lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Wednesday, November 20, 2019

    නිදහස් අරගලයේ ටී.බී.ජයා

    1945 නොවැම්බර් මස 09 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූ ඩොමීනියන් තත්ත්වය පිළිබඳ විවාදය පැවැත්විණි. මේ තීරණාත්මක අවස්ථාවේ මේ රට මුස්ලිම් ජනවර්ගය නියෝජනය කළ නායකයා වශයෙන් ආචාර්ය ටී.බී. ජයා කළ කථාව, තම ජනයාට වඩා තම මාතෘ භූමිය වඩා උසස් යැයි ප්‍රකාශ කළ ආදර්ශයක් වැනිය. නිදහස ලබා ගැනීමේ යෝජනාවට පක්ෂවීමට නම් බහුතර ජනතාවට මෙන්ම සුළුතර ජන කොටස්වලටද පනහට පනහ ලෙස අයිතිය බෙදී යා යුතුය. යන යෝජනාව පූර්ව කොන්දේසියක් ලෙස ඉදිරිපත්ව තිබිණි.

    සෝල්බරි යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරියේ විවාදය වූ අවස්ථාවේදීත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ශ්‍රී ලංකා පනත එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මේ රට මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය පැහැදිලි කරමින් ටී.බී. ජයා කළ තීරණාත්මක වූත් ඓතිහාසික කතාව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනවර්ගයට අනාගතයේදීත් තමන් ගමන් කළ යුතු මාර්ගය ගැන පෙන්වාදුන් ඉඟියක් වැනිය.

    ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස ගැන සලකා බලන කල එම නිදහස දිනා ගැනීමට කවර ක්‍රියාමාර්ගයකට වුවද අවතීර්ණවීමට පමණක් නොව තමන් භුක්ති විඳින වාසි හා ලාභ ප්‍රයෝජන ආදී දෑ පරිත්‍යාග කිරීමට පවා මුස්ලිම් ජනතාව සුදානම්. දේශපාලන ස්වාධීනත්වයට ඉහළින් පවත්නා වැඩිමනක් අයිතියක් ඇතැයි මම නොසිතමි. පටු දෘෂ්ටියකින් බලන කල්හි මුස්ලිම් ජනයාට මේ පනතේ අවාසිදායක කරුණු ඇති බව මට තේරුම් ගියද නිදහස වෙනුවෙන් මේ පනතට සහාය දීමට අප සූදානම්.”

    ශ්‍රී ලංකාද්වීපයට නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ අවසන් අදියරයට නායකත්වය දුන් ඩී.ඇස්. සේනානයක , සර්.පොන්නම්බලන් රාමනාදන්, සර්.ඩී.බී.ජයතිලක, සර් ජේම්ස් පීරිස්, යන නායකයන් අතර ආචාර්ය ටී.බී.ජයා මහතාද විය.

    1890 වසරේ ජනවාරි පළමුවැනි දින තුවාන් මුර්හානුදීන් ජයා උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ග්‍රාමයේදී උපත ලද්දේය.

    ඔහු වයස අවුරුදු 11 වන තෙක්ම කුර්ආනය ඉගෙන ගත්තේය. එය ධර්මධරයකු වෙතින් ලද ආගමික අධ්‍යාපනයක් විය. තුවාන් මුර්හානුදීන් ජයා හා පවුලේ සියල්ලන්ම අගනුවරට පදිංචියට පැමිණීමත් සමඟම ඔහුට විධිමත් ප්‍රාථමික අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව උදාවේ. පාසලේ දීප්තිමත්ම සිසුවකු වූ හෙතෙම වයස අවුරුදු 13 දි ශිෂ්‍යත්වයක් ලැබ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය.

    ටී.බී. ජයා මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ගුරුවරයකු ලෙස තම සේවය ආරම්භ කළේය. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේත්, අගනුවර ආනන්ද මහා විද්‍යාලයේත් ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය.

    ඔහු නීති විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකුව සිටියදී එකල කුඩා පාසලක්ව පැවැති අගනුවර සහිරා විද්‍යාලයේ විදුහල්පති ධුරය බාරගැනීමට තුවාන් මුර්හානුදීන් ජයාට ඇරයුම් ලැබිණි. නීතිවේදියෙකුව තම අනාගතය සුන්දර කර ගන්නවාද නොඑසේ නම් සහිරව බාරගෙන තම සමාජ වගකීම ඉටු කරගන්නවාද යන ප්‍රශ්නයට මුහුණ දුන් අවස්ථාවේදී හෙතෙම සහිරාවේ විදුහල්පතිදූරය බාරගත්තේය. ඒ තමාගෙන් සමාජයට ඉටු විය යුතු මෙහෙවර සිදුකිරීම සඳහායි. එම විද්‍යාලයේ ස්වර්ණමය යුගය වූයේ ටී.බී. ජයාගේ යුගයයි.

    යුද සමයේදී සහිරාව තාවකාලිකව වසා දැමීය. අගනුවර බොහෝ ජනතාව තම පදිංචිය වෙනස් කර ඉන් බැහැර ප්‍රදේශවල පදිංචියට ගියහ. වසාදැමූ අගනුවර සහිරාව වෙනුවෙන් අලුත්ගම, පුත්තලම, ගම්පොළ මාතලේ වැනි ප්‍රදේශවල සහිරා රැසක් ආරම්භ කිරීමට ටී.බී. ජයා මූලික විය. මේරට මුස්ලිම් ජනතාව අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පසුගාමී ත්ත්ත්වයක සිටියදී ඔවුන් සවිමත් කළේ ඔහුය. ගුරු වෘත්තියේ වූ ඉතා සුළු කරුණක් ගැන වුවද හෙතෙම සැලකිලිමත් වූයේය. එසේම ටී.බී.ජයා මහතා ගුරු අයිතීන් වෙනුවෙන්ද සටන් කළේය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානයේ ප්‍රථම මහ කොමසාරිස් ධුරයට ඩී.ඇස්..සේනානායක මහතා විසින් ඔහුව තෝරාගනු ලැබුවේ, පාකිස්තාන නායකයන් හා එතුමන් අතර වූ සමීප සම්බන්ධතාව හේතුවෙනි. මහ කොමසාරිස් ධුරය, අවසන් වීමත් සමඟම සම්මතයෙන් බැහැරව යමින් තව දුරටත් ටී.බී.ජයාව එම ධුරයේ තබාගැනීමට පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් කරණ ලදී. ඒ ඔහු පාකිස්තාන සමාජය තුළ ලබා තිබූ ජනප්‍රියත්වය හේතුවෙනි.

    ඔහු ශ්‍රී ලාංකේය හජ් වන්දනාකරුවන් වෙනුවෙන් මක්කම නගරයේ නේවාසිකාගාරයක් ආරම්භ කිරීමේ කාර්යයේ යෙදී සිටියේය. එහිදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මදීනා නගරයේදී, තුවාන් මුරිහානුදීන් මහතා අභාවප්‍රාප්ත විය. ඒ 1960 වසරේ මැයි මස 31 වැනි දාය.

    “දෙවියන් වෙතින් ආ අපි නැවත දෙවියන් වෙත යා යුතුවෙමු” -අල්කුර්ආනය

    අනුසාර

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture