sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » ලයනල් වෙන්ඩ්ට්‌ගේ කලා ලෝකය

මෙරට කලා රසිකයන් විසින් වසරක්‌ පාසා උත්කර්ෂයෙන් අනුස්‌මරණය කරනු ලබන සාහිත්‍ය කලාකරුවන් ස්‌වල්ප දෙනා අතර ලනල් වෙන්ඩ්ට්‌ ද එක්‌ අයෙකි. ඔහුගේ ජන්ම දිනය එළඹෙත්ම හැම වසරකම ලයනල් වෙන්ඩ්ට්‌ කලාගාරයේ මේ කලාකරුවා සිහිපත් කොට නොයෙකුත් වැඩසටහන්, සංගීත - නර්තන ප්‍රසංග හා චිත්‍ර - ඡායාරූප ප්‍රදර්ශනාදිය පැවැත්වෙයි. ඒ දිනයන්හි මෙරට සිංහල, ඉංග්‍රීසි දෙබසින් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රවෘත්ති පත්‍රවල ද ඔහු පිළිබඳ විශේෂ ලිපි පළවෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලයනල් වෙන්ඩ්ට්‌ මෙරට බුද්ධිමත් රසිකයන්ට පහසුවෙන් අමතක කළ නොහැකි චරිතයක්‌ බවට පත්ව ඇති බවය.

1900 වර්ෂයේ දෙසැම්බර් මස තුන්වැනි දින බර්ගර් ජාතික ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුට දාව සිංහල ප්‍රභූ කාන්තාවකගේ කුසින් මෙලොව එළිය දකින ලයනල් වෙන්ඩ්ට්‌ තරුණ වියට පා තැබීමත් සමග එංගලන්තය බලා ගොස්‌, නීතිය හදාරා නීතිවේදියකු බවට පත් වුවද ඔහු සිය ජීවිත කාලයම කැප කරන්නේ කලාව වෙනුවෙනි. සංගීතඥයකු, ඡායාරූප ශිල්පියකු, සිනමාවේදියකු හා කලා විචාරකයකු වශයනේ පමණක්‌ නොව, කලා ක්‌ෂේත්‍රයේ ස්‌ථාපිතව පැවති ගතානුගතික ප්‍රවණතාවන්ට පටහැනිව යමින් කලාකරුවන් සංවිධානගත කළ අදීන බුද්ධිමතෙකු වශයෙන්ද ඔහු දිවයිනේ කීර්තිමත්ව සිටියේය. එමෙන්ම නිර්මාණාත්මක සාහිත්‍යය විෂයෙහිද ඔහු තුළ මහත් උනන්දුවක්‌, අවබෝධයක්‌ හා රසඥතාවක්‌ විය. 1944 වර්ෂයේ සිදු වූ ලයනල් වෙන්ඩ්ට්‌ගේ අභාවය නිමිත්තෙන් ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක්‌ සපයමින් සුප්‍රකට පුවත්පත් කලාවේදියකු වූ ටෝරි ද සූසා සඳහන් කළේ ඔහුගේ ගැඹුරු, අනලස්‌ උද්යෝගයට පාත්‍ර නොවූ ඔහුට හුරුපුරුදු නොවූ එකද කලාංගයක්‌ හෝ නොවූ බවය. (Rediscovering Lionel Wendt - Manel Fonseka) සාහිත්‍යය හා සංගීතයද, චිත්‍ර, මූර්ති, ඡායාරූප හා සිනමා යන කලා මාධ්‍යයන්ද ඉහළම ප්‍රමිතියකින් දැන සිටි ශ්‍රී ලාංකිකයා වූයේ ලයනල් වෙන්ඩ්ට්‌ යෑයි ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ද වරක්‌ සඳහන් කළේය. (දිනමිණ - මංසල අතිරේකය, 2006 දෙසැම්බර් 19)

අටළොස්‌ හැවිරිදි වියට පත් වන විටම ඔහු ලෝකයේ සම්භාව්‍ය සංගීතඥයන් පිළිබඳව දැන සිටියේය. 1919 වර්ෂයේ එංගලන්තය බලා ගොස්‌ නීතිය හදාරමින් සිටින අතරතුර ඔහු රාජකීය විද්‍යායතනයට බැඳී සංගීතය හදාළේය. පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව ඔහු සංගීත ප්‍රසංග ගණනාවක්‌ පැවැත්වීය. ශූර පියානෝ වාදකයකු වූ ඔහු ජීවිතාන්තය දක්‌වාම සංගීතය අත් නොහළ බවද, සංගීත ශාස්‌ත්‍රය ඉගැන්වීමෙහි පවා නියෑලුණ බවද කියෑවේ. එසේ වුවද ලයනල් වෙන්ඩ්ට්‌ සංගීත ප්‍රසංග පැවැත්වීමෙන් කිසිවිටෙකත් අර්ථ ශූන්‍ය ජනප්‍රියත්වයක්‌ ඇති කර ගැනීමට අපේක්‍ෂා නොකළ බව 1946 වර්ෂයේ නොවැම්බර් මාසයේ "ලංකා" සඟරාවට ඔහු පිළිබඳ ලිපියක්‌ සපයමින් වීරකුමාර නමැත්තා සඳහන් කළේය.

අනතුරුව ඔහු ප්‍රගුණ කළේ ඡායාරූප ශිල්පයයි. ඔහුගේ ඡායාරූප යුරෝපයේ ප්‍රධාන නගරවලද, ආසියානු රටවල හා දකුණු අප්‍රිකාවේ ද ප්‍රදර්ශනය කෙරිණ. 1940 පෙබරවාරි මාසයේ කොළඹ කලා භවනෙහි පවත්වන ලද ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයද කලා විචාරකයන්ගේ මහත් පැසසුමට පාත්‍ර විය. (Rediscovering Lionel Wendt -
Manel Fonseka) ලයනල් වෙන්ඩ්ට්‌ කොළඹ හතේ ප්‍රභූ සමාජයට අයත් වූවකු වුවද, ඔහු විසින් කැමරාවට නඟන ලද්දේ ගොවීන්, ධීවරයන්, පොල්ගෙඩි අහුලන මිනිසුන්, කිරිබණ්‌ඩලා, රාමන්ලා හා ලීලාවතීලා වැනි සාමාන්‍ය පන්තියේ ජනයා යෑයි ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ප්‍රකාශ කළේය. (දිනමිණ, 2006 දෙසැම්බර් 19) සෞන්දර්ය ග්‍රහණය කිරීමෙහිලා විශ්මය දනවනසුලු නිපුණතාවක්‌ හා නිරවද්‍ය සහජාසයක්‌ ඔහු තුළ වූ බවද ඔහු ජාත්‍යන්තර කීර්තිධර ඡායාරූප ශිල්පියකු බවට පත්වූයේ එහෙයිනැයි ද ලයනල් වෙන්ඩ්ට්‌ මියගිය අවස්‌ථාවේ ටෝරි ද සූසා සඳහන් කළේය.

1934 වර්ෂයේ ලංකා තේ ප්‍රචාරක මණ්‌ඩලය වෙනුවෙන් වාර්තා චිත්‍රපට මාලාවක්‌ නිපදවීම සඳහා ලංකාවට පැමිණීමට නියමිතව සිටි බැසිල් රයිට්‌ නම් වූ සිනමා අධ්‍යක්‍ෂවරයාට සහාය වන මෙන් දන්වා බ්‍රිතාන්‍ය ජාතික වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ජෝන් ගියර්සන් ලයනල් වෙන්ඩ්ට්‌ හට ඇරැයුම් කළේය. බැසිල් රයිට්‌ සිය සහායකයා වූ ජෝන් ටේලර්ද සමග ලංකාවට පැමිණියේ චිත්‍රපටය සඳහා තිර රචනයක්‌ පවා නොමැතිවය. චිත්‍රපටයට අවශ්‍ය වූ දර්ශන තෝරා ගැනීම සඳහා ඔවුන් අදාළ ස්‌ථානයන්ට කැඳවාගෙන යන ලද්දේත්, ලාංකේය ජන ජීවිතය වටහා ගැනීමට ඔවුනට ගුරු හරුකම් දෙන ලද්දේත් ලයනල් වෙන්ඩ්ට්‌ විසිනැයි ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ පෙන්වා දෙයි. ඔහු තවදුරටත් දක්‌වන අන්දමට ලයනල් වෙන්ඩ්ට්‌ අප සංස්‌කෘතියේ බාහිර විචිත්‍රත්වය විනිවිද ගොස්‌ එහි අභ්‍යන්තරය ස්‌පර්ශ කළ කෙනෙකි. Song of Ceylon (ලංකා ගීතය) නම් වූ මේ චිත්‍රපටයේ රූපයක්‌ රූපයක්‌ පාසා සෞන්දර්යයක්‌ පිළිබිඹු වේ. "ලංකා ගීතය" නරඹන විට එහි ඇතුළත් සමහර රූප හා ලයනල් වෙන්ඩ්ට්‌ගේ මෙරට ජීවිතය පිළිබිඹු කෙරෙන ඡායාරූප අතර සාම්‍යයක්‌ විද්‍යමාන වේ. මෙරට ගැමියන්, ධීවරයන්, නර්තන ශිල්පීන් හා ගෘහ කාර්මිකයන් නිරූපණය කෙරෙන අමතක නොවනරූප මාලාවක්‌ "ලංකා ගීතය" පුරා විසිර ඇත. "ලංකා ගීතය" මේ තත්ත්වයට පත්වූයේ සංස්‌කරණයේ දීය. (චිත්‍රපට මාධ්‍යය, 1964 සැප්තැම්බර් කලාපය,පිටු 12-15) බැසිල් රයිට්‌ දක්‌වන අන්දමට ලයනල් වෙන්ඩ්ට්‌ "ලංකා ගීතයේ" සංස්‌කරණ කටයුතුවලටද සහාය විය. (බැසිල් රයිට්‌ගේ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය ( පණ්‌ඩුල ගොඩවත්ත, "කැමරා", 2007 වසන්ත කලාපය, පි.45) මේ චිත්‍රපටයට අවශ්‍ය වූ අමුද්‍රව්‍ය බොහොමයක්‌ සපයන ලද්දේ ලයනල් වෙන්ඩ්ට්‌ විසිනැයි සඳහන් කරන නෙවිල් වීරරත්න ඔහු නොවීනම් "ලංකා ගීතයක්‌" ද නොවීයෑයි පළකරයි. (43 Group Neville
Weereratne, pp.38- 39)


මේ චිත්‍රපටයට 1935 වර්ෂයේ බ්‍රසල්ස්‌හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රථම ස්‌ථානය හිමිවිය. "ලංකා ගීතය" මේ වන තෙක්‌ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත හොඳම චිත්‍රපටය ලෙස රොජර් මැන්වෙල් හැඳින්වීය. ලංකා ගීතය පුරා ප්‍රචලිතව පැවති සෞන්දර්යය අතින් ගත්කල එය රුසියාවෙන් මෙපිට බිහිවූ අසමසම නිර්මාණයක්‌ වශයෙන් සැලකිය හැකි බව ඔහුගේ අදහස විය.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කෙරුණු පසුකාලීන වාර්තා චිත්‍රපට ගණනාවක මෙන්ම "රේඛාව" හා "ගම්පෙරළිය" වැනි වෘත්තාන්ත සිනමා පටවල පවා "ලංකා ගීතයේ" ආභාසය පිළිබිඹු වෙතැයි විචාරකයෝ පෙන්වා දෙති.

ලයනල් වෙන්ඩ්ට්‌ බොහෝ පතපොත පරිශීලනය කළ අයෙකි. බටහිර සාහිත්‍යය පිළිබඳ පුළුල් දැනුමක්‌ ඔහුට විය. එවක "කේශරී" නමින් වමට බර සඟරාවක්‌ පළවූ අතර එහි පසුපස සිටියේ ලයනල් වෙන්ඩ්ට්‌ ය. ලයනල් සතුව මාහැඟි පුස්‌තකාලයක්‌ වූ අතර එවකට ලංකාවේ චිලී කොන්සල්වරයාව සිටි පැබ්ලෝ නෙරුඩා පවා කියෑවීමට පොත් ලබා ගත්තේ ඔහුගෙනි. (Rediscoverin Lionel Wendt - Manel Fonseka) ලයනල් ප්‍රියකළ ලේඛකයන් අතර ස්‌ටීන්බර්ග්, ඔස්‌කා වයිල්ඩ්, ආනෝල්aඩ් බෙනට්‌, එච්. ජී. වෙල්ස්‌, බර්නාඩ් ෂෝ හා ඩී. එච්. ලෝරන්ස්‌ ද වූහ. යුරෝපා සංචාරයන්හි යෙදී පෙරළා මව්බිමට පැමිණෙන විට ඔහු නොයෙක්‌ පතපොත රැගෙන ආවේය.

ප්‍රතිභාසම්පන්න අංකුර කලාකරුවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට ලයනල් හැම විටම සැදී පැහැදී සිටියේය. ගැටවර වියෙහිදී ලයනල්ගේ ඇසුරට පත් ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ස්‌වකීය ජීවිතය කෙරෙහි ඔහුතරම් බලපෑ අන් අයෙකු ගැන සිතා ගැනීම පවා දුෂ්කර යෑයි සඳහන් කොට ඇත. සිනමා ක්‌ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර ලෙස්‌ටර් රචනා කළ කෙටිකතා සහ සිනමා විචාර ලිපි "කේශරී" සඟරාවේ පළකර දුන්නේ ලයනල් ය. (දිනමිණ, 2006 දෙසැම්බර් 19)

මුලදී කාව්‍යකරණයෙහි නියෑලී සිටි ජෝර්ඡ් කීට්‌ගේ සහජ කලා කුසලතා හඳුනාගත් ලයනල් ඔහු චිත්‍ර කලාව කෙරෙහි යොමු කරවීය. සිය ජීවිතය චිත්‍ර කලාව වෙනුවෙන් කැප කිරීමෙහිලා බලපෑ මුල්ම සාධකය වූයේ ලයනල් වෙන්ඩ්ට්‌ යෑයි ජෝර්- කීට්‌ සඳහන් කොට ඇත. ජෝර්- කීට්‌ ප්‍රංශ චිත්‍ර කලාවේ නවරැල්ල හඳුනාගත්තේ ලයනල් විදේශයන් ගෙන් ගෙන ආ පතපොත කියෑවීමෙනි. එමෙන්ම ඔහු සමග යෙදුණු කථෝපකථනයන් මාර්ගයෙනි. (සිළුමිණ, 2007 ජූලි 29)

ලයනල් වෙන්ඩ්ට්‌ උපතින් රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගමට අයත් වුවද බෞද්ධ චිත්‍ර කලාව හා උඩරට නැටුම එකසේ ප්‍රිය කළේය. උඩරට නර්තන ශිල්පීන්ට ඔහුගෙන් මහත් ධෛර්යක්‌ සැපයුණි. "ලයිකා" කැමරාවේ ප්‍රචාරය සඳහා අර්නස්‌ට්‌ ලීට්‌ස්‌ සමාගම විසින් ලොව පුරා බෙදාහරින ලද්දේ ලයනල්ගේ කැමරාවට හසුවූ භේරි තූර්ය වාදක සුරඹා ගුරුන්නාන්සේගේ ඡායාරූපයකි. "ලංකා ගීතයේ" කටයුතු නිමවා බැසිල් රයිට්‌ ප්‍රමුඛ සිනමාකරුවන් ලන්ඩනය බලා පිටත්ව ගිය පසුව උක්‌කුවා සහ සුරඹා යන නර්තන ශිල්පීන් සමග ලයනල් ද එහි ගියේය. එහිදී ඔහු මේ ශිල්පීන් දෙදෙනාගේ නිරවද්‍ය නර්තන විලාසයන් හා හඬ ද චිත්‍රපටයේ අවසාන සංස්‌කරණ කටයුතුවලට එක්‌ කිරීමට කටයුතු කළේය. උඩරට බෙර වාදනයන්හි හා ජන ගීවල නාදමාලා "ලංකා ගීතයෙහි" සුලබව භාවිත කොට ඇත. චිත්‍ර කලාකරුවන් එක්‌රැස්‌කොට 43 කණ්‌ඩායම (43 ඨරදමච) පිහිටුවීමට පුරෝගාමී වූයේ ලයනල් වෙන්ඩ්ට්‌ ය. එතෙක්‌ චිත්‍ර කලා ක්‌ෂේත්‍රයෙහි ආධිපත්‍යය දැරුවේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ අනුග්‍රහයට පාත්‍ර වූ ලංකා කලා සංගමයයි. සිරි ගුණසිංහ සඳහන් කරන අන්දමට මේ කලා සංගමය ශාස්‌ත්‍රීය අංශයට බර වෙමින් නව මත පළකිරීමට පෙළඹුණු බව සැබෑය. එහෙත් මේ නව මතවලින් ප්‍රකාශයට පත් වූයේ අනවශ්‍ය ප්‍රමාණයෙන් සරල භාවයට නඟමින් ස්‌වභාවය ප්‍රතිරූපණය කිරීමේ කලාව ය. ලංකා කලා සංගමය නව අත්හදා බැලීම් ප්‍රතික්‌ෂේප කළේය. (ලංකා කලා මණ්‌ඩලයේ කලා සඟරාව, 1962 සැප්තැම්බර් කලාපය, පිටු 25)

43 කණ්‌ඩායමට අයත් වූ හැරී පීරිස්‌, අයිවන් පීරිස්‌, ජස්‌ටින් දැරණියගල, ඕබ්‍රි කොලට්‌, ජෝර්- කීට්‌, ජෙෆ් බෙලිං, රිචඩ් ගේ්‍රබියල් හා ජෝර්- ක්‌ලාසන් ආදී කලාකරුවෝ බටහිර නවීනවාදී චිත්‍ර කලාවෙන් ආභාසය ලබමින් නිර්මාණකරණයෙහි නියෑලුණහ.

දකුණු ආසියාවේ ප්‍රථමයෙන්ම බිහි වූ නූතනවාදී කණ්‌ඩායම්වලින් එකක්‌ ලෙස 43 කණ්‌ඩායම හැඳින්විය හැකිය. දෘශ්‍ය කලාවේ නූතනවාදී හරයන් ශ්‍රී ලාංකේය සන්දර්භයෙහි බහා යළි ප්‍රකාශ කළ මුල් ම චිත්‍ර ශිල්පීන් 43 කණ්‌ඩායමට අයත් වෙතැයි ජගත් වීරසිංහ සඳහන් කරයි. මේ චිත්‍ර කලාකරුවන් නූතනවාදීන් ලෙස නිර්මාණකරණයෙහි නියෑලීමට පෙළඹීම යටත් විජිත යුගයේ අධිරාජ්‍ය විරෝධී අර්ථයන්ගෙන් සංයුක්‌ත වූවක්‌ ලෙස නිරීක්‌ෂණය කළ හැකි යයි ද ඔහු පෙන්වා දෙයි. (දිවයින - සරසවිඋයන, 2006 දෙසැම්බර් 21)

ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ දක්‌වන අන්දමට 43 කණ්‌ඩායම ගොඩනැඟීමට මුල් වූවෝ නම් හැරී පීරිස්‌ හා අයිවන් පීරිස්‌ යන දෙදෙනාය. එහෙත් අවශේෂ චිත්‍ර ශිල්පීන් ද එක්‌රැස්‌ කොටගෙන එය ආරම්භ කළේ ලයනල් වෙන්ඩ්ට්‌ ය. චිත්‍ර හා මූර්ති ශිල්පීන් මෙසේ ඒකරාශි කිරීම ලයනල් වෙන්ඩ්ට්‌ හැරණු විට අන් කිසිවෙකුටත් කළ නොහැකි විය. ඔහුගේ පෞරුෂය හා කොයි කවුරුන් තුළත් ඔහු කෙරෙහි පැවති ගෞරවය ඒ සඳහා හේතු විය. ඒ හැකියාව තිබූ එකම පුද්ගලයා වූයේ ඔහු ය. ඔහු නොවී නම් 43 කණ්‌ඩායම ද බිහි නොවනු ඇත. (සිළුමිණ 2007 මාර්තු 4)

ලයනල් වෙන්ඩ්ට්‌ගේ අභාවයෙන් දෙවසකරට පසුව ඔහුගේ සේවය අගයමින් ලංකා සඟරාවට සැපයූ ලිපියෙහි වීර කුමාර මෙසේ සඳහන් කළේය.

වෙන්ඩ්ට්‌ වැනි මිනිස්‌සු හැමදාම නූපදිති. ඔහු හා සමාන කිසිවෙකු අද ලංකාවේ නැත. හේ කලා ලෝකයේ යෝධයා විය. සෙස්‌සෝ ඔහුගේ අයිනෙහි සිටි කුරුමිට්‌ටෝ වූහ. ඔහු කලා භවනක්‌ ගොඩනැඟීම සඳහා කුරුඳු වත්තේ පිහිටි සිය සුන්දර නිවසද ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළේය.

තතු මෙසේ හෙයින් ලයනල් වෙන්ඩ්ට්‌ මියගොස්‌ වසර 66 ක්‌ ගතවී තිබුණ ද කලා රසිකයන් උත්කර්ෂවත් අයුරින් ඔහු අනුස්‌මරණය කිරීමට පෙළඹීම මවිතයට කරුණක්‌ නොවේ.

මහාචාර්ය ජිනදාස දනන්සූරිය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..