sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » ජාතිකත්වය දේශපාලනය හා කම්කරු ව්‍යාපාරය – ආචාර්ය කුමාරි ජයවර්ධන

මධ්‍යස්ථවාදීන් වශයෙන් නම් කොට ඇති අය තම ආර්ථික අතිරික්තය පරිභෝජනය කරනු වෙනුවට යළි ආයෝජනය කරන ඡායමාන ධනපති  පන්තියකට සුපුරුදු ධනවාදී  ආකල්ප ඇති පුද්ගලයෝය. එක්තරා  ප්‍රමාණයක ආර්ථික සමෘද්ධියක් අත් කර ගැනීමෙන් පසු මොව්හු දේශපාලන  බලය ලබා ගැනීම සිය අරමුණ කොටගත්හ.

එහෙත් ඔව්හු, පරිපාලන  සේවා ක්‍ෂේත්‍රයේ  උසස් තනතුරු දරමින් මෙරට පාලනය කළ එමෙන්ම වාර්ගික වශයෙන් තනිකරම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන්  සෑදුණ පාලන පද්ධතිය විවර කිරීමේ කාර්යයට මුහුණ පෑහ. ලංකාවේ  ජාතික ව්‍යාපාරයේ  ඉතිහාසයෙන්  ලාංකීය  මධ්‍යම පන්තිය දේශපාලන බලය අත්පත් කොට ගැනීමේ ක්‍රියා විස්තර කැරෙයි. හැම අවධියකදීම  ව්‍යවස්ථානකූල ක්‍රම  මගින් කර ගෙන යන ලද, දේශපාලන  නියෝජිතත්වය,  අදහස් පළ  කිරීමේ නිදහස හා වාර්ගික  තුල්‍යතාව යනාදී ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් සඳහා වූ   මේ සටන මධ්‍යස්ථවාදීන් විසින් මෙහෙය වන ලදී. රැඩිකල්වාදීහු ඊට සහයෝගය දුන්හ.

එහෙත් මධ්‍යම පන්තියේ රැඩිකල්වාදී කොටස දේශපාලන හා කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් දැරූ මතය  මධ්‍යස්ථවාදීන්ගේ මතයට වඩා වෙනස් විය. මධ්‍යස්ථවාදීන්ගේ ප්‍රතිපත්තිය පෙරට වඩා දේශපාලන  බලයක් ලබා මධ්‍යම පන්තියට දෙන යම්යම් ප්‍රතිසංස්කරණවලට සීමා වූ අතර. රැඩිකල් වාදීහු සටන ඉන් ඔබ්බට ගෙන යමින් සම්පූර්ණ ස්වරාජ්‍යයද, පූර්ණ වෘත්තීය සමිති අයිතිවාසිකම් ද, සර්වජන ඡන්ද බලය ද ඉල්ලා සිටියහ. 1915 ට පෙර කාලයේ වුව, මේ ප්‍රවණතා දෙක වෙන් වශයෙන්  දක්නට තිබුණ ද, ඒ වර්ෂයෙන් පසුව භේදය  ඊට වඩා  බොහෝ පැහැදිලි විය.1915 ට කලින් කම්කරු ව්‍යාපාරය හා සම්බන්ධ  ප්‍රශ්නවලට පටලැවී  සිටි මධ්‍යස්ථවාදීන්   සහ රැඩිකල්   වාදීන් යන මේ දෙකොටසම, ආගම ද, අමද්‍යප ව්‍යාපාරයද, ප්‍රාරම්භක ජාතිකවාදී   ඉල්ලීම්ද හා සම්බන්ධ වූ සටන් ව්‍යාපාරවල ක්‍රියාශීලී වූහ. ලංකාවේ  ප්‍රථම වෘත්තීය සමිතියේ  ආරම්භකයන් වූ ඒ. ඊ. බුල්ජෙන්ස් සහ දොස්තර ලිස්බෝ පින්තු ක්‍රිස්තු භූක්තිය හැරදා  ඊට විරුද්ධව  සටන් කළ අය වූහ. බෞද්ධ පුනර්ජීවනයේ   ප්‍රමුඛ පුද්ගලයන් වූ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර සහ ඒ. ඊ. බුල් ජෙන්ස් කම්කරු පන්ති උද්ඝෝෂණයේ ආධාරකරුවෝ වූහ. දොස්තර ලිස්බෝ  පින්තු හා ජෝන් කොතලාවල ඇතුළු මේ සියලු නායකයෝ විවිධ අමද්‍යප  සංවිධානවලට අයත් වූහ. 1912 දී පවා සී. බටුවන්තුඩාවේ, ආතර් වී දියෙස් සහ ඩී. සී. සේනානායක ආදී අලුත්  මධ්‍යස්ථවාදී කම්කරු නායකයෝ අමද්‍යප  හා සමාජ සේවා ව්‍යාපාරවල ක්‍රියාශීලී වූ ජාතිකවාදීහු වූහ.

1915 සහ 1933 අතර කාලයේදී දේශපාලනය හා ආගම අතර වූ සම්බන්ධකම් ලිහිල් වීමට පටන් ගනී. ආගම ලාංකීය දේශපාලනයේ  සදා පැවති හා වරින් වර ඉස්මතු වූ සාධකයක්  බැව් නොකිවමනාය. එහෙත්  1915 කල කෝලාහලවලින් පසු ආගමික උද්ඝෝෂණ පසු බිමට තල්ලු වී ආගමික නොවූ ජාතිකවාදය ඒ තැන ගත්තේය. ජාතිකවාදීන්ට සිය දේශපාලන  දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම සඳහා ආගමික වාග් සම්ප්‍රදායක්  පාවිච්චි කිරීම තව දුරටත් අවශ්‍ය නොවීය. අමද්‍යප  උද්ඝෝෂණය තරමක් යල් පැන ගිය දේශපාලන සටන්ක්‍රමයක් බවට පත්විය. ක්‍රිස්තියානි විරෝධී උද්ඝෝෂණවල  යෙදීම තව දුරත් ජාතිකවාදී මත ඉදිරිපත් කිරීමේ  ප්‍රධාන ක්‍රමය නොවීය.  1915 දී සියලු දේ  අනිත්‍යය යන බෞද්ධ  මතය පළ කරමින් පාසල් ශිෂ්‍යයකු විසින් සඟරාවකට ලියන ලද ලිපියක් බ්‍රිතාන්‍ය පාලනයට  විරුද්ධ ප්‍රහාරයක්  ලෙස ‍පොලීසිය විසින් සලකන  ලද නමුත්, නව සිය විසි ගණන් වන  විට ජාතික වාදී සිසුන්ට ආගමික  පාඨවල සහාය  නොමැතිව තම දේශපාලන මත ප්‍රකාශ  කිරීමට පුළුවන්කම තිබිණ.

නවසිය විසි ගණන්වලදී ලංකාවේ  බටහිර පන්නයට හැඩ ගැසුණු මධ්‍යම පන්තියේ රැඩිකල්වාදී හා මධ්‍යස්ථවාදී කොටස් අතර නිරන්තර ගැටුමක් පැවතිණ. ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරය  තුළ රැඩිකල්වාදීන්. සංඛ්‍යාව අතින් කුඩා වූ බැවින්ද ප්‍රධාන බලවේගයක් නොවූ බැවින්ද, මුලදී ඔවුන් කෙරෙහි  දක්වන ලද්දේ අල්ප අවධානයකි. ඔවුන්ගේ වැදගත්කම පැහැදිලි වන්නේ කම්කරු ව්‍යාපාරය ගැන අධ්‍යයනය කිරීමේදී පමණකි. ඔවුන්ගේ සංඛ්‍යාව සුළු වුවද, අනුගාමිකත්වය කුඩා වුවද, ඔවුන්ගේ බල පෑම තම සංඛ්‍යා ශක්තියට වඩා බෙහෙවින් විශාල විය. 19 වැනි ශත වර්ෂයේදී   රැඩිකල්වාදීන් සහ මධ්‍යස්ථවාදීන් යන දෙගොල්ලෝ ම දේශපාලන තීරණ ගැනීමේ   ක්‍ෂේත්‍රයෙන්  පිට මං කරනු ලැබ සිටියහ. එසේ වුවද, නව සිය විසි ගණන් වන විට  මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර ප්‍රධාන වෙනස වූයේ,  මධ්‍යස්ථවාදීන් ක්‍රමයෙන් පාලක පන්තියේ කොටසක් බවට පත් වෙමින් සිටීමයි. රාජ්‍ය මන්ත්‍රණ  සභාවට තේරී පත් වුණු  මන්ත්‍රීවරුන් අතරෙන් මධ්‍යස්ථවාදී  දේශපාලනඥයන්ගෙන් සමන්විත ලාංකීය  ඇමැති මණ්ඩලයක් තෝරා ගන්නා ලද 1931 දී ඔවුහු අර්ධ වශයෙන් එම තත්ත්වය අත් පත් කොට ගත්හ. බ්‍රිතාන්‍යයන්  සමග සමගි සම්මුතියකට එළඹීමේ ප්‍රතිපත්තිය තුළින් පාලක පන්තියේ  කොටසක්  බවට පත්  වීම මධ්‍යස්ථවාදීන්ගේ  අපේක්ෂාව වූ බැවින් රැඩිකල්වාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර භේද උත්සන්න වීම අනිවාර්ය විය.

1915 න් පසු දේශපාලන ප්‍රශ්න හා වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව   රැඩිකල්වාදීන් හා මධ්‍යස්ථවාදීන් අතර මත භේද  වර්ධනය වී නවසිය විසි ගණන් වන විට පරතරය උග්‍ර විය. මධ්‍යස්ථවාදීන් එවකට විශාලම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික  සංගමය මෙහෙය වූ අතර රැඩිකල්වාදීහු  ප්‍රධානම කම්කරු  සංවිධානය වූ ලංකා කම්කරු සංගමය  තුළ ප්‍රබල වූහ. ඒ අතර මධ්‍යස්ථවාදීන්ට ලංකා කම්කරු සම්මේලනය නමින් තමන්ගේම  වූ  වෘත්තීය සමිති සංවිධානයක් තිබිණ. රැඩිකල්වාදීහු  තරුණ ලංකා සංගමය සහ ලංකා කම්කරු පක්ෂය වැනි කුඩා නමුත් සංක්ෙෂප වශයෙන්  සටන්කාමී දේශපාලන කණ්ඩායම්වලට අයත් වූහ. ප්‍රතිසංස්කරණ සඳහා වූ  දේශපාලන ව්‍යාපාරයත්, නාගරික කම්කරුවන්ගේ උද්ඝෝෂණ සහ වැඩ වර්ජනත්, සම්බන්ධයෙන් මේ කොටස් දෙක අතර නිතර නිතර ගැටුම් ඇතිවිය. මත භේද ඇති වූයේ සටන් ක්‍රම මුල් කර ගෙනය. මධ්‍යස්ථවාදීහු “ඉවසීම, සන්සුන් පැවතුම්, අවංක භාවය හා සකසුරුවම්කම” යනාදීයෙහි යහපත්කම ගැන කම්කරුවන්ට කියා දෙමින් ප්‍රවේසමෙන් යුතුව හා හික්මීමෙන් යුතුව ක්‍රියා කරමින් දේශපාලන හා කම්කරු  ප්‍රශ්න සමාදානයෙන් විසඳා ගත යුතු බැව් කියා සිටියහ.  ඒ අතර රැඩිකල්වාදීන්ගේ වෑයම වූයේ  සටන්කාමී ජාතිකවාදී උද්ඝෝෂණ හා කම්කරුවන්ගේ බලගතු ආක්‍රමණික සටන් වර්ධනය   කිරීමයි. දේශපාලන  කටයුතුවලදී මධ්‍යස්ථවාදීන් සීමාසහිත  ඡන්ද බලය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ ටිකින් ටික ලබා ගැනීමට බලා‍පොරොත්තු වූ  අතර රැඩිකල්වාදීහු වහාම  සර්ව ජන ඡන්ද බලය සහිත ස්වරාජ්‍ය  ඉල්ලා සිටියහ.  තීරණාත්මක දේශපාලන උරගා බැලීම  කෙරුනේ  සර්වජන ඡන්ද බලය පිළිබඳ ප්‍රශ්නය  උඩයි. මේ ප්‍රශ්නය මුල් කරගෙන රැඩිකල්වාදීහු ලංකා ජාතික සංගමයෙන් කැඩී වෙන් වී  ලංකා කම්කරු පක්ෂය  පිහිටු වූහ. කම්කරු  ප්‍රශ්න ගැනද  මත භේදය  ඒ සමානම තියුණු විය.

තමන් ආභාෂය ලැබුවේ කුමන විදේශීය ව්‍යාපාරයන්ගෙන්ද යන්න මධ්‍යස්ථවාදීන් හා රැඩිකල්වාදීන් අතර පැවැති තවත් වෙනසකි.  මධ්‍යස්ථවාදීන්  බ්‍රිතාන්‍ය  ලිබරල්වාදය හා ඉන්දීය ජාතිකවාදී ව්‍යාපාරයේ ගතානුගතික  අංශය ගුරු කොට  සැලකූ අතර රැඩිකල්වාදීහු  ඉන්දීය “සීමාන්තිකයන්”  හා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය  ගුරු කොට ගත්හ. ඇත්ත වශයෙන්, තම දේශපාලන හා වෘත්තීය  සමිති වැඩකටයුතුවලදී පමණක් නොව තම මුළු දෘෂ්ටිය සම්බන්ධයෙන්ද ලාංකීය   රැඩිකල්වාදීන් කෙරෙහි බලපෑවේ බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය   සමග වූ මේ  සම්බන්ධයයි. ආසියාවේ   බොහෝ ප්‍රදේශවල  මාක්ස්වාදයට අනුගාමිකත්වයක් වැඩි වැඩියෙන් ලැබෙමින් පැවති වකවානුවකදී නව සිය විසි ගණන්වල ලාංකීය රැඩිකල්වාදීහු ප්‍රධාන වශයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීමය දර්ශනයක රැඳී සිටියහ. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමග වූ සිය සබඳකම් ලංකාවේ කම්කරු  ව්‍යාපාරයට  හා එහි නායකයන්ට ප්‍රයෝජනවත් විය.

නව සිය විසි ගණන්වල රැඩිකල්වාදී වෘත්තීය සමිති නායකයන්  ඊට පෙර කාලයේ එබඳු නායකයන්ට වඩා වෙනස් වූයේ මොන අන්දමින්ද? එක් කැපී පෙනෙන වෙනසක්  නම්, දේශපාලනය පමණක් නොව දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය ද ආගම වෙන් කිරීමයි. නව සිය විසි ගණන් වන විට, ඊට කලින් වකවානුවකදී  නාගරික  කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමීන් වූ බෞද්ධ  නායකයන්ගේ ස්ථානය  අලුත් පරම්පරාවක  රැඩිකල්වාදීන්  විසින් ගෙන තිබුණි. ඒ. ඊ. ගුණසිංහ සහ ජෝර්ජ් ඊ. ද සිල්වා වැනි ඉන් ඇතැමෙක් බෞද්ධයෝ වූහ. එහෙත් වික්ටර් කොරෙයා, සී. එච්. ඉසැඩ්  ප්‍රනාන්දු  සහ වැලන්ටයින්  පෙරේරා වැනි  තවත් අය ක්‍රිස්තු  භක්තිකයෝ වූහ. අපරදිග නොවන ආගම තව දුරටත් දේශපාලනයේ රැඩිකල්වාදය පිළිබඳ එක් මිනුම් දණ්ඩක් නොවූ වද එය ශක්තිමත්   ගාමක බලයක් ලෙස පැවතිණ. නව සිය  විසි ගණන්වල කම්කරු ව්‍යාපාරයේ  ඉතාම ජංගමශීලී පුද්ගලයා වූ ඒ. ඊ. ගුණසිංහ බෞද්ධ අධ්‍යාපනික  පසුබිමක් තිබූ තැනැත්තෙකි. ඔහු කම්කරු  සටන්වල   උග්‍ර අවස්ථාවල දී පවා නගරබද  කම්කරුවන්ගේ බෞද්ධ හැඟීම් ඇවිස්සුවේය. නවසිය  විසි ගණන්වල වතුකරයේ කම්කරු නායකයා ද හින්දු ආගමික නැඹුරු වීමක් ඇතිව සිටි පුද්ගලයෙකි. එහෙත් තම නායකත්වය අනුගමනය කළ කම්කරුවන්ගේ ආගම්වලට අනුරූපි වූ ආගමික විශ්වාසයන්  ඇතිව සිටි ඒ. ඊ. ගුණසිංහ සහ කේ. නාකේස් අයියාර්, ප්‍රධාන වශයෙන්ම ආගමික  අභිවෘද්ධියට හෝ ක්‍රිස්තියානි විරෝධී ප්‍රචාරයට වඩා ජාතිකවාදී  දේශපාලනය හා වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන සැලකිලිමත්වූ, ලෞකික නායකයෝ වූහ.

ඉඩම් හිමියන් වූද, වෘත්තීය බුද්ධීමතුන් වූද,  එමෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ අයිතිවාසිකම  සමග නොගැටුණු  ආර්ථික අයිතිවාසිකම් ඇතිව සිටියා වූද,  ලාංකීය මධ්‍යස්ථවාදීන්  බොහෝ විට රැඩිකල්වාදීන්ට විරුද්ධව පාලන අධිකාරීන්ගේ පැත්ත ගත් බැව් සඳහන් කිරීම ප්‍රයෝජනවත්ය.  සටන්කාමී වෘත්තීය සමිති කටයුතුවලට විරුද්ධව තම අදහස් පළ කළ මධ්‍යස්ථවාදී නායකයෝ “වගකීමෙන් තොර” රැඩිකල්වාදීන්  ගැන චෝදනා  මුඛයෙන් කථා කළහ.

එසේ වුවද, අධිරාජ්‍යවාදය කෙරෙහි වූ ආකල්ප අතින් මත භේද  තිබුණද රැඩිකල්වාදීන් සහ මධ්‍යස්ථවාදීන්  යන දෙගොල්ලන්ම ධනවාදී   රාමුව පිළිගත් බැව් සඳහන් කළ යුතුය. රැඩිකල්වාදීහු විකල්ප  සමාජ සංවිධානයක්   වශයෙන් සමාජවාදය  ඉදිරිපත් නොකළහ. ලංකා කම්කරු පක්ෂය  කිසිදාක සමාජවාදී   පක්ෂයක් ලෙස ඉස්මතු නොවීය. 1930  ගණන් දක්වා   ධනවාදී  ක්‍රමය බිඳහෙළිය  යුතුය යන්න කම්කරුවන්ට අවබෝධ  නොවූයේ එතෙක්  ඔවුන්ගේ පන්ති හැඟීම දියුණු නොවී තිබූ නිසාය.  එහෙත් මේ  කාලයේදී,  ධනවාදීන්ගේ වුවමනාවනට පටහැනිව තම පන්ති අයිතිවාසිකම් වෙනුවෙන්  නැගී සිටීම අතින් නගරබද  කම්කරු පන්තිය විශාල ඉදිරි පිම්මක් පැන්න බැව් සැලකිල්ට ගැනීම වැදගත්ය.

1933 දක්වා වූ කාලයේදී පන්ති හැඟීම  ප්‍රදර්ශනය වූයේ කෙසේද? 1933  දක්වා අවුරුදුවලදී හටගත් වැඩවර්ජන හා සටන්, පන්ති හැඟීම අනුව තේරුම්  කළ නොහැකි  හුදකලා සිද්ධීන් යයි පෙන්වීමට අද ඇතැම් ප්‍රතිගාමී  ඉතිහාසඥයෝ වෑයම් දරති. ලංකාවේ කම්කරු  පන්තිය, ජාති, භාෂා, ආගම් හා කුල අනුව බෙදී සිටි බැව්ද, එම නිසා  ඔවුනොවුන් සමග ප්‍රතිඵලදායී   ලෙස එක්සත් වීමට හෝ වෙනත්  ජාතියක නැත්නම් කුලයක   පුද්ගලයකුගේ  නායකත්වය යටතේ එක්සත්   වීමට හෝ නුපුළුවන් වූ බැව් ද  ඔව්හු  තර්ක කරති.  නමුත් සත්‍යය කුමක්ද? කම්කරු  පන්තියට මේ සියලු භේද  අබිභවා ගෙන වෘත්තීය සමිති තුළ  එක්සත් වීමට පුළුවන් වූ විශිෂ්ට අන්දම  ඒ මුල් කාලයේ  කම්කරු පන්ති ව්‍යාපාරයේ  ඉතිහාසයෙන් වුව පෙන්නුම් කරන බවයි.

ලබා ගත හැකි හැම සාක්ෂියකින්ම ඔප්පු කැරෙන්නේ විසි ගණන්වලදී කම්කරු පන්ති සහයෝගිතාව හා පන්ති හැඟීම පුදුමාකාර  ලෙස සංවර්ධනය  වූ  අන්දමයි. මේ කාලයේදී, පුද්ගලික අංශයේත් රාජ්‍ය අංශයේත්  සියලු ජාතීන්ට  අයත් නාගරික  කම්කරුවෝ විශාල සංඛ්‍යාවක්  ලංකා කම්කරු සංගමයට   බැඳුනෝය. ආර්ථිකයේ ප්‍රධාන අංශවල, එනම් (දුම්රිය, ට්‍රැම්රථ, මෝටර්කාර් යනාදී) ප්‍රවාහන සේවයේත්, වරායේත් කොළඹ නගරයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවලත් කම්කරුවන් අතර බලගතු  සමිති ව්‍යාපාරයක් වර්ධනය වනු දක්නට තිබිණ. එමෙන්ම, ඉංජිනේරු කම්කරුවන්, මුද්‍රණ  කම්කරුවන් හා හෝටල්  සේවකයන්ද, ආණ්ඩු දෙපාර්තමේන්තුවල, නගර සභාවේ හා පුද්ගලික  අංශයේ ෙදෙනික වැටුප් ලබන කම්කරුවන්ද, යනාදීන් අතරට වෘත්තීය සමිති ව්‍යාපාරය පැතිරෙනු දක්නට තිබිණ.

කම්කරුවන් අතර පන්ති හැඟීම වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ  අයිතිවාසිකම් දිනා  ගැනීම  සඳහා පන්ති සංවිධාන  ගොඩ නැගීම් අවශ්‍යතාව අවබෝධ  කර ගැනීමට ඒ. ඊ. ගුණසිංහ සමත් වූ බවයි. මේ අනුව බලන කල කම්කරු පන්තිය විසින්  ඓතිහාසික ජයග්‍රහණ රැසක් ලබා ගන්නා ලද විසි ගණන්වල ආර්ථික අරගල  සාර්ථක ලෙස මෙහෙය වීමට ඔවුන් සමත් වී ඇත. කම්කරු පන්තියේ  වර්ධනයේ  එක්තරා මට්ටමකදී. එනම් තමන් ධනපති පන්තියේ වුවමනාවනට පටහැනි පන්තියක්ය  යන්න කම්කරුවන් අවබෝධකර ගන්නා අවධියේ දී ඔහු කම්කරු  පන්තියේ අපේක්ෂාවන්   සාර්ථක ලෙස නියෝජනය කළේය.

එහෙත් ඔහු සමත් වූයේ මේ අවධිය  කරා සටන ගෙන යාමට පමණකි. පැවති තත්ත්වය වෙනස් වූ විට කම්කරුවන් විප්ලවීය ශක්‍යතාවක් දැක්වීමට  පටන් ගත් විට හා ධනවාදී ආර්ථික  අර්බුදය  කරණ කොට ගෙන රට දරිද්‍රතාවට මුහුණ පෑ විට – නිවැරදි න්‍යායික  නායකත්වය සැපයීමට ගුණසිංහ අ‍පොහොසත්  විය. තම පීඩනයට  නිධාන වූ මූලික හේතුව  කුමක්ද  යන්නත්, අධිරාජ්‍යවාදයට  හා ධනවාදී  සූරාකෑමට විරුද්ධ අරගලයේදී තමන්ගෙන් ඉටු විය යුතු ද්විත්ව  කාර්යය කුමක්ද යන්නත් කම්කරුවන්ට පෙන්වා දීමට ඔහු  අසමත් විය.  අර්බුදයකට මුහුණ පෑ  ඔහු ඉන් මිදීමට  තැත් කළේ කම්කරුවන්  ජාතිභේදවාදී  මගකට යොමු කිරීම මගිනි.  මේ වැරදි ප්‍රතිපත්තියේ ඵලවිපාක  භූක්ති වීඳීමට  ඔහුට සිදු විය. සූරාකෑමෙන් යුතු ආර්ථීක ක්‍රමයක් බිඳ හෙලීම සඳහා දේශපාලනමය වශයෙන් කම්කරුවන් සංවිධානය කිරීමට ඔහු අසමත් විය. එමෙන්ම ඔවුන්ට   සමාජවාදය සඳහා සටන්  කිරීමේ අවශ්‍යතාව  පෙන්වා දීමට ද ඔහු අසමත් විය.

කම්කරු හා දේශපාලන ව්‍යාපාරවල මුල් කාලයේ සංවර්ධනයක් පසු කාලයේ සිද්ධීන්ගේ රටාව කෙරෙහි   තීරණාත්මක ලෙස බල පා ඇත.  නිදසුනක් වශයෙන්. අට සිය අසූ ගණන්වල ආගමික පුනර්ජීවය, බෞද්ධ අධ්‍යාපන ව්‍යාපාරය  සහ නව සිය විසි ගණන් වල දේශපාලන හා වෘත්තීය සමිති අරගල  යන මේවා ඉන් පසු වකවානුවලදී නොයෙකුත් ප්‍රථිඵල බිහි කළ සිද්ධීන් විය.  දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයනට හුරුපුරුදු වීම, දේශපාලන හා වෘත්තීය   සමිති සටන් ව්‍යවස්ථානුකූල, මාර්ග  ඔස්සේ කර ගෙන යෑම, ලිබරල්වාදී දෘෂ්ටියේ බලපෑම, ආගම හා දේශපාලනය  අතර සමීප සබඳකම්  යන මේවා. 1930  න් පසු කාලයේ ශ්‍රී ලංකාවේ   දේශපාලන ඉතිහාසයේ ලක්ෂණයන්ගෙන් කීපයකි.  එබැවින් වඩා සමකාලීන  ඉතිහාසය ලියැවෙන දිනෙක, ආගම, දේශපාලනය හා කම්කරු ව්‍යාපාරය අතර අන්තර්  සම්බන්ධය  පිළිබඳව කලින් වකවානුවකදී පැවති රටාවන් කිසියම් වැදගත්  කමකින් යුතු වනු ඇත.

ආචාර්ය කුමාරි ජයවර්ධන
kumari jayawardena

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply