩෙන්ට් මීඩියා නෙට් වර්ක්ස් පෞද්ගලික සමාගම' විසින් පවත්වාගෙන යනු ලබන ස්වාධීන මාධ්‍ය ආයතනයක් වේ.
මෙලෙස කිසිදු දැනුම් දිමකින් හෝ කරුණු විමසීමකින් තොරව අප වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලැබීම නිසා අපගේ ග්‍රාහකයන් මෙන්ම අප ආයතනයේ සේවය කරනු ලබන ජනමාධ්‍යවේදින්ද දැඩි අපහසුවකට පත්ව ඇත.

අප වෙබ් අඩවිය ප්‍රවෘත්ති හා කාලීන සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන අතර අප විසින් ඒ සම්බන්ධයෙන් අදහස් හා ආකල්ප සහිතව බුද්ධිමය සංවාදයට සුදුසු යැයි කල්පනා කරන තොරතුරු මුදා හරින ලදී.

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය ප‍්‍රකාරව මේ රටේ පුරවැසියන්ට හිමිකර දී ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ හා ප‍්‍රකාශනයේ නිදහස අනෙකුත් නිතිමය අණ පනත් වලට යටත්ව නීතියේ සීමාවන් තුළ අපි බුක්ති වින්දෝ වෙමු.

එහෙත් අපගේ වෙබ් අඩවිය වාරණයට ලක් කිරීම නිසා අපගේ මෙම අයිතිවාසිකම් මෙන්ම මේ රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම සඳහා තිබෙන අයිතියද උල්ලංඝනය වී තිබෙන බව අපි කල්පනා කරමු.
එමෙන්ම මෙලෙස කිසිදු පෙර දැනුම් දීමකින් තොරව වෙබ් අඩවියට පිවිසීම වලක්වාලීම සම්බන්ධයෙන් අපට හැ‍ඟෙන්නේ ජනමාධ්‍යවේදීන් වන අපගේ අදහස් දැරීමේ හා එය ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද තර්ජනයක් බවය.

මෙම සන්නිවේදන සමාගම් සියල්ල අපගේ වෙබ් අඩවිය ඇතුලු තවත් පුවත් වෙබ් අඩවි අටක් මේ වන විට වාරණය කිරීමට, එකවිට පියවර ගැනීමට හේතුව ලෙස යම් දේශපාලන අධිකාරියක හෝ රාජ්‍ය නිළධාරීන්ගේ බලපෑමක් හෝ නියෝගයක් අනුව සිදුව ඇතැයි අපට බරපතල සැකයක් ඇත.

ඒ අනුව ශ්‍රි ලංකාව තුළ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එල්ලවී තිබුණු මර්දනයන්ගේ අතීත අත්දැකීම් සලකා බැලුවිට මේ වත්මන් තත්වය අපගේ ජීවිත කෙරෙහි අනතුරුදායක ලෙස බලපැවැත්වීමට පවා ඉඩ කඩක් නිර්මාණය විය හැකි බව ද පෙන්වා දෙමු.

මෙම තත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරනුයේ ජනමාධ්‍යවේදීන් වන අපගේත් මේ රට පුරවැසියාගෙත් මූලික මානව හිමිකම් අයිතිය ‍රැක ගැනීම වෙනුවෙනි.

මේ වන විට ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියේ සංස්කාරකවරයා ලෙස වගකීම් උසුලන මා 1993 වසරේ සිට ජනමාධ්‍ය වේදියකු ලෙස පුවත්පත් ආයතන කිහිපයක සේවය කර ඇති අතර ජනමාධ්‍ය වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් වූවෙකි.

2012 වසරේ මැයි මාසයේ සිට 'ශ්‍රී ලංකා එක්ස් නිව්ස්' වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරක වරයා වශයෙන් කටයුතු කළ අතර එම වසරේ ජුනි 29 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් එම වෙබ් අඩවි කාර්යාලය වටලා මා සමඟ එම වෙබ් අඩවියේ දෙමළ භාෂා සංස්කාරක සිද්ධික් කාරියප්පර් මහතාවද අත් අඩංගුවට ගන්නා ලදී.

එම අවස්ථාවේදී එම කර්යාල පරිශ්‍රයේ පිහිටා තිබු 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවියේ කාර්යාල සහය සේවිකාව ඇතුලු මාධ්‍යවේදීන් 6 දෙනෙකුද අත් අඩංගුවට ගන්නා ලදී

කාර්යාලයේ තිබූ පරිගණක 09ක් හා ලිපිගොනු කිහිපයක්ද අත් අඩංගුවට ගන්නා ලදී.

කාර්යාල කාර්ය සහායිකාව එම දිනයේදීම මුදා හැරි අතර මාධ්‍යවේදීන් 08 දෙනා පසු දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරියේය.

මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග‍‍්‍රහයේ 115, 118 හා 120 යන වගන්තිවලට අදාළව වරදක් කළේ යැයි පවසමිනි.

කෙසේවුවද දණ්ඩ නීති සංග‍‍්‍රහයේ 118 වැනි වගන්තිය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි වගන්තිය මගින් ඒ වන විට අහෝසි කර තිබිනි.

එලෙස අත්අඩංගුවට ගැණුනු 'ශී‍්‍ර ලංකා මිරර්' හා 'ශී‍්‍ර ලංකා එක්ස් නිවුස්' මාධ්‍යවේදීන්ට නැවත නොතීසියක් ලද විට අධිකරණයට පැමිණෙන ලෙසත් එතෙක් ඔවුන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා 2013 සැප්තැම්බර් 18 වැනිදා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප මාධ්‍යවේදීන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසුව තවදුරටත් එල්ලවූ බලපෑම් හමුවේ එම වෙබ් අඩවිය පවත්වගෙන යෑම අත් හි‍ටුවීමට සිදුවිය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13-1, 14-1(A) හා 14-1 (G) යන වගන්තිවලින් කියවෙන කථා කිරීම, අදහස් පල කිරීම හා ප‍්‍රකාශනයේ නිදහස, තනිව හෝ කිහිපදෙනෙකු සමඟ තමුන් කැමැති වෘත්තියක් කිරීමේ අයිතිය හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවතී.

ඉන් පසුව 2013 වසරේ ජනවාරී මාස 9 වන දින ආරම්භ කළ ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියේ ආරම්භක සංස්කාරක වරයා ලෙස සේවයට බැදුන්නෙමි.

වෙබ් අඩවි ලියා පදිංචිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ කර තිබූ දැන්වීම අනුව ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවියද ලියාපදිංචි කිරීම සඳහා අදාල ඉල්ලුම් පත්‍රය එම වසරේ මාර්තු මාසයේදී අප විසින්ද එම අමාත්‍යාංශයට භාර දෙන ලදී.

ඉන් පසුව අමාත්‍යංශ්‍ය වෙබ් අඩවි ලියා පදිංචිය සලකා බැලීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද්දේ එම වසරේ ඔක්තෝබර් මාසයේදීය. අප වෙබ් අඩවිය පරික්ෂා කර බැලු අමත්‍යංශ අතිරේක ලේකම් වරයා ප්‍රමුඛ නිලධාරීන් වෙබ් අඩවිය ලියාපදිංචියට සුදුසු බවත් අදාල මුදල් ගෙවීම සඳහා දිනයක් දන්වන බවත් වාචිකව දැනුම් දුන් නමුත් මේ වන තුරු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

ශ්‍රී ලංකාව තුල බලපවත්වන නීති රෙගුලාසී හා පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට අනුකූලව අප ද ඉන්ඩෙපෙන්ඩෙන්ට් වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට අප නිරන්තරයෙන් උත්සුක වූ අතර අප සාමාජිකත්වය දරන වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ පිලිගත් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියට එකඟව මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමටද අප කටයුතු කළෙමු.

අප වෙබ් අඩවියෙහි අන් අයෙක් නොඉවසන යමක්, අසත්‍යක්, අසාධාරණ ප්‍රකාශයක් වැරදි කරුණක් වාර්තා කළේ නම් ඊට පිළිතුරු බැඳීමේ අයිතිය එම අගතියට පත්වූවන් වෙත ලබා දුන් අතර ඒ අනුව අපි කටයුතු කළ අවස්ථාද ඕනෑ තරම් තිබේ.

එහෙත් එම අවස්ථාවන් මඟ හැර කිසිවකු හෝ අප වෙබ් අඩවියට එරෙහිව කළ අකටයුත්තක් ලෙස මෙම වාරණය සිදුව තිබෙන බව නැවත පවසන අතර. මෙමගින් අපගේ මෙන්ම මේ රටේ බදු ගෙවන ජනතාවට තමන්ගේ බදු මුදලින් රජය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඇති සාධාරණ අයිතිය ද උල්ලංඝනය වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මානව හිමිකම් කොමිස්ම මැදිහත්ව සාධාරණ නිගමනයක ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මීට විශ්වාසී

සුභාෂ් ජයවර්ධන
ප්‍රධාන සංස්කාරක
ද ඉන්ඩෙපෙන්ඩෙන්ට්


0 comments:

මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ කරන බාධා කිරීම් වහාම නතර කළ යුතුය - FMM

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් තම වෘත්තීය කටයුතු සිදු කිරීමේදී මෙන්ම සිය වෘත්තීය පුහුණුවට අදාළ පුහුණු සැසිවලට සහභාගීවීමේදී ආරක්ෂක හමුදා සහ පොලීසිය මගින් සිදුකරන බාධා කිරීම් පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය බලවත් විරෝධය පළ කරයි.

මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය පරිසරය සහතික කිරීම සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකින්ම අපේක්ෂා කරන මුලික වගකීමකි. එහෙත් පසුගිය කාලය පුරා ලාංකීය මාධ්‍යවේදීන්ට අත්විදිමට සිදු වූ අමිහිරි හා කටුක අත්දැකීම්වලින් සනාථ කරනු ලැබ

Read More »

0 comments:

ආශ්චර්යමත් යථාර්ථවාදී සාහිත්‍යයේ නිල මුද්‍රාව - ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්‌

 කොලොම්බියානු ලේඛක ගේබ්‍රියල් ගාර්ශියා මාර්කේස්‌ පසුගිය 17 වැනිදා 87 වියේදී මිය ගියේ ය.
අසූ හත් විය සපුරා, මෙක්‌සිකෝ නගරයේ සිය නිවසේ දී අවසන් හුස්‌ම හෙලු, ලෝ පතළ ගත්කරු ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්‌ විසි දෙහැවිරිදි තරුණයකුව සිටියදී, කොලොම්බියාවේ කැරිබියානු වෙරළාසන්න මිටියාවතේ පිහිටි, කෙසෙල් වගාවන්ගෙන් සහ වගුරු බිම්වලින් වට වුණු සිය උපන් ගම වූ අරකටාකා නම් කුඩා නගරය වෙත ඔහුගේ මව ද සමග ගිය ගමන තම ලේඛක දිවියේ වැදගත් ම සන්ධිස්‌ථානය වූ බව ඔහු වරක ප්‍රකාශ කරන්නට යෙදිණි. වාෂ්ප බෝට්‌ටුවකින් සහ අබලන් දුම්රියකින් යා යුතු වූ එම ගමනේ අරමුණ ව තිබුණේ, ඔහු ඉපදුණු මෙන්ම සිය ජීවිතයේ පළමු වසර අට, සීයා සහ ආච්චීගේ ඇසුරේ හැදී වැඩුණු දැමූ ඔහුගේ මව්පස මහ ගෙදර විකුණා දැමීම යි.

අරකටාකා වෙත ගිය එම ගමන, ලතින් ඇමරිකානු ලේඛයකු අතින් මෙතෙක්‌ ලියෑවුණු ජනප්‍රියතම මෙන් ම උසස්‌ත ම සම්භාවනාවට ලක්‌ වූ නවකතාව වන "සිය වසක හුදකලාව" කෘතියෙහි වස්‌තු බීජය සැපයීය. එසේ බිහි වූ නවකථාවේ පළමු වාක්‍යය වන "වසර ගණනාවකට පසු, වෙඩික්‌කාර භට ඛණ්‌ඩයට මුහුණ දී සිටියදී, කර්නල් අවුරලියානෝ බුවෙන්දියා හට, ඔහුගේ පියා ඔහුට අයිස්‌ පෙන්වීමට රැගෙන ගිය ඒ ඈත අතීත සවස්‌ යාමය ගැන සිහිපත් විය" යන වැකිය මගින් ම කියවන්නාව විචිත්‍ර සහ ෙත්‍රෙකාලික වූ කතාන්දරමය ලෝකයකට කැඳවා ගෙන යයි. ඔහුගේ දේශය වන කොලොම්බියාව පමණක්‌ නොව, සමස්‌ත ලතින් ඇමරිකාව ම, විශ්ව සාහිත්‍ය සිතියම මත ලකුණු කළ කෘතියක්‌ වන එහි "මකොන්දෝ" යන ගුප්ත නමකින් යළි උපදින්නේ ඔහු කුඩා කල හඳුනා ගත් අරකටාකා නගරයයි. එහි වැස්‌සක්‌ වසර පහක්‌ ද ඉක්‌මවා එක දිගට වසිනු ඇති අතර අහසින් කහ මල් වරුසා කඩා වැටෙනු ඇත. කතාවේ ආරම්භයේදී ම හමු වන කර්නල් බුවෙන්දියාගේ චරිතය ගාර්ෂියා මාර්කේස්‌ ගොඩ නගන්නේ ඔහුගේ මව් පස සීයා, එනම්, "දින දාහේ යුද්ධය" නමින් ප්‍රකට 1899-1902 පැවති කොලොම්බියානු නිදහස්‌ කැරැල්ලේ සටන් වැදි, කර්නල් නිකොලා මාර්කේස්‌ගේ චරිතය ඇසුරිනි.

ආශ්චර්යාත්මක යථාර්ථවාදී සාහිත්‍යයේ නිල මුද්‍රාව බඳු, "සියක්‌ වස හුදෙකලාව" නවකථාව තුළ කාලය සර්පිලාකාර පථයක්‌ ඔස්‌සේ ගෙවී යන්නේ ද අභ්‍යව්‍ය දේ සාමාන්‍යය බවට පත් වන්නේ ද, සාමාන්‍ය මිනිසුන්ගේ අසාමාන්‍ය ජීවිත අරා පැතිරි ශෝකී මෙන්ම විකට වූ ඉරණම විචිත්‍රවත් අතිශයෝක්‌තියක්‌ තුළ සෙල්ලක්‌කාර උත්කර්ෂකයට පත් කරමිනි. ඒ සැණකෙළිමය අවකාශය තුළ, ලතින් ඇමරිකානු ජන ජීවිතය ද සිතුම් පැතුම් රටාව ද එක්‌තැන් කොට කැඩපතකින් මෙන් පිළිබිඹුවක්‌ මැවූ මාර්කේස්‌, දහ නව වන සියවස යුරෝපා සාහිත්‍ය ප්‍රබෝධය සනිටුහන් කළ චාර්ල්ස්‌ ඩිකන්ස්‌ හෝ ඔනොරේ ද බල්සක්‌ වැනි, විචාරක පැසසුම මෙන් ම සාමාන්‍ය වැසියන්ගේ ආදරය ද එක සේ දිනා ගත් ලේඛකයින් කිහිප දෙනා අතුරින් අයෙකි.

ලොව පුරා විශ්ව විද්‍යාලයන්හි අධ්‍යයනය කරනු ලැබීමට මෙන්ම යන්තමින් කියවීමේ හැකියාව ඇතියවුන්ගේ ප්‍රසාදයට එක්‌වර ම පත් වීම යනු සැබවින්ම සුවිශේෂී සිදු වීමකි. පාඨක ප්‍රජාවක්‌ දිනා ගැනීම අතින් බැලු කල, එය සාර්ථකත්වයේ පරිසමාප්තියයි. ඒ සාර්ථකත්වය වටහා ගැනීමට තැත් කිරීම වඩාත් ආකර්ෂණීය දෙයක්‌ බවට පත් වන්නේ, ලෝ පුරා පිටපත් මිලියන පහළොවකටත් වඩා අලෙවි වුණු "හුදෙකලාවේ සියවසක්‌" කෘතියේ සාර්ථකත්වය ගැන තමා ම පුදුමයට පත් වන බවත් 1975 දී ‘Autumn of the Patriarch’ යනු තමාගේ වඩාත් පරිපූර්ණ වූ කෘතියක්‌ බවත් ඔහු ම කී බව සිහිපත් කරනා විට දී ය.

ලතින් ඇමරිකානු ලේඛකයින්, ඔවුන් ලේඛකයින් නිසා ම, ජන නායකයින් ලෙස පිළි ගැනෙන, විශාල අනුගාමිකයින් පිරිසක්‌ ගොඩ නැගෙනා බවත් මාර්කේස්‌, කියුබානු ලේඛක මාර්ති, නෙරූදා, සහ චිලියානු ලේකා මිස්‌ත්‍රාල් ආදීන්ගේ ගමන් මග දෙස බලනා විට පෙනී යයි. මේ තත්ත්වය විස්‌තර කරමින් ඉසබෙල් අයියන්දේ මෙසේ පවසයි, "දකුණු ඇමරිකානු මහාද්වීපය යන අති සංකීර්ණ සහ අද්භූත දේශයේ වෙසෙන ජනතාවකගේ සාමූහික බලාපොරොත්තු, සිහින සහ භීතිකාවන් සම්පිණ්‌ඩනය කර දක්‌වන්නේ ලේඛකයින් බැවින්, තමන්ව දිනපතා පාහේ වික්‌ෂිප්ත කරනවන යථාර්ථය ගැන පුqරෝකථන කිරීම ජනතාව සිය ලේඛකින්ගෙන් බලාපොරොත්තු වෙති. ලේඛකයෝ අපේ ඉතිහාසය - මායාවක්‌ සහ භයංකර වූ ඒ ඉතිහාසය - අප වෙත යළි ලබා දෙති." මාර්කේස්‌ගේ ශෛලියත්, විටෙක ඔහුව ජනාධිපති කළ යුතු යෑයි කියන තරමට ඔහු සතු වූ අධික ජනප්‍රිතාවත්, වාම දේශපාලන නායකයින් සමග පැවැත්වූ කිට්‌ටු මිත්‍රත්වයත් වටහා ගැනීමට මේ ප්‍රකාශය පසුබිම සකසයි.

මාර්කේස්‌ගේ කෘතීන්හි හමුවන විශ්වයෙහි ලාක්‌ෂණික ගුණය නම් ඇදහිය නොහැකි දේ මහා පිපුරුමක්‌ මෙන් විත් පාඨකයා වෙළා ගැනීමයි. ලොව පුරා කෝටි ගණනක්‌ පාඨකයින් ආකර්ෂණය වීමට හේතු වූයේ, ඒ මායා ලොව තුළ අප එදිනෙදා අත් දකින මුත් නිති මග හරිමින් සිටින හේතු දැක්‌විය නොහැකි සහ කිසි විට ඇදහිය නොහැකි, බොහෝ සිදුවීම්ල කිසිදු පැකිළීමකින්, ව්‍යාජයකින් තොරව පිළි ගැනෙන ලොවක්‌ මාර්කේස්‌ තනා දීමයි. අනාගතය කියෑවෙන හීන සුබ අසුබ පෙර මග ලකුණු කියන හූනන් බල්ලන් සිටින වෙහෙරවලින් රැස්‌ විහිදෙන, කිරි නැහැවෙන තැනක වෙසෙන අපේ යථාර්ථය ද එය නොවේද?

වෙනත් ඕනෑ ම සාහිත්‍ය ව්‍යාපාරයක මෙන්, ආශ්චර්යාත්මක යථාර්ථවාදයෙහි සාර්ථකත්වය ද ඊට ම පාරා වළල්ලක්‌ නො වී යෑයි කිව නොහැකි ය. දකුණු ඇමරිකානු මහාද්වීපය අත්පත් කර ගත් ස්‌පාඤ්ඤ කොන්කිස්‌තදෝර්වරු සිය රජුන් වෙත ලියා යෑවුණු ලිපිවල සිට ම අතිශයෝක්‌තිය පිරී පවතී. ලතින් ඇමරිකාව තාරුණ්‍යයෙන් අනූන බවත්, මැජික්‌ සහ දියමන්ති ගල් ගොඩවල් මෙන් ගොඩ ගැසී ඇති බවත්, එහි ඇතැම් මිනිසුන්ට රයිනෝසිරයකුට මෙන් නහය මත අඟක්‌ ඇති බවත් තවකෙකුගේ එක්‌ යටි පතුළක්‌ ඉතා විශාල බැවින් දවල් නිදා ගන්නා විට එය ඉර අව්ව මැඩලීමට කුඩයක්‌ සේ ඔසවා ගන්නා බවත් ඔවුහු ස්‌පාඤ්ඤ රජුට ලියා යෑවූහ. මේ විචිත්‍ර ලේඛනයන්ගෙන් නිරූපිත ලතින් ඇමරිකාව, මාර්කේස්‌ගේ, නැතහොත් එම පරපුරේ වෙනත් ලේඛකයින්ගේ නිරූපණයන්ගේ නිර්මාණවලින් කෙතරම් දුරස්‌ වී ද? ආශ්චර්යාත්මක යථාර්ථවාදී ලේඛයින් වෙත, ඔවුන්ට පසු ලේඛක සහ විචාරක පරපුරින් එල්ල වන ප්‍රධානත ම චෝදනාව නම්, ඒ තුළ ලතින් ඇමරිකාව නියෝජනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු විය නොහැකි, පුරුෂෝත්තමවාදයෙන්, කාම රාගයෙන් සහ විශමයෙන් ස්‌ථාපිත අක්‌ෂයක්‌ වටා නිබඳ කැරකැවෙමින්, ඉදිරි ගමනක්‌ නැති ග්‍රාමීය මහාද්වීපයක්‌ ලෙස බවයි.

සියයට හැත්තෑවක්‌ පමණ වන නාගරික ජනගහනයක්‌ වෙසෙන, ඇමරිකානු ජනප්‍රිය සංස්‌කෘතිය අනුව අනුනාද වන හද ගැස්‌මක්‌ සහිත වර්තමාන පරපුරත් ඔවුන්ගේ යථාර්ථයත් නියෝජනය කිරීමට ආශ්චර්යාත්මක යථාර්ථවාදය අසමත් බව නව පරපුරේ ස්‌ථාවරයි. Macondo වෙනුවට McOndo යන McDonald’s වෙළද ලකුණ ගැන සංඥා කරන සාහිත්‍ය ව්‍යාපාර නාමය වටා මේ නව ලතින් ඇමරිකානු සාහිත්‍යය රාශී වී තිබේ. දෛවෝපගත දේ නම්, මාර්කේස්‌ ඇමරිකානු ජනප්‍රිය සංස්‌කෘතියේත් එය ලතින් ඇමරිකාවට කරන බලපෑමේත් යාවජීව විවේචකයකුව සිටීම සහ ඔහු බිය වූ දෙයම යථාර්ථය බවට පත් වූ දිනක ඔහු වියපත් බලා සිටින්නකු, ඔහුගේ ප්‍රකට ම නවකතාවේ මෙන් අවසන් කාලයේදී "නිහඬ බුවන්දියා" කෙනෙකු බවට පත් වීමයි.

කෙසේ වෙතත්, අදටත් ලතින් ඇමරිකාවේ මෙන් ම, විශේෂයෙන් ආසියාව කෙරෙහි ද පොදුවේ ලෝකය ම කෙරෙහි ද මාර්කේස්‌ සහ ඔහුගේ රචනා වලංගු වන්නේ, විස්‌තර නොකළ හැකි දෙය මාර්කේසියානු යථාර්ථයක්‌ වන බැවිනි. සිය වසක හුදකලාව නිමා වූ තැන සත්‍යය නිරාවරණය වූ පරිදි, හුදකලාවේ දෙසිය වසක්‌, හෝ තුන්සිය වසක්‌ ගෙවූ විට අප අද ජීවත් වන මායාව පිළබඳ "සැබෑව් හෙළි වනු ඇත. එදින මාස්‌කේස්‌ යළි උපදී.


හරින්ද්‍ර බී දසනායක

0 comments:

ලසන්ත ඝාතනය |‘මම දරණ අදහස නම්, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.‘

ලසන්ත වික්‍රමතුංග ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත වරක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වාර්තා වි තිබේ. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකයට තුඩු දී ඇති එක් පාර්ශවයක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඒ පිළිබදව කරන ලදැයි කියන ප්‍රකාශයක් එයට මූලික වී ඇත. එම ප්‍රකාශය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ, හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ විසිනි. සංජීව සමරසිංහ විසින්, සරත් ෆොන්සේකා පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ ‘‘ලාල් වික්‍රමතුංග මහත්තයා, ලසන්ත වික්‍රමතුංගගේ අයියා. ඔහු අවස්ථා දෙකකදී ප්‍රකාශ කරලා තිබුණා, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සරත් ‍ෆොන්සේකා මහතා වග කියන්න ඕනැයි කියන එක. මම ඇහුවා ලාල් වික්‍රමතුංග කියපු කතාවේ සත්‍යක් තියනවද? ඔහු දුන්න උත්තරේ මගේ ඩයරියේ තියනවා. ‘මම දරණ අදහස නම්, සීමාව ඉක්මවා යන ඕනෑම අයෙකුට තවත් කාලයක් ලබා නොදිය යුතු බවයි.‘”

‘එතකොට මින් ඉදිරියට ඔහුගේ ඝාතන ලැයිස්තුවට සංජීව සමරසිංහගේ නම එකතු වේවි‘ යනුවෙන් එම මාධ්‍ය හමුවේ දී සංජීව සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇත. (බලන්න පහත වීඩියෝව, 0.45 සිට 01.23 දක්වා – Video Credit: Derana) ලසන්ත වික්‍රමතුංග පුවත්පත් කතුවරයා ඝාතනය කර මේ වසරේ ජනවාරි 08දාට වසරක් 5ක් ඉක්ම ගියේ ය. වසර 5ක් ඉක්ම ගොස් තිබියදීත් ලසන්ත ඝාතනය කළ ඝාතකයින් නීතිය හමුවට පැමිණ වීමට රාජපක්ෂ පාලනයට මෙතෙක් නොහැකිවීම තුළ, ලසන්ත මරා දැමූ ඝාතකයින් නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි බලකරමින් ඔහුගේ සමීපතමයින් සහ ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පසුගිය ජනවාරි 09 වනදා ද විරෝධතාවයක් පැවැත් වීය. එහි දී කෑපි පෙනෙන සිදුවීමක් වූයේ ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍යවේදියාගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග විසින් කරන ලද ප්‍රකාශයක් ය. ලසන්ත ඝාතනය කල අය තමන් දන්නවා යැයි, තමන්ට(ලාල් වික්‍රමතුංගට) ජනාධිපති රාජපක්ෂ තුන් වතාවක් ම කී බව මාධ්‍යට කිවේ ලාල් වික්‍රමතුංගය. එසේම ඔහු විසින් ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන්, මෙසේ ඇසූ බවත් ලාල් වික්‍රමතුංග කියා සිටියේ ය. ‘‘ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම, මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ..‘‘ ලාල් වික්‍රමතුංග වැඩිදූරටත් කීවේ ය. ලාල් වික්‍රමතුංගගේ එම ප්‍රකාශය සහ එයට අදාල අනිකුත් අදහස් පසුගිය ජනවාරි 09වනදා ‘විකල්ප‘ වෙබ් අඩවියේ පළ කල අතර එම වීඩියෝ සටහන පහතින් දැක්වේ.

දැන් ලාල් වික්‍රමතුංගට, ජනාධිපතිවරයා කියූ ප්‍රකාශයත්, සරත් ෆොන්සේකා සම්බන්ධයෙනුත් මෙන්ම, දැන් සරත් ෆොන්සේකාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ විසින් සරත් ෆොන්සේකා උපුටා දක්වමින් කියනු ලබන ප්‍රකාශත් තුළ ලසන්ත මරා දැමූවන් සොයාගැනීමට අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු වන්නේය. නමුත් ලාල් වික්‍රමතුංගගේ ප්‍රකාශයෙන් මාස දෙකකට ආසන්න වෙමින් තිබියදී පවා එම ප්‍රකාශයන් ගැන කිසිදු සැලකිල්ලක් දක්වන බවක් මේ දක්වා පෙනෙන්නට නැත. එම තත්ත්වයන් තුළදී දැන් සරත් ෆොන්සේකාගේ, හිටපු මාධ්‍ය සම්බන්ධීකාරක, සංජීව සමරසිංහ විසින් සිදුකරන මෙම ප්‍රකාශය පිළිබදවත් වඩා සැලකිල්ලක් දක්වනු ඇතැයි විශ්වාස කළ නොහැකි වන්නේ, මෙයට වඩා ප්‍රභල ප්‍රකාශයක් ලසන්තගේ සහෝදරයා විසින් සිදුකල විටදී පවා ආරක්ෂක අංශ හොරට නිදා සිටිය බැවිනි.
කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යට එල්ල කරන ලද සියලු ප්‍රහාරයන් වල පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නැති තත්ත්වයක් තුළ, ඒ පිළිබදව සිදුවන ‘දේවල්‘ පිලිබදව ඉතා කෙටියෙන් මෙසේ පැවසිය හැකිය. ‘හොරැ විසින් හොරකම් පිළිබදව පරීක්ෂණ කරන තාක් කල් හොරැ අල්ලා ගැනීමට නොහැකි බවයි.‘

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු