sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » අස්‌වැන්න පැත්තක තබා ගොඩනැගිල්ලකින් වල් නෙලන කෘෂිකර්ම අමාත්‍යාංශය

යහපාලන ආණ්‌ඩුව කරන යහපාලනයට "නොගැළපෙන වැඩ" ගැන ලියන විට කියනවිට බොහෝ දේශපාලනඥයෝ තදින් කේන්ති ගන්නාහ. ආණ්‌ඩුව පත්වී වසරක්‌වත් ගත වීමට පෙර කරන මේ "නරක විවේචන" නවත්වා තවත් වසරක්‌ දෙකක්‌ ආණ්‌ඩුවට කල් ලබා දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. දැන් අපට අහන්නට ප්‍රශ්නත් තිබේ. අවුරුද්දක්‌ තිස්‌සේ මේ කරන සමහර නොහොබිනා වැඩවල තරම මෙබඳු නම් අවුරුදු දෙක තුනක්‌ ගත වනවිට තත්ත්වය කොහොම හිටීවිද?

මේ නොගැළපෙන වැඩ ගැන දෙන්නට තිබෙන හොඳම උදාහරණය ශ්‍රී ලනිප මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ කෙරුවාවය. කෙරුවාවේ ස්‌වභාවය තේරුම් ගැනීමට කතාවේ අතීතය ගැන දැන සිටිය යුතුය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට
අලුත් ගොඩනැඟිල්ලක්‌

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වා ගෙන යැම සඳහා පාර්ලිමේන්තුවට ලබාදීමට නියමිතය. එය හැඳින්වෙන්නේ ගොවිජන මන්දිරය ලෙසය. එහි වනජීවී අමාත්‍යාංශය, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ද ස්‌ථාපිතව තිබිණි. පාර්ලිමේන්තුවට ගොඩනැඟිල්ල බාරදී වෙනත් රජයේ ගොඩනැඟිලි සොයා ගන්නා ලෙස දැනුම් දුන් විට ආසන්නතම යෝජනාව වූයේ "සෙත්සිරිපායයි". අනෙක්‌ අමාත්‍යාංශ දෙක ඒ යෝජනාවට එකඟව සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශ ස්‌ථාපිත කිරීමට ක්‍රියා කළ නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැඟිල්ලට යැම ප්‍රතික්‍ෂේප කළේ එහි ප්‍රමාණවත් ඉඩකඩක්‌ නැති බව කියමිනි. කෘෂිකර්ම ඇමැතිවරයාගේ වාසනා මහිමයට ගොඩනැඟිල්ලක්‌ හමු වන්නේ එය අතරවාරයේය. එහෙත් එය රජයේ ගොඩනැඟිල්ලක්‌ නොවිණි. පෞද්ගලික සමාගමකට අයත් එම ගොඩනැඟිල්ල රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ අංක 288 දරන ස්‌ථානයෙහි පිහිටා තිබිණි. කෘෂිකර්ම ඇමැතිවරයා වහාම ක්‍රියාත්මක වී මෙම ගොඩනැඟිල්ල සිය අමාත්‍යාංශය වෙනුවෙන් ලබා ගැනීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළේය. මුල්වරට යෝජනා වන්නේ එම ගොඩනැඟිල්ල මිලදී ගැනීමටය. ඒ 2015 දෙසැම්බර් මාසයේදීය. එහෙත් ඒ මොහොතෙහි ඊට කැබිනට්‌ අනුමැතිය හිමිවන්නේ නැත. එම ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට්‌ අනු කමිටුවක්‌ පත් කරන ලද මුත් ඊට පසු සිදුවූ දෙයක්‌ ගැන වාර්තා වන්නේ ද නැත. 2016 පෙබරවාරි 17 වැනිදා මේ කාරණය වෙනුවෙන් අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබිණි. ඒ කුලී පදනම මත එම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහාය. 2016 මාර්තු 02 වැනිදා ඒ සඳහා කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් "සිහිබුද්ධිය තිබෙන අතළොස්‌සක්‌ හෝ සිටින නිසා මේ ගැන බරපතළ සැකසංකා මතුව තිබිණි. එහිදී වඩා වැදගත් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ වාර්තා දැක්‌වීම මේ සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. විගණකාධිපතිවරයාගේ නිගමනයට අනුව මේ ගනුදෙනුව ප්‍රසම්පාදන පටිපාටියේ නීතිරීතිවලට පටහැනිය. ඒ මෙසේය.

* ටෙන්ඩර් පටිපාටිය අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කටයුතු කර නැත.

* වර්ග අඩියකට රුපියල් 167.50 කට මාසික කුලියක්‌ අය විය යුතු යෑයි කියන ගොඩනැඟිල්ල හිමිකරුගේ කතාව කෘෂිකර්ම අමාත්‍යාංශය (හෝ ඇමැතිවරයා) කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබේ.

* තක්‌සේරු වාර්තා දක්‌වන්නේ වර්ග අඩියක මිල රුපියල් 150 ක්‌ බවය. (වැඩිපුර රුපියල් 17.50 ක්‌ ගෙවීමට අමාත්‍යාංශය කැමැත්ත පළ කර තිබේ.)

* ගොඩනැඟිල්ල මිලදී ගැනීමෙන් වසර තුනකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක්‌ සිදු වේ.

* දෙවසරක්‌ සඳහා කුලී අත්තිකාරමක්‌ ද අවශ්‍ය බව ගිවිසුමේ කොන්දේසි අතර වේ.

කෙසේ හෝ විගණකාධිපති වරයාගේ නිගමනය වී ඇත්තේ එම ගොඩනැඟිල්ල කුලියට ගැනීමේදී විචක්‍ෂණයකින් තොරව කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේ නිරීක්‍ෂණ ඇතුළත් අංක ඒජීඑල් /සී/15/ඒකිව්/ 21 (AGL/C/15/AQ/21) විගණන විමසුමෙහි මේ කරුණු දක්‌වා තිබේ.

මේ ගැන මාධ්‍ය මගින්ද අනාවරණය කෙරිණි. අප්‍රේල් මස 20 කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණේ ගොඩනැඟිල්ල මිලදී ගැනීම අත්හිටු වූ බවය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේa විගණන වාර්තාවට ද කොකා පෙන්වමින් ඒ වනවිටත් එනම් මාර්තු 8 වැනිදා වනවිට ගොඩනැඟිල්ලේ හිමිකරුගේ කොන්දේසි ප්‍රකාරව දෙවසරක කුලී අත්තිකාරම් සමග අප්‍රේල් මාසයේ කුලිය ගෙවා අවසන් කර තිබීමය. ඒ අනුව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක්‌ (රු. 2,10,00,000) වූ මාසික කුලිය දෙවසරකට රුපියල් පනස්‌ කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ ලෙස කුලී අත්තිකාරම් ද සමගින් ගෙවා අවසන් කර තිබිණි. එම මුදල් ගෙවීම් කර තිබෙන්නේ අංක 138/4 සහ 139/4 යන වවුචර මගිනි.

පැහැදිලිවම මේ සිදුව තිබෙන්නේ අදාළ බලධාරීන්ට සේම රටේ ජනතාවටත් කොළේa වසා ගැහිsල්ලකි. මේ තක්‌කඩි ගනුදෙනුව අනුව මසකට එම ගොඩනැඟිල්ලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි එකහමාරකි. ඊට අඩුවෙන් තැනක්‌ සොයා ගැනීමට හැකියාවක්‌ තිබුණේ නැතැයි කියන බොරුව රටේ ජනතාව හිස්‌ මුදුනින් පිළිගත යුතුය.

නොගිය ගොඩනැඟිල්ලට කුලී

ඒ කතාව මාස හතරක්‌ පමණ පරණය. මෙතැන් සිට ඔබ කියවන කතාව සිහිබුද්ධියෙන් කියවිය යුතුය. ඊට හේතුව මේ රටේ ජනතාව (ඔබ) ගොනාට ඇඳ ඇතැයි සිතන දේශපාලනඥයන්ගේ කෙරුවාව කෙසේදැයි විස්‌තර කරන්නට මීටත් වඩා උදාහරණ නැති නිසාය. ඒ තරම් හීන් නූලෙන් වැඩ කළ කෘෂිකර්ම ඇමැතිවරයා මේ වනවිට එම ගොඩනැඟිල්ලේ පදිංචියට ගොස්‌ ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙන්නේ බත්තරමුල්ල රජමල්වත්තේය. එහෙත් පොරොන්දු ප්‍රකාරව දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ සිහින ගොඩනැඟිල්ල වෙනුවෙන් කුලිය ගෙවා තිබේ. නිවැරැදිව කීවොත් ගෙවුණු මාස හතරට ගෙවිය යුතු රුපියල් අටකෝටි හතළිස්‌ ලක්‍ෂයක කුලිය ගෙවන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ නව ගොඩනැඟිල්ලට යාම පමා වන්නේ දුමින්ද දිසානායක ඇමැතිවරයාට "නැකතක්‌" aහරි ගියේ නැති නිසා නොවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නට කාලය වැය වන නිසාද නොවේ. එම නව ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යැම සඳහා කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව ලබාදී ඇති වාර්තාව නිසාය. සරලව කිවහොත් 2016 මැයි 05 දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කෘෂිකර්¨ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව, වාණිජ සාප්පු සංකීර්ණයක්‌ ලෙස නිර්මාණය කර ඇති ගොඩනැඟිල්ල කාර්යාලයීය කටයුතු සඳහා භාවිත කිරීමට නම් එහි වෙනස්‌කම් සිදු කළ යුතුය.

එහි වැදගත්වන කාරණා කිහිපයක්‌ පමණක්‌ සටහන් කරන්නේ මේ අවලස්‌සන ගනුදෙනුව යහපාලනයට කොතරම් නොගැළපෙන්නේ දැයි තේරුම් ගැනීමටය.

අදාළ වාර්තාවට අනුව මේ ගනුදෙනුව සඳහා පාදක වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා එම ගොඩනැඟිල්ල පිහිටි මුළු ඉඩමම භාවිත කර තිබේ. ඒ නිසා කසළ එකතු කිරීමට අපජලය, මළ ජලය පිළිසකර යන්ත්‍රාගාරයක්‌ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. එමෙන්ම එම ගොඩනැඟිල්ලේ ගිනි ආරක්‍ෂණ ක්‍රියාදාමය , ගිනි නිවන දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂා කිරීම්වලට ලක්‌ විය යුතු බවත්, හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක්‌, විදුලි සෝපානයක්‌, හදිසි තත්ත්වයකදී රැස්‌වීමේ ස්‌ථානයක්‌ හා ගිනි නිවීම් රථ ප්‍රවේශවීමේ හැකියාව තිබිය යුතු බවත් එම යෝජනා නිර්දේශවලින් පෙන්වා දී තිබේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි ගොඩනැඟිල්ලේ එහි එක්‌ මහලකට ඇත්තේ ඇම්පියර් 100 ක තෙකලා විදුලි ධාරිතාවක්‌ පමණි. ඉන් වැඩි ප්‍රමාණයක්‌ එනම්, ඇම්පියර් 95 ක පමණ ප්‍රමාණයක්‌ වැය වන්නේ වායු සමීකරණ යන්ත්‍ර සඳහාය. ඉතිරි ඇම්පියර් පහක ප්‍රමාණයෙන් මුළු මහලේ ඉතිරි විදුලි අවශ්‍යතා පිරිමැසිය නොහැකි නිසා අමතර ඇම්පියර් 60 ක විදුලි ධාරිතාවක්‌ අවශ්‍ය වන බව එම වාර්තාවේ සඳහන් ය.

(මේ කියන්නේ අමාත්‍යාංශයක නොව ඕනෑම කුඩා කාර්යාලයක වුව භාවිත කෙරෙන පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, ෙෆාටෝ කොපි යන්ත්‍ර වැනි දැ ගැනය.) එමෙන්ම එහි ක්‍රියාත්මක පරිදි තට්‌ටු හතක ගොඩනැඟිල්ලේ 500 ක පමණ පිරිසකට යැමට ඒමට ඇත්තේ එක්‌වර හත්දෙනකුට පමණක්‌ යා හැකි විදුලි සෝපාන යන්ත්‍ර දෙකකි. එම විදුලි සෝපානද අලුත්වැඩියා කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් වී තිබේ. ප්‍රශ්නය වන්නේ ගොඩනැඟිල්ලේ ගනුදෙනුව සිදුවන විට විදුලි සෝපානයක ගමන් කළ හැකි ගණන 16 ක්‌ ලෙස සඳහන්ව තිබීමත්, එහෙත් ඇත්ත වශයෙන්ම එහි ගමන් කළ හැකි ප්‍රමාණය 07 (හතක්‌) පමණක්‌ වීමත් ය. ගොඩනැඟිල්ලේ නොසුදුසු බව ගැන කියන්නට තවත් උදාහරණ බොහෝය.

ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර මේ කිසිදුq කාරණයක්‌ ගැන සැළකිල්ලක්‌ නොදක්‌වා ඇති බව ඉන් ඉඳුරාම පැහැදිලිය. මේ ගනුදෙනුවේ අතිශය දූෂිත, නාස්‌තිකාර "වත්මන් කතාව" තවත් දරුණුය.

නොගිය ගොඩනැඟිල්ලට
තවත් රුපියල් මිලියන 402 ක්‌

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් අදාළ ගොඩනැඟිල්ල කාර්යාල පරිශ්‍රයක්‌ සඳහා සකස්‌ කිරීමටත් ඊට අවශ්‍ය ගෘහ භාණ්‌ඩ ලබා ගැනීම සඳහාත් රුපියල් මිලියන 402 ක්‌ වැය වන බවට නිර්දේශ කර ඇත.

විශාල මුදලක්‌ එම ගොඩනැඟිල්ල සඳහා මේ වනවිටත් වැය කර තිබියදීත්, මාස්‌පතා කුලී ගෙවමින් තිබියදීත්, කිසිදු හිsරිකිතයක්‌ නොමැතිව එම රුපියල් මිලියන 402 සඳහා ද දුමින්ද දිසානායක ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබේ. මෙහි වඩාත්ම අවධානයට යොමු විය යුතු කාරණය වන්නේ එම මුදල ලබාගත් පසු එය කාර්යාලයීය කටයුතුවලට ගැළපෙන ලෙස සකස්‌ කිරීමට "ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයට" වසරක කාලයක්‌ ගතවන බව පවසා තිබීමය. ගතවන කාලය අඩු කර ගැනීමට එය පෞද්ගලික අංශයට දීමට තීරණය කළ ද, පෞද්ගලික අංශයේ ම පවා ඒ සඳහා මාස ගණනාවක්‌ ගත විය හැකි බව විෂයය ප්‍රාමාණිකයෝ පෙන්වා දෙති. ඉන් අදහස්‌ වන්නේ "නිකං කුලී ගෙවීම" තවත් මාස ගණනාවක්‌ හෝ වසරක්‌ ඇදෙන්නට නියමිත බවය.

මේ ලිපිය මුල සිට අගට කියෑවූ අයෙකුට මේ නාස්‌තිකාර මුදලේ ප්‍රමාණය ගැන නැවත මතක්‌ කර දිය යුතු නැත. ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර විගණකාධිපතිවරයා සඳහන් කළ කාරණය වැදගත්ය. බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්‌ටයාරයක පමණ භූමි භාගයක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව තිබේ.

කෘෂිකර්ම ඇමැතිවරයාට මෙතරම් මුදලක්‌ වියදම් කිරීමට තරම් "උණක්‌" තිබේ නම් එම මුළු මුදලම නොව ඉන් යම් ප්‍රමාණයක්‌ යොදවා අදාළ ඉඩමෙහි සියලු පහසුකම් සහිත ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට හැකියාව තිබිණි. අප විශ්වාස කරන්නේ මෙවැනි මගඩි වැඩක්‌ සිදුවන්නේ කවුරුන් හෝ ව්‍යාපාරිකයකුගේ සාක්‌කු පිරවීමටම බවය. නැතිනම් රජයේ ගොඩනැඟිලි සොයා යැමත් තමන්aගේම ඉඩමක ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමත් මෙතරම් අමාරු කාරියක්‌ වන්නට බැරිය.

පසුගිය ආණ්‌ඩුව කළ අලුගුත්තේරු වැඩ නිසා ආර්ථිකය දුවන්නේ රිම් එකින් බව කියන්නේ දුමින්ද දිසානායක ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුවේම සමහර උදවියයි. ඒ අයම දූෂණයට, නාස්‌තියට අනුබල දෙන පිළිවෙතක්‌ අනුගමනය කරන විට රටේ අපි ගොනාටම අඳිමු. නැතිනම් ආණ්‌ඩුවට හොඳටෝම හිත රිදෙන්නට පුළුවන.

උදේශ සංජීව ගමගේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..