sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » ‘ලෙස්ටර් කපුටු බෝගහක්’ කියලා ලිව්වා | ඞී.බී. වර්ණසිරි

නිමල් අබේසිංහ
ඞී.බී. වර්ණසිරි ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකි. චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකි. පිටපත් රචකයෙකි. ඉංග‍්‍රීසි සිංහල භාෂා පරිවර්තකයෙකි. දෙසතිය සඟරාවේ සහ දිනපතා ලක්බිම පුවත්පතේ ආරම්භක සංස්කාරකවරයාය.

බී. වර්ණසිරි කියන නම දැම්මේ කවුද?

මට තුන්දෙනෙක්ම නම් දාලා තියෙනවා. පළමුවැන්න මගේ තාත්තා. එයා දාපු නම තමයි දියලගොඩගේ බර්නාඞ් වර්ණසිරි. ඒ නම තමයි මම දිගටම පාවිච්චි කළේ. ඞී.බී. වර්ණසිරි කියන නම පාවිච්චි කරන්න කීවේ ඞී.බී. ධනපාල මහත්තයා. ඔහු එතෙක් මෙතෙක් බිහිවූ දැවැන්තම පත‍්‍ර කලාවේදියා කිව්වොත් නිවැරදියි. මම තමයි එයාගේ අන්තිම ගෝලයා. ඞී.බී. වර්ණසිරි කියලා දාන්නත් ඒ හේතුව බලපාන්න ඇති. ඒ සිද්ධිය වුණේ මෙහෙමයි. සූරියමල් ව්‍යාපාරය දිනය නොවැම්බර් එකොළහනේ. මම දවස පත්තරේට නොවැම්බර් එකොළහ දිනයට සූරියමල් ව්‍යාපාරය ගැන කොලම් දෙකක ලිපියක් ලීවා. හැබැයි මගේ නම දැම්මේ නැහැ. මේ ලිපිය පළවුණා. ඔන්න මම දොළොස්වෙනිදා උදේ කන්තෝරුවට ගියා. අපේ පියන් කෙනෙක් හිටියා ලූලූම්බා කියලා. මිනිහා මම යනකොට ගේට්ටුව ළඟම රැුකගෙන ඉඳලා ‘අන්න සර්ට (ධනපාල සර්* ලොකු සර් වහාම එන්න කීවා’ කියාපි. ධනපාල මහත්තයා එහෙම ලේසියෙන් කෙනෙකුට උදේම එන්න කියන්නේ නැහැ. මමත් ඒ ගමන්ම බයෙන් බයේ ගියා. ගිහින් මේසෙ ඉස්සරහින් මම හිටගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් කෙනෙක් ගිය ගමන්ම ධනපාල මහත්තයා ඔළුව උස්සලා බලන්නේ නැහැ. ටික වෙලාවක් එයා කරන වැඬේම යෙදිලා ඉන්නවා. එයාගේ ස්ටයිල් එක ඒකයි. ඔන්න විනාඩි දහයකින් විතර එයා ඔළුව උස්සලා අහනවා,
‘ඇයි ඕයි ආවේ’
‘සර් මට එන්ඩ කියලා තිබුණේ’
‘අර මොන මල්ද කියලා ලිපියක් ලියලා තිබුණේ කවුද?’
‘මම තමයි.’
‘තමුසේ මාර මිනිහෙක්නේ ඒකට නම දාන්න එපායැ. මොකක්ද තමුසෙගේ නම. දියල් ගොඩගේ බර්නාඞ් වර්ණසිරි. ඒක දිග වැඩියි. අද ඉඳලා තමුසේ ඞී.බී. වර්ණසිරි.’ ඔන්න ඔහොමයි මම ඞී.බී. වර්ණසිිරි වුණේ.
එතකොට තවත් නමත් කියෙනවා කීවේ.
ඒ නම ‘වෝනර්’. නම දැම්මේ ලෙස්ටර් ජේම්ස් පීරිස්. විදේශිකයන් එක්ක චිත‍්‍රපටිවල වැඩකරන කොට ඒ අයට මගේ නම වර්ණසිරි කියලා උච්චාරණය කරන්න අමාරුයි. ‘කෝල් ටූ වෝනර්‘ කියලා මාව වෝනර් කළේ ලෙස්ටර්.

ඔබ මාධ්‍යවේදියෙක් වුණේ කොයි විදිහටද?

ඒකත් පුදුම විදියට තමයි සිද්ධ වුණේ. ‘දවස’ පත්තරේ පටන්ගන්න ඉස්සරින් අමුතු පෝස්ටරයක් ගහලා තිබුණා. මට මතක ඒ පෝස්ටරේ තිබුණ අන්තිම පදය ‘දවස- දවස ගානේ’ කියන එක විතරයි. එතකොට මම අවුරුදු විසිදෙකක විතර කොල්ලා. ඒ වුණත් කොලොන්නාව විදුහලේ ඉංග‍්‍රීසි උප ගුරුවරයෙක් විදිහට වැඩ කළේ. මටත් හිතුණා මේ පත්තරේට යන්න. ඇප්ලිකේෂන් එහෙකුත් හදාගෙන ගියා. මාව ගත්තේ සිංහල පෲෆ් රීඩර් කෙනෙක් විදිහට. මාස හයක් වැඩ කළා. ඊට පස්සේ විදේ්ශ ප‍්‍රවෘත්ති පරිවර්තකයෙක් විදිහට වැඩ කළා. ඒ ගමන්ම කෝට් රිපෝටර් වැඩෙත් කළා. ඔය විදිහට සිනමා කලා විචාරකයා වගේම සබ් එඩිටර් කෙනෙක් විදිහටත් දවසේත්, සන් පත්තරෙත් වැඩ කළා.

දවස කන්තෝරුවේ ඉන්නකොට හොඳම යාළුවෝ කවුද?

ඔක්කොම යාළුවෝ තමයි. ඒත් රැලායි (රැලෙක්ස් රණසිංහ) සුරනිමලයි, වටරැුක පේ‍්‍රමදාසයි ළඟින්ම ඇසුරු කළා. රැුලා හොඳ පොටෝග‍්‍රැෆර්. එයාගේ පින්තූරවලට කැප්ෂන් ලීවේ මම. රැුලා යාළුවුණේ මුල් කාලේදීමයි. පෲෆ් රීඩර් විදිහට වැඩ කරනකොට මම ඉතින් අවුරුදු විසිදෙකේ කොල්ලානේ. කන්තෝරුවේ කැන්ටින් එක ඉස්සරහා ජෑම් ගහට ටයි, සපත්තු පිටින්ම නැගලා ජෑම් කඩලා කනවා. රැුලා කළු දැඩි රැුවුලක් තියෙන මනුස්සයා. මගේත් එක්ක ඉස්සරලාම යාළු වුණේ රැලා තමයි. රැලා හරි විහිළුකාරයා. ඒවාගේම හොඳට බොනවා. රැුලා, වටරැුක පේ‍්‍රමදාස (චිත‍්‍ර ශිල්පී* ඔරේමන්දම් වෙන්න ගහපු අය. ඔය බිනෝයි සුරේන්ද්‍රගේ තාත්තා, සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර මතකනේ. වැඩට යනකොට බෝතලේ පන්මල්ලේ දාගෙන එන්නේ. මමත් රැුලාගේ මෝදර ගෙදර එහෙම යනවා. ඒ වුණාට බීවේ නෑ. මම චුට්ටක් හරි ගත්තේ අවුරුදු විසිනමයත් පහවුණාට පස්සේ.

දවසේදී ඔබට අමතක නොවන සිද්ධි එහෙම ඇතිනේ.

හැත්තෑවේදී මට කැම්පේන් එකක් ධනපාල මහත්තයා භාර දුන්නා. බණ්ඩාරනායක මැතිනියගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න රුපියලකින් රට රකින්න කියලා පත්තරෙන් කැම්පේන් එකක් කළා. මම ඒක හොඳට කළා. පක්ෂය වෙනුවෙන් රුපියලක් කන්ටි‍්‍රබියුට් කරන්න තමයි අපි කීවේ. විශාල අරමුදලක් ඒකට එකතු වුණා. ධනපාල මහත්තයා ඒක මැතිනියට ගිහිල්ලාත් දුන්නා. යූඑන්පීය අටට බැස්සේ මේ මැතිවරණයේදී. හැබැයි මැතිනියගේ ආණ්ඩුව හරියට ගෙනිච්චේ නෑ. සත්‍යය වසන් කරන්න පටන් ගත්තා. පරිප්පු නවත්වලා රට ලාවුලූ ප්‍රොමෝට් කරන්න උත්සාහ කළා. අපිත් ඉතින් ඒවාට විරුද්ධව ලීවා. මට හොඳට මතකයි ඒ කාලේ මඤ්ඤොක්කා කාල පනාගොඩ කෑම්ප් එකේ සොල්දාදුවෝ දාහතරක් හෝ විසිහතරක් ලෙඩ වුණ සිද්ධිය. ඒක අපි පත්තරේ ලීවා. මැතිනි පත්තරේ නැවැත්තුවා මේක ලීවා කියලා.

ඒ කාලේ දවස කන්තෝරුව අපේ ගෙදර වගේ. අපි කීප දෙනෙක් හිටියා ඇඳුම් මැදලා ගෙනැල්ලා ස්ටෝර් කරලා තියාගෙන ඉන්නවා කන්තෝරුවේ. ගෙදර යන්නේ නෑ. ජීවිතේ වුණේ පුවත්පත් කලාව. ලංකාවම හොල්ලපු ස්ට‍්‍රයික් එකක් තිබුණා සී.ටී. ඕ. එකේ. ඒ කාලේ තිබුණ විද්‍යුත් සන්නිවේදන ක‍්‍රමය ටෙලිෆෝන් විතරයි. මේ ස්ට‍්‍රයික් එකෙන් දුරකථන අඩාල වුණා. ඔන්න ධනපාල මහත්තයා කියනවා, අද ?ට හොඳ නිවුස් එකක් එනවා, ආවාම නිවුස් එක ලියලා මට පෙන්වනවා කියලා. කීවා වාගේම ධනපාල මහත්තයා ආවා පපුව ළඟටම තියෙන කලිසමක් එහෙම ඇඳගෙන. සාමාන්‍යයෙන් ධනපාල මහත්තයා අඳින්නේ ජාතික ඇඳුමනේ. නිවුස් එක තමා ස්ට‍්‍රයික් එක නැවැත්වීම. අපි නිවුස් එක ලියලා හෙඩිමත් දාගෙන අරගෙන ගියා ධනපාල මහත්තයා ළඟට. ‘මොකක්ද ඕයි මේ හෙඩිම. මෙන්න මෙහෙම දානවා’ කියලා එයා ලීවා, ‘හලෝ හලෝ ගෙදර යනවා’ කියලා. ඒක තමයි හෙඩිම වුණේ.
සාමාන්‍යයෙන් ධනපාල මහත්තයා මීටින් තියන්නේ නෑ. තිබ්බත් විනාඩි පහයි. එයා ගුරුවරයෙක් විදිහට කියලා දෙනවාට වැඩිය පෙළඹවීම තමයි කළේ.

දවස ආයතනයෙන් අයින්් වුණේ ඇයි?

ඒක මෙහෙමයි. ලංකාවේ පුවත්පත් ආයතනයක වෘත්තීය සමිතියක් මුලින්ම හැදුවේ අපි තමයි. සීඑම්යූ එකට සම්බන්ධ වෙලා තමා සමිතිය හැදුවේ. මම දැක්කා කන්තෝරුවේ ප්‍රෙස් එකේ වැඩකරන කම්කරුවෝ බොහොම අමාරුවෙන් ජීවත් වෙන බව. ඒ අයට ලැබුණ පඩිය කොහොමටත් ප‍්‍රමාණවත් වුණේ නෑ. ඔන්න අපි වෘත්තීය සමිතිය හැදුවා. ධනපාල මහත්තයා මට කතා කරලා ඒකට බැඳෙන්න එපා කීවා. ඒ වුණාට මම බැඳුණා. සාමාන්‍යයෙන් මම අවුරුද්දේ නියමිත නිවාඩු ගන්නේ නෑ. ඒ වෙනුවට පඩි හදා ගන්නවා. ඔය අතරේ මට පාලනාධිකාරියෙන් දවස් දාහතරේ නිවාඩු දෙනවා. නිවාඩු අරගෙන මම ගෙදර ඉන්න ගමන් සෙන්ට‍්‍රල් බෑන්ක් එකට එනවා ලෙස්ලි බොතේජු හම්බවෙන්න. එතකොට එයා මගෙන් අහනවා ‘වර්ණෙ මොකක්ද ප‍්‍රශ්නේ’ කියලා. මමත් අහනවා එයාගෙන් මොකක්ද ප‍්‍රශ්නේ කියලා. දවස ස්ට‍්‍රයික් එකක්. මමත් එතැනට ගිහින් බැම්මක් උඩට නැගලා බොහොම බරසාර කතාවක් එහෙම පවත්වලා ගෙදර ගියා. මේක ළැව්ගින්නක් වගේ ගිහින් අන්තිමේ මගේ රැුකියාව නතර කළා. ඔහොම ඉන්නකොට තිස්ස කොතලාවලයි, වටරැුක පේ‍්‍රමදාසයි මාව හම්බවෙන්න ආවා. ඇවිත් කීවා අලූත් පත්තරයක් පටන් ගනිමු කියලා. සමයවර්ධන මුදලාලි පත්තරේ ගහලා දෙන්නම් කීවා. පත්තරේ නම ‘පරසතු.’ කලාප පහක් විතර යනකොට මුද්‍රණ කටයුතු ගැන ප‍්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ෆොන්සේකා කියලා කෙනෙක්ගේ සහායෙන් ‘විකසිත පරසතු’ කියලා පත්තරයක් ගැහැව්වා.

සිනමා කලා ලේඛකයෙක් විදිහටත් ඔබ වැඩ කරලා තියෙනවා නේද?

ඔව්. අපි සිනමා ලේඛකයන්ගේ සංගමයකුත් හැදුවා. ෆිල්ම් ක‍්‍රිටික්ස් ඇන්ඞ් ජර්නලිස්ට්ස් ඇසෝසියේෂන් කියලා. මම ඒකේ උප ලේකම්වරයෙක්. ඒ කාලේ හිටපු ප‍්‍රසිද්ධ විචාරකයන් තමයි අපේ සංගමයේ හිටියේ. සිනමා විචාරකයෙක් විදිහට මට අපූරු අත්දැකීමක් තියෙනවා. ලෙස්ටර්ගේ ‘අක්කර පහ’ චිත‍්‍රපටය ගැන මම විවේචනයක් ලීවා, ‘ලෙස්ටර් කියන්නේ කපුටු බෝගහක්. කපුටාගේ බඩෙන් පිටවෙන බෝ ඇටවලින් හැදුණ නිසා වඳින්නත් බෑ. බෝගසක් නිසා කපන්නත් බෑ’ කියලා. මෙහෙම ලීවාට ලෙස්ටර් කවදාවත් මගෙත් එක්ක අමනාප වුණේ නෑ. මට හරියට උදව් කරලා තියෙනවා.

ඊට පස්සේ ඔබට මොකද වෙන්නේ?

ඔහොම ඉන්න අතරේ සරත් අමුණුගම මට කතා කළා අපිත් එක්ක වැඩකරන්න එන්න කියලා. හැබැයි ප‍්‍රවෘත්ති ඇමති ආර්එස් පෙරේරා මාව ගන්න එපා කියලා මැතිනිට කියලා තියෙනවා. නිකම්මත් නෙමෙයි මම යූඑන්පී කාරයෙක් කියලාත් හංවඩු ගහලායි එහෙම කියලා තියෙන්නේ. ඒ පාර සරත් මට ජර්මනියට යන්න ස්කොල් එකක් දුන්නා. එතකොට සරත් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ. මට ස්කොල් එක දුන්නේ කොමියුනිස්ට් ජර්මනියට. ඊට පස්සේ එයා ලියුමක් දීලා කීවා, මේක දීලා මැතිනිගෙන් අනුමැතිය අරන් මගෙ පොකට් මනී ගන්න කියලා. ඒ කාලේ මගේ යාළුවෙක් හිටියා ලාල් කියලා. එයාගේ අම්මා වයලට් නෝනා. සිරිමාවොයි, එයයි එකට ඉගෙන ගත්ත අය. ඒ හින්දා එයාව එක්කරගෙන ගිහින් ලියුමට අනුමැතිය අරගෙන ආවා. මට ඩොලර් අටක් ලැබුණා. රුපියල් වටිනාකම පනහයි.

කොහොමද ජර්මනියේ අත්දැකීම?

මට ස්කොල් දෙකක් අරන් දුන්නේ එකක් සිනමාවටයි, අනෙක පුවත්පත් කලාවටයි. මම ජර්මනියට ගිහින් මාස තුන හතරකදී ආර්එස් පෙරේරායි, සරත් අමුණුගමයි හැප්පිලා සරත් පරිපාලන ආයතනයේ ලොක්කා කරලා යැව්වා. ඊට පස්සේ එයා මාස්ටර්ස් උපාධිය කරන්න කැනඩාවට ගියා.

ජර්මනියේදී මම ටික කලකින් බටහිර ජර්මනියට ගිහින් කීයක් හරි හම්බ කරගෙන එනවා. ආපසු එන ගමන් බටහිර ජර්මනියෙන් ‘ලක්ස්’ සබන් අරගෙන ඇවිත් පන්තියේ යාළු කෙල්ලන්ට දෙනවා. කෙල්ලො මට හරිම ළෙංගතුයි. උන් මම බ්ලැක් ඇමරිකන් කියලයි හිතාගෙන හිටියේ. මෙහිදී මට උගන්නපු ලෙක්චර් කෙනෙක් පස්සේ කාලෙක ලංකාවට ඇවිත් ෆිල්ම් එකක් කරනකොට මාවත් සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට තෝරගන්න හේතුව වුණේ පරණ හැඳුනුම්කම. එයාගේ නම ඔගස්ටින්.

චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ අත්දැකීම් මොන වගේද?

මම හිතන්නේ මම තමයි ලංකාවේ රූගත කළ විදේශීය චිත‍්‍රපට වැඩි ප‍්‍රමාණයකට විවිධ අංශවලින් සම්බන්ධ වූ කෙනා. හැබැයි මගේ මුල්ම ජොබ් එක තේ අල්ලන එක. ඒකත් ටික දවසයි.

‘සත්‍යග‍්‍රහණය’ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී ඒකේ රඟපෑව හාමුදුරුවරු එක්ක ඇතිවුණ සිද්ධිය මතකද?

ඇත්තටම ඒ අය සැබෑ හාමුදුරුවරු නෙවෙයි හාමුදුරුවරුන්ගේ චරිත රඟපාන්න ගත්ත නළුවෝ. මේකේ එක් අවස්ථාවක් තියෙනවා වහින. එතකොට හාමුදුරුවරු ඔක්කොම එක පාරටම කුඩ ඉහලන්න ඕනෑ කියලා. මම කීවාට මේක හරියට වුණේ නෑ. කීප වතාවක්ම කරලාත් හරි ගියේ නැති තැන මගේ කටින් නරක වචනයක් පිට වුණා.

ඔබ ඉපදුණ ගම්පළාත කොහේද?

කොළඹ දෙමටගොඩ. කොළඹ වුණාට ඒ කාලේ ගමක්ම තමා. අපේ ගෙදර ළඟ ඉඳලා දිගටම තිබුණේ අපේ සීයට අයිති කුඹුරු යායක්. සීයා එතකොට වෙල් විදානේ. ගොයම් පාගනකොට එහෙම එයා මාව අතින් අල්ලගෙන එක්කගෙන යනවා. ගොයම් පාගලා ඉවර වෙලා කමතේ සංගීත සාජ්ජ එහෙම දානවා මට මතකයි. තාත්තා රජයේ ආයතනයක සුපවයිසර් කෙනෙක්. සීයා බුද්ධාගමේ. ආච්චි කතෝලික ආගමේ. අපේ ගෙදර අවුරුදුත් තිබුණා. නත්තලූත් තිබුණා. අපි පන්සලූත් ගියා. පල්ලිත් ගියා.

මම ඉගෙන ගත්තේ සෙන්ට් ජෝෂප් එකේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. අපි තමයි ඉංග‍්‍රීසියෙන් ඉගෙනගත්ත අවසන් බැච් එක. ඉංග‍්‍රීසි ඉගෙන ගත්තාට ඒ පැත්තෙන් මම කරපු එකම දේ ක‍්‍රිකට් ගහපු එකයි, ෆුට්බෝල් ගහපු එකයි. අනෙක්වා ඔක්කොම ගමේ වැඩ.

ඔබ විවාහ වෙන්නේ කොහොමද?

සම්බන්ධය ඇතිවෙන්නේ නාරද දිසාසේකර නිසා. නාරද ගුවන් විදුලියෙන් අයින් වෙලා දවසට එනවා. අපි අතරේ ළඟ ඇසුරක් තිබුණා. එයා නාරදලාගේ ඥාතියෙක්. කොළොන්නාවේ අවුරුදු උත්සවයක් තිබුණා. ඒකේ අවුරුදු කුමාරි තරගෙට මෙයත් ඉදිරිපත් වෙන බව නාරද මට කීවා. මොකද මමත් විනිශ්චය මණ්ඩලේ හිටපු නිසා. එයා තේරුණේ දෙවෙනියාට. හැබැයි එහෙම වුණේ නාරදගෙයි, මගෙයි යාළුකමට නම් නොවෙයි. කොහොම හරි නාරද නිසා තමයි අපේ විවාහය සිදුවුණේ.

දෙසතිය සඟරාව සමග ඔබේ සම්බන්ධය සිදුවෙන්නේ කොහොමද?

දෙසතියේ ආරම්භක කර්තෘ මමයි. සහායට අරගත්තේ සිරිල් බී පෙරේරා. එයා බොන්න පටන් ගත්තා. ඊට පස්සේ ගත්තේ ගාමිණී විජේතුංග. ගාමිණී ඒ වෙනකොට සින්දු ලියලා තිබුණාට මාධ්‍යයට සම්බන්ධ වෙලා හිටියේ නෑ. හැබැයි එයාට ලස්සනට භාෂාව හසුරුවන්න පුළුවන්. 1983දී මම දෙසතියෙන් අයින් වෙනවා. සරත් අමුණුගම යුනෙස්කෝ එකේ නව සන්නිවේදන ව්‍යාපෘතියේ ප‍්‍රධානියා වෙලා පැරිසියට යනවා.

ඔබ ජීවිතය දකින්නේ මොන විදිහටද?

පිරිසිදු සිතකින් ජීවිතේ දෙස බලන්න. අවුල් වූ සිතකින් ජීවිතය බලන්න එපා. කණ්ණාඩියෙන් බලන විදිහට ජීවිතේ දිහා බලලාත් වැඩක් නැහැ.
 රාවය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..