තිනමුරසු පුවත්පතයෙහි මාධ්‍යවේදියකුට හමුදා නිළධාරීන් පහරදෙයි

ඊලම් මක්කල් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂය විසින් පවත්වාගෙන යන තිනමුරසු පුවත්පතයෙහි ප්‍රාදේශිය වාර්තාකරුවෙකු ඊයේ දින ශ්‍රී ලංකා හමුදා පහරදීමකට ලක්වී තිබේ. තවද ඔහුගේ කැමරාවටද අලාභ හානි සිඳුකර එහි තිබූ ඡායාරූපද බලහත්කාරයෙන්ම මකාදමා තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, වලිගාමම් නැගෙනහිර අධි ආරක්‍ෂක කලාපයක් බවට තිබී හමුදාව විසින් මුදවාහැරින ලද අච්චුවේලි ඉඩයිකාඩු ප්‍රදේශයේදී හමුදාව විසින් අටවා තිබූ බිම්බෝම්බයක් ජනතාව විසින් සොයාගෙන තිබේ. මේ සම්බන්‍ධයෙන් හමුදාවටද දැනුම්දී තිබේ.
ජනතාව නැවැත පදිංචීමට අනුමැතිය ලබාදුන් ප්‍රදේශයේදී අටවා තිබූ බිම්බෝම්බය ගැන පුවත් ආවරණය කිරීමට ගිය තිනමුරසු පුවත්පතයෙහි මාධ්‍යවේදියකු වන 27 හැවිරිදි ගනේසමූර්ති විසයන්දන් නැමැත්තාට ජනතාව ඉදිරියේදීම හමුදාව විසින් පහරදී තිබේ.
තමන් මාධ්‍යවේදියකු යැයි පවසා සිටි නමුත් එහි ඡායාරූප ගත් බව පවසා එම නිළධාරිවරයා පහරදී තිබේ. තවද ඔහු සතුව තිබූ කැමරාවද උදුරා ඡායාරූප සියල්ල මකා දමා එයට අලාභ හානිසිඳුකරර තිබේ. ඉකුත් මාධ්‍යවේදියාට මීට පෙරද නාඳුනන පිරිසක් විසින් මෑතකදී රාත්‍රී කාලයේදී පහරදීමකට ලක්වී තුවාල සිඳුකර තිබීමද විශේෂත්වයකි.

(globle tamil news)

0 comments:

ලසන්ත ඝාතනයට පසු වදනක්‌

'සන්ඩේ ලීඩර්' පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර පහක්‌ ගතවීම නිමිත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක විසින් 'The Murder of an Editor මැයෙන් 2014.01.10 වැනි දින දි අයිලන්ඩ් පුවත්පතට ලියූ ලිපියේ සංක්‍ෂිප්ත සිංහල පරිවර්තනයයි මේ

පුවත්පත් කලාවේදීන්, විශේෂයෙන්ම පුවත්පත් කතුවරුන් මරා දැමීම පිළිබඳව මටම විශේෂ වූ ප්‍රශ්නයක්‌ ඇත. ශ්‍රී ලංකාවේ පුවත්පත් කතෲවරුන්ගේ සංසදය සහ ප්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයක්‌ ඇත. අන් හැම කතුවරුන්ටම වඩා තම කුසලතාව දැක්‌වූ එමෙන්ම වෙනස්‌ මඟක ගිය පුවත්පත් කතුවරයාට වසරේ දක්‍ෂතම කතුවරයාට හිමිවන සම්මානය පිරිනමනු ලැබේ. එම සම්මානය නම් කරනු ලැබුයේ මගේ පියා වූ මර්වින් ද සිල්වා නමිනි. එය පරිත්‍යාග කළේ මා විසින් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු විසින් නොවේ. එය පිහිටුවන ලද්දේ ඔහු විසින් තම ජීවිතය පරිත්‍යාග කළ වෘත්තීය ආයතන මගිනි.
ලසන්ත වික්‍රමතුංග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ පුවත්පතක ප්‍රධාන කතුවරයා විය. එවන් ගණයේ සිටි මගේ පියා එම ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨයෙක්‌ ද විය.

කවුරුන් විසින් ලසන්ත ඝාතනය කළේ දැයි මම නොදනිමි. එහෙත් මා විසින් හෙළිදරව් කළ යුතු දෙයක්‌ තිබේ. එය නම් ඔහුව ඝාතනය කළ අය සහ එම ඝාතනය සිදු කිරීමට නියෝග කළ අය පිළිබඳව යමක්‌ දන්නා බවයි. ඔවුන් බියගුළු ම්ලේච්ඡ පිරිසකි. ඔවුන් බියගුල්ලන් වන්නේ ඔවුන් කිසි අවියක්‌ දරා නොසිටි මිනිසකු මරා දැමීම නිසාය. යම්කිසි අයකු හිතාමතා ම යම් මිනිසකු හෝ ගැහැනියක මරා දමන්නේ නම් ඒ අය බියගුල්ලෙකි. ඔවුන් ම්ලේච්ඡයන් වන්නේ ලසන්ත ලියූ දේ සහ කළ දේ පිළිබඳව ඔවුන් එකඟත්වය පළ නොකළ නිසාය.

ලසන්තගේ පුවත්පතෙන් හැඟෙන්නේ කර්කෂ හඬකි. පහසුවෙන් සකස්‌ කරන ලද කුඩා පුවත්පත ව්‍යාජ ලෙස පෙනී සිටින විශාල පත්‍රයක්‌ නොවේ. එල්.ටී.ටී.ඊ. වෙත ලිහිල් බවක්‌ නොදැක්‌වූ අතර විවාදාත්මකව නැඟී සිටියේය. මේ කිසිවක්‌ ඔහුගේ ඝාතනය සාධාරණීය කරන්නේ නැත. ලසන්ත කිසිවෙකු මැරුවේ නැත. ඔහු අවියක්‌ පවා ගෙන ගියේ නැත. ඔහුගේ පුවත්පත කාටවත් බාධාවක්‌ වූයේ නම් එය නොකියවිය යුතුව තිබුණි. සමහර විට එය වර්ජනය කළ යුතුව තිබුණි. ඇත්ත වශයෙන් ම ඔහුගේ ලිපි විකෘතිනම් එය ලිපි මගින්ම විවේචනය කළ යුතුව තිබුණි. ඔහු සැක සහිත අන්දමින් දේශපාලන කුමන්ත්‍රණයකට සම්බන්ධව සිටියේ නම් ඔහු පිළිබඳව හෙළිදරව් කළ යුතුව තිබුණි. ඔහු විප්ලවකාරී කටයුතුවල නිරතව සිටියේ නම් අපගේ තදබල නීති රීති යටතේ ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිව තිබුණි. ඔහුව මරා දැමීමට තරම් දෙයක්‌ ඔහු කළේ නැත.

රිචඩ් ද සොයිසා ඝාතනය කළ අවස්‌ථාවේ ඒ පිළිබඳව එවකට සිටි ජනාධිපති ප්‍රේමදාසට කළ හැකි කිසිවක්‌ තිබුණේ නැත. ඔහු එයින් තැතිගෙන තිබිණි.

සමහරු වෙතින් එය වසන් කිරීමට ඉඩ හැරිය බව ද මම දනිමි. විවේචන කුමක්‌ වුවද දියවන්නා ඔයේ පාවෙමින් තිබූ ප්ලාස්‌ටික්‌ මාංචු සහිත වූ බෙල්ල මිරිකා මරන ලද ද්‍රවිඩ තරුණයා පිළිබඳව හෝ සිංහල භාෂාවෙන් රූපවාහිනිය මගින් චJද්‍රිකා බණ්‌ඩාරනායක සහ ඇගේ රජය විවේචනය කළ කුමාර් පොන්නම්බලම් එසේ විවේචනය කොට සුළු කාලයක්‌ තුළදී මරා දැමීම හෝ අත් බෝම්බයක්‌ ගසා ෂාරුක්‌ ඛාන් මරා දැමීමට තැත් කිරීම හෝ තාරකී නමින් තීරු ලිපි ලියූ සිවරාම් මරා දැමීම පිළිබඳව ජනාධිපති කුමාරණතුංග මහත්මියට කිසිවක්‌ කළ හැකි බව මම කිසි විටක නොසිතුවෙමි.

මේ සියල්ල සිදු වූයේ ඇය ප්‍රධාන සේනාධිනායක වශයෙන් සිටියදීය. මේ කිසිවකට ඇය වගකිව යුතු බව මම නොසිතමි. ඒ අනුව බලද්දී කොළඹ කොටුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිල්ලේ හතරවැනි තට්‌ටුවෙන් පැන මරණයට පත් වූ දොඩම්පේ මුදලාලිගේ මරණය පිළිබඳව අගමැති ඩඩ්ලි සේනානායක මහතා වගකිව යුතු යෑයි මතයක්‌ ද විය. ඔහු එසේ පැන මියගියේ එජාප රජය පෙරළීමේ කුමන්ත්‍රණයක්‌ පිළිබඳව ප්‍රශ්න කරමින් සිටි අතරතුරය.

දොඩම්පේ මුදලාලි, රිචඩ්, දියවන්නා ඔයේ පාවූ ද්‍රවිඩ තරුණයන්, කුමාර් පොන්නම්බලම්, අත් බෝම්බ පහරට ලක්‌ වූ සිවරාම් හෝ වැරදිකරුවන් බවට තීන්දු නොකළ අය බව අප සිහිතබා ගත යුතුය.
මේ අතර ඉතා පිළිකුල් සහගත වන්නේ ඉතා දාමරික ලෙස ලසන්ත මරා දැමීමයි. මෙම අපරාධය පිළිබඳව මුළු ලොව ඊමේල් මගින් දැනුවත් කර තිබුණි. මාධ්‍ය වෙත මෙම ප්‍රවෘත්තිය පතුරුවා හරින ලෙස ශ්‍රී ලංකා තානාපතිවරුන් ඉල්ලා සිටි අතර, මට ද මෙම ප්‍රවෘත්තිය ලැබුණේ අති ප්‍රබල අන්දමින් භීතියට පත්ව සිටි මගේ හිතවත් තානාපති මිතුරෙකු වෙතිනි. මෙහිදී විරුද්ධතා දැක්‌විය නොහැකි එකම කොටස වූයේ ලසන්ත ගේ මරණින් පසු පළ වී තිබූ කතුවැකිය ලසන්ත විසින් සකස්‌ කළ එකක්‌ නොවීමය. එය සකස්‌ කොට තිබුණේ ඔහුගේ සමකාලීනයන් විසිනි.

ලසන්ත ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිමූර්තියට කැළලක්‌ වන අතර තදබල පහරක්‌ ද වන්නේය. ද්‍රවිඩ ඩයස්‌පෝරාවට ද වාසියක්‌ වන්නේය. ඔවුන්ගේ ප්‍රශ්නයක්‌ ද වන්නේ යම්කිසි විශ්වාසයකට එළඹිය හැකි දෙයකි. ඉංග්‍රීසි භාෂාවෙන් පළවන පුවත්පත්වල සිංහල කතුවරුන්ට සලකන්නේ මේ අන්දමින් නම් ජයග්‍රහණය ලැබූ සිංහලයන් විසින් ද්‍රවිඩයන්ට කෙසේ සලකාවිදැයි ඔවුන් ප්‍රශ්න කරනු ඇත.

අප තේරුම් ගන්නවාට වඩා අලාභයක්‌ ප්‍රභාකරන් විසින් මේ රටට සිදුකර ඇත. වසර තිහක්‌ තිස්‌සේ සියලුම ආයතනවලට බලවත් හානියක්‌ කර ඇත. නමුත් අප සමාජයේ සියලුම නපුරු ක්‍රියාකාරකම් සහ ක්‍රමවේදයන් අනුව බලද්දී මේ සියලුම දේ සඳහා ප්‍රභාකරන් වෙත වරද පැටවිය නොහැක. නිදහස යැයි කියන එ.ජා.ප. පාලනය යටතේ වූ ඩඩ්ලි සේනානායක රජය හදිසි නීති යටතේ දින එක්‌දාහක්‌ මේ රට පාලනය විය. ජනතා විමුක්‌ති පෙරමුණ කුමන දේශපාලන පරිසරයක සිටියේද යත් ඔවුහු දක්‍ෂිණාංශයට එරෙහිව අවි අතට ගෙන සිටියහ. ඒ ජේ. ආර්. ජයවර්ධන යුගයේය. සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය වසර හතක්‌ පැවැති අතර, එයින් වසර හයක්‌ම පාලනය වූයේ හදිසි අවස්‌ථා රෙගුලාසි යටතේය. ටයර් සෑයවල් ඒ කාලයේ සුලභ දර්ශනයක්‌ අතර ඒ 1971 අප්‍රියෙල් - මැයි සමයේ. දැත් පිටුසට තබා බඳින ලද තරුණයන්ගේ මළ සිරුරු දහස්‌ ගණන් ගංගාවල පාවී ගියේය.

කිසිම අවියක්‌ නොදරා සිටි අයෙකු වැරදි හෝ හරි මතයක්‌ දරන අයෙකු මරාදැමීම සාධාරණීය කරන යම් අයෙක්‌ සිටී නම් අපට සිදුවන්නේ ඉතාම භයානක තත්ත්වයකට මුහුණ පෑමටය.

මට දැන ගන්නට ඇත්තේ ලසන්තගේ ඝාතනය පිළිබඳ දැඩි විවේචනය එතරම් ප්‍රයෝජනවත් නොවන බවය. මක්‌නිසාද යත් රිචඩ් ඝාතනයේදී පවා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇඟිල්ල දිගු කළේ ජාතික නායකත්වයට නිසාය.

කුරිරු යුද්ධය සඳහා සිය සහාය නොදැක්‌වීමෙන් කොළඹ මධ්‍යම පංතියේ ඉහළ ජනතාව හුදකලා වී ඇත. එම නිසා ඔවුන් පෙනෙන්නේ ජාතිද්‍රෝහීන් ලෙසිනි.

යුරෝපයේ සිට ලතින් ඇමරිකාව දක්‌වා විහිදී ඇති විසිවැනි ශත වර්ෂයේ ඉතිහාසය පෙන්නුම් කරන්නේ තෝරා පත් කර ගන්නා නායකත්වය අසාධාරණ විවේචනයේ ඉලක්‌කය නොවිය යුතු බවය. නමුත් අප විසින් හඳුනාගත යුත්තේ සමාජයට එල්ලවන විවිධ බලවේගයන් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදීව ගොඩනැඟුණු විපක්‍ෂ නායකත්ව අරගලයකට මුහුණ පා සිටින බවයි.

ආචාර්ය දයාන් ජයතිලක
පරිවර්තනය කළේ - එස්‌. කේ. ඡේ. කුරේරා

0 comments:

ඒ මිනිමැරුම අද සැමරුමකි.

Manjula Wediwardena
එදා ලසන්තගේ මළගෙදර තිබුණු පාළුව කවර හිස්කමක් තුළින් පැන නැඟුණේ වීද? රැය පහන් කිරීමට උන්නේ අප කිහිපදෙනෙකු පමණෙකි. ‘‘මේ කවර නම් මරණයක්ද‘‘ මම සිතුවෙමි. මා සමඟ නිදිවැරූ දෑතේ ඇඟිලි පවා ශේෂ කරවන තරම් වූ සෙසු කිහිප දෙනා කුමක් හිතුවේ දැයි මම නො දනිමි.

ලසන්ත වෙනුවෙන් වූ පිකට්ටුව මහත් ජවසම්පන්න විය. ආවේගශීලී විය. වේදනාකාරී විය. එමෙන්ම අවධානම් සහගත විය. ඒ පිකට්ටුවට සටන් පාඨ ලියැවුණේ ම විසිනි. සටන්පාඨ එනතුරු කාර්යාලය තුළ නොඉවසිලිවන්තව හුන් ‘පෝද්දල‘ විටින් විට මා ඇමතීය. අහසෙහි ගිගුම් නැඟුණේ මා ඔහුට දුරකථනයෙන් කියූ මගේ ආවේගයයි. මා කුරුටු ගෑ ඒ කෝපය මගේ සටහන් පොතේ තවමත් නිරුපද්‍රිව ඇත. ඒත් නිරුපද්‍රිතව නැති දෑ කෙතරම්ද?

මහා ජනකායක් මැද ලසන්ත අවසන් ගමන් යනු පෙනිණ. ඒ දෙණ උර දරා ‘නිදහස‘ පිණිස එක්ව පිළිණ දුන් සකියෝ අද වෙන් ‍වෙන්ව පීඩාව භුක්ති විඳිති.

ඒ මිනිමැරුම අද සැමරුමකි.

මේ සියල්ල අතරේ මෙනෙහි වන බරපතලම සංවේදනාව වන්නේ ඒ ජනශුන්‍ය මළගෙරයි. එකී වපසරියේ වූ මළ පාළුවයි. ඒ නිෂ්චිත හුදෙකලා මොහොතයි. ජනේරුව ගැන වන සියලු කියවීම් අස්සේ ඒ නොකියවුණු පාළුව කියවිය යුතු ය. ජනේරුව ගැන වන සියලු සැමරුම් අස්සේ ඒ මළ ගෙදර වූ පාළුව සැමරිය යුතු නොවන්නේ ද?

කළු ජනේරුව වූ කලි එදා මා සන්තානයේ පුපුරු ගැසූ පද පේලි කිහිපයයි.

කළු ජනේරුව

එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.

මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.

තණ පත‍්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.

හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.

උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.

එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.

ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.

“ජනවාරි මාසෙත් ඉවරයි”
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.

සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.

වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
“ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි.”

0 comments:

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ රාජපක්ෂ යථාර්ථය

‘‘බය වෙන්න ඕනේ මොකටද කියලා මං තමුසෙට පෙන්නන්නං. තමුසෙව ඉවරයක් කරලා තමයි මං පස්ස බලන්නේ.’’ (ලසන්ත වික‍්‍රමතුංගට ජනාධිපති මහින්ද රාජපක්ෂ (2007.11.25 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත වාර්තා කළ පරිදි)

ස්පාඤ්ඤ දණ්ඩාධිකරණ භීම සමය තුළ, එරට ආගමික නායක, තොලෙදෝ අගරදගුරු තැන්පත්, බාර්තොලමේ දෙ කැරන්සාව, මිථ්‍යාදෘෂ්ටිය පිළිබඳ චෝදනාව යටතේ, 1558 දී අත්අඩංගුවට ගැනුණි.

ගිනි මැලේ ලා පිලිස්සීම ඇතුළුව, අවුරුදු 80 ක් තිස්සේ ගෙන ගිය ආගමික දඩයම තුළ, ස්පාඤ්ඤයේ විසූ යුදෙව් ජනගහනය ඇතුළු යුදෙව් ආගමෙන් ක‍්‍රිස්තියානි ආගමට හැරුණු ප‍්‍රජාවන් මුලූමණින්ම පාහේ අතුගා දැමුණි. දණ්ඩාධිකරණ නියමුවන්ට තව තවත් හතුරන් සහ තර්ජන අවශ්‍ය කෙළේය. ඒවා සොයා ස්පාඤ්ඤ සමාජය පීරන්නට ඔවුන්ට සිදු විය. එහි දී, ඒ නියමුවන්ගේ මූලධර්මවාදී දැක්මට අනුගත නොවන ‘පැරණි කිතුණුවන්’ ද, අවසානයේ ඔවුන්ගේ ගොදුරු බවට පත්විය. අගරදගුරු කැරන්සාව අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ට පෙන්වන්ට අවශ්‍ය කෙළේ, රජතුමා විසින් පල්ලියේ නායකත්වයට පත්කරන ලද අගරදගුරුතුමාව වුව, මේ ‘අළුත් යුද්ධය’ තුළ, තමන් අත නාරින බවයි. ‘‘රටේ අගරදගුරුතුමාව පවා මිථ්‍යාදෘෂ්ටිය යටතේ වැරදිකරු කෙරේ නම්, සැකයට භාජනය නොවී විසිය හැකි කිසිවෙකු රටක ඉතිරි නොවේ. ඒ අනුව, ස්පාඤ්ඤයේ වෙසෙන සකල ජනතාවම භීතියෙන් රෝගාතුර කළ හැකිය’’ (‘‘ආගමික දණ්ඩාධිකරණය: භීම සමය’’ කර්තෘ: ටෝබි ග‍්‍රීන්).

ඕනෑම ප‍්‍රජා පීඩකයෙකුගේ ආයුධ ගබඩාවක ඇති අත්‍යාවශ්‍යම අවියකි, සන්ත‍්‍රාසය. භීතිය හරහා, විචාරශීලී සහ ක‍්‍රියාකාරී සුළුතරය අකර්මණ්‍ය කළ හැකිය. නිශ්ශබ්ද සහ අක‍්‍රීය බහුතරයේ අවනත භාවය නගාලිය හැකිය. බියට පත්වන මිනිසා විවේචනාත්මකව සහ විචාරාත්මකව සිතන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පුරවැසියන්ව බිය ගැන්වීමෙන් තොරව, ඔවුන්ව ඒකාධිපතියෙකුගේ යටත් වැසියන් බවට පත්කළ නොහේ.

ප‍්‍රජා පීඩකයෝ, වචනාර්ථයෙන්ම, ත‍්‍රස්තවාදියෝ ය. බිය ගැන්වීමේ ඉලක්කය බුද්ධිමත්ව තෝරාගත් විට, තනි ඝාතනයක් හරහා, රටේ විශාල පරාසයක් ඔස්සේ කම්පන තරංග විසුරුවා හැරිය හැකිය. තවත් අසංඛ්‍යාත මිනිසුන්ව අකර්මණ්‍ය කළ හැකිය.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, හරියටම එවැනි ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකි.

ඔහුගේ ඝාතනයට අණ දුන් අයට අවශ්‍ය කෙළේ, සැඟවුණු දෑ මතුපිටට ගනිමින් මහජන අවධානයට ලක්කිරීමේ හැකියාව ඇති මාධ්‍යවේදියෙකුගෙන් සදහට නිදහස් වීමයි. එසේම, වෙනත් විවෙච්කයන්ට සහ විරුද්ධවාදීන්ටත්, පොදුවේ සමාජයටත් අනතුරු ඇඟවීමටයි: කීර්තිමත්, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයෙකුව දෙනෝදාහක් ගැවෙසෙන මංසන්දියක දී මහ දවල්ම පරලොව යැවිය හැකි නම්, ඒ භීෂණයේ දීර්ඝ හස්තයට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක හසු කරගත නොහැකි කිසිවක් හෝ කිසිවෙකු නොමැති බව, එසේ නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ අරුතයි.

අවශ්‍ය බලයෙන් සහ සකල කළමනාවෙන් අඩුවක් නැති ප‍්‍රජා පීඩකයෙකුට වුව, පුරවැසියන් ගැන හැම මොහොතකම ඇස ගසාගෙන සිටිය නොහැක. එයින් ඇති විය හැකි පාලන හිඩැස වසාගත හැකි නොවරදින ක‍්‍රමය වන්නේ, මහජනතාවම තම තමන් සහ එකිනෙකා ගැන ඇස ගසාගෙන සිටින තත්වයට පත්කිරීමයි. ස්වයං-වාරණය තරම් සාර්ථක තවත් වාරණයක් ඇත්තේ නැත.

භීතියට පත්කිරීම තරම්, මේ ස්වයං-වාරණයට තල්ලූ කිරීමට සමත් වෙනත් යමක් තිබිය හැකි ද? දිනෙන් දින ලියලන රාජපක්ෂ අපහරණයන් සහ අත්තනෝමතිකත්වයන් නිරන්තරයෙන් නිරාවරණය කරන නිර්භය ලේඛකයෙකුව ඝාතනය කිරීමෙන් තරම්, එකී භීතියට පත්කිරීමේ පාඩම කියා දිය හැකි වෙනත් මගක් තිබිය හැකි ද?

‘රටේ ප‍්‍රථම පවුල නුඹ විවේචනය නොකළ යුතුය’ යන්න, රාජපක්ෂ පාලනයේ මූලික ආඥාවකි. ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ඇමතිවරුන් පමණක් නොව, අගමැතිවරයාව වුව විවේචනය කිරීමට කිසි බාධාවක් නැත. එහෙත් රාජපක්ෂ වරිගයේ ඈත නෑයා වුව, විවේචනයට අකැප ය. ලසන්ත වික‍්‍රමතුංග මේ ශික්ෂාව, එක දිගටම කැඩුවේය. ජනාධිපති රාජපක්ෂ සඳහා රුපියල් මිලියන 400 ක වියදමකින් සුඛෝපභෝගී බංකරයක් තැනීමට ගත් තැත, ලසන්ත වික‍්‍රමතුංග විසින් අනාවරණය කරනු ලැබීමෙන් අනතුරුව අතහැර දමන ලදි. එම හෙලිදරව්ව, වක‍්‍රාකාර ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වශයෙන් අර්ථ ගන්වනු ලැබ, ලසන්ත වික‍්‍රමතුංගව අත්අඩංගුවට ගැනීමට ද සැලසුම් කෙරුණි.

ඒ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමටත්, නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිගේ අතකොලූවක් වීමටත් කලිනි. ඊටත් වඩා, දිනාගත යුතු යුද්ධයක් ද ඉදිරියේ තිබුණි. එසේ හෙයින්, තමන්ගේ වඩාත් කර්කශ විවේචකයාව හිරේ ලෑමේ ප‍්‍රයත්නය අතහැර දැමීමට පාලකයන්ට සිදුවිය. රාජපක්ෂලාට සඟවන්ට අවශ්‍ය කළ දේවල් ඊළඟ දෙවසර තිස්සේම ලසන්ත එක දිගටම හෙලිදරව් කෙළේය. ඒ අයුරින්, ලසන්ත සහ ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත, පාලක පවුලේ නිදහසට බරපතල අවහිරයක් විය. උදාහරණයක් වශයෙන්, චමල් රාජපක්ෂගේ වරාය අධිකාරිය සඳහා කාමර 250 කින් යුත් ‘කොන්ටිනෙන්ටල් හෝටලය’ කැබිනට් අනුමැතියක් ද අටවාගෙන මිළ දී ගැනීමට ගත් තැත ව්‍යර්ථ වුණේ, ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත මගින් කළ හෙලිදරව්වෙනි.

ලසන්ත වික‍්‍රමතුංගව බිය ගැන්විය නොහැකි විය. හීලෑ කළ නොහැකි විය. එනිසා ඔහුව ඉවරයක් කළ යුතු විය.


උන්ට එරෙහිව අපි

2008 අවසානය/2009 ආරම්භය වන විට, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි ජයග‍්‍රහණය පේන තෙක් මානයට ආවේය. එවිට, පශ්චාත්-යුධ කාලීන අළුත් චර්යා ශෛලියක් රාජපක්ෂලාගේ අතේ ගොඩනැගෙමින් තිබුණි. ඔවුන්ගේ රාජ වංශික ව්‍යාපෘතියට, හීලෑ කළ මාධ්‍යයක් සහ අඩු කැඩූ විපක්ෂයක් අවශ්‍ය විය. දඟකාර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන විට, දැනට හෝ පසුවට වෙනස් මත දැරිය හැක්කන්ව අක‍්‍රීය නොකොට, බැටළු රෑනක වන් අවනත භාවයකට සමස්ත ජනතාවක් පත් නොකොට, රාජාවලියක් කෙසේ නම් පැලපදියම් කරගන්න ද? පීතෘප‍්‍රාප්ත රදළ පැලැන්තියකට අත්‍යාවශ්‍ය ඒ කුළුණු ස්ථාපිත කැරැලීමට, පාලකයන්ගේ ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ හයියෙන් වඩාත් ආධිපත්‍යධාරී වන මොහොතට වඩා සුදුසු තවත් මොහොතක් තිබිය හැකි ද?

කිලිනොච්චිය වැටීමෙන් ගතවුණේ සතියකි. අලිමංකඩ අල්ලා ගැනීමට තිබුණේ එක දිනකි. ලසන්ත වික‍්‍රමතුංගව ඝාතනය කෙරුණි. වෙලාව පංකාදුයි: ඒ තිරශ්චීන අපරාධයෙන් පැය 24 කට පසු, තමන්ගේ සන්ධ්‍යා ප‍්‍රවෘත්ති විකාශය තුළ ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වශයෙන් එම අපරාධය ප‍්‍රචාරය කිරීමට පුළුවන් කමක්, ඒ සා ආණ්ඩු විරෝධී සිරස රූපවාහිනී නාලිකාවටවත් නොතිබුණි. අලිමංකඩ යළි අල්ලා ගැනීම සහ ඒ9 මාර්ගය යළි විවෘත කිරීමේ ප‍්‍රවෘත්තියෙන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ ප‍්‍රවෘත්තිය යටපත් කෙරුණි. විසම්මුතික පුවත්පත් කතුවරයෙකු ඝාතනය කළ ඒ සහගහන අපරාධය ගැන දකුණේ ජනතාව තුළ ඇති විය හැකිව තිබිණැ යි සිතිය හැකි යම් අනියත අනතුරක් පිළිබඳ හැඟීම පවා, ජයග‍්‍රහණයක ප‍්‍රහර්ෂය තුළ වාෂ්ප වී ගියේය. ජාත්‍යන්තරව පවා, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලැබිය යුතුව තිබූ අවධානය, ඊශ‍්‍රායලය මගින් ගාසා තීරයේ සිදු කළ සංහාරයේ ප‍්‍රවෘත්තියෙන්, යටපත් කෙරුණේය.

ඔහුගේ ඝාතකයන් හැසිරුණු විලාසය, තමන්ව මොනම විදිහක හෝ හෙලිදරව් වීමකටවත්, හසු වීමකටවත් පාත‍්‍ර නොවේ ය යන දැනුමකින් කටයුතු කළ බවක් පෙන්වන්නකි. මේ ඝාතනය සහ ඊට කලින් මෙන්ම පසුවත් සිදු වූ තවත් ඝාතන අතර පැහැදිළි සාම්‍යත්වයක් තිබේ. ටී. මහේෂ්වරන් සහ රවිරාජ් වැනි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ව ඝාතනය කෙරුණේ මහ දවල්, දෙනෝදාහක් මැද්දේය. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට (දෝෂාභියෝගය අවස්ථාවේ) පහර දුන්නේ ද එවැනි වටපිටාවක ය.

දැන් වසර පහක් ගතව ඇත. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ව පරාජය කළ පාලකයන්ට, ලසන්ත වික‍්‍රමතුංගව ඝාතනය කළ අපරාධකරුවන් අල්ලා ගැනීමට තවම නොහැකි වී තිබේ. එම අසාර්ථකත්වය, තේරුම් ගැනීමට අසීරු නැත: කොකා ගැස්සූ අය, කොකා ගැස්සීමට නියෝග කළවුන් බලයේ සිටින තාක් කල් යෙහෙන් වෙසෙනු ඇත.

මේ ඝාතනයට මාස කිහිපයකට පෙර, ජනාධිපතිවරයා විසින් ලසන්ත වික‍්‍රමතුංගට අරලියගහ මන්දිරයට ඇරැයුම් කළැ යි කියැවේ. නැවත යාළු වීමට කරන ලද මේ ආරාධනය ගැන ලසන්ත මුලින් යම් විචිකිච්ඡාවක සිටියත් පසුව ඔහු එය භාරගත් බව කියැවේ.

යාළු කමට දිගු කළ ඒ අත, රජිව් ගාන්ධිට එල්.ටී.ටී.ඊ. සංවිධානය දිගු කළ මිත‍්‍රත්වයේ අතට සමාන විය නොහැකි ද? නැතහොත්. ලසන්ත තමාගේ මිතුරෙකු යැයි කල් තියා මවාපෑම හරහා ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ අපරාධයෙන් පසුව තමාට එල්ල විය හැකි චෝදනාවකින් ගැලවෙන හේතුවාචකයක් සකසා ගැනීම විය නොහැකි ද?

2006 ජනවාරි 11 වැනි දා උදේ 11.13 ට ලසන්ත වික‍්‍රමතුංගට ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කෙළේ ලූ. තම බිරිඳ ගැන පළවූ මාධ්‍ය වාර්තාවකට කිපි සිටි ජනාධිපතිවරයා, ‘‘මං තමුසෙව තියන්නේ නැහැ. තමුසෙට මං මෙච්චර කල් සැලකුවා. අදින් පස්සේ මං තමුසෙව තියන්නේ නැහැ. තමුසේ දන්නේ නැහැ, මහින්ද රාජපක්ෂ කියන්නේ කවුද කියලා.’’ යි කියමින් බැන වැදුණු බව කියැවේ.

ලසන්ත වික‍්‍රමතුංග, මහින්ද රාජපක්ෂව දැන සිටියේය. ඒ, කන බොන කෙනෙකු වශයෙනි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙනි. ඇමතිවරයෙකු සහ අගමැතිවරයෙකු වශයෙනි. එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්ෂව සහ රාජවංශයක් ගොඩනගමින් සිටි මහින්ද රාජපක්ෂව ලසන්ත දැන සිටියේ නැත. ඒ නොදැනුම ඔහුගේ වරදක් නොවේ. හිරු දෙවියන් සහ මහරජු අතර සමානතා ඒ වන විට තිබුණේ අංකුර යාමයේ ය.

රාජපක්ෂලා ලෝකය දකින්නේ (එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන්ම) කළු සුදු තැනක් වශයෙන් බව දැන ගැනීමේ ඉඩක් ලසන්තට නොවුණි. ඔවුන්ගේ ලෝකයේ ඉන්නේ, වහල් දාසයන් සහ සමාව නොදිය යුතු සතුරන් පමණි. ඒ මූලධර්මවාදී විශ්වය තුළ, පැරණි මිතුරන්ට වුව, අතරමැද තැන් නොදෙනු ලැබේ.

දඩුවම් නොලබා ලසන්ත වික‍්‍රමතුංගව ඝාතනය කොට අඩ දශකයක් ගතව ඇති අද, අප එය දත යුතුව තිබේ.


තිසරණී ගුණසේකර | Thissaranee Gunasekara

@2014 ජනවාරි 9 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Lasantha Wickramathunga Assassination & The Rajapakse Reality නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

0 comments:

ලසන්ත ඝාතනය කර වසර 05යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ.

කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලු කිහිපයක් පසු කර ගෙන බව කවුරැත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලුවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරැත් දන්නා රහසක් ව පවතී. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. [මේ එහි වීඩියෝ දර්ශණයි Sunday Leader Editor in Chief Lasantha Wickremetunge murdere. ඒ 2009 ජනවාරි 8 වනදාය.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම්, නිමලරාජන් මෙන්ම ප්‍රගීත් වැනි අතුරැදහන් කරන ලද, පෝද්දල වැනි බරපතල ප්‍රහාරයන්ට ලක් වූ සියලු මාධ්‍යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්‍රහාරකයින් මෙන්ම එයට අනුබල දුන් මර්දකයින්, වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් පෙළගැසිය යුතු කාලය කල් දැමීම යනු මෙම පවතින මර්දනකාරී දේශපාලන පරිසරයට තව දුරටත් සහය වීමක් බව අපගේ හැගීමයි. එබැවින් මර්දනයට එරෙහිව පෙළ ගැසීමත් ඒ මර්දනයට එරෙහිව වන අරගලයට සහය වීමත්, යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරන සියලු පුරවැසියන්ගේ වගකීමක් බව අද දවසේත් මෙසේ සටහන් තබමු.

 vikalpa -

0 comments:

දිවයිනේ පිටු ගැලෙව්වේ කවුද..?

"දිවයින ඉරිදා සංග්‍රහය" පුවත්පතේ අද (05 ඉරිදා) පළවීමට නියමිතව තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාගේ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ජවිපෙ බාරදුන් පෙත්සම සම්බන්ධයෙන් පළවීමට නියමිතව තිබූ "අල්ලස් කොමසාරිස්ට විරුද්ධව අල්ලස් කොමිසමට ජවිපෙ බාරදුන් පෙත්සම මෙන්න..." ලිපිය සහිත පි‍ටුව මුද්‍රණයට යැවීමට තිබියදීම ගලවා ඉවත් කර තිබේ.

මෙම ලිපිය සහිත පිටුව ගලවා ඉවත් කර ඇතැයි අපට හෙළිදරව්වන්නේ පසුගිය සිකුරාදා (03) රාත්‍රියේ දිවයින් පුවත්පතේ අලෙවි ප්‍රවර්ධනය සඳහා පළකරනු ලබන රූපවාහිනී දැන්වීමේද සඳහන් කර තිබුනේ ඉරිදා පුවත්පතේ අදාල ලිපිය පළවන බවයි. කෙසේ නමුත් අද පුවත්පතේ එය පළවී නැත.

මෙම පිටුව මුද්‍රණයේදී ගලවා ඉවත්කිර ඇති බවට හමුවන තවත් සාක්ෂියක් වනුයේ පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කර ඇති ආකාරයට පිටුසැකසුම නොමැති වීමයි. එහි 18වන පිටුවේ පළවන්නේ යැයි මුල් පිටුවේ සඳහන් කර තිබූ සංවාද සටහනද පළවී ඇත්තේ 16වන පිටුවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදීන් පවසන්නේ දිවයින මේ සිදුකර ඇත්තේ මාධ්‍ය සදාචාරයට පටහැනි ක්‍රියාවක් බවයි.


0 comments:

අල්ජසීරා මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ඊජිප්තු අත්අඩංගුවේ

අල්ජසීරා රූපවාහීනී මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ඊජිප්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊජිප්තු රජය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කල එරට විපක්ෂය වන මුස්ලිම් සහෝදරත්ව සංවිධානය සමග සාකච්ඡුා කළ බව කියමින් මෙම මාධ්‍යවේදීන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සතියකට පෙරදී ඔවුන් මෙම සාකච්ඡුාව මෙහෙයවා ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු