වත්කම් බැරකම් නීතිය ගැන වැඩිදුරටත් - වික්ටර් අයිවන්

අන්නා හසාරේගේ ජයග‍්‍රාහී සත්‍යග‍්‍රහ ව්‍යාපාරය අවසන්වීමෙන් පසුව ඉන්දියානු ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ මහජනයාගේ දැනගැනීම පිණිස ප‍්‍රසිද්ධියට පත් කළෝය. එය මෙම විෂයයේදී මහජනයා තුළ ආණ්ඩුවේ නායකයන් කෙරෙහි වර්ධනය වෙමින් තිබූ කලකිරීම පාලනය කිරීම සඳහා ගනු ලැබූ පියවරක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය අන්නා හසාරේ ප‍්‍රමුඛ ඉන්දියාවේ දුෂණ විරෝධී මහජන ව්‍යාපාරය, දුෂණයට එරෙහිව පවත්වාගෙන ගිය මහජන අරගලයේ ඉතා වැදගත් අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. දුෂණයට අදාළව ඊළඟට ඇරඹෙන මහජන විවාදයේ ප‍්‍රධාන තේමාව බවට පත්වනු ඇත්තේ එසේ ප‍්‍රකාශිත වත්කම් බැරකම් ප‍්‍රකාශනවලට ඇතුළත් තොරතුරුය.

වත්කම් බැරකම් නීතිය අනුව වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේදී තොරතුරු සැඟවීම හෝ විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ප‍්‍රකාශ කොට තිබෙන සියලූ තොරතුරු සත්‍ය වන අවස්ථාවලදී පවා උපයාගෙන තිබෙන වත්කම් නීත්‍යනුකූලව උපයා ගත් වත්කම් බව සනාථ කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ප‍්‍රකාශකයාට දඬුවම් විඳීමට සිදුවන්නේය. කරන හැම වත්කම් බැරකම් ප‍්‍රකාශනයක්මත් මීට පෙර කර තිබෙන ප‍්‍රකාශන කෙරෙහි සේ ම අනාගතයේ සිදු කැරෙන ප‍්‍රකාශන කෙරෙහි ද බලපායි.

මහජනයාට ලැබෙන බලය

වත්කම් බැරකම් නීතිය ක‍්‍රියාත්මක වන හැම රටකම පාහේ, ප‍්‍රකාශකයා ලබාදෙන තොරතුරු පරීක්ෂාවට ලක් කිරීමේ විශාල බලයක් මහජනයාටද ලබාදී ඇත්තේය. වත්කම් බැරකම්වලට අදාළ කිසියම් තොරතුරක් වසන් කොට හෝ විකෘති කර තිබෙන අවස්ථාවකදී ඒ පිළිබඳ විස්තර දන්නා කිසියම් පුද්ගලයකු ඒ බව අදාළ බලධාරියා වෙත දැනුම්දීමක් කළහොත් එය ප‍්‍රකාශකයා කෙරෙහි ඉතාමත් විනාශකාරී ලෙස බලපෑ හැකිය. බලවත් පුද්ගලයන් විසින් කරනු ලබන දුෂණ ක‍්‍රියා අල්ලා ගන්නවාට වඩා ඔවුන් අයථා ලෙස රැුස් කරගෙන තිබෙන වත්කම් අල්ලා ගැනීම පහසුය. වත්කම් බැරකම් නීතියෙන් කැරෙන්නේ එම නීතිය අදාළ පුද්ගලයන්ට තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කරන ලෙස නීතියෙන් බලකොට ඔවුන් එසේ ලබාදෙන තොරතුරු පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට ලබාදීමය. කිසියම් පුද්ගලයකු උපයාගෙන තිබෙන ධනය නීත්‍යනුකූල මාර්ගවලින් උපයාගත් ධනය ලෙස සනාථ කිරීමට අසමත් වෙතොත් ඔහු වරදකරුවකු ලෙස සලකා ඔහුට දඬුවම් කිරීමට එම සාධකය පමණක් වුවත් ප‍්‍රමාණවත්ය.

ශ‍්‍රී ලංකාවේ දුෂණයට එරෙහිව සටන් කරන අය දුෂණ මර්දනයේදී වත්කම් බැරකම් නීතියට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට අසමත්ව තිබෙන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය. අනවබෝධය නිසාද? නැතිනම් ඇත්ත දුෂණ විරෝධී අරගලයකට ඇති අකමැත්ත නිසාද? 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් පනත එම විෂයෙහි රටේ තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. මෙම නීිතිය ක‍්‍රියාත්මකවීම අර්ධ වශයෙන් මිස මුළුමනින් මරා දැමීමට හැකිවී නැති බවද කිව යුතුය. මරා දමා තිබෙන අර්ධය පවා තිබෙන්නේ පණ දිය හැකි තත්ත්වයකය. බොහෝ දුරකට අක‍්‍රිය තත්ත්වයක පවතින මෙම නීතිය සක‍්‍රිය තත්ත්වයකට ගත හැකිවනු ඇත්තේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශවල සහතික පිටපත් අදාළ බලධාරියාගෙන් ඉල්ලා සිටින තැනකට මහජනයා යොමු කිරීමෙනි.

මැතිවරණවලට තරග කරන හෝ කර තිබෙන අපේක්ෂකයන්ගේ ප‍්‍රකාශන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන, පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප‍්‍රකාශන, ජනාධිපති ලේකම්වරයාගෙන් ද විනිශ්චයකාරවරුන්ගේ ප‍්‍රකාශන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද, විවිධ අමාත්‍යාංශ යටතට වැටෙන නිලධාරීන්ගේ ප‍්‍රකාශන ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් ද, පළාත් පාලන හා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප‍්‍රකාශන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද ඉල්ලූම් කළ හැකිය. ඉල්ලූම්කරුවන් මෙම ප‍්‍රකාශන ඉල්ලා සිටින විට 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප‍්‍රකාශ කිරීම් පනතේ 5 වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ ඉල්ලූම් කරන බව සඳහන් කිරීම වැදගත්ය. ඒ විෂය භාර බලධාරියාට, වත්කම් බැරකම් ප‍්‍රකාශවල සහතික පිටපතක් ලබාදීමට තිබෙන නෛතික බැඳීම ඒ මගින් පැහැදිලි කැරෙන නිසාය. සහතික පිටපතක් සඳහා රුපියල් 450ක හෝ ඊට ආසන්න මුදලක් අය කරගනු ලැබේ. බලධාරියකු ඉල්ලූම්කරුවකුට සහතික පිටපතක් ලබා නොදෙන අවස්ථාවකදී එම ඉල්ලූම්කරුට අවශ්‍ය නම් එම බලධාරියාට එරෙහිව උසාවියට පැමිණිලි කළ හැකිය. ඒ මගින් අදාළ ප‍්‍රකාශනවල සහතික පිටපත ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගත හැකිය.

එහෙත් මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී විෂය භාර බලධාරීන් බොහෝ දෙනකු සිටින්නේ නීතියට අනුකූලව මටසිලූටුව ක‍්‍රියාකරන තැනක නොව නීතියට පටහැනිව ආදානග‍්‍රාහීව ක‍්‍රියාකරන තැනකය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන අවධියේදී ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීමට මා ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලියුම් සංඛ්‍යාව විශාලය. එහෙත් ඒ එකකටවත් ඔහු පිළිතුරු දුන්නේ නැත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇති කරගත් අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට එකතු වනු ඇතැ‘යි ජනාධිපතිනියගේ සැකයට හේතුවී සිටි හිටපු බලවත් ඇමතිවරයකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශයක් ලබාගැනීමට කිසියම් පුද්ගලයකු දරන ලද උත්සාහයකදී ජනාධිපති ලේකම්වරයා වහාම ක‍්‍රියාත්මක වී අයදුම්කරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන දොඩම් වීදුරුවකින් ද සංග‍්‍රහ කොට කිසිදු ගෙවීමක් ලබාගැනීමෙන් තොරව එම පුද්ගලයාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් අයදුම්කරුට ලබා දුන්නේය. මම එම සිද්ධිය දෙස ආරම්භයේ සිට අවසානය දක්වා උනන්දුවෙන් බලා සිටි නිරීක්ෂකයෙක් වීමි. අයදුම්කරු ද ඒ සඳහා ගනු ලැබූ හැම වැදගත් ක‍්‍රියාමාර්ගයකදීම මා දැනුවත් කළේය. ලැබුණු වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ ඡුායා පිටපතක් පමණක් නොව, ඉල්ලූම් කළ ලිපියේ පිටපතක් හා ජනාධිපති ලේකම් බාලපටබැඳි විසින් එවන ලද පිළිතුරු ලිපියේ පිිටපතක්ද ඔහු මට දුන්නේය.

1999 ජනාධිපතිවරණයෙන් පසුව මා එම ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස පොදු පෙරමුණෙන් තරග කළ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ද එජාපයෙන් තරග කළ රනිල් වික‍්‍රමසිංහගේ ද වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි විට ඔහු ඡුායා පිටපත් සඳහා අය කැරෙන ගාස්තුව ලබාගෙන ඔවුන්ගේ ප‍්‍රකාශනවල සහතික පිටපත් මට ලබා දුන්නේය. ඒ දෙදෙනා නාම යෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශවල පිටපත් ලබාදී තිබුණේ මගේ මැදිහත්වීම නිසාය. එහෙත් 2005 ජනාධිපතිවරණයේදී ඊට තරග කළ අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ රාවය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි විට ඒවා ලබාදීම මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රතික්ෂේප කර තිබුණේය. එහෙත් එවර ඒවා ඉල්ලා තිබුණේ මා විසින් නොව කර්තෘ මණ්ඩලයේ වෙනත් සාමාජිකයකු විසිනි. මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇති බව මට දැනගන්නට ලැබුණේද වහාම නොව ටික දිනකට පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති අයහපත් වාතාවරණය නිසා මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ උනන්දුවක් ද ඇති නොවීය. ඒ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා ක‍්‍රියාකර තිබුණු ආකාරය නීතියට පටහැනි විය.

අදහස් පළකිරීමේ අයිතිය හා ඡුන්දය දීම

ඉන්දියානු මැතිවරණ නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදීම අත්‍යවශ්‍ය නොවීය. එහෙත් ඉන්දියානු මැතිවරණ කොමිසම කිසියම් මැතිවරණයකදී නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශන භාරදිය යුතු බවට එම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට නියම කළේය. ඊට එරෙහිව ප‍්‍රාන්ත ආණ්ඩුවක් මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පවරන ලදුව එම නඩුවෙන් මැතිවරණ කොමිසම පරාජයට පත්වූ අතර මැතිවරණ කොමිසම එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඡුන්දය පාවිච්චි කිරීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේම කොටසක් ලෙස නිර්වචනය කරනු ලැබුවේ එම නඩුවේදීය. ඡුන්දදායකයන් අදහස් පළ කරනු ලබන්නේ ඡුන්දය පාවිච්චි කිරීම ඔස්සේය. ඡුන්දය පාවිච්චි කරන්නන්ට තරග කරන සියලූ අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇති බව ප‍්‍රකාශ කරමින් ඡුන්ද අපේක්ෂකයන් නාමයෝජනා දෙන අවස්ථාවේදී වත්කම් බැරකම් පමණක් නොව, ඡුන්ද අපේක්ෂකයන්ගේ වෙනත් විස්තර ද දැනගැනීමේ අයිතියක් තිබෙන බව ප‍්‍රකාශ කරමින් විශේෂයෙන්ම අපරාධ නඩු ඇති අපේක්ෂකයන් තමන්ට තිබෙන නඩු පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප‍්‍රකාශනයකින්ද වත්කම් බැරකම් ප‍්‍රකාශ සමග නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමට භාරදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු විභාගයේදී තීන්දු කළේය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද එම තීන්දුව ආදර්ශයට ගනිමින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ අභාවප‍්‍රාප්ත ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු ද ඡුන්දදායකයන්ට ඡුන්දය දීමට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේම කොටසක් බව නිර්වචනය කළේය. එහෙත් අර්ථ නිරූපණය ඉන්දියානු අර්ථ නිරූපණය තරම් පුළුල් අර්ථ නිරූපණයක් ලෙස සැලකිය නොහැක්කේ ඡුන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය ඒ තුළ විග‍්‍රහ කර නැති නිසාය. එම අර්ථ නිරූපණය තව එක අඟලක් ඉදිරියට ගෙනගියේ නම් ඡුන්ද අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමද අනිවාර්ය දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

නීතිය පරිපූර්ණ කරගැනීම

අල්ලසට හා දුෂණයට එරෙහිව සටන් කරන ලද පුද්ගලයන්ට හා සංවිධානවලට ඒ අඩුව සම්පූර්ණ කැරෙන ආකාරයේ අර්ථ නිරූපණයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා සේ ම එසේ ලබාගන්නා අර්ථ නිරූපණයකින් තොරව වුවත් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ඇත්තේය. මැතිවරණ කොමසාරිස්වරයා එහිදී කරුණු සලකා බැලිය යුතුව තිබෙන්නේ නීතියට අනුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටි කෝණයකිනි. නීතියේ පවතින අක‍්‍රමවත් බව නිසා සමහර අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාර දෙන විට තවත් සමහර අපේක්ෂකයන් ඒවා භාර දෙන්නේ මැතිවරණයෙන් පසුවය. වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදීමෙන් වැළකී සිටින පිරිසක් ද ඒ අතර සිටින්නේය. වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කිරීම මගින් මෙම විෂයයේදී දැන් පවතින අක‍්‍රමවත් තත්ත්වය නැති කළ හැකිය. අනෙක් අතට උසාවි අර්ථ නිරූපණයක් නැතත් මැතිවරණවලදී තමන් කැමති අපේක්ෂකයකුට ඡුන්දය පාවිච්චි කිරීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතියේම කොටසක් බවට දැනටමත් අධිකරණය අර්ථ නිරූපණය කර තිබෙන නිසා තරග කරන ඡුන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මාර්ගයක් වශයෙන් සියලූ ඡුන්ද අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කැරෙන නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයාට පැනවිය හැකිය. අනෙක් අතට දුෂණය පිටු දැකීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට හා සංවිධානවලටද මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ද ලබාදීමට අනිවාර්ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට බල කැරෙන ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. ඡුන්ද කොමසාරිස්වරයා ඡුන්දදායකයන්ගේ අයිතිවාසිකම් ගැන සංවේදී පුද්ගලයකු නම් ඔහු නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ එම වත්කම් බැරකම් ප‍්‍රකාශ වහාම මහජනයාට දැනගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන වෙබ් අඩවියෙන් එම තොරතුරු මහජනයාට ප‍්‍රදර්ශනය කරන තැනකට යා යුතුය.

ඡුන්ද අපේක්ෂකයන් ලබාදෙන වත්කම් බැරකම් ප‍්‍රකාශ ටයිප් කොට පරිගණක ගතකිරීම සරල හෝ පහසු දෙයක් නොවේයැ’යි මැතිවරණ කොමසාරිස්වරයාට තර්ක කළ හැකිය. එහෙත් අවශ්‍ය නම් අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදෙන විට මුද්‍රිත පිටපතත් සමග විද්‍යුත් පිටපතක් ද භාරදිය යුතු බවට නියෝග කළ හැකිය. මේ හා සමාන ක‍්‍රමයක් ඉහළ උසාවිවලට ද ක‍්‍රියාත්මක වේ. දැන් එය අමාරු හෝ මිල අධික දෙයක් නොවන අතර එවැනි පිළිවෙත් මගින් වත්කම් බැරකම් ප‍්‍රකාශ ටයිප් කරවාගැනීම පිළිබඳ ප‍්‍රශ්නය පහසුවෙන් ජයගත හැකිය.

සාමාන්‍ය වශයෙන් ගත් කල වත්කම් බැරකම් නීතියට අදාළව හැම රාජ්‍ය ආයතනයකම පාහේ ආදානග‍්‍රාහීව ක‍්‍රියාකරන තත්ත්වයක් පැවතියද හැම තැනකම තිබෙන තත්ත්වය ඉතාමත් දඩබ්බර වේයැ’යි ද කිව නොහැකිය. රාවය පාඨකයකුට ජාතික පාසලක විදුහල්පතිවරයකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයක් ලබාගැනීමට අවශ්‍ය වී ඔහු ඒ ගැන මා හා සාකච්ඡුා කළේය. එම විදුහල්පතිවරයාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලෙස මම ඔහුට උපදෙස් දුන්නෙමි. ඊළඟට ඔහු මා වෙත ආවේ අධ්‍යාපන ලේකම්වරයා ඔහුගේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එවන ලද ලියුමක පිටපතක් ද අත ඇතිවය. මෙය සිදුවූයේ 2002 හෝ 2003 වසරේදීය. අමාත්‍යාංශ ලේකම්වරයා අමතා දුරකතනයෙන් කතා කොට මෙම වත්කම් බැරකම් ප‍්‍රකාශනය ඉල්ලා සිටින පුද්ගලයා රාවය පාඨකයකු බවත්, ඔහුට අමාත්‍යාංශ ලේකම්වරයා මගින් සහතික පිටපතක් ඉල්ලා සිටීමට උපදෙස් දෙනු ලැබුවේ මා බවත්, වත්කම් බැරකම් නීතියට අනුව ඔහු ඉල්ලා සිටින වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් ලබාදීමට අධ්‍යාපන ලේකම්වරයා බැඳී සිටින බවත් මම කීවෙමි. ඔහු තමන්ට ඒ ගැන හරි වැටහීමක් නොතිබුණු බව ප‍්‍රකාශ කරමින් ඉල්ලූම්කරුට දුරකතන පණිවුඩයක් දී තමන් හමුවන්නට එන ලෙස කියන ලෙසත්, එවිට අදාළ ප‍්‍රකාශයේ සහතික පිටපතක් ලබාදෙන බවත් කියා සිටියේය. මීට පෙර ලිපියක අභාවප‍්‍රාප්ත කතානායක රත්නායක මහතා ඒ ගැන මට ලියා එවන ලද ලිපියක් ගැන සඳහන් කළෙමි. ඒ හැම නිදර්ශනයකින්ම පෙනෙන්නේ හිතාමතාම ඉල්ලූම්කරුවන්ට වත්කම් බැරකම් ප‍්‍රකාශනවල පිටපත් ලබා නොදෙන ආයතන තිබිය හැකි වුවත්, බොහෝ තැන්වල එසේ සිදුවන්නේ බලධාරීන්ට වත්කම් බැරකම් නීතිය ගැන හරි වැටහීමක් නැති නිසා බවය. ඔවුන් දැනුවත් කිරීම මගින් තත්ත්වය වෙනස් කළ හැකිය. මා මගේ ‘චෞර රාජ්‍යය’ නමැති කෘතියෙන් රාජ්‍ය හා රාජ්‍ය ආයතන මට්ටමෙන් රටේ පවතින දුෂණයේ පරිමාව හා දුෂණය ක‍්‍රියාත්මක වන විවිධ ස්වරූප පිළිබඳව විස්තරාත්මකව විග‍්‍රහ කර ඇත්තෙමි. මාගේ තක්සේරුව අනුව රජයට ලැබිය යුතු වාර්ෂික ආදායම්වලින් භාණ්ඩාගාරයට ලැබෙන්නේ 20%ක් තරම් ප‍්‍රමාණයක් පමණය. ඉතිරි 80%ම යන්නේ දුෂිතයන්ගේ සාක්කුවලටය. මා දුෂිතයන් ලෙස දකින්නේ දේශපාලකයන් පමණක් නොවේ. ඒ එකතුවට රාජ්‍ය නිලධාරීන් ද, ව්‍යාපාරිකයන් හා වෙනත් අය ද ඇතුළත්ය. රාජ්‍යයේ හා රාජ්‍ය ආයතනවල දුෂණය මර්දනය කිරීමෙන් පමණක් රාජ්‍ය ආදායම කිහිප ගුණයකින් වැඩිකළ හැකිය.

රටේ පවතින දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේ දුෂණයට බර තැබෙන ආකාරයටය. මේ දේශපාලන ක‍්‍රමය තුළ දුෂණය මර්දනය කිරීම පහසු නැතත් වත්කම් බැරකම් නීතිය දුෂණයට එරෙහිව පාවිච්චි කළ හැකි නීති අතර තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. පවතින දුෂිත දේශපාලන ක‍්‍රමය තුළ පවා වත්කම් බැරකම් නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිකරගත හැකි නම් දුෂණයට තිබෙන ඉඩ කිසියම් විශාල ප‍්‍රමාණයකට සීමා කළ හැකිය. දුෂිත ලෙස වත්කම් රැුස් කරගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය හා ජනමාධ්‍ය

වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන හා ක‍්‍රමවත් කරගත යුතුය. ඒ දේ අධිකරණ අර්ථ නිරූපණයකින් වුවද ඉටු කරගත හැකිය. ප‍්‍රකාශකයන්ට සිය තොරතුරු පිරවීමට ලබාදෙන පෝරමයද නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන්නේ නැත. අඩුම වශයෙන් ඊට ප‍්‍රකාශකයාගේ හැඳුනුම්පත් අංකයවත් ඇතුළත් වන්නේ නැත. තොරතුරු සැඟවීම වඩා දුෂ්කර කැරෙන නව පෝරමයක් සකස් කළ හැකිය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අය එසේ කිරීමෙන් වැළකී සිටින තත්ත්වය නැතිකළ යුතුය. ඒ සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලූදෙනාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ජනතාවට පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක් ඇති කරගත යුතුය. ඒ සඳහා යොදාගත හැකි හොඳම ක‍්‍රමය සියලූ වත්කම් බැරකම් ප‍්‍රකාශ ඒ සඳහා පවත්වාගෙන යන වෙබ් අඩවියකට යොමු කිරීමය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අය සිය ප‍්‍රකාශයේ මුද්‍රිත පිටපතට අතිරේකව විද්‍යුත් පිටපතක් ලබාදීම අනිවාර්ය කරන නියෝගයකින් විශාල වියදමකින් තොරව සියලූ ප‍්‍රකාශන වෙබ් අඩවියකට යොමුකළ හැකි තත්ත්වයක් ඇති කරගත හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවූ විට දුෂිතයන් සොයාදීමේ වගකීම මහජනයා බාරගනු ඇත්තේය. වත්කම් බැරකම් ප‍්‍රකාශන කෙරෙහි මහජන අවධානය උපරිම මට්ටමකට යොමුවේ නම් ඒ මගින් පමණක් අයථා ලෙස වස්තුව රැුස්කිරීමට දැන් පවත්නා බය නැතිකම කිසියම් විශාල ප‍්‍රමාණයකට නැති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය ජනමාධ්‍ය ලෝකයට අදාළය. මෙම නීතිය අනුව ජනමාධ්‍යවේදීන් පමණක් නොව, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් ද වත්කම් බැරකම් ප‍්‍රකාශ කළ යුතුය. එහෙත් පුදුමයකට මෙන් මෙම නීතිය අඩුවෙන්ම පිළිපදින්නන් බවට පත්ව සිටින්නෝ ද වැඩියෙන්ම දුෂණය ගැන කතා කරන ජනමාධ්‍යවේදීහුය. ජනමාධ්‍යවේදීන් මෙම නීතිය පිළිනොපදින්නේ නොදන්නාකම නිසාද? නැතිනම් තමන් වැනි පිරිසකට එවැනි නීතියක් තිබිය යුතු නැතැ’යි සිතන නිසාද? ඒත් නැතිනම් ජනමාධ්‍ය ලෝකය අන් ලෝක මෙන් මුළුමනින් දුෂණයෙන් තොරවේයැ’යි ඔවුන් කල්පනා කරන නිසාද? ජනමාධ්‍ය ආයතනවලට හා ජනමාධ්‍යවේදීන්ට දුෂණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් වත්කම් බැරකම් නීතිය පිළිපදින තැනකට ආ යුතුය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඇති කරන්නට පෙර වත්කම් බැරකම් නීතිය යටතට ගැනෙන වැරදි පරීක්ෂා කිරීමේ බලය ප‍්‍රධාන කොට ලැබී තිබුණේ 1958 අංක 40 දරන පනතින් සංස්ථාපිත අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවටය. 1994 අංක 19 දරන පනතින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඇති කිරීමෙන් පසු අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසි වී වත්කම් බැරකම් නීතිය යටතට ගැනෙන චෝදනා විමර්ශනය කිරීමේ ප‍්‍රධාන බලය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතට පත්විය. එම කොමිසම යටතේ එම කාර්යය සිදුවෙමින් තිබෙන ආකාරය සලකා බැලීම ද වැදගත්ය. ඒ ගැන මට කියන්නට තිබෙන අත්දැකීම් වෙනත් ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

 Sunday,18 Sep 2011  / ravaya/වික්ටර් අයිවන්

0 comments:

උසාවියද සුද්ද විය යුතුය

 ප්‍රසාද් දේවගේ - රාවය

ලබන මාසයේදී ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ වාර්තාමය විත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත කිරීමට සූදානම් කර ඇත. මෙම විත්‍රපටයෙන් ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කළ ලෙනින් රත්නායකගේ සාපරාධී හැසිරීම සහ ඔහු ආරක්‍ෂා කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වාගේ හැසිරීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අදහසක් රටේ ජනතාවට ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එසේම සරත් නන්ද සිල්වා අග්‍රවිනිශ්චයකාරවරයාගේ දික්කසාද නඩුවේ විනිශ්චයකාරවරයා වශයෙන් කටයුතු කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කරන උපාලි අබේරත්න විනිශ්චයකාරවරයාගේද පරණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගැනීමට අවකාශය ප්‍රේක්‍ෂකයන්ට ඇතිවනු ඇත.

ප්‍රසන්න විතානගේ තම වාර්තා විත්‍රපටයෙන්, විනිශ්චයකාරවරයෙකු තම බලය අවභාවිත කොට සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව්වකින් ප්‍රකාශ කරන්නට අදහස් කරන්නේ රටේ අධිකරණය සහ අධිකරණ නිලධාරීන් කුණු වී ඇති ප්‍රමාණයයි. ලෙනින් රත්නායක විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කරද්දී තමන් ඉදිරියේ විභාග වන නඩුවක සැකකරුවකුගේ භාර්යාව දූෂණය කිරීමේ සිද්ධියක් මේ විත්‍රපටයේ එළිදැක්වේ. තමන් මුහුණ දුන් අත්දැකීම් භාර්යාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාගේම කෝණ හරහා විත්‍රපටය තුළින් ප්‍රේක්‍ෂකයාට විස්තර කෙරෙනු ඇත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ස්ත්‍රී දූෂණය නම් වරදට මහාධිකරණයේ අධිචෝදනාවක් ගොනු කොට අවුරුදු විස්සක් දක්වා සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වරදකට චෝදනා ලැබිය යුතුව තිබූ පුද්ගලයෙකු සරත් සිල්වා නම් අග්‍රවිනිශ්චයකාරවරයාගේ බලමහිමයෙන් නීතියෙන් බේරී නිදහස් පුරවැසියෙකු ලෙස ජීවත් වන අකාරය ප්‍රේක්‍ෂකයාට දැකගත හැකි වනු ඇත.

පසුගිය කාලය පුරාවටම ලංකාවේ අධිකරණ භාවිතය සහ අධිකරණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අනේකවිධ විවේචන සහ චෝදනා නිතිපතා එල්ල වුණේය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපකීර්තිමත් සරත් නන්ද සිල්වාගේ ආගමනයේ සිට ඇරඹි නීතිය අවනීතිය කිරිමේ කලාව නොනැවතී අද දක්වාම විවිධ තැන්වලදී අසන්නට දකින්නට ලැබේ. සරත් නන්ද සිල්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේදී අධිකරණය තුළින් ඇයට අවශ්‍ය දේශපාලන සහයෝගය ඕනෑවටත් වඩා ලබා දුන්නේය. ඉන් අනතුරුව මහින්ද රාජපක්‍ෂගේ පාලනයේ යම් කාලයකටද මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය දේශපාලන සහයෝගයද සරත් සිල්වා ඒ ආකාරයෙන්ම ලබා දුන්නේය.

මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් පසුව මහින්ද රාජපක්‍ෂ රාජාභිෂේක කිරීමට හැකියාව ලබා දෙමින් දහ අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යනුකූල බවට තීන්දුවක් එවකට පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේය. එවකට සිටි අග්‍රවිනිශ්චයකාරවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් එමගින් සදාකාලික ජනාධිපතිවරයෙකු නිර්මාණය කිරිමේ අවස්ථාව සහ රටේ පූර්ණ විධායක බලතල සියල්ල ඒ ජනාධිපතිවරයාට හැසිරවීමට හැකියාව ඇති කරමින් එම තීන්දුව ලබා දුන්නේය. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ කෙරෙහි බණ්ඩාරනායක මහත්මියගේ ඇති අවනතභාවය අඩුවත්ම මහින්ද රාජපක්‍ෂ විසින් ඇය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවාය. එසේ ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය සමඟ දේශපාලන ගනුදෙනුවක නිරත වෙමින් සිටි මහින්ද රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවයා වශයෙන් පත් කර ගත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන ආප්තෝපදේශයට සජීවී නිදර්ශනයක් සපයමිනි. මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කිරීමට පෙරාතුවම සිට මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීමේ මෙහෙයුමක ඔහු නිරත වී සිටියේය.

දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් එතෙක් පැවැති ක්‍රමවේදය තමන් අතට ගත් රාජපක්‍ෂ තමාට හිතවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ ප්‍රියන්ත ජයවර්ධන, රාජපක්‍ෂගේ ඉල්ලීම පරිදිම ඊවා වනසුන්දර, සරත් ෆොන්සේකා සම්බන්ධ නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ බුවෙනෙක අලුවිහාරේ වැනි මහත්ම මහත්මීහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ගනු ලැබුවෝය. එයට අමතරව එවකට අභියාචනා අධිකරණයේ සභාපති විනිශ්චයකාරවරයා ලෙස කටයුතු කරනු ලැබූ එස්. ශ්‍රී ස්කන්දරාජා මහතාත්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වූ අනිල් ගුණරත්න මහතාත් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරිමෙන් වැළකී ඊට පහළින් සිටි ඔහුට හිතවත් විනිශ්චයකාරවරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවෝය. මහින්ද රාජපක්‍ෂ විසින් ඉහළ ප්‍රධාන අධිකරණ දෙකේ විනිසුරු පත් කිරීම් තමාගේ හිතුමනාපයට මේ අකාරයට සිදුකරද්දී සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට, ඔහුට අවශ්‍ය අකාරයට හැසිරවිය හැකි සමාජිකයන් පත් කර ගනිද්දී පහළ අධිකරණවල විනිශ්චයකාරවරුද මේ දේශපාලන ග්‍රහණයට නොදැනීම හසු වුණෝය. මේ සඳහා ලබා දිය හැකි හොඳම නිදර්ශනය නම්, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේදී අධිකරණය තුළ වූ බෙදීමය.

මෙසේ අධිකරණය තුළ ඇති වූ බෙදීම සම්බන්ධයෙන් ප්‍රධානතම සාක්‍ෂිය වශයෙන් ඉදිරිපත් වන්නේ දෝෂාභියෝග ක්‍රියාවලියෙන් පසුව එයට විරෝධය පෑ විනිශ්චයකාරවරුන් ලෙස නීතිඥ සමාජය හඳුනාගෙන සිටි පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් කෙළවරක් නැතිව ස්ථාන මාරුවලට ලක් කිරීමයි. දෝෂාභියෝගයෙන් පසු පත් වූ මොහාන් පිරිස් අග්‍රවිනිශ්චයකාරවරයා සහ එවකට කටයුතු කළ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම මාරුවීම් ක්‍රියාත්මක කරනු ලැබුවේය. ඒ සමඟම අධිකරණ ක්‍ෂේත්‍රයෙන් නැගෙන චෝදනාව වූයේ තමාට හිතවත් වූ විනිශ්චයකාරවරුන් අධිකරණමය වැදගත්කමක් තිබෙන මර්මස්ථානයන්හි ස්ථානගත කිරීමද මොහාන් පීරිස් සහ එවකට පැවැති අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ බවයි. අධිකරණ සේවා කොමිෂන් සභා නිලධාරීන් පිළිගත්තද නොගත්තද එවකට අධිකරණ ක්‍ෂේත්‍රය තුළ ඔවුනට එරෙහිව පැවැති ප්‍රධාන චෝදනාව වූයේ එම නිලධාරීන්, රාජපක්‍ෂ රෙජිමයේ දේශපාලන අවශ්‍යතාවන් ප්‍රකාරව කටයුතු කළ බවයි. විශේෂයෙන්ම ස්ථාන මාරු, උසස් කිරිම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයෙන් ලැබුණු උපදෙස් සහ නිර්දේශයන් ක්‍රියාවන්ට නැගුණ බවට බරපතළ චෝදනාවක් ඔවුන්ට එරෙහිව නැගුණේය.

රාවය පුවත්පත විසින් එවකට දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අරවින්ද පෙරේරා මහතා සම්බන්ධයෙන් අනාවරණ කිහිපයක් සිදු කරනු ලැබුවේය. ඔහු විසින් බැංකුවලින් ලබා ගත් ණය නොගෙවීම නිසා බැංකු පත්ව තිබූ තත්ත්වයන්, සමහර බැංකු සම්බන්ධයෙන් විනිසුරුවරයා වශයෙන් ඔහුගේ හැසිරිමෙහි තිබූ පීඩාකාරි තත්ත්වය රාවය පුවත්පත මගින් වරින්වර අනාවරණය කරනු ලැබුණි. එහි ප්‍රතිපලයක් වශයෙන් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සහාපතිත්වය දැරූ එවකට පැවැති අධිකරණ සේවා කොමිෂන් සභාව අරවින්ද පෙරේරා මහතාගේ සේවය අත්හිටුවනු ලැබුවේය. කෙසේ වෙතත් දෝෂාභියෝගය හරහා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ පසු නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පත් වූ අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු නැවත සේවයේ පිහිටුවනු ලැබූ අතර ඔහුට එදිරිව නැගී තිබුණු චෝදනා සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවේ නැත. අද වන විට ලැබෙන තොරතුරු අනුව, වර්තමාන අග්‍රවිනිශ්චයකාරවරයා, වර්තමානයේ මොරටුව දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරන අරවින්ද පෙරේරා මහතා මහාධිකරණ විනිසුරු ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යෝජනා කොට තිබේ.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වන දිනෙන් පසුව බිහිවූ නව රජය මගින් අධිකරණයට දේශපාලන බලපෑමක් කරන බවට කිසිදු චෝදනාවක් තවමත් එල්ල වී නොමැත. නව රජය පත් වීමෙන් පසු රජයට අවාසිදායක සහ රජයට දේශපාලනිකව නරක ලෙස බලපානු ලැබිය හැකි තීන්දු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය සහ වෙනත් අධිකරණ විසින් ලබා දී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට මේ රජය බලපෑමක් ඇති කළ බවට චෝදනාවක් නැත.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වැනි දිනෙන් පසුව ඇති වූ දේශපාලන පරිවර්තනය සහ අලුතින් පත් වූ රජය ඇති කිරීමට බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය කුමක්ද යන්න රජය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් අවබෝධයෙන් සිටීම වැදගත් වනු ඇත. රජය ගෙන යන වැඩපිළිවෙළ යම් අකාරයකින් සාර්ථක වුව හොත් එය රටෙහි ක්‍රම පද්ධතීන් ස්ථාපිත කිරීමට ඉවහල් වනු ඇත. මේ සඳහා සෘජු, පාරදෘශ්‍ය සහ නොකිළිටි අධිකරණයක පැවැත්ම ඉතාමත් වැදගත් සාධකයක් වේ.

අද වන විටත් මෙරටෙහි අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන සමහර අධිකරණ නිලධාරින් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතියි. මෑතකදී වැඩ තහනමට ලක් කරනු ලැබූ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන ධම්මිකා ඉලංගසිංහ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. ඇය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදීද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ගත යුතුව තිබූ ක්‍රියා මාර්ගයන් කිසිවක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබුවේ නැත. දැනට වැඩ තහනමට ලක්ව තිබෙන තිළිණ ගමගේ විනිසුරුවරයා සම්බන්ධයෙන් මීට බොහෝ කාලයකට පෙර සිට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ, විශේෂයෙන් රාවය පුවත්පත ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද මැදිහත්වීම හේතුවෙන්, නොකර බැරි තැන මෙන්, ඉතා මෑතකදීය.

අද වන විට නීති ක්‍ෂේත්‍රයේ සහ අධිකරණ ක්‍ෂේත්‍රයේ කතාබහ වන සමහර විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් එම ක්‍ෂේත්‍රය තුළින්ම පළවන අදහස් වන්නේ, සමහර විනිශ්චයකාරවරුන්ට දූෂණ චෝදනා ඇති බැවින් ඔවුන්ගේ උසස් වීම් ලැබීමට අවකාශ අඩු බවයි. ඔවුන් දැනට දරන ධුරයේ තවත් කාලයක් කටයුතු කිරීමට සිදුවන බවයි.

මෙතැනදී ඇතිවන ප්‍රශ්නය වන්නේ දූෂණ චෝදනාවන්ට ලක් වූ විනිශ්චයකාරවරයෙකුගේ උසස් වීම ප්‍රමාද කිරීම හෝ උසස්වීම ලබා නොදීම වැනි ක්‍රියාමාර්ගවලින් කරනු ලබන රිදවීම්වලින් අධිකරණයේ පිරිසිදුභාවය ඇති කළ හැකිද යන්නයි. අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අග්‍රවිනිශ්චයකාරවරයා හෝ දූෂණ චෝදනාවන් ඇති විනිශ්චයකාරවරයෙකු ඉහළ අධිකරණයන්ට පත් කිරීමට යෝජනා නොකරන්නේ විධිමත් චෝදනාවක් නොතිබුණද මේ අය සම්බන්ධයෙන් ඔවුන් කරුණු දන්නා බැවිනි. එසේ නම් එවැනි දූෂිතයන් ඔවුන් දරන ධුරයන්හි සිට තවත් දූෂණයන් කරමින් සිටින්නට ඉඩ හරිනවාද එසේ නැතිනම් ධුරයෙකන් නෙරපා ගෙදර යවනවාද යන තීරණය අධිකරණ විනය බලධාරීන් විසින් ගනු ලැබිය යුතුව ඇත. පසුගිය කාලයේදී දැනට අභියාචනා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන ගෆූර් විනිශ්චයකාරවරයා මීගමුව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කරද්දී ඇප අයැදුම්පතක් සම්බන්ධයෙන් අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූයේය. ඒ සම්බන්ධයෙන් රාවය පුවත්පතින්ද අනාවරණය කරනු ලැබුවේය.

මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී අධිකරණ ක්‍ෂේත්‍රය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරන ලදි. සමහර නිලධාරීන් විසින් තමන්ගේ ධුරවල සිට සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම්ද ඔහු එහිදී පැහැදිලි කළේය. එසේම අධිකරණ ක්‍ෂේත්‍රය තුළ සිදුකෙරෙන මාරුවීම් දේශපාලන අවශ්‍යතාවන් මත සිදු වී ඇති බවට ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. මේවා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සහ වෙනත් වග කිවයුතු ආයතනයන් අද වන තෙක් කිසිදු පැහැදිලි කිරීමක් හෝ මැදිහත්වීමක් හෝ සිදු කොට නැත.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වන දිනෙන් පසුව රටෙහි ඇති කරන්නට බලාපොරෙත්තු වූ සමාජ පරිවර්තනය සිදු කිරීම සඳහා රටෙහි සියලුම කොටස්වල එකඟතාවන් කැපකිරීම් අවශ්‍ය වන්නේය. රාජ්‍ය යාන්ත්‍රණයෙහිද නව රජය පත් වූ දා සිට දක්නට ලැබුණු ප්‍රධානතම ව්‍යසනය වූයේ මහින්ද රාජපක්‍ෂ රෙජිමය විසින් රාජ්‍ය සේවයෙහි නිලධාරීන් තම දේශපාලන නියෝජිතයන් බවට කර තිබූ පත්වීම්වලින් මිදෙන්නට ඔවුන් අපොහොසත් වීමයි. මේ නිසා රජය පත් වී සෑහෙන කාලයක් යන තෙක් රජය මගින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීම අපහසු වූ බව රටම දන්නා කාරණයකි.

සරත් නන්ද සිල්වා, මොහාන් පීරිස් වැනි අග්‍රවිනිශ්චයකාරවරුන් මහින්ද රාජපක්‍ෂ රෙජිමයේ දේශපාලන නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම සහ ඔවුන්ගේ දේශපාලන බලපෑම් අධිකරණ ක්‍ෂේත්‍රය පුරා විහිදු වීම යන කාරණාවලින් අද වන විට අධිකරණයට අවශ්‍ය නිදහස පැවතුණද, අධිකරණය පැරණි දේශපාලන බලපෑමෙන් ස්වාධීන වී ඇද්ද යන්න තවමත් ප්‍රශ්නයක්ව පවතී. අධිකරණය විසින් උත්තර සොයා ගත යුතුව ඇත්තේ එම ප්‍රශ්නයටමය. එසේ නොමැති නම් ‘උසාවිය නිහඬය’ යන චිත්‍රපටයෙන් පසුව කර්මාන්තමය වශයෙන් ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන චිත්‍රපට බිහිවීම නැවැත්විය හැකි නොවෙනු ඇත.

0 comments:

කරදර පටන් ගත්තා පමණි...

පුවත්පත් කොමිසමක්‌ මග එයි. මෙය පුවත්පත් කොමිසමක්‌ යයි කීවද පත්තරවලට පමණක්‌ සීමා නොවී රූපවාහිනි, ගුවන්විදුලි යන ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍යවලට ද බලපාන සේ තහවුරු කෙරෙයි.

ඉහත සඳහන් කොමිසම පිළිබඳව තොරතුරු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන විසින් පසුගිය දා හෙළි කරනු ලැබ ඇත. ඔහු කියන පරිදි කොමිසම පිහිටුවීමේ අරමුණ වන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි සහ වෙබ් සයිට්‌ මගින් ප්‍රවෘත්ති විකෘති කිරීම නැවැත්වීමය. පත්තර සහ ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍ය නම් මේ ක්‍රමයට අල්ලා ගත හැකිය. එහෙත් වෙබ් සයිට්‌වල වලිගයවත් අල්ලන්නට ආණ්‌ඩුවට හැකි වන්නේ නැත. මේ රටේ රාජ්‍ය නායකයන්ගේ පමණක්‌ නොව කරුණාරත්න පරණවිතානගේ පවා හම අරින වෙබ් සයිට්‌ ගණනාවක්‌ අන්තර් ජාලයේ තිබේ. ගිය ආණ්‌ඩුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව හරහා මෙවැනි වෙබ් සයිට්‌ අවහිර කළේය. එහෙත් වැඩ දන්නා එකා ඡරදංහ නමැති සැකිලි වෙබ් අඩවි හරහා, පෙර කී අවහිර කළ වෙබ් අඩවි බැලුවේය.

අලුත් පුවත්පත් කොමිසම නිර්මාණය වන්නේ පුවත්පත් කලාවේදීන්, මාධ්‍ය ආයතන, උගතුන් සහ පොදු මහජනතාව යන පාර්ශ්වවල අදහස්‌ ලබා ගැනීමෙන් පසුවය. මේ කාගේ අදහස්‌ ගත්තත් අන්තිමට බිහිවන්නේ ආණ්‌ඩුවට උවමනා ආකාරයේ ආයතනයකි. ක්‍රමවේදයකි. හැම ආණ්‌ඩුවක්‌ම විරුද්ධ පක්‍ෂයේ සිටින කාලයේ මාධ්‍ය මිතුරෙකි. බලයට පැමිණි පසු මාධ්‍ය හතුරෙකි. 1994 දී චJද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ගෙන ඒම සඳහා නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ලොකු සේවයක්‌ කළේය. එම මෙහෙයුමේ ප්‍රමුඛ කොන්ත්‍රාත්කරුවන් වූයේ එම ව්‍යාපාරය ය. ඔවුන් යටතේ උප කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්‌ම සිටිය ද වඩාත්ම කැපී පෙනුනේ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ය. බලයට පත් වී ස්‌වල්ප කලක්‌ තුළ ප්‍රගතිශීලී චJද්‍රිකා සමග ප්‍රගතිශීලී නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය ගැටෙන්නට පටන් ගත්තේය. ඉන්පසු ඇගේ ආණ්‌ඩුව විසින් නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරය සළකන ලද්දේ සතුරකු ලෙසය. මෙය හැම ආණ්‌ඩුවක්‌ යටතේම සිදු වෙයි. නිදහස්‌ මාධ්‍යයය ආණ්‌ඩුවේ සතුරකු වී පැය 24 ක්‌ යන්නටත් පළමු "කට්‌ටිය" සෙට්‌ වී නිදහස්‌ මාධ්‍යය ව්‍යාපාරය පස්‌සේ පමණක්‌ නොව ඒ සමඟ හාදකම් පැවැත්වූ අය පස්‌සෙන්ද පන්නන්ට වූහ. මැර කණ්‌ඩායමක්‌ පැමිණ ලසන්ත වික්‍රමතුංගගේ ගෙදරට වෙඩි තබන්නේ මේ කාලයේය. (මෙය අද සිටින වැඩි දෙනාට මතක නැත) රූකාන්ත සහ චJද්‍රලේඛාගේ කොණ්‌ඩය නොමිලයේම කපා දීම සිදු වන්නේ ද මේ කාලයේදීමය.

ඉන්පසු බලයට පැමිණි රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේද මේ තත්ත්වය ප්‍රවර්ධනය විය. ප්‍රේමදාසගේ කාලයේදී රිචඩ් සොයිසා මැරුවාක්‌ මෙන් රාජපක්‍ෂ යුගයේදී ගත් පළමු බිල්ල ලසන්ත වික්‍රමතුංගය. ඊළඟට ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් විය. රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් ගුටිකා, එහෙත් මැරුම් නොකා බේරුනාක්‌ පමණක්‌ නොව රටින් ද පැන ගියේය. කීත් නොයාටද එයම සිදු විය.

මිනිසුන් ඒ ආණ්‌ඩුවට වෛර කරන ලද්දේ තවදුරටත් එම පීඩනය ඉවසා සිටීමට බැරි තැනයි. ඉන්පසු සරත් විෙ-සූරිය සහ සමන් රත්නප්‍රිය දෙශූරීහු එක්‌ව ඒ ආණ්‌ඩුව පෙරළා මේ ආණ්‌ඩුව ගෙනාහ. එසේ කියා කරදර අවසන්වීද? නැත. කරදර පටන් ගත්තා පමණි.

මෙවර මාධ්‍ය මර්දනය ඉතා නීත්‍යනුකූලව එයි. සී. අයි. ඩී. ය විසින් නිරන්තරයෙන් මාධ්‍යකරුවන්ගෙන් කටඋත්තර ගනු ලැබේ. මාධ්‍යකරුවන් කූඩු කිරීමට උසාවි නියෝග ද ඉල්ලනු ලැබේ. වැරැදි ලෙස නඩු ගොනු කළැයි විනිසුරුගෙන් බැණුම් ද අසනු ලැබේ. දිවයිනේ මාධ්‍යවේදී සමන් ගමගේ, ප්‍රේම් ආනන්ද උදලාගම නමැති බුද්ධි අංශ නිලධාරියා ගැන ප්‍රවෘත්ති කිහිපයක්‌ ලියා මේ දිනවල විශාල අර්බුදයකට පත්ව සිටියි. සී.අයි.ඩී.යේ පැමිණිල්ලක්‌ මත සිකුරාදා ගම්පහ උසාවි ගිය ඔහු ඇප ලබා පැමිණ සිටී. යළි ලබන බදාදා කටඋත්තර දීම සඳහා ඔහු සී. අයි. ඩී. යා යුතුය.

මේ කතාව මෙතැනින් අවසන් වනු ඇද්ද? නැත. කරදර පටන් ගත්තා පමණි.

0 comments:

උලකුඩය දේවිය නැතිනම් තොටගමුවේ රාහුල කියල කෙනෙක් නෑ

උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචනා කරන ලද පැරණි කතාවක් වන "ලලනායනය" සහ ආරතී දේවී මොහාන්දාස් සමග ලියූ නවකතාවක් වන "කොළපාට ඇස්" (May December romance) හා "කොළඹ කෝලමේ කොලම" යන ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වීමේ ප්‍රාසාංගික සන්ධ්‍යානය එළඹෙන 18 දා පස්වරු 06.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේ.

ඒ පිළිබඳව ඔහු සමගකතාබහක යෙදීමට අපි තීරණය කළෙමු.

මුලින්ම එළිදකින පොත් ගැන කතා කළොත්?
මම සාහිත්‍ය මාසයේ පොත් තුනක් එළිදක්වනවා.එකක් තමයි ගෝඨයිම්බර කෝලම කියන කෘතිය. ඩෙනිස් පෙරේරා නාට්‍යයක් කළා. ඒක ටිකක් පුපුරණ සුළු වෙනස් විදියේ වැඩක් කියල මම විශ්වාස කරනවා. ලංකාවේ කෝලම් නාට්‍යවල තිබුණු සාම්ප්‍රදායික ආකෘතිය, සන්දර්භය කියන දෙකම අරගෙන අලුත් වාස්තවිකයත් එක්ක ප්‍රතිනිර්මාණය කරපු කෘතියක් තමයි ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම කෘතිය. මම මෙයට ඉතාම ආසක්ත වෙච්ච හින්දා කොළඹ කෝලමේ කොලම නමින් පොතක් ලිවුවා. මෙය 17 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දොරට වඩිනවා.
මීට අමතරව මම ප්‍රධාන පොත් දෙකක් ලිවුවා. එකක් තමයි ලලානායනය. මීට අවුරුදු 17කට කලින් ඉඳන් මම සැළලිහිණි සන්දේශය උගන්නද්දි එහි තිබෙන කවි 108ම මට කටපාඩම්. ලලනායනයට විෂය කරගත්තෙ ඒකාලේ ඇතිවෙච්ච කුඩා සිතුවිල්ලක්. එහි තිබෙන්නෙ 1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. රජවුණාම මෙයාට ඉන්නවා ගෑනු දරුවො දෙන්නෙක්. එක්කෙනෙක් චන්ද්‍රාවතී බිසව. අනෙකා තමයි ලෝකනාථා. දූවරු දෙන්නෙක් හිටියට රජතුමාට පුත්තු හිටියෙ නෑ. ඒ නිසා හයවෙනි පරාක්‍රමබාහු කරන්නෙ පුත්තු අරන් හදාගන්නවා. ඉන් එක්කෙනෙක් තමයි ඉන්දියානු ජාතික ද්‍රවිඩයෙක් වුණු නන්නූර්තුනයාගර්. සපුමල් කුමාරයා, අම්බුළුගල කුමාරයා සහ තොටගමුවේ රාහුල හාමුදුරුවො යන අයත් දරු තනතුරේ ඉන්න පුත්තු. මේ දරු තනතුරේ ඉන්න අයගෙන් සපුමල් කුමාරයා තමයි යාපා පටුන ජයගන්නෙ. අම්බුළුගල ඉන්නෙ නුවර පැත්තෙ, කන්ද උඩරට.

අම්බුළුගල උඩරටට ගියාම සපුමල් යාපනේට ගියාමත් නන්නූර්තුනයාගර් ලෝකනාථාව විවාහ කරගන්නවා. විවාහයෙන් පසු ලෝකනාථාගේ නම උලකුඩය දේවී ලෙස වෙනස් වෙනවා. උලකුඩය යන ද්‍රවිඩ නම එන්නෙ නන්නූර්තුනයාර් සමග විවාහ වූ පසුවයි. හැබැයි උලකුඩය දේවියයි නන්නූර්තුනයාරුයි විවාහ වුණාම මේ කුමාරයා තොටගමුවේ රාහුල නමින් මහණ වෙනවා. එතකොට තොටගමුවේ රාහුල කියන්නෙ, මුල්කාලයේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ දරු පරපුරේ හිටපු කෙනෙක්. දැන් මට ප්‍රශ්නයක් ආවා. මෙයාගෙ හිත ඇතුළෙ ප්‍රේමයක් තියෙන්නැති ලෝකනාථා ගැන.
නැත්තම් නන්නූර්තුනයාගර් ලෝකනාථාව බැන්ඳම රාහුල මහණවෙනවා.
ඊළඟ ප්‍රශ්නය තමයි නන්නූර්තුනයාගර් සහ ලෝකනාථා දෙපළට ළමයි නෑ. ඒ ගැන වැඩියෙන්ම කම්පා වෙන්නෙ රාහුල හාමුදුරුවො. නන්නූර්තුනයාගර් සහ ලෝකනාථා දෙපළට ළමයි නැති එකට රාහුල හාමුදුරුවො කම්පා වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කම්පා වුණාම පොතක් ලියනවා ඒක තමයි සැළලිහිණි සන්දේශය. සැළලිහිණි සන්දේශය ලියන්නෙ ලෝකනාථාට ළමයෙක් හදල දෙන්න කියන්න, කැලණියේ ඉන්න විභීෂණ දෙවියන්ට සංදේශයක් යවන්නයි. විභීෂණට සන්දේශයක් යැවුවාම ළමයෙක් හම්බ වෙනවා. ඔහු තමයි ජයවීර කුමාරයා. දැන් මට ප්‍රශ්නයක් එනවා, දෙයියන්ට පුළුවන්ද ළමයි හදන්න කියලා. දැන් මේ ළමයගෙ තාත්ත කවුද කියලත් මට ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නය එන්නෙ නන්නූර්තුනයාගර්ට ළමයි නෑනේ විභීෂණ දෙවියන්ටනෙ සන්දේශය යවන්නේ. මැටි පිළිමවලට ළමයි හදන්නත් බෑනේ. රාහුල හාමුදුරුවන්ට මොකද්ද මේකට තියෙන කැක්කුම වාගෙ එකක් මෙතනින් මතුවෙනවා. දෙවැන්න තමයි ළමයා හම්බුණාට පස්සෙ රාහුල හාමුදුරුවො කාව්‍යශේකරය කියලාතවත් කාව්‍යයක් ලියනවා. එය ලියන්නෙ ලෝකනාථාට බණ අහන්න ආසයි කියලයි. එතකොටම මගේ ප්‍රශ්නය තමයි ලෝකනාථා නැත්තම් රාහුල කෙනෙකුත් නෑ. ප්‍රධානම සාහිත්‍ය කෘති දෙකම ලියල තියෙන්නෙ ලෝකනාථාට. ඒ නිසා මගේ ඔළුවෙ එකක් හැදෙනව මේ ළමයා කාගෙද? රාහුල හාමුදුරුවන්ගෙයි ලෝකනාථාගෙයි තිබුණු සහෝදරයොත් නොවන සම්බන්ධය කුමක්ද කියලා.
1465 හයවැනි පරාක්‍රමබාහු රජු මියයනවා. එතකොට යාපනේ ආර්යචක්‍රවර්තී මරලා ලංකාව එක්සේසත් කරන්නෙ සපුමල් කුමාරයා. දැන් රජකම එන්නෝන කාටද ? නන්නූර්තුනයාගර්ට, නැත්නම් සපුමල්ට, නැතිනම් අම්බුළුගලට, නැත්නම් තොටගමුවේ රාහුලට. හැබැයි රජකම දෙන්නෙ ජයවීර කුමාරයාට. මොකද ඒ ලෝකනාථාගේ ළමයා නිසයි. ලෝකනාථාගේ දරුවට රජකම දුන්නම සපුමල් කුමාරයා කොක්කක් දානවා කොහොමද දෙමළෙක්ගෙ ළමයෙක්ට රජකම දෙන්නෙ කියලා. එනිසා සපුමල් ඇවිත් ජයවීරව මරලා රජවෙනවා. සපුමල් රජවුණාම තමයි රාහුල හාමුදුරුවො ගම රට අතෑරල ඉඳුරුලෙනේ හැංගෙන්නෙ. තොටගමුවේ රාහුල හාමුදුරුවො ඉඳුරුලෙනේ හැංගිලා ඉඳල තාම ගොවේ මළමිනිය කුණුවෙන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. එතකොට මේ මැරෙන ළමයා ගැන රාහුල හාමුදුරුවන්ට සෑහෙන කැක්කුමක් තියෙනවා.ඒකනෙ ළමය මැරුණාම මෙයා හැංගෙන්නෙ. මගේ ඔළුව ඇතුළෙ අවකාශයේ විශාල අර්බුදයක් ආවාම එය තමයි මං ප්‍රතිනිර්මාණය කරන්නෙ ලලනායනය විදියට.
අනික තමයි May December romance කියන නවකතාව. මැයි දෙසැම්බර් කියන මාස දෙක අතර තිබෙනවා ලොකු පරතරයක්. එයින් තමයි මම කොළපාට ඇස් කියන නවකතාව ලිව්වෙ. මෙය උත්තම පුරුෂ කථන ක්‍රම දෙකකිනුයි ලියන්නෙ. ලංකාවෙ එහෙම නවකතාවක් බිහිවෙලා නෑ.මෙය ලියන්න තවත් ලේඛිකාවක් ඕනවුණා. ඒකට මම යොදාගන්නවා ආරතී දේවී මොහාන්දාස් කියන ලේඛිකාවක්. ඇයත් එක්ක ලියපු පළවෙනි පොත තමයි මේ. මේ පොතේ නම තමයි කොළපාට ඇස්. මෙහි තිබෙන්නෙ වයස අවුරුදු 75ක විතර ඉතාම වියපත් ගෘහනිර්මාණ ශිල්පියෙක් එක්ක අවුරුදු විස්සක විතර සුහුඹුල් යෞවනියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා. ඒ ප්‍රේම සම්බන්ධයේ තිබෙන වයස් පරතරය තමයි මම මැයි සහ දෙසැම්බර් නමින් හැඳින්වූවේ. ඒ මාස දෙකේ දිගු පරතරයක් තිබෙනවා. මේ වගේ නවකතා යුරෝපයේ සුලබයි. හැබැයි ලංකාවෙ මේක මිනිස් බෝම්බයක් වෙන්න පුළුවන්. මොකද මොහු සීයා කෙනෙක්. ඇය මිණිපිරියකටත් වඩා කුඩායි. මෙය ප්‍රේම සම්බන්ධයක්. මේ ප්‍රේම සම්බන්ධ යුරෝපයේ චිත්‍රපටවල කෙටිකතාවල හරි සුලබ වුණා. කොයිතරම් සුලබද යත් May December romance යන්න යුරෝපයේ තිබෙන වාක් ප්‍රයෝගයක් බවටත් පත්වෙලා.
නමුත් ලංකාවෙ ඒකට නමක්වත් නෑ. මොකද අපේ සමාජෙ මෙය හරි දුලබ දෙයක්. මෙහි සංස්කෘතික වරදකුත් තිබෙනවා. නමුත් මේ දෙන්නා හිතනවා මේක නිවරදක් කියා. මේ වරදයි නිවරදයි අතර අවකාශයක් එනවනෙ. ඒ අවකාශය අතර තිබෙන කාරණාම හරිම ශෘංගාරාත්මකයි. හරිම ප්‍රේමණීයයි. හරිම රමණීයයි. මේ අත්දැකීම උත්තම පුරුෂ කථන ක්‍රම දෙකකින් කියනවා. එක කථන ක්‍රමය තමයි මේ වියපත් කෙනාගේ කථන ක්‍රමය. ඔහුගේ නම තමයි දයාලූ කසබා. කාන්තාවගේ නම තමයි ඉවා සිරිනිවාසන්. මේ දෙදෙනාම මේ කතාව කියන්නෙ උත්තම පුරුෂයෙන්. එතනින් තමයි වරදත් නිවරදත් අතර ප්‍රකාශනය එළියට ගන්නෙ.

කාලෙකින් එළියට දාන පොත්වලින් ආපහු බෝම්බ දැමිල්ලක්ද කරන්නෙ?
ඔව්.. ඒක මෙහෙමයි ... අවුරුදු දෙකක් තිස්සෙ කිසිම පුවත්පත් සාකච්ඡාවක් දුන්නෙ නෑ, ඡන්දෙන් පරදිනවා, කතාකරන්නෙ නෑ කියල ප්‍රශ්නයක් තිබුණානෙ. කතා කරන්නෙ කටින් විතරක් නෙවෙයි. ශරීර භාෂාවෙන් කතා කරන්නත් පුළුවන්. ඇඳුමෙන් පැළඳුමෙන් කතාකරන්නත් පුළුවන්. මම අවුරුදු දෙකක් තිස්සෙ මගෙත් එක්ක කතා කළා. දැන් ඒක සමාජෙත් එක්ක කතා කරන්න පුළුවන්. මම දැන් මගෙත් එක්ක කතා කරලා ඉවරයි. අවුරුදු දෙකක් තිස්සෙ මම කළේ මේ පොත් දෙක ලියනවත් එක්ක මං මගේත් එක්ක කතාකළා. ඒ කාලෙ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඇයි මාධ්‍ය සාකච්ඡාවලට එන්නැත්තෙ කියලා.ඒ වුණාට මං මගෙත් එක්ක කතාකළා. එහෙම කතාකළේ සමාජයත් එක්ක කතාකරන්න අවශ්‍ය පදනම හදාගන්න. දැන් මට සමාජයත් එක්ක කතා කරන්න පුළුවන්. එනිසා මිනිස්සු නිශ්ශබ්දයි කියන්නෙ නිහඬයි කියනෙක නෙවෙයි. ගැඹුරු මුහුද නිශ්ශබ්දයි කියන්නෙ නිශ්ශබ්දයි නෙවෙයි. සුනාමි රළකට මුහුද ලෑස්ති වෙනවද දන්නෙ නෑ. අවුරුදු දෙකක් නිශ්ශබ්දව හිටපු එකේ ප්‍රතිඵලය තමයි මං එළියට දාන්නෙ.

ඔබ දේශපාලනයට ආපු එක අපරාධයක් කියල හිතෙනවද දැන්?
මං ඡන්දෙ ඉල්ලපු එක මට පාඨමාලාවක් වගේ. පොඩි කෝස් එකක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පාඨමාලාව හොඳයි. ඒකෙ වියදම වැඩියි. මේ රටේ පුරවැසියන්ට ඒ පාඨමාලාව ගන්න පුළුවන්නම් ඒක හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒත් වියදම වැඩියි නෙ. හැබැයි ඒ පාඨමාලාවෙ අවසානයේ තිබෙන විභාගෙන් මං ෆේල්. හැබැයි පාඨමාලාවෙන් ඉගෙනගත්ත දේවල්වලින් මං ෆේල් නෑ. ඒක මං සලකන්නෙ මං ජීවිතේ කරපු ලිට්මස් පරීක්ෂණයක් විදියටයි.

මෑතක පවතින නිර්මාණ සමාජ වපසරිය ගැන මොකද්ද ඔබේ අදහස
මම හිතනවා අනාගතයේදී ඊළඟ පරම්පරාව විශාල සාහිත්‍ය කලා පිපිරීමක් කරයි කියලා. හැමෝම කියනවනෙ නිර්මාණ ඉවරයි, චිත්‍රකතා ඉවරයි, සාහිත්‍ය ඉවරයි කියල. ඒක අතීත කාමයට බර කතාවක්. අපි හිටපු කාලෙ වාගෙ නෙවෙයි කිවුවට හැම කාලෙම මෙහෙම තමයි. හැම කාලෙම එහෙම තමයි. ඒ වුණාට අපි හිතනව අපේ කාලෙ හොඳයි. තොපේ කාලෙ හොඳ නෑ කියල. අපිත් අපේ දරුවන්ට කියනව අපි හොඳයි, තොපි හොඳ නෑ කියලා. ඒක පරම්පරා අරගලයක් වගේ කතාවක්නෙ. මං එහෙම හිතන්නෙ නෑ. මං එහෙම හිතන්නැත්තෙ ලංකාවෙ චිත්‍රපට කර්මාන්තය ගැන හිතලයි. අලුත් කොල්ලො කෙල්ලො කරන චිත්‍රපට තියෙනව මාරයි. එහෙම නාට්‍ය බිහිවෙමින් පවතිනවා. එහෙම අලුත් කවි බිහිවෙනවා. හැබැයි පරණ කවි මේකට කැමති නෑ. අලුත් ගීත සාහිත්‍යයක් බිහිවෙමින් පවතිනවා. ඒකට පරණ ගීත සාහිත්‍යය කැමති නෑ. ඒගොල්ලො කියන්නෙ ලංකාවෙ ගීත ඉවරයි කියලයි. මං එහෙම හිතන්නෙ නෑ. එහෙම තර්ක කළොත් මං යෝජනා කරනවා, ඉස්සර ගායනා කළේ කවි. දැන් තමයි යන්තං සින්දු තියෙන්නෙ කියලා. හුඟක් උන් ලංකාවෙ සින්දු යැයි කියන ඒවා හිටිවන කවි මඩුවක් තියල එක දිගට ගායනා කරන්න පුළුවන්. දැන් සින්දු බිහිවෙමින් තිබෙනවා. ඒ සඳහා පුරෝගාමී වූ කෙනා තමයි ප්‍රේමසිරි කේමදාසයන්. ලංකාවේ කවි සින්දු කියන තැනට ගෙනාවේ කේමදාසයන්. ඒ වගේ ලංකාවේ චිත්‍රපට කර්මාන්තයත් ලෙස්ටර් වෙනස් කළානෙ. ඒ වගේ සාහිත්‍යයත් වෙනස් වෙන්න ඕන.
අපි ළඟ මතයක් තිබුණා ව්‍යාකරණ එක්කම ලියන්න ඕන කියල. මගේ අදහස තමයි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි ගොළුභාෂාවෙන් හරි ලියන්න පුළුවන් නම් මට ඒකෙ ව්‍යාකරණයෙන් වැඩක් නෑ. අරක ඇතුළෙ ඉද්දි තමයි මේ අර්බුදය එන්නෙ. එනිසා මං හිතන්නෙ නෑ ලංකාවෙ සාහිත්‍යය විනාශ වෙලා කියලා. ඉස්සරත් ඔහොම තමයි. දැනුත් එහෙම තමයි.අතීතකාමය නිසයි ඉස්සර හොඳයි දැන් නරකයි කියන්නෙ. මේ ඔක්කොම පුපුරන්න ඕනෙ. සමාජය යම් පිපිරීමකට ලක්විය යුතුයි. ඒ පිපිරීමේදී අලුත් එක එළියට එයි. මං කැමතියි සාහිත්‍යයේ මහා පිපුරුම් වාදයක් එනවනං.

ඇයි මෙවන් ආන්දෝලනාත්මක දේවල් දිගටම කරන්නෙ?
මං මේ කරන නිර්මාණ දෙකත් පුපුරන සුළුයි. මම හිතනෙක තමයි සාහිත්‍යකාරයො නිර්මාණකාරයො වෙන්න ඕන පළවෙනි දේ තමයි බය නැති බව. ලියනකොට ගෑනිට බයයි. මොනවා හිතයිද දන්නෑ මේව ලිව්වම. දරුවො ඉස්කෝලෙ යන්නෙ කොහොමද කියල දරුවන්ට බයයි. පන්සලට ගියාම හාමුදුරුවො මොනවා කියයිද කියල බයයි. එළියට ගියාම යාළුවො මං ගැන මොනවා හිතයිද කියල බයයි. ලංකාවෙ වාරණ මණ්ඩල මේක කපලා දායිද දන්නෙ නෑ. පත්තරකායො මොනව කියයිද දන්නෙ නෑ. හාමුදුරුගොල්ලො මට විරුද්ධව පෙළපාලි යයිද දන්නෙ නෑ. ෆේස්බුක් එකේ මට අම්බානක ගහයිද කියල දන්නෙ නෑ. පල්ලියෙ පූජකවරු මාව කුරුසෙ තියල ඇණ ගහයිද දන්නෙ නෑ. මේක ලිවුවම මගේ ආත්මගරුත්වය විනාශ වෙයිද දන්නෙ නෑ. මෙහෙම ලිව්වාම මේකට සම්මානයක් ලැබෙන එකක් නෑ. දැන් මේ ඔක්කොම මහ භූත වාරණනෙ. මම ලියද්දි මේ භූත වාරණ ඔක්කොම අයින් කරනවා.මොකා තරහ වුණත්, මොකා මොනව කරත්, ගෑනි තරහ වුණත්, සාහිත්‍යකාරයා කියන එකා නිර්මාණයට අවංකවෙලා නිර්භය වෙන්න ඕන.

සටහන - ඉඳුනිල් සින්දු

0 comments:

භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුව

මෑත කාලීනව රටේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත්විය. ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම නියම විය.


මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණී රණවක එම්.සී.බී.එස්. මොරායස් මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ල විසින් මෙලෙස දඬුවම නියම කරනු ලැබුවේය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරින් තිදෙනාගේ ඝාතනවලට මෙම විත්තිකරුවන් සිවුදෙනා වරදකරුවන් බව පිටු 297 කින් යුත් බෙදුණ තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කළ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට මරණ දඬුවමට අමතරව වසර 24 1/2 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද රුපියල් 40,000 බැගින් දඩද නියම කළේය.

 විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ මහාධිකරණ විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය හා එම්.සී.බී.එස්. මොරායස් මහතා මෙම අපරාධය කළ හා ගිනිඅවි භාවිතා කිරීමේ චෝදනාවට ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද නියම කළහ.

 ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් මෙම විත්තිකරුවන් පස්දෙනා ඇතු`ථ සියලුම විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් වෙනම තීන්දුවක් දුන්නේය.

විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුවට අනුව මරණ දඬුවම නියම වූයේ පළමුවැනි විත්තිකාර විතානගේ අනුර තුෂාර ද මෙල් තුන්වැනි විත්තිකාර ශ්‍රීනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත්වැනි විත්තිකාර කොවිලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, දැනට අතුරුදන්ව සිටින දසවැනි විත්තිකාර දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ සහ එකළොස්වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා යන පස්දෙනාටය.

චෝදනා ඔප්පු වී නොමැති බව තීරණය කරමින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වූ චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ, නාගොඩ ලියනාරච්චි ශමින්ද යන අට දෙනාය.

ඒ නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නගා තිබූ චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් වීම නිසාය. එම චෝදනා වූයේ 2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දින අංගොඩ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් හිටපු ඇමතිවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් මොහොමඞ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි, දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදුකළ බවද රාජ්පුරගේ දමිත දර්ශන ජයතිලක නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත්කරන ලදැයිද නීතිපතිවරයා චෝදනා නගා ඇත.

2011 ඔක්තෝබර් 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් ඡන්දයේ දී ඡන්දදායකයන්ට  ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බිය ගැන්වීම, පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය යොදා කැරලි ගැසු බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග කුමාර නමැති පොලිස් නිලධාරීයාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද නීතිපතිවරයා වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

2015 ඔක්තෝබර් මස 12 වැනිදා මෙම නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කරන ලද අතර එදින සිට මේ දක්වා දින 52 ක් කාලයක් පුරා මෙම නඩුවේ සාක්කි විභාග කරන ලද අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 42 ක් ද භාණ්ඩ 86 ක්ද ලේඛන 126 ක්ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කරන ලදී. ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද නමැත්තා වෙනුවෙන් ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුද දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් ද සිල්වා මහතාද සාක්කි දුන් අතර විත්තිකරුවන් සියලු දෙනාම විත්ති කූඩුවේ සිටම ප්‍රකාශ ලබා දුන්හ.

මේ සාක්කි විභාගය අතරතුර පැමිණිල්ලේ ඉල්ලීමකට අනුව විනිසුරු මඩුල්ල අපරාධ ස්ථානය නැරඹීමට ද ගියහ.

ඉන් පසු පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාද විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද දේශන ඉදිරිපත් කළහ.

එම දීර්ඝ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්කිවල දී මෙවන් කරුණු ද අධිකරණය හමුවේ හෙළි විය.

මුල්ලේරියාව රාහුල විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්යය බළකායේ සෙබළකු මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දෙමින් තමන් ආරක්ෂාව සලසමින් සිටි ඡන්ද මධ්‍යස්ථානය අසළම අනුර කඬේ නමින් හඳුන්වන කඩයක් සහ ප්‍රසන්න සෝලංග ආරච්චි මහතාගේ මැතිවරණ කාර්යාලයක් තිබුණේ යැයි කීය.

බස්නාහිර පළාත් පාලන මැතිවරණය පැවැති 2011 ඔක්තෝබර් මස 08 වැනිදා දහවල් 1.30 ට පමණ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දුමින්ද සිල්වා මහතා තවත් සීයයක් පමණ පිරිසක් පිරිවරාගෙන ලෑන්ඞ් රෝවර් ඩිෆෙන්ඩර් ලෑන්ඞ් කෲසර් ජීප් සහ මෝටර් රථ වලින්ද යතුරුපැදිවලින්ද එම ස්ථානයට පැමිණි බවත් මන්ත්‍රීවරයා සුදු පාට ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණි බවත් එලෙස පැමිණි විගස අනුර කඬේ ළඟින් ජීප් රථයෙන් බිමට බැසගත් දුමින්ද සිල්වා මහතා එතැන සිටි කාන්තාවන් අමතා “කාටද ඡන්දේ දැම්මේ” කියා විමසූ විට එහි සිටි එක් කාන්තාවක් කතා කොට “මං සෝලංගආරච්චිගේ වයිෆ් මං ඡන්දේ දැම්මේ මගේ මහත්තයාට” කියා කියනවාත් සමගම දුමින්ද සිල්වා මහතා ඇය සමග සිටි කාන්තාවකට පහරක් ගැසුවේ යැයිද දුමින්ද සමග පැමිණී සෙසු පිරිස ඒ අවට සිටි අයට පහර දීමට පටන් ගත්තේ යැයි ද කීය.

දුමින්ද සමග පැමිණි සෙසු පිරිස අත පිස්තෝල, ටී 56 වැනි ගිනි අවි තිබූ බවත් ඔවුන් මෙන්ම දුමින්ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය දැක භීතියට පත්ව ඒ දෙස තමා බලා සිටින විට දුමින්ද සිල්වාගෙන් පහර කෑ කාන්තාව දුවගෙන ගිය අතර එතැන සිටි අනිත් අය ගැහැනුන්ට ගහන පො.... කොන්ද පණ නැති පිරිමි වැනි දේ කියමින් බැණ වැදුණු බවත් පැවසුවාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ එම සෙබළාට අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර ගිනි අවිය ක්‍රියාත්මක නොකරන ලෙස මෙම මැතිවරණ රාජකාරියට වාර්තා කිරීමට පෙර කර තිබූ අවවාද හේතුවෙන් තමා ගිනි අවිය ක්‍රියාත්මක නොකළේ යැයි ද කීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම නිලධාරියාගේ සාක්කිය අනුර කඬේ ළඟ හිමිකාරියක වන විමලා ගුණසිංහ මහත්මිය මෙන්ම සෝලංගආරච්චි මහතාගේ බිරිඳ වන මධු ඇතුළු පිරිසක් අධිකරණයේ සාක්කි ලබා දෙමින් සනාථ කළහ. එම සිද්ධිය සනාථ කරන අතරම වැඩිදුර කරුණු ඉදිරිපත් කළ ගුණසිංහ මහත්මිය මෙතැන පහර දීම කොට වල්පොළ හන්දිය දෙසට දුමින්ද සිල්වා ඇතුළු පිරිස ගොස් ටික වෙලාවකට පසු ලකී අයියට වෙඩි තියලා යන ආරංචිය පැතිර ගියේ යැයි ද කීවාය.

දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයෙන් යොදවා සිටි කොස්තාපල් ලසන්ත වනසුන්දර මහතා සාක්කි දෙමින් ඡන්දේ දින දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂාවට තමන් සමග පැමිණි අයගෙන් හතර දෙනෙකුම මෙම නඩුවේ විත්තිකරුවන් වී සිටින්නේ යැයි කීය.

2011 ඔක්තෝබර් 08 වැනිදා නුගේගොඩ තමන් නවාතැන් ගත් ස්ථානයේ සිට කෙළින්ම දුමින්ද සිල්වා මහතා සිටි වැල්ලම්පිටිය තමිල්නාඩු වත්තට පැමිණි බවත් උදෑසන 7.30 පමණ වන විට තමන් එහි එන විටත් දුමින්ද සිල්වා මහතා මෙම නඩුවේ අතුරුදන්ව සිටින ගලබඩ නමැති විත්තිකරු ඇතුළු පිරිසක් සමග තමිල්නාඩු වත්තේ එළිමහන් ස්ථානයක ඉඳගෙන කතාකරමින් සිටියේ යැයිද කීය.

බස්නාහිර පළාත් පාලන ඡන්දය පැවැති එදින උදෑසනින්ම ඒ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා මෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැල්ලම්පිටිය තමිල්නාඩු වත්ත ප්‍රදේශයට ගොස් තිබුණේ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් භටයන් හෝ නොමැතිව බවද මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්කි මගින් හෙළි විය.

මැතිවරණ කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කිරීම මෙන්ම සිය ඡන්දදායකයන් ධෛර්යමත් කිරීමේ අරමුණින් සිය පෞද්ගලික ආරක්ෂකයන් සමග දුමින්ද සිල්වා මහතා එහි ගොස් තිබූ බවද ඔහු උදෑසන ආහාර ගත්තේ තමිල්නාඩු වත්තේ දී බවද සාක්කි මගින් අනාවරණය විය.

දුමින්ද සිල්වා මහතා තමිල්නාඩු වත්තට වී සිය ඡන්දදායකයන් සමග කල් ගත කරන අතර දහවල් වන විට නඩුවේ සිව් වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද සමග ඔහුගේ ගෝල බාලයන් පිරිසක් එහි පැමිණි බවටද සාක්කි ඉදිරිපත් විය.

ඒ අතරතුරදී එහි පැමිණි අධිකාරිලත් පොලිස් නිලධාරියෙකු දුමින්ද සිල්වා මහතාට කතා කොට මෙම ප්‍රදේශයේ නොසිටින ලෙස අවවාද කොට ඇත. ඒ අනුව දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ඒ අසල පදිංචිව සිටි රමේෂ් නමැති ඔහුගේ හිතවතෙකුගේ නිවසට ගොඩ වී ඇත්තේ දිවා ආහාරයද ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

ඔවුන් එහි සිටි විට නඩුවේ සිව්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද ඔහුගේ ගෝලබාලයන් පිරිසක්ද සමග වාහන හා යතුරුපැදි පිරිවරා ගෙන එහි පැමිණි බවට සාක්කි ඉදිරිපත් විය.

එලෙස පැමිණි ඔවුන් දුමින්ද සිල්වා මහතා දිවා ආහාරය ගනිමින් සිටි නිවසට ගොඩ වූ අතර එහි සාලයේ තිබූ පුටුවක වාඩි වී සිටි දුමින්ද සිල්වා මහතා ඉදිරියේ තිබූ ටීපෝව මත අරක්කු පිරවූ වීදුරුවක් තිබූ බවටත් ඔහු මත්පැන් පානය කළ බවටත් සාක්කි ඉදිරිපත් විය.

දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමටත් සිය ඡන්දදායකයන් දිරිගැන්වීමේ අදහස පෙරටු කරගෙන තම ඡන්ද බල ප්‍රදේශය පුරා සක්මන් කිරීමේ අදහසින් දුමින්ද සිල්වා මහතා ඔහුගේ ආධාරකරුවන් හා හිතවතුන් සමගින් පිටත් විය.

දුමින්ද සිල්වා මහතා සුදුපාට ජීප් රථයකින් ගිය අතර ඔහුට සහය දක්වන පිරිස ඩිෆෙන්ඩර් රථ ඇතුළු මෝටර් රථ වලින් ගමන් කළ බවත් පිරිසක් යතුරු පැදි වලින් රථ වාහන පෙළපාලියක් ලෙසින් එම ප්‍රදේශය පුරා සැරිසැරූ බවට සාක්කි ඉදිරිපත් විය.

එලෙස යන අතරතුර වල්පල හන්දියේ තිබූ ශ්‍රී රාහුල විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය අසලට පැමිණ මහමග ගමන් කළ පුද්ගලයන්ට කතා කොට ඡන්දේ දාන්නේ කුමන පක්ෂයටදැයි විමසීම් කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දානවා නම් ඡන්දේ දාන්න යූ.එන්.පීයට ඡන්දේ දාන්න යනවා නම් ඡන්දේ දාන්න එපා යනුවෙන් තර්ජනය කළ බවට ද සාක්කි ඉදිරිපත් විය.

මෙම සිදුවීමෙන් අනතුරුව වල්පොළ හන්දියේ ඇති ශ්‍රී රාහුල විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානය අසල ඇති අනුර කඬේ නමින් හඳුන්වන ස්ථානයේ මිදුලේ පුටු තියාගෙන වැල්ලම්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ මව ඇතුළු පිරිසක් සිටි තැනට දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස ගිනි අවිද රැගෙන පැමිණි බව සාක්කි මගින් හෙළි විය.

එලෙස පැමිණ කාටද ඡන්දේ දෙන්නේ? කියා විමසූ විට ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ ඔවුන්ට කතා කොට “මං ප්‍රසන්න සෝලංගආරච්චිගේ වයිෆ්. අපි ඡන්දේ දෙන්නේ මහත්තයාට” යැයි කී විට දුමින්ද සිල්වා මහතා සමග පැමිණ සිටි පිරිස ඔවුන්ට එකවරම පහර දීමට පටන් ගත් බවත් තමන් බේරුණේ ඒ අසල ඇති නිවසට දුව ගොස් දොරවල් වසා ගැනීමෙන් බවටත් ඔවුන් සාක්කි ලබා දුන්හ. නමුත් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුගේ මතය වූයේ ඉතාමත් රූමත් කාන්තාවක් වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ එහි සිටීම නිසා දුමින්ද සිල්වා මහතා තමන් සමග සිටි පිරිස සමග එහි ගියත් එහි සිටි පිරිසට පහරදීමක් සිදු නොකළ බවය.

නමුත් එහි සිටි පිරිස සාක්කි දෙමින් දුමින්ද සිල්වා මහතා සමග පැමිණි පිරිස තමන්ට පන්න පන්නා පහර දුන් බවට කරුණු සහිතව කියා සිටියහ.
එතැන සිටි පිරිසට පහර දුන් පිරිස තමන් පැමිණි රථවල නැගී හිඹුටාන බැංකුව හන්දිය දෙසට ගිය බවද ඉන් ටික වේලාවකට පසුව ‘ලකීට වෙඩි තියලා’ යන ආරංචිය තමුන්ට ලැබුණ බවද ඔවුහු උසාවිය හමුවේ සාක්කි දෙමින් කියා සිටියහ.

මෙම පිරිස ‘අනුර කඬේ’ සිට ඉදිරියට යන අතරතුර වෙනත් පාරකින් භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිස තමන්ගේ රථ වලින් ඉදිරියට පැමිණෙනවා දැක ඇති අතර එය දුටු දුමින්ද සිල්වා මහතා ගමන් කළ මෝටර් රථය භාරත ලක්ෂ්මන් මහතාගේ මෝටර් රථයට ඉදිරියට යා නොහැකි වන ලෙස පාර හරස් කර නවත්වා ඇති බව පැමිණිල්ලේ සාක්කි මගින් හෙළිදරව් වූ නමුත් විත්තියේ ස්ථාවරය වූයේ භාරත ලක්ෂ්මන් මහතාගේ වාහනය නිසා දුමින්ද ඇතුළු ඔහුගේ ආධාරකරුවන්ගේ වාහනවලට ඔවුන් පසුකර යෑමට ඉඩක් නොවූ බවය.

මුහුණට මුහුණලා නතර කළ වාහනවලින් දුමින්ද සිල්වා මහතා මෙන්ම භාරත ලක්ෂ්මන් මහතාද බිමට බැස්ස බවත් දුමින්ද මහතා සිය වාහනයෙන් බිමට බැස භාරත මහතාගේ වාහනය දෙසට එනු දුටු භාරත ලක්ෂ්මන් මහතා ඔහු ළඟටම එනතුරු වාහනයට වී සිට ඇති අතර දුමින්ද සිල්වා මහතා වාහනය ළඟට පැමිණි විට භාරත ඉන් පිටතට බැස්ස බවට භාරත ලක්ෂ්මන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සංජීව ප්‍රසාද් මහතා අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසීය.

රතු පාට ටී ෂර්ට් එකකින් සැරසී සුදු පාට තොප්පියක් පැලඳ සිටි දුමින්ද සිල්වා මහතා භාරත මහතාට අඩි 2 ක් 3 ක් පමණ ළඟට විත් ඔහු ඉදිරියේ හිටගෙන දෙන්නා මුහුණට මුහුණ බලාගෙන සිටි බව සාක්කි මගින් අනාවරණය විය.

එතකොට භාරත ලක්ෂ්මන් මහතා දුමින්ද සිල්වාට කතා කොට “මොනවද තමුසේ මේ කරන්නේ” යනුවෙන් ප්‍රශ්න කළ විට “මේක මගේ ආසනේ” යනුවෙන් පැවසූ විට භාරත මහතා කතා කොට “මේක මගේ උපන් ගම” යනුවෙන් පවසනවාත් සමගම දුමින්ද සිල්වා භාරතගේ මුහුණට පහරක් ගැසුවත් භාරත මහතාගේ උස නිසා එම පහර ඔහුගේ උරහිසට වැදුණු බවට සාක්කි ඉදිරිපත් විය.

ඒත් එක්කම දුමින්ද සිල්වා මහතා “ගහපන් ගහපන්” යනුවෙන් කෑ ගැසූ බවටත් ඒත් සමගම හතර වටින් වෙඩි ශබ්ද ඇසුණු බවටත් සාක්කි ඉදිරිපත් විය.
මෙහිදී මුලින්ම ඇසුණු වෙඩි හඬත් සමග භාරත මහතාගේ මුහුණට මුහුණ දීගෙන සිටගෙන සිටි දුමින්ද සිල්වා මහතා බිම ඇදගෙන වැටුණු බවටත් ඒත් සමග භාරත මහතාගේ කකුළට වෙඩි වැදීම නිසා ඔහු කොර ගසමින් පස්සෙන් පස්සට විත් වාහනයට නැගීම සඳහා එහි දොරවල්වලින් ඇද්දත් දොරවල් සියල්ලම ලොක් වී තිබීම නිසා ඒවා එකක්වත් ඇර ගැනීමට නොහැකි වූ බවටත් ඔහු වාහන දෙක අතර බිම ඇදගෙන වැටුණු බවටත් සාක්කි ඉදිරිපත් විය.

එවිට භාරත ලක්ෂ්මන් මහතා ළඟට දුවගෙන පැමිණි අයෙක් භාරත මහතාගේ මුහුණට පිස්තෝලයක් එල්ල කොට දිගින් දිගටම වෙඩි තැබූවත් පිස්තෝලය පත්තු වුණේ නැතැයි කීය.

දුමින්ද සිල්වා මහතා වැටී සිටි ස්ථානයට පැමිණි අයෙක් ඔහු අත තිබූ ටී. 56 ගිනි අවිය ඉදිරියට එල්ල කොට වරකට එක උණ්ඩය බැගින් ඉදිරියට වෙඩි තැබූ බවත් ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටි අයෙක් දුවගෙන විත් දුමින්ද සිල්වා මහතා ඔසවාගෙන ඔවුන් පැමිණි වාහනය දෙසට ගිය බවත් සාක්කි මගින් හෙළි විය.
දුමින්ද මහතා පැමිණි වාහනය පිටතට ගැනීමට නොහැකි වන අන්දමට හිරවී තිබූ නිසා පිටුපසින් තිබු ඩිෆෙන්ඩර් රථයකට ඔහු නංවාගෙන හැකි ඉක්මනින් රෝහලට ගෙන යෑමට උත්සාහ කළත් එහි එක් රෝදයක හුළං බැස තිබූ නිසා යළිත් පැමිණ දුමින්ද මහතා පැමිණි සුදු පාට ප්‍රාඩෝ රථයටම ඔහු නංවාගෙන ජයවර්ධනපුර මහ රෝහලට ගෙන ගිය බවට සාක්කි ඉදිරිපත් විය.

දුමින්ද සිල්වා මහතා ගෙන ගිය පසු භාරත ලක්ෂ්මන් මහතා දෙස බලන විට ඔහු උඩුබැලි අතට බිම වැටී සිටි බවත් දමිතගේ අත භාරත මහතාගේ පපුව උඩ වැටී තිබූ බවත් සාක්කි දෙමින් පවසා සිටි සංජීව ප්‍රසාද් මහතා භාරත ලක්ෂ්මන් මහතාගේ ඔළුවට අත තබා ඔසවන විට තමාගේ අත ඔහුගේ ඔළු කට්ට තුළට ගිය බවද කියා සිටියේය.

කෙසේ නමුත් භාරත ලක්ෂ්මන් මහතා වාහනයට දමාගෙන අයි.ඩී.එච්. උණ රෝහලට ගෙන ගිය බවත් ඒ වන විට භාරත ලක්ෂ්මන් මහතා මියගොස් සිටි බවත් සාක්කි මගින් හෙළි විය.

දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල් ලසන්ත වනසුන්දර නමැත්තා සාක්කි දෙමින් තමිල්නාඩු වත්තේ රොමේෂ්ලගේ ගෙදර කෑම කනවිට දුමින්ද සිල්වා මහතාගේ පිස්තෝලය ගලබඩ අත තිබෙනු තමා දුටුවේ යැයි කීය.

දුමින්ද භාරතට පහරක් ගැසූ පසු භාරත බිමට වැටෙන්න වගේ ගොස් පස්සෙන් පස්සට යනවාත් සමග ඇසුණු වෙඩි ශබ්දය සමග දුමින්ද සිල්වා මහතා ලේ පෙරාගෙන බිම වැටුණු බව කියා සිටි අතර දුමින්දගේ තවත් ආරක්ෂක නිලධාරියකු වූ සැරයන් ප්‍රියන්ත දිසානායක නමැත්තා සාක්කා ලබා දෙමින් කියා සිටියේ භාරත මහතා තල්ලු කොට දුමින්ද සිල්වා මහතා ආපසු පැමිණීමට උත්සාහ කරන විටම භාරත මහතාගේ පිටුපස සිටි අයෙක් දුමින්ද සිල්වා මහතාගේ නළලට වෙඩි පහරක් එල්ල කළ බවය.

2015/10/12 වැනිදා මෙම නඩුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කළ දිනයේ සිට ගතවූ වසර දෙකකට ආසන්න කාලය තුළදී දින 52 ක් පුරා පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දුන් සාක්කිකරුවන් 42 ක් මෙම සිද්ධිය පිළිබඳව මෙවන් දේ අධිකරණය හමුවේ හෙළි කළහ.

එසේම මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් මහතා සාක්කි ලබා දෙමින් අපරාධයට අදාළ සිද්ධීන් සිදුවූ ගොතටුව කන්දේ විහාරය අසලට මුලින්ම ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල කැඳවාගෙන ගොස් එහිදී ඡන්දය දැමීම සඳහා යමින් සිටි පිරිසට තර්ජනය කළ ආකාරය පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව කුඩාබුත්ගමුව ඡන්ද මධ්‍යස්ථානය, මුල්ලේරියාව නව නගරයේ ඇති ශ්‍රී රාහුල විද්‍යාලය අසල මෙන්ම භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු තිදෙනෙකුට මරු කැඳවූ හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයට ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල කැඳවාගෙන ගොස් අපරාධයට අදාළ සිද්ධීන් සිදු වූ ආකාරය පැහැදිලි කළේය.

ඉතාම දීර්ඝ අන්දමින් සිදුවූ මෙම සිද්ධීන් වලින් අනතුරුව විනිසුරු මඩුල්ල අදාළ තීරණය ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව විභාග කිරීමට පත් කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති) එම්.සී.බී.එන්. මොරායස් සහ පද්මිණී රණවක ගුණතිලක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරුණි.
මෙලෙස චෝදනා නගා ඇත්තේ පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ, සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉරෝමි ජයරත්න, අනුෂ්කා ලියනාරච්චි, නයනා දිසානායක, සනත් වික්‍රමසිංහ, මහින්ද මතුගම සමග නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාද 2,4,5,6,8,9 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ තිළිණ ජයවීර, කිත්සිරි ලියනගේ, රෝහිණී රාජපක්ෂ සමග නීතිඥ අශෝක වීරසූරිය මහතාද 3 සහ 7 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතාද 11 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර, දන්ත නිරංජන්, ධනරාජ් සමරකෝන්, එන්දික පීරිස්, සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද 13 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංකනාත් රත්නායක උදාර විජේසිංහ යන මහත්වරු පෙනී සිටියහ.

මනෝප්‍රිය ගුණසේකර


0 comments:

ලංකාව සංවර්ධනය කළ නොහැකි රටකි...හොරකම් කළ හැකි රටකි... ඒ ඇයි...


0 comments:

අතින් හරි කුඩු ගංජා දාලා උඹව හිරේ යවනවා’...මාධ්‍යවේදීන්ට පහර දෙමින් පොලීසිය 150 සමරයි !

ඊයේ (3) සවස පොත් එළිදැක්වීමේ උත්සවයකට සම්බන්ධ වී මා කළල්ගොඩ පාරේ නිවසට පැමිණියේ රාත්‍රී 11ත් පසුවීය. නිවසෙහි සිටි මිතුරන් කිහිපදෙනෙකු හා සාමීචියක යෙදෙමින් සිටියදී රාත්‍රී 12ට පමණ නිවසට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් කඩා වැදුණෙ අප නිවසේ නතර වී සිටි සංජය නම් මිතුරෙක්ව පාරේ සිට ඇදගෙනය. ඔහු අසල කඩයකට යමින් සිටියදී මහපාරේ පොලිස් ජීප් රියකින් පැමිණි පිරිස 'කුඩු කාරයෙක්ද'යි විමසා පාරේදීම නිරුවත් කර පරීක්ෂා කර තිබිණි. ඔහුට අප නිවසට රැගෙන ආවේ පහර දෙමින් ඇදගෙනය.

නිවසට කඩා වැදුණු පොලීසිය මත්කුඩු සොයා නිවස පරීක්ෂා කරන්නට වූ අතර කිසිවක් හමු නොවුණු තැන ඔවුන් අප සියළු දෙනාම පොලිසියට රැගෙන යාමට සූදානම් විය. එතෙක් දිගින් දිගටම විරෝධය පළ කරමින් සිටි මා එවර විමසා සිටියේ 'එහෙම කොහොමද අරං යන්නේ' කියාය. එවර අමු තිත්ත කුණුහරුපයෙන් බැණවදිමින් මා වෙතට පැන්න සිවිල් ඇඳුමින් සිටි අයෙක් පිස්තෝලයක් එල්ල කරමින් මට පහර දුන් අතර 'අතින් හරි කුඩු ගංජා දාලා උඹව හිරේ යවනවා' යැයි පවසා මා හා සංජයව ජීප් රථය වෙත ඇදගෙන ගියේය. පිස්තෝලය පෙන්නූ විගස මා විමසූවේ ඔවුන් එය පෙන්වන්නේ 'වෙඩි තැබීමටද' කියාය. මා කළ වරදක් නොමැති හෙයින් සහ පොලීසියට බිය වීමට මට කිසිදු හේතුවක් නොමැති හෙයින් සහ නීතිවිරෝධී ක්‍රියා කරමින් සිටියේ පොලීසියම හෙයින් මම ජීප් රථය වෙත ගියෙමි. ජීප් රියට නැඟුණු පසු මම දුරකථනයට අතට ගනිද්දී 'ඇයි තෝ කාට කෝල් කරන්නද යන්නේ' යි විමසමින් පෙරකී සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයා මට නැවත පහර දුන්නේය.

මා එවර පවසා සිටියේ මම ලංකා නිව්ස් වෙබ් වෙඩවියෙහි සේවය කරන මාධ්‍යවේදියෙකු බවත් මෙසේ මිනිසුන්ට පහර දෙන්නට පොලීසියට අයිතියක් නොමැති බවත්ය. 'උඹෙ අම්මට *** මීඩියා' කියමින් නැවතත් මට පහර දීම ඇරඹුණු අතර එතැන් සිට තලංගම පොලීසියට යන තෙක්ම දිගින් දිගට ම පහර දුනි. පොලිසිය ඊයේ 150 වසරක ඉතිහාසය සැමරුවේ ඒ ආකාරයටය. මා සහ සංජය පොලිසියට රැගෙන යන විටත් අපගේ නීතීඥයා එතැනට පැමිණ සිටි අතර එතැනදී පොලිසිය සමාදාන වී අප දෙදෙනාව නිදහස් කරනු ලැබිණි. පොලිසියෙන් පහර කෑමෙන් අනතුරුව නැවත ගොස් රෝහලක නතර වීමට මානසිකත්වයක් මට නොවූ හෙයින් මම නැවත නිවසට පැමිණියෙමි.

මීට පෙර දිනයේ දහවල් ගෝල්ෆේස් පිටිය අසලදී අප පැවැත්වූ විරෝධතාවයකදී ද පොලිසිය සමඟ වචන හුවමාරුවක් සිදුවුණි. එහිදී වසර 3කට පෙර අතුරුදන් කරන ලද අනුරාධපුරයේ පදිංචිව සිටි මධුෂ්ක ද සිල්වා වෙනුවෙන් සාධාරණය ඉල්ලා අප කළ සාමකාමී විරෝධතාවයට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යාමට නොදී පොලිසිය විසින් බාධා කරන ලදී. එය අවසන් වූයේ ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු 'පිරිමි' පිරිස පොලිස් කාන්තාවන් ඉදිරියට දමා ඔවුන් පසුපස සැඟවෙමින් අපට කීවේ අප පොලිස් කාන්තාවන් පසුකරමින් ඉදිරියට යාමට උත්සාහ කළහොත් 'කාන්තාවන්ට අතවර කළ බවට' චෝදනා කරමින් අප අත් අඩංගුවට ගන්නා බවය. අතුරුදන් කරන ලද මධුෂ්කගේ බිරිද සමඟ අප එම ස්ථානයේ විරෝධතාවක නිරතව සිටියදී නිල ඇඳුම් ලාගත් තවත් කාන්තාවන් පිරිසක් පොලිසිය අපට එරෙහිව යොදාගත්තද එම කාන්තාවන් අපහසුතාවට පත් කිරීමේ වුවමනාවක් අපට නොවූ නිසා අපි එම විරෝධතාවය එතැනින් අවසන් කළෙමු.



එය අවසන් කර පිටව යද්දී අප පසු පසින් පැමිණි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටි අතර නිකරුණේ හැදුනුම්පත් විස්තර ඉල්ලීමට අප එරෙහි වෙද්දී ඔවුන් කොටුව පොලිසිය අමතා තවත් නිලධාරීන් දෙදෙනෙකුද එතැනට ගෙන්වා ගන්නා ලදී. පසුව ඔවුන්ට අප හැඳුනුම්පත් ලබා දුන්නේ උතුරේ සහ අනෙත් ප්‍රදෙශවල සාමාන්‍ය ජනතාව බියවද්දන අයුරින් අපව බියවැද්දීමට උත්සාහ නොකරන ලෙසද ප්‍රකාශ කරමිනි. මේ සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධදැයි දන්නේ ඊයේ පැමිණි පොලිසිය ම පමණි, කෙසේ වෙතත් වින්දිතයා වුණු මට එකී හිරිහැර දෙකම සිදුවුණේ එකම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙනි.

මම ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමි. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙහි ක්‍රියාකාරිකයෙක්මි. යම් ප්‍රමාණයකට නීතිය ගැනද දනිමි. මට ඊයේ මුහුණ දීමට සිදු වූ සිදුවීම කිසිවක් කර කියාගත නොහැකි මිනිසෙකුට සිදු වී නම් අද ඔහු සිරගෙදරය. ලංකාවේ පොලීසිය නීතිය ආරක්ෂා කරන්නෙ මෙලෙසය. ඒ මදිවාට මට පහර දුන් පුද්ගලයා පොලිස් ජීප් රිය තුළදී ම පිස්තෝලය වනමින් මට තර්ජනය කළේ 'මං පළවෙනියට ම මිනිහෙක් මැරුවේ 11 වසරෙදි' කියාය. පොලිසියේ සියල්ලන්ම මිනී මරුවන්දැයි සොයා බැලීම භාර වන්නේ කවර ආයතනයකටද ?

පිස්තෝලයක් පෙන්වමින් පහරදීමට එකම හේතුව වූයේ 'එහෙම කොහොමද මිනිස්සුන්ව අරන් යන්නේ?' යි මා ඇසූ ප්‍රශ්නයයි. පොලීසියෙන් ප්‍රශ්නයක්වත් ඇසීමට නොහැකි වන තරමට පොලිසිය ඔළුවට ගෙන ඇත්තේ කාගෙ උෂ්නයදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ අවනීතියේ උෂ්නයයි.

- රුවන් නෙළුගොල්ල ~ ලංකා නිව්ස් වෙබ් දේශපාලන සංස්කාරක

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු