lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Monday, July 25, 2016

    අවුරුදු ගාණක් තිස්සෙ දෙවැනි නවකතාව වටේ කැරකෙමින් හිටියා

     ලියූ එකම නවකතාවෙන් අප්‍රමාණ ප්‍රසිද්ධියට පත් වූ අරුන්දතී රෝයි, ඉන්දියාව කණපිට හැරවූ අපූරු ලේඛිකාවකි. ඇගේ පළමු සහ එක ම නවකතාව වු 'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' 1997 වසරේ දී හොඳ ම ප්‍රබන්ධයට පිරිනැමෙන මෑන් බුකර් සම්මාන දිනා ගත්තා ය. ඇගේ දෙවැනි නවකතාව ඊළඟ වසරේදී නිකුත් කිරීමට නියමිත ය. ක්‍රේල් කොණ්ඩය ගස්සමින්, සංගීතවත් කටහඬින් ඈ සංවාදයාට එකතු විය. මේ, අයිෂ්චර්යා සුබ්‍රමනියම් විසින් huffingtonpost වෙබ් අඩවියට කළ ඒ සාකච්ඡාවේ පරිවර්තනයයි.

    ඔබ විනයගරුක ලේඛිකාවක්ද?

    ඔව්. මම ඉතාමත්ම විනයගරුකයි. මේ මොහොත නම් මම මගේ අලුත් නවකතාව වෙනුවෙන් උමතු වෙලයි ඉන්නේ. දිනපතා අලුත් නවකතාවේ පි‍ටු කිහිපයක් ලියමිනුයි ඉන්නේ. සමහර වෙලාවට දවස ගත වෙලා ඉවරයි කියලා දන්නෙත් නෑ. හිටපු ගමන් මම වටපිට බැලුවමයි දකින්නෙ අඳුර වැටිලයි කියලා. මගේ ඇස්වලට පතිත වෙන එකම එළිය පරිගණක තිරයෙන් වැටෙන එළිය විතරයි.

    මේ ලිවීමේ උමතුව කොයි තරම්ද කියනවා නම්, පහුගිය සතියේ දවසක මම බිත්තරයක් තැම්බෙන්න තියලා ,ඒක අමතක වෙලා දිගටම ලියමින් ඉදලා, කුස්සිය පුරාම දුමක් පැතිරෙන කොටයි දැනගත්තේ තව දුරටත් එතැන බිත්තරයක් නෑ කියලා. ඊට පස්සෙ සතියෙ බැදපු බිත්තරයක් ළිපෙන් බාන්න උත්සාහ කරද්දි හදිසියේම සිහියට ආවා , එතැන ගින්දර මිසක් බිත්තරයක් නෑ කියලා.

    මේ ලිවීමේ ක්‍රියාවලියම තරමක් උමතුයි. හැබැයි ඒ සියල්ල අතරේ මගේ විනයගරුක බවේ නම් වෙනසක් නෑ.

    ඔබේ අලුත් නවකතාව ගැනයි අපේ උමතුව තියෙන්නේ. එය නිකුත් වන්නේ කවදාද?

    ලබන අවුරුද්දේ. ඉතාමත් බලාපොරොත්තු සහගතව මම මේ කියන්නේ.

    'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' නිකුත් කර විසි අවුරුද්දකට පසුවයි මේ ඔබේ දෙවැනි නවකතාව නිකුත් කරන්නේ? අපි බලාපොරොත්තු තියාගන්න ඕන මොන විදිහකටද?

    'ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්' නවකතාවෙ දෙවැනි කොටස නොවන ඕනෑම දෙයක් ගැන බලාපොරොත්තු තියා ගන්න කියලයි මම කියන්නේ.

    අවුරුදු 20ට පසුව මේ මොහොතෙම දෙවැනි නවකතාව ලියන්න ඕනා කියලා ඔබ තීරණය කළේ ඇයි?

    ලියන්න ඕනා කියලා මම තීරණය කළේ නෑ. අවුරුදු ගාණක් තිස්සෙම මගේ දෙවැනි නවකතාව වටේ මම කැරකෙමින් උන්නා. ප්‍රබන්ධකරණය සම්බන්ධයෙන් කිසිම දවසක මම හදිස්සි වෙලා නෑ. පහුගිය අවුරුදු 20 පුරාම නොයෙක් තැන්වල සංචාරය කරමින්, බොහෝ දේ ලියමිනුයි මම කාලය ගත කළේ. හරියටම කිව්වොත් ඒ අවුරුදු 20 ඇතුළේ මම පෙරලෙමින් ඉන්න ගලක් වගේ වුණා.

    වෙනත් කිසිම විදිහකින් කියන්න බැරි දෙයක් ප්‍රබන්ධයකදී ලේයර කිහිපයක් සහිතව ඉදිරිපත් කරන්න වෙනවා. කියවන්නාට ඒ ලේයර් කිහිපය එකින් එක ගලවා බලන්න පුළුවන් වෙනවා. මට තියෙන්නෙ කොහේ හෝ ඈදිගෙන ඉතාම නිස්කලංකේ ඒ ලේයර් කිහිපය ඇතුළට රිංගන්නයි. අන්තිමේදී ශරීරාංගයක් මගේ ඩී.එන්.ඒ අනුවක් තරමටම ඒ සියල්ල ජීර්ණය වෙන්න ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් ඒවා එකින් එක දහදිය බිංදු වගේ එළිය දාන්න.

    ඔබේ මේ ප්‍රබන්ධ ස්වයංලිඛිත චරිතාපදානද?

    චරිතාපදාන කියන්නෙ මොනවද? සත්‍ය සිදුවීම් හෝ ප්‍රබන්ධ කියන්නේ මොනවද? මේ ඔක්කොම කෙළවර ඔබ යමක් හිතින් මවාගන්නවා. එතකොට ඒ මවාගන්න දේ සත්‍යයද? අනුන්ගේ ජීවිත අත්දැකීම් තුළ තියෙන ශෝකය හරි සං‍තෝෂය හරි සිතින් මවා ගත්තොත් ඒක ස්වයංලිඛිත චරිතාපදානයක්ද? ඇත්තටම මම දන්නෙ නෑ කියන්න. මට ඒක පැහැදිලි කරන්නත් අපහසුයි. අනන්‍යතාව සහ පෙනී සිටීම පිළිබඳ තර්ක කරමින් ඉන්න ඕනද කියන එකයි සැබෑ ප්‍රශ්නය. ප්‍රබන්ධයක් ලිවීමේ විශාල ක්‍රියාවලිය ගැන වෙනම පැහැදිලි කරන්න වුවමනා නෑ කියලයි මම හිතන්නේ.

    ඔබේ ලිවීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුළුවන්ද?

    මගේ ලිවීමේ ක්‍රියාවලිය ගැන කතා කරනකොට මා ටිකක් ගොළු වෙනවා. මගේ ලිවීමේ ක්‍රියාවලිය ගැන මමවත් හරියට දන්නෙ නෑ. මගේ නවකතාවේ චරිත හැසිරෙන ආකාරය වගේම, ඒ අයගේ චරිතවල සැකැස්ම සකස් කරගන්නෙත් ඒ අයමයි. මම කතා ලියන විදිහ සරල රේඛීය නෑ. මගේ ළඟ කතාවක් තියෙනවා. මං ඒක ලියනවා කියලා දෙයක් මගේ ළඟ නෑ. මම එහෙම ලියන කෙනෙක් නෙවෙයි.

    කතාවක් ලියන්න ඒක ඇතුළට කිදා බැස්සට පස්සේ වැඩේ ලේසි නෑ. නියමාකාර න්‍යායක් මගේ ළඟ නෑ ඒක පැහැදිලි කරන්න. මම මෙහෙම කියන්නම්. පු‍ටුවක වාඩි වෙලා ලිවීම තමයි ඉතා ම වැදගත් වෙන්නේ. හැබැයි ඒ ලියමින් ඉන්න හැම වෙලාවකම මං හිතනවා ලියන්න ඕන පරිපූර්ණ කතාවම මගේ ළඟ තියෙනවා කියලා. ඒක නිකං හිතෙන් සංගීතයක් වාදනය කරනවා වගෙයි. මම ඒ වාදනය ඇතුළේ නො ඉන්න කිසිම මොහොතක් ඇත්තෙ නෑ.

    ප්‍රබන්ධ නොවන දේ ගැන ඔබ දක්වන අදහස මොකක්ද?

    ප්‍රබන්ධ නොවන දේ ඉතාම හදිස්සියෙයි මම ලියන්නේ. එහෙමත් නැත්නම් තරමක් ආවේගයෙන්. දේශපාලන ලිපියක් ලියන හැම වෙලාවකම මම හිතන්නෙ ආයෙ නම් කිසිම දේශපාලන ලිපියක් ලියන්නෙ නෑ කියලයි. ඒත් ඒක දිගින් දිගටම සිද්ධ වෙනවා.

    ඒ කියන්නෙ තව දේශපාලන ලිපි ලියනවා කියන එක නේද?

    ඔව්. මේ විදිහෙ දේශපාලන ලිපි ලියන හැම වෙලාවෙම මම හිතන්නේ මේවා ලියන්න වෙන කවුරු හරි හිටියා නම් කොයි තරම් හොඳද කියලයි. ඒත් දරාගැනීමේ හරි, ඉවසීමේ හරි සීමාව ඉක්මවා ගියාම, මම නැවතත් දේශපාලන ලිපි ලියන්න පටන් ගන්නවා. ඒවා ඉතාම හදිස්සියේ, කුණා‍ටුවක් වගේ එළියට එනවා. කොයි තරම් අකමැති වුණත් ප්‍රබන්ධ නොවන දේ ලියනකොට ඒ වෙනුවෙන් මට පැය 20ක් වුණත් ගත කරන්න පුළුවන්. ඒක මහා පිස්සු වැඩක්. ඒත් මං එහෙම කරනවා.

    වයස 17දී ඔබ නිවෙසින් පිට වෙනවා. ඒ ඔබේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන බව ඇත්තක්ද?

    ගෙදර ජීවත් වීම ඒ කාලෙ ඉතා ම අමාරු වුණා. ඒ කාලෙ ඉතා ම කම්පන සහිතයි. කොහොම වුණත් එදා මම ගෙදරින් පිට වුණ එක ගැන නම් තියෙන්නෙ සතුටක්. මගේ මවන්නිය වගේම විනාශ කරන්නියත් යන දෙකම මගේ අම්මා කියලයි මම හිතන්නේ. ඈ අසල ඉන්නකොට මම පැති දීසියක් වගෙයි. ප්‍රධාන ආහාර වේල තමයි ඇය. ඈ නිතරම මගේ ගැන ඇහැ ගහගෙන ඉන්න එකයි කළේ.

    මගේ අම්මා ඉතා ම සාර්ථක ඉස්කෝලයක් පටන් ගත්තා. ඒ ඉස්කෝලෙ ළමයින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පරම්පරා ගාණක්ම ඈ වෙනස් කළා. අමමා ගැන මම ආඩම්බරයි. ඈ මම ඉහළින්ම අගය කරනවා. ඒත් ඈ විහිදන එළියෙන් පිච්චෙන්න නම් යන්නෑ. අපි දෙන්නා නිකං න්‍යෂ්ටික අවි දෙකක් වගේ. යම් දුර සීමාවක් සහිතවයි එකිනෙකා ළඟ ඉන්න ඕනා.

    අම්මා හැරුණු විට ඔබේ ජීවිතය වෙනස් කළ තවත් කාන්තාවන් ඉන්නවාද?

    මගේ අම්මා, තාත්තාව අත් ඇරලා ඇසෑමයේ ඉදන් ඌටිවලට ගියා. ඈ හිටියේ අසනීපෙන්. ඒ වගේම ඈට සල්ලි තිබුණෙත් නෑ. නැගිට ගන්න බැරිව ඔහේ ඇදේ වැතිරිලයි ඉදලා තියෙන්නේ. මගේ අයියටයි මටයි එතකොට වයස අවුරුදු 4-5ක් වගේ වෙන්න ඇති. බාස්කට් එකක් දීලා ඒක ඇතුළේ පොඩි සටහනක් දාලා අම්මා මාවයි, අයියවයි ටවුමට යවනවා. මිනිස්සු ඒකට එළවළු දාලා එවාවි කියලයි අම්මා අපිව එහෙම යවන්නේ.

    මේ අතරේ අපිට හම්බ වුණා කුෂම්මාල් කියලා යහපත් ගෑනු කෙනෙක්. එයා අපේ ගෙදරට ඇවිත් නිකන්ම අප බලා ගන්න පටන් ගත්තා. ඈ ආවෙ කොහෙන්ද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ. එදා ඉදන් මීට අවුරුදු හතරක් වෙනකන් ඈ අම්මා එක්කම හිටියා. අන්තිමට අම්මා බලන්න ගිය දවසේ , මං ඈ ආදරෙන් වැළඳ ගත්තා. අපි කොක්හඬලමින් හිනාවුණා. අම්මා කෙනෙක් ළමයි වෙනුවෙන් කරන හැම සාමාන්‍ය දෙයක්ම ඈ මං වෙනුවෙන් කළා. මම ඈට අසීමිතව ආදරේ කළා. දින කීපෙකට කලින් ඈ මිය ගියා. මිය යනකොට ඈට වයස 96යි. ඈ ආයෙ දැකපු එක ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.

    විචාරවලට ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේද?

    මම බොහොම නිරුත්සාහිකව සහ සවිඥානිකව ලියන කෙනෙක්. මම ලියන දේවලට ලියන විචාර මට දැනෙන්නේ මගේ පිත්තාශයට විසුළු හැඩයක් තියෙනවා කියනවා වගෙයි.

    ඔබ මේ දවස්වල කියවමින් ඉන්නෙ මොනවද?

    මම දවස්වල කියවන්නේ ස්වෙට්ලානා ඇලෙක්සිවිච් ගේ 'චර්නබොල් ප්‍රේයර්' කියන පොත. ඉතා ම අලංකාරව ඒක ලියලා තියෙනවා. හිත කම්පා කරවන සුළු දේ කියවන්න මං ඒ තරම් කැමැති නෑ. මනරම්ව ලියපු ගද්‍යයක් මට කියවන්න දෙන්න, ඒකත් එක්ක ඔබ කියන ඕන තැනකට මම යාවි.

    එතකොට ඔබේ ප්‍රියතම සාහිත්‍යකරුවන් කවුද?

    ශේක්ස්පියර්, කිප්ලින්, රිල්කේ....වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය ලියන්නෙ ගායනා කරන්න පුළුවන් තරම් රිද්මයානුකූල ගද්‍යයි. අලංකාර ගද්‍ය වෙනුවෙන් මම වශී වෙනවා. ශේක්ස්පියර් ලියපු ඕනම වාක්‍යයක් මා පිස්සු වට්ටවනව සුළුයි. නබකොව් ලියූ දේවලුත් ඒ වගෙයි. ඒ වගේමයි ජෝන් බර්ගර් ගේ ලිවීම්. ජේම්ස් බෝල්ඩ්වින් සහ ටෝනි මොරිසන් ගේ ලිවීමුත් ඒ වගෙයි. අති විශිෂ්ටයි.

    කාංචනා අමිලානි (දිනමිණ)

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture