sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» »Unlabelled » මාධ්‍ය යනු.. මාධ්‍යවේදියා යනු..

ලොකු ප‍්‍රශ්නාර්ථයක් සහිතව කොළඹ පුවරු හා තාප්පවල සති අන්තයේ අලවා තිබූ පෝස්ටරයකින් කියා තිබූයේ ශී‍්‍ර ලංකාවට අල්-ඛිඩා තර්ජනයක් ඇති බව ය. එය ඒ සති අන්තයේ ඉංගී‍්‍රසි පුවත්පතක ප‍්‍රධාන වාර්තාකරණය බැව් තේරුම් යන්නේ පසුව ය. ඒ ගැන සිය විරෝධය පළ කරමින්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරියට ජුලි 07 දාතමින් ලිපියක් ලියා දන්වා ඇත්තේ, ‘…. ඔබේ පුවත් පත අලෙවි කිරීමට ජාත්‍යන්තර ත‍්‍රස්ත සංවිධානයකට අදාළ සිරස්තල හා ඡුායාරූප යොදා ගැනීමෙන් එවැනි සන්නද්ධ සංවිධාන සැබැවින්ම මෙරට ඇතැ’යි සාමාන්‍ය පොදු මතයක් හැදෙන්නට ඉඩ ඇත…. ඔබගේ ව්‍යාපාරික භාවිතාවේදී වගකීමෙන් හා ආචාරධර්මීයව කටයුතු කරන මෙන් සහ ඉතා අසීරුවෙන් රැුකගන්නා සිංහල හා මුස්ලිම් සහසම්බන්ධතාවට හානි නොකරන මෙන් අපි ඔබගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමු.’ යනුවෙනි.

කොළඹ මාධ්‍ය වගකීමකින් තොරව හැසිරීම පිළිබඳ ආසන්නම සාක්ෂිය එවැනි ය. කර්තෘවරුන්ට ඇත්තේ පුවත්පතේ අලෙවිය සඳහා වගකීමකට අමතරව, හාම්පුතාට නොඅඩුව වගකීම ය. එනිසා ගෝඨාභය රාජපක්ෂට, ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය අපුල්ලා ගැනීමට සම්පූර්ණ පිටු වෙන් කෙරේ. බොදු බල සේනාවට ඔවුන්ගේ අතේ රෝල් සඳහා නොකඩවා කාලයත් පිටුත් වෙන් කෙරේ. වල් වැදුණු ඇමති පුත‍්‍රයන්ගේ පව් සේදීමට සම්මුඛ සාකච්ඡුා පළකෙරේ. ඒවාට විරුද්ධ අයට මඩ ගැසීමට තවත් කාලය හා පිටු වෙන් කෙරේ. කිසිදු තර්කානුකූල බවක් නැති යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්, භූතයන් හා යක්ෂ පේ‍්‍රතයන්ගේ හාස්කම්, බලි තොවිල් වැනි අන්ධ හා මිථ්‍යා විශ්වාස ගැන විශාල වාර්තා දෛනිකව මෙන් පළකෙරේ. විකාශනය කෙරේ. ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නා වැඩසටහන් අධ්‍යක්ෂවරුන්, කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ද අඩු නැත. දැන් ඇත්තේ නිදහසේ අයාලේ යන කසළ මාධ්‍යය(Junk Media)කි.

මේ කසළ මාධ්‍ය සංස්කෘතිය ගැන කිසිදු විවරණයක් විශ්ලේෂණයක් නොකරන මාධ්‍ය සංවිධාන, ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය ඉල්ලති. ඒ සඳහා විරෝධතා සංවිධානය කරති. මේ තියෙන්නාවූ මාධ්‍ය භාවිතය සඳහා එවැනි අලූත් නිදහසක් ස්වාධීනත්වයක් ඉල්ලන්නේ ඇයිදැ’යි තේරුම් නොකරති. මේ කසළ මාධ්‍ය නිදහස් පවිත‍්‍ර මාධ්‍යයක් කර ගැනීමට අලූතින් නිදහසක් හා ස්වාධීනත්වයක් ඇත්තෙන්ම අවශ්‍යද?

මේ රටේ මුල් යුගයේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයෙහි වූ අතිශය පටු හිමිකාරිත්වය එහි නිදහස් භාවිතාවට ගැටලූවක් නොවිණ. එනිසාදෝ මාධ්‍යවේදීන් වෘත්තීය සමිති තුළ සංවිධානයවීමට උනන්දු වූයේ නැත. ගුවන් විදුලිය රජයේ දෙපාර්තමේන්තුවක් වූ අතර මුද්‍රිත මාධ්‍ය නැතිනම් පුවත්පත් කිහිපය පවුලක දෙකක බූදලයක් විය. 60 දශකය ලැබූ පසු මේ තත්ත්වය තරමක වෙනසකට බඳුන් විය. ගුවන් විදුලිය රාජ්‍ය සංස්ථාවක් බවට පත් කෙරුණු පසු එහි වැඩ සටහන් සහ විකාශනයේ ව්‍යාප්තියක් සහ සේවක සංඛ්‍යාවෙහි ශීඝ‍්‍ර ඉහළ යාමක් වූ අතර, ඒ පිරිස් වෘත්තීය සේවකයන් ලෙස සංවිධානය වූහ. ඒ අනුව 1967 දී පමණ ලංකා වෙළඳ සේවක සංගමයේ (සී.එම්.යූ) මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පළමු වැඩ වර්ජනය දියත් විය.

1972 න් පසු ලේක්හවුස් ආයතනය රාජ්‍යගත කෙරුණු පසුවත් රූපවාහිනිය ආරම්භ වූ පසුවත් මේ ආයතනවල වෘත්තීය සමිති පිහිටුවා ගනු ලැබූයේ ආණ්ඩු බලයේ ඉන්නා ප‍්‍රධාන දේශපාලන පක්ෂයේ පසුගාමී පිරිස් විසිනි.

නව තාක්ෂණයේ නව මාධ්‍ය

එතෙක් පැවති සියලූ සීමා තහංචි ඉවත් කෙරුණු ආර්ථිකයක් 1978 න් පසු තහවුරු වන්නේ ය. ඉන්පසු, එතෙක් ගනුදෙනු නොවුණු ගෝලීය සමාජය සමග ගනුදෙනු කිරීමේ නිදහස සහ අයිතිය මෙරට සමස්ත සමාජයට ලැබිණ. එතෙක් මේ රටට ලබා ගත නොහැකි වූ නව තාක්ෂණයක්, දියුණු කළමනාකාරිත්ව දැනුමක් හා තරගකාරී වෙළෙඳපලක්ද ලබා ගත හැකි විය.
අලූත් තාක්ෂණයත් අලූත් ප‍්‍රකාශන පහසුවත් අලූත් අලංකාර පෙනුමත් සමග අලූත් තරුණ පරපුරක් මාධ්‍යයට ඇතුළු වන්නේ මේ යුගයේ ය. 90 දශකයට අප පය ගසන්නේ පරිගණක තාක්ෂණයේ විශාල නව ඉදිරියක් ඇතිව ය. විවෘත වෙළෙඳපල ආර්ථිකයෙන් ඉඩ ලද පෞද්ගලික අයිතිය ද මාධ්‍ය බහුවිධකරණයේ දී වැදගත් සාධකයක් විය. නව පෞද්ගලික රූපවාහිනි සහ අද ඉතා ජනපි‍්‍රය එෆ්එම් ගුවන් විදුලි නාලිකා බිහි වන්නේ ඒ අනුව ය.

ආණ්ඩු විසින් ඒවා පාලනය කිරීමට ගුවන් තරංග වෙන් කිරීමේ සහ විකාශනය කිරීමේ අවසරය ලබා දීමේ බලය තමන් අත රඳවා ගත්තේ ය. එනිසා තාක්ෂණික මෙවලම් සහ විකාශනය කිරීමේ හැකියාව අඩු ආයෝජනයකින් ලබා ගත හැකි වූවත් මාධ්‍ය ආයතන ලෙස කි‍්‍රයාත්මක වන්නට ආණ්ඩුවේ බල සම්පන්නයන් හා ගනුදෙනු කිරීමේ දේශපාලන හෝ වෙනත් සම්බන්ධයක් තිබිය යුතු විය. මාධ්‍ය නිදහසත් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියත් සමාජ කතිකාවට පැමිණෙන්නේ මානව හිමිකම් වෙනුවෙන් කතා කළ, සමාජීය මත හසුරුවන නාගරික කි‍්‍රයාකාරීන්ගේ ඉල්ලීමක් ලෙස ය.

මේ සමග නිදහස් ආර්ථිකයේ වෙළෙඳ ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක කර්මාන්තය ද බලසම්පන්න සාධකයක් බවට පත් වී, මේ අලූත් විද්‍යුත් සන්නිවේදනය තරගකාරී ක්ෂේත‍්‍රයක් බවට පරිවර්තනය කළේ ය. අද මාධ්‍ය පවතින්නේ මාධ්‍යවේදීන්ගේ හැකියාව මත නොව, මාධ්‍ය ආයතනයේ දැන්වීම් හා වෙළෙඳ කළමනාකරුගේ දක්ෂකම් මත ය. ආයතනයේ ලාභය සඳහා ඔවුන්ට ද දැන් මාධ්‍යයේ අන්තර්ගතයට බලපෑම් කළ හැක. මාධ්‍යයෙහි ප‍්‍රවෘත්ති වැදගත් වන්නේ ඒ සන්දර්භය ඇතුළෙහි ය. මෙය විෂම චක‍්‍රයකි. ජනපි‍්‍රය මාධ්‍ය හා වැඩසටහන් තීන්දු කිරීම් හා තේරීම් අතර අද විද්‍යුත්  මාධ්‍යයන්හි ‘ඞී.ජේ. තරු’ හැදීමක් ද ඔවුන් වෙළඳ ප‍්‍රචාරණය සඳහා කැමැත්තෙන් අලෙවි වීමක් ද සිදු වේ. මේ ඞී.ජේ. තරු සඳහා ස්වාධීන නිදහස් මාධ්‍යයක් අවශ්‍ය නැත.

අලූත් සදාචාරයේ අලූත් මාධ්‍යවේදීන්

මේ අයුරු පරිවර්තනය වී ඇති මාධ්‍ය දැන් පවතින්නේ වඩ වඩාත් දූෂිත වූ ආර්ථිකයක, එලෙසින්ම දූෂිත වූ දේශපාලන බලහත්කාරයක් සමගින් බව අමතක නොකළ යුත්තකි. එබැවින් මේ මාධ්‍ය ක්ෂේත‍්‍රය අද කළු සල්ලි අපුල්ලන ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් බවට ශීඝ‍්‍රයෙන් පත්ව ඇත. මාධ්‍ය වැඩිමනත් නඩත්තු වන්නේ පිටතින් ලබා ගන්නා ආදායම් පොම්ප කිරීමෙනි. මාධ්‍යවේදීන්ට ලබා දිය හැකි වාසි හා වරප‍්‍රසාද ගණන් හැදෙන්නේ පිටස්තර ගනුදෙනු සඳහා මාධ්‍ය ආයතන පවත්වා ගැනීමට ව්‍යාපාරිකයන්ට අවශ්‍ය හෙයිනි.

එවැනි වාසි සමගින් මාධ්‍යවේදීන් වීමේ දී ඒවා භුක්ති විඳීම හැර වෘත්තීය අභිමානයක් ගැන කතාවක් ඉතිරි වන්නේ නැත. සංවිධානය වීමේ හා වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් වැදීමේ ඉතිහාසයක් නැති සම්ප‍්‍රදායක් නැති, තරගකාරි පාරිභෝගික සමාජයක මාධ්‍යයට ඇතුළුව ඉන්නා අතිබහුතර පිරිස් දන්නේ මේ සරුවපිත්තල මාධ්‍ය පමණි. ඔවුන්ද ඔවුන් එකිනෙකා අතර, ජනපි‍්‍රය තරු වීමේ පුදුමාකාර තරගයක නිරතව ඉන්නවුන් ය. ඔවුන්ට මාධ්‍ය සදාචාරයක් ගැන සමාජ වගකීමක් ගැන කතා අදාළ නැත.

නව මාධ්‍යයක නව මාධ්‍යවේදියෙකු වීම

දැනට මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සක‍්‍රිය පැවැත්මක් ඇති වෘත්තීය සමිති නැත. යම් ස්වාධීන පෙනුමක් සමගින් වූ ශී‍්‍ර ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ පැවැත්ම, රාජ්‍ය නීතිගත ආයතනයක තත්ත්වයට පත් කිරීමේ තීන්දුව 1987 දී ගැනිණ. එකල බලයේ සිටි සංගම් නායකයන් ද වගකිව යුතු වන එම තීන්දුව සමග 1987 අංක 46 දරන පනතින් මේ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය සංස්ථාපිත ආයතනයක් බවට පත් කෙරෙන්නේ ය. එය වෘත්තීය සමිතියක්යැයි මාධ්‍යවේදීන් සිතා සිටියත් 1987 නොවැම්බර 30 වන දින සිට අංක 46 දරන එකී පනත බලාත්මක වන්නේයැ’යි පනත සම්මත කිරීමේ දී තීන්දු කර ඇති හෙයින්, එතැන් සිට එය වෘත්තීය සමිතියක් නොවේ. පසුකාලීනව කිහිප වර සංශෝධනය කරනු ලැබූ 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනතින් වෘත්තීය සමිතියක් ලබන්නා වූ ලියාපදිංචියත් නීතිමය බලය හා ආවරණයත් වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයට හිමි වන්නේ නැත. එනිසා එහි කි‍්‍රයාකාරිත්වය බලයේ සිටින ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට ඔබ්බෙන් නොයන්නේ ය. අනෙක්වා කිසිවක් ද පිළිගත හැකි කි‍්‍රයාශීලි සාමාජිකත්වයක් ඇත්තේ නොවේ. නව නිදහස් හා වෘත්තීය මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව එනිසාම අද ඉස්මත්තට ගැනෙන්නේ නැත.

අද පළමුව මතු කළ යුතුව ඇත්තේ මාධ්‍යවේදීන්ගේ විමුක්තිය සම්බන්ධ කතාව ය. වෘත්තීය අභිමානය තහවුරු කර ගැනීම පිළිබඳ කතාවය. තමන්ගේ අයිතිවාසිකම් ගැන පැහැදිලි අවබෝධයක් නොමැති සහ තම මූලික සේවා අයිතීන් දිනා ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් අනුන්ගේ අයිතිවාසිකම් ගැන සමාජයට තොරතුරු විස්තර ඉදිරිපත් කිරීම, වාර්තා කිරීම හා තර්ක කිරීම එක්තරා ආකාරයක විහිළුවක් වන බැවිනි. වැටුප්ලාභී වෘත්තිකයන් ලෙස මාධ්‍යවේදීන්ටද මේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, මේ රටේ කම්කරු නීතිවලට අනුව, වැටුප් ලබන අනෙක් සියලූ සේවකයන්ට හිමි සේවක අයිතිවාසිකම් තිබිය යුතුය. ඒ සඳහා, මාධ්‍යවේදීන් අතර මතු කළ යුතු වැදගත්ම ප‍්‍රශ්න කිහිපයකි.

01. මේ රටේ සියලූ පුරවැසියනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර දී ඇති මූලික අයිතියක් වන සංවිධානය වීමේ අයිතිය මාධ්‍යවේදීන්ට තිබේද? නැතිනම් කුමක් කළ හැකිද?

02. ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් පිළිගන්නා ලදුව, අත්සන් තබා ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 වන සහ 98 වන ප‍්‍රඥප්ති යටතේ වැටුප් ලබන සියලූ සේවකයන්ට තමන්ගේ අභිමතය මත වෘත්තීය සමිතියකට බැඳීමට ඇති අයිතියත් සේවකයන්ට සාමූහිකව කේවල් කිරීමට ඇති අයිතියත් මාධ්‍යවේදීන්ටත් කිසිදු අඩුවක් නැතිව අදාල බැව් දන්නේද? දන්නේ නම්, එම අයිතීන් සම්බන්ධයෙන් කුමක් කරන්නේද?

මේ කාරණා පිළිබඳව තවමත් කිසිදු මාධ්‍ය සංවිධානයක් කතා කරනු අසා නැත. ඒ කිසිත් නැතිව, මාධ්‍ය නිදහස ආණ්ඩුවෙන් ඉල්ලන, මාධ්‍ය මර්දනය ගැන කතා කිරීම, ඇත්ත ප‍්‍රශ්නය අත හැර පරණ පහසු කතාවෙහි එල්බ සිටීමක් පමණි. පරණ කතා සමග නතර වීමෙන් මාධ්‍ය නිදහස් හා ස්වාධීන මාධ්‍යයක් වන්නේ ද නැත.

 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..