සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය මගින් කරනු ලබන මාධ්‍ය අවභාවිතය වහා නවතන්න

 රටතුළ උද්ගතවී ඇති ජාතික ආපදා තත්වයට අදාළව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා හැසිරෙන ආකාරය පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගැඹුරු සැලකිල්ල යොමුවී ඇතිබවත් මෙම අවස්ථාවේදී මාධ්‍ය නිදහසට මුවාවී කරන ජනමාධ්‍ය අවභාවිතය වහා නවත්වන ලෙසත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා නිවේදනයක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලීමක් කරයි.

මෙම ජාතික ආපදා තත්ත්වය උද්ගත වූ අවස්ථාවේ සිට බොහෝ විද්‍යුත් මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් තම අනෙකුත් කටයුතු සියල්ල පසෙක ලා මෙම ජාතික ආපදාව පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමටත්, නොයෙකුත් සහන සේවා කටයුතු සංවිධානය කිරීමටත් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ප්‍රණාමය හා ගෞරවය එම ආයතනවලටත්, ඒවායෙහි කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ටත් පුදකර සිටින බව එම නිවේදනයේ සඳහන් ෙව්.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ…

”…සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද මුහුණුපොත සහ වෙබ් අඩවි ඔස්සේද සන්නිවේදනයෙහි යෙදී සිටින බහුතර පිරිස මෙම ආපදා තත්වයේ බරපතල බව අවබෝධ කරගනිමින් නිවැරදිව තොරතුරු හුවමාරු කරගනිමින් සිටි අයුරු දක්නට ඇත. විද්‍යුත් මාධ්‍ය බොහොමයක් ද එම වගකීම නිසි ලෙස ඉටු කරති.”

“නමුත්, අතලොස්සක් වූ පිරිසක් මෙම ඛේදවාචක අවස්ථාවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් මහජන කැළඹිලි ඇති කිරීමටත්, මහජනතාව ප්‍රකෝප කරවීමටත් වෑයම් කිරීම කණගාටුවට කරුණකි.”

“කැළණි ගඟේ වේල්ල පුපුරා යාමට ආසන්න යැයි කියමින් ජනතාව බියට පත් කිරීමත්, අඹතලේ ජලාශය අක්‍රිය වී ඇති බවත් එම හේතුවෙන් කොළඹට සහ ගම්පහට ජලය නොමැති වන බවට පුවත් පළකරමින් ඊයේ මහජනතාව නොසන්සුන් කිරීමත් මේ වගකීම් රහිත සන්නිවේදන භාවිතාව සඳහා උදාහරණ කිහිපයකි.”

“රජය ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙන්ම විපතට පත් වූවන්ට උපරිම සහන සැලසීමට පූර්ණ අවධානය යොමු කර ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සමඟ එක්ව රජයේ සියලූ නිලධාරිහු මෙම ආපදා අවස්ථාව පියමං කරලීම සඳහා දිවා රෑ වෙහෙසෙති. ස්වේච්ඡා සංවිධාන ගණනාවක්ද රටට හිතැති දහස් ගණනක් ජනතාවද මෙම කාර්යය සඳහා උපරිම සහයෝගය දක්වති.”

“එවන් පසුබිමක පටු අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ඇතැම් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මහජනතාව නොසන්සුන් කරවන, ප්‍රකෝප කරවන අසත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාදාමයක් ලෙසද, අමානුෂික අපරාධයක් ලෙසද අපි සලකමු.”

“මෙම අසත්‍ය ප්‍රකාශවලින් නොමඟ නොයන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ජනමාධ්‍ය නිදහසට මුවා වී කරන්නා වූ මෙම අවභාවිතාව වහාම නතර කරන මෙන් ඊට සම්බන්ධ සියලූ පාර්ශවයන්ගෙන් රජය ඉල්ලා සිටී.”

0 comments:

බැසිල් වෙනුවෙන් පොලීසිය ඉදිරිපත් වුණාද???මාතර මාධ්‍යවේදීන්


0 comments:

ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් වෙනුවෙන් යෝජනා මාලාවක්

මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයට සම්බන්ධ නිර්දේශ සියයකට වැඩි ප්‍රමාණයක් වාර්තාවට ඇතුලත්
 වාර්තාවට ඇතුලත්

දශක ගණනාවක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසින් ජනවාර්ගික, ආගමික හා දේශපාලන රේඛාවන් ඔස්සේ 'දැඩි ලෙස ධ‍්‍රැවීකරණය වී තිබෙන' ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය යළිත් වරක් ජනතාවට වග කියන මාධ්‍ය බවට පත්කිරීමේ අවශ්‍යතාවය ක්‍රියාධරයෝ අවධාරණය කරති.
මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාංශය ඒ බව පවසන්නේ 'ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා; ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂෙත‍්‍රය හා වෘත්තිය නගා සිටුවීමට සැළැස්මක්' මැයෙන් පූර්ණ වාර්තාවක් නිකුත් කරමින්.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සියයකට වැඩි ප්‍රමාණයක් එම වාර්තාවට ඇතුලත්.

දේශපාලන අධිෂ්ඨානය

පසුගිය වසරේ පැවති ජනපතිවරණයෙන් අනතුරුව ප්‍රකාශනයේ නිදහස ශක්තිමත් වී තිබෙන නමුත් එපමණකින්ම මාධ්‍යවල වෘත්තීයභාවය සහ සමාජයීය වගවීම වර්ධනය නොවන බවයි, වාර්තාව පෙන්වා දෙන්නේ.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශනයේ නිදහස හා මාධ්‍ය නිදහස වැඩි දියුණු කිරීමටත්, මාධ්‍යවේදීන්ට හා සෙසු මාධ්‍ය සේවකයන්ට හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීම පිණිසත් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන අතර මේ සඳහා දේශපාලන අධිෂ්ඨානය අත්‍යවශ්‍ය බවත් එහි සඳහන්.

වාර්තාව එළිදැක්වීමේ අවස්තාව
අගමැතිවරයා, විපක්ෂනායකවරයා සහ ජනමාධ්‍ය ඇමැතිවරුද වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ



ඒ අතරම රාජ්‍යයේ බලපෑම, තාක්ෂණික ප්‍රගමනය, වෙළඳපොල බලපෑම, මාධ්‍ය ව්‍යාපාරවල ආර්ථික ස්ථායීභාවය වැනි කරුණු හමුවේ මාධ්‍ය කර්මාන්තය සහ වෘත්තීය තුල අර්බුද මතු වී තිබෙන බව පෙන්වා දෙන වාර්තාව, මේ සියලු ගැටලුවලට විසඳුම් වශයෙන් කෂේත්‍රයේ සහ වෘත්තියේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
යුනෙස්කෝව 2009දී ලෝකයට හඳුන්වා දුන් මාධ්‍ය සංවර්ධන දර්ශක (Media Development Indicators framework) භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පරිසරය තක්සේරු කරන මෙම අධ්‍යයනය, මාධ්‍ය නිදහස සහ මාධ්‍ය බහුවිධභාවය නැංවීම පිණිස සිය නිර්දේශ යෝජනා කර තිබේ.
වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර:
  • නීති විවරණ හා සංශෝධන - මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති සම්ප්‍රදායන් විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කිරීම.
  • තොරතුරු පනත - තොරතුරු හිමිකම් පනත සම්මත කර කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම.
  • හිමිකාරීත්වය- මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු විවෘත, පාරදෘෂ්‍ය හා නියමිත කාලයකට වරක් මහජනයාට හෙළිදරව් කිරීම අනිවාර්ය වන පරිදි නව නීති සම්පාදනය කිරීම.
  • මාධ්‍ය නියාමනය - බහුතරයක් මාධ්‍යවේදීන්ගේ පිළිකුලට පාත්‍ර වූ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත හා එමගින් පිහිටු වන ලද මාධ්‍ය මර්දනකාරී රාජ්‍ය පුවත්පත් මණ්ඩලය අහෝසි කර වඩා කාර්යක්ෂම ස්වයං නියාමන සැකැස්මක් සංවිධානය කිරීම.
  • විද්‍යුත් මාධ්‍ය නියාමනය - විද්‍යුත් මාධ්‍ය විකාශන බලපත්‍ර ලබා දීම වඩා පාරදෘෂ්‍ය වන සේ නව නීති සැකසීම. විකාශන සංඛ්‍යාත පරාස ලබා දීම වඩා තාර්කික විය යුතු අතර මහජන, වාණිජ හා ප්‍රජා විකාශන යන තල තුනේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
  • ඩිජිටල්කරණය- විද්‍යුත් මාධ්‍ය ඩිජිටල්කරණය වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් හා කාල සටහනක් රජය විසින් සකස් කිරීම.
  • මහජන සේවා මාධ්‍ය - මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා සම්ප්‍රදායයෙන් අත්මිදෙමින් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කිරීම.
  • වාරණය - කිසිදු මාධ්‍යයක අන්තර්ගතයක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු යයි බල කැරෙන වාරණ නීති, රෙකුලාසි හා ක්‍රම සියල්ල ඉවත් කිරීම.
  • පෞද්ගලිකත්වය හා ආවේක්ෂණය - රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතු අතර, පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය (surveillance) නොකිරීම.
  • මාධ්‍ය අධ්‍යාපනය හා සාක්ෂරතාව - තෘතීයක මට්ටමේ පුවත්පත් කලා හා ජනමාධ්‍ය අධ්‍යාපන පාඨමාලා විවරණය කර වත්මන් මාධ්‍ය කර්මාන්ත අවශ්‍යතාවලට හා මාධ්‍ය පාරිභෝජන රටාවලට අනුකූල වන සේ යාවත්කාලීන කිරීම සහ මාධ්‍ය සාක්ෂරතාව හා සයිබර් සාක්ෂරතාව දියුණු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.


0 comments:

මාධ්‍ය: පවතින තත්ත්වය සහ අනාගතය

ජයතිලක ද සිල්වා –

පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති කෘතියට සමගාමීව, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමණාකරුවන්, ශාස්ත්‍රාලීය උගතුන්, මාධ්‍ය ක්ෂේත්‍ර​යේ බුද්ධිමතුන් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන්, ‘ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ’ පැවති සම්මන්ත‍්‍රණයේදී, ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ පවතින තත්වය ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ නීරස සත්‍යයන් කිහිපයක් සාකච්ඡාවට ගත්තේය.

පසුගිය පාලන සමය තුළ මාධ්‍ය කෙරෙහි පනවා තිබූ සීමාවන් නව ආණ්ඩුව ලිහිල් කොට ඇති බව අගමැතිවරයා කී අගමැතිවරයා, මාධ්‍ය වාරණ, මාධ්‍යයට එරෙහි තර්ජන, බිය ගැන්වීම් හෝ මාධ්‍යකරුවන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහි ප‍්‍රහාරයන් දැන් නැති බව පෙන්වා දුනි. ප‍්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ‘ආණ්ඩුවේ කාර්ය අවසන් කොට ඇති’ බව කී ඔහු, දැන් ‘නිදහස පාවිච්චි කිරීම’ මාධ්‍යයට පැවරෙන බව කීය.

එක්නැලිගොඩ අතුරුදහන් වීම

කෙසේ වෙතත්, වෙනස් වීමට අසමත් මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහොමයක් දෙනා තවමත් ගැලී සිටින්නේ, යුද්ධ සමයේ සහ ඉන් අනතුරුව රජ කළ ව්‍යාජ දේශපේ‍්‍රමී සහ ජාතිවාදී මානසිකත්වයේය. තමන්ගේම සගයන්ට පවා එරෙහි ආකල්පයකින් කටයුතු කරන බව කී ඔහු, ‘ඝාතනයට ලක්වූ සිය සගයන් වෙනුවෙන් පවා මාධ්‍ය සටන් නොකරන’ බව පෙන්වා දුනි. ඊට උදාහරණයක් දක්වමින්, මාධ්‍යයේ ඇතැම් කොටස් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. කාරයෙකු හෝ ‘කොටියෙකු’ බව කියමින් ඔහුගේ අතුරුදහන් වීමට එරෙහිව පවත්වන පරීක්ෂණ යුද විරුවන්ට එරෙහිව ගෙන යන දඩයමක් වශයෙන් අර්ථ දක්වන බව කියා සිටියේය. සිංහල බෞද්ධ මාධ්‍යයට අවශ්‍ය කරන්නේ පෙර පැවති තත්ත්වය වෙත ආපසු යාමට බව කීමට එහිදී ඔහු මැළි නොවීය.

ආණ්ඩුවේ අඩුපාඩු තිබිය හැකි බව අගමැතිවරයා පිළිගත්තේය. එය සර්ව සම්පූර්ණ නැත. ගිය ආණ්ඩුව කාලයේ මහජන මුදලින් පිටරට ගිය අවස්ථාවක එක්නැලිගොඩව තමන්ට හමු වූ බව කී, එවැනි ව්‍යාජ හමුවීම් ගැන සාක්ෂියට එදා විපක්ෂයේ සිටි ඇතැම් අහිංසක මන්ත්‍රීවරුන්ගේ නම් පවා ගෙනහැර දැක්වූ දේශපාලඥයෙකු අද මේ සම්මුති ආණ්ඩුවේ ඉහළ තනතුරක් හොබවන බව මෙහිදි මතක් කර දිය යුතුව තිබේ. එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේ, එය පවුලේ ප‍්‍රශ්නයක් නිසා ඔහුම සැඟවී සිටීමක් සේ ගෙනහැර පෑමට මාධ්‍යකරුවන් ඇතුළු තවත් පිරිස් එදා තැත් කළ සැටි මේ ලියුම්කරුට මතක ය. ඔහුව හමුදා කඳවුරකට පැහැරගෙන ගොස් ඇති බව ස්ථාපිතව ඇති මේ මොහොතේ එදා එකී සාවද්‍ය කතා කී පිරිස්වල රෙදි ගැලවෙන විට, අලුතෙන් ඔවුන් සොයාගෙන ඇති ප‍්‍රබන්ධය වන්නේ, එක්නැලිගොඩ කොටියෙකුව සිට ඇති බවයි. තවම පූර්ණ සත්‍යය නිරාවරණයව නැත. එහෙත් පරීක්ෂණ තවදුරටත් ගෙන ගොස් පූර්ණ සත්‍යය ඔප්පු කරගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

කෙසේ වෙතත්, සත්‍යය නිතරම සාපේක්ෂයි. එය හරියට, එකම ලෝහයෙන් තැනූ කාසියක දෙපැත්ත මෙනි. ගරු අගමැතිවරයා කී කතාවටත් එය අදාළයි. මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ තවත් පුද්ගලයන් ප‍්‍රහාරයට ලක්කළ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ ප‍්‍රාණවත් අන්දමින් පවත්වාගෙන යා යුතු අතර එකී අපරාධකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුව තිබේ.

2015 ජනවාරි මාසයේ නව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ සිට දැනටමත් මාස 16 ක් ගතවී තිබේ. එහෙත් කිසි පරීක්ෂණයක් සාර්ථකව අවසන් කිරීම තබා, සතුටුදායක ප‍්‍රගතියක්වත් දකින්ට නැත.

මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාව සකස් කොට ඇත්තේ, යුනෙස්කෝව මගින් සම්පාදිත මාධ්‍ය සංවර්ධන දර්ශක මත පදනම්වයි. ඒ සඳහා ඉතා පුළුල් සාකච්ඡා සහ සම්මන්ත්‍රඡාණ පවත්වා තිබේ. මාධ්‍යට අදාළ පාර්ශ්ව සහභාගී කරගෙන තිබේ. මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් නිකුත් වී ඇති වඩාත් විස්තීරණ වාර්තාව එය වශයෙන් සැළකේ. එය, මාධ්‍ය ප‍්‍රතිදාන සැපයුම සහ ඒවායේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමේ ප‍්‍රධාන ප‍්‍රවර්ග 5 ක් යටතේ, නිර්දේශ 101 ක් යෝජනා කරයි.

2015 දී ලෝක පුවත්පත් නිදහස පිළිබඳ සූචියේ 165 වැනි ස්ථානයේ සිටි ශ‍්‍රී ලංකාව 2016 වන විට 141 වැනි ස්ථානයට දියුණු වී ඇත.

සුපතල මාධ්‍යකරුවෝ

වාර්තාවෙන් යෝජිත ප‍්‍රධාන නිර්දේශ අතර මේවා තිබේ:

1. වර්ධනය වී ඇති මාධ්‍ය නිදහසට සමානුපාතිකව මාධ්‍යයේ වෘත්තීය භාවය ඉහළ නංවා ගැනීම
2. ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා නීති ප‍්‍රතිසංස්කරණ පනවා ගැනීම සහ වෙනත් රාජ්‍ය අත්‍යාවශ්‍ය රාජ්‍ය ක‍්‍රියාකාරකම්
3. මාධ්‍යයේ ස්වයං-නියාමනය
4. ස්වාධීන විකාශන නියාමනයක් පිහිටුවා ගැනීම
5. රාජ්‍ය මාධ්‍ය, මහජන සේවා මාධ්‍ය බවට පරිවර්තනය කිරීම
6. මාධ්‍ය පුහුණුව යාවත්කාලීන කිරීම සහ ඉහළ නැංවීම
7. මාධ්‍ය හිමිකාරීත්වය, ජනතාවට වගවන, විවෘත සහ පාරදෘෂ්‍ය භාවයකින් පවත්වා ගැනීම
8. පුවත්පත් මණ්ඩල නීතිය අවලංගු කොට, පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම.

පුඩිමක රස බැලිය හැක්කේ එය අනුභව කිරීමෙනැ යි කියමනක් තිබේ. එයාකාරයෙන්ම, මෙකී වාර්තාවේ ගුණය උරගා බැලිය හැක්කේ එය ක‍්‍රියාත්මක කිරීමෙන් පමණි. එය පහසු කාර්යයක් නොවේ. එම යෝජනා සාර්ථකව ක‍්‍රියාවට නැංවීම සහතික කරලීමේ විශාල හැකියාවක් මාධ්‍ය හිමිකරුවන්ට සහ ප‍්‍රකට මාධ්‍යකරුවන්ට තිබේ.

මෙය, පුරවැසියන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල සහයෝගය නැතිව සාර්ථක කර ගැනීමට පුලූවන් කමක්ද නැත. මන්ද යත්, පරිපාලකයන් සහ බලය හොබවන දේශපාලඥයන් මහජන මතයට කන්දෙන්නේ, පුරවැසියන් සහ සිවිල් සංවිධාන ප‍්‍රබල බලයක් වන තරමට ය. එසේ නොවුණහොත් සිදුවන්නේ, පසු ගිය රාජ්‍ය පාලන සමයේ මාධ්‍ය සම්බන්ධයෙන් පැවති කුසීත භාවය සහ සහජ ස්වයං-නියාමනයම, වර්තමාන සමස්ත මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය අඩාල කිරීමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, දේශපාලනික දේහයේ ප‍්‍රජාතන්ත්‍රීය පුනරුදය අත්හිටවනු ඇත.

*2016 මැයි 06 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Media: Status Quo & Future” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

0 comments:

"පුවත්පත් මණ්ඩලය එපා"

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගත්, ඝාතනය කළ සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පිරිස් මෙන්ම මාධ්‍යය ආයතන ගිනි තැබූ පිරිස් ද ඊට උපදෙස් දුන් පිරිස් ද වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන කරන ලෙසත් බදාදාට (3) යෙදී තිබෙන ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.
‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර අප සමරනුයේ මුළුමනින්ම ජනමාධ්‍ය නිදහස ඇති සමාජයක නොවන බව ද, එම සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර හා ලේකම් තරිඳු ජයවර්ධන යන මහත්වරුන්ගේ අත්සනින් යුතු ව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එම නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වෙයි.
“පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීහු රැසක් ඝාතනයට ලක් වූහ. තවත් විශාල පිරිසක් විවිධ හිරිහැරයන්ට ලක්වූහ. 2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවස්ථාවේ මෙන්ම 2015 අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය අවස්ථාවේදී ද ජනමාධ්‍යය යන්න දේශාපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය.
සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා විය. ප්‍රධාන ප්‍රවෘත්තියක් ගැන අපක්ෂපාතී වාර්තා කරණයක් සඳහා කරුණු විමසද්දී අමාත්‍යවරයකු මාධ්යිවේදියකුට බැණ වැද, පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ මහතාගේ බිරිඳට අධිකරණ සංකීර්ණය තුළදීම තර්ජනය කිරීම, අධිකරණ සංකීර්ණය තුළදීම වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම ආදී සිදුවීම් කිහිපයක් වාර්තා විය.
සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන්ට පහර දීම, මාධ්‍යක ආයතන ගිනි තැබීම ආදී දෑ සිදු නොවන නිසා මෙවැනි දෑ සුළු සිද්ධීන් ලෙස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් අර්ථ දැක්වුවත් මෙම සිදුවීම්ද සුළු සිදුවීම් ලෙස සලකා ඉවත දැමිය යුතු නොවේ. මේවා මාධ්‍ය මාර්දනයේ ආරම්භක අවස්ථා විය හැකි.
ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට නම් කළ යුතු ප්‍රධාන කාර්යයක් වනුයේ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍ය  ආයතන ගිනි තැබූ හා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ පිරිස් නීතිය හමුවට ගෙන ඒමය. ආණ්ඩුව බලයට පත්වී වසර එක හමාරක් ගත වුවද මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගත් බව කියන සැකකරුවන් පමණි.” යැයි එම නිවේදනයේ දැක්වෙයි.
ලසන්ත වික්‍රමතුංග, සිවරාම් ඇතුළු ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් රැසකගේ ඝාතකයන් තවමත් නිදැල්ලේ සිටින බවත් උදයන්, ලංකා ඊ නිවුස් ඇතුළු මාධ්‍ය  ආයතන ගිනි තැබූවෝ තවමත් නිදැල්ලේ සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. එසේම ජනමාධ්‍ය නිදහස සීමා කෙරෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන්  ඉල්ලා සිටියදී ඊට සාමාජිකයන් පත් කර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගන්වා ඇති බවත් එය සිදු කර තිබෙන්නේ ද පනතේ සඳහන් ආකාරයට ජනමාධ්‍ය සංවිධානවල අදහස් විමසීමකින් තොරව බවත් ලෝක ජනමාධ්‍යය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

0 comments:

දින පහකට වරක් මාධ්‍යවේදියෙක් දිවි දෙයි.....මාධ්‍ය දිනය අදයි

‘‘තොරතුරු දැනගැනීමේ නිදහස ඔබේ අයිතිවාසිකමක්“ යන්න තේමාව කරගනිමින් ලෝක මාධ්‍ය නිදහස් දිනය අද (3) සැමරෙයි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සමුළුවේ නිර්දේශයකට අනුව 1993 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී මුල් වරට ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත්කරනු ලැබීය. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.   ලෝකයේ තොරතුරු දැනගැනීමේ පනතක් මුල්වරට සම්මත කරන ලද්දේ ස්වීඩනය හා පින්ලන්තයයි.
නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූණ් මහතා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉර්නා බොකෝවා මහත්මිය පණිවිඩයක් නිකුත් කරමින් තොරතුරු දැනගැනිමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අඩිතාලමක් බවත් රටක තිරසාර සංවර්ධනය වෙනුවෙන් කිසිදු බියකින් තොරව මාධ්‍ය හැසිරවිමේ නිදහස ස්තාපිථ කළ යුතු බව ද පවසයි.
එසේ වුව ද ලෝකයේ කොතැනක හෝ මාධ්‍යවේදියකු තම රාජකාරියේ යෙදී සිටිය දී දින පහකට වරක් මියයන බව ද යුනෙස්කෝ සංවිධානය පවසයි.

සජීව විජේවීර

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු