රටතුළ උද්ගතවී ඇති ජාතික ආපදා තත්වයට අදාළව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා හැසිරෙන ආකාරය පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගැඹුරු සැලකිල්ල යොමුවී ඇතිබවත් මෙම අවස්ථාවේදී මාධ්‍ය නිදහසට මුවාවී කරන ජනමාධ්‍ය අවභාවිතය වහා නවත්වන ලෙසත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා නිවේදනයක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලීමක් කරයි.
මෙම ජාතික ආපදා තත්ත්වය උද්ගත වූ අවස්ථාවේ සිට බොහෝ විද්‍යුත් මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් තම අනෙකුත් කටයුතු සියල්ල පසෙක ලා මෙම ජාතික ආපදාව පිළිබඳව තොරතුරු සන්නිවේදනය කිරීමටත්, නොයෙකුත් සහන සේවා කටයුතු සංවිධානය කිරීමටත් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ප්‍රණාමය හා ගෞරවය එම ආයතනවලටත්, ඒවායෙහි කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ටත් පුදකර සිටින බව එම නිවේදනයේ සඳහන් ෙව්.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ…
”…සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද මුහුණුපොත සහ වෙබ් අඩවි ඔස්සේද සන්නිවේදනයෙහි යෙදී සිටින බහුතර පිරිස මෙම ආපදා තත්වයේ බරපතල බව අවබෝධ කරගනිමින් නිවැරදිව තොරතුරු හුවමාරු කරගනිමින් සිටි අයුරු දක්නට ඇත. විද්‍යුත් මාධ්‍ය බොහොමයක් ද එම වගකීම නිසි ලෙස ඉටු කරති.”
“නමුත්, අතලොස්සක් වූ පිරිසක් මෙම ඛේදවාචක අවස්ථාවේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් මහජන කැළඹිලි ඇති කිරීමටත්, මහජනතාව ප්‍රකෝප කරවීමටත් වෑයම් කිරීම කණගාටුවට කරුණකි.”
“කැළණි ගඟේ වේල්ල පුපුරා යාමට ආසන්න යැයි කියමින් ජනතාව බියට පත් කිරීමත්, අඹතලේ ජලාශය අක්‍රිය වී ඇති බවත් එම හේතුවෙන් කොළඹට සහ ගම්පහට ජලය නොමැති වන බවට පුවත් පළකරමින් ඊයේ මහජනතාව නොසන්සුන් කිරීමත් මේ වගකීම් රහිත සන්නිවේදන භාවිතාව සඳහා උදාහරණ කිහිපයකි.”
“රජය ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙන්ම විපතට පත් වූවන්ට උපරිම සහන සැලසීමට පූර්ණ අවධානය යොමු කර ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සමඟ එක්ව රජයේ සියලූ නිලධාරිහු මෙම ආපදා අවස්ථාව පියමං කරලීම සඳහා දිවා රෑ වෙහෙසෙති. ස්වේච්ඡා සංවිධාන ගණනාවක්ද රටට හිතැති දහස් ගණනක් ජනතාවද මෙම කාර්යය සඳහා උපරිම සහයෝගය දක්වති.”
“එවන් පසුබිමක පටු අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ඇතැම් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මහජනතාව නොසන්සුන් කරවන, ප්‍රකෝප කරවන අසත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාදාමයක් ලෙසද, අමානුෂික අපරාධයක් ලෙසද අපි සලකමු.”
“මෙම අසත්‍ය ප්‍රකාශවලින් නොමඟ නොයන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ජනමාධ්‍ය නිදහසට මුවා වී කරන්නා වූ මෙම අවභාවිතාව වහාම නතර කරන මෙන් ඊට සම්බන්ධ සියලූ පාර්ශවයන්ගෙන් රජය ඉල්ලා සිටී.”
සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය මගින් කරනු ලබන මාධ්‍ය අවභාවිතය වහා නවතන්න

Tag:
No comments: