sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » කුස්සිය හා රාජ්‍යය - වික්ටර් අයිවන්

ලංකාවේ රාජ්‍යය හා ආණ්ඩුක‍්‍රමය පමණක් නොව කුස්සියේ උයන පිහන හා කන බොන ක‍්‍රමද වෙනස් කරගත යුතු තැනකට ලංකාව යායුතුව තිබෙන්නේය. ඉතා බැරෑරුම් විෂයක් ලෙස සැලකිය හැකි ලංකාවේ රාජ්‍ය සමග සාමාන්‍යයෙන් කතා නොකරන ඊට වඩා සරල විෂයයන් ලෙස සැලකිය හැකි කුස්සිය එකට ගෙන ඒ දෙකම වෙනස් විය යුතු බව කියන විට ඉන් අදහස් වනුයේ ලංකාවේ රාජ්‍යය හා සමාජය පමණක් නොව ඒ හා බැඳුණු ලොකු කුඩා හැම දෙයක්මත් වෙනස් කරගත යුතු හා නවීන කරගත යුතු තත්ත්වයක රට පවත්නා බවය.

රාජ්‍යයේ අසමත්කම පැහැදිලිව දැකිය හැකි සාකච්ජාවට ලක්වෙමින් තිබෙන ජනප‍්‍රිය මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. පාස්කු ඛේදවාචකය රාජ්‍යයේ අසමත්කම හොඳින් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම සිද්ධිය ආශ‍්‍රයෙන් සමාජයේ වර්ධනය වූ බෙදුම් හා ගැටුම් ලංකාවේ සමාජ ක‍්‍රමයේ තිබෙන බිඳ වැටීමේ තරම හොඳින් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. 19 වැනි සංශෝධනය හා ඒ ආශ‍්‍රයෙන් රාජ්‍ය පාලනයේ ඇතිවී තිබෙන අවුල්සහගතභාවයේ තරම බලවත් ලෙස පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. 19 වැනි සංශෝධනය හා ඒ ආශ‍්‍රයෙන් රාජ්‍ය පාලනයේ ඇතිවී තිබෙන අවුල්සහගතභාවය නීති සම්පාදන විෂයේදී ව්‍යවස්ථාදායකය ඇද වැටී තිබෙන බංකොළොත්භාවය තරම හොඳින් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. දොස්තර සාෆිගේ වඳ සැත්කම් කතාව ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන විනාශකාරී භූමිකාවේ නියම ස්වභාවය පෙන්නුම් කරනවාට අතිරේකව පදනම් විරහිත බොරුවලින් මහජනයා මුලා කළ හැකි තරමද පෙන්නුම් කළේය.

සමෘද්ධියේ බොරුව

තිස්සමහාරාමයේ විජයපුර ප‍්‍රදේශයේ මාස 11ක දරුවෙක් අධික දුප්පත්කම හා ආහාර නැතිකම නිසා මිය ගියේය. එය සජිත් පේ‍්‍රමදාසගේද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේද, ජනතා විමුක්ති පෙරමුණේද දේශපාලන බල ප‍්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ යටිතල පහසුකම් නගා සිටුවීම සඳහා කරන ලද වියදම අතිවිශාලය. සජිත් පේ‍්‍රමදාස වර්තමානයේ තමන්ට ලැබී තිබෙන නිල බලය අනුව ප‍්‍රදේශයේ උන්නතිය පිණිස බොහෝ දේ කර තිබෙනවා විය යුතුය. ජවිපෙ තිස්සමහාරාමයේ ප‍්‍රාදේශීය සභාවේ බලය අල්ලා සිටි කාලයේ එහි දියුණුව පිණිස බොහෝ දේ කළා විය යුතුය. ඒ සියල්ල එසේ තිබියදීත් ආහාර නැතිකමින් දරුවකු මියයන තරමේ දුප්පත්කමක් වර්තමානයේ එම දිස්ත‍්‍රික්කයේ තිබෙන බව ඉන් පෙන්නුම් කරයි.

දුප්පත්කමේ පතුලේම සිටින අයගේ ආරක්ෂාව හා සංවර්ධය සඳහා රුපියල් බිලියන 50ක වාර්ෂික වියදමකින් පවත්වාගෙන යන සමෘද්ධි ව්‍යාපාරයක් රටේ තිබෙන්නේය. එම වැඩසටහන පවත්වාගෙන යෑම සඳහා යොදාගෙන සිටින නිලධාරීන් සංඛ්‍යාව 27,000ක් වන අතර එම නිලධාරීන්ගේ වැටුප් හා පරිපාලන වියදම සමෘද්ධි සහනාධාර සඳහා කරන වියදමට වඩා වැඩිය. මෙම වැඩසටහනින් පවුල් 15 ලක්ෂයක් සහනාධාර ලබන අතර වර්තමාන ආණ්ඩුව පාක්ෂික පදනමින් අලුතෙන් එකතු කරමින් තිබෙන පවුල් හය ලක්ෂය සමග එකට ගත්විට එය පවුල් 21 ලක්ෂයක් දක්වා සහනාධාර ලබාදෙන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබේ. සමෘද්ධි සහනාධාර ලැබීමට තිබෙන නිර්ණායකය දුප්පත්කම ලෙස සලකතොත් ලංකාවේ දුප්පත්කම 40%ක මට්ටමක පවතින්නේ යැයි කිව හැකිය.

දුප්පතුන්ට මේ ආකාරයෙන් සහනාධාර ලබාදෙන වැඩසටහනක් ජනසවිය නමින් හඳුන්වාදෙන ලද්දේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව එහි නම සමෘද්ධිය ලෙස වෙනස් කොට එම වැඩසටහන පවත්වාගෙන යෑම සඳහා යොදා ගන්නා නිලධරතන්ත‍්‍රයේ ප‍්‍රමාණය වැඩි කොට සහනාධාර ලබන්නන්ගේ සංඛ්‍යාවද වර්ධනය කළේය. ඒ සමග එය ආණ්ඩුවේ ප‍්‍රධාන ජන්ද යාන්ත‍්‍රණය බවට පත්කර ගැනීමක්ද සිදුවිය.

එම වැඩසටහන ආරම්භයේදී වැඩසටහනට අනුයුක්ත කරගන්නා දුප්පතුන්ගේ දුප්පත්කම වසර 2-4 අතර කාලයක් තුළ නැති කොට ඔවුන් සහනාධාර ලබන වැඩසටහනින් ඉවත් කොට දුප්පත් තත්ත්වයක සිටින්නන් අලුතින් එයට එකතුකර ගැනීමට අපේක්ෂා කළේය. එහෙත් එවැනි දෙයක් සිදු නොවීය. මේ වැඩසටහන ආරම්භ කොට දැන් දශක තුනක් තරම් කාලයක් ගතවී ඇතත්, වැඩසටහනට එකතු කරගෙන සිටින දුප්පතුන්ගේ දුප්පත්කම තුරන් කිරීමට එය සමත් වී නැත. සමෘද්ධි වැඩසටහන දුප්පත් මිනිසුන්ව තබා ගනිමින්, ඔවුන්ට දුප්පත්කමින් අත්මිදීමට ඉඩ නොදී දුප්පත්කමේම තබාගනිමින් ඒ සියලූදෙනා දේශපාලන ප‍්‍රවේණිදාසයන්ගේ තත්ත්වයේ තබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ පොදු එකඟතාවකින් යුතුව මහජන වියදමින් පවත්වාගෙන යන අවලස්සන හා නින්දාසහගත වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. දුප්පතුන්ට අවශ්‍ය වන්නේ කන්න මාළු නොව මාළු අල්ලා ගැනීමට අවශ්‍ය බිලී පිතිය. සහනාධාර බෙදන ක‍්‍රමය සාධාරණ නැත. සහනාධාර ලැබීමට සුදුසුකම් නැති විශාල පිරිසක් සහනාධාර ලබන අතර, සහනාධාර ලැබිය යුතු දුප්පතුන් විශාල පිරිසක් සහනාධාර නොලබන තත්ත්වයක සිටිති. අධික මන්ද පෝෂණය නිසා තිස්සමහාරාමයේ මියගිය දරුවාගේ පවුලේ සාමාජිකයන්ට සමෘද්ධි සහනාධාර වැඩසටහනට ඇතුළත් කරගෙන නොතිබුණි. සහනාධාර ලැබීමට සුදුසුකම් ඇති ලොකු පිරිසක් එම වැඩසටහනට ඇතුළත් කරගෙන නැති බව හා එම සහනාධාරය ලැබීමට සුදුසුකම් නැති විශාල පිරිසක් එම සහනාධාරය භුක්ති විඳිමින් සිටින බව තිස්සමහාරාම අත්දැකීම් ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. දුප්පත්කම තුරන් කිරීමේ නාමයෙන් අතිවිශාල මහජන වියදමකින් පවත්වාගෙන යන සමෘද්ධිය පිළිබඳව සොයා බලන තැනකට ගියහොත් එම වැඩසටහනට නායකත්වය දෙන ලද දේශපාලකයන් වැඩි පිරිසකට හිරේ යන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. තිස්සමහාරාමයේ එම දරුවා මියගියේ අධික මන්දපෝෂණය නිසාය. දැන් මන්ද පෝෂණයේදී ලංකාව ආසියාවේ ප‍්‍රමුඛ තත්ත්වයක් හිමිකරගෙන සිටින බව කිව යුතුය.

ග‍්‍රාමීය දුප්පත්කම

ග‍්‍රාමීය දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන හේතු විවිධය. වගා කිරීමට ප‍්‍රමාණවත් තරම් ඉඩම් ප‍්‍රමාණයක් නැතිකම හා තිබෙන ඉඩම පරම්පරා දෙකක් තුළ පවුලේ සාමාජිකයන් අතර බෙදී ගියවිට වගා කිරීමට ප‍්‍රමාණවත් ඉඩම් නැතිකමේ ප‍්‍රශ්නයක් ඇතිවේ. එම ප‍්‍රශ්නය කෘෂිකාර්මික ප‍්‍රදේශවල පොදුවේ දක්නට තිබෙන (ගොවිජනපදවල පවා) තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ග‍්‍රාමීය කෘෂිකර්මය ප‍්‍රධාන කොට අඩුම ආදායමක් ලබාදෙන බෝග වගාවක් ලෙස සැලකිය හැකි වී ගොවිතැන මත රඳා පැවතීමද ග‍්‍රාමීය දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. වී ගොවිතැන් කරන්නන්ට ඔවුන් වාසනාවන්ත වෙතොත් කන්නයක් සඳහා කුඹුරු අක්කරයකින් ඉපැයිය හැකි උපරිම ආදායම රුපියල් 40,000ක මට්ටමක පවතී. වී ගොවිතැන සඳහා එළවළු හෝ වෙනත් බෝග වගාවන් සඳහා අවශ්‍ය කරන තරමේ ශ‍්‍රමය අවශ්‍ය වන්නේ නැත. කුඹුරු අක්කරයක් සඳහා ගොවියා එක් කන්නයකට වැඩකළයුත්තේ දින 19ක් පමණය. එම තත්ත්වයද වී ගොවිතැනේ ශ‍්‍රම ඵලදායකත්වය පහළම මට්ටමක තැබීමට හේතුවී තිබේ. ලංකාවේ තේ, රබර්, පොල් හා අනෙකුත් සියලූ බෝග වගාවන් සඳහා යොදාගෙන තිබෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 878623ක් (තේ 229,262, රබර් 207,625, පොල් 295,552ක් හා වී හැර වෙනත් සියලූ ක්ෂේත‍්‍ර බෝග වගාවන් සඳහා 146,181) වන විට වී වගාව සඳහා පමණක් යොදාගෙන තිබෙන ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර් 922,151කි. වී ගොවිතැනට ලබාදී තිබෙන ප‍්‍රමුඛතාවයේ තරම ඒ ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. වී ගොවිතැනින් උපයන ආදායම් ඉතා පහළ මට්ටමක පවතී නම් හා රට කෘෂිකර්මයේදී වැඩිම ප‍්‍රමුඛතාවක් ලබාදී ඇත්තේ වී ගොවිතැනට නම් ඒ රට දුප්පත් වීම හා වී ගොවිතැනෙන් යැපෙන ජනයා දුප්පත් වීම වැළකිය නොහැකිය.

තෙත් කලාපයේ වී ගොවිතැනට වෙන්කර තිබෙන කුඹුරු ඉඩම්වලින් කිසියම් විශාල ප‍්‍රමාණයක් විවිධ හේතු නිසා වගා කරන්නේම නැත. ඒ ප‍්‍රමාණය අක්කර ලක්ෂ 5කටත් වැඩිවිය හැකිය. කුඹුරු ඉඩම් සඳහා ක‍්‍රියාත්මක වන දැඩි නීති රීති නිසා ඒවා වෙනත් බෝග වගාවකට යොදා ගැනීමක්ද සිදු නොවේ. ඒවාහි පහත්බිම් ස්වරූපයට හානියක් නොවන ලෙස හරක් ගොවිපොළවල් සඳහා අවශ්‍ය තණබිම් බවට පත්කර ගැනීමේ හැකියාවක් ඇතත්, හරක් මස් පිළිබඳ ස්ථිර ප‍්‍රතිපත්තියක් රටට නැතිකම නිසා ලංකාවේ ගව පට්ටි පාලනය තිබෙන්නේද දියුණු කළ නොහැකි තත්ත්වයකය. ”ගව මස් කන්නා වසලයෙකි.” කියන අනගාරික ධර්මපාලතුමාගේ සටන් පාඨය අද දක්වා සිංහල බෞද්ධ ජනතාවගේ මනස් කෙරෙහි බලපා තිබෙන බව පෙනේ.

ලංකාවට අවශ්‍ය කරන කිරි ලංකාවේම නිපදවා ගැනීමේ ඇත්ත හැකියාවක් ඇතත්, හරක් මස් සම්බන්ධයෙන් තිබෙන පසුගාමී ආකල්ප පිළිවෙළින් ස්වයංපෝෂිත වීමට තිබෙන හැකියාව වළකන සම්බාධකයක් ලෙස ක‍්‍රියා කරමින් පවතී. හරක් කිරිවලට පමණක් හැදීම ආර්ථික වශයෙන් ඵලදායක වන්නේ නැත. එය ඵලදායී වන්නේ හරක් කිරි පිණිස පමණක් නොව, මස් පිණිස ද ප‍්‍රයෝජනයට ගන්නේ නම් පමණය. හරක් මස් සඳහා සම්බාධක ඇති රටක ආයෝජකයන් කිරි සඳහා පමණක් හරක් හදන්නට යොමුවන්නේ නැත.

වන සතුන්ගේ භූමිකාව

වී ගොවිතැනේ යෙදෙන ගොවියකුට ඉන් ලැබෙන ආදායම ඉතා පහත් මට්ටමක පවතී නම් එම ගොවියාට කුඹුරු ගොවිතැන සඳහා වැඩ කරන්නට සිදුවන්නේ දින 19ක් පමණක් නම්, තවත් දින 50ක් පමණ වෙනත් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයක නිරත නොවේ. එම ගොවියාගේ ජීවිතය දුක්ඛිත වීම නොවැළැක්විය හැකිය.

වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාරවල ගොවීන්ට ගොවිතැන සඳහා මඩ ඉඩම්වලට අතිරේකව ගොඩ ඉඩම් ලබාදී ඇතත්, වන සතුන්ගෙන් එල්ල වන හානි නිසා ගොවීන් ගොඩ ඉඩම්වලින් නිසි ප‍්‍රයෝජන නොගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන බව දැකිය හැකිය. වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානි පාලනය කිරීම සඳහා විධිමත් ප‍්‍රතිපත්තියක් ආණ්ඩුවට නැත. ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව වුවද වන සතුන් බෝග වගාවන්ට කරන හානියේ ප‍්‍රමාණය සමස්ත කෘෂි නිෂ්පාදනයෙන් 40%ක් පමණ වේ. නිසි පාලනයක් නැතිකම නිසා වල් ඌරන්, මොනරුන්, වඳුරන්, රිලවුන්, වල් අලින් වැනි බෝග වගාවන්ට හානි කරන වල් සතුන්ගෙන් ගහණයේ අතිවිශාල වර්ධනයක් ඇතිවී තිබෙන අතර ඔවුන් කෘෂිකර්මයට කරන හානියේ ප‍්‍රමාණය අතිවිශාලය. දිගින් දිගට වල් ඌරන්ගේ පහරදීම්වලට ලක්වන ගොවිබිම් වගා කිරීම අත්හරිනවා මිස සිදුවන හානි නොසලකා ඒවා වගා කරන්නේ නැත. එක්කෝ ගොවිතැනට හානි කරන වන සතුන් පාලනය කරන ක‍්‍රමවේදයක් රජයට තිබිය යුතුය. නැතිනම් වල් අලින් හැර ගොවිතැනට හානි කරන වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට දිය යුතුය.

වල් අලින් හැර වගාවන්ට හානි කරන වල් සතුන් දඩයම් කිරීමේ අයිතිය හා දඩයම් කරන සතුන්ගේ මස් ළඟ තබාගැනීමේ, ප‍්‍රවාහනය කිරීමේ හා අලෙවි කිරීමේ අයිතිය ගොවීන්ට ලබාදෙන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීමෙන් පමණක් ගොවිතැනට හානි කරන වල් සතුන්ගේ ගහණය සාර්ථක ලෙස පාලනය කළ හැකිය. ඒ මගින් දුප්පත් ගොවීන්ට අතිරේක ආදායම් උපයා ගතහැකි මාර්ගයක් ද ඇතිකර දිය හැකිය. වල් ඌරු මස් කෑමට මහජනයා කැමතිය. වල් ඌරන් දඩයම් කිරීමට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් මගින් වල් ඌරු මස් නිදහසේ වෙළෙඳ පොළෙන් මිලදී ගතහැකි තත්ත්වයක් ඇති කළ හැකි අතර ඒ මගින් ගොවීන්ට අතිරේක ආදායම් උපයා ගතහැකි මාර්ගයන්ද ඇතිකර දිය හැකිය. ලංකාවේ මස් පරිභෝජනය තිබෙන්නේ බෞද්ධ රටවල් අතරින්ද ඉතාමත් පහළ මට්ටමකය. මන්ද ලංකාවේ සිංහල බෞද්ධ ගොවීන් මස් නොකන ජාතියක් ලෙස සැලකිය නොහැකිය. වියළි කලාපයේ ගොවීන් කුරක්කන් තලප කෑවේ දඩමස් සමගය. ආගමික අන්තවාදී මතවාද ලංකාවේ ජාතිය ප්‍රෝටීන් මන්දපෝෂණයෙන් පෙළෙන රෝගී ජාතියක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතය තිබෙන්නේ 30%ක් තරම් ඉහළ මට්ටමකය. වන සතුන් ගොවිතැනට කරන හානිය ග‍්‍රාමීය දුප්පත්කම කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ග‍්‍රාමීය තරුණ පරපුර කෘෂිකර්මයට යොමු නොවී ත‍්‍රීරෝද රථවලට යොමුවී තිබෙන්නේ කෘෂිකර්මයෙන් ප‍්‍රමාණවත් තරමේ ආදායම් උපදවා ගතහැකි ආකාරයට නවීන නොවන නිසාය.

යල්පැනගිය කුස්සිය

සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනගා ගැනීම සඳහා පමණක් නොව, දියුණු කෘෂිකර්මයක් ඇතිකර ගැනීම සඳහාද ලංකාව කන බොන ක‍්‍රමවල සේ ම උයන පිහන ක‍්‍රමවලද ලොකු වෙනස්කම් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය. නූතන රාජ්‍යයකට අතිරේකව නූතන කුස්සියක් ගැනද ලංකාව සිහින දැකිය යුතුය.

ලංකාව සැලකෙන්නේ තුන් වේලටම බත් කන ජාතියක් වශයෙනි. තුන්වේලටම බත් කෑම සැලකෙන්නේද ඉතාමත් නම්බුකාර හා දේශපේ‍්‍රමී දෙයක් ලෙසය. ලංකාවේ මිනිසුන් අතර දියවැඩියාව, රක්ත හීනතාව හා ප්‍රෝටීන් මන්ද පෝෂණය ඉහළ මට්මක පවතී. ලංකාවේ ජනයා වැඩියෙන් බත් කන, අඩුවෙන් මස්, මාළු, බිත්තර, එළවළු හා පලතුරු කන ජාතියක් ලෙස සැලකිය හැකිය. බත් කන කොට කන්නේද කන පිඟානට කොතක් ලෙසත් බෙදාගෙනය. ජපනුන් බත් කන්නේ පුංචි කෝප්පයකට බෙදාගෙනය.

ජාතිය නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න කරගැනීම සඳහා බත් කන ප‍්‍රමාණය අඩු කොට මාංසජනක ආහාර, එළවළු හා පලතුරුද කන ප‍්‍රමාණය වැඩි කළ යුතුය. බත් කන ප‍්‍රමාණය අඩු කරන තරමට ජාතික සහල් අවශ්‍යතාවද අඩු කළ හැකිය. ඒ මගින් ගොවීන් වී මත යැපෙන ප‍්‍රමාණය අඩු කළ හැකි අතර ඒ මගින් වී ගොවීන් වෙනත් වගාවන්ටද යොමු කිරීමෙන් ඔවුන් අතර පවත්නා දුප්පත්කමද අඩු කළ හැකිය. ආහාරයට ගන්නා මාංශජනක ආහාර ප‍්‍රමාණයද, එළවළු හා පලතුරු ප‍්‍රමාණයද වැඩි කිරීම මගින් මාංසජනක ආහාවරලද එළවළු හා පලතුරු නිෂ්පාදනයන්ට තිබෙන ඉල්ලූමද වැඩි කළ හැකිය.

ලංකාවට තිබෙන්නේ යල්පැනගිය කුස්සියකි. අපේ ප‍්‍රධාන ආහාරය බත් වුවත් නිසි ප‍්‍රමිතියකට බත් උයාගන්න දන්නේ නැති, ඒ බතට ගැළපෙන ලෙස මාළු පිනි උයා ගන්නට දන්නේ නැති, ජාතියක් ලෙස සැලකිය හැකිය. ලෝකයේ හොඳම තේ නිපදවන්නේ ලංකාවය. එය බි‍්‍රතාන්‍යයන් ලංකාවට හඳුන්වා දෙන ලද බෝග වගාවක් වුවද, තේ පානය අපේ ජීවිතවලටද වැදගත් අංගයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. එහෙත් ලංකාවේ ගෘහණියන් බොහෝ දෙනකු හරිහැටි තේ කෝප්පයක් හදාගන්න දන්නේ නැත. එක්කෝ කහට වැඩිය. නැතිනම් කහට මදිය. ඒත් නැතිනම් සීනි වැඩිය. කිරි තේවලදීද ඒ වැරදි ඒ ආකාරයටම දැකිය හැකිය.

දැන් බොහෝ තේ කඩවල දෙන්නේ සමාගම් විසින් නිපදවන ක්ෂණික තේය. සාම්ප‍්‍රදායික තේ කෝප්පයක් ලබාගත හැක්කේ ඉතාමත් කලාතුරකින් තැනකින් පමණය. ක්ෂණික තේ, තේ බීම එපා කරයි. දැන් තේ කඬේකින් ප්ලේන්ටි එකක් ඉල්ලූ විට උණුවතුර, සීනි හා තේ බෑගයක් ලබාදෙයි. සාමාන්‍ය කඩවල දෙන්නේ ප‍්‍රමිති තත්ත්වයේ තිබෙන තේ බෑගයක් නොවේ. ඒවා තුළ තිබෙන්නේ බීමට නුසුදුසු දහජරා තේ බව දන්නේ කලාතුරකින් කෙනෙකු පමණය. පෙනුම ඉතාමත් ගාම්භීර වුවත් තත්ත්වය ඉතාමත් බාලය.

ලංකාවේ කුස්සියේ කෑම වට්ටෝරුව එළවළු මාළු පිනි 10ක් පමණ වටා කැරකෙන ඒකාකාරී කෑම වට්ටෝරුවක් ලෙස සැලකිය හැකිය. ඒ වර්ග කිහිපය පවා අප උයන්න දන්නේ විධි දෙකකට හෝ තුනකට පමණය. හොද්දට, හොදි නැතිව හෝ තෙලට යනාදිය වශයෙනි. මෙම සීමිත ඒකාකාරී කෑම වට්ටෝරුව උයන කෙනාට ඉවීම නීරස දෙයක් බවට පත්වනවා සේ ම, කන කෙනාටද, හැමදාකම එකම දේවල් කීපයක් එකම විදියට කන්න සිදුවීම නිසා ආහාර ගැනීමද ඉක්මනින් නීරස දෙයක් බවට පත්වන්නේය. ඒ නිසා අපේ ගෘහණියන්ට කෑම උයන්නට සිදුවී තිබෙන්නේ ආසාවෙන් නොව, නොකර බැරි නිසාය. ඒ ආහාර කන අයට කන්නට සිදුවී තිබෙන්නේ ඒවා කනවා හැර තෝරා ගැනීමට වෙන විකල්පයක් නැති නිසාය.

සාමාන්‍යයෙන් ආහාර වේලක් බැලූ බැල්මට වර්ණවත් විය යුතුය. එහි පෙනුම කෑමට ආශාවක් ඇති කළ යුතුය. එය රසවත් විය යුතු සේ ම පෝෂ්‍යදායකද විය යුතුය. එහෙත් ලංකාව ආහාර වේලක් හැදීමේදී ඒ කාරණා තුනම හොඳින් සැලකිල්ලට නොගන්නා ජාතියක් ලෙස සැලකිය හැකිය.
එකම දෙයක් වුවත් විධි රාශිකට ඉවීමේ පුළුවන්කමක් තිබිය යුතුය. අපි මාළු උයන්න දන්නේ විධි තුන හතරකට පමණය. මිරිසට, කිරට, ඇඹුල් තියල් හා තෙලෙන් බැදීම යනාදී වශයෙනි. සමහර ජාතීන්ට මාළු පිිසින ක‍්‍රම සිය ගණනක් තිබෙන්නේය.

ලංකාවේ ගෙවල්වල පමණක් නොව ආහාර විකුණන කඩවලද මාළු පමණක් නොව, තෙලෙන් බදින ලද චයිනිස් රෝල්ස් වැනි ආහරවලදී එම මාළු කෑල්ල තුළ හෝ චයිනිස් රෝල් එක තුළ තෙල් පෙඟී ඇති බවක් දැකිය හැකිය. එය හොඳින් තෙල් රත්වන තෙක් නොසිට තෙලට බදින දේ දැමීම හෝ රත්වූ තෙලේ ප‍්‍රමාණයට නොගැළපෙන තරම් ප‍්‍රමාණයක් තෙලට දැමීම නිසා ඇතිවන දෝෂයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය ලංකාවේ ගෙවල්වල සේ ම ආහාර වෙළෙඳ සැල්වලද බහුලව දකින්නට ලැබෙන දෝෂයක් බවද කිව යුතුය.

ලංකාවේ ගෝවා කාලෙට ගෝවා විකුණා ගැනීමට නොහැකි වීම නිසා ගොවීන්ට තමන් වගා කරන ලද ගෝවා තොග වශයෙන් විනාශ කරන්නට සිදුවන අවස්ථා ගැන නිතර නිතර අසන්නට ලැබෙන්නේය. එයට බලපා තිබෙන එක හේතුවක් ලෙස සැලකිය හැක්කේ ලංකාවේ ජනතාව ගෝවා කන්නට දැන නොසිටීමය. අපි ගෝවා පිසින්නට දන්නේ වැඩිම වුවහොත් ක‍්‍රම දෙකකට හෝ තුනකටය. එහෙත් සමහර ජාතීන්ට ගෝවා උයන පිහන ක‍්‍රම විශාල ගණනක් තිබෙන අතර සමහර ක‍්‍රමවලට පිසින ලද ගෝවාවල රසවත්කම ඉතා ඉහළ මට්ටමක පවතී.

ලංකාවේ තක්කාලි පරිභෝජනය ගැන කිවයුත්තේද ඊට සමාන කතාවකි. ලංකාවේ ඒක පුද්ගල තක්කාලි පරිභෝජනය තිබෙන්නේ ඉතාමත් පහළ තත්ත්වයකය. තක්කාලි ආහාර වේලේ වැදගත් අතුරු අංගයක් බවට පත්කර ගන්නට අපි දන්නේ නැත. අපි තක්කාලි අමුවෙන් කන්නේ සලාදයක් කන අවස්ථාවකදී පමණය. තක්කාලි යුෂ බොන සම්ප‍්‍රදායක් ඇත්තේම නැති තරම්ය. සැර ඇල්කොහොල් පානය කරන්නන් මිශ‍්‍රණය සඳහා සෝඩා හෝ කොකාකෝලා වෙනුවට ඝනට හදාගත් තක්කාලි යුෂ යොදා ගන්නේ නම් (අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද ඊට එකතු කළ හැකිය.) එම ඇල්කොහොල් පානය ඉතා වර්ණවත් හා ප‍්‍රියජනක පානයක් බවට පත්කරනවා පමණක් නොව, ඇල්කොහොල්වලින් අක්මාවට සිදුවන හානියද අවම කරයි.

වර්තමානයේ බොහෝ නිවෙස්වල ගෑස් හෝ විදුලි උඳුන් තිබෙන්නේය. එහෙත් උඳුන ප‍්‍රයේජනයට ගන්නේ ඉඳහිට කේක් එකක් හදා ගැනීම සඳහා පමණය. සාමාන්‍ය ඉවුම් පිහුම් සඳහා උඳුන පාවිච්චි කිරීමක් සිදුවන්නේම නැති තරම්ය. ඒ සඳහා කිසිවෙක් අත්හදා බැලීම් කරන්නේද නැත. මාළු ඇඹුල් තියල් හදන විට එය ළිපේ පිසගැනීමෙන් පසු එම භාජනය උඳුනේ තබා ටික වේලාවක් බේක්කර ගැනීමෙන් ඇඹුල් තියල් මාළුව වඩා රසවත් කළ හැකිය.

ජපානය මීට සති කිහිපයකට ඉහතදී මයික්‍රොවේව් උඳුන් නිපදවීම, විකිණීම හා ළඟ තබා ගැනීම තහනම් කළේය. ලංකාවේද මයික්‍රොවේව් උඳුන් පාවිච්චි කරන්නන් විශාල සංඛ්‍යාවක් සිටින්නේය. ජපානය එම තහනම පනවා තිබෙන්නේ ඒ ගැන කාලයක් තිස්සේ කරන ලද අත්හදා බැලීමකින් පසුවය. මයික්‍රොවේව් උඳුනෙන් කරන ආහාර පිසීම සෞඛ්‍යය කෙරෙහි ඇති කරන හානිය අතිවිශාලය.

කුස්සිය හා රාජ්‍යය - වික්ටර් අයිවන්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..