sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

පක්ෂ ක්‍රමයේ පරිහානිය හා බිඳ වැටීම - වික්ටර් අයිවන්

රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන පරිහානිය හා බිඳ වැටීම රටේ දේශපාලන පක්ෂ ක්‍රමය කෙරෙහිද බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. රටේ සියලු දේශපාලන නායකයන්ට තිබෙන පිළිගැනීම වාෂ්ප වී බිඳ වැටී යන තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර රටේ සියලු දේශපාලන නායකයන් මහජනයාගේ හාස්‍යයට හේතුවූ විකටයන්ගේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වය බලපා තිබෙන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ පක්ෂ කෙරෙහි පමණක් නොව ජනාධිපතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් හිමිකරගත් පොදු ජන පෙරමුණ කෙරෙහිද එය බලපා තිබෙන බව පෙනේ. පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් අතර පෙනෙන්නට තිබූ ආස්වාදජනක හැඟීම්වල පැහැදිලි බිඳ වැටීමක් ගෙවුණු මාස 3ක තරම් කෙටි කාලය තුළ ඇතිවූ බව පෙනෙන්නට තිබේ. එම පිරිහිම ප්‍රතිපක්ෂවලින් එල්ල වූ අභියෝග නිසා ඇතිවූ තත්ත්වයක් නොව ජයග්‍රාහකයාගේ දුර්වල ක්‍රියාකාරකම් නිසා ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහා පක්ෂය ලෙස සැලකෙන එජාපය තිබෙන්නේ පණ අදින තත්ත්වයකය. ජනාධිපතිවරණයෙන් ලැබූ අතිවිශාල පරාජයෙන් පසුවවත් ජනාධිපතිවරණයට තරග කළ සජිත් ප්‍රේමදාසට ප්‍රඥාව හා ධෛර්යය තිබුණේ නම් නැවත ශක්තිමත් විරුද්ධ පක්ෂයක් ලෙස ගොඩ නගා ගැනීමේ හැකියාව තිබුණි.

ඔහු අතින් සිදුවෙමින් තිබෙන්නේ එම පක්ෂය ගොඩනගා ගත නොහැකි තරමට විනාශ වන ලෙස ක්‍රියාකිරීමය. මැතිවරණයෙන් පසු ඔහුගේ ප්‍රතිපත්තිය පක්ෂය ඒකාග්‍ර කොට ශක්තිමත් කිරීම වෙනුවට කැබලි කිරීමය. ලැබූ පරාජයෙන් පසුව එම පරාජයේ වරදට සිය පක්ෂය තුළින්ම වගඋත්තරකරුවන් සොයන්නට දරන උත්සාහය තුළ පක්ෂය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවිය. දෙමළ හා මුස්ලිම් ජනයා එජා පක්ෂ අපේක්ෂකයාට එක පොදියට ඡන්දය දී තිබියදී ජයග්‍රාහකයා එම ජනවර්ගවලට කරන කෙණහිලිකම් ඉදිරියේ ඔවුන්ව ආරක්ෂා කරන පිළිවෙතක සිට ක්‍රියාකරනවා වෙනුවට ඉවත බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ජවි පෙරමුණ ගැන වෙනම කතා කිරීම අවශ්‍ය වුවත් එම පක්ෂය සිටින්නේද ජයග්‍රාහී ලෙස නැගී සිටිය හැකි තත්ත්වයක නොව ගරාහැලෙන තත්ත්වයකය.

ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලෙස සැලකිය නොහැකිය. ඒවා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති පක්ෂ නායකයාගේ අණ කිරීම මත ක්‍රියා කරන පක්ෂ ලෙස සැලකිය හැකිය. මේ කිසිම දේශපාලන පක්ෂයකට සාමාජික මුදල් ගෙවන පක්ෂ සාමාජිකයන් නැත. ඒවා අඩු වැඩි වශයෙන් කළු සල්ලිකාරයන් මත යැපෙන පක්ෂ ලෙස සැලකිය හැකිය. ප්‍රධාන පක්ෂ දෙකේ අයිතිය තිබුනේ පවුල් කල්ලි දෙකකටය. එජාපය එක පවුල් කල්ලියකටත්, ශ්‍රීලනිපය තවත් කල්ලියකටත් ශ්‍රීලනිපය ආශ්‍රයෙන් බිහිවුණු පොදුජන පෙරමුණ තවත් පවුල් කල්ලියකටත් අයත් වේ.

රාජ්‍ය පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපය ප්‍රජාතන්ත්‍ර විරෝධී පක්ෂ ක්‍රමයට හොඳින් ගැළපුණි. රටේ තිබෙන දේශපාලන පක්ෂ ක්‍රමය දූෂිත ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන විශේෂයක් ලෙස ක්‍රියා කළේ යැයි කිව හැකිය. මේ එකම දේශපාලන පක්ෂයක්වත් ඒවාහි මුළු ඉතිහාසය තුළ බුද්ධිමය වැදගත්කමක් ඇති සංකල්ප පත්‍රිකාවක් ප්‍රකාශ කිරීමට සමත් වී නැත.

ලංකාව මුහුණ දී තිබෙන දැවැන්ත හා සංකීර්ණ අර්බුදය තුළ රටේ සමස්ත ආයතන ක්‍රමයද කඩා වැටෙන්නට නියමිතව තිබෙන අතර ඒ අනුව දේශපාලන පක්ෂවල කඩා වැටීමද නොවැළැක්විය හැකි දෙයක් වනු ඇතැයි කිව හැකිය. ඒ සමග රටට නව උදාවක් ඇතිවේද නැත්ද යන ප්‍රශ්නය තේරුම් ගැනීමට අමාරු දුෂ්කරම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය.

වික්ටර් අයිවන්

ප්‍රබන්ද කතා හා ඉතිහාසය ( උවිදුගේ ලිපියට පිළිතුරක් )- වික්ටර් අයිවන්

ලන්කාවෙ කෙනෙකු ඇන ගැසීමට අවශ්‍ය වූ විට ඒ අරමුන සපුරාලීමට යොදාගනු ලබන එක ක්‍රමයක් වනුයේ ඊට ගැලපෙන ලස්සන කතාවක් ප්‍රබන්ද කොට සමාජ් ගත කිරීමය.විවේචනාත්මක චින්තනයකට හුරුපුරුදු නැති අවැනි කතාවලින් මුසපත් කිරීමේ හැකියාව තිබෙනවා.චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම් පතට සහයෝගය දෙන්න තීරනය කරගෙන සිටි එජාපය අවසාන දින රාත්‍රියේ මාගේ බලපෑම නිසා සහයෝගය දීමේ අදහස වෙනස් කොට විරුද්ධ වන්නට තීරනය කරනු ලැබූ බව කීම සදහා උවිදු නිරමානය කොට සමාජ ගත කර තිබෙන කතාව සැලකිය හැක්කෙත් එවැනි ප්‍රබන්ද කතාවක් ලෙසය.එහෙත් ඔහු ගේ ප්‍රබන්ද යේ වියමන දුරවලය.

සොල්බරි විවස්තාවේ සිට 19 වැනි විවස්තා සම්පාදනය (චන්දිරිකාගේ සම්මත කරගැනීම අසමත්වූ කෙටුම් පතද ඇතුලුව) දක්වාම සිදුකර තිබෙන විවස්තා සම්පාදනයන් පිලිගත් විවස්තා සම්පාදන සම්ප්‍රදායන් නොසලකා බල ලෝබි දේසපාලන අරමුනු ඇතිව කරන ලද විවස්තා සම්පාද්නයන් බව මා හැමදාමත් ප්‍රකාශ කර තිබෙන මතය ලෙස සැලකිය හැකිය.ඒ ගැන මා ප්ලකර තිබෙන"නිදහස ජාතික ඒකාග්‍රතාව හා දේසපාලනයේ පවුල් පොරය","චවුර රාජ්‍යය ", "ලන්කාව ගලවා ගැනීම", "නව විවස්තාවක් හදාගැනීම" යන පොත් වල පැහැදිලිව සටහන් වෙනවා.මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයකු ඉදිරි පත කල යුතුයි කියන සූත්‍රය ටද මා මුලසිටම විරුද්ද වුනා.එය ඇති කල හැකි විපාක ගැන ලීවා.සෝබිත හිමියන් සමගද ඒ ගැන කතා කලා.සෝබිත හිමියන් සමග කෙරුන එම සාක්චාවට මනෝතිත්ත වල සමග සුමතිපාල කාරියවසම් ද සහබාගි වුනා.අපේ සාකච්චාවෙන් සෝබිත හිමියන් කම්පනයට පත්වුවත් ආපසු හැරීමක් කිරීමට බැරි තරමට ඒ හිමියන් බොහෝ දුර ගොස් තුබුනා.මා රනිල් ව්ක්ක්‍රමසින්හ සමගද ඒ ගැන කතා කලා.

19 වැනි සන්සෝදනය ගැන මට දැනගන්නට ලැබුනු පලමු අවස්ත්වෙම එහි නිරමාතෘ ලෙස සැලකිය හැකි ජයම්පති වික්ක්‍රමරත්න සබාවේ සිටියදීම මා ඒ අදහස ව්වේචනයට ලක්කලා.ඒ වේදිකාවෙ නිරමාල් දේවසිරිත් හිටියා.19 කෙටුම් පතක් ලෙස කරලියට ගෙන ආ අවස්තාවෙත් මා එගැන. විවේචනයකලා.මගේ තරකය වුනේ ජනාදිපති ක්‍රමය දූෂිත යි. ඒ ගැන විවාද්‍යක් නැහැ.එත් ජනාදිපති ක්‍රමය යටතේ සකස් වී තිබෙන පාර්ලිමේන්තු ක්‍රමයත් ජනාදිපති ක්‍රමය තරම්ම දූෂිතයි.ඒ නිසා පාර්ලිමේන්තුව ව්‍යුහමය ප්‍රතිසන්ස්කරනවලට ලක්කිරීමකින් තොරව දූෂනයෙන් කුනුවී තිබෙන පාර්ලිමේන්තු වට බලය පැවරීමෙන් ලැබෙන ප්‍රතිපලය ජනාදිපති ක්‍රමය තරම්ම විනාශකාරි විය හැකි බවය.මාගේ එම තර්කය චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම්පතට ද අදාලය.

මා මාගේ ජීවිතයේදී විව්ද් නායකයින් සමග සාකච්චා කර තිබේ.සිරිමා බන්ඩාරනායක,කන්ද්‍රිකා කුමාරතුංග ,මහින්ද රාජපක්ෂ,රනිල් වික්‍රමසිංහ ඒ අතර ප්‍රදාන ‍ය.මා මේ කියන දේවල් මාගේ සමහර පොත්පත් වලද සටහන් වී තිබේ.

උවිදු සිය ප්‍රබන්ද යෙන් කියා තිබෙන ආකාරයට මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපවූ" හොදම විවස්තා කෙටුම්පත" ලෙස සැලකිය හැකි චන්ද්‍රිකාගේ කෙටුම් පතට සහාය දීමට එජාපය තීරනය කර තිබූ අවස්තාවකදී අවසාන මොහොතේ මා රනිල් හ්මුවී ගෙන තිබුන තීරනය මා රනිල් ලවා වෙනස් කරනලද බවය.කෙටුම් පතට විරෝදය පලකිරීම සදහා එජාප ඉදිරිපත් කල ලිපියද මා ව්සින් කෙටුම් පත් කර දෙනලද ලිපි යක් බවද අවදාරනයෙන් සදහන් කරයි.

මෙම කෙටුම් පත සදහා වන විවාදය පැවතියේ 2000 වසරේ අගෝස්තු 3,7සහ8 යන දින තුනේදීය.මේ කාලය වන විට ජනාදිපති චන්ද්‍රිකාට තිබුනේ හොද ප්‍රතිරූපයක් නොව නරක ප්‍රතිරූපය යකි.අදිකරන ඇගේ ග්‍රහනයට ගැනීම සදහා සරත් සිල්වා අගවිනිසූරයට ගෙනවිත් තුබුනේ විවස්තා විරෝදි ආකාරයකටය.වයබ චන්ද් මන්කොල්ලය ඇගේ ප්‍රජාතන්ත්‍ර වාදි සලුපිලි ගලවාදමා තිබුනි.සටන පුවත් පතේ කතෘ රෝහන කුමාර ගාතනය හා කුමාර පොන්නම්බලම් ගාතනය මෙහෙයවා තුබුනේ අපරාද සදහා ඇය යොදාගත් බැද්දගානෙ සන්ජීවය.රූකාන්ත චන්ද්‍ර ලේකා හින්සාවට ලක්කර තිබුනේද ඔහු විසිනි.

ඒ සියල්ලට අතිරේකව අගවිනිසුරු යොදාගෙන මන්ත්‍රී කම් අහිමිවීමක් සිදුනොවන අකාරයට එජප යෙන් මන්ත්‍රීවරුන් ගනනාවක් ආන්ඩු පක්ෂයට එකතු කරගෙන තිබුනි.මේ කතිකාවේදී අමතක නොකලම යුතු කරුනක් වනුයේ මෙම කෙටුම්පත් ගැන කෙරෙන අවසාන විවාදයට එජාප මන්ත්‍රී කන්ඩායමෙන් කිසියම් පිරිසක් සින්ගප්පූරුවට යවා තීබීම නිසා ඔවුන් මෙම විවාදයට සහබාගි නොවීමය.ඇයි. එජාපය කෙටුම්පතට චන්දය නොදෙන්නේ නම් තුනෙන් දෙකේ අනුමැතිය සදහා අවශ්‍ය අඩු පිරිස කවර මිලක් ගෙවා හෝ මිලදී ගන්නා බව ප්‍රකාශ කර තිබීම හා බද්දේගම මන්ත්‍රීවරයාට ඒ වෙනුවෙන් අත්තිවාරමක් ගෙවා තිබීම නිසා මිලදී ගැනීමේ වැඩ සටහන වියාරත කිරීම සදහා රනිල් තෝරාගත් මන්ත්‍රී පිරිසක් සින්ගපූරුවට යවා තිබීම නිසාය.චන්ද්‍රිකාගේ මිලදී ගැනීමේ වැඩ සටහන ඒ සනග මුලු මනින් වියාර්ත විය.එය ඉතාමත් අසීලාචාර තත්වයක් බව අමුතුවෙන් කිවයුතූ නැත.

මෙම ලියුම් කරු අවදාරනයෙන් කියා තිබෙන්නේ එම විවස්තා කෙටුම් පත ගැන ආන්ඩු පක්ෂය හා විරුද්ද පක්ෂය අතර කතා බහ කෙරුනේ මනෝ-මලික් දෙදෙනා හරහා බවය.මනෝ-මලික් සාකච්චා නමින් හැදින්වෙන්නේ එම සාකච්චා වලට බවය.ලියුම් කරුගේ මතකයේ තිබෙන අවුල් සහගත බාවය ඉන් හොදින් පෙන්නුම් කරයි.

මනෝ-මලික් සාකච්චා වශයෙන් හැදින් වෙන්නේ චන්ද්‍රිකා ජනාදිපති දූරයේ සිටියදී පාර්ලිමේන්තු බලය එජාප අත්ට පත් වී එම ආන්ඩු පාලන කාලය අතර මගදී දෙපක්ෂය අතර ඇතිව තිබුන ආරාවුල් විසදාගනිමින් සමතයක් ඇතිකර ගැනීමට මනෝ-මලික් යොදාගැනුනු අතර මනෝ-මලික් මලික් සාකච්චා ලෙස හැදින්වෙන්නෙ ඒ සදහා කෙරුන සාකච්චාවනටය.චන්ද්‍රිකාගේ විවස්තා කෙටුම් පත සමහ ඒ දෙදෙනාට මොනම සම්බන්දයක් වත් නොතිබුනි.

එජාප එම කෙටුම් පතට විරුද්ද වීමට ගනු ලැබූ තීරනයට මගේ මොනම සම්බන්දයක් වත් නොතිබුනි.එජාප ය එයට ශාය දීමට තීරනයක් ගෙන තිබුනේ නම් පිටස්තරයෙකු මා වැනි කෙනෙකුට අවසාන මොහොතේදී එම තීරනය වෙන්ස් කරන්නට පුලුවන් කමක් තිබියහැකිද?

වික්ටර් අයිවන්

මනෝ, අයිවන් හා නෝන්ජල් රනිල් - උවිඳු කුරුකුලසුරිය

මනෝ, අයිවන් හා නෝන්ජල් රනිල් - උවිඳු කුරුකුලසුරිය

මනෝ තිත්තවැල්ල මිය ගිහින්. මට ඔහු සමඟ ඔය කොක්ටේල් කීපයක හමුවෙලා කරපු පොඩි පොඩි කතා ඇරැන්නෙ ලොකු සම්බන්ධයක් නැහැ. ඒත් මම දන්න දෙයක් කියන්න ඕනෙ.

එයා දක්‍ෂ සාකච්ජාකරුවෙක්. එයා චන්ද්‍රිකා-මංගල ගැන්සියෙ තමා හිටියෙ. ඒක එච්චර වැදගත් නැහැ මට.​ කොටින්ම ලංකාවෙ මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු දියුණම ව්‍යවස්ථා කෙටුම්පත ගැන යූඑන්පී එක එක්ක සාකච්ඡාකරන්නත් චන්ද්‍රිකා දැම්මෙ අවසාන මොහොතෙ මනෝව​. ඒ සකච්ඡාවලට කිව්වෙ මනෝ-මලික් සකාච්ඡා කියල​. රනිල් දැම්මෙ මලික් සමරවික්‍රමව​. ඒකයි එහෙම කිව්වෙ. ජාතික ප්‍රශ්ණය​/ජනවර්ග ප්‍රශ්ණ, ඉඩම් ප්‍රශ්ණ​, පොලිස් බලතල​, අධිකරණ​, මානව හිමිකම් ඇතුලු සියලු වාද විශයන් ගැන ප්‍රධාන දකුණේ දේශපාලන පක්‍ෂ දෙක අතර එකඟතාවයක් තිබ්බෙ. දෙමළ මුස්ලිම් පක්‍ෂත් එකඟ වෙලා තිබ්බෙ ඒකට, ප්‍රභාකරන්ගෙ තුවක්කුව එල්ලවෙලා ඒකට බයේ හිටපු දෙමළ සන්ධානයේ ඇර​. ඒත් වැදගත් දේ දකුණේ ප්‍රධාන පක්‍ෂ දෙක එකඟවූ විසඳුම ඒකෙ අඩංගුවෙලා තිබ්බ එක​.

අන්තිමට මනෝ-මලික් සාකඡාත් සාර්ථක​ වෙලා පහුවදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස​. උන වැඩේ මොකක්ද​? චන්ද්‍රිකා එක්ක වෙන ප්‍රශ්ණ හදාගෙන හිටපු වික්ටර් අයිවන්, රොයිටර් එකේ වරුණ කරුණාතිලකට කියල රනිල් එක්ක සාකච්ඡාවක් හාදාගෙන එදා රාත්‍රියේ රනිල්ගෙ ගෙදරට ගියා. රනිල්ට​ දුන්න දේශණාවක් අයිවන් ඇයි ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වෙන්න ඕනෙ කියල​. මොකද කෙටුම්පතේ තිබ්බ අන්තර් කාලීන විධිවිධානයක් - ව්‍යවස්ථාව සම්මත උනත් චන්ද්‍රිකාගෙ ධූර කාලය නිමවන තෙක් ඇය ජනාධිපති කියල​. ඒක සාමාන්‍ය දෙයක්. ඒක උනත් අයින් කර ගන්න තිබ්බ ඕනෙ නම්. "ඕක සම්මත උනොත් ඔයාට අනාගතයක් නැහැ, චන්ද්‍රිකා කිසිම ද්විපාර්ශවික​ සහයෝගයකට මෙතෙක් වැඩ කරල නැහැ, ජනාධිපති ආරක්‍ෂක අංශෙ යොදවල විරුද්ධ පක්‍ෂෙ මර්දනය කරනවා," වගේ සිල්ලර කතා.

අර සෙවල රනිල් අයිවන්ට​ කිව්ව ඒ කියපු ඒව ලියල දෙන්න කියල​. අයිවන් එවෙලෙම පෑනකුයි කොලේකුයි ඉල්ලගෙන ඒව ලියල දුන්න​. රනිල් මීමා කරේ පහුවදා ගොන් කතාවක් කරල අර විකටර් අයිවන් ලියල දුන්න එක සභාගත කරපු එක​. ඒකරල ගෝලයො දාල ඒ ව්‍යවස්ථා කෙටුම්පත ගිණි තියපු එක පාර්ලිමේන්තුව ඇතුලෙ.

මම ඒකාලෙ ලංකාවෙ හිටියෙ නැහැ. මම 2001 දී එංගලන්තෙ ඉඳන් ආපහු ලංකාවට ගියාම ඉන්දික ගුණවර්ධන මට කිව්ව බලන්නකො වෙච්ච දේ කියල​. මොකද හේතුව​, එදා එයාට තැපෑලෙන් ඇවිත් තිබ්බ ඒ විවාදෙදි ඔක්කොම පක්‍ෂ නායකොයො කරපු කතා එකතුකරල ගහපු පොතක්. මම ඒක ඉල්ලගෙන ගිහින් එදා රාත්‍රියේ මුලු පොතම කියෙව්ව​. සභාගත කරපු ලේඛණ කියවන කොට, රනිල් සභාගත කරල තියෙන ලියවිල්ල හොඳට දන්න ශෛලියකින් ලියපු එකක්. ඒකෙ තියෙන්නෙ රටක නායකයෙක් වෙන්න හිතන​ විපක්‍ෂ නායකයෙක් සභාගත නොකල යුතු මට්ටමේ තුට්ටු දෙකේ කතා. මම පහුවදාම රාවයට ගිහින් ඒක පෙන්වල අයිවන්ගෙන් ඒ ගැන ඇහැව්ව​. එයා හිනාවෙලා කිව්ව​, මිනිහ හිරවෙලා හිටියේ කර කියගන්න දෙයක් නැතිව​, පහුවදා ඡන්දෙ දෙන්න සෙට් වෙලා හිටියෙ මනෝ-මලික් සාකච්ඡාවෙන් පස්සෙ, මමයි වරුණයි ගිහින් තමා වෙනස් කරේ, රනිල් කිව්ව ලියල දෙන්න කියල​, මම ලියල දුන්න කියල​. බොරු නම් අහන්න අයිවන් ෆේස්බුක් එකේ ඉන්නවනෙ.

මම ඒ කාලෙ ලිපියක් ලියල ඇති "නෝන්ජල් රනිල් හා විධායක ජනාධිපති ක්‍රමය" කියල​. ඒකෙ මම කිව්ව රනිල් මේ කරපු වැඩේ නිසා එයා කවදාවත් ලංකාවෙ නායකයවත්, ජනාධිපතිවත් වෙන්නෙ නැහැ කියල​. ඒව නම් හරි. කාලකණ්ණි සතුටක් තියෙන්නෙ ඒ ගැන​. ඔය ලංකාව කුණුවෙලා කිය කිය කිය කිය ඔය රාවය සඟරාව කාලෙ ඉඳන් ලතෝනි දෙන අයිවන් රටට කරපු සේවය තමා ඒ.

ඒත් රටට නව ව්‍යවස්ථාවක් ගෙනත්, රටේ ජනවාර්ගික සාමය​, මානව හිමිකම් ආරක්‍ෂාකර ගැනීමට අවංකව ක්‍රියා කල මනෝ ඔබට මගේ ප්‍රණාමය​!

උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් 


ප්‍රබන්ද කතා හා ඉතිහාසය ( උවිදුගේ ලිපියට පිළිතුරක් )- වික්ටර් අයිවන්

සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපෝන්සු - (රන්ජන්ට අත දුන් ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකුගේ මතකය)

රන්ජන් රාමනායක මට හඳුන්වා දෙනු ලබන්නේ විජය කුමාරතුංගයන් විසිනි. දිනක් මා විජයගේ තලකොටුව වත්තේ නිවසට යන විට බූසියට කොණ්ඩය වවාගත් හීන්දැරි ගැටවරයෙක් එහි රැඳී සිටියේ මා හමුවන්නටය. “මේ මගේ නෑදෑයෙක්. ෆිල්ම්ස්වලට ඇවිත්. මෙයාට උදව් කරන්න” රන්ජන් හඳුන්වා දෙමින් විජය මට කීවේය. මම එවකට ජනප්‍රිය ‘සරසි’ සිනමා පුවත්පතේ කර්තෘවරයා වීමි. විජයගේ ඉල්ලීම ඉටු කරමින් මම රන්ජන්ට ‘සරසි’ හා ‘සත්සර’ පුවත්පත්වලින් ප්‍රචාරය දුනිමි. නිතරම විහිළුවෙන් හා දෙපිට කැපෙන උපහාස කතා කියමින් සිටින රන්ජන් ‘සරසි’ කාර්යාලයේ සමීප මිතුරෙකු බවට පත්විය. ඔහුට රඟපෑම සඳහා චිත්‍රපට කිහිපයක්ම ලැබෙන්නට වැඩි කාලයක් ගියේ නැත. ඔහු ගායනයට පිවිසි කළ ඔහුගේ ‘රන් සමනලයා’ කැසට් පටය නිෂ්පාදනය කළේ මා විසිනි.

අනෙකුත් නළු නිළියන් මෙන් නොව රන්ජන් ජනප්‍රියත්වය අබිබවා යමින් කැපී පෙනෙන දේ කරන්නට කැමතිය. තැනක් නොතැනක් නොබලා කරන විහිළුද හැමවිටම ඇඟට හිරවෙන ඇඳුම්ද ඔහුගේ චරිත ලක්‍ෂණ විය. කමිසයක් නොව හැට්ට අඳින්නේ යැයි අප කොතෙකුත් විහිළු කළද ඔහු වෙනස් වූයේ නැත. රන්ජන්ගේ මේ චරිත ලක්‍ෂණ ගැන අතීත උදාහරණයක් මට සිහිපත් වෙයි.

එය අනූව දශකයේ මුල් භාගයයි. අලුත් සිංහල චිත්‍රපටයක මංගල දර්ශනය පැවැත්වුණේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් අසෝකා සිනමා ශාලාවේදීය. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා රන්ජන් ගේ ඥාති සොයුරා වූ ජීවන් කුමාරතුංගය. චිත්‍රපටය වෙනුවෙන් අසෝකා සිනමා ශාලාව අවට පෙදෙස ධජ පතාකවලින් සරසා තිබුණි. ජීවන් සිනමාහලට ආවේ මඟුල් බෙර හඬ මැද්දේය. චිත්‍රපටයේ සහාය චරිතයක් රඟපෑ රන්ජන් දක්නට නැත. ඔහු එන තෙක් පහන් දැල්වීම පමා විය. හදිසියේ එක්වරම පැමිණි ට්‍රක් රථයකින් බැසගත්තේ පපර බෑන්ඩ් කණ්ඩායමකි. තවත් ට්‍රක් රථවලින් පැමිණි සිනමා රසිකයෝ සිය ගණනක්ද සිනමා ශාලාව ඉදිරිපිටට රොක් වූහ. රන්ජන් පැමිණියේ ඉන් පසුවය. ප්‍රීති ඝෝෂා නගමින් ඔහුගේ රසිකයෝ මල්මාලා එක පිට එක දමමින් රන්ජන් පිළිගත්හ. පපර බෑන්ඩ් සංගීතයෙන්ද රතික්‍ඳ්ඤා හඬින්ද, අසෝකා සිනමා ශාලාව අවට ග්‍රෑන්ඩ්පාස් පරිසරය දෙදරුම් කෑවේය. මහත් ආඩම්බරයකින් රන්ජන් සිනමා ශාලාවට ඇතුළු විය. එදා පපර බෑන්ඩ් කණ්ඩායම හා රසික ගෝලබාලයන්, මල්මාලා හා රතික්‍ඤ්ඤාවලට රන්ජන්ට සෑහෙන වියදමක් යන්නට ඇත. එහෙත් කැපී පෙනෙන නළුවා වූයේ රන්ජන්ය.

මේ කතා අසද්දී සිනමා ලෝකය සම්බන්ධයෙන් රන්ජන් විනෝදජනක, සැහැල්ලු චරිතයක් විය හැකිය කියා ඔබට සිතෙනු ඇත. රන්ජන් චිත්‍රපටයකදී හැම විටම තෝරාගන්නේ වීරයාගේ චරිතයයි. ඔහු අසාධාරණයට, වංචාවට, ධනපතියන්ට එරෙහිව සටන් වදින දුප්පතාගේ හිතවතාය. දේශපාලනයට පැමිණි විටද ඔහු රට ඉදිරියේ එම චරිතයම ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පාක්‍ෂිකයන් පමණක් නොව, විපක්‍ෂ මත දැරූ අයද ඔහුගේ මේ චරිත නිරූපණයට කැමති වූ බව මම දනිමි.

එහෙත් මේ වීරයා සැබෑ දුෂ්ටයකු බවට පත් වූ ආකාරය පසුගිය දින කිහිපයේදී රටටම හෙළිවිය. මුළු රටම කළඹමින් රන්ජන්ගේ වෙස්මුහුණ ගැලවී යාම යහපාලන රජයේ දුෂ්ට වැඩපිළිවෙළ හෙළිදරව් කිරීමට සමත් වී තිබේ. ඒ පිළිබඳ ඔබ මවිත කරවන තවත් තොරතුරු ඉදිරි දිනවලදී හෙළිවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි. සිදුවීම් පෙළ හින්දි දෙමළ චිත්‍රපටයක අවසන් ජවනිකාව වාගේය. දුෂ්ටයා පමණක් නොව ඔහුට උදව් පදව් කළ හැම දෙනාගේම වෙස් ගැලවෙන්නේ චිත්‍රපටය අවසාන භාගයේය.

සම සමාජ පාක්‍ෂිකයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේත් වාමාංශික අදහස් දැරූ විජයගේත් ඥාතියකු වන රන්ජන් එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් වූයේ කෙසේද? එයට ප්‍රධානම හේතුව රනිල් වික්‍රමසිංහ සුපිරිසුදු චරිතයක් බවට රන්ජන් තුළ වූ විශ්වාසයයි. එහෙත් දැන්නම් රනිල් පිළිබඳ රන්ජන්ගේ එම ක්ලීන් සූට් මතය කුඩු පට්ටම් වී ඇතැයි සිතන්නෙමි.

රන්ජන් එ.ජා.ප දේශපාලනයට එක් වූ පසු මට ඔහු හමුවුණේ එකම දවසකි. ඒ විවාහ මංගල්‍ය උත්සවයකදීය. ඒ වන විට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන්ට නඩු පැවරී තිබුණි. ඔහුට දඬුවම් ලැබිය හැකි බව මා කී විට ඔහු සසල වූ බවක් පෙන්නුවේ නැත.

“මාව හිරේ දායිද බන්දු අයියා? හැබැයි මට මගේ කතාව ඔප්පු කරන්න පුළුවන් හැම කෙනාම සාක්කියට කැඳවනවා. වික්ටර් අයිවන්, අශෝක හඳගම මේ ඔක්කොම උසාවි ඒවි.”

“වැඩේ හරියන්නේ නෑ, උඹට හිරේ යන්න වෙනවාමයි. මං උඹ බලන්නට බත් පැකට් එකකුත් අරගෙන වැලිකඩට එන්නම්.” මම සිනහසෙමින් කීවෙමි. රන්ජන් මට කතා කළේ ‘බන්දු අයියා’ කියාය. පැරණි හිතවත්කම නිසා මම ඔහුට යහළුවකුට මෙන් ‘උඹ’ කියා ඇමැතුවෙමි. එහෙත් රන්ජන් හා සමග නැවත කිසි දිනෙක හෝ කතා නොකරන්නෙමි කියා මා තීරණය කළේ මීට මාස අටකට පමණ පෙරය. ඒ දිනවල රන්ජන් දැඩි ලෙස ප්‍රසිද්ධියේ බැණ වදිමින් සිටියේ ගෝඨාභය රාජපක්‍ෂටය. ඒ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර ගොස් තිබුණ කාලයයි.

කරුණු නොදැන ගෝඨාභයට විරුද්ධව බොරු ප්‍රකාශ නොකරන ලෙස මම ඔහුට දොස් පැවරුවෙමි. ඔහු ලසන්ත වික්‍රමතුංග ගැනත්, කිත් නොයාර් ගැනත්, මාළු ටැංකියේ මිනී මෝරුන් ගැනත් කීවේය. මම ඔහුට උපහාසයෙන් සිනාසුණෙමි.

“ඕවා විශ්වාස කරනවා නම් උඹ මහ මෝඩයෙක්” මම ඔහුට කීවෙමි. රන්ජන් කෝපයට පත් විය.

“තමුසේ මට උඹ කියනවා නම් මමත් තමුසෙට උඹ කියනවා” යැයි කියූ රන්ජන් “උඹ රාජපක්‍ෂට කඩේ යන මිනිහෙක්” කියමින් දුරකථනය විසන්ධි කළේය.

පසු දිනෙක මම මේ සිදුවීම මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කීවෙමි. ඔහු හඬ නඟා සිනාසුණේය. “ඇයි ප්‍රොෆෙසර් රන්ජන් නඩුවලට යනකොට ඔබතුමත් උසාවියට යන්නෙ?” මම ඇසුවෙමි.

“මිනිහ මගේ නෑදෑයා. ඉතින් මට එන්න කිව්වම මට නොගිහින් ඉන්න බෑනේ.”

“හී ඉස් අ ගුඩ් හාර්ටඩ් ෆෙලෝ. බට් අ ෆූල්” (මිනිහා හිත හොඳ මිනිහෙක්. හැබැයි මෝඩයෙක්) මහාචාර්ය කාලෝ කීවේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද ජීවතුන් අතර සිටියා නම් ඔහු ලැජ්ජාවටත්ස න්ත්‍රාසයටත් පත්වනු ඇතැයි සිතන්නෙමි.

මිරිහාන අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, මාදිවෙල පිහිටි රන්ජන්ගේ නිවසට පසුගිය ඉරිදා පැමිණියේ ගංගොඩවිල අධිකරණ මහෙස්ත්‍රාත්වරයාගෙන් ගත් සෝදිසි වරෙන්තුවක්ද අතැතිවය. රන්ජන් සතුව යහපාලන රජයේ අපරාධ හා දූෂණ පිළිබඳ තොරතුරු සංවාද ඇතුළත් සංයුක්ත තැටි ඇතැයි පොලිසියට පිළිගත හැකි ඔත්තුවක් ලැබී තිබුණි.

නිවස ඇතුළට ගිය පොලිස් කණ්ඩායමේ ප්‍රධානී ජයන්ත පෙරේරා වරෙන්තුව රන්ජන්ට පැහැදිලි කළේය. වැඩේ පත්තු වී ඇති බව රන්ජන්ට තේරුම් යන්නට ඇත. රන්ජන් සිය රංගන ජවනිකාව අරඹන්නේ ඉන් පසුවය. ඔහු තම දේශපාලන සගයන්ට දුරකථන ඇමැතුම් ගත්තේය. ‘‘මාව අත්අඩංගුවට ගන්න පොලිසියෙන් ඇවිත්’’ ඔහු කීවේය.

“ඔයාලා ආවේ කුඩු අල්ලන්නද? කුඩු අල්ලන්න නම් වෙන මන්ත්‍රී නිවාසෙකට තමයි යන්න ඕන. කුඩු, ගංජා, කොකේන් මෙහෙ නෑ.”

පොලිස් නිලධාරීන් පිරිස රන්ජන් ළඟ තිබූ සංයුක්ත තැටි එකතු කරන්නට පටන් ගත් කල ඔහු ඒ කටයුත්ත විහිළුවකට ලක් කරමින් තම ගෝලයෙකුට මෙසේ කීවේය.

“මල්ලී, කුස්සියේ තියෙන ලූනු ටික නම් ගෙනියන්න දෙන්න එපා. රන්ජන්ගේ නිවසින් බොම්බයි ලූනු හමුවෙයි කියලා නිවුස්වල හෙඩ්ලයින් එකක් යාවි.”

ඒ අතරේ ඔහු වරින් වර තම ෆේස්බුක් පිටුවට සජීවී දර්ශන ඉදිරිපත් කළේය. මේ කාලය තුළම ඔහුගේ ට්වීටර් ගිණුමට පණිවිඩ කිහිපයක්ද එක්වී තිබුණි.

සන්ධ්‍යා භාගයේ මාදිවෙල නිවසට ප්‍රථමයෙන්ම පැමිණියේ මහාචාර්ය ආශු මාරසිංහ මන්ත්‍රීවරයාය. ජාතික ලැයිස්තුවෙන් එ.ජා.ප යට එක් වී සිටින ඔහු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට සූදානම්ව සිටී. ඔහුගේ පැමිණීම දුටු බොහෝ දෙනෙකුට මතක් වන්ට ඇත්තේ ළඟදී රන්ජන් මාධ්‍යට පැවසූ දෙයකි.

“මාව කපන්න ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රොෆෙසර් කෙනෙක්ද කවුද දාල, මට නොමිනේෂන් දෙයිද දන්නෙ නැහැ” කෙසේ වෙතත් ආශු රන්ජන් සමග සෙල්ෆියක් ගන්නටද අමතක කළේ නැත.

පොලිස් කණ්ඩායම මාදිවෙලට ආවේ රන්ජන් අත්අඩංගුවට ගැනීමට නොවේ. ඔවුන් වරෙන්තුව ලබාගෙන තිබුණේ නිවස සෝදිසි කිරීමටය. ඒ අතරතුරය රන්ජන්ගේ ගිනිඅවිය ඔවුන්ට හමුවුණේ. එයට පසුගිය අවුරුදු තුනේම බලපත්‍ර තිබුණේ නැත. බලපත්‍ර නැති ගිනි අවියක් ළඟ තබා ගැනීම වහාම අත්අඩංගුවට ගත යුතු වරදකි. පොලිසියට එය මග හැරිය නොහැකිය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වන්නේ එසේය.

රන්ජන්ගේ හැටි දන්නා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක් මා සමග කීවේ “මට නම් සැකයි රන්ජන් ලයිසන් තියාගෙන නෑ කිව්වද කියල. මොකද එතකොට මිනිහව ඇරෙස්ට් කරන්නම වෙනවනේ.”

එම කතාව සත්‍යයක් විය හැකි යැයි ඔබට සිතෙනු ඇත්තේ රන්ජන් කිහිප වතාවක්ම මටත් ඕන අත්අඩංගුවට පත්වෙන්න තමයි කියා ප්‍රකාශ කිරීම නිසාය.

නිවසට ඇතුළු වීමට අවසර නොමැති බැවින් මාධ්‍යවේදීන් රැස්ව සිටියේ ගේට්ටුව ඉදිරිපිටය. ඔවුන් අසලට පැමිණෙන රන්ජන් කැමරාවලට පෙන්වමින් නැවතත් සෝදිසි වරෙන්තුව කියවන්නේය. මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගූ විට ඔහු දෙරණ මාධ්‍යවේදියා උපහාසයට ලක් කරන්නේය. මේ අතර රන්ජන්ටම ගැළපෙන දේශපාලන සගයන් වන මුජිබර් රාහුමාන්, පාලිත තෙවරප්පෙරුම, හරීන් ප්‍රනාන්දු ආදීහුද නිවසට එක්වූහ. මාංචු දැමීමට සැරසෙන පොලිස් කණ්ඩායමේ ප්‍රධානී ජයන්තගේ මුහුණ සිපගන්නා රන්ජන් කියන්නේ ‘‘තෑන්ක් යූ ඔයා මට ඡන්ද වැඩිකරලා දෙනවා’’ කියාය.

සිනමා පටයක කූට ප්‍රාප්තිය හඳුන්වා දෙන්නේ ක්ලයිමැක්ස් කියාය. ක්ලයිමැක්ස් එකේදී ජයග්‍රාහකයා බවට පත්වන්නේ වීරයාය. තමන්ගේ දෑත්වලට මාංචු වැටීම ජයග්‍රාහී ක්ලයිමැක්ස් එක කියා රන්ජන්ට සිතෙන්නට ඇත.

එහෙත් දැන් වීරයා දුෂ්ටයා වී ක්ලයිමැක්ස් එක පුපුරා යන බෝම්බයක් බවට පත් වී තිබේ. පසුදා රන්ජන්ගේ සංයුක්ත තැටිවලින් හමුවන්නේ කුඩු, ගංජා, කොකේන්වලට වඩා භයානක දේවල්ය.

ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර

aruna -

හිට්‌ලර්ගේ අසල්වැසියා

එඩ්ගාර් මුල් වරට හිට්‌ලර් දකින විට ඔහු අවුරුදු පහක කුඩා දරුවෙකි . එය 1929 වර්ෂයයි . එඩ්ගාර් මියුනික්‌ හි පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් එබී බලන විට ඔහු දැක ඇත්තේ හිට්‌ලර් මෝටර් රථයකින් බසින අන්දමයි . හිට්‌ලර් ද මෙම දරුවා දැක තිබුණු අතර ඔහු දරුවා දෙස එක එල්ලේ බලා සිටිනු දුටු එඩ්ගාර් රැක බලා ගත් රෝසී තදින් ජනේලය වසා දමා දරුවා ඇඳට යවා ඇත .

 කීප දිනකට පසු එඩ්ගාර් රෝසී සමඟ ඇවිදින්නට යන විට, ගොඩනැඟිල්ලක්‌ තුළ සිට එළියට පැමිණ මෝටර් රථයට නඟින්නට සූදානම් වන විට හිට්‌ලර් නැවත වරක්‌ මෙම දරුවා දැක ඇත . එහිදී හිට්‌ලර් ඉතා මිත්‍රශීලී අයුරින් දරුවා දෙස බලා ඇත්තේ ඔහු යුදෙව් දරුවකු බව දැන ගැනීමට කිසිම සාධකයක්‌ නොතිබූ නිසා විය හැකි බව එඩ්ගාර් පවසයි. එම අවස්‌ථාවේදී ඒ අසල රැස්‌ව සිටි මිනිසුන් හිට්‌ලර් දිනේවා යයි ජය ඝෝෂා කළ ද ඔහු ඒ සඳහා ප්‍රතිචාරයක්‌ නොදැක්‌ වූ බව එඩ්ගාර් පවසයි . පැළඳ හුන් තොප්පිය මඳක්‌ ඉස්‌සු ඔහු මෝටර් රථයට නැඟ පිටත්ව ගොස්‌ ඇත.

 අකාරුණික අසල්වැසියකු සිටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි . එඩ්ගාර්ගේ අසල්වැසියා වුයේ මිලියන හයක්‌ යුදෙව් ජාතිකයන් සමූලඝාතනය කළ ඝාතකයාය. එහිදී වඩාත්ම අවදානම් සහගත වුයේ කුඩා එඩ්ගාර්ගේ පවුල යුදෙව් ජාතිකයන් වීමය.

 1929 වන විට හිට්‌ලර්ගේ බලය වැඩි වෙමින් තිබිණි. ඒ වන විට ඔහු කාමර නවයකින් සමන්විත ඉතා සුඛෝපභෝගී ප්‍රින්ස්‌රිජන්ටන්ප්ලාට්‌ස්‌හි වාසය කර ඇත. එඩ්ගාර්ගේ කාමරයේ ජනේලයට ඔහුගේ නිවාස මනාව දර්ශනය විය. ඔහු ඉතා අකාරුණික පුද්ගලයකු බව කුඩා වුවද එඩ්ගාර්ට ඉතා හොඳින් වැටහී තිබිණි . එඩ්ගාර්ගේ දෙමවුපියන් දේශපාලන කටයුතු වල නිරතව සිටි අතර, පුවත්පත් කියවමින් හිට්‌ලර් ක්‍රියාත්මක කරන්නට සූදානම් වන ප්‍රචණ්‌ඩත්වය ගැන මනා අවබෝධයකින් පසු වී ඇත . එසේ වුවත් හිට්‌ලර් ලොව උඩු යටි කුරු කළ ආකාරය නම් කිසිම අයකුට කල් තියා උපකල්පනය කර ගැනීමට නොහැකි වන්නට ඇත .

 එදා කුඩා දරුවකුව සිටි එඩ්ගාර්, දැන් වයස 93ක්‌ පමණ වන වයස්‌ගත පුද්ගලයෙකි .හිට්‌ලර් ජීවමානව දුටු සහ නිතර දුටු දැනට ජීවත් වන අවසන් පුද්ගලයා ද ඔහු විය හැක .එඩ්ගාර් පසු කලෙක ලේඛකයකු සහ ඉතිහාසඥයකු ද වූ අතර දශක තුනක කාලයක්‌ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ඔහුගේ අධ්‍යයන කටයුතු බොහෝමයක්‌ කේන්ද්‍රගතවී ඇත්තේ යුරෝපීය අධිරාජ්‍යයන් පිළිබඳව වුවත් ඔහු මෑතකදී ලිවූ Hitler my neighbor(Memories of a Jewish childhood පොතෙහි අන්තර්ගත වන්නේ ඔහුගේ සමීප අත් දැකීම්ය . වසර 10 ක කාලයක්‌ දරුණු ඝාතකයකු අසල්වැසි නිවසේ සිටීම විඳ දරාගත් අයුරු එම පොත් වල විස්‌තර වේ.

 කෙටි දින පොත් සටහන් ඇසුරු කරගෙන ලියවුණු Hitler my neighbour පොත 1930 වන විට ජර්මනිය සහ හිට්‌ලර්ගේ අර්ධ පුද්ගලික ජීවිතය ගැන දරුවකු දුටු යථාර්ථය මෙන්ම ව්‍යක්‌ත ඉතිහාසඥයකුගේ අඟනා විස්‌තර කිරීම් වලින් වර්ණ ගැන්වී ඇත. පොත ආරම්භ වන්නේ යුධ සමයට පෙර සුවදායි ජර්මන් පරීසරයේ ගෙවුණු එඩ්ගාර් ගේ ළමා වියේ සොඳුරු සටහන් සමගය.

1930 වන විට කුඩා එඩ්ගාර් ඝන රැවුල ඇති මිනිසා බියකරු සත්වයකු ලෙස දකින්නට පටන් ගත්තේය . හිට්‌ලර් බලයට පත් වුවහොත් ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව ඔහුගේ දෙමවුපියන් කතා කරනු ඔහුට ඇසී තිබිණි. එඩ්ගාර්ගේ පියා ඔහු හැඳින්වුයේ අවුල් වූ මනසක්‌ ඇති, අප්‍රසන්න, බිහිසුණු උන්මත්තකයකු ලෙසය. නවකතාකරුවකු සහ නාට්‍ය රචකයකු වූ ඔහුගේ මාමා ලියොන් අවධාරණය කරමින් කියා සිටියේ හිට්‌ලර් ජයග්‍රහණය නොකරන බවය . ඒ කෙසේ වුවත් ඔවුන් යුදෙව් පවුලක්‌ ක්‌ බව හිට්‌ලර් අනාවරණය කර ගනී යන බියෙන්, තැති ගැන්මෙන් ඔවුනට ජීවත් වන්නට සිදු වී ඇත . හිට්‌ලර් ගේ නිවසට නිතර ආ ගිය නාසි හිතවාදීන් එඩ්ගාර් නිතර ඔහුගේ ජනේලයෙන් දුටුවේය . නාසීන් සහ යුදෙව්වන් අතර මහා මාර්ග වල සිදු වුණු ගැටුම් ද ඔහු දැක තිබිණි.

 1933 වසරේදී හිට්‌ලෙර් රාජ්‍ය නායකයා බවට පත් විය . ජර්මන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක්‌ නාසීන් විසින් අත්පත් කර ගෙන තිබිණි. නයුරම්බිරිග් නීතිය ක්‍රියාත්මක වුණි . එඩ්ගාර්ගේ දෙමවුපියන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් නැති විය. ඔහුගේ පියාට තව දුරටත් ඔහු සතු වූ මුද්‍රණාලය පවත්වා ගෙන යා නොහැකි විය. එඩ්ගාර්ට පාසලේදී ගණිත විෂය ඉගෙන ගනිමික්‌ නාසි ප්‍රචාරණ කටයුතු ඉගෙනීමට සිදු විය . අවසානයේදී කුඩා කල සිට එඩ්ගාර්ව ආදරයෙන් බලා ගත් රෝසී රඳවා ගැනීමද ඔවුන්ට තහනම් වුයේ ජර්මන් ලේ ඇති අයට යුදෙව්වන් යටතේ සේවය කළ නොහැකි යන නීතිය පැනවූ බැවිනි. ඇතැම් ස්‌ථානවලට යාම පවා ඔවුන්ට තහනම් විය. එම ස්‌ථානවල No dogs or jews යයි දැන්වීම් පුවරු තබා තිබිණි . 1938 දී එඩ්ගාර්ගේ පියා අත්අඩංගුවට ගැනිණි . ඔහු ඩකාවල සිරගත කෙරුණු අතර ඔවුන්ගේ සියලුම දේපල ඔවුන්ට අහිමි විය . ආශ්චර්යයක්‌ සිදුවූවාක්‌ මෙන් එම වසරේ දෙසැම්බර් මස ඔහු නිදහස්‌ විය . ඉන් වසරකට පසු 14 වියෑති එඩ්ගාර් තනිවම දුම්රියෙන් එංගලන්තය බලා ගොස්‌ ඇත. ඔහුගේ දෙමවුපියන්ද ඉතා ඉක්‌මනින් අවශ්‍ය ලියකියවිලි සකස්‌ කරගෙන එංගලන්තයට පලා ගොස්‌ ඇත්තේ හිට්‌ලර්ගේ ආධිපත්‍යයෙන් තොර නිදහස්‌ ජීවිතයක්‌ ගත කිරීම සඳහාය.

 මෙම පොත ලියවී ඇත්තේ ට්‍රම්ෆ් බලයට පත් වීමට පෙරය . නව නාසි මතවාද දරන සංවිධාන අමෙරිකාවේද දිරිමත්ව ඇති බව පිළිගත්තද , එඩ්ගාර් විශ්වාස කරන්නේ සුදු ස්‌වෝත්තමවාදීන්ට නාසිවරුන් මෙන් බලයට එන්නට බැරි බවය. ඔවුන් කුඩා කල්ලි වශයෙන් සිටින බවත් ඔවුන්ගේ බලපෑම රටට නොදැනෙන බවත් ඔහු විශ්වාස කරයි. ඔහුගේ මාමා වූ ලිඔන් , හිට්‌ලර් බලයට ඒ යයි විශ්වාස නොකළ අන්දමටම ඔහුද අමෙරිකානු ජනාධිපතිවරණය දිනන්නේ ටුම්ෆ් යයි විශ්වාස නොකළේය . ඇමෙරිකානු ජනතාව ඔහු පත් කර ගත්තේ කුමන අරමුණකින්දැයි නොතේරෙන බව එඩ්ගාර් පවසයි.

 මෑතකදී එංගලන්තයේදී පැවති බ්‍රේක්‌සිට්‌ මැතිවරණයේදී , එංගලන්තය සුළු ජාතිකයන් ගැන දැක්‌වු වූ බිය ඔහු නොසන්සුන්තාවයට පත් කර ඇත . රටේ පවතින ගැටලු සඳහා ප්‍රධාන හේතුව සංක්‍රමණිකයන් බව රජය පවසා සිටීම ඔහු නොසන්සුන්තාවයට පත් කරන්නට ඇත .

 එඩ්ගාර් ෆ්යිට්‌ගර් දැන් ලිවීම නතර කොට ඇත , නමුත් ඔහු සංචාරය කරමින් ඔහුගේ අත්දැකීම් ගැන කතා කරයි හිට්‌ලර්ගේ අසල් වැසියා වී ලබා ගත් අත්දැකීම් ගැන වසර 88කට පසු ඔහු සතුටින් කතා කරයි. ඔහු දැක ඇත්තේ අසාමාන්‍ය ඉතිහාසයකි. ඔහු එම අසාමාන්‍ය ඉතිහාසයේ විත්තිකරුවෙකි. තමා විසින්ම මුහුණ දුන් අත්දැකීම් තුළින් ලද දැනුම් සම්භාරයක්‌ ඔහුට ඇත. ඔහු ඒ ගැන මහත්සේ ආඩම්බර වේ. ඔහු සතුටින් පවසන්නේ තවම ජීවත්වෙමින් සිටින බවය.


 චාරුන්‍යා දෙහිගම

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..