ආඥාදායකයෙක් සුන්දර මතකයක්

හේ මෙරට වේදිකා නාට්‍ය කලාව දෙපයින් සිටවූ විප්ලවීය නිර්මාණ කරුවාය, එනම් ශෛලිගත නාට්‍ය රංග රීතිය තුළ සිරවී එහිම ගොදුරක් බවට පත්ව සිටි නාට්‍යකරුවා හා ප්‍රේක්ෂකයා ස්වාභාවික රංග රීතිය හඳුන්වා දෙමින්, යථාර්ථයට වඩාත් සමීප කළ නාට්‍යකරුවා ඔහුය.කෘතහස්ත ලේඛකයකු හා විශිෂ්ට පරිවර්ථකයකු වූ හෙතෙම, ගුවන්විදුලි නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිරකතා රචකයකුද විය. ඒ මතු නොව හේ දක්ෂ කවියෙකි. නමින් ඔහු අවලික්කාර ගලප්පතිගේ සුගතපාල ද සිල්වා ය. 1928 අගෝස්තු 4 වැනිදා මිදිගම දේනුවල දී (වැලිගම) උපත ලැබූ මේ විශිෂ්ට කලා කරුවා දර්ශන විෂයෙහිද ප්‍රාමාණික බුද්ධිමතෙකි. ඔහු ගේ 88වන ජන්ම දිනය මේ මස 04 වැනිදාට යෙදී ඇත. භෞතික කාය අපව හැරගිය ද ඔහුගේ නිර්මාණ කාය තවමත් අපේ හදමනස පෝෂණය කරයි. මේ ඉඩ ඒ සොඳුරු ආඥාදායකයාගේ මතකය වෙනුවෙනි.



මට සුගතපාල ද සිල්වා හමුවන්නේ දහම් පාසලේ කලා උළෙල සඳහා ඔහුගේ උපදෙස් පැතීමට ගිය අවස්ථාවේදීය. ඒ සඳහා අප පොළඹවන ලද්දේ සයිමන් නවගත්තේගම කලා කරුවාය. සුරනිමල අපේ පන්තියේ සිටි බැවින් ඔහුගේ පියාණන් වන සයිමන් නවගත්තේගමගේ සහය පැතීමට අප කාලයක පටන් පුරුදුව සිටියෙමු. එලෙස ඇති වූ සබඳතාව ඔහු මියයන තුරුම පැවතින. දිනක් සුගතපාල ද සිල්වා හමුවීමට පැමිණෙන ලෙස මටත් සහෝදරයාටත් පණිවිඩයක් ලැබිණ. අප ගොස් ඔහු හමුවිය. අප කෙළින්ම ගොස් නතරවන්නේ ඔහුගේ කාමරයේය. ඉස්තෝප්පුවේ රැඳීසිටින පුරුද්දක් අපට නොවුනි. එයට ඇතුල් වූ වේලාවේ පටන් ඇස් කරකවමින් බලන්නේ පොත් රාක්කය දෙසය. “පොත් බැලුවට කමක් නෑ. ගෙනියන්න දෙන්න බැහැ. ඕන වෙලාවක් ඉඳලා කියවලා යන්න. ”ඒ ශීලා ඇන්ටිගේ හඬය. “පොත් අරංගියාම කවුරුවත් ගෙනත් දෙන්නෙ නැහැ. මෙයාට ඕන වුණාම අලුතින් ගන්න ඕන.” එකින් එක පොත් කියවමින් නැවත තැබීමට අපි පුරුදුව සිටියෙමු. “මට බෞද්ධ පොත්වගයක් ඕන කරලා තියෙනවා. මං ලියමින් ඉන්න පොතකට තොරතුරු වගයක් දැනගන්න. මේ ළමයි නිතරම පන්සලේ ඉන්න හින්දයි එන්න කිව්වේ. ලොකු හාමුදුරුවන්ට කියලා පුස්තකාලයෙන් මට ඒටික ගෙනත්දෙන්න පුළුවන්ද?” එම ඉල්ලීම අපට මහත් සතුටක් ගෙනදුන්නේය. කවදා හරි පාඨකයා අතට පත්වන පොතකට මෙලෙස දායක වීමට ලැබීම කෙතරම් භාග්‍යයක්ද. “මොකක්ද ඒ පොතේ නම” ‘දළදා වතුර’. දළදා ඉතිහාසය සම්බන්ධ කරගනිමින් ලිවීමට යන මෙම කෘතිය කාවිසිනුත් පිළිගනු ඇත. අප ඒ සඳහා යුහුසුලු විය. දහම් පාසල් පුස්තකාලයේද, පාසල් පුස්තකාලයේද, සොයිසාපුර පුස්තකාලයේද, මොරටුව පුස්තකාලයේද ...සෙවූ මුත් එය ව්‍යර්ථ විය. අවසානයේ සොයාගත හැකි වූයේ ධාතුවංශයත්, මහවංශයත්, වංසත්ථප්පකාසිනියත් පමණි. එහෙත් ඒවනවිටත් එම කෘති ඔහු සතුව තිබුණි. එය ව්‍යර්ථවුවත් අපට එමගින් මනා පාඩමක් කියාදුන්නේය. යමක් ලියන්නට ප්‍රථම, සිතට නැගෙන සිතුවිලි නොලියා යම් අධ්‍යනයකට අප යා යුතු බවයි. (අද ඇතැම් බොහීමියානුවන් ලෙස පෙනීසිටීමට උත්සහ දරන්නන්, පෙළපොත් හැදෑරීම අවැසි නොවන බවට සමාජ මත වපුරවති). ඒ අතර තුරදී සුගතපාල ද සිල්වා රෝගාතුරවිය. රෝගය සුවපත් කරගැනීමට මුදල් අවශ්‍යවිය. පොතක පතක ඉතුරුකරගත් මුදලක් ඔහු සතු නොවීය. ශීලා ඇන්ටී සතුව තිබූ කණකරද ඔහුගේ කලාදිවියටම සින්නව තිබිණි.

එවක පළ වූ යොවුන් පත්තරයක් වන ‘පරාදීසය’ පත්‍රයට ලිවීමේ අදහසින්, දිනක් මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි.

“ඇයි ශෛලිගත නාට්‍ය කරන්න කැමති නැත්තේ”

“මට ඕනදේ ඒ ශෛලියෙන් කියන්න බෑ. ඒ නාට්‍යවල දෙබස් හසුරවන විදියට ඇඳුම් ආයිත්තම් වලට මං ආස නෑ. ඒවා මිනිස්සුන්ගෙන් දුරයි. මට ඕන වුණේ ඒවගේ ඇඳුම් නැතිව, මිනිස්සු සාමාන්‍යෙයන් අඳින පළඳින ඇඳුම් වලින් නාට්‍ය පෙන්නන්න. එතකොට ඒ නාට්‍ය මිනිස්සුන්ට හුඟක් ළඟයි. කියනදේ වැටහෙනවා.”

“ඒත්, ඒ නාට්‍ය බලන්න මිනිස්සු ආශාවෙන් යනවනේ. ඔවුන් ඒකෙන් සතුටකුත් ලබනවා”

“ඔව්, ඒවා මිනිස්සු බලනව තමයි. විෂය නිර්දේශයටත් ඇතුළත් කරලනේ තියෙන්නේ. ඒත් ඒකෙන්, ඒඅය ගෙවන ජීවිතය පිළිබඳව අවබෝධයක් ඒ අයට ලැබෙනවද? ඒකයි තියෙන ගැටලුව ”

“ඇයි ඔබ ආත්ම ප්‍රකාශනයක් විදියට නාට්‍යම තෝරගත්තේ”

“හැම කෙනෙක්ටම තමන්ගෙ කියලා ආත්ම ප්‍රකාශනයක් තියෙනවා. මට වේදිකාව හමුනොවී මෝටර් බයික් එකක් ලැබුණ නම්, සමහරවිට මං මගේ ආත්ම ප්‍රකාශනය ඒ හරහා සිද්ධ වෙන්න ඉඩ තිබුණා.”...

සුගතපාල ද සිල්වා ඇසුරේම ඇතිදැඩි වූ සිරිමල් විජේසිංහ ගෙන් ඔහු පිළිබඳව විමසූ විට කියා සිටියේ

“උඹ මෙහෙම ලියපන්”

“කාට හරි කලා කාරයෙක් වෙන්න ඕන නම්, සුගත් අයියා වගේ වෙන්න එපා. මං එහෙම කියන්නෙ, ලංකාව වගේ රටක කලාවට කරන්න පුළුවන් දෙයක් නෑ. කලාවෙන් ටොෆි චොකලට් කනවා වගේ වින්දනයක් ලැබිය හැකියි. ඒත් සමාජය වෙනස් කරන්න බැහැ. කලාවෙන් ලංකාවේ මිනිස්සුන්ගෙ සංස්කෘතික ලක්ෂණ අපි හිතනතරම් දියුණු වෙලා නැහැ. ඉතිං මොකටද ඒකට දුක් විඳින්නේ. ටොෆි චොකලට් හදන එකා ලාභයක් ලබනවා. කලාකාරයො විතරක් කිසි ලාභයක් නැතිව, තියනදේත් නැතිකරගෙන මොලේ කචල් කරන් ඉන්නවා. ඒ නිසා අලුත් පරම්පරාවට කියන්නේ සුගත් අයියා වගේ වෙන්න එපා. එයාගෙ මරාසාද් නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාපු අය දැන් ජීවත් වෙන්නෙ කොහොමද? අන්න ඒවගේ ජීවත් වෙන්න කියලා”

ඔහුගේ වාක්‍ය තුළ බොහෝ දේ නිධන්ගතව ඇතැයි මට සිතේ.

සුගතපාල ද සිල්වා ‘කරනදේ කියන - කියනදේ කරන’(ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට) අවංක පුද්ගලයෙකි. අහිංසක මනුෂ්‍යයෙකි. වී කරල පැසී බිමට නැමී බරවන්නාක් මෙන්, ඔහු දැනුමෙන් මුහුකුරා යන්න යන්න නිහතමානී විය. ස්ට්‍රයික්වලට සම්බන්ධවී රස්සාවෙන් දොට්ට දැමූවිට, ඔහු කාගෙවත් ඇට ලෙවකන්න නොගියේය. හේ අනන්තවත් දුක් කම්කටොලු ඉවසා දරාගත්තේය. මේ සියලු දුක් ගැහැට සමව විඳදරාගැනිමට ශක්තියක් වූයේ බිරිඳ ශීලාය. ඔහු ලෙඩ ඇඳට වැටී සිටියදී ඔහු බලාගන්නට අවස්ථාව මාහටද උදාවිය. එය ඉතාමත් වගකීමෙන් සිදුකිරීමට මමත් සහෝදරයාත් උනන්දුවිය. ඒ කාලයෙදී දිමුතු, ප්‍රබුද්ධ, ප්‍රගති(පුතුන්), රොජර් සෙනෙවිරත්න, මාලක, විශේෂයෙන්ම පාලිත තේනුවර අමතක කළ නොහැකි කාර්යක් ඉටුකළේය. ඔහු මිය යනතෙක්ම මඟහැරසිටි ඔහුගේ නාට්‍ය පුත්‍රයා පැමිණ අවසන් කටයුතුවලට දායක වූයේ මිනියේ කටයුතු භාරගත් මල්ශාලා භාරකරුමෙන්ය. කෙසේ වෙතත් ඔහුගේ භෞතිකකාය දැන් අප හැරගොස්ය.

දියුණු කලා සංස්කෘතියක් ඇති කර ජනතා හදමනස පෝෂණය කිරීමට රාජ්‍යට හෝ පෞද්ගලික අංශයට හෝ මැදිහත් විය නොහැකිනම්. දිනෙන් දිනම ඒ ජනසමාජය මිථ්‍යාව හා වැඩවසම් ආකල්පතුළ ගිලීයයි. එවිට එය පවත්නා ආණ්ඩුවට හෝ පෞද්ගලික ව්‍යවසායකයින්ටද යහපත් නොවේ.මන්ද ඔවුන් පිළිගන්නා වැඩවසම් නියෝජිතයෙකු ඔවුන් පාලනය කිරීමට ඉඩ ඇති බැවිනි. එනිසා සුගතපාල ද සිල්වාගේ මේ වැකියෙන්ම මේ ලියමන අවසන් කරමි.

“ආශ්වාස ප්‍රාශ්වාස කරන තරමටම දේශපාලනයත් මිනිස් දිවිය හා දැඩි ලෙස බැඳී පවතී. තමාගේ කෘතියකින් මිනිසුන්ගේ මිනිස්කම ගැන පමණක් කතා කරන්නේ යයි කිසිවකු අභිමානයෙන් පවසන විට එතැන ඇත්තේ ද දේශපාලනයකි. එය වූ කලී සාහිත්‍ය ලෝකයේ දේශපාලනයයි. දිව්‍ය ලෝකයත් නරකාදියත් මිහි පිට දිස් වන තාක් කල් දේශපාලනයෙන් තොර ව මිනිසා ගැන කතා කළ නොහේ. අද වැනි කලබැගෑනියකට පත් සමාජයක මේ සත්‍ය වඩාත් ඉස්මතුව පෙනේ.” (ඇට මැස්සා)

සටහන

කේ.ඩී රසික

0 comments:

ආණ්ඩුව වට්ටන්න පුළුවන් - උපුල් ජෝශප් ප්‍රනාන්දු

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

ඇමතිලාගේ සැප ගැන....

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු