sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » අප්‍රේල් මහ නඩුවේ මතකය අප්‍රේල් මහ නඩුව වාර්තාකළ මධ්‍යවේදියෙකුගේ අතීතාවර්ජනයක්‌

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ රජය පෙරළා දැමීම සඳහා සිදුකළ ප්‍රථම සන්නද්ධ නැගිටීම වශයෙන් 1971 කැරැල්ල මෙරට ඉතිහාසයට එක්‌වී ඇත. කැරැල්ල ආරම්භ වූයේ 1971 අප්‍රේල් 5 දා රාත්‍රියේ දිවයිනේ පොලිස්‌ ස්‌ථාන 74 කට එකවර පහර දීමෙනි. කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස්‌ ස්‌ථාන 57 කට බරපතළ හානි සිදු වූ අතර ඌරගහ, කතරගම, රාජාංගන, දෙනියාය හා වරකාපොල පොලිස්‌ ස්‌ථාන කැරලිකරුවන් විසින් අල්ලාගෙන තිබීම නිසා අතහැර දැමීමට සිදුවිය. දිවයිනේ පොලිස්‌ බල ප්‍රදේශ 35 ක්‌ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පැවති අතර උපක්‍රමික හේතු මත පොලිස්‌ ස්‌ථාන 43 ක්‌ අතහැර දමා යැමට පොලිසිය පියවර ගෙන තිබිණි. තවත් පොලිස්‌ ස්‌ථාන 57 කට ද කැරලිකරුවන් ප්‍රහාර එල්ල කළ නමුත් ඒවාට අලාභහානි සිදු වී තිබුණේ නැත.

මෙම කැරැල්ලේදී කැරලිකරුවන් විසින් සාමාන්‍ය වැසියන් 41 ක්‌, පොලිස්‌ නිලධාරීන් 37 ක්‌ සහ යුද ගුවන් හා නාවික හමුදා නිලධාරීන් 26 ක්‌ මරා දමන ලද අතර රජයේ ගොඩනැඟිලි රැසක්‌ විනාශ කොට තිබූ බව අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

කැරලිකරුවන් හා කැරලිකරුවන් යෑයි සැකකරන 8000 ක්‌ පමණ මෙම කැරැල්ලේදී මියගොස්‌ ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කොට තිබිණි. එහෙත් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය 1971 ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්‌ කරමින්a කියා සිටියේ තමන්ට ලැබී තිබෙන සංඛ්‍යා ලේඛන අනුව පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවල අය ද ඇතුළු කැරැල්ලේදී මියගිය මුළු ගණන 1200 කට වැඩි නොවන බවයි.



කැරැල්ල සම්බන්ධයෙන් රජයේ අත්අඩංගුවේ පසුවන සම්පූර්ණ සංඛ්‍යාව 14,000 කි. එයින් 4200 ක්‌ දෙනා පොදු දේශපාලන සමාව යටතේ භාර වූ අය බව ද අගමැතිනිය එහිදී සඳහන් කළාය. මෙම සැකකරුවන් සියලු දෙනාම විෙද්‍යාදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි පවත්වාගෙන ගිය කඳවුරුවල රඳවා තබනු ලැබීය.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට පොලිස්‌ නිලධාරීන් මෙන්ම පරිපාලන නිලධාරීන්ගෙන් යුත් කණ්‌ඩායම් රාශියක්‌ යොදවන ලද අතර කැරැල්ලට කුමන අන්දමකින් හෝ සම්බන්ධ වී ඇති බවට පිළිගත හැකි සාක්‍ෂි තිබූ අයට විරුද්ධව නඩු පැවරීමට රජය තීරණය කළේය.

එහෙත් බොහෝ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සාක්‍ෂි ලෙස යොදාගත යුතු වූයේ ඔවුන් විසින් දෙන ලද ප්‍රකාශයන් පමණි. මේ තත්ත්වය යටතේ ඔවුන් උසාවියක්‌ හමුවට ඉදිරිපත් කොට දඬුවම් දීමට සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවීය. රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට හවුල්වීම හා කැරලි ගැසීම ආදී චෝදනාවන්ට සාමාන්‍ය නීතිය අනුව නඩු පැවරුවහොත් ඔවුන්ට විරුද්ධව චෝදනා ඔප්පු කිරීම බරපතළ ප්‍රශ්නයක්‌ වනු ඇති බව රජයේ නීති විශාරදයන්ගේ අදහස වී තිබිණි.

මේ නිසා 1972 අංක 14 දරන අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභා පනත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී.

ඒ අනුව අග්‍රාණ්‌ඩුකාර විලියම් ගොපල්ලව මහතා විසින් 1972 මැයි 17 වැනි දින අපරාධ යුක්‌ති විනිශ්චය සභාව පත්කරනු ලැබීය. හිටපු අග්‍රවිනිශ්චයකාර එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වූ ඒ. සී. අලස්‌, වී. ටී. නාමෝදරම්, හෙක්‌ටර් දෙහෙරගොඩ සහ ටී. ඩබ්ලිව්. රාජරත්නම් යන මහත්වරුන්ය. කොමිසම පත්කොට ටික කලකට පසු රාජරත්නම් විනිසුරුවරයා අසනීප වීම නිසා ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී. විමලසේන මහතා පත්විය.

මෙම කොමිෂන් සභාව පවත්වාගෙන යනු ලැබුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි 'ක්‌වීන්ස්‌ ක්‌ලබ්' නම් ගොඩනැඟිල්ලේය. කොමිසම 1972 ජුනි 12 දා ප්‍රථම වරට රැස්‌ වූ අවස්‌ථාවේ නීතිපති වික්‌ටර් තෙන්නකෝන් මහතා කැරැල්ල පිළිබඳ මූලික විස්‌තරයක්‌ කළ අතර පොලිස්‌පති ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සිය වාර්තා ඉදිරිපත් කළහ.

අනතුරුව නීතිපතිවරයා 1972 ජුනි 13 දා අප්‍රේල් මහ නඩුවේ සැකකරුවන්ගේ නම් සහ ඔවුන්ට විරුද්ධව තිබෙන චෝදනා කොමිසම ඉදිරියේ ප්‍රකාශ කළේය.

රැජිනට විරුද්ධව යුද්ධ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ලංකාවේ විවිධ ස්‌ථානවල යුද්ධ කිරීම හා එවැනි යුද්ධ කිරීම්වලට අනුබල දීම හා සාපරාධී බලහත්කාරයෙන් ලංකාණ්‌ඩුව බය ගැන්වීමට කුමන්ත්‍රණ කිරීම යන චෝදනා රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලදී.

සැකකරුවන් 41 දෙනකුට විරුද්ධව මෙම චෝදනා නඟා තිබූ අතර ඔවුන්ගෙන් 32 දෙනකු 1972 ජුලි මස 22 වැනි දින කොමිෂන් සභාව ඉදිරියට පමුණුවනු ලැබීය.

එම සැකකරුවන් වූයේ 1. එස්‌. ටී. ඒ. පියතිලක, 2. ලයනල් බෝපගේ, 3. ඡේම්ස්‌ උයන්ගොඩ, 4. අනුර රංජිත් කුරුකුලසූරිය, 5. සුනන්ද දේශප්‍රිය හෙවත් අශෝක, 6. ඩබ්ලිව්. ඩී. නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, 7. එම්. කේ. වික්‌ටර් අයිවන් හෙවත් පොඩි අතුල, 8. නිමල් මහරගේ, 9. සෝමසිරි කුමානායක, 10. වසන්ත කනකරත්න, 11. ඩී. ඒ. ගුණසේකර, 12. ඩී. ඩී. සිල්වා, 13. රෝහණ විඡේවීර, 14. ඩබ්ලිව්. ඩී. සිසිල්චන්ද්‍ර, 15. පියසිරි කුලරත්න, 16. සුනිල් රත්නසිරි ද සිල්වා, 17. විරාඡ් ප්‍රනාන්දු, 18. එම්. විඡේපාල ද සිල්වා, 19. බී. එම්. නිහාල් ආනන්ද පෙරේරා, 20. එස්‌. ඩී. බණ්‌ඩාරනායක, 21. ඩබ්ලිව්. ඒ. ඩෙස්‌මන්ඩ් ද සිල්වා, 22. ඡේ. පී. පී. ධනපාල, 23. ලක්‍ෂ්මන් මහදුවගේ හෙවත් තඩි ලක්‍ෂ්මන්, 24. සුසිල් සිරිවර්ධන, 25. මහින්ද විඡේසේකර, 26. කෙලී සේනානායක, 27. පී. ඩී. තේමිස්‌ සිල්වා හෙවත් වටපොල අතුල, 28. ඇලඩින් සුබසිංහ, 29. ලක්‍ෂ්මන් සී. ප්‍රනාන්දු හෙවත් කලු ලකී, 30. ලක්‍ෂ්මන් මුණසිංහ හෙවත් පොඩි ලකී, 31. මෙරිල් පියසිරි, 32. එන්. ප්‍රේමරත්න හෙවත් චුක්‌කි, 33. විඡේසේකර විතාරණ හෙවත් සනත්, 34. සුසිල් වික්‍රම, 35. සරත් විඡේසිංහ, 36. මිල්ටන්, 37. ඩබ්ලිව්. ටී. කරුණාරත්න හෙවත් ඉන්කම් ටැක්‌ස්‌කරු, 38. ප්‍රේමපාල හේවාබටගේ, 39. නයනානන්ද විඡේකුලතිලක, 40. ඩී. පී. විමලගුණේ, 41. ඡේ. ඒ. ජී. ජයකොඩි යන අයයි.

මෙම සැකකරුවන් අතරින් 32 දෙනකු 1972 ජුලි 26 දා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කෙරිණි. 32, 33, 34, 35, 36, 38, 39, 40 හා 41 වැනි සැකකරුවන් එදින කොමිසම වෙත ඉදිරිපත් නොකළ අතර ඔවුන් එතෙක්‌ අත්අඩංගුවට ගෙන නැතැයි නීතිපතිවරයා පැවසීය. එහෙත් නඩු විභාගයේ අවසන් භාගයේදී 41 වැනි සැකකරු වන ඡේ. ඒ. ජී. ජයකොඩි අත්අඩංගුවට ගෙන කොමිසම හමුවට පමුණුවන ලද නමුත් ඔහු අප්‍රේල් මස මහ නඩුවෙන් ඉවත් කොට පොල්ගහවෙල පොලිසියට පහර දීමේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබීය.

මෙම නඩු විභාගය ආරම්භයේදීම 6 වැනි සැකකාර නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, 9 වැනි සැකකාර සෝමසිරි කුමානායක සහ 12 වැනි සැකකාර ඩී. ඩී. සිල්වා යන තිදෙනා චෝදනාවන්ට වරද පිළිගත්හ.

සැකකරුවන්ට විරුද්ධව 1972 අගෝස්‌තු 10 දා ආරම්භ වූ නඩු විභාගය 1974 සැප්තැම්බර් 2 දා දක්‌වා පැවැත්විණි. මේ කාලය තුළ කොමිසම දින 306 ක්‌ රැස්‌විය. මෙය ශ්‍රී ලංකාවේ දීර්ඝතම නඩු විභාගය වශයෙන් ඉතිහාසයට එක්‌වී ඇත.

මෙහිදී පැමිණිල්ලේ සාක්‌කි විභාගයට දින 142 ක්‌ ගත වූ අතර විත්ති පක්‍ෂයේ සාක්‍ෂි ඉදිරිපත් කිරීමට හා හරස්‌ ප්‍රශ්න ඇසීමට දින 138 ක්‌ ගත විය.

මෙම නඩු විභාගය පැවැති මුළු කාලය පුරාම එය වාර්තා කිරීමට මට ද අවස්‌ථාව ලැබුණි. එවකට මා සේවය කළේ 'ඇත්ත' පත්‍රයේය. ඇත්ත වෙනුවෙන් ස්‌ටැන්ලි සමරසිංහත් මාත් අප්‍රේල් කැරැල්ලේ නඩු විභාගය වාර්තා කළෙමු. 'දිනමිණ' වෙනුවෙන් ඩී. සී. කරුණාරත්න, 'ජනතා' වෙනුවෙන් ඩබ්ලිව්. ජී. ගුණරත්න, ගුවන් විදුලිය වෙනුවෙන් ජනදාස පීරිස්‌, 'ලංකාදීප' වෙනුවෙන් ජයසේන විඡේනායක, 'දවස්‌ වෙනුවෙන් බෙනී ජයසුන්දර හා 'ජනදින' වෙනුවෙන් අබේසේන හේරත් යන මාධ්‍යවේදීහු ද නඩු විභාගය වාර්තා කිරීමට නිතිපතා පැමිණි අය අතර වූහ.

අප්‍රේල් කැරැල්ල පිළිබඳ නඩු විභාගය පැවැත්වුණු කාලය තුළ ඇති වූ විශේෂ සිදුවීම් රාශියකි.

කොමිෂන් සභාව 1972 අගෝස්‌තු 11 දා නඩු විභාගය සඳහා මුල්වරට රැස්‌ වූ අවස්‌ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පිරිසක්‌ අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභා පනතට විරෝධය පළ කරමින් අදහස්‌ දැක්‌වූහ. මෙහිදී මුලින්ම විරෝධය පළකරමින් කතා කළේ නීතිඥ බාලා තම්පෝ මහතාය. ඒ අනුව අනික්‌ නීතිඥවරු ද අදහස්‌ දැක්‌වූහ. එහෙත් කොමිෂන් සභාවේ සභාපති එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා එම විරෝධය ප්‍රතික්‍ෂේප කළේය. එයට විරෝධය පාමින් නීතිඥවරුන් 7 දෙනකු කොමිසමෙන් නැගිට ගියහ. එහෙත් බාලා තම්පෝ මහතා නැගිට ගියේ නැත. කොමිසම විසින් එසේ නැගිට ගිය නීතිඥවරුන්ට කොමිසමට පැමිණීම තහනම් කරනු ලැබීය. මේ නිසා සැකකරුවන් බොහෝ දෙනකු වෙනුවෙන් පෙනී සිටීමට බාලා තම්පෝ මහතාට අවස්‌ථාව ලැබිණි.

මේ අතර එවකට නුවරඑළිය මන්ත්‍රීවරයාව සිටි නීතිඥ ගාමිණී දිසානායක මහතා 25 වැනි සැකකාර මහින්ද විඡේසේකර වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියේ ඔහුගේ කනිෂ්ඨ නීතිඥයා වශයෙන් කටයුතු කළ (වර්තමාන අගමැති) රනිල් වික්‍රමසිංහ මහතා ද සමඟය. ගාමිණී දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට නඩුවේ කටයුතු භාරදීමට ගියේය. මහින්දගේ නීතිඥයා වශයෙන් ගාමිණී දිසානායක මහතා ගෙන්වාගෙන තිබුණේ මහින්දගේ පියා විසිනි. එහෙත් ගාමිණී දිසානායක මහතා තමා වෙනුවෙන් පෙනී සිටින බව දැනගත් මහින්ද විඡේසේකර තමන්ට නීතිඥ සහාය අවශ්‍ය නැති බව කියා සිටියේය. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ද කොමිසමෙන් ඉවත්ව ගියේය.

අප්‍රේල් කැරැල්ලේ සැකකරුවන් නඩු විභාගය සඳහා ගෙන එනු ලැබුවේ බන්ධනාගාර 'බ්ලැක්‌මරියා' බස්‌රථ දෙකකිනි. ඒවාට ඉදිරියෙන් හා පසුපසින් පොලිස්‌ මෝටර රථයක්‌, යුද හමුදා සන්නද්ධ රථ දෙකක්‌ ද ගමන් ගත්හ. සැකකරුවන් බන්ධනාගාරයේ සිට කොමිසම වෙත පැමිණියේ විප්ලවීය ගීතද ගායනා කරමිනි.

කොමිෂන් සභා ශාලාවේ සැකකරුවන් සඳහා විශාල විත්ති කූඩුවක්‌ තනා තිබිණි. ඔවුන් සියලු දෙනාම එහි අසුන්ගෙන සිටි අතර චෝදනාවලට වරද පිළිගෙන සිටි ලොකු අතුල, ඩී. ඩී. සිල්වා සහ සෝමසිරි කුමානායක අසුන් ගත්තේ ශාලාවේ නීතිඥවරුන්ගේ අසුන්වලට වම් පැත්තෙන් ආසනවලය.

මෙම නඩු විභාගය නැරඹීම සඳහා එවකට මැද කොළඹ පළමුවැනි මන්ත්‍රීවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා ද වරින්වර පැමිණි අතර ඒ පැමිණි සෑම දිනකම ඔහු දවසේ නඩු විභාගය අවසන් වන තුරුම රැඳී සිටියේය.

නඩුවේ 24 වැනි සැකකරු සුසිල් සිරිවර්ධන මහතා වෙනුවෙන් රාජ නීතිඥ එස්‌. නඩේසන් මහතා ද ඔහුගේ කනිෂ්ඨ නීතිඥයන් වශයෙන් සූරියා වික්‍රමසිංහ මහත්මිය සහ එච්. ඒ. සෙනෙවිරත්න මහතා ද පෙනී සිටියේය. එස්‌. ඩී. බණ්‌ඩාරනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේ අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතාය. පසුව එස්‌. ඩී. බණ්‌ඩාරනායක මහතා නීති උපදෙස්‌ නොතකා අදහස්‌ ප්‍රකාශ කිරීම නිසා විඡේතුංග මහතා නඩුවෙන් ඉවත් විය. නඩු විභාගය අවසන් භාගයේදී එනම් 1974 අගෝස්‌තු 1 දා නීතිඥ බාලා තම්පෝ මහතාට ද කොමිසමට පැමිණීම තහනම් විය. ඒ ඔහු කොමිසමට අපහාස වන අන්දමින් හැසිරීම නිසාය.

රෝහණ විඡේවීර, මහින්ද විඡේසේකර, වික්‌ටර් අයිවන්, ලොකු අතුල ඇතුළු සැකකරුවන් වැඩිදෙනෙක්‌ නීතිඥ සහාය නැතිව තමන් වෙනුවෙන් කොමිසම ඉදිරියේ සාක්‌කි දීම හා හරස්‌ ප්‍රශ්න ඇසීම මෙම නඩු විභාගයේ තවත් විශේෂ සිද්ධියකි.

මෙහිදී පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙස 6 වැනි සැකකාර ලොකු අතුල දින 47 ක්‌ සාක්‌කි දුන්නේය. විත්තිය වෙනුවෙන් සාක්‌කි දුන් 3 වැනි සැකකාර රෝහණ විඡේවීරගේ සාක්‌කියට දින 31 ක්‌ ගතවිය. කොමිසම හමුවේ සැකකරුවන් වශයෙන් නම්කොට සිටි 32 දෙනාගෙන් 11 ක්‌ නඩු විභාගයේදී සාක්‌කි දුන්හ.

අප්‍රේල් කැරැල්ල පිළිබඳ නඩු විභාගය 1974 සැප්තැම්බර් 2 දා අවසන් විය. මෙහි නඩු වාර්තාව පිටු 12,500 කි.

නඩු විභාගයේ තීන්දුව 1974 දෙසැම්බර් 20 දා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතාට බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම විය.

සුසිල් සිරිවර්ධන, එස්‌. ඩී. බණ්‌ඩාරනායක සහ ඩී. ඩී. සිල්වා යන මහත්වරුන්ට බරපතළ වැඩ ඇතිව අවුරුදු 2 බැගින් සිර දඬුවම් නියම වූ අතර එය අත්හිටුවූ සිර දඬුවමකි.

ඩී. ඒ. ගුණසේකර, ඡේ. පී. පී. ධනපාල, මහින්ද විඡේසේකර සහ ඩී. පී. විමලගුණේ යන මහත්වරු කොමිසම විසින් නිදහස්‌ කරන ලදී.

සැකකරුවන් 28 දෙනකුට බරපතළ වැඩ ඇතිව අවුරුදු 2 සිට අවුරුදු 12 දක්‌වා සිර දඬුවම් නියම කෙරිණි. වරද පිළිගත් ලොකු අතුල සහ කුමානායකට බරපතළ වැඩ ඇතිව අවුරුදු 5 සහ අවුරුදු 3 බැගින් සිර දඬුවම් නියම වූ අතර 7 වැනි සැකකාර වික්‌ටර් අයිවන්ට නියම කෙරුණේ අවුරුදු 5 ක සාමාන්‍ය සිර දඬුවමකි.

25 වැනි සැකකාර මහින්ද විඡේසේකර මහතාට විරුද්ධව චෝදනා ඔප්පු වී නැති බැවින් ඔහු නිදහස්‌ කිරීමට කොමිසම තීරණය කළ නමුත් ඔහු නිදහස්‌ කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයෙන් නියෝගයක්‌ නිකුත් කර නොතිබීම නිසා දඬුවම් නියම වූ සෙසු සැකකරුවන් ද සමඟ ඔහු බන්ධනාගාරය වෙත ගෙනයනු ලැබීය.

අප්‍රේල් මහ නඩුවට අමතරව අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව මේ කාලය තුළ අප්‍රේල් කැරැල්ලේ අතුරු පරීක්‍ෂණ 134 ක්‌ ද විභාග කරන ලදී. එහිදී දිවයිනේ පොලිස්‌ ස්‌ථාන රාශියක්‌ ඇතුළු වැදගත් ස්‌ථානවලට පහරදීම හා යුද්ධ කිරීම සම්බන්ධයෙන් චෝදනා කොට සැකකරුවන් 291 දෙනෙක්‌ කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පරීක්‍ෂණ පවත්වා දඬුවම් නියම කරනු ලැබීය.

දයා ලංකාපුර

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..