sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » වත්කම් බැරකම් නීතිය ගැන වැඩිදුරටත් - වික්ටර් අයිවන්

අන්නා හසාරේගේ ජයග‍්‍රාහී සත්‍යග‍්‍රහ ව්‍යාපාරය අවසන්වීමෙන් පසුව ඉන්දියානු ආණ්ඩුවේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ මහජනයාගේ දැනගැනීම පිණිස ප‍්‍රසිද්ධියට පත් කළෝය. එය මෙම විෂයයේදී මහජනයා තුළ ආණ්ඩුවේ නායකයන් කෙරෙහි වර්ධනය වෙමින් තිබූ කලකිරීම පාලනය කිරීම සඳහා ගනු ලැබූ පියවරක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය අන්නා හසාරේ ප‍්‍රමුඛ ඉන්දියාවේ දුෂණ විරෝධී මහජන ව්‍යාපාරය, දුෂණයට එරෙහිව පවත්වාගෙන ගිය මහජන අරගලයේ ඉතා වැදගත් අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. දුෂණයට අදාළව ඊළඟට ඇරඹෙන මහජන විවාදයේ ප‍්‍රධාන තේමාව බවට පත්වනු ඇත්තේ එසේ ප‍්‍රකාශිත වත්කම් බැරකම් ප‍්‍රකාශනවලට ඇතුළත් තොරතුරුය.

වත්කම් බැරකම් නීතිය අනුව වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේදී තොරතුරු සැඟවීම හෝ විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. ප‍්‍රකාශ කොට තිබෙන සියලූ තොරතුරු සත්‍ය වන අවස්ථාවලදී පවා උපයාගෙන තිබෙන වත්කම් නීත්‍යනුකූලව උපයා ගත් වත්කම් බව සනාථ කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී ප‍්‍රකාශකයාට දඬුවම් විඳීමට සිදුවන්නේය. කරන හැම වත්කම් බැරකම් ප‍්‍රකාශනයක්මත් මීට පෙර කර තිබෙන ප‍්‍රකාශන කෙරෙහි සේ ම අනාගතයේ සිදු කැරෙන ප‍්‍රකාශන කෙරෙහි ද බලපායි.

මහජනයාට ලැබෙන බලය

වත්කම් බැරකම් නීතිය ක‍්‍රියාත්මක වන හැම රටකම පාහේ, ප‍්‍රකාශකයා ලබාදෙන තොරතුරු පරීක්ෂාවට ලක් කිරීමේ විශාල බලයක් මහජනයාටද ලබාදී ඇත්තේය. වත්කම් බැරකම්වලට අදාළ කිසියම් තොරතුරක් වසන් කොට හෝ විකෘති කර තිබෙන අවස්ථාවකදී ඒ පිළිබඳ විස්තර දන්නා කිසියම් පුද්ගලයකු ඒ බව අදාළ බලධාරියා වෙත දැනුම්දීමක් කළහොත් එය ප‍්‍රකාශකයා කෙරෙහි ඉතාමත් විනාශකාරී ලෙස බලපෑ හැකිය. බලවත් පුද්ගලයන් විසින් කරනු ලබන දුෂණ ක‍්‍රියා අල්ලා ගන්නවාට වඩා ඔවුන් අයථා ලෙස රැුස් කරගෙන තිබෙන වත්කම් අල්ලා ගැනීම පහසුය. වත්කම් බැරකම් නීතියෙන් කැරෙන්නේ එම නීතිය අදාළ පුද්ගලයන්ට තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කරන ලෙස නීතියෙන් බලකොට ඔවුන් එසේ ලබාදෙන තොරතුරු පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට ලබාදීමය. කිසියම් පුද්ගලයකු උපයාගෙන තිබෙන ධනය නීත්‍යනුකූල මාර්ගවලින් උපයාගත් ධනය ලෙස සනාථ කිරීමට අසමත් වෙතොත් ඔහු වරදකරුවකු ලෙස සලකා ඔහුට දඬුවම් කිරීමට එම සාධකය පමණක් වුවත් ප‍්‍රමාණවත්ය.

ශ‍්‍රී ලංකාවේ දුෂණයට එරෙහිව සටන් කරන අය දුෂණ මර්දනයේදී වත්කම් බැරකම් නීතියට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට අසමත්ව තිබෙන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය. අනවබෝධය නිසාද? නැතිනම් ඇත්ත දුෂණ විරෝධී අරගලයකට ඇති අකමැත්ත නිසාද? 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් පනත එම විෂයෙහි රටේ තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. මෙම නීිතිය ක‍්‍රියාත්මකවීම අර්ධ වශයෙන් මිස මුළුමනින් මරා දැමීමට හැකිවී නැති බවද කිව යුතුය. මරා දමා තිබෙන අර්ධය පවා තිබෙන්නේ පණ දිය හැකි තත්ත්වයකය. බොහෝ දුරකට අක‍්‍රිය තත්ත්වයක පවතින මෙම නීතිය සක‍්‍රිය තත්ත්වයකට ගත හැකිවනු ඇත්තේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශවල සහතික පිටපත් අදාළ බලධාරියාගෙන් ඉල්ලා සිටින තැනකට මහජනයා යොමු කිරීමෙනි.

මැතිවරණවලට තරග කරන හෝ කර තිබෙන අපේක්ෂකයන්ගේ ප‍්‍රකාශන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන, පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ද, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප‍්‍රකාශන, ජනාධිපති ලේකම්වරයාගෙන් ද විනිශ්චයකාරවරුන්ගේ ප‍්‍රකාශන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද, විවිධ අමාත්‍යාංශ යටතට වැටෙන නිලධාරීන්ගේ ප‍්‍රකාශන ඒ ඒ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් ද, පළාත් පාලන හා පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප‍්‍රකාශන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද ඉල්ලූම් කළ හැකිය. ඉල්ලූම්කරුවන් මෙම ප‍්‍රකාශන ඉල්ලා සිටින විට 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප‍්‍රකාශ කිරීම් පනතේ 5 වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ ඉල්ලූම් කරන බව සඳහන් කිරීම වැදගත්ය. ඒ විෂය භාර බලධාරියාට, වත්කම් බැරකම් ප‍්‍රකාශවල සහතික පිටපතක් ලබාදීමට තිබෙන නෛතික බැඳීම ඒ මගින් පැහැදිලි කැරෙන නිසාය. සහතික පිටපතක් සඳහා රුපියල් 450ක හෝ ඊට ආසන්න මුදලක් අය කරගනු ලැබේ. බලධාරියකු ඉල්ලූම්කරුවකුට සහතික පිටපතක් ලබා නොදෙන අවස්ථාවකදී එම ඉල්ලූම්කරුට අවශ්‍ය නම් එම බලධාරියාට එරෙහිව උසාවියට පැමිණිලි කළ හැකිය. ඒ මගින් අදාළ ප‍්‍රකාශනවල සහතික පිටපත ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගත හැකිය.

එහෙත් මෙම නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී විෂය භාර බලධාරීන් බොහෝ දෙනකු සිටින්නේ නීතියට අනුකූලව මටසිලූටුව ක‍්‍රියාකරන තැනක නොව නීතියට පටහැනිව ආදානග‍්‍රාහීව ක‍්‍රියාකරන තැනකය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන අවධියේදී ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාගැනීමට මා ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලියුම් සංඛ්‍යාව විශාලය. එහෙත් ඒ එකකටවත් ඔහු පිළිතුරු දුන්නේ නැත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇති කරගත් අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට එකතු වනු ඇතැ‘යි ජනාධිපතිනියගේ සැකයට හේතුවී සිටි හිටපු බලවත් ඇමතිවරයකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශයක් ලබාගැනීමට කිසියම් පුද්ගලයකු දරන ලද උත්සාහයකදී ජනාධිපති ලේකම්වරයා වහාම ක‍්‍රියාත්මක වී අයදුම්කරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන දොඩම් වීදුරුවකින් ද සංග‍්‍රහ කොට කිසිදු ගෙවීමක් ලබාගැනීමෙන් තොරව එම පුද්ගලයාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් අයදුම්කරුට ලබා දුන්නේය. මම එම සිද්ධිය දෙස ආරම්භයේ සිට අවසානය දක්වා උනන්දුවෙන් බලා සිටි නිරීක්ෂකයෙක් වීමි. අයදුම්කරු ද ඒ සඳහා ගනු ලැබූ හැම වැදගත් ක‍්‍රියාමාර්ගයකදීම මා දැනුවත් කළේය. ලැබුණු වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ ඡුායා පිටපතක් පමණක් නොව, ඉල්ලූම් කළ ලිපියේ පිටපතක් හා ජනාධිපති ලේකම් බාලපටබැඳි විසින් එවන ලද පිළිතුරු ලිපියේ පිිටපතක්ද ඔහු මට දුන්නේය.

1999 ජනාධිපතිවරණයෙන් පසුව මා එම ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස පොදු පෙරමුණෙන් තරග කළ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ද එජාපයෙන් තරග කළ රනිල් වික‍්‍රමසිංහගේ ද වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි විට ඔහු ඡුායා පිටපත් සඳහා අය කැරෙන ගාස්තුව ලබාගෙන ඔවුන්ගේ ප‍්‍රකාශනවල සහතික පිටපත් මට ලබා දුන්නේය. ඒ දෙදෙනා නාම යෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශවල පිටපත් ලබාදී තිබුණේ මගේ මැදිහත්වීම නිසාය. එහෙත් 2005 ජනාධිපතිවරණයේදී ඊට තරග කළ අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ රාවය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි විට ඒවා ලබාදීම මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රතික්ෂේප කර තිබුණේය. එහෙත් එවර ඒවා ඉල්ලා තිබුණේ මා විසින් නොව කර්තෘ මණ්ඩලයේ වෙනත් සාමාජිකයකු විසිනි. මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇති බව මට දැනගන්නට ලැබුණේද වහාම නොව ටික දිනකට පසුවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති අයහපත් වාතාවරණය නිසා මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ උනන්දුවක් ද ඇති නොවීය. ඒ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා ක‍්‍රියාකර තිබුණු ආකාරය නීතියට පටහැනි විය.

අදහස් පළකිරීමේ අයිතිය හා ඡුන්දය දීම

ඉන්දියානු මැතිවරණ නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදීම අත්‍යවශ්‍ය නොවීය. එහෙත් ඉන්දියානු මැතිවරණ කොමිසම කිසියම් මැතිවරණයකදී නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශන භාරදිය යුතු බවට එම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට නියම කළේය. ඊට එරෙහිව ප‍්‍රාන්ත ආණ්ඩුවක් මැතිවරණ කොමිසමට එරෙහිව නඩු පවරන ලදුව එම නඩුවෙන් මැතිවරණ කොමිසම පරාජයට පත්වූ අතර මැතිවරණ කොමිසම එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඡුන්දය පාවිච්චි කිරීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේම කොටසක් ලෙස නිර්වචනය කරනු ලැබුවේ එම නඩුවේදීය. ඡුන්දදායකයන් අදහස් පළ කරනු ලබන්නේ ඡුන්දය පාවිච්චි කිරීම ඔස්සේය. ඡුන්දය පාවිච්චි කරන්නන්ට තරග කරන සියලූ අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇති බව ප‍්‍රකාශ කරමින් ඡුන්ද අපේක්ෂකයන් නාමයෝජනා දෙන අවස්ථාවේදී වත්කම් බැරකම් පමණක් නොව, ඡුන්ද අපේක්ෂකයන්ගේ වෙනත් විස්තර ද දැනගැනීමේ අයිතියක් තිබෙන බව ප‍්‍රකාශ කරමින් විශේෂයෙන්ම අපරාධ නඩු ඇති අපේක්ෂකයන් තමන්ට තිබෙන නඩු පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් ප‍්‍රකාශනයකින්ද වත්කම් බැරකම් ප‍්‍රකාශ සමග නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමට භාරදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු විභාගයේදී තීන්දු කළේය.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද එම තීන්දුව ආදර්ශයට ගනිමින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ අභාවප‍්‍රාප්ත ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු ද ඡුන්දදායකයන්ට ඡුන්දය දීමට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියේම කොටසක් බව නිර්වචනය කළේය. එහෙත් අර්ථ නිරූපණය ඉන්දියානු අර්ථ නිරූපණය තරම් පුළුල් අර්ථ නිරූපණයක් ලෙස සැලකිය නොහැක්කේ ඡුන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය ඒ තුළ විග‍්‍රහ කර නැති නිසාය. එම අර්ථ නිරූපණය තව එක අඟලක් ඉදිරියට ගෙනගියේ නම් ඡුන්ද අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමද අනිවාර්ය දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

නීතිය පරිපූර්ණ කරගැනීම

අල්ලසට හා දුෂණයට එරෙහිව සටන් කරන ලද පුද්ගලයන්ට හා සංවිධානවලට ඒ අඩුව සම්පූර්ණ කැරෙන ආකාරයේ අර්ථ නිරූපණයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා සේ ම එසේ ලබාගන්නා අර්ථ නිරූපණයකින් තොරව වුවත් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ඇත්තේය. මැතිවරණ කොමසාරිස්වරයා එහිදී කරුණු සලකා බැලිය යුතුව තිබෙන්නේ නීතියට අනුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටි කෝණයකිනි. නීතියේ පවතින අක‍්‍රමවත් බව නිසා සමහර අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාර දෙන විට තවත් සමහර අපේක්ෂකයන් ඒවා භාර දෙන්නේ මැතිවරණයෙන් පසුවය. වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදීමෙන් වැළකී සිටින පිරිසක් ද ඒ අතර සිටින්නේය. වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කිරීම මගින් මෙම විෂයයේදී දැන් පවතින අක‍්‍රමවත් තත්ත්වය නැති කළ හැකිය. අනෙක් අතට උසාවි අර්ථ නිරූපණයක් නැතත් මැතිවරණවලදී තමන් කැමති අපේක්ෂකයකුට ඡුන්දය පාවිච්චි කිරීමට ඡුන්දදායකයන්ට තිබෙන අයිතිය අදහස් ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතියේම කොටසක් බවට දැනටමත් අධිකරණය අර්ථ නිරූපණය කර තිබෙන නිසා තරග කරන ඡුන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මාර්ගයක් වශයෙන් සියලූ ඡුන්ද අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය කැරෙන නියෝගයක් මැතිවරණ කොමසාරිස්වරයාට පැනවිය හැකිය. අනෙක් අතට දුෂණය පිටු දැකීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්ට හා සංවිධානවලටද මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ද ලබාදීමට අනිවාර්ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට බල කැරෙන ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. ඡුන්ද කොමසාරිස්වරයා ඡුන්දදායකයන්ගේ අයිතිවාසිකම් ගැන සංවේදී පුද්ගලයකු නම් ඔහු නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ එම වත්කම් බැරකම් ප‍්‍රකාශ වහාම මහජනයාට දැනගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන වෙබ් අඩවියෙන් එම තොරතුරු මහජනයාට ප‍්‍රදර්ශනය කරන තැනකට යා යුතුය.

ඡුන්ද අපේක්ෂකයන් ලබාදෙන වත්කම් බැරකම් ප‍්‍රකාශ ටයිප් කොට පරිගණක ගතකිරීම සරල හෝ පහසු දෙයක් නොවේයැ’යි මැතිවරණ කොමසාරිස්වරයාට තර්ක කළ හැකිය. එහෙත් අවශ්‍ය නම් අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදෙන විට මුද්‍රිත පිටපතත් සමග විද්‍යුත් පිටපතක් ද භාරදිය යුතු බවට නියෝග කළ හැකිය. මේ හා සමාන ක‍්‍රමයක් ඉහළ උසාවිවලට ද ක‍්‍රියාත්මක වේ. දැන් එය අමාරු හෝ මිල අධික දෙයක් නොවන අතර එවැනි පිළිවෙත් මගින් වත්කම් බැරකම් ප‍්‍රකාශ ටයිප් කරවාගැනීම පිළිබඳ ප‍්‍රශ්නය පහසුවෙන් ජයගත හැකිය.

සාමාන්‍ය වශයෙන් ගත් කල වත්කම් බැරකම් නීතියට අදාළව හැම රාජ්‍ය ආයතනයකම පාහේ ආදානග‍්‍රාහීව ක‍්‍රියාකරන තත්ත්වයක් පැවතියද හැම තැනකම තිබෙන තත්ත්වය ඉතාමත් දඩබ්බර වේයැ’යි ද කිව නොහැකිය. රාවය පාඨකයකුට ජාතික පාසලක විදුහල්පතිවරයකුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයක් ලබාගැනීමට අවශ්‍ය වී ඔහු ඒ ගැන මා හා සාකච්ඡුා කළේය. එම විදුහල්පතිවරයාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලෙස මම ඔහුට උපදෙස් දුන්නෙමි. ඊළඟට ඔහු මා වෙත ආවේ අධ්‍යාපන ලේකම්වරයා ඔහුගේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එවන ලද ලියුමක පිටපතක් ද අත ඇතිවය. මෙය සිදුවූයේ 2002 හෝ 2003 වසරේදීය. අමාත්‍යාංශ ලේකම්වරයා අමතා දුරකතනයෙන් කතා කොට මෙම වත්කම් බැරකම් ප‍්‍රකාශනය ඉල්ලා සිටින පුද්ගලයා රාවය පාඨකයකු බවත්, ඔහුට අමාත්‍යාංශ ලේකම්වරයා මගින් සහතික පිටපතක් ඉල්ලා සිටීමට උපදෙස් දෙනු ලැබුවේ මා බවත්, වත්කම් බැරකම් නීතියට අනුව ඔහු ඉල්ලා සිටින වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ සහතික පිටපතක් ලබාදීමට අධ්‍යාපන ලේකම්වරයා බැඳී සිටින බවත් මම කීවෙමි. ඔහු තමන්ට ඒ ගැන හරි වැටහීමක් නොතිබුණු බව ප‍්‍රකාශ කරමින් ඉල්ලූම්කරුට දුරකතන පණිවුඩයක් දී තමන් හමුවන්නට එන ලෙස කියන ලෙසත්, එවිට අදාළ ප‍්‍රකාශයේ සහතික පිටපතක් ලබාදෙන බවත් කියා සිටියේය. මීට පෙර ලිපියක අභාවප‍්‍රාප්ත කතානායක රත්නායක මහතා ඒ ගැන මට ලියා එවන ලද ලිපියක් ගැන සඳහන් කළෙමි. ඒ හැම නිදර්ශනයකින්ම පෙනෙන්නේ හිතාමතාම ඉල්ලූම්කරුවන්ට වත්කම් බැරකම් ප‍්‍රකාශනවල පිටපත් ලබා නොදෙන ආයතන තිබිය හැකි වුවත්, බොහෝ තැන්වල එසේ සිදුවන්නේ බලධාරීන්ට වත්කම් බැරකම් නීතිය ගැන හරි වැටහීමක් නැති නිසා බවය. ඔවුන් දැනුවත් කිරීම මගින් තත්ත්වය වෙනස් කළ හැකිය. මා මගේ ‘චෞර රාජ්‍යය’ නමැති කෘතියෙන් රාජ්‍ය හා රාජ්‍ය ආයතන මට්ටමෙන් රටේ පවතින දුෂණයේ පරිමාව හා දුෂණය ක‍්‍රියාත්මක වන විවිධ ස්වරූප පිළිබඳව විස්තරාත්මකව විග‍්‍රහ කර ඇත්තෙමි. මාගේ තක්සේරුව අනුව රජයට ලැබිය යුතු වාර්ෂික ආදායම්වලින් භාණ්ඩාගාරයට ලැබෙන්නේ 20%ක් තරම් ප‍්‍රමාණයක් පමණය. ඉතිරි 80%ම යන්නේ දුෂිතයන්ගේ සාක්කුවලටය. මා දුෂිතයන් ලෙස දකින්නේ දේශපාලකයන් පමණක් නොවේ. ඒ එකතුවට රාජ්‍ය නිලධාරීන් ද, ව්‍යාපාරිකයන් හා වෙනත් අය ද ඇතුළත්ය. රාජ්‍යයේ හා රාජ්‍ය ආයතනවල දුෂණය මර්දනය කිරීමෙන් පමණක් රාජ්‍ය ආදායම කිහිප ගුණයකින් වැඩිකළ හැකිය.

රටේ පවතින දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේ දුෂණයට බර තැබෙන ආකාරයටය. මේ දේශපාලන ක‍්‍රමය තුළ දුෂණය මර්දනය කිරීම පහසු නැතත් වත්කම් බැරකම් නීතිය දුෂණයට එරෙහිව පාවිච්චි කළ හැකි නීති අතර තිබෙන බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය. පවතින දුෂිත දේශපාලන ක‍්‍රමය තුළ පවා වත්කම් බැරකම් නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇතිකරගත හැකි නම් දුෂණයට තිබෙන ඉඩ කිසියම් විශාල ප‍්‍රමාණයකට සීමා කළ හැකිය. දුෂිත ලෙස වත්කම් රැුස් කරගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය හා ජනමාධ්‍ය

වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන හා ක‍්‍රමවත් කරගත යුතුය. ඒ දේ අධිකරණ අර්ථ නිරූපණයකින් වුවද ඉටු කරගත හැකිය. ප‍්‍රකාශකයන්ට සිය තොරතුරු පිරවීමට ලබාදෙන පෝරමයද නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන්නේ නැත. අඩුම වශයෙන් ඊට ප‍්‍රකාශකයාගේ හැඳුනුම්පත් අංකයවත් ඇතුළත් වන්නේ නැත. තොරතුරු සැඟවීම වඩා දුෂ්කර කැරෙන නව පෝරමයක් සකස් කළ හැකිය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අය එසේ කිරීමෙන් වැළකී සිටින තත්ත්වය නැතිකළ යුතුය. ඒ සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලූදෙනාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ජනතාවට පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක් ඇති කරගත යුතුය. ඒ සඳහා යොදාගත හැකි හොඳම ක‍්‍රමය සියලූ වත්කම් බැරකම් ප‍්‍රකාශ ඒ සඳහා පවත්වාගෙන යන වෙබ් අඩවියකට යොමු කිරීමය. වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට බැඳී සිටින අය සිය ප‍්‍රකාශයේ මුද්‍රිත පිටපතට අතිරේකව විද්‍යුත් පිටපතක් ලබාදීම අනිවාර්ය කරන නියෝගයකින් විශාල වියදමකින් තොරව සියලූ ප‍්‍රකාශන වෙබ් අඩවියකට යොමුකළ හැකි තත්ත්වයක් ඇති කරගත හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවූ විට දුෂිතයන් සොයාදීමේ වගකීම මහජනයා බාරගනු ඇත්තේය. වත්කම් බැරකම් ප‍්‍රකාශන කෙරෙහි මහජන අවධානය උපරිම මට්ටමකට යොමුවේ නම් ඒ මගින් පමණක් අයථා ලෙස වස්තුව රැුස්කිරීමට දැන් පවත්නා බය නැතිකම කිසියම් විශාල ප‍්‍රමාණයකට නැති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය ජනමාධ්‍ය ලෝකයට අදාළය. මෙම නීතිය අනුව ජනමාධ්‍යවේදීන් පමණක් නොව, ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් ද වත්කම් බැරකම් ප‍්‍රකාශ කළ යුතුය. එහෙත් පුදුමයකට මෙන් මෙම නීතිය අඩුවෙන්ම පිළිපදින්නන් බවට පත්ව සිටින්නෝ ද වැඩියෙන්ම දුෂණය ගැන කතා කරන ජනමාධ්‍යවේදීහුය. ජනමාධ්‍යවේදීන් මෙම නීතිය පිළිනොපදින්නේ නොදන්නාකම නිසාද? නැතිනම් තමන් වැනි පිරිසකට එවැනි නීතියක් තිබිය යුතු නැතැ’යි සිතන නිසාද? ඒත් නැතිනම් ජනමාධ්‍ය ලෝකය අන් ලෝක මෙන් මුළුමනින් දුෂණයෙන් තොරවේයැ’යි ඔවුන් කල්පනා කරන නිසාද? ජනමාධ්‍ය ආයතනවලට හා ජනමාධ්‍යවේදීන්ට දුෂණයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් වත්කම් බැරකම් නීතිය පිළිපදින තැනකට ආ යුතුය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඇති කරන්නට පෙර වත්කම් බැරකම් නීතිය යටතට ගැනෙන වැරදි පරීක්ෂා කිරීමේ බලය ප‍්‍රධාන කොට ලැබී තිබුණේ 1958 අංක 40 දරන පනතින් සංස්ථාපිත අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවටය. 1994 අංක 19 දරන පනතින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඇති කිරීමෙන් පසු අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසි වී වත්කම් බැරකම් නීතිය යටතට ගැනෙන චෝදනා විමර්ශනය කිරීමේ ප‍්‍රධාන බලය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතට පත්විය. එම කොමිසම යටතේ එම කාර්යය සිදුවෙමින් තිබෙන ආකාරය සලකා බැලීම ද වැදගත්ය. ඒ ගැන මට කියන්නට තිබෙන අත්දැකීම් වෙනත් ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

 Sunday,18 Sep 2011  / ravaya/වික්ටර් අයිවන්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..