lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Friday, June 17, 2016

    ජනතා විමුක්ති පෙරමුණට යලි පණදුන් ෆීනික්ස් පක්ෂියා ( නායකයෙක් ගැන)

    උදේනි සමන් කුමාර -

    පීනමුකෝ කළු ගඟේ....
    කිරි බැබළෙන හඳ පානේ....
    ගීතය තමා රචනා කෙළේ මොරටුවේ සිට කළුතර විද්‍යාලයට දිනපතා දුම්රියෙන් ගමන් කරද්දී දුටු කළු ගඟේ අපූර්ව දර්ශනය නිසා යැයි අමරදේව සූරීන් වරක් කීවේය.
    බස්නාහිර පළාතේ සුප්‍රකට ඉංගී්‍රසි පාසලක් වූ කළුතර විද්‍යාලය 1948දී නිදහස ලැබීමෙන් පසු සිංහල භාෂා මාධ්‍යයට පිවිසියේය. කළුතර විද්‍යාලයෙන් සිප් සතර ලබා මෙරට කීර්තියට පත් විශිෂ්ටයෝ බොහෝය. කළුතර විද්‍යාලයේ විදුහල්පති කාමරයේ වම් පසට වන්නට මෑතක් වනතුරුම එල්ලා තිබූ එක් සුවිශේෂී ඡායාරූපයක් තිබේ.
    එවකට විදුහල්පති රත්නායක මහතාත්, සංගීතාචාර්ය සීමන් ලොකුලියන මහතාත් සමඟ එම ඡායාරූපයේ පෙනී සිටින්නේ 1962 වසරේ කළුතර විද්‍යාලයට සංගීත අංශයේ සමස්ත ලංකා ශූරතාව හිමි කරදුන් සංගීත කණ්ඩායමය. එහි දකුණු පසට වෙන්නට සිටින කළු හීන්දෑරි උස තරුණයා නාරද දිසාසේකරය. වම්පසට වෙන්නට බටනළාවක් අත ඇතිව සිටින්නේ එතරම් උස නැති සුදු ඇඳුමින් සැරසුණු පැහැපත් තරුණයා සෝමවංශ අමරසිංහය.

    නාරද දිසාසේකර මෙරට ජනාදරය දිනූ සුප්‍රකට ගායකයකු, සංගීතඥයකු ලෙස සිට මෑතකදී අපෙන් වෙන් විය. සෝමවංශ අමරසිංහ වාමාංශික දේශපාලනය හා එක්ව තරුණයන්ගේ ආදරය දිනා ගනිමින් දශක හතරක් පුරා සමාජවාදී ශ්‍රී ලංකාවක් බිහි කරගැනීම උදෙසා කටුක ව්‍යායාමයක යෙදී සිටින්නේය.

    1948 වසරේ කළුතර විද්‍යාලයට ඇතුළත් වූ සෝමවංශ 1964දී පාසලින් අස් වන විට පාසල් ජීවිතයේ කැපී පෙනෙන භූමිකාවක් රඟපෑ ශිෂ්‍ය නායකයකු විය. පයාගල අෑතගම ප්‍රදේශයේ සිට ඔහු පාසලට පැමිණියේය. 1965දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියකු ලෙස සිය ප්‍රථම හා අවසාන රැකියාව ලබා ගත්තේය.
    සෝමවංශ අමරසිංහ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ 1969 වසරේදීය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ලෙස ඔහු නොබෝ කලකින්ම සිය ජීවිතය පීඩිත ජනතාවගේ විමුක්තිය උදෙසා කැප කළ යුතුය යන අධිෂ්ඨානයෙන් වෘත්තීය විප්ලවවාදියකු ලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන්නේය.
    දිළිඳු ජනතාව මුහුණ දෙන සියලු සමාජ අසාධාරණකම්වල හරය වන්නේ ලාංකේය සමාජය තුළ සම්පත් අසමතුලිත ලෙස බෙදී යෑම බව වටහා ගත් තැන සිට සෝමවංශ පන්ති විරහිත සමාජයක් නිර්මාණය කරගැනීමේ උත්තුංග කාර්යය සඳහා සිය කාලය හා ශ්‍රමය මුළුමනින්ම කැප කෙළේය.

    ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය අංශයන් සමඟ කටයුතු කරමින් සිටියදී 1971 රාජ්‍ය මර්දනයට එරෙහිව සිදු කළ සන්නද්ධ නැඟිටීමට සිය දායකත්වය දෙන්නේය. සෝමවංශ අමරසිංහ 1971 අප්‍රියෙල් 5 දින අත්අඩංගුවට පත්වන්නේ එවකට අගමැතිනිය වූ සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මිය ඇගේ රොස්මිඩ් පෙදෙසේ නිවෙසින් පැහැරගෙන යෑම සඳහා කුමන්ත්‍රණය කිරීමේ සහ ක්‍රියා කිරීමේ චෝදනාව යටතේය.

    අගමැතිනිය පැහැරගෙන යෑමේ කටයුත්තේ සුවිශේෂී වගකීමක් සෝමවංශට පැවරී තිබුණේය. 1971 අප්‍රේල් 3 වැනිදා ශිෂ්‍ය අංශයේ නායකයකු වූ පියසිරි කුලරත්න මඟින් අදාළ නියෝගය ඔහුට ලැබුණු අතර ඔහු එවකට නතර වී සිටි කොටහේනේ බෝඩිමෙහි සිට අවශ්‍ය කටයුතු සැලසුම් කෙළේය. කොටහේනේ බෝඩිමෙහි සෝමවංශ, රාජා, නිමල් වැනි ජවිපෙ සාමාජිකයන් හැරුණු විට වෙනත් රැකියාවල නියුතු දෙදෙනකුද සිටියේය.
    එයින් එක් අයකු එඩිසන් ගුණතිලක නම් තරුණයෙකි. ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයට සමීප සම්බන්ධකම් ඇත්තෙකි. එඩිසන් ගුණතිලක යාබද කාමරයේ කෙරෙන කතාබහට කඩින් කඩ රහසේ සවන්දී අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේ රොස්මිඩ් පෙදෙසේ අගමැතිනියගේ නිවෙසට පහර දී ඇය පැහැර ගන්නට සූදානම් වන බව සිය පියාට දැනුම් දුන්නේය.

    එඩිසන්ගේ පියා වහාම මේ බව ජේ.ආර්. ජයවර්ධන මහතාව දැනුම්වත් කළ අතර ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැතිනියට දැනුම් දුන්නේය. එඩිසන් ගුණතිලක සමඟ පැමිණි පොලිසිය සෝමවංශ අමරසිංහ සහ නිමල් කොටහේනේදී අත්අඩංගුවට ගත්තේ සියල්ල සූදානම් කොටගෙන පිටත්වන මොහොතේදීය.
    මෙහිදී සෝමවංශ විශේෂ සිදුවීමකට මුහුණ දුන්නේය. 5 වැනිදා රාත්‍රිය පුරාත් පසු දින දහවල් කාලය පුරාත් පොලිසිය ඔහුට දරුණු ලෙස පහර දුන්නේය. ඔහු ඇඳ සිටි සරම කීතු කීතුවලට ඉරී යන්තමින් නිරුවත වැසී තිබූ අතර හඳුනාගත නොහැකි අන්දමින් තොල් පුපුරා මුහුණ තැළී රත් පැහැ ලේ පැල්ලම් සහිතව ඉදිමී තිබුණේය. නිරුවත් උඩුකය පුරා තැළුම් තුවාල තිබුණේය.

    අරලියගහ මන්දිරයේදී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය හමුවූ ආරක්ෂක ඇමැති ලක්ෂ්මන් ජයකොඩි හා අනුරුද්ධ රත්වත්තේ මහත්වරු,
    “මැතිනියනි, ඔබතුමිය පැහැර ගැනීම භාරව සිටි කණ්ඩායමේ නායකයා අප ළඟ සිටිනවා. ඔබතුමියට ඔහු සමඟ කතා කරන්න පුළුවනි” යනුවෙන් කියා ඇත.
    මම කැමැතියි එයා එක්ක කතා කරන්න. කෝ එක්කන් එන්නැයි අගමැතිනිය කීවාය.
    ඒ අනුව පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා විසින් ඒ වන විටත් කැටුව විත් සිටි සෝමවංශව කොස්තාපල්වරු දෙදෙනකු විසින් වත්තම් කර ගෙනැවිත් අගමැතිනිය හමුවට ඉදිරිපත් කෙළේය.

    සෝමවංශගේ තැළී පොඩිවී ගිය ලේ වැකි සිරුර දැක තිගැස්සුණු ඇය
    “චී... චී... ඇයි මේ ගෙනියන්න ගෙනියන්න” යැයි කියමින් වහා සාරි පොටින් මුහුණ වසා ගත්තාය.
    අගමැතිනිය අපේක්ෂා කළේ තරුණ විප්ලවවාදියා සමඟ සංවාදයක යෙදෙන්නටය. මේ සිදුවීමෙන් ඇය අන්දුන් කුන්දුන් වූවාය.
    1979 වසරේ ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල පැවැත්වූයේ කියුබාවේ හවානා නගරයේය. ජවිපෙ නියෝජිතයකු ලෙස සෝමවංශ අමරසිංහ ඊට සහභාගි විය. ඔහු හවානා බලා ගුවන් යානයක ගමන් ගනිමින් සිටියේය. ඔහුට යාබද අසුණේ ලක්ෂ්මන් ජයකොඩි මහතා අසුන්ගෙන සිටියේය. ගුවනේදී සෝමවංශ දෙසට හැරුණ ලක්ෂ්මන් ජයකොඩි “ඔබතුමා කවුදැයි” සෝමවංශගෙන් ඇසුවේය.
    “මම සෝමවංශ අමරසිංහ මට ඔබතුමා මෙයට පෙර එක් වතාවක් හමුවී තිබෙනවා”
    “ඇත්තද මට හරියටම මතකයක් නැහැ”
    “මම කියන්නම් 1971 අප්‍රේල් 6 වැනිදා හවස අරලියගහ මන්දිරයේදී ඔබ අගමැතිනිය හමුවට ඉදිරිපත් කළ තුවාල වී සිටි තරුණයා මතකද?”
    “ආ ඔව් ඔව්”

    “ඒ මම අමරසිංහ”
    කතාව නිමාවිය. එහෙත් ගමන නිමා වනතුරු ජයකොඩි මහතා සෝමවංශ දෙස හැරී බැලුවේවත් නැත.
    1971 සෝමවංශලා පාවාදුන් එඩිසන් ගුණතිලක පසුව පොලිස් සේවයට බඳවාගත් අතර 1989දීද ජවිපෙට එරෙහිව ක්‍රියා කරමින් ‘ගඩාෆි’ නමින් ප්‍රසිද්ධව නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබා ගත්තේය.
    1971 සිට රිමාන්ඩ් සිරකරුවකු ලෙස බන්ධනාගාරගතව සිටි සෝමවංශ අමරසිංහව ජවිපෙ සහෝදරවරුන් ඇමතුවේ ‘රොස්මිඩ් අමරේ’ නමිනි. අද පවා ජවිපෙ පැරැන්නන් ඔහු හඳුන්වන්නේ රොස්මිඩ් අමරේ නමිනි.
    1974දී ඔහු ඇතුළු සගයන්ට නඩු පැවරූ අතර අගමැතිනිය පැහැර ගන්නට තැත් කළාය කියන චෝදනාවට වසර 2ක සිර දඬුවමක් ඔහුට හිමි විය. 1976දී ඔහු සිරගෙයින් එළියට එන විටත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලද දේශපාලන පක්ෂයකි.

    එවකට නිදහස ලබා එළියට පැමිණ සිටි කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, අබේවර්ධන වීරගල්ල ආදීන් සමඟ නැවතත් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟීමේ කටයුතුවලට ඔහු සම්බන්ධ වූයේය. 1976 වසරේ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය සමඟි පෙරමුණ බිඳ දමමින් ආණ්ඩුවෙන් ඉවත් වීම සිදු විය.
    ශ්‍රීලනිප ආණ්ඩුව අසීරුවට පත්වූ අතර හදිසි නීතිය දීර්ඝ කරගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස් කිරීමට අගමැතිනිය බිය විය. දීර්ඝ කිරීමේ විවාදය නොපැවැත්වූ නිසාම 1971 සිට දිගටම පවත්වාගෙන පැමිණි හදිසි තත්ත්වය අහෝසි වූයේය. ජවිපෙ තහනම් කර තිබුණේ හදිසි අවස්ථා නියෝග යටතේය. හදිසි නීතිය අහෝසි වන මොහොතේ පක්ෂය වහාම ප්‍රචාරක කටයුතු ආරම්භ කළ යුතු යැයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි රෝහණ විජේවීර එළියේ වැඩ කළ පිරිස් දැනුම්වත් කොට තිබුණේය.

    ඒ අනුව පක්ෂයේ හිතවතකු වූ අධිනීතිඥ එම්.බී. රත්නායක මහතාගේ නිවෙසේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කේලි සේනානායක, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ නැවතත් 1977 මාර්තු මාසයේ ප්‍රසිද්ධ දේශපාලන වැඩ පටන් ගත්තේය. එය අසීරු වකවානුවක් විය. ප්‍රසිද්ධ දේශපාලනයේ නියැළෙන්නට නීත්‍යනුකූල අයිතිය තිබුණත් පොලිසිය එය පිළිගැනීමට මැළිවීම නිසා දිගින් දිගටම පොලිස් මර්දනයට ගොදුරු වන්නට ජවිපෙ සාමාජිකයන්ට සිදු විය. 1977 ආණ්ඩු පෙරළියෙන් පසු විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස ලැබීමත් සමඟ දේශපාලන තලයේ පෙරමුණට ජවිපෙ ගෙනඒමට ඔවුහු සමත් වූහ.
    1978 කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඕමාරගොල්ලේ කොස්කැලේදී දින තුනක් පුරා ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රථම නියෝජිත සම්මේලනය පවත්වනු ලැබීය. දින තුනක් පුරා පැවති සමුළුවේදී සෝමවංශ අමරසිංහ ජවිපෙ මධ්‍යම කමිටුවට තේරී පත් විය. එතැන් සිට පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ ඔහු විසිනි. පක්ෂය අතු ඉතිලමින් වේගයෙන් වැඩෙද්දී රාජ්‍ය ආයතන සමඟ තානාපති අංශ සමඟ සහ පොලිසි සමඟ සියලු කටයුතු කරන ලද්දේ ඔහු විසිනි.

    1983දී කළු ජූලිය ඇතිවන විට එය ආණ්ඩුවේ නිර්මාණයක් බව කල් ඇතිව හඳුනාගත් ජවිපෙ යටි බිම්ගත       දේශපාලනයට යොමු වෙද්දී සෝමවංශ අමරසිංහ ඊට අනුගත වෙමින් ඊට සරිලන ශෛලියකින් වැඩ ආරම්භ කෙළේය. ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ හදාගැනීම සඳහා දරන ලද සෑම ප්‍රයත්නයක්ම ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස ඔහු විවිධ පාර්ශ්වයන් සමඟ වැඩ කෙළේය.

    චතුර ඉංගී්‍රසි උච්චාරණයත් ඇඳුමෙහි පැලඳුමෙහි සුවිශේෂ තත්ත්වය තුළින් සෝමවංශ පෙන්වූ භාව ප්‍රකාශනය දක්ෂ නාගරික ගරිල්ලා භටයකුට හැම අතින්ම ගැළපුණේය. තහනම් දේශපාලන කටයුතුවල යෙදෙමින් එවකට සතුරාට අත්‍යවශ්‍යව සිටි පක්ෂයේ නායකයන් දෙදෙනා වූ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇසුරේ සිටියද සගයන්ද ආරක්ෂා කරගනිමින් තමාද ආරක්ෂා වීමේ විශේෂ හැකියාවක් ඔහු සතු වූයේය.
    1984දී සෝමවංශ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් කර ගැනිණි. වගකිවයුතු නායකයන් කොළඹින් පිට නවත්වා කොළඹ නගරය තුළම රැඳී සිටිමින් ඔහු වගකීමෙන් සිය යුතුකම් ඉටු කෙළේය.

    ජවිපෙ විනාශ කිරීම සඳහා එජාප ආණ්ඩුව බි්‍රගේඩියර් ජානක පෙරේරා යටතේ ආර්.ඩී.එෆ්. ක්ෂණික විහිදුම් බළකාය පිහිටුවා නොබෝ දිනකින් සෝමවංශ අපූරු සිදුවීමකට මුහුණ දුන්නේය. ඔහු පදවාගෙන ගිය මෝටර් රථය බි්‍රගේඩියර් ජානක පෙරේරාගේ රියෙහි ගැටුණේය.

    ‘පැටි්‍රක් ගේ‍ර්බි්‍රයල්’ නමින් පෙනී සිටි සෝමවංශ කිසිදු කලබලයක් නොපෙන්වා බි්‍රගේඩියර්වරයා ආරක්ෂක රථ සමඟ යවා ඔහුගේ මෝටර් රථය තමා දන්නා ලුනාව පාරේ ජවිපෙ හිතවතකුගේ ගරාජයට ගෙන ගොස් රෙපෙයාර් කර දුන්නේය. ඒ කටයුත්ත සඳහා ආර්.ඩී.එෆ්. නිලධාරී සමඟ දින කිහිපයක් ගනුදෙනු කරන්නට ඔහුට සිදු විය. රෝහණ විජේවීර, නිමල් අත්තනායක ලෙස සමාජගත කර ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම පිටුපස සිටියේද සෝමවංශ අමරසිංහය. පක්ෂයේ සියලු නායකයන් සමූල ඝාතනයට ලක්වෙමින් පක්ෂය කරා විනාශය වේගයෙන් ළඟාවෙමින් තිබියදී ඔහු පලා නොයා අඛන්ඩව වැඩ කෙළේය. පක්ෂය සතු මානව සම්පතත් භෞතික සම්පතත් ආරක්ෂා කරගැනීම සඳහා ඔහු අප්‍රතිහත ව්‍යායාමයක යෙදුණේය. රෝහණ විජේවීරගේ මරණය ජවිපෙ සමඟ ගැටගැසුණු 45 වසරක වෘත්තීයමය විප්ලවවාදී භූමිකාවේ ඔහු මුහුණ දුන් බැරෑරුම් අවස්ථාව එය වූවාට නිසැකය.

    පළමුපෙළ සියල්ලන් ඝාතනය වීමෙන් පසු මර්දනය ඔහු සොයා හඹා එන විට ඔහු වැඩබිමෙන් ඉවත් වීමේ අසීරු තීරණය ගත්තේය. බර්ගර් ජාතික මවක් සහ ඔහුගේ පුතු සමඟ එම පවුලේ වැඩිමහල් පුත්‍රයා ලෙස සෝමවංශ ගලවිලවත්තේ                        1989 අවසන් කාලයේ නතරව සිටියේය. මේජර් නිශ්ශංක නම් හමුදාවේ මිත්‍රයකු මගින් හොරබඩු ගෙන ඒමට යන ජාවාරම්කරුවකු සේ ඉන්දීය වෙරළට යෑමට කටයුතු යොදාගත් ඔහු බර්ගර් අම්මාගෙන් සමුගන්නටත්, අත්‍යවශ්‍ය ලියවිලි කිහිපයක් ගන්නටත් මෝටර් රථයෙන් ගලවිලවත්තේ නිවෙස කරා යමින් සිටියේය.
    ඔහු සිටි නිවෙසට ගෙවල් තුන හතරක් මෙහා නිවෙසක මිදුල අමදිමින් සිටි කාන්තාවක් අතින් සංඥාවක් කර සෝමවංශ පදවාගෙන ගිය මෝටර් රථය නතර කෙළේය.
    “මහත්තයා ඔයාලගෙ ගෙදර ළඟ පොලිස් වාහන කිහිපයක් නතර කර තිබෙනවා” යැයි ඇය කීවාය.
    ඒ වන විටත් ඝාතකයෝ ඔහු සොයා පැමිණ සිටියහ.

    “අම්මේ මං යනවා” යැයි ඇගේ මිදුලටම දමා කාරය ආපසු හරවාගත් සෝමවංශ අසුරු සැණෙන් පලා ගියේය.
    එදින මැදියම් රැයේ තරු එළියෙන් පාර සොයාගෙන කුඩා බෝට්ටුවක නැඟුණු සෝමවංශ මවුබිමෙන් අෑත් වෙමින් සිටියේය. ලක්ෂ ගණනක පීඩිත ජනතාවක් ජීවත්වන, නිර්ධන පන්තියේ වටිනා දූ පුතුන් 60,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරගත් මවුබිම තිතක් මෙන් අඳුරේ නොපෙනී යන අයුරු ඔහු බලා සිටියේ නැඟෙන බිඳෙන රළ අතර පාවෙන බෝට්ටුවේ සිටය. දිවි කුසුම පුදාහළ සගයන්ගේ උස් ප්‍රාර්ථනා මස්තකප්‍රාප්ත කරන්නට නොනිමි අරගලයේ ඊළඟ පරිච්ඡේදය ලිවීම ඔහුට පැවරී තිබුණේය.
    1971දී කුණාටුවට හසුවූ ජවිපෙ නෞකාව 1989දී ගැඹුරු මුහුදේ වඩා ප්‍රචණ්ඩ කුණාටුවකට හසු විය. තමාට ඉහළින් සිටි සියලු කපිතාන්වරු මුහුදුබත් වෙද්දී සුක්කානම අතට ගැනීමේ ආත්ම විශ්වාසයත් ශක්තියත් ඔහුට තිබුණේය.

    රෝහණ විජේවීර ඇතුළු පන්ති සගයන්ගේ රුධිරයෙන් තෙත් වූ රක්ත වර්ණ ධජය වටා එඩිතරයන් යළි පෙළ ගස්වන්නට ඔහු දිවා රෑ නොබලා කැපවූයේය. ‍ෙදාලොස්වසරකට පසු ගුවනින් යළි මවුබිමට පැමිණෙන විට ආදරණීය පක්ෂය නැවත ජීවමානව දකින්නට සෝමවංශ අමරසිංහට හැකි වූයේ එනිසාය.

    උදේනි සමන් කුමාර -
    mawbima -

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture