sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » » බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ ආර්ථික ව්‍යුහය

"එක්‌ ස්‌වදේශික මහත්මයෙක්‌ නිෂ්ක්‍රීයභාවය පිළිබඳ පැරණි නිර්වාණයක්‌ බුලත් මඩිස්‌සලයක්‌ ඉවත දමා ඉතා මැනව'යි අනුමත කරන ලද මොඩලයේ එන්ජිමක්‌ හා අන් සියලු උපකරණ සහිත විශාල කෝපි ඉස්‌ටෝරුවක්‌ කොළඹ නගරය තුළ පටන්ගෙන අනුකරණයට ඉතාමත් උචිත වෙළෙඳ ව්‍යාපාරයක්‌ පිළිබඳව ආදර්ශයක්‌ එමඟින් සියරට වැසියන්ට සපයයි."

 (කුමාරී ජයවර්ධන - සොක්‌කන් ලොක්‌කන් වූ වගයි)

යුරෝපයේ සිදු වූ විවිධ හැලහැප්පීම්හි ප්‍රතිඵලයක්‌ වශයෙන් යුරෝපීය ජාතීන් ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු ප්‍රදේශයන් සියතට ගන්නා ලදී. ප්‍රංශයන්, ඕලන්දයින්, ස්‌පාඤ්ඤයන්, ඉංග්‍රීසීන් ආදී විවිධ ජාතීන් එයට ප්‍රමුඛත්වය ගන්නා ලදී. ඔවුන් එම රාජ්‍යයන් යටත් කරගනිමින් එම රාජ්‍යයන්හි සමාජ, ආර්ථීක, දේශපාලන ආදී ව්‍යුහයන් වෙනසකට ලක්‌ කොට ඔවුන්ට හිතෛෂී ව්‍යුහයන් නැවත එම රාජ්‍යයන් තුළ ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. අනෙකුත් යටත් විජිත රාජ්‍යයන්ට සමාන්තරව ශ්‍රී ලංකාවට ද එය පොදු කරුණක්‌ විය. ලොක්‌කන් සොක්‌කන් වූ වගයි කෘතිය හරහා උපුටා ගත් පාඨය තුළින්ම පෙනී යන කරුණ නම් බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව තුළ ඇති කළ විපර්යාසයයි. දේශීයත්වය වෙනුවට බ්‍රිතාන්‍යකරණය වූ ක්‍රියාදාමය හඳුන්වා දී ඇති බව පෙනී යයි. අනෙක්‌ අතට ස්‌වයං පෝෂිත යෑපුම් කෘෂිකර්මය වෙනුවට හඳුන්වාදුන් වාණිජ ආර්ථීකය ලංකාව උඩු යටිකුරු කරනු ලැබීය. එසේම ක්‍රිස්‌තියානි ආගමත් සංස්‌කෘතියත් දේශීයත්ව පාගා දමමින් වෙනම සංස්‌කෘතියක්‌ ආරෝපණය කරන ලදී. යුරෝපීයයන් ආසියාකරයට පැමිණීමෙන් පසු බොහෝ රාජ්‍යන් ඔවුන්ගේ කොලනි බවට පත් වීය. ඇතැම් විට මුහුදුබඩ ප්‍රදේශයන් ඔවුන්ගේ යටතට ගැනුණි. ප්‍රථමයෙන් පෘතුගීසීන් ද පසුකාලීනව ලන්දේසීන් හා ප්‍රංශයන්, බ්‍රිතාන්‍යයන් මේ ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය වීය. ශ්‍රී ලංකාව ද ආසියානු රාජ්‍යයක්‌ වශයෙන් ඉතා වැදගත් පිහිටීමක හා වටිනා ආර්ථීක මර්මස්‌ථානයක කේන්ද්‍රයක ස්‌ථානගත වී තිබුණි. මේ නිසා එකී ජාතීන්ගේ ගොදුරක්‌ බවට ශ්‍රී ලංකාව පත්වීය. පෘතුගීසීන් 1505 දීත්, 1658 දී ලන්දේසීනුත් ශ්‍රීs ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයන්ගේ බලය සියතට ගන්නා ලදී. ලන්දේසීන්ගෙන් පසුව ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව වෙත සිය අවධානය යොමු කරන ලදී. රාජාධිරාජසිංහ වැනි රජවරුන්ගේ ඉල්ලීමක්‌ මත ලන්දේසීන් ලංකාවෙන් පළවා හැරීමේ ක්‍රියාදාමය සඳහා ඉංග්‍රීසීන් ඊට සහය වීය. ඔවුන්ගේ අරමුණ ඊට වඩා ප්‍රබල වූවක්‌ බව පසුකාලීනව ලන්දේසීන්ගෙන් ලත් බිම් නැවතත් උඩරට රජුට ලබා නොදීමෙන් දේශීයන් වටහා ගන්නා ලදී. මේ අනුව 1796 සිට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන් බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන ලදී.ඉන් පසුව ඔවුන් විසින් ලංකාවේ ආර්ථීකය හැසිර වූ ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ.

 uk4ලංකාවේ බලය ලබා ගැනීමට නැතහොත් ලන්දේසීන් විසින් යටත් කොට තිබූ ප්‍රදේශයන් යටත් කිරීම සඳහා අවශ්‍ය යුද්ධ බලය යොදවන ලද්දේ ක්‍රි. ව. 1600 දී පමණ බ්‍රිතාන්‍ය රැජනගේ අවසර පත්‍රයකින් නිර්මාණය වූ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමයි. (British east india company) මේ සඳහා විශාල වියදමක්‌ දැරීමට වූ අතර ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ හැකි ඉක්‌මණින් එම වියදම් පියවා ගැනීම සඳහා වේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ආර්ථීක ව්‍යුහය මේ හරහා නිර්මාණය වීය. සමාගම විසින් තමන් අල්ලා ගත් පහතරට මුහුදු බඩ ප්‍රදේශයන්වලින් අධික ලෙස බදු අය කරමින් සහ විවිධ ව්‍යාපාරයන්වල නිරත වෙමින් ඔවුන් සිය ආදායම වර්ධනය කරලීම උදෙසා කටයුතු කරන ලදී. ඒ අනුව පහතරට මුහුදු බඩ ප්‍රදේශයන්හි සමාගම විසින් ගෙන ගිය ආර්ථීක ව්‍යුහය පිළිබඳව ද මඳක්‌ අවධානය යොමු කළ යුතුය. ලන්දේසීන් විසින් මේ යුගයේ ඉතා සාර්ථක ලෙස කුරුඳු වගාව සිදු කරන ලදී. ඔවුන් ඉන් විශාල ආදායමක්‌ ලබා ගත් බව පෙනේ. බ්‍රිතාන්‍ය සමාගමේ ලක්‌ෂණයක්‌ වූයේ ඔවුන් විසින් බොහෝ භාණ්‌ඩ වෙන්දේසි කළ ද කුරුඳු එලෙස වෙන්දේසියේ නොවිකිණීමයි. අනෙක්‌ අතට බ්‍රිතාන්‍යයන් විසින් පහතරට කුරුඳු වගා කිරීම සඳහා විශාල
වෙහෙසක්‌ ගන්නා ලදී. ඒ අතරම ඔවුන් මුතුපර වලින් ද විශාල ආදායමක්‌ ලබා ගැනීම සඳහා කටයුතු කළේය. 1796 සිට 1798 දක්‌වා ඉංග්‍රීසීන් මුතුපරවලින් එකතු කළ ආදායම පවුම් 396000 ක්‌ වීය. ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලා ගැනීම සඳහා වැය වූයේ පවුම් 12000 ක්‌ පමණ ප්‍රමාණයක්‌ය. මේ අනුව පෙනී යන්නේ ඉංග්‍රීසීන් සිය ආර්ථීක ව්‍යුහය තමන්ගේ ආර්ථීක වාසි සඳහා විශේෂයෙන්ම යොදා ගත් බවයි. ඔවුන් කුරුඳු හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය වෙන්දේසි කරන ලදී. රා සහ අරක්‌කු වෙන්දේසිය මෙකල ඉතා ජනප්‍රිය වීය. එමෙන්ම මුතුපර වෙන්දේසි ලබා ගැනීමට වෙන්දේසි කරුවන් උනන්දු වූහ. බෙල්ලන් ඇල්ලීම, කැස්‌බෑවන් ඇල්ලීම, මැණික්‌ හෑරීම විශේෂයෙන් වෙන්දේසියේ විකුණන ලදී. දේශීයන් අතර මුස්‌ලිම්වරුන් සහ හෙට්‌ටීන් මේ සඳහා විශාල උනන්දුවක්‌ දක්‌වන ලදී. අනෙක්‌ අතට පෞද්ගලික ව්‍යවසායක මූලික අරමුණ වන්නේ සිය ආදායම වර්ධනය කර ගැනීමයි. සමාගම සිය ආදායම වැඩි කර ගැනීම සඳහා පහත රට ප්‍රදේශයන්ට නව බදු වර්ග හඳුන්වාදෙමින් හා නව ක්‍රමවේදයන් හඳුන්වාදීම නිසා පහතරට යටත්විජිත ආර්ථීක ව්‍යුහයේ නව වෙනස්‌කම් ඇතිවීය. ඔවුන් කලෙක්‌ටර්වරුන් ලෙස හැඳින්වූ බදු එකතු කරන්නන් හඳුන්වා දුනි. ලන්දේසි සමය දක්‌වාම දේශීයන් ඒ සඳහා යොදාගත් නමුත් බ්‍රිතාන්‍යයන් මේ සඳහා දේශීයයන් පිළිබඳව කිසිදු අවබෝධයක්‌ නොවූ පිරිස්‌ මේ සඳහා පත් කරන ලදී. එමෙන්ම එකල භාණ්‌ඩ හුවමාරු ක්‍රමය මත සිදු වූ ක්‍රියාවලිය වෙනුවට මුදලින් බදු ගෙවීමටත් ජනයා පීඩාවට පත් කරන ආකාරයේ නව බදු වර්ග විශේෂයෙන්ම පොල් බද්ද වැනි බදු හඳුන්වාදීමට කටයුතු කරන ලදී. තත් බදු පැනවීමේ දී විශේෂයෙන්ම පොල් පහතරට ඉතා විශාල වශයෙන් පැවති වගාවක්‌ වීය. ඉහත බද්ද හරහා ඵලදාව ලබා නොගත් ගස්‌වලින්ද ගස්‌ ප්‍රමාණය අනුව බදු මුදල තීරණය කරන ලදී. ඒ අනුව සමාගම ලංකාවේ පහතරට මුහුදුබඩ ප්‍රදේශයන්වල ඉතා අමානුෂීය ආර්ථීක ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන ලදී.

මෙම ආර්ථීක ව්‍යුහය ජනතාව ඉතා පීඩාවට පත් කළ අතර ඇතැම් ජනතාව බදු ගෙවීමට ඇති දිනයන්හීදී ගම්මාන අත්හැර ගිය බව ඇතැම් බ්‍රිතාන්‍ය පාලන වාර්තාවන් අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. එසේම ඇතැම් අවස්‌ථාවල ජනයා කලෙක්‌ටර්වරුන්ට පහරදුන් අවස්‌ථාවන් ද සඳහන් වේ. මේ නිසාම පහතරට ප්‍රදේශයන්වල ජනතාව මේ සඳහා විවිධ ප්‍රතිරෝධතාවන්වල නිරත වූ බව දක්‌නට ලැබෙයි. මේ නිසාම 1797 දී කර්නල් දි මියුරන්ගේ ප්‍රධානත්වයෙන් යුක්‌ත කමිටුවක්‌ හරහා ඒ පිළිබඳව අවධානයට ලක්‌ කර නිර්දේශයන් ලබා ගන්නා ලදී. පසුව 1798 සිට 1802 දක්‌වා සමාගම හා කිරීටය ද්විත්ව පාලනයක නිරත වූ අතර පසුව 1802 දී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයන් බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්‌ බවට පත්වීය. අවසන් වශයෙන් ශ්‍රී ලංකාව 1815 වර්ෂයේ මාර්තු 02 දින සම්පූර්ණ වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්‌ බවට පත් වීය.

 බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව වෙත අනුගමනය කළ ආර්ථීක පිළිවෙත පිළිබඳව සඳහන් කිරීමේ දී මේ සමය යුරෝපයේ සංක්‍රාන්ති සමයක්‌ වීය. වාණිජවාදී ආර්ථීක රටාවෙන් මිදී ලිබරල් ආර්ථීක ප්‍රතිසංස්‌කරණයන්ට යොමුවන සමයක්‌ වීය. ඔවුන් ඇඩම් ස්‌මිත්ගේ ජාතීන්ගේ ධනය (Wealth of nations) කෘතිය සහ සම්භාව්‍ය ලිබරල්වාදීන් වූ ඩේවිඩ් රිකාඩෝ, ජෙෆර්සන් සහ මෙඩිසන් වැනි නිදහස්‌ ආර්ථීකවාදීන්ගේ දර්ශනයන් සමඟ සන්නද්ධව සිටියහ. අනෙක්‌ අතට ඇන්ඩේ්‍ර ගුන්ඩර් ෆ්‍රෑන්ක්‌ විසින් පෙන්වාදෙන ආකාරය බ්‍රිතාන්‍යයන් විසින් යොදා ගෙන ඇත්තේ කේන්ද්‍ර පරිවාර න්‍යායයි. මෙහි කේන්ද්‍රය නම් යුරෝපීය රාජ්‍යයන්ය. පරිවාරයේ කටයුතු කරන්නේ ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකානු යටත් විජිත රාජ්‍යයන්ය. පරිවාරයේ ඇති රාජ්‍යයන් විසින් වහලුන් ලෙස කේන්ද්‍රයේ ඇති රාජ්‍යයන් පෝෂණය කිරීමට වෙහෙසෙයි. සියලුම නිෂ්පාදනයන් කේන්ද්‍රයේ ඇති රාජ්‍යයන්ගේ පරිභෝජනය සඳහා යොදවයි. මේ අනුව බලන කල ශ්‍රී ලංකාවෙහි යටත් විජිත ආර්ථීකය දෙස අවධානය යොමු කරන විට පෙනෙන මුඛ්‍ය ලක්‌ෂණය වන්නේ මෙයයි. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාවන්ට සරිලන ආකාරය ලංකාවේ ආර්ථීක ව්‍යුහය ඔවුන් විසින් නිර්මාණය කරන ලදී. පූර්ව යටත් විජිත සමය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එකල පැවතියේ ස්‌වයංපෝෂිත යෑපුම් කෘෂිකර්මාන්තයකි. එනම් තමන්ට එදිනෙදා අවශ්‍ය කරනු ලබන ආහාර තමන් විසින්ම නිපදවා ගනු ලබන ක්‍රමයකි. සාමාන්‍ය කන්ද උඩරට ගමක්‌ කුඹුරු තීරයක්‌ ද, නිවෙස්‌ වටා කුඩා වත්තක්‌ද වරින් වර වගා කළ (වියළි බිමක්‌) හේනක්‌ද, ඊට පිටස්‌තර කැලෑ බිමකින්ද සමන්විත වීය යන නිදසුන හරහා පූර්ව යටත්විජිත සමාජයේ ලංකාවේ ආර්ථීකයේ එක්‌ පැතිකඩක්‌ හඳුනාගත හැකිය. නමුත් තත් ආර්ථීක ව්‍යුහය බ්‍රිතාන්‍යයන් විසින් අංශක එකසිය අසූවක්‌ අනෙක්‌ දෙසට යොමු කරයි. ඒ අනුව ස්‌වයං පෝෂිත ආර්ථීකයේ සිට ඔවුන් ලංකාවේ ආර්ථීකය ධනේශ්වර වාණිජ ආර්ථීකයකට යොමු කරනු ලබයි. ආනයනය හා අපනයනය, වෙළෙඳ ආයෝජනයන් මත පදනම් වූ ආර්ථීකයක්‌ නිර්මාණය කරනු ලබයි.

uk6කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ ආර්ථීක ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ මුල් කාලයේ එනම් බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම් පාලනය යටතේ ඇති වූ තත්ත්වයන් සමනය කර ගනිමින් ඔවුන් ලංකාවේ යම් ස්‌ථාවර ආර්ථීක ක්‍රමයකට අවතීර්ණ වූ බවයි. එනම් පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් එතෙක්‌ යොදා ගත් ක්‍රමවේදයන් ආර්ථීක කළමනාකරණයට යොදා ගත් අතර එය සාර්ථක වූ බවක්‌ පෙනේ. ලුණු සහ දුම්කොළ රජයේ ඒකාධිකාරය යටතේ වීය. අරක්‌කු හා රා වෙළෙඳාම රජය යටතේ තිබූ අතර මුතු කර්මාන්තය හා මැණික්‌ ගැරීම බදු දෙන ලදී. මෙලෙස බ්‍රිතාන්‍යයන්ද පෘතුගීසීන් හා ලන්දේසීන් මෙන් වෙළෙඳාම සඳහාම ප්‍රමුඛත්වයක්‌ ලබාදුන් අතරම කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රාග්ධනය යෙදවීම සඳහා කිසිදු දිරිගැන්වීමක්‌ නොකරන ලදී. නිදසුනක්‌ වශයෙන් අපනයනය සඳහා වැඩි ප්‍රමාණයක්‌ අවශ්‍ය වූ විට නිෂ්පාදකයාගෙන් ලබාගත් අතිරික්‌තය වැඩි කළා මිස නිෂ්පාදනයේ සමාජීය සහ තාක්‌ෂණික පදනම වඩාත් දියුණු කිරීමට කටයුතු නොකරන ලදී. ඒ බව දේශීය කෘෂි කර්මාන්තය කඩා වැටීම තුළ මෙන්ම මුල්කාලීන බ්‍රිතාන්‍ය නිලධාරීන් ආරම්භ කළ කුඩා වතු වගාවන් බිඳවැටීම තුළ දක්‌නට ලැබේ. කෝල්බෲක්‌ වාර්තාවල සඳහන් වන ආකාරයට 1816 සිට 1823 දක්‌වා වාර්ෂිකව සහල් බුසල් 870734 පමණ මෙරටට ආනයනය කොට තිබේ. එසේම නෝර්ත් සහ මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරවරුන්ගේ සමයේ සහල් අපනයනය සඳහා වන වියදම් අවම කිරීමට උත්සාහ දරා ඇත. මේ අනුව පෙනී යන්නේ ඔවුන් වගාවන් සඳහා මුල් කාලයේ කිසිදු ආයෙජන දිරිගැන්වීමක්‌ නොකොට ඇති බවත් රාජ්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යැමට උත්සාහ දරා ඇති බවයි. 1833 දී බ්‍රිතාන්‍ය කොමිෂන් සභාවක්‌ විසින් ඉදිරිපත් කළ වාර්තාවක එය ඉතා හොඳින් සඳහන් වේ. ....ඒකාධිකාර ක්‍රමය පවත්වාගෙන යාමත් සමහර අවස්‌ථාවල රජය විසින් ඒවා දීර්ඝ කිරීමත් පමණක්‌ නොව, ආණ්‌ඩුකාරයා විසින් තීරු බදු ප්‍රමාණ වෙනස්‌ කිරීමත් නව බදු පැනවීමත්, වෙළෙඳාමට මෙන්ම ප්‍රාග්ධනය ගලා ඒමට හා එක්‌ රැස්‌වීමට ද හානිකර වීය. ආණ්‌ඩුව විසින් සියල්ල මෙහෙයවීම රාජ්‍යයේ ප්‍රාග්ධනය ගලා යැමට බාධාවක්‌ බව කොමිෂන් සභාව විසින් පෙන්වාදී ඇත.


කෙසේ වෙතත් මෙම කාල පරාසයේ මුල් භාගයේ එනම් බ්‍රිතාන්‍ය කිරීටය යටතට මුහුදුබඩ ප්‍රදේශයන් හිමි වූ මුල් වකවානුවේ දී ඔවුන් කෘෂි කර්මය සඳහා වැඩි අවධානයක්‌ සහ වැඩි ප්‍රාග්ධනයක්‌ නොයෙදවුවද පසුකාලීනව මේට්‌ලන්ඩ් සහ අනෙකුත් ආණ්‌ඩුකාරවරුන් කෘෂිකර්මයට යම් සහනදායී ක්‍රමයක්‌ අනුගමනය කළ බව සඳහන් වේ. නෝර්ත් ආණ්‌ඩුකරු විසින් අත්හිටුවන ලද අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය නිසා ලංකාවේ වාරිකර්මාන්තයන් බිඳවැටීමට ලක්‌ වුණ බවත් ලංකාවේ වී වගාව වර්ධනය කිරීම උදෙසා විවිධ වැව් ප්‍රතිසංස්‌කරණය කිරීමට ඔවුන් යෝජනා කරන ලදී. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිරම වැව, අනුරාධපුරයේ පදවිය වැනි වැව් ප්‍රතිසංස්‌කරණය කිරීමට පසුකාලීනව බ්‍රිතාන්‍ය රජය අවධානය යොමු කළේය.

ඡේ. ආර්. ඒ. එස්‌. උදාර
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..