ඉතිං කියන්න පුළුවන් එකම දේ ඔහුගේ ඇස තුල අප මියගොස් සිටීමයි (We are dead in the eyes of Hegel කියල තමයි ජිජැක් එක තැනක කියන්නේ). පරණ ලෝකයෙන් ඛණ්ඩනය වෙනකල් සහ එහෙම ඛණ්ඩනය වෙලා අලුත් ලෝකයක් වෙත අප යනතුරු දෑස දල්වා ගෙන බලා සිටිය ඔහුගේ දෑස් ඉදිරියේ අප නිකම් ධනවාදයේ පහන් දැල්ල ඉදිරියේ නර්තනයේ යෙදෙන මියගිය ආත්ම විතරයි. මිය ගිහිල්ලා තියෙන්නේ එයා නෙවෙයි, එයා මියගියා කියල පාරම් බෑව අපියි.
මේ ලඟදි චන්දිමාල් ජයසිංහ කියල කෙනෙක් උපන් දිනයක් සමරලා තියනවා දැක්ක මුහුණු පොතේ. ඒ පාටි එක නම් කරලා තියෙන්නේ (theme) 'රෝයල් පාටියක්' හැටියට නිසා ඔක්කොමල ඇඳුම් ඇදල තියෙන්නේ රජ වරු, නිලමේ වරු, ගම්මුලාදෑනි වරු, වෙල් විදානේ ල, ළමා තැනීල, ලොරන්සෝ ද අල්මේදා, වසකෝ ද ගාම, ක්ලියෝ පැට්රා වගේ පෞරාණික (exotic) විදියට. මේ විදියට නිරුපණය විම මේ යුගයේ එක්තරා ආශා ප්රවර්ගයක් (category of desire). අපේ අවිඥාණයේ තැන්පත් වෙලා තියන 'යටපත් කල ඉතිහාසය' සහ එහි රූපක නව වටයකින් අප වෙත කඩා පනිනවා. කුඩ සේසත්, මාල වළලු, තුප්පොට්ටි, රෙදි හැට්ට, මුල් ඇඳුම්, කඩු කස්තාන, අංගම් පොර අප වෙත කඩා පැනල කියනවා අපි මැරිලා නැහැ..මේ බලපල්ලා...අපේ අවතාර කොළඹ නගරය මැද්දේ සැරිසරන හැටි කියල.
'කෝ දැන් තොපේ මාක්ස් මුත්තා කිව්වනේ ධනවාදය සියලු අතීත කාමයන් වාෂ්ප කරනවා කියල. දැන් කෝ ඒ විශ්ම කර්ම බලය? බලපල්ලා දැන් අපි ඉන්න හැටි...අපි තුල පැළපදියම් වෙලා ඉන්නව යකෝ ඒ වැඩවසම් අවතාර... කුල වාදයෙන් තොපි පාර්ලිමේන්තු චන්ද කරනවා නම් යකෝ අපිට බැරිද රජවරු වගේ අඳින්න. බලපල්ලා අපි දිහා. පුළුවන් දෙයක් කරපියව්'. මේ ඔවුන්ගේ හඬ. ඒ කියන්නේ මේ එයාල කතා කරන්නේ සියල්ල ඉවසන සුළු ධනවාදයට නෙවෙයි. අපට.
උන් එහෙම ඉන්නවා නම් අපිත් මෙහෙම ඉන්නවා කියන අසම්පාතය (parallax) තමයි මේ තියෙන්නේ. දෙකම පවතිනවා. කවුරුත් කාටවත් වෙනස් වෙන්න කියන්නේ නැහැ. ඉතින් දේශපාලඥයෝ කිහිප දෙනෙකුත් ඇවිත් තියනවා මෙතනට. එයාලගේ සඥා ඔස්සේ මෙයාල ලකුණු දා ගන්නවා. මෙයාලගේ සඥා අස්සේ එයාල ලකුණු දා ගන්නවා. ඒ මදිවට අපෙන් අහනවා මොකද දැන් උඹලා කියන්නේ කියල.
ඔවුන්ගේ ලිබරල් පියා නපුංසක නිසා මේ හිස්ටරික ප්රශ්නය ඔවුන් අහන්නේ අපෙන් කියලයි මම කියන්නේ. ඒක නිසයි වමේ අයගේ මුහුණු දමල සමහරු ෆේස් බුක් එකේ පොඩි වැඩක් දැම්මේ. 'මෙන්න බලපල්ලා උඹලගේ නපුංසක බව. ඒ කියන්නේ පරණ ලෝකය ඉවර නැහැ. අපි තුල අවතාර ලෙස හොල්මන් කරනවා ඒ පරණ ලෝකය. පුළුවන් නම් ඒ අවතාර එළවලා දමපල්ලා' කියන එක තමයි ඔවුන්ගේ ඉල්ලීම. හිස්ටරිකයා ඉල්ලනවා පීතෘ මූලික කප්පාදුවක් නැත්නම් යාගයක් අර පරණ අවතාර එලවන්න කියල.
දැන් වෙලා තියන අපූරු වැඩේ තමයි මේ අලකලංචි නිසා මේවා පැහැදිළි කරලා දෙන්න විචාරක සෙට් එකක් අරක්ගෙන සිටීම. ඔවුන් කරන්නේ මේ මඩ ගොහොරුව අර්ථකතන කරන එක. ඒ අර්ථකතනය ඔස්සේ තම පැවැත්ම ස්ථාපිත කරගන්න එක. ඉතින් දේශපාලනය කරනවා වෙනුවට (වෙනස් කරනවා වෙනුවට) මේ තත්වය දිගින් දිගට අර්ථකතනය වෙමින් පවතිනවා කෙළවරක් නැතුව. අනික් අතට දැන් මේ අර්ථකතනය සිදු වෙන්නේ නියම පශ්චාත් නූතන විදියකට. ඒ කියන්නේ විචාරකයෝ යනවා ට්‍රි හට් (tree hut) වලට. ඩ්‍රෝන් කැමරා ඒ ට්‍රී හට් හඹා යනවා. විඩියෝ ෂූට් එක යනවා. විචාරකයා හෝ ගාල කතා කරනවා. චන්දිමාල් ගේ සාදයයි මේ ට්‍රී හට් වැඩෙයි අතර වෙනසක් මම දකින්නේ නැහැ. දෙකම postmodern. මුල් ඇඳුමක් අන්දලා ම විචාරක වැඩේ පටන් ගත්ත නම් සියල්ල සම්පුර්ණ වෙනවා. දෙකම මාකට් වැඩක්. පරස්පර වගේ පෙනුනට පරස්පර බවක් නැහැ. එකම සඥා ගොඩක් එකම විදියට ගමන් කරනවා අනන්තය දක්වා.
එකම දේ අද චන්දිමාල්ල (ප්රපංචය හඳුන්වන නමක් විතරයි) වගේම විචාරකයෝ කියන්නෙත් වෙනම ම බල ධුරාවලියක් (social hierarchy). ඉරාජ් ල, හංසමාලි ල විතරක් නෙවේ මැද පෙරදිග ඉදන් ආව කුමාරි අක්ක වුනත් මම හිතන්නේ වැටෙන්නේ මේ නව ධූරාවලියට (populist category). පවත්නා බල පද්ධතිය තවත් ස්ථාපිත කරනවා ඔවුන්. ඔවුන් නව පරම්පරාවක් මේ ක්‍රමය තුලින් ම ඉස්මතු උන. විගලිත බව විපරීතකරණය උන (perverted alienation) අලුත් සමාජ පංතියක්. වේදනාව විනෝදයක් කරගෙන තියනවා ඔවුන් (enjoy the pain). විගලිත බව මේ අනුව විප්ලවයක් ජනනය කරන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලන්නේ නැහැ. ඒ වෙනුවට පවත්නා පිළිවෙලට ගැට ගැහිලා පිළිවෙලේ තියන විපරීත බව තව තව ස්ථාවර කරනවා ඔවුන්. ඇත්තට ගත්තොත් ඔවුන් නිෂ්ක්‍රිය ආත්ම. ජෝඩන් පීටර්සන් සහ ජිජැක් අතර සංවාදයේ හරය ලෙසට අපට ගත හැක්කේ මේ ධනවාදයේ පරස්පරතා ඉස්මතු කරගන්න වේදයක් නැති කම (lack of method). වේදයක් නැති නිසා විප්ලවීය ක්‍රියාවක් සිදු වන්නේත් නැහැ (revolutionary act). මන්ද චන්දිමාල් වගේම ඔහුගේ විචාරකයෝ ඉන්නෙත් එකම ප්‍රාග්ධන සිහිනයේ. එකම නපුංසක බවක් ඇතුලේ දියබුං ගසමින්.
අසම්පාතය ඇතුලේ ගත්තත් ඔක්කොමල ඉන්නේ එකම දෛවයක් ඇතුලේ. මේ දෙගොල්ලම කරන්නේ මාක්ස් - හේගල් ගේ ඇස් ඉදිරියේ අප මියගොස් ඇති බව හඬ නගා කියන එක. ඒත් අපේ දුක්ඛිත හඬ අහන්න එයාල ආයේ කවදාවත් එන්නේ නැහැ.
No comments:
Post a Comment