sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » උසාවියද සුද්ද විය යුතුය

 ප්‍රසාද් දේවගේ - රාවය

ලබන මාසයේදී ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ වාර්තාමය විත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත කිරීමට සූදානම් කර ඇත. මෙම විත්‍රපටයෙන් ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයක විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කළ ලෙනින් රත්නායකගේ සාපරාධී හැසිරීම සහ ඔහු ආරක්‍ෂා කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වාගේ හැසිරීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අදහසක් රටේ ජනතාවට ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එසේම සරත් නන්ද සිල්වා අග්‍රවිනිශ්චයකාරවරයාගේ දික්කසාද නඩුවේ විනිශ්චයකාරවරයා වශයෙන් කටයුතු කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කරන උපාලි අබේරත්න විනිශ්චයකාරවරයාගේද පරණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගැනීමට අවකාශය ප්‍රේක්‍ෂකයන්ට ඇතිවනු ඇත.

ප්‍රසන්න විතානගේ තම වාර්තා විත්‍රපටයෙන්, විනිශ්චයකාරවරයෙකු තම බලය අවභාවිත කොට සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව්වකින් ප්‍රකාශ කරන්නට අදහස් කරන්නේ රටේ අධිකරණය සහ අධිකරණ නිලධාරීන් කුණු වී ඇති ප්‍රමාණයයි. ලෙනින් රත්නායක විනිශ්චයකාරවරයෙකු වශයෙන් කටයුතු කරද්දී තමන් ඉදිරියේ විභාග වන නඩුවක සැකකරුවකුගේ භාර්යාව දූෂණය කිරීමේ සිද්ධියක් මේ විත්‍රපටයේ එළිදැක්වේ. තමන් මුහුණ දුන් අත්දැකීම් භාර්යාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාගේම කෝණ හරහා විත්‍රපටය තුළින් ප්‍රේක්‍ෂකයාට විස්තර කෙරෙනු ඇත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ස්ත්‍රී දූෂණය නම් වරදට මහාධිකරණයේ අධිචෝදනාවක් ගොනු කොට අවුරුදු විස්සක් දක්වා සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වරදකට චෝදනා ලැබිය යුතුව තිබූ පුද්ගලයෙකු සරත් සිල්වා නම් අග්‍රවිනිශ්චයකාරවරයාගේ බලමහිමයෙන් නීතියෙන් බේරී නිදහස් පුරවැසියෙකු ලෙස ජීවත් වන අකාරය ප්‍රේක්‍ෂකයාට දැකගත හැකි වනු ඇත.

පසුගිය කාලය පුරාවටම ලංකාවේ අධිකරණ භාවිතය සහ අධිකරණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අනේකවිධ විවේචන සහ චෝදනා නිතිපතා එල්ල වුණේය. ශ්‍රේෂ්ඨාධිකරණයට අපකීර්තිමත් සරත් නන්ද සිල්වාගේ ආගමනයේ සිට ඇරඹි නීතිය අවනීතිය කිරිමේ කලාව නොනැවතී අද දක්වාම විවිධ තැන්වලදී අසන්නට දකින්නට ලැබේ. සරත් නන්ද සිල්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේදී අධිකරණය තුළින් ඇයට අවශ්‍ය දේශපාලන සහයෝගය ඕනෑවටත් වඩා ලබා දුන්නේය. ඉන් අනතුරුව මහින්ද රාජපක්‍ෂගේ පාලනයේ යම් කාලයකටද මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය දේශපාලන සහයෝගයද සරත් සිල්වා ඒ ආකාරයෙන්ම ලබා දුන්නේය.

මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තියෙන් පසුව මහින්ද රාජපක්‍ෂ රාජාභිෂේක කිරීමට හැකියාව ලබා දෙමින් දහ අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යනුකූල බවට තීන්දුවක් එවකට පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේය. එවකට සිටි අග්‍රවිනිශ්චයකාරවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් එමගින් සදාකාලික ජනාධිපතිවරයෙකු නිර්මාණය කිරිමේ අවස්ථාව සහ රටේ පූර්ණ විධායක බලතල සියල්ල ඒ ජනාධිපතිවරයාට හැසිරවීමට හැකියාව ඇති කරමින් එම තීන්දුව ලබා දුන්නේය. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ කෙරෙහි බණ්ඩාරනායක මහත්මියගේ ඇති අවනතභාවය අඩුවත්ම මහින්ද රාජපක්‍ෂ විසින් ඇය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවාය. එසේ ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය සමඟ දේශපාලන ගනුදෙනුවක නිරත වෙමින් සිටි මහින්ද රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවයා වශයෙන් පත් කර ගත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන ආප්තෝපදේශයට සජීවී නිදර්ශනයක් සපයමිනි. මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් පත් කිරීමට පෙරාතුවම සිට මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීමේ මෙහෙයුමක ඔහු නිරත වී සිටියේය.

දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම් සම්බන්ධයෙන් එතෙක් පැවැති ක්‍රමවේදය තමන් අතට ගත් රාජපක්‍ෂ තමාට හිතවත් ශ්‍රේෂ්ඨාධිකරණයක් නිර්මාණය කිරීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්‍ෂගේ උපදේශකයෙකු වූ ප්‍රියන්ත ජයවර්ධන, රාජපක්‍ෂගේ ඉල්ලීම පරිදිම ඊවා වනසුන්දර, සරත් ෆොන්සේකා සම්බන්ධ නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ බුවෙනෙක අලුවිහාරේ වැනි මහත්ම මහත්මීහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ගනු ලැබුවෝය. එයට අමතරව එවකට අභියාචනා අධිකරණයේ සභාපති විනිශ්චයකාරවරයා ලෙස කටයුතු කරනු ලැබූ එස්. ශ්‍රී ස්කන්දරාජා මහතාත්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකු වූ අනිල් ගුණරත්න මහතාත් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරිමෙන් වැළකී ඊට පහළින් සිටි ඔහුට හිතවත් විනිශ්චයකාරවරු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවෝය. මහින්ද රාජපක්‍ෂ විසින් ඉහළ ප්‍රධාන අධිකරණ දෙකේ විනිසුරු පත් කිරීම් තමාගේ හිතුමනාපයට මේ අකාරයට සිදුකරද්දී සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට, ඔහුට අවශ්‍ය අකාරයට හැසිරවිය හැකි සමාජිකයන් පත් කර ගනිද්දී පහළ අධිකරණවල විනිශ්චයකාරවරුද මේ දේශපාලන ග්‍රහණයට නොදැනීම හසු වුණෝය. මේ සඳහා ලබා දිය හැකි හොඳම නිදර්ශනය නම්, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනියට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේදී අධිකරණය තුළ වූ බෙදීමය.

මෙසේ අධිකරණය තුළ ඇති වූ බෙදීම සම්බන්ධයෙන් ප්‍රධානතම සාක්‍ෂිය වශයෙන් ඉදිරිපත් වන්නේ දෝෂාභියෝග ක්‍රියාවලියෙන් පසුව එයට විරෝධය පෑ විනිශ්චයකාරවරුන් ලෙස නීතිඥ සමාජය හඳුනාගෙන සිටි පහළ අධිකරණ විනිශ්චයකාරවරුන් කෙළවරක් නැතිව ස්ථාන මාරුවලට ලක් කිරීමයි. දෝෂාභියෝගයෙන් පසු පත් වූ මොහාන් පිරිස් අග්‍රවිනිශ්චයකාරවරයා සහ එවකට කටයුතු කළ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම මාරුවීම් ක්‍රියාත්මක කරනු ලැබුවේය. ඒ සමඟම අධිකරණ ක්‍ෂේත්‍රයෙන් නැගෙන චෝදනාව වූයේ තමාට හිතවත් වූ විනිශ්චයකාරවරුන් අධිකරණමය වැදගත්කමක් තිබෙන මර්මස්ථානයන්හි ස්ථානගත කිරීමද මොහාන් පීරිස් සහ එවකට පැවැති අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ බවයි. අධිකරණ සේවා කොමිෂන් සභා නිලධාරීන් පිළිගත්තද නොගත්තද එවකට අධිකරණ ක්‍ෂේත්‍රය තුළ ඔවුනට එරෙහිව පැවැති ප්‍රධාන චෝදනාව වූයේ එම නිලධාරීන්, රාජපක්‍ෂ රෙජිමයේ දේශපාලන අවශ්‍යතාවන් ප්‍රකාරව කටයුතු කළ බවයි. විශේෂයෙන්ම ස්ථාන මාරු, උසස් කිරිම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයෙන් ලැබුණු උපදෙස් සහ නිර්දේශයන් ක්‍රියාවන්ට නැගුණ බවට බරපතළ චෝදනාවක් ඔවුන්ට එරෙහිව නැගුණේය.

රාවය පුවත්පත විසින් එවකට දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අරවින්ද පෙරේරා මහතා සම්බන්ධයෙන් අනාවරණ කිහිපයක් සිදු කරනු ලැබුවේය. ඔහු විසින් බැංකුවලින් ලබා ගත් ණය නොගෙවීම නිසා බැංකු පත්ව තිබූ තත්ත්වයන්, සමහර බැංකු සම්බන්ධයෙන් විනිසුරුවරයා වශයෙන් ඔහුගේ හැසිරිමෙහි තිබූ පීඩාකාරි තත්ත්වය රාවය පුවත්පත මගින් වරින්වර අනාවරණය කරනු ලැබුණි. එහි ප්‍රතිපලයක් වශයෙන් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සහාපතිත්වය දැරූ එවකට පැවැති අධිකරණ සේවා කොමිෂන් සභාව අරවින්ද පෙරේරා මහතාගේ සේවය අත්හිටුවනු ලැබුවේය. කෙසේ වෙතත් දෝෂාභියෝගය හරහා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ පසු නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පත් වූ අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු නැවත සේවයේ පිහිටුවනු ලැබූ අතර ඔහුට එදිරිව නැගී තිබුණු චෝදනා සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවේ නැත. අද වන විට ලැබෙන තොරතුරු අනුව, වර්තමාන අග්‍රවිනිශ්චයකාරවරයා, වර්තමානයේ මොරටුව දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරන අරවින්ද පෙරේරා මහතා මහාධිකරණ විනිසුරු ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යෝජනා කොට තිබේ.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වන දිනෙන් පසුව බිහිවූ නව රජය මගින් අධිකරණයට දේශපාලන බලපෑමක් කරන බවට කිසිදු චෝදනාවක් තවමත් එල්ල වී නොමැත. නව රජය පත් වීමෙන් පසු රජයට අවාසිදායක සහ රජයට දේශපාලනිකව නරක ලෙස බලපානු ලැබිය හැකි තීන්දු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය සහ වෙනත් අධිකරණ විසින් ලබා දී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට මේ රජය බලපෑමක් ඇති කළ බවට චෝදනාවක් නැත.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වැනි දිනෙන් පසුව ඇති වූ දේශපාලන පරිවර්තනය සහ අලුතින් පත් වූ රජය ඇති කිරීමට බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය කුමක්ද යන්න රජය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් අවබෝධයෙන් සිටීම වැදගත් වනු ඇත. රජය ගෙන යන වැඩපිළිවෙළ යම් අකාරයකින් සාර්ථක වුව හොත් එය රටෙහි ක්‍රම පද්ධතීන් ස්ථාපිත කිරීමට ඉවහල් වනු ඇත. මේ සඳහා සෘජු, පාරදෘශ්‍ය සහ නොකිළිටි අධිකරණයක පැවැත්ම ඉතාමත් වැදගත් සාධකයක් වේ.

අද වන විටත් මෙරටෙහි අධිකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන සමහර අධිකරණ නිලධාරින් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතියි. මෑතකදී වැඩ තහනමට ලක් කරනු ලැබූ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය වන ධම්මිකා ඉලංගසිංහ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. ඇය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදීද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ගත යුතුව තිබූ ක්‍රියා මාර්ගයන් කිසිවක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබුවේ නැත. දැනට වැඩ තහනමට ලක්ව තිබෙන තිළිණ ගමගේ විනිසුරුවරයා සම්බන්ධයෙන් මීට බොහෝ කාලයකට පෙර සිට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයන් ගනු ලැබුවේ, විශේෂයෙන් රාවය පුවත්පත ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරන ලද මැදිහත්වීම හේතුවෙන්, නොකර බැරි තැන මෙන්, ඉතා මෑතකදීය.

අද වන විට නීති ක්‍ෂේත්‍රයේ සහ අධිකරණ ක්‍ෂේත්‍රයේ කතාබහ වන සමහර විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් එම ක්‍ෂේත්‍රය තුළින්ම පළවන අදහස් වන්නේ, සමහර විනිශ්චයකාරවරුන්ට දූෂණ චෝදනා ඇති බැවින් ඔවුන්ගේ උසස් වීම් ලැබීමට අවකාශ අඩු බවයි. ඔවුන් දැනට දරන ධුරයේ තවත් කාලයක් කටයුතු කිරීමට සිදුවන බවයි.

මෙතැනදී ඇතිවන ප්‍රශ්නය වන්නේ දූෂණ චෝදනාවන්ට ලක් වූ විනිශ්චයකාරවරයෙකුගේ උසස් වීම ප්‍රමාද කිරීම හෝ උසස්වීම ලබා නොදීම වැනි ක්‍රියාමාර්ගවලින් කරනු ලබන රිදවීම්වලින් අධිකරණයේ පිරිසිදුභාවය ඇති කළ හැකිද යන්නයි. අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අග්‍රවිනිශ්චයකාරවරයා හෝ දූෂණ චෝදනාවන් ඇති විනිශ්චයකාරවරයෙකු ඉහළ අධිකරණයන්ට පත් කිරීමට යෝජනා නොකරන්නේ විධිමත් චෝදනාවක් නොතිබුණද මේ අය සම්බන්ධයෙන් ඔවුන් කරුණු දන්නා බැවිනි. එසේ නම් එවැනි දූෂිතයන් ඔවුන් දරන ධුරයන්හි සිට තවත් දූෂණයන් කරමින් සිටින්නට ඉඩ හරිනවාද එසේ නැතිනම් ධුරයෙකන් නෙරපා ගෙදර යවනවාද යන තීරණය අධිකරණ විනය බලධාරීන් විසින් ගනු ලැබිය යුතුව ඇත. පසුගිය කාලයේදී දැනට අභියාචනා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන ගෆූර් විනිශ්චයකාරවරයා මීගමුව මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කරද්දී ඇප අයැදුම්පතක් සම්බන්ධයෙන් අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූයේය. ඒ සම්බන්ධයෙන් රාවය පුවත්පතින්ද අනාවරණය කරනු ලැබුවේය.

මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී අධිකරණ ක්‍ෂේත්‍රය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරන ලදි. සමහර නිලධාරීන් විසින් තමන්ගේ ධුරවල සිට සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම්ද ඔහු එහිදී පැහැදිලි කළේය. එසේම අධිකරණ ක්‍ෂේත්‍රය තුළ සිදුකෙරෙන මාරුවීම් දේශපාලන අවශ්‍යතාවන් මත සිදු වී ඇති බවට ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. මේවා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සහ වෙනත් වග කිවයුතු ආයතනයන් අද වන තෙක් කිසිදු පැහැදිලි කිරීමක් හෝ මැදිහත්වීමක් හෝ සිදු කොට නැත.

වර්ෂ දෙදහස් පහළොවේ ජනවාරි මස අට වන දිනෙන් පසුව රටෙහි ඇති කරන්නට බලාපොරෙත්තු වූ සමාජ පරිවර්තනය සිදු කිරීම සඳහා රටෙහි සියලුම කොටස්වල එකඟතාවන් කැපකිරීම් අවශ්‍ය වන්නේය. රාජ්‍ය යාන්ත්‍රණයෙහිද නව රජය පත් වූ දා සිට දක්නට ලැබුණු ප්‍රධානතම ව්‍යසනය වූයේ මහින්ද රාජපක්‍ෂ රෙජිමය විසින් රාජ්‍ය සේවයෙහි නිලධාරීන් තම දේශපාලන නියෝජිතයන් බවට කර තිබූ පත්වීම්වලින් මිදෙන්නට ඔවුන් අපොහොසත් වීමයි. මේ නිසා රජය පත් වී සෑහෙන කාලයක් යන තෙක් රජය මගින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීම අපහසු වූ බව රටම දන්නා කාරණයකි.

සරත් නන්ද සිල්වා, මොහාන් පීරිස් වැනි අග්‍රවිනිශ්චයකාරවරුන් මහින්ද රාජපක්‍ෂ රෙජිමයේ දේශපාලන නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම සහ ඔවුන්ගේ දේශපාලන බලපෑම් අධිකරණ ක්‍ෂේත්‍රය පුරා විහිදු වීම යන කාරණාවලින් අද වන විට අධිකරණයට අවශ්‍ය නිදහස පැවතුණද, අධිකරණය පැරණි දේශපාලන බලපෑමෙන් ස්වාධීන වී ඇද්ද යන්න තවමත් ප්‍රශ්නයක්ව පවතී. අධිකරණය විසින් උත්තර සොයා ගත යුතුව ඇත්තේ එම ප්‍රශ්නයටමය. එසේ නොමැති නම් ‘උසාවිය නිහඬය’ යන චිත්‍රපටයෙන් පසුව කර්මාන්තමය වශයෙන් ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන චිත්‍රපට බිහිවීම නැවැත්විය හැකි නොවෙනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..