sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » මඩු වලිගය ගත යුත්තේ පරිසරය විනාශ කරන උන්ටය

1854 දී ඇමෙරිකානු ජනාධිපතිවරයාව සිටියේ ෆ්රෑන්ක්ලීන් පියර්ය. මේ කාලයේ යුරෝපීයන්ගෙන් ස්වදේශික ඇමෙරිකානුවන්ට මහත් හිරිහැර අත්විය. මෙම තත්ත්වය පාලනය කිරීමට පියර් ජනාධිපතිවරයා පියවර ගත්තේය. ස්වදේශික රතු ඉන්දියානුවන් සතු ඉඩම් සුදු මිනිසුන්ට විකුණන ලෙස රතු ඉන්දියානු නායක සියැටෙල් වෙත හසුනක් එවන ලදී. ඊට රතු ඉන්දියානු නායක සියැටෙල් යවන ලද ලිපිය පරිසරය පිළිබඳ ඉදිරිපත්ව ඇති සාරගර්භම ලේඛනය ලෙස හැඳින්විය හැකිය. මෙහි පරිසරයත්, මිනිසාත් අතර ඇති සමීප අන්තර් සම්බන්ධතාව පිළිබඳව ගැඹුරු විවරණයක් ඉදිරිපත් කර ඇත.

අපි පෘථිවියේ කොටසකි. මුවෝ, රාජලියෝ හා අශ්වයෝ අපේ සොහොයුරෝය. ගිරි මුදුන්වල සිට තණබිම් අතරින් ගලා බස්නා ගංගාද, අශ්වයාගේ හා මිනිස් සිරුරේ උණුසුම මේ හැමදේම එකම පවුලකි.*
එදා ඇමෙරිකාවේ ස්වදේශික ජනතාවට සුදු මිනිසුන්ට තමන්ගේ ඉඩම් ලබා දීමට සිදු විය. අවසානයේදී පරිසර පද්ධති සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. අද ලංකාවේ තත්ත්වයද එසේමය. මේ දිනවල රටේ පරිසරය ගැන බොහෝ කතාබහක් ඇති වී ඇත. ඒ අමාත්‍යවරු දෙදෙනෙකු නකල්ස් රක්‍ෂිතයේ ඇති ඉඩම් අක්කර 21,000ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා සමාගමකට මෙන්ම තම හිතවතුන්ට මුදා හැරීමට කටයුතු කිරීමය. මෙසේ නකල්ස් රක්‍ෂිතයෙන් සංවර්ධනය සඳහා හෝ ජනතාවට බෙදා දීමට ඉඩම් මුදා හරින්නේ නම්, එම දේශපාලඥයන් දෙදෙනාට මොළේ කලඳක්වත් නැති බව කිව යුතුය.

ලෝකයේ පරිසර සංරක්‍ෂණය ගැන කතා කරන්න පටන් ගත්තේ 70 දශකයේ මුල්භාගයේ සිටය. අපේ රට පාලනය කළ ඉංග්‍රීසි කළේද, වන ගහනය විනාශ කර දැමීමය. ඉංග්‍රීසින් යාල සහ විල්පත්තුව පවත්වාගෙන ගියේ තමන්ට දඩයම් කිරීමට වූ දඩයම් භූමි ලෙසය. වනජීවී දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගියේ දඩයමේ යන සුද්දන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටය. එමෙන්ම සුදු ජාතිකයන්ගේ සංවර්ධන ක්‍රම නිසා අපේ රටේ වන ගහනය එන්න එන්නම අඩු වන්නට විය. යටත් විජිත රටවල වන සම්පත විනාශ විය. එම කාලය වන විට විදේශිකයන් පරිසර සංරක්‍ෂණය ගැන කතා කළේ නැත. විශේෂයෙන්ම කාර්මික විප්ලවයත් සමග පරිසර දූෂණය එන්න එන්නම වැඩි විය. පරිසරය සංරක්‍ෂණය කළ යුතු බව විදේශිකයන්ට දැනෙන්නේ අධිකව සම්පත් ක්‍ෂය වන විටය. එමෙන්ම ජීවීන් වඳ වීම, වනාන්තර විනාශ වීමත් සමගය. විදේශිකයන් පරිසර සංරක්‍ෂණය කරන්න උත්සාහ කරන විට තවමත් ලංකාව ගමන් කරන්නේ විදේශිකයන්ගේ පරිසර විනාශ කරන සංවර්ධන ක්‍රම සමගය.

නකල්ස් රක්‍ෂිතය සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දෙන්න යෑමද එවැනි අඥාන කටයුත්තකි. මෙරට දේශපාලඥයන්ගේ මොළගෙඩි කෙතරම් ළාමකද යන්න ඉන් තේරුම්ගත හැකිය. ඕනෑම රටක හදවත බඳු වන්නේ කඳුකර වනාන්තරයි. ලංකාවේ හදවත බඳු වන්නේ මධ්‍යම කඳුකරයයි. ජල මූලාශ්‍රයන්, දේශගුණික හා කාලගුණය තීරණය කරන මුඛ්‍යතම සාධකය මධ්‍යම කඳුකරයයි. මේ හදවත බඳු මධ්‍යම කඳුකරය විනාශ කිරීම තුළින් මුළුමහත් ජනතාවටම හානි සිදු වන බව නොදන්නා දේශපාලඥයන් කරන්නේ රටටත්, ජනතාවටත් මහත් වූ විපතකි. මධ්‍යම කඳුකරය විනාශ කිරීමත්, ගංගාධාර වනාන්තර විනාශ කිරීමත් නිසා අද වන විට ලංකාව ස්වාභාවික අනතුරුවලින් ඉහළ රටක් බවට පත්වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ප්‍රථම වරට ලංකාවට පොකුරු ගංවතුර හා පොකුරු නායයෑම්වලට ලක්වන්නට සිදු වූයේ මේ සිදු කරන පරිසර විනාශය නිසාය. ලංකාවේ ගංගාධාර වනාන්තර දැන් නැත. ගංගා දෙපස දැන් වැඩියෙන්ම ඇත්තේ හෝටල්ය. නැතිනම් නිවාසය.

දේශපාලඥයන්ගේ රැකවරණයෙන් පරිසර නීති තුට්ටුවකට හෝ මායිම් නොකරමින් ඇතැම් පිරිස් ගංගා අවට ඉඩම් මංකොල්ල කති. ව්‍යාපාර ආරම්භ කරති. එමෙන්ම නිවාස හදති. අද වන විට කැලණි ග‍ඟේ ගඟ රක්‍ෂිතයක් නොමැත. ඒවායෙහි ප්‍රතිඵල දැන් ජනතාව භූක්ති විදිති. ගඟ රක්‍ෂිත විනාශ කිරීමෙන්, පාංශු ඛාදනය වැඩි වීමෙන් ගඟේ ධාරිතාව අඩු වී සුළු වර්ෂාවකදී පවා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරය තවත් විනාශ වුවොත් ලැබෙන ප්‍රතිඵල තවත් දරුණු වනු ඇත.

මුළු ලෝකයම වනාන්තර ආරක්‍ෂා කර ගනිමින් වන වගාව වැඩි කිරීමට කටයුතු කරද්දී මෙරට පිරිස් කරනු‍යේ තිබෙන වනාන්තරද නැති කර ගැනීමය. 1930 වන විට ලංකාවේ වන ගහනය 52%කි. අද වන විට එය 17%ක් දක්වා අඩු වී ඇත. තවත් දෙයක් සඳහන් කළ යුතුය. ඕනෑම වනාන්තරයක ප්‍රේරක කලාපයක් (Buffer zone) ඇත. අද වන විට මේ ප්‍රේරක කලාපයද මිනිසුන් ආක්‍රමණය කර ඇත. ප්‍රේරක කලාප අල්ලාගෙන ඉන්න පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් දේශපාලඥයන් හෝ ඔවුන්ගේ ආධාරකරුවන්ය. මෙහිදී එක් කරුණක් මතක් කළ යුතුය. සිංහරාජ වනාන්තරයේ ප්‍රේරක කලාපය තවත් කිලෝමීටර් 05ක් ඉස්‍සරහට ගෙනාවේ එවකට ඉඩම් ඇමති රාජිත සේනාරත්නය. ඔහු කළ ක්‍රියාව ඇගයිය යුත්තකි.

මෙරට පරිසර අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීය. මෛත්‍රී ජනාධිපතිවරයා මේ දවස්වල ටිකක් සැරය. මේ සැර පාවිච්චි කර පරිසර හිතකාමී දෙයක් කරන්නට පුළුවන් නම් තවත් හොඳය. මෛත්‍රී කීවේ, ලංකාවේ වන ගහනය 35%ක් දක්වා වැඩි කරන බවය. කසළ තේ අපනයනය කර ලෝකයේ නම විනාශ කරගත් පසු ලංකාවේ තේ ඉල්ලුම අඩු විය. ඒ නිසාවෙන් තේ වතු අක්කර ලක්‍ෂයක් පමණ තේ වගා නොකර අත්හැර දමා ඇත. මේ අක්කර ලක්‍ෂය වනාන්තර ලෙස වගා කළ හැකිය. ලෙහෙසි කටයුත්තක් ලෙස ෆයිනස් ගස් සිටුවනවා වෙනුවට වඩා වැදගත් ශාක සිටුවීමට හැකිනම් එය ඉතා වැදගත්ය. එමෙන්ම කැබිනට් අනුමැතිය සඳහා නකල්ස් විනාශ කරන ව්‍යාපෘතිවලට අනුමැතිය ගැනීමට පැමිණයහොත් ජනාධිපතිවරයා මෙන්ම පරිසර ඇමතිවරයා ලෙස මෛත්‍රී කළ යුත්තේ එවැනි පත්‍රිකා ගෙන ඒමෙන් පරිසරය විනාශ වුවහොත් රටට අවැඩක් වෙනවා යැයි තේරුම් ගත නොහැකි ළාමක මොළ ඇති ඇමතිවරුන්ට මඩු වලිගයෙන් තලා එම කැබිනට් පත්‍රිකා විසිකර දැමීමය.

අප්‍රිකාවේ %Banana Republic^ (බනානා රිපබ්ලික්) ලෙස හඳුන්වන රාජ්‍ය ඇත. එහි අගමැතිවරු මෙන්ම කැබිනට් මණ්ඩල තිබුණද, රට පාලනය කරනුයේ කෙසෙල් වතු හිමියන්ය. අපට තව Banana Republic එකක් වන්නට වුවමනා නැත. විවිධ බහුජාතික සමාගම්වලට, දේශපාලන හිතවතුන්ට අභිමත අයුරින් නැටීමට දිය නොහැකිය. එබැවින් මෛත්‍රී පරිසර ඇමති මෙන්ම ජනාධිපතිවරයා ලෙස මැදිහත්ව පාරිසරික විනාශය වැළැක්වීමටත්, වනාන්තර වගාව ආරම්භ කිරීමටත් පුළුවන. පරිසර විනාශ කරන පිරිස්වලට මඩු වලිගය අතට ගතහොත් ඔහුට ජනතාවගේ ආදරයද හිමිවනු ඇත. සියැටෙල් පැවසුවාක් මෙන් පරිසරයට හානි කිරීමෙන් අපි නැතිකර ගනුයේ අපේම පවුල බව සිහි තබා ගත යුතුය.

නිපුන් ඒකනායක

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply