මාධ්‍යවේදීන්ට නැති සාධාරණය සාමාන්‍ය වැසියන්ට කොහිද...?


1 comments:

ශ්‍රී ලංකාවේ රියදුරෙක් චීන මාධ්‍යවේදිනියකගේ හිත දිනා ගත් හැටි (PHOTOS)

 මෙරට ත්‍රී රෝද රථ සේවාවෙන් ජනතාවට මහත් සේවාවක් ඉටු  වූවද ඒවායේ රියදුරන් පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදීමක් නැහැ. මුදල් පසුපස හඹායන අවිනීත පිරිසක් ලෙසටයි ඔවුන්ට චෝදනා නැගෙන්නේ. එහෙත් එසේ නොවන බොහෝ පිරිසක් මෙම සේවාවේ නිරතව සිටිනවා.

නෙත්.එෆ්.එම් රේඩියෝවට අද පැමිණි අමුත්තෙක් මුහුණ දුන් අත්දැකීමක් ඊට හොඳම උදාහරණයක්. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ (CRI) සිංහල සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ෂී යූ (Shi Yue) මහත්මිය අප ආයතනයට පැමිණියේ අද (22) පස්වරුවේයි. ඇය කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ආකේඩ්හී(Arcade) සිට බම්බලපිටියේ පිහිටි නෙත්.එෆ්.එම් මෙහෙයුම් කාර්යාලයට ත්‍රී රෝද රථයකින් පැමිණ තිබුණා.

ෂී යූ මහත්මිය අප සමග පැයකට ආසන්න කාලයක් රැඳී සිටින විට ගොඩනැගිල්ලේ ආරක්ෂකයන්ගෙන් පණිවිඩයක් ලැබුණා. අමතක වූ බෑගයක් සමග ත්‍රී රෝද රථයක් පැමිණ විදේශීය කාන්තාවක් සොයන බවයි ඔවුන් කියා සිටියේ. එම පණිවිඩයත් සමගයි ෂී යූ (Shi Yue) මහත්මියට තමන් ආර්කේඩ්හීදී මීලදී ගත් රෙදිපිළි අඩංගු බෑගය ත්‍රී රෝද රථයේ අමතක වූ බව දැන සිටි ඇය ඒ පිළිබඳ බලාපොරොත්තු අතහැර දමා තිබුණා.

බම්බලපිටිය අප ආයතනය අසලින් ඇය බස්සවාගොස් තිබුණු ත්‍රී රෝද රථ රියදුරා තම රථයේ පිටුපස අදාළ බෑගය තිබෙනු දැක ඇත්තේ කිලෝමීටර දෙක තුනක් ගිය පසුවයි. එසැනින් ආපසු හැරී පැමිණි රියදුරා බෑගය එලෙසම අපේ අමුත්තියට භාරදුන්නා. ෂී යූ (Shi Yue) මහත්මිය එම සද්ක්‍රියාව කළ රියදුරුට තුටු පඬුරක් පිරිනැමීමටද අමතක කළේ නැහැ.





0 comments:

තරුණකම, ලිංගිකත්වය, කලාව, පුද්ගලිකත්වය හා රජය -- වික්ටර් අයිවන්

වික්ටර් අයිවන්

මේ ලිපිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත‍්‍රීය හා විවේචනාත්මක විමර්ශනයට ලක් කෙරෙන ලිපියකි. ඉන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට ලැබෙන වැදගත්කම නැති කිරීම හෝ හීන කිරීම නොවේ. මගේ මතය අනුව මේ ආණ්ඩුව විසුළුසහගත පෙනුමකින් යුතු වුවද ඓතිහාසික අර්ථයෙන් ගත් කල වැදගත් හා දුෂ්කර කාර්යභාරයක නිරත වී සිටින ආණ්ඩුවක් බවය. ප‍්‍රතිපක්ෂ දෙකකට නායකත්වය දෙන ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද එහිදී ඉතා වැදගත් ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. ඒ දෙදෙනා තුළම පරිවර්තනයක් සඳහා අවංක අධ්‍යාශයක් පවතී. මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන්නේ යහපත් පරිවර්තනයක් සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීමය. ඒ සඳහා ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද දුෂ්කර උත්සාහයක නිරත වී සිටින්නේය.

ඒ අර්ථයෙන් ගත් කල මේ නායකයන් දෙපළ හා ඒ නායකයන් දෙපළ එකතු වී ගොඩනගා ගෙන තිබෙන විහිළුකාර පෙනුමකින් යුතු ආණ්ඩුව පසුගාමී බලවේගයන්ගෙන් එල්ල වන තර්ජනයන්ගෙන් හා අභියෝගයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැදගත්ය. මේ නායකයන් දෙපළම උත්සාහ කරන්නේ තමන් වෙත ජනතාව විසින් පවරන ලද පරිවර්තන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමටය. ප‍්‍රතිගාමී හා පසුගාමී බලවේගයන්ගෙන් එල්ල වන තර්ජනවලදී මේ නායකයන් දෙපළ ආරක්ෂා කරගැනීම අවශ්‍ය වෙනවා සේ ම මෙම නායකයන් දෙපළ පළකරන අදහස්වල හෝ කරන ක‍්‍රියාකාරකම්වල සීමාසහිතකම් තිබෙන විට ඒවා විවේචනයට හා විචාරයට ලක්කිරීමද අත්‍යවශ්‍යය. එහි අපේක්ෂාව වියයුත්තේ එම නායකයන් දෙපළගේ සේම මහජනයාගේද අවබෝධය වර්ධනය කරමින් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමය.

රජය හා පුද්ගලිකත්වය

යහපත් හා විධිමත් ආණ්ඩු ක‍්‍රමයක් තුළ පාලකයාට හෝ ආණ්ඩුවට සමාජයේ පුද්ගලයන්ගේ පුද්ගල ජීවිතයේ සදාචාරාත්මක හා සංස්කෘතික ගණයට වැටෙන දේවලට ඇඟිලි ගැසීමේ අයිතියක් නැත. මෙම විෂය ලංකාවට ආධුනික විය හැකි වුවද එය මැනැවින් සාකච්ඡුාවට හා වාද විවාදයන්ට ලක්වීම තුළ හොඳින් තහවුරුව ඇති දෙයක් ලෙස සැලකිය හැකිය. මෙය ව්‍යවස්ථා සම්පාදනයටද අදාළ විෂය ක්ෂේත‍්‍රයක් ලෙස සැලකිය හැකිය. ‘සෙක්ස් ඇන්ඞ් ලව්’ නමින් පවත්වන ලද ජාත්‍යන්තර සංගීත ප‍්‍රසංගය අළලා ජනාධිපතිවරයා පළකර තිබෙන අදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළ පුද්ගලිකත්වයට තිබිය යුතු පුද්ගල නිදහස ගැන කෙරෙන සංවාදයකට හොඳ ප‍්‍රවේශයක් ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය.

ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ලිංගිකත්වය, කලාව, විශ්වාසයන් ඇදහිලි හා මතිමතාන්තර යන කාරණා අයත්වන්නේ පුද්ගලික ගණයටය. ඒවා ගැන අවසාන වශයෙන් තීන්දු ගැනීමේ අයිතිය තිබෙන්නේ පුද්ගලයන්ටය. එළවළු ආහාරවලට පමණක් සීමාවූ පාලකයකුට මාංශ ආහාරවලින් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ඒ සඳහා නීති ඇති කළ නොහැකිය. මත්පැන් නොබොන පාලකයකුට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තෝරා ගත් ආගමකට සීමාවී සිටින පාලකයකුට ඒ ආගම වැළඳ ගන්නා ලෙස මහජනයාට බල කළ නොහැකිය. බ‍්‍රහ්මචර්යාවේ යෙදෙන පාලකයකුට කාමයෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තමන් අඳින ඇඳුම අඳින ලෙස මහජනයාට බල කළ නොහැකිය. සංගීත සංදර්ශනවලට කැමති නැති පාලකයකුට සංගීත සංදර්ශනවලට යෑමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ක‍්‍රීඩාවට කැමති නැති පාලකයකුට ක‍්‍රීඩාවෙන් වැළකී සිටින ලෙස මහජනයාට බල කළ නොහැකිය. එවැනි කාරණාවලදී තමන් තෝරාගත යුතු කුමක්ද, තෝරා නොගත යුතු කුමක්ද යන්න තීන්දු කිරීමේ බලය ඇත්තේ පාලකයාට හෝ ආණ්ඩුවට නොව තනි පුද්ගලයන්ටය.

පුද්ගලිකත්වයේදී රජයට තිබෙන සීමා

හොඳ ජීවිතයක් යනු කුමක්ද යන්න තීරණය කොට ඒ හොඳ ජීවිතය අන්‍යයන්ට හානියක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමේ නිදහස පුද්ගලිකත්වයට තිබිය යුතු අහිමි කළ නොහැකි අයිිතියකි. හොඳ ජීවිතයක් යනු කුමක්ද යන්න නිර්ණය කොට එම ජීවිතය පවත්වාගෙන යන ලෙස මහජනයාට බලකිරීමේ හෝ ඒ සඳහා නීති පැනවීමේ අයිතියක් පාලකයකුට හෝ ආණ්ඩුවකට නැත.
මෙම විෂයේ සීමා මායිම් විධිමත් ලෙස නිර්වචනය කළ දේශපාලන දාර්ශනිකයා ජෝන් ස්ටුවර්ඞ් මිල්ය. රටවැසියකු හෝ රටවැසියන් කණ්ඩායමක් අන්‍ය රටවැසියන්ට හානි කරන අවස්ථාවකදී එය වැළකීමේ අයිතියක් ආණ්ඩුවකට ඇතත්, ඉන් ඈතට ගොස් පුද්ගලික නිදහසට ඇඟිලි ගැසීමේ අයිතියක් ආණ්ඩුවකට නැත. ආණ්ඩුවකට පුද්ගල ජීවිතයකට මැදිහත්විය හැක්කේ පුද්ගල ජීවිත ක‍්‍රියාකාරීත්වය අන්‍යයන්ට හානි ඇති කරන අවස්ථාවකදී එය වැළකීම සඳහා පමණය.

ලිංගික ජීවිතය පුද්ගලිකය. කෙනෙකු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ලිංගිකව හැසිරිය යුතු ආකාරය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ පුද්ගලයන්ටය. සිය ලිංගික ජීවිතයේදී කුඩා ළමයෙකු අපයෝජනය කරන අවස්ථාවකදී හෝ බලහත්කාරී දූෂණයක යෙදෙන අවස්ථාවකදී ඊට මැදිහත්වීමේ බලයක් ආණ්ඩුවකට තිබේ. හැරල්ඞ් ලැස්කි විග‍්‍රහ කර තිබෙන ආකාරයට පුද්ගලයකුට සැරයටියක් අත ඇතිව පාරේ ගමන් කිරීමේ නිදහස ඇතත්, එම සැරයටිය පාරේ ගමන් කරන්නන්ගේ ඇඟවල්වල වැදෙන ආකාරයට වන වනා යෑමේ නිදහසක් නැත.

ලිංගිකත්වය

ජනාධිපතිවරයාගේ කතාව කිසියම් ප‍්‍රමාණයකට සිංහල සංස්කෘතියට පටහැනි ලිංගික හුවාදැක්වීම් ගැන කරන ලද විවේචනයක් ලෙස සැලකිය හැකිය. ඒ ගැනද කරුණු සලකා බැලීම වැදගත්ය. ලිංගිකත්වය පිළිබඳ විෂයේදී ශ‍්‍රී ලංකාව කිසිදු ශාස්ත‍්‍රීය සාකච්ඡුාවක් නැති රටක් ලෙස සැලකිය හැකිය. ඒ ගැන කෙරෙන ඕනෑම සාකච්ඡුාවක් සැලකෙන්නේ නොහොබිනා දෙයක් ලෙසය. මුල්කාලීන මානව විද්‍යාඥයකු ලෙස සැලකිය හැකි ආචාර්ය නන්දදේව විජේසේකර ‘ලංකාවේ ජනතාව’ නමින් 1955දී ලියා ඇති පොතක ලංකාවේ කාම ජීවිතය අළලා ලියන ලද පරිච්ෙඡ්දයක්ද ඇතුළත්ය. විවාහ ජීවිතයට අලූතෙන් ඇතුළු වන යුවළකගේ මුල් දින රාත‍්‍රී ලිංගික ජීවිතය ගැන කෙටියෙන් එහෙත් අපූරු විග‍්‍රහයක් ඊට ඇතුළත්ය. දෙදෙනාටම ලිංගික විද්‍යාව ගැන අවබෝධයක් නැත. සාමාන්‍යයෙන් මනාලියගේ හැසිරීම බිල්ලට කැපවූ සතකුගේ හැසිරීමට සමානය. බොහෝවිට මනාලයා හැසිරෙන්නේ තිරිසනකු ලෙසය. ලිංගික විද්‍යාව පිළිබඳ අවබෝධයක් වැඩිහිටි සමාජයටද නැත. ඒ නිසා අඹුසැමියන් අතරද ලිංගික අර්ථයෙන් අතෘප්තියක් පවතී. ඒ අතෘප්තිය පවුල් අවුල් ඇති කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව වෙනත් සමාජ ප‍්‍රශ්නද ඇති කිරීමට හේතුවී තිබේ.

රාගය පිළිබඳව ලංකාවේ ජනතාව අතර පවත්නා විශ්වාසයන් හා ශරීරය පිළිබඳව පවත්නා ආකල්පද නන්දදේව විජේසේකර එම පොතෙන් කෙටියෙන් සලකා බලා තිබේ. රාගය සැලකෙන්නේ විපාක ගෙන දෙන නරක දෙයක් ලෙසය. මිනිස් ශරීරයේ අනිත්‍යතාව පිළිබඳ විශ්වාසයන් මනුෂ්‍ය රූපයට හා අලංකාරයට ලැබිය යුතු වැදගත්කම හීන කිරීමට හේතුවී තිබෙන බව ඔහු කියයි.
ලිංගිකත්වය මිනිසුන් කෙරෙහි පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහි පවා බලපාන සහජ ආවේගයක් ලෙස සැලකිය හැකිය. වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය දරුවන් හෝ පැටවුන් ඇතිවන්නේ ලිංගික සම්භෝගය නිසාය. ලිංගික සම්භෝගය ආස්වාදජනක දෙයක් බවට ස්වභාව ධර්මය විසින් පත්කරන්නට ඇත්තේ වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම සඳහා ඒ එකතුවීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්කිරීම සඳහාය. ලිංගික සම්භෝගය අප‍්‍රසන්න නිරස දෙයක් වී නම් වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම දුෂ්කර දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. වර්තමාන සිංහල සමාජය ලිංගිකත්වය ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සැලකුවද බෞද්ධ බණ කතා සාහිත්‍යය තුළ ඒ ගැන උසස් මට්ටමකින් කෙරෙන සාකච්ඡුාවන් දැකිය හැකිය. මාර්ටින් වික‍්‍රමසිංහ ඒ ගැන දීර්ඝ ලෙස විවරණය කර තිබේ. කාලිදාස කවියා රඝු වංශයෙන් කර තිබෙන්නේද අග්නිවර්ණ රජුගේ කාම ජීවිතය විවරණය කිරීමය. වාත්ස්‍යානගේ ‘කාම සූත‍්‍රය’ සැලකෙන්නේද මානව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඉන්දියාවේ පැවති කාම ව්‍යවහාරයන් විස්තර කෙරෙන ශ්‍රේෂ්ඨ ග‍්‍රන්ථයක් ලෙසය.

ලිංගිකත්වය ගැන ගාන්ධි

මහත්මා ගාන්ධි ද ලිංගිකත්වය පිළිබඳව යුරෝපයේ පළවී තිබූ පොත් ගණනාවක් ගෙන්වා ගෙන කියවූ බව ලූවී ෆිෂර්ගේ ගාන්ධි චරිතාපදානයේ සඳහන් වේ. මහත්මා ගාන්ධි තමන්ගේ කාම අත්දැකීම් ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබේ. විවාහවීමෙන් පසුද සිය කාමාශාවන් සන්තර්පණය කරගැනීම සඳහා ගණිකාවකගේ නිවසට ගිය ගමනක් ගැනද එහි සඳහන් වේ. සිය පියාගේ මරණ මංචකයේදී සිදුවූ අත්දැකීමක් පිළිබඳව එහි ලියා ඇත්තේ කියවන්නාගේ හදවත සසල කෙරෙන ආකාරයටය.
එම සිදුවීම සිදුවී තිබෙන්නේ සිය පියා මරණයට පත්වූ දින රාත‍්‍රියේය. ගාන්ධි සිය බාප්පා නිවසට එන තෙක් පියාව බලා ගත්තේය. ගාන්ධි සිය පියාගේ කකුල් සම්බාහනය කළේය. රාත‍්‍රී 10ට පමණ එම නිවසට පැමිණි ගාන්ධිගේ බාප්පා පියා බලාගැනීමේ වගකීම භාරගැනීම නිසා එය සිය බිරිඳ සමග කාම සම්භෝගයේ යෙදීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා ගාන්ධි ඇය නිදමින් සිටි කාමරයට ගොස් ඇය අවදි කොට ඇය සමග සම්භෝගයේ යෙදුණේය. ඒ අවස්ථාවේම පියාද මිය ගියේය. ගාන්ධි ඒ බව දැනගන්නේ සේවකයා දොරට තට්ටු කොට ගාන්ධිට ඒ බව දැනුම්දීමත් සමගය. ඒ සිද්ධිය ගාන්ධි තුළ මහත් කම්පනයක් ඇති කළේය. ගාන්ධි ඒ ගැන කියන්නේ ඒ මොහොතේ තමන්ට ඇතිවූ තිරිසන් කාමාශාව නොවන්නට පියා මියයන්නට තිබුණේ බාප්පාගේ ඇකයේ නොව තමාගේ ඇකයේ බවය. එය කවදාවත් තමාට අමතක කළ නොහැකි ජීවිතයට එකතු වූ මැකිය නොහැකි කැළලක් බව ගාන්ධි කියයි.

ගාන්ධි තමන් පළ කළ පුවත්පත ඔස්සේ ලිංගිකත්වය ගැනද කතා කළේය. ඔහුගේ මතය අනුව ලිංගික කටයුතුවල යෙදිය යුත්තේ කාමාශාවන් සංසිඳුවා ගැනීම සඳහා නොව ප‍්‍රජනනය උදෙසාය. ඔහුගේ ඒ මතය මහත් විවාදයට හේතුවිය. ඒ ගැන පාඨකයන් ලියා එවන ලිපි ගාන්ධි සිය පුවත්පතේ පළ කළේය. ෆිෂර් උපුටා දක්වා තිබෙන පුවත්පතේ පළවූ පාඨක ලිපියක් මෙසේය.

‘මා සම්බන්ධයෙන් නම් ලිංගික කටයුතුවලින් වෙන්ව සිටිය හැකි වැඩිම කාලය සති තුනකි. ඉන්පසු මගේ සිරුරේ බර ගතියක් දැනෙයි. ශරීරයත් මනසත් යන දෙකම නොසන්සුන් වෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කේන්තියක්ද ඇතිවෙයි. සහනයක් දැනෙන්නේ ධාතු පහකිරීමකින් පසුව පමණය. එවිට දුබලභාවයක් හෝ නොසන්සුන්තාවක් දැනෙනු වෙනුවට මට දැනෙන්නේ සැහැල්ලූවකි.’

ගාන්ධි ඊට පිළිතුරු වශයෙන් ලියන්නේ ‘ප‍්‍රාණ ද්‍රව්‍ය’ (Vital Liquid) රඳවා ගැනීමේ හා ජීර්ණ කරගැනීමේ හැකියාව ලැබෙන්නේ දීර්ඝකාලීන අභ්‍යාසයෙන් පමණක් බවත් ඒ මගින් සිරුරත් මනසත් බලගැන්වෙන බවත් මිනිස් ප‍්‍රාණියකු බිහිකිරීමට සමත් ප‍්‍රාණ ද්‍රව්‍ය නිසි පරිදි රැුකගතහොත් ඒ මගින් අසාමාන්‍ය ජීවයක් හා ශක්තියක් ලැබෙන බවත්ය.

ජේආර්ගේ ලිංගික කතාවක්

මෙම කතාව මගේ උගත් මිතුරකුගෙන් කලකට පෙර අසන්නට ලැබුණු කතාවකි. එය ගණිකා වෘත්තිය යුරෝපයේ නීතිගත කරන්නට පෙර එසේ කිරීම සුදුසුද නැද්ද යන්න ගැන ලන්ඩන් නගරයේ ශාලාවක පැවති සංවාදයකදී සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳවය. එහි සිදුවන ගාම්භිර කතා ශාලාවේ අසුනක වාඩිවී සවන් දී ගෙන සිටි විරූපී පුද්ගලයකු සියලූ කතා අවසන්වීමෙන් පසුව නැගිට සභාව අමතා කතා කර තිබේ. ඔහුගේ කතාව මෙවැනිය. ‘මේ කෙටි කතාව කරන මා ද ඔබ සියලූදෙනා මෙන් මනුෂ්‍ය හැඟීම් ඇති මනුෂ්‍ය ආවේගයන් ඇති මනුෂ්‍යයෙකි. එහෙත් මා ඔබ සියලූදෙනාට වෙනස් හොඳටම විරූපී මිනිසෙකි. කිසිදු ගැහැනියක ආදර හැඟීමකින් මා සමග එකතු නොවනු ඇති බවට මා අමුතුවෙන් ඔබට විස්තර කළ යුතු නැත.’ ඔහු අවසානයේ සිය කතාවෙන් සභාව වෙත නගන ලද ප‍්‍රශ්නය වී ඇත්තේ ‘ගණිකා නිවාස නැතිනම් මා වැනි පුද්ගලයකු ඒ අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද?’ යන්නයි.
ඉන්දු ලංකා ගිවිසුම ගැන සාකච්ඡුා පැවති කාලයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයාව සිටි ජේ.එන්. ඩික්සිත්ට කියන ලද අප කතා කරමින් සිටින විෂයට අදාළ කතාවක් ‘කොළඹ භූමිකාව’ (Assingment Colombo) යන කෘතියට ඇතුළත්ය.

19 වැනි සියවසේ මුල් කාලයේ ජීවත් වූ විචෙස්ටර්හි රදගුරුවරයා කිසියම් දිනක ලන්ඩනයේ තිබුණු උසස්ම ගණිකා නිවාසයට ගොස් ආපසු එන්නට තරප්පු පෙළ බසිමින් සිටියදී ඔහුගේ පුත‍්‍රයා එම තරප්පු පෙළ නගිමින් ඉහළට එන බව දුටුවේය. පුත‍්‍රයාගේ දර්ශනය ඔහුගේ සිතේ ලොකු කැළඹීමක් ඇති කළේය. ‘ඔබත් මෙහි ආවාද?’ කියා පුත‍්‍රයා පියාගෙන් විමසා ‘ඔබ වැනි පූජකයකු මෙවැනි පව්කාර ස්ථානයකට පැමිණියේ ඇයිද?’ කියා වැඩිදුරටත් ඇසුවේය. ඊට රදගුරුවරයා දුන් පිළිතුර මෙසේය. ‘පුතා හේතුව බොහොම සරලයි. නුඹේ මවගේ ඈලිමෑලි ගතියට වඩා මෙහි උඩුමහලේ සිටින කාන්තාවගේ කෙළිලොල් ගතිය මා ප‍්‍රියකරනවා.’ එම කතාව කීමෙන් පෙනෙන්නේ ජනාධිපති ජයවර්ධනටද ලිංගිකත්වය පිළිබඳ සියුම් අවබෝධයක් තිබුණු බව නොවේද?

රොබට් නොක්ස්ට අනුව එදා උඩරට සමාජයේ පරදාර සේවනය සාමාන්‍ය වශයෙන් නොව මහා පරිමාණයෙන් පැවති තත්ත්වයකි. මේ රටේ සිටින උසස්ම තැනැත්තාට පවා සිටින්නේ එක් බිරියක් පමණක් වුවත් බොහෝවිට එක් ස්ත‍්‍රියකට පුරුෂයන් දෙදෙනකු සිටින බව කියන්නේද නොක්ස්ය. ඔවුන් හොර සැමියන්ට දක්වන ආදරේ තරමද ඔහු විස්තර කර තිබේ. නීතියෙන් බලය ලැබූ ගණිකා නිවාස නැතත් එම වෘත්තියට සම්බන්ධ නොවී සිටියේ ඉතා ස්වල්ප දෙනෙකු බවත් ඔහු කියයි. මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ ක‍්‍රමයට ලැබී තිබුණු අතිවිශාල පිළිගැනීම අනුවද පෙනීයන්නේ සිංහල සමාජයේ පැවති ලිංගික සම්බන්ධතා ලිහිල් තත්ත්වයක පැවති බවය. රැුල්ෆ් පීරිස්, රොබට් නොක්ස් උපුටා දක්වමින් මෙසේ කියයි. ‘සමහරවිට මිනිස්සු තම භාර්යාවන්ට හා දූවරුන්ට සෙසු පිරිමින් සමග කාමසේවනයේ යෙදීමට ඉඩදෙති. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ කිට්ටු මිත‍්‍රයකු හෝ වැදගත් පුද්ගලයකු තම ගෙදර නැවතීමට පැමිණි විටකදීය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී ඔහු සිය බිරිය හෝ දියණිය ආගන්තුකයා සමග රාත‍්‍රිය ගතකිරීම සඳහා කාමරයට යවති. තමන්ට වඩා උසස් හෝ තරමක් උසස් පුද්ගලයකු සමග සිය බිරිය සම්බන්ධකම් පැවැත්වූවාට ඇය වෙසඟනක් ලෙස නොසැලකේ.’

වැඩවසම් කුල චින්තනය

ජනාධිපතිවරයාගේ විවේචනයට හේතුවූ සංගීත ප‍්‍රසංගයට සහභාගි වූ කාන්තාවක තමන්ගේ තනපටය ගලවා ගායකයා වෙත විසි කළේය කියන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් තනපට හෝ කාන්තාවන්ගේ උඩුකය නිරුවත සිංහල සංස්කෘතියට නොගැළපෙන දෙයක් ලෙස සැලකිය නොහැකිය. අපේ අතීත වාස්තු විද්‍යා නිර්මාණයන් අතර තිබෙන අග‍්‍රගණ්‍යයේ නිර්මාණය ලෙස සැලකිය හැක්කේ සීගිරියයි. මුළු ගල්පර්වතයම සිංහයකුගේ ස්වරූපය ගන්නා ලෙස නිර්මාණය කර තිබෙන සීගිරියේ චූඩාමාණික්‍යය ලෙස සැලකිය හැක්කේ ගුහා බිත්තිවල ඇති බිතු සිතුවම්ය. එහි ඇඳ තිබෙන ලලනාවන් නවදෙනකු අතුරින් හයදෙනකුම ඇඳ තිබෙන්නේ උඩුකය නිරුවත් ලලනාවන් වශයෙනි. කොහොමටත් කාන්තාවන්ගේ උඩුකය නිරුවත සිංහල සංස්කෘතියට පටහැනි දෙයක් ලෙස සැලකිය නොහැක්කේ වැඩවසම් සිංහල කුල ක‍්‍රමය තුළ පීඩිත කුලවල කාන්තාවන්ට උඩුකය වැසෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කර තිබූ තත්ත්වයක් තුළ කාන්තාවන්ගේ උඩුකය නිරුවත සාමාන්‍ය දෙයක් ලෙස පැවති නිසාය.

සිංහල වැඩවසම් සංස්කෘතිය තුළ ප‍්‍රසංග කලාව සලකන ලද්දේ පහත් ජන්ම උරුමයක් ඇති මිනිසුන්ට සීමාවූ දෙයක් ලෙසය. වැඩවසම් උරුමයෙන් එන එම ආකල්පය ජනාධිපතිවරයා කෙරෙහිද බලපෑවා විය හැකිය. සිංහල ජනවර්ගය දීර්ඝ ඉතිහාසයකට හා සමහර අංශවලින් දියුණු සභ්‍යත්වයකට හිමිකම් කියන ජනවර්ගයක් වුවද සභ්‍යත්වයේ පරිපූර්ණභාවයක් සඳහා තිබිය යුතු වැදගත් අංගයක් කොට සැලකිය හැකි දියුණු සංගීත කලාවක් හෝ දියුණු නාට්‍ය කලාවක් සිංහලයන්ට නොතිබුණේය.

ඒ තත්ත්වයට කලාවට සම්බන්ධ කුලවලට අයත් ජනයා පහත් කොට සලකන වැඩවසම් කුල දෘෂ්ටිය විසින් ඇති කර තිබෙන අයහපත් ප‍්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ පැරණි වැඩවසම් කුල ක‍්‍රමය තුළ කලාවන්ට සම්බන්ධ කුල ස්ථානගත කර තිබුණේ පහත් තත්ත්වයකය. ඒ නිසා සංගීත කලාව හා නාට්‍ය කලාව සැලකුණේ පහත් මිනිසුන්ට සීමාවූ පහත් දේවල් ලෙසය. සිංහල සංගීත භාණ්ඩ ලෙස සැලකෙන්නේ බෙර, දවුල්, තම්මැට්ටම හා පිඹින නළාය. තත් ඇති සංගීත භාණ්ඩ අපට තිබුණේ නැත.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ලියා පළකර තිබෙන ‘පුරවැසි මංපෙත්’ නමැති පොතේ එක් පරිච්ෙඡ්දයක්ම වෙන් කොට ඇත්තේ ලංකාවේ දියුණු කලාවක් ඇති නොවීම කෙරෙහි කුල ක‍්‍රමය බලපෑ ආකාරය විග‍්‍රහ කිරීමටය. මාගේ මතය, දියුණු කලාවක් ඇති නොවීම කෙරෙහි පමණක් නොව විද්‍යාත්මක, කර්මාන්ත හා වෙළෙඳ යන ක්ෂේත‍්‍රවල දක්නට තිබෙන පසුගාමීත්වය කෙරෙහිද එම වැඩවසම් කුල චින්තනය බලපා තිබෙන බවය. ගණිතයට සම්බන්ධ හා කර්මාන්තවලට සම්බන්ධ කුලවලට අයත් ජනයා පහත් ජන්මයක් ඇති ජනතාවක් ලෙස සලකන රටක විද්‍යාත්මක හෝ කර්මාන්ත දියුණු විය හැක්කේ කෙසේද? මාගේ මතය අනුව අපි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමේදී පැරණි වැඩවසම් කුල ක‍්‍රමයේ ඉතුරු බිතුරුවලට තිබෙන පිළිගැනීම, ඒ ආශ‍්‍රයෙන් සමහර ජන කණ්ඩායම්වලට ඇතිවී තිබෙන පීඩනය අහෝසි කිරීමට හේතුවන විධිවිධාන ඊට ඇතුළත් කළ යුතුය.

ලිංගිකත්වයේ සමාජ ගැටලූ

මා මෙතෙක් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ කතාව ප‍්‍රවේශයක් කරගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළ ආරක්ෂා කරගත යුතු පුද්ගල නිදහස පිළිබඳවත් පුද්ගලික නිදහසට අදාළ වෙනත් කාරණා සමග ලිංගිකත්වය හා අපේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන වැඩවසම් චින්තනය පිළිබඳවත් කියවන්නා තුළ පසුබිම් අවබෝධයක් ඇති කිරීමය. දැන් මට අවශ්‍ය වී තිබෙනුයේ පුද්ගල නිදහස පිළිබඳ ප‍්‍රශ්නය මොහොතකට අමතක කොට ලිංගිකත්වය ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන ලංකාවේ සමාජ ප‍්‍රශ්නවල ස්වභාවය හා තරම පෙන්වාදෙමින් එම ප‍්‍රශ්න කළමනාකරණයේදී රටක් වශයෙන් අප යොදා ගෙන තිබෙන සංවිධාන ක‍්‍රමවලට ආවේණික අශීලාචාරභාවය පෙන්වාදීමටය. ඉන්පසු නැවත නව ආණ්ඩු ක‍්‍රමයක් ගොඩනගා ගැනීමේදී පුද්ගල නිදහසේ ආරක්ෂාවට ලැබිය යුතු වැදගත්කම ගැන කතා කරන්නට බලාපොරොත්තුවෙමි.

ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම නිසා ඇතිවී තිබෙන සමාජ ප‍්‍රශ්න මෙසේ පිඬු කළ හැකිය.

1. ලිංගික අතෘප්තිය ලංකාවේ පවුල් ජීවිත වසාගෙන තිබෙන ප‍්‍රබල ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය පවුල් ජීවිතවල අර්බුද ඇති කිරීමටත්, පවුලේ දරුවන් දුෂ්කර තත්ත්වයකට පත්කිරීමට හේතුවන දික්කසාදවන්නන්ගේ ප‍්‍රමාණය වර්ධනය කිරීමටත් හේතුවී තිබේ. පවුල් සංස්ථා තුළ දක්නට තිබෙන ලිංගික අතෘප්තිය නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසා වර්ධනය වී තිබෙන ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

2. ලංකාවේ ළමා අපයෝජන අනුපාතිකය තිබෙන්නේ ශීලාචාර රටක නොතිබිය යුතු තරම් ඉහළ මට්ටමකය. ළමා අපයෝජනයන් වැඩි වශයෙන්ම සිදුවන්නේ පියා, බාප්පා, මාමා, ගුරුවරයා හෝ පූජකයාගෙනි.

3. ලිංගික ව්‍යවහාරයන් නොදන්නාකම නිසා නීති විරෝධී ගණයට වැටෙන ගැබ්ගැනීම්වල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. නීති විරෝධී ස්වරූපයකින් කෙරෙන ගබ්සාකිරීම්වල අනුපාතය ඉහළ මට්ටමක පවතී.

4. වියළි කලාපයේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිදුවන නීති විරෝධී ළමා විවාහවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී.

5. එහෙ මෙහෙ දමා යන බිළිඳුන් ගැනද නිතර නිතර වාර්තා වේ.

6. රටේ සිදුවන ස්ත‍්‍රී දූෂණවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී.

7. නිල බලය ඇති අය අතින් කාර්යාල හෝ ආයතන මට්ටමින් කාන්තාවන්ට සිදුවන වාර්තා නොවන ලිංගික අතවරවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී.

ලිංගිකත්වය ආශ‍්‍රයෙන් ඇතිවන වැරදි හෝ ගැටලූ කළමනාකරණය සඳහා ලංකාව යොදාගෙන තිබෙන සංවිධාන ක‍්‍රම හා විධි විධාන තිබෙන්නේද ඉතාමත් නොදියුණු හා අශීලාචාර තත්ත්වයකය.

(ඉතිරි කොටස ඊළඟ කලාපයේෙ)

0 comments:

අපරාධකාරයන්ගේ රාජ්‍යය

වික්ටර් අයිවන්

ජනාධිපති වරයා යාපනේ සිට උතුරේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූ ගැන කරන ලද කතාව සේ ම අගමැතිවරයා දියතලාවේ සිට යුද්ධය හා යුද්ධයෙන් පසුව ආරක්ෂක හමුදා විෂයෙහි ඇති කළ යුතුව තිබෙන ප‍්‍රතිසංස්කරණ අළලා කරන ලද කතාවද ඉතාමත් ඉදිරිගාමීය. ඒ මගින් මෙම නායකයන් දෙදෙනා රටට දෙන ලද පණිවුඩය ඉතා වැදගත්ය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ඇති විට ඒ වෙනුවෙන් පෙනී සිටින නායකයන් එම ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් නිර්භීතව පෙනී සිටිය යුතුය. ඒ මගින් රටට සිදුවන යහපත මහජනයාට කියා දිය යුතුය. මහජනයාට පමණක් නොව එම නායකයන් දෙපළ තමන් කරන්නට යන දේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ටද, පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන්ටද කියා දිය යුතුය.

එක්නැළිගොඩ පරීක්ෂණය

ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කෙරෙන පරීක්ෂණයට එරෙහිව හමුදා බුද්ධි අංශය මුවාවක් කොට ගනිමින් ඒකාබද්ධ විපක්ෂයට ලොකුවට කෑගසන්නට පුළුවන්කම ලැබී ඇත්තේ එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ ඇත්ත මහජනයාට කියාදෙන වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති නිසාය. එක්නැළිගොඩ එල්ටීටීඊය සමග සම්බන්ධකම් පැවැත්වූ සැකකටයුතු පුද්ගලයකු බවට ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ඇතැම් ජනමාධ්‍ය පවා එල්ල කරමින් තිබෙන චෝදනාවල කිසිදු සත්‍ය පදනමක් නැති බව එක්නැළිගොඩ අතුරුදන්කිරීමේ සිද්ධිය පිළිබඳව කෙරෙන පරීක්ෂණවලින් මනා ලෙස තහවුරු වී තිබේ.
එක්නැළිගොඩ එල්ටීටීඊයේ සමහර පුද්ගලයන් සමග දුරකතනයෙන් කරන කතා ඇතුළත් හඬ පටියක් තමන් සන්තකයේ තිබෙන බව බුද්ධි අංශයේ නිලධාරියකු ප‍්‍රකාශ කර තිබුණද එවැනි හඬ පටියක් බුද්ධි අංශය සතුව පවතී නම් එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇතත් අද දක්වා එවැනි හඬ පටියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට හමුදා බුද්ධි අංශය සමත් වූයේ නැත.

දැනට ඉදිරිපත්වී තිබෙන සියලූ සාක්ෂි අනුව පෙනීයනුයේ එක්නැළිගොඩ 2010 පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකාගේ ප‍්‍රබල ආධාරකරුවකු වූ බවය. ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ වෛරයට හේතුවී තිබෙන්නේ ජෙනරාල් ෆොන්සේකාගේ ඡුන්ද ව්‍යාපාරය වෙනුවෙන් රාජපක්ෂ පවුලේ පවුල් ගහක් අළලා ලියවිල්ලක් සකස් කිරීම හා රාජපක්ෂ පාලනය පිළිබඳ විරිදු තැටියක් නිර්මාණය කිරීමය.

කොළඹ බත්තරමුල්ලේදී සිදුවන පැහැර ගැනීම සඳහා ගිරිතලේ හමුදා කඳවුරේ ප‍්‍රධානියා එහි සිට කොළඹට පැමිණ තිබෙන අතර බත්තරමුල්ලේදී පැහැර ගන්නා ලද එක්නැළිගොඩ ගිරිතලේ කඳවුරට රැුගෙන ගොස් ඇත්තේද එම හමුදා නිලධාරියා ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි. ඒ බව මෙම පරීක්ෂණයේදී එම හමුදා නිලධාරියා පිළිගෙන තිබෙන්නේය. හමුදා බුද්ධි අංශයටද සම්බන්ධ මෙම හමුදා නිලධාරියා ආරක්ෂක ලේකම්වරයාට සමීප සම්බන්ධයක් තිබූ පුද්ගලයෙකි. ආරක්ෂක ලේකම්වරයාගේ වුවමනාව මත අන්තවාදී සිංහල සංවිධාන පෝෂණය කිරීම සඳහා රහසේ පවත්වාගෙන ගිය වැඩසටහනක සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක‍්‍රියා කොට ඇත්තේද මෙම හමුදා නිලධාරියාය. සිංහල අන්තවාදී ගණයෙහිලා සැලකිය හැකි දේශපාලන ප‍්‍රවණතාවල නායකයන් සමගද මෙම හමුදා නිලධාරියාට සමීප සම්බන්ධයක් තිබී ඇත්තේය. ඉහළින් ලැබුණු නියෝගයක් නොවේ නම් එක්නැළිගොඩ වැනි පුද්ගලයකු පැහැර ගෙනයෑම සඳහා ඔහු වැනි උසස් නිලධාරියකු ගිරිතලේ සිට කොළඹට පැමිණෙනු ඇතැයි සිතිය නොහැකිය.

හෙළිදරව් වී තිබෙන කරුණු

එක්නැළිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙනයෑමෙන් පසු ඔහු ප‍්‍රශ්න කිරීම සඳහා භාරදී ඇත්තේ එම හමුදා කඳවුරේ සාජන් මේජර් රන්බණ්ඩාටය. ඒ බව එම සාජන් මේජර්වරයාද පිළිගෙන තිබේ.

එම සාජන් මේජර්වරයා ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු එක්නැළිගොඩගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඔහු නිපදවූවායැයි කියන විරිදු තැටිය ගැන හා ඔහුගේ රාජපක්ෂ පවුල් ගහ ගැන පමණය. ඒ හැර එල්ටීටීඊය ගැන එක්නැළිගොඩගෙන් කිසිදු ප‍්‍රශ්න කිරීමක් කර නැත. ඉන්ද පෙනෙන්නේ එක්නැළිගොඩ එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයකු ලෙස හමුදා බුද්ධි අංශය පවා නොසැලකූ බවය.

එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කර තිබෙන පරීක්ෂණ අනුව හා අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙන සාක්ෂි අනුව පෙනීයන්නේ එක්නැළිගොඩ පැහැරගෙන යෑමට බලපා තිබෙන ප‍්‍රධාන හේතුව වී ඇත්තේ රාජපක්ෂ පාලනය විවේචනයට ලක් කරන විරිදු තැටියක් නිර්මාණය කිරීම හා රාජපක්ෂ පවුල පවුල් ගහක් ලෙස සලකා විස්තර කෙරෙන ලේඛනයක් සකස් කිරීමය. මේ කාරණා දෙකම රාජ්‍ය ආරක්ෂාවට අදාළ කාරණා ලෙස සැලකිය නොහැකිය. අපහාසය සාපරාධී වරදක් ලෙස නොසැලකෙන නිසා එම ලේඛන දෙකේ අපහාසයක් තිබුණද පොලිසිය හෝ ආරක්ෂක බුද්ධි අංශයට එවැනි කරුණක් විමර්ශනය කළ නොහැකිය. මේ සිද්ධියෙන්ද පෙනීයන්නේ බුද්ධි අංශයේ ඇතැම් සාමාජිකයන් ආණ්ඩුවේ පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ආණ්ඩු විරෝධී පිරිස් දඩයම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බවය. එය බරපතළ වරදක් වන අතර ඊට වගකිවයුතු අය සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගයක් ගැනීම රටේ පොදු යහපතට පමණක් නොව ආරක්ෂක හමුදාවල යහපතට සේ ම හමුදා බුද්ධි අංශයේ යහපතටද හේතුවන්නේය.

පරීක්ෂණවලට බාධා කිරීම

පසුගිය පාලන කාලයේ සිදුවූ බිහිසුණු අපරාධ පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සිදුවෙමින් පවතින්නේම විවිධාකාරවලින් එල්ල කෙරෙන බාධා මධ්‍යයේය. නීතිපති දෙපාර්තමේන්තුවේ බලවතුන් පවා මෙම පරීක්ෂණවලට කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැත. සිදුවී තිබෙන බිහිසුණු අපරාධවලට අදාළ නඩු අසන විනිශ්චයකාර වරුන් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පවත්වාගෙන යන ප‍්‍රතිපත්තියද විවාදයට හේතුවී ඇත්තේය. තාජුඞීන් ඝාතනය පිළිබඳව සිදුවන අධිකරණ පරීක්ෂණය සැලකිය හැක්කේ රටේ ඇසෙන නඩු අතර තිබෙන මහජන වැදගත්කම අතින් ගත් කල ලොකුම නඩුව වශයෙනි. එම පරීක්ෂණය මෙහෙයවූ විනිසුරුවරයා ඉතාමත් අපක්ෂපාත ලෙසත් නීතියට අනුකූල ලෙසත් එම පරීක්ෂණය මෙහෙයවූ බව පෙනෙන්නට තිබුණි. එම නඩුවේ මූලික පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට පෙර එම විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙන අතර ඒ වෙනුවෙන් එම උසාවියට එන්නට නියමිත විනිසුරුවරිය පිළිබඳවද නීති අංශවල විවිධ කතාබහ පවතී. ඇය නීතිඥවරියක ලෙස සේවය කරන කාලයේදී වැඩ කර ඇත්තේ මොහාන් පීරිස් යටතේය. අධිකරණ සේවයට එකතුවී ඇත්තේද මොහාන් පීරිස්ගේ අනුග‍්‍රහය යටතේය.

නීතිඥයකු වශයෙන්ද, හිටපු නීතිපතිවරයකු වශයෙන් හා හිටපු අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස්ට ඇත්තේ යහපත් ඉතිහාසයක් නොව අපකීර්තිමත් ඉතිහාසයකි. මොහාන් පීරිස් වැඩියෙන්ම සමීපව සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. මොහාන් පීරිස්ට සමීප විනිසුරුවරයකු තාජුඞීන් නඩුව විභාග කරන තත්ත්වයක් ඇතිවුවහොත් එය එම නඩුවේ යහපතට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.

එක්නැළිගොඩ නඩුව වෙනුවෙන් පෙනීසිටින රජයේ නීතිඥයාද එම නඩුවෙන් ඉවත් කිරීම සඳහා බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද අසන්නට ලැබේ. එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප් පීරිස්ය. ඔහු තමන් වෙත පැවරී තිබුණු එම වගකීම ඉතාමත් ප‍්‍රශස්ත ලෙසත් නිර්භීත ලෙසත් ඉටු කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. පසුගිය නඩු විභාගය පැවති දිනයේදී ඒකාබද්ධ විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් උසාවි ශාලාව පිරී තිබුණු බව කියනු ලැබේ. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය ප‍්‍රකාශ වී ඇත්තේද එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සාහසික වරදට වගකිවයුතු පුද්ගලයන්ටය. එම මන්ත‍්‍රීවරුන් තමන්ගේ එක් මාසයක වැටුප මෙම නඩුවේ විත්තිකරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බවද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වාය. මේ නඩුව පවත්වාගෙන යන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාවේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඕනෑඑපාකම් අනුව බවත් ඒ සියලූදෙනාගේ අරමුණ හමුදාවේ බුද්ධි අංශය විනාශ කිරීම බවත් ඔහු එදින උසාවිය අමතා ප‍්‍රකාශ කර තිබේ. ඊට පිළිතුරු දෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප් පීරිස් ප‍්‍රකාශ කර ඇත්තේ මොනම පුද්ගලයකුටවත් නීතියට පහළින් මිස නීතියට ඉහළින් සිටීමට ඉඩ දිය යුතු නැති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ලංකාවට බලපෑම් එල්ල කරන තත්ත්වයකට පැමිණියේ ලංකාවේ සිදුවී තිබෙන මෙවැනි සාහසික අපරාධ පිළිබඳව සොයා බලන ප‍්‍රතිපත්තියක් පසුගිය ආණ්ඩුව අනුගමනය නොකළ නිසා බවත්ය. පුද්ගලයකු අතුරුදන් කළ පුද්ගලයකුගේ තරාතිරම කුමක් වුවත් ඔහු සාහසික අපරාධයක් කළයුතු පුද්ගලයකු ලෙස සලකා නීතිය ක‍්‍රියාත්මක කළයුතු බවත්ය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලිප් පීරිස් මෙම නඩුව සම්බන්ධයෙන් පවත්වාගෙන යන දැඩි ප‍්‍රතිපත්තිය නිසාම ඔහු මෙම සාහසික සිද්ධිය යටපත් කිරීමට උනන්දුවක් දක්වන බලවේගයන්ගේ උදහසට හේතුවී තිබෙන පුද්ගලයකු බවට පත්ව තිබෙන අතර දිලිප් පීරිස් මෙම නඩුවෙන් ඉවත් කරවා වෙනත් රජයේ නීතිඥයකු කරළියට ගැනීමේ බලවත් උත්සාහයක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවද අසන්නට ලැබේ. දිලිප් පීරිස් රජයේ නීිතිඥයකු වශයෙන් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන පුද්ගලයෙකි. චන්දන කත‍්‍රිආරච්චිගේ මිනීමැරුම් නඩුව පානදුර උසාවියේදී මෙහෙයවන ලද්දේ ඔහුය. හොර අලි නඩු මෙහෙයවන නීතිඥයා වන්නේද ඔහුය. ඔහු මේ නඩුවෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් කෙනකු පත්කරන තත්ත්වයක් ඇතිවුවහොත් මේ නඩුවට යන කලදසාවද අඳුරු විය හැකිය.

අධිකරණ වෛද්‍යවරයකුට කලිසමේ චූ යෑම

තාජුඞීන් ඝාතන සිද්ධිය රටක් වශයෙන් ලංකාවේ පැවති අශීලාචාර තත්ත්වය පිළිබිඹු කරන බලවත්ම සිද්ධිය ලෙස සැලකිය හැකිය. තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැළිගොඩ හා රවිරාජ් මෙන් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු නොවීය. ඔහුට එල්ටීටීඊ ලේබල් ඇලවීමේ හැකියාවක්ද නැත. ඔහු අහිංසක රගර් ක‍්‍රීඩකයෙක් පමණක් විය.

ඔහුගේ පිළිස්සුණු මළ සිරුර සහිත මෝටර් රථය සොයාගන්නා ලද්දේ 2012 වසරේ මැයි 17 වැනි දින උදේ නාරාහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණය අසල තිබියදීය. ඔහුගේ මරණය පිළිබඳව කරන ලද පරීක්ෂණවල නිගමනය වූයේ එය රිය අනතුරකින් සිදුවූ මරණයක් වන බවය. ඒ මරණය ගැන විවිධ කටකතා තිබුණද පරීක්ෂණවලින් ප‍්‍රකාශිත නිගමනය කිසිවකුත් අභියෝගයට ලක් කළේ නැත.

ආණ්ඩු බලය වෙනස්වීමත් සමග සියල්ල කනපිට පෙරලූණි. පොලිස්පතිගේ නියමයෙන් එම මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය. මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවත් මනුෂ්‍ය ඝාතනයක් බව පෙනෙන්නට තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය. තාජුඞීන්ගේ ජංගම දුරකතනයද නුවරඑළිය ආගරපතනින් සොයාගනු ලැබීය.

ඉන්පසු දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක්ද පැවැත්වීය. තාජුඞීන්ගේ වළලන ලද සිරුර යළි ගොඩගන්නට සිදුවිය. දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකරන ලද්දේ කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජින් පෙරේරා හා අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්.පී. හේවගේ යන අය විසිනි.

ඔවුන්ගේ නිගමනය මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර නිගමනයට මුළුමනින්ම වෙනස් විය.

ආනන්ද සමරසේකරගේ නිගමනය වී තිබුණේ තාජුඞීන්ගේ මරණය කෙරෙහි බලපා තිබෙන ආසන්නතම හේතුව සිහිනැතිවීම, අවයව ක‍්‍රියාකාරීත්වය අඩපණවීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඞ් ආඝ‍්‍රාණය වීමය.

එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයේ නිගමන ඊට මුළුමනින් වෙනස් විය. ඔවුන් පළකර තිබෙන නිගමන අතර එක් නිගමනයක් වනුයේ තාජුඞීන්ගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහු රිය පදවා නැති බවය. තාජුඞීන්ට පහරදීමෙන් දුර්වල කිරීමෙන් පසුව අනතුර සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර ඔහුගේ සිරුර වම් අසුනේ තබා අනතුර සිදුවීමට සලස්වා ඇති බවය. ඔහුගේ මරණය කකුල්වලට, බෙල්ලට හා පපුවට සිදුකර තිබෙන පහරදීම් නිසා ඇතිවූ තුවාල නිසා හා ගින්න නිසා සිදුවී තිබෙන බවය. ඔවුන්ගේ නිගමනය අනුව ගින්න සිදුවී තිබෙන්නේද මරණය සිදුවන්නට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලයේදීය. මරණකරුගේ කලව අස්ථියේ පහළ කොටසේ පහළින් තිරස්ව තිබෙන භග්නය රිය අනතුරින් සිදුවීමට පුළුවන්කමක් නැති බවත් එය මොට ආයුධයකින් පහරදීමක් නිසා ඇතිවී තිබෙන්නක් බවත් පපුවේ හා බෙල්ලේ තිබෙන තුවාලද පහරදීම් නිසා සිදුවූවක් බවත් ඔවුන්ගේ නිගමනය වී තිබේ.

තාජුඞීන්ගේ මරණය පිළිබඳව මුල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය හා පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය අහසට පොළොව මෙන් වෙනස්ය. මුල් පරීක්ෂණය අනුව තාජුඞීන්ගේ මරණය සිදුවී තිබෙන්නේ රිය අනතුරකිනි. දෙවැනි පරීක්ෂණය අනුව එය සියුම් ලෙස සැලසුම් කරන ලද මනුෂ්‍ය ඝාතනයකි. මුල් අධිකරණ වෛද්‍ය පර්යේෂණය කළ විශේෂඥ වෛද්‍ය සමරසේකර සටන්කාමී ඉතිහාසයක් ඇති පුද්ගලයෙකි. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දියත් කළ සටනේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ඒ සටන මෙහෙයවූ ප‍්‍රධාන සෙන්පතියෙකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. වර්තමානයේ මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයාය. ඔහු තමන්ගේ සමස්ත අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර තිබෙන්නේ සිදුවී තිබුණු එම සාහසික සිද්ධිය වසන් කෙරෙන ආකාරයටය.

මළ සිරුර යළි ගොඩගන්නා ලද අවස්ථාවේදී සිරුරේ කලවා අස්ථි දෙකද ඇතුළත් සමහර වැදගත් කොටස් අතුරුදන් වී තිබුණි. ඒ ගැන ආනන්ද සමරසේකර කියන්නේ එම අස්ථි වෛද්‍ය හා විෂවේද ආයතනයේ ශීතකරණයේ තබන ලෙස තමන් උපදෙස් දුන් බවය. එහෙත් ඒවා ඔහු කියන ශීතකරණයේද නොතිබුණි. එහෙත් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මතය වී තිබෙන්නේ එම අස්ථි කොටස් ආරක්ෂා කිරීම පිණිස විධිමත් ලෙස ක‍්‍රියාකර ඇති බවක් නොපෙනෙන බවය.
අවසානයේදී අධිකරණයට මෙම අස්ථි කොටස් නැතිවූයේ කෙසේද යන ප‍්‍රශ්නය ගැනද සොයා බලා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට සිදුවිය. ඒ නිසා ආනන්ද සමරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ඔහුගෙන් ප‍්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවිය. එම කටඋත්තරය සටහන් කරගැනීම අවසන් කිරීමෙන් පසුව තමාගේ ප‍්‍රශ්නය මෙම කටඋත්තරයෙන් අවසන් වන්නේදැයි වෛද්‍ය ආනන්ද සමරසේකර කටඋත්තර ලබාගත් නිලධාරියාගෙන් අසා තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී බාහිර බලපෑම් ඇතිවීද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය සමරසේකරගේ දුරකතන වාර්තාද පරීක්ෂා කිරීමට සිදුවන බව කටඋත්තරය ගත් නිලධාරියා දී තිබෙන පිළිතුර වී තිබේ.

එම පිළිතුරත් සමග වෛද්‍යවරයාගේ මුහුණ මැළවී තමන්ට ටොයිලට් එක තිබෙන තැන කියන්නැයි එම නිලධාරියාගෙන් ඉල්ලා තිබේ. ටොයිලට් ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා ආපසු පැමිණ ඇත්තේ ඇඳගෙන සිටි කලිසමේ චූ පෙරාගෙනය.

අපරාධකාරී රාජ්‍යය

පසුගිය ජනාධිපති වරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය නොවී නම් ලංකාව අපරාධකාරයන්ගේ රාජ්‍යයක් බවට පත්වන්නට ඉඩ තිබුණු බව ජනාධිපතිවරණ ප‍්‍රතිඵල අළලා ලියන ලද ලිපියක මා අවධාරණය කර තිබුණි. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිතාමතාම ඇති කරන ලද තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. 1977 විධායක ජනාධිපති ක‍්‍රමයේ ආණ්ඩු ක‍්‍රමයකට මාරුවීමෙන් පසුව ඒ නිසා හා ඉන්පසුව ඇතිවන මහා ලේ වැගිරීම් නිසාද ශ‍්‍රී ලංකා රාජ්‍යය එම දිසාවට ක‍්‍රමානුකූලව තල්ලූවෙමින් තිබුණි. මුලදී ශිෂ්‍ය සටන් හා වෘත්තීය සමිති සටන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව අපරාධකාරයන්ගේ සහාය ලබාගත්තේය. ඉන්පසුව ඇතිවූ ප‍්‍රචණ්ඩ ව්‍යාපාර මර්දනය කිරීම සඳහාත්, මන්ත‍්‍රීවරුන්ට එල්ල වී තිබුණු ජීවිත තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහාත් අපරාධකාරයන්ගේ සහාය ලබාගත්තේය. මන්ත‍්‍රීවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පුද්ගලික හමුදා ඇතිකර ගනිමින් ඒවා පවත්වාගෙන යෑමට ආණ්ඩුව අනුබල දුන්නේය.

එසේ මන්ත‍්‍රීවරුන් විසින් ඇතිකර ගන්නා ලද පුද්ගලික හමුදාවලට එකතු වූයේ ප‍්‍රදේශයේ නමගිය අපරාධකාරයන්ය. මන්ත‍්‍රීවරුන් එසේ ඇතිකර ගන්නා ලද පුද්ගලික හමුදාවල සාමාජිකයන්ට හමුදාව ලවා ආයුධ පරිහරණය පිළිබඳ පුහුණුවක් දී ඔවුන්ට අවශ්‍ය ගිනි අවිද ලබා දුන්නේය. මෙසේ පුද්ගලික හමුදාවලට එකතු වූ අපරාධකරුවෝ මන්ත‍්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙනවාට අතිරේකව නීතිය කෙරෙහි බියක් ඇතිකර ගැනීමෙන් තොරව තමන්ට හුරුපුරුදු අපරාධකාරී ක‍්‍රියාවලද යෙදුණෝය. ඒ මගින් රටේ දේශපාලකයන් හා අපරාධකරුවන් කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග මන්ත‍්‍රීවරුන් සමග කල්ලි ගැසී සිටින අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට මුහුණදීමට පොලිසියට සිදුවිය. ඒ තත්ත්වය ඉදිරියේ පොලිසියද එම අපරාධකරුවන් සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයකට පත්විය. එම තත්ත්වය රටේ නීතියේ පාලනයක් නැති තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. එම වටාපිටාව අපරාධකරුවන් පමණක් නොව සමහර දේශපාලකයන්ද සමහර පොලිස් නිලධාරීන් හා සමහර ආරක්ෂක හමුදා සාමාජිකයන්ද බිහිසුණු අපරාධවල යෙදෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.

අපරාධකරුවන් පමණක් නොව සමහර පොලිස් හා ආරක්ෂක හමුදා නිලධාරීහුද තමන් දන්නා හඳුනන දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් සඳහා මිනිසුන් ඝාතනය කළේය. එය මෙම අශීලාචාර කාලයේදී හැම පාලන කාලයක් තුළම අඩු වැඩි වශයෙන් සිදුවූ දෙයක් ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අවසානය වනවිට එය උපරිම මට්ටමකට දුරදිග ගිය දෙයක් බවට පත්ව තිබුණේය. රවිරාජ් ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන් කිරීම, ලලිත්-කූගන් යන තරුණයන් දෙදෙනා අතුරුදන් කිරීම, තාජුඞීන් ඝාතනය දේශපාලන පසුබිමක් ඇති දේශපාලනඥයන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන බලවතුන්ට සමීප පොලිස් හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන් විසින් සිදුකරන ලද ඝාතන ලෙස සැලකිය හැකිය.

මහින්ද රාජපක්ෂ පාලන කාලය වනවිට මේ තත්ත්වය කොතරම් දුර දිග ගිය තත්ත්වයකට පත්ව තිබුණේද කියන්නේ නම් පළමු පෙළේ බලවත් දේශපාලනඥයන් පමණක් නොව ප‍්‍රාදේශීය සභා මට්ටමේ දේශපාලනඥයන්ද සාහසික අපරාධවල යෙදෙන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. නූරීවලදී වතු පාලකයකු ඝාතනය කිරීමේ සිද්ධිය, තංගල්ලේදී විදේශීය සංචාරයකුගේ පෙම්වතිය දූෂණය කොට එම සංචාරකයා ඝාතනය කිරීමේ සිද්ධිය ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන දෙකක් පමණය. නූරි සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ලබාගත හැකිවූයේ ඝාතනයට ලක්වූ වතු පාලකයාගේ සමීපතමයකුට ආරක්ෂක ලේකම්වරයා සමග සම්බන්ධයක් තිබීම නිසාය. තංගල්ලේ සංචාරකයා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයකට යන්නට හේතුවූයේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් නිසාය. මෙම අශීලාචාර කාලයේදී සමහර උසස් පොලිස් නිලධාරීන් සේ ම සමහර උසස් හමුදා නිලධාරීහුද කප්පම් ලබාගැනීම සඳහා මිනිසුන් පැහැර ගත්තෝය. ලොකු මුදල් සඳහා මිනිසුන් ඝාතනය කළෝය. අතුරුදන් කළෝය.

මෙම අවලස්සන තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යායුතු තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම අශීලාචාර තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් එම අශීලාචාර කාලවකවානුව තුළ සිදුවී තිබෙන සාහසික අපරාධ ගැන සොයා බලන තැනකට යායුතුය. එවැනි අපරාධවලට වගකියුතු සියලූදෙනාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. රට ශීලාචාර තැනකට ගතහැකිවනු ඇත්තේ එවිටය.

0 comments:

ලසන්තට යුක්තිය ඉටු විය යුතු ය.

ravaya

සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වී ජනවාරි 8 වැනි දා ට අවුරුදු හතකි. මේ වන තෙක් ඔහුගේ ඝාතනයට වග කිවයුත්තකු සොයා ගන්නට රට අසමත් වී තිබේ.

ලසන්ත ඝාතනය වන්නේ යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබිය දී ය. මහ දවාලේ සිය වාහනයෙන් නිවසේ සිට පුවත්පත් කාර්යාලයට යන අතරතුර අධිආරක්‍ෂක කලාපයක මහ පාරක දී ය.

ලසන්තගේ ඝාතනය ගැන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කිසිදු වැදගත් පරීක්‍ෂණයක් නොකළ බව පැහැදිලි ය. ඒ වෙනුවට කළේ ඔහුගේ චරිතය ඝාතනය වන ආකාරයේ විවිධ කතා එක දිගට රජයේ මාධ්‍ය හරහා එළියට දමමින් ඝාතනය කරන ලද ලසන්තට තවත් අවමන් කිරීම ය. අනෙක් පැත්තෙන් එවැනි ඝාතනයකට ලක් වීමට ඔහු කෙතරම් සුදුස්සෙක්දැ’යි සාධාරණීකරණය ය.

ඔහු ඝාතනය කිරීම සාමාන්‍ය කෙනකුට කළ නොහැකි බව ඝාතනය වූ ස්ථානය හා වේලාව අනුවත්, ඝාතනය කර ඇති ස්වභාවය අනුවත් පෙනෙන්නට තිබුණි. දැන් ඒ සැකය තවත් වැඩි වී තිබේ. ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළේ මක් නිසාදැ’යි ක‍්‍රමයෙන් එළිවන්නට පටන් ගෙන තිබේ. ප‍්‍රගීත් ඝාතනය කරන්නට එකී කාරණා හේතු වූවා නම්, ලසන්ත ඝාතනය කරන්නට තරම් අසීමිත හේතු ඒ කාලයේ දේශපාලන බලධරයන්ට තිබෙන්නට ඇති බව ඉතාමත් පැහැදිලි ය.

පොලිසිය ලසන්ත ඝාතනය ගැන නිසි ලෙස පරීක්‍ෂණ නොකෙළේ ඒ සඳහා ඔවුන්ට හැකියාවක් නැති නිසා නොවේ. ඒ පරීක්‍ෂණ ඉදිරියට ගෙන නොයන්නට ඔවුන්ට ඉහළින් උපදෙස් ලැබී තිබුණු නිසා ය. එක්නැලිගොඩ, තාජුදීන් ඝාතන පරීක්‍ෂණ හරහා එළියට එන්නේ ද ඒ සත්‍යය යි.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමය ලංකාවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් බිහිසුණු යුගයකි. හැකි සෑම මාධ්‍යවේදියකුට ම විවිධ වරදාන දී තමන්ට අවනත කර ගන්නා අතර, එසේ අවනත කර ගත නොහැකි මාධ්‍යවේදීන්ට බිය ගැන්වීම, තර්ජනය කිරීම, පැහැරගෙන ගොස් පහර දීම, අතුරුදන් කරවීම හා ඝාතනය දක්වා වූ දඬුවම් ලැයිස්තුවක් රාජපක්‍ෂ ආණ්ඩුව කෙටුම්පත් කර තිබුණේ ය. තමන් විසින් පුහුණු කර රැුක බලා ගන්නා ලද කුලී හමුදා සාමාජිකයෝ ද, ආරක්‍ෂක හමුදාවල සාමාජිකයෝ ද අවශ්‍ය අවස්ථාවන්හි දී මේ අපරාධ සඳහා මුදා හරින්නට යාන්ත‍්‍රණයක් ද ඒ ආණ්ඩුව කාලයේ තිබිණි. මේ බිහිසුණු ක‍්‍රමය පවත්වාගෙන ගිය හා නඩත්තු කළ නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාට සිය ජීවිතයේ කිසි ම දිනෙක මාධ්‍ය නිදහසක් ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් ඇති වන්නේ නැති බව සිහි තබා ගත යුතු ය.

ජනතාව අලූත් ආණ්ඩුව පත් කර ගත්තේ මේ සියලූ වැරදි ආපස්සට හරවන්නට ය. අඩු ගණනේ ප‍්‍රධාන වැරදි වත්.
අලූත් ආණ්ඩුවේ ප‍්‍රමුඛ වගකීමක් වන්නේ මේ අපරාධවලට වග කිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම ය. කාර්යය දුෂ්කර ය. ඝාතනයක් සිදු වී වසර හයක් ගත වන විට – ඒ පිළිබඳව මූලික පරීක්‍ෂණ නිසි ලෙස සිදු නොකර ඇති තත්ත්වයක් යටතේ- ඊට අදාළ සාක්‍ෂි යළි එක් රැුස් කිරීමේ ප‍්‍රායෝගික දුෂ්කරතා නිසා ය. එහෙත් එය මඟ හැරිය නොහැකි වගකීමකි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කෙතෙක් දුරට පැවැත්වෙන්නේ ද යන්න එළිදරව් කිරීම අවශ්‍ය දෙයක් නොවේ. විමර්ශනවලට ඉන් බාධා ඇති විය හැකි නිසා ය. එහෙත්, ඒ පරීක්‍ෂණ නිසි ලෙස පැවැත්වෙන බවත්, කිසිවකුගේ අනවශ්‍ය මැදිහත්වීම්වලින් තොරව ඒ ඝාතනයට වග කිවයුත්තන් නීතිය ඉදිරියට කැඳවෙන බවත් සහතික කිරීම ආණ්ඩුවේ වගකීමයි.

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු