sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » ආක්‍රොශ පරිභව දේශපාලනයෙන් අප විමුක්‌තිය ලබන්නේ කවදාද?

ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්න
නවසිය තිස්‌ ගණන්වල සිට මැතිවරණ වලට පුරුදු වී සිටින ලක්‌දිව ජනතාව ඡන්දය දීමටත් ඡන්දය ඉල්ලීමටත් මහත් අභිරුචියෙන් ඉදිරිපත් වන බව නොරහසකි. ගමේ පාරක්‌, පාසලක්‌ හදාගැනීමටත් නගරේ පයිප්පයක්‌, විදුලි බුබුලක්‌ දමා ගැනීමටත් දරුවන්ට රැකියා ලබාගැනීමටත් අසල්වාසී විරුද්ධකාරයන්ගෙන් පළිගැනීමටත් බොහෝ දෙනා මාර්ගය කර ගත්තේ මේ මැතිවරණ ක්‍රියාවලියයි. දේශපාලනඥයකු ජනතාවට සමීපවන්නේ ජනතාවගේ හෘදය ස්‌පර්ෂ කරන්නේ වචන නොහොත් භාෂාව හරහායි. ඒ සඳහා අපේක්‍ෂකයකුට වාග් ශක්‌තියක්‌, කථිකත්වයක්‌ අතිශයින් අවශ්‍ය වේ. කථිකත්වය අතිශයින් විවිධ දෙයකි. කටහඬ උපතින් ලබන සම්පතක්‌ වන අතර පුහුණුවෙන් දැනුමෙන් සතතාභ්‍යාසයෙන් එහි බලපෑම අඩු වැඩි කරගත හැකියි. පෙර කළ පිනින් ලබන දෙයකැයි ඇතැම් අය සලකන වාග් ශක්‌තිය කථිකත්වය යහපත් අරමුණු සඳහා මෙන්ම අනිටු විපාක ගෙන දෙන අරමුණු සඳහාද යොදාගත හැකියි.

දැනට වසරකට පෙර පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ නීතිවේදියකු වූ බරක්‌ ඔබාමායි. ඔහුගේ පියා කෙන්යාවේ උපත ලත් අයෙකි. අසාමාන්‍ය ලෙසින් සාමාන්‍ය මිනිසකු වූ ඔබාමා මහතා ඇමරිකාව තුළ ප්‍රබල දක්‍ෂිණාංශය නියෝජනය කළ මැකේන් මහතා පරාජය කළේ වාග් චාතුර්යයේ කථිකත්වයේ හාස්‌කම ලොවටම කියාපාමිණි. සී එන්. එන්. රූපවාහිනිය සංවිධානය කළ විවාද පහ මගින් ඔබාමා මහතාගේ කථිකත්වය ඇමරිකාවටත් ලොවටත් පැහැදිලි වූ ආකාරය ප්‍රේක්‍ෂක සිත් තුළ කලක්‌ පවතිතු නොඅනුමානයි. ඔබාමා මහතා අපේක්‍ෂකයකුව සිටියදී බර්ලින් නුවරට ගොස්‌ පැය දෙක්‌ පුරා පැවැත්වූ චතුර කතාව කාට නම් අමතක වේද? ඇමරිකානු ප්‍රකාශනයක්‌ වන "නිව්ස්‌ වීක්‌" සඟරාව ඔබාමා මහතා ගොලීය ජනාධිපති (Global President) ලෙස හඳුන්වා සිටියේ ඔහුගේ කථිකත්වයට මුළු ලොවම වශීවී සිටි නිසාය.

ජනතාවගේ සිත්සතන්, සංකල්ප අපේක්‍ෂා මහා ප්‍රඥව මහා කරුණාව සහිත උත්තම තලයකට ඔසවා තබනවා වෙනුවට ජනතාව ඇද වැටී සිටි පාතාල තලයට ආවේගශීලීව සමීප වී අන්තවාදී ජාතිකවාදී දුම්මල ගසා ජනතා නායකත්වයට පිවිස ස්‌වකීය රටක්‌ ලොවක්‌ ගිනිතැබූ වෙනත් දක්‍ෂ කථිකයකු ගැනද ඉතිහාසයේ සඳහන් වෙයි. ඔහු නම් 1933 ජනවාරි මස 30 වැනිදා ජර්මනියේ චාන්සලර් නිලයට පත්වූ ඇඩොල්ෆ් හිට්‌ලර්ය. ජර්මනියට අසල්වාසිවූ ඔස්‌ටි්‍රයාවේදී 1889 අප්‍රියෙල් 20 දින උපත ලද හිට්‌ලර් පසුව ජර්මනියේ මියුනික්‌ නුවරට පිවිස එවක එහි ගැවසුණු අන්තවාදී ජාතිකවාදී පිරිසක්‌ හා මිශ්‍ර විය. කෙටි කලක්‌ හමුදා කෝප්‍රල්වරයකු ලෙස කටයුතු කළ ඔහු යුද කාර්යයේදී තුවාල ලැබීය. පළවැනි ලෝක යුද්ධය කෙළවර වූයේ ජර්මනිය අන්ත පරාජයකට පත් වෙමිණි. ජයග්‍රාහකයා වූවේ කවදත් ජර්මනියේ තරහකාරයා වූ ප්‍රංශයයි. මෙම අන්ත පරාජය නිසා ජර්මානු ජනතාවට විදින්නට සිදුවූ දුක්‌ගැහැට අනන්තය. ආර්ථික හා මූල්‍යමය ගැටලු ඇරුණාම ජර්මන් ජනතාවගේත් රාජ්‍යයේත් අභිමානයට මේ පරාජය නිසා ඇතිවූවේ බරපතල හානියකි.

මේ නිසා ජර්මනිය පුරා තරුණ පිරිස්‌ පැවති ආණ්‌ඩුවටත්, යුදෙව්වන්ටත් ද්වේශ කරන්නට පෙළඹවීම පහසු කාරියක්‌ වීය. යුද්ධයට යුද පරාජයට හේතු වූ කරුණු සංසුන්ව, බුද්ධිමත්ව වටහාගෙන ඥනවත්ව කටයුතු කිරීම වෙනුවට බැලු බැල්මට සතුරන් ලෙස හඳුන්වා දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග හා සුළුජන කොටසක්‌ වූ යුදෙව්වන් මේ පරාජයේ හේතුව ලෙසින් උද්ගතවූ ආර්ථික හා සමාජයීය අර්බුදයට එකම විසඳුම අන්තජාතිකවාදී අධිපතිවාදය හා යුදෙව් විරෝධී බව ජර්මනියේ ජනතාවගේ විශාල කොටසකට ඒත්තු ගැන්වීමට හිට්‌ලර් සමත් විය. ඒ සඳහා ඔහු භාවිත කළේ අන්තවාදී ජාතිකවාදී ෆැසිස්‌ට්‌ දර්ශනයක්‌ ජනතාව පොඹවාලීමට ශක්‌තිය පිළිබිඹුව ඔහුගේ චතුර කථිකත්වයයි. හිට්‌ලර්ගේ චතුර කථිකත්වය ඔස්‌සේ ඔහු ජර්මනියත් මුළු ලොවත් ඇදගෙන ගියේ මොන විධියේ අගාධයකට දැයි දෙවැනි ලෝක යුද්ධයේ ඉතිහාසය මතක ඇති අයට යළි යළිත් මතක්‌ කිරීම අනවශයයි. කථිකත්වයේ ගැබ්වන විශ්මය හා හාස්‌කම මෙන්ම එයින් ඇතිකළ හැකි යහපත හා අයහපත ඔබාමා හා හිට්‌ලර් තුළ පැවැති කථිකත්වය විග්‍රහ කර බැලීමෙන්ම වටහා ගැනීම පහසුයි.

දේශපාලනය නමින් අද ලක්‌දිව හැඳින්වෙන ක්‍රියාවලිය ආරම්භ වූයේ 1930 දශකයේ දීය. ඡන්ද බලය පුළුල් වීමත් අධිරාජ්‍ය විරෝධී ජනතා සංවිධානයක්‌ ලෙස ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවීමත් ඉන්පසු එක්‌සත් ජාතික පක්‍ෂය පිහිටුවීමත් ලක්‌දිව ජනතාව දේශපාලන ක්‍රියාකාරිත්වයට සම්බන්ධවීමට බෙහෙවින් උපකාරී වීය. පූර්ණ දේශපාලන නිදහස හා සමාජවාදී දේපළ ක්‍රමයක්‌ අරබයා ගොවි කම්කරු ජනතාව සංවිධානය කිරීම අරමුණ කරගත් සමසමාජ දේශපාලන ව්‍යාපාරය රටේ සාමාන්‍ය ජනතාව දේශපාලන ක්‍රියාවලිය වෙත වෙසෙසින්ම යොමු කළ නිසා සමාජයේ පහළ තලවලට දේශපාලන හැඟීම් ගලාගිය බව අද කවුරුත් පිළිගන්නා කරුණකි. සිය බසින් ජනතාව ඇමතූ සමසමාජ කථිකයෝ කම්කරු සමිති, තරුණ සමිති, පක්‍ෂ ශාඛා පොදුජන සංවිධාන ගොඩනැඟීමට අතිශයින් වෙහෙසී ක්‍රියාකළහ. 1931 වර්ෂයේ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ මහතා හා 1936 වර්ෂයේ පිලිප් ගුණවර්ධන මහතාත් ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට මහජන ඡන්දයෙන් පත්වී යැම අප රට දේශපාලනයට නව අරුතක්‌ එක්‌කිරීමක්‌ වීය.

රටේ ජනතාවගේ ජීවිතයට සම්බන්ධ සියලු මූලික ගැටලු දුෂ්කරතා විසඳුම් පිළිබඳව ශාස්‌ත්‍රීය වූද, විද්‍යාත්මක වූද තොරතුරු ඉතා ගැඹුරින් සිදුකරවීම ඇරඹුණේ මේ වකවානුවේය. මේ වැදගත් අර්ථවත් හා සාරවත් වූද ක්‍රියාවලිය 1948 පසු යුගයේදී වඩාත් ශක්‌තිමත් වීය. පාර්ලිමේන්තුව විද්වත් සභාවක්‌ම වීය. උසස්‌ අධ්‍යාපන සුදුසුකම් නොතිබුන ද ප්‍රායෝගික ඥනයෙන් හෙබි දේශපාලනඥයන් වූ ඩී. එස්‌. සේනානායක, එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඩඩ්ලි සේනානායක, පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, රාජනීතිඥ ජි. ජි. පොන්නම්බලම්, මහාචාර්ය සී. සුන්දරලිංගම්, පීටර් කෙනමන්, බර්නාඩ් සොයිසා, එම්. ඩී. බණ්‌ඩා, සී. බී. වන්නිනායක, ටි. බී. ඉලංගරත්න, සරත් මුත්තෙට්‌ටුවගම වැනි දේශපාලනඥයන් මැතිසබය සැබැවින් ආලෝකමත් කළ කථිකයෝ වූහ. අලුතින් පත්වී පැමිණි මන්ත්‍රීවරුන්ට මේ ප්‍රවීණයන්ගෙන් මහගු ආදර්ශයක්‌ ලැබිණි. හරි වැරදි ගැන අවබෝධයක්‌ නිසඟින් ලැබුණු අතර පක්‍ෂ නායකයෝ ස්‌වකීය පාක්‍ෂික නවකයන්ගේ මනා හැසිරීම ගැන සැළකිල්ලක්‌ දැක්‌ වූහ. සියලු මන්ත්‍රීවරුන් නියෝජනය කළේ පුළුල්ව රටේ පැවති ශිෂ්ටසම්පන්න දේශපාලන සංස්‌කෘතියකි. දූෂිතයන්, මැරයන්, ජනතාවගේ පොදු වත්කම් සූරා කන්නන් අතරින් පතර සිටියද ඔවුන් වීරයන් ලෙස, පූර්වාදර්ශී උත්තමන් ලෙස සැළකුනේ නැත.

මන්ත්‍රීවරුන්ගේ චර්යාව පාලනය කිරිමට රෙගුලාසි නීති රීතිවලට වඩා තිබුණේ සම්ප්‍රදායන්ය. ඩී. එස්‌. සේනානායක මහතා මීරිගම මන්ත්‍රීවරයා හා අගමැතිවරයා ලෙස හැඳින් වුණු අතර ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා ගැන විවාදයක සඳහන් වූවේ රුවන්වැල්ලේ මන්ත්‍රීවරයා ලෙසයි. පිලිප් ගුණවර්ධන මහතා අවිස්‌සාවේල්ල මන්ත්‍රීවරයා ලෙස හැදින් වුණු අතර ඩඩ්ලි සේනානායක මහතා දැදිගම මන්ත්‍රීවරයා ලෙස හැඳින් විණි. කිසිම මන්ත්‍රීවරයකු නමින් සඳහන් කිරීම සපුරා තහනම් විණි. එකල පැවැති දේශපාලනයේ යම්කිසි මූලික සරල බවක්‌, චාම් බවක්‌, අවංක බවක්‌ දිස්‌විණි. මොන දේශපාලන මත දැරුවත් කුමන පක්‍ෂයකට සම්බන්ධ වුවත් පොදුවේ කවුරුත් නියෝජනය කළේ හැදිච්චකමකි, විනීතකමකි අවංක කමකි.

1977 මැතිවරණය ජයග්‍රහණයත් සමග ලක්‌දිව දක්‍ෂිණාංශික දේශපාලනයේ අයෝමය පුරුෂයා ලෙස සැලකුණු ෙ-. ආර්. ජයවර්ධන මහතා අසීමිත බලයක්‌ සහිතව බලයට පත් විණි. දේශපාලන සතුරන් ලෙස පෙනුන බලවේග සුණු විසුණු කිරීමේ අනර්ථකාරී ක්‍රියාවලියකට එළැඹුණු ඔහු 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් රටේ දේශපාලන බලය පාර්ලිමේන්තුවෙන් බැහැරට ගෙන යන ලදී. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් තම තමන්ගේ අඩු දියුණුභාවය ප්‍රදර්ශනය කෙරුණු ආක්‍රොශ පරිභවයෙහිම යෙදෙන ඇනුම් බැණුම් පුරසාරම් දොඩවන අදහසක්‌ ඉදිරිපත් වුව හොත් අදහසට නොව අදහස ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියට පහර දෙන බාල තැනක්‌ බවට පත් වුණේ ඉන් පසුවයි. ඔහු සිතාමතා ඇතිකළ දිස්‌ත්‍රික්‌ නියෝජිත ක්‍රමය, මනාප ක්‍රමය, විධායක ඒකාධිපති ක්‍රමය, දේශපාලනය තුළ මැර බලය තීරණාත්මක සාධකයක්‌ ලෙස ස්‌ථාපිත කිරීම යනාදී විපර්යාස සමුඡය තුළ පැතිර පැවති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවනතා යටපත්කර ඒකාධිපති නැඹුරුවකට මග විවර කළහ.

දේශපාලන බලය මහජන නියෝජිත සභාවෙන් බැහැරට ගෙන ගොස්‌ යෝධ බලකොටුවක හිරකර තැබීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් බාහිර සමාජයේත් බුද්ධිමය සාකච්ඡාවකට, විද්වත් වාද විවාදවලට, අදහස්‌ විෂයයෙහි විවිධත්වයට තිබුණු ඉඩකඩ සපුරා ඇහිරින. එයින් ඇතිවූ හිස්‌තැන පුරවනු ලැබුවේ මැර බලය හා ආක්‍රෝශ පරිභව දේශපාලනය විසිනි. අදහසක්‌ ඉදිරිපත් කළ කෙනාට පහර නොදී අදහස විග්‍රහ කිරීමේ අදහසට විරුද්ධව කරුණු කීමේ ශිෂ්ටසම්පන්න සම්ප්‍රදාය වෙනුවට අදහස්‌ ඉදිරිපත් කළ කෙනාට පහරදී ඔහුගේ ජාතකය, වරිගය, ඕපාදුප, මුල්කරගෙන ඔහුව විනාශ කිරීමේ කුරිරු භාවිතයක්‌ ඉස්‌මතුවී තහවුරු විණි. විශිෂ්ට කථිකත්වය වෙනුවට වාචාලකම මුඛරිකම අගය කිරීමේ ප්‍රවනතාවකින් සමාජය ඔත්පල විණි. සංගීතය කලාවක්‌ වන අතර ගණිතය විද්‍යාවක්‌ වේ. කථිකත්වය විද්‍යාවේ හා කලාවේ සංකලනයක්‌ ලෙස හැඳින්විය හැකිය. ගී්‍රසියේ සිටි ශ්‍රේෂ්ඨ කථිකයන් වූ පෙරික්‌ලීස්‌  ඩිමොස්‌ත්‍රීන්ස්‌  සොක්‍රටීස්‌  රෝමයේ සිසරෝ මාක්‌ ඇන්තනි  යන ජනනායකයන්ගේ කතා විමසීමට ලක්‌ කළ විටද මෑත වකවානුවල බැබලුණු බ්‍රිතාන්‍යයේ වින්ස්‌ටන් චර්චිල්  භාරත දේශයේ ශ්‍රී නේරු  ක්‍රිෂ්ණා මෙනන්  කියුබානු නායක ආචාර්ය පිදෙල් කස්‌ත්‍රො වැනි ප්‍රවීන කතිකයන්ගේ කතා සැලකුව විටද මේ කාරණය පැහැදිලිවේ.

කතාවකට සවන් දීමෙන් අවබෝධයක්‌, සන්තුෂ්ටියක්‌, වින්දනයක්‌ ඇක්‍රොශ ස්‌වභාවිකයි. එහෙත් ආකොශ පරිභව, ඇනුම් බැනුම්, චරිත ඝාතන, පුරසාරම්, තර්ජන, ගර්ජන සහිත ගොරහැඩි ඝෝෂාවක්‌ කතාවක්‌ ලෙස සැළකීම නොවටී. එවන් ඝෝසාවකින් ඇතිවන්නේ අප්‍රසන්න ජුගුප්සාජනක හැඟීම්ය. එය අසන්නාට කන්දොස්‌කිරියාවක්‌ම වේ. මෙවන් අසංවර ඝෝෂාවන් රසවත් කතා ලෙස ප්‍රචාරය කිරීම හා එවැනි ඝෝසා කරන්නන් කතිකයන් ලෙස බාල පරපුරට වෙසෙසින් ලබාල සිසු සිසුවියන්ට හුවාදැක්‌වීම මොන තරම් අනර්ථකාරී ව්‍යායාමයක්‌ දැයි රූපවාහිනි නාලිකා මෙහෙය වන්නන්ට අවබෝධ නොවීම, මොනතරම් අවාසනාවන්ත දෙයක්‌ද? බුද්ධිමය පරිසරය කෙළෙසමින්, බාල පරපුරට වැරදි පූර්වාදර්ශ සපයනු වෙනුවට උසස්‌ දේ උතුම් දේ ශිෂ්ටසම්පන්න දේ ඔසවා තබන විද්වත් මාධ්‍ය සංස්‌කෘතියක්‌ මෙරට පැවතුනා නම් එය අප රටට ජනතාවට වාසනාවක්‌ නොවන්නේද?

ඇනුම් බැනුම් ද්වේශසහගත චෝදනා සහිත අවස්‌ථාවක්‌ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ හැඳින් වුණේ ආක්‍රොශ පරිභව සහිත අවස්‌ථාවක්‌ ලෙසය. එවන් අවස්‌ථා දවස පුරා දකින්නට, අසන්නට ලැබීම ශ්‍රේෂ්ඨ ආගමික දර්ශනවලින්, ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම වලින් පෝෂණය ලත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සුදුසු ඔබින දෙයක්‌ යෑයි කිසිසේත් සැළකිය නොහැකිය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..