sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපෝන්සු - (රන්ජන්ට අත දුන් ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකුගේ මතකය)

රන්ජන් රාමනායක මට හඳුන්වා දෙනු ලබන්නේ විජය කුමාරතුංගයන් විසිනි. දිනක් මා විජයගේ තලකොටුව වත්තේ නිවසට යන විට බූසියට කොණ්ඩය වවාගත් හීන්දැරි ගැටවරයෙක් එහි රැඳී සිටියේ මා හමුවන්නටය. “මේ මගේ නෑදෑයෙක්. ෆිල්ම්ස්වලට ඇවිත්. මෙයාට උදව් කරන්න” රන්ජන් හඳුන්වා දෙමින් විජය මට කීවේය. මම එවකට ජනප්‍රිය ‘සරසි’ සිනමා පුවත්පතේ කර්තෘවරයා වීමි. විජයගේ ඉල්ලීම ඉටු කරමින් මම රන්ජන්ට ‘සරසි’ හා ‘සත්සර’ පුවත්පත්වලින් ප්‍රචාරය දුනිමි. නිතරම විහිළුවෙන් හා දෙපිට කැපෙන උපහාස කතා කියමින් සිටින රන්ජන් ‘සරසි’ කාර්යාලයේ සමීප මිතුරෙකු බවට පත්විය. ඔහුට රඟපෑම සඳහා චිත්‍රපට කිහිපයක්ම ලැබෙන්නට වැඩි කාලයක් ගියේ නැත. ඔහු ගායනයට පිවිසි කළ ඔහුගේ ‘රන් සමනලයා’ කැසට් පටය නිෂ්පාදනය කළේ මා විසිනි.

අනෙකුත් නළු නිළියන් මෙන් නොව රන්ජන් ජනප්‍රියත්වය අබිබවා යමින් කැපී පෙනෙන දේ කරන්නට කැමතිය. තැනක් නොතැනක් නොබලා කරන විහිළුද හැමවිටම ඇඟට හිරවෙන ඇඳුම්ද ඔහුගේ චරිත ලක්‍ෂණ විය. කමිසයක් නොව හැට්ට අඳින්නේ යැයි අප කොතෙකුත් විහිළු කළද ඔහු වෙනස් වූයේ නැත. රන්ජන්ගේ මේ චරිත ලක්‍ෂණ ගැන අතීත උදාහරණයක් මට සිහිපත් වෙයි.

එය අනූව දශකයේ මුල් භාගයයි. අලුත් සිංහල චිත්‍රපටයක මංගල දර්ශනය පැවැත්වුණේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් අසෝකා සිනමා ශාලාවේදීය. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා රන්ජන් ගේ ඥාති සොයුරා වූ ජීවන් කුමාරතුංගය. චිත්‍රපටය වෙනුවෙන් අසෝකා සිනමා ශාලාව අවට පෙදෙස ධජ පතාකවලින් සරසා තිබුණි. ජීවන් සිනමාහලට ආවේ මඟුල් බෙර හඬ මැද්දේය. චිත්‍රපටයේ සහාය චරිතයක් රඟපෑ රන්ජන් දක්නට නැත. ඔහු එන තෙක් පහන් දැල්වීම පමා විය. හදිසියේ එක්වරම පැමිණි ට්‍රක් රථයකින් බැසගත්තේ පපර බෑන්ඩ් කණ්ඩායමකි. තවත් ට්‍රක් රථවලින් පැමිණි සිනමා රසිකයෝ සිය ගණනක්ද සිනමා ශාලාව ඉදිරිපිටට රොක් වූහ. රන්ජන් පැමිණියේ ඉන් පසුවය. ප්‍රීති ඝෝෂා නගමින් ඔහුගේ රසිකයෝ මල්මාලා එක පිට එක දමමින් රන්ජන් පිළිගත්හ. පපර බෑන්ඩ් සංගීතයෙන්ද රතික්‍ඳ්ඤා හඬින්ද, අසෝකා සිනමා ශාලාව අවට ග්‍රෑන්ඩ්පාස් පරිසරය දෙදරුම් කෑවේය. මහත් ආඩම්බරයකින් රන්ජන් සිනමා ශාලාවට ඇතුළු විය. එදා පපර බෑන්ඩ් කණ්ඩායම හා රසික ගෝලබාලයන්, මල්මාලා හා රතික්‍ඤ්ඤාවලට රන්ජන්ට සෑහෙන වියදමක් යන්නට ඇත. එහෙත් කැපී පෙනෙන නළුවා වූයේ රන්ජන්ය.

මේ කතා අසද්දී සිනමා ලෝකය සම්බන්ධයෙන් රන්ජන් විනෝදජනක, සැහැල්ලු චරිතයක් විය හැකිය කියා ඔබට සිතෙනු ඇත. රන්ජන් චිත්‍රපටයකදී හැම විටම තෝරාගන්නේ වීරයාගේ චරිතයයි. ඔහු අසාධාරණයට, වංචාවට, ධනපතියන්ට එරෙහිව සටන් වදින දුප්පතාගේ හිතවතාය. දේශපාලනයට පැමිණි විටද ඔහු රට ඉදිරියේ එම චරිතයම ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පාක්‍ෂිකයන් පමණක් නොව, විපක්‍ෂ මත දැරූ අයද ඔහුගේ මේ චරිත නිරූපණයට කැමති වූ බව මම දනිමි.

එහෙත් මේ වීරයා සැබෑ දුෂ්ටයකු බවට පත් වූ ආකාරය පසුගිය දින කිහිපයේදී රටටම හෙළිවිය. මුළු රටම කළඹමින් රන්ජන්ගේ වෙස්මුහුණ ගැලවී යාම යහපාලන රජයේ දුෂ්ට වැඩපිළිවෙළ හෙළිදරව් කිරීමට සමත් වී තිබේ. ඒ පිළිබඳ ඔබ මවිත කරවන තවත් තොරතුරු ඉදිරි දිනවලදී හෙළිවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි. සිදුවීම් පෙළ හින්දි දෙමළ චිත්‍රපටයක අවසන් ජවනිකාව වාගේය. දුෂ්ටයා පමණක් නොව ඔහුට උදව් පදව් කළ හැම දෙනාගේම වෙස් ගැලවෙන්නේ චිත්‍රපටය අවසාන භාගයේය.

සම සමාජ පාක්‍ෂිකයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේත් වාමාංශික අදහස් දැරූ විජයගේත් ඥාතියකු වන රන්ජන් එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් වූයේ කෙසේද? එයට ප්‍රධානම හේතුව රනිල් වික්‍රමසිංහ සුපිරිසුදු චරිතයක් බවට රන්ජන් තුළ වූ විශ්වාසයයි. එහෙත් දැන්නම් රනිල් පිළිබඳ රන්ජන්ගේ එම ක්ලීන් සූට් මතය කුඩු පට්ටම් වී ඇතැයි සිතන්නෙමි.

රන්ජන් එ.ජා.ප දේශපාලනයට එක් වූ පසු මට ඔහු හමුවුණේ එකම දවසකි. ඒ විවාහ මංගල්‍ය උත්සවයකදීය. ඒ වන විට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන්ට නඩු පැවරී තිබුණි. ඔහුට දඬුවම් ලැබිය හැකි බව මා කී විට ඔහු සසල වූ බවක් පෙන්නුවේ නැත.

“මාව හිරේ දායිද බන්දු අයියා? හැබැයි මට මගේ කතාව ඔප්පු කරන්න පුළුවන් හැම කෙනාම සාක්කියට කැඳවනවා. වික්ටර් අයිවන්, අශෝක හඳගම මේ ඔක්කොම උසාවි ඒවි.”

“වැඩේ හරියන්නේ නෑ, උඹට හිරේ යන්න වෙනවාමයි. මං උඹ බලන්නට බත් පැකට් එකකුත් අරගෙන වැලිකඩට එන්නම්.” මම සිනහසෙමින් කීවෙමි. රන්ජන් මට කතා කළේ ‘බන්දු අයියා’ කියාය. පැරණි හිතවත්කම නිසා මම ඔහුට යහළුවකුට මෙන් ‘උඹ’ කියා ඇමැතුවෙමි. එහෙත් රන්ජන් හා සමග නැවත කිසි දිනෙක හෝ කතා නොකරන්නෙමි කියා මා තීරණය කළේ මීට මාස අටකට පමණ පෙරය. ඒ දිනවල රන්ජන් දැඩි ලෙස ප්‍රසිද්ධියේ බැණ වදිමින් සිටියේ ගෝඨාභය රාජපක්‍ෂටය. ඒ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර ගොස් තිබුණ කාලයයි.

කරුණු නොදැන ගෝඨාභයට විරුද්ධව බොරු ප්‍රකාශ නොකරන ලෙස මම ඔහුට දොස් පැවරුවෙමි. ඔහු ලසන්ත වික්‍රමතුංග ගැනත්, කිත් නොයාර් ගැනත්, මාළු ටැංකියේ මිනී මෝරුන් ගැනත් කීවේය. මම ඔහුට උපහාසයෙන් සිනාසුණෙමි.

“ඕවා විශ්වාස කරනවා නම් උඹ මහ මෝඩයෙක්” මම ඔහුට කීවෙමි. රන්ජන් කෝපයට පත් විය.

“තමුසේ මට උඹ කියනවා නම් මමත් තමුසෙට උඹ කියනවා” යැයි කියූ රන්ජන් “උඹ රාජපක්‍ෂට කඩේ යන මිනිහෙක්” කියමින් දුරකථනය විසන්ධි කළේය.

පසු දිනෙක මම මේ සිදුවීම මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කීවෙමි. ඔහු හඬ නඟා සිනාසුණේය. “ඇයි ප්‍රොෆෙසර් රන්ජන් නඩුවලට යනකොට ඔබතුමත් උසාවියට යන්නෙ?” මම ඇසුවෙමි.

“මිනිහ මගේ නෑදෑයා. ඉතින් මට එන්න කිව්වම මට නොගිහින් ඉන්න බෑනේ.”

“හී ඉස් අ ගුඩ් හාර්ටඩ් ෆෙලෝ. බට් අ ෆූල්” (මිනිහා හිත හොඳ මිනිහෙක්. හැබැයි මෝඩයෙක්) මහාචාර්ය කාලෝ කීවේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද ජීවතුන් අතර සිටියා නම් ඔහු ලැජ්ජාවටත්ස න්ත්‍රාසයටත් පත්වනු ඇතැයි සිතන්නෙමි.

මිරිහාන අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, මාදිවෙල පිහිටි රන්ජන්ගේ නිවසට පසුගිය ඉරිදා පැමිණියේ ගංගොඩවිල අධිකරණ මහෙස්ත්‍රාත්වරයාගෙන් ගත් සෝදිසි වරෙන්තුවක්ද අතැතිවය. රන්ජන් සතුව යහපාලන රජයේ අපරාධ හා දූෂණ පිළිබඳ තොරතුරු සංවාද ඇතුළත් සංයුක්ත තැටි ඇතැයි පොලිසියට පිළිගත හැකි ඔත්තුවක් ලැබී තිබුණි.

නිවස ඇතුළට ගිය පොලිස් කණ්ඩායමේ ප්‍රධානී ජයන්ත පෙරේරා වරෙන්තුව රන්ජන්ට පැහැදිලි කළේය. වැඩේ පත්තු වී ඇති බව රන්ජන්ට තේරුම් යන්නට ඇත. රන්ජන් සිය රංගන ජවනිකාව අරඹන්නේ ඉන් පසුවය. ඔහු තම දේශපාලන සගයන්ට දුරකථන ඇමැතුම් ගත්තේය. ‘‘මාව අත්අඩංගුවට ගන්න පොලිසියෙන් ඇවිත්’’ ඔහු කීවේය.

“ඔයාලා ආවේ කුඩු අල්ලන්නද? කුඩු අල්ලන්න නම් වෙන මන්ත්‍රී නිවාසෙකට තමයි යන්න ඕන. කුඩු, ගංජා, කොකේන් මෙහෙ නෑ.”

පොලිස් නිලධාරීන් පිරිස රන්ජන් ළඟ තිබූ සංයුක්ත තැටි එකතු කරන්නට පටන් ගත් කල ඔහු ඒ කටයුත්ත විහිළුවකට ලක් කරමින් තම ගෝලයෙකුට මෙසේ කීවේය.

“මල්ලී, කුස්සියේ තියෙන ලූනු ටික නම් ගෙනියන්න දෙන්න එපා. රන්ජන්ගේ නිවසින් බොම්බයි ලූනු හමුවෙයි කියලා නිවුස්වල හෙඩ්ලයින් එකක් යාවි.”

ඒ අතරේ ඔහු වරින් වර තම ෆේස්බුක් පිටුවට සජීවී දර්ශන ඉදිරිපත් කළේය. මේ කාලය තුළම ඔහුගේ ට්වීටර් ගිණුමට පණිවිඩ කිහිපයක්ද එක්වී තිබුණි.

සන්ධ්‍යා භාගයේ මාදිවෙල නිවසට ප්‍රථමයෙන්ම පැමිණියේ මහාචාර්ය ආශු මාරසිංහ මන්ත්‍රීවරයාය. ජාතික ලැයිස්තුවෙන් එ.ජා.ප යට එක් වී සිටින ඔහු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට සූදානම්ව සිටී. ඔහුගේ පැමිණීම දුටු බොහෝ දෙනෙකුට මතක් වන්ට ඇත්තේ ළඟදී රන්ජන් මාධ්‍යට පැවසූ දෙයකි.

“මාව කපන්න ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රොෆෙසර් කෙනෙක්ද කවුද දාල, මට නොමිනේෂන් දෙයිද දන්නෙ නැහැ” කෙසේ වෙතත් ආශු රන්ජන් සමග සෙල්ෆියක් ගන්නටද අමතක කළේ නැත.

පොලිස් කණ්ඩායම මාදිවෙලට ආවේ රන්ජන් අත්අඩංගුවට ගැනීමට නොවේ. ඔවුන් වරෙන්තුව ලබාගෙන තිබුණේ නිවස සෝදිසි කිරීමටය. ඒ අතරතුරය රන්ජන්ගේ ගිනිඅවිය ඔවුන්ට හමුවුණේ. එයට පසුගිය අවුරුදු තුනේම බලපත්‍ර තිබුණේ නැත. බලපත්‍ර නැති ගිනි අවියක් ළඟ තබා ගැනීම වහාම අත්අඩංගුවට ගත යුතු වරදකි. පොලිසියට එය මග හැරිය නොහැකිය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වන්නේ එසේය.

රන්ජන්ගේ හැටි දන්නා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක් මා සමග කීවේ “මට නම් සැකයි රන්ජන් ලයිසන් තියාගෙන නෑ කිව්වද කියල. මොකද එතකොට මිනිහව ඇරෙස්ට් කරන්නම වෙනවනේ.”

එම කතාව සත්‍යයක් විය හැකි යැයි ඔබට සිතෙනු ඇත්තේ රන්ජන් කිහිප වතාවක්ම මටත් ඕන අත්අඩංගුවට පත්වෙන්න තමයි කියා ප්‍රකාශ කිරීම නිසාය.

නිවසට ඇතුළු වීමට අවසර නොමැති බැවින් මාධ්‍යවේදීන් රැස්ව සිටියේ ගේට්ටුව ඉදිරිපිටය. ඔවුන් අසලට පැමිණෙන රන්ජන් කැමරාවලට පෙන්වමින් නැවතත් සෝදිසි වරෙන්තුව කියවන්නේය. මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගූ විට ඔහු දෙරණ මාධ්‍යවේදියා උපහාසයට ලක් කරන්නේය. මේ අතර රන්ජන්ටම ගැළපෙන දේශපාලන සගයන් වන මුජිබර් රාහුමාන්, පාලිත තෙවරප්පෙරුම, හරීන් ප්‍රනාන්දු ආදීහුද නිවසට එක්වූහ. මාංචු දැමීමට සැරසෙන පොලිස් කණ්ඩායමේ ප්‍රධානී ජයන්තගේ මුහුණ සිපගන්නා රන්ජන් කියන්නේ ‘‘තෑන්ක් යූ ඔයා මට ඡන්ද වැඩිකරලා දෙනවා’’ කියාය.

සිනමා පටයක කූට ප්‍රාප්තිය හඳුන්වා දෙන්නේ ක්ලයිමැක්ස් කියාය. ක්ලයිමැක්ස් එකේදී ජයග්‍රාහකයා බවට පත්වන්නේ වීරයාය. තමන්ගේ දෑත්වලට මාංචු වැටීම ජයග්‍රාහී ක්ලයිමැක්ස් එක කියා රන්ජන්ට සිතෙන්නට ඇත.

එහෙත් දැන් වීරයා දුෂ්ටයා වී ක්ලයිමැක්ස් එක පුපුරා යන බෝම්බයක් බවට පත් වී තිබේ. පසුදා රන්ජන්ගේ සංයුක්ත තැටිවලින් හමුවන්නේ කුඩු, ගංජා, කොකේන්වලට වඩා භයානක දේවල්ය.

ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර

aruna -

«
Next
Newer Post
»
Previous
Older Post

1 comments:



  1. අපේ වත්මන් ජනපති තුමා ආරක්ෂක ලේකම් කමෙන් අස්වී ගෙදර යනවිට එතුමාගේ කාර්යාලයේ තිබුණු බඩු භාණ්ඩ ටික ගෙනයන්ඩ තැනක් නැතිව සිටියදී ඒවා ලොරියක පටවාගෙන සිය බිරිඳගේ මවගේ නිවස කරා ගෙන එද්දී ඔය මහාවීර රන්ජන් නමැති අමන මන්ත්‍රී මිනිස්සු සිය ගණනක් එක්ව ඒ ගෝටා හොරබඩු ගෙනයනවා කියමින් ලොරිය වටකළ ආකාරය ඔබට මතක ඇති නේද? සින්හය බිම වැටුණු විට නරිය හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ඇවිත් උගේ පස්ස සින්හයගේ ඇඟේ අතුල්ලා දුවනවලු! රන්ජන් නමැති අවලමා කළේ ඒ ක්‍රියාව්ඣ්යි! දිට්ටදම්මවේදනීය කර්මය එම අමන මිනිහාට පලදෙන්ඩ පටන් අරගෙන බව ඔබට නොපෙනේද? රාජිත, චම්පික, අනුර කුමාර යන මේ ගහලයන්ටත් ඒක ම නේද මේ වෙන්ඩ යන්නෙ!

    ReplyDelete

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..