ජුලි 23 දින පැවැති මේ උද්ඝෝෂණ රැලිය නිසා මෙරට ජනතාව රජයට විරුද්ධව සංවිධානය වීමට ඇති ඉඩකඩ පුළුල්වූ අතර ලංකා සම සමාජය පක්ෂයේ පිලිප් ගුණවර්ධන කොමියුනිස්ට් පක්ෂයේ එස්. ඒ වික්‍රමසිංහ, නව ලංකා සමසාමජ පක්ෂයේ ආචාර්ය එන්. එම්. පෙරේරා යන මාක්ස්වාදී නායකයන් ප්‍රධාන කොට ශ්රීලනි පක්ෂයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකද සම්බන්ධ කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා විරෝධතා දිනයක් ලෙස 1953 අගෝස්තු 12 වෙනි දින ප්‍රකාශයට පත්කර ලදී. එය "හර්තාලය නමින් නම්කරන ලදී. හර්තාලය සඳහා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්ද කැඳවන ලද අතර අය වැය යෝජනාවලට විරෝධය පළකරමින් අත් පත්‍රිකා බෙදාහැරීමද සිදු කරන ලදී.
විපක්ෂයේ ඒකමතික භාවයෙන් සංවිධානය කෙරුණු හර්තාලය සාර්ථක වූ අතර බස් සේවය හා දුම්රිය සේවය රටපුරාම අඩපණ විය. රාජ්‍ය යන්ත්‍රය ක්‍රියා විරහිත විය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වීදිවලට පැමිණි ජනතාව රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල එල්බගත් අතර පෙළපාලි යමින් රජයේ ගොඩ නැඟිලි හා ප්‍රවාහන සේවාවලට (පෞද්ගලික අංශයට) අලාභ හානි කරන මට්ටම දක්වා හර්තාලය උග්‍රවිය. රාජ්‍ය විරෝධී කැරැල්ලක් අත්නොදුටු මාක්ස්වාදී නායකයන්ට පවා පාලනය කරගත නොහැකි මට්ටමින් ජනතාව වීදි බටහ. රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට ඇඳිරි නීතිය පැනවූ අතර පොලිසිය හා මහජනතාව අතර කොළඹ නගරයේත් මුහුදුබඩ නගර කීපයකත් විශාල ලෙස ගැටුම් ඇතිවිය. මේ වන විට ජනතාව දෙමටගොඩ ප්‍රදේශයේ කෝච්චිපාරේ තබාගෙන "ආප්ප" පිච්චු බවටද වාර්තා විය. ඉන් ප්‍රකාශ වූයේ ආණ්ඩු විරෝධය ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබූ බවය.
මහජන විරෝධය මධ්‍යයේ ගස් කපා පාරවල් මැදට ඇද දමා තිබූ අතර මහරගම හෝමාගම පාරේ දැවැන්ත මාරගස් පාර හරහා කපා දමා තිබුණි. කිරුළපනේ පාර මැද තාරපීප්ප ගිනිගත් අතර මොරටුව, වස්කඩුව, කලුතර දුම්රිය මාර්ගවලට දැවැන්ත ගස් පෙරළා අවහිර කර තිබුණි. අම්බලන්ගොඩ, බළපිටිය හා කොස්ගොඩ ගාලුපාර කාන්තාවන් විසින් රැකවල් කරන ලදී. කොළඹ සියලු කඩ සාප්පු වැසින. වරාය කම්කරුවෝ හැම මාවතකම සැරිසරමින් විරෝධතා සටන් පාඨ වලට ජනතාව ඒකරාශී කළහ.
ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යැම ගැටලුවක් බවට පත්ව තිබූ අතර කැබිනට් මණ්ඩලය අගමැතිගේ ප්‍රධානත්වයෙන් වරායේ නැවක රැස්වූ බවටද වාර්තා විය. හතර අතින්ම මෙදින (12) පැමිණි වාර්තාවලින් කියවුණේ ජනතාව වීදි බැස ඇති බවය. මේ තත්ත්වය වැළැක්වීමට රජය උපරිම ශක්තිය යෙදවීමට තීරණය කරන ලදී.
බඩුමිල වැඩිවීමට විරුද්ධව නැගී සිටි ජනතාව මෙල්ල කිරීමට හදිසි නීතිය පමණක් නොව ඇඳිරි නීතියටද අපහසු වූ තැන හමුදාව හා පොලිසිය යොදවා වෙඩි තැබීමට රජය අණ දුන්නේය. 1953 අගෝස්තු 12 "හර්තාලය" මගින් ආණ්ඩුව පෙරළීම වලක්වා ගන්නා ලද්දේ මේ කෲර වෙඩි තැබීම මගිනි. පොලිස් හමුදා වෙඩි තැබීම්වලින් පහත සඳහන් අය මරුමුවට පත්විය.
1. ඇඩ්වින් මයා - පිටකොටුව
2. ඇල්බදුරගේ අල්විස් - ඡේගම
3. ඇස් එච්.රූබල් - ඌරගහ
4. ටී. ඇම්. පනාගොඩ - දොඩන්දූව
5. ඇස්. කේ. ඒ. පියසේන - දොම්පෙ
6. ඇස්. කේ. ඒ. වික්‍රමසිංහ - දොම්පේ
7. කේ. ඒ. සාදිරිස් - දොම්පෙ
8. ඩග්ලස් නික්ලස් - මෝදර
9. ටී. සිරිසේන - කිරුළපන
ජීවිත 9 ක් අහිමි වීමෙන් පසු රජය සහල් මිල අඩුකළ අතර දේශපාලන අර්බුදයකටද රජය තල්ලු කෙරිණි.
අගමැති ඩඩ්ලි සේනානායක මහතා අවංකව සිදුවූ මරණ සම්බන්ධයෙන් වේදනාවට පත්වූ අතර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ දැඩි විවේචනවලට භාජනය විය. අගෝස්තු 17 සිට සැප්. 01 දින දක්වා පාර්ලිමේන්තු වාද විවාද වලදී අගමැතිවරයාට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට මාක්ස්වාදී නායකයන් කටයුතු කළ අතර අගමැතිවරයාගේ මානසික තත්ත්වය බිඳවැටී තවදුරටත් තනතුරේ රැඳී සිටීම ගැටලුවක් බවට පත්විය සැප්. 01 දින රජයට විරුද්ධව විශ්වාසභංගයක් සඳහා විපක්ෂය එකඟ වූ අතර අගමැති ඩඩ්ලි සේනානායක මහතා එවක අග්‍රාණ්ඩුකාර ධුරයේ වැඩ බැලූ ඇලන් රෝස් (සෝල්බරි සාමි පිටරට ගොස් සිටි නිසා) හමුවී මීළඟ අගමැති ධුරයට ඡේ. ආර්. ජයවර්ධන නම් කළත් එය භාර ගැන්මට ඔහු අකමැති වී සෝල්බරි සාමි අග්‍රාණ්ඩුකාරවරයා ඉක්මනින් ලංකාවට ගෙන්වා ගත්තේය. සැප්. 10 දින සෝල්බරි සාමි ලංකාවට පැමිණි අතර ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට තවදුරටත් විවේක ගන්නා ලෙසත් ඉල්ලා අස් නොවන ලෙසත් ඔහු උපදෙස් දී තිබිණි. නමුත් තවදුරටත් අගමැති ධුරය දැරීමට අකමැතිවූ ඩඩ්ලි සේනානායක මහතා 1953 ඔක්තෝබර් 12 දින අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඒ වන විට ප්‍රවාහන වැඩ ඇමැති හා සභාපති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය. වැඩි කළ හාල් මිල වහාම අඩුකිරීමට ඔහු උපදෙස් දුන්නේ ඉන් අණතුරුවය.
සමරසේන මුදලිගේ
No comments: