ජනතා මුදලින් සැප වාහන ගෙන්වා බදු වංචා කළ මන්ත්‍රී නම් ලයිස්තුව.....

 https://www.youtube.com/watch?v=eT4bFtgnUlY



අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව තීරුබදු  රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වාදෙයි.
එම ලේඛණයේ එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හා මහින්ද පිලේ, මුස්ලිම්කොන්ග්‍රසයේ සහ දේමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිටිති.
මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවල චැසි අංක සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඒ මහතා කියයි.
රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයට රුපියල් බිලියන 40ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නොවැම්බර් 20දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇති බවත්, ඒ මහතා පෙන්වාදෙයි.
තීරු බදු නොගෙවා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මෙලෙස ගෙන්වන එක් වාහනයකින් රුපියල් මිලියන 33 හමාරක මුදලක් රජයට අහිමි වන බවත්, එම වාහන බලපත්‍රය මන්ත්‍රීවරයෙකුගෙන් ලබාගන්නා වෙළෙන්ඳෙකු එය විකුණා මන්ත්‍රීවරයාට මිලියන 25ක්ද, ඉතිරි මිලියන 8 හමාර ඔහුද ගන්නා බවත්, මේ නිසා රජයට ශත 5කවත් බද්දක් නොලැබෙන බවත්, ඒ මහතා කියයි.
තීරුබදු රහිතව වාහන ගෙන්වීමට අවසරදීමෙන් සිදුවන මෙම බදු වංචාවට එරෙහිව පරීක්ෂණ කරන්නැයි ඉල්ලා තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පැමිණිලි කළ බවත්, එසේ වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයට වන පාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මැදිහත්විය නොහැකි බවට එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් තමන්ට ලිපියකින් දැනුම්දුන් බවත්, ඒ මහතා සඳහන් කරයි.
කෙසේ වුවද අල්ලස්  පනතේ 4 වැනි වගන්තිය යටතේ විශ්වාසදායි හා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට වගකීමක් ඇති බවද ඒ මහතා පෙන්වාදෙයි.
එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජයේ බදු ප්‍රතිපත්තිය වූ කලී නීත්‍යානූකූල එකක් බැවින් ඊට වංචා කිරීමේ හැකියාවක් කිසිදු මහජන නියෝජිතයෙකුට නැති බැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතිය හැකි බවද ඔහු කියයි.
ඒ අනූව මන්ත්‍රීවරප්‍රසාද භාවිතා කර තමන් නමින් ආනයනය කරන වාහනයක් විකිණීම අල්ලස් පනතේ 70 වැනි වගන්තියට යටතේ අපරාධ වරදක් බවත්, වාහනය විකුණිය හැක්කේ  සම්පූර්ණ බදු ගෙවිය යුතු බවට  අතුරු වගන්තියකින් සඳහන් කර ඇති බවත්, ඒ මහතා සඳහන් කරයි.
කෙසේ වුවද මන්ත්‍රීවරුන් අයථා ලෙස මෙම බලපත්‍රය විකුණමින් විශාල මුදලක් තමන් සතු කරගන්නා අතරම වෙළෙන්දාට ද මිලියන ගණනක වාසියක් සිදුවන බවත්, ඉන් බදු වශයෙන් රජයට ලැබිය යුතුව තිබූ කෝටි ගණනක මුදලක් අහිමි වී යන බවත්, ඒ මහතා පෙන්වාදෙයි.
ඒ අනූව මෙම ක්‍රියාදාමය තුළ  විධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය කර ඇති බවත්, ජනතාවගේ විශ්වාසය කඩකරන ආයතනවලට එරෙහිව කටයුතු කිරීමේ අයිතිය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත්, ඒ මහතා අවධාරණය කරයි.
තමන් මේ ආකාරයෙන් හෙළිදරව් කිරීම් සිදුකරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග හෝ මහජන නියෝජිතයෙකු සමග අමනාපයකට නොව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.
එම මන්ත්‍රීන් 70 දෙනාගෙන් 66 දෙනෙකු විසින් ගෙන්වන ලද වාහනවල  විස්තර පහත පරිදිය.
http://www.lankajournalist.com/
 අධිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

0 comments:

බිය ගන්වා වීරයන් වීමේ කලාව - වික්ටර් අයිවන්

වික්ටර් අයිවන්
අතුරලියේ රතන හිමියන්ගේ ‘වස විස නැති රටක්’ යන තේමා පාඨය යටතේ කරළියට ගෙනා කෘෂිකර්ම වැඩසටහන දැන් බලවත් විවාදයට හේතුවී තිබෙන වැඩසටහනක් බවට පත්වී තිබේ. මුලදී මෙම වැඩසටහන ගැන ප්‍රශංසා හැර විවේචන නොතිබුණි.

විජේවීරගේ ආදර්ශය
එය මහජන මනසේ ලොකු භීතිකාවක් ඇති කොට ඉන්පසු මහජන අනුකූලතාව දිනාගැනීමට හැකිවන ආකාරයට සැලසුම් කළ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් එය 71 කැරැල්ල සඳහා විජේවීර කරළියට ගෙනා වැඩසටහනට සමාන කළ හැකිය. විජේවීරද සන්නද්ධ නැගිටීමක අවශ්‍යතාව සිය අනු ගාමිකයන්ට යුක්ති සහගත කරන ලද්දේ ඇමරිකන් සැලැස්මක් අනුව ඇතිවන්නට යන හමුදා ආණ්ඩුවක් පිළිබඳ භීතියක් ඇති කිරීමෙනි. ඒ අදහස ඒත්තු ගැන්වීම සඳහා ඔහු ඉදිරිපත් කරන ලද සාක්ෂි අතර අසන්නන් කෙරෙහි වඩාත්ම බලපෑ සාක්ෂිය වූයේ බෙන්තර සංචාරක හෝටලය පිළිබඳ කතාවය. විජේවීර කීවේ එය සංචාරක හෝටලයක් නොව සංචාරක හෝටලයකට මුවාවී ඉදිකෙරෙමින් තිබෙන ඇමරිකන් යුද්ධ බලකොටුවක් බවය. එහි ඉදිකෙරෙමින් තිබූ දැවැන්ත ගල් තාප්පය වැනි තාප්පයක් බලකොටුවකට මිස සංචාරක හෝටලයකට අවශ්‍ය නොවන බව ඔහු කීවේය.

ඇමරිකන් අවශ්‍යතා මත හමුදා ආණ්ඩුවක් ඇතිවුවහොත් ලංකාවේ ඇතිවිය හැකි විනාශය ඔහු විස්තර කරන ලද්දේ ඉන්දුනීසියාව නිදර්ශනයට ගනිමිනි. සුහර්තෝගේ හමුදා ආණ්ඩුව සුකර්නෝ ගේ ආධාරකරුවන් හා වාමාංශිකයන් ලක්ෂ ගණනක් මරා දැම්මේය. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තේය. ලංකාවේදී හමුදා ආණ්ඩුවක් ඇතිවුවහොත් ඉන්දු නීසියාවේ ඇතිවූ විනාශයට සමාන විනාශයක් ලංකාවේද සිදුවනු ඇති බව ඔහු කීවේය. ඔහුගේ එම විග්‍රහය මා ඇතුළු ඔහුගේ සියලු අනුගාමිකයන් තුළ උමතුවක් වැනි භීතිකාවක් ඇති කිරීමට හේතුවිය. අප සියලුදෙනාට අවශ්‍ය වූයේ එවැනි බිහිසුණු තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීමය.

අප සියලුදෙනා උපරිම මට්ටමින් භීතියට පත් කොට එක් අරමුණක් සඳහා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගනිමින් තමන්ගේ බලය අල්ලා ගැනීමේ වැඩසටහන ජයගැනීම විජේවීරගේ උපාය මාර්ගික අරමුණ වීයැයි කිව හැකිය. වෙන්න යන මහා නපුරු දෙයක් පෙන්වා ජනයා බියගැන්වූ විට එම නපුරු දේ ඇතිවීම වළකා ගැනීම සඳහා භීතියට පත් කළ නායකයා වටා ජනතාව පෙළගැසීම ස්වාභාවිකය. බර්ට්‍රන්ඞ් රසල් කියා ඇත්තේද අවනත වීමේ මූලික හේතුව බය වන බවය. විජේවීරගේ දෙවැනි කැරැල්ල තුළ සේ ම ප්‍රභාකරන්ගේ කැරැල්ල තුළද එම ධර්මතාව අඩංගු වී තිබුණි. ඒ අවස්ථා දෙක ගැන මෙහි කතා නොකරන්නේ මේ ලිපිය දීර්ඝවීම වළකා ගැනීම සඳහාය.

ගංගොඩවිල සෝම හිමි
ඉන්පසු ගංගොඩවිල සෝම හිමි අපවත් වූ අවස්ථාවේදීද ජාතික හෙළ උරුමය ව්‍යාපාරය එම ධර්මතාව ක්‍රියාවට නගා ලොකු දේශපාලන අස්වැන්නක් නෙළා ගැනීමට සමත් විය. රුසියාවේදී අපවත් වන අවස්ථාව වන විට ගංගොඩවිල සෝම හිමියන් දක්ෂ ධර්ම දේශකයකු වශයෙන් බෞද්ධ ජනතාව අතර ලොකු පිළිගැනීමක් හිමිකරගෙන තිබුණේය.

එය ස්වාභාවික මරණයක් නොව බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවී තිබෙන සියුම් මනුෂ්‍ය ඝාතනයක් යන අදහස සමාජ ගතකිරීම සඳහා සැලසුම් කළ සියුම් වැඩසටහනක් එම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපාරය සමත් විය. සියලු ජනමාධ්‍යද දැන හෝ නොදැන එම වැඩසටහන සමාජගත කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. සෝම හිමි අපවත්වීමේ පුවත බෞද්ධ ජනයා අතර ලොකු දුකක් හා කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණි. එය කුමන්ත්‍රණයක් නිසා සිදුවූ ඝාතනයක් බව මහජනයාට ඒත්තු ගැන්වීම මගින් ඒ සියලුදෙනා මහත් සැකයෙන් කෝපයෙන් හා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගැනීම ඔවුන් දියත් කළ වැඩසටහනේ අරමුණ විය. ඒ මගින් ඔවුන් අපේක්ෂා කළේ 2004 පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැති වරණයෙන් උපරිම දේශපාලන අස්වැන්නක් නෙළා ගැනීමය. ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාවට නගන ලද වැඩසටහන කොතරම් සාර්ථක වීද කියතොත් හොඳ සිහියෙන් ක්‍රියාකරන තත්ත්වය නැති කොට බෞද්ධ ජනයා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගැනීමට සමත් විය. ඒ මගින් අපේක්ෂා කළ දේශපාලන අරමුණද ඔවුහු ඉටුකර ගත්තෝය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ සෝම හිමියන්ගේ අභාවයේ උණුසුම මැකීයන්නට පෙරය. 2004 අප්‍රේල්වලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 552724ක් ලබාගනිමින් පාර්ලිමේන්තු ආසන 9ක් දිනාගැනීමට එම ව්‍යාපාරය සමත් විය. එම ව්‍යාපාරය විසින් එහිදී දියත් කරන ලද ත්‍රාසජනක වැඩසටහන පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් මාගේ ‘පන්සලේ විප්ලවය’ නමැති පොතට ඇතුළත්ය.

ග්‍රීස් යකා
උතුරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු 2011 වසරේදී තෝරාගත් දෙමළ, මුස්ලිම්, සිංහල හා උඩරට දෙමළ යන ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කළ ‘ග්‍රීස් යකා’ සංදර්ශනයද ඒ ආකාරයෙන් ලංකාවේ ක්‍රියාත්මක වූ තවත් බිහිසුණු අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකිය. එය හොඳින් ප්‍රගුණ කළ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකු යොදා ගනිමින් කිසියම් ආරක්ෂක බලධාරියකු විසින් ක්‍රියාවට නගන ලද සංදර්ශනයක් ලෙස සැලකිය හැකිය. මෙම සංදර්ශනය පැවති ප්‍රදේශවල ජනයා කොතරම් භීතියට පත්වීද කියතොත් භීතියට පත් සමහර ප්‍රදේශවල පාරේ යන නන්නාඳුනන මිනිසුන්ට පවා පහර දෙන තත්ත්වයක් ඇතිවීම නිසා පුද්ගලයෝ කිහිපදෙනෙක් මරණයට පත්වූහ. එහෙත් එම ව්‍යාපෘතියේදී කුමන හේතුවක් නිසා හෝ එම සංදර්ශනය පිටුපස සිටි වීරයා කරළියට එන්න පෙර සංදර්ශනය අත්හිටුවන්නට සිදුවීම නිසා වීරයා කරළියට ඒමක් සිදුනොවීය.

ඉන්පසු අතුරලියේ රතන හිමියන් වස විස නැති රටක් යන තේමා පාඨය ඇතිව ඉදිරියට ගෙනැවිත් තිබෙන වැඩසටහනටද මහජනයා බියගැන්වීමේ වැඩසටහනක් සමඟ මහජනයා මුදාගැනීමේ වැඩසටහනක්ද ඇතුළත්ය. රජරට කලාපයේ පැතිර යමින් තිබුණු හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය මහජන හදවත් සසල කරන සාධකයක් බවට පත්ව තිබුණි. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මහජනයා බිය ගන්වා මහජන අවනතභාවය දිනාගන්නා වැඩසටහනක් බවට පත්කර ගැනීම සඳහා එම රෝගයට බලපෑ හේතු අර්ථකථනයකට ලක්කිරීමක් අවශ්‍ය විය. ඒ සඳහා බලපා තිබෙන හේතුව ලෙස අර්ථකථනය කෙරුණේ රසායන පොහොර හා කෘමි, වල් හා දිලීර නාශක නිසා පරිසරයට එකතු වී තිබෙන ආසනික්ය. ඒ අදහස සමාජ ගතකිරීමේ අරමුණින්ම අපූරු ගණයෙහිලා සැලකිය හැකි විද්‍යාත්මක පරීක්ෂණයක්ද සිදු කළේය. එම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් එක් විද්‍යාඥයකු ප්‍රකාශ කළේ ආසනික් පිළිබඳ ඉඟිය පේනයක් බලන විට අයියනායක දෙවියන් විසින් දෙන ලද ඉඟියක් වන බවය. එම පේන බැලූ පේනකාරියද එම පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ක්‍රියා කළාය. එම පරීක්ෂණය විද්‍යාඥයන්ගේ හාස්‍යයට හා විරෝධයට හේතු වුවද පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණය සමාජගත කිරීමෙහිලා ජනමාධ්‍යද පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය. ඒ අනුව හේතු හඳුනාගත් වකුගඩු රෝගයට හේතුව පොහොර හා කෘෂි රසායන බව මහජනයා ප්‍රබල ලෙස පිළිගන්නා දෙයක් බවට පත්විය.

රතන හිමිගේ මාවත
රතන හිමියන් තමන් වහන්සේගේ ගැලවුම්කාර වැඩසටහන ඉදිරියට ගත්තේ ඉන්පසුවය. වස විස නැති රටක් යන තේමාව යටතේ කරළියට ගන්නා එම ගැලවුම්කාර වැඩසටහනට අනුව තුන් අවුරුදු කාලයක් තුළ රසායන පොහොර භාවිතය හා කෘෂි රසායන භාවිතය මුළුමනින් අහෝසි කොට ඓන්ද්‍රීය පොහොර මත පදනම් වූ වස විසෙන් තොර සරුසාර කෘෂිකර්මයක් ඇති කිරීමට සමත් වේ. ඒ අරමුණ සඳහා ලංකාවේ භාවිත වූ වල්නාශකය ලෙස සැලකිය හැකි ග්ලයිෆොසෙට් තහනම් කරවා ගැනීමටද ඒ හිමියෝ සමත් වූහ. කෘෂි විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට මෙම වැඩසටහන නිසා කෘෂිකර්මයට විය හැකි විනාශය අතිවිශාලය. මෙම වැඩසටහන ගැන කෘෂිකර්ම විද්‍යාඥයකු වූද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූද ආචාර්ය සරත් අමරසිරි රාවයට ලියා තිබුණේ මෙම වැඩසටහන නිසා කෘෂි නිෂ්පාදනවල විශාල පහත වැටීමක්ද, ආහාර මිල අධික ලෙස ඉහළ යෑමක්ද, කෘෂිකර්මයෙන් ජීවත් වන ගොවි ජනතාවගේ ආදායම් පහළ වැටීමක්ද ඇතිවනු නොවැළැක්විය හැකි බවය. ඔහු එම ලිපියෙන් තවදුරටත් කියන්නේ රසායන පොහොරවල ගුණාත්මක භාවය නිශ්චිත ප්‍රමිතීන්ට අනුකූල නම් හා පොහොර භාවිතය නියමිත ප්‍රමාණයන්ට අනුව සිදුකරන්නේ නම් රසායන පොහොර මිනිසුන්ගේ හෝ අනෙකුත් ජීවීන්ගේ සෞඛ්‍යයට අහිතකර නොවන බවය.
ග්ලයිෆොසෙට් තහනම ගැන මහාචාර්ය ඕ.ඒ. ඉල්ලේපෙරුම ලියා තිබුණේ එම තහනම කෙරෙහි දේශපාලන කණ්ඩායමකගේ දේශපාලන අරමුණු බලපා තිබෙන බව බොහෝ නිදහස් මතධාරී විද්‍යාඥයන්ගේ මතය වන බවය. එම මහාචාර්යවරයා වැඩිදුරටත් කියා තිබුණේ එම තීරණය ගැනීමට පෙර කෘෂිකර්ම නිලධාරීන්ගෙන් හෝ වසර ගණනාවක් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ විද්‍යාඥයන්ගෙන්ද කිසිදු අදහස් විමසීමක් නොකළ බවය.

ඉතිහාසය අමතක කිරීම
මහාචාර්ය බුද්ධි මාරඹේ ඉදිරිපත් කර තිබෙන තර්ක අතර ඉතාම වැදගත් තර්කයක් මෙසේය. කෘෂි රසායන පොහොර හෝ කෘමිනාශක පාවිච්චි නොකර කුඹුරු වගා කළ යුගයක් පූර්ව නූතන යුගයේදී පමණක් නොව නූතන යුගයේදීද තිබුණි. පනහේ දශකයේ අවසානය දක්වා ලංකාව කුඹුරු වගා කළේ රසායනික පොහොර හෝ රසායනික නාශක නැතිව තනිකර ඓන්ද්‍රීය පොහොරවලිනි. ඒ කාලයේ රටේ ජනගහනය මිලියන හයකි. ඓන්ද්‍රීය පොහොරවලින් ඒ කාලයේදී අපට නිපදවා ගත හැකිවූයේ රටේ සහල් අවශ්‍යතාවන්ගෙන් සියයට 40ක් පමණය.

1951-52 වසරේදී ලංකාවේ කුඹුරු අක්කරයකින් නිමවුණු ජාතික සාමාන්‍යය බුසල් 31.27කි. කිලෝවලින් නම් කිලෝ 652.60කි. ඓන්ද්‍රීය පොහොර හා පාරම්පරික පළිබෝධනාශක පාවිච්චි කළ එම යුගයේ රට නිපදවූයේ සහල් අවශ්‍යතාවන්ගෙන් සියයට 50කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉතිරිය ලබාගත්තේ සහල් ආනයනයෙනි.

ලංකාවේ වර්තමාන ජනගහනය මිලියන 21කි. වර්තමානයේ කුඹුරු අක්කරයක නිමවුණු ජාතික සාමාන්‍යය අක්කරයක් සඳහා කිලෝ 2154කි. ජනගහනය තුන් ගුණයකින් වැඩිවන විට වී අක්කරයක නිෂ්පාදනයද තුන් ගුණයකින් පමණ ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට හැකිවී තිබේ. රටක් වශයෙන් දැන් අප සිටින්නේ අපේ අවශ්‍යතාවන්ටත් වැඩියෙන් සහල් නිපදවන තත්ත්වයකය. එවැනි තත්ත්වයක් දිනාගැනීමට හැකිවූයේ පාරම්පරික සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් ඉවත් වී නවීන ගොවිතැන් ක්‍රමවලට මාරුවීම නිසාය. ඓන්ද්‍රීය පොහොරවලට හා පාරම්පරික කෘමිනාශක ක්‍රමවලට හා පාරම්පරික බීජ වර්ගවලට සීමා නොවී වැඩි දියුණු කළ බීජ වර්ග, රසායන පොහොර, රසායන වල් දිලීර හා කෘමිනාශක යොදා ගැනීම නිසාය. නවීන ගොවිතැන් ක්‍රම අත්හැර පාරම්පරික බීජ වර්ග හා ඓන්ද්‍රීය පොහොර මත පදනම් වූ පාරම්පරික ගොවිතැනට ආපසු යතොත් නැවත අපට සිදුවනු ඇත්තේ රටට අවශ්‍ය සහල්වලින් කිසියම් කොටසක් ආනයනය කිරීමටය.
ග්ලයිෆොසෙට් තහනම ස්වයංපෝෂිත තත්ත්වයක තිබූ බඩ ඉරිඟු වගාව නැතිභංග කළේය. ඒ තත්ත්වය කුකුල් ගොවිපොළ කර්මාන්තයද දුර්වල කළේය. දැන් ලංකාව නැවත බඩ ඉරිඟු ආනයනය කරන රටක් බවට පත්ව සිටී. ග්ලයිෆොසෙට් තහනම තේ වගාව කෙරෙහි පමණක් නොව වෙනත් භෝග වගාවන් කෙරෙහිද විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය.

විසඳුම ඇත්තේ කොතැනද?
පොහොර භාවිතයේදී ඓන්ද්‍රීය පොහොරවලටද ලොකු වැදගත්කමක් ලැබෙන්නේය. එහෙත් රසායන පොහොරවලින් හා කෘෂිරසායනවලින් මුළුමනින් බැහැර වී ඓන්ද්‍රීය පොහොරවලට පමණක් සීමාවූ කෘෂිකර්මයක් රටට යහපත් වන්නේ නැත. එය ප්‍රායෝගික නොවන මනෝරාජික සිතිවිල්ලකි. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට දරන උත්සාහයක් රටට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. රසායන පොහොර හා කෘෂි රසායන අහිංසක නැත. වැරදි ලෙස භාවිත කළහොත් ඒවා ඇති කරන ප්‍රතිඵල අයහපත්ය. ඒවා වෛද්‍ය විද්‍යාවේ පරිහරණය කරන ඖෂධ වැනිය. පාවිච්චියේදී මාත්‍රාව වැදගත්ය. මාත්‍රාව නොසලකා වැඩිපුර පාවිච්චි කළහොත් ඇතිවන ප්‍රතිඵල විනාශකාරීය. ඒ නිසා අපි නවීන ඖෂධ අත්හැර පාරම්පරික ඖෂධවලට යන්නේ නැත. රසායන පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප අනුගමනය කළ යුත්තේද එවැනි ප්‍රතිපත්තියකි.

රසායන පොහොරවල පමණක් නොව ඓන්ද්‍රීය පොහොරවලද වස විස ඇත්තේය. රසායන පොහොරවල තිබෙන වස විස අවම කිරීමේ හැකියාවක් ඇතත් ඓන්ද්‍රීය පොහොරවල තිබෙන වස විස අවම කිරීමේ හැකියාවක් නැත. ගොම පවා අහිංසක නැත. රසායන පොහොර භාවිතය මුළුමනින් නවතා ගොම පදනම් කරගත් ඓන්ද්‍රීය පොහොර මහා පරිමාණයෙන් නිපදවන තත්ත්වයකට ගියහොත් (එය කළ හැකි දෙයක් නොවේ) එය පරිසරය දුගඳ කිරීමට හේතුවනවා පමණක් නොව, රසායන පොහොරවලට වඩා ලොකු පරිසර දූෂණයක්ද ඇති කිරීමට හේතුවනු ඇත.

ඓන්ද්‍රීය පොහොර භාවිතය මුළුමනින් ප්‍රතික්ෂේප කිරීම අන්තවාදයක් වනවා සේ ම රසායන පොහොර හා කෘෂි රසායන මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමද අන්තවාදයකි. රටේ යහපතට හේතුවනු ඇත්තේ සමබර ප්‍රතිපත්තියකි.

රසායන පොහොර හා කෘෂි රසායනවලින් තොරව ඓන්ද්‍රීය පොහොරවලට පමණක් සීමාවූ සාර්ථක ගොවිතැන් ක්‍රමයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් ආණ්ඩුවට කළ හැකි හොඳම දේ අත්හදා බැලීම අසාර්ථක වුවහොත් ගොවීන්ට වන්දි ගෙවීමේ පදනමක් මත ඒ අත්හදා බැලීම සඳහා රතන හිමියන්ට තෝරාගත් දිස්ත්‍රික්කයක් භාරදීමය. ඒ හිමියන් එම දිස්ත්‍රික්කයේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත් වෙතොත් අන් සියලු දිස්ත්‍රික්කවල ගොවි ජනයාද රතන හිමියන්ගේ ක්‍රමය වැළඳ ගනු ඇත.

එසේ නොකොට මේ ආණ්ඩුව ගොඩනැගීමට දායක විය යන පදනම මත රතන හිමියන්ගේ මනෝරාජික වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාකරන තැනකට ගියහොත් විය හැක්කේ ලංකාවේ කෘෂිකර්මය නැත්තට නැතිවීමය.

0 comments:

ප්‍රසන්නගේ ‘උසාවිය නිහඬයි‘ උසාවියෙන් 19 දක්වා නිහඬ කරවයි

අද සිට තිරගත වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ (Silence in the court)  නමැති නවතම සිංහල චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

‘උසාවිය නිහඬයි‘ සිනමා පටය පාදක වූයේ කලකට පෙර මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සේවය කළ ලෙනින් රත්නායක නම් පාහර හඩුකාරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැමියා නිදහස් කරනවා කියා ඔහුගේ බිරිඳ සිව් වතාවක්ම දූෂණය කිරීමේ සත්‍ය සිද්ධියයි. මෙම පාහර ක්‍රියාව සම්බන්ධයෙන් එවක වික්ටර් අයිවන් මහතා විසින් දිගින් දිගටම හෙලිදරව් කිරීමෙන් පසුව ලෙනින් රත්නායකට තනතුර අහිමි විය.

එකී ලෙනින් රත්නායක විසින් තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සම විභාගයට ගන්නා තුරු චිත්‍රපටය ප්‍රදර්ශනය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව ලබන 19 වෙනිදා දක්වා ප්‍රදර්ශනය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ. 19 වෙනි දිනට දෙපාර්ශවට අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය යුතුය.

උසාවිය නිහඬයි සිනමා පටය සම්බන්ධයෙන් උපේක්ෂා නුවන්ශ්‍රිනි  මාධ්‍යවේදිනිය තැබූ සටහනක් මෙහි උපුටා දක්වමු..

උසාවිය නිහඩවෙද්දී කාන්තාවගේ භූමිකාව
ප්‍රසන්න විතානගේ ගේ උසාවිය නිහඩයි සිනමා පටය විඳින ලද හැම වාරයකම මම ඇතුලාන්තයෙන්ම් කම්පා වූයෙමි.අද සිදුවූයේත් එයමය. Silence in the Court සත්‍ය සිදුළුීමක් පාදක කරගත් වාර්තා ස්වරූපයේ චිත්‍රපටයකි.කුමන ක්ෂේත්‍රයක හෝ ඉහළම නිළ ධූරාවලිය හිමි නිළධාරීන් විසින් තම ආධිපත්‍යය මත සාමාන්‍ය මිනිසාගේ ඉරණම තීරණය කරන අන්දම අතිශය දුක්ඛදායකය.සුළු වරදකට රිමාන්ඩ් භාරයට ගන්නා තරුණයකු රඳවා තබා ගනිමින් ඔහුගේ විමුක්තිය ඉත්තා කරගෙන බිරිඳ අතවරයට ලක් කළ විනිසුරුවරයකු සම්බන්ධ මෙම අප්‍රසන්න ප්‍රවෘතියේ අග කොටස මම දෑසින් දැක ගත්තෙමි. ගම්මුන් එකතු වී බද්දේගම උසාවියට ගල් ගහන දවස වන විට මම ශීෂ්‍යත්ව පන්තියේ දැරියකව හිඳ සිදුවීම බලා උන්නෙමි. නමුත් මට එහි අග මුල තේරුනේ නැත.එදින සවස රාවය පුවත්පත ගෙනා තාත්තා අම්මා සමග මට නෑසෙන්නට මොනවාදෝ කියනවා මතකය. ලෙනින් රත්නායක නම ඔහු ඉතා පැහැදිලිව කියා ඉතිරි සියල්ල කීවේ රහසේය. කුඩා දැරියකට බලන්නට නුසුදුසු පිටුවුක් පත්තරයේ ඇති බව තාත්තාට කී අම්මා රාවයේ පිටුවක් ගලවාගෙන ගොස් විශාල ලී අල්මාරියේ වහලේ තැන්පත් කරනු මම බලාසිටියෙමි. මට එය කියවන්නට හැකි වූයේ ඔවුන් නින්දට ගිය පසුය. සිදු වූ සියල්ල ඒ සැටියෙන්ම වටහා ගන්නට හැකියාවක් එකල නොතිබුණු නමුදු කිසියම් අකටයුත්තක් සිදුව ඇතිබව වටහා ගන්නට හැකියාවක් මා තුළ තිබිණි. ඉන් පසු කාලයත් සමග ලෙනින් රත්නායකව මට අමතක වී ගියේය.

මීට වසරකට පමණ පෙර සිනමා උළෙලකදී ප්‍රසන්න විතානගේ ගේ මේ සිනමා පටය මා නැරඹුවේ ඒ ගැන පූර්ව කතිකාවක් නොදැනමය.ලෙනින් රත්නායකගේ නම අැසෙත්ම පෙර ව්‍යුත්පත්තීන් හා බැඳී මම තිගැස්මකට පත්වීමි. නමුත් ඒ වන විට මගේ ලෝකය වෙනස් එකක් බවට පත් ව තිබිණි. උසාවිය පමණක් නොව කලාවද දූෂිතය. උසාවියේ දී පමණක් නොව කවියන් අතින්ද දූෂනය වූ , මේකප් දමන්න ගියා ගෙට ගෙන්නා දුෂණය කළ ජාත්‍යන්තර පාසල් ළමයින් විශ්වවිදයාල සිසුවියන් කෙතෙක් වෙද්ද? එවන් උම්මත්තකයකු ට එරෙහිව නැගුණු කාන්තාවකගේ කතාවක් පාදක කරගත් සටනක් නිසා මම ද වසර ගණනාවක් දුක්වීමි. මා පත් වූ දුෂ්කරතාව වූයේ මේ කවියාගෙන් අතවරයට ලක් වූ කාන්තා චරිත දෙකම සිදුවීම හෙලිකිරීමට වැනෙන ස්වභාවයක් දැක්වීමත් මේ කවියා පැවති දේශපාලන බලාධිකාරීයේ හයිය මත තමන්ට හානියක් සිදු කරනු ඇතැයි සිතීම නිසා මේ ගැහැනුන් දෙදෙනා අවසානයේ මට ද තේරුම් ගත නොහැකි වීමත්ය. ඒ නිසා ගැහැණියකගේ දුකක් අහන්නට යෑමද එක්තරා අන්දමකට අවධානමකි. ඒ අවධානම ඉසිලීම ගැන ප්‍රසන්න විතානගේට සහ වික්ටර් අයිවන්ට පළමුව තුති පුදමි.

මහව උසාවියේදී ලෙනින් රත්නායක අතින් අතවරයට පත් වූ ගැහැණිය බබෙකු ලෙස සිනමා පටය තුළ ඉදිරිපත් වී නැත. එම තරුණ මව සිවුවරක් විනිසුරුවරයා අතින් අතවරයට පත්වෙයි. නමුත් කටඋත්තරයක් දෙන්නට ලැගුම් හලක කාමරයකට යෑමත්, විනිසුරැවරයා ඇග පත සෝදා එන තුරු ඇය කිසිදු ප්‍රත්‍රිියාවක් නොදැක්ළුීමත් ස්ත්‍රියගේ ඥානය පිළිබඳ ගැටලුවකැයි එක්වරම හැඟෙයි.සැබැවින්ම පිරිමියකු දුටු සැණෙන් ඔහුව කියවීමට හැකි ගුණයක් ගැහැණිය සතුය.. ඇයට ද අනතුරක සේයාව නොදැනුනායයි කිව නොහැකිය. පළමු අවස්ථාවේදීම විනිසුරුවරයාගේ නඩුව එතැනම විසදන්නට ඇයට හැකියාව තිබිනි. නමුත් ඈ ඔහුට ගොදුරු වූයේ ඇයි? ඈ නැහැදුණු ගැහැනියක නිසාද? නැතිනම් ස්වකීය ස්වාමියා බේරා ගැනීමට දුන් ලිංගික අල්ලසක්ද? මනුෂ්‍ය ජීවිතයේ අවිනිශ්චිත අවස්ථා කිසිදාක නියත ලෙස විග්‍රහ කළ නොහැකිය. මනමේ කුමරිය වැද්දාට කඩුව දීමත්, සුනාමි ව්‍යසනය වෙලාවේ නිරුවතින් පාරේ දිව ගිය මිනිසුනුත් මේ කාන්තාවත් මට දැනෙන්නේ එකම ආකාරයකිනි. ඇය මානසික සංකීර්ණත්වය නිසාම ශාරීරිකව ගොලු වූවා විය හැකිය. කෙසේ වුවත් පවතින සියල්ල ඒ ආකාරයෙන්ම ඉදිරිපත් නොකර මනුෂ්‍යයාගේ සංකීර්ණ ස්වභාවයද සිය ප්‍රකාශනය තුළට කැටි කරන්නට නිර්මාණ කරුවා දැරූ වෑයම සුන්දරය.

මාධ්‍යෙව්දියකුගේ වගිකීම උදෙසා වික්ටර් අයිවන්ගේ භූමිකාව ගැන නොකියාම බැරිය. කිසියම් වේදනාවකදී හෝ දුකකදී ගැහැනිය මුලුමනින්ම අසරණ භාවයට පත්වෙයි.වෙසෙසින්ම සමාජයේ ඉහළ ප්‍රතිරූපිත පිරිමියෙක් චූදිතයකු වූ විට සෙසු සගයන් ගන්නේද තම මිතුරාගේ පාර්ශ්වයයි. එබඳු අවස්ථාවකදී ගස්ගල් අදහමින් නිහඩ වනවා මිස කරන්නට දෙයක් ද නැත. මා මුිලින් කී ගැහැනිය ගොදුරු වන අවස්ථාවෙ නිහඩව සිටින්නේ කිසියම් ආර්ථීක වාසියක් සඳහා දැයි පැහැදිලිව කිව නොහැකිය. ඇයව ලැගුම් හලේදී දූෂණය කරන විනිසුරුවරයා සමුගන්නා අවස්ථාවේදී දිගු කරන රුපියල් දෙසීයද ඇය බාරගනී.එය ඇගේ අසරණ කමද? අවිනිශ්චිත අවස්ථාවක ස්වයංක්‍රියව නොදැන සිදු කළ ක්‍රියාවක්ද? නමුත් ස්වකීය ජීවිතය දිනෙන් දිනම අගාධයට ඇද වැටෙද්දී ඇය ස්වකීය අරගලය අරඹයි.

අවනීතිය සමනය කරනු උදෙසා පිහිට වූ ඒකකයම දුෂණය වූ තැන ඇය පත්තර කන්තෝරු ගානේ ඇවිද යයි. රාවය පුවත්පතට ඇය ගොඩවන්නේ එපරිදිය. සමාජ විසමෘද්ධීන් සහ දැඩි අස්ථාවරතා මධ්‍යයේ මාධ්‍යෙව්දියාගේ වගකීම තීරු ලිපියක් ලියා කපුටු පිහාට්ටේ වමනය කපුටු මරණය දක්වා ගෙන යෑමත් ,සිනමාකරුවාගේ වගකීම මල් ගහක් වටේ සූකිරි බටිල්ලන් නටවා හොටු පිසදෑමත් ඉක්මවා සමාජ විශෝධනයකට දායක වීම දක්වා වෙනස් වී තිබේ. නමුත් මේ කාන්තාව වික්ටර් අයිවන් සහ ප්‍රසන්න විතානගේ වෙනුවට වෙනත් මාධ්‍ය වේදියකු හෝ සිනමාකරුවකු ‍සොයා ගියේ නම් තත්වය මීටත් වඩා ඛේදාන්තයක් වනු ඇත. සියළුම සම්බන්ධතා උඩු යටිකුරු වී ඇති අවස්තාවක කාන්තාවක් සතුව සිය ජීවිතය වෙනුවෙන් පැවරුණු වගකිමක් තිබේ. සමූහ දූෂණ හැරුණු විට අනෙකුත් බොහෝ අපහරණයන්ට හේතුව ස්ත්‍රියගේ ව්‍යාකූල ස්වභාවයයි. සත්‍ය වශයෙන්ම ලෙනින් රත්නායකට මා මුණ ගැසුණානම් මේ නඩුව වැටෙන්නේ මටය. ඒ ලෝක ඉතිහාසයේ දරුණුම ආකාරයකට විනිසුරුවරයකු ඝාතනය කිරීම වෙනුවෙනි. මගේ පෞද්ගලික මතය නම් තමාගේ අස්ථාවරත්වය උපරිම දැනෙන මොහොතක සියළු සබදතා අමතක කර අනතුර වෙනුවෙන් සෘජුව මුහුණ දී සටන් කළ යුතු බවයි. උසාවිය නිහඩ වීම තුළ ලංකාවාසි සියලු දෙනා තමා ගැනම විලිලැජ්ජා වෙමින් , තමන් විසින් පත් කළ නායකයෝද ප්‍රතිරූප වන්දනාවේ භයානකත්වය ද අවබෝධ කරගනිමින් තමාගේ විමුක්තිය උදෙසා නවමානයන් සෙවිමට අධිටන් කර ගත යුත්තෝය.

- උපේක්ෂා නුවන්ශ්‍රිනි -

0 comments:

1947 බිහි වූ ආණ්‌ඩුව හා ප්‍රථම මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීම

1947 ජුලි 23 සිට අගෝස්‌තු 20 දක්‌වා දින දහනවයක්‌ පුරා පැවැති සෝල්බරි ආණ්‌ඩුක්‍රමයේ ප්‍රථම මැතිවරණ ප්‍රතිඵල අනුව එක්‌සත් ජාතික පක්‍ෂය වැඩිම ආසන සංඛ්‍යාවක්‌ දිනා ගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1947 සැප්තැම්බර් 26 දින එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක ඩී. එස්‌. සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ආණ්‌ඩුකාර සර් හෙන්රි මොන්ක්‌ මැසොන් මුවර් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගමැති ධුරයට අමතරව රාජ්‍යාරක්‍ෂක හා විදේශ කටයුතු ඇමැති ධුරය ඔහුට හිමිවිය. ඔහු හැර අමාත්‍ය මණ්‌ඩලය 13 දෙනකුගෙන් සමන්විත විය.

1. සෞඛ්‍ය, පළාත් පාලන හා පාර්ලිමේන්තුවේ සභානායක - එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මයා

2. කර්මාන්ත කර්මාන්ත පර්යේෂණ හා ධීවර - ජෝර්ඡ් ඊ. ද සිල්වා මයා

3. ප්‍රවාහන හා රජයේ වැඩ - ඡේ. ඇල්. කොතලාවල මයා

4. මුදල් - ඡේ. ආර්. ජයවර්ධන මයා

5. ස්‌වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන - සර් ඔලිවර් ගුණතිලක මයා

6. කම්කරු හා සමාජ සේවා - ටී. බී. ජයා මයා

7. අධ්‍යාපන - ඊ. ඒ. නුගවෙල මයා

8. අධිකරණ - සර් ලලිත් රාජපක්‍ෂ මයා

9. ආහාර හා සමුපකාර - ඒ. රත්නායක මයා

10. කෘෂිකර්ම හා ඉඩම් - ඩඩ්ලි සේනානායක මයා

11. තැපැල් හා විදුලි සංදේශ - සී. සිත්තප්පලම් මයා

12. වාණිජ හා වෙළෙඳ - සී. සුන්දරලිංගම් මයා

13. කාර්ය නියමයක්‌ නැති - ආර්. එස්‌. එස්‌. ගුණවර්ධන මයා

එදා පත්කළ මෙම අමාත්‍ය මණ්‌ඩලය අදට වඩා විද්‍යානුකූල විෂය බෙදීමකට අනුව සිදුව ඇති බව ඉහත අමාත්‍යාංශ ලේඛනය බැලූ විට පැහැදිලි වේ.

එම සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය අනුව අමාත්‍යවරයාගේ කටයුතුවලට පහසුවනු පිණිස එදා පාර්ලිමේන්තු ලේකම්වරුන් ලෙස හැඳින්වූ අද නියෝජ්‍ය ඇමැතීන් ලෙස දැක්‌වෙන 09 දෙනෙකු ද පත් කරන ලදහ.

1. අධිකරණ - ජෝර්ඡ් ආර්. ද සිල්වා මයා

2. ආහාර හා සමුපකාර - එච්. ඇස්‌. ස්‌මයිල් මයා

3. ස්‌වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන - ඇම්. ඇස්‌. කාරියප්පර් මයා.

4. කම්කරු හා සමාජ සේවා - ඒ. ඊ. ගුණසිංහ මයා

5. කෘෂිකර්ම හා ඉඩම් - පී. බී. බුලන්කුලම මයා.

6. කර්මාන්ත කර්මාන්ත සංවර්ධන හා ධීවර - එච්. ද ඉසෙඩ් සිරිවර්ධන මයා

7. ප්‍රවාහන හා මහාමාර්ග - සයිමන් අබේවික්‍රම මයා

8. තැපැල් හා විදුලි සංදේශ - ඒ. පී. ජයසූරිය මයා

9. සෞඛ්‍ය හා පළාත් පාලන - වී. නල්ලයියා මයා

සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය යටතේ පැවැති ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීම 1947 ඔක්‌. 14 වන දින පවත්වන ලද්දේ අද ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස යොදා ගන්නා ලද ගාලු මුවදොර එවක පාර්ලිමේන්තුව රැස්‌ වූ රැස්‌වීම් ශාලාවේදී ය.

නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ ලේකම් දැරණියගල මහතා විසින් ආණ්‌ඩුකාර හෙන්රි මොන්ක්‌ මෝසන් මුවර්Êවිසින් නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය කැඳවන නිවේදනය ප්‍රකාශ කරන ලදී. ප්‍රථමයෙන් ම කථානායකවරයකු පත් කර ගැනීමේ අවස්‌ථාව නිවේදනය වූ විට තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය සී. සිත්තම්පලම් මහතා බලංගොඩ ප්‍රථම මන්ත්‍රී ඇලෙක්‌සැන්ඩර් ප්‍රැන්සිස්‌ මොලමුරේ මහතාගේ නම යෝජනා කළ අතර පදිරිප්පු මන්තීS්‍ර එස්‌. යූ. එදිරිමානසිංහම් මහතා එම යෝජනාව ස්‌ථිර කරන ලදී. ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් වූ බව පෙනී ගිය අතර මතුගම මන්ත්‍රී විල්මට්‌ ඒ. පෙරේරා මහතා කුරුණෑගල මන්ත්‍රී රාජ නීතිඥ හර්බට්‌ ශ්‍රී නිශ්ශංක මහතාගේ නම යෝජනා කළේය. කයිට්‌ස්‌ මන්ත්‍රී ඒ. ඇල්. තම්බයියා මහතා එම යෝජනාව ස්‌ථිර කළෙන් ඡන්ද විමසීමක්‌ කිරීමට මන්ත්‍රී මණ්‌ඩලයේ කාර්ය මණ්‌ඩලයට සිදුවිය. ඒ අනුව සියලු මන්ත්‍රීන් වෙත ඡන්ද පත්‍රිකා බෙදා දී ඡන්ද විමසීම පැවැත්වීමට ලේකම්වරයාට සිදුවිය. ලේකම් දැරණියගල මහතා ප්‍රකාශයට පත් කළ ප්‍රතිඵල මෙසේ විය. ඒ. එµa. මොලමුරේ මහතා ඡන්ද 58, එච්. ශ්‍රී නිශ්ශංක මහතා ඡන්ද 41. දෙදෙනෙක්‌ ඡන්ද දීමෙන් වැළකී සිටියහ. අනතුරුව සී. සිත්තම්පලම් මහතා සහ එස්‌. යූ. එදිරිමානසිsංහම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඒ. එµa. මොලමුරේÊමහතා කථානායක අසුන වෙත කැඳවාගෙන ගියේය.

කථානායක අසුනේ අසුන් ගත් මොලමුරේ මහතා විනාඩි 05 පමණ කතාවක්‌ කරමින් සියලුම මන්ත්‍රීවරුනට ස්‌තුති කරමින් තමන් වෙත පැවරුණු වගකීම අපක්‍ෂපාතව නොපිරිහෙළා ඉටු කරන බවට සභාවට පොරොන්දු විය. ඔහු 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රථම සභාපති ලෙස තේරී පත් වී සේවය කළ අයෙකු වීම විශේෂ ලක්‍ෂණයකි. මෙසේ කථානායක ධුරයට පත්වීමෙන් පසු මොලමුරේ මහතා සභාව පැය 1/2 කට කල් දමා ආණ්‌ඩුකාරයා හමුවීමට ගියේය. නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය යළි පෙරවරු 11.00 ට රැස්‌වූ විට "මම බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයා ලෙස පෙනී සිටින ආණ්‌ඩුකාරයා හමුවුණා. ඔහු මගේ පත්වීම අනුමත කළා." යන්න සභාවට දැනුම් දුන්නේය. අනතුරුව උප කථානායක ධුරයට චාවාකච්ෙච්රි මන්ත්‍රී වී. කුමාරස්‌වාමි මහතා මතුගම මන්ත්‍රී විල්මට්‌ ඒ. පෙරේරා මහතාගේ නම යෝජනා කළ අතර මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධන මහතා එය ස්‌ථිර කළේය. දකුණු කොළඹ මන්ත්‍රී ආර්. ඒ. ද මැල් මහතාගේ නම උප කථානායක ලෙසට එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා යෝජනා කළ අතර මඩකලපුව මන්ත්‍රී ඒ . සින්නලෙබ්බේ මහතා එය ස්‌ථිර කළේය. ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 05 කින් ද මෙල් මහතා උප කථානායක ලෙස තේරී පත්විය. කාරක සභා උප සභාපති ලෙස ඡේ. ඒ. මාර්ටිනස්‌ මහතා පත් වූයේ නිතරගයෙනි.

අනතුරුව ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් සෞඛ්‍ය, පළාත්පාලන හා ආණ්‌ඩුවේ සභානායක එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා නව කථානායකවරයාට සුබ පතමින් කථා කළ අතර රුවන්වැල්ල මන්ත්‍රී ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා දිර්ඝ සුබ පැතුම් කථාවක්‌ විපක්‍ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී. යාපනය මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම්, නුවරඑළිය මන්ත්‍රී එස්‌. තොණ්‌ඩමන්, වැල්ලවත්ත ගල්කිස්‌ස මන්ත්‍රී කොල්වින් ආර්. ද සිල්වා, මැද කොළඹ තුන්වැනි මන්ත්‍රී පීටර් කේනමන්, මතුගම මන්ත්‍රී විල්මට්‌ ඒ. පෙරේරා, පත්කළ මන්ත්‍රී ඡේ. ඩබ්. ඕල්µSල්ඩ් යන මහත්වරු කථානායක වරයාට සුබ පැතීය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල රැස්‌වීම මෙසේ අවසන් වුවද, ඉන් දින දෙකකට පසු 1947 ඔක්‌තෝබර් 16 වැනිදා සෝල්බරි ආණ්‌ඩු ක්‍රමය යටතේ පිහිටුවන ලද උත්තර මන්ත්‍රී මණ්‌ඩලය හෙවත් සෙනට්‌ සභාවට පත් කෙරෙන මන්ත්‍රී 30 දෙනාගෙන් මහජන නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයෙන් තෝරා පත් කෙරෙන මන්ත්‍රීවරු 15 තෝරා ගැනීමේ අවස්‌ථාව යෙදී තිබිණි. ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රීවරුන්ගේ අභිමතය පරිදි පහත මන්ත්‍රීවරු 15 දෙනා තෝරා පත්කෙරිණ.

1. ආර්. ඇµa. ඇස්‌. ද මෙල් මයා, 2. සිරිල් ද සොයිසා මයා, 3. එල්. බී. ජයසේන මයා, 4. ඩබ්. කේ. ජිනදාස මයා, 5. ජස්‌ටින් කොතලාවල මයා, 6. ඇස්‌. නඩේසන් මයා, 7. දොස්‌තර ඊ. ඇම්. වී. නාගනාදන් මයා, 8. ඩී. ඩබ්. ඡේ. පෙරේරා මයා, 9. දොස්‌තර එම්. ජී. පෙරේරා මයා, 10 බාන්ස්‌ රත්වත්ත දිසාව, 11. ඒ. ආර්. ඒ. රාසික්‌ මයා, 12. ඩබ්. ඒ. බී. සොයිසා මයා, 13. පෙරී සුන්දරම් මයා, 14. සරත් විඡේසිංහ මයා, 15. ඇඩ්ලින් මොලමුරේ මහත්මිය

උත්තර මන්ත්‍රී මණ්‌ඩලය සමන්විත වන තිස්‌දෙනාගෙන් ඉතිරි 15 දෙනා ආණ්‌ඩුකාරයා විසින් පත් කෙරෙන අයගෙන් සමන්විත විය.

සමරසේන මුදලිගේ

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු