sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » » » අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී දොන් ස්පෙටර් සේනානායක අරක්කු රේන්ද ව්‍යාපාරිකයෙක්ද ?

සියවස් හතරකට අධික කාලයක් මුළුල්ලේ යුරෝපා ජාතින් ත්‍රිත්වයකගේ දෑතින් දෑතට යටත් විජිතයක් ලෙස හුවමාරු වූ මෙරට සහ එහි වැසියන්, එම වහල් යදම් බිඳ දමන්නට උත්සාහයන් ගත් අවස්ථාවන් බොහෝය. පෘතුගීසි සමයේ සිදුවූ මුල්ලේරියා මහා සංග්‍රාමය වැනි යුද මෙහෙයුම් මෙන්ම ඉංග්‍රීසි සමයේ සිදුවූ උඩරට කැරැල්ල වැනි විප්ලවීය සටන්ද අප ජාතිය අදීන බව කරා පියමං කරමින් නිදහස් සටනේ ජය කොඩි ලෙළවන්නට ගත් යෝධ පියවරයන් විය. එහෙත් එම උත්සාහයන් එකල පැවති සමාජීය, ආර්ථික, දේශපාලනික සහ පාරිසරික හේතුන් මත ව්‍යර්ථ වී ගියද, මෙම නිදහස් සටනේ අවසාන අදියර කිසිදු අන්දමකින් නොසිතු විරූ ලෙස සාර්ථකත්වයක් කරා ගමන් කොට ඇති බැව් යටත් විජිත යුගය පිළිබඳ ඉතා මැනවින් හදාරන විට ගම්‍ය වන කරුණකි. ඊට පාදක වූ ප්‍රධාන සාධකය වූයේ, සෑම අභියෝගයන් සහ දුෂ්කරතාවන් ජය ගනිමින් අදාළ ඉලක්කය වෙත ගමන් කිරීමට, චිරස්ථීන අධිෂ්ඨානයක් සහ එම උද්‍යෝගය
ස්පෙටර් සේනානායක
පිරි කුලකයක් එකම කාලයක් තුළ ඒකරාශී වීමයි.   
 බොතලේ සේනානයක පවුල

යටත් විජිත යුගයේ අවසාන අදියර සමයේ පුරෝගාමීන් ලෙස, මෙම කුලකය අතර වඩාත් කැපී පෙනෙන චරිත කිහිපයක් විය. ඒ අතර සුවිශේෂී ප්‍රකට චරිතයක් වූයේ හාපිටිගම් කෝරළයේ, බෝතලේ සේනානායක වලව්වේ ප්‍රධානියා වූ දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමන්ය. මන්දයත් 1912 වසරේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයේ දෙවන අදියරේ පුරෝගාමියා මෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයා වූයේද දොන් ස්පෙටර් සේනානායකයි. ඔහු වූ කලී පසු කලෙක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම නායකයා සහ අග්‍රාමාත්‍යවරයාද වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ සහ අමද්‍යප ව්‍යාපාරයට මෙන්ම සම්බුද්ධ ශාසනය උදෙසා ද අනුපමේය මෙහෙයක් ඉටු කළ එෆ්. ආර්. සේනානායක මැතිතුමාගේද පියාණන් වේ. 

https://www.youtube.com/c/LankaJournalistඉංග්‍රීසින් විසින් සුරාව මගින් අඩපණ කරනා අභිමානවත් ජාතියකට සත්‍ය පහදා දීම උදෙසා, අමද්‍යප ව්‍යාපාරයට පණ පොවමින් මහා ධනස්කන්ධයක් විය පැහැදම් කොට, ජාතියේ නැණ නුවණ පහදන්නට සහ සුරා විරෝධී බලමුළුවක් බිහිකරලීමට ඔහු දැරූ වෙහෙස අපමණය. එහෙත් ඔහුගේ එම දැහැමි සහ ජාති හිතෛෂී චරිතය වෙත එල්ල වන දැඩි චෝදනාවක් පිළිබඳ විමසා බැලීම වටී. ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය විසින් ඉංග්‍රීසි බසින් රචිත ‘‘Nobodies to Somebodies - The Rise of the Colonial Bourgeoisie in Sri Lanka’’ යන ග්‍රන්ථයේ සහ එහි සිංහල අනුවාදය වන “සොක්කන් ලොක්කන් වූ හැටි” යන ග්‍රන්ථයේ සඳහන් අන්දමට මෙම අමද්‍යප ව්‍යාපාරයට පණ පෙවීමට දොන් ස්පෙටර් සේනානායක යෙදවූ මුදල් ඔහු උපයා ගත් මූලාශ්‍රය වූයේ අරක්කු රේන්ද ව්‍යාපාරයයි යන්නයි. අරක්කු රේන්දය යනු ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී සමයේ තැබෑරුම් පවත්වාගෙන යාම සඳහා සහ එහි බදු මුදල් එකතු කිරීම සඳහා රජය මගින් කුලී බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයා ඉංග්‍රීසි බසින් ඇරක් රෙන්ටර් (Arrack Renter) යනුවෙන් හැඳින්විනි. එහි සිංහල උච්චාරණ උරුව, යටත් විජිත සම්මිශ්‍රණ සමයේ “අරක්කු රේන්ද” යනුවෙන් ජනවහරට එක් විය. 

සත්‍ය වශයෙන්ම දොන් ස්පෙටර් සේනානායකගේ ආදායම් ප්‍රභවය වූයේ අරක්කු රේන්ද ව්‍යාපාරයද යන්න පිළිබඳව ගවේෂණය කිරීම ඉතාමත්ම වැදගත් කරුණකි. මන්දයත් එය එසේ සිදුවුණි නම් බෞද්ධ පුනරුදය උදෙසා ඔහු නිර්ලෝභීව වියපැහැදම් කරන ලද්දේ, වෙනත් යටි අරමුණක් සහිතවද යන්න පැන නැගෙනා ගැටලුවකි. එලෙසම ඔහු එම ව්‍යාපාරය මගින් උපයා ගත්තේ නම්, අමද්‍යප ව්‍යාපාරය සහ බෞද්ධ පුනරුදය සඳහා මූල්‍ය ආධාර ශක්තිය ලබා දීම තුළද, එමගින් සිදු කළ ක්‍රියාවලිය කෙතරම් දුරට සදාචාරසම්පන්න දැයි යන්න පැන නැගෙන ගැටලුවකි. 
මිනිරන් පතල් බලපත්‍රය


 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ ඉතිහාසය, ආර්ථික සමාජීය සහ සංස්කෘතික වටපිටාව, කර්මාන්ත සහ සම්පත් යන පැතිකඩයන් පිළිබඳව වටිනා තොරතුරු රැසක් නිරූපණය කරනා, 1907 දී ඉංග්‍රීසි ජාතික ආනොල්ඩ් රයිට් විසින් සම්පාදිත “ටුවෙන්ටිත් සෙන්චරි ඉම්ප්රේෂන් ඔෆ් සිලෝන්” නමැති ග්‍රන්ථයේ තොරතුරු මෙයට පාදක කරගැනීම ඉතා උචිත කරුණකි. 


මන්දයත් අමද්‍යප ව්‍යාපාරය ආරම්භ වීමට වසර කීපයට පෙර ඉංග්‍රීසි ජාතිකයෙකු විසින්ම සම්පාදිත මෙම කෘතියේ දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා පිළිබඳ සඳහන් කොට ඇති තොරතුරු විමර්ශනයට භාජනය කිරීම වැදගත් වේ. 

මිනිරන් පතල් බලපත්‍රය
එහි සඳහන් අන්දමට දොන් ස්පෙටර් සේනානායක යනු මනා අධ්‍යාපන පසුබිමක් සහිත වංශවතෙක් වන බැව් පෙනේ. ඔහු පාසල් අධ්‍යාපනය නිමා කරනවාත් සමගම වාගේ මිනිරන් ව්‍යාපාරය සඳහා යොමු වී ඇති බව ආනොල්ඩ් රයිට් විසින්ම සඳහන් කරයි. අද මෙන් නොව එකල මිනිරන් යනු සත්‍ය වශයෙන්ම එහි නාමමාත්‍ර ලෙස මැණික් සහ රත්රන් බඳු ඉතා වටිනා ඛනිජයකි. ස්පෙටර් සේනානායකයන් මිනිරන් ව්‍යාපාරයේ කෙතරම් දැවැන්තයෙක් වූයේද යත් ඔහුගේ මිනිරන් පතල සතුව එකල අශ්ව බල තිස්හතරක, මෝටර් යාන්ත්‍රික ඇන්ජිමක් තිබී ඇති බවත් එහි ඉංග්‍රීසි ජාතිකයින් ඇතුළු සේවකයින් 3000 ක් පමණ සේවය කොට ඇති බවත් රයිට් සඳහන් කරනා කරුණකි. උතුරු මැද සහ බස්නාහිර පළාතේ අක්කර 2000 ක පමණ පොල් වතු ඔහුට තනි අයිතියෙන් හිමිවූ අතර, නිශ්චල දේපොළ ඇතුළු බොහෝ වත්කම් ප්‍රමාණයක් කොළඹ සහ මහනුවර යන ප්‍රදේශයන්හිද ඔහු සතුව තිබූ බවද ආනොල්ඩ් රයිට් පවසයි. එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන අන්දමට ස්පෙටර් සේනානායක මහතා විසින් එවක කොළඹ - වික්ටෝරියා අනුස්මරණ අක්ෂි රෝහල වෙත සහ ඉන්දියානු නියං සහනාධාර අරමුදල වෙත සිදුකළ අනේකවිධ නිර්ලෝභී පරිත්‍යාග හේතුවෙන්, එම ඉටුකළ මෙහෙයට ගෞරවයක් ලෙස යටත්විජිත ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේ විසින් දොන් ස්පෙටර් සේනානායක මැතිතුමා හට මුදලි තනතුර පිරිනමා ඇති බැව් රයිට් සඳහන් කොට ඇත. 

පිටු 916 කින් සමන්විත එම ග්‍රන්ථය තුළ 20 වන සියවසේ මුල් භාගයේ මෙරට ඉතා ඉහළින් වැජඹුණු නාගරික සහ ග්‍රාමීය ප්‍රභූ පවුල් සියල්ල පිළිබඳවම පාහේ සවිස්තරාත්මක තොරතුරු රැසක් අනාවරණය කරන අතර, එම යුගය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙනා ඕනෑම ඉතිහාසඥයෙකුගේ විමර්ශනයට එම ග්‍රන්ථය සහ තොරතුරු අනිවාර්​ෙ‌යන්ම විමර්ශනයට භාජනය වේ. එනම් මදි නොකියන්නට තරම් මෙබඳු ධනයක් සහ පසුබිමක් හිමි, නිරන්තර පරිත්‍යාගශීලි චරිතයක් වූ ස්පෙටර් සේනානායකයන් හට අරක්කු රේන්ද වැනි ව්‍යාපාරයක යෙදෙන්නට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව තර්කානුකූලව ගම්‍ය වන කරුණකි. 

මිනිරන් ව්‍යාපාරික එකමුතුව

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ 1893 – 1894 සහ 1894 – 1895 යන කාල වකවානු සඳහා අරක්කු රේන්ද බලපත්‍ර ලබාගත් අයවලුන්ගේ නාම ලැයිස්තුව මෙහිදී විමර්ශනය කිරීම වටී. එහි සඳහන් නාමයක් ලෙස දොන් ස්පෙටර් යන නම අර්ථ දැක්වීමට බොහෝ පිරිස් උත්සාහ කළද, ඉංග්‍රීසි ජාතිකයෙකු විසින් ලියන ලද සහ ඊට ඉහළින් සිටිනා ඉංග්‍රීසි ජාතිකයන් අතින් ද නිසි ලෙස පරික්ෂාවට ලක්වන මෙවැනි ලියාපදිංචි ලේඛනයක කිසි විටෙක ස්පෙටර් යන නාමය “I” අක්ෂරයෙන් සඳහන් කිරීම විශ්වාස කළ නොහැකි කරුණකි. මන්දයත් එම නාමය ආරම්භ වන නිවැරදි අක්ෂරය වන්නේ “S”අක්ෂරය බැවිනි. එමෙන්ම පෙර කී කාල පරාසය තුළ ස්පෙටර් සේනානායක මුදලිතුමා එවැනි අරක්කු රේන්ද ව්‍යාපාරයේ නිරත වූයේ නම් අනිවාර්​ෙ‌යන්ම ආනොල්ඩ් රයිට් විසින් 1907 දීම එය සඳහන් කරන්නට අනිවාර්​ෙ‌යන්ම ඉඩ තිබුණි. මන්දයත් අානොල්ඩ් රයිට් විසින් මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ එවක ආණ්ඩුකාර සහ අණදෙන ප්‍රධානි ශ්‍රීමත් හෙන්රි බ්ලේක් විසින් සිදු කළ පැවරීමක ප්‍රතිඵලයක් ලෙසය. එවැනි තත්වයක් යටතේ අරක්කු රේන්ද ව්‍යාපාරය වැනි යටත්විජිත ආණ්ඩුවට ඉතා දැඩි ආදායමක් උත්පාදනය කරන ලද සහ එවැනි වගකිය යුතු තොරතුරක් කිසි විටෙක රයිට් වැනි දැඩි පර්යේෂණශීලී ලේඛකයෙකු අතින් ගිලිහී යාමට කිසිසේත්ම ඉඩ නොතිබුණු බව සිතිය හැක. 
එම ලියවිල්ල ප්‍රකාරව යම්කිසි සේනානායක නාම ලද්දෙක් විසින් එම රේන්ද බලපත්‍ර ලබාගෙන ඇති බව පෙනේ. ඔහු මීගමුව, අලුත්කූරු කෝරළේ විසූ අයෙකු බවත්, ඔවුන් මාදම්පේ ප්‍රදේශයේ සේනානායක නැමති ප්‍රභූ පවුලක් ලෙස වෙසෙමින් එකල රා මැදීම සහ පීප්ප නිෂ්පාදනය, ඉතා ජයටම සිදු කළ බවටත් බොහෝ සාධක ඇත. මුහුදුබඩ පොල් රුප්පාව යනු රා මැදීම සහ අරක්කු නිෂ්පාදනය ඉතා දැඩිව සිදු කළ ප්‍රදේශ බව නොරහසකි. 
එමෙන්ම දොන් ස්පෙටර් මුදලිතුමාගේ අධ්‍යාපන පසුබිම ගැනද පළකරනා සැකය පිළිබඳව ඇති දුර්මතයද බැහැර කළ යුතු කරුණකි. මන්දයත් ඒ පිළිබඳව ගම්‍ය වන තොරතුරක් සඳහන් වන්නේ එච්.ඒ.ජේ. හුළුගල්ල මහතා විසින් ඉංග්‍රීසි බසින් රචනා කොට 1975 වසරේදී ප්‍රකාශයට පත්කරන ලද “ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් දොන් ස්ටීවන් සේනානායක - ශ්‍රී ලංකා' ස් ෆස්ට් ප්‍රයිමිනිස්ටර්” යන ග්‍රන්ථයේ සඳහන් සුවිශේෂී තොරතුරු අතරේය. එහි සඳහන් අන්දමට දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමා මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ මාතලේ - ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ඔහු මිනිරන් ව්‍යාපාරයේ ඉතා සාර්ථක ලෙස නියුතු වූ බවද එහි සඳහන් වෙයි. 
1865 වසරේදී මෙරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ පළමු නැවතුම ලෙස අඹේපුස්ස දුම්රිය ස්ථානය පිහිටුවීමට හේතුවූ ප්‍රධාන කරුණු ද්විත්වයකි. එක් කරුණක් වූයේ අඹේපුස්ස තානායම වෙත අශ්ව කරත්තයෙන් ගමන්කළ හැකි දුරකින් එය පිහිටීමයි. අනෙක් ප්‍රධාන හේතුව වූයේ බෝතලේ පිහිටා තිබූ දොන් ස්පෙටර් සේනානායකගේ මිනිරන් පතල් සංකීර්ණයයි. එකල යුරෝපයට මිනිරන් අත්‍යාවශ්‍යම නිෂ්පාදන අමුද්‍රව්‍යක් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවලින්ද මිනිරන් සඳහා දැඩි ඉල්ලුමක් තිබුණි. එකල මිනිරන් “බ්ලැක් ගෝල්ඩ් හෙවත් කළු රන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද බව එහි සඳහන් වෙන අතර එමගින්ම එම අවධියේ මිනිරන්වලට හිමිව තිබූ වටිනාකම කෙතරම්ද යන්නද මනාව පැහැදිලි වෙයි. එකල මිනිරන් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා වූයේද දොන් ස්පෙටර් සේනානායකයි. 


ස්පෙටර් මුදලිතුමාගෙන් පසු බෝතලේ පිහිටි එම මිනිරන් පතල්වලට හිමිකම් කියන ලද්දේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය වරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමාය. එතුමාට අයත්ව තිබූ බෝතලේ මිනිරන් පතල්හි දැනට සුරක්ෂිතව ඇති A508 / A509 / A510 / A583 යන බලපත්‍ර සතරක පමණක් මුල් පිටපත් තවමත් එතුමන්ගේ මුනුබුරා වන දේවින්ද සේනානායක මහතා සතුව ඇත. 


හුළුගල්ල මහතා යනු තිස්වසරක පළපුරුද්දක් තිබූ, ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් වන අතර, කලක් “සිලෝන් ඩේලි නිවුස්” පුවත්පතේ ප්‍රධාන කතුවරයාද විය. එලෙසම පසු කලෙක රාජතාන්ත්‍රිකයෙකු ලෙසද ඔහු සේවය කරන ලදී. එම පොතේ සඳහන් තොරතුරු වඩාත් සාධනීය යයි සිතිය හැකි වන්නේ, තම ජනමාධ්‍ය දිවිය ආරම්භ කරන ලද 1918 වසරේ සිටම, අවසාන නිදහස් අරගලය සඳහා ඇප කැපවී කටයුතු කළ චරිත සියල්ලම සමග පාහේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සහ බොහෝ ඇසූපිරූ තැන් ඇති බහුශ්‍රැත අයෙකු වූ නිසාය. 

ඉතිහාසය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙක් සහ ග්‍රන්ථ කතුවරයෙක් වූ කේ.එම්.ඩී. සිල්වා මහතා විසින් ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද “ද ලයිෆ් ඔෆ් ඩී.එස්. සේනානායක - (1884-1952) ශ්‍රී ලංකා’ස් ෆස්ට් ප්‍රයිමිනිස්ටර් (1948 – 1952) අ පොලිටිකල් බයෝග්‍රැෆි” යන ග්‍රන්ථයේ සඳහන් අන්දමට ස්පෙටර් සේනානායක මහතා යනු මිනිරන් ව්‍යාපාරිකයෙකු මෙන්ම වැවිලිකරුවෙකු වශයෙන්ද ආදායම් ප්‍රභව තිබූ අයෙකු බවත්, ඔහු එම අවධියේ වුවද තම ධනය වැය කොට තම දෙවැනි පුතු වූ එෆ්.ආර්. සේනානායක මහතා හට එංගලන්තයේදී අධිනීතිඥයෙකු වීම දක්වා අධ්‍යාපනයක් ලබා දුන් බවත් යන තොරතුරු ඇතුළත්ය. 
එහි සඳහන් වඩාත් වැදගත් කරුණක් වන්නේ මාර්ග භාවිතය සඳහා ඔහු විසින් ලබාගෙන තිබූ බදු ගිවිසුම්පත්ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට විධිමත් මාර්ගයන් භාවිතයට සහ එහි ප්‍රවාහනය සඳහා යටත්විජිත ආණ්ඩුව විසින් බදු අය කරන ලදී. එකල ස්පෙටර් සේනානායක හට මිනිරන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට මීගමුවේ පිහිටි කච්චේරිය වෙත යාමට සහ එම මිනිරන් යුරෝපය සහ ජපානය ඇතුළු අනෙකුත් රටවල් වෙත අපනයනයට සුදානම් කිරීම සඳහා කොළඹ බොරැල්ල කිතුල්වත්තෙහි පිහිටි ගබඩාව සහිත කොළඹ කාර්යාලය වෙත රැගෙන යාමටත්, එම මාර්ග නිරතුරුව භාවිතා කිරීමට අවශ්‍ය විය. එහෙයින් එම මාර්ගයන්හි බදු ගිවිසුම් මගින් ස්ථිරවම තමන් වෙත ලබාගෙන, එම මාර්ග තම අවශ්‍යතා සඳහා භාවිතා කිරීමටත්, එමෙන්ම අවශේෂ පිරිස් සඳහා නොමිලේ භාවිතා කිරීමටත් ඉඩහසර සැලසූ බව දොන් ස්පෙටර් මුදලි තුමාගේ මී මුනුබුරකු වන සහ සේනානායක තිඹිරි ගෙය වන වර්තමාන බෝතලේ වලව්වේ හිමිකරු වන දේවින්ද සේනානායක මහතා පවසයි. අංක 5366 සහ අංක 5393 යන අංක යටතේ 1897 වසර වෙනුවෙන්, 1896 වසරේ දෙසැම්බර් 02 වැනි දින නිකුත් කරන ලද එම වටිනා ලියවිලි ද්විත්වයේ මුල් පිටපත් බෝතලේ සේනානායක මුදලින්දාරාම මහා පිරිවෙණෙහි නායක ස්වාමීන් වහන්සේව වැඩවිසූ දෙල්වල ශ්‍රී මුනින්දෝභාස හිමිපාණන් විසින් දේවින්ද සේනානායක මහතා වෙත ලබාදෙන ලදුව තවමත් එම පිටපත් ඉතා සුරක්ෂිතව පවතී. 

ස්පෙටර් සේනානායක මුදලිතුමා ඉතා දැඩි බෞද්ධ මාමක චරිතයක් වූ බව නොරහසකි. මන්දයත් ඔහු ශාසනික උන්නතිය උදෙසා සිදුකළ මෙහෙවර අපමණ බැවිනි. තමන් සතුව තිබූ නිවසක් සහ ඉඩමක් සංඝයා වහන්සේ වෙත පුජා කරමින්, 1911 ජුනි 19 වැනි පොසොන් දින කොකටියගොල්ලෑවේ ශ්‍රී භාරතේන්ද්‍ර නායක ස්වාමීන්වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ වෙත සේනානායක මුදලින්දාරාමය නමින් සඟසතු කරන ලදී. දෛවෝපගත සිදුවීම නම් එදින එම අවස්ථාවේදීම තම මුනුබුරා නොහොත් ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ වැඩිමහළු පුත් රුවන වූ පසු කලෙක මෙරට අග්‍රාමාත්‍යවරයකුද වූ, ඩඩ්ලි සේනානායක දරුවා මෙළොව එළිය දැකීමේ සුබ පණිවිඩය ලැබීමයි.

1912 දී අමද්‍යප ව්‍යාපාරය ආරම්භක කටයුතු සඳහා ද ස්පෙටර් සේනානායක මුදලිතුමා නොමසුරුව තම ධනය දායක කළ බව සහ අමද්‍යප ව්‍යාපාරය මෙහෙයවමින් මුලසුන හෙබවූ බවද - ජයසේන දහනායක මහතා විසින් රචිත දේශබන්දු එෆ්.ආර්. සේනානායක නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. එම ග්‍රන්ථය තුළ අමද්‍යප ව්‍යාපාරයේ ආරම්භක අවධියේ තිබූ රැස්වීම් වල වාර්තා පවා උපුටා ගෙන ඇති බැවින් එම තොරතුරු අධ්‍යනය කිරීම ඉතා වටිනා කරුණකි. එමෙන්ම මෙම කාලය තුළදී සුරාව මගින් ලෝකයේ වෙනත් රටවල් සහ ජාතින් හට සිදුවෙමින් තිබූ හානිය පිළිබඳව දොන් ස්පෙටර් මුදලිතුමා නිරතුරුව අවධානයෙන් පසු වූ බව පෙනේ. එෆ්.ආර්. සේනානායක මහතා තම එංගලන්ත නීති විද්‍යාලයේ සමකාලීන සිසුවෙකු වූ මහත්මා ගාන්ධි මගින් දකුණු අප්‍රිකාවේ පැවති තත්ත්වය පිළිබඳ බොහෝ තොරතුරු ලිපි මගින් දැනුවත් විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය සූක්ෂම ලෙස මත්පැන් යොදාගනිමින් එම මහාද්වීපය බෙදා වෙන්කරන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමාට තිබූ බැව් සිතිය හැකි කරුණකි. එමෙන්ම ඔහු එම තොරතුරු මෙරට අතීත තත්ත්වය සමගද සසඳා බැලීය. 1815 ට පෙර වකවානුව ඉංග්‍රීසින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සුරාවට ලොල් කරවූ ආකාරය සහ එහිදී ජෝන් ඩොයිලි කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි සහ තොරතුරු කොතෙකුත් ඉතිහාසය ගෙනහැර පායි. දොන් ස්පෙටර් සේනානායක හට පෙනී ගියේ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වන බවය. එහෙයින් ඔහු අමද්‍යප ව්‍යාපාරයට සක්‍රියව දායක විය. අරක්කු රේන්දය ඔහුගේ මූල්‍ය මූලාශ්‍රය වූයේ නම්, කිසිදා ඔහු තම ආදායම අහිමි කර නොගනු ඇත. 

 ඉතා ප්‍රබල ආර්ථික සහ සමාජීය පසුබිමක් තිබූ, පරිත්‍යාගශීලි, බෞද්ධ පුනරුදය සහ අමද්‍යප ව්‍යාපාරය සඳහා පෙරමුණ ගත් ප්‍රභූවරයෙකු පිළිබඳ නිසි විමර්ශනයක් නොකරමින්, එවන් වූ චරිත සොක්කන් ලෙස සිට ලොක්කන් වූ බවට පත් වූ බැව් පැවසීමට තරම්, අඥාන වීම විද්වතුන් යයි සිතනා එවැනි පිරිස් පිළිබඳ කනගාටුවක් උපදවයි. 

තම දේපොළ සහ අනාගතය උකසට තබමින්, මහා බලයක් තිබූ හිරු නොබසිනා අධිරාජ්‍යවාදීන්ගේ පාලනය සමග ගැටෙමින්, මත් උවදුරින් ජාතිය බේරාගැනීමට සහ මේ රටට නිදහස උදාකරදීමට නිර්ලෝභීව දායක වූද, මෙරටට වටිනා අනාගත දේශපාලනික චරිත බිහිකළාවූද, බෝතලේ වලව්වේ දොන් ස්පෙටර් සේනානායක වැනි උත්තම චරිත වෙත අමූලික අසත්‍ය වපුරමින් සහ එම අසත්‍ය සමාජගත කරමින් කල් ගෙවනු වෙනුවට, ආචාර්ය සහ මහාචාර්ය විද්වතුන් වශයෙන් සහ ජාතියක් වශයෙන් එවැනි උතුම් චරිත වෙත අප මීට වඩා ගෞරව බහු මානයක් ලබා දිය යුතු නොවන්නේද යන්න අපගේ හදවත්වලින්ම විමසා බැලිය යුතු පැනයකි.


රංග ශ්‍රී පීරිස්
මාධ්‍ය ලේකම් - සේනානායක පදනම

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..