sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

1962 හමුදා කුමන්ත්‍රණය හා එහි ප්‍රධාන හවුල්කරුවෝ

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යqහය දැඩි තර්ජනයකට මුහුණ පෑ අවස්‌ථාවක්‌ වශයෙන් 1962 අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණය හැඳින්විය හැක. 1959 බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකත්වයට පැමිණි 1960 ජූලි මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් ලෝකයේ ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනියගේ පාලන බලය පෙරලා දැමීම කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණ විය. කුමන්ත්‍රණ නායකයන් සියලු දෙනාම සිංහල ක්‍රිස්‌තු භක්‌තිකයන්, හින්දු හෝ ක්‍රිස්‌තියානි දමිළ නැතිනම් බර්ගර් ජාතිකයන් විය. කුමන්ත්‍රණයට සම්බන්ධව සිටි එකම සිංහල බෞද්ධයා ස්‌ටැන්ලි සේනානායක නම් (පසුව පොලිස්‌පති) පොලිස්‌ නිලධාරියා විය. 1962 ජනවාරි 27 දින කුමන්ත්‍රණ සැලසුම්කරුවන් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට දිනය වශයෙන් යොදාගෙන තිබූ අතර ඒ තුළින් රජයට සම්බන්ධ හා විපක්‍ෂයේත් ඇතැම් දේශපාලනඥයන් අත්අඩංගුවට ගැන්මට කටයුතු යොදා තිබිණි. විශේෂයෙන් අගමැතිනිය අත්අඩංගුවට ගෙන ගාලුමුවදොර වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවා තබා රාජ්‍ය බලය මාරුවූ බවට එතුමියගෙන් ප්‍රකාශනයට අත්සන් ගැන්ම කුමන්ත්‍රණ කරුවන්ගේ සැලැස්‌ම විය. මේ තත්ත්වය දැනසිටි ස්‌ටැන්ලි සේනානායක තම බිරිඳට 27 දින කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට ප්‍රථම සිදුවන දේ පිළිබඳවත් කුමන්ත්‍රණයෙන් පසුව ඔහු තනතුරින් උසස්‌ වන අන්දමත් ප්‍රකාශ කිරීම මුළු රටේම යහපතට බලපෑ හේතු සාධකය විය. ඔහුගේ බිරිඳ වනාහි අධ්‍යාපනඥයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ද ඇස්‌ කුලරත්න මහතාගේ දියණියයි. ගරු මැතිණිය හා දේශපාලනයේ නිරතවූ කුලරත්න මහතාට දුවණිය විසින් තම සැමියාගේ ප්‍රකාශය කන තැබූ වහාම එම පණිවිඩය සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වෙත ලබාදෙන ලදී. ඒ වනවිට කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට තිබුණේ පැය කීපයකි. 27 මධ්‍යම රාත්‍රියට පෙර කුමන්ත්‍රණකරුවන් ස්‌ථානගතව සිටියේ තම තමන්ට පැවරුණු රාජකාරි අනුව ඒ ඒ දේශපාලනඥයන් හා ඇතැම් හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහාය. දිවයිනේ නිරිත දිගත් ගිණිකොන දිගත් කුමන්ත්‍රණකරුවෝ විහිදී සිටියහ. කුමන්ත්‍රණ එළිවීමෙන් පසු කුමන්ත්‍රණකරුවන් කුමන්ත්‍රණ අත්හිටුවා නිවෙස්‌වලට ගාල්වුණත් ඈත ප්‍රදේශවල  නියෝජිතයිනට කුමන්ත්‍රණය අත්හිටවූ බව ප්‍රකාශ කළ නොහැකි විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බද්දේගම සමසමාජ පක්‍ෂ මන්ත්‍රී නීල් ද අල්විස්‌ මහතාව අත්අඩංගුවට ගැනීමට අදාළ කුමන්ත්‍රණ නායකයා ක්‍රියා කළේය. කොළඹ කුමන්ත්‍රණකරුවන් එකිනෙකා සොයමින් අත්අඩංගුවට ගනිද්දී බද්දේගම කුමන්ත්‍රණකරු ලෙස සමසමාජ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබීමම කුමන්ත්‍රණයේ සැලැස්‌ම අනාවරණය වීමට හේතු විය. අරලියගහ මන්දිරයේ ඉහළ මාලයට කුමන්ත්‍රණකරුවන් රැගෙන විත් ප්‍රශ්න කිරීම සඳහා පරීක්‍ෂණ ඒකකයක්‌ ඇතිකළ බව "අරලියගහ මැදුරේ ස්‌පන්දනය" පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එහි 111 පිටුවේ සඳහන් කර ඇත. මේ වන විට අගමැතිනිය ආරක්‍ෂාව පතා රොස්‌මීඩ් නිවසේ සිට අරලියගහ මන්දිරය වෙත යුද්ධ ටැංකිවල ආරක්‍ෂාව සහිතව රැගෙන ආ බවත් අරලියගහ මන්දිරයට යුද ටැංකි ආරක්‍ෂාව සැලසූ බවත් පුවත්පත් වාර්තා කර තිබිණි. කුමන්ත්‍රණකරුවන් කවුද ඊට සම්බන්ධ නොවුවන් කවුද යන්න පිළිබඳ මේ වන විට හඳුනා ගැන්මට නොහැකි වූ නිසා 1962 ජනවාරි 27 දින රාත්‍රිය පුරාම කොළඹට දැඩි ආරක්‍ෂාවක්‌ යෙදවීමටත් සෙසු ප්‍රදේශ හා ගුවන්විදුලි සම්බන්ධතා අත්හිටුවීමටත් රජය කටයුතු කළේය. වැදගත් සාක්‌කිකරුවන්, සැකකරුවන් වැඩි දෙනාගෙන් ප්‍රශ්න කරන ලද්දේ රාජ්‍ය ආරක්‍ෂාව හා විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් (අද නියෝජ්‍ය අමාත්‍ය තනතුර හා සමානවූ) ෆීලික්‌ස්‌ ආර්. ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා විසිනි. පොලිස්‌පතිවරයා, නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (අපරාධ පරීක්‍ෂණ) පොලිස්‌ අධිකාරි (අපරාධ පරීක්‍ෂණ) ඉදිරිපිට කරනලද මේ ප්‍රශ්න කිරීම් පටිගත කළ අතර ලේඛන ගත කරන ලදී.

මෙම කුමන්ත්‍රණයේ හමුදාවට භාරවූ වැඩ කොටස මෙහෙයවීමට නියමිත වූයේ කර්නල් මොරිස්‌ ද මැල් හා කර්නල් එෆ්. සී. ද සේරම්ටය. පොලිසියේ කටයුතු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ සිඩ්නි ද සොයිසා හා සී. සී. දිසානායකට පැවරුණි. (පොලිස්‌ අධිකාරි) නාවික හමුදාවේ කපිතාන්වරයකු වූ රොයිස්‌ ද මැල් කුමන්ත්‍රණයේ සවිස්‌තර සැලසුම්කරු විය. මේ වන විට රජයට නිශ්චිතවම විශ්වාස වන්ත ඉහළ නිලධාරීන් වූයේ පොලිස්‌පති, වැඩබලන නාවික හමුදාපති රාජන් කදිරගාමර් හා නියෝජ්‍ය පොලිස්‌පති (අපරාධ පරීක්‍ෂණ) එස්‌. ඒ. දිසානායකත් පමණි. මෙම නිලධාරීන් අරලියගහ මැදුරට කැඳවාගත් අතර සෙසු ඉහළ හමුදා නිලධාරීන් එදින රාත්‍රියේ කිසියම් වේලාවකින් පසුව ඔවුනගේ නිවාස වලින් පිටවීම වැලැක්‌වීමට බණ්‌ඩාරනායක මහතා විසින් අවශ්‍ය කටයුතු යොදන ලදී.

කොළඹදී අත් අඩංගුවට ගත් සැකකරුවන් කෙටි ප්‍රශ්න කිරීම්වලින් පසුව හමුදා මූලස්‌ථානයේ වෙඩි බෙහෙත් ගබඩාවේ රඳවන ලද අතර එය අර්ධ වශයෙන් පොළව යටට වෙන්නට සකසා තිබූ ශක්‌තිමත් කොන්ක්‍රීට්‌ ගොඩනැඟිල්ලක්‌ විය. පිටපළාත් වලදී අත්අඩංගුවට ගත් අය එම පෙදෙස්‌වල මූලස්‌ථාන පොලිසිවල වැඩිදුර උපදෙස්‌ ලැබෙන තෙක්‌ රඳවා ගන්නට නියම කෙරින. මේ කිසිත් නොදත් මෙරට ජනතාව නින්දේ පසුවෙද්දී ජනවාරි 27 මැදියම් රැයේ ගුවන්විදුලි සබඳතා සහිත පොලිස්‌ රථවලට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකොට කොළඹ නගරයපුරා යවමින් වහාම ක්‍රියාත්මක වනපරිදි ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට කටයුතු යොදන ලදී.

ප්‍රශ්න කිරීම් පිළිබඳව "අරලියගහ මැදුරේ ස්‌පන්දනය" පොතේ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා මෙසේ දක්‌වා ඇත.

"...තරුණ නිලධාරීන් සමාවක්‌ බලාපොරොත්තුවෙන් දීර්ඝ පාපොච්චාරණ කරන්නට වූයෙන් කුමන්ත්‍රණය පිළිබඳ වඩ වඩා තොරතුරු හෙළිවන්නට විය. එහෙයින් ෆීලික්‌ස්‌ වඩවඩාත් ආරක්‍ෂාව තරකරමින් අරලියගහ මන්දිරය වටා ආරක්‍ෂක වළල්ලක්‌ යෙදවීය. නිල් පැහැ නාවික හමුදා නිල් ඇඳුමින් සැරසුනු නියෝජ්‍ය නාවික හමුදාපති රාජන් කදිරගාමර් ආරක්‍ෂාව සපයමින් අර්ධ මැෂින් තුවක්‌කුවක්‌ වනමින් ඉදිරිපස කොරිඩෝවේ එහා මෙහා යනු මට දක්‌නට ලැබිණ. ඔහු පැමිණ තිබුණේ ඒ වනවිට කවුරුන් ඇතුළතද කවුරුන් පිටතද කුමන්ත්‍රණය ක්‍රියාත්මක වනවාද කියා කිසිවකු හරිහැටි දැන නොසිටි හෙයිනි. පරිසරය දැඩි නොසන්සුන් තාවයක ගිලී තිබිණ...."

මේ වන විට කුමන්ත්‍රණය අසාර්ථක වූ බව කුමන්ත්‍රණ කරුවන් එකිනෙකා දැන ගත් අතර කුමන්ත්‍රණය බිඳ වැටී තමා අමාරුවේ වැටෙන්නට යන බව දැනගත් යුද හමුදාවේ තරුණ කැප්ටන්වරයකු වූ පෝලියර් නමැත්තා තම රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන මිය ගිය බැව් වාර්තා විය. ක්‍රමාණුකූලව කුමන්ත්‍රණය මැඩ පැවැත්වූ අතර 1962 පෙබරවාරි 12 හා 13 වැනිදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ විවාදයක්‌ පවත්වන ලදී. ඊට ප්‍රථම ෆීලික්‌ස්‌ ආර්. ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා දීර්ඝ ප්‍රකාශයක්‌ තුළින් අග්‍රාණ්‌ඩුකාර ඔලිවර් ගුණතිලක, සර් ජෝන් කොතලාවල හා ඩඩ්ලි සේනානායකයන් කුමන්ත්‍රණයේ ඉහළ සැලසුම් කරුවන් වූ බව අල්ලාගත් ඉහළ පොලිස්‌ නිලධාරීන් ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී.

පරීක්‍ෂණ කටයුතු අවසන් වනවිට විත්තිකරුවන් 29 දෙනකු සිටි අතර පළමු විත්තිකරු වූයේ සිවිල් නිලධාරියකු වූ ඩග්ලස්‌ ලියනගේ නමැත්තාය. ගැටලුව ඇතිවූයේ මේ වනවිට මෙරට නීති පද්ධතිය තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක වැරදි කරුවනට දෙන දඬුවම් පිළිබඳ නිශ්චිත පිළිවෙතක්‌ නොවීමය. එසේම මෙම විත්තිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳ සාමාන්‍ය නීතිය ඉක්‌මවා කටයුතු සිදුකර තිබූ බැවින් ඒ පිළිබඳවද සලකා බැලීමට සිදුවිය. මේ නිසා කුමන්ත්‍රණ සැකකරුවන්ට විරුද්ධ නඩු විභාගය සඳහා විශේෂ නීතියක්‌ සම්මත කිරීමට රජය කටයුතු කළේය. 1962 අංක 1 දරන අපරාධ නීති විශේෂ විධිවිධාන පනතක්‌ සම්මත කරන ලදී. එහි ඞෂ අනුව නඩු විභාගයට පෙර හෝ පැවැත්වෙන අතර වාරයේ කවර අවස්‌ථාවක හෝ කිසියම් වැරැදි කරුවකුගේ සාක්‌කිය ලබා ගැනීමේ අරමුණින් ඔහුට හෝ ඇයට සමාව දීමට ඇටර්නි ජනරාල් ට හැකිවන සේ විධිවිධාන ඇතුළත් කෙරිණ.

"රැජින එරෙහිව ඩග්ලස්‌ ලියනගේ හා තවත් අය" යනුවෙන් නඩු පවරන ලද අතර ප්‍රධාන විත්තිකරුවන් සියලු දෙනාට වැරැදි කරුවන් වී දේපළ රාජසන්තක කිරීමටත් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම්ද නියම විය. නමුත් එවකට ලංකාවේ අවසාන අධිකරණය බ්‍රිතාන්‍ය ප්‍රිවිකවුන්සලය වූ අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට එරෙහිව විත්තිකරුවන්ගේ අභියාචනා පිළිගත් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සලය හෙවත් ඇපැල් උසාවිය මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් නව නීති පැනවීම එනම් අතීතයට බලපැවැත්වෙන නීති පැනවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන් සියලු දෙනා නිදහස්‌ කරන ලදී.

ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල යන අය කුමන්ත්‍රණයේ සැලසුම් කිරීම සම්බන්ධ සාක්‍ෂි අනුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ සිදුනොවූයේ උසාවියේදී මේ අයගේ නම් ඉදිරිපත් නොවීමයි. නමුත් පසු කාලයේ මේ පිළිබඳව වාර්තා වූයේ කුමන්ත්‍රණයේ සැලසුම් කරුවන් අතර මෙම දෙදෙනාද සිටි බවයි. ඒ පිළිබඳව ෙ-. ආර්. ජයවර්ධන චරිතාපදානයේ මෙසේ සඳහන්වේ.

"....කොළඹට නුදුරු රත්මලානේ කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ නිවසේදී ඔහු බැහැදැකීමට ෙ-. ආර්. ගිය අවස්‌ථාවේදී එනම් 1966 අප්‍රේල් 13/14 ජාතික අලුත් අවුරුදු සමයේදී ඔහුත් (සර් ජෝන් කොතලාවල) ඩඩ්ලි සේනානායකත් කුමන්ත්‍රණය සැලසුම් කිරීමට සම්බන්ධව සිටි බව ෙ-. ආර්. ප්‍රථම වරට දැනගත්තේය. සර් ජෝන්ගේ මුවින් එය හෙළිදරව් විය.

"....අප තවමත් අවදානමෙන් ගැලවී නැහැ"යි පවසමින් ඒ රහස ෙ-. ආර්.ට හෙළිකිරීම ගැන ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවලට එම අවස්‌ථාවේදී තදබල ලෙස චෝදනා කළේය. (1979.10.15 දින ෙ-. ආර්. සමඟ සාකච්ඡාවේදී)

තවදුරටත් මේ බව දක්‌වන ෙ-. ආර්. ජයවර්ධන චරිතාපදානය (197/198 පිටු) මෙසේ ප්‍රකාශ කරයි. "....1979 සැප්. 15 දින සර් ජෝන් කොතලාවල සමඟ සම්මුඛ සාකච්ඡාව පැවැත් වූ අවස්‌ථාවේදී කුමන්ත්‍රණ නායකයන් සර් ජෝන් හමුවී ඔවුන්ගේ සැලසුම් ගැන කථා කළ ආකාරය ඔහු සමඟ පැවැති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැහැදිළි කළේය... කුමන්ත්‍රණය පිළිබඳ කටයුතු අවසාන වශයෙන් තීරණය කිරීම පිණිස වූ රැස්‌වීම ඩඩ්ලි සේනානායකගේ නිවසට ආසන්නව පිහිටි බොරැල්ලේ කිතුල්වත්ත ගබඩාව නමැති අත්හැර දමනලද මිනිරන් ගබඩාවකදී ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. කුමන්ත්‍රණ නායකයනුත් ඩඩ්ලි සේනානායකත් ඊට පසු නැවතවරක්‌ රැස්‌වූ බව පෙනේ. එවර ජනවාරි 26 වැනිදා රාත්‍රි ඔවුන් රැස්‌වී ඇත්තේ කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ නිවසේය. එයද ඩඩ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. කුමන්ත්‍රණය සාර්ථක වූයේනම් ඩඩ්ලි සේනානායක නිදහස්‌ චතුරශ්‍රයේ දී කුමන්ත්‍රණ නායකයන් ඇමතීමට නියමිතව තිබිණි. ඇත්ත වශයෙන්ම ජනවාරි 27 වැනිදා රෑ ඩඩ්ලි සේනානායක කුමන්ත්‍රණයේ සාර්ථකත්වය පිළිබඳ සංඥ බලාපොරොත්තුවෙන් නිදහස්‌ චතුරශ්‍රයට සමීප කොළඹ කෞතුකාගාරයට ආසන්නව පිහිටි තම ඥති සොහොයුරු ඩබ්ලිව්. සේනානායකගේ නිවසේ රැඳී සිට ඇත. කුමන්ත්‍රණය අත්හැර දමා තිබුණ හෙයින් එවැනි සංඥ කිසිවක්‌ ලැබුණේ නැත. ඒ බව නොදත් ඔහු අරමුණක්‌ නැතිව කුරුඳුවත්ත අවට රිය ධාවනය කරමින් සිට කඩවූ බලාපොරොත්තු ඇතිව පෙරලා නිවස බලා ගොස්‌ ඇත...." ෙ-. ආර්. ජයවර්ධන - චරිතාපදානය වෙළුම II 1956 - 1977- කේ. ඇන්. ද සිල්වා සහ හවඩ් රිගින්ස්‌ (203/204 පිටු)

මින් පැහැදිලි වන්නේ 1962 රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය හුදෙක්‌ හමුදා කුමන්ත්‍රණයක්‌ම නොවූ බවයි. කුමන්ත්‍රණයේ සැලසුම්කරුවන් අතර සර් ජෝන් කොතලාවල හා ඩඩ්ලි සේනානායකද සිටි බවට දැක්‌වෙන මෙම ප්‍රකාශ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ අද තොරතුරු ගවේෂණය කිරීමට මේ කිසිවකු ජීවතුන් අතර නැත.

සමරසේන මුදලිගේ

දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක

විමලනාත් වීරරත්න

මම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන කියලා. මිනිහා එකපාරටම ගමන නවත්තලා, මගේ කමිස කොළරයෙන් අල්ලලා ‘අඩෝ බිව්ව පළියට ඉන්ටර්නැෂනල් බොරු කියන්න එපා’ කියලා මගේ කනට එකක් දුන්නෙ නැද්ද තරු විසිවෙන්න. මං ගුටිකාලා නිකම් හිටියා මිසක් ගමට එනතුරු මොකුත් කියන්න ගියේ නෑ’
චින්තන ජයසේන අමුතු ලෙස නම පතළ වූයේ එක ජාතියක වැඩකාරයකු වූ නිසාය. චින්තන උපන්නේ රණාලේදීය. තාත්තා විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ නිසා පාසල් දහයක දොළහක ඉගෙන ගන්නට චින්තනට සිදු විය. ඔහු දෙමාපියන් සමග වැඩි කාලයක් ජීවත් වූයේ පානදුර පල්ලිමුල්ලේය. චින්තන කියන පරිදි ඔහුගේ උපහාස ලිවීම, සමාජ විචාරය, තීරු රචනා ආදියෙහි පදනම කාලයක් තිස්සේ බොහෝ තන්හි ඇවිදීම හා බොහෝ පිරිසක් ඇසුරු කිරීමය. ඔහුට ස්වරූප ගණනාවක පත්තර කරන්නට හැකියාව ලැබුණේ තමන් ලද අත්දැකීම්වල විවිධත්වය නිසා විය හැකිය. කොලම, අද, සිත්තර, හෙට, විලාසිතා ආදී එකිනෙකට මුළුමනින් වෙනස් අන්තර්ගතයන් සහිත ඔහුගේ නිමැවුම් හැම එකක්ම පාහේ ලංකාවේ ඉහළම ජනපි‍්‍රයත්වය ලද ඒවාය. චින්තනගේ කොලම හා සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පළමුවැනි කලාපයේ සිටම මිලදී ගැනීමට පාඨකයන් ආවේ පත්තර කඩවල දොරවල් බිඳගෙනය. චින්තන මුලින්ම සම්බන්ධ වී සිටියේ උදය පුවත්පතටය. ඒ පාසල් යන අවධියේදීය. මුලින්ම අම්මා ගැන කවියක් ලියාගෙන තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා හමුවන්නට ගිය චින්තන උදයට ලියන්නට පටන් ගත්තේය. අවුරුදු නිවාඩුවට පත්තරේ කට්ටිය ගම්බිම් බලා යන විට චින්තන එහි සෝදුපත් බැලීම භාරගත්තේය. චින්තන කැවුම් කන්න නැවතුණා එහෙනම් කියා සෙස්සෝ සිනාසුණහ. එහෙත් චින්තන ක‍්‍රම ක‍්‍රමයෙන් පත්තර කලාවේ පුංචි පුංචි දේවල්වල සිට ලොකු දේවල් දක්වා වැඩ ඉගෙන ගත්තේය.
ඊට ටික කාලෙකට පස්සේ තමයි මං ‘කොලම’ පටන් ගත්තේ. ඒක තනි තීරුවක්. මිල ශත 10යි. එ්කත් අරගෙන මම ගියා තුම්මුල්ලෙ පත්තර කඬේ ලියනගේ මුදලාලි හම්බවෙන්න. මිනිහා මේ තීරුව දැක්ක ගමන් මගේ ඇඟට ගොඩවෙලා මොකක්ද මේ, ඕවා කොහේ විකුණන්නද කියල අහපි. මං ඉතිං ටිකක් යාප්පුවෙලා කොලම මිනිහා ළඟට දාලා ආවා. ඊට පස්සෙ ලියනගේටත් හරි පුදුමයි. කොලම මිනිහා ගාව එක වතාවකට දෙසිය පනහක් විකිණෙන්න පටන් ගත්තා. කොලම නැද්ද කියලා පාඨකයො ඒක අහගෙන එන පත්තර කඩයක් බවට ලියනගේගෙ කඬේ පත්වුණා. ඔයින් මෙයින් මුදලාලිත් මාත් එක්ක හුඟක් යාළුවුණා.’ කොලම නමැති නම එම තීරුවේ සඳහන්ව තිබෙන්නේ අකුරු වර්ග තුනකිනි. ‘ල’ යන්න අනෙක් අකුරු දෙකට වඩා බොහෝ සෙයින් විශාලය. ‘කො’ යන්න පුංචිය. ‘ම’ යන්න කො යන්නට වඩා ටිකක් ලොකුය. ‘මේක ගැහුවෙ ලෙටර් ප්‍රෙස් ක‍්‍රමයට. නමට අකුරු අමුණන්න බලනකොට එකම ජාතියෙ අකුරු එතන නොතිබුණු නිසයි අකුරු ප‍්‍රමාණ තුනකින් කොලම කියන නම හදන්න වුණේ. හැබැයි ඒක අලූත්ම වැඩක් වගේ පෙනුණා.
චින්තන සිය තීරුවෙන් දේශපාලනය, කලාව හා සමාජ අගතීන් තදින් විවේචනය කළේය. එනිසා ඇතැම්හු කොලම සමග වෛර බැඳගත්තා. මේ අරෝව පිළිබඳව චින්තන එක් කොලමක ලියන්නේ මෙබන්දකි.
‘එකමත් එක රටක කිරි බරෙන් තන බුරුල්ල පිරුණු එළිච්චියක් සිටියාය. කිරි බර නිසා එළිච්චි යනවිට තන පොකුරු ඒ අතටත් මේ අතටත් වැනෙමින් බිමට කඩා වැටෙන්නට තතනයි. මේ දුටු එක් මෝඩ නරියෙක් තන වැටුණු පසු එළුමස් කන ලොබින් එළිච්චි පසුපස හති වැටෙන තුරු ගියේය. එහෙත් තන බිම වැටුණේ නැත. එමෙන්ම කොලම පළවීම පමාවනු දුටු ඇතැම් මෝඩ නරි කොලමට කෙළවී ඇතැයි උදම් ඇනූහ. කටමැත දෙඩූහ. තන බිම වැටුණත් කොලමට කෙළවෙන්නේ නැත. කොලම පළවන්නේ කොලමට වුවමනා වූ විට පමණය’ චින්තන ලියූ එකම කොලමක්වත් ඔහු ළඟ තිබුණේ නැත. එහෙත් දෙතුන් පළකින් ඉරීගිය එකම එක තීරු ලිපියක් ඔහුගේ බිරිඳ වන චාන්දනී සුරැුකිව තබාගෙන සිටියාය. එහි පිටුපස තිබුණේ චින්තන ලියූ අහස් ගව්ව චිත‍්‍රපටය පිළිබඳ විචාරයකි. අහස් ගව්වේ නළුවන් කිහිප අවස්ථාවකදීම යට ඇඳුම් ඇඳගෙන සිටීමත් පතී එ්වා සමීප රූප ලෙස පෙන්වීමත් එහිදී චින්තනගේ විවේචනයට බඳුන් වී තිබුණි.
එ්ක විවේචනය කළාට මම බොරු සදාචාර විරෝධියෙක් නෙවෙයි. දන්නැද්ද සමහර දේවල් අනවශ්‍ය ප‍්‍රවණතා බවට පත්වෙනවනෙ. ඒකයි.
චින්තන 1970 දි පමන අද පත්තරය පටන් ගත්තේ අනුර බණ්ඩාරනායකගේ ආරාධනයෙනි. මේ කාලයේ ඇත්ත පුවත්පතේ බී.ඒ. සිරිවර්ධන, රිචඞ් විජේසිරි වැනි අය හමුවන්නටත් ආ ගිය චින්තනට ඇත්තේ සිරා උපදෙස් දී තිබුණේ කොතන වැඩ කළත් කෙළින් වැඩ කරන්න යනුවෙනි. එහෙත් අද පත්තරයේ අවශ්‍යතාව අනුර නමැති චරිතය ගොඩනැංගවීම විය. චින්තන ඒ කොන්ත‍්‍රාත්තුව භාරගෙන නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. හොඳ වැටුපක්ද ලැබුණි.
‘අද පටන් ගන්නා කොට අපිට ටෙලිෆෝන් එකක්වත් තිබුණේ නැහැ. දවසක් අනුර මගෙන් ඇහුවා බෙලිඅත්තෙ අලූත් මන්තී‍්‍ර හොඳ කොල්ලෙක්. මිනිහට අපි සපෝට් එකක් දෙමුද කියලා. මිනිහා ඔෆිස් එකට ටෙලිෆෝන් එකකුත් දෙයි කියලත් අනුර කිව්වා. මම හා කියලා එවකට ළාබාලම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්ටර්වීව් එකක් පත්තරේ දැම්මා. 28635 කියන එයාගෙ දුරකතනයත් අපේ ඔෆිස් එකට දුන්නා. ඕං තව දවසක් උදේ පාන්දරම අනුර මට කතා කරලා චින්තන අද ලොකු වැඩක් නැත්නම් ගමනක් යමුද ඇහුවා. මං හා කිව්වා. සත්වෝද්‍යානයට. එතන ලොක්කා නීල් ද අල්විස් කියලා කෙනෙක්. අපි යනකොට එ්කෙ හිටියා පූස් පැටියෙක් වගේ හුරතල් කොටි පැටියෙක්. අනුර මූව දැක්ක ගමන් ඉල්ලූවා. අගමැතිනිගෙ පුතාගෙ ඉල්ලීමනෙ. සතුන් වත්තෙ ලොක්කත් හා ගන්න කියලා දුන්නා. අරලියගහ මන්දිර්යට ගෙනත් මට කිව්වා චින්තන මූට නමක් කියන්නකො කියලා. මං කිව්වා නිකං ගෙනාපු එකානෙ එ්නිසා බිංදු කියලා නම දාන්න කියලා. හැබැයි මේ බිංදුව මාසෙන් දෙකෙන් සීය දෙසීය සයිස් එකට හැදුණා. අනුර දැන් මූව ගෙදර පැත්තක තියාගෙන හුරතල් කර කර හදනවා. හැබැයි චන්ද්‍රිකා එහෙම වැඩිය ඔය කොටි හුරතලයට ආවේ නැහැ. එ් දවස්වල ජාත්‍යන්තර සමුළුවක් ලංකාවේ තිබුණා. රාජ්‍ය නායකයො, වෙනත් විශේෂ නියෝජිතයො සෑහෙන පිරිසකුත් ලංකාවට ආවා. අගමැතිතුමිය මේ කට්ටියට දවසක් අරලියගහ මන්දිරයෙ කෑමකට ආරාධනා කළා. ඔන්න දැන් රාජ්‍ය නායකයො කෑම මේසෙ කියමු. මෙන්න බොලේ බිංදුවා එකපාරටම ඇවිත් මේසෙ ගාවට පැන්නා. ඌ නිකං සෙල්ලමට වගේ දාපු සද්දෙට රාජ්‍ය නායකයො ටික බයවෙච්ච පාර සේරම මේසෙ උඩට පැන්නා. මැඩම් දුවගෙන ඇවිත් අනුරට බැන්නා මම මේ රටේ මිනිස්සු ටික බලාගන්න මහන්සි වෙනවා. උඹ මේ කැලේ ඉන්න කොටි ගෙට දාගෙන. අරන් පලයන් මේකව කියලා මැතිනි එවෙලේම ලොරියක් ගෙන්වලා කොටියා රිටර්න් කළා’
චින්තනට හැරිස් හුළුගල්ල සමීපවන්නේ 1975දීය. චින්තනගේ සමහර පත්තර නැවතී තිබුණු එවකදී හැරිස් කීවේ අලූත් වැඩක් කළ හැකි නම් මුදල් ටිකක් වියදම් කළ හැකි බවකි. නව ආරක චිත‍්‍ර කතා පත්තරයක් පිළිබඳ අදහස ඒ වනවිටත් චින්තන තුළ මතු වී තිබුණි. හෙතෙම සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පටන් ගත්තේ කච්චේරියේ වැඩ කරමින් සිටි කැමිලස් පෙරේරාත් සම්බන්ධ කරගෙනය. එ් වන විට පළවෙමින් තිබුණු එකම චිත‍්‍රකතා පත‍්‍රය වූයේ ලේක්හවුස් ප‍්‍රකාශනයක් වූ සතුටය. සිත්තරට කැමිලස් ගජමෑන්, දොංසේතං, ලපයා, සිමෝනා වැනි චරිත ඇසුරින් හාස්‍ය හා සමාජ විචාරාත්මක චිත‍්‍ර කතා දෙකක් එක් කළේය. සරත් කවිරත්න හිතට වහල්වීමි කතාව ගෙනාවේය. ලිීලාරත්න ස්පාටකස් එකතු කළේය. සරත් මධු ඉතිං ඊට පස්සේ ඇන්දේය. එ් නං දැම්මේත් චින්තනය. යුනිිකෝ ටෝගා මෙන්ම සල්ෆා වැනි විද්‍යා ප‍්‍රබන්ධයක් ද චිත‍්‍ර කතාවක් ලෙස සිත්තරෙන් එළියට ආවේය. පළවිය යුතු චිත‍්‍ර කතා කුමන ආකාරයේ ඒවාද යන්න හා සංයුතිය ගැන මුළුමනින් සැලසුම් සකස් කළේ චින්තනය.
චිත‍්‍රකතාවක් නිව්ස්වලදි වගේ මොකටද කාටද කොහොමද කොහේද ඇයි එහෙම වුණේ කියනා හේතුඵල සම්බන්ධය මත ගොඩනැගීමටයි මම උපදෙස් දුන්නෙ. මොකටද කාටද කියන එකෙන් තොරව චිත‍්‍ර කතාවක් වුණත් පළකරන්න මම කැමති වුණේ නැහැ. හැරිස් ඇහුවා පළමුවැනි පත්තරේ කීයක් පි‍්‍රන්ට් කරන්නවද කියලා. මං කිව්වා 25,000ක් ගහමු කියලා. හැරිස් කිව්වා තව අවුරුදු දහයකින් නම් මං විසිපන්දාහට අනුමැතිය දෙන්නම් කියලා. එයා වැඬේ පහළට දාලයි හිතුවෙ. හැබැයි මම කොහොමහරි විසිපන්දාහක් ගැස්සෙව්වා. පළමුවැනි පත්තරේ ගන්න තුම්මුල්ලෙ කඬේ දොරවල් කඩාගෙනයි මිනිස්සු ආවේ. සිත්තර ඉතා ඉක්මනට සතියක සෙල්ස් ලක්ෂ දෙකහමාර පැන්නා. හැරිස් හුළුගල්ල හොල්මං වෙලයි මේ වැඬේ දිහා බලාගෙන හිටියෙ. හැරිස් එ් පාර මට රේසිං කාර් එකකුත් තෑගි දුන්නා. පඩිය රුපියල් 2500යි. 75 දී එ්ක ලොකු ගාණක්. සතිපතා සේල්ස් ප‍්‍රමෝෂන් බලන්න අපි රට පුරා යනවා. මාත් හොඳට කෑවා බිව්වා. තිඹිරිගස්යායෙන් ගේකුත් ගත්තා. ඞී.එස්. සේනානායක පාවිච්චි කරපු වොල්වෝ කාරෙකත් පස්සෙ කාලෙක රු. 1500කට ගත්තා.’
ඒ කාලයේදී චින්තන කවි පොත් දෙකක් ලිව්වේය. එ් හතරේ වාට්ටුව (කවි/කෙටිකතා* සහ මල් සතක් සේ හිරු නැගෙන්නා යන කෘති දෙකය. එ් හැරුණු විට අනුකරණවාදී සිනමාවට එරෙහිව විචාරයෙහි ද පෙරමුණ ගත්තේය. විලාසිතා නමින් සඟරාවක්ද සංස්කරණය කළේය. විලාසිතා කන්තෝරුව තිබුණේ ස්ටුඩියෝ එකකය. එ් සංගීතවේදී ආර්.එ්. චන්ද්‍රසේන මාස්ටර්ගේ ගෙවල් ඉදිරිපිටය. චින්තන, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි වැනි මිතුරන් හඳුනා ගන්නේ එහිදීය. එපමණක් නොව මරදානේ චොප්පෙ අයියා, හැටේ වත්තේ නිහාල්, ගෝනවල සුනිල් වැනි අය දැන හඳුනා ගත්තේත් ඒ අහළ පහළ කරක් ගැසීමෙනි. බන්දු මුණසිංහ, සේනක පෙරේරා, වික්ටර් රත්නායක චින්තනගේ ගජමිතුරන් වන්නේ මරදානේ බජාර් එකේදීය.
’73 දී විතර වික්ටර් දවසක් කිව්වා මම ෂෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒකට නමක් දාමුද කියලා. මමයි, ආර්.ආර්. සමරකෝනුයි තවත් කීපදෙනෙකුටයි නම දාන එක වික්ටර් භාර දුන්නා. අපි ඉතිං හවස් වරුවල වික්ටර්ගෙ මහරගම ගෙදර ගිහින් නම ගැන සාකච්ඡුා කරනවා. ගිය හැම දවසකම ගල් බෝතල් දෙකක් විතර ඉවර කරනවා. ගල් එකක් එ් සවස්වල රු.12යි. හවස කතාව පටන් ගත්තම අපි සමහරදාට එන්නේ උදේ. දවස් ගාණක් ඔහොම ගතවුණා. එ්ත් නමක් නෑ. අන්තිමට මට ඔය ‘ස’ කියන අකුර ඔළුවට ඇවිත් වික්ටර්ට කිව්වා. වික්ටර්ටත් වඩා එයාගෙ නෝනා ‘ස’ නමට කැමති වුණා. සමහරු ඇහුවා තනි අකුරෙන් පෝස්ටර් ගහන්න පුළුවන්ද වගේ වැඩකට නැති ප‍්‍රශ්න. අන්තිමට ලූම්බිණියෙ ‘ස’ පටන් ගත්තු දවසෙ දොරවල් කඩාගෙන සෙනග ආවේ.’
චින්තන නම් පට බැඳීමට රුසියෙකි. ඔහු තබන නම් අතිශයින්ම ජනපි‍්‍රය වන අතර ඒවා ආයාසයෙන් තොරව චින්තනගේ සිත තුළ ජනිතවීම විශේෂත්වයකි. ලංකාවට කොන්ඩෝම ආපු අලූත එය ප‍්‍රචාරය කිරීමේ කාර්යය භාරගෙන තිබුණේ ඞී. අල්විස් ඇඞ්වර්ටයිසින් ආයතනයයි. එහි හිමිකරු ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. චින්තන කොල්ලූපිටියේ නැවතී සිටින සමයේ දහවල් එකොළහ වෙද්දී බීර එකක් බීමට රේණුකා හෝටලයට යන පුරුද්දක් තිබුණි. දිනක් ආනන්ද තිස්ස ද අල්විස් චින්තනගේ මිතුරෙකුත් සමග එහි ඇවිත් සිටියේය. මිතුරා ආනන්ද තිස්ස ද අල්විස් මහතාට චින්තන හඳුන්වා දුන්නේ මෙයාට කියලා අරකට නමක් දාගන්න පුළුවන් කියාය.
‘ඒ පාර ආනන්ද තිස්ස ද අල්විස් මට කොන්ඩොම් එක ගැන කියලා ඒක පාවිච්චි කිරීමේ අවශ්‍යතාව, අරමුණ විස්තරාත්මකව පැහැදිලි කළා. ඊට පස්සෙ කිව්වා මේක මිනිස්සු අතරෙ ජනපි‍්‍රය කරන්න ගැළපෙන නමක් දාගන්න ඕනෙ කියලා. මං කිව්වා ඕක ඉතිං වැඩිය කල්පනා කර කර ඉන්න දෙයක් නෙවෙයි. කවුරුත් සතුටින් ඉන්න වෙලාවනෙ. එ් නිසා ඕකට පී‍්‍රති කියලා දාමු කියලා.’
චින්තන කියන්නේ තමන් හොඳ රත්තෙකු විය යුතුය කියා සිතූ මිනිසෙකු බවය. කොළ කොහොමටත් පෙන්නන්න බැහැ කියූ හෙතෙම අනුර බණ්ඩාරනායකගේ මැදිහත් වීමෙන් ‘අඳ පත්තරේ ගැසුවේය. ඊට පසු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඉල්ලීමකට අනුව ‘හෙට’ පත්තරේ ගැසුවේය. මේ තත්ත්වය තුළ චින්තන අවසානයේදී නිල් වූවාද යන්න මගේ අවසාන ප‍්‍රශ්නය විය. චින්තනගේ උත්තරය වුණේ එහෙම වුණේ නැහැ යන්නය. ඔහුගේ අදහස මේ සියල්ලන් මැද තමන් කළේ කිසියම් නිර්මාණාත්මක කටයුත්තක් යන්නය. සමහරවිට බීලා පයින් ගිය අමුත්තා තමන් සමග වැනි වැනී යන අනෙකා චින්තන ජයසේනගේ නමට කැළලක් කරන්නට සැරසෙනවා යන අදහසින් රොස්ව ගොස් කනට එකක් දුන්නේ චින්තන ජයසේන නාමය පිළිබඳව නොනැසී පවතින භක්තිමත් හැඟීමනිසා විය හැකිය.

විමලනාත් වීරරත්න

පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රථම කාන්තාව

ඩොනෝමෝර් කොමිසම මගින් නිර්දේශ කළ 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ රත්නපුරය දිස්‌ත්‍රික්‌කයට හිමිව තිබුණේ අංක( 46 - රත්නපුරය සහ අංක( 50 - බලංගොඩ යන ඡන්ද කොට්‌ඨාශ දෙක පමණි. ඉන් පසු සෝල්බරි කොමිෂන් සභාව මගින් යෝජනා කළ ආසන 89 න් සමන්විත වු ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය පිsහිටුවීමේදී රත්නපුර දිස්‌ත්‍රික්‌කයට අංක( 86 - කිරිඇල්ල ජන්ද කොට්‌ඨාශය පිහිටුවනු ලැබීය. 1947 දී පැවැත් වූ ප්‍රථම මැතිවරණය සඳහා කිරිඇල්ල ආසනයේ ලියාපදිංචිව සිටි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 30307 ක්‌ විය.

මුල්ම ජන්දය සඳහා අපේක්‍ෂකයෝ හය දෙනෙක්‌ තරගවැදී සිටියහ. ප්‍රථම මහා මැතිවරණය ආරම්භ වූ 1947 අගෝස්‌තු 23 දින ආසන 10 ක ජන්දය පවත්වා තිබේ. (පළමු මැතිවරණය දින 19 ක්‌ පුරා පැවැත්විණ) එදින ප්‍රකාශයට පත් කළ ජන්ද ප්‍රතිඵල අනුව ල. ස. ස. ප. යට ආසන 04 ද, එ. ජා. ප. යට ආසන 03 ද, ස්‌වාධීන අපේක්‍ෂකයින්ට ආසන 03 ද හිමි වී තිබුණි. ල. ස.ස.ප. යට හිමි වූ ආසන 04 අතරට කිරිඇල්ල ජන්ද කොට්‌ඨාශය ද අයත් විය. එදා කිරිඇල්ල ආසනයේ සම්පූර්ණ ජන්ද ප්‍රතිඵලය මෙසේය.

ෆ්ලොරන්ස්‌ සේනානායක (මහත්මිය) ල. ස. ස. ප. කුඩය - 5535, ටී. කේ. ඩබ්ලිව්. චන්ද්‍රසේකර (ස්‌වාධීන - සමනලයා) 3294, ඒ. ඊ. බී. කිරිඇල්ල (එ. ජා. ප. - ගස) 2439 එච්. ඒ. ජී. කලාටුවාව (ස්‌වාධීන - අන්නාසිගෙඩිය) 2428, බී. ඇස්‌. රාමචන්ද්‍ර (ස්‌වාධීන - තරාදිය) 1120, ඒ. ඇම්. ඇස්‌. ඇල්. පතනිමුහන්දිරම් (ස්‌වාධීන පුටුව) 366 ප්‍රතික්‍ෂේප කරන ලද ජන්ද ගණන( 399 ජන්දය දුන් මුළු සංඛ්‍යාව 15581 ජන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛ්‍යාව( 14726 මේ අනුව වැඩි ජන්ද 2241 න් කිරිඇල්ල ආසනය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ ෆ්ලෝරන්ස්‌ සේනානායක මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රථම කාන්තාව වශයෙන් වාර්තාවක්‌ තබන්නට සමත් වූවාය.

1952 දෙවන මහා මැතිවරණය පවත්වන විට ලියාපදිංචි ජන්දදායක සංඛ්‍යාවේ වැඩිවීමක්‌ සිදු නොවූ නමුත් (29037) ජන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව 20790 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. එය පළමු මැතිවරණය සමග සසඳන විට 5209 ක වැඩිවීමක්‌ පෙන්නුම් කළේය. සර්වජන ජන්ද අයිතිය පිළිබඳව ජන්දදායකයාගේ අවබෝධය යම් ආකාරයකින් දියුණු තත්ත්වයකට පත්වීම මෙයට හේතුව විය හැකිය. මෙවර අපේක්‍ෂකයන්ගේ සංඛ්‍යාව 03 ක්‌ විය. ඒ තිදෙනාම ජන්ද පදනම අතින් ශක්‌තිමත් තත්ත්වයක සිටි අය වූහ.

මේ අය අතරින් පළමු මැතිවරණයේදී තුන්වැනි ස්‌ථානයට පත් වූ ඒ ඊ. බී. කිsරිඇල්ල මහතා (එ. ජා. ප) "පුටුව" ලකුණ යටතේ තරග කර ජන්ද 9978 ක්‌ ලබා ගනිමින් ප්‍රථම ස්‌ථානයට පත්ව සිටියේය. පළමු වරට කිරිඇල්ල ආසනයට තරග කළ ජයවීර කුරුප්පු මහතා (ශ්‍රී. ල. නි. ප) "කූඩය - ජන්ද 7369 ක්‌ ලබාගැනීමට සමත් විය.

හෙතෙම මීට ඉහත 1951-04-28 දින පැවැති අංක( 89 බලංගොඩ ආසනයේ අතුරු මැතිවරණය ජයග්‍රහණය කර (ජයවීර කුරුප්පු (ගෙය) 22165, ඇම්. පී. ජෝතිපාල (ලාම්පුව 13440) බංගොඩ ආසනය නියෝජනය කරමින් සිටියේය. පළමු මැතිවරණයේදී කිරිඇල්ල ආසනය ජයගත් ෆ්ලොරන්ස්‌ සේනානායක මහත්මියට මෙවර ලබාගත හැකි වූයේ ජන්ද 31192 ක්‌ පමණි. මේ අනුව ඒ. ඊ. බී. කිරිඇල්ල මහතා වැඩි ජන්ද 2609 න් කිරිඇල්ල අසනය ජය ගැනීමට සමත් විය.

1956 තුන්වැනි මහා මැතිවණරයේදී මෙම ආසනයේ ලියා පදිංචි ජන්දදායක සංඛ්‍යාව 33008 ක්‌ වු අතර, 24551 දෙනා ජන්දය ප්‍රකාශ කර තිබිණි. මෙවරද ජන්ද සටනට පිවිස සිටියේ අපේක්‍ෂකයින් තිදෙනෙකු පමණකි. බණ්‌ඩාරනායක පිලිප් ගුණවර්ධන හවුල ගොඩනැඟු මහජන එක්‌සත් පෙරමුණ යටතේ " අත" ලකුණෙන් තරග කළේ මෙරට වාමාංශික ව්‍යාපාරයේ කැපී පෙනුන චරිතයක්‌ බවට පත්ව සිටි කුසුම්සිරි ගුණවර්ධන මහත්මියයි. අංක( 11 අවිස්‌සාවේල්ල ආසනය දෙවරක්‌ම දිනාගෙන සිටි (1948-04-18) දින අවිස්‌සාවේල්ල ආසනය සඳහා වූ අතුරු මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේදී නිතරගයෙන් පත්විය. 1952 දී ක්‌ලොඩා ජයසූරිය (18485) පරදවා වැඩි ජන්ද 929 න් ජය ගත්තාය) කුසුමසිරි ගුණවර්ධන මහත්මිය මෙම මැතිවරණයේදී ජන්ද 16272 ක්‌ ලබා ගැනීමට සමත් වූවාය.

එ. ජා. ප යේ ඒ. ඊ. බී. කිරිඇල්ල මහතාට ජන්ද 7369 ක්‌ ලැබී තිබිණි. ල. ස. ස. ප යෙන් තරග කරමින් මුල්වරට දේශපාලනයට පිවිසි එච්. චන්ද්‍රපාල ගුණසේකර මහතාට හිමි වූයේ ජන්ද 1011 කි. (පසු කාලීනව දේශපාලනයෙන් ඉදිරියට පැමිණි චන්ද්‍රd ගුණසේකර මහතා 1965 මැතිවරණයේදී අංක( 22 කොට්‌ටාව ආසනයට තරග කර ඡන්ද 13911 (ල. ස. ස. ප. යතුර) ලබා ඇම්. ඩී. එච්. ජයවර්ධන (15971) මහතාට පරාජය වූවද, 1970 මැතිවරණයේදී ජන්ද 31662 ක්‌ ලබාගෙන, වැඩි ජන්ද 10495 න් ඇම්. ඩී. එච්. ජයවර්ධන මතතා පරදවා මැති සබයට පිවිස සංස්‌කෘතික උප ඇමැති ධුරයටද පත්විය. මේ අනුව වැඩි ජන්ද 9968 ක විශිෂ්ට ජයග්‍රහණයක්‌ අත්කර ගත් කුසුමා ගුණවර්ධන මහත්මිය කිරිඇල්ල ආසනයෙන් තේරී පත් වූ දෙවැනි වාමාංශික මන්ත්‍රීවරිය වශයෙන් මැති සබයට පිවිසි ආකාරය දැකගත හැකි විය. එහෙත්,

එයින් වර්ෂ හතරකට පසුව පැවැති 1960 මාර්තු මැතිවරණයේදී ජන්ද දායක යන්ගේ මනාපය පරිදි එ. ජා. ප. යේ ඒ. ඊ. බී, කිරිඇල්ල මහතාට ජයග්‍රහණය උදාකර ගැනීමට හැකි විය. එම ජයග්‍රහණයට බලපෑ ප්‍රධානම හේතුව අපේක්‍ෂකයන් තිදෙනෙකු අතරේ වාමාංශික ජන්ද බෙදීයැම බව පැහැදිලිව පෙනීගිය කාරණයකි. ඔවුන් ලබාගත් ජන්ද සංඛ්‍යාව මෙසේය.( පී. බී. විඡේසුන්දර (ල. ස. ස. ප යතුර 5270) ඩබ්ලිව්. එල්. ඩී. ජයවර්ධන (ශ්‍රී. ල. නි. ප අත4654) කුසුම්සිරි ගුණවර්ධන (ම. එ. පෙ කරත්ත රෝදය 3906) එච්. අත්තනායක (ල. ප්‍ර. ප - කුඩය 131) මේ අනුව එ. ජා. ප අපේක්‍ෂක ඒ. ඊ. බී. කිරිඇල්ල මහතා වැඩි ජන්ද 1546 න් ජයග්‍රහණය කර මැතිසභයට පිවිසිය ද මන්ත්‍රීධුරය දැරිය හැකි වූයේ දින 33 ක්‌ පමණකි. එ. ජා. ප ය පිහිටුවාගත් අස්‌ථීර රජය රාජාසන කතා විවාදයේදීම පරාජයට පත්ව සිව් වැනි පාර්ලිමේන්තුව 1960 අප්‍රේල් 23 දින විසුරුවා හරින්නට යෙදුණි.

1960 ජුලි මැතිවරණය සඳහා මෙම ආසනයේ ජන්දය දීමට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 26106 ක්‌ විය. ජන්දය ප්‍රකාශ කළ මුළු සංඛ්‍යාව 19987 ක්‌ ලෙස සටහන් වී තිබිණි. මෙවර ඉදිරිපත්ව සිටියේ අපේක්‍ෂකයන් තිදෙනෙකි. නමුත් සැබැවින්ම තරගය පැවැතියේ ප්‍රධාන පක්‍ෂ දෙකේ අපේක්‍ෂකයන් දෙදෙනා අතරය. සම්පූර්ණ ජන්ද ප්‍රතිඵලය මෙසේය. පී. බී. විඡේසුන්දර (ල. ස. ස. ප යතුර 10708) ඒ. ඊ. බී. කිරිඇල්ල (එ. ජා. ප අලියා 8230) ඩී. සී. පී. බෙනරගම (ම. එ. පෙ. කරත්ත රෝදය 984) නරක්‌ වූ ජන්ද සංඛ්‍යාව 65. මේ අනුව වැඩි ජන්ද 2478 ක්‌ ලබා ජයගත් පී. බී. විඡේසුන්දර මහතා පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් ආකාරය දැකගත හැකි විය.

1965 මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ගණන 5905 කි න් වැඩි වී මුළු සංඛ්‍යාව 32011 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. මෙම මැතිවරණයෙන් පසු ආසන 66 ක්‌ දිනාගත් එ. ජා. ප. ය තවත් සුළු පක්‍ෂ කීපයක සහාය ඇතිව ප්‍රතිපාක්‍ෂිකයන් විසින් "හත් හවුල්" ලෙස හඳුන්වනු ලැබූ රජයක්‌ පිහිටුවා ගත් නමුදු කිරිඇල්ල ආසනය දිනා ගැනීමට එවර ද අපොහොසත් විය. ල. ස. ස. ප යේ. පී. බී. විඡේසුන්දර මහතා දෙවැනි වරටත් මැති සබයට පිවිසීමේ වරම දිනාගත් 1965 මැතිවරණයේ කිරිඇල්ල ආසනයේ සම්පූර්ණ ප්‍රතිඵලය මෙසේය. පී. බී. විඡේසුන්දර (ල. ස. ස. ප යතුර) 13887 ඒ. ඊ. බී. කිරිඇල්ල (එ. ජා. ප - අලියා) 11620, එච්. ඒ. ප්‍රේමරත්න (ම. එ. පෙ කරත්ත රෝදය) 1167, යූ. ඩී. කුලසිsංහ (ලං. ප්‍ර. ප ඉර) 334 ප්‍රතික්‍ෂේප කරන ලද ජන්ද සංඛ්‍යාව 115, ජන්දය දුන් මුළු සංඛ්‍යාව 27123 කෙසේ වෙතත්, 1947 පටන් මෙම ආසනයට තරග කළ ඒ. ඊ. බී. කිරිඇල්ල මහතා ලබාගත් ඉහළම ජන්ද ප්‍රමාණය මෙම මැතිවරණයේදී වාර්තා විය. විඡේසුන්දර මහතා මෙවර ජය ගත්තේ වැඩි ජන්ද 2267 ක්‌ ලබා ගනිමිනි. 1970 හත්වැනි මහා මැතිවරණය එළැඹෙන විට වෙනස්‌කම් කීපයක්‌ම දක්‌නට හැකි විය. 1960 ජුලි මැතිවරණයේ සිට ල. ස. ස. ප. ය නියෝජනය කරමින් මැති සබයට ගිය පී. බී. විඡේසුන්දර මහතා මෙවර එ. ජා. ප යට එකතු වී අංක( 139 - රත්නපුරය ආසනයට තරග කළ අතර ජන්ද 12002 ක්‌ පමණක්‌ ලබාගෙන ශ්‍රී. ලං. නි. ප යේ නන්ද එල්ලාවල මහතාට (22633) වැඩි ජන්ද 10613 කින් පරාජයට පත්විය. 1947 පටන් මෙම ආසනයට එ. ජා. පයෙන් ඉදිරිපත් වූ. ඒ. ඊ. බී. කිරිඇල්ල මහතා ස්‌වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කළේය. ඒ වෙනුවට එ. ජා. ප යෙන් ලෙනාඩ් කිරිඇල්ල මහතා ද, ල. ස. ස. ප යෙන් වාසුදේව නානායක්‌කාර මහතා ද ප්‍රථමවරට තරග කළ අයුරු දැක ගත හැකි විය. සම්පූර්ණ ප්‍රතිඵලය මෙසේය. වාසුදේව නානායක්‌කාර (ල. ස. ස.ප- යතුර) 19158, ලෙනාඩ් කිරිඇල්ල (එ. ජා ප - අලියා) 12975, ඒ. ඊ. බී. කිරිඇල්ල (ස්‌වාධීන - පුටුව) 300, වැඩි ජන්ද සංඛ්‍යාව 6183, ප්‍රතික්‌ෂේපිත ජන්ද සංඛ්‍යාව 39, ලියාපදිංචි ජන්දදායකයන් ගණන 36789, ජන්දය දුන් මුළු ගණන 32625. 1977 මැතිවරණය පවත්වන විට 1947 සිට පැවැති කිරිඇල්ල ආසනය අහෝසි වී අංක 153 යටතේ ඇහැලියගොඩ නමින් නව ආසනයක්‌ බිහි විය.

මෙම ආසනය පළමුවරට දිනාගනු ලැබුවේ ප්‍රථම වතාවට ජාතික දේශපාලනයට පිවිසි එ. ජා. ප යේ මර්වින් කුලරත්න මහතා විසිනි. ඔහු ලබාගත් ජන්ද සංඛ්‍යාව 21776 කි. ස්‌වාධීනව තරග කළ වාසුදේව නානායක්‌කාර මහතාට ජන්ද 14804 ක්‌ ද තුන්වැනි ස්‌ථානයට පත් වූ ඩබ්ලිව්. එල්. ඩී. ජයවර්ධන මහතාට ජන්ද 6128 ක්‌ ද ලැබී තිබිණි.

ජී. ආර්. ඩී. බණ්‌ඩාර

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..