sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » යාපා පටුනේ මානව හිතවාදියා පී. කන්දයියා මහතා

පරිසරයට හා සත්ත්වයන්ට වින කරන හලාහල විෂ සහිත ශාක පැළ වෙන්නේ මේ මිහිතලයේය. එසේම සත්ත්වයාට ආහාර හා ඔසු ද ආශ්වාස කිරීමට අම්ලකර වාතය ද නිබඳව සපයන ශාක පැළවෙන්නේ ද මේ මිහිතලයේ ය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කුරිරු මිනිස්‌ ඝාතකයා මෙලොව එළිය දුටුවේ උතුරුකරයේ පේදුරු තුඩුවේය. ජාතිභේද, ආගම් භේද. කුල භේද පිළිකුලෙන් බැහැර කළ සෑම මිනිසෙක්‌ ම මිනිස්‌ පවුලේ සහෝදරවරුන් යෑයි හඬනැඟූ සැබෑ මානව හිතවාදී උගත් බුද්ධිමත් දේශපාලනඥයකු වූ පී. කන්දයියා මහතා මෙලොව ජනිත වූයේ ද එම භූමියේදී මය.

අප රටට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 සිට පසුගිය නැඟෙනහිර පළාත් සභා මැතිවරණය හා උතුර පළාත් සභා මැතිවරණය දක්‌වාම උතුර - නැඟෙනහිර දෙමළ ජනතාව බහුතරයක්‌ වෙසෙන ප්‍රදේශයකින් ජනතා ඡන්දයෙන් පත් වූ එකම වාමාංශික දේශපාලනඥයා පී. කන්දයියා මහතා ය.

ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රියාකාරීත්වය ඇරැඹි යුගයේ ජාතිවාදයේවත් බෙඳුම්වාදයේවත් එකම සේයා මාත්‍රයක්‌වත් දක්‌නට නොවීය. දුරාතීතයේ ශ්‍රී ලාංකේය දේශපාලන නායකත්වයට මඟ පෙන්වන ලද්දේ දෙමළ නායකයන් යෑයි කීවොත් එය නිවැරැදි ය. ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැනි සැබෑ මහත්වරු උදාර නායකවරු ශ්‍රී ලාංකේය වීර නාමාවලියේ අදද බැබලෙන්නේ ඔවුහු මෙම මවුබිම හා එහි වෙසෙන ජනතාව වෙනුවෙන් කරන ලද උදාර මෙහෙවර අද ද ජනතා සිත් සතන් තුළ පවතින බැවිනි. 1915 සිංහල - මුස්‌ලිම් කෝලාහලය දඩමීමා කරගෙන අධිරාජ්‍යවාදී කෲර පාලකයන් මෙරට ඇරඹූ තිරශ්චීන මර්දනයට එරෙහිව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය තුළදී සේම ඉන්aa බාහිරව ද මහා සටනක්‌ කළ වීරෝදාර නායකයකු ලෙස ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා අද ද අපේ ගෞරවයට පාත්‍ර වෙයි.

එවක සිදු වූ සියලුම ව්‍යසනයන්ට හේතු ව පරාදීනව සිටීම බව මැනවින් තේරුම් ගනිමින් අන් නායක කාරකාදීන්ට ද තේරුම් කර දෙමින් මාතෘ භූමියට නිදහස ලබා ගැනීම සඳහා වූ සටනට නායකත්වය සපයනු වස්‌ ලංකා ජාතික සංගමය නම් වූ දේශපාලන පක්‍ෂය ඇරැඹීමට අති දැවැන්ත වූ කාර්යභාරයක්‌ ඉටු කළා වූ ශ්‍රේෂ්ඨ නායකයා වූ කලී ශ්‍රීමත් පොන්නම්බලන් අරුනාචලම් මහතාය. දේශය වෙනුවෙන් ලේ කඳුළු දහදිය හෙලූ මෙම උදාර දෙමළ නායකවරුන්ගෙන් පසු මෙරට බිහි වූ සෑම දෙමළ සංවිධානයක්‌ සේම සෑම දෙමළ නායකයෙක්‌ ම ජාතිවාදය නමැනි නරා වළ කරා දෙමළ ජනතාව තල්ලු කැර ගෙන ගියහ. දැනුදු එසේමය.

ඔවුන්ගේ එම ජාතිවාදී ක්‍රියා පිළිවෙත නිසා මෙලක්‌ දෙරණේ ගලා ගිය සිංහල, දෙමළ, මුස්‌ලිම් රුධිර ප්‍රමාණය මෙතෙකැයි කියා නිම කළ නොහැක. රටට අහිමි වූ මිනිස්‌ ජීවිත ගණන අදද හරියාකාරව ගණනය කළ හැකි නොවේ. රටේ සංවර්ධනය වෙනුවෙන් මිනිස්‌ යහපත වෙනුවෙන් වැය කළ හැකිව තිබූ ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ විය. පොදු සේම පෞද්ගලික දේපළ ද කෝට්‌ ප්‍රකෝටි ගණනින් භෂ්මාවශේෂව ගියේය.

මුල් කාලීන දෙමළ නායකවරුන්ගේ ක්‍රියාදාමය සමස්‌ත මානව හිතවාදී වුවද, ජී. ජී, පොන්නම්බලම් මහතාගේ පණහට පණහේ ප්‍රතිපත්තියත් සමඟම මෙරට විනාශකාරී ජාතිවාදයේ බිජුවට රෝපණය විය. විරසකයේ ආරම්භය එයයි.

ජී. ජී. පොන්නම්බලන් මහතාගේ සමස්‌ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් වෙන්ව ගිය එස්‌. ඡේ. වී. චෙල්වනායගම් , කෝපායි හිටපු මන්ත්‍රී සී. වන්නිසිංහම්, දොස්‌තර ඊ. එම්. වී. නාගනාදන් ආදීන්ගේ පුරෝගාමීත්වයෙන් දෙමළ ස්‌වරාජ්‍ය පක්‍ෂය නමැති සංවිධානය ඇරඹිණි. සිය බලය තහවුරු කර ගැනීම සඳහා ජනතාවට ඉදිරිපත් කරන ලද පෙඩරල් මතවාදය කරණ කොට ගෙන උතුර - නැඟෙනහිර පළාත්වල දේශපාලනය සම්පූර්ණයෙන්ම පාහේ ජාතිවාදය මත යෑපෙන ස්‌ථාවරයකට ගොනු විය. නායකවරු එසේ වුවද එදා උතුර - නැඟෙනහිර අති බහුතර ජනතාවක්‌ එය පිළි නොගත් සෙයක්‌ දක්‌නට ලැබිණි.

1956 මහා මැතිවරණයට චෙල්වනායගම් මහතාගේ දෙමළ රාජ්‍ය පක්‍ෂය ඉදිරිපත් වූයේ රට සභා නමින් යුතු බලය බෙදීමේ ක්‍රමවේදයක්‌ ජනතාව හමුවේ තබමිනි. එතුවක්‌කල් දෙමළ ජනතාවගේ දේශපාලන බලය රඳවා ගෙන සිටි ජී. ජී. පොන්නම්බලම් මහතාට එම මැතිවරණයෙන් දිනා ගැනීමට හැකි වූයේ යාපනය අසුන පමණි. චෙල්වනායගම් මහතාගේ දෙමළ රාජ්‍ය පක්‍ෂයට ආසන පහක්‌ හිමි විය. එනම් පක්‍ෂ නායක එස්‌. ඡේ. වී. චෙල්වනායගම් මහතාට කන්කසන්තුරෙයි අසුනද, ඒ අමිර්තලිංගම් මහතාට වඩුක්‌කොඩෙයි අසුනද, සී වන්නිසිංහම් මහතාට කෝපායි අසුනද, වී. එන්. නවරත්නම් මහතාට චාවකච්ෙච්රි අසුනද, වී. ඒ. කන්දයියා මහතාට කයිට්‌ස්‌ අසුනද යනාදී වශයෙනි. එය ඔවුන්ගේ ෙµඩරල් ක්‍රමයට දෙන ලද ජනතා වරමක්‌ බඳු විය.

එසේ නමුත් යාපනය දිස්‌ත්‍රික්‌කයේ උතුරේ පිහිටි පේදුරු තුඩුව අසුන දිනා ගැනීමට ෙµඩරල් පක්‍ෂය සේම ලංකා ද්‍රවිඩ සංගමය ද අපොහොසත් විය. එහි ජයග්‍රාහකයා වූයේ ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ අපේක්‍ෂක පී. කන්දයියා මහතාය. ඔහුගේ ප්‍රතිවාදියා වූ ෙµඩරල් පක්‍ෂයේ කේ. තුරෙයිරත්නම් මහතාට අන්ත පරාජයක්‌ හිමි විය.

ජාතිවාදයේ ගිනි පුපුරු ශීඝ්‍රයෙන් උතුර - නැඟෙනහිර පුරා ඇවිලෙමින් තිබූ එවන් යුගයක යාපන දිස්‌ත්‍රික්‌කයේ අසුනක්‌ දිනා ගැනීමට සමත් වූ මෙම සැබෑ මානව හිතවාදී මාක්‌ස්‌වාදියා වෙත හැම කෙනෙකුගේම දැඩි අවධානය යොමු විය. ජාතිවාදයට සේම බෙඳුම්වාදයට ද ඉඳුරාම පටහැනි සංකල්පයක්‌ වන මාක්‌ස්‌වාදය ජාති ආගම් කුල මල හෝ ප්‍රදේශ බේද ආදී කිසිවක්‌ නොතකන දර්ශනයකි. ධනය ගොඩ ගසමින් සුර සැප විඳින ධනපති පංතියත් ඔවුනට ධනය උපයා දෙන ඒ සඳහා සුළු වේතනයකට දහඩිය වගුරන සදාකාලිකවම දුක්‌ විඳිනා ගොවියන් කම්කරුවන් වන් නිර්ධන පංතියත් අතර ඇතිවෙන නිරන්තර සටනේදී පීඩිත පංතිය ජයගෙන සාමූහික නිෂ්පාදනය හා සාමූහික පරිහරණය සිදුවෙන සමාජවාදී සමාජයක්‌ බිහිවෙන බව මාක්‌ස්‌වාදීහු තරයේ විශ්වාස කරති. එහිදී යම් සමාජයක සතුරා වන්නේ තවත් ජාතියක ආගමක හෝ ගෝත්‍රයක පිරිසක්‌ නොව එම කුමන පිරිසකට අයත් වුවත් හෙළා දැකිය යුත්තේ පීඩතයන් සූරාකන ධනපතියන් ම විනා අන් අයෙක්‌ නොවන බව මාකස්‌වාදයේ ඉගැන්වීමයි. එහෙත් මෙම මතවාදයන් පිළිගැනීමට තරම් උතුරේ මාක්‌ස්‌වාදී (සමාජවාදී) ව්‍යාපාරය තහවුරු වී තිබුණේ නැත.

යාපනය අර්ධද්වීපයේ කුල භේදය රජ වී තිබිණි. කුල හීනයන් ලෙස සැලකූ කිසිම පුද්ගලයකුට හින්දු කෝවිලකට ගොස්‌ ආගමික වතාවත්වල යෙදීමට කුලීන පුද්ගලයන් ඉඩ දුන්නේ නැත. අවම වශයෙන් බාබර් සාප්පුවකට ගොස්‌ කරණවෑමියා ලවා තම හිස කෙස්‌ කප්පවා ගැනීමටවත් ඉඩක්‌ තිබුණේ නැත. පිපාසය උග්‍ර වී ජීවිතයෙන් සමු ගැනීමට සැරසෙන කුලහීනයකුට වුව කුලීනයකුගේ ළිඳකින් දිය පොදක්‌ බීමට අවසර තිබුණේ නැත.

උතුර - නැගෙනහිර තල් රා කර්මාන්තයේ නියුතු වූ කම්කරුවන්ගෙන් අති මහත් බහුතරය පහත් යෑයි කුලීනයන් විසින් හඳුන්වන ලද ජනතාවය. ඔවුන් ඉතා දරුණු ලෙස කොන් කරනු ලැබ සිටියහ. ඔවුන් මුහුණ දුන් බරපතළ සමාජ අසාධාරණයන්ට විරුද්ධව ඔවුන් දැනුවත් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක්‌ පී. කන්දයියා මහතා විසින් අරඹා තිබිණි. ආගම ඇදහීම, කථා කිරිම හා රැස්‌වීමේ අයිතිය ප්‍රධාන විවිධ මානව අයිතිවාසිකම් මෙම දුක්‌ විඳින ජනතාවට ද අයිති බවත් ඒවා දිනා ගැනීමට සංවිධාන ගත විය යුතු බවත් කන්දයියා මහතා ඔවුන්ට පෙන්වා දුන්නේය. කේ. රාමනාදන්, පී ශන්කර් හා මොහොමඩ් ඊබ්‍රාහිම් ආදී ප්‍රගතිශිලී නායකයන් සමඟ එක්‌ව කන්දයියා මහතා රා කම්කරුවන් වෘත්තීය සමිතියක්‌ ලෙස සංවිධානගත කිරීමට කටයුතු කළේය. ඒ මහතාගේ මෙම ප්‍රගතිශිලී ක්‍රියා පිළිවෙත නිසාම ඒ මහතා 1956 දී පේදුරුතුඩුව අසුන පහසුවෙන් ජය ගත් බව එකල පැවැති විශ්වාසයයි.

චතුර කථිකත්වයකින් හා මනා සංවිධාන ශක්‌තියකින් යුතු ඒ මහතා පෙරට පැමිණි විවිධ බාධක දුෂ්කරතා නිසා කිසි විටෙකත් අධෛර්යයට පත් වූයේ නැත. ඔහු විරල ගණයේ උත්සාහවන්තයකු බව සමකාලීන දේශපාලනඥයන් විශ්වාස කළහ.

විසිවැනි සියවසේ ආරම්භයේ ජන්ම ලාභය ලත් පොන්නම්බලම් කන්දයියා මහතාගේ දෙමාපියෝ පේදුරුතුඩුවේ ධනවත් අය වූහ. හේ යාපනයේද අගනුවර ද ප්‍රමුඛ පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබීය. උසස්‌ ධනවත් පවුල්වල දරුවන් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යෑවීම එකල මෝස්‌තරයක්‌ වී පැවතුණි. කන්දයියා ශිෂ්‍යයාගේ පියා ද තම පුත්‍රයා එංගලන්තයේ කේම්බ්‍රිඡ් සරසවියට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. එම අවස්‌ථාව තම දේශපාලන පන්නරය ලැබිමට පිටිවහලක්‌ කර ගත්තේය. 1917 වී. අයි. ලෙනින්ගේ නායකත්වයෙන් ඔක්‌තෝබර් විප්ලවය සිදු වී සමාජවාදී සෝවියට්‌ සමූහාණ්‌ඩුව බිහි වී තිබිණි. එම විප්ලවයේ ආශ්වාදය කේම්බ්‍රිඡ් සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණ ශිෂ්‍යයන්ට කදිම අත්දැකීමක්‌ විය. ඔවුහු ඉන් පන්නරය හා නොමඳ ධෛර්යය ලැබූහ. තම රටවල්වලදී ප්‍රභූ දෙමාපියන් වෙතින් හා සමාජයෙන් ලද නොහැකි මතවාද හා අදහස්‌ ඔවුන් වෙත ගලා එන ලෙසින් ඔවුහු සංවිධානගතව සිටියහ. බ්‍රිතාන්‍ය යටත් විජිත වලින් පමණක්‌ නොව බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව සහ කැනඩාව වැනි රටවලින් පැමිණ කේම්බ්‍රිඡ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සුදු ජාතික ශිෂ්‍යයන් පවා නිරායාසයෙන් මාක්‌ස්‌වාදය කරා ඇදී යන ප්‍රවණතාවක්‌ එකල පැවතුණි.

කන්දයියා ශිෂ්‍යයා තම අධ්‍යාපන කටයුතු හා ඊට අමතරව කළ දේශපාලන කටයුතු මනාව කරගෙන යන අතරතුර ලංකාවෙන් පැමිණ එහි ඉගෙනුම ලබමින් සිටි ඒ. වෛද්‍යලිංගම් හා පීටර් කේනමන් යන සිසුන් දෙදෙනා හඳුනා ගැනීමට අවස්‌ථාව ලැබිණි.

පීටර් කේනමන් යනු එකල බ්‍රිතාන්‍ය පාලනය යටතේ මෙරට අගවිනිසුරු තනතුර හෙබවූ ඊ. ඒ. කේනමන් මහතාගේ පුත්‍රයා ය.

මෙම ශිෂ්‍ය සගයෝ බ්‍රිතාන්‍යයේදී විවිධ දේශනවලට සවන් දෙමින් මාක්‌ස්‌වාදය පිළිබඳ පොත්පත් කියවමින් තම දැනුම වර්ධනය කර ගත්හ. යටත් විජිතයක්‌ වූ තම රටේ දී තමන්ට අත් විඳීමට ලැබෙන නිදහසට වඩා විශාල නිදහසක්‌ හා කරුණු කාරණා දැන ගැනීමට ඇති අවස්‌ථාවක්‌ එරටේදී ලැබීම ගැන ඔවුහු සතුටට පත් වූහ. එම වකවානුව වන විට ස්‌පාCඳ්Cඳයේ සිවිල් යුද්ධය ඇරැඹී තිබිණි. ජනතා ඡන්දයෙන් බලය ලබාගෙන සිටි ස්‌පාCඳ්Cඳයේ සමාජවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගෙන සිටි හමුදාපතිවරයකු වූ ප්‍රෑන්කෝ අත්තනෝමතික ලෙස රට පාලනය කරමින් ජනතාව තලා පෙළා කටයුතු කිරිම නිසා මෙම සිවිල් යුද්ධය ඇරැඹී තිබූ අතර එම සිවිල් යුද්ධය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වී තිබිණි. එවක එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි බොහෝ විදේශීය සිසුහු ස්‌පාCඳ්Cඳ යුධ පෙරමුණට ගොස්‌ ප්‍රෑන්කෝ සෙනෙවියාගේ රජයට හා එහි හමුදාවන්ට එරෙහිව යුද වැදී සිටි ජනතාවට සහෝදරාත්මක ලීලාවෙන් ආශීර්වාද කළහ. එම සිසු පිරිස්‌වලට නායකත්වය දුන්නේ පී. කන්දයියා හා පීටර් කේනමන් යන මහත්වරු ය.

දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණේ එම යුගයේ ය. මුළු ලොවම බලය තමන් සතු කර ගැනීමට සිහින දකිමින් µeසිස්‌ට්‌වාදය ඔස්‌සේ මුළු ලොවටම අභියෝග කරමින් තර්ජනය කරමින් සිටි අඩොල්µa හිට්‌ලර්ගේ ජර්මානු හමුදාවෝ පෝලන්තය ආක්‍රමණය කරමින් යුද්ධයට මුල පිරූහ. ගැටුම ඉතා සුළු කලකින් ලොව පුරා ව්‍යාප්ත වන්නට විය. එංගලන්තයේ කේම්බ්‍රිඡ් සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ වහළ මතට ද ජර්මානුවන්ගේ බෝම්බ පතිත විය. එම තිරශ්චීන ප්‍රහාරයෙන් කොමියුනිස්‌ටිවාදී ඉන්දීය ශිෂ්‍යයෙක්‌ මිය ගියේය. ඔහු පීටර් කේනමන් මහතා සමඟ එකම කාමරයේ නේවාසිකව සිටි සගයා ය. වාසනාවකට මෙන් එවේලේ පීටර් කේනමන්, පී. කන්දයියා හා වෛද්‍යලිංගම් යන මහත්වරු නේවාසිකාගාරයේ නොසිටියහ. එසේ නොවූවා නම් ඔවුන්ද මළවුන් අතරය.

මෙවන් අත්දැකීම් සම්භාරයක්‌ ලබමින් සමාජවාදය හා මාක්‌ස්‌වාදය ගැන මෙන්ම විෂය මූලික අධ්‍යාපනයක්‌ ද සහිතව 1940 දී කන්දයියා හා වෛද්‍යලිංගම් යන තරුණයන් දෙදෙනා තම අධ්‍යාපනය නිමවා මවුබිමට සැපත් වූහ.

එම වකවානුව වන විට ලංකාවේ මාක්‌ස්‌වාදී දේශපාලන පක්‍ෂ දෙකක්‌ බිහි වී තිබිණි. එය එකක්‌ නොව දෙකක්‌ වීමට හේතු වූයේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිළිබඳව අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය පිළිබඳ මත ගැටුමකි. හිට්‌ලර්ගේ ඒකාධිපති වියරුවට අනුව පෝලන්තය ආක්‍රමණය කිරීම නිසා එයට එරෙහි වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම නිසා යුද්ධය ඇරඹිණි. එම අස්‌ථාව වන විට සමාජවාදී සෝවියට්‌ රුසියාව යුද්ධයට අතගසා නොතිබිණි. එරට මධ්‍යස්‌ථ බවක්‌ පළ කරමින් සිටියේය. මෙකල බ්‍රිතාන්‍යය විසින් ලංකාව යටත් විජිතයක්‌ ලෙසින් පාලනය කළ තත්ත්වය හමුවේ දැඩි බ්‍රිතාන්‍යය විරෝධි සහ උග්‍ර නිදහස්‌කාමී ප්‍රතිපත්තියක සිටි වාමාංශික ලංකා සමසමාජ පක්‍ෂය එම යුද්ධය හැඳින්වූයේ අධිරාජ්‍යවාදී යුද්ධයක්‌ ලෙසිනි. එනිසා එයට සහාය දීම ද ප්‍රතික්‍ෂේප කළහ.

එහෙත් පසුව ජර්මනිය, තම ස්‌ථාවරය වෙනස්‌ කරමින් හිටි හැටියේම සෝවියට්‌ රුසියාවට පහරදීම නිසා එරටද යුද්ධයට අත ගැසුවේය. මේ වන විට සමසමාජ පක්‍ෂයේ සිටි එක්‌ ප්‍රබල කණ්‌ඩායමක්‌ දැරූ මතය වූයේ ලොව ප්‍රථම හා එකම සමාජවාදී රාජ්‍යය යුද්ධයට පැටලීම නිසා µeසිස්‌ට්‌වාදී ඒකාධිපති පොදුÊසතුරා වූ හිට්‌ලර් පරාජය කිරීම උදෙසා කෙරෙන යුද්ධය සාධාරණ වූවක්‌ බැවින් එම ප්‍රයත්නයට සහාය දිය යුතු බවයි. මෙම කාරණය අරභයා ඇති වූ විවාදය නිසා එකී කණ්‌ඩායම "එක්‌සත් සෝෂලිස්‌ට්‌ පක්‍ෂයZ යන නමින් තවත් පක්‍ෂයක්‌ ඇරැඹීය. 1943 ජූලි 03 දා සිට ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය නමින් ක්‍රියාත්මක වූයේ එම පක්‍ෂයයි. සිය අධ්‍යාපනය නිමවා සිය රට පැමිණි පී. කන්දයියා හා වෛද්‍යලිංගම් යන මහත්වරු එම පක්‍ෂයට බැඳී සිය දේශපාලන කටයුතු ඇරැඹූහ.

තමා ලද උපාධියට ගැලපෙන වෘත්තියක්‌ ගැන සෙවිල්ලෙන් පසු වූ කන්දයියා මහතාට එවක අරඹා තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක්‌ ගැන දැන ගන්නට ලැබිණි. පාලක පක්‍ෂයට සිය සුදුසුකම් හා දක්‍ෂතාවන් සනාථ කළ ඒ මහතාට එම කථිකාචාර්ය තනතුර ලැබිණි. කෙටි කලකදී තමා දක්‍ෂ ගුරුවරයෙකැයි සනාථ කිරීමට ඔහුට හැකි විය. තමා අදහන දේශපාලන දර්ශනයත්, එහි ප්‍රයෝජනයත් ඒ සඳහා කැපවිය යුතු ආකාරයත් හේ තම ශිෂ්‍ය ප්‍රජාවට මනාව අවබෝධ කළේය. තවමත් නිදහස ලබා නැති රටක එවන් දේශපාලන අදහස්‌ පතුරවන පුද්ගලයකු කථිකාචාර්යවරයකු ලෙසින් තබා ගැනීම කිසි ලෙසකින්වත් සිදුවියයුත්තක්‌ නොවෙන බවට තීරණය කළ විශ්වවිද්‍යාල ප්‍රධාන පාලක සර් අයිවෝ ජෙනිංග්ස්‌ ප්‍රධාන පාලන මණ්‌ඩලය තීරණය කළහ. එහි ප්‍රතිඵලය වූයේ පී. කන්දයියා මහතා විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමීමයි.

ඉන් කිසිසේත්ම අධෛර්යයට පත් නොවූ කන්දයියා මහතා ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙසින් පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ විය.

පෙර සඳහන් කළ පරිදි යාපන අර්ධද්වීපයේ කුල පීඩනය දුරු කිරීම, රා කම්කරුවන් සංවිධානගත කිරීම, දුක්‌ විඳින ගොවි කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම ආදී කටයුතුවලට හේ උනන්දු විය. ඉන් නතර නොවූ හෙතෙම කොළඹ නාගරික කම්කරුවන් ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය වෙත නැඹුරු කිරීමට මහත් උනන්දුවෙන් කටයුතු කළේය. දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, එම්. ජී. මෙන්ඩිස්‌, ඩී. පී. යසෝදිස්‌ හා කේ රාමනාදන් ආදී ප්‍රගතිශීලී නායකයන් සමඟ එක්‌ව කන්දයියා මහතා විශාල සේවයක්‌ කළේය. උගතකු, බුද්ධිමතකු වශයෙන් ද ව්‍යක්‌ත කථිකයකු හා ක්‍රියාශීලී දක්‍ෂ සංවිධායකු වශයෙන් ද ඒ මහතාගෙන් මෙරට පීඩිත පංතියේ ජනතාවට විශාල සේවාවක්‌ ඉටු විය.

1956 මැතිවරණයේදී ජාතිවාදී බලකොටුවක්‌ වන් උතුරේ පේදුරුතුඩුව ආසනයට සමාජවාදී ප්‍රතිපත්ති පෙරටු කර ගනිමින් සටන් කළ කන්දයියා මහතා එම අසුන ජයගැනීම මෙරට දේශපාලන ඉතිහාසයේ තවත් එක්‌තරා සුවිශේෂී සිදුවීමකි.

ඊට පෙර 1947 මහ මැතිවරණයේදී කොමියුනිසිට්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස එම අසුනට තරග කළ ද ජයග්‍රහණය අසීරු විය. ඉන් පසුබට නොවූ ඒ මහතා දිගින් දිගටම ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින්, ජනතාවට විශාල සේවාවක්‌ කළේය. සංවිධාන කටයුතුවල නිරත විය. 1956 මහ මැතිවරණයෙන් ජය ලබා කම්කරු පංතිය වෙනුවෙන් ඔවුනට හිමිවිය යුතු වරප්‍රසාද ලබා දීමට මැති සබය තු=ළ නිරතුරුව හඬ නැඟුවේය.

නිරතුරුව අධික ලෙස වෙහෙසීම නිසා කන්දයියා මහතා නිතර නිතර අසනීප වන්නට විය. එම අසනීපයන් ගණන් නොගනිමින් ඒවාට හරිහමන් ප්‍රතිකාරයක්‌ නොලබමින් හේ පොදු ජන සේවයෙහි නිරත විය. නැවත පාර්ලිමේන්තුවට පත් වීම තමා වෙනුවෙන් නොව තම දුප්පත් ජනතාව වෙනුවෙන් යෑයි සලකමින් කටයුතු කළේය.

මෙසේ තම ශරීර සෞඛ්‍යය ගැන ද නොසලකමින් දිගින් දිගටම පීඩිත පංතියේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඒ මහතා බරපතළ ලෙස රෝගාතුර විය. 1960 සැප්තැම්බර්Êමස 08 දින හේ ජනතා මෙහෙවර නිම කරමින් අභාවප්‍රාප්ත විය.

එදා මෙදා තුර අඩ සියවසකට අධික කාලයක්‌ ගත වී ඇත. එහෙත් පී. කන්දයියා මහතා වන් ප්‍රතිපත්ති ගරුක මානව හිතවාදී කිසිදු දේශපාලනඥයකු උතුර නැඟෙනහිර පළාතින් බිහි වී නැත. අනාගතයේදීවත් එවැන්නෙක්‌ අපේක්‍ෂා කිරීමට ද සාධක නැත. කෙස්‌ නමුත් ජාතිවාදයෙන් තොරව ශ්‍රී ලංකාව එක්‌සේසත් කිරීමට එකම ජාතියක්‌ ලෙස සෑම ලාංකිකයෙක්‌ ම එක කොඩියක සෙවණ යටට ඒකාරාශී කිරීමට පී. කන්දයියා මහතා වැනි සැබෑ නායකයන් රැසක්‌ උතුරට - නැඟෙනහිරට අවැසි යුගයයි මේ.

 කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..