අකාලයේ අතුරුදන් වූ ලංකාවේ ෆේස්‌ බුක්‌ වීරයා

ගයාන් සමරසිංහ
කෑම බීම නැතත් අන්තර්ජාලයේ මොහොතක්‌ හෝ සැරිසරන්න ඇත්නම් සැපයි කියා සිතන පිරිසක්‌ මෙලොව සිටිති. නමුත් ඒ බොහෝ අය අන්තර්ජාලය භාවිතා කරන්නේ හුදෙක්‌ විනෝදාස්‌වාදය පිණිසයි. අපේ කතා නායකයා කෑම බීම නැතත් අන්තර්ජාලයේ සැරිසරන පාසල් සිසුවෙකි. ඒ විනෝදාස්‌වාදය සඳහාම නොව අන්තර්ජාලය හරහා දැනුම ලබාගෙන අන් අයට එම දැනුම බෙදාදීම සඳහාය. නමින් ඔහු සදීප රවීෂාන් ය. නමුත් ඔහු දැන් අප අතර නැත. ඒ කවුරුත් නොසිතූ මොහොතක චණ්‌ඩ මාරුතයක්‌ සේ පැමිණි මාරයා ඔහු ඩැහැගෙන යැම නිසාය.


සදීප රවිෂාන් පාසල් සිසුවෙකි. නමුත් පාසල් සිසුවෙකුට එහා ගිය බුද්ධියක්‌ ඔහුට තිබුණි. ජීවිතයේ "කළ නොහැක්‌කක්‌ නොමැත" යන්න ඔහුගේ ආදර්ශ පාඨයයි. වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද සදීප එය ඔප්පු කර පෙන්නුවේය. පාසලේ ශිෂ්‍යයකුට විද්‍යාත්මක ගැටලුවක්‌ පැන නැගුණු විට පිහිට පතාගෙන එන්නේ සදීප ළඟටයි. ඔහු ඒ පිළිබඳ අන්තර්ජාලයෙන් තොරතුරු සොයා බලා ක්‍ෂණිකව පැහැදිලි කර දෙන්නේය. පන්තියේ උගන්වන ගුරුවරයාට වඩා ඔහුගේ පැහැදිලි කිරීම නිරවුල්ය. එම නිසා නිතැතින්ම පාසල තුළ ජනප්‍රිය චරිතයක්‌ බවට සදීප පත් වූවේය.

ඉගෙනීමට දක්‍ෂ සිසුවකු වූ සදීපගේ ප්‍රියතම විෂය වූයේ විද්‍යාවයි. නව විද්‍යාත්මක සොයා ගැනීම් කෙරෙහි ඔහු දැඩි උනන්දුවක්‌ දැක්‌වීය. දිනපතාම ඔහු අන්තර්ජාලය තුළ සැරිසරා එවැනි නව විද්‍යාත්මක සොයා ගැනීම් අධ්‍යයනය කළේය. ඉන්පසු තම සගයන්ට එම තොරතුරු පවසන්නේ ඔවුන් විශ්මයට පත් කරවමිනි.

බොහෝ අය ෆේස්‌ බුක්‌ වෙබ් අඩවිය භාවිතා කරන්නේ විනෝදාස්‌වාදය සඳහා පමණි. සදීප රවිසාන් එය භාවිතා කළේ විනෝදාස්‌වාදය සඳහාම නොවේ. ඔහු තමන්ගේ ෆේස්‌ බුක්‌ ගිණුමට විද්‍යාත්මක සොයා ගැනීම් ආදී දුර්ලභ ගණයේ වීඩියෝ දැමුවේ තම මිතුරන්ටත් ඒවා නැරැඹීම සඳහාය. මීට අමතරව සදීප විද්‍යාත්මක තර්ක සමඟ නොයෙක්‌ උපකරණ සාදා එහි වීඩියෝ පටද තම ෆේස්‌ බුක්‌ ගිණුමට දැම්මේය.

මුල් කාලයේ සදීපගේ ෆේස්‌ බුක්‌ ගිණුමේ දමා තිබූ එවැනි වීඩියෝ පටවලට කිසිවකු වැඩි ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත. නමුත් සදීපට එය ගැටලුවක්‌ වූයේ නැත. ප්‍රතිචාර ගැන තැකීමක්‌ නොකළ ඔහු දිනපතාම පාහේ එවැනි වීඩියෝ පට "ෆේස්‌ බුක්‌" ගිණුමට එකතු කළේය. ටික කලක්‌ ගතවෙද්දී එම වීඩියෝ පටවලට ලැබෙන ප්‍රතිචාර වැඩි වන්න පටන් ගත්තේය.

ගතවූයේ මාස කිහිපයකි. ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියේ සදීප රවිෂාන් යන නම ඉමහත් ප්‍රසිද්ධියට පත්වූවේය. එම මාස කිහිපය ඇතුළත විශාල යහළුවන් සංඛ්‍යාවක්‌ සදීපගේ මිතුරන් බවට පත්වී සිටියෝය. ඔවුහු දිනපතාම පාහේ විවිධ වීඩියෝ පට ඉල්ලූහ. සදීප තමන්ට හැකි අයුරින් අන්තර්ජාලය තුළ සැරිසරා අලුත් දේවල් තම මිතුරන්ට හඳුන්වා දුන්නේ ඒ ගැන පැහැදිලි කරමින්ය. එයට අමතරව සදීප විවිධ උපකරණ තම ෆේස්‌ බුක්‌ ගිණුමට එක්‌ කළේය. එම සියලුම දේවල් සඳහා "ෆේස්‌ බුක්‌" හරහා ඉහළ ප්‍රතිචාරයක්‌ ලැබුණේය. එම ප්‍රතිචාරය සමඟ සදීප රවිෂාන් යන නමත් "ෆේස්‌ බුක්‌" සමාජ වෙබ් අඩවියේ ජනප්‍රිය නමක්‌ බවට පත්විය.

සදීප "ෆේස්‌ බුක්‌" වෙබ් අඩවියේ ජනප්‍රිය වීමත් සමඟ රට වටා සිටින ඔහුගේ හිතමිතුරෝ විවිධ ගැටලු ඉදිරිපත් කළහ. ඒ සියලුම ගැටලුවලට පිළිතුරු සදීප වීඩියෝ පට සහිතව පැහැදිලිව ඉදිරිපත් කළේය. උදාහරණයක්‌ ලෙස යම්කිසි පුද්ගලයකු තමන්ගේ මෝටර් රථයට ආරක්‌ෂක පද්ධතියක්‌ සවිකර ගන්නේ කෙසේද යන්න කියා ඇසුවහොත් සදීප එය සවි කරගන්නා ආකාරය පිළිබඳ වීඩියෝ පට සහිතව පැහැදිලි කර තම "ෆේස්‌ බුක්‌" ගිණුමට දමයි. තවත් අයෙක්‌ විද්‍යාත්මක උපකරණයක්‌ සාදාගෙන යන අතරතුර ගැටලුවක්‌ ඇති වුවහොත් කෙළින්ම අහන්නේ සදීපගෙන්ය. ඉන්පසු ඔහු මනාව එයට පිළිතුරු ලබාදෙයි.

එකී මෙකී නොයෙක්‌ ගැටලුවලට (විශේෂයෙන්ම විද්‍යාත්මක) පිළිතුරු ලබාදෙන සදීප "ෆේස්‌ බුක්‌" වෙබ් අඩවියේ කාගේත් වීරයා බවට පත්විය. මේ අතර ඉඳහිට තමාගේ හාස්‍යය උපදවන සුළු ඡායාරූප කිහිපයක්‌ද "ෆේස්‌ බුක්‌" ගිණුමට දමන්නේ තම "ෆේස්‌ බුක්‌" සාමාජිකයන්ට බලා සිනාසීම සඳහායි. මෙවැනි කාරණා නිසා "ෆේස්‌ බුක්‌" වෙබ් අඩවියේ විශේෂ ස්‌ථානයක්‌ සදීපට හිමිවී තිබුණි.

දිනක්‌ සදීප තම "ෆේස්‌ බුක්‌" ගිණුමේ මෙවැනි සටහනක්‌ පළකර තිබුණි. "මචන්ලා ටික දවසකට මේ පැත්තේ එන්න වෙන්නේ නැහැ මට. ටටා බායි. videos දෙන්නම් ඊළඟ නිවාඩුවේදී. මං කිව්වේ අගෝස්‌තුවලින් පස්‌සේ. ආපසු එද්දී උඹලට මාව අමතකවෙලා තියේවිද දන්නැහැ. එහෙම කරන උන්ව හැක්‌ කරලා මරලා හංගලා හොයලා වළලනවා මං" මෙම සටහන කියවපු බොහෝ අයට ගැටලුවක්‌ පැන නැගිණි. ඒ තම "ෆේස්‌ බුක්‌" වීරයාට කුමක්‌ වීද යන්නයි. ඒ පිළිබඳ "ෆේස්‌ බුක්‌" හරහා කොතරම් විමසුවද කිසිදු පිළිතුරක්‌ නොලැබුණි.

දිනපතාම පාහේ අලුත් දෙයක්‌ තම "ෆේස්‌ බුක්‌" ගිණුමට එකතු කරන සදීපගේ නිහඬතාව ඔහුගේ "ෆේස්‌ බුක්‌" මිතුරන්ට දැඩි ප්‍රහේළිකාවක්‌ වූවේය. කිසිදු ආකාරයකින් සදීප ගැන තොරතුරක්‌ "ෆේස්‌ බුක්‌" මිතුරන්ට සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔවුන් බලා සිටියේ සදීප නැවත පැමිණ තම "ෆේස්‌ බුක්‌" ගිණුම අලුත් කරන තුරුය.

සදීප එක්‌වරම තම ෆේස්‌ බුක්‌ ගිණුමේ එවැනි සටහනක්‌ තබා අතුරුදන් වූයේ වෙන කොහෙවත් නොව රෝහලකටයි. ඒ ඔහු අසනීප තත්ත්වයෙන් සිටි නිසායි. දින කිහිපයක්‌ රෝහල්ගත වී සිටි සදීප ඔළුවේ නහරයක්‌ පුපුරා යැම හේතුවෙන් හදිසියේම මියගියේය. සදීපගේ එම අවාසනාවන්ත මරණයත් සමඟ ඔහු ටික දිනක්‌ අතුරුදන්වූ හේතුව "ෆේස්‌ බුක්‌" මිතුරන්ට දැන ගන්න ලැබුණි. ඒ වනවිට කළ හැකි කිසිදෙයක්‌ මිහිපිට නොමැති බව ඔවුනට වැටහිණි. නමුත් තම සගයාගේ හදිසි වියෝව දරා ගැනීමට සදීපගේ මිතුරන්ට නොහැකි වූහ.

සන්දීප්ගේ වීඩියෝ එකක්
ස්කන්ධයක් ශක්තියක් බවට පත් කිරීම, Teleport කිරීම,කාලය හරහා අනාගතයට ගමන් කිරීම, ආලෝකයේ වේගය ලබාගැනීම,න්‍යශ්ටික බෝම්බ සහ ඒ හා සම්බන්ධ තොරතුරු රැසක්.
සදීප රවිෂාන් කොතරම් ලෙන්ගතු අයුරින් තම "ෆේස්‌ බුක්‌" සහ සියලුම හිතමිතුරන් ඇසුරු කර තිබුණාද යන්න ඔහු වෙනුවෙන් අන්තර්ජාලයේ සටහන් වී තිබූ ශෝක පණිවිඩවලින් දැන ගැනීමට හැකිවිය. ඒ තරමටම සදීපව ඔහුගේ හිත මිතුරන්ගේ හදවත්වලට දැනී තිබුණි.

රෑ එළිවන තුරු නිදි වරා දන්නා නොදන්නා සියලුම හිත මිතුරන්ගේ සියලු ගැටලුවලට පිළිතුරු ලබා දුන් සදීප රවිෂාන් වැනි අය මෙලොව උපදින්නේ ඉතා කලාතුරකිනි. මේ සදීප කිසිදිනක හමුවී නැති ඔහුගේ "ෆේස්‌ බුක්‌" මිතුරකු පළකර තිබූ සටහනකි.

"යන්න කලින් කියාගන්න පුළුවන් වුණා. ඒත් හිතුවේ නෑ මෙහෙම දෙයක්‌..." සදීප ඔබට නිවන් සුව...·"

"මමත් සදීපයෝ... මම අඬනවා බං තාමත් මේක අහපු වෙලාව ඉඳන්... උඹ වගේ ඩයල් මේ කාලෙට ගැලපෙන්නේ නැතිව ඇති බං... උඹ ගැළපෙන්නේ අනාගතතේට බං... උඹ හිතන දේවල් හරි වෙනස්‌. අනික කුහක නෑ උඹ. හැමෝටම දන්න හැමදේම ලෝබ නැතුව කියා දුන්නා. උඹ... උඹ නැති පාඩුව මට විතරක්‌ නොවෙයි බං මුළු රටටම. සිරාවටම අපි පව් බං. ඒත් මොනවා කරන්නද බං. උපදින හැමෝම මැරෙනවනෙ බං. මෙහෙම හිටියට මම හෙටද දන්නෙ නෑ. උඹ නැති එක ලෝකයටම පාඩුවක්‌ යාලුවා. උඹට නිවන් සුව ලැබෙන්න ඕනෑ..."

FB ආව දවසේ ඉඳන් මේ වෙනකන් මම දාපු පළවෙනි ශෝක ප්‍රකාශය. මේක දාන්න මට ලෝබ නෑ බං. උඹ මට අසාමාන්‍ය පුද්ගලයෙක්‌ බං. FB සහෝ... අද ඉඳන් මම කරන හැම පිංකමකදීම උඹව මට මතක්‌ වෙයි."

"උඹට වෙච්ච දේ හිතාගන්න බෑ බං. මේක ඇත්තක්‌ද කියලා තාමත් මට විශ්වාස නෑ. මං උඹව පෞද්ගලිකව දන්නෙ නැහැ බං. බුකියෙන් තමයි උඹ අඳුන ගත්තේ. උඹට Science වලට තිබ්බ උනන්දුව පට්‌ටයි. අපේ රටේ නම ලෝකයට අරන් යන්න පුළුවන් විදිහෙ එකෙක්‌ උඹ. දුකයි බං බොක්‌කෙන්ම. මේ වගේ අකල් මරණයක්‌ ආයේ මේ සංසාරෙ නිවන් දකින කල් උඹට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සහෝ... උඹට නිවන් සුව!!

Arduino ආපු මුල් දවස්‌වල Arduino ගැන ලිපි ලියලා ඩසාeද හදලා ඒවා වලින් කරන්න පුළුවන් දේවල් උඹ නිකන් කියලා දුන්නා. උඹ ලෝකෙට දුන්න ලිපි දැනුම ඒවා තවම තියෙනවා. උඹ නැති වුණත් අපිත් එක්‌ක ඉන්න තැනක හොඳට හිටපන්. උඹ වාගෙ උන් ලංකාවට නැති නිසා තමයි රට හරක්‌ කැම්පස්‌ ගිහින් අධ්‍යාපනය කන්නේ. උඹ ලෝකෙට දුන්න දේ තියෙනවා. ඒත් උඹ නැහැ. උඹට නිවන් සුව!

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු