sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » මහ බැංකු අධිපති ගෙදර යවපු සංඝ සේනාපතිගේ සිංහ සරය - උපුල් ජෝශප් ප්‍රනාන්දු

මහින්දගේ ආණ්ඩුවේ නොනිල විදේශ ඇමැති නොහොත් මොනිටර් ඇමැති සජින් වාස් බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට පහරදී ඇති බව ආරංචි වූ විට රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමැතිවරු රහසින් මිමිනුවේ සජින් වාස්ට ඉවත් වෙන්න යැයි මහින්ද උපදෙස් දිය යුතු යැයි කියාය. කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු පවා මහින්දට කීවේ සජින් වාස් ක්‍රිස් නෝනිස්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවය. සජින් වාස්ගේ පහර දීම පිළිබඳ ආරංචිය සෝභිත හිමිගේ කනට වැටුණු විට එහිමි කීවේ මහින්ද කවදාවත් සජින් වාස් ඉවත් නොකරන බවය.


"අපේ ලංකාවේ නායකයන්ට එහෙම පුරුද්දක් නැහැ. ඉන්දියාවේ කෝච්චියක් පෙරළුණත් ඇමැතිවරු අයින් වෙනවා..."
සෝභිත හිමියෝ මාධ්‍යන්ට කීහ. සෝභිත හිමිගේ හීන දෙකක් තිබිණි. ලොකුම හීනය වූයේ රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් දීමය. ඊටත් වඩා ලොකු හීනය වරදක් මත සෝභිත හිමි බලයට ගෙන ආ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හෝ ප්‍රබලයෙක් ඉවත් වීම හෝ ඉවත් කිරීමය.
සෝභිත හිමිගේ දේහය නාග විහාරයේ තැන්පත් කර තිබියදී නීතිය සහ සාමය ඇමැති තිලක් මාරපන ඉවත් විය. ඒ දූෂිත ඇවන්ගාර්ඩ් ගනුදෙනුව ආරක්‍ෂා කරන්න ගිහින්ය. ඔහු ඇවන්ගාර්ඩ් සමාගමේ නීතිඥයා ලෙස කටයුතු කරමින් නීතිය සහ සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස එහි පරීක්‍ෂණ කරන්නේ කෙසේ දැයි ජ.වි.පෙ. සහ සිවිල් සංවිධාන ප්‍රශ්න කරද්දී මාරපනට ඉවත් වන ලෙස රනිල් කීවේය.


මාරපන රනිල්ගේ සමීප හිතවතෙකි. රනිල්ට එරෙහි චන්ද්‍රිකාගේ ආණ්ඩුව අටවපු බටලන්ද නඩුවට රනිල් වෙනුවෙන් පෙනී සිටියෙත් මාරපනය. ඒත් මාරපනට ඉවත් වීමට සිදුවිය. සෝභිත හිමිගේ දේහය ඉදිරියේ මෛත්‍රි - රනිල් ආණ්ඩුව කළ ලොකුම පුෂ්පෝපහාරය ඇමැතිවරයෙක්ට ඉවත් වෙන්න කීමය.
අදට සෝභිත හිමි අපවත් වී මාස කිහිපයකි. අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව බැඳුම්කර වංචා චෝදනාව ආවේ සෝභිත හිමි ජීවත්ව සිටියදීය. අර්ජුන්ට එරෙහි චෝදනාව ගැන සෝභිත හිමියෝ උන්වහන්සේව බැහැ දකින්න ආ ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් ප්‍රශ්න කළහ.
''චෝදනාව පරීක්‍ෂා කරලා එතුමාගේ නි‍ෙදාස්භාවය ඔප්පු කරන්න කියලා රනිල් මහත්තයාට කියන්න. යාළුවා හින්දා රනිල් මහත්තයත් බලනවා ඇති".
මේ සෝභිත හිමි කී කතාවය. හැබැයි මෛත්‍රි - රනිල් ආණ්ඩුව අර්ජුන්ව ඉවත් කරයි කියලා සෝභිත හිමි එදා නම් හීනෙන්වත් නොසිතන්න ඇත. ඒත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව අර්ජුන්වත් ඉවත් කළේය.


"අද සෝභිත හිමි හිටියා නම් හරියට සතුටු වෙයි..."
මේ සෝභිත හිමිගේ ව්‍යාපාරයේ ප්‍රබලයෙක් කී කතාවකි.
"ඔය වගේ මහින්ද මහත්තයා සජින් වාස්ලාවත් ඉවත් කළා නම් තාම ජනාධිපති ධුරයේ ඉන්නේ මහින්ද මහත්තයා..."
මේ උපන් ගෙයි ශ්‍රී ලංකාකාරයෙක් කී කතාවකි. කතාව ඇත්තය. මහින්දගේ යුද ජයග්‍රහණයට පාට පක්‍ෂ භේද නොතකා කෘතගුණ දක්වපු මෙරට මධ්‍යම පන්තියට මහින්ද එපා වූයේ සජින් වාස්ගේ වැනි සිදුවීම් නිසාය. මහින්ද සජින් වාස්ව පමණක් නොවේ, රූපවාහිනියට ගිහින් ගුටි කාලා ඇවිත් රූපවාහිනි මාධ්‍යවේදීන්ට ගහපු, මාධ්‍ය ආයතනවලට ගල් ගහපු මර්වින් සිල්වාටවත් අත තිබ්බේ නැත.


මහනායක හිමිවරුන් දි.මු. ජයරත්නව ඉවත් කරන්න කියද්දී මහින්ද නෑහුනා වගේ සිටියේය. බි්‍රතාන්‍ය ජාතිකයකු ඝාතන කළාය කියා චෝදනා ලබපු පළාත් සභා මන්ත්‍රිවවත් ඉවත් කළේ නැත. වෙනකක් තබා මහින්දගේ හතර වැනි පුතා ලෙස නාමල්ම හඳුන්වා දුන් විමල්, පී.බී. රට ණය උගුලක පටලවනවා යැයි චෝදනා කළ විට පී.බී. ජයසුන්දරව ඉවත් කළේත් නැත. පහත දැක්වෙන්නේ විමල් පී.බී. ගැන කී කතාය.
"මේ රටට ආදරය කරන ආර්ථික විශේෂඥයන් ඉන්දැද්දී රටේ ආර්ථිකය ඝාතනය කරමින් ණය ගන්නා පී. බී. ජයසුන්දරව ඇයි තියාගෙන ඉන්නේ? මේ ආණ්ඩුවේ තියෙන තකතීරුකම, අමනකම ඒක තමයි. අද මේ ආණ්ඩුව පාලනය කරන්නේ පී. බී. ජයසුන්දර. මේ ආණ්ඩුව බයයි පී.බී. ජයසුන්දර එළවන්න. මම දන්නේ නැහැ ඒ තීරණ ගන්න බය මොකද කියලා...."


විමල් වීරවංශ
13.05.2013
විමල් රට වටේ යමින් ආර්ථික ඝාතකයා පන්නමු කියා එසේ කීවත් මහින්ද පී.බී.ව පැන්නුවේ නැත. මහින්ද තව තවත් පී.බී. ව ළඟට ගත්තේය. පී.බී.ට එරෙහිව 2008 ජූලි 21 ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දුවක් දෙමින් කීවේ ඔහු ජෝන් කීල්ස් සමාගමට රාජ්‍ය ආයතනයක් පවරා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවත්, රජයට විශාල පාඩුවක් සිදුකොට ඇති බවත්ය. පී.බී. එය පිළිගනිමින් මින් ඉදිරියට තමන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට ශේ්‍රෂ්ඨාධිකරණයට සහතිකයක් දුන්නේය. තමාට ගෙවන්න නියමිත දඩ මුදල ගෙවන්නද එකඟ විය. එසේ තිබියදී මහින්ද ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කර ගත්තේ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ අයෙක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් නොකරන ලෙස එල්ල වූ බලපෑම් මධ්‍යයේය. මහින්ද මෙම බලපෑම් සත පහකට මායිම් කළේ නැත. ඔහුගේ ආණ්ඩුවේ ලොකුම ආරක්‍ෂකයන් වූ ජාතික හෙළ උරුමයත් විමල්ගේ පක්‍ෂයේත් විරෝධතා මධ්‍යයේ ඔහු පී.බී.ව ආරක්‍ෂා කළේය. අද ප්‍රබල මහින්දවාදියෙක් වන බන්ධුල ගුණවර්ධනද පී.බී.ව දැඩි ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කළේය. මහින්ද පී.බී.ව ආරක්‍ෂා කළේ ඔවුන් හැමෝම ලැජ්ජාවට පත් කරවමිනි.


එහෙත් මෛත්‍රි එලෙස නොවේ. ඔහුව ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ල.නි.ප.ය නොවේ. ශ්‍රී ල.නි.ප.ය ඔහුව පරදවන්න වැඩ කළ පක්‍ෂයකි. ඒත් ඔහු අර්ජුන්ව ඉවත් කරන්න යැයි ශ්‍රී ල.නි.ප.ය, සන්ධානයේ අනෙකුත් පක්‍ෂ කළ ඉල්ලීමට සවන් දුන්නේය. ඒ තමන්ව ජනාධිපති අපේක්‍ෂකත්වයට යෝජනා කළ රනිල්වද අපහසුතාවට පත් කරමිනි. රනිල්ද යහපාලනය වෙනුවෙන් අර්ජුන්ව දන් දුන්නේය.


මහින්දවාදීන්ටද මෙය විශ්වකර්මයක් විය. දිනේෂ් සහ බන්ධුල නව මහ බැංකු අධිපති කුමාරස්වාමිගේ පත්වීම අගය කළේ ඔවුන්ටත් මෛත්‍රි - රනිල් ගත් තීරණය අදහා ගත නොහැකි නිසාය. මෙවැනි පූර්වාදර්ශ ලංකාවේ 1960න් පසු දේශපාලනයේ දක්නට නොවීය. මහජන මතයට කන්දෙන නායකයන් 60 දශකයට පසු සොයා ගත නොහැකි විය. මහේන්ද්‍රන් ඉවත් කිරීමෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපය ශක්තිමත් වුණු බව දැන ගත් විමල්ලා කුමාරස්වාමිට කොටි හංවඩුව ගහන්න පටන් ගත්හ. ඒ ඔහු කලක් රාජ්රාජරත්නම්ගේ කොම්පැනියේ උපදේශකයකු ලෙස සේවය කළා කියමින්ය. කරුණා අම්මාන් කියන්නේ ප්‍රභාකරන්ගේ නැඟෙනහිර කොටි හමුදා නායකයාය. 1989 පොලිසිය අමු අමුවේ ඝාතනය කළ, ශ්‍රී මහ බෝධිය ලේ විලක් කළ, දළදා මාලිගාවට බෝම්බ ගහපු ප්‍රභාකරන්ගේ සුවච කීකරු ගෝලයාය. විමල් ඔහුත් සමඟ පුවත්පත් සාකච්ඡා පවත්වා ඔහුගේ පක්‍ෂය සමඟ සන්ධානගත වෙන්න ගියේය. හැබැයි කුමාරස්වාමි කොටි සමඟ සබඳතා පැවැත් වූ බවට චෝදනාවක්වත් නැත. මහින්ද පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ මුදල් ලේකම් ධුරය දරපු කුමාරස්වාමිගේ උපදෙස් ලබා ගත්තේය. අය - වැය හදන්නත් මහින්ද ඔහුගේ සහාය ලබා ගත්තේය. එතකොටත් ඔහු රාජ් රාජරත්නම්ගේ කොම්පැනියේ උපදේශකයෙක් ලෙස සේවය කළේය. විමල්ලාට කුමාරස්වාමි මහින්දට උපදෙස් දෙනකොට දේශප්‍රේමියෙකි. මෛත්‍රි - රනිල්ට උපදෙස් දෙනකොට කොටියෙකි.


ඇත්තටම අර්ජුන් ඉවත් කිරීම මෛත්‍රි - රනිල් ආණ්ඩුවට ශක්තියකි. මහින්දවාදීන් නොහොත් ඒකාබද්ධ විපක්‍ෂය භේදභින්න කිරීමකි. දිනේෂ්, බන්ධුල එය අගයද්දී විමල්ගේ කොටි හංවඩුවෙන් එය පැහැදිලිය. මේ හැමටත් වඩා සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වූ ධජය සිංහ ධජය හා සම සමව ජනාධිපති මන්දිරයේත්, අරලියගහ මන්දිරයේත් ඉහළට ඔසවා තැබීමකි. මහ බැංකු අධිපති ගෙදර යැව්වේ වෙන කවුරුවත් නොව, සංඝ සෙන්පති සෝභිත හිමිගේ නොමියෙන සිංහ සරයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply