sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» »Unlabelled » කොළඹ නගරයේ තාවකාලික ලැගුම්හල් සොයා ගිය ගමනක්

පාර පුරා දූවිලි දුමාරයත් ඉවරයක් නැති කාක් කාක් හඬත් හැරුණුවිට කොළඹින් ලැබිය හැකි අන් සියලූ දෑටම මිලක් නියම වන්නේය. ක්ෂේත‍්‍ර ගවේෂණයේ මෙවර තේමාව වූ කොළඹ නගරයේ ලැගුම්හල් පිළිබඳව අප කළ ගවේෂණය සියල්ල වෙනුවෙන් මිලක් නියම කර ගැනීමට උත්සාහ දරන මිනිසුන්ගේ දුක් කඳුළු, කපටිකම්, බියවැද්දීම්, රැවටීම් පිළිබඳ ලියැවිල්ලක් බඳු විය. 


පිටකොටුව, මරදාන ප‍්‍රධාන වශයෙන් සහ මෝදර මට්ටක්කුලිය, කෙසෙල්වත්ත, දෙමටගොඩ, ග‍්‍රෑන්ඞ්පාස්, බ්ලූමැන්ඩල්, කොටහේන, වැල්ලවත්ත, කොල්ලූපිටිය හා බොරැල්ල ආශ‍්‍රිතව පවතින ‘ලොජ්’ හෙවත් තාවකාලික ලැගුම්හල් පවත්වාගෙන යෑම ඔස්සේ සෘජුව හා වක‍්‍රව මුදල් ඉපයීමේ නිරතවන මිනිසුන් එහිදී අපට හමුවිය.

මෙම ගවේෂණයේදී අප අත්විඳි කටුක අත්දැකීම් හොඳ පත්තරකාරයෙකු වීමේ සිහිනය අත්හැරදමා කොළඹ, පිටකොටුව සිට ගමට යන බසයක නැගී ගම්රට බලා යෑමට තරම් සිත්විය.
10-Page-7-S2-05

මැස්සකු වුවත් එකම තැනක දෙවරක් වැසුවහොත් එම මැස්සාද හඳුනා ගැනීමට තරම් කොළඹ ජීවත්වන්නෝ සූක්ෂමය. ගවේෂණයේදී අප අත්විඳි ප‍්‍රධානතම බාධකය වූයේ එයයි.

ගවේෂණයේ යෙදුණු එක් සෙනසුරාදාවක හවස්වරුවේ අපි ගුණසිංහපුර බස්නැවතුම්පළේ උඩ තට්ටුවට නැඟී ඒ අවට සෝදිසි කළෙමු. තරමක වැසි සහිත තත්ත්වයක් තිබුණද ඒ අවට සෙනඟ අඩුවක් නොවීය. ගවේෂණයේදී අපට දායකත්වය සැපයූ උපාය ¥තයා කියූ පරිදි ඒ අවට ඇති ලොජ් කිහිපයක් පිළිබඳ දුරින් සිට අපට නිරීක්‍ෂණය කිරීමට හැකිවිය.


කාලයකට පෙර හුණු පිරියම් කර තිබුණේ යැයි සිතුණත් කුණු දූවිලි දියසෙවෙල් බැදුණු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ සඳලූතලය මත බංකුවල වාඩිවී සිටින ගැහැණු හත් අටදෙනෙකු අපගේ ඇසට යොමුවිය. උඩ තට්ටුවට යෑමට ඇති පටු පඩිපෙළ ආරම්භවන තැන තරමක් හිස කෙස් ඉදුණු පිිරිමි අයෙක් වාඩිවී සිටියේය. ටික වේලාවක් ගතවෙද්දී සිගරට් එකක්ද උරමින් කෙසඟ සිරුරක් ඇති පිරිමි අයෙක් එතැනට පැමිණියේය. පඩිපෙළ ළඟ වාඩිවී සිටි පුද්ගලයා සමඟ කෙටි සංවාදයක නිරතවූ ඔහු වාඩිවී සිටි පුද්ගලයාගේ උරහිසටද තට්ටුවක් දමා පඩිපෙළ නැග උඩ තට්ටුවට ඇතුළු විය. තවත් නොබෝ වේලාවකින් එහි සිටි අයෙක් පල්ලම් බැස්සේය. ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති ගසක අතුවලට ආවරණය වූ එහි ඇති විවර වූ ජනෙල් කිහිපයක් ටික වේලාවකින් වැසී ගියේය.

තවදුරටත් එහි රැඳී සිටීම නුවණට හුරු නොවූ හෙයින් අපි බස්නැවතුමෙන් එළියට පිවිසුනෙමු.

ගවේෂණයේදී අපට සහය වූ උපාය දූතයා පැවසූ පරිදි ලොජ් ඇතුළත සිදුවන ක‍්‍රියාවලිය මෙබඳුය.

තාවකාලික නවාතැන්පොළ සඳහා පැමිණීමේදී එහි හිමිකරුවාට යම් මුදලක් ගෙවිය යුතුය. වර්තමානයේ බොහෝ විට මෙම නවාතැන්පොළ භාවිතාවන්නේ ගණිකා වෘත්තීය සඳහාය. (සදාචාරාත්මක හේතුමත අප සොයා ගත් කරුණු මෙහි නොලියමු)

1

ගණිකා වෘත්තිය හැරුණු විට පෙම්වතා හෝ පෙම්වතිය එහි යන එනවානම් ගාස්තුව රුපියල් දහසද ඉක්ම වන්නේය. අවම පහසුකම් සහිත ලොජ්වල පවා රුපියල් පන්සියයට අඩු මුදලකට නතරවීම අපහසුය.

එහි යන එන සියලූම දෙනා ලොජ් හිමිකරුවා ළඟ ඇති සටහන් පොතක තමන්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සටහන් තැබිය යුතුය. දෙදෙනෙකු එකවර ලොජ් කාමරයකට ඇතුළු වෙද්දී බොහෝවිට සටහන් තබන්නේ එක් අයෙකුගේ නම් හැඳුනුම්පත් අංක පමණි. මෙය ප‍්‍රයෝජනයට ගනිමින් ඇතැම්හු තම නම් ගම් සඟවා ලොජ් ඇතුළට පැමිණ අවශ්‍ය කාර්යභාරය ඉටුකරගෙන යති.

කොළඹ අවට ලොජ්වලින් බහුතරය පිරිසිදුකම හා පහසුකම් සැපයීම අතින් ඉතාම පහත් මට්ටමක පවතී. එයින් එක් ලොජ් එකක කුටි වෙන්කර තිබුණේ රතු පැහැති ඉටිකොළ වලිනි. ඇඳවල් වෙනුවට එහි භාවිතා වන්නේ පැදුරුය. ඒවාද ඉතා කඩමලූ වූ ඒවාය. නිරීක්ෂණයට ලක්වූ ලොජ් කිහිපය අතරින් ඇඳන් සහිතව කාමර දොර සහ යාබද වැසිකිළි සහිත ලොජ් තිබුණේ සීමිත ප‍්‍රමාණයකි. එයින් හොඳ මට්ටමේ ලොජ් දෙකක්ද හඳුනාගත හැකිවිය. එයින් එකක් පිහිටා තිබුණේ දෙමටගොඩය. අනෙක් ලොජ් එක තිබුණේ මරදාන පාරේය. එය ටෙක්නිකල් හන්දියට නුුදුරුව ඇති ස්ථානයක පිහිටි ඉතාම පැරණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන ලොජ් එකකි. එයද අපගේ නිරීක්‍ෂණයට හසුවිය. එම ලොජ් එක අවට පරිසරය දකින්නෙකුට ඇතිවන්නේ බියමුසු හැඟීමකි. නමුත් එහි නිතර නිතර ගැහැනුන්ද මිනිසුන්ද සැරිසරනු අපි දුටුවෙමු.
2

කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට හා මරදාන පංචිකාවත්ත පාරේ පිහිටි තාවකාලික ලැගුම්හල් කිහිපයක්ද මෙහිදී අපගේ අවධානයට යොමුවිය.
එම ස්ථාන දෙකේම ඇති ලොජ්වල මැදිවිය ගැහැනුන් පාර අයිනේ නතර වී මඟබලා සිටීම පොදු ලක්ෂණයකි. එහි එක් ගැහැනියක සමඟ අපගේ උපාය දූතයා සිදුකළ සංවාදය මෙසේය.

‘දැන් කළු අක්කා නැද්ද?’

‘නෑනේ... දැන්  එයාගේ දුව ඉන්නේ’

‘දෙතුන් දෙනෙක් ගෙනැත් දාන්න පුළුවන් වෙයිද කියලා බැලූවේ’

‘පිස්සු හැදෙනවා මහත්තයා.. අපිත් මේ බිස්නස් නැතුව ඉන්නවා.’

‘කළු අක්කගේ දුවගේ නම්බර් එකක් නැද්ද? මම මෙතැනට නිතර යන එන කෙනෙක්.’

‘ඇවිත් ඉඳලා බලන්න අපි දන්නේ නෑ  ඕවා.’

මරදාන ආශ‍්‍රිතව ගැහැනුන් ගණිකා වෘත්තියේ යෙදවීමේදී එහි ප‍්‍රධාන පාලිකාව වශයෙන් කළු අක්කා නැමති කාන්තාවක් කටයුතු කර ඇති අතර වර්තමානයේ ඇයගේ දියණිය මෙම කටයුතු මෙහෙයවන්නීය.

මරදානේ අයට කොළඹ, පිටකොටුව යෑම තහනම්. කොළඹ-පිටකොටුව අයට වැරදීමකින් හෝ මරදාන පැත්තේ රැඳි සිටිය නොහැකිය. ඔවුන් විසින් නිර්ණය කරගැනුණු සීමා  මායිම්වලින් පිට පැමිණීම බරපතළ රණ්ඩු දබර වලට මුල පුරන්නක් වේ.

පිටකොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඇති තාවකාලික නවාතැන්පළවල සිටින ගැහැනුන් අතරින් බහුතරය දෙමළ ගැහැනුන්ය.

ගවේෂණයේ එක් විශේෂ අවස්ථාවක් ලෙස අපි ගණිකා සේවයේ යෙදෙන්නියක සමඟ මුහුණට මුහුණ සංවාදයේ යෙදුණෙමු. ඇය දෙමළ භාෂාව මෙන්ම සිංහල භාෂාවද හොඳින් හැසිරවීමට දන්නීය. මඳ සිනහවක් මුහුණේ රඳවාගෙන අප සමඟ සංවාදයකට එළැඹි ඇය මෙසේ පැවසුවාය.

‘‘මං ඉක්මනට යන්න  ඕනේ මේ නෝනලාට අහන්න තියෙන දෙයක් අහන්න ඉක්මනට.’’

‘‘අපිට විස්තර ටිකක් කියන්න පූළුවන්ද?

කලින් දවසක කැම්පස් විභාගයකට කියලත් නෝනා කෙනෙක් ඇවිත් විස්තර ඇහුවා.’’

මං අවුරුදු ගාණක ඉඳලා මෙහේ ඉන්නේ. අපිට දැන් කොළඹ හොඳට හුරුයි.

මේ අක්කගේ ගෙවල් කොහේද අපි ඇයගෙන් විමසුවෙමු.

‘මම යාපනේ. පලෙයි කියලා අපේ ගමට කියන්නේ. මං ඉස්කෝලෙත් ගියා අප්පා නැතිවුණා. මල්ලිලා දෙන්නා අක්කයි නංගියි හිටියා අම්මා දාලා ගියා අපේ ගෙදර මගේ එක සහෝදරයෙක් බිම්බෝම්බයකට අහු වුණා. අනිත් මල්ලි හමුදාවට ගියා. අක්කාත් කසාදයක් කරගෙන හිටියා. මාත් ඉස්කෝලේ ගමන නතර කරලා කසාදයක් කරගත්තා. අපි යාපනේට ආවා. හරියට රස්සාවක් තිබුණේ නැති නිසා කන්න බොන්නවත් විදිහක් නැතුව හිටියේ.  මගේ මිනිහත් පස්සේ මාව දාලා ගියා. රස්සාවක් හොයමින් ඉන්න අතරේ අක්කා කෙනෙක් මාව අනුරාධපුරේට ගෙනත් ඇරලූවා. යුද්දේ වැඩි නිසා ගමේ ගියෙත් නැහැ. ඒ රස්සාවම කරගෙන හිටියා.

ඇයගේ කතාවේ අනුවේදනීය බව මෙම වෘත්තියේ යෙදෙන්නියන් පිළිබඳ සානුකම්පික හැඟීමක් ඇති කරවීමට සමත්විය.

ඇය නැවත සිය සහෝදරයන් හා නෑ මිතුරන් බැලීමට ගමට ගොස් නැත. කොළඹ අවට සමාජ සමබන්ධතා ජාලයක් සහිත ඇය ජංගම දුරකථනය පවා හොඳින් හැසිරවීමට සමත්ය. ඇතැම් අවස්ථාවල ඇය ගනුදෙනු කරන්නේ ජංගම දුරකථනය මගින් මුදල් හුවමාරු කිරීමේ නවතම ක‍්‍රමයට අනුවය. (Easy Cash මගිනි.)

සංවාදයේදී සමහර අවස්ථාවල ඇය පැවසූ වදන් සභ්‍යත්වය ඉක්මවා යන්නකි. තවත් විටක මනුෂ්‍යත්වයට සමීප වන්නකි. ඇය හමුවට පැමිණෙන බොහෝ පාරිභෝගිකයෝ කොළඹ අවට නිතර සැරිසරන්නෝය. ඊට අමතරව කෝච්චිය එනතුරු කොටුව දුම්රිය පොළේ රැුඳී සිටින අය, කොළඔ ජාතික රෝහලට ලෙඩුන් බැලීමට පැමිණෙන අය පවා ඇයගේ සේවය ලබා ගැනීමට පැමිණ තිබේ.

ඇය සමඟ හිතවත්කම් වගා කරගත් ඇතැම් පිරිමින් ඉන් අනතුරුව ඇය දකිද්දී ඇය දෙස බලන්නේ අවඥා සහගත හැඟීමෙනි.

ගණිකාවන් සේවනය කරන සියලූදෙනාම පාදඩයන්, වනචරයින්, නොසණ්ඩාලයන්, අමනයන්දැයි අපි නොදනිමු. නමුත් ගණිකාවගේ සේවය ලබාගත් පසු ඔවුන් නික්ම යන්නේ කිසිදු වරදක් නොකළ පුද්ගලයෙකු පරිද්දෙන් යැයි අප සමඟ ඇය පැවසුවාය. අඩු වයසින් විවාහ වූ නිසාත්, සැමියා ඇය අතහැර දමා ගිය නිසාත් ඇය පිරිමින් ගැන යම් වෛරයකින් පසුවන බවක් අපට හැඟිණි. කොළඹ ලොජ්වලට එන අය ඇයට හුදෙක් ගනුදෙනු කරුවන් පමණි.

වයස අවුරුදු තිස්හතරක් පමණ වන ඇය ඉදිරි ජීවිතය ගැන විශේෂ බලාපොරොත්තුවක් නොමැතිව ජීවත්වන්නියකි. සැමියා අත්හැර ගියපසු හමුවූ අය අතරින් තුන් හතර දෙනෙකු කෙරෙහි ඇය තුළ දැඩි ආදරයක් ඇතිවී ඇතත් ඒ කිසිවකු ඇයව බිරිඳ කර නොගන්නා බව ඇය හොඳින්ම දැනගෙන සිටි බව ඇය අප සමඟ පැවසුවාය.

‘‘අපි විතරක් නෙවෙයි නේ නෝනා හුඟක් අය මේ රස්සාව කරනවා. ලස්සන නෝනලත් මේ වැඬේ රස්සාවට කරනවා. නමුත් හැමෝම චෝදනාව එල්ල කරන්නේ අපට විතරයි.’’

ඇය අප සමඟ පැවසූ අවසන් වදන් කිහිපය එය විය. කලින් එළැඹගත් කොන්දේසි කිහිපයක් මත අපගේ හමුව සුහද ලෙස නිමකර ගැනීමට අපට හැකිවිය.
පිටකොටුවේ තාවකාලික නවාතැන්පළ කිහිපයක් පිළිබඳව අප කළ සෝදිසියක් ගවේෂණයේ මීළඟ අංශය වේ. එහිදී අපි නවාතැන්පළක් ලබා ගැනීම සඳහා දුරකථන සංවාදයක යෙදුනෙමු.

‘අයියේ අපි ගෑනු ළමයි තුන්දෙනයි පිරිමි ළමයි දෙන්නෙකුයි නවතින්න එනවා. දවසකින් දෙකකින් විතර හොඳ තැනක් හොයලා දෙන්න පුළුවන්ද?’
ගවේෂණයේදී අපිට ලැබුණු ලොජ් සපයන්නෙකුගේ දුරකථන අංකයකට අපි ඇමතුමක් හරහා එසේ සම්බන්ධ වූයෙමු.

‘‘දවසකට දාහයි අපේ ගාන. කාමර ඒ සී කරලා තියෙන්නේ හොඳට ඉඩ පහසුකම් තිබෙනවා. නෝනලාට මං 750 ගානේ වැඬේ කරලා දෙන්නම්. කෑම එහෙම වුවමනානම් අපිට අඩුමිලට ඒවත් සප්ලයි කරලා දෙන්න පුළුවන්.’’

‘වැල්ලවත්ත ප‍්‍රදේශයේ ලැගුම්හල් සපයන්නෙක්’

‘‘තැන් කිහිපයක් තියෙනවා. සමහර ඒවාවල පහසුකම් මදියි. ආරක්ෂාව ගැන සහතික වෙන්න අමාරුයි. හොඳ තැනක් හොයලා කියන්නම් තව දවස් දෙකක් විතර දෙන්න’’

‘අපේ තැන හොඳටම හොඳයි. කිසි කරදරයක් නැහැ ගෙදර වාගේ ඉඳලා යන්න පුළුවන්.’

සමහරු පවසන කපටි බස් එබඳුය.

කොළඹ අවට ලොජ් ගැන නිසි වගකීම පැවරෙන්නේ කාටද? ඒවායේ සිදුකෙරෙන ජාවාරම් ඇතුළු අනෙක් සියල්ලට වගකිව යුත්තේ කවරහුද?

මේ වෙනුවෙන් නිසි නියාමනයක් නොමැත්තේ ඇයිද යන්න අපි මෙහිදී විමසා බැලූවෙමු.

‘කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා දැක්වූයේ මෙබඳු අදහසකි.
නගර සභා ආඥා පනත යටතේ 1952 අංක 19 දරන ගැසට් පනතට අදාළව තාවකාලිකව ලැගුම්හල් සඳහා නාගරික කොමසාරිස්වරයාගේ බලපත‍්‍රය ලැබීම අනිවාර්ය වේ. ඒ සඳහා නගර සභා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා නගර සැලසුම් අංශයේ තක්සේරු කිරීම අවශ්‍යය. හොඳ තත්ත්වයේ ගොඩනැගිල්ලක්වීම, හිරු එළිය වාතාශ‍්‍රය හොඳින් සැපයීම, වැසිකිළි පහසුකම් නිසි පරිදි ලැබීම, බිත්තිවල හුණු පිිරියම් කර තිබීම, ඇඳන් පහසුකම් හොඳින් සපයා තිබීම අනිවාර්ය වේ. ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී විජේමුනි මහතා ප‍්‍රකාශ කළ ආකාරයට වසරකට වතාවක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් කොළඹ අවට තාවකාලික ලැග-ුම්හල් නිරීක්ෂණය කරනු ලබයි. ඒ සඳහා නගර සභාවේ මේ වන විට සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 40ක් පමණි. නමුත් ඒ සඳහා 75 පමණවත් නිලධාරීන් ප‍්‍රමාණයක් අවශ්‍ය යැයි විජේමුණි මහතා අප සමඟ පැවසුවේය.

කොළඹ මහ නගර සභාවට අමතරව ඒ ඒ ප‍්‍රදේශවලට අයත් පොලිස් කොට්ඨාස වලට නගරයේ ලැගුම්හල් පරීක්‍ෂා කිරීමේ වගකීම පැවරේ. නමුත් එකී වගකීම හරි ආකාරයෙන් ඉටු නොවන බව අපට මේ ගවේෂණයේදී හෙළිදරව් විය.

තාවකාලික ලැගුම්හල් සම්බන්ධව මහනගර සභා ආඥා පනත සැකසී ඇත්තේ 1952 වර්ෂයේය. ඒවා යාවත්කාලීන විය යුතුය. ගණිකා වෘත්තිය සදාචාරාත්මකව අනුමත නොකෙරෙන්නකි. තාවකාලික ලැගුම්හල් ගණිකා වෘත්තිය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල විය යුත්තේ කාටද? පවතින නීතියට අනුව වයස අවුරුදු 18 වැඩි ගැහැනු, පිරිමි සියලූ දෙනාට ලිංගිකව හැසිරීමේ තහනමක් නැත. ඒ අනුව ඔවුන්ට නීතිය ඉදිරිපිටදී වරදකරුවන් වීමට නොහැකිය. චෝදනාව එල්ලවන්නේ සමාජයෙන් පමණි.

මරදාන, කොළඹ, පිටකොටුව අවට වීදි ගණිකාවන් නිදැල්ලේ සැරිසරන කිරිල්ලියන් වැනිය. සමාජ සදාචාරය පිරිහීම ගැන කතා කිරීමේ ආරම්භය පටන් ගත යුත්තේ කොතැනින්ද?

ලිංගිකත්වය සෑම මිනිසෙකුටම පොදු ධර්මතාවකි. ඊට විවිධ මානසික, කායික, සමාජීය හේතු බලපායි.

කොළඹ අවට තාවකාලික නවාතැන්පළ පිළිබඳව ගවේෂණයේදී අපට ඇතිවූයේ එබඳු අදහසකි. මාස කිහිපයකට පෙරදී අනියම් පේ‍්‍රමයක් නිසා ඇතිවූ ගැටලූවක් මත කාන්තාවක මරා ගමන් බෑගයකට දමා ගොස් තිබුණේය. දින කිහිපයකට පෙර අනියම් පෙම්වතිය තමා ළඟට කර ගැනීම සඳහා බිරිඳ හා දරුවා මුහුදට ඇද දැමීමට තවත් අයෙකු කටයුතු කළේය.


සමාජ ගැටලූ පිළිබඳ විවර වූ නෙතකින් බලා ඒවා විසඳීම කෙරෙහි සියලූදෙනාගේ අවධානය යොමුවිය යුතුය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..