sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » වැරදුණේ කොතැනද? - වික්ටර් අයිවන්

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිතුවක් කාරී, දූෂිත, පීඩාකාරී හා භේදවාදී පාලනය පරාජය කොට බලයට පත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව මහජනයාට අලූතෙන් කිසිවක් නොදුන්නා වුවද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ දේශපාලන සංසිද්ධියට ලැබෙන ඓතිහාසික වැදගත්කම නැතිවන්නේ නැත. එය අනියම් ලෙස ඇති කළ එක් වැදගත් ප‍්‍රතිඵලයක් වනුයේ අශීලාචාර මාවතක ගමන් කරමින් තිබූ රටේ ගමන් මග ශීලාචාර මාවතකට තල්ලූ කිරීමය. එය ආපස්සට හැරවිය නොහැකි ඓතිහාසික ක‍්‍රියාදාමයක් ලෙසද සැලකිය හැකිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම ජනාධිපතිවරණය නැවත ජයගැනීමට සමත් වී නම් විය හැකිව තිබූ නරක දේවල් අතර තිබූ නරකම දේ ලෙස සැලකිය හැක්කේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තනි තනිව හෝ එකට එකතු වී ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවීමය. එය එසේ වී නම් ලංකාව පහසුවෙන් ජයගත නොහැකි කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙන්නට ඉඩ තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂද ඒ බව දැන සිටියේය. ඔහු ඉක්මන් ජනාධිපතිවරණයකට යොමුවූයේද එවැනි තත්ත්වයක් ඇතිවන්නට පෙර තමන්ගේ දේශපාලන ආධිපත්‍යය තහවුරු කරගැනීම අවශ්‍යවේයැ’යි කල්පනා කළ නිසාය. ඒ අර්ථයෙන් ඉක්මන් ජනාධිපතිවරණයක් සඳහා ජනාධිපතිවරයාට ඇතිවූ දේශපාලන තෘෂ්ණාව රටේ ජනතාවගේ වාසනාවට ඇතිවූ තෘෂ්ණාවක් ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම නිසා ලංකාවේ ජනතාවට ඊළඟට ලැබුණු වැදගත්ම දායාදය ලෙස සැලකිය හැක්කේ අන්තර්ජාතික සම්බාධක පනවන තත්ත්වයෙන් ලංකාව නිදහස් වීමය.

ඇතිවූ දේශපාලන පරිවර්තනයේ ලොකු චිත‍්‍රය වර්ණවත්ය. එහෙත් ඊට වෙනස්ව පොඩි චිත‍්‍රය අවුල්සහගතය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන්ගේ පාලනය පිළිබඳ යථා තක්සේරුවක් නොතිබීම ඔහුගේ පරාජය කෙරෙහි බලපෑ එක් වැදගත් සාධකයක් වීයැ’යි කිව හැකිය. දැන් එයම ජයග‍්‍රාහී අනුප‍්‍රාප්තික ආණ්ඩුවේ ඉදිරි ගමන අවුල් කිරීමට හේතුවී තිබෙන ප‍්‍රබල සාධකයක් වී තිබේ.

යෝධයා පරාජය කිරීමට සිහින දැකීම

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ සංසිද්ධිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යෝධයකු බවට පත් කොට අන් සියලූ ප‍්‍රතිපක්ෂ නායකයන් අඟුටුමිට්ටන් බවට පත්කිරීමට හේතු විය. ඒ සමග යෝධයකුට තිබෙන උද්දච්චකම ජනාධිපති මහින්ද රාජපක්ෂටද තිබුණේය. යෝධයකු ඉදිරියේ අඟුටුමිට්ටන්ට තිබෙන හීනමානය අන් ප‍්‍රතිපක්ෂ නායකයන්ටද තිබුණේය. මේ දෙපක්ෂය අතර තිබූ මහා පරතරය නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හරි වැරදි කුමක් වුවත් ඔහු ප‍්‍රතිපක්ෂ අඟුටුමිටි නායකයන්ට පරාජය කළ නොහැකි අනභිභවනීය නායකයකු ලෙස සලකන තත්ත්වයක් මහජනතාව අතරද තිබුණේය.

දේශපාලන සමාජය වසාගෙන පැවති එම හීනමානයට එරෙහිව මතුපිටින් බලන විට ඉතා ආකර්ෂණීය දේශපාලන සූත‍්‍රයක් ඉදිරිපත් කරන සමාජ ව්‍යාපාරයක් පසු කලෙක මතුවිය. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයයි. එම ව්‍යාපාරය කීවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ජනාධිපති ක‍්‍රමය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සමග තරගයට දේශපාලන නායකයකු වෙනුවට මහජනයාගේ පිළිගැනීමට හේතුවන ස්වාධීන පුද්ගලයකු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවය. මහින්ද විරෝධී සියලූ දේශපාලන පක්ෂ එම පොදු අපේක්ෂකයාට සහාය දිය යුතු බවය. පොදු අපේක්ෂකයාගේ එකම අරමුණ විය යුත්තේ සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට 17 වැනි සංශෝධනය නැවත බලගැන්වීමය. ඒ මගින් 17 වැනි සංශෝධනය යටතේ ඇති කර තිබූ ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය නැවත පණගැන්වීමය. මෙම සීමිත අරමුණ වෙනුවෙන් සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක්ද මෙම ව්‍යාපාරයට තිබුණි. එම කෙටුම්පතේ කෙටුම්පත්කරුවා ලෙස ක‍්‍රියාකර තිබුණේ වර්තමානයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සම්පාදන විෂයේ ප‍්‍රධාන උපදේශක ලෙස ක‍්‍රියාකරන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නය.

සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ සීමා

ජනාධිපති ක‍්‍රමයට එරෙහිව මහජන මතයක් ගොඩනැගීමෙහිලා මාදුළුවාවේ සෝභිත හිමියන් හා ඒ හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ඉටුකරමින් තිබූ කාර්යභාරය ගැන මා තුළ විශාල ප‍්‍රසාදයක් තිබුණද මහින්ද රාජපක්ෂ පරාජය කොට දේශපාලන ක‍්‍රමයේ විපර්යාසයක් ඇති කිරීම පිණිස එම ව්‍යාපාරය ඉදිරිපත් කළ සූත‍්‍රය ආරම්භයේ සිටම මාගේ බලවත් විවේචනයට හේතුවිය. ඒ ගැන ලියන විවේචනය දීර්ඝ ලිපි පෙළක් බවට පත්වී අවසානයේ එම ලිපි එකතුව ‘නව ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය’ යන තේමාව යටතේ පළකෙරෙන පොතක් බවටද පත්විය. දැන් ඇතිවී තිබෙන අවුල්සහගත තත්ත්වය හොඳින් තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් වන නිසා ඒ ගැන මා පළකරන ලද විවේචනයට ඇතුළත් මූලික තර්ක නැවත සලකා බැලීම ඇතිවී තිබෙන අවුල්සහගත තත්ත්වය තේරුම් ගැනීම සඳහා ප‍්‍රයෝජනවත්ය.

1. එම ව්‍යාපාරය ඉදිරිපත් කරන ලද සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ‘ජාතිය ගොඩනැගීම පිළිබඳ ප‍්‍රශ්නය’ ඇතුළත් නොවීය. ¥ෂිත හිතුවක්කාරී අශීලාචාර පාලන ක‍්‍රමයක් ඇතිවීම කෙරෙහි ජනාධිපති ක‍්‍රමය අතිරේක සාධකයක් ලෙස බලපා තිබුණද, එවැනි තත්ත්වයක් ඇති කිරීම කෙරෙහි ප‍්‍රධාන සාධකය ලෙස බලපා තිබුණේ ජාතිය ගොඩනැගීමට අසමත්වීම තුළ ඇතිවී තිබුණු වර්ග, ආගම් හා කුල වශයෙන් වර්ධනය වූ භේදයන්ය. එම මූලික ප‍්‍රශ්නය නොසලකා ඉදිරිපත් කරන කිසිදු විසඳුමක් රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් නොවන බවත් ඒ නිසා එම අර්බුදයට විසඳුමක් ලැබෙන ආකාරයට විධිමත් ලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගන්නා තැනකට අප යායුතු බව මගේ මතය විය.

2. පොදු අපේක්ෂකයා පිළිබඳ ප‍්‍රශ්නයේදී එම ව්‍යාපාරය එක හඬින් පෙනී සිටියේ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පක්ෂ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති සියලූ දෙනාගේ පිළිගැනීමට හේතුවන නිර්පාක්ෂිකයකු විය යුතු බවය. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වෙත පවරා දී තිබුණු වගකීම වූයේ තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති සතු බලතල අහෝසි කොට තිබුණු 17 වැනි සංශෝධනය යළි බලගැන්වීමය. එම කාර්යය හයමාසයක් තුළ සම්පූර්ණ කොට පොදු අපේක්ෂකයා තනතුරෙන් ඉවත් වී ගෙදර යා යුතුය. ඒ ගැන වන මගේ විවේචනය වූයේ වැදගත් වනුයේ පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පළමුවෙන් තීන්දු කිරීම නොව සරල ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමේ වැදගත්කම පිළිගනිමින් එම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු මූලධර්ම හඳුනා ගනිමින් එම මූලධර්ම සඳහා විරුද්ධ පක්ෂ අතර පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් ඉන්පසු ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකුත්, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොදු අපේක්ෂක ලැයිස්තුවකුත් හඳුනාගැනීම බවය. සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ජනාධිපතිවරයාට පමණක් සීමාකිරීම ගැනද මම විවේචනය කළෙමි. එසේම පොදු අපේක්ෂකයා ජයගත්තත් පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ පරාජිතයාගේ පක්ෂයට වීම නිසා වැරදිලාවත් එම පක්ෂය සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට අවහිර කරන තැනකට ගියහොත් ඊට දෙන විසඳුම කුමක්දැ’යි මම ප‍්‍රශ්න කළෙමි. ඒ ප‍්‍රශ්නයට ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න දෙන ලද පිළිතුර වූයේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන වැඩසටහනට සහාය දෙන බව තමන්ට හොඳටම විශ්වාස බවය.

අරාජිකත්වයක් වෙනුවට අවුල්සහගත තත්ත්වයක්

අවසානයේ පොදු විපක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් පසු තමන්ගේම වැඩසටහනක් ඉදිරිපත් කරනවා වෙනුවට රටට ඉදිරිපත් කළේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ඉදිරිපත් කළ වැඩසටහනය. එයට අලූත් අංග කිහිපයක් එකතු කර තිබුණද වැඩසටහනේ සාරය එක සමාන විය.

රටේ මොනයම් හෝ වාසනාවකට පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට ආවේ දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන පුද්ගලයකු නොව දේශපාලන පුද්ගලයෙකි. ස්වාධීන පුද්ගලයකු ජයගත්තේ නම් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කොන්දේසි අනුව ඔහු හයමාසය සම්පූර්ණවීමෙන් පසුව තනතුරෙන් ඉවත් වී ගෙදර යායුතුව තිබුණේය. ජයග‍්‍රාහී පොදු අපේක්ෂකයා ස්වාධීන පුද්ගලයකු නොවන නිසා ඔහු හය මාසයක කාලය සම්පූර්ණ වීමෙන් පසු තනතුරෙන් ඉවත් වී ගෙදර යන්නේ නැත. ඒ වෙනුවට අවුරුදු 5ක් තනතුරේ රැුඳී සිටීමට අපේක්ෂා කරයි. වැදගත්ම දේ ජයග‍්‍රාහකයා තමන් ලැබු ජයග‍්‍රහණයෙන් පසු ශ‍්‍රීලනිපයේ නිල නායකයා බවට පත්ව සිටියදීත් සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ශ‍්‍රීලනිප එකඟ කරවා ගැනීමට සමත් නොවීමය. මෛත‍්‍රීපාල වෙනුවට දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන පුද්ගලයකු ජයගත්තේ නම් විය හැකිව තිබුණේ ශ‍්‍රීලනිප ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය නොදීම හා තේරී පත්වූ පුද්ගලයාට හයමාසයක කාලය සම්පූර්ණ වීමෙන් පසු තනතුර අතහැර ගෙදර යන්නට සිදුවීම නිසා රට පූර්ණ අරාජික තත්ත්වයකට තල්ලූවීමය. එහෙත් දැන් අප ඉන්නේ පූර්ණ අරාජික තත්ත්වයක නොව පූර්ණ අවුල්සහගත තත්ත්වයකය. එය තෝරාගත් වැඩසටහන ප‍්‍රායෝගික නොවීම හා ඒ ආශ‍්‍රයෙන් ගොඩනගා ගෙන තිබෙන චින්තනයට ආවේණික අවුල්සහගතභාවයේම ප‍්‍රති ඵලයක් ලෙස සැලකිය හැකිය.

මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල ශ‍්‍රීලනිපයේ නිල නායකත්වයට පත්වුවද ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට ක‍්‍රියාත්මක කිරීමට ඉඩදෙන්නට ශ‍්‍රීලනිප කැමති වූයේ නැත. ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම අතර ප‍්‍රවණතා තුනක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එක් ප‍්‍රවණතාවක් මෛත‍්‍රීපාලට පක්ෂය. තවත් ප‍්‍රවණතාවක් මහින්දට පක්ෂය. මේ දෙපැත්තටම නැති තුන්වැනි පිරිසක්ද එහි සිටින්නේය. ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට සහයෝගය දෙන බව කීවද සහයෝගිතාව සඳහා ඉදිරිපත් කරන කොන්දේසි ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ දර්ශනයට පටහැනිය. ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට ශ‍්‍රීලනිප විරුද්ධය. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ එය ප‍්‍රතිසංස්කරණය කිරීමය. ඔවුන් යෝජනා කරන්නේ ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුත් ජනාධිපතිවරයා තෝරා පත්කරගත යුත්තේ ජාතික මට්ටමෙන් පැවැත්වෙන මැතිවරණයකින් විය යුතු බවය. ආණ්ඩුවට යට නොවී ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අනියම් ලෙස පාලනය කිරීම ශ‍්‍රීලනිපයේ උපාය මාර්ගික අරමුණ වී තිබෙන බව පෙනේ. ඇතිවී තිබෙන මෙම අවුල්සහගත තත්ත්වය ඉදිරියේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ස්ථාවරය වී ඇත්තේ අපේක්ෂා කරන ප‍්‍රතිසංස්කරණ දින 100ක කාලය තුළ සපුරාගත නොහැකි නම් දින 100 කාලය සම්පූර්ණ වීමත් සමග අපේ‍්‍රල් 23 වැනිදා පොරොන්දු වී ඇති පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවය.

තීක්ෂ්ණ ඉදිරි දැක්මක් නොතිබීම

ජනාධිපතිවරණය ජයගත් පක්ෂ එකතුවේ නායකයන්ට යථාර්ථවාදී හා තීක්ෂ්ණ ඉදිරි දැක්මක් තිබුණේ වී නම් අනුන්ගෙන් ණයට ගත් සරල ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකට කොටු නොවී ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු තාවකාලික ආණ්ඩුවක් පිිහිටුවා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පොදු ලැයිස්තුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය තරග කරන තැනකට යායුතුව තිබුණි. එසේ වී නම් ජනාධිපතිවරණයේදී වෙනසක් වෙනුවෙන් පෙනී සිටි ජනතාව ඊට දායක වන්නට ඉඩ තිබුණේ මහත් ආස්වාදජනක හැඟීමකින් යුතුවය. එවිට ජනාධිපති වරණයේදී පරාජය වූ පක්ෂ එකතුවට පාර්ලිමේන්තු මැතිවරණයට යන්නට සිදුවනුයේ රාජ්‍ය බලයද නැතිව පරාජිත හැඟීමකින් යුතුවය. එවැනි මැතිවරණයකින් ජයග‍්‍රාහී එකතුවට කැපීපෙනෙන ජයග‍්‍රහණයක් හිමිකර ගන්නට ඉඩ තිබුණා සේ ම එසේ වී නම් පාර්ලිමේන්තුවට තේරී පත්වන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට සාර්ථක ලෙස දායක කරගැනීමටද හැකිවන්නට ඉඩ තිබුණි.

එහෙත් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට දරන ලද අසාර්ථක උත්සාහයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනාධිපති වරණයේ ජයග‍්‍රහණයට දායක වූ පිරිස් ඒ සමාන උද්යෝගයකින් පාර්ලිමේන්තු මැතිවරණයකට දායක වනු ඇතැ’යි සිතිය නොහැකිය. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග‍්‍රාහකයාට ලැබෙන ජයග‍්‍රහණයද ජනාධිපති වරණයෙන් පසු වහාම පවත්වනු ලබන මැතිවරණයකින් ලැබෙන ජයග‍්‍රහණය තරම් විශාල වනු ඇතැ’යිද සිතිය නොහැකිය. දැන් ජයග‍්‍රාහී පිල ඉන්නේ සමගිසම්පන්නව එකා මෙන් ක‍්‍රියාකරන තැනක නොව භේදභින්න වූ තත්ත්වයකය. එක පැත්තකට ගමන් කරන තැනක නොව පැති කිහිපයකට අදින තැනකය. ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීමට දායක වූ ජනතාව අතර ඇත්තේද පරවී යන උද්යෝගයකි. පක්ෂ එකතුවේ නායකයන් කෙරෙහි ඔවුන් තුළ පැවති විශ්වාසයේද කිසියම් පිරිහීමක් ඇතිවී තිබෙන්නේයැ‘යි කිව හැකිය. ඔවුහු දෙන ලද පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකරනු ඇති බවට ලොකු විශ්වාසයක් ඇති කරගෙන තිබුණු අතර ¥ෂිතයන්ට දැඩි දඬුවම් දෙන පිළිවෙතක් අනුගමනය කරනු ඇතැ’යි ද විශ්වාස කළහ. ඔවුන් අපේක්ෂා කළ කිසිවක් ඒ ආකාරයෙන් ඉටු නොවී තිබීම නිසා දැන් ඔවුන් අතර ඇත්තේ අපේක්ෂාභංග තත්ත්වයකි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ

දැන් අගමැති රනිල් වික‍්‍රමසිංහ එකහඬින් කියා සිටිනුයේ දින සීයේ වැඩසටහනට ඇතුළත් කාරණා එම දින සීය තුළ සම්පූර්ණ කිරීමට අසමත් වුවත් අපේ‍්‍රල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු බවය. ඒ අදහසට එකඟ නැති පිරිසක්ද ආණ්ඩුව තුළ සිටින බව පෙනෙන්නේය. ඔවුන් කියන්නේ දෙන ලද පොරොන්දු ඉටුකිරීමට දින 100 ප‍්‍රමාණවත් නොවේ නම් වැඩිපුර කාලයක් ලබාගෙන හෝ ඒවා සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවය. එහෙත් ඇත්තටම දැන් පවතින්නේ කාලය පිළිබඳ ප‍්‍රශ්නයටත් වඩා ශ‍්‍රීලනිප වෙට්ටු දැමීමේ ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. ශ‍්‍රීලනිපයේ එකඟතාවක් ඇති නම් වැඩිපුර කාලයක් ගෙන හෝ පොරොන්දු වී තිබෙන ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම වැදගත්ය. එහෙත් ශ‍්‍රීලනිපයේ උපාය මාර්ගික අරමුණ වී තිබෙන්නේ සහයෝගය දීමේ මුවාවෙන් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ක‍්‍රියාත්මකවීම වැළැක්වීම නම් නොකරන වෙදකමක් වෙනුවෙන් කාලය ගතකරනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම රටට යහපත්ය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉන්නේ ඉතාමත් පීඩාකාරී හා අසහනකාරී තත්ත්වයකය. ඔහු අගමැති වුවද පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ ශ‍්‍රීලනිපයටය. එය විකටරූපී තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර එම හාස්‍යජනක තත්ත්වයෙන් හැකි ඉක්මනින් අත්මිදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත අගමැතිවරයකුගේ තත්ත්වයට පත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබේ. රනිල් වික‍්‍රමසිංහ මුලින් පෙනීසිටියේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් නොව රටේ පවතින ප‍්‍රශ්න සැලකිල්ලට ගනිමින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගත යුතුයැ’යි කියන ස්ථාවරයකය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඔහුද මෙම සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ හිරකරුවකු බවට පත්විය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන

ජනාධිපතිවරයා කල්ප නාවෙන් ක‍්‍රියා නොකළහොත් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ස්ථාවරය ජනාධිපති ලොකු සදාචාර අර්බුදයකට තල්ලූ කිරීමට හේතුවිය හැකිය. එජාප මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ගෙනා ප‍්‍රධාන දේශපාලන යාන්ත‍්‍රණය විය. ඔහු ඒ වෙනුවෙන් එජාපයට දී තිබෙන පොරොන්දු අතර අපේ‍්‍රල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පොරොන්දුවද ප‍්‍රධාන පොරොන්දුවක් ලෙස සැලකිය හැකිය. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාද නැද්ද යන්න අවසාන වශයෙන් තීන්දු කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ඒ අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඉල්ලීම නොසලකා හැරීමේ බලයක්ද ජනාධිපතිට තිබෙන්නේය. එසේ වුවහොත් තනතුරුවලින් ඉවත් වී විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීම හෝ තනතුරුවලින් ඉවත් වී ආණ්ඩුවට සහාය දීම යන පිළිවෙත් දෙකින් එකක් තෝරාගැනීමේ හැකියාව අගමැති රනිල් වික‍්‍රමසිංහට හා එජාපයට තිබෙන්නේය. රනිල් වික‍්‍රමසිංහ හා එජාප අස්ථාවර තත්ත්වයකට පත්කිරීමට හේතුවන ලෙස ජනාධිපතිවරයා මොනයම් හෝ පියවරක් ගතහොත් එය ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාවගේ විශේෂයෙන්ම එජාපයට හිතවත් ජනතාවගේ මහත් කම්පනයට හේතුවන කාරණයක් වනු නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් ජනාධිපතිවරයා විශාල සදාචාර අර්බුදයකට තල්ලූ කරන තත්ත්වයක් ඇති කරයි. එවැනි තත්ත්වයකට පත්වීමට ජනාධිපතිවරයා කිසිසේත්ම කැමතිවනු ඇතැ’යි සිතිය නොහැකිය.

ජනාධිපතිවරයාට එජාප සමග ඇති කරගෙන තිබෙන සමගිය හා මිත‍්‍රත්වය මුළුමනින් අතහැර නැවත ශ‍්‍රීලනිපය සමග ක‍්‍රියාකරන තැනකට තල්ලූ විය නොහැකිය. ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාලට සහාය දුන්නේ ශ‍්‍රීලනිපයේ ඉතාමත් සුළු පිරිසක් පමණය. මහජන නියෝජිතයන්ගෙන් අතිවිශාල බහුතර පිරිසක් හා ශ‍්‍රීලනිප පාක්ෂිකයන් අතිවිශාල බහුතර පිරිසක් මෛත‍්‍රී සලකන ලද්දේ ද්‍රෝහියකු ලෙසය. සැබෑ ලෙසින්ම ඔහු එහිදී කරන ලද්දේ ද්‍රෝහිකමක් නොව ඉතා යහපත් හා ඉදිරිගාමී සේවාවකි. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබූ අතර ශ‍්‍රීලනිපයෙන් කැඞී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමෙන් ඔහු එම ඓතිහාසික අවශ්‍යතාව සම්පූර්ණ කළේය. එහෙත් එම සාධනීය පරිවර්තන කාර්යභාරයේදී ශ‍්‍රීලනිප ඔහුට ද්‍රෝහි වූයේය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනම ප‍්‍රකාශ කර ඇති පරිදි ඔහු ජනාධිපතිවරණයෙන් පරාජය වී නම් ඔහුගේ ඉරණම ඉතාමත් බිහිසුණු වන්නට ඉඩ තිබුණේය. එවැනි ඉරණමකදී ශ‍්‍රීලනි පාක්ෂිකයන් හෝ මන්ත‍්‍රීවරුන් ඔහු වෙනුවෙන් දුක්වෙනු ඇතැ’යිද සිතිය නොහැකිය. ජයග‍්‍රහණයෙන් පසු පක්ෂයේ නිල නායකත්වයට පත්වීමෙන් පසුත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ඔහුට සලකන ලද්දේ ගෞරවයෙන් නොව එපා වාහෙට හොදි බෙදන ආකාරයටය. අදත් ශ‍්‍රීලනිප පාක්ෂිකයන් අතිවිශාල බහුතර පිරිසක් අතර ජනාධිපති මෛත‍්‍රී පිළිබඳව ඇත්තේ යහපත් ආකල්පයක් නොව සතුරු ආකල්පයකි. ඒ නිසා ජනාධිපතිවරණයේදී දිනාගත් බලවේගයන් අතහැර ජනාධිපතිවරණයේදී සතුරු ආකල්පයකින් ක‍්‍රියා කළ බලවේගයන්ගේ සරණ පතන තත්ත්වයකට පත්වුවහොත් ජනාධිපති මෛත‍්‍රීපාලගේ දේශපාලන ඉරණම ඉතාමත් ශෝචනීය එකක් වනු නොඅනුමානය.

පාර්ලිමේන්තු මැතිවරණය

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරියේ ශ‍්‍රීලනිප දෙකඩ වන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. එහි කෙටිකාලීන වාසිය ලැබෙනු ඇත්තේ එජාපයටය. ශ‍්‍රීලනිප තමන්ට අවනත තැනක තබා ගැනීමට එහි වර්තමාන නායක ජනාධිපති මෛත‍්‍රීපාලට අවශ්‍ය නම් තමන්ට අවනත නොවන පුද්ගලයන්ට නාමයෝජනා ලබාදීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේය. එහි නොවැළැක්විය හැකි ඊළඟ ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඒ සියලූදෙනා හිටපු ජනාධිපති මහින්දට එකතු වී මහින්දගේ නායකත්වයෙන් විකල්ප ශ‍්‍රීලනිපයක් ඇතිවීමය. ශ‍්‍රීලනිපයේ මෙම පිල් දෙකම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනු ඇති අතර එම පිල් දෙක අතර ඇතිවන රාජකීය තරගයෙන් වැරදිලාවත් මෛත‍්‍රී පිල අබිබවා මහින්ද පිල ඉදිරියට ඒමට සමත් වෙතොත් ජනාධිපතිවරයා දේශපාලන අර්ථයෙන් ඇදවැටෙනු ඇත්තේ අවලස්සන හා හාස්‍යජනක තත්ත්වයකටය. ඒ නිසා ජනාධිපතිවරයාගේ යහපතට හේතුවනු ඇත්තේ එජාප සමග ඇති කරගෙන තිබෙන මිත‍්‍රත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පිලකට ආධාර නොකරන මැදිහත් හා ස්වාධීන පිළිවෙතකි. එවැනි පිළිවෙතක් ජනාධිපතිවරයා හිමිකරගෙන තිබෙන ගෞරවය හා කීර්තිය තවදුරටත් වර්ධනය කිරීමට හේතුවනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply