sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » රටවල් බෙදීම මාක්‌ස්‌වාදය නොවේ

ජාතික සහ ජනවාර්ගික ප්‍රශ්නයේ අවසාන විසඳුම පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීමත් සමග කෙළින්ම බැඳී ඇති බව තම විප්ලවීය දෘෂ්ටිකෝණය තුළින් මාක්‌ස්‌ සහ එංගල්ස්‌ දුටුහ. මේ අහෝසියෙන් තොරව ප්‍රශ්නයට විසඳුම, එනම් ජාතීන් අතර පූර්ණ සමානාත්මතාවය බිහි කිරීම කළ නොහැක. 1847 දී පවා මාක්‌ස්‌ මෙසේ පැවැසීය. "සැබෑ ලෙසින්ම සමගි වීමට නම් ජනතාවට පොදු අරමුණු පැවැතිය යුතුය. ඔවුන්ගේ අරමුණු පොදු තත්ත්වයට පත්වීමට නම් පවතින දේපළ සම්බන්ධතාවයන් අහෝසි කළ යුතුය. මන්ද, මෙම දේපළ සම්බන්ධතාවයන්වල පදනම වන්නේ එක්‌ ජාතියක්‌ තවත් ජාතියක්‌ සූරා කෑමය. පවතින දේපළ සම්බන්ධයෙන් අහෝසි කිරීමේ කර්තව්‍යය අයත් වන්නේ කම්කරු පන්තියට පමණි. එය ඉටු කිරීමට හැකියාව ඇත්තේ ද එයට පමණි. එබැවින් ධනේශ්වරය පරදවාලන නිර්ධන පන්තියේ ජයග්‍රහණය සියලුම පීඩිත ජාතීන්ගේ විමුක්‌තිය ද උදා කරයි."

(කාල්මාක්‌ස්‌, "පෝලන්තය පිළිබඳ දේශනය")

(එකතු කළ කෘති, කාණ්‌ඩය, 6. 388 පිටුව)

මාක්‌ස්‌ මෙසේ හුවා දැක්‌වූයේ සිය කාලයෙහි පැවැති ජාතික ප්‍රශ්නයක්‌ වුවද ඔහු ඉදිරිපත් කළ එම මහඟු ඓතිහාසික සත්‍යය බෙහෙවින්ම නිවැරැදි බව රුසියානු විප්ලවයෙහි අත්දැකීම් තහවුරු කළේය. මෑතකදී සිය 60 වැනි සංවත්සරය පැවැත්වූ සෝවියට්‌ සංගමය සිය ජාතික ප්‍රශ්නය සමානාත්මතාවය පදනම් කොට ගෙන විසඳීම තුළින් අපට පෙන්වූයේ ද එය කළ හැක්‌කේ සමාජවාදය තුළින් පවතින දේපළ සබඳතාවයන් අහෝසි කිරීමෙන් පමණක්‌ බවය. ඉතිහාසය ඉන් අනතුරුවද පෙන්වා දෙන්නේ ජාතීන් අතර සමානාත්මතාවය බිහි කළ හැක්‌කේත්, ජාතික ප්‍රශ්නය විසඳිය හැක්‌කේත්, සමාජවාදය බිහි කිරීමෙන් අනතුරුව පමණක්‌ බවය. ධනේශ්වර රාමුව තුළ රැඳී සිටින රටවලට මෙම ප්‍රශ්නය විසඳීමට නොහැකිව ඇති අතර ජාතීන් ගණනාවක්‌ ජීවත්වන එවැනි රටවල් ජාතිභේදවාදී ප්‍රශ්නවලින් දරුණු ලෙස පෙළෙයි. ඉන්දියාව ඇතුළු 3 වැනි ලෝකයේ රටවල් ගණනාවක්‌ මෙම ප්‍රශ්නයට මුහුණපා සිටී. බොහෝ අය ජාතික ප්‍රශ්නය පිළිබඳ මාක්‌ස්‌වාදී ආකල්පය රටවල් බෙදීම හා වෙන් කිරීම් සමග වරදවා පටලවාගෙන ඇත. මෙය මුළුමනින්ම වැරැදිය. කම්කරු පන්තියේ මතවාදය වන මාක්‌ස්‌වාදය ජාත්‍යන්තරවාදී දෘෂ්ටි කෝණයකින් යුක්‌ත වේ. එය ලෝ නිර්ධනයන්ගේ සමගිය සහ අවසානයේදී ලෝක සමගිය වෙනුවෙන් බැඳී ඇත. එයට වෙන්වීම පදනම් කොටගත නොහැක. ලෙනින් මෙම ප්‍රශ්නය නිවැරැදි ආකල්පය පහත සඳහන් පරිදි ප්‍රකාශ කළේය.

"වැඩකරන ජනතාවට එහි ඇති හිතකරභාවය හේතුවෙන් නිර්ධන පන්ති පක්‍ෂය හැකිතාක්‌ විශාල වූ රාජ්‍යයක්‌ බිහි කිරීමට වෙහෙසෙයි. ජාතීන් ඒකරාශී කිරීමට යත්නදරන එය ඒවා තවදුරටත් බද්ධ කිරීමට ක්‍රියා කරයි. එනමුදු එසේ කිරීමට එය වෙහෙසෙන්නේ බලහත්කාරයෙන් නොව සියලු ජාතීන්ගේ වැඩකරන පන්තිවල නිවහල් හා සහෝදරාත්මක එකමුතුව තුළින් පමණි."

(එකතු කළ කෘති 24 කාණ්‌ඩය 73 පිටුව)

කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය, ජාතීන්ගේ නිදහස සහ සමානාත්මතාවය තුළින් ස්‌වෙච්ඡාවෙන් බිහිවන එක්‌සත් භාවය සමග බද්ධ කිරීම පදනම් කොටගත් ජාතික ප්‍රශ්නය පිළිබඳ මාක්‌ස්‌ ලෙනින්වාදී ආකල්පය මෙයයි. විප්ලවීය අරගලයේ ආරම්භයෙහි සිටම නිවැරෑදි වැටහීමක්‌ සහ ආකල්පයක්‌ නිර්ධන පන්ති පක්‍ෂයට නොමැත්තේනම් ස්‌වෙච්ඡාවෙන් වන සමගියක්‌ බිහිකළ නොහැක. ලෙනින්ගේ මග පෙන්වීම යටතෙහි වූ බෝල්ෂෙවික්‌ පක්‍ෂය දැඩි ඒකාග්‍රතාවයකින් යුතුව විප්ලවීය සමය තුළදීම මෙම ක්‍රියා මාර්ගය භාවිත කිරීම තුළින්, ඔක්‌තෝබර් විප්ලවයේ ජයග්‍රහණයෙන් අනතුරුව පීඩිත ජාතීන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්විය.

සාර් පාලනය යටතේ පීඩිත ජාතීන් ගණනාවක්‌ විසූ රුසියාව තුළ ප්‍රශ්නය වූයේ සමානාත්මතාවය සඳහා ඔවුන්ට ඇති අයිතිය ආරක්‍ෂා කරන අන්දමේ සියලු ජාතීන්ට අයත් වූ කම්කරුවන්ගේ පන්ති සමගිය රැකීමය.

කම්කරු පන්තික සමගියේ අවශ්‍යතාවය අමතක කරන ඉන්දියාවේ ජාතික අයිතීන් පිළිබඳ මහා හඬක්‌ නගන සමහරු ඔවුන්ගේ ඉල්ලීම ජාතිවාදී වූ වෙන්වීමේ වාදයක්‌ බවට පෙරළාගෙන ඇත.

අප මතක තබාගත යුතු දෙවැනි කරුණ වන්නේ මාක්‌ස්‌වාදය ජාතික ප්‍රශ්නයට හුදෙකලා වූ විසඳුමක්‌ ඉදිරිපත් නොකරන බවය. පවතින සමාජ සංවර්ධන අවධිය හා පන්ති අරගලය සැලකිල්ලට ගන්නා එය පොදු සමාජ අරගලය ඒ හේතුවෙන් වර්ධනය වන ප්‍රමාණයට අනුකූලවය එයට වැදගත් භාවය පිරිනමනුයේ.

1866 දී පළමුවැනි ජාත්‍යන්තරයේ නියෝජිතයන් හට පෝලන්ත ප්‍රශ්නයේ ශීර්ෂයෙන් මාක්‌ස්‌ ඉදිරිපත් කළ ලිත උපදෙස්‌වල මෙසේ සඳහන් විය.

(අ) යුරෝපයේ කම්කරුවන් මෙම ප්‍රශ්නය කුමක්‌ සඳහා මතු කරයිද? මුලින්ම විවිධ ජාතීන්ට ව්‍යාජ හිතවත්කම් දක්‌වන මධ්‍යම පන්තික ලේඛකයින් සහ උද්ඝෝෂකයින් මෙම ප්‍රශ්නය යටපත් කිරීමට කුමන්ත්‍රණය කරන බැවිනි. ඒ ඇයිද? රදලයන් මෙන්ම ධනපතියන්ද පසුබිමෙහි වන අඳුරු ආසියාතික බලවතා නැගඑන කම්කරු පන්තික රැල්ලෙන් බේරීමට ඇති අවසාන තුරුම්පුව ලෙස සලකන බැවිනි. එම බලවතා නියම ලෙස බිම හෙළිය හැක්‌කේ පෝලන්තය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක්‌ මත යළි ස්‌ථාපිත කිරීමෙන් පමණි.

(ආ) මධ්‍යම යුරෝපයේත්, විශේෂයෙන් ජර්මනියේත් අද පවත්නා තත්ත්වය තුළ වෙන කවරදාකටවත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පෝලන්තයක්‌ පැවැතීම අත්‍යවශ්‍යය. එය නොමැත්තේ නම් ජර්මනියේ ශුද්ධ වූ හවුලේ කොටසක්‌ විය හැකි වුවද එය පවතින්නේ නම් සමූහාණ්‌ඩුක ප්‍රංශයේ සහාය කරුවකු වනු ඇත. මෙම බරපතළ යුරෝපීය ප්‍රශ්නය විසඳන තෙක්‌ කම්කරු පන්ති ව්‍යාපාරය නිරන්තර බාධකයන්ට හසුව ආපස්‌සට තල්ලු වනු ඇත.

(කාල්මාක්‌ස්‌ සහ පෙඩ්රික්‌ එංගල්ස්‌ තෝරාගත් කෘති 2 කාණ්‌ඩය, 84 පිටුව)

පෝලන්තය ප්‍රශ්නය වැදගත් වූයේ එය යුරෝපීය නිර්ධන පන්ති ව්‍යාපාරයේ වර්ධනය හා කෙළින්ම බැඳී තිබුණු බැවිනි. පීඩිත සහ පීඩිත ජාතික සම්බන්ධතාවයන් පැවැති සාර් යුගයේ රුසියාව තුළ මාක්‌ස්‌ ලෙනින් වාදය ස්‌වයංතීරණය අයිතිය වෙනුවෙන් තර්ක කළා පමණක්‌ නොව ඒ සඳහා අරගලයන්ද දියත් කළේය. රුසියානු විප්ලවයේ සම්පූර්ණ කාලය තුළම ලෙනින්ගේ නායකත්වයෙන් යුතුව බෝල්ෂේවික්‌ පක්‍ෂය මෙම අයිතිය සඳහා සටන් කළේය. ස්‌වයංතීරණයට විවිධ අයුරින් විරෝධය පෑ රුසියානු මහා ජාතිවාදීන් සහ අවස්‌ථාවාදීන් හට පහර එල්ල කළේය. එනමුත් බෝල්ෂෙවික්‌වරු රට බෙදීමට සහ දෙකඩ කිරීමට වැඩ කළ බවක්‌ මෙයින් අදහස්‌ නොකෙරේද? ස්‌වයංතීරණ සඳහා තර්ක කිරීම තුළින් ඔව්හු, බෝල්ෂේවික්‌ ස්‌ථාවරය වන්නේ පූර්ණ සමානාත්මතාවය සහ ජාතික වරප්‍රසාද හා පීඩනයට දැඩි විරෝධය බව පීඩිත ජාතීන්ට ඒත්තු ගැන්වූහ. ඒ අතරම පීඩිත මෙන්ම පීඩිත ජාතීන්ටත් අයත් වූ කම්කරුවන්ගෙන් යුක්‌ත වූ පොදු කම්කරු පාන්තික සංවිධාන ගොඩනැඟීමෙන් සමගිය සඳහා වූ නැඹුරුව ජීවමානව රැක ගැනීම තුළින් විප්ලවයෙන් අනතුරුව සියලු ජාතීන් ඒකාබද්ධ කිරීමට සමත් වූහ.

රුසියාවේ විවිධ ජාතීන්ගේ වෙන්වීමේ අයිතිය ද ඇතුළත් වූ ස්‌වයංතීරණය පිළිබඳ වූ අයිතිවාසිකම් ගැන ලෙනින් දැඩි ලෙස අවධාරණය කළේය. රෝසා පත්සම්බර්ග් සමග සිය විවාදයේදී ස්‌වයංතීරණ අයිතිය ක්‍ෂණික අවශ්‍යතාවයක්‌ බවට පත් කළ රුසියාවේ විශේෂිත වූ තත්ත්වය ඔහු පහදා දුන්නේය. ඔහු මෙසේ ලීවේය. "ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් රුසියාව තුළ පවතින අතිවිශේෂ තත්ත්වයන් අවුස්‌ත්‍රියාවේ තත්ත්වයනට හාත්පසින්ම වෙනස්‌ය. රුසියාව තනි ජාතික මධ්‍යස්‌ථානයකින් යුක්‌ත වූ (මහ රුසියාව) රාජ්‍යයකි. මහා රුසියන්වරු දැවැන්ත හා අඛණ්‌ඩවූ භූමි භාගයක්‌ වසා විසිර සිටින අතර ඔවුන්ගේ සංඛ්‍යාව 70,000,000 පමණ වේ. මෙම ජාතික රාජ්‍යයේ විශේෂිත ලක්‍ෂණ මේවායි. පළමුවෙන්ම මුළු ජනගහනයෙන් බහුතරය වන (57% "යටත් ජාතීහු") දේශසීමා ප්‍රදේශවල වාසය කරති. දෙවැනුව, මෙම යටත් ජාතීන් භාජනයට ඇති පීඩනය අසල්වැසි රාජ්‍යයන්වල පවතින පීඩනයට වඩා බෙහෙවින් දරුණුය. තුන්වැනිව, සමහර අවස්‌ථාවන්හිදී තමනට වඩා ජාතික ස්‌වාධිනත්වයක්‌ භුක්‌ති විඳින මොවුන්ගේ ස්‌ව ජාතිකයෝ දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි රාජ්‍යවල ජීවත් වෙති. සතරවැනිව, බොහෝවිට රුසියානු නොවන දේශ සීමා ප්‍රදේශ තුළ ධනවාදයේ සංවර්ධනය මෙන්ම සාමාන්‍ය සංස්‌කෘතික මට්‌ටමද කේන්ද්‍රයෙහි තත්ත්වයට වඩා උසස්‌ය. අවසාන වශයෙන් රුසියාව තුළ වසන ඔවුන්ට නෑදැකම් ඇති ජාතීන් අතරට පැතිරෙමින් පවතින ජාතික ව්‍යාපාර හා ධනේශ්වර ආසියාතික රාජ්‍යයන් අප දකින්නේ යාබද පිහිටි ආසියාතික රාජ්‍යයන් තුළය.

"එබැවින් රුසියාවේ ජාතික ප්‍රශ්නයේ අතිවිශේෂ ඓතිහාසිය ලක්‍ෂණ නියාමය ජාතීන්ගේ ස්‌වයංතීරණ පිළිබඳ අයිතිය පිළිගැනීම අද අප රට තුළ විශේෂ හා ක්‍ෂණික අවශ්‍යතාවයන් වනුයේ"

(එකතු කළ කෘති, 20 කාණ්‌ඩය, 407-408 පිටු)

ස්‌වයංතීරණ අයිතිය සඳහා තරග කරන ලද්දේ රුසියාවේ පැවැති විශේෂිත වූ තත්ත්වයන් සැලකිල්ලට භාජනය කිරීමෙන් අනතුරුවය.

එනමුදු ජාතීන් හට වෙන්වීමට ඇති අයිතිය වෙන්වීමේ සුදුසුකම සමග පටලවා නොගත යුතුය.

1917 මැයි මාසයේදී ලෙනින් ස්‌වයංතීරණ අයිතිය පිළිබඳ අවධානය කරන අතරම මෙසේද පැහැදිලි කළේය. "වෙන්වීම සඳහා ජාතීන්ට අයත් නිදහස්‌ අයිතිය, නිශ්චිත ජාතියක්‌ නිශ්චිත අවස්‌ථාවකදී වෙන්වීමේ සුදුසු භාවය සමග පටලවා නොගත යුතුය. සමස්‌ත සමාජ සංවර්ධනයේ අවශ්‍යතාවයන් මෙන්ම සමාජවාදය සඳහා නිර්ධනයේ පන්ති අරගලය අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගෙන නිර්ධන පන්තියේ පක්‍ෂය මෙම ප්‍රශ්නය පිළිබඳ සිය විසඳුම ඒ ඒ අවස්‌ථාවන්හිදී වෙන් වෙන්ව විනිශ්චය කළ යුතුය. (එකතු කළ කෘති 24 කාණ්‌ඩය, 302-303 පිට.)

මෙම වැටහීම තවදුරටත් වර්ධනය කළ ස්‌ටාලින් මෙසේ ලීවේය. "ජාතීන්ගේ ස්‌වයංතීරණ පිළිබඳ ප්‍රශ්නය හුදෙකලාවූ ස්‌වයං පෝෂිත ප්‍රශ්නයක්‌ නොවේ. එය නිර්ධන විප්ලවයේ පොදු ප්‍රශ්නයේ කොටසක්‌ වන අතර සමස්‌ත ප්‍රශ්නයට යටත්වන අතර සමස්‌ත ප්‍රශ්නයේ දෘෂ්ටි කෝණයෙන් එය පිරික්‌සිය යුතුය. පසුගිය ශත වර්ෂයේ 4 වැනි දශකයේදී මාක්‌ස්‌ පෝලන්ත ජාතිකයන්ගේ සහ හංගේරියානු ජාතිකයන්ගේ ජාතික ව්‍යාපාරවලට සහාය දුනමුත් චෙක්‌ ජාතීන්ගේ සහ දකුණු ස්‌ලාට්‌ ජාතීන්ගේ ජාතික ව්‍යාපාරවලට විරුද්ධ විය. ඇයි? මන්ද, චෙක්‌ සහ දකුණු ස්‌ලාච් ජාතීන් එවකට "ප්‍රතිගාමී ජනතාවක්‌ වී යුරෝපය තුළ රුසියානු මුරකඳවුරු බවට පත්ව තිබුණු අතර, පෝලන්තකයන් සහ හංගේරියානුවන් ඒකාධිපතිවාදයට එරෙහිව සටන්කළ "විප්ලවීය ජනතාවක්‌ වූ" බැවිනි. ඒ වකවානුවේදී චෙක්‌ සහ දකුණු ස්‌ලාච් ජාතීන්ට සහාය දැක්‌වීම යුරෝපයේ විප්ලවීය ව්‍යාපාරයේ භයානකම සතුරා වූ සාර්වාදයට වක්‍රව උදව් කිරීමට සමාන වූ බැවිනි."

ස්‌ටාලින් ඊළඟට ලෙනින් පැවසූ වදන් මතක්‌ කරයි. "ස්‌වයං තීරණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයේ විවිධ ඉල්ලීම් අවසානය නොවේ. එය පොදු ප්‍රජාතන්ත්‍රවාදී (දැන් පොදු සමාජවාදී) ලෝක ව්‍යාපාරයේ සුළු කොටසක්‌ පමණි. සමහර විශේෂිත අවස්‌ථාවන්හිදී එම කොටස සමස්‌තයට පරස්‌පර විය හැක. එසේ වුවහොත් එය ප්‍රතික්‌ෂේප කළ යුතුය." (ලෙනින් වාදයේ මූලධර්ම පිටු 80-81)

පළමුවැනි ලෝක යුද්ධයේ අවසානය තෙක්‌ කම්කරු ව්‍යාපාරය තුළ ජාතික ප්‍රශ්නය පිළිබඳ වූ සාකච්ඡාවක්‌ මූලික වශයෙන් ධනේශ්වර යුරෝපය තුළ වූ ජාතීන් සහ ජාතිකත්වයක්‌ පිළිබඳ ප්‍රශ්නයට සීමාවිය. ලෝක යුද්ධයෙන් පසුව බිහිවූ විමුක්‌ති ව්‍යාපාර යටත් විජිත කෙරෙහි වූ ස්‌ථාවරය පිළිබඳ ප්‍රශ්නය ඉදිරියට තල්ලු කළේය. පළමුවැනි ලෝක යුද්ධයට පෙර මෙම ප්‍රශ්නය දෙවැනි ජාත්‍යන්තරයේ සාකච්ඡා තුළද අවසානයේදී අවස්‌ථාවාදී ස්‌ථාවරයක්‌ වැළඳ ගන්නා ලදී. පළමුවැනි ලෝක යුද්ධය යටත් විජිත සඳහා කෙරුණු යුද්ධයක්‌ වශයෙන් විවේචනය කළ ලෙනින් හා බෝල්ෂේවික්‌ පක්‍ෂය එම විජිතයන්ගේ පූර්ණ නිදහස සඳහා වූ ඉල්ලීමට මුළුමනින්ම සහාය දුන්නේය. කොමියුනිස්‌ට්‌ ජාත්‍යන්තරයට බැඳී සිටි සියලුම කොමියුනිස්‌ට්‌ පක්‍ෂ යටත් විජිතයන්ගේ විමුක්‌තිය සඳහා සහයෝගය දැක්‌විය. වහල් ජාතීන්ගේ නිදහස සඳහා වූ අරගලය ලෝක කම්කරු ව්‍යාපාරයට ධනේශ්වරය පරාජය කිරීම සඳහා මහෝපකාරී වන මහඟු විප්ලවීය බලවේගයක්‌ බව හඳුනා ගන්නා ලදි. ජාතික ව්‍යාපාර සහ ඒවායේ සාර්ථකත්වය, අධිරාජ්‍යවාදයේ බලය හීන කිරීම තුළින් කේන්ද්‍රීය රටවල කම්කරු පන්තියේ අරගලයට පිටුවහලක්‌ බව වටහා ගන්නා ලදී.

ජාතික විමුක්‌ති ව්‍යාපාරයන්ට මාක්‌ස්‌වාදීන්ගේ සහයෝගය යළිත් වරක්‌ පදනම් වූයේ සමාජවාදී විප්ලවීය ළඟාවූ සමයක සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යැමට එතුළින් ඉටුවූ කර්තව්‍යය මතය.

ස්‌ටාලින් මෙසේ කියයි. "මුලින් ජාතික ප්‍රශ්නය ප්‍රතිසංස්‌කරණවාදී දෘෂ්ටි කෝණයකින් සලකා බලන ලද්දේ මුලධනයේ බලය පිළිබඳ පොදු ප්‍රශ්නයවත්, අධිරාජ්‍යවාදීද පරාජය කිරීමටවත්, නිර්ධන පන්ති විප්ලවයටත් කිසිදු සම්බන්ධතාවයක්‌ නැති ස්‌වාධීන ප්‍රශ්නයක්‌ ලෙසිනි. යුරෝපීය නිර්ධන පන්තියේ ජයග්‍රහණය යටත් විජිතයන්ගේ විමුක්‌ති ව්‍යාපාර සමග සෘජු සම්බන්ධතාවයකින් තොරව දිනාගත හැකි බවත් ජාතික යටත් විජිත ප්‍රශ්නය නිසොල්මන්ව මෙන්ම ඉබේම විසඳෙන බවත් නිර්ධන පන්ති විප්ලවීය මාවතින් බාහිරව මෙන්ම අධිරාජ්‍යවාදයට එරෙහි වූ විප්ලවීය අරගලයකින් තොරව ද ඒවා විසඳිය හැකි බවත් තර්කයන්ගෙන් තොරව විශ්වාස කරන ලදී. මෙම ප්‍රතිවිප්ලවීය ආකල්ප හෙළිදරව් වී ඇති බව අපට අද ප්‍රකාශ කළ හැක. ජාතික ප්‍රශ්නය විස¹ලිය හැකි වන්නේ නිර්ධන පන්ති විප්ලවය හා බද්ධ වීමෙන් මෙන්ම එය පදනම් කොටගෙන පමණක්‌ බවත්, බටහිර රටවල විප්ලවීය ජයග්‍රහණයේ මාවත වැටී ඇත්තේ යටත් විජිතයන්හි හා හැකි රටවල අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ විමුක්‌ති ව්‍යාපාර සමග වන විප්ලවීය සංවිධානය ඔස්‌සේ පමණක්‌ බවත් ලෙනින්වාදය ඔප්පුකර ඇති අතර එය අධිරාජ්‍යවාදී යුද්ධය හා රුසියානු විප්ලවය ද තහවුරු කොට ඇත. ජාතික ප්‍රශ්නය නිර්ධන විප්ලවයේ පොදු ප්‍රශ්නයේ කොටසක්‌ වේá නිර්ධන පන්ති ආඥදායකත්වය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක්‌ වේ.


ප්‍රශ්නය මෙයයි. පීඩිත රටවල විප්ලවීය ව්‍යාපාරය තුළ නිදන්ගත විප්ලවීය හැකියාවන් දැනටමත් ක්‍ෂය වී ඇත්තේද, නොමැත්තේද එසේ නොමැත්තේ නම් මෙම හැකියාවන් නිර්ධන පන්ති විප්ලවය සඳහා උපයෝගීකර ගැනීමට අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ සහායක කොටසක්‌ විප්ලවීය නිර්ධන පන්තියේ සහාය කොටසක්‌ බවටත්, එහි මිතුරකු බවටත් පරිවර්තනය කර ගැනීමට කිසියම්ම බලාපොරොත්තුවක්‌ කිසියම්ම පදනමක්‌ ඇත්තේද යන්නය.

ලෙනින්වාදය මෙය ඉටු කළ හැකි බව ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේ. (70 පිටුව) නැවත වරක්‌ කරුණු දෙකක්‌ අවධාරණය කෙරේ. නිර්ධන පන්ති විප්ලවයටත් ලෝක සමාජ සංවර්ධනයටත් සහාය වීමේ එහි කර්තව්‍යය අනුවය. විමුක්‌ති ව්‍යාපාරයන්හි කාර්ය භාරය මනිනු ලබන්නේ දෙවැනිව, ජාතික විමුක්‌තිය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා කේන්ද්‍රීය සහ පීඩිත රටවල කම්කරු පන්තියේ සමගිය අත්‍යවශ්‍ය බව නැවත වරක්‌ අවධාරණය කෙරේ.

පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..