ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..

ජුලි 07 2015
ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් කාලයකට පෙර කෙටි සංචාරයක් සඳහා අපේ රටට ආවා. එතුමා තම ජීවිතයේ සන්ධ්‍යා භාගය කැප කරලා තියෙන්නෙ ලොව පුරා දියුණුවෙමින් පවතින හා දිළිඳු රටවල තරුණ දරුවන්ට දිරිය හා දැනුම සැපයීමටයි.

අබ්දුල් කලාම් කියන්නේ ඉන්දියාවේ ඉතාම පසුගාමි ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ අන්ත දුගී පවුලක උපත ලබා දහසකුත් එකක් බාධක දුක්කම්කටොලූ මැඩගෙන ජීවිතය ජයගත් මිනිසෙක්. රුසියාවේ මැක්සීම් ගෝර්කිට වගේ කලාම්ටත් ගත කරන්න වුණේ බොහොම දුක්ඛිත ළමා වියක්. පංති පීඩනය ජාති ආගම් හා කුල භේදය කලාම් හැදී වැඩුණු පරිසරයේ ආවේනික ලක්ෂණ වුණා. මේවා සමාජයේ ඉදිරි ගමනට විශාල බාධක වශයෙන් තේරුම් ගැනීමේ බුද්ධියක් ළමා වියේදීම කලාම්ට තිබීම තමා එතුමා ආ මේ දීර්ඝ ගමනේ මූලික රහස.

අද අසූ තුන්වන වියේ පසුවන ආචාර්ය කලාම් සිය දුප්පත් අතීතය වත්මන් පරපුරට මතක් කර දෙන්නේ බෙහොම ආඩම්බරයෙන්. ලොව මවිත කළ විද්‍යාඥයකු බවට පත්වීමට තමාට හැකි වූයේ ළමා වියේදී විඳින්නට වූ දුක්ගැහැට නිසා බව එතුමා ඉතා නිහතමානීව ප්‍රකාශ කරනවා. අද අපේ රටේ වගේම වෙනත් බොහොමයක් රටවලත් දේශපාලකයන් තමන්ගේ සැබෑ ඉතිහාසය සමාජයට වසං කරමින් බොරු ප්‍රතිරූප මවාපාන්ට දත කන හැටි අපට පෙනෙනවා. අබ්දුල් කලාම් කියන තැන්පත් සරල බුද්ධිමතා සිය දේශනවලදී නොකියා කියන එක් දෙයක් තමා මිනිසෙක් බැබළිය යුත්තේ තමන්ගේ සැබෑ ජිවන පසුබිමෙන්මය කියන එක.

එතුමා ලංකාවේ ගත කළ දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ දරු දැරියන් දහස් ගණනකට කතා කළා. ඇත්තටම මේ වන විට එතුමාට සවන් දී තම ජීවිත ආලෝකවත් කරගත් තරුණ ප්‍රජාව ගණනය කළ හැක්කේ මිලියනවලින්. ආචාර්ය කලාම්ගේ දේශනවල දකින්න තිබෙන සුවිශේෂ ලක්ෂණය තමා එතුමා අඩුවෙන් කතා කර ශ්‍රාවකයන්ට වැඩිපුර කතා කිරීමට නැත්නම් ප්‍රශ්න ඇසීමට අවකාශ සලසා දීම. මෙතනදීත් ඔහු නොකියා පවසන යමක් තිබෙනවා. එය තමා සැබෑ බුද්ධිමතකු නැතිනම් රාජ්‍යතාන්ත්‍රිකයකු යනු තම අදහස් ගිරවකු මෙන් දොඩවන්නකු නොව අනුන්ට සවන් දෙන්නකු බව.

ආචාර්ය කලාම් ලංකාවෙන් බැහැරවීමට පෙරාතුව ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ට එතුමාගේ රූපවාහිනී සාකච්ඡාවකට සවන් දීමේ දුර්ලභ අවස්ථාව හිමි වුණා. ඇත්තටම ඒ අගනා අවස්ථාව සලසා දුන් සිරස රූපවාහිනියට තුති මල් මිටක් පුදන්නත් අපි අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම එම රූපවාහිනී සාකච්ඡාව මෙහෙයවපු යොවුන් මාධ්‍යවේදියාටත් සුබපැතිය යුතුයි. මොකද ආචාර්ය කලාම් සිය ප්‍රසාදය කිහිප වතාවක්ම මේ තරුණයාට ප්‍රකාශ කර සිටි නිසයි. එතුමාගෙන් සිරස මාධ්‍යවේදියා අහපු එක ප්‍රශ්නයක් තමා අනාගත නායකයන් වීමට අපේක්ෂා කරන ලංකාවේ තරුණ පරපුරට දිය හැකි පණිවුඩය කුමක්ද යන්න.

මේ ප්‍රශ්නයට ආචාර්ය කලාම් අපූරු පිළිතුරක් දුන්නා. කවර තත්වයක් යටතේවත් දැනුමට දෙවෙනි තැනක් නොදිය යුතු බවයි එතුමා අවධාරණයෙන්ම පැවසුවේ. දැනුම යන වදන ඔහු මෙහිදී භාවිත කළේ පුළුල් අරුතකින් බව අමතක කරන්න නරකයි. මෙතනදිත් එතුමා නොකියා කියූ දෙය තමා දැනුම යනු හුදෙක් විභාග පාස්කිරීම හෝ පොතින් නැත්තන් අන්තර්ජාලයෙන් කරුණු එකතු කරගැනීම නොවන බව. එතුමාගේ අනිත් වචන ටිකත් හරි වැදගත්. දැක්මක් නැති කෙනෙකුට නායකයෙක් විය නොහැකියි. සාමාන්‍ය මිනිසුන් ගමන් කරන්නේ අනුන් විසින් හෙළි කළ මාවත්වලයි. එහෙත් සැබෑ නායකයකු වීමට නම් තමන් විසින්ම පාදාගත් මාවතක් තිබිය යුතුයි. වඩාත් වැදගත් වන්නේ නායකත්වය කෙසේ හෝ කළමනාකරණය කරගැනීම නොව පරාජය හරිහැටි කළමනාකරණය කරගනිමින් ඉදිරියට ගමන් කිරිමයි.

මේ උපදෙස් ලොවට දෙන්නේ නිකන්ම නිකන් දේශපාලකයකු නොව අග්නි මිසයිලය ලොවට හඳුන්වා දෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ මහා පෙරළියක් කළ අංක එකේ විද්‍යාඥයකු බවත් මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. අද අසූ තුන්වන වියේ සිටින තමා සිතුවිලි වලින් වගේම ක්‍රියාවෙනුත් ඕනෑම නූතන තරුණයකුට වඩා ඉදිරියෙන් සිටින බව මේ සාකච්ඡාවේදී ආචාර්ය අබ්දුල් කලාම් නොකියූ වැදගත්ම කතාව කියා මට හිතෙනවා.

කමල් පෙරේරා


0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු