sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » රට එක්සේසත් කළ රජවරු හා මහින්ද රාජපක්ෂ - වික්ටර් අයිවන්

වික්ටර් අයිවන්

හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සඳහා යොදා තිබූ යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් ඉවත් කොට ඒ වෙනුවට විශේෂ කාර්ය බලකාය යොදා ගැනීමේ සිද්ධිය විවේචනය කරමින් උදය ගම්මන්පිල හිටපු ජනාධිපතිවරයා අතීතයේ රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනාට සමාන කළේය. ඔහුගේ එම ප‍්‍රකාශය අසන්නට ලැබීමත් සමග අපේ පරණ ඉතිහාසය පිළිබඳව කෙරෙන සාකච්ඡුාවකට මුල පුරන්නට මට සිතුණේය. මට පෙනෙන හැටියට ලංකාවේ ජනතාවට තමන්ගේ පූර්ව නූතන ඉතිහාසය ගැනවත් නූතන ඉතිහාසයේ ආරම්භය ලෙස සැලකිය හැකි බි‍්‍රතාන්‍ය යුගය ගැනවත් හරි ඓතිහාසික දැක්මක් නැත. අපේ චින්තනයේ පටුභාවය කෙරෙහි එයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

රට එක්සේසත් කළ රජවරු

රට එක්සේසත් කළ රජවරුන් පස්දෙනා ලෙස සැලකෙන්නේ දුටුගැමුණු (ක‍්‍රි.පූ. 161-137), 1 වන විජයබාහු (1055-1110), 1 වන පරාක‍්‍රමබාහු (1153-1186), 2 වන පරාක‍්‍රමබාහු (1236-1270), 6 වන පරාක‍්‍රමබාහු (1415-1467) යන පස්දෙනාය. නිල ඉතිහාසඥයන් ඒ රජවරුන් පස්දෙනා විස්තර කර ඇත්තේ දකුණු ඉන්දියානු පරසතුරන්ගෙන් රටේ සිංහල බෞද්ධ ජනතාවද, සිංහල බෞද්ධ රටද මුදාගනිමින් රට එක්සේසත් කළ රජවරුන් වශයෙනි. උදය ගම්මන්පිල කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ඊට සමාන ආකාරයකින් ප‍්‍රභාකරන්ගෙන් එල්ල වූ තර්ජනයෙන් රට හා රටේ ජනතාව මුදාගනිමින් රට එක්සේසත් කළ බවය. මේ සැසඳීම තුළ ඓතිහාසික දෝෂයක් පවතී. මෙම රජවරුන් පස්දෙනා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක ඓතිහාසික කාලකවකවානුවකට අයත් පාලකයන් නොවෙති. මෙම රජවරු පස්දෙනාම වැඩවසම් රාජආණ්ඩු ක‍්‍රමයක් තුළ රජකමට උරුමයෙන් පත්වූ රජවරු වෙති. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට වෙනස්ව මහජනයා විසින් තෝරා පත්කරගත් දස අවුරුදු පාලනයකින් පසුව මහජනයා විසින් පරාජය කරනු ලැබූ නායකයෙකි. පරණ වැඩවසම් ක‍්‍රමය තුළ පාලකයා තෝරා ගැනීමේ අයිතියක් මහජනයාට නොතිබුණේය. එම සමාජය සැලකිය හැක්කේ ප‍්‍රවේණිදාස සමාජයක් ලෙසය. ඒ සමාජයේ එදා යටත්වැසියන් මිස අද මෙන් පුරවැසියෝ නොසිටියෝය.

මෙම රජවරුන් පස්දෙනා රට එක්සේසත් කළේ කියන අදහස නිවැරදි වන්නේද වැඩවසම් අර්ථයෙන් මිස නවීන අර්ථයෙන් නොවේ. වැඩවසම් රාජ්‍යය මධ්‍යගත රාජ්‍යයක් නොවූ අතර මධ්‍යගතභාවයක් සඳහා අවශ්‍ය කරන සමාජ ආර්ථික සාධක (ගමනාගමන හා පණිවුඩ පහසුකම්* වැඩවසම් ක‍්‍රමය තුළ නොතිබුණි. එකල තිබුණේ රජු හා ප‍්‍රාදේශීය රජවරුන් හෝ නායකයන් අතර බලය බෙදී ගිය රාජ්‍යයකි. අනෙක් අතට වැඩවසම් රාජ්‍යයද භූමිය මත පදනම් වූ රාජ්‍යයක් වුවත් එම රාජ්‍යයට වෙනස්වන දේශසීමා මිස ස්ථිර දේශසීමා නොතිබුණි. ඒ නිසා එකල රට එක්සේසත් කරනවා යන්නෙන් අදහස් වූයේ රටේ කොතැනක හෝ විදේශ පාලන බලයක් තිබුණේ නම් එය පරාජය කොට රටේ නාමික පාලන බලය මුළුමනින් අත්පත් කරගැනීමකටය.

ඉහත කී රජවරුන් පස්දෙනාම යුදමය වශයෙන් පරාජය කරන ලද්දේ විදේශ ආක‍්‍රමණිකයන්ය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරන ලද්දේ විදේශ ආක‍්‍රමණිකයකු නොව ස්වදේශීය කැරලිකාර ව්‍යාපාරයකි.

ඉතිහාසය දැකීම

අපි අපේ අතීත ඉතිහාසය තේරුම් ගෙන තිබෙන ආකාරයේ සේ ම නිර්වචනය කෙරෙමින් තිබෙන ආකාරයේද බරපතළ දෝෂ පවතී. අපේ රටේ චින්තනමය වශයෙන් තිබෙන අවුල්සහගතභාවය කෙරෙහි එයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

නිල ඉතිහාස මතයට වෙනස්ව මා දරන මතය වනුයේ රජවරුන්ගේ ඒකආගමික බව පැවතියේ දුටුගැමුණු දක්වා පමණක් බවය. ඉන්පසු එය ක‍්‍රමයෙන් වෙනස් වී රජවරු ද්විආගමික රජවරුන් බවට පත්වූහ. රට එක්සේසත් කිරීමේ ගෞරවය හිමිකරගෙන සිටින අනෙක් රජවරුන් සිව්දෙනාද සැලකිය යුත්තේ ද්විආගමික රජවරුන් ලෙසය. මාගේ එම කල්පිතය සනාථ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන තැනකට යන්නට පෙර ලංකාවේ ජනවර්ග ඇතිවීම හා ඒවාහි විකාශය පිළිබඳව මා දරන මතය කෙටියෙන් පැහැදිලි කිරීම සුදුසුයැ’යි සිතමි.

ලංකාවේ මුල් ජනාවාස ඇතිවීම සිදුවන්නට ඇත්තේ පසුකලෙකදී වර්තමාන ඇමරිකාව ඇතිවූ ආකාරයට සමාන ආකාරයකටය. විදේශ සංක‍්‍රමණික කණ්ඩායම් විටින් විට මෙම දිවයිනට එන්නට ඇති අතර මෙම දිවයින පවතින්නට ඇත්තේ සංක‍්‍රමණිකයන්ගේ දිවයිනක් ලෙසය. වැඩි දෙනෙක් එන්නට ඇත්තේ ඉන්දියාවෙනි. ශිරාන් දැරණියගල කැණීම්වලින් සොයාගෙන තිබෙන තොරතුරු අනුව විජය කතා පුවතින් පිළිබිඹු වන කාලයට වඩා ශත වර්ෂ දෙකක් පමණ ඈතට ගිය කාලයකදීත් වළං භාවිත කළ, යකඩවලින් තනාගත් ගොවි උපකරණ භාවිත කළ, වී වැනි ධාන්‍ය වගා කළ කිසියම් විශාල ප‍්‍රමාණයකට ශිෂ්ටසම්පන්න ජනතාවක් මේ දිවයිනේ ජීවත් වී තිබෙන බව පෙනේ. වංශකතාවල දැක්වෙන ආකාරයට මෙම ජනයා සමන්විත වන්නට ඇත්තේ යක්ෂ, නාග, දේව, වැදි, සිංහ වැනි විවිධ ගෝත‍්‍රවලිනි. මෙම ගෝත‍්‍රික ජන කණ්ඩායම්වලින් සිංහ කණ්ඩායම බලවත්ම කණ්ඩායම වන්නට ඇති අතර මෙම ගෝත‍්‍ර අතර දකුණු ඉන්දියාවෙන් පැමිණි ගෝත‍්‍රිකයන්ද සිටින්නට ඇත. මක්නිසාද යත් ලංකාවට යකඩ තාක්ෂණය ලැබී තිබුණේ ඉන්දියාවෙන් වන නිසාය.

මෙම ගෝත‍්‍රික කණ්ඩායම්වල බලවත්කම හා දියුණුවේ මට්ටම අනුව ඔවුන් අතර කිසියම් ආකාරයක උස් පහත් භේද තිබෙන්නට ඇති අතර ලංකාවේ කුල ක‍්‍රමය ඇතිවන්නට ඇත්තේ ඒ බෙදීම් හරහාය. පැරණි නොදියුණු කණ්ඩායම් පහත් ලෙසත්, වඩා බලවත් හා දියුණු කණ්ඩායම් උසස් ලෙසත් සලකන තත්ත්වයක් තිබෙන්නට ඇත.

ලංකාවට බුද්ධාගම පැමිණෙන කාලය වනවිට මෙම ගෝත‍්‍රික කණ්ඩායම් මිශ‍්‍රවෙමින් එක ජනවර්ගයක් බවට පත්වෙමින් තිබෙන්නට ඇති අතර බුද්ධාගම පැමිණීමත් සමග බුද්ධාගම පිළිනොගත් වැදිජනයා හැර අන් සියලූ ගෝත‍්‍රිකයන් බුද්ධාගම අදහන බෞද්ධයන් බවට පත්වන්නට ඇත. මෙසේ බුද්ධාගම අදහන්නන් වීම තුළ ඒ සියලූ දෙනා බුද්ධාගම අදහන එක ජනවර්ගයක් බවට හා ඒකආගමික සමාජයක් බවට පත්වන්නට ඇති අතර බුද්ධාගම එම ජනවර්ගය හඳුනා ගන්නා ප‍්‍රධාන ලක්ෂණය බවට පත්වන්නට ඇත. පිටතින් එන සංක‍්‍රමණිකයන් බුද්ධාගම වැළඳ ගැනීම මගින් එම ජනවර්ගයට එකතු වන්නට ඇත.

එහෙත් ඉන්දියාවෙන් ලංකාවට නොකඩවා පැමිණි සංක‍්‍රමණික ජන කණ්ඩායම් මොන හේතුවක් නිසා හෝ බුද්ධාගම වැළඳ නොගෙන තමන් ඇදහූ හින්දු හෝ ශිව ආගම අදහන තත්ත්වයක් ඇතිවීම නිසා එතෙක් ලංකාවේ ජනසමාජය කෙරෙහි බුද්ධාගමට තිබූ ඒකාධිකාරී ආගමික අයිතිය අහිමි වී එතෙක් සමාජයේ පැවති ඒකආගමික ස්වභාවය නැතිවී සමාජය ද්විආගමික සමාජයක් බවට පත්වන්නට ඇත. ඒ සමග බුද්ධාගම හා සිංහල භාෂාව ප‍්‍රධාන ජනවර්ගය හඳුනා ගන්නා ප‍්‍රධාන ලක්ෂණය බවට පත්වන්නට ඇති අතර හින්දු ආගම හා දෙමළ භාෂාව අනෙක් ජනවර්ගය හඳුනා ගන්නා ප‍්‍රධාන ලක්ෂණය බවට පත්වී සමාජය ද්විවාර්ගික හා ද්විආගමික සමාජයක් බවට පත්වන්නට ඇත. ඒ සමග බුද්ධාගම වැළඳ ගැනීම බෞද්ධ සිංහල ජනවර්ගයට එකතුවීමට තිබෙන ප‍්‍රධාන මාර්ගය බවට පත්වන්නට ඇති අතර හින්දු ආගම වැළඳ ගැනීම හින්දු දෙමළ ජනවර්ගයට එකතුවීමට තිබෙන ප‍්‍රධාන මාර්ගය බවට පත්වන්නට ඇත.
ජනවර්ග දෙකක් ඇති කිරීමට බලපෑ මෙම ආගම් දෙකම එකම රටක එකම සමාජ පසුබිමකින් බිහිවී තිබීම, මෙම ආගම් දෙකම අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වූ ආගම් දෙකක් වීම හා ආගම් දෙකම කර්මය හා පුනරුත්පත්තිය විශ්වාස කරන ආගම් දෙකක් වීම යන හේතු නිසා මේ ආගම් දෙක අතර ගැටුම් ඇති නොවී සහජීවනයෙන් ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවී ක‍්‍රමයෙන් බෞද්ධයන් බුදුන් වන්දනාමාන කරනවාට අතිරේකව හින්දු දෙවිදේවතාවුන් වන්දනාමාන කරන තත්ත්වයක්ද හින්දුන් හින්දු දෙවිදේවතාවුන් වන්දනාමාන කරනවාට අතිරේකව බුදුන් වන්දනාමාන කරන තත්ත්වයක්ද ඇතිවන්නට ඇත. ඒ නිසා ලංකා සමාජය බෞද්ධ, සිංහල හා හින්දු දෙමළ යන බෙදීමක් තිබියදී එක ආගමක් වෙනුවට කිසියම් ප‍්‍රමාණයකට ආගම් දෙකක් අදහන සමාජයක් බවට පත්වන්නට ඇත. මෙම විපර්යාසය රජවරුන් කෙරෙහිද බලපාන්නට ඇත. ඔවුන්ද කිසියම් ප‍්‍රමාණයකට එක ආගමක් වෙනුවට ආගම් දෙකක් එනම් බුද්ධාගම හා හින්දු ආගම අදහන රජවරුන් බවට පත්වන්නට ඇත.

දුටුගැමුණුගේ ධර්ම යුද්ධය

මාගේ මතය අනුව ලංකාවේ රජවරුන්ගේ ඒකආගමික ස්වරූපය සංකේතාත්මක අර්ථයෙන් අවසන් වන්නේ දුටුගැමුණුගෙනි. ලංකාව එක්සේසත් කිරීම යන අර්ථයෙන් ගෞරවය හිමිකරගෙන සිටින අනෙක් රජවරුන් සිව්දෙනාම සැලකිය හැක්කේ එක ආගමකට සීමා නොවූ බුද්ධාගමට අතිරේකව කිසියම් ප‍්‍රමාණයකට හින්දු ආගමද ඇදහූ ද්විආගමික රජවරුන් ලෙසය.

බෞද්ධ නොවන රජවරුන් බලයට පත්වීම වඩාත්ම පීඩාකාරී ලෙස බලපාන්නට ඇත්තේ සංඝයා වහන්සේලා කෙරෙහිය. රජු බෞද්ධයකු වූ විට සංඝයා වහන්සේලාට රජු කෙරෙහි බලපෑමේ ලොකු හැකියාවක් තිබුණු අතර එනිසා සංඝයා වහන්සේලාටද ලොකු පිළිගැනීමක් ලැබී තිබුණි. සුරතිස්ස රජු සිහසුනෙන් නෙරපා දෙමළ අශ්ව වෙළෙඳුන් දෙදෙනකු ලෙස සඳහන් වන සේන හා ගුත්තික අවුරුදු 22ක් රජකම් කිරීම ඒ විෂයෙහි සංඝයා වහන්සේලාට මුහුණ දෙන්නට සිදුවූ පළමු අත්දැකීම විය. දේවානම්පියතිස්ස රජුගේ කනිටු සොහොයුරකු වූ අසේල එම දෙමළ රජවරුන් දෙදෙනා පරාජය කොට සිහසුන හිමිකර ගත්තත් තවත් අවුරුදු 10කට පසුව අසේල සිහසුනෙන් පහකොට රාජ්‍ය බලය අල්ලා ගත් එළාර අවුරුදු 44ක් රජකම් කළේය.

සේන, ගුත්තික සේ ම, එළාරද කාගේ කවුද, කොහෙන් පැමිණියේද, බලය අල්ලා ගත්තේ කෙසේද යන්න තේරුම් ගැනීමට අවශ්‍ය කරන තොරතුරු වංශකතාවල සඳහන් නොවනවා සේ ම වෙනත් ආකාරවලින්ද හෙළිදරව් වී නැත. සේන හා ගුත්තික බුද්ධාගමට විරුද්ධව ක‍්‍රියා කළ බවක් වංශකතාවල සඳහන්වන්නේ නැත. ඒ වෙනුවට කියා ඇත්තේ ඒ දෙදෙනා දැහැමින් රජ කළ බව පමණය. එළාර හඳුන්වා තිබෙන්නේ ස්වාභාවික පුත‍්‍ර සෙනෙහසටත් වඩා බලවත් යුක්තිගරුක භාවයක් පෙන්නුම් කළ රජකු වශයෙනි.

බෞද්ධ නොවන රජකු රජකමේ ඉඳීම නිසා තමන් වහන්සේලාට අහිමි ව තිබුණු පිළිගැනීම හා බලය හිමිකර ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා එළාරට එරෙහිව කරන යුද්ධයකට දුටුගැමුණු පොළඹවා ගත් බව පෙනෙන්නට තිබේ. දෙවැනි තත්ත්වයක සිටි රජකෙනෙකු වශයෙන් පළමු තත්ත්වය හිමිකර ගැනීමේ වුවමනාවක් දුටුගැමුණුට තිබුණේයැ’යි කිව හැකිය. අවසානයේ අබෞද්ධ එළාර පරාජය කිරීම සඳහා ආගමික මුහුණුවරත් ගත් යුද්ධයත් කරළියට ගැනුණු අතර එම යුද්ධයේදී භික්ෂූන් වහන්සේලාද යුද හමුදාව සමග එකට ගමන් ගත් බව සඳහන් වේ.

යුද්ධය අවසන්වන්නේ රජවරුන් දෙදෙනා අතර කෙරෙන ද්වන්ද්ව යුද්ධයකිනි. එය තරුණයකු හා මහල්ලෙකු අතර කෙරෙන ද්වන්ද්ව යුද්ධයක් ලෙසද සැලකිය හැකිය. ඉන් මරණයට පත් එළාරගේ මළසිරුරට සක්විති රජකෙනෙකුට දැක්විය යුතු ගෞරවය පුදකළ යුතුයැ’යි ජයග‍්‍රාහී දුටුගැමුණු රජු අණකරන ලදුව එළාර රජු මැරී වැටුණු තැනම සියලූ ගෞරවය ඇතිව දේහය ආදාහන කරවා එහි චෛත්‍යයක් ද ඉදිකරවා එම ස්මාරකය ළඟින් යනවිට තූර්ය නාද නතර කළ යුතු බවටද නියෝග කළේය.

කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජයාට සිදුවූ ආකාරයටම ජයග‍්‍රාහී ගැමුණු රජුටද ඇතිවූයේ සොම්නසකට වඩා දොම්නසකි. රජුගේ දොම්නස පහකරන්නට යුද්ධයෙන් මියගියවුන්ගේ සංඛ්‍යාව අළලා භික්ෂූන්වහන්සේලා දෙන ලද අර්ථකථනය රජු තුළ ඇතිවී තිබූ දොම්නස පහකරන්නට හේතුවූ බව පෙනෙන්නේ නැත.

1 වැනි විජයබාහු පරාක‍්‍රමබාහු 1,2 සහ 6

දුටුගැමුණුගෙන් පසු කාලයේ පහළ වූ බොහෝ රජවරුන් එක ආගමකට සීමා නොවූ බුද්ධාගමට අතිරේකව කිසියම් ප‍්‍රමාණයකට හින්දු ආගමද ඇදහූ ද්විආගමික රජවරුන් ලෙස සැලකිය හැකිය. දුටුගැමුණුට පසුව රට එක්සේසත් කරන ලද රජවරුන් හතරදෙනා ලෙස සැලකෙන 1 වන විජයබාහු රජු, 1 වන පරාක‍්‍රමබාහු රජු, 2 වන පරාක‍්‍රමබාහු රජු හා 6 වන පරාක‍්‍රමබාහු යන රජවරුන් අයත් වන්නේද ඒ ගණයටය.

1 වැනි විජයබාහු රජු බුද්ධාගමේ අභිවෘද්ධිය සඳහා බොහෝ දේ කරන අතර හින්දු ආගමේ අභිවෘද්ධිය පිණිසද බොහෝ දේ කළේය. කන්තලෙන් සොයාගෙන ඇති සෙල් ලිපියකට අනුව රජු එහි තිබෙන ශිව කෝවිලට පිරිනමන ලද වස්තුව රැුකබලා ගැනීමේ වගකීම භාරකොට ඇත්තේ රජුගේ වේලක්කාර හමුදාවටය. එම කෝවිල ‘විජය රාජ් ඊශ්වර’ නමින් හැඳින්වීමෙන් පෙනෙන්නේ එම කෝවිලද රජු විසින් කරවන ලද කෝවිලක් බවය. එම රජු චෝල ආධිපත්‍යයට එරෙහිව දිග්ගැසුණු සටනකින් බලයට පැමිණි රජකු වුවද රජුගේ සේනාවේ ප‍්‍රබලම කණ්ඩායම බවට පත්ව සිටියේ දකුණු ඉන්දියානු වේලක්කාර සෙබළුන්ය. වේලක්කාර සේනාවෙන් එල්ල වූ මහා කැරැුල්ලකින් පසුත් රජුගේ වැඩිම විශ්වාසයට හේතුවී තිබුණේද ස්වදේශීය සේනා නොව වේලක්කාර සේනාය. රජු තමන්ගේ හා දළදාවේ ආරක්ෂාව භාරදී තිබුණේ වේලක්කාර සේනාවන්ටය. රජුගේ දෙවැනි බිසව තිලෝක සුන්දරී දකුණු ඉන්දියානු කුමාරිකාවක වූ අතර රජු සිය සොහොයුරිය විවාහ කොට දුන්නේද දකුණු ඉන්දියාවේ දෙමළ රජ පවුලක පාණ්ඩව කුමාරයෙකුටය.

1 වැනි පරාක‍්‍රමබාහු රජුද බුද්ධාගමේ අභිවෘද්ධිය පිණිස ආධාර කරන අතර හින්දු ආගමේ අභිවෘද්ධිය පිණිස ද ආධාර කළේය. එම රජු හින්දු දේවාල 13ක් අලූතෙන් ඉදිකරන ලද අතර අබලන් වී තිබූ හින්දු දේවාල 79ක් ප‍්‍රතිසංස්කරණය කළේය. එම රජුද සිය අගමෙහෙසිය බවට පත්කර ගත්තේ දකුණු ඉන්දියානු කුමාරිකාවකි. රජු සිය නැගණිය විවාහ කොට දුන්නේද දකුණු ඉන්දියානු කුමාරයෙකුටය.

ෂෂ වැනි පරාක‍්‍රමබාහු රජතුමාද හත්වැනි සියවසේදී 1 වැනි දප්පුල රජු විසින් උපුල්වන් දෙවියන් සඳහා දෙවුන්දර ඉදිකර තිබූ දේවාලය අලූත්වැඩියා කරවා ඒ දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ උළෙලක්ද ඇති කළේය. මේ රජුට අසාධ්‍ය රෝගයක් වැළඳුණ අවස්ථාවේදී උපුල්වන් දෙවියන්ගෙන් පිහිට ලබාගැනීම සඳහා දේවපතිරාජ ඇමතිවරයා එහි යවන ලද බව චූලවංශයෙහි සඳහන් වේ. ඉන් රජුට පිහිටක් ලැබී නැතත් රජු එම දේවාලයට සරු ගම්වර කිහිපයක් පරිත්‍යාග කළේය.

6 වන පරාක‍්‍රමබාහු රජුද උපුල්වන් (වරුණ) දෙවියන්ට සතර කෝරළයේ අලූත් නුවර දේවාලයක් ඉදිකළේය. එසේම එම රජු කෝට්ටේ අසල තුන්මහල් පත්තිනි දේවාලයක් ඉදි කළේය. එම රජු විසින්ම 2 වැනි පරාක‍්‍රමබාහු රජු කාලයේදීම ආර්ය කාම නමැති බ‍්‍රාහ්මණයෙකු විසින් සබරගමුවේ සමන් දෙවියන් සඳහා ඉදිකර තිබූ දේවාලය ලොකු විසිතුරු දේවාලයක් බවට පත් කොට එහි පැවැත්වෙන පූජා උත්සව සඳහාත් කපුරාළලාගේ නඩත්තුව සඳහාත් යන වියදම් සඳහා එම දේවාලයට ගම්වරයක්ද පවරා දුන්නේය.

දුටුගැමුණුගෙන් පසුව ලංකාව බිහිකරන ලද රජවරුන් එක ආගමකට සීමා නොවූ බුද්ධාගමට අතිරේකව කිසියම් විශාල ප‍්‍රමාණයකට හින්දු ආගමද ඇදහූ ද්විආගමික රජවරුන් වේය කියන මාගේ කල්පිතය තහවුරු කිරීමට මා ඉදිරිපත් කරන ලද සාක්ෂි ප‍්‍රමාණවත් වේයැ’යි සිතමි. මගේ කල්පිතය සත්‍යයක් නම් ලංකාවේ නිල ඉතිහාසයේ මූලික දර්ශනයද වැරදිය. මෙම ද්විත්ව ලක්ෂණය රජවරුන්ට පමණක් සීමාවූ දෙයක් නොවීය. භික්ෂූන් වහන්සේලාටද, පන්සල්වලටද, බෞද්ධයන්ටද ආවේණික පොදු ලක්ෂයක් වීයැ’යි කිව හැකිය.

පොළොන්නරු යුගය අවසන් වන්නට පෙර සිටම හින්දුන් විසින් යුද්ධයට අධිපති දෙවියන් ලෙස සලකන ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවියන් ඇදහීම බෞද්ධ සිංහලයන්ගේද ජනප‍්‍රිය ඇදහිල්ලක් බවට පත්ව තිබුණේය. මුලදී රජවරුන් ඉදිකළ ස්ථූප ඉතා කුඩා වූවා සේ ම ඉතා චාම්ද විය. එහෙත් පසුව ඉදිකරන ලද ස්ථූප ඉතා විශාල වූවා සේ ම කැටයම් රූපවලින් අලංකාර කරන ලද ඒවාද විය. ඒවාහි කැටයම් කර තිබෙන දෙවිවරුන් අතර බ‍්‍රහ්ම හා වෛශ‍්‍රවණ ද වේ. ලංකාතිලක සෙල් ලිපිය අනුව ලංකාවේ ආරක්ෂක දෙවිවරුන් ලෙස සැලකුණේ උපුල්වන්, සමන්, විභීෂණ, ස්කන්ධ යන දෙවිවරුන් සතරදෙනාය. මහාවංශය ලංකාවේ ආරක්ෂක දෙවියා වශයෙන් සලකා ඇත්තේ උපුල්වන්ය. මේ ආගම් දෙක මුලදී තිබූ දුරස්ථ බව නැතිවී පසුව ඇතිවන ළංවීම පෙන්නුම් කරන නිදර්ශනයක් මෙසේය. පොළොන්නරුවේ අංක 2 දරන ශිව දේවාලය තනා ඇත්තේ බෞද්ධ ප‍්‍රතිමා ගෘහවලින් ඈත්වන ලෙසය. එහෙත් 12 වැනි සියවසට අයත් අංක 1 ශිව දේවාලය තනා ඇත්තේ දළදා මැදුරේ බුදුමැදුරට සමීපවය. අනුරාධපුරේ බෞද්ධ සිද්ධස්ථානවලට ඉතා සමීපව හින්දු නටබුන් හමුවී තිබේ. මාතෘ දේවාලය හදා තිබෙන්නේ ථූපාරාමයට ආසන්නයේය. සංස්කෘතික ති‍්‍රකෝණය පිහිටා ඇති ජේතවනාරාමයෙන්ද හින්දු ලෝකඩ පිළිම හමුවී තිබේ. උපුල්වන්, සමන්, විභීෂණ, ස්කන්ධ යන සතරවරම් දෙවිවරුන්ගෙන් ගණ දෙවියන්ගේද රූප ලංකාතිලක විහාරයේ බිත්තිවල කුහරවල ඇත්තේය. ගඩලාදෙණිය විහාරයේ සතරවරම් දෙවිවරුන්ගේ රූපවලට අතිරේකව බ‍්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර, සුයාම, සන්තුසිත යන දෙවිවරුන්ගේද රුප දැකිය හැකිය. එහි එම දෙවිවරුන් දක්වා තිබෙන්නේ බුදුන් වහන්සේගේ පිරිවර ලෙසය.

මෙම ප‍්‍රවණතාව තුළ පන්සල අසල පමණක් නොව පන්සල් භූමියේම දේවාල ඇතිවිය. මෙම දේවාලවල දිනපතා පැවැත්වෙන තේවාවන්හිදී පළමුව බුදුන් වහන්සේටත් ඉන්පසු එම දෙවිවරුන්ටත් පූජා පවත්වන ක‍්‍රමයක් ස්ථාපිත විය. පන්සලේ භික්ෂූන් වහන්සේලා සවස දේවාලයට ගොස් රජමාලිගයේදී රජුට පිරිත් කියන ආකාරයටම ඒ දෙවිවරුන්ටත් පිරිත් කීහ.

පූර්ව නූතන යුගයේදී මිනිසුන් බෙදන ප‍්‍රධාන බෙදුම් රේඛාවන් දෙක වී තිබුණේ ආගම හා කුලයයි. එකල ජාතිය යන්නෙන් අදහස් කළේද කුලයයි. එයා අපේ ජාතියේ කෙනෙකු කියන විට එහි තේරුම වූයේ එයා අපේ කුලයේ කෙනෙකු යන්නය. පිටස්තරින් එන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට බුද්ධාගම වැළඳ ගැනීම මගින් සිංහලයකු වීමටත්, හින්දු ආගම වැළඳ ගැනීම මගින් දමිළයකු වීමටත් පුළුවන්කමක් තිබුණි. රැල්ෆ් පීරිස් කියා තිබෙන ආකාරයට උඩරට රාජ්‍යයේ ජීවත් වූ මරක්කල (මුස්ලිම්) මිනිසුන්ට ස්ථිර කුලයක් හිමි නොවූයේ ඔවුන් අදහන ආගම අත්නොහැරීම නිසාය. ආගම අත්හැරියේ නම් ඔවුන් සිංහලයන් ලෙස සැලකෙන්නට ඉඩ තිබුණා සේ ම සිංහල කුල ක‍්‍රමය තුළ කිසියම් කුලයක් හෝ උපකුලයක්ද ඔවුන්ට ලැබෙන්නේය.

මුලදී ලංකාවේ සියලූ ජනතාව ඇදහූ ආගම වූයේ බුද්ධාගමය. හින්දු ආගම කරළියට ඒමත් සමග බුද්ධාගම සිංහල කතා කරන ජනයාගේ ආගම වී හින්දු ආගම දෙමළ කතා කරන ජනයාගේ ආගම බවට පත්විය. පෘතුගීසි කාලයේ කතෝලිකාගම කරළියට ඒමත් සමග සිංහලයන් සඳහා බුද්ධාගමටත්, දමිළයන් සඳහා හින්දු ආගමටත් තිබූ ඒකාධිකාරී තත්ත්වයත් නැතිවිය. ඉන්පසු බුද්ධාගම සිංහලයන් වැඩිදෙනකුගේ ආගම බවටත්, හින්දු ආගම දමිළයන් වැඩි දෙනකුගේ ආගම බවටත් පත්විය. ආගමික අර්ථයෙන් කිසිදු වෙනසක් ඇති නොවූයේ ඉස්ලාම් ආගම ඇදහූ මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් පමණය.

මා ලංකා ඉතිහාසයේ පූර්ව නූතන යුගය ගැන ඇති කරගෙන තිබෙන තවත් කල්පිතයක් වනුයේ ඒ යුගයේ බෞද්ධ සිංහලයන් හා හින්දු දමිළයන් අතර ගැටුම් ඇති කිරීමට හේතුවන පසමිතුරු බවක් නොතිබුණු බවය. අභ්‍යන්තර යුද්ධ සේ ම ආක‍්‍රමණික යුද්ධයද රටේ තිබුණි. ඒ සියලූ දේ තිබියදීත් බුද්ධාගම හා හින්දු ආගම අතරත් බුද්ධාගම හා හින්දු ආගම අදහන ජනයා අතරත් හොඳ සහජීවනයක් තිබුණි. සිංහලයන් අතර දමිළ විරෝධී හැඟීමක්වත් දමිළයන් අතර සිංහල විරෝධී හැඟීමක්වත් නොතිබුණි. සිංහල දෙමළ භේදය කරළියට ආවේ නූතන යුගයේදීය.

පූර්ව නූතන යුගයේ පොළොන්නරු යුගය දක්වා ලංකාව තිබුණේ සාපේක්ෂ වශයෙන් ඉතා දියුණු තත්ත්වයකය. එතැන් සිට උඩරට රාජධානියේ අවසානය දක්වා ලංකාව පැවතියේ ඊට පෙර හිමිකරගෙන තිබුණු දියුණු තත්ත්වයට වඩා පහළ තත්ත්වයක හා දීර්ඝ කාලයක් එක තැන පල්වෙන තත්ත්වයකය. ඉන්පසු හිටපු නොදියුණු තත්ත්වයෙන් සිය ගුණයක් තරම් ඉහළ තත්ත්වයකට ලංකාව එසවුණේ බි‍්‍රතාන්‍ය පාලන යුගයේදී නැතහොත් සුද්දාගේ පාලන යුගයේදීය. පොළොන්නරු යුගයෙන් පසු ඇතිවන පරිහානිය කෙරෙහි බලපෑ විවිධ හේතූන් අතර සිංහල හා දෙමළ සමාජයේ පැවති කුල ක‍්‍රමයද වැදගත් හේතුවක් ලෙස බලපෑවේය. අප මහත් උද්දාමයෙන් කතා කරන පරණ සිංහල රජ කාලයේදී ජනගහනයෙන් අඩක් පමණ දෙනා සැලකුණේ පහත් හීන මිනිසුන් ලෙසය. සමහර පීඩිත කුලවලට උඩුකය වැසීමේ අයිතියක් පවා නොතිබුණේය. කොතරම් උළු තිබුණත් සාමාන්‍ය ජනයාට උළු සෙවිලි කිරීම තහනම් විය. බිත්තිවල සුදුහුණු ගෑම තහනම් විය. උළු සෙවිලි කිරීම් හා සුදුහුණු ගෑමේ අයිිතිය තිබුණේ රජුට රදළයන්ට හා ආගමික දේවස්ථානවලට පමණය. ඇඳුම් ඇඳිය යුතුව තිබුණේද කුලය විසින් නියම කර තිබුණු ක‍්‍රමයටය. ඕනෑම පුද්ගලයකුගේ කුලය ඇඳුම ඇඳගෙන සිටින ක‍්‍රමය අනුව හඳුනාගත හැකිවිය. භේදයකින් තොරව සියලූ මිනිසුන් නීතිය ඉදිරියේ සමානයන් ලෙස සලකන තත්ත්වයක් ඇතිවූයේද සුද්දාගේ පාලන යුගයේදීය. ලංකාව නූතන රාජ්‍යයක් හා නූතන සමාජයක් සහිත නූතන රටක් බවට පත්වූයේද ඒ සුද්දාගේ කාලයේදීය.

ලංකාවේ නූතන යුගය පිළිබඳව නිල ඉතිහාසයේ පෙනෙන්නට තිබෙන ලොකුම දුර්වලතාව වනුයේ බි‍්‍රතාන්‍ය යුගය ආරම්භ වනවිට ලංකාවේ ජනයා සිටි සැබෑ තත්ත්වය හා බි‍්‍රතාන්‍ය යුගයේදී ඔවුන් ඉහළට එසවුණු තරම ප‍්‍රමාණවත් තරමින් සැලකිල්ලට නොගැනීමය. බි‍්‍රතාන්‍ය යුගය පිළිබඳව සියලූ විවේචනයන් සිදුවිය යුත්තේ එම ඓතිහාසික සත්‍යය හොඳින් සැලකිල්ලට ගැනීමෙන් පසුවය. ලංකාවේ නිල ඉතිහාසයට ආවේණික එම වැරදි ඓතිහාසික ප‍්‍රවේශය ලංකාවේ නූතන යුගය පිළිබඳව අපේ දැක්ම මුළුමනින් අවුල් කිරීමටත් විකෘති කිරීමටත් හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..