තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් වන තරමටම, එම ජනතාව තොරතුරුවලින් දැනුවත්ව තබා ගැනීම මාධ්‍යයට, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයට පැවරෙන මූලික වගකීමකි. ලෝකයේ සතර දිග් භාගයෙන් එන උණුසුම් පුවත් සැළ කිරීම පමණක් නොව, විශේෂඥයන්, විද්‍යාර්ථීන්, බුද්ධිමතුන්, පුරවැසි කණ්ඩායම්, විමර්ශනාත්මක මාධ්‍යවේදීන් පමණක් නොව, උනන්දුවක් දක්වන පාඨකයන්ගේ ද අදහස් උදහස් පිළිබඳ වැදගත් තීරු ලිපි සහ විශේෂාංග ලිපි සම්පාදනය කරමින්, ඒවා සාකච්ඡාවට සහ සංවාදයට පමණක් නොව, විවේචනයට සහ උපහාසයට ලක්කිරීමටත් ඉඩහසර පාදා දීමේ විශේෂ හැකියාවක් මුද්‍රිත මාධ්‍යයට තිබේ.

අදහස් සම්පාදනයේ සහ සිතීමට කෙනෙකු පොළඹවන අපක්ෂපාති මත ඇතුළත් කතුවැකි ආදිය හරහා ඉතා විශිෂ්ට ප‍්‍රබෝධකයක් වශයෙන් පුවත්පත් කර්මාන්තය නමක් දිනාගෙන ඇත්තේ, වැදගත් ප‍්‍රවෘත්ති එයාකාරයෙන් තවදුරටත් සංවාදගත කිරීමෙනි. එවැනි පුළුල් සන්දර්භයක් තුළ, පාඨක කියැවීම ප‍්‍රසන්න අත්දැකීමක් බවට පත්කළ හැකි වන්නේය. එයම, පුවත්පතක දීප්තියට ද හේතුවක් වෙයි.

ඉතා ආශාවෙන් ලංකාවේ පුවත්පත් කියවන පාඨකයෙකු වශයෙන් එක් ඌනතාවක් මට පෙනේ. එය එක දිගටම එසේ පැවතිය හැක්කේ කෙසේදැ යි බොහෝ වර මට සිතී ඇත. එනම්, වාර්තාකරුවන් හෝ නිල ‘ප‍්‍රකාශකයන්’ ඉදිරිපත් කරන ප‍්‍රවෘත්ති වැඩිදුරටත් පරීක්ෂා කිරීම සඳහා ඉන් එහාට යාමට පුවත්පත් මැලිකමක් දක්වන්නේ හෝ මගහරින්නේ මන්ද යන්නයි. පුවත්පත් සිරස්තල ‘උණුසුම් පුවත්වලින්’ සැරසෙයි. එහෙත් විචාරශීලී පාඨකයාට ඉන් එහාට ඒ පිළිබඳ විස්තර අවශ්‍ය කරන්නේය.

යම් කිසි ව්‍යසනයක් සිදුව ඇත්නම්, ප‍්‍රධාන පෙළේ අපරාධයක් හෝ වංචාවක් සිදුව ඇත්නම්, දේශපාලඥයෙකුට සම්බන්ධ යම් ලෝකාපවාදයක් හෝ නොමනා හැසිරීමක් සිදුව ඇත්නම්, අසාමාන්‍ය සොරකමක් සිදුව ඇත්නම්, ඒවායින් පසුව ඊට අදාළ කරුණු වර්ධනය වි ඇති ආකාරය දැන ගැනීමට මිනිස්සු කැමැත්තක් දක්වති. එහෙත් අවාසනාවකට එවැන්නක් පත්තර මාර්ගයෙන් සිදුවන්නේ නැත. දැනට මතකයට එන එවැනි අවස්ථා කිහිපයක් මෙහි සඳහන් කිරීමට පුලූවන.

1. රහසින් ගබඩා කොට තිබූ ඖෂධ වර්ග විශාල තොග වශයෙන් සොයා ගැනීම

2. හෙරොයින් විශාල ප‍්‍රමාණයක් අඩංගු කන්ටේනරයක් වහා නිදහස් කරන්නැ යි අගමැතිවරයාගේ කාර්යාලයෙන් ලිපියක් නිකුත් කර තිබීම ගැන ඉන් පසුව සිදුව ඇත්තේ කුමක්ද? අදාළ පුද්ගලයන්ව පොලීසියෙන් ප‍්‍රශ්න කොට තිබේද? එම පුද්ගලයා දැනට දරණ තනතුර කුමක් ද?

3. රජයේ ඉහළ තනතුරක දේශපාලන පත්වීමක් ලැබ සිටි අයෙක් සිය බලය හිතුමතේ පාවිච්චි කරමින් සිටියදී බලයෙන් වීසි විය. ඉන් පසුව ඔහු දෙවරක්ම සියදිවි නසා ගැනීමට තැත් කළ අතර ඉන් පසුව රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරකට උසස් වීමක් ලැබුවේය. එසේ වුණේ කෙසේද? එම තනතුර ලබා ගැනීම සඳහා එකී පුද්ගලයා, පාර්ලිමේන්තුවේ උසස් පත්වීම් කිරීම සම්බන්ධ අනුකාරක සභාව ඉදිරියේ පෙනී සිටියේද?

4. පසුගිය මාස 12-18 ක කාලයේදී තරම්, ඇතුන් සොරකම් කිරීමක් මේ රටේ ඉතිහාසයේ සිදුව නැත. මෙසේ සොරා ගත් ඇත් පැටවුන් ලොරිවලින් සහ ට‍්‍රැක්ටර්වලින් ප‍්‍රවාහණය කිරීමේදී පොලීසිය විසින් විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගැනුණි. සොරා ගත් ඇත් පැටවුන් ද, උන්ව ප‍්‍රවාහණය කළ ලොරි සහ ට‍්‍රැක්ටර් ද, එසේ ප‍්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනුණි. ඒ ගැන ලොකු සිරස්තල යටතේ ප‍්‍රවෘත්ති පළවුණි. ඉන් පසු, එසේ අත්අඩංගුවට ගත් අයවළුන්ට සිදුවුණේ කුමක්ද? මේ අලි අපරාධ කළ ලොකු මොළකාරයන් කවුරුන්ද? ඔවුන්ට විරුද්ධව නඩු පවරා තිබේද? නීති මාර්ගයෙන් ඔවුන්ට පමුණුවා ඇති දඬුවම් කවරේද?

වන සංරක්ෂණ අමාත්‍යාංශයක් රටේ තිබේ. එහෙත් එක දිගටම කැලෑ විනාශ කෙරේ. ඒ කැලෑ සිය වාසය කරගත් අලි ඇත්තු ඉන් පසු ගම්බිම් වනසති. මේ වල් අලින් ගැන වනජීවී නිලධාරීන්ට දිය හැකි පිළිතුරක් නැත. වල්ලපට්ට සොරුන් සහ වෙනිවැල් එකතු කරන්නන්ව සොයාගැනේ. විශේෂ හූනු වර්ග, සර්පයන්, කටුස්සන්, සමනලයින් සහ ගෙම්බන් සොරකම් කරන්නන් අත්අඩංගුවට ගැනීමට මේ නිලධාරීහූ සමත් වෙති. එහෙත්, අලි හොරුන් සම්බන්ධයෙන් ඔවුන් සාර්ථක වන්නේ නැත. අලි ඇතුන් විශාල ය. උන්ව සොරකම් කරන්නන් ද විශාල ය. බලවත් ය.

5. ඇමතිවරුන් ඇතුළු බලගතු දේශපාලඥයන්ව විවේචනයට ලක්වන විට, සමහර විට, අල්ලස් දූෂණ හෝ අපචාරයන් සම්බන්ධයෙන් ඔවුන්ව විවේචනයට ලක්වන විට, විවේචකයන්ට එරෙහිව නීති මගින් ක‍්‍රියාකරන බවට ඔවුන්ට තර්ජනය කෙරේ. දස ලක්ෂ ගණන්, සමහර විට ප‍්‍රකෝටි ගණන් වන්දි ඉල්ලා ඔවුන්ට එන්තරවාසි යවනු ලැබේ.

එහෙත් ඉන් පසුව සිදු වූ දෙයක් ගැන අසන්නට නොලැබේ. එන්තරවාසියට අනුව වන්දි ගෙවන ලද්දේද? එසේ නොවුණි නම්, ඒ ගැන නීතිමය පියවර ගැනුණිද? ඒ ගැන නඩු විභාගයක් පැවැත්වුණි ද? එයින් ලැබුණු තීන්දුව කුමක්ද?

දූෂිත දේශපාලඥයන් තමන්ගේ විවේචකයන්ට එරෙහිව ලොකුවට කෑගැසුවද, උසාවියට ගිය විට හරස් ප‍්‍රශ්න කිරීම් මගහරින බව ජනතාව දනිති. නඩු පැවරීම් පිළිබඳ ඔවුන්ගේ තර්ජන ගර්ජන හුදෙක් මවාපෑම් පමණි.

මෙවැනි සියලූ තොරතුරු ජනතාවට නොලැබෙන්නේ නම්, තොරතුරු දැන ගැනීමේ අයිතියකින් පලක් නැත. අඩු වශයෙන් ඉහත සඳහන් ආකාරයේ ප‍්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන්වත් සත්‍යය දැන ගැනීමට ජනතාවට අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයකට, දිරිමත්, අපක්ෂපාතී, සත්‍යවාදී සහ අවදියෙන් සිටින මාධ්‍යයක් අවශ්‍ය කරන්නේ එබැවිනි. එම කාර්යභාරය මොන තරම් වැදගත් ද යත්, බි‍්‍රතාන්‍ය දේශපාලඥයෙකු සහ ඉතිහාසඥයෙකු වන තෝමස් මැකෝලි, 1843 දී ලියූ එක් රචනාවකදී මෙසේ කීය: ‘‘වාර්තාකරුවන් වාඩි වී සිටින ගැලරිය (පාර්ලිමේන්තුවේ) රාජ්‍යයේ සිව්වැනි පර්ෂදය බවට පත්ව ඇත.’’

එඞ්වඞ් ගුණවර්ධන

*2014 සැප්තැම්බර් 07 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Right To Information නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහෙයෙනි

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු