lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Sunday, July 10, 2016

    2006 මහින්දයි 2016 මෛත්‍රියි - උපුල් ජෝශප් ප්‍රනාන්දු

    2015-12-31 - උපුල් ජෝශප් ප්‍රනාන්දු -
    බණ්ඩාරනායක ඝාතනයට පසු ශ්‍රී ල.නි.ප.ය භාර ගන්න යැයි හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන් බණ්ඩාරනායක මැතිනියට කී විට ඇය හැඬූ­ කඳුළින් කීවේ තම සැමියාව මරා ගත් පක්‍ෂය භාර ගන්න බැහැ කියාය. ඒත් හේන්පිටගෙදර හාමුදුරුවන්ගේ බලවත් පෙරැත්තය මත මැතිනිය පක්‍ෂ නායකත්වය භාර ගත්තාය. ඇය නායකත්වය භාර ගන්නා විට බණ්ඩාරනායක ඝාතනයට කෙළින්ම හෝ වක්‍රව හවුල් වූ බණ්ඩාරනායක ලේ ගෑවී තිබුණු අය පක්‍ෂයේ බලය අල්ලාගෙන සිටියහ.

    ඇයගේ පළමු රාජකාරිය වූයේ ඔවුන්ගෙන් පක්‍ෂය මුදා ගැනීමය. ඇය ඒ වැඩේ අකුරට කළාය. ඇය ඒ සඳහා හයියට බණ්ඩාරනායක ඥාති ෆීලික්ස් ඩයස්ව පක්‍ෂයට ගෙන ආවාය. ඇය ෆීලික්ස් ඩයස් පාව්ච්චි කොට පක්‍ෂය සුද්ද කරද්දී පක්‍ෂය ඇතුළෙන්ම විරෝධතා මතු විය. ඇය පක්‍ෂය භාර ගන්නා විට පක්‍ෂ නායකත්වයේ සිටි බණ්ඩාරනායකගේ විශ්වාසවන්ත ගෝලයකු වූ සී.පී. ද සිල්වාත්, ෆීලික්ස් ඩයස්ගේ ආධිපත්‍යය ඉවසුවේ නැත. සී.පී.ලා ආණ්ඩුවෙන් එළියට ගියත් මැතිනිය පක්‍ෂය බණ්ඩාරනායක ඝාතකයන්ගෙන් මුදාගෙන පක්‍ෂය ශක්තිමත් කරන වැඩේ අතහැරියේ නැත.


    1993 චන්ද්‍රිකා යළි ශ්‍රී ල.නි.ප.යට එක් වී බස්නාහිර මහ ඇමැති ධුරය භාර ගන්නා විට පක්‍ෂය අරක්ගෙන සිටියේ දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ සහ ජිනදාස නියතපාල, තිලක් කරුණාරත්නගේ හෙළ උරුම කල්ලියය. ඔවුහු පක්‍ෂය ජාතිවාදී මතයකට කොටු කරගෙන සිටියහ. එයින් වාසි ගත්තේ ප්‍රේමදාස ආණ්ඩුවය. මේ නිසා තොණ්ඩමන් හෝ අශ්රෆ්ලා ශ්‍රී ල.නි.ප.ය දෙස හැරිලාවත් බැලුවේ නැත. ඔවුන් නැතිව ආණ්ඩුවක් පිහිටුවීම තියා ජනාධිපතිවරණයක් ජය ගැනීමත් දුෂ්කර බව අවබෝධ කර ගත් චන්ද්‍රිකා පළමුව පටන් ගත්තේ පක්‍ෂය මේ ජාතිවාදීන්ගෙන් මුදා ගන්නටය. ඇය ඒ සඳහා යුද විරෝධී රැස්වීම් මාලාවක් සංවිධානය කළාය.

    ඇය බලය බෙදීම ගැන කතා කළාය. ඇය කෙසේ හෝ මහ මැතිවරණයට අශ්රෆ්ව සහ තොණ්ඩමන්ගෙන් කැඩී ආ සෙල්ලසාමිව දිනා ගත්තාය. දිනේෂ්ගේ පක්‍ෂය සහ හෙළ උරුම කල්ලිය මෙයින් කෝපයට පත් විය. දිනේෂ් වෙනම ඉල්ලන්න තීරණය කළේය. හෙළ උරුම කල්ලිය අනුරව එ.ජා.ප.යට යවා විජේතුංගගේ නායකත්වය පිළිගෙන එ.ජා.ප.යට එක් විය. එ.ජා.ප.ය, හෙළ උරුම කල්ලිය සහ දිනේෂ්ගේ ම.එ.පෙ. චන්ද්‍රිකාව ප්‍රභාකරන්ගේ රූකඩයක් සේ රටට පෙන්වන කැම්පේන් එකක් කළහ. ඒත් චන්ද්‍රිකා 94 මහ ඡන්දය දින්නාය. හැබැයි ආණ්ඩුව පිහිටෙව්වේ අශ්රෆ් සහ චන්ද්‍රසේකරන් නිසාය. චන්ද්‍රිකා ම.එ.පෙ. සහ හෙළ උරුම කල්ලියෙන් පක්‍ෂය මුදා ගත්තේ නැතිනම් ශ්‍රී ල.නි.ප.යට යළි කවදාවත් බලයට එන්න ලැබෙන්නේ නැත.


    2005දී මහින්ද ශ්‍රී ල.නි.ප. ජනාධිපති අපේක්‍ෂකත්වය භාර ගන්නා විට ශ්‍රී ල.නි.ප.ය තිබුණේ ජ.වි.පෙ. අත්අඩංගුවේය. 2004 බලයට එන්න ජ.වි.පෙ. එක්ක ගහපු ගිවිසුම නිසා ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන් රාශියකට මන්ත්‍රිකම් අහිමි විය. මනාපෙන් මුලට ආවේ ජ.වි.පෙ.ය, ජ.වි.පෙ. ආසන 40ක් පමණ ලබා ගත්තේය. එපමණක් නොව ජ.වි.පෙ. කියන විදියට ආණ්ඩුව වැඩ කළ යුතුව තිබිණි. වලිගය විසින් බල්ලා නැටවීම නොහොත් ජ.වි.පෙ. විසින් ශ්‍රී ල.නි.ප.ය නැටවීම චන්ද්‍රිකාට එපා වී තිබිණි. මහින්ද මුල සිටම ජ.වි.පෙ. සමඟ සන්ධානයකට යෑම විවේචනය කළේය. ඒත් මහින්ද ශ්‍රී ල.නි.ප. ජනාධිපති අපේක්‍ෂකකම ගන්න ජ.වි.පෙ. උදවු ගත්තේය. ඔහු ජ.වි.පෙ. කරපිටින් ගොස් ජනාධිපති විය. ජනාධිපති වූ දින සිට ඔහුගේ රාජකාරිය වූයේ ජ.වි.පෙ. ග්‍රහණයෙන් පක්‍ෂය මුදා ගැනීමය. ඔහු ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තේ 2006 පුංචි ඡන්දයය. ඔහු ජ.වි.පෙ.ට තනියම ඡන්දය ඉල්ලන්න ඉඩ හැරියේය. ඊට කලින් ඇමැති මණ්ඩලය හදද්දී ජ.වි.පෙ.ට පල නොකියා පලා බෙදා ජ.වි.පෙ. ඇමැති මණ්ඩලයට එක්වීම වළක්වා ගත්තේය. පුංචි ඡන්දයේදී ජ.වි.පෙ. තනියම යන තැනට වැඩේ සෙට් කළේය. පුංචි ඡන්දෙන් ජ.වි.පෙ. ඇන ගත්තේය.

    එ.ජා.ප.ය පළාත් පාලන ආයතන කීපයක් දින්නද මහින්ද පක්‍ෂය තුළ බලය තහවුරු කර ගත්තේය. ජ.වි.පෙ.න් පක්‍ෂය මුදාගෙන ඔහු 2006 පක්‍ෂ නායකයා විය.
    මේ එන්නේ 2016ය. මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය භාර ගත්තේ 2015දීය. ඔහු නායකත්වය භාර ගන්නා විට පක්‍ෂය අරක්ගෙන සිටියේ විමල්ලා, දිනේෂ්ලා, වාසුලාය. මහින්ද පසුගිය ජනාධිපතිවරණය පරාජය වුණේ විමල්ලා කියන ඒවා කරල සුළු ජාතික ඡන්ද තරහ කර ගත් නිසාය. වෙනම ඉල්ලලා මන්ත්‍රි ආසනයක් දිනා ගන්න බැරි මේ පක්‍ෂ අද රාජපක්‍ෂ පවුල අල්ලාගෙන පක්‍ෂය පාලනය කරන්න යයි. ඒ ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩු බලය අරන් දෙන්න නොව තම මන්ත්‍රි ධුර රැකගන්නටය.

    අද මෙම ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නේ 2007 මහ මැතිවරණයේදී ශ්‍රී ල.නි.ප.යෙන් ඉවත් වී පක්‍ෂය තනි කොට රට ගොස් යළි 2004 පක්‍ෂය දින්න විට පක්‍ෂයට ආ ඩලස්ලාය. 1977 සිට 94 තෙක් ශ්‍රී ල.නි.ප.ය නොමරා මරපු ලොකුගේලාය. 2001 පක්‍ෂයත් ආණ්ඩුවත් පාවලා දීලා එ.ජා.ප.යට ගිය බන්දුලලා ජී.එල්. පීරිස්ලාය.
    අද ඔවුන් පක්‍ෂය දෙකඩ කරන්න වුවද සූදානම්ය. චන්ද්‍රිකා 1994 දිනේෂ්ලාව පන්නලා පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන ගියාය. වෙනම ඉල්ලලා 1994 මහ මැතිවරණයෙන් දිනේෂ් අන්ත පරාජයකට පත් විය. මහින්ද 2006 ජ.වි.පෙ. පන්නා ජ.වි.පෙ. කියන විදියට පක්‍ෂය මෙහෙයවන අනුර, මංගල, ශ්‍රී පතිව පන්නා දමලා පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන ගියේය.


    'මෛත්‍රිත් ඒ අවදානම ගන්න ලෑස්තිද...?'
    2006 මහින්දට තීරණාත්මක වූවා සේ 2016 මෛත්‍රිට තීරණාත්මකය.

    උපුල් ජෝශප් ප්‍රනාන්දු

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture