sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » ලිවීම ලෙඩකි; කැසිල්ලකි; දැවිල්ලකි! - උපුල් ශාන්ත සන්නස්ගල

මගේ නවකතා ලිවීම හෝ වෙන යම් ඕනෑ ම ලියවිල්ලක් මහා කෙරුම්කාර හපන්කමක් යැයි මා විශ්වාස කරන්නේ නැත. ලිවීම පම්පෝරි ගැසිය යුතුකාරණාවක් නො වේ. වසර තිහක පමණ මගේ ලේඛන ජීවිතය ජීවනෝපාය සඳහාත්, ආත්මීය ප්‍රකාශන සඳහාත්, ආසාව සහ හිතේ හට ගන්නා විවිධ මානසික ආතතීන් මුදා හැරීම සඳහාත් වැය කළෙමි. ඒ ලියූ සියලු ලිවීම් එකී කාලයට සාපේක්ෂ අදහස් ය. වර්තමානයේ ඒ පිළිබඳ මතක මාත්‍ර මිස වෙන කිසිවක් නැත. මම කිසි දා සම්මානයක් උදෙසා, ටෙලි නාට්‍යයකට සුදුසු යැයි සිතා, චිත්‍රපටයකට සුදුසු කතාවකැයි සිතා හෝ මේ කෘතිය විශාල ප්‍රමාණයක් අලෙවි වේ යැයි සිතා නොලීවෙමි. ඒ සියල්ල නවකතාව ප්‍රකාශයට පත් වූවාට පසුව සිදු වූ ක්‍රියාදාම මිස, පූර්ව-න්‍යායපත්‍ර මත සිදු වූ දේ නො වේ. ඒ පිළිබඳ ව සමාජ කතිකාව මගේ ඇත්ත අදහසට වඩා වෙනස් බව දන්නෙමි.

නවකතාව ලියන කාලයේ ඒ කෘතියට අදාළ යම් ආවේශයක් ශරීරගත වන බව ඇත්තකි. එය නවකතාවේ චරිත සමඟ ප්‍රේම කිරීමකට, දීග කෑමකට, රණ්ඩු කිරීමකට, සංචාරය කිරීමකට, බදා වැලඳ ඇසුරු කිරීමකට සමාන ය. එසේ ලිවීමේ දී කිසිදු විටෙක ආත්මීය වාරණයක් හෝ සමාජ වාරණයක් පිළිබඳ අංශු මාත්‍රයකුදු මා සැලකිල්ලක් දක්වා නැත. මා ලියන දේ සම්බන්ධ ව මගේ මවුපියන්, සහෝදර-සහෝදරියන්, හිතමිතුරන් හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිතන්නේ කුමක්දැයි මා එදවස සිතුවේත් නැත. මගේ පළමු නවකතාව ‘කුමරි’ පත්තරයට මා ලියූවේ ලිවීමේ ආසාව ජීවනෝපායක් කර ගැනීමට ය. එදවස ඒ සඳහා එක් කතා කොටසකට රුපියල් පනහක් ලැබිණ. ‘සරසවි දියණියෝ’ නම් එකී නවකතාව පෞද්ගලික අද්දැකීම් බහුල මගේ ගමේ සහ පවුලේ ජීවන රටාවන් මිශ්‍රිත නවකතාවකි. මෙය ‘සරසවි දියණියෝ’ ලියන කාලයේ මා සිතූවක් නො ව තිස් වසරකට පසු ඒ පිළිබඳ ව පශ්චාත් පරීක්ෂණයේ අදහස ය. එකී නවකතාව සඳහා ප්‍රථමපුරුෂ කථනක්‍රමය තෝරා ගත්තේ වඩා පහසුවෙන් චරිත පිළිබඳ ව බාහිරින් සිට දැකීමේ හැකියාව ඇතැයි සිතූ නිසා බව මතක ය.

‘වස්සාන සිහිනය’ නවකතාව මගේ උන්මාදජනක ප්‍රේම සිතිවිලි සහ මා ආසා කරන ප්‍රේමයේ මනසිකාර පිළිබඳ ව ලියූවකි. එය ලිවීමට පෞද්ගලික ජීවිතය සහ ප්‍රේමය පිළිබඳ අතිශය මනෝමය ආකල්ප බලපෑ බව ඇත්තකි. උත්තමපුරුෂ කථන ක්‍රමය සහ අරුමැසිවාදී භාෂාව මා යොදා ගත්තේ එහෙයින් විය හැකි ය. ‘වස්සාන සිහිනය’ මේ රටේ සුහුඹුල් යෞවනය විනාශ කරන මත්කුඩු ජාවාරම තරම් ම තුච්ඡ, නිහීන ලියවිල්ලක් බව එදවස ඇතැම්හු කීහ. දශක දෙකකින් අනතුරුව කරුණාසේන ජයලත්ගෙන් පසු රෝමාන්තික අරුමැසිවාදී ලියවිල්ල ‘වස්සාන සිහිනය’ යැයි ඔවුහු ම නැවත කීහ. ලේඛකයෝ මනුෂ්‍යයෝය. විචාරකයෝ දෙබිඩ්ඩෝ ය.

‘සංගිලි පාලම’ සහ ‘තුඹසක විලාපය’ නවකතා දෙක ම ප්‍රථමපුරුෂයෙන් ලියූ ඒවා ය. අසූඅට, අසූනවය අරාජික සමය මේ නවකතාවල ප්‍රස්තුතයට බෙහෙවින් බලපෑවේ ය. කටවහරත්, ගැමිවහරත් මිශ්‍රිත මේ නවකතා දෙකේ කැරලිකාර සමයක මනෝභාවයන් ඇතුළත් වේ. ‘සංගිලි පාලම’ ලියන කාලයේ මාගේ දකුණත කපා දමන බවට කිසිවෙක් තර්ජනය කළ හ. එසේ කළ හොත් වමතින් රවුම් අකුරු ලියන බව මම කීවෙමි.

‘අපේ ආදර කතාව’ වෙනස් විදිහේ ආකෘතික අත්හදා බැලීමකි. එය හිතාමතා කළ පර්යේෂණයකි. බක්මී, සෙව්මිණි, දුලීකා, ටානියා, අමා, සෝමෙ අක්කා, පතිනි ආදි ස්ත්‍රී චරිත විශාල ප්‍රමාණයක් සමග පෘථිවි නම් තරුණ බොහීමියානුවකුගේ ජීවිතය හා බැඳුණු අද්දැකීම් ඇතුළත් කෘතියකි. උත්තමපුරුෂ කථනක්‍රමය භාවිත කළත් අනෙක් සියලු ස්ත්‍රී චරිතවල උත්තමපුරුෂ භාවයන් මේ නවකතාවේ ඇතුළත් ය.

‘නේත්‍රා’ නවකතාව පියකු සහ පුතකු එක ම ගැහැනියට පෙම් කිරීම හා රමණය කිරීම පිළිබඳ අද්දැකීමකි. වික්ටෝරියානු සදාචාර පෙරහන් තුළින් ලෝකය දකින සුචරිතවාදීහු මේ නවකතාව පට්ට ගැසූහ. ඉනික්බිති ව වත් ඒ පට්ට ගැසීම වාරණයක් කොට සලකා මගේ පෑනට මා විලංගු දමා ගත්තේ නැත. සමන් වික්‍රමාරච්චි මේ නවකතාව හැඳින්වූයේ තමිල්නාඩු දෙමළ චිත්‍රපටයක් ලෙසිනි.

‘පිරිමි ගොඩයි මං විතරයි’ නවකතාවත් ‘ආදරය තරම් ම යසෝදරා’ නවකතාවත් හිතාමතා ම ආකෘතිය සහ සන්දර්භය සකස් කළ නවකතා ය. ‘ආදරය තරම් ම යසෝදරා’ නවකතාවේ ප්‍රධාන චරිතය ආනන්ද ය. ඔහු හීරලුවෙකි. ඔහුගේ විවාහ ජීවිතයේ අභ්‍යන්තරික අර්බුදයත්, බාහිර සමාජ ගනුදෙනුත් මේ නවකතාවේ සාකච්ඡා වෙයි. මම හිතාමතා ම මේ නවකතාවේ චරිතවලට බෞද්ධ සාහිත්‍යයේ නම් යොදා ගතිමි. ආනන්ද, යසෝදරා, කාශ්‍යප, කිසාගෝතමී ආදී වශයෙනි. ස්ථාන සහ සංසිද්ධිවලටත් බෞද්ධ සාහිත්‍යයේ ම නාම ග්‍රාම සහ සිදුවීම් ඈඳීමි. ආගමික සංස්ථා පිළිබඳ ව මාගේ දේශපාලන විරෝධය එකී නවකතාව ලිවීමට බලපෑවේ ය.

‘පිරිමි ගොඩයි මං විතරයි’ නවකතාවට ප්‍රස්තාවපිරුළු, උපමාරූපක සහ බණකතා සාහිත්‍යයේ බුත්සරණ ඇතුළු බොහෝ කෘතිවල ආභාසය ලැබූ භාෂාවක් යොදා ගත්තේ හිතාමතාම ය.

‘මගේ කුලුඳුල් පෙම්වතිය’ නවකතාව ‘වස්සාන සිහිනය’ නවකතාවේ මෝරා වැඩුණු ප්‍රකාශනය සේ ය. තරුණ උසස් පෙළ ශිෂ්‍යයෙකු තමන්ගේ පාසලේ ගුරුවරියක සමග පවත්වන ප්‍රේම සම්බන්ධයක් මේ නවකතාවට විෂය වෙයි. ඊට යොදා ගත්තේ උත්තමපුරුෂ කථනක්‍රමයයි.

‘අම්මා’ කෘතියට ඌවේ ජනවහර සහ ගැමි කටවහර සම්පූර්ණයෙන් ම භාෂා චිත්‍රය ලෙස යොදා ගැනීමට හිතා මතා ම උත්සාහ කළෙමි.

මා ලියූ අසාර්ථක ම නවකතාව ලෙස මා සලකන්නේ ‘වසන්තය එනවා සත්තයි’නවකතාව ය. මම ඒ සඳහා කටවහර යොදා ගැනීමට උත්සාහ කළෙමි. කටවහරෙන් ඉතා ම ලස්සනට ලියන ලේඛකයෝ සිටිති. ඒත් මට ඊට ළං වන්නට වත් නො හැකි තරමට මගේ කටවහරේ ලේඛනය දුර්වල විය. ඒත්

ඒ මගේ අදහස කෘතිය කියැවූ පාඨකයෝ නොපිළිගනිති.

මගේ ලිවීම එක්තරා ආකාරයක මෝචනයකි. ලංකාවේ විචාරකයන් මගේ නවකතා ගැන කියන්නේ කුමක් ද යන්න මට අදාළ නැත. ඒවා නවකතා ද නැද්ද යන්නත් මට අදාළ නැත. රාජ්‍යය, ආගම, බිරිය, දරුවන්, ගුරුවරුන්, හිතමිතුරන් දක්වන විවේචනය අසා සිටියත් මා ලියද්දී එය සම්පූර්ණයෙන් ම බැහැර කරමි. මා ලියන්නේ මට ඕනෑ දේ ය. මා කිසි කෙනෙකුට ඕන දෙයක් ලියන්නේ නැත. කිසිවකුගේ වුවමනාවට ලියන්නේ ද නැත. මා පුවත්පතකට ලියන නවකතාවක එක් අකුරකට හෝ වාරණයක් පැනෙවුවොත් මා ඒ පත්තරයට ලියන්නේ ද නැත. සම්මාන විනිශ්චය මණ්ඩල කුමක් කීව ද මා ඒ මතය වෙනුවෙන් කිසිදාක ලියන්නේ ද නැත. ලිවීම ලෙඩකි;කැසිල්ලකි; දැවිල්ලකි. ආගම, ජාතිය, කුලය, දේශ සීමා කිසිවක් මට වලංගු නැත. මා පෑන අතට ගත් විට යකකුට වත් බය නැත. මගේ පරිකල්පනයට තහංචි දමන්නට දෙවියන් වහන්සේට වත් නො හැකි යැයි මම සිතමි. ‘එහෙනම් උඹ ලියන්නෙ ඇයි?’ යනුවෙන් කිසිවෙකු විමසුව හොත් මගේ පිළිතුර ‘මං ලියන්නෙ මට ඕන හින්දා’ යන්න ය. මා ලියන දෙයින් සමාජය හැදෙනවා ද, නරක් වෙනවා ද යන්න මට අදාළ නැත. මා බණකතා ලියන්නේ නැත. පන්සල්, පල්ලි යන්න බැරි වෙතැයි කියා ආගම විවේචනය නො කර ඉන්නේ ද නැත. ප්‍රේමය ගැන ලියද්දි; ලිංගිකත්වය ගැන ලියද්දි; දරුවන්, බිරිය, මාගෙන් ඉගෙන ගන්නා සිසු සිසුවියන්, ඥාති මිත්‍රාදීන් පිළිබඳ ව හිතන්නේ ද නැත. අනෙකා ලියන්නේ මොනවා දැයි යන්න මට වැදගත් නැත. පෑන අතට ගෙන තීන්ත මෝචනය වන විට ආකෘතියක් නිතැතින් ම නිර්මාණය වන්නේ ය. සන්දර්භය ඊට පෙර පහළ වෙයි. මම එහි සංචාරය කරමි. මා වඩා කැමති මැරෙන තුරු සම්මාන හෝ ගරු නම්බු යන ලේඛක ටාගට් එක වෙනුවට මා දන්නා, මට හිතෙන, මගේ ආත්මීය සිතිවිලි සමග සැරිසැරීමට ය. එය ඉලක්කයකට යන ගමනක් නො වේ; ජීවිත සිතියමේ සංචාරය කිරීමකි. මා මේ සියලු නවකතා ලියූවේ පුවත්පත් නවකතා ලෙස ය. පත්තරවල නවකතා ලියන ලේඛකයන් හෝ එකී නවකතා වැදගැම්මකට නැති කෘති ලෙස හංවඩු ගැසීමේ ඊනියා විචාර කලාවක් ලංකාවේ දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක ය. මගේ ලේඛන ජීවිතයට ලොකු ම බලපෑම එල්ල කරන්නේ සබුද්ධික කියවන්නන් නො ව, කූට නොකියවන්නෝ ය; උඩින් පල්ලෙන් සාහිත්‍ය කෘති ලෙවකන්නෝ ය. ‘ඕව ලියලා කොහොම ද පන්තිවල උගන්වන්නේ?’ ටියුෂන් ගුරුවරු මගෙන් විමසති. ‘පන්තියේ රඟපාන උඹලා ඇත්ත ගුරුවරු නෙමෙයි.’ මම කියමි. ‘මොනව ද මචං මේ ලියලා තියෙන්නෙ?’ මිතුරෝ සාද කතාවලදී කියති. ‘මචං කිව්වට උඹලා මිතුරන් නෙමෙයි’ මම කියමි. ‘මොනව ලියනවද මන්දා’ ඥාති, මිත්‍ර, බන්ධු කුටුම්බය

ප්‍රශ්න කරති. ‘උඹලා මාගේ කුටුම්බ ඥාතීන් නෙමෙයි’ මම සිතමි; කියමි. විවේචනය කෙතරම් නිර්දය වුවත් මට ඉවසිය හැකි ය. මම ලේඛක ඉබ්බෙක්මි. මගේ පිටපොත්ත රිදෙන්නේ නැත; රිදෙන්නේ ආත්මීය තුවාල පමණි. මට ඉවසිය නො හැක්කේ වාරණය සහ බාධකයයි. මා එන්න එන්න ම දිගින් දිගට ම මුරණ්ඩු වන්නේත් ලේඛනය අකීකරු වන්නේත් ලාංකීය මිනිස් සමාජය ගෝත්‍රවාදී යැයි සිතූ සිතිවිල්ල යළි යළිත් වඩා තහවුරු වන හෙයිනි.

එනිසා ම බාධකයට එරෙහි ව මම වඩාත් අනම්‍යශීලී වෙමි; ලේඛනයේ දී නම්‍යශීලී වෙමි. මම, මට හැර ලිවීමේ දී කිසිවකුට නො නැමෙමි; ලියන දේට අවංක වෙමි. මා මිය යන තෙක් මගේ පෑන් තුඩ මේ සමාජයේ ආගම්වාදී, ජාතිවාදී, ගෝත්‍රවාදී කිසිවකු වෙනුවෙන් නො බිඳින්නෙමි. මගේ පෑනෙන්, මගේ හෘදය සිදුරු කොට ඒ රුධිරයෙන් වුව ද මිය යන මොහොත තෙක් සිතමි; සිතන දේ ලියමි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..