lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Friday, July 15, 2016

    කලාවැවේ ගොවියකුගෙන් ප්‍රේමදාසට උපදෙසක්

    1973 වසර ප්‍රේමදාස මහතාගේ ජීවිතය වෙනස් කරවීමට බලපෑ සන්ධිස්ථානයක් වුණි. ඩඩ්ලිගේ අභාවයෙන් පසු පක්ෂ නායකත්වයට ජේ. ආර්. ජයවර්ධන පත්වීමත් සමඟ එවක ඉතා ක්‍රියාකාරී නායකත්ව ලකුණු පළ කළ අය අතර ප්‍රේමදාස මහතා කැපී පෙනුණි. ඔහු එය උත්සාහයෙන් ලබා ගත් තත්ත්වයකි.
    'තමුන්නාන්සෙ රට පුරාම ගියානෙ... ගාමිණීලා... ලලිත්ලා තවම තරුණයි... ඒ අය හැදීගෙන එන අය... ඒත් සාමාන්‍ය මිනිස්සු අතරට ගියාම තමුන්නැහේ ඉබේම ඒ අයගෙ හිත
    දිනා ගත්ත කෙනෙක් වගෙයි. ඒ නිසා උප නායකකම ලබා නොගෙන ඉදිරියක් ගැන හිතන්ට බෑ, ඒක කොහොම හරි ලබා ගන්න.'

    එවක ප්‍රකට එ.ජා.ප.යට ඉතා කිට්ටුවෙන් සිටි වයඹ පළාතේ හිමිනමක් ප්‍රේමදාස මහතාට රහසේ පැවැසුවේ දේශපාලන හැලහැප්පීම් මැද ප්‍රේමදාස මහතාට යම් අසාධාරණයක් වේය යන සිතුවිලි පෙරදැරි කැරගෙනය. කාගේත් කතා බහට ප්‍රේමදාස මහතා ලක් වූයේ ඔහු කුමන මතවාද හා ගැටුම් තිබුණත් ඒ හැම අමතක කොට නායක ජේ. ආර්. ජයවර්ධනයන් හා එකටම නොගියත් රට පුරා එ.ජා.ප.ය වෙනුවෙන් ප්‍රචාරාත්මක හා සංවිධානාත්මකව ඉහළ කාර්ය භාරයක් ඉටු කිරීම නිසාය.

    දිනක් බොරැල්ල ආසනයේ තැන් කිහිපයක එම්. එච්. මොහොමඩ් මහතාගේ සංවිධායකත්වයෙන් බැනර් කිහිපයක් දමා තිබෙනු දුටු ජේ. ආර්. හිතවාදීහු දෙබරයට ගල් ගැසුවාක් මෙන් කැලැඹී ගත්හ. එහි තිබුණේ ප්‍රේමදාස මහතා 'අපේ නියෝජ්‍ය නායක ආර්. ප්‍රේමදාස මහතා සාදරයෙන් පිළිගනිමු' යන්නය. බොරැල්ල ආසනය තුළ දුගී දුප්පත්භාවයට පත් වැඩිම පිරිසක් අයත් වීමත් ඔවුන් ප්‍රේමදාස මහතාට වඩාත් ළැදියාවක් දැක්වීමත් තවත් හේතුවක් විය. ඊ. ඇල්. සේනානායක මෙන්ම තවත් කිහිප දෙනකුම 'නියෝජ්‍ය නායක' තනතුර පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වූ බව කලඑළි බැස්සේ මෙහිදීය.

    'එයා කොහොමද නියෝජ්‍ය නායක වෙන්නෙ. පක්ෂයේ මම ජේ‍යෂ්ඨයෙක්. මටයි මේ තනතුර ලැබෙන්න ඕන. මේක ප්‍රේමදාසගෙ කීමට කරපු දෙයක්. එහෙම වෙන්න දෙන්න බෑ' යි ඊ. එල්. සේනානායක, ජේ. ආර්. ජයවර්ධනට කීය.

    නායක සිහිනයෙන් සිටි මේ උඩරැටියාගේ කතාව අසා යාන්තමට සිනාසුණ ජේ. ආර්. 'අපි බලමුකෝ' යි කීවේය.
    එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතා ජනතාවගේ නාඩි වැටෙන්නේ කොයි ආකාරයෙන් දැයි ඉතා රහසිගතව අධ්‍යයනය කර තිබුණේය. ඔහු වරක් තමන්ට ඉතා සමීප ජේ‍යෂ්ඨයකුට කීවේ,
    'ප්‍රේමා... තව ටිකක් වැඩ කරල පෙන්නන්න ඕන. එයා එහෙම නොකළොත් පක්ෂයේ තැනකට එන්න අමාරු වේවි' යනුවෙනි. මේ සියලු තොරතුරු ප්‍රේමදාස මහතාට ලැබී තිබුණේය. ඔහු ඒ වනවිටත් උප නායක සිහිනයේම නොසිට ගම් දනව්වල සැරිසරමින් ජේ. ආර්. ජයවර්ධන නමැති නායකයාගේ රජය බිහි කිරීමේ සාර්ථක සංවිධාන කටයුතු සාර්ථකව ඉටු කරමින් සිටියේය.

    දිනක් කලාවැව ප්‍රදේශයේ සංවිධාන කටයුතුවලට සහභාගි වී සිටි ප්‍රේමදාස මහතා සොයා ගොවි මහතකු පැමිණියේය. ඔහුට ප්‍රේමදාස මහතා මිස වෙන කවරකුවත් හමුවන්නට අවශ්‍ය නැතැයි කීය. ප්‍රේමදාස මහතා එම පුවත අසා ගොවිරාල සමඟ තනිව කතා බහකට පසෙකට කැඳවා ගත්තේය. වෙල් එළියේ නිල්ලෙන් පිරුණු කුඹුරු යායේ සුළං රොද වැදෙද්දී මේ කතා බහ ඇතිවිය.

    'මම බණ්ඩාරනායක උන්නැහේට ඡන්දෙ දුන්නු මේ මෑතක් වෙනතුරු ඒ මතේම උන්නු ගොවියෙක්. ඒත් මට හිතෙනවා... මං තමුන්නාන්සේගෙ කතා ඇහුවම හිතුවා වැඩිය ළෙන්ගතුකමින් ගමේ මිනිසුන්ගෙ හිතේ තියෙන බර තේරුම් ගන්න ආයෙත් ඉඩක් ලැබෙයි කියලා.'
    'මට මුන්නැහේගේ කතාව තවම තේරුණේ නෑ.'

    'අපි ගොවිතැන් කළාට... නමට ගොවි රජවරු වුණාට අපේ හැබෑම ප්‍රශ්න කවුරුත් තේරුම් ගත්තෙ නෑ. මෙහේ මිනිසුන්ට අමාරුවෙන් ගොවිතැන් බතක් කර ගත්තත් දියුණුවක් නෑ. වැඩි පිරිසක් අඳ ගොවියෝ. සමුපකාරයට බඩු ආවොත් ඒවා ඩැහැ ගන්නේ මේ පළාතේ බලවතුන්. සීනි ටිකක් නෑ. තේ කෝප්පයක්වත් බොන්න බැරි තරමේ අමාරු කාලයක් හදිසියේ මේ විදියට කඩා වැදුණු එක මේ පළාතට දරා ගන්න බෑ. ඒ ගැන හිතන්නෙ නෑ. ඒත් තමුන්නැහේ ඒවාට බැන්නෙ නෑ. තමුන්නැහේ කිව්වේ ගමේ මිනිසුන්ට ගමේ වැඩ ටික කරගෙන යන්න එකට එකතුවෙලා තීරණ ගන්න පුළුවන් තත්ත්වයක් ගන්න තිබුණා නම් හො¼දා කියලයි. ඇත්තටම ඒක හොඳ අදහසක්.'

    'මහා සේනානායක උන්නැහේගෙන් පස්සෙ ඔය වගේ කතාවක් මගේ හිතට වැදුණාමයි. ඒ නිසා තමුන්නැහේ මේ රටේ නායකයා වෙන්න තරම් අදහස තියෙන කෙනෙක් කියලා මා හිතනවා. හැබැයි ඒක ලේසි පහසු දෙයක් වෙන්නෙ නෑ.'
    'ඒ මොකද ඒ... එහෙම වෙන්න බැරි වෙයිද?'
    'පුළුවන්... ඒත් තමුන්නැහේගෙ පක්ෂෙ වැඩි දෙනා හයිකාරකම්පාන, ලොකු පවුල්වලින් ආපු ඇත්තොනේ. අපේ දුක තේරුම් ගත්ත රෙද්ද බැනියම අඳින මිනිස්සු නැති නිසා මේ පළාත්වල මිනිස්සු චකිතයෙන් ඉන්නෙ. හැබැයි ඒ චකිතය නැති කරන්න තමුන්නැහේට පුළුවන්. ඒ පෙනුම, ඒ ගුණය තියෙනවා... ඒ නිසා උප නායකකමට සුදුස්සා තමුන්නැහේම තමයි.'

    ප්‍රේමදාස මහතා කිසි දින නොපැතූ මේ අදහස පළ කිරීම ඔහු සිත යට තිබුණු නියෝජ්‍ය නායකකම පිළිබඳ බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් කරන්නට සමත් වූ බව පසු කලෙක කියා තිබේ. එම කතා බහට එක්වූ ගොවි මහතා පසු කලෙක කලා වැව අතුරු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් නිහඬව ඉමහත් සේවයක් කළේ ප්‍රේමදාස මහතා නිසාමය. ඔහු එදා ප්‍රේමදාස මහතාට දුන් අවවාදයක්ද විය.

    'තමුන්නාන්සේ කවදාවත් නායකයෙක් වෙනව නම් කලිසම් සූට් ගහගෙන මේවයේ ගම් තුලානෙ එන්ට එපා. ඔය වගේ සරමයි අත්කොට කමිසයයි ඇඳලා අමු සිංහලෙන් කතා කරන්න. ගමට ඇවිත් රටේ ගොවි ප්‍රශ්න කතා කරන්න. ඉස්සර ගමේ පුංචි පුංචි ප්‍රශ්න ගැන කතා කරලා ඒවට විසඳුම් හොයා ගන්න ගමේ මිනිසුන් උදව් කර ගන්න තමුන්නැහේගේ ක්‍රමේ කියන්න. මුලින්ම ගමට කතා කරන්න එන බොහොමයක් තමුන්නැහේලගෙ පක්ෂ ඇත්තො කතා කරන්නෙ රටේ ලෝකෙ අපි දන්නෙ නැති බරපතළ ප්‍රශ්න. ඒවා අපට වැඩක් නෑ. ඒ වග තමුන්නැහේ තේරුම් ගත්ත කෙනෙක් නිසා ඔයි ක්‍රමේටම යන්න කවදාවත් වරදින්නෙ නෑ.'
    මේ දිනවල ප්‍රේමදාස මහතාගේ හිතේ මෝදු වෙමින් තිබුණේ ඉන්දියාවේ 'පංචායතී රාජ' ක්‍රමයට නෑකම් කියන ගමේ මිනිස්සු එකට එකතුවී තීරණ ගන්න ගම් සභාවට එහා ගිය ගැමි දුප්පත් මිනිහාටත් සම්බන්ධ විය හැකි පරිපාලන ක්‍ෂේත්‍රයේ ගම මුල්කර ගෙන ඉතා කුඩාම පරිපාලන ව්‍යුහයක් ගැනය. එහි සෙවණැල්ල වැටුණු මේ අහිංසක ගොවියාගේ අදහස ඔහු තව තවත් දිරිමත් කෙළේය.
    කලා වැවෙන් නික්ම ආ ප්‍රේමදාස මහතා මේ අදහස් පෙළගස්සා ලිපි කිහිපයක් ලියා පුවත්පත් කිහිපයකටම යැවීය. ඔහු ලියූ 'ඇති තතු' හා 'සමාජවාදය' නම් පොත්වලට එළිය වැටුණේ මෙම අදහස බව පසු කලෙක කීවේය.

    තීරණාත්මක උප නායක තනතුර ලබා ගැන්ම නිසාම සන්දර්ශනාත්මක සංවර්ධන ක්‍රියාවලියකට ඔහු අත සම්පත්ද නොවීය. ඔහු තුළ තිබුණේ අවංකව ජනතාව ඒකරාශීි කොට ගෙන සංවිධානයෙන් පක්ෂය ගොඩ නංවන අපූරු ක්‍රමවේදයකි. මේ අතර එ.ජා.ප.ය තුළ උප නායක තරගය ඉතා සීතල යුද්ධයක්ව පැවැතිණි. ජේ. ආර්. ජයවර්ධන නම් උපායශීලී දූරදර්ශී නායකයා කාගෙ කාගේත් සැබෑ කෙරුවාව හොඳින් දැන නායක පොරය තුරන් කරවන අකුණු පහරක් මෙන් මෙහෙයුමක් දියත් කෙළේය.

    1977 ජයග්‍රහණය ඉලක්ක කරගත් දස දෙනකුගෙන් සමන්විත සුපිරි සංවිධායක මණ්ඩලයක්් තෝරා ගත්තේය. එය දස මහා යෝධයෝ මෙන්වූ නායක හටනට උරදී සිටි අයගෙන්ද පිරී පැවැතුණේය. 'වැඩ පෙන්නූ තැනැත්තා උඩට' යන්න උත්තේජකයක් වන අදහසක් දී ජේ. ආර්. නූලට ගැටය ගැසුවේය. සංවිධායක මණ්ඩලයේ සභාපතිත්වය ප්‍රේමදාස මහතාට ලැබෙන තරමට ඔහු ඉතා ක්‍රියාශීලීව පක්ෂය ශක්තිමත් කරන හටනට උරදී සිටියේය.
    'නෑ එයාව සභාපති කරන්නම වෙනවා! එහෙම නොකළොත් මිනිස්සු කලකිරේවි. වැඩි දෙනා රැස්වීම්වලටත් එන්නේ ප්‍රේමදාස නිසා' ජේ. ආර්. විරෝධතාකරුවන්ට කීවේය. තත්ත්වය හොඳින් දන්නා ප්‍රේමදාසද ජේ. ආර්.ට ශක්තියක් වෙමින් රට පුරා තමන් නිල නොවන නායකයා බවට ජනතාව අතර සැබෑවටම වැඩ කරමින් නමක් දිනා සිටීම මීට ශක්තියක් විය. අවසානයේ සංවිධාන කමිටුවේ කාර්ය ශූරම සභාපතිවරයා වශයෙන් ප්‍රේමදාස මහතා එ.ජා.ප. උප නායකයා බවට පත්විය. ඔහු අවසානයේ තම හිතවතුන්ට කී දෙයක් තිබුණේය.

    'මම අර කලා වැවේ ගොවි මහත්තයාගේ කතාවට පිටින් ගියේ නෑ... ඒ තමයි ඇත්ත. ඒ ඇත්ත මම විශ්වාස කරනවා!'


    සජිත් රෝහිත ලියනගේ

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture