දුමින්දගේ ආටක නාටක

ඉස්සර කදම්භ නදිය වූද පසුව මල්වතු ඔය වූද ඒ ගංගා නිම්නය අසබඩ විජය රජුන් හා පැමිණි අනුරාධ නම් සෙනෙවි තෙමේ ජනාවාසයක් තනා ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉනික්බිති මේ අනුරාධ නගරය සිය අග නගරය බවට පත්කර ගනු ලබන්නේ පණ්ඩුකාභය රජුන් විසිනි. එවක එය අංග සම්පූර්ණ අග නගරයක් වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එතැන් පටන් අනුරාධපුරය වූ පුරවරය ලෝ පතළ මිනිසුන්ට සෙවණ දුන් බිමකි. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට උතුම් වූ සම්බුදු දහම රැගෙන ආවේද අනුරාධපුරයටය. සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු රජුන් සිය අග නගරය කරගත්තේද අනුරාධපුරයයි. අනුරාධපුරය එදා පටන් මේ වනතුරුද ලෝකයක් මවිත කරන්නට හපන්ය. අනුරාධපුරයේ පසුකාලීනව බිහිවන නායකයන්ද එසේ වෙතැයි රටේ මහජනතාවගේ පොදු මතයයි.


යහපාලන ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ධුරය අනුරාධපුරයට හිමි වන්නේද සමහර විට ඒ මතයේම පිහිටා විය හැකිය. කලක් තිස්සේ බතින් බුලතින් සාර වූ වැව් බැඳි බිමකින් බිහිවන දේශපාලකයන්ද ස්වභාවයෙන් ජනතා සුබසාධනයට ප්‍රිය වෙතැයි ජනතාවගේ මතයයි.
එහෙත් පසුගිය වකවානුවේ ඒ ජනතා සුබසාධන කොටස අතහැර දැමූ දේශපාලකයන් නිතරම ජනතාවට මුණගැසුණේය. ඒ ලංකාවේ දේශපාලනයේ හැඩය යැයි සිතූ ජනතාව, ඒ ක්‍රමය වෙනස් කරන්නට පියවරක් ගත්හ. ඒ, ජනවාරි අට වැනිදා ආණ්ඩු පෙරැළියයි. සිය මැතිවරණ පොරොන්දු ප්‍රකාරව රට යහපාලනය වෙත ගෙන යෑමේ වගකීම අලුත් ආණ්ඩුව වෙත පැවරුණේය.


දැන් බොහෝ කලක් ගතව ගොස්ය. ආණ්ඩුව තවදුරටත් අලුත් ආණ්ඩුවක්ම නොවේ. ආණ්ඩුව පරිණත වෙද්දී දැන් දැන් සිදුවන සමහර දේ දකිනා ජනතාවට හිතෙන්නේ 'හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට' කියාය. එවැනි ආණ්ඩුවකින් ජනතාවට වැඩක් නැත.
පසුගිය දිනෙක කෘෂිකර්ම අමාත්‍යාංශය පැත්තෙන් ඇහෙන්නේද එහෙම කතන්දරයකි. යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමේ කටයුතු පිටුපස සිටි දැවැන්ත දේශපාලකයකුගේ වූද පෙර කී අනුරාධපුරයෙන් කරළියට ආ ප්‍රකට දේශපාලකයෙක් පුත්‍රයෙක් වූද කෘෂිකර්ම ඇමැතිතුමා වූ දුමින්ද දිසානායක මහතා මේ කතාවට වගකිවයුතුමය. එතුමා නොදැන මෙවැන්නක් සිදුවේ නම් එයම අරුමයකි.


ඒ ප්‍රවෘත්තියට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුලියට ගත් ගොඩනැඟිල්ලකට රුපියල් අටකෝටි හතළිස් ලක්‍ෂයක මුදලක් කුලිය වශයෙන් ගෙවා තිබේ. ඒ මාස හතරක කාලයකටය. මෙහි අරුම පුදුම කතාව වන්නේ මේ ගොඩනැඟිල්ලට කුලී ගෙව්වා මිස පරිහරණය නොකිරීමය. මසකට රුපියල් දෙකෝටි දස ලක්‍ෂයක් ගෙවා ලබාගත් ගොඩනැඟිල්ල පරිහරණය කර නැත. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය වසර දෙකක කුලිය වශයෙන් රුපියල් පනස් කෝටි හතළිස් ලක්‍ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇත. අංක සී / ඒ. ජී. එල් / 15 / ඒ.කිව්. / 21 යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් යවනු ලැබූ ලිපියක මේ පිළිබඳ සඳහන්ව තිබේ. ඉහත ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පසුගිය මැයි හය වැනිදා විමසා ඇතැයිද දැනගන්නට ලැබේ.


කෙසේ නමුත් මෙසේ කෝටි ගණනක මුදලක් අවභාවිතයට ලක්වන්නේ ලංකාවේ විශාල නිවාස අර්බුදයක් ඇති විටෙක වීමම ඛේදයකි. පසුගිය වකවානුවේ සිදුවූ ස්වාභාවික සහ වෙනත් විපත්වලින් නිවාස අහිමි වූවන් ලක්‍ෂ ගණනකට තවමත් නිසි පරිදි නිවෙස් ලබාදී නැත. එවැනි තත්ත්වයක් යටතේ කෘෂිකර්ම ඇමැතිතුමන්ගේ මේ ක්‍රියාදාමය කිසිසේත්ම අනුමත කළ නොහැකිය.


අනුරාධපුරයෙන් එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ට නායකයන් සෑම විටම කටයුතු කළේ ජනතාව වෙනුවෙනි. ඒ ජනතා සුබසිද්ධිය වෙනුවෙනි. එහෙව් බවක් දැන හෝ නොදැන වැඩකටයුතු කරනා මේ නායකයාට, අනුරාධපුරයේ පෙර සිටි නායකයන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දෑ තිබේ. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයෙක් ලෙස පුංචි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනා ඇමැතිවරයෙක් අතින් මාස හතරකට රුපියල් කෝටි අටක් නිකරුණේ නැති නාස්ති වී යෑම, තවදුරටත් බලා සිටින්නට කාරණාවක් නොවේ. ජනතාව 'යහපාලන' ආණ්ඩුව පත් කරගත්තේද එසේ බලා සිටින්නට නොවේ.

මව්බිම

0 comments:

ලේ සුවඳට ඉව ඇල්ලීම (කැනහිලෙක්ගේ නීච ප්‍රකාශය)

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුදුදහමට වෙන් කර දී තිබෙන තැන එසේම පැවතිය යුතු බව පසුගියදා කොළඹ සම්බෝධි විහාරයේදී පැවති උත්සවයකට සහභාගි වූ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ තීරණාත්මක ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකාව අනාගමික රටක්‌ හෙවත් Seජමක්‌ර රටක්‌ බවට පත්කරන්නට කට්‌ටියක්‌ සූදානම් වන්නේ යෑයි කියන ආරංචියක්‌ රට පුරා පැතිර යමින් තිබියදී ය. අනාගමිකවාදය නොහොත් Seජමක්‌රසිප තුළදී රාජ්‍යය සහ ආගම යන දෙක එකකට එකක්‌ සම්බන්ධ නැති ආයතන දෙකක්‌ බවට පත්කරනු ලැබේ. ඉන්පසු රටේ රජයට මිනිසුන් ආගම ඇදහුවත් එකයá නැතත් එකය. අනාගමිකවාදය පවතින කතෝලික රටවල නත්තලට නිවාඩු නැතá වෙසක්‌ එකට නිවාඩු ද නැත. වෙනත් විදියකින් කිවහොත් අනාගමික රටවල රජය පන්සල එක්‌ක මෙන්ම පල්ලිය එක්‌ක ද සම්බන්ධයක්‌ නැත. ඒ පල්ලිය කතෝලික වේවා, මුස්‌ලිම් වේවා, එයිනුත් ඔවුන්ට වැඩක්‌ නැත. කොටින්ම අනාගමික රටක්‌ තුළ ආගමට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක්‌ නැත. උදාහරණයක්‌ ලෙස ගත්තොත් ලංකාව අනාගමික රටක්‌ නම් එහි තවදුරටත් විහාර දේවාලගම් පනත නැත. රෝමානු ලන්දේසි නීතිය පමණක්‌ ඇත. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්‌ථානවලට අඩුවට ලයිට්‌ නැත. ගිsහියන්ගේ ගෙවල්වලින් ගෙවන සම්පූර්ණ විදුලි බිලම එකී පූජනීය ස්‌ථාන විසින් ආණ්‌ඩුවට ගෙවනු ලැබිය යුතුය.

මිනිසකුට ආගමක්‌ අවශ්‍ය නැතැයි කාල් මාක්‌ස්‌ කියයි. මාක්‌ස්‌වාදයට අනුව බිහි වූ සෝවියට්‌ සංගමය අනාගමික රාජ්‍යයකි. එහෙත් අද වන විට කැබලි වී තිබෙන සෝවියට්‌ සංගමයේ රටවල් යළි ආගම් අදහන්නට පටන්ගෙන තිබේ. මනුෂ්‍යයා දියුණු වූයේ ශිෂ්ටාචාරය නිසාය. ශිෂ්ටාචාරය ආලෝකමත් වූයේ ආගම නිසාය. අප මේ කියන්නේ දෙවියන් උකසට තබා මිනිසුන්ගේ බෙලි කපන, මිනිසුන් ඇසිඩ් භාජනවල ඔබන ආගමික අන්තවාදය ගැන නොව මනුෂ්‍යයාගේ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කරන ආගම් ගැනය. කොයි ආගමත් හොඳයි. ඒවා කන්නේ මනුෂ්‍යයා ය.

බුදු දහමට හිමි තැන එසේම තිබිය යුතුය යනුවෙන් අගරදගුරුතුමා පැවසීම මේ රටේ ආගමික සංහිඳියාවේ ආරම්භය ලෙස ගත නොහැකිද? කිතුනුවෙක්‌ බුදුදහම ගැන ප්‍රසාදයෙන් කතා කරන විට බොදුනුවෝ සැනසෙති. බොදුනුවෙක්‌ කිතුදහම පැසසූ කල කිතුනුවෝ සැනසෙති. බොදුනුවෙක්‌ හෝ කිතුනුවෙක්‌ ඉස්‌ලාමයෙහි ගුණ කී කල ඉස්‌ලාමිකයෝ සැනසෙති.

අගරදගුරුතුමා ආගමික සංහිඳියාව ඇති කරන්නට මුල පුරන එවැනි මොහොතක මෙරට මාධ්‍ය ලේ සුවඳට ඉව අල්ලන බව කියමින් ආණ්‌ඩුව සහ මාධ්‍ය අතර ප්‍රශ්නයක්‌ ඇති කිරීමට උත්සාහ කරන කැනහිලෙක්‌ ගැන පසුගියදා අපට දැනගන්නට ලැබීන. මේ තීරුව පීචං කට්‌ටිය ගැන කතා කිරීම ප්‍රතිපත්තියක්‌ වශයෙන්ම කරනු නොලැබේ. එහෙත් ඉහත සඳහන් ප්‍රකාශය කළ කැනහිලා ගැන යමක්‌ සඳහන් කළ යුතුය. ලේ සුවඳට ඉව අල්ලන්නෝ තිරිසනුන්ය. එසේ නම් අපගේ කථානායක කැනහිලා කියන්නේ මේ රටේ මාධ්‍ය තිරිසන් බවය. මේ ප්‍රකාශය කළ කැනහිලා මන්ත්‍රී ආධුනිකයෙකි. ඔහු මේ නීච ප්‍රකාශය කරන අවස්‌ථාවේදී ඔහු සමඟ එක ළඟ හිඳගෙන සිටින්නට පළපුරුදු දේශපාලනඥයකු වන ගයන්ත කරුණාතිලක මහතාට ද සිදුවිය. එය එතුමාට සිදු වූ අගෞරවයක්‌ ලෙස සලකමු. තැන නොතැන නොබලා කතා කරන ගොබ්බයකු නොවන ගයන්ත කරුණාතිලක මහතා ඒ අවස්‌ථාවේදී නිහඬවම පසුවිය. මන්ත්‍රී ආධුනිකයා ගයන්ත වැනි පළපුරුදු දේශපාලනඥයකුගෙන් දේශපාලනය උගත යුතු බව අපගේ විශ්වාසයයි. ජනාධිපතිතුමාගේ හෝ අගමැතිතුමාගේ දේශපාලන ස්‌වරය හෙවත් ඔදබැ එක ගන්නට පෙර කී ආධුනිකයාට තව අවුරුදු 150 ක්‌ පමණ ගතවනු ඇති. ඔහුගේ ලේ සුවඳට ඉව අල්ලන කතාව පොදුවේ මාධ්‍යයට කෙරුණු තර්ජනයකි. කටුස්‌සාට රන් මාලය පැළ» විට සිදුවන විනාශය ඔන්න ඕකය.

divaina -

0 comments:

රට කැළඹූ බොරු පොරොන්දු දේශපාලනය.

ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයාවූ ඩී. එස්‌. සේනානායක මහතා 1952 වර්ෂයේ මාර්තු 22 දින ගාලුමුවදොර පිටියේදී අසුපිටින් ඇද වැටී මියගිය පසුව පාර්ලිමේන්තුවේ සභානායක ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතාට අගමැති ධුරය සම්ප්‍රදායිකව හිමි විය යුතු නමුත් අග්‍රාමාත්‍ය ධුරය ඩී. එස්‌. සේනානායකගේ පුත් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ඩඩ්ලි සේනානායකට හිමි කර දුන්නේය. ඔහු 1952 අප්‍රියෙල් 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැවත මහ මැතිවරණයකින් බලය ලබා ගැනීම සඳහාය. මහ මැතිවරණය මැයි මස 24, 26, 28 සහ 30 යන දිනවලදී පැවැත්විණි. ඡන්ද දායකයන් 29,90,912 දෙනෙක්‌ ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටියහ. ඉන්දියානු හා පාකිස්‌තාන් පුරවැසි පනත නිසා මෙවර ඉන්දියානු සම්භවයක්‌ ඇති දෙමළ ජනයාටද ඡන්ද බලය හිමි විය. මැති වරණයෙන් එ. ජා. පක්‍ෂයට මන්ත්‍රී ධුර 57 ක්‌ හිමිවූ අතර තනි පක්‍ෂයක්‌ ලැබූ වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණය විය. ශ්‍රීලනි පක්‍ෂය 09 හා ලංකා සම සමාජ පක්‍ෂයට 10 ක්‌ද කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට 03 ක්‌ද හිමිව තිබුණි. මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 101 කි. මැතිවරණයෙන් පසුව 1952 ජුනි 19 දින ඩඩ්ලි සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. මුදල් අමාත්‍ය ධුරය ඡේ. ආර්. ජයවර්ධන විසින් දරන ලද අතර 1953 අය වැය ලේඛනය තුළින් ජනතාව එතෙක්‌ බුක්‌ති විඳින ලද සහනාධාරයන් විශාල වශයෙන් කප්පාදු කිරීමකට කටයුතු යෙදිණ. අය-වැය පරතරය පියවීම සඳහා ආහාර සහනාධාරය කපාහැරිය යුතු බවට මුදල් ඇමැතිවරයා කරන ලද යෝජනාව එක්‌සත් ජාතික පක්‍ෂය අනුමත කරන ලද අතර 1953 ජුලි 23 දින අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ආහාර සහනාධාරය ඉවත් කිරීමෙන් සලාක සහල් මිල ශත 25 සිට 75 දක්‌වා ඉහළ ගිය අතර සීනි මිලද වැඩි විය. එක්‌වරම සහල් මිල තුන් ගුණයකින් ඉහළ දැමීමත් සලාක සහල් මිල ශත 25 බැගින් නොකඩවා දෙන බවට 1952 මහ මැතිවරණයේදී දෙන ලද පොරොන්දුව කඩ කිරීමත් නිසා මෙම පියවරයන් තුළින් ජනතාව ප්‍රකෝප විය. ඒ අතර පාසල් දරුවන්ට එතෙක්‌ නොමිලේ ලබාදුන් දිවා ආහාර නවතා දැමීමත් දුම්රිය හා තැපැල් ගාස්‌තු වැඩිකිරීමත් වෙනත් පනවන ලද තීරුගාස්‌තු හා අයබදු පැනවීමත් නිසා මැතිසබයේ අය-වැය කතාව පැවැත් වෙද්දීම එහි යෝජනාවලට විරෝධය පෑම සඳහා පාර්ලිමේන්තු මන්දිරය අබියස ගාලුමුවදොර පිටියේ මහජන රැස්‌වීමක්‌ පවත්වන ලදී. විරුද්ධ පක්‍ෂ නායකයන් එම රැස්‌වීම අමතන ලද අතර රැස්‌වීම කෙලවර වූයේ මහත් කලබැගෑනියකිනි. මැතිසබය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ ජනතාව පොලිසිය විසින් විසුරුවා හරින ලදී.

ජුලි 23 දින පැවැති මේ උද්ඝෝෂණ රැලිය නිසා මෙරට ජනතාව රජයට විරුද්ධව සංවිධානය වීමට ඇති ඉඩකඩ පුළුල්වූ අතර ලංකා සම සමාජය පක්‍ෂයේ පිලිප් ගුණවර්ධන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ එස්‌. ඒ වික්‍රමසිංහ, නව ලංකා සමසාමජ පක්‍ෂයේ ආචාර්ය එන්. එම්. පෙරේරා යන මාක්‌ස්‌වාදී නායකයන් ප්‍රධාන කොට ශ්‍රීලනි පක්‍ෂයේ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායකද සම්බන්ධ කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ කැඳවා විරෝධතා දිනයක්‌ ලෙස 1953 අගෝස්‌තු 12 වෙනි දින ප්‍රකාශයට පත්කර ලදී. එය "හර්තාලය නමින් නම්කරන ලදී. හර්තාලය සඳහා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ද කැඳවන ලද අතර අය වැය යෝජනාවලට විරෝධය පළකරමින් අත් පත්‍රිකා බෙදාහැරීමද සිදු කරන ලදී.

විපක්‍ෂයේ ඒකමතික භාවයෙන් සංවිධානය කෙරුණු හර්තාලය සාර්ථක වූ අතර බස්‌ සේවය හා දුම්රිය සේවය රටපුරාම අඩපණ විය. රාජ්‍ය යන්ත්‍රය ක්‍රියා විරහිත විය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වීදිවලට පැමිණි ජනතාව රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල එල්බගත් අතර පෙළපාලි යමින් රජයේ ගොඩ නැඟිලි හා ප්‍රවාහන සේවාවලට (පෞද්ගලික අංශයට) අලාභ හානි කරන මට්‌ටම දක්‌වා හර්තාලය උග්‍රවිය. රාජ්‍ය විරෝධී කැරැල්ලක්‌ අත්නොදුටු මාක්‌ස්‌වාදී නායකයන්ට පවා පාලනය කරගත නොහැකි මට්‌ටමින් ජනතාව වීදි බටහ. රජය හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කොට ඇඳිරි නීතිය පැනවූ අතර පොලිසිය හා මහජනතාව අතර කොළඹ නගරයේත් මුහුදුබඩ නගර කීපයකත් විශාල ලෙස ගැටුම් ඇතිවිය. මේ වන විට ජනතාව දෙමටගොඩ ප්‍රදේශයේ කෝච්චිපාරේ තබාගෙන "ආප්ප" පිච්චු බවටද වාර්තා විය. ඉන් ප්‍රකාශ වූයේ ආණ්‌ඩු විරෝධය ඉතා ඉහළ මට්‌ටමකට පැමිණ තිබූ බවය.

මහජන විරෝධය මධ්‍යයේ ගස්‌ කපා පාරවල් මැදට ඇද දමා තිබූ අතර මහරගම හෝමාගම පාරේ දැවැන්ත මාරගස්‌ පාර හරහා කපා දමා තිබුණි. කිරුළපනේ පාර මැද තාරපීප්ප ගිනිගත් අතර මොරටුව, වස්‌කඩුව, කලුතර දුම්රිය මාර්ගවලට දැවැන්ත ගස්‌ පෙරළා අවහිර කර තිබුණි. අම්බලන්ගොඩ, බළපිටිය හා කොස්‌ගොඩ ගාලුපාර කාන්තාවන් විසින් රැකවල් කරන ලදී. කොළඹ සියලු කඩ සාප්පු වැසින. වරාය කම්කරුවෝ හැම මාවතකම සැරිසරමින් විරෝධතා සටන් පාඨ වලට ජනතාව ඒකරාශී කළහ.

ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යැම ගැටලුවක්‌ බවට පත්ව තිබූ අතර කැබිනට්‌ මණ්‌ඩලය අගමැතිගේ ප්‍රධානත්වයෙන් වරායේ නැවක රැස්‌වූ බවටද වාර්තා විය. හතර අතින්ම මෙදින (12) පැමිණි වාර්තාවලින් කියවුණේ ජනතාව වීදි බැස ඇති බවය. මේ තත්ත්වය වැළැක්‌වීමට රජය උපරිම ශක්‌තිය යෙදවීමට තීරණය කරන ලදී.

බඩුමිල වැඩිවීමට විරුද්ධව නැගී සිටි ජනතාව මෙල්ල කිරීමට හදිසි නීතිය පමණක්‌ නොව ඇඳිරි නීතියටද අපහසු වූ තැන හමුදාව හා පොලිසිය යොදවා වෙඩි තැබීමට රජය අණ දුන්නේය. 1953 අගෝස්‌තු 12 "හර්තාලය" මගින් ආණ්‌ඩුව පෙරළීම වලක්‌වා ගන්නා ලද්දේ මේ කෲර වෙඩි තැබීම මගිනි. පොලිස්‌ හමුදා වෙඩි තැබීම්වලින් පහත සඳහන් අය මරුමුවට පත්විය.

1. ඇඩ්වින් මයා - පිටකොටුව

2. ඇල්බදුරගේ අල්විස්‌ - ඡේගම

3. ඇස්‌ එච්.රූබල් - ඌරගහ

4. ටී. ඇම්. පනාගොඩ - දොඩන්දූව

5. ඇස්‌. කේ. ඒ. පියසේන - දොම්පෙ

6. ඇස්‌. කේ. ඒ. වික්‍රමසිංහ - දොම්පේ

7. කේ. ඒ. සාදිරිස්‌ - දොම්පෙ

8. ඩග්ලස්‌ නික්‌ලස්‌ - මෝදර

9. ටී. සිරිසේන - කිරුළපන

ජීවිත 9 ක්‌ අහිමි වීමෙන් පසු රජය සහල් මිල අඩුකළ අතර දේශපාලන අර්බුදයකටද රජය තල්ලු කෙරිණි.

අගමැති ඩඩ්ලි සේනානායක මහතා අවංකව සිදුවූ මරණ සම්බන්ධයෙන් වේදනාවට පත්වූ අතර පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ දැඩි විවේචනවලට භාජනය විය. අගෝස්‌තු 17 සිට සැප්. 01 දින දක්‌වා පාර්ලිමේන්තු වාද විවාද වලදී අගමැතිවරයාට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට මාක්‌ස්‌වාදී නායකයන් කටයුතු කළ අතර අගමැතිවරයාගේ මානසික තත්ත්වය බිඳවැටී තවදුරටත් තනතුරේ රැඳී සිටීම ගැටලුවක්‌ බවට පත්විය සැප්. 01 දින රජයට විරුද්ධව විශ්වාසභංගයක්‌ සඳහා විපක්‍ෂය එකඟ වූ අතර අගමැති ඩඩ්ලි සේනානායක මහතා එවක අග්‍රාණ්‌ඩුකාර ධුරයේ වැඩ බැලූ ඇලන් රෝස්‌ (සෝල්බරි සාමි පිටරට ගොස්‌ සිටි නිසා) හමුවී මීළඟ අගමැති ධුරයට ඡේ. ආර්. ජයවර්ධන නම් කළත් එය භාර ගැන්මට ඔහු අකමැති වී සෝල්බරි සාමි අග්‍රාණ්‌ඩුකාරවරයා ඉක්‌මනින් ලංකාවට ගෙන්වා ගත්තේය. සැප්. 10 දින සෝල්බරි සාමි ලංකාවට පැමිණි අතර ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට තවදුරටත් විවේක ගන්නා ලෙසත් ඉල්ලා අස්‌ නොවන ලෙසත් ඔහු උපදෙස්‌ දී තිබිණි. නමුත් තවදුරටත් අගමැති ධුරය දැරීමට අකමැතිවූ ඩඩ්ලි සේනානායක මහතා 1953 ඔක්‌තෝබර් 12 දින අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌වී ඒ වන විට ප්‍රවාහන වැඩ ඇමැති හා සභාපති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. වැඩි කළ හාල් මිල වහාම අඩුකිරීමට ඔහු උපදෙස්‌ දුන්නේ ඉන් අණතුරුවය.

සමරසේන මුදලිගේ

0 comments:

සහල් මිල හා ප්‍රවාහන ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව ඇරඹූ 1953 අගෝස්‌තු හර්තාලය

1953 අගෝස්‌තු 12 වැනි දින පැවැති හර්තාල් අරගලයට 2015 අගෝස්‌තු 12 වැනි දිනට වර්ෂ 62 ක්‌ සම්පූර්ණ වෙයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

අගෝස්‌තු හර්තාලයේ අරගලයට මූලික වූ ආර්ථික හා දේශපාලන පසුබිම 1951 දී රුපියල් මිලියන 345 ක්‌ වූ වෙළෙඳ අතිරික්‌තය 1953 වන විට රුපියල් මිලියන 200 ක හිඟයක්‌ බවට පත්විය. 1952 පටන් රටේ විදේශ සම්පත් ක්‍ෂයවීමට මුල් වූ හේතු අනාවරණය කරමින් එවකට එ.ජා.ප. ආණ්‌ඩුවේ මුදල් ඇමැතිවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන මෙසේ පැවැසීය. ලෝක යුද්ධ සමයේ ඉහළ ගිය ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් කොරියානු යුද සමයේ ඇති වූ වෙළෙඳ වාසි නිසා ක්‍ෂය වීමට ඉඩ නොදී රැක ගත හැකි විය. 1952 ජනවාරි වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209 ක්‌ දක්‌වා ඉහළ ගිය අතර කොරියානු යුද සමයේ සෞභාග්‍යය කෙළවරවීමත් සමඟ රුපියල් මිලියන 30 බැගින් එම ශේෂය සිඳී ගියේය. 1953 ජූලි අය - වැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්‌වා පහත වැටී තිබිණි.

ඒ අතර ධාන්‍ය සඳහා අප ගෙවූ මිල වැඩි වූ අතර රබර් වලින් අප ලද ආදායම අඩු විය. හුදෙක්‌ සියලුම විදේශ සබඳතා බටහිරට යොමු වී තිබිණි. ඇමරිකා එක්‌සත් ජනපදයෙන් ඩොලර් මිලියන 50 ක ආධාර ලබා ගැනීමටත්, තේ හා රබර් වලට වැඩි මිලක්‌ ලබා ගැනීමටත් ගත් පරිශ්‍රමයත් නිෂ්පල විය.

ලෝක බැංකුවේ උපදෙස්‌

ලංකාව 1950 සිට ලෝක බැංකුවේ සාමාජිකත්වය ගෙන තිබිණි. ලෝක බැංකුව විසින් මහජන සුබසාධන කටයුතු කපා හැර, සමාජ ආරක්‍ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම නතර කරන්න යෑයි ආණ්‌ඩුවට නිර්දේශ කරනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1953 අය - වැය ලේඛනයෙන් පාසල් දිවා ආහාර වේල කපා හරිනු ලැබීය. අනාථ ආධාර දීමනා අඩු කරනු ලැබී ය. දුම්රිය ගාස්‌තු වැඩිකරනු ලැබී ය. තැපැල් ගාස්‌තු වැඩිකරනු ලැබීය. ආහාර සහනාධාර රුපියල් මිලියන 300 සිට 160 දක්‌වා 50% ක්‌ පමණ අඩු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්‌වා වැඩි විය. (මෙය ද ප්‍රමාණවත් නොවන බව ඡේ. ආර්. ජයවර්ධන මුදල් ඇමැතිවරයා පැවැසීය).

එකල දිවයිනට පැමිණ සිටි ලෝක බැංකු නියෝජිත පිරිසේ නායක සර් සිඩ්නි කේන් මෙම අය - වැය යෝජනා නිර්භීතව පිළියෙල කළ එකකැයි ප්‍රසංශා කරනු ලැබීය. එහෙත් මහජනතාවගේ ප්‍රතිචාරය මීට මුළුමනින්ම වෙනස්‌ විය.

ප්‍රථම වතාවට ලෝක බැංකුවේ උපදෙස්‌ අනුව සකස්‌ කළ අය-වැය යෝජනා

පොදුවේ මේ කරුණු සියල්ලෙන් විශේෂයෙන් සහල් මිල වැඩිවීමට විරුද්ධව පුළුල් උද්ඝෝෂණ ඇති විය. ආහාර සලාකය ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල ගණන් වලට වඩා අඩුමුදලකට ලබා දෙන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ පොරොන්දුවක්‌ විය. 1952 අගෝස්‌තු 1 වැනි දින එක්‌සත් ජාතික පක්‍ෂ පුවත්පත වූ "සියරට" සඳහන් කළේ මේ ආණ්‌ඩුව පවතිනතාක්‌ කල් හාල් සේරුව ශත 25 ක්‌ බවයි. ලෝකයේ ආහාර තත්ත්වය කුමක්‌ වුවත් ලක්‌වැසියා හාමතේ නොතබන බවයි. මේ සඳහන් හුදෙක්‌ මැතිවරණ ජයග්‍රහණ සඳහා කරනු ලැබූ අතිශයෝක්‌ති ප්‍රකාශන වුවත් එම සහනාධාරය සදාකාලික නොවුවත් තව බොහෝ කලක්‌ ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇතැයි යන්න ජනතා විශ්වාසය විය.

වමේ වෘත්තීය සමිති විසින් කැඳවන ලද සාකච්ඡාවකින් පසු අය-වැය යෝජනාවලට ප්‍රථමයෙන් විරෝධයට එක්‌වූයේ සංවිධානය වූ කම්කරු පිරිසයි. අනතුරුව ලිපිකරු හා ගුරුවරුන්ද සහනාධාර ලැබූ ගොවියන් ද, ධීවරයන් ද ඇතුළු සියලුම ජන කොටස්‌ මෙම විරෝධතාවයට එක්‌ වූහ. ගම්සභා. සුළු නගර සභා, මහ නගර සභා, ආයතනවල නියෝජිතයන් ද අය-වැය යෝජනාවලට විරෝධය පෑහ. ආණ්‌ඩුවට ඉල්ලා අස්‌වන ලෙස බලපිටිය, ගාල්ල, මාතර, අනුරාධපුරය, බදුල්ල, යාපනය, මඩකලපුව, ඇතුළු රටේ ප්‍රධාන නගර වල විරෝධතා ව්‍යාපාර පැවැත්වීය. මෙයට විරුද්ධව ජූලි 21 වැනි දින වරාය කම්කරුවන් පැය 3 ක්‌ සංකේත වර්ජනයක යෙදුනාහ. රත්මලානේ දුම්රිය කම්කරුවෝ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය වටලා උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ දියත් කළහ. සමහර ප්‍රදේශවල ජනතාව තම පෙදෙස්‌වල මන්ත්‍රී නිවාස වටලා විරෝධය පෑහ. හැට දහසකගේ අත්සනින් යුතු පෙත්සමක්‌ අග්‍රාමාත්‍යවරයා වෙත පෙළපාලියෙන් ගොස්‌ බාර දුන්හ.

අයවැය විවාදයට ගනු ලැබූ ජූලි 23 වැනි දින වමේ පක්‍ෂවල මෙහෙයවීම යටතේ විරුද්ධ පක්‍ෂ විසින් සංවිධානය කළ විරෝධතා රැලියක්‌ පාර්ලිමේන්තුව අබියස ගාලු මුවදොර පැවැත්විණි. අහුන්ගල්ලේ ද මෙවැනි විරෝධතා රැලියක්‌ විය. ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය හා විප්ලවකාරී සම සමාජ පක්‍ෂය යන වමේ පක්‍ෂ විසින් මෙහෙය වූ වෘත්තීය සමිති එම ව්‍යාපාරය සංවිධානය කළහ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එය අනුමත කළ ද ක්‍රියාත්මක සහායක්‌ දෙනු නොලැබීය. ලංකා ඉන්දියානු සංගමය හර්තාලයට සහභාගිවීම ප්‍රතික්‍ෂේප කළ ද විරෝධතා රැස්‌වීම්වලට සහභාගි වන බව දැන්වීය. මේ අතර අගෝස්‌තු මස 7 වැනිදා 1953/1954 අය-වැය යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර වැඩි ඡන්ද 23 කින් දෙවැනි වර කියවා සම්මත කර ගැණිනි.

හර්තාල් දිනය

1953 අගෝස්‌තු 12 වැනි දින හර්තාලය පැවැත්විණි. විවිධ වෘත්තීය සමිති එක්‌ව හර්තාලය මෙහෙයවනු ලැබීය. වමේ පක්‍ෂ එය සංවිධානය කරනු ලැබීය. පුළුල් සහායක්‌ ලැබුණි. දුම්රිය, බස්‌රිය ධාවනය ඇන හිටිනි. දොම්පෙ, අම්බලන්ගොඩ, බලපිටිය, කොස්‌ගොඩ, නුගේගොඩ ප්‍රදේශවල ජනතාවගේ ක්‍රියාකාරී සහාය විශේෂයෙන් කැපී පෙණුනි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හර්තාලය අතිශයින් සාර්ථක විය. නැගෙනහිර පළාතේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැතුණි. කැබිනට්‌ මණ්‌ඩලය හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇඳිරි නීතිය පැනවීමේ තීරණය ගනු ලැබුවේ ද වරායෙන් ඈත නවතා තිබූ එච්.එම්. එස්‌. නිවුපවුන්ස්‌ නම් යුද නැවේදී ය. රජය හර්තාලයට මුහුණ දෙනු ලැබුවේ ප්‍රචණ්‌ඩකාරී ස්‌වරූපයෙනි. පොලිස්‌ රාජ්‍යයක ස්‌වරූපයෙනි. එහි ප්‍රතිඵලය වූයේ මහජනතාව ද ප්‍රචන්ඩකාරී ස්‌වරූපයකින් ඊට මුහුණ දීමය. එහෙයින් මහජන දේපළ, රජයේ ගොඩනැඟිලි හා ප්‍රවාහන දේපළවලට දැඩි ලෙස අලාභහානි සිදු කළහ. රජය හා රජයට හිතවාදී පුවත්පත් මෙය දුටුවේ දාමරිකකම් පුළුල් ලෙස පැතිරීමක්‌ ලෙසිනි. එහෙත් හර්තාලය නියම ජනතා නැගිටීමක්‌ විය. ආණ්‌ඩුව මැතිවරණ පොරොන්දු කඩකිරීමට එරෙහිව, ජනතාවගේ නැගීසිටීම තුට්‌ටුවකට මායිම් නොකිරීම හේතු කොට ගෙන කෝපාවිශ්ඨ වූ ජනතාවගේ සැබෑ විරෝධය පළ කිරීමක්‌ වූහ.

12 වැනි දා පැවැති හර්තාලය 13 වැනිදා තෙක්‌ පැවැතුණි. නිදහසින් පසු පත්වූ ආණ්‌ඩුව ප්‍රථම වතාවට ජනතාවට වෙඩි තැබීමට නියෝගය දුනි. නව දෙනෙකු පොලිස්‌ වෙඩි පහරින් මිය ගියහ. හදිසි නීතිය හා මහජන ආරක්‍ෂක පනත යටතේ හර්තාලයට සම්බන්ධ ක්‍රියාකාරී කොටස්‌ අත්අඩංගුවට ගැනුණි. දේපළ රජයට පවරා ගැනීම් සෝදිසි කිරීම් සිදු කෙරුණි. තැන තැන ඇඳිරි නීතිය පැනවුණි. වාමාංශික පුවත් පත් තහනම් කෙරුණි. ආණ්‌ඩු පක්‍ෂ පුවත්පත් පමණක්‌ පළවුණි. එම පුවත්වල ප්‍රවෘත්ති සියල්ලම පාහේ හර්තාල් විරෝධී විය. හර්තාලය තවදුරටත් ඉදිරියට ගෙන යැම අනතුරක්‌ වශයෙන් දුටු ඇන්. ඇම්. පෙරේරා (ල.ස.ස.ප.) පිලිප් ගුණවර්ධන (වි.ල.ස.ස.ප.) පීටර් කේනමන් (කො.ප.) යන මහතුන් විසින් හර්තාලය නවත්වන ලෙස ආයාචනය කරනු ලැබීය. ඒ ආයාචනය මෙසේය. 1953 අගෝස්‌තු මස 12 වැනිදා හර්තාල පවත්වන ලෙස කරන ලද ඇයෑදුමට අනුව අනර්ඝ අන්දමින් ක්‍රියා කිරීම ගැන අපි ලංකාවේ බහු ජනතාවට ප්‍රශංසා කරමු. සහල් ඇතුළු සහනාධාර ඉවත් කිරීම ගැන විරෝධය දැක්‌වීමේ දී ජනතාවගේ ශක්‌තිය හා සමඟිය පළ කිරීමට අපට පුළුවන් විය. ආණ්‌ඩුව බියෙන් තැති ගෙන හදිසි අවස්‌ථාවක්‌ පැන නැගී ඇති බව ප්‍රකාශයට පැමිණවීමෙන් රට පාලනය කිරීමට ස්‌වකීය අසමත් බව ප්‍රකාශ කළේය. පොලිසියේ හා ආණ්‌ඩුවේ ප්‍රකෝපකිරීම් වලට හසු නොවන ලෙස හැම දෙනාගෙන් ම ඉල්ලා සිටිමු. මුලින් නිවේදනය කළ පැය 24 ක හර්තාලය (අද බ්‍රහස්‌පතින්දා) උදේ අවසන් විය. එබැවින් නැවත වැඩට ගොස්‌ තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

එහෙත් සේවාවන් යථා තත්ත්වයට ගෙන ඒමට දින ගණනාවක්‌ ගත වනු දැකිය හැකිය. වැඩ වර්ජන ජනතාවට අලුත් දෙයක්‌ නොවීය. හර්තාලය ජනතාවට අලුත් දෙයක්‌ විය. හර්තාලයේ දී වැඩ නැවැත්වීම වැදගත් ස්‌ථානයක්‌ ගන්නේ වී නමුත් එය ප්‍රධාන වශයෙන් වැඩ වර්ජන සටනක්‌ නොවී ය. කම්කරු ජනතාවට පිටින් සිටින පළාත්වල ජනතාව සහභාගී කරවා ගෙන කළ සටනක්‌ විය. කවදාවත් මෙවන් විරෝධයක්‌ අත් නුදුටු ජනතාව මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් වමේ ව්‍යාපාරයට මහජන විශ්වාසයත් ප්‍රසාදයත් පළ කළහ.

හර්තාලයේ දොaංකාරය

අනෙක්‌ අතට හර්තාලය ඉක්‌මනින් අවසන් වුවද හර්තාලයේ දොaංකාරයෙන් රජය දෙදරා ගියේය. මෙහි ප්‍රතිඵල බලාපොරොත්තු වූවාට වඩා බරපතළ විය. හර්තාලයෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතත් හඬක්‌ නැඟීමට වාමාංශික කොටස්‌ සමත් වූහ. 1953 අගෝස්‌තු 18 වැනි දා මහජන ආරක්‍ෂක පනත් විවාදයේ දී රජයට විරුද්ධව දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළ වාමාංශික නායකයන් හර්තාලයේ දී සිදු වූ ප්‍රචණ්‌ඩ ක්‍රියා හමුදාවේ හා පොලිසියේ ප්‍රකෝපකාරී ක්‍රියා වලට විරුද්ධව ආත්ම ආරක්‍ෂාව පතා මහජනතාව දැක්‌ වූ ප්‍රතිචාරයක්‌ ලෙස හඳුන්වා දෙනු ලැබීය. හර්තාලයට හේතු වූ කරුණු පිළිබඳව විවාදයක්‌ සැප්තැම්බර් පළමු වැනි දින පැවැත්විණි. එහි දී පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් මිය ගිය ජීවිත වලට රජය වගකිව යුතු බවත්, 1915 මෙපිට සිදු වූ විශාලතම මිනිස්‌ ඝාතනය එය බවත් හඳුන්වා දෙනු ලැබීය. අගමැතිවරයා ද දැඩි ලෙස දොaශ දර්ශනයට භාජන කරනු ලැබීය. 1953 හර්තාලය කම්කරු පංතියේ ආර්ථික අරගලය දේශපාලන අරගලයක්‌ දක්‌වා වර්ධනය වූ අවස්‌ථාවක්‌ ලෙස සඳහන් කළ හැක. එහි ප්‍රතිඵලය වූයේ අග්‍රාමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්‌වීමයි. සර් ජෝන් කොතලාවල මහතා අගමැති තනතුරට පත් විය. ඔහු විසින් මුදල් ඇමැතිවරයාව සිටි ඡේ. ආර්. ජයවර්ධන මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත් කළේය. ඔක්‌තෝබර් 13 වැනිදා සිට ශත 75 ක්‌ වූ හාල් සේරුව ශත 55 දක්‌වා අඩු කරනු ලැබීය. 1956 මැතිවරණයේ දී එක්‌සත් ජාතික පක්‍ෂයේ පරාජයට මග පෑදුනේ අගෝස්‌තු හර්තාලයයි.

එස්‌. සුදසිංහ

0 comments:

අවුරුදු ගාණක් තිස්සෙ දෙවැනි නවකතාව වටේ කැරකෙමින් හිටියා

 ලියූ එකම නවකතාවෙන් අප්‍රමාණ ප්‍රසිද්ධියට පත් වූ අරුන්දතී රෝයි, ඉන්දියාව කණපිට හැරවූ අපූරු ලේඛිකාවකි. ඇගේ පළමු සහ එක ම නවකතාව වු 'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' 1997 වසරේ දී හොඳ ම ප්‍රබන්ධයට පිරිනැමෙන මෑන් බුකර් සම්මාන දිනා ගත්තා ය. ඇගේ දෙවැනි නවකතාව ඊළඟ වසරේදී නිකුත් කිරීමට නියමිත ය. ක්‍රේල් කොණ්ඩය ගස්සමින්, සංගීතවත් කටහඬින් ඈ සංවාදයාට එකතු විය. මේ, අයිෂ්චර්යා සුබ්‍රමනියම් විසින් huffingtonpost වෙබ් අඩවියට කළ ඒ සාකච්ඡාවේ පරිවර්තනයයි.

ඔබ විනයගරුක ලේඛිකාවක්ද?

ඔව්. මම ඉතාමත්ම විනයගරුකයි. මේ මොහොත නම් මම මගේ අලුත් නවකතාව වෙනුවෙන් උමතු වෙලයි ඉන්නේ. දිනපතා අලුත් නවකතාවේ පි‍ටු කිහිපයක් ලියමිනුයි ඉන්නේ. සමහර වෙලාවට දවස ගත වෙලා ඉවරයි කියලා දන්නෙත් නෑ. හිටපු ගමන් මම වටපිට බැලුවමයි දකින්නෙ අඳුර වැටිලයි කියලා. මගේ ඇස්වලට පතිත වෙන එකම එළිය පරිගණක තිරයෙන් වැටෙන එළිය විතරයි.

මේ ලිවීමේ උමතුව කොයි තරම්ද කියනවා නම්, පහුගිය සතියේ දවසක මම බිත්තරයක් තැම්බෙන්න තියලා ,ඒක අමතක වෙලා දිගටම ලියමින් ඉදලා, කුස්සිය පුරාම දුමක් පැතිරෙන කොටයි දැනගත්තේ තව දුරටත් එතැන බිත්තරයක් නෑ කියලා. ඊට පස්සෙ සතියෙ බැදපු බිත්තරයක් ළිපෙන් බාන්න උත්සාහ කරද්දි හදිසියේම සිහියට ආවා , එතැන ගින්දර මිසක් බිත්තරයක් නෑ කියලා.

මේ ලිවීමේ ක්‍රියාවලියම තරමක් උමතුයි. හැබැයි ඒ සියල්ල අතරේ මගේ විනයගරුක බවේ නම් වෙනසක් නෑ.

ඔබේ අලුත් නවකතාව ගැනයි අපේ උමතුව තියෙන්නේ. එය නිකුත් වන්නේ කවදාද?

ලබන අවුරුද්දේ. ඉතාමත් බලාපොරොත්තු සහගතව මම මේ කියන්නේ.

'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' නිකුත් කර විසි අවුරුද්දකට පසුවයි මේ ඔබේ දෙවැනි නවකතාව නිකුත් කරන්නේ? අපි බලාපොරොත්තු තියාගන්න ඕන මොන විදිහකටද?

'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' නවකතාවෙ දෙවැනි කොටස නොවන ඕනෑම දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්න කියලයි මම කියන්නේ.

අවුරුදු 20ට පසුව මේ මොහොතෙම දෙවැනි නවකතාව ලියන්න ඕනා කියලා ඔබ තීරණය කළේ ඇයි?

ලියන්න ඕනා කියලා මම තීරණය කළේ නෑ. අවුරුදු ගාණක් තිස්සෙම මගේ දෙවැනි නවකතාව වටේ මම කැරකෙමින් උන්නා. ප්‍රබන්ධකරණය සම්බන්ධයෙන් කිසිම දවසක මම හදිස්සි වෙලා නෑ. පහුගිය අවුරුදු 20 පුරාම නොයෙක් තැන්වල සංචාරය කරමින්, බොහෝ දේ ලියමිනුයි මම කාලය ගත කළේ. හරියටම කිව්වොත් ඒ අවුරුදු 20 ඇතුළේ මම පෙරලෙමින් ඉන්න ගලක් වගේ වුණා.

වෙනත් කිසිම විදිහකින් කියන්න බැරි දෙයක් ප්‍රබන්ධයකදී ලේයර කිහිපයක් සහිතව ඉදිරිපත් කරන්න වෙනවා. කියවන්නාට ඒ ලේයර් කිහිපය එකින් එක ගලවා බලන්න පුළුවන් වෙනවා. මට තියෙන්නෙ කොහේ හෝ ඈදිගෙන ඉතාම නිස්කලංකේ ඒ ලේයර් කිහිපය ඇතුළට රිංගන්නයි. අන්තිමේදී ශරීරාංගයක් මගේ ඩී.එන්.ඒ අනුවක් තරමටම ඒ සියල්ල ජීර්ණය වෙන්න ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් ඒවා එකින් එක දහදිය බිංදු වගේ එළිය දාන්න.

ඔබේ මේ ප්‍රබන්ධ ස්වයංලිඛිත චරිතාපදානද?

චරිතාපදාන කියන්නෙ මොනවද? සත්‍ය සිදුවීම් හෝ ප්‍රබන්ධ කියන්නේ මොනවද? මේ ඔක්කොම කෙළවර ඔබ යමක් හිතින් මවාගන්නවා. එතකොට ඒ මවාගන්න දේ සත්‍යයද? අනුන්ගේ ජීවිත අත්දැකීම් තුළ තියෙන ශෝකය හරි සං‍තෝෂය හරි සිතින් මවා ගත්තොත් ඒක ස්වයංලිඛිත චරිතාපදානයක්ද? ඇත්තටම මම දන්නෙ නෑ කියන්න. මට ඒක පැහැදිලි කරන්නත් අපහසුයි. අනන්‍යතාව සහ පෙනී සිටීම පිළිබඳ තර්ක කරමින් ඉන්න ඕනද කියන එකයි සැබෑ ප්‍රශ්නය. ප්‍රබන්ධයක් ලිවීමේ විශාල ක්‍රියාවලිය ගැන වෙනම පැහැදිලි කරන්න වුවමනා නෑ කියලයි මම හිතන්නේ.

ඔබේ ලිවීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද?

මගේ ලිවීමේ ක්‍රියාවලිය ගැන කතා කරනකොට මා ටිකක් ගොළු වෙනවා. මගේ ලිවීමේ ක්‍රියාවලිය ගැන මමවත් හරියට දන්නෙ නෑ. මගේ නවකතාවේ චරිත හැසිරෙන ආකාරය වගේම, ඒ අයගේ චරිතවල සැකැස්ම සකස් කරගන්නෙත් ඒ අයමයි. මම කතා ලියන විදිහ සරල රේඛීය නෑ. මගේ ළඟ කතාවක් තියෙනවා. මං ඒක ලියනවා කියලා දෙයක් මගේ ළඟ නෑ. මම එහෙම ලියන කෙනෙක් නෙවෙයි.

කතාවක් ලියන්න ඒක ඇතුළට කිදා බැස්සට පස්සේ වැඩේ ලේසි නෑ. නියමාකාර න්‍යායක් මගේ ළඟ නෑ ඒක පැහැදිලි කරන්න. මම මෙහෙම කියන්නම්. පු‍ටුවක වාඩි වෙලා ලිවීම තමයි ඉතා ම වැදගත් වෙන්නේ. හැබැයි ඒ ලියමින් ඉන්න හැම වෙලාවකම මං හිතනවා ලියන්න ඕන පරිපූර්ණ කතාවම මගේ ළඟ තියෙනවා කියලා. ඒක නිකං හිතෙන් සංගීතයක් වාදනය කරනවා වගෙයි. මම ඒ වාදනය ඇතුළේ නො ඉන්න කිසිම මොහොතක් ඇත්තෙ නෑ.

ප්‍රබන්ධ නොවන දේ ගැන ඔබ දක්වන අදහස මොකක්ද?

ප්‍රබන්ධ නොවන දේ ඉතාම හදිස්සියෙයි මම ලියන්නේ. එහෙමත් නැත්නම් තරමක් ආවේගයෙන්. දේශපාලන ලිපියක් ලියන හැම වෙලාවකම මම හිතන්නෙ ආයෙ නම් කිසිම දේශපාලන ලිපියක් ලියන්නෙ නෑ කියලයි. ඒත් ඒක දිගින් දිගටම සිද්ධ වෙනවා.

ඒ කියන්නෙ තව දේශපාලන ලිපි ලියනවා කියන එක නේද?

ඔව්. මේ විදිහෙ දේශපාලන ලිපි ලියන හැම වෙලාවෙම මම හිතන්නේ මේවා ලියන්න වෙන කවුරු හරි හිටියා නම් කොයි තරම් හොඳද කියලයි. ඒත් දරාගැනීමේ හරි, ඉවසීමේ හරි සීමාව ඉක්මවා ගියාම, මම නැවතත් දේශපාලන ලිපි ලියන්න පටන් ගන්නවා. ඒවා ඉතාම හදිස්සියේ, කුණා‍ටුවක් වගේ එළියට එනවා. කොයි තරම් අකමැති වුණත් ප්‍රබන්ධ නොවන දේ ලියනකොට ඒ වෙනුවෙන් මට පැය 20ක් වුණත් ගත කරන්න පුළුවන්. ඒක මහා පිස්සු වැඩක්. ඒත් මං එහෙම කරනවා.

වයස 17දී ඔබ නිවෙසින් පිට වෙනවා. ඒ ඔබේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන බව ඇත්තක්ද?

ගෙදර ජීවත් වීම ඒ කාලෙ ඉතා ම අමාරු වුණා. ඒ කාලෙ ඉතා ම කම්පන සහිතයි. කොහොම වුණත් එදා මම ගෙදරින් පිට වුණ එක ගැන නම් තියෙන්නෙ සතුටක්. මගේ මවන්නිය වගේම විනාශ කරන්නියත් යන දෙකම මගේ අම්මා කියලයි මම හිතන්නේ. ඈ අසල ඉන්නකොට මම පැති දීසියක් වගෙයි. ප්‍රධාන ආහාර වේල තමයි ඇය. ඈ නිතරම මගේ ගැන ඇහැ ගහගෙන ඉන්න එකයි කළේ.

මගේ අම්මා ඉතා ම සාර්ථක ඉස්කෝලයක් පටන් ගත්තා. ඒ ඉස්කෝලෙ ළමයින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පරම්පරා ගාණක්ම ඈ වෙනස් කළා. අමමා ගැන මම ආඩම්බරයි. ඈ මම ඉහළින්ම අගය කරනවා. ඒත් ඈ විහිදන එළියෙන් පිච්චෙන්න නම් යන්නෑ. අපි දෙන්නා නිකං න්‍යෂ්ටික අවි දෙකක් වගේ. යම් දුර සීමාවක් සහිතවයි එකිනෙකා ළඟ ඉන්න ඕනා.

අම්මා හැරුණු විට ඔබේ ජීවිතය වෙනස් කළ තවත් කාන්තාවන් ඉන්නවාද?

මගේ අම්මා, තාත්තාව අත් ඇරලා ඇසෑමයේ ඉදන් ඌටිවලට ගියා. ඈ හිටියේ අසනීපෙන්. ඒ වගේම ඈට සල්ලි තිබුණෙත් නෑ. නැගිට ගන්න බැරිව ඔහේ ඇදේ වැතිරිලයි ඉදලා තියෙන්නේ. මගේ අයියටයි මටයි එතකොට වයස අවුරුදු 4-5ක් වගේ වෙන්න ඇති. බාස්කට් එකක් දීලා ඒක ඇතුළේ පොඩි සටහනක් දාලා අම්මා මාවයි, අයියවයි ටවුමට යවනවා. මිනිස්සු ඒකට එළවළු දාලා එවාවි කියලයි අම්මා අපිව එහෙම යවන්නේ.

මේ අතරේ අපිට හම්බ වුණා කුෂම්මාල් කියලා යහපත් ගෑනු කෙනෙක්. එයා අපේ ගෙදරට ඇවිත් නිකන්ම අප බලා ගන්න පටන් ගත්තා. ඈ ආවෙ කොහෙන්ද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ. එදා ඉදන් මීට අවුරුදු හතරක් වෙනකන් ඈ අම්මා එක්කම හිටියා. අන්තිමට අම්මා බලන්න ගිය දවසේ , මං ඈ ආදරෙන් වැළඳ ගත්තා. අපි කොක්හඬලමින් හිනාවුණා. අම්මා කෙනෙක් ළමයි වෙනුවෙන් කරන හැම සාමාන්‍ය දෙයක්ම ඈ මං වෙනුවෙන් කළා. මම ඈට අසීමිතව ආදරේ කළා. දින කීපෙකට කලින් ඈ මිය ගියා. මිය යනකොට ඈට වයස 96යි. ඈ ආයෙ දැකපු එක ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.

විචාරවලට ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේද?

මම බොහොම නිරුත්සාහිකව සහ සවිඥානිකව ලියන කෙනෙක්. මම ලියන දේවලට ලියන විචාර මට දැනෙන්නේ මගේ පිත්තාශයට විසුළු හැඩයක් තියෙනවා කියනවා වගෙයි.

ඔබ මේ දවස්වල කියවමින් ඉන්නෙ මොනවද?

මම දවස්වල කියවන්නේ ස්වෙට්ලානා ඇලෙක්සිවිච් ගේ 'චර්නබොල් ප්‍රේයර්' කියන පොත. ඉතා ම අලංකාරව ඒක ලියලා තියෙනවා. හිත කම්පා කරවන සුළු දේ කියවන්න මං ඒ තරම් කැමැති නෑ. මනරම්ව ලියපු ගද්‍යයක් මට කියවන්න දෙන්න, ඒකත් එක්ක ඔබ කියන ඕන තැනකට මම යාවි.

එතකොට ඔබේ ප්‍රියතම සාහිත්‍යකරුවන් කවුද?

ශේක්ස්පියර්, කිප්ලින්, රිල්කේ....වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය ලියන්නෙ ගායනා කරන්න පුළුවන් තරම් රිද්මයානුකූල ගද්‍යයි. අලංකාර ගද්‍ය වෙනුවෙන් මම වශී වෙනවා. ශේක්ස්පියර් ලියපු ඕනම වාක්‍යයක් මා පිස්සු වට්ටවනව සුළුයි. නබකොව් ලියූ දේවලුත් ඒ වගෙයි. ඒ වගේමයි ජෝන් බර්ගර් ගේ ලිවීම්. ජේම්ස් බෝල්ඩ්වින් සහ ටෝනි මොරිසන් ගේ ලිවීමුත් ඒ වගෙයි. අති විශිෂ්ටයි.

කාංචනා අමිලානි (දිනමිණ)

0 comments:

1948 පෙබරවාරි 04 දා පැවති ප්‍රථම නිදහස්‌ දින උත්සවය....

 https://www.youtube.com/watch?v=7sFK1OdlC2U




0 comments:

වසර 33 කට පෙර සිදු වු කළුජූලිය සියෑසින් දුටුවෙමි

* ජ. වි. පෙ, ලසසප හා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය තහනම් කරයි
* චිත්‍රපට අධ්‍යක්‍ෂක වෙන්කට්‌ද ඝාතනය වෙයි
* චාල්ස්‌ ඇන්තනී මරා දැමීම නිසා ප්‍රභාකරන් පලිගත් හැටි

1983 ජුලි 23 දා මෙරට සිදු වු කළුජූලිය හෙවත් අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව එම සිදුවීම් නොඳුටු පාර්ශව විවිධ තොරතුරු හෙළි කිරීමේ යෙදී ඇත.

එහෙත් සිදු වූයේ කුමක්‌ද යන්න අපි එදා සියෑසින් දුටුවෙමු. මෙයට වසර 33 කට පෙර සිදු වු එකී විනාශකාරී සිද්ධියට හේතු වූයේ පලාලි තිරුනවලි මාර්ගයේ දී හමුදා භටයන් රැගත් වාහනයක්‌. බිම් බෝම්බයකට ගොඳුරුවීම නිසාය. එදා බිම්බෝම්බවලට ඔරොත්තු දෙන බපල් රථ හමුදාවට තිබුණේ නැත.

මෙම බිම්බෝම්බ පිපිරීමට දින අටකට පෙර එනම් 1983 ජුලි 15 දා ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ චාල්ස්‌ ලූකස්‌ ඇන්තනී හෙවත් සීලන් යාපනයේ මේසාවලි ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත් විය. සිලන් යනු ප්‍රභාකරන්ගේ විශ්වාසවන්ත සගයායි සීලන්ගේ මරණයෙන් කෝපයට පත් ප්‍රභාකරන් ඊට පලි ගැනීමක්‌ ලෙස හමුදා භටයන් රැගත් වාහනය බිම්බෝම්බයක්‌ අටවා විනාශ කළේය.



මෙහිදී ලුතිනන් ඒ. පී. ගුණවර්ධන මාණ්‌ඩලික සැරයන් එස්‌. ඒ. තිලකරත්න (බණ්‌ඩාරගම) ප්‍රේමසිරි පෙරේරා (හෝමාගමට කෝපරල් ජී. පී. පෙරේරා (බත්තරමුල්ල, ලාන්ස්‌ කෝපරල් එස්‌. කුමරතුංග) ගනේමුල්ල, කේ. පී. කරුණාරත්න (කඩුවෙල ඒ. ටී. විඡේසිරි (කෑගල්ල) ගාමිණී රාජතිලක (කෑගල්ල එම්. බී. සුනිල් නාවලපිටිය) ජෝශප් ප්‍රනාන්දු (පුත්තලම) අතුල දිසානායක මහනුවර බී. සී. රොබට්‌ (කළුතර) සරත් මනතුංග (පොල්ගහවෙල) යන හමුදා නිලධාරීහු මරණයට පත් වූහ.

මේ සිද්ධිය පුවත්පත්වල පලවීම වසන් කිරීමට එවකට සිටි ඡේ. ආර්. ජයවර්ධන රජය ක්‍රියා කළේය. එහෙත් හමුදා නිලධාරීන් දහතුනක්‌ මිය යැමේ පුවත ලැව්ගින්නක්‌ මෙන් ශ්‍රී ලංකාව පුරා පැතිර ගියේය. එම තත්ත්වය මහ රජය උතුරේ බිම්බොම්බ පිපිරීමකින් හමුදාභටයන් මියගිය බවට නිවේදනයක්‌ නිකුත් කළේය.

මියගිය හමුදාභටයන්ගේ සිරුරු පසුදින එනම් 24 වැනිදා යාපනයේ සිට කොළඹට ගෙනවුත් ඔවුන්ගේ ඥාතීන්ට බාරදීමට රජය අදහස්‌ කලත් ගම්මානවලට එකී සිරුරු ගෙන ගියහොත් කලබල ඇති වනු ඇතැයි සිතා රජයේ බලධාරීන් එම සිරුරු කොළඹ කනත්තේ වල දැමීමට තීරණය කළහ.

කොළඹට ගෙනඑනු ලැබූ එම හමුදාභටයන් වෙනුවෙන් පාංශකූලයදීමට පවා රජය ඉඩදුන්නේ නැත.

කොළඹ කනත්ත අවට පොලිස්‌ භටයන් රැසක්‌ද යොදවා තිබුණි. රජයේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපය නිසා ජනතාව කෝපයට පත්ව සිටියහ. මේ සමයේ හමුදාපති වූයේ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ ඥාතියකු වූ තිස්‌ස වීරතුංගයි. හමුදා භටයන්ගේ සිරුරු ඥාතීන්ට භාරනොදීම නිසා ඥාතීන් අතර දැඩි කෝපයක්‌ හටගෙන තිබුණි.

මේ පසුබිම මැද කොළඹ ද්‍රවිඩ ජනතාවට සහ කඩසාප්පුවලට එරෙහිව මැර කණ්‌ඩායම් හා බඩු කොල්ලකන්නන් පහරදීම ක්‍රියාත්මක කළහ. බොරැල්ලේ මැගසින් මාලිගය නැමැති සාප්පු සංකීර්ණය ගිනි දැල්වලින් වෙලී ගියේය. ද්‍රවිඩයන් සතු කඩසාප්පු කොල්ලකද්දී පොලිසිය බලාසිටියේය. බොරැල්ලේ කනත්ත අසලට පැමිණි සද්දන්ත පොලිස්‌ නිලධාරියකු වූ ගපූර්ගේ හිසටද ගල් පහරක්‌ එල්ල වි ලේ ගලා ගියේය. ප්‍රසිද්ධියේම කොල්ලකෑම් සහ ඝාතන සිදුවෙද්දී ඡේ. ආර්. රජය බලාසිටියේය.

එවකට ශ්‍රී ලංකා දුම්කොළ සංස්‌ථාව නැමැති රජයේ සංස්‌ථාවට අයත් ත්‍රිරෝද රථවල පොලු මුගුරු සහිතව නැගී මරුවේශයෙන් යන පිරිස්‌ අපට දක්‌නට ලැබුණි. මේ දුම්කොළ සංස්‌ථාව එවකට සිටි ඇමැතිවරයකුට අයත් විය. කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේ සෝනි සමාගමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ සඳහා අප පැමිණ සිටි අවස්‌ථාවේ පිටකොටුවේ සෝනි මන්දිරයද ගින්නෙන් දැවී යන බව වාර්තා විය. කොළඹ ආමර්වීදියේ විශාල සාප්පු සංකීර්ණයක්‌ කොල්ල කෑ මැරයෝ ඊට ගිනි තිබූහ.

මෙලෙස මැර කල්ලි කොළඹ ගිනිතබද්දී ඔවුන්ව මර්ධනය කරන ලෙස පොලිසියට හා හමුදාවට නියෝගයක්‌ ලැබුණේ නැත.

මේ විනාශකාරී තත්ත්වය බොරැල්ලේ වැලිකඩ සිරගෙයටද පැතිර ගියේය. එවකට ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධයෙන් රදවා සිටි ද්‍රවිඩ සිරකරුවන් 30 කට අධික සංඛ්‍යාවක්‌ද අනිකුත් සිරකරුවන් විසින් ඝාතනය කරනු ලැබීය. නිවාස වෙළෙඳසැල් විශාල සංඛ්‍යාවක්‌ ගිනි ජාලාවලින් වැනසී ගියේය.

ප්‍රභාකරන් බලාපොරොත්තු වූයේ මෙවන් අවස්‌ථාවක්‌ එනතුරුය. 1983 ජුලි 30 දා ඡේ. ආර්. ජයවර්ධන රජය කැකිල්ලේ තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය. ඒ සිදු වූ කලබල පසුපස කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය හා ජනතා විමුක්‌ති පෙරමුණේ සිටින බව කියමින් එම පක්‍ෂ තහනම් කිරීමට රජය ක්‍රියා කිරීමයි. ඉන්පසු රජය පැවසූවේ සොරකම් කළ භාණ්‌ඩ ආපසු බාර දිය යුතු බවත් නැත්නම් පියවර ගන්නා බවයි.


මෙම සිදුවීම්වලින් පසු කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාව කැනඩාව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය ස්‌විට්‌සර්ලන්තය ඇතුළු බටහිර රටවල තානාපති කාර්යාලවෙත ගොස්‌ දේශපාලන රැකවරණ ඉල්ලා සිටියහ.

එහි ප්‍රතිඵලය වූයේ මෙරට ද්‍රවිඩයන් විශාල පිරිසකට විදේශ රටවල දේශපාලන රැකවරණ ලැබීමයි.

කොළඹ දී මැර කණ්‌ඩායම්වල ප්‍රහාරවල ගොදුරු වුයේ කෝටිපති පිරිස්‌ නොවේ. මහමග සිටි අහිංසක සපත්තු මහන්නන්, නාටාමිවරුද ඝාතනය විය. කළුබෝවිල මාර්ගයේදී සුප්‍රකට චිත්‍රපට කරුවකු වූ වෙන්කට්‌ ඔහුගේ රථය තුළ දීම ගිනිතබා මරා දැමීමේ ශෝචනීය සිද්ධියද වාර්තා විය.

මරුමුවට පත්වීමට මාස කීපයකට පෙර වෙන්කට්‌ අපව හමුවිය. මගේ චිත්‍රපටයක ගීතයක්‌ තිබෙනවා. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා මං ඒ කතාව විශ්වාස කරනවා යෑයි සිනහවෙන් ඔහු කියා සිටියේය.

වෙන්කට්‌ තැබු විශ්වාසය තහවුරු විය. ඔහුව කළුබොවිලදී අමු අමුවේ ගිනිජාලාවකට දමා ඝාතනය කළේ ඒ මිනිසුන්ය. විශාල එකළ සාවද්‍ය වෙබ් අඩවි නොතිබුණි. ජංගම දුරකථනද නොවීය. ඡේ. ආර්. ජයවර්ධන පාලනය කලබලවල වරද පැටවූයේ ජවිපෙ, ලසසප සහ කොමියුනිස්‌ට්‌ පක්‌ෂයටය. එහෙත් බොරැල්ල, වනාතමුල්ල, දෙහිවල, කළුබෝවිල වැනි ප්‍රදේශවල සිටද ගෝතමී පාරේ සිටද, පැමිණි මැර කණ්‌ඩායම් කලබලවලට හා කොල්ලකෑම්වලට මුල්විය. එදා එකී විනාශකාරී ක්‍රියා සිදුවන අවස්‌ථාවේ රජය බලාගෙන සිටියේය. ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් මරණවා යන පුවත මුළු ලොවටම ප්‍රචාරය විය. එහෙත් බටහිර රටවල් අද මෙන් ඡේ. ආර්. පාලනයෙන් එම විනාශයට වගවීමක්‌ ඉල්ලා සිටියේ නැත. බොහෝ සිංහල පවුල් අනාථ වූ ද්‍රවිඩ පවුල්වලට ආරක්‌ෂාව සලසනු ලැබීය. රජය නීතිය ක්‍රියාත්මක කරන විට විනාශය සිදුවී හමාරය. ප්‍රාභාකරන් මේ විනාශය ජාත්‍යන්තරකරණය කළේය . ඊට ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප් සහය විය.

* කීර්ති වර්ණකුලසූරිය

0 comments:

ජනාධිපති ප්‍රේමදාස වාරණය කළ මැතිව් පීරිස්‌ නඩු විභාගය (තිරගත නොවූ කතා)

අජිත් ගලප්පත්ති
චිත්‍රපටයක්‌ යනු සිනමාකරුවා පෙන්වන රූප ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා දැකිය යුතු රූප වේ. එසේම ඉතිහාසය ද යනු මෙතෙක්‌ ලියා දක්‌වා තිබෙන සාක්‍ෂි දත්ත සමූහයම නොවිය හැක. අප මේ සැරසෙන්නේ ශ්‍රී ලාංකික සිනමාවේ ඉතිහාසය අලුතින් කියවන්නටය. ඒ සඳහා අප මෙතෙක්‌ කියවා අසා දැක ඇති රූප සාක්‍ෂි හෝ චිත්‍රපට දත්ත සම්භාරය නිසැකවම ප්‍රමාණවත් නොවේ. අපේ සිනමා ඉතිහාසය වෙනස්‌ කළ හැකි නටබුන් සොයා, පාදා ගත යුතුය. තිරගත නොවූ කතා ගවේෂණය කිරීමෙන් අපේ සිනමාවේ අතීතය අලුතින් අර්ථකථනය කළ හැකිවේ. මන්ද යත් සිනමා ඉතිහාසය යනු අලුතින් ප්‍රතිනිර්මාණය කළ හැක්‌කක්‌ ද වන නිසාය. තිරගත නොවූ කතා ලේඛනගත කිරීමෙන් අපේ සිනමාතීතය සතිපතා මෙලෙස සංශෝධනය කෙරෙනු ඇත.

''මාගම් සෝලිය'' යනු හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සූක්‍ෂමව හා නිහඬව තර්ජනය කොට නවතා දමන ලද සිංහල චිත්‍රපටයකි. මෙහි තිරනාටකය ලීවේ සුගතපාල ද සිල්වා සූරීහුය. මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නට සිsහින මැව්වේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීපතම අමාත්‍යවරයකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත්‍රයකු වන ජනක මල්ලිමාරච්චිය. මෙය අපේ සිනමාතීතය වෙනස්‌ කළ හැකිව තිබුණු කෘතියක්‌ බවට සැක කළ හැකි සාක්‍ෂි හමුවී තිබේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා සිය සමීප, මිත්‍ර, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ පුත්‍රයකුගේ නිර්මාණ කටයුත්තක්‌ වාරණය කරන්නට තරම් හේතුකාරණා වූ බලපෑම කවරාකාර ද? මෙම සිනමාලෝලී තරුණ ක්‍රියාකාරිකයාගේ කුළුඳුල් චිත්‍රපට සිහිනයම මෙසේ සූක්‍ෂමව වාරණය කිරීම ඔහු තුළ අතිශය කලකිරීමක්‌ හා දැඩි දුරස්‌වීමක්‌ හට ගන්නට තරම් හේතු වන්නට ඇත්තේ කෙලෙසද? ප්‍රභල දේශපාලනඥයකුගේ පුත්‍රයකුගේ කලා කටයුත්තක්‌ රටේ ජනාධිපතිවරයා විසින් සූක්‍ෂම ලෙස අත්හිටුවන ලද විට එය ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක්‌ නොවීමද අපගේ දැඩි අවධානයට ලක්‌ වෙයි. ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙසේ වක්‍රාකාර ලෙස තර්ජනය කොට වාරණය කරනු ලැබුවේ සුගතපාල ද සිල්වාගේ තිර රචනයක්‌ වීමද සුළු කොට තැකිය නොහැක.

''මාගම් සෝලිය'' චිත්‍රපටයට වස්‌තු විෂය වූයේ එකල ඉමහත් ආන්දෝලනයට පත් මැතිව් පීරිස්‌ දේවගැතිවරයාගේ ප්‍රේම සම්බන්ධය සහ ඒ ආශ්‍රිත මිනිස්‌ ඝාතන ද්විත්වයයි. මෙම තීරණාත්මක සිද්ධිය චිත්‍රපටයකට ඉතා උචිත යෑයි යෝජනා කරන්නේ සහ උක්‌ත ඇමැති පුත්‍රයා වෙනුවෙන් අවශ්‍ය නම් එහි තිර නාටකය සකසා දිය හැකි යෑයි කියන්නේද සුගතපාල ද සිල්වාය.

ජනක මල්ලිමාරච්චි එකල ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ලෙස බලවත්ව සිටියේය. වීරසිංහ මල්ලිමාරච්චි තම එක්‌ පුත්‍රයකු දේශපාලනය දෙසටත් අනෙකා මාධ්‍ය දෙසටත් යොමු කරවීම කොතරම් දූරදර්ශී සිතිවිල්ලක්‌දැයි සිතෙන්නේ මෙබඳු තිරගත නොවූ කතා සොයා අවුස්‌සද්දීය. දේශපාලන මගට යොමු කළ පුත්‍රයා දිනක්‌ මහ මගදි මාරාන්තික දේශපාලන වෙඩි උණ්‌ඩයකට තම ජීවිතය දුන්නේය. මාධ්‍ය ලෝකයට යොමු කළ පුත්‍රයා සුගතපාල ද සිල්වා වැන්නන් සමග එක්‌වී තම සිනමා මග සකසා ගනිමින් සිටියේය. එමග අහුරන ලද්දේ වුවද අවසානයේ දේශපාලකයෝය.

අසූව දශකය මැද භාගයේ මෙරට ටෙලි නාට්‍ය කලාව අතිශය ජනප්‍රිය ව තිබුණේය. අද මෙන් නොව, සැබවින්ම ඒවා ටෙලි නාට්‍ය විය. එකල ටෙලි නාට්‍ය පිටපත් සමීක්‍ෂණය හා අනුමැතිය සඳහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහාචාර්ය තිස්‌ස කාරියවසම්, අර්නස්‌ට්‌ පෝරුතොට පියතුමා, සුගතපාල ද සිල්වා, වික්‌ටර් මිගෙල් වැනි දැවැන්තයින් පත්කරන ලද්දේ වුවද එම ටෙලිනාට්‍ය කලාවේ සශ්‍රීකත්වය රකිනු පිණිසය. ඊට සාපේක්‍ෂව අද ඇත්තේ දේශපාලන බලවතුන්ගේ හොර අඹුවන් විසින් තීන්දු කරන්නාවූ ටෙලි නාට්‍ය ස්‌වරූපයකි. දර්ශන තලයේදි පිටපත ලියා දෙබස්‌ කිය වන ''තිබ්බා ගැහුවා'' විලාසයේ ටෙලි විකාරය. ඇමති පුත්‍රයකු සුගතපාලද සිල්වා වැන්නකු සමග එක්‌ව චිත්‍රපට සිහින මවන යථාර්ථයක්‌ එකල සුරංගනා කතාවක්‌ නොවීමට හේතු පසුබිම එබඳුය.

එකල ජාතික රූපවාහිනියේ බලාත්මකවූ මෙම ටෙලි පිටපත් පරීක්‍ෂණ මණ්‌ඩලය සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහළින් පත් කරන ලද්දේ ජනක මල්ලිමාරච්චිය. තමාට චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කිරීමේ අදහසක්‌ පහළ වූයේ මෙම විද්වත් මණ්‌ඩලය සමග ටෙලි නාට්‍ය පිටපත් පරීක්‍ෂාවට සතිපතා මුණ ගැසෙද්දී යෑයි මෙම ඇමැති පුත්‍රයා කියයි. ආන්දොaලනාත්මක මැතිව් පීරිස්‌ නඩුව පිළිබඳ කතාබහ මතු වන්නේත් එකලය. ලොවම මවිත කළ සූක්‍ෂම ද්විත්ව මිනිස්‌ ඝාතනයට සම්බන්ධ මැතිව් පීරිස්‌ දේවගැතිවරයා වරදකරු වී සිරගෙට ගියේය. මෙම සිදුවීම පිළිබඳ විස්‌තර සොයන්නට ජනක සියලු තැන් වෙත ගියේය. නඩු වාර්තා පිරික්‌සුවේය. නීතිඥවරුන් මුණ ගැසුණේය. පොලිස්‌ නිලධාරීන් සමග කතාබස්‌ කළේය. අවසානයේ මැතිව් පීරිස්‌වද හමුවන්නට ඔහුව සිරකොට සිටි තැනට ගියේය. මරණීය දණ්‌ඩනයට නියමවී අභියාචනා කොට සිරබත් කමින් සිටි මෙම මිනීමරු දේවගැතිවරයා හමුවීමට එකල රජයේ බලවත්ම කැබිනට්‌ අමාත්‍යවරයකුගේ පුත්‍රයකු මැගසින් බන්ධනාගාරය වෙත ඇතුළු වූයේය. නමුත් මැතිව් පීරිස්‌, තමා හමුවීමට ආ මෙම ඇමැති පුත්‍රයාට ඉතා දරුණු ලෙස බැණවැදුණේය. ඒ පිළිබඳව ජනක මල්ලිමාරච්චි මෑතකදී ලියා පළ කළ ''රතු අඟුරු'' නම් පොතෙහි මෙසේ විස්‌තර කරයි.

''මම ජනක මල්ලිමාරච්චි. මම ඔයාගෙ නඩුව ගැන චිත්‍රපටයක්‌ කරන්නයි යන්නේ. ඒකට විස්‌තර ටිකක්‌ ගන්නයි මං ආවේ.''

චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා එහි ප්‍රධාන චරිතය වන මැතිව් පීරිස්‌ දේවගැතිවරයාට එලෙස කීවේය. රැවුල වවාගත් හා ජම්පරයක්‌ ඇඳ සිටි මිනීමරු දේවගැතිවරයාගේ මුහුණ වහා වෙනස්‌ විය. ඔහු මහ හඬින් කෑගසන්නට වූයේය.

''එහෙම කොහොමද හලෝ තමුසෙ මං ගැන චිත්‍රපටයක්‌ හදන්නෙ. කාගෙන් අහලද ඕයි තමුසෙ මං ගැන චිත්‍රපට කරන්නෙ. අනික මං ගැන චිත්‍රපට කරන්න තමුසෙ මං ගැන දන්නෙ මොනවද? තමුසෙ මගෙ බාප්පද?

දේවගැතිවරයාගේ කෝපය එතරම්ය. ඇමැති පුතාගේ තනියට ඔහු සමග බන්ධනාගාරයට ගිය වික්‌ටර් මුදලාලි මැතිව් පීරිස්‌ට පහර දෙන්නට සිතද්දීම ඡේලර්වරයකු ජනක වෙනුවෙන් කෑගසා සිරකාර දේවගැතිවරයාට දොස්‌ කීවේය. සිදුවූ ලැඡ්ජාව දරාගනිමින් මල්ලිමාරච්චි නැගිට්‌ටේය.

''මං හිතාගෙන හිටියේ හිරකාරයොත් මනුස්‌සයෝ කියලා. මං µsල්ම් එක හැදුව දවසට තෝ නිදහස්‌ වෙලා හිටියොත් මිනිස්‌සු ගල් ගහලා මරණ සයිස්‌ එකට තමයි වැඩේ කරන්නේ.''

ඇමැති පුත්‍රයා සිරකරුවාගේ මුහුණට ළංව එසේ තර්ජනය කළේය ''(රතු අඟුරු'' පිටුව 218)

මල්ලිමාරච්චිලාගේ සමීපතම ඥතියකු වූ උපාලිද (නේවි උපාලි) මෙකල සිරබත් කමින් මැගසින් පියසෙහි සිටියේය. නේවි උපාලිට මෙම සිද්ධිය ආරංචි වන විට පැය කිහිපයක්‌ ඉකුත් ව තිබිණි. පසුදා ඡේලර්වරයකු අතේ මේ අනාගත සිනමාකරුවාට පණිවිඩයක්‌ ලැබිණි. දහවල් කෑම පැයේදී ජනක යළිත් හිරගෙදර ගියේ නේවි උපාලි හමුවන්නටය. කලින්දා තම පුංචි අම්මාගේ පුතා වන ජනකට බැණ වැදුණු මැතිව් පීරිස්‌ට හොඳ සබ්බුවක්‌ දෙන්නට සිරගෙදර බලගතු නේවි උපාලි පියවර ගෙන තිබුණේය. කලින්දා හයිය පෙන්වු මැතිව් පීරිස්‌ බිත්තියකට මුවා වී බියගුළු ලෙස සිටිනු මල්ලිමාරච්චි දුටුවේය.

''අයියෝ මිස්‌ට මල්ලිමාරච්චි මට සමාවන්න. මෙයා මට ඊයෙ ඉඳල දැක්‌ක තැන ගහනවා බලන්න. මාව දෙපාරක්‌ දණගැස්‌සුවා. මේ බලන්න මගෙ කකුල්''

ජනක තම ඥති නේවි උපාලිට කීවේ මේ වයසක මනුස්‌සයාට යළි කරදර නොකරන ලෙසයි. තම ලේකම්වරියගේ සැමියාවත් මරා තම බිරීඳවත් මැරූ මොහු වැන්නකු කටයුතු කර ඇත්තේ වයසට අනුවදැයි නේවි උපාලි ජනකට තර්ක දැමුවේය. කෙසේ හෝ එතැන් පටන් මැතිව් පීරිස්‌ ඉතා කීකරු ලෙස සියල්ල වමාරන්නට විය.

පත්තරවල පළවූ නඩුවාර්තාවල තිබෙන කතාවට වඩා ඉතා වෙනස්‌ කතාවක්‌ තමාට ඇතැයි මැතිව් පීරිස්‌ සිය ආත්ම කථනයට මුල පුරමින් කීවේය.''මරණ දෙකයි නෙමෙයි තුනයි'' කියමින් මැතිව් පීරිස්‌ තම අත ඔසවා ඇඟිලි තුනක්‌ පෙන්වමින් කියද්දී ඔහු ගැන චිත්‍රපටයක්‌ හදන්නට පෙරුම්පුරන තරුණ සිනමාකරුවාගේ ඇස්‌ උඩ ගියේය. ඒ සියල්ල හෙළි කරන බවට මැතිව් පීරිස්‌ පොරොන්දු වූයේ සුගතපාල ද සිල්වා මෙහි තිරරචනය ලියන බවට ජනකගෙන් දැනගත් පසුවය. එවැන්නකු තමා පිළිබඳව තැනෙන චිත්‍රපටයේ තිරරචනය ලියන බව අසා ඉහළින්ම කැමති වූ මැතිව් පීරිස්‌ ඊළඟට ජනක හමුවෙහි තැබූ අතිශය තීරණාත්මක ප්‍රශ්නය ''කව්ද ප්‍රධාන නළුවා'' යන්නය. ''තවම තිරණය කොට නැතැයි'' ජනක කී විට සිරකරුවා කීවේ හිරෙන් නිදහස්‌වී ආ විට තමාම තම චරිතය රඟපාන්න කැමති බවයි.

එදින පැයක්‌ පමණ කතා බස්‌ කොට අෙන්‍යන්‍යව දැන හඳුනාගත් සිරකරුවා තම කුටිය වෙත ගිය අතර සිනමාකරුවා ගෙදර ගියේය. පසුව දින හතරක්‌ දෙපාර්ශ්වය මුණ ගැසුණහ. උසාවියේ ඇසෙන කතා සහ එහි නෑසෙන සත්‍ය කතා සියල්ල ඔහුගෙන් දැනගත් ජනක පවසන්නේ මෙම කතා දෙක කෙතරම් වෙනස්‌ද කියාය. ප්‍රකට හා අප්‍රකට සත්‍ය හා ප්‍රබන්ධ කතා සියල්ල මැතිව් පීරිස්‌ ගෙන් දැනගෙන ඒවා සුගතපාල ද සිල්වා වෙත සපයන අතරමැදි කටයුත්ත හෘදයාංගමව ඉටු කළේ මේ ඇමැති පුත්‍ර සිනමාලෝලියාමය.

මැතිව් පීරිස්‌ගේ චරිතයට තෝරා ගැනුණේ රවීන්ද්‍ර රන් දෙණියයි. ඊබට්‌ විඡේසිංහ ලවා රවීන්ද්‍රව මැතිව් පීරිස්‌ගේ ස්‌වභාවයට හරවා වෙස්‌ ගන්වා බැලුවේය. ඇතැම්හු කීවේ ගාමිණී ෆොන්සේකා මෙම චරිතයට සුදුසු බවයි. නමුත් සිනමාකරුවාට අවශ්‍ය වූයේ ගාමිණිට වඩා වයසින් අඩු රංගවේදියකු ලවා මැතිව් පීරිස්‌ ව තිරයේ මවන්නටය. මැතිව් පීරිස්‌ම සිය චරිතය උදෙසා යොදා ගැනිම ගැන සිතන්නටවත් මෙම නවකයා පෙළඹුණේ නැත.

චිත්‍රපටය රූගත කිරීම් අරඹන්නට සියල්ල සූදානම්ය. ඊට පෙර අධ්‍යක්‍ෂවරයා තිරරචනය අර්නස්‌ට්‌ පෝරුතොට පියතුමා වෙත භාර කළේ වැඩි හොඳටය. නිල ඇඳුමක්‌ ඇඟලා ගත් පියතුමකුගේ නීති විරෝධී ක්‍රියාකලාපය චිත්‍රපටගත කරද්දී ඊට පල්ලියෙන් යම් විරෝධයක්‌ එතැයි සිතූ ඒ අධ්‍යක්‍ෂවරයා ඒ සඳහා කල් තියා සූදානම් වනු පිණිස හා තිර රචනාවෙන් ස්‌වයං වාරණය කළ යුතු තැන් වේදැයි පිරික්‌සනු පිණිස දැනුවත් හා මධ්‍යස්‌ථ පියතුමකුගේ සහාය ලබාගැනීම උචිතය. පෝරුතොට පියනමගේ නිර්දේශය වූයේ කිසිදු ගැටලුවක්‌ මතු නොවන බව හා අර්බුදයකට යා හැකි කිසිදු අවුලක්‌ පිටපතෙහි නොමැති බවයි. ඒ අනුව පසුතල හා රූගත කෙරෙන තැන් පූර්ව සූදානම් කරනු පිණිස විශාල වියදමක්‌ද දැරුවේය. වේශ නිරූපණ පූර්ව පරීක්‍ෂණ සඳහා ගත් ඡායාරූප පුවත්පත්වල පළ විය. චිත්‍රපටය පිළිබඳ ආන්දෝලනයක්‌ ඇති වූයේ මෙම ආන්දෝලනාත්මක චරිතය නිසාය.

දිනක්‌ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සිනමාකරුවා සොයා සිය නිවසට ආවේ වැදගත් අවධාරණයක්‌ සහිතවය.

''මේක දැනට නවත්වන්න පුළුවන්ද කියල බලන්න. ප්‍රේමදාස මහත්තය ඉල්ලීමක්‌ කරන්නේ. නවත්තන්නම කියල නෙවෙයි එතුමා කියන්නේ මේ වෙලාවෙ කරන එක ප්‍රශ්න මතු කරන්න පුළුවන් නිසයි කියන්නේ.''

සම්බන්ධීකරණ ලේකම්වරයා ජනපතිගේ සූක්‍ෂම නිහඬ තර්ජනය සහ මෙම ආන්දෝලනාත්මක චිත්‍රපටය කදිමට සම්බන්ධීකරණය කළේය.

ප්‍රේමදාස මහතා මෙකල සර්ව ආගමික වැඩසටහන් සිය දේශපාලන ගමන් මග සමග සම්බන්ධ කොට තිබුණේය. යම් හෙයකින් ක්‍රිස්‌තියානි ආගමික පූජකවරු කිසියම් විරෝධයක්‌ දැක්‌වුවහොත් මෙම චිත්‍රපටය අත්හිටුවන්නට සිදුවන්නේ විශාල මුදල් සම්භාරයක්‌ යට කළ පසුවය. එම දුරදිග යැමෙන් හා මුදල් නාස්‌තියෙන් තම මිත්‍ර ඇමැතිවරයාගේ පුත්‍රයා ගලවා ගත යුතු යෑයි මෙම ජනහිතකාමී පාලකයා සිතුවා විය හැක. කෙසේ වුවද මෙය සියුම් වාරණයකි. සූක්‍ෂම තර්ජනයකි. මෙම නිහඬ තර්ජනය ගැන සිනමාකරුවා අතිශය දුක්‌මුසු ලෙස සිය පියා වෙත එදිනම සවස සැළකර සිටියේය. වීරසිංහ මල්ලිමාරච්චි අමාත්‍යවරයා තම පුතුට තදින් දොස්‌ පැවරුවේය.

''රටේ ජනාධිපතිවරුන්ටයි තාත්තලාටයි ඕන විදියට µsල්ම් කරන්නත් බෑ. නවත්තන්නත් බෑ. ඔය විදියට නවත්වනවා නම් තමුසෙට ඔය µsල්ම් එක කවදාවත් කරන්න ලැබෙන්නෙත් නෑ. උඹේ ඇඟේ හැටියට මොළේ නෑ.''

එවේලෙහි සිනමාකරුවාට තම පියා බැණ වැදුණු ආකාරය ඔහුම විස්‌තර කළේ එපරිදිය. එම දොaෂාරෝපණයෙහි තවත් බරපතළ වදන් දෙක තුනක්‌ තිබුණද ඒවා ලේඛනගත කිරීම අනුචිත යෑයි සිතා ස්‌වයංවාරණය කළෙමි.

රටේ පාලකයා වෙතින් ආ උපක්‍රමශීලි වාරණ බලපෑම නිසා ජනක මල්ලිමාරච්චිට සිනමාව එපාම විය. සිය සිනමාලෝලීත්වය අධික කලකිරීමක්‌ බවට පරිවර්තනය විය. චිත්‍රපටය අතරමග ඇනහිටිණි. ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්‌ විය. වීරසිංහ මල්ලිමාරච්චිද ඝාතනය කෙරිණි. මාගම්සෝලිය ලියූ සුගතපාල ද සිල්වා මිය ගියේය. චිත්‍රපටය අකල් මරණයකට ලක්‌විය. මෙම තිරරචනය කියවන විට අපට හැඟෙනුයේ සැබවින්ම එය අපගේ සිනමා මග වෙනස්‌ කළ හැකිව තිබුණු කෘතියක්‌ බවය. පිටපත කියවද්දී මැනවින් රූප මැවෙයි. චිත්‍රපටයක්‌ ලෙස පරිපූර්ණ නොවුවද තිරරචනය අප තුළ මවන චිත්ත රූපාවලිය ප්‍රබලය. සැබවින්ම එය සිනමාත්මක රූප ගුණය සපිරි ප්‍රශස්‌ත තිරරචනාවකි.

ජනපති වාරණයත් සමග මන්දොaත්සාහි වූ මෙම නවක සිනමාලෝලී මාධ්‍යවේදියා නැවතත් තම චිත්‍රපට සිහිනය සඵල කර ගන්නට තරම් සක්‍රීය වී සිටී. මැතිව් පීරිස්‌ කී බොහෝ දේවල් ඔහු සතුව ඇත. මෙම තිරරචනය ලියෑවෙන්නේ එම සත්‍ය දුර්ලභ තොරතුරු ඇසුරෙනි. මෙය මැතිව් පීරිස්‌ ගේ දෘෂ්ටියෙන් සිය ආත්ම කථනයක්‌ ලෙස තැනීමට තරම් නවක තොරතුරු තමා සතුව ඇතැයි මෙම සිනමාකරුවා කියයි. තමා අතින් සිදු වූ මාරාන්තික අපරාධයට සැබෑ හේතු මෙම දේවගැතිවරයාගේ හදපත්ලෙන්ම මතුකර ගැනීම ජනකගේ වෑයමයි. ඔහු මේ සියල්ල කළේ ආදරය නිසයි. සැබෑම වූ ආදරය නිසයි. සිනමාකරුවාගේ නිගමනයයි.

''මාගම්සෝලිය'' චිත්‍රපට තිර රචනයෙහි එක්‌ දර්ශනයක දේවගැති නිවසෙ පුස්‌තකාලයට වී මේරියස්‌ යමක්‌ ලියන්නට පටන් ගනී. එහි හඬ පටය මෙස්‌ය.

''හැම දෙයකටම ප්‍රස්‌ථාවක්‌ද, මේ මහ පොළොවේ හැම කාරණයකටම නිසි කාලයක්‌ද ඇත. උපදින්නට කාලයක්‌ හා නසින්නට කාලයක්‌ ඇත. ප්‍රේම කරන්නට හා ද්වේශ කරන්නට කාලයක්‌ ඇත. දෙවියන් වහන්සේ මුල සිට අග දක්‌වා කළ කාරණා දැන ගන්නට මනුෂ්‍යයාට බැරිය. එබැවින් සිය ජීවිත කාලයේදී ප්‍රීsති වී හරි දේ කිරීමට වඩා හොඳ දෙයක්‌ මිනිසුන්ට නැති බව මම තේරුම් ගතිමි. මින් පෙර තිබුණේ දැන් තිබෙන දේද? මතු සිදු වන්නට යනදේ මින් පෙරද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ නැවත නැවත සිදු කරන සේක. මගේ ජීවිතයේ මා අත්දුටු දේ අර්ථයක්‌ සොයන්නට මා පෙළැඹී ඇත. අවසානයේ මා වැරදිද? නිවැරදිද? එයද දෙවියන් වහන්සේ විසින්ම තීරණය කරනු ඇත.''

අජිත් ගලප්පත්ති

0 comments:

චිං චිං නෝනා ගියා ටොම් පචයා ආවා

"චිං චිං නෝනා" යනු 1977 ජූනි 24 දා තිරගත වූ සිංහල සිනමා සිත්තමකි. "ටොම් පචයා" යනුද එම වසරේම නොවැම්බර් 11 වැනි දින තිරගත වූ තවද සිනමා සිත්තමකි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව පෙරළා දමා ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ විශිෂ්ට ජයග්‍රහණය සනිටුහන් කොට එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ බිහිවූයේද එම වසරේදීමය. වැඩිකල් නොයාදීම දිවයින පුරා ජනතා සිත්ගත් පෝස්‌ටරයක්‌ පැතිරී ගියේය. "චිංචිං නෝනා ගියා, ටොම් පචයා ආවා" යනු එයයි. කවරකු විසින් දැයි සඳහන් නොවූවද මෙම පෝස්‌ටරයේ සඳහන් වැකිය නිර්මාණාත්මක එකක්‌ බැව් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. නිර්මාණාත්මක එකක්‌ වූවා පමණක්‌ නොව "ටොම් පචයා" යන්න කෙතරම් දුරට ගැළපෙන්නේද නැද්ද යන්න උරගා බැලීමට වරින් වර අවස්‌ථාද උදාවිය.

*********

1987 මැයි 11 වැනිදා "ඩේලි නිව්ස්‌" පුවත්පතේ වූ වාර්තාවක සඳහන් වූ ෙ-ද දෙකක අනුවාදය මෙසේ දැක්‌වේ.

"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට විසිපස්‌ වසරක්‌ පිරීම නිමිත්තෙන් සෙනසුරාදා සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ පැවැත්වූ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා කතා කරමින් කියා සිටියේ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්‌ඩු කාලයේදී සංස්‌ථාව පිහිටවූ බවත්, මුල්ගල තැබීම හා එය විවෘත කිරීමද ඒ කාලයේම සිදුකළ බවත්ය.

ඔහුගේ රජයේ ඇමැතිවරයකු ලෙස සංස්‌ථාව පිහිටුවීම සඳහා මම සම්පූර්ණ සහාය ඔහුට දුනිමි. ප්‍රමුඛ පෙළේ සංස්‌ථාවලින් එයද එකක්‌ බව කියන්නට පුළුවන්. විශාල ආදායමක්‌ උපයන අතර ඉන් කොටසක්‌ ආණ්‌ඩුවේ ආදායමට එකතු වේ."
ෙ-ද දෙක වූ කලී එයයි.

මෙම ඡේදයන්ට අනුව 1987 වසර වන විට ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට 25 වසරක්‌ පිරී ඇත. එය සත්‍යයකි. 1987 වසරට පෙර 25 ක්‌ යනු 1962 වසරයි. 1960 සිට 1965 දක්‌වා අගමැති ධුරය හෙබවූයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියයි. තෙල් කොම්පැණි ජනසතු කරමින් ඉහත සඳහන් සංස්‌ථාව පිහිටුවන ලද්දේ ඇයගේ රජයයි. මේ හේතුව නිසා කුපිත වූ ඇමරිකාව තම ආධාර පවා නවතනු ලැබ, එම ආධාර උපයෝගී කර දෙනු ලැබූ පාසල් බනිස පවා හොරණ විද්‍යාරත්න සිසුන් විසින් වර්ජනය කරනු ලැබුවේද එම වකවානුවේදීය.

පුවත්පතේ කියුම නිවැරැදි කළේවත්, ඡේ. ආර්. ජයවර්ධන මහතා එසේ නොකියු බව ප්‍රකාශ කළේත් නැත·

* * * * * * *

1988.01.15 දින "ෆෝරම්" නමැති පුවත්පතට පාඨකයකු විසින් ලියන ලද ලියුමකි. එහි මෙසේ සඳහන් විය.

"ගාලු පුරහලේ පාක්‍ෂිකයන් අමතා අතිගරු ජනාධිපතිතුමා පැවැත්වූ කතාව රූපවාහිනිය නරඹමින් අපි ඇසීමු."

"ඇත්ත වශයෙන් කරන ලද, නැතහොත් විකෘති කරන ලද කතාවක්‌ ඔහු විසින් කර ඇත. ඩොනොමෝර් කොමිෂන් සභාව රැස්‌ව තොරතුරු විමසන වකවානුවේ රත්වත්තේලා හා මහවල තැන්නේලා ඔවුන්ගේ සාක්‍ෂිවලදී පළාත් එක්‌ කරන ලෙස යෝජනා කර ඇති බව ඔහු කියා සිටියේය. කොමිසම සාක්‌කි විභාග කරන සමයේ මහවලතැන්නේලා එකකුවත් ජීවතුන් අතර සිටියේ නැත. එසේ නම් මහවලතැන්නේලා කොමිසම ඉදිරියේ පෙනී සිටින්නේ කෙසේද? ඒ අනුව රත්වත්තේලා සම්බන්ධ පුවතද එවැනිම වූ එකක්‌ බව අපට සිතාගත හැකිය..."

* * * * * * *

1985 ඔක්‌තෝබරයේ "කම්කරු බලය" නම් වූ පුවත්පතට ලියූ ලිපියකින් ටී. අන්ද්‍රdදි මහතා අපූරු අනාවරණයක්‌ කර තිබේ. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මීට වසර කීපයකට පෙර රාජකීය විදුහලේ පැවැති වාර්ෂික උළෙලකදී තමන් හා සම්බන්ධ අතීත සිද්ධියක්‌ මතක්‌ කරදී ඇත. එනම් ඉතාලියේ බෙනිටෝ මුසෝලනී ඇබිසීනියාව ආක්‍රමණය කළ විට එවකට පාසල් සිසුවකුව සිටි තමා ඊට එදිරිව උද්ඝෝෂණය කළ බවත්, ඒ නිසා විදුහල්පතිවරයා ඔහුට දඬුවම් කර ඇති බවත්ය. අන්ද්‍රdදි මහතාගේ වචනයෙන් "ටොම්පච ප්‍රතිරූපය" වඩාත් හොඳින් අනාවරණය වූයේ එමගින්ය.

මුසෝලනී ඇබිසීනියාව ආක්‍රමණය කළේ 1935 දීය. ඡේ. ආර්. ජයවර්ධන මහතා උපත ලබා ඇත්තේ 1906 සැප්තැම්බර් 17 වැනිදාය. ඒ අනුව 1935 වන විට එතුමාගේ වයස අවුරුදු 29 කි. ඇබිසීනියා කතාව සත්‍යයක්‌ නම් එතුමා අවුරුදු 29 දී රාජකීය විදුහලේ සිසුවෙකි. මෙපමණ වයසක්‌ ඇති පුද්ගලයකු පාසල් සිසුවකු නම් නිසැකවම ඔහු මන්දබුද්ධිකයෙකි. නැතහොත් අන්ද්‍රdදි මහතාගේ වචනයෙන් ටොම් පචයෙකි.

* * * * * *

1977 න් පසු විශාල වශයෙන් ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක්‌ වූයේ ජපානයට නිදහස ලැබුණේ සැන්ප්‍රැන්සිස්‌කෝ සමුළුවේදී ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් කරන ලද කතාව නිසාය යන්නය. අද පවා බොහෝ දෙනකු එය විශ්වාස කරනු ලැබ ඇත. එහෙත් දැන ගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව සැබෑව වන්නේ එය නොවන බවයි.

දෙවැනි ලෝක යුද්ධයේ දී පරාජයට පත්ව සිටි ජපානයට සාම ගිවිසුමක්‌ අත්සන් තැබීමට ඇමරිකාවේ සැන්ප්‍රැන්සිස්‌කෝ පුරවරයේ පැවති ජාතීන් 52 ක්‌ එක්‌රැස්‌ වූ සමුළුවක්‌ 1951 දී පවත්වන ලදී. ලංකාව නියෝජනය කළේ ඡේ. ආර්. ජයවර්ධන මහතා ය.

"නූතන ජපානයේ ඉතිහාසය" (History of Modern Japan) නම් වූ කෘතියක්‌ රිචඩ් ස්‌ටෝරි නම් වූ ලේඛකයකු විසින් ලියා ඇත. මෙය පළවූයේ 1960 දී එනම් සැන්ප්‍රැන්සිස්‌කෝ සමුළුවට වසර 09 කට පසුවය. මෙය පළකරන ලද්දේ එංගලන්තයේ ලොව පුරා නම් දැරූ පොත් සමාගමක්‌ වන පෙන්ග්වින් ප්‍රකාශකයන්ය. එම පොතේ 257 පිටුවේ මෙසේ සඳහන් වන බව ටී. අන්ද්‍රdදි මහතා තම ලිපියක ලා දක්‌වයි.

"අවසානයේ දී අදාළ ආණ්‌ඩුවලින් විශාල බහුතරයකගේ අනුමැතිය ලබාගත් එක්‌සත් ජනපදයට නමට පමණක්‌ සාම සමුළුව වූවක්‌ කැඳවීමට තත්ත්වය සුදුසු යෑයි හැඟී ගියේය. ඒ වන විටත් තීරණය වී තිබූ දෙයට අනුමැතිය ලබා ගැනීමේ විධිමත් එකතුවක්‌ විය."

කල්තබාම සූදානම් කර තිබුණේ නම් ඡේ. ආර්¾ ජයවර්ධන මහතාගේ කතාව නිසා නිදහස ලැබුණ බව කිව හැක්‌කේ මොන ජගතාටද? ඉහත සඳහන් වූ ග්‍රන්ථයේ ඔහුගේ නමවත් සඳහන් කර නැත·

ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ ජීවිතයේ වැදගත් සිද්ධීන් හෙළිකරන "ඡේ.ආර්. (1906 සිට 1965) ග්‍රන්ථයේ ජපානයේ ඔහු පැවැත්වූ දේශනය ගැන ජපන් ගොවියකු වන තොකුගෙයි හාරා ගුචි, එතුමාට එවන ලද ලිපියක සඳහන් වූවක්‌ මෙසේ දක්‌වා සිටී.

"ඔබතුමා මෙරටට පැමිණියේ පසුගිය සැප්තැම්බරයේ වාසනාවන්ත දිනයකදීය. ඔබතුමාගේ පින්තූරය දැකීමේ වාසනාවද මට ලැබුණි. මා සිතන හැටියට ඔබතුමා බොහෝ දුර කතරක්‌ ගෙවා මෙරටට පැමිණියේ බුදුරදුන්ගේ ධර්මය මෙරට පැතිරවීමේ උදාර ෙච්තනාව පෙරදැරි කරගෙන විය යුතුය. ඔබතුමා විසින් මේ කරන ලද මහඟු සේවයට මම ඉත සිතින් කෘතඥ වෙමි. (164 පිට)

එම කථාවෙන් පවා ජපානය නිදහස ලැබූ බවට සාක්‍ෂියක්‌ හමු නොවේ. ජයවර්ධන මහතාගේ කතාවෙන් ඉදිරිපත් කරන ලද බුදු වදන කවරේද? "වෛරයෙන් වෛරය නොසන්සිඳේ. මෛත්‍රියෙන් වෛරය සංසිඳේ" යන්නය. අනෙකුත් ජාතීන්ගේ විශේෂයෙන් ඇමරිකානුවන්ගේ හදවත මෙලෙක්‌ කරනු ලැබුවේ මෙමගින්ද? බටහිර ජාතීන්ට නම් මෙම වදන නවමු එකක්‌ වූවා නිසැකය. එහෙත් ඒ වන විටත් ඇමරිකාව ජපානයෙන් පළිගෙන අවසානය. ඒ 1945 දී හිරෝෂිමා හා නාගසාකිවලට පරමාණු බෝම්බ දැමීමෙනි · ඒ ඔවුන්ගේ පර්ල් වරායට ජපනාගේ ප්‍රහාරයෙන් ලත් මදිපුංචිකමට එකට එක කිරීමෙන්a පළිගත් හැටිය·· 1951 වන විට තවදුරටත් පළිගැනීමේ අවශ්‍යතාවක්‌ නැත.

"ජපානය පිළිබඳ සිංහලයන්ගේ ආකල්ප" නමින් ලිපියක්‌ ලියා 1984 මැයි මස ඨ්‌සඑම නම් ජපන් සඟරාවේ නොම්. 09 කලාපයේ පළකළ ෂිබුයා තොෂිඕ එහිලා මෙසේ කියා සිටී.

"එපමණක්‌ නොව ජනාධිපතිතුමා 1951 සැන් ප්‍රැන්සිස්‌කෝ සමුළුවේදී කරන ලද "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" යන්න ගෙනහැර පා ජපානයේ නිදහස අපේක්‍ෂා කළේය. මෙය ලංකාවාසී උසස්‌ සමාජයේ බොහෝ දෙනකු දන්නා කරුණකි. එහෙත් ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් හැරුණ විට අනෙකුත් අය මේ කතාව පිළිබඳ දන්නා බව කිව නොහැකිය..."

නිදහස ලබාගැනීමේ මාර්ගය ලෙස ඡේ. ආර්. ගේ කතාව ඉවහල් වී නම් එය නොදන්නා ජපනෙක්‌ සිටිය හැකිද?

එසේ එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා සමුළුවේදී සැබවින්ම සිදු කළේ කුමක්‌ද? සිදු කළ දේ ජපානය වෙනුවෙන් නම් නොවේ. ඇමරිකන් අධිරාජ්‍යවාදීන් වෙනුවෙනි. දෙවැනි ජගත් මහා සංග්‍රාමයේ දී හිට්‌ලර්Êපක්‍ෂයේ ආසියාතික සගයා වූයේ ජපානයයි. එකල චීනයේ එක්‌කෝටි අසූලක්‍ෂයක්‌ පමණ වූ ජනයා මරා දැමුණේ ජපන් අධිරාජ්‍යවාදීන් විසිනි. එහෙත් සමුළුවට චීන නියෝජනයක්‌ නොමැත. ඒ වන විට චීනයේ ආණ්‌ඩුව නියෝජනය කළේ මහජන චීන ජනරජයයි. (මාඕ සේතුංගේ නායකත්වයෙන්) චියෑ කයි ෂෙක්‌ යුද දෙටුවා පැනගොස්‌ රජයක්‌ පිහිටැවූ පෝර්මෝසා දිවයින "ජාතික චීනය" විය. ජාතික චීනය සමුළුවට කැඳවාගත නොහැකිවූ නිසා එකදු චීනයක්‌වත් සමුළුවට නොකැඳවින. සෝවියට්‌ සංගමය මෙයට විරෝධය පෑවේය. ඡේ. ආර්. සෝවියට්‌ සංගමයට එදිරිව අවි අමෝරා ගත්තේය.

තවද සාම වැඩපිළිවෙළ පිටුපස සිටියේ ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් පෝස්‌ටර්Êඩලස්‌ය. ඔහුගේ සැලැස්‌මට අනුව කල්තබාම තීරණය වී තිබුණේ ජපානයෙන් පළි නොගැනීමටය. (ඒ වන විට පළිගෙන අවසන් වී තිබුණි.) ඒ සාම ගිවිසුම සමගම ඇමරිකන් හමුදා ජපානය තුළ රැඳවීමට වෙනම ගිවිසුමක්‌ද තිරයට පිටුපසින් අත්සන් තැබිණ. 1952 දී "ජාතික චීනය" සමගමද (චියෑ කායි ෂෙක්‌ගේ) ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට ජපානයට ඉඩ සැලසුවේ අධිරාජ්‍යවාදීන්මය. මේ සියල්ලම කරන ලද්දේ ජපනාට ඇති ආදරයට නොව ආසියාවේ කොමියුනිස්‌ට්‌වාදයට එරෙහිව ආසියාවේ බලවතකු බවට ජපානය පත්කර ගැනීමේ අරමුණ ඇතිවය. මේ සඳහා ලංකාවේ ඡේ. ආර්. ජයවර්ධන ඩලස්‌ට මහත්වූ පිටුබලයක්‌ වෙමින් සැබෑ ලෙසම තමා "යෑංකි ඩිකියකු" බව ලොවටම පෙන්නුම් කළේය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කථාව නිසා ජපානයට නිදහස ලැබීය යන්න "ටොම් පචයක්‌" නොවේ නම් අන් කවරක්‌ද? මේ අදහස ප්‍රකාශ කෙරුවන් ඔහුගේ අනුගාමිකයන් මිස එතුමා නම් නොවේ. එතුමා විසින් කරන ලද්දේ "ටොම් පචය" ප්‍රචාරයේ දී ඇස්‌ කන් නාසා නොමැත්තා සේ සිටීම පමණය.

(පොතපත සඟරා ඇසුරෙනි.)

 ආරියපාල මුදලිගෙ

0 comments:

ඒ පාද යාත්‍රාවයි මේ පාද යාත්‍රාවයි - උපුල් ජෝශප් ප්‍රනාන්දු

'පාද යාත්‍රාවට බය වෙලාද බැසිල්ව රිමාන්ඩ් කළේ...?'
'ඇයි බැසිල් එන්න කිව්වම මිනිස්සු පාද යාත්‍රාවට එනවාද...?'
'නෑ ඉතින් බැසිල්නේ ඕවා ඕගනයිස් කරන්නේ...'
'ඕගනයිස් කරනවා කීවේ...?'
'ඇයි... හයිඩ් පාක් රැලිය මැයි රැලිය බැසිල්නේ කළේ...'
'ඒ බස්වලින් සෙනඟ අද්දලනේ...?'
'සෙනඟ අද්දන්නේ නැතුව කොහොමද පාද යාත්‍රා කරන්නේ...?'
'ඇයි මහින්ද 1992 කළේ...'


මේ මහින්දගේ 92 පාද යාත්‍රාවේ බැහැල හිටපු පරණ වමේ සගයෙකුයි මහින්දවාදියකුයි අතර කතා වුණු දෙබසකි. පරණ වමේ සගයා කී කතාව හරිය. මහින්ද 92 පාද යාත්‍රාව කළේ බස්වලින් සෙනඟ අද්දල නොවේ. අතේ සතේ නැතිවය. පාද යාත්‍රාව සංවිධානය කරන්න පක්‍ෂයෙන්වත් මහින්දට සත පහක් දුන්නේ නැත. මහින්ද පාද යාත්‍රාව කළේ රාජිතලා පරණ වමේ ක්‍රියාකාරීන් එකතු කරගෙනය. පාද යාත්‍රාවට මහ ලොකු සෙනඟක් ආවේ නැත. හැබැයි මහින්ද හිතුවාට වඩා සෙනඟ ආවේය. මහින්ද එක්ක පාද යාත්‍රාව සංවිධාන කරපු අය කියන්නේ ප්‍රේමදාස පාද යාත්‍රාවට මඟදී ගහයි කියල මහින්ද බලාගෙන සිටි බවය.

හේතුව පාද යාත්‍රාවට අතරමඟදී සෙනඟ නැති වේ යැයි මහින්දගේ හිතේ බයක් තිබුණු නිසාය. ශ්‍රී ල.නි.ප.ය ඇතුළේම ඔත්තු සේවාවලින් ප්‍රේමදාසට මේක ආරංචි විය. ඔහු පාද යාත්‍රාවට ගලක්වත් ගැහුවේ නැත. ප්‍රේමදාස බලයට ආවේ 1988දීය. 92 කියන්නේ ප්‍රේමදාස ආණ්ඩුවට වයස වසර හතරකට ආසන්නය. ආණ්ඩු විරෝධයට එය හොඳ කාලයකි. මහින්ද හිතුවේ නැති විදියට පාද යාත්‍රාවට සෙනඟ ආවේ ඒ නිසාය. තවම රනිල්ගේ ආණ්ඩුවට අවුරුද්දක්වත් නැත. අවුරුද්දක්වත් වයස නැති ආණ්ඩුවට එරෙහිව ආණ්ඩු විරෝධය හදන එක ලේසි නැත. අනෙක ප්‍රේමදාස ගත්තේ ජේ.ආර්. අවුරුදු 11ක් කරපු ආණ්ඩුවක්ය. එහෙම බලන කොට 1992ට එ.ජා.ප. ආණ්ඩුවට වයස අවුරුදු 15කි. ජනාධිපති වෙනස් වුණාට අවුරුදු 15ක් පරණ ආණ්ඩුවකට ආණ්ඩු විරෝධය හදන්න පාද යාත්‍රා තියන්න ඕනේ නැත. අනෙක ඒ වෙනකොට ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව ලලිත් හා ගාමිණී එළියට බැහැල ප්‍රේමදාස පන්නන්න රට වටා යමින් සිටියහ. 92 පාද යාත්‍රාවට සෙනඟ ආවේ ඒ දේශපාලන රස්නය මැදය.


අද එවැනි දේශපාලන රස්නයක් තවම නැත. රස්නය තියෙන්නේ ශ්‍රී ල.නි.ප.ය තුළය. 92 පාද යාත්‍රාව යන කාලේත් ශ්‍රී ල.නි.ප.ය තුළ ලොකු දේශපාලන රස්නයක් පමණක් නොව ප්‍රශ්නයක්ද තිබුණේය. ඒ මැතිනිය, අනුර සහ චන්ද්‍රිකා අතර බල අරගලය ය. පක්‍ෂය අයිති මැතිනියටද, අනුරටද, චන්ද්‍රිකාටද කියන ලොකු ප්‍රශ්නයක් පක්‍ෂය තුළ තිබුණි. මැතිනිය හිටියෙත් ලෙඩ වෙලාය. චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.ය තුළට පැමිණ සිය බලය තහවුරු කර ගන්න වැඩ කරමින් සිටියාය. මැතිනිය වටා සිටි අනුර විරෝධීන් ඇය වටා එක් විය. ඇත්තටම මහින්ද පාද යාත්‍රාව තිබ්බේ ප්‍රේමදාස ආණ්ඩුව වට්ටවන්න නොව, පක්‍ෂයේ බලය සියතට ගන්නටය. මහින්ද ඒ සඳහා පාවිච්චි කළේ අනුරවය. චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.යට යළි පැමිණීම අනුරටත් වඩා මහින්ද ඉවසුවේ නැත. එයට හේතුව චන්ද්‍රිකා හම්බන්තොට මහින්දලාගේ ඩී.ඒ. රාජපක්‍ෂ පවුල වෙනුවට ඩී.එම්. රාජපක්‍ෂ පවුල නියෝජනය කරන නිරූපමාව කරළියට ගෙන එන්න හදන නිසාය. අනෙක මහින්ද හිතුවේ අනුර නායකයා කරල මහින්ද නියෝජ්‍ය නායක වී අනුරව පඹයාට තියාගෙන පක්‍ෂය දුවවන්නටය. චන්ද්‍රිකා එයට බාධාවක් විය.

චන්ද්‍රිකාගේ පැමිණීමට පමණක් නොව ලලිත් සහ ගාමිණී විපක්‍ෂයට පැමිණ වීරයන් වීම ගැනත් මහින්ද හිටියේ නොසතුටින්ය. ලලිත් සහ ගාමිණී මැතිනිය සහ චන්ද්‍රිකා සමඟ ජනාධිපතිවරණයට පොදු සන්ධානයක් හදද්දී මහින්ද ශ්‍රී ල.නි.ප.ය තනිවම පුම්බන්න පාද යාත්‍රාව සංවිධානය කරන බව ලලිත් සහ ගාමිණීට ඇහුණේය. තමන් පාද යාත්‍රාවට සහභාගි නොවන බව ලලිත් සහ ගාමිණී කලින්ම නිවේදනය කළේ පාද යාත්‍රාව පොදු සන්ධානයට බාධාවක් යැයි වක්‍රව කියමින්ය.
ඒත් මහින්ද සැලුණේ නැත. ඔහුට ඕනෑ වුණේ ඔහු වටා පක්‍ෂය ගොනු කරගෙන අනුරව ඉස්සරහින් තියාගෙන යන්නටය. මහින්ද පාද යාත්‍රාවට රාජිතව සම්බන්ධ කර ගත්තේ චන්ද්‍රිකාට ගහන්නටය. චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.යට යළි එන්න තීරණය කළේ රාජිතගේ බහුජන නිදහස් පෙරමුණේ විරෝධය මැදය. චන්ද්‍රිකාව නායිකාව කර රාජිත බහුජන නිදහස් පෙරමුණ හැදුවත් චන්ද්‍රිකා රාජිතගේ කීම අහන්නේ නැතිව ශ්‍රී ල.නි.ප.යට යන්න තීරණය කළාය. මේ නිසා චන්ද්‍රිකා සහ රාජිත අතර ලොකු ගැටුමක් ඇති විය. මහින්ද රාජිතව පාද යාත්‍රාවට එකතු කරගෙන මේ ගැටුමින් ප්‍රයෝජන ගත්තේය. මාතරදී මහින්ද චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැන්නේ මේ ගැටුම නිසාය. චන්ද්‍රිකාට වේදිකාවෙන් බහින ලෙස මහින්ද නියෝග කළේය. හැබැයි ඒ වෙනකොටත් පාද යාත්‍රාවේ මතු වූයේ චන්ද්‍රිකාය. පුවත්පත්වල ප්‍රධාන පින්තූරය වූයේ චන්ද්‍රිකා පාද යාත්‍රාවේ යන පින්තූරය ය. මහින්දට යකා නැග්ගේය. පක්‍ෂයේ බලය අල්ලන්න සංවිධානය කරපු පාද යාත්‍රාවෙන් චන්ද්‍රිකා ප්‍රතිරූපය හදා ගැනීම ගැන ඔහු හිටියේ කම්පාවෙන්ය.
ඇත්තටම මහින්දගේ ඉලක්කය වුණේ පාද යාත්‍රාවෙන් පසු ආසන බල මණ්ඩලවලට ගොස් පක්‍ෂයේ කාන්තා සහ තරුණ සංවිධාන සියතට ගෙන පක්‍ෂ ලේකම් වෙන්නටය. චන්ද්‍රිකා එස්.බී. සහ ජෙයරාජ්ලා සමඟ එක්වී මහින්දගේ ඉලක්කය පරාජය කළේය. අන්තිමේදී මහින්ද පක්‍ෂයේ බලය අල්ලන්න පාද යාත්‍රා ජනඝෝෂා කරල අන්තිමේදී පක්‍ෂයේ බලය ගන්න පාර කැපුවේ චන්ද්‍රිකාටය. චන්ද්‍රිකා මතුවී ආ විට මහින්ද පක්‍ෂ නායකයා කරන්න වැඩ කළ අනුර සහ චන්ද්‍රිකාගේ ටීම් එකම මහින්දව තනි කොට එ.ජා.ප.යට එක් විය.
බැසිල් මේ පාද යාත්‍රාව සංවිධානය කරන්නේත් පක්‍ෂයේ බලය අල්ලන්න විය යුතුය. ඔහු ශ්‍රී ල.නි.ප.යේ බලය අල්ලන්න පෙර මහින්දවාදී ඒකාබද්ධ විපක්‍ෂයේ බලය ඇල්ලිය යුතුය. පසුගිය මැයි රැලිය සංවිධානය කොට ඔහු ඒකාබද්ධ විපක්‍ෂය සියතට ගන්න ගියත් වැඩේ හරි ගියේ නැත. දැන් ඔහු බලන්නේ මහින්ද 1992 ගහපු ගේම ගහන්නටය. මහින්ද 92 පාද යාත්‍රා කරන කොට බැසිල්ලා පැත්ත පළාතේවත් හිටියේ නැත. හිටියේ ඇමෙරිකාවේය. බැසිල් ආවේ 1994 මහ මැතිවරණය දිනන බව තේරුම් ගියාට පසුවය. දැන් බැසිල් හදන්නේ 92 අනුරව ඉස්සරහ තියාගෙන මහින්ද ශ්‍රී ල.නි.ප.යේ බලය අල්ලන්න පාද යාත්‍රා ගියා සේ මහින්දව ඉස්සරහ තියාගෙන පළමුව ඒකාබද්ධ විපක්‍ෂයේත් දෙවනුව ශ්‍රී ල.නි.ප.යේත් බලය අල්ලන්න පාද යාත්‍රා යන්නටය. මහින්ද 92 පාද යාත්‍රාව ගියේ මිනිස්සු එක්ක වැඩ කරලාය. බැසිල් දේශපාලනය කරන්නේ මිනිස්සු එක්ක නොවේ. බැසිල් දේශපාලනය කරන්නේ ඉලක්කම් එක්කය. පාද යාත්‍රාවේ නුවරට එන සෙනඟ ගාණේ ඉඳල කොළඹට එන ගාණත් බැසිල් මේ වෙනකොට ගණන් හදල ඉවරය. ඒකට අවශ්‍ය බස් සහ සල්ලිත් ලෑස්තිය. මහින්ද පරාජය වූ දින සිට බැසිල් සල්ලි වීසි කරල මේ වැඩේට බැස්සේය. ඒකට පාවිච්චි කළේ බැසිල්ගේ පළාත් පාලන මන්ත්‍රිවරුන්වය. පළමුව ඒකාබද්ධ විපක්‍ෂයේ බලය සියතට ගෙන මහින්දව ඉස්සරහට දමාගෙන ඉදිරි පළාත් පාලන ඡන්දයේ ශ්‍රී ල.නි.ප.ය තුනට දමා පසුව ශ්‍රී ල.නි.ප.යේ බලය ඇල්ලීම බැසිල්ගේ උපාය ය. 92 පාද යාත්‍රාව යද්දී මහින්දටත් ඔය වගේ ලස්සන ගේම් ප්ලෑන් එකක් තිබිණි. හැබැයි ප්ලෑන ආපිට කැරකිණි. මහින්දට පක්‍ෂයේ බලය නැති වී පක්‍ෂයේ බලය චන්ද්‍රිකා අතට යන තැනට වැඩේ සෙට් වුණි. බැසිල්ගේ පාද යාත්‍රාවටත් ඒ නස්පැත්තියම වෙයිද දන්නේ නැත. 1992 පාද යාත්‍රාවේ මහින්දට පක්‍ෂයේ බලය ගියා නම් නායකයා වෙන්නේ අනුරය. මහින්ද පක්‍ෂ ලේකම්ය. එකල මහින්දයි අනුරයි මතුරන්නේ අත නැතිව ඡන්ද දිනන්න බැහැ කියාය. එහෙම වුණා නම් අත ලකුණෙන් ජනාධිපතිවරණයට එන්නේ අනුරය. මැතිනිය, චන්ද්‍රිකා, ලලිත්, ගාමිණීලාට යන එන මං නැති වනු ඇත. හැබැයි එහෙම වුණේ නැත. කොහේවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපති අපේක්‍ෂිකාව වූවාය. පාද යාත්‍රා කියන්නේ සුපිරිසුදු අරමුණකින් කළ යුතු දෙයකි. මහින්දගේ පාද යාත්‍රාවට ප්‍රේමදාස කීවේ කේ‍රා්ධ යාත්‍රාව කියාය. ඒ තරහටය. හැබැයි ඇත්තටම එය කේ‍රා්ධ යාත්‍රාවක් විය. ඒ ප්‍රේමදාසට එරෙහිව නොව ශ්‍රී ල.නි.ප.යේ මැතිනි චන්ද්‍රිකා පිලට එරෙහිවය. මහින්ද පාද යාත්‍රාවෙන් කේ‍රා්ධ යාත්‍රා කරන්න ගිය නිසා චන්ද්‍රිකාට පින පෑදිණි. මේ පාද යාත්‍රාවත් ශ්‍රී ල.නි.ප.යට එරෙහි කේ‍රා්ධ යාත්‍රාවක් කරගන්න ගියොත් කාට පින පෑදෙයිද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

ගඳගහන තරමට කුණුවී සිටියදීත් රටට එපා නොවූ සරත් සිල්වා - වික්ටර් අයිවන්

Sunday,26 Jul 2015  වික්ටර් අයිවන් 
ශ්‍රී ලංකාවේ ආයතන ක‍්‍රමය සමග එම ආයතන ක‍්‍රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම මා ඉගෙන ගත්තේ සරත් නන්ද සිල්වා ආශ‍්‍රයෙනි. නාමධාරී හොඳ පාසල් හැමවිටම හොඳම මිනිසුන් බිහි නොකරන බව හා සමහරවිට ඉතාමත් නරක මිනිසුන් බිහිකරන බව සනාථ කිරීම සඳහා එස්.එල්. ගුණසේකර සිය මරණයට පෙර ලියා පළ කරන ලද සිය මතක සටහන් ඇතුළත් පොතේ නිදර්ශනයට ගෙන ඇත්තේද සරත් නන්ද සිල්වාය. මට මෙම පුද්ගලයා ගැන කරුණු සොයා බලන තැනකට යන්නට සිදුවූයේ මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක නිසාය.

අසූචිවලින් ගැසීම

මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවන් වී සිටි අඹුසැමි යුවළකගෙන් ස්වාමිපුරුෂයාට දිගින් දිගට ඇප නොදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ආධාරයෙන් එම විත්තිකරුගේ බිරිඳ රවටා ඇය මහේස්ත‍්‍රාත්වරයාගේ නිල රියෙන් ගම්පොළ තානායමට ගෙන ගොස් දූෂණය කළේය. අත් අඩංගුවේ සිටි ස්වාමිපුරුෂයා මහේස්ත‍්‍රාත්වරයාගේ එම ක‍්‍රියා කලාපය කෙසේ හෝ බිරිඳගෙන් අසා දැනගත්තේය. ඔහු මහේස්ත‍්‍රාත්වරයාගෙන් පළිගත්තේ ඊළඟ නඩු දිනයේදී මහේස්ත‍්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි ප‍්‍රහාරයකිනි. ඔහු බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන විට පොලිතින්වල ඔතන ලද අසූචි බෑග් දෙකක්ද රැුගෙන ආවේය. උසාවියේ කටයුතු සිදුවෙමින් තිබියදී විත්ති කූඩුවෙන් බිමට බැස මහේස්ත‍්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි බෑගය විදුලි පංකාවේ වැදී එය අසූචි විදින යන්ත‍්‍රයක් බවට පත්වී උසාවියේ සිටි බොහෝ දෙනෙකු අසූචිවලින් නැහැවෙන තත්ත්වයක් ඇතිවී තිබේ. රිමාන්ඞ් සිරකරුවා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන ඊළඟ අසූචි බෑගයෙන් මහේස්ත‍්‍රාත්වරයාගේ ඔළුවට ගැසුවේය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ රිමාන්ඞ් සිරකරුවා බිහිසුණු පහරදීමකට ලක්වීමය.

සිරුකරුවාගේ අතපය කැඩෙන තෙක් පොලූ මුගුරුවලින් උසාවි බිමේදී කරන ලද තිරිසන් පහරදීමට අසූචි සෝදාගෙන වෙනත් ඇඳුමක්ද ඇඳගෙන පැමිණි මහේස්ත‍්‍රාත්වරයාද ක‍්‍රියාකාරී ලෙස සහභාගි වී තිබුණි. තුවාලකරුවා භාරගැනීමට මහනුවර බන්ධනාගාරය කැමති නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහු මහනුවර රෝහල් ගතකිරීමට සිදුවිය. රිමාන්ඞ් සිරකරුවා තමන්ගේ සම්පූර්ණ කතාව තමන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාට කීවේය. ඔහු එම කතාව අසා පුදුමයට පත්වන්නට ඇති බවට සැකයක් නැත. වෛද්‍යවරයා මෙම අනුවේදනීය සිද්ධිය එකල තිබූ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියාට දැනුම් දුන්නේය. ඔහු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඞ් සිරකරුගෙන් කටඋත්තරයක් ගෙන පරීක්ෂණයක් ආරම්භ කළේය. ගම්පොළ තානායමට ගොස් මේ කියන දිනයේ තානායමට මෙම මහේස්ත‍්‍රාත්වරයා පැමිණ තිබුණේ දැයි සොයා බැලූවේය. තානායමේ වාහන පොත පරීක්ෂා කිරීමේදී මහේස්ත‍්‍රාත්වරයාගේ නිල රථය එහි පැමිණ තිබෙන බව සොයා ගත්තේය. ඉන්පසු ඔහු පහර කෑ බිරිඳගෙන්ද කටඋත්තරයක් ගත්තේය. ඒ සමග නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම වෙත ඇය යවා මහේස්ත‍්‍රාත්වරයාට එරෙහිව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට විධිමත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මා වෙත මෙම කාන්තාව එවා තිබුණේ එකල මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළ පහරකෑමට ලක්වූ රිමාන්ඞ් සිරකරුවාගේ පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ නිලධාරියාය. මෙම නිලධාරියා හා මා අතර කිසිදු දැනහැඳුනුම්කමක් නොතිබුණි. සමහරවිට ඔහු රාවයේ පාඨකයෙකු විය හැකිය. මේ සිද්ධියෙන් ඔහු කම්පාවට පත්ව සිටියාද විය යුතුය. මා මෙම සිද්ධියට අත ගැසුවහොත් ඇයට ඉක්මනින් යුක්තිය ඉටුකරවා ගැනීමට හැකිවනු ඇතැ’යි ඔහු විශ්වාස කළ බව පෙනේ. තමන් කරන පරීක්ෂණවලට බොහෝ කාලයක් ගතවිය හැකි බැවින් මා හමුවී ඇගේ කතාව මට කියන ලෙස ඇයට උපදෙස් දී තිබුණේ ඔහුය.

ඇය කියන ලද කතාව ඇසීමෙන් මා තුළද කම්පනයක් ඇතිවිය. මා පුවත්පතේ පළකරන මුල් පුවතක් ලෙස ඇගේ කතාව කරළියට ගෙනාවේ මෙම දූෂිත විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ බලධාරීන් කරුණු සොයා බලා ඔහු අතින් බරපතළ වරදක් සිදුවී ඇත්නම් ඔහුට දඬුවම් කරන අතරම මෙම කාන්තාවට හා ඇගේ ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකරනු ඇතැ’යි කියන අහිංසක චේතනාවෙන් යුතුවය.

එසේ කිරීමෙන් මා අපේක්ෂා කළ දේ සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ අවසානයක් නොපෙනෙන බිහිසුණු හා දිග්ගැස්සුණු අරගලයකට මා තල්ලූවීමය. ලංකාවේ ජනමාධ්‍ය කොතරම් දූෂිතද යන්න මා තේරුම් ගත්තේද එම අරගලයේ කටුක අත්දැකීම් ආශ‍්‍රයෙනි. මා මෙම පුවත පළ කළ දිනයේ සිටම පුවත්පත් දෙකක් මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාට ලොකු චරිත සහතික දෙමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉන්පසු ඒ පෙරහැරට රූපවාහිනී නාලිකා ගණනාවක්ද එකතු විය.

එවකට නීතිපති ධුරය හොබවන පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය. මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටඋත්තරයක් දෙන ලෙස මෙම මහේස්ත‍්‍රාත්වරයාට උපදෙස් දෙන ලද්දේ නීතිපතිවරයාය. රටේ මානව හිමිකම් ආරක්ෂාව භාර රැුකවල් දූතයා ලෙස සැලකෙන්නේ නීතිපති වරයාය. මා ලියා පළකරන ලද පුවත රැුගෙන මෙම ස්ත‍්‍රී දූෂක මහේ්ස්ත‍්‍රාත්වරයා නීතිපති වෙත ගිය විට නීතිපතිට හෘදය සාක්ෂියක් තිබුණේ නම් මෙම මහේස්ත‍්‍රාත්වරයා අතින් ඇත්තටම පුවත්පතේ සඳහන් වන ආකාරයේ වරදක් සිදුවී තිබේද යන්න සොයා බැලීමේ යුතුකමක් ඔහුට තිබුණි. එහෙත් එම යුතුකම ඔහු අතින් සිදු නොවූයේ නීතිපතිට මහේස්ත‍්‍රාත්වරයාට තිබුණු පුද්ගලික සම්බන්ධය නිසාය. ඔහුට මහේස්ත‍්‍රාත්වරයා සමග නෑකමක් තිබුණි. මහේස්ත‍්‍රාත්වරයාට වැළඳුණු විශේෂ රෝගයක් තිබුණේ නම් නීතිපතිවරයාද ඒ රෝගයෙන් පෙළෙන කෙනෙක් විය.

අපරාධ පරීක්ෂණය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත‍්‍රාත්වරයාගේ පැමිණිල්ල මත මට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුණු විට මම මගේ ආරක්ෂාව සඳහා මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාගේ ඉතිහාසය සොයා බලන තැනකට මම තල්ලූ වූයෙමි. ඔහු අධිකරණ සේවයට එන්නට පෙර ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත් ඔහු මුදල් වංචාවකට හසුවී සේවයෙන් පහකරන ලද පුද්ගලයකු බවත් මට දැනගන්නට ලැබුණි. ඒ බව මා දැනුවත් කළේද රාවය පාඨකයෙකි. ඔහුගේ එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණයේ වැදගත් ලියවිලි කිහිපයක්ද ඔහු මට එවා තිබුණි.

එම ලියවිලි කිහිපය මා අතට පත්වූ විට මෙම මහේස් ත‍්‍රාත්වරයා අධිකරණයක පැත්ත පළාතකවත් තබාගත යුතු නැති තරමේ නීච පුද්ගලයකු බව තේරුම් ගැනීමට මට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. රජයේ සංස්ථාවක සිදුවූ මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු පළමුව නීතිඥයකුද, මහේස්ත‍්‍රාත් වරයකුද වූයේ කෙසේද? අධිකරණයට පුද්ගලයන් බඳවා ගැනීමේදී පුද්ගලයන්ගේ ඉතිහාසය ගැන සොයා බැලීමක් නොකරන බව මා තේරුම් ගත්තේ එදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ සිද්ධිය පිළිබඳව මගෙන් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව මා දන්නා සියලූ දේ නොවළහා කීවෙමි. මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙකු අධිකරණ සේවයට ඇතුළු වූයේ කෙසේද යන ප‍්‍රශ්නයද සොයා බලන ලෙස ඉල්ලා සිටිමින් එම වංචාවේ පරීක්ෂණයට අදාළ මා ළඟ තිබූ ලියවිලිවල පිටපත්ද පරීක්ෂණ නිලධාරියාට දුන්නෙමි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත‍්‍රාත් අතින් දූෂණයට ලක්වූ කාන්තාවගෙන්ද කට උත්තරයක් ලබාගත්තේය. ලෙනින් රත්නායක මහේස්ත‍්‍රාත්වරයකු වන්නට පෙර රක්ෂණ සංස්ථා සේවයේ යෙදී සිටියදී මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වේද යන්න ගැනද ඔවුහු සොයා බැලූවෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ වාර්තාව නීතිපති සරත් නන්ද සිල්වා වෙත යැවීය. පරීක්ෂණ වාර්තාවට ඇතුළත් නිරීක්ෂණ මම දැන සිටියෙමි. ඉන්පසු නීතිපති කරන්න යන්නේ කුමක්ද යන්න දැනගැනීමට මට අවශ්‍ය විය.

ඔහු නීතිගරුක නීතිපතිවරයකු වී නම් එම පරීක්ෂණ වාර්තාව ඔහු තුළ ලොකු කම්පනයක් සේ ම කෝපයක් ඇති කිරීමටද හේතුවිය යුතුව තිබුණි. මුදල් වංචාවක් මත සංස්ථා සේවයෙන් පහ කළ පුද්ගලයකු අධිකරණ සේවයට එකතු වී සිටීම ඔහුගේ කෝපයට හේතුවිය යුතුව තිබුණි. ස්ත‍්‍රී දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ හා එම පරීක්ෂණ වාර්තාවට අමුණා තිබූ කාන්තාවගේ කටඋත්තරය කියවී නම් අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය රටේ නීතිපති වශයෙන් ඔහුගේ බලවත් කම්පාවට හේතුවිය යුතුව තිබුණි. ඔහු මෙම ස්ත‍්‍රී දූෂක තක්කඩි මහේස්ත‍්‍රාත්වරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනවා වෙනුවට පරීක්ෂණ වාර්තාව යට ගසමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ බව සනාථවීමෙන් පසු මා නීතිපති පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය වූයේ ඔහු ගාම්භීර පෙනුමකින් යුතු පුද්ගලයකු වුවත් ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාටත් වඩා දූෂිත වංක හා නීච පුද්ගලයකු විය යුතු බවය.

නොනිමි අරගලය

මා නීතිපතිවරයාට එරෙහිව ලොකු අරගලයක් කරන තැනකට තල්ලූ වූයේ ඉන්පසුවය. ඔහුගේ බෙල්ල හිරකරන තත්්ත්වයකට පත්කිරීමට මා සමත් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අවස්ථාවකදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එය නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් ඔහුගේ හිරවී තිබුණු බෙල්ල බේරා දුන්නේය. ඊළඟ වටයේදී මට සටන් කරන්නට සිදුවූයේ රටේ අගවිනිසුරුවරයා සමගය. ඒ කතාව අලූතෙන් කිවයුතු නැත. ‘නොනිමි අරගලය’ නමින් මා ඒ ගැන පොතක් ලියා තිබෙන අතර ලංකාවේ පළමු පෙළේ සිනමාකරුවකු වන ප‍්‍රසන්න විතානගේ විසින් ඒ පොතේ එන ලෙනින් රත්නායක සිද්ධිය පදනම් කොටගෙන ීසකැබජැ සබ එයැ ජදමරඑි නමින් සිනමා කෘතියක්ද නිර්මාණය කර තිබේ. ප‍්‍රසන්නගේ එම සිනමා නිර්මාණය ලංකාවේ තෝරාගත් පිරිසකට හැර ලංකාවේ සිනමා පේ‍්‍රක්ෂකයන්ට බලන්නට අවස්ථාවක් ලැබී නැතත් දැනටමත් සිනමා ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් බවට පත්වී තිබෙන බව අසන්නට ලැබුණි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳව මට කතා කරන්නට අවශ්‍ය වී තිබෙන ප‍්‍රස්තුතයට එන්නට පෙර නොනිමි අරගලය පොත ගැනද පාඨකයන් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා කිරීම සුදුසු යැයි සිතමි. ඒ පොත පළකරන ලද්දේ සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීය. සරත් නන්ද සිල්වා යනු තමන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් බියගැන්වීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම මගින් තමන්ට තිබුණු අධිකරණ බලය නීතියට අනුව හෝ නැතිව පාවිච්චි කළ පුද්ගලයෙකි. ඔහු තමන්ට අවනත නැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගෙන් පවා පළිගත්තේය. එකල අධිකරණයේ තමන්ට පක්ෂ නැති අධිකරණ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට බල කරන තත්ත්වයක් ඇති කොට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කළේය. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ඉංග‍්‍රීසි ගුරුවරයකු වූ ටෝනිට ඔහු එක් වසරක සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව බන්ධනාගාරයට ඇතුළත් කළ වහාම ඔහුට තිරිසන් ලෙස පහර දෙන තත්ත්වයක්ද ඇති කළේය. සිරදඬුවම අවසන් කොට නිදහස්වීමෙන් පසු පාතාල කණ්ඩායමක් ඔහු පැහැර ගෙනයෑමට දරන ලද උත්සාහයත් අසාර්ථක වීමෙන් පසු ජීවිතාරක්ෂාව සඳහා ඔහු ලංකාවෙන් පිටවී ගියේය. අදත් ඔහු ජීවත්වන්නේ කැනඩාවේය.

ඉතා වැදගත් දේ එම අගවිනිසුරුට පාතාල ලෝකය සමගද සම්බන්ධකම් තිබීමය. ඒ ගැන ලියවුණු විශේෂ පරිච්ෙඡ්දයක් මගේ නොනිමි අරගලය පොතටද ඇතුළත්ය. ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ නීතිඥයකු වූ ඩෙස්මන් ප‍්‍රනාන්දු එංගලන්තයට ගිය අවස්ථාවකදී දුරකතනයෙන් මා අමතා කියන ලද කතාවක් මෙසේය. අන්තර්ජාතික නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ බ්‍රෙනන් සාමි ඩෙස්මන්ගේ කුළුපඟ මිත‍්‍රයෙකි. ඩෙස්මන්ට මෙම කතාව කියා තිබෙන්නේ බ්‍රෙනන් සාමිය. එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ වැඩ කරන්නේ බ්‍රෙනන් සාමිගේ චේම්බරයේය. මේ සිදුවීම සිදුවී තිබෙන්නේ බ්ලෙයාර් අගමැති ධුරයේ සිටියදීය. බ්‍රෙනන්් සාමිගේ ඉල්ලීම පරිදි ඇය මගේ නොනිමි අරගලයේ ඉංග‍්‍රීසි පරිවර්තනය කියවා තිබේ. ඒ පොත ඇගේ උනන්දුවට හේතුවී අඩු තරමින් ඒ පොතේ එන අගවිනිසුරුගේ පාතාල සම්බන්ධතා අළලා ලියා තිබෙන පරිච්ෙඡ්දය කියවන ලෙස අගමැති ටෝනි බ්ලෙයාර්ගෙන් ඉල්ලා තිබේ. අගමැති එය කියවා මෙවැනි මිනිසකු ලංකාව අගවිනිසුරු ධුරයේ තබාගෙන ඉඳීම ගැන සිය විස්මය පළකර තිබේ.
මෙම පොත පළකිරීමෙන් පසු ඊට ප‍්‍රතිචාර වශයෙන් අගවිනිසුරු කුමක් කරනු ඇත්ද යන්න දැනගැනීමේ කුතුහලයක් මට තිබුණි. මෙම පොත පිටවුණු කාලයේදීම තෝරාගත් කිිිහිපදෙනකුට පමණක් සීමාවූ තමන්ගේ උපන් දින සාදයකට සහභාගි වන ලෙස ඩෙස්මන් ප‍්‍රනාන්දු මට ආරාධනා කළේය. එහි ගිය පසු අපි පස්දෙනකු එකට එකතු වී පිළිසඳර කතාබහක යෙදුණෙමු. මේ පස්දෙනා අතර ඩෙස්මන්ද, රංජිත් අබේසූරියද, මගේ නීතිඥයා වූ සුරංජිත් හේවාමාන්නද, තවත් රටේ නාමධාරී නීතිඥයෙක්ද සිටියේය. මාගේ පොතට එරෙහිව නඩු පැවරීමට අගවිනිසුරු තීරණය කර ඇති බවත් එම නඩුවට අගවිනිසුරු වෙනුවෙන් පෙනී සිටින්නේ තමා බවත් මෙම නාමධාරී නීතිඥයා උද්ධච්ච ස්වරයකින් කියා සිටියේය. ඊට මා දෙන ලද ක්ෂණික පිළිතුර වූයේ මා මේ පොත ලීවේම එවැනි නඩුවක් ගෙන්වා ගැනීමේ අදහසින් බවය. එම පිළිතුර නාමධාරි නීතිඥයාගේ මුහුණ රතු කිරීමටත් අන් අය තුළ හාස්‍යජනක සිනහවක් ඇති කිරීමටත් හේතුවිය. පොතට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් අගවිනිසුරුවරයා තමන්ට හිතවත් නීතිඥ කණ්ඩායමක් කැඳවා සාකච්ඡුා කර තිබෙන බව මා අසා තිබේ. ඉහත කී නාමධාරී නීතිඥයාද එම සාකච්ඡුාවට සහභාගි වී තිබේ. එක පිරිසක් නඩු පැවරිය යුතුයි කියන අදහසේ සිට කතා කරන විට අගවිනිසුරුවරයාගේ හිතවතකු වූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා ඇත්තේ අගවිනිසුරු තත්ත්වයෙහි ඉඳිමින් ඔබ වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පවරන්නේ නම් ඔබට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දෙන්නට සිදුවන බවත් එහිදී වික්ටර් අයිවන් නගන ප‍්‍රශ්නවලට පිළිතුරුදීමට හැකිනම් පමණක් නඩු පැවරීම සුදුසු බවත්ය. නඩු පැවරීමේ අදහස අතහැර ඇත්තේ ඉන්පසුවය.

වටපිටා කරුණුවලින් බැහැර වී දැන් මට මගේ ප‍්‍රශ්නය මෙසේ සාරාංශ ගත කළ හැකිය. සරත් නන්ද සිල්වා අවස්ථා තුනකදී ඉතා වැදගත් හා බලවත් තනතුරු තුනක සිටි පුද්ගලයෙකි. ඔහු කලක් අභියාචනාධිකරණයේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළේය. ඉන්පසු නීතිපති ධුරයත්, ඊටත් පසුව අගවිනිසුරු ධුරයත් දැරීය. ඔහුගේ පෙනුම ගාම්භීරය. ලොකු උගත්කමකින් ද යුතුය. එහෙත් අභ්‍යන්තර හරය උපරිම මට්ටමෙන් නීචය. ඔහු සැලකිය හැක්කේ අධම ගණයේ මිනිසකු ලෙසය. ඔහු අධිකරණය කණපිට හැරවීය. යුක්තියේ දෙවොල නරකාදියක් බවට පත් කළේය. අධිකරණයට වනචරකම එකතු කළේය. ආණ්ඩුක‍්‍රමය අවුල් ජාලාවක් බවට පත් කළේය. තමන් අකමැති අය පීඩාවට පත්කිරීම සඳහා තමන් කැමති අයට අයථා සහන ලබාදීම සඳහාත් තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිච්චි කළේය. ඔහු රටට කර තිබෙන විනාශය අතිවිශාලය. එය අප‍්‍රකට දෙයක් නොව ප‍්‍රකට දෙයකි. ඔහුට එරෙහිව දෙවරක් දෝෂාභියෝග ඉදිරිපත් වී තිබේ. ඒවා තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට ඉඩ නොලැබුණද එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතළය.

නියම යථාර්ථය

ඔහු ඉන්නේ කුණුවී ගඳ ගසන තත්ත්වයක වුවත් ඔහු බෞද්ධයන්ට ධර්ම දේශනා පවත්වන බවට පත්ව තිබෙනවා පමණක් නොව සමාජ දේශපාලන ව්‍යාපාරවල කරපිට යන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේය. රූපවාහිනී නාලිකාවලින් ඔහුට ලබාදී තිබෙන වැදගත්කම ගැන මම පුදුම නොවෙමි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලය නිසා ජනමාධ්‍යවල රැුකවරණය ඔහුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේය. සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ටද බරපතළ නඩු තිබුණි. එය ඔවුන්ට තමන්ගේ නඩුහබ ඔවුන්ගේ වාසියට හේතුවන ලෙස විසඳා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. ඔවුහු ඒ අමාරු මොහොතේදී අගවිනිසුරුවරයාට සිය නාලිකාවලින් උදව් කරන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැගීම මගින් ඔවුන්ගේ නඩු ප‍්‍රශ්න ඔහු ලවා විසඳා ගත්හ. ඒ අර්ථයෙන් ඒ සියලූදෙනා ඔහුට සදා ණයගැතිය. ඔහුගේ කුණුවූ ශරීරයෙන් හමන දුගඳ නොසලකා ඔහුට තිබෙන ණයගැතිභාවය ප‍්‍රදර්ශනය කිරීමද තේරුම් ගත හැකිය.

එහෙත් රටේ සමාජ දේශපාලන ව්‍යාපාර කුණුවී දුගඳ හමන මෙම පුද්ගලයාට ගරු කටයුතු වැදගත්කමක් ලබාදීම තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණ කලක් ඔහුට දේශපාලන වශයෙන් බුහුමන් දක්වන තැනක සිටියේය. ජාතික හෙළ උරුමය සිය පිවිතුරු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කෙටුම්පත් කරවා ගැනීමට ගියේ මෙම දුගඳ හමන පුද්ගලයා ළඟටය.

එක් කලෙක ඔහු චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත සගයෙක් විය. ඔහුගේ බෙල්ල හිරවී තිබුණුඅවස්ථාවකදී ඔහු බේරාගත්තේ චන්ද්‍රිකාය. ඉන්පසු මහින්ද කරළියට ගැනීම සඳහා චන්ද්‍රිකාගේ බෙල්ල හිරකරනු ලැබුවේද ඔහුය. මහින්දගේ දේශපාලන ඉදිරි ගමනට තිබූ ලොකුම සම්බාධකය වී තිබුණු හෙල්පින් හම්බන්තොට පරීක්ෂණයෙන් මහින්ද බේරා ගත්තේය. විශ‍්‍රාම ගිය පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවීමට ඔහු සිහින දැක්කේය. තමන් මහින්දට කරන ලද ලොකු උපකාරයට මහින්දගෙන් ලොකු ප‍්‍රතිඋපකාරයක් ලබාගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි ඔහු කල්පනා කළා විය යුතුය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මා සමග කියා ඇති පරිදි ඔහු විශ‍්‍රාම යෑමට කලකට ඉහතදී අගවිනිසුරුවරයාට සමීප භික්ෂූන් වහන්නේ නමක් අගවිනිසුරුවරයාගේ අනාගතය ගැන කතා කිරීමට ජනාධිපතිවරයා හමුවී තිබේ. අගවිනිසුරුවරයා කරන ලද වැදගත් කාර්යභාරය සලකා ඔහු අගමැති ධුරයට පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙකුට අගමැතිවීමේ හැකියාවක් නැති නිසා පළමුවෙන් පාර්ලිමේන්තුවට එන ක‍්‍රමයක් ගැන කල්පනා කිරීම සුදුසු බවය. අගවිනිසුරුවරයා විශ‍්‍රාම යන දිනයේදී ඔහුට පහරදීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළක් තමන්ට දැනගන්නට ලැබී ඉන් ආණ්ඩුවට ඇතිවිය හැකි අපකීර්තිය සලකා තමා මැදිහත් වී එම වැඩපිළිවෙළ ව්‍යර්ථ කළ බවද මට ජනාධිපතිවරයාගෙන් අසන්නට ලැබුණි. අගවිනිසුරුවරයා විශ‍්‍රාම යන්නට ආසන්න කාලයේදී ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දු දෙන තැනකට යන්නට ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප‍්‍රතිචාරය නිසා ඇති කරගත් කලකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. විශ‍්‍රාම යෑමෙන් පසු ඔහුද ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම විශ‍්‍රාම නොගියේය. මහින්ද විරෝධියකු ලෙස දේශපාලනයට එකතු වන්නට මාන බැලූවේය. ඔහු හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ප‍්‍රසිද්ධ පාපෝච්චාරණයක යෙදුණේය. තමා නිසා නොවේ නම් මහින්දට යන්නට වෙන්නේ රජගෙදරට නොව හිරගෙදරට බව කීවේය. එසේ කිරීම ගැන තමා කනගාටු වන බවද කියා සිටියේය.

මහින්දගේ පරාජයෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහට ළංවීමටද මාන බැලූවේය. තමන්ට හිතවත් භික්ෂූන්වහන්සේ කෙනෙකු ලවා අගමැති හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔහු ආණ්ඩුක‍්‍රමයට කර තිබෙන හානිය අතිවිශාල බව කියමින් ඔහු පැත්ත පළාතකටවත් වැද්ද ගත යුතු පුද්ගලයකු නොවන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ එම භික්ෂූන් වහන්සේට කියන ලද බව අසන්නට ලැබුණි. ඔහු මහින්දගේ පැත්තට කරණමක් ගැසුවේ ඉන්පසුවය. මහින්දගේ ගමන ජයග‍්‍රාහී කිරීමේ හැකියාවක් ඔහුට නැති අතර ඔහුගේ දේශපාලන මනදොළ පිරවීමේ හැකියාවක් මහින්දටද නැත. ඔහුගේ ගමන අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ අසූචි වළෙනි.

0 comments:

බණ්ඩාරනායක ඝාතනයට තල්දුවේ සෝමාරාම එල්ලා මරන්නට කලින් දවසේ ක්‍රිස්තියානුවෙක් වූ හැටි

එවකට අගමැති ධුරය හෙබ වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාට රොස්මිඩ් පෙදෙසේ පිහිටි අගමැති නිවසේදී වෙඩි තැබුවේ 1959 සැප්තැම්බර් 25 වැනි දින උදෑසනය.

අගමැතිවරයාට වෙඩි තැබූ තල්දූවේ සෝමාරාම හිමි ‍පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඒ මොහොතේම අත්අඩංගුවට පත්විය. අගමැතිවරයා මරණයට පත්වූයේ 1959 සැප්තැම්බර් 26 වැනිදාය.
අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමත් සමගම වෙඩි තැබූ තල්දූවේ සෝමාරාම හිමි පමණක් නොව තවත් 7 දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ බණ්ඩාරනායක රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීම යන චෝදනා යටතේය. කැලණි රජ මහා විහාරාධිපති එක්සත් භික්ෂු පෙරමුණේ නායක මාපිටිගම බුද්ධරක්ඛිත හිමි, වැල්ලම්පිටියේ එච්.පී. ජයවර්ධන, වෛද්‍යචාර්ය කරෝලිස් අමරසිංහ, ‍පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා, එවකට මුදල් ඇමැතිව සිටි ස්ටැන්ලි ද සොයිසාගේ සොයුරු ඩිකී ද සොයිසා, සෞඛ්‍ය ඇමැතිනියව සිටි විමලා විජේවර්ධන හා කාර්මිකයකු වූ අනුර ද සිල්වා මෙලෙසින් අත්අඩංගුවට පත්වූහ.
මේ වන විට එනම් 1958 මැයි 09 වැනි දින සිට ලංකාවේ මරණීය දණ්ඩනය අහෝසි කර තිබුණේ  බණ්ඩාරනායක රජයෙනි. එබැවින් රජය විසින් 1959 දෙසැම්බර් 02 වැනි දින සිට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරනු ලැබිය. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුව ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූයේ 1959 දෙ
සැම්බර් 14 වැනි දින කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් ඇන්.ඒ. ද ඇස්. විජේසේකර ඉදිරියේ දීය.
ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ බණ්ඩාරනායක නඩුව ජූරි සභාවක් ඉදිරියේ රාජනීතිඥ ටී.ඇස්. ප්‍රනාන්දු විනිශ්චයකාරවරයා ඉදිරිපිට විභාගයට ගැනිණි. දින 52ක් පුරා විභාග වූ මෙම නඩුව අවසානයේ දී තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. අත්අඩංගුවට පත්වූ වෛද්‍යාචාර්ය කරෝලිස්  අමරසිංහ රජයේ සාක්ෂි කරුවකු වූ අතර සෙසු පිරිස විත්තිකරුවෝ වූහ. මෙකී විත්තිකරුවන් අතරින් මාපිටිගම බුද්ධරක්ඛිත 1960 ජුනි 20 වැනිදාත් එච්.පී. ජයවර්ධන 1960 ජුනි 21 වැනිදාත් තල්දූවේ සෝමාරාම 1960 ජුනි 22 වැනිදාත් එල්ලා මැරීමට නියම කරනු ලැබිය. එහෙත් අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් වීමෙන් පසු මාපිටිගම බුද්ධිරක්ඛිත සහ එච්.පී. ජයවර්ධන යන දෙදෙනාට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම වූ අතර තල්දූවේ සෝමාරාම 1962 ජූලි 06 වැනි දින එල්ලා මැරීමට නියම විය. මෙම තීන්දුව දෙනු ලැබුවේ 1962 ජනවාරි 15 වැනිදාය.
මේ අධිකරණ තීන්දුවෙන් පසුව තල්දූවේ සෝමාරාමව වැලිකඩ බන්ධනාගාරයේ ඛි-3 අංශයේ රඳවනු ලැබිය. ඛි-3 අංශයේ සිරමැදිරි පිහිටා තිබෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ‍පෝරකයට ආසන්නයෙනි. සිරකරුවෙකුව මරණීය දණ්ඩනයට රැගෙන යනු ලබන විට හිස් වන සිරමැදිරියට මරණ දඬුවම ලැබිමට නියමිත ඊළඟ සිරකරුවාව මාරු කිරීම සාමාන්‍ය පිළිවෙතය. ඒ අනුව ඛි-3 අංශයේ රඳවා සිටින මරණ දඬුවම හිමි සිරකරුවන් සිර මැදිරිවලින් මාරු කිරීම නිතැතින් සිදුවේ. තල්දූවේ සෝමාරාමටද එක් සිරමැදිරියකින් තවත් සිරමැදිරයකට මාරු වීමට සිදුවූවේ එබැවිනි.
මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ ඇඳුම වූයේ කොටු සහිත සුදු රෙද්ද සහ අමු රෙද්දෙන් මැසූ අත්දිග සුදු හැට්ටයකි. ඒ අනුව තල්දූවේ සෝමාරාමටද එකී ඇඳුම නියම විය.
එහෙත් ඔහුට අලුත් ඇඳුම හැඳ ගැනීමට සිවුර උනා දමන්නට අවශ්‍ය වූයේ නැත. ඊට හේතුව ඔහු සුදු ජාතික ඇඳුමෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි නිසාය. එහෙත් එම ඇඳුම ඔහු අඳින්නේ සිවුරු ලබාගත නොහැකි නිසා බවත් ඔහු භික්ෂූත්වයෙන් අත්මිදී නොමැති බවත් නඩු විභාගයේදී මෙන්ම මරණ දඬුවම නියම වූ පසුවද දිගින් දිගට ප්‍රකාශ කර තිබේ.
මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් සිරමැදිරියෙන් පිටතට ගැනෙන්නේ දිනකට දෙවරක් පමණි. ඒ වරකට පැය 1/2 බැගින් උදෑසන සහ සවස් වරුවේය.
ව්‍යායාම සහ මූණකට සෝදා පිරිසිදු වීම සඳහා උදෑසන පැය 1/2 ක් ලබා දී තිබිණි. සවස් වරුවේ ද මූණකට සෝදා වැසිකිළි යෑම වැනි කටයුතු සඳහා පැය 1/2 ක් ලබාදී ඇත. මෙම සිරකරුවන්ගේ ආහාර සිරකුටියේ කුඩා කවුළුවකින් ලබා දෙනු ලැබේ. මරණ දඬුවම හිමි වූ සිරකරුවන්ට බන්ධනාගාර වෘත්තීන් ලබා දෙන්නේ නැත. පිටතට ගන්නා පැය හැරුණු විට ඉතිරි පැය 23 ම අඳුරු හිර කුටියේ ගත කළ යුතු වන්නේ එම නිසාය. මෙම සිරමැදිරිවලට විදුලි ආලෝකය සැපයෙන්නේ නැත. රාත්‍රියේ අඳුර දුරුවන්නේ කෝරිඩෝවේ ඇති විදුලි බුබුළුවලිනි. මේ ආකාරයට දිවි ගෙවූවද  තල්දූවේ සෝමාරාම අනෙක් සිරකරුවන් සමග විහිළු තහළුවෙන් කාලය ගත කර තිබේ. නියමිත වේලාවට ආහාර ගත් ඔහු දවසකට සිගරට් පැකට්ටුවක් පාවිච්චි කර තිබේ.
එහෙත් ඔහු සාමාන්‍ය අන්දමට ගත කළ ජීවිතය 1962 ජූලි මාසය එළඹෙත්ම වෙනස් වූයේ ජූලි 06 වැනි දින ඔහුව එල්ලා මරා දමන බව හොඳින් දන්නා නිසාය.
“ඒ කා‍ලේ මරණ දඬුවම ලබා දෙන දිනය අධිකරණය නියම කළාට එය අනුමත කරන්නේ එංගලන්තයේ මහ රැජින. ඔය කා‍ලේ ක්‍රිස්තියානි ආගමේ  සිරකරුවන්ගේ අවසාන  ආගමික වතාවත් කරන්න බන්ධනාගාරයට පැමිණියේ මැතිව් පීරිස් දේවගැතිවරයා. මැතිව් පීරිස් දේවගැතිවරයා එහෙම ආපු වෙලාවක තල්දූවේ සෝමාරාම එක්ක කතා කරලා තිබෙනවා. මැතිව් පීරිස් දේවගැතිවරයා කියලා තිබෙනවා ඔහු එංගලන්ත සභාවට අයත් ඇන්ග්ලිකන් නිකායට අයිති පූජකවරයෙකු නිසා එංගලන්තයේ මහ රැජිනගෙන් සමාව ඉල්ලලා දෙන්න පුළුවන්, ඇන්ග්ලිකන් ආගමට එන්න කියලා. සෝමාරාම මැතිව් පීරිස් දේවගැතිවරයාට බැණලා එළවාගෙන තිබෙන බව මට මගේ තාත්තා කියලා තියෙනවා. මොකද ඒ කා‍ලේ මගේ තාත්තා පී. වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් කෙනෙක් හැටියට සේවය කළා. ඒ නිසා මගේ පියා සෝමාරාම සමග කටයුතු කර තිබෙනවා.” යනුවෙන් විශ්‍රාමික බන්ධනාගාර අධිකාරි ලාල් වික්‍රමසිංහ විස්තර කළේය.
මැතිව් පීරිස් දේවගැතිවරයාව එළවා ගත්තද බෞද්ධ භික්ෂුවක් වූ සෝමාරාම කිසිම විටෙක ආගමික කටයුතුවල නිරත වූයේ නැත. 1962 ජූලි මාසය එළැඹුණු විට සෝමාරාමගේ සොහොයුරාත් වයෝවෘද්ධ ඥාති භික්ෂුවකුත් ඔහු බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි බව වාර්තා වේ. එහෙත් කිසිම ඥාතියෙකු සෝමාරාමගේ මළ සිරුර ලබාගැනීමට ඉල්ලීමක් කළේ නැත. ජූලි 04 , 05 වන විට සෝමාරාම වැඩිපුර කතාබහේ යෙදී  නැත. ජූලි 04 දින ඔහු බැලීමට ඇපෑ‍ලේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ලුෂියන් පී. වීරමන්ත්‍රි ඇතුළු නීතිඥයන් පැමිණියද ඔවුන්ට අවසර ලැබි නැත.
එතෙක් ඔහු භික්ෂුවක් බව කියා සිටි තල්දූවේ සෝමාරාම මහණකමත් බුද්ධාගමත් අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳගෙන තිබෙන්නේ 1962 ජූලි 05 වැනිදා උදෑසන 8.30ටය. බන්ධනාගාරයේ ක්‍රිස්තියානි ආගමේ ලංකා සභාවේ ආගමික කටයුතු භාර දේවගැති මැතිව් පීරිස්, විශේෂ ආගමික මෙහෙයකින් පසුව සෝමාරාමව භෞතිස්ම කළ අතර සෝමාරාමගේ ක්‍රිස්තියානි නාමය ‘පීටර්’ විය.
ජූලි 05 වැනි දින සුපුරුදු ලෙස ස්නානය කළ සෝමාරාම හෙවත් පීටර් නියමිත පරිදි ආහාර ගෙන තිබේ. බන්ධනාගාර වෛද්‍ය නිලධාරි ඩී.ඇස්.ඇස්. ගුණවර්ධන ජූලි 05 වැනි දින ඔහුව පරීක්ෂා කර බලා ඔහු මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා ඇත. එදින සෝමාරාමගේ අවසාන රාත්‍රී්‍ර භෝජන සංග්‍රහය ලෙස ඔහු ගෙන තිබෙන්නේ බටහිර පන්නයේ ආහාර වේලකි. එනම් තම්බාපු
එළවළු සහ මාළුය. එය සපයා ඇත්තේ ඔහුගේ ඉල්ලීමකට අනුවය. ජූලි 05 වැනි දින දවස පුරාම ඔහු ගත කර ඇත්තේ ක්‍රිස්තියානි ‍පොත්පත් කියවමිනි.
1962 ජූලි 06 වැනි දින උදෑසන වැලිකඩ බන්ධනාගාරය වටා හමුදා මුරකාවල් යොදවනු ලැබිය. ජූලි 06 වැනි දින උදෑසන 6.00 සිට ගිනි අවි රැගත් හමුදා භටයන් රැකව‍ලේ සිටි අතර කිසිම කෙනෙකුට බන්ධනාගාරය අසල නැවතීමට හෝ රැස්වීමට ඉඩ දුන්නේ නැත. එදින උදෑසන බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලැබුණේ බන්ධනාගාර නිලධාරීන්ට පමණි. සිරකරුවන් බැලීමටවත් ඥාතීන්ට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ජූලි 06 වැනි සිකුරාදා උදෑසන මූණකට සෝදා පිරිසිදු වූ පසුව උදෑසන ආහාර වශයෙන් ඉඳිආප්ප  සහ සීනි සම්බල ඔහුට ලබා දී තිබෙන්නේ ඔහුගේ සිතැඟි අනුවය. එහෙත් සෝමාරාම උදෑසන ආහාරය ගෙන නැත. ඊට පෙර දින අන් දිනවලට වඩා සිගරට් අධික ප්‍රමාණයක් පානය කර ඇත.
එදින උදෑසන 7.40 ට මැතිව් පීරිස් දේවගැතිවරයා සෝමාරාම හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේ අවසාන ආගමික වතාවත් සිදු කිරීමටය.

එදා ඉංග්‍රීසියෙන් දේව මෙහෙයක් පැවැත්වූ මැතිව් පීරිස් දේවගැතිවරයාට ඊට වසර 20කට පසුව ඛි – 3 සිරමැදිරිය තුළට සිරකරුවකු ලෙස පැමිණෙන්නට සිදුවෙතැයි නිකමටවත් නොසිතුණු බව නියතය. එහෙත් මැතිව් පීරිස් දේවගැතිවරයාටද මරණීය දණ්ඩනය හිමි වී මෙම සිරමැදිරියටම පැමිණෙන්නට සිදුවීම ෙදෙවෝපගත සිදුවීමකි.
අවසාන ආගමික මෙහෙයෙන් පසුව ‍පෝරකයට ගෙන යෑම සඳහා නියමිත සුවිශේෂී ඇඳුම අන්දවා ඇත. මෙම අවස්ථාවේදි ඔහුට සංග්‍රහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ස්තූති කිරීමට ඔහු පසුබට වූයේ නැත. ඔහු ක්‍රිස්තියානි දහම වැළඳ ගත්තේ බෞද්ධ රටක කොපමණ භික්ෂුන් සිටියද තමා වැනි අහිංසකයෙකු වෙනුවෙන් උද්ඝෝෂණයක් කිරීමටවත් එකම භික්ෂුවක්වත් ඉදිරිපත් නොවූ නිසා බව ඔහු ප්‍රකාශ කර ඇත. අවට සිටි අය සමග කතා කළ සෝමාරාම නොහෙත් පීටර් අගමැති ඝාතනයට තමා කොටස්කරුවකු වුවත්  ඊට සම්බන්ධ අය හිරෙන් පිටත සිනාසෙමින් සිටින බව පවසා තිබේ. ‍පෝරකය වෙත ගෙන යන විට “නරක ආශ්‍රයෙන් නරකක්ම වෙනවා” යනුවෙන් ද අවට සිටි අයට පැවසුවේ ඔහුව උදෑසන 7.55ට සිරමැදිරියෙන් එළියට ගැනීමෙන් අනතුරුවය.
ඔහු කිසිදු කලබලයකින් තොරව ගමන් කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් කිසිවකුත් ඔහුව අල්ලාගෙන කැටුව නොයෑම විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිසිම චකිතයක් නැතිව ‍පෝරකයට නැඟුණු සෝමාරාමව එදින උදේ 8.05 ට එල්ලා මරණයට පත්කරනු ලැබිය. බන්ධනාගාර වෛද්‍ය නිලධාරී ඩී.ඇස්.ඇස්. ගුණවර්ධන මරණය සිදුවී ඇති බවට පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීන්දු කළ අතර හදිසි මරණ පරීක්ෂක ජේ.එන්.සී. තිරුචෙල්වම් මරණ පරීක්ෂණය පවත්වා එය නීතිය යටතේ එල්ලා මැරීමක් බව නිගමනය කළේය.
ඉන්පසුව මළ සිරුර රැගත් වෑන් රිය විශේෂ ආරක්ෂා සහිතව බන්ධනාගාරයේ පසුපස රහස් දොරටුවෙන් පිටතට ගෙන බොරැල්ල කනත්තේ ආදාහනාගාරය වෙත ගෙන යනු ලැබිය. උදේ 9.10 ට බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළටම රැගෙන ගිය රථය ඇතුළතදී විවෘත කළේ කිසිවකුත් නොදකින ආකාරයෙනි. සාමාන්‍ය ලීයෙන් සායම් හෝ සැරසිලි කිසිවක් නොමැති පෙට්ටියක බහා තිබු සෝමාරාමගේ මළ සිරුර ආදාහනාගාරයට දැමූ විගසම බන්ධනාගාර නිලධාරින් ඉදිරිපිටදීම ගිනි දල්වා තිබේ. එය දල්වා ටික වේලාවකින් පසුව බන්ධානාගාර කොමසාරිස් ෆීලික්ස් රත්නායක, නියෝජ්‍ය කොමසාරිස් පී.වී. පෙරේරා, වැලිකඩ බන්ධනාගාරාධිපති පී. සිල්වා යන අය පිටත් වී ගියහ. එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ නියෝජ්‍යාධිපති සිරිල් ජෑන්ස් සහ බන්ධනාගාර මූලස්ථානයේ අධිකාරි පී. කුමාරස්වාමි යන දෙදෙනා සෝමාරාමගේ සිරුර දැවී අළු වී යන තෙක් එහි රැඳී සිටියෝය. මෘතදේහයට ගිනි දල්වා විනාඩි 20ක් ගත වූ පසුව මැතිව් පීරිස් දේවගැතිවරයා එහි පැමිණ තිබේ. විශේෂ අවසරයක් ලබාගත් මැතිව් පීරිස් දේවගැතිවරයා ආදාහනාගාරයට ඇතුළු වී කෙටි ආගමික මෙහෙයක් පවත්වා දැවෙන සිරුරට ශුද්ධ වූ ජලය ඉස ඇත. උදෑසන 10.40ට විදුලි සොහොන භාරව ක්‍රියා කළ දිසානායක මුදියන්සේලාගේ බණ්ඩා විදුලි ගෙයි දොර හැර යකඩ කූරකින්  නොදැවුණු කොටස් එකතුකොට යළි ඒවා දැවෙන්නට සලස්වා ඇත. පෙරවරු 11.05ට පමණ සිරිල්  ජෑන්ස් හා කුමාරස්වාමි යන නිලධාරිහු පිටත් වී ගියහ. සවස 3.00ට වැලිකඩ බන්ධනාගාරයේ නියෝජ්‍යාධිපති සිරිල් ජෑන්ස් සමග මැතිව් පීරිස් දේවගැතිවරයා බොරැල්ල කනත්තට පැමිණි බව වාර්තා වේ.
1962 ජූලි 06 වැනි දින මරණීය දණ්ඩනයට ලක්වූ තල්දූවේ සෝමාරාම 1915 මාර්තු 31 වැනි දින අවිස්සාවේල්ල තල්දූවේ උපන් අයෙකි. ගිහි නම වූයේ රතු ගමරාළලාගේ වේරිස් සිඤ්ඤෝය. 1929 වසරේදී තල්දූවේ සෝමාරාම නමින් පැවිදි වූ හෙතෙම වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. පැවිදි ආචාර්යවරයා වූයේ තල්දූවේ ඉසිපතනාරාමාධිපති ගෝනගමුවේ සෝමානන්ද හිමිය. 1936 වර්ෂයේ දී මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ තල්දූවේ සෝමාරාම හිමි 1957 වසරේදී බොරැල්ල ආයුර්වේද රෝහ‍ලේ ඇස් වෙදකම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පත්කර ඇත. ඔහුගේ කියමනට අනුව නරක ආශ්‍රයෙන් නරක් වූ තල්දූවේ  සෝමාරාමට වර්ෂ 2  මාස 10 දින 10ක් වැලිකඩ බන්ධනාගාරයේ ගත කරන්නට සිදුවිය. එහෙත් ඉන් වැඩි කාලයක් ගෙවා තිබෙන්නේ රිමාන්ඩ් සිරකරුවකු වශයෙනි.

0 comments:

බැසිල්ගේ බල්ලන් නෑවූ පුෂ්පාගේ සාරිකට්ට ගැසූ ‘රණවිරුවන්ගේ’ කතාව

තිවංක සපරමාදු

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික කටයුතු සඳහා සන්නද්ධ හමුදාවල නිලධාරීන් සේවයේ යොදවා ගැනීම ගැන හා ඔහුගේ අභ්‍යන්තර ගුවන්ගමන් සඳහා රුපියල් ලක්‍ෂ 1550ක මහජන මුදලක් වියදම් කිරීම ගැන රාවය පසුගිය දිනෙක මුල් පුවතකින් විස්තර කළේය. දැන් ඒ සම්බන්ධයෙන් බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද සහ බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් පැවැත්වෙයි.

එහිදී හෙළි වන අන්දමට, නාවික හමුදාවෙන් අනුයුක්ත කරන ලද ප‍්‍රවාහන සහායකයන් 12 දෙනකු, ආහාර සහායකයන් හා ආහාර පිසින්නන් 11 දෙනකු, නිවාස සහායකයන් 26 දෙනකු, සුනඛ සංචිතය සඳහා 6 දෙනකු, වෛද්‍ය සහායකයන් 4 දෙනකු, ශාරීරික අභ්‍යාස නිලධාරීන් දෙදෙනකු නාවික හමුදාවේ වැටුප් හා දීමනා ගෙවා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසෙහි සේවය සඳහා අනුයුක්ත කර තිබුණි. නාවික හමුදාවෙන් සාමාන්‍යයෙන් ගෙවන වැටුපට අමතරව ප‍්‍රභූ රාජකාරි වෙනුවෙන් මේ පිරිසට රුපියල් 5000කට ආසන්න දීමනාවක් අමතරව රටේ මහජන මුදල්වලින් ගෙවා ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතාත් රාජපක්‍ෂ පවුලත් හැමවිටම පෙනීසිටින්නේ රණවිරුවන්යැයි ඔවුන් විසින්ම හඳුන්වන හමුදා නිලධාරින් හා සෙසු නිලයන් උත්කර්ෂයට නංවමිනි. සිංහල බෞද්ධ ජනමනස කුපිත කරවීමට මේ රණවිරු සංකල්පය එදාද ඔවුහු හොඳින් යොදාගත්හ. අදද යොදාගනිමින් සිටිති. එහෙත්, ඒ රණවිරුවන් ලෙස ඔවුන් හඳුන්වා පූජාසනයේ තබා පිටතට පෙන්වනු ලබන අයම රාජපක්‍ෂලාගේ ගෙවල් තුළදී එදිනෙදා බැලමෙහෙවර කරන මෙහෙකාරයන්ගේ තත්ත්වයට පත්කොට තිබුණු බව පෙනෙයි.

මේ හමුදා නිලධාරින් කොයිතරම් දුරට සිය සේවය සඳහා යොදගන්නට බැසිල් රාජපක්‍ෂලා කටයුතු කළේද කියනවා නම්, අමෙරිකාවේ පිහිටි ඔවුන්ගේ පෞද්ගලික නිවසේ ගෘහපාලන කටයුතු සඳහාද යවා තිබුණේ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකි. ආහාර සහායක යූ ජී ආර්, පාලක ප‍්‍රධාන සුළු නිලධාරි කුමාර ඒ දෙදෙනාය. (මේ හමුදා සාමාජිකයන්ගේ ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන්ගේ නම් සම්පූර්ණයෙන් පළ නොවන බව සලකන්න.) එවකට නාවික හමුදාපති අද්මිරාල් ඞීඩබ්ලිව්ඒ එස් දිසානායක ඔවුන් එහි යැවීමට අනුමැතිය දුන්නේය. එසේ නමුත් ඔවුන් බැසිල් රාජපක්‍ෂ මහතාට අදාළ ‘ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආරක්‍ෂක සමූහය’ට අනුයුක්ත කර සිටි බැවින් වැටුප් හා දීමනා සියල්ල ගෙව්වේ නාවික හමුදාවෙනි.

නාවික හමුදාවේ නායක නිවාස සහායක, පී. පාලද මෙලෙස බැසිල් රාජපක්‍ෂගේ නිල නිවසේ රාජකාරිවලට අනුයුක්ත කර තිබුණු අතර දෛනිකව නිවස පිරිසිදු කර පිළිිවෙළට සකස් කිරීම, නිවසේදී බැසිල් රාජපක්‍ෂ මහතාට හා එම මහත්මියට ආහාරපාන පිළිගැන්වීම, නිවසට පැමිණෙන අමුත්තන්ට සංග‍්‍රහ කිරීම වැනි කටයුතු මේ ‘රණවිරුවාට’ පවරා තිබුණි. නිවසේ ඒ ඒ රාජකාරි මේ අය වෙත පවරන ලද්දේ පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය විසිනි.

නායක වෛද්‍ය සහායක දමිත්ද මෙසේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසේ සේවයට අනුයුක්ත කර සිටි තවත් ‘රණවිරුවෙකි.’ ජනාධිපති කොමිෂන් සභාවට ඔහු දී ඇති දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන් වන ඇතැම් කරුණු මෙසේය.

‘2010.12.20 දින මම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ප‍්‍රථාමාධාර අංශයේ රාජකාරි සඳහා වාර්තා කළා. එම රාජකාරි තිබුණේ බැසිල් මහතාගේ කොළඹ කොටුවේ බවර් ගොඩනැගිල්ලේ පිහිටි නිවසේයි. එම ස්ථානයේ 2014 සැප්තැම්බර් දක්වා රාජකාරි කළ අතර මාහට පැවරී තිබුණු රාජකාරිය වුණේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රථමාධාර රාජකාරියි. එම මහත්මිය ගමන් කරන ස්ථානවලට ආරක්‍ෂක සෙබළුන් ගමන් කරන ඩිෆෙන්ඩරයේ හෝ කැබ් රථයේ මාද ප‍්‍රථමාධාර බෑගය රැුගෙන යනවා. ඒ මහත්මිය වැඩි වශයෙන් ගමන් කළේ ගම්පහ කාර්යාලයට සහ ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ පවත්වන ලද උත්සවවලටයි. රාජකාරි කළ කාලයේදී විශේෂ දීමනාවක් ලෙස මාසිකව මට රුපියල් 5000ක් ලැබුණා.’
ඊට අමතරව, බැසිල්-පුෂ්පා රාජපක්‍ෂ යුවළට ශාරීරික අභ්‍යාස කරවන්නට යොදා තිබුණේද නාවික හමුදාවේ නිලධාරියෙකි. ඔහු නාවික හමුදාවේ ශාරීරික අභ්‍යාසක, ටී එස් කේය:
‘නාවික හමුදා මූලස්ථානයේ ඇතුළේ පිහිටි බවර් සහ සමාගමට අයත් මහල් ගොඩනැගිල්ලේ දෙවෙනි තට්ටුවේ පිහිටි බැසිල් රාජපක්‍ෂ මහතාගේ ශාරීරික අභ්‍යාස ආයතනයේ මම සේවය කළා. මෙම අභ්‍යාස ආයතනය බැසිල් රාජපක්‍ෂ මහතාට අයිති එකක්. මම එහි පිරිසිදු කිරීම්, ශාරීරික යෝග්‍යතා භාණ්ඩවල ක‍්‍රියාකාරිත්වය පරීක්‍ෂා කර බැලීම් වැඩත් කළා. මෙම ස්ථානයේ ශාරීරික අභ්‍යාස සඳහා බැසිල් මහතා සමඟ පුෂ්පා රාජපක්‍ෂ මහත්මියද පැමිණෙනවා. මා එහි අනුයුක්ත කර තිබුණු අවුරුදු දෙකක කාලය තුළ බැසිල් මහතා නොපැමිණි අතර ඔහුගේ බිරිඳ නම් පැමිණෙනවා. එහෙත් ඇයට ශාරීරික අභ්‍යාස ලබාදෙන්නේ මා නොවෙයි. පිටතින් පැමිණෙන සිවිල් ශාරීරික අභ්‍යාස උපදේශිකාවක් විසින්. ඒ කාලය තුළ මට රුපියල් 5025ක දීමනාවක් අමතරව ගෙව්වා.’

මේ කතාකරන්නේ පීඞීඑම්එස් මධුය. ඇය නාවික හමුදා බල කාන්තා නැවි තනතුරේ රාජකාරි කළ නැතැත්තියකි.
‘2014.10.23 දින සිට බැසිල් රාජපක්‍ෂ මහතාගේ නෝනාගේ රාජකාරි සඳහා මම වාර්තා කළා. මම බැසිල් මහතාගේ බිරිඳගේ ආරක්‍ෂාව සඳහා සිටි නමුත් එතුමිය ගමන්ගන්නා උත්සවවලට, අමාත්‍යාංශය වෙත යන විට, ගම්පහ කාර්යාලයට යන විට ඒවාට යනවා. ඔවුන්ගේ ගෙදරදී මම එතුමියගේ ආරක්‍ෂක රාජකාරි නෙවෙයි කළේ. ඇය ගමනක් යන්න ලැහැස්ති වන විට සාරි කට්ට ගැසීම, රැුගෙන යෑමට අවශ්‍ය භාණ්ඩ කාර් රථයට දැමීම, වතුර අවශ්‍ය වූ විට වතුර බෝතලය දීම, මුහුණ පිසදා ගැනීම සඳහා සර්වියට් පේපර් දීම ආදි කටයුතු තමයි කළේ. මගේ ඉහළ නිලධාරීන් මේ වැඩ සඳහා නියෝග ලබා නොදුන් අතර මා එම නිවසට පැමිණෙන විට එම ස්ථානයේ සිටි අනෙක් නාවික හමුදාවේ හා පොලිසියේ නිලධාරිනියන් දෙදෙනා විසින් සිදුකළ රාජකාරියම මා කළා. බැසිල් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ ඇගේ සාරිකට්ට ගැසීමට පමණක් අපි තිදෙනාගෙන් අයකුට කතා කරනවා. රාජකාරිය වෙනුවෙන් රුපියල් 5000ක අමතර දීමනාවක් මට දුන්නා. මා නාවික හමුදාවට බැඳුණු පසු පැවරී තිබුණු කිසිම රාජකාරියක් බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසේදී නොකළ අතර ඉහතින් සඳහන් කරන ලද රාජපක්‍ෂ මහතාගේ බිරිඳගේ පෞද්ගලික කටයුතු සිදුකළා.’
ඒ ආරක්‍ෂක රාජකාරි බලාපොරොත්තුවෙන් නාවික හමුදාවට බැඳුණු සෙබළියකට පැවරුණු පෞද්ගලික මෙහෙකාර සේවයේ හැටිය.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසට අනුයුක්තව සේවය කළ නාවික හමුදාවේ සාමාජිකයන්ගෙන් 6 දෙනකු අනුයුක්ත කොට තිබුණේ සුනඛ සංචිතයටය. රාජපක්‍ෂ මහතාගේ අධික වටිනාකමැති සුනඛයන් දෙදෙනා සම්බන්ධ සියලූ කටයුතු පැවරී තිබුණේ මේ සුනඛ සංචිතය යන නමින් හැඳින්වුණු ‘රණවිරු වන්ට’ය. එස්ආර් තිස්ස, මේ සුනඛ සංචිතයේ සේවය කළ එක් නාවික හමුදා ‘රණවිරුවෙකි.’ ඔහු නාවික හමුදා නිලයෙන් නාවික නැවියෙකි.

‘2011.01.26 දින ලියුමකින් මට දැනුම් දුන්නා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ බල්ලන් බලාගන්න යන්න කියලා. මා එක්ක නාවික නැවි ආර්එස් කුමාරත් හිටියා බල්ලන් බලාගන්න. මා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසේ බල්ලන් බලාගැනීමේ රාජකාරි වසර තුනහමාරක් පමණ කළා. එහි සිටි කාලය තුළ දෛනිකව රාජකාරි සඳහා නියෝග ලබා දෙන්නේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂ විසින්. මට උදේ දවල් ?ට බල්ලන්ට කන්න දෙන එක හා ඔවුන් ශාරීරික යෝග්‍යතා සඳහා රැුගෙන යෑම, ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සඳහා රැුගෙන යෑම, සතියකට වරක් ඔවුන් නෑවීම, එන්නත් ලබාදීම සඳහා රැුගෙන යෑම පැවරුණා. මට මේ කාලය තුළ ප‍්‍රභූ ආරක්‍ෂක දීමනාව ලෙස අතිරේක රුපියල් 5000ක් ලැබුණා.

නාවික හමුදා නායක නැවි, ආර්ඞීඑස් කුමාර සුනඛ සංචිතය ගැන කියන්නේ මෙහෙමය. ‘මට බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවරී තිබුණේ සුනඛ සංචිතයේ රාජකාරි කිරීමයි. මම ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේ පැවැති සුනඛයන් සම්බන්ධ මාස 4ක පුහුණුවක් ඊට පෙර ලබා තිබුණා. 2010 සිට 2015 ජනවාරි මාසය දක්වා මම එම නිවසේ සුනඛයන් බලාගැනීමේ රාජකාරි කළා. සුනඛ සංචිතයේ රාජකාරිය වුණේ සුනඛයන් බලාගැනීම, ඔවුන් නෑවීම, ඔවුන්ගේ ඇඟ පීරීම, බෙහෙත් ලබාදීම, ආහාර ලබාදීම, අණට කීකරු වීමට පුහුණු කිරීම යනාදියයි.

බැසිල් මහතාගේ නිවසේ සුනඛයන් දෙදෙනෙක් හිටියා. ඔවුන් දෙදෙනාම ගෝල්ඩන් රිට්රිවර් වර්ගයේ. ඔවුන් දෙදෙනාගෙන් අමෙරිකාවෙන් ගෙන්වන ලද සුනඛයා රුපියල් ලක්‍ෂ 7ක පමණ වටිනාකමක් වන අතර, ඉන්දියාවෙන් ගෙන්වන ලද සුනඛයා ලක්‍ෂ 2ක පමණ වටිනාකමක් ඇත. එම සුනඛයන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පෙට්වෙට් නම් සුනඛ සායනයට මාස දෙකකට පමණ වතාවක් ගෙනයනවා. එම සායනය පවත්වන්නේ අමෙරිකාවේ පදිංචි ශී‍්‍ර ලාංකික වෛද්‍යවරියක් වන අතර, ඇයගේ නම මට මතක නැහැ. එම සුනඛයන් දෙදෙනා ශීත කළ කාමර තුළ පමණක් ජීවත්විය හැකි දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නිවසේ ශීත කළ කාමරයක තමයි රඳවා තිබුණේ.

මා දන්නා හැටියට ලංකාවේ වටිනාම සුනඛයන් ඉන්නේ ලංකාවේ පොලිසියේ හා ගුවන් හමුදාවේ. එහි සිටින සුනඛයන්ටත් වඩා මේ සුනඛයන් දෙදෙනා අතිවිශාල වටිනාකමකින් යුක්ත සුනඛයන් දෙදෙනකු බව මා ඉදන්නවා.’

මේ විස්තරය අනුව පෙනීයන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා වේදිකාවේදී වර්ණනාවට නංවන ‘රණවිරුවන්’ ඔහුගේ නිවසේදී ඔහුට හා ඔහුගේ බිරින්දෑට, බල්ලන් නාවන, බල්ලන්ට කන්ට දෙන, තමන්ට එක්සයිස් කරවන, සාරියේ කට්ට ගහන්න උදව් කර ගන්න, මූණ පිහිදාගන්නට අවශ්‍ය වුණාම පේපර් සර්වියට් එකක් අතට දෙන ආකාරයේ මෙහෙකාරයන්ට සමානව සැලකුම් ලැබූ පිරිසක් පමණක් වූ බවය. ඔවුන්ට රණවිරුවන් යැයි පිරිසක් නැවතත් අවශ්‍ය වන්නේ බලයට පැමිණීමට ඉනිමඟක් කරගන්නට නොවේද? මේ රැුවටිලිකාර දේශපාලකයන් තවදුරටත් ලංකාවේ දේශපාලන නිලතල හෙබවිය යුතුද?

රාවය

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු